මීට සති
දෙකකට විතර කලින් ඒ කියන්නේ 2013 සැප්තැම්බර් මාසෙ 04 වෙනිදා මියුසික් වීඩියෝ එකක්
එළිදැක්වුණා. මියුසික් වීඩියෝ ගීත කලාව වර්තමානයේ සංගීත ක්ෂේත්රයට අලුත් අත්දැකිමක්
නොවුණත් නව සංගීත පරපුර තමන්ගෙ නිර්මාණ රසිකයන් අතරට ගෙන යන්නත්, ඒවා රසිකයන් අතර
ජනප්‍රිය කරන්නත් අනුගමනය කරන එක ක්‍රමයක් තමයි මේ මියුසික් වීඩියෝ ගීත සංස්කෘතිය.
අන්තර්ගතය කෙසේ වුවත් රූප රචනා කලා මාධ්‍යයක් විදියට මියුසික් වීඩියෝ ගීතවලට යම් තරමක ඉල්ලුමක්
නූතන සංගිත රසිකයන් අතර තියෙන බව පේන්නේ දිනපතා බිහිවන මියුසික් වීඩියෝ ගණන
පිළිබදව සැළකිලිමත් වන විටයි.
සැප්තැම්බර්
මාසෙ 04 වෙනිදා එළිදැක්වුණ මේ මියුසික්
වීඩියෝව මට තරමක් අලුත් අත්දැකිමක් වුණේ ඒ මියුසික් වීඩියෝවේ ගී පද රචනය මගේ පදමාලාවක්
වීම. කෙටියෙන්ම කිව්වොත් මම ලියපු ගීයක්
මුල්වරට මියුසික් වීඩියෝ එකකින් එළිදැක්වුණා. මේ මියුසික් වීඩියෝ එක නිසාම අහම්බෙන් වගේ මටත් නව සංගිත පරපුරත් එක්ක සම්බන්ධ වෙන්න ලැබුණ නිසා අද අස්වැන්නෙන් ඒ මගේ ගීය ගැන සටහනක් තබන්න
කල්පනා කළා.
වයිඩ්
ඈන්ගල් ආයතනය නිෂ්පාදනය කළ මේ මියුසික් වීඩියෝවේ ගායන ශිල්පියා සංගිත ක්ෂේත්රයට
තවමත් අලුත්. ඔහු නමින් විරාජ් සුලෝචන. ගීතය තනු නිර්මාණය කරමින් සංගිතවත් කළේ ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමේ නායක රොෂාන් ප්‍රනාන්දු.
ගීතය ලිව්වෙ මම. මේ මියුසික් වීඩියෝව නම් කරල තියෙන්නෙ “ආදරය අරන්” යන නමින්.
විරාජ්
සුලෝචන අද තරුණ ගායන ශිල්පියෙක් වුණත් ඔහු මට හමුවෙන්නෙ විශාරද එඩ්වඩි ජයකොඩිගේ සැරිසර
සංගිත ශාලිකාවේ සංගිතය හදාරපු වයස අවුරුදු 12 -14 ක විතර පුංචි දරුවෙක් විදියට මීට
අවුරුදු දහයකට විතර කලින් නුගේගොඩ, මිරිහානේ පිහිටි එඩ්වඩ්ගෙම නිවසේදි. ඔහු ළමා ගායන ශිල්පියෙකු ලෙස එඩ්වඩ් යටතේ එවකට
සංගීතය හදාරද්දි විරාජ්ගෙ ළමා ගිත එකතුවක් සඳහා එදා මමත් සම්බන්ධ වුණා. එදා විරාජ්
සුලෝචනගෙ ඒ ළමා ගීත එකතුවට මම ගීත 04 ක් ලිව්වා. එහෙම දැනහැඳුනුම් කමක් ඇතිව
හමුවුණ විරාජ් සුලෝචන අද යෞවනයෙක්. ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලැබූ ඔහු වර්තමානයේ
Solo
Ride සංගීත කණ්ඩායමේ හිමිකරුවා වගේම ඒ සංගිත කණ්ඩායමේ නායකත්වය
සපයන්නෙත් ඔහුමයි. ඒ විදියට සංගීතමය හැකියාවක් ගොඩනගා ගන්නා විරාජ් එක්ක නැවත
කටයුතු කරන්න ලැබෙන්නෙ ඔහුගේ මේ අලුත් ගීතය නිර්මාණය කරන්න මට කළ ඇරයුමත් එක්කමයි.
රොෂාන් ප්‍රනාන්දු |
සාමාන්‍යයෙන්
මියුසික් වීඩියෝ ගීත කලාව මම එතරම් ප්‍රිය නොකරන කලාවක්. ඒ අනෙකක් නිසා නෙවෙයි ගීත රචකයෙක් හෝ සංගීත
නිර්මාණකරුවකු තුළ උපදින සිතුවිල්ලට තුන්වන පාර්ශවයක් විසින් කරන රූප රචනයක් කොයිතරම්
දුරට ඒ ගීත නිර්මාණයත් එක්ක බද්ධ වෙනවද කියන කාරණය ඒ නිර්මාණය තුළ පවතින නිසා. මම
එහෙම කියන්නේ යම් ගීයක රූප රචනයේදී ගීත රචකයා
හෝ සංගීත රචකයා මතු කිරිමට ගත්ත අදහසට
කොහෙත්ම සමපාත නොවන අදහසක් වර්තමානයේ බිහිවන මියුසික් වීඩියෝ තුළ දකින්නට ලැබෙන
නිසා. නිදසුනක් විදියට ගීතය තුළම රූපරචනයක් කරන ලූෂන් බුලත්සිංහල වැනි ගීත රචකයෙකු
ලියූ “සුදු නැන්දා ඇයි ගෙයි දොර වැහුවේ” වැනි ගීතයකට තුන්වන පාර්ශවයක් විසින් රූප
රචනයක් කළොත් රූප රචනයක් නැතිව ඒ ගීතය අසන රසිකයාගේ මනසේ ඇඳෙන චිත්‍රයට හාත්පස
වෙනස් සිතුවිල්ලක් තුන්වන පාර්ශවයක් විසින් කරන රූපරචනය තුළින් නිර්මාණය විය හැකි නිසා.
ඒ එහෙම
වුණත් විරාජ් සුලෝචනගෙ මේ ගීතය ලියන්න ඇරයුම් කළේ ඔහු විසින්මයි ඒ මීට මාස තුනකට
විතර කලින්. ඒ නිසාම නව සංගිත පරපුරේ සංගිතමය ආකෘති භාවිතය පිළිබඳවත් යම් තරමක අවධානයක්
යොමුකරල තමයි මම මේ ගීතය ලිව්වෙ. ගීතය
කියවල බැලූ විරාජ් මට කිව්වෙ මේ පදමාලාවත් රොෂාන් ප්‍රනාන්දුගේ සංගීතයටම ගයන්න
කැමතියි කියල. එහෙම තීරණය කරල සංගීත නිර්මාණය කිරීමේ කටයුත්ත රොෂාන් ප්‍රනාන්දුටම
පැවරුවා.
ගීතය මුලුමනින්ම
සංගීතය නිර්මාණය කර ගීතය පටිගත කිරීමේ කාර්යය සිදු වුණේ වෙන්නප්පුව, කටුනේරියේ , රොෂාන්
ප්‍රනාන්දුගේ නිවසේ පිහිටි ෆ්ලෑෂ් බෑක්
ශබ්දාගාරයේ දීමයි. ගීතය පටිගත කිරීමේ කටයුතුවලට මටත් සහභාගිවෙන්න ලැබුණ ඒ විදියට
නිර්මාණය වූ ගීතය තමයි මේ තියෙන්නෙ.
ආදරය අරන් හිත යටට ඇවිත්
මේ තරමට ඇයි හිත පෙළන රිදුම්
මිහිරියේ ඇයි නුඹ මේ තරම්
හිත රිදවලා මට දෙන දඬුවම්
පෙරදාක ඔබේ හිත අරගත්
තව හිතක් ළං වෙලා හෙමින්
පෑ ආදරේ ඔය හිතෙන් මිදී
මගෙ මුවැත්තියේ
නැතුවාද තවම ඔය හිතෙන් මැකී
කලුවරේම මල් සුවඳ අරන්
මම විදිමි සුවඳ සඟවා රහසින්
හඳපාන වගේ මගේ හිතට එබී
මගෙ මුවැත්තියේ
සඟවන්න එපා මට රිදුම් දිදී
ගී පදමාලාව: දයානන්ද රත්නායක
සංගිතය: රොෂාන් ප්‍රනාන්දු
ගැයුම: විරාජ් සුලෝචන
ආදරය අරන් ගිතය මෙතනින් අහන්න
ගීතය
මුලුමනින්ම නිර්මාණය කර මියුසික් වීඩියෝව කරන්න විරාජ් සුලෝචන පවරා තිබුණේ වයිඩ්
ඈන්ගල් ආයතනයට. සාමාන්‍යයෙන් ගීතයක් සඳහා මියුසික් වීඩියෝවක් කරන්න රුපියල් ලක්ෂ තුන
හමාරේ ඉඳන් ලක්ෂ හතළිහක් හතළිස් පහක් විතර වියදම් කරන මේ කාලේ මේ මියුසික් වීඩියෝව
සදහාත් ලක්ෂ හයකට ආසන්න මුදලක් වැයකළ බවයි මට දැනගන්න ලැබුණෙ.
එහෙම
වියදම් කරල හදපු “ආදරය අරන්” මියුසික් වීඩියෝව පහුගිය සැප්තැම්බර් හතර වෙනිදා මාධ්‍ය
ආයතනවලට නිකුත් කළා. සති දෙකක් වැනි කෙටි කාලයක් ඇතුළත අන්තර් ජාලයේ යූටියුබ්
ඔස්සේ මේ ගීතය මේ වන විට නරඹා ඇති සංගීත රසිකයන් ප්‍රමාණය 53500 කට ආසන්නයි . ඒකත්
කාලෙකට පස්සෙ මට ලැබුණ හොඳ අත්දැකීමක්. මියුසික් වීඩියෝවේ ගීතය ගයමින් රංගනයේ
යෙදෙන්නෙත් විරාජ් සුලෝචනම තමයි. ඒ මියුසික් වීඩියෝ එක තමයි මේ තියෙන්නෙ.෴
ජය වේවා.. මම හිතන්නේ වීඩියෝ එක කරද්දි ගීතය පටිගත කරන අවස්ථාවේ ඔබ ලබා දුන් උපදෙස් හුගක් වැදගත් වෙන්න ඇති. නව පරපුරට ගරහන අයට වඩා එඩ්වඩ් ජයකොඩි මෙන් ඔවුන්ට ආශිර්වාද කරන අය තමා මේ වගේ ඕන වන්නේ.. ගීතය පසුව රස විදින්නම්. ඔබගේ පළමු වීඩියෝ ගීතයට සුභ පැතුම් දයා...
ReplyDeleteගීතය ඇහුවා. ගායකයාගේ කට හඩේ කිසිම ආබාධයක් නැහැ කස්ටිය කියනව වගේ. එකක් මේක ට්‍රෙන්ඩ් එකට යන ගීතයක්.. ඔහු දක්ෂයෙක් විය හැකියි... සංගීතයත් රොෂාන්ගේ ශෛලියෙන් බැහැර වෙච්ච තනුවක්... මට නං කිසි අවුලක් නැහැ.. විඩියෝ නං අවුල් බලන්න බෑ මට
Deleteදේශකයා..
Deleteඇත්තටම මම කළේ ගිතයක් ලියා දිම පමණයි. ඔහුගේ හඪතවම අලුත් ඒ වගේම නොමේරූ බවක් තියෙනවා. ගිතවලට වීඩියෝ හදන්නේ අපි නෙවෙයි. ඒවාට වෙනම ආයතන තියෙනවා.
ස්තූතියි අදහසක් ලබා දුන්නාට
මගෙනුත් සුභ පැතුම්...!
ReplyDelete// යම් ගීයක රූප රචනයේදී ගීත රචකයා හෝ සංගීත රචකයා මතු කිරිමට ගත්ත අදහසට කොහෙත්ම සමපාත නොවන අදහසක් වර්තමානයේ බිහිවන මියුසික් වීඩියෝ තුළ දකින්නට ලැබෙන නිසා. //මේ කතාවට මමත් එකඟයි... සමහර සින්දු අහද්දි හිතට එන සිතුවිල්ල රූප රාමු ඇතුලේ නෑ..
ඔබේ ගීතය ඇසුවා, විරාජ්ට හොඳ හඬක් ඇති බව පේනවා...වීඩියෝව පසුව නරඹන්නම්..
රෙහානි...
Deleteස්තූතියි. විරාජ් සංගිතයට තවම නවකයෙක්.
තරහ වෙන්න එපා දයා... අපි උඹ වගේ උන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙනවා.. උඹගේ ඉමේජ් එක නැති කර ගන්න එපා.. මේ වගේ නපුංසකයන්ට ගීත ලියලා.. කොල්ලෝ අඬන එක මට පෙන්නන්න බැරි දෙයක්.. අසාර්ථක නිර්මාණයක්... මේ මගේ අවංක අදහස....
ReplyDeleteසමාවෙන්න ඕන මගේ අදහසත් මීට බොහෝ සමානයි.
Deleteඅනික පල්ලෙහා අරූගෙ අඩවිය කියල තියෙනව වගේ...! මීට වඩා සංගීතයෙන් නිර්මාණශීලී දෙයක්කල හැකි නේද..
මාතලන්
Deleteකිසිම අවුලක් නෑ මෙවැනි විචාරවලට මම කොහොමත් කැමතියි. එවන් විචාරවලින් ඊළඟ නිර්මානය මිටවඩා යමක් කළ හැකියි.
ඇත්තටම මම මෙහිදී කළේ විරාජ්ට ගිතයක් ලියා දිම පමණයි. ඔහුගේ තවම අලුත් ඒ වගේම නොමේරූ බවක් තියෙනවා. ගිතවලට වීඩියෝ හදන්නේ අපි නෙවෙයි.වීඩියෝවට මම කොහෙත්ම සම්බන්ධ නෑ . අද කාලේ ඒවාට සිංදුවලට වීඩියෝ හදන වෙනම ආයතන තියෙනවා
ස්තූතියි අදහසක් ලබා දුන්නාට
වීපොකුර
සංගීත භාවිතයනම් නූතන ට්‍රෙන්ඩ් එකේ තමයි. ඒවා කාලයත් එක්කම තීරනය වේවි
ස්තූතියි ඔබටත්.
ඔබගේ ප්‍රථම සංගීත වීඩියෝවට මගෙත් සුභ පැතුම්.!ගීතයේ රුප රචනය මටනම් එතරම් දැනුනේ නැහැ.
ReplyDeleteකොහොමවුනත් නවකයින්ට දීම බෙහෙවින් අගයමි.
මනෝජ්..
Deleteගීතය රූපරාමු කියන්නේ සරල දෙයක් නෙවෙයි. ඇතැම් වෙලාවට රසිකයන්ගේ කල්පනා ලෝක වලට මග අහුරනවා වීඩියෝ නිර්මාණවලින්
ස්තූතියි මනෝජ් ඔබට.හැබැයි මොහු ගීත පදමාලා තොර්ගැනීමෙන්නම් දක්ෂයෙක් ඒබව ඉදිරියේදි මම වෙනම කියන්නම්.
Deleteඔන්න අයියේ ඇම්ගේ උණුසුම් සුභ පැතුම්
ReplyDeleteකොර්රලේ මහත්තයා
Deleteස්තූතියි ඔබටත් අදහස් දැක්විම ගැන
වීඩියෝ එක බාගෙට බලලා සින්දුව අහන එක දිගටම කෙරුවා. මටනං සින්දුවෙ කියන්න තරං විශේෂයක් නෑ... අවුලකුත් නෑ. මේ දවස්වල ඇහෙන ගොඩක් සින්දු වගේ කියල හිතුණා.
ReplyDeleteහරේෂ්...
Deleteඑකම කාලෙ හැදෙන ගීතනු බොහෝවිට එක වගේ. ඒක සමහර විට නිර්මාණයක් මාකට් කරන්න යොදන උපායක් වෙන්නත් පුළුවන්. මම නවකයෙකුට ගිතයක් ලියා දිම පමණයි කළේ. ස්තූතියි ඔබටත් අදහස් දැක්වූවාට
// කලුවරේම මල් සුවඳ අරන්
ReplyDeleteමම විදිමි සුවඳ සඟවා රහසින්//
පද මාලාවේ නම් අමුත්තක් තියනවා..
හරිම සරලයි වගේම ලොකු කතාවක් කියනවා..සුභ පැතුම් මේ වෙනුවෙන් මහන්සිවුනු හැමෝටම..
රූ...
Deleteස්තූතියි සටහනක් තැබුවාට.. සාමානයයෙන් මට ගීයක් ලියන්න ඇරයුමක් ලැබුනාම ශිල්පියා සමග කතාබහ කරල අවශ්‍යතාවය තේරුම්ගෙන ඔහුගේ හඬපරාසය පිලිබඳවද සැළකිල්ල යොමු කර ගීයක් ලියා දෙනවා. ඉන් ඔබ්බට එය ගිතයක් බවට පරිවර්තනය කිරිම ඔහු සතුයි. මේ ගියත් එවැන්නක්.
මචං දයා......මෙතැන ඉඳන් මම කියන දේ උඹ වරදවා නොසිතැයි කියා මම සිතමි.ලස්සන පද රචණයක්. ගායකායාත් උපරිම උත්සාහයක් දරනවා පද රචණයට සාධරනයක් කරන්න. රොශාන්ලාට පුලුවන් නම් මීට වඩා පද රචණාවන්ට සාධාරනයක් කරන්න සරත් ද අල්විස්ලා වගේ. ඒක පද රචණයනට කරන ගෞරවයක් වෙයි. ගීතය ගීතයක් නොවී තවත් එකම එක දෙයක් පමනක් වීම ගැන තියන බලවත් පශ්චත්ථාපය උඹට වැටහෙනවා යැයි මම සිතමි. දයා උඹට පමනක් නොව උඹ හා සමාන නිර්මාණ කරුවන්ටත් මේ දේ සිදුවූ බව මම දණිමි.උඹට ජය සහ ශක්තිය!!!!!!!
ReplyDeleteඅරු...
Deleteඅදහස් පළකිරීම වටිනවා. අවුලක් නෑ. ඇත්තටම මේ විරාජ්ගේ දෙවන ගීතය. ඔහුගේ ඉදිරි නිර්මාණවලින් මේ සියල්ල විසෙඳේවි. තරුණ සංගීතකරුවන් රසවින්දනය කෙසේ වුවත් මාකට් එක ගැන හිතනවා.
මමත් ගොඩක් වෙලාවට ඇස් පියාගෙන ගී රස විඳින්ට කැමති කෙනෙක්. ගීය ගයන ගායකයා හෝ ගායිකාව කවුද කියලවත් මම දකින්ට කැමති නෑ. එතකොට ගීයේ රසය නිකම්ම නැතිවෙනවා.:D
ReplyDeleteහැබැයි මේ ගීය නම් වීඩියෝව දැක්කාම ගීය අහනකොට වඩා තේරුමක් දෙනවා වගේ. ගීයේ සංගීතය පද වැලට ලඟින් නොයන හින්දද මන්දා.
ඒත් ගායකයාගේ හඬ හොඳයි. ඔහුට වගේම ඔබටත් සුබ පැතුම් දයා....:)
පොඩ්ඩි...
Deleteලද ඇරයුමක් අනුව ගීයක් ලිව්වා. ගිතය පටිගත කිරිමට මමත් ගියා. ඔක්කොම සිද්ධ වුණා. ගායන ශිල්පියාගේ අවශ්‍යතාවය මත අන්තිමේදි ගීතය වීඩියෝවක් කරල ගෙනැත් පිටපතක් මට දුන්නා එච්චරයි..
ස්තූතියි. විරාජ් මේකමෙන්ටු කියවලා තිබුණා. ඔහ් මේ විචාර හරහා ඔහුගේ ඉදිරයි සකස් කර ගනීවි. ස්තූතියි ඔබටත්
//ආදරය අරන් හිත යටට ඇවිත්
ReplyDeleteමේ තරමට ඇයි හිත පෙළන රිදුම්
මිහිරියේ ඇයි නුඹ මේ තරම්
හිත රිදවලා මට දෙන දඬුවම්//
මේ ටික නම් ඇත්තටම වගේ ලියලා.
අත්දැකීම්වත්ද? :D:D
පොඩ්ඩි..
Deleteඅපි කවුරුත් ජීවිතේ පුරාම කියවන, අහන, දකින, විඳින සියලුම දේවල් එක මොහොතක අත්දැකීම් වෙනවා.ඒවා පොදු අත්දැකිම් බවට පත් වුණාම තමයි හැබෑම රසය මතුවෙන්නේ..
කුළුදුල් සංගීත ඩීඩියෝවට මගෙනුත් සුභ පැතුම් අයියා....! පද මාලාවෙ සිත්ගන්නා බව තිබුණත් ඒකට රූපරචනය සහ ගායන විලාශය එකතු වුනාම ඒ රසය අඩු වුනාද කියල මොහොතකට සිතුන.
ReplyDeleteතොටියා..
Deleteබොහෝම ස්තූතියි. ගිතයක් කියන්නේ පාද තුනක කණප්පුවක් මොකක් හරි එකක් අඩු උනොත් අවුලක්. මට සතුටක් දැනෙන්නේ මම ලියපු දෙයක් මුල්වතාවට විඩියෝවක් වුණ එකටයි.
අලුත් අයට අතදෙන ඔබවැනි ප්රවීනයින් සිටීම මහත් සතුටකි...
ReplyDeleteහසරැල්
Deleteස්තූතියි ඔබේ සටහනට
දයා අයියා.....නව පරපුරත් සමග ඔබ යන ගමනට මගේ උනුසුම් සුබ පැතුම් !!!!
ReplyDeletedisnana
Deleteස්තූතියි අලුත්ම ශිල්පියෙකුට කළ උදව්වක්. දන්නවානේ ඔබට මට මෙවැනි අය නිරන්තරයෙන් හමුවෙන බව. මේ එවැනි අවස්තාවක්
නව පරපුර සහ වියත් හරබර නිර්මාණ කල හැකි පරපුරක පෑහීම...මේ දේ සාර්ථකව සිදු වුනාද කියන දේ තීරණය කරන්න ප්‍රේක්ෂකයන්ටම බාර කරමු. මොකද ගීතයක සාර්ථකත්වය සහ ජනප්‍රියතාව කියන්නෙ දෙකක්. අද ලක්ෂ 3 සිට ඉහළට එෆ් එම් නාලිකා ඉදිරිපත් කරන පැකේජ් වලට සෙට් වුනොත් ගීතය හිට්..අසාර්ථක ගීත කීයක් පහුගිය කාලෙ හිට් උනාද...අද සින්දුව ආව නම් මාස දෙකකට පස්සෙ එහෙම දෙයක් තිබ්බද කියලත් අපි දන්නෙ නෑ...
ReplyDeleteරොෂාන් ප්‍රනාන්දු එකම තැටියෙ තනු නිර්මාපකයෙක්...එච් එම් ජයවර්ධනලා,රෝහණ වීරසිංහලා,රූකාන්ත ගුණතිලක ලා එක්ක ඔහුට හැරෙන්නවත් බෑ...මේ මගේ අදහස..
සිරා...
Deleteඇත්තටම ඒක අනාගතයේ තිරණය වේවි. ඔහුට සංගිත ක්ෂේත්රයේ මොන විදියටද ඔහුගේ ගමන් මග සටහන් වෙන්නේ කියන කාරනයත් එක්ක. රොෂාන් වැනි අය නිර්මාණාත්මක පැත්තෙන් ජනප්‍රිය බව ඉක්මවා තවත් හොඳ දේවල් කරනවානම් යහපත් දෙයක්ම තමයි. ස්තූතියි ඔබටත්
ගීතය ඇහුවා.ලස්සනයි.. ඒත් සින්දුවේ වීඩියෝ එක නොතිබුණා නම් හොඳයි කියලා හිතෙනවා.අර හැම වීඩියෝ එකේම තියෙන සුපුරුදු දර්ශන ටිකම තමයි මේකෙනුත් දැක්කේ.අනික් අතට සුන්දර ගීත කලාවක් වෙනුවෙන් ඔබතුමා බොහෝ දේ කර තියෙනවා.ඒ වගේම අපේ නව පරපුරට බනින අය අතරේ ඔවුන්ටත් යහපත් දෙයක් දෙන්න කවුරුන් හෝ ඉන්න ඕනේ.ඒ දේ ඔබ කරලා තියෙනවා.ඒත් ප්රශස්ත කලාව වෙනුවෙන් අපේ පරම්පරාවෙ ඇස් කනුත් සෑහෙන ප්‍රමාණයක් තාම ඇරිලා තියෙන නිසා මේ මියුසික් වීඩියෝ සංස්කෘතියෙන් එහාට ගියපු වඩා සුභාවිත දේවල් ඔබේ අතින් බිහි වෙනවට අපි කැමති බව කිව්වාට කමක් නැද්ද මන්දා..
ReplyDeleteවර්ෂා..
Deleteමේකාලේ මියුසික් විඩියෝ නිර්මාණය කරන්නේ එකම ආකෘතියටනේ. මම ගීයක් ලිව්වා පමණයි. මියුසික් විඩියෝව වෙනත් ආයතනයකින් නිර්මානය කලේ.
බෙහෙවින්ම ස්තූතියි මෙවැනි වටිනා අදහස් මට වගේම විරාජ්ටත් ඉදිරි ගමනට අත්වැලක් වේවි. මොකද ඔහුත් මේක බලන නිසා.
ගීතය තාම අහන්න ලැබුනේ නෑ, පද වැල නම් ලස්සනයි.
ReplyDeleteඇත්තටම දයා අයියා කියපු දේ තමා අද කාලයේ මියුසික් වීඩියෝ වල වෙන්නේ. පද රචකයා, තනු නිර්මාපකයා, ගායකයා සහ රූප රචන නිර්මාපකයා යන කට්ටියම එකතු වෙලා කතා කරලා මියුසික් වීඩියෝ එක කළොත් නම් බොහෝදුරට මූලික අදහස මතු කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.
ගිහාන්..
Deleteඔබේ අදහස හරියටම හරි... ඒත් අද දවසේ එවැනි කතාබහක් ගොඩනැගෙන්නෙ නෑ. එක්එක් අයගේ වගීකම් වෙන වෙනම ඉටුවෙන්නේ.ඒකයි අවුල..
ස්තූතියි ඔබටත්.
පදවැල කියවනකොට හිතේ ඇදිච්ච දේ නම් විඩියොව බලද්දි නැහැ. අපරාදෙ බැලුවෙ. ඇස් පියාගෙන ඇහුව නම ්කියල හිතුණ. ඇත්තටම විඩියෝවක් කරනකොට මෙන්න මෙහෙම තිබුණ නම් හොදයි කියලවත් පද රචකයය අදහසක් දුන්න නම් හොදයි කියල මට හිතෙනව.
ReplyDeleteඇස් දෙක පියාගෙන විදින්න පුලුවන් පද රචනයක්. ඇත්තටම.
සිංදුව ඇහුවා රත්නායක අයියේ.. ඇත්තටම ලස්සනයි..
ReplyDeleteසින්දුව ඇහුවා. ලස්සනයි. රසවින්දනයක් ඇති අනාගත ගීත රචකයාට කුරුටු ගෑ ගී පවුරේ අපේ සුභපැතුම්. ඔබ වැන්නන් මෙම ක්ෂේත්රයට ප්‍රවේශ වීම වැදගත් වන්නේ වර්ථමාන සංගීත ප්රවණතාවයන් අරුත් ශුන්‍යතාවයෙන් ගිල ගනිමින් පවතින බැවිනි. එබැවින් ඔබ වැනි පරිචයක් සහිත ගීත රචකයන් ශ්‍රී ලාංකේය නවක ගායන තරු සමග අත්වැල් බැද ගැනීම ඉතා ම වැදගත් බව අපේ අදහසයි
ReplyDeleteකුරුටු ගෑ ගී පවුරේ අපි
මම මේ song එක කලින් බැලුව... Music මගේ ජීවිතේම කොටසක් වගේ.. හැම පරාසයකම ගිත පුළුවන් උපරිමෙන් රස විඳිනවා..
ReplyDeleteකටහඬ ගැන මගෙනම් කිසිම අපැහැදීමක් නැහැ... නමුත් සුලෝචන අයියට මිට වඩා දෙයක් කරන්න තිබ්බ... video එක Trend එකට හැදුවත් පිටපත කාගේද කියන අවුලක් එනවා... එයින් ගීපද සාහස්ය වීමක් මම දකිනවා...
අයියේ... blogger dash board එකේ setting වලින් Time zone +5.30 ව්දියට වෙනස් කරන්න.. ඔයාගේ පැය 12 ක විතර වෙනසක් තියෙනවා
ReplyDelete(Delete this comment)
සේරම හොඳයි, මේ වීඩියෝව පටන් ගන්න වෙලේ ගායකයා ඔබව අයියා කියා හැඳින්වීම තමයි නොගැලපෙන්නේ. එතැනදී ප්‍රොෆෙෂනල් ගතිය නැතිවෙනවා.
ReplyDelete