(අබේවර්ධන බාලසුරිය පිළිබඳ මතකයේ අවසන් දිග හැරුම)
2. ගංගා, නෑ නේද ඉතිං යළි අහක බලං යන්නේ (දෙවන කොටස)
3. වසන්තය කියන්නේ ඔබටයි මටයි (තුන්වන කොටස)
සදාතනික මතකයේ රැඳි නො මියෙන ගී සුවඳ
සිංහල කවිය තරම් දිගු ඉතිහාසයක් නැතත් ගීතය සහ ගීත රචනා කලාව ඉතා කෙටි කාලයක් තුල විශාල පරිණතියක් කරා ළඟා වූයේ හැත්තෑව සහ අසූව දශකය තුළ දී ය. සෙසු කලාංගයන් අභිබවා යමින් ගීතය වඩාත් ප්‍රායෝගික කලාවක් ලෙස සමාජය තුළ ජනප්‍රිය විය. මේ සදහා පේරාදෙණිය සාහිත්‍ය ප්‍රබෝධය සෘජුවම බලපෑ බව පැහැදිළිය. කොළඹ යුගයේ කවිය ඉක්මවා ගොස් වඩාත් ජනතාවාදී මෙන් ම යථාර්ථවාදී කාව්‍ය නිර්මාණ බිහි වූයේ ද එම දශකය තුළ දී ය. මෙය එකල බිහි වූ ගීත සාහිත්‍යයේ ප්‍රබෝධයට ඉවහල් විය. ඒ අනුව හැත්තෑව දශකය තුළ ගීතය කවියෙන් වෙන් වී ස්වාධින කලාංගයක් ලෙස වැඩෙමින් ගීතයේ අනන්‍යතාවය තහවුරු කරගත්තේ ද මේ අවධිය තුළ දී ය..
විවිධ වස්තු විෂයයන් ඔස්සේ විහිදී යමින් වඩාත් සංකිර්ණ සමාජ ගැටළුද, කාලින සමාජ යථාර්ථය ද, ගීයෙන් නිරූපණය වීමට පටන්ගත්තේ ද මේ අවධියේ දී ම ය. එම දශකයේ බිහි වූ සියළුම ගීත අර්ථයෙන් ද. නාද මාලාවන්ගෙන් ද, රමණීය ජීවිතාර්ථ ප්‍රතිපාදනයෙහි සමත් වූ නිර්මාණයෝ ම වූහ. මේ සාහිත්‍ය ප්‍රබෝධය එකල බිහි වු ගීත රචකයන් මෙන් ම සංගීවේදින් ද , ගායක ගායිකාවන් ද, නැවුම් ඉසව් කරා යොමු කිරීමට හේතු විය. මේ සම්බන්ධයෙන් එවකට මහගම සේකර සූරින් දැරූ මතය මෙසේ විය.
"කවියක් නිර්මාණය වීම කවියාගේ පෞද්ගලික වෑයමක ප්‍රතිළුලයකි. එහෙත් ගීතයක් නිර්මාණය විම සඳහා ගීත රචකයා, සංගිතඥයා, සහ ගායකයා යන තිදෙනාම හවුල් විය යුතුය. ඇතැම් ගීතයක් ගීත රචනයේ ඇති කාව්‍යමය ගුණය අනුව ද. තවත් ගිතයක් ඊට යොදා ඇති සංගිතය අනුව ද, තවත් ගීයක් එය ගායනා කරන ගායකයාගේ කට හඬ හා ගායන විලාශය අනුව ද, උසස් තත්වයක් ගන්නට පුළුවන. එහෙත් විශිෂ්ඨ ගීයක් නිර්මාණය විමට නම් මේ තිදෙනාම තමන්ට අයත් කාර්යයන් විශිෂ්ඨ අන්දමින් ඉටු කළ යුතුය."
(මහගම සේකර ගිත - මහගම සේකර (1972) )
මහගම සේකරයන්ගේ ඒ අදහස අදට ද වලංගු ය. සේකර එදා ගීතය උපමා කළේ කනප්පුවකටය. කනප්පුවට පාද තුනකි. ඉන් එක පාදයක් හෝ නිසි ලෙස පිහිටා නැත්නම් කනප්පුවේ සමබර තාවය බිඳ වැටේ. ගීයට ද මේ ධර්මතාවය පොදුය. ගීත රචකයා, සංගිතඥයා, සහ ගායකයා යන තිදෙනා ගෙන් එක් අයෙකු හෝ තමන්ට අයිති කාර්යය නිසි ලෙස ඉටු නො කළ හොත් සාර්ථක ගීයක් බිහි වන්නේ නැත.
සේකර එදා දැරූ අදහසට නිදසුනක් ලෙස මහාචාර්ය සුනිල් ආරියරත්න, ආචාර්ය වික්ටර් රත්නායක සහ අබේවර්ධන බාලසූරිය සුසංයෝගයෙන් නිර්මාණය වූ මේ ගී මාලාව ගත හැකිය. ඒ ගී මාලාව තුළ ගීත රචකයා, සංගිතඥයා, සහ ගායකයා යන තිදෙනා තම කාර්යයන් ඉතාම විශිෂ්ඨ අන්මින් ඉටුකර ඇති අයුරු මතු දැක්වෙන ගීත කීපය තුළින් වටහා ගත හැකි ය.
සුනිල්, වික්ටර් සහ අබේ සුසංයෝගයෙන් සැදි "තල්ගහ මුදුනේ " ගීතය තරමක් සුවිශේෂ ගියකි. ගීයට පසුබිම වන්නේ යාපනේ තිරුනෙල්වේලි පිහිටි යාපනය විශ්ව විද්‍යාල පරිසරයයි. හැත්තෑව දශකය ආරම්භයේ දී මහාචාර්ය සුනිල් ආරියරත්න සූරීන් යාපනය විශ්වවිද්‍යාලයට යන්නේ එහි සිසුන්ට සිංහල විෂය ඉගැන්වීම සඳහා ය. ඔහු තිරුනෙල්වේලියේ තල් සෙවනක දුටු සඳ එළිය ගීයේ වස්තු විෂය වී ඇත. යුද්ධයේ හෝ ජාතිවාදී හැගිම්වල අඳුරු සෙවනැලි නො තිබූ ඒ යුගයේ නුහුරු නුපුරුදු පරිසරයක දකින සඳ එළියත්. අද දවසේ කරටි කැඩුණු තල් ගස්වලට ඉහළින් යාපෙනයේ දී රාත්‍රියක දකින සඳ එළියත් අතර විශාල පරතයක් ඇතිවී ඇති බව එක දවසක යාපනයේ රාත්‍රියක් ගත කර ඇත්නම් ඔබට ද දැනෙනු ඇත. නුහුරු නුපුරුදු නන්නාඳුනන පරිසරයක වෙසෙන මිනිසුන් අතර දැන හඳුනන එකම තැනැත්තා මේ රාත්‍රියේ තල් හෙවන යටින් ඇවිද එන සඳ එලිය පමණි.
ගීය තනුවෙන් හැඩ ගන්වන්නේ ආචාර්ය වික්ටර් රත්නායකයන් විසිනි. එදා යාපනය නගරයේ නිරන්තරයෙන් රැව් දුන් තවිල් සහ මෘදංග හඬ ගීය පුරා ම හඬවන්නේ ඊට පසු කාලයේ වෙඩි වැදීමෙන් තුවාල වූ ජාතිවාදයේ හිත් නිවා සනසන්නාක් මෙනි. ඊට පසු කාලයේ අබේ නිරංජලා යුවල ගැයූ "ඉසුරු දෙවිඳු උමයංගන" ගීයට උල්පත වන්නට ඇත්තේද මේ ගීයෙන් නැගුණ දෝංකාරය විය යුතුය. ගීතය තුළ අබේවර්ධන බාලසූරියගේ සිංහල ගී හඬ නිතැතින් ම මනසින් මා කැඳවා යන්නේ යාපනයේ සුන්දර රාත්‍රී ගණනක් ගෙවූ තල් සෙවනක් යටට ය. මෙ ගීය එදාට වඩා වැදගත් වන්නේ අදටය. මේ ගීයෙන් කියවෙන්නේ මීට වසර හතලිස් පහකට පමණ පෙර එනම් යුද්ධයක් නො තිබූ යුගයක දුටු අද දවස ගැනය. එහෙත් ඒ එදා දුටු මනරම් සඳ එළිය නොවේ. අද එහි ඇත්තේ වෙඩි වැදී කරටි කැඩී බඳී ගිය තල්ගස් මුදුනින් නැගෙන සඳ එළියේ විලාප දෙන ශෝකී ගී රාවයයි.
තල් ගස මුදුනේ හිනැහෙන සඳුනේ
මා වැලි කතරේ ඔබ උඩු ගුවනේ
නන්නාඳුනනා මිනිසුන් අතරේ
ඔබ පමණයි මා යන්තම් අඳුනන්නේ
ගම් පියසේ මට මිතුරන් හිටියත්
නුඹ විතරයි අද ආවේ තනියට
තල් කොලයේ හෙවනේ ඉඳ වාඩිවෙලා
මා දෙනෙතේ රැඳියන් සඳුනේ
උණුසුම් හසරැළි කොතැනද මා දුටු
නෑසිය පිරිවර කොතැනද මට සිටි
තල් කොලයේ හෙවනේ ඉඳ වාඩිවෙලා
මා දෙනෙතේ රැඳියන් සඳුනේ
ගේය පදමාලාව: මහාචාර්ය සුනිල් ආරියරත්න
අබේවර්ධන බාලසූරිය ගැයූ ගී අතර දේශාභිමානී ගීත, ප්‍රේම ගිත, විරහ ගිත, බුදුගුණ ගීත සේ ම සමාජ යථාර්ථය සහ සමාජය විනිවිද දකින ගී ගනනාවක් ම හමුවේ. ඒ අතර ඇතැම් ගීත රූප රචනාවලින් පිරිපුන් ඒවාය. එවන් ගී වලට යමෙකු රූප රචනාවක් හදනවා නම් එය හාසයයට මුසුවන කරුණකි.
' සැරසිලි ගොක්කොළ පෝරුව අයිනේ
පයට හැපී පුන් කලස බිඳීලා
පණිවුඩයක් ඇවිදින් මගුල් දා
දෙබරෙට ගැසුවා සේ.."
මේ එවැනි ගීයකි මේ ගීයට නැවත අමුතුවෙන් රූප රචනාවක් අවශ්‍ය නොවේ සමස්ත ගීතය ම රූප රචනා කාව්‍යයකි.
අබේවර්ධන බාලසූරිය ගැයූ " අනේ කුරුලු කූඩුවලට" ගීයත් හැත්තෑව දශකය ආරම්භයේ දීම බිහි වූ ගීයකි. මේ ගීයෙන් පසුව මෙවැනි සමාජ යථාර්ථය පිලිබිඹුවන ගීත රැසක් ම ගැයුණි. ඒ ගීතවලින් සමාජ යථාර්ථය සාකාච්ඡා කළත් ඒ නිර්මාණවලට පැවතීමක් නො තිබුණි. මෑතකදී ගුවන් විදුලි නාලිකා ඔස්සේ නිරන්තරයෙන් ප්‍රචාර වූ මතු දැක්වෙන ගීයේ මුල් පද ටික ගැන බලමු.
" මගේ කූඩුවට ඇවිත් සල්ලාල පෙම්බරෙක්
මගෙ පෙම්බරී සමග හාදව දුන්නු ගින්දරක්
මට දුන්නු ගින්දරක්"
මෙහි ගීත රචකයා , සංගීතඥයා, සහ ගායකයා මගේ මතකයට නො නැගුණත් පසු ගිය වසර දෙක තුළ මේ ගීය නිරන්තරයෙන් විද්‍යුත් නාලිකා ඔස්සේ ප්‍රචාරය විය. ඒ වගේම මේ වන විට ඒ ගීය දැන් සියලු දෙනාගේ මතකයෙන් බැහැරව ඇත්තේ හුළං ගිය බැලුමක් මෙනි. අද එහි කිසිඳු වටිනාකමක් අද නැත. එහෙත් අබේවර්ධන බාලසූරිය ගැයූ මතු දැක්වෙන ගීයෙන් කියවෙන්නෙත් ඉහත කී අරුතමය. එහෙත් ඒ ගීයේ සදාකාලික බව රැඳී ඇත. එනමුදු මේ ගිත දෙක අතර පරස්පරය අහසට පොළොව සේ ය. මේ දැක්වෙන්නේ අබේ ගැයූ ඒ ගීය යි.
අනේ කුරුලු
කූඩුවලට
කූඩුවලට
ගහන්නෙපා කැට කැබිලිති
දුකින් හැදූ කුරුලු කූඩුවේ
අපි ඉන්නම් අපේ පාඩුවේ
අනුන් හැදූ කූඩු කඩා
පවු පුරවා ගන්න එපා
දීග ගෙනා කුරුල්ලෙකුගෙ
හිත කළඹාලන්න එපා.
කුරුලු රජෙක් සොයාගන්න
ඉගිලී යන රෑන මැදින්
වෙනින් ගෙයක් හදා ගන්න
සවිමත් අතු ඉති අතරින්
ගේය පදමාලාව: මහාචාර්ය සුනිල් ආරියරත්න
ඒ අයුරින් සිංහල සංගීතය ගීතයෙන් සැරසිලි කල අබේවර්ධන බාලසූරිය ගීයේ මතු යහපත වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටි ගායන ශිල්පියෙකි. ඔහු අප කිසිවකු නො පැතූ නො සිතූ මොහොතක සිය ජීවිතයෙන් සමුගෙන තිබේ.. ඒ සමුගැනීම නිරංජලා සරෝජිනී ප්‍රවීන ගායනවේදිනියට මෙන් ම ඔහුගේ ගීවලට ඇලුම් කළ රසිකයන්ටත් තරමක වේදනාවකි. ඒ ඔහු ගැයූ ගීයේ මිහිරි ම ගී ස්වරය වගේ ම නො කල්හි සමුගැනිම ද වේදනාවක් ගෙන දුන් බැවිනි.
2008 වර්ෂයේ අප්‍රේල් මාසයේ පළමු සතියේ එක්තරා දිනෙක අබේගේත්, නිරංජලා සරෝජිනී ගායන වේදිනියගේත් සුපුරුදු අත්සන සහ සමරු සටහනක් තබා "රන් දිවයින" ගිත ඇල්බමය ඒ නිවසේදී මා අත තැබූ මොහොත මට දැනුදු සිහිපත්වේ. ඒ අබේ ජීවත්ව සිටියදී නිෂ්පාදනය කළ අවසන් ගී එකතුව වනු ඇතැයි කිසි විටකත් මට නො සිතුනි.. එහෙත් කාලය ඊට හරස් විය.
ඉන් මාස කීපයක් ගත වූ තැන ප්‍රවීන ගායනවේදී අබේවර්ධන බාලසූරිය කිසියම් වූ ස්නායු ආබාධයකට ලක් විය. කෙමෙන් කෙමෙන් ඔහුගේ මියුරුතම ගී හඬ කාලය විසින් සොරකම් කර ගත්තේය. අවසානයේ දී කිසිඳු වචනයක් මුවින් පිට නො වන අයුරින් ඔහුගේ හඬ දෛවය විසින් සොරකම් කරගෙන ගෙන ගොස් තිබුණි.
ගායන ශිල්පියෙකුගේ හෝ ශිල්පිණියකගේ වටිනාම රුවන් මුවා ආභරණය වන්නේ ඔහුගේ හෝ ඇයගේ හඬයි. ඒ රුවන්මුවා හඬ අහිමි වීම කිසියම් වූ ගායන ශිල්පියෙකු හෝ ශිල්පිණියක කෙසේ නම් දරාගන්නේ ද කියා මට සිතා ගත නො හැක. මන්ද ඕනෑම ගායන ශිල්පියෙකු, ශිල්පිණියක තම හඬට මහත් සේ ආදරය කරන හෙයිනි. එහෙයින් ම අබේගේ හඬ නැතිවී යාම ඔහුට මහත් සේ වේදනාවක් ගෙන දෙන කාරණයක් වූවා විය හැකිය.
කිසිවෙකු හෝ සදාකාලිකව ම මෙලොව ජීවත්විමට පතා පැමිණ නැත. ජීවිතයේ යම් දවසක ඒ ජීවිතයට විරාමය තබා නික්ම යා යුතුය. සොබාදහම දායාද කොට ඇති ඒ අවලංගු කල නො හැකි, කල් දැමිය නො හැකි, උරුමය රැගෙන අබේවර්ධන බාලසූරිය ප්‍රවීන ගායනවේදියානන් මීට වසර දෙකකට පෙර එනම් 2010 මාර්තු මස 27 වන දින සිය ජීවන මංපෙතෙහි හතලිස් පස් වසරක කාලයක් ගැයූ ගී පමණක් අප මතකයෙහි ඉතිරි කර තබා ගීයෙන් ද, සංගීතයෙන් ද, ජීවිතයෙන් ද, සමුගත්තේ ය.
ඔහු මියයන්නට පෙර ඔහු තුළ තිබූ බලාපොරොත්තු කීපයක් "රන් දිවයින" ගී ඇල්බමය මා අත තබන මොහොතේ මා සමග කීවේය. ඒ ප්‍රේමකීර්ති ද අල්විස් අබේ නිරංජලා යුවලට ලියූ ගී එක් රැස් කර ගීත ඇල්බමයක් එළිදක්වා ඔහුට උපහාර පිණිස ගී ප්‍රසංගයක් පැවැත්වීමත්, "රන්දිවයින" දේශාභිමානී ගීත ඇල්බමය මෙරට සංගීත රසිකයන් වෙනුවෙන් එළි දැක්වීමත්, මව්පිය උපහාර පිණිස අබේ නිරංජලා යුවල ගැයූ ගී සහිත ඇල්බමයක් එළිදැක්වීමත් ඔහු තුළ තිබුණි. ඒ කිසිඳු බලාපොරොත්තුවක් ඉටු කර ගැනීමට ප්‍රථමයෙන් වේගයෙන් හඹා ආ මරණය ඔහු කැඳවාගෙන ගියේය. ඒ ඉටු නොවුණු බලාපොරොත්තු අතර තිබූ ප්‍රේමකීර්ති ද අල්විස් උපහාර උළෙලක් "තුන්පත් රෑන" නමින් අබේවර්ධන බාලසූරිය ගායන ශිල්පියානන්ගේ පළමු ගුණ සමරුව යෙදුන පසුගිය වසරේ ප්‍රවීන ගායනවේදිනී නිරංජලා සරොජිනී මහත්මිය විසින් එළි දැක් වූවා ය.
මේ සටහන අවසන් කිරිමට තෝරා ගත් ගීය ඔහු පිළිබඳව ගැයෙන ඔහුගේ ම ගීයයි. මේ ගීය අබේවර්ධන බාලසූරියට පමණක් නො ව අප සියළු දෙනාට ම පොදු ගීයකි. යමෙක් ඉපදුණු පසු මිය යා යුත්තේ ඔහු හෝ ඇය සදාකාලිකව ම සුවඳ විහිද වූ කුසුමක් ලෙසටය.
ගෙවුණු හතළිස් පස් වසරක කාලයේ ඔහුගේ නිර්මාණ නිසි අගැයුමකට හෝ විමසුමකට භාජනය වී නැත. ඒ සංගිත චාරිකාව තුළ කිසිඳු දිනයක මෙරට ප්‍රේක්ෂකයන් හමුවේ ඔහුගේ ගී ප්‍රසංගයක් හෝ ගී නිර්මාණ එළිදැක්වීමක් කර නො තිබුණි. අබේවර්ධන බාලසූරිය ගැයූ සිය ගණනක් ගීත අතරින් නිතර නෑසෙන ගී කිහිපයක් ඔස්සේ ඔහු පිළිබඳවත්, ඔහුගේ ගීත පිළිබඳවත්, සමාජ, දේශපාලනික සහ සමකාලීන නිර්මාණ ඔස්සේ ඒ ගී මඟ පිළිබඳව විමසමින් එවන් වූ සොඳුරුතම මිනිසකු පිලිබදව මම මාසයක් පුරා මට දැනෙන හැඟෙන අයුරින් ඔබට ඔහුව හඳුන්වා දීමට උත්සාහ කළෙමි. ඒ මගේ අතිශය ගෞරවාදරයට පත්වූ අබේවර්ධන බාලසූරිය නම් වූ ප්‍රවීන ගායනවේදියානන් පිළිබඳව කොටස් පහකින් යුතුව තැබූ මේ සටහන අද දින මා අවසන් කරන්නේ ඔහු පිළිබදව මා ලියූ "කල්පනා ලොව මල් වනේ මිලින වූ ගී කුසුම" නමින් ලියූ පළමු සටහනේ පළමු ඡේදය නැවත ඔහු වෙනුවෙන් ම උපුටා දක්වමිනි.
"රාත්‍රිය නිශ්චල ය, සුන්දර ය. ගනඳුර කපා අහස් තලයෙහි පිපුණු පුර හඳ ඔබේ ගෙමිදුල ද, මගේ ගෙමිදුල ද, සරසා මේ බිමෙහි සීමා මායිම් නො තකා විශ්වයේ ඉම සොයා ඇදී යයි. ඒ අහස් තලයේ ම පිපී හිහැහෙන තාරකා දීප්තිමත් ව, කාන්තියෙන් කඩා හැලෙයි. මුළු රැයම සුන්දරත්වයන් පිරී ඇති නිසා ඒ තරු එළි නිවි නිවී දැල්වෙයි. ඒ ඇතැම් තරුවක් නිවී ගොස් ඇත්තේ වසර මිලියන ගණනකට පෙර ය. දැල්වෙන තවත් තරුවක් වසර සිය ගණනකට පෙර මිලින වූවකි. එහෙත් ඒ නිවුණු තරුවක, තරු එළිය බිඳකුදු නො නැවතී තවමත් මේ පොළෝ තලය සිප ගනී. එය තවත් සියවස් ගණනාවක් මේ බිමට එළිය ගෙනෙනු ඇත.
මේ අබේවර්ධන බාලසූරිය නම් වූ , සුවහසක් සවන්පත් සනසාලූ, මිහිරි ස්වරයෙන් හදට ළංව ගී ගැයූ ගායන ශිල්පියා ය. ඔහු වචනයේ පරිසමාප්ත අරුතින් සොඳුරු ගායන ශිල්පියෙකි. මා ඉහත සඳහන කළේ ඒ සොඳුරුතම ගායන ශිල්පියා වෙනුවෙනි. අබේවර්ධන බාලසූරිය සිංහල සුභාවිත ගීතයේ ඉම් පෙදෙස් සැරසූ රස උල්පතකි. ඔහුගේ ගීත හිරු සේ දීප්තිමත් ය. සඳ එළිය සේ ම හදවත නිවා සනසයි. විටෙක තරුවක් සේ ම බබලයි. සැබැවින් ම අබේ ද තරුවකි. සාමාන්‍ය තරුවක් නොව හැත්තෑව දශකයේ සිංහල ගී කෙත ගීයෙන් බැබල වූ සුපිරි තරුවකි." ඒ තරුව සදාකල්හිම රසික හද ගැබ නො නිදා හිඳී.෴
අවසන් හුස්ම පොද නොබියව හෙළන්නට
සිවු රියනේ හිත සතුටින් නිදන්නට
මිනිසකු විලස ඉපදුණු පල දකින්නට
පුළුවනි මරණ මංචකයේ වුවද මට
දහදිය දිය උනේ නෑ මාලිගා වල
කඳුළැලි වැටුනෙ නෑ නිවටුන් දෙපා මුල
ගත හැඩි දැඩි උනේ ළඳුවල කැලෑ වල
කරගැට මතු උණේ නගුලට උදැල්ලට
මහ කෙත් රණ බිමට වැද ගෙන උදලු කෙටී
මේ රළු පොළොව ජය ලැබුවෙමි වැතිර වැටී
ඒ ජය මට නොවෙයි නුඹටයි ඉපිද නැතී
අද මා මළත් හෙට මා උන් සුවඳ ඇතී
ගේය පදමාලාව: මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව සහ සංගීතය: ආචාර්ය වික්ටර් රත්නායක
ඔබ ලියා තබන විවේචන සහ අදහස් මට වැදගත් අදට නො ව හෙට දවසටයි
ආශ්‍රිත ග්‍රන්ථ:
ප්‍රවීන ගායන ශිල්පී අබේවර්ධන බාලසූරිය මහතාගේ ගී මංපෙත විමසා බැලීමේදී එම ගීත සහ ඒවා නිර්මාණය වූ අවදිය තහවුරු කරගැනීමටත්, ගීත පිළිබඳ දත්ත සහ තොරතුරු ලබාගැනීමටත් පහත සඳහන් කෘති සහ මූලාශ්‍ර උපයෝගී විය.
01. වික්ටර් රත්නායක නිර්මාණ විමර්ශණ - සංස්කරණය සුනිල් ආර්. ගමගේ (1993)
02. වික්ටර් රත්නායක " ගී සියයක්" - සංස්කරණය ගීතනාත් කුඩලිගම (1997)
03. වික්ටර් රත්නායක "මාරුතයේ මියුරු සර" - සංස්කරණය ගීතනාත් කුඩලිගම
(2003)
(2003)
04. සිංහල සංගීතයේ වික්ටර් රත්නායක "සුලකල් මියුරු ගැයුම්" -
- යාපා බණ්ඩාර සෙනෙවිරත්න (2007)
05. මහගම සේකර ගී - මහගම සේකර (1976)
06. අරුන්දතී - මහාචාර්ය සුනිල් ආරියරත්න (1975)
07. ළා හිරු දහසක් - මහාචාර්ය සුනිල් ආරියරත්න (1978)
08. තනි යහනේදී - මහාචාර්ය සුනිල් ආරියරත්න (1981)
විශේෂ ස්තූතිය:
- ප්‍රවීන ගායන ශිල්පිණී නිරංජලා සරෝජිනී මහත්මියට
- අස්වැන්න කියවා සටහනක් තබා ගිය ඔබට
- කිය වූ ඔබ සැමට
ඔබ ලියා තබන ඔබේ අදහස් මට වැදගත් අදට නො ව හෙට දවසටයි