එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Thursday, 15 March 2012

෴ ගංගා, නෑ නේද ඉතිං යළි අහක බලං යන්නේ...? ෴

(අබේවර්ධන බාලසුරිය පිළිබඳ මතයේ දෙවන දිග හැරුම)
මහාචාර්ය සුනිල් ආරියරත්න, ආචාර්ය වික්ටර් රත්නායක සහ අබේවර්ධන බාලසුරිය සුසංයෝගයෙන් බිහි වුණ ගී..

අබේවර්ධන බාලසූරිය ගැයූ ගී අතරින් වැඩි ම ගීත සංඛ්‍යාවක් ලියා ඇත්තේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසිනි. එම ගීත ප්‍රමාණය ප්‍රමාණාත්මක ව අසූව ඉක්මවයි. එසේම අබේ ගැයූ ගීතවලින් වැඩි ම ගී ප්‍රමාණයක් සඳහා තනු නිර්මාණය සහ සංගීත නිර්මාණය කර ඇත්තේ  ආචාර්ය වික්ටර් රත්නායකයන් විසිනි.

මෙහිදී මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ලියා වික්ටර් රත්නායකයන් තනු හැදූ ගී කිහිපයක් ඇසුරින්  අබේ පිළිබඳ මතකයේ  දෙවන දිග හැරුම අවදි කරමි. සුනිල් ආරියරත්නයන් ලියා වික්ටර් සංගිතවත් කර අබේ ගැයූ එම සුසංයෝගයේ මුල් ම ගීතය ලෙසින් බිහිවන්නේ "පියාණෙනී මා නැවත උපන්නොත් අපාර වූ මේ සංසාරේ" ගීය යි. එය එදා මෙදා  තුර දශක හතරකට වැඩි කාලයක් පුරා සිත් ඇද බැඳගත් ගීයක් වන අතර ම පිය ගුණ වරුණ පිළිබඳ ව ගැයුණු පසුකාලින ගීත කිසිවකටත් අබේගේ ගීය අභිබවා යාමට නො හැකි විය.
                                                                                                         
මීට අමතරව, සුනිල්, වික්ටර්, සහ  අබේ  සුසංයෝගයෙන් හැදුණු  ගංගා එන්නකෝ ගංගා, අනේ කුරුලු කූඩුවලට, කඳු රැල්ලෙන් එහා ගමට, ගී සියයක්, ඔබෙන් තොර ලෝකයක්,  කවුද ආවේ,  වැලිබත් ඉවුවා, මරු කතරේ, තල් ගහ මුදුනේ, කාන්තාර හද මඩලට, ඔබෙ අත දෙන්නැයි, තොටිල්ලෙ ලී වැටෙන් එහා, සහ අනුරාධපුරය ඔබයි ආදී  සදාතනික මතකයේ රැව් දුන් ගී රැසක් ඒ අතර තිබේ. 

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ගේය පද මාලාවලට ආචාර්ය වික්ටර් රත්නායකයන් ගේ නො සි‍ඳෙන ගී තනු උල්පත්වලින්  උපන් ගී තනු ද,   සිහිල් දිය දහරාවක්  බඳු අබේ හඬ ද, ගීත ගී රසික හදවත් හි ප්‍රාණය ලබන්නේ එ පරිද්දෙනි.

අබේ නිරංජලා යුවල සිය නිර්මාණාත්මක ජීවිතයේදී මෙ රට කැසට් සහ ගී තැටි සමාගම් වලට  ගී ගැයූ කැසට් සහ සංගත තැටිවලට අමතරව තමන්ගේ ගී මතු පරපුරට දායාද කිරීම වස් ඔවුන් දෙදෙන විසින් පෞද්ගලිකව ම නිෂ්පාදනය කළ ගීත ඇල්බම් (CD) සංඛ්‍යාව 12 කි. එම සියළුම ගිත ඇල්බම් නම් කර තිබුණේ අබේ නිරංජලා විශිෂ්ඨ ගී 1,2,3, ආදී වශයෙනි.

මේ සියළු ගීත ඇල්බම් ව්‍යාපාරික අරමුණින් යුතුව වෙළඳපොලට නිකුත් නො කළ  නිසා ඒ ගීත ඇල්බම් මෙරට අබේ නෙරංජලාගේ ගීත රසිකයන්ට විඳීමේ වාසනාව අහිමි  වී ඇත. මේ ගිත ඇල්බම් 12 ට අතුළත් කර ඇති සියළුම ගීත සැබෑ සුභාවිත ගීයේ රස වෑහෙන අයුරින් නිර්මාණය කර තිබීම ද විශේෂත්වයකි.

කෙසේ වුවද, මෙම සංගත තැටි 12 මෙරට කැසට් සහ සංගත තැටි වෙළඳපොල සංස්කෘතිය තුළ සිදුවන විවිධ ජාවාරම් සහ ව්‍යාජ  ලෙස ගී තැටි පිටපත් කිරිම හේතුවෙන් ලංකාවෙ ශ්‍රාවකයන්ට ඒ අවස්ථාව අහිමි වි තිබීම ද කණගාටුවට කරුණකි. 

ලංකාවෙ ගිත රසිකයන්ට ඒ අවස්ථාව අහිමි වුවද, අබේ නිරංජලාගේ  රසිකයන් ලෙස ඔවුන් වට සිටියා වූ රසික සහෘද පිරිසට නම් එම ගීත විඳීමේ අවස්ථාව ලැබුණි. ඔවුන් දෙදනාගේ රසිකයන් අතර සිටි මටද  මේ සංයුක්ත තැටි අතරින් කීපයක් අබේ නිරංජලා යුවලගෙන් අතින් ම ලැබුණි. එය මේ ලිපි මාලාව ලිවීමේ දී ගිත තෝරා ගැනිමට මහත් අස්වැසිල්ලක් වූ බව නම් කිව යුතුම ය.

අබේ ජීවත්ව සිටිය දී අවසන් වරට ඔවුන් දෙදනා විසින් පෞද්ගලිකව ම නිකුත් කළ අවසන් ගීත ඇල්බමය වූයේ "අබේ නිරංජලා විශිෂ්ඨ ගී අංක 12" ගිත ඇල්බමය යි. මෙය නම් කර තිබුණේ  " රන් දිවයින" නමිනි. එය 2008 වර්ෂයේ 60 වන නිදහස් සංවත්සර  සැමරුම වෙනුවෙන් ගෙවුණු දශක හතරකට වැඩි කාලක් පුරා  අබේ නිරංජලා යුවල ගැයූ විශිෂ්ඨ දේශාභිමානී ගිත එකතුවකි. ගෙවුණු දශක හතර තුළ ඔවුන් දෙදෙන ගැයු දේශාභිමානී ගිත අතරින් ගිත 16 ක් තෝරාගෙන ඒ ගී ඇල්බමය ඔස්සේ සිය මාතෘ භූමිය වෙනුවෙන් ප්‍රණාමය දැක් වූයේ මෙසේ ය.

දෙස බස රැසට එරෙහිව රට දසනු දිසා
කළු සුද්දන් ගැතිව පවසන තෙපුල අසා
කකියයි රුහිරු රුපු සේනා තෙදණ නසා
නිවහල් ගඟ ගලයි  අද මුළු රටම වසා

පරයින් බසට ගැති හෙළයන් පිටු දකිනූ
පරයින් පා සිඹින වහලුන් දුරු කරනූ
පරයින් මිතුරු කැල සතුරන් ලෙස සිතනූ
පරයින් නසන නිදහස් පිළිරැව් නගනූ


පරගැති කුමරුවෝ හිනැහෙති සඳළු තලේ
පරගැති නැති පුතුන් පසුවෙද පිදුරු පැලේ
උන් ආ දිනෙක බිඳ අදිරද සතුරු බලේ
මේ ලක් පොළොව නිවහල් මල්  පොකුරු දිලේ

ගේය පදමාලාව: මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව සහ සංගීතය: ආචාර්ය වික්ටර් රත්නායක
                                                                            
අප සියළු දෙනාගේ ම පරම වූ උතුම් මේ මව් බිම මේ “රන් දිවයින” පිලිබඳව රචනා කොට ගැයූ මේ ගීතාවලිය අබේ නිරංජලා විසින් ලක් ‍මවුන්ට දැක් වූ ශීර්ෂ ප්‍රණාමය යි. මේ ගීතාවලිය අද දවසේ අපට වැදගත් වන‍්නේ දශක තුනක කාලයක් පුරා මෙරට  පැවැති යුද්ධය හමාර වී එහි ශේෂ වූ සුන්බුන් අතර මේ ගිතාවලිය ද හැත්තෑව දශකයේ සදාතනික ගී මිහිර බෙදා දුන් දේශාභිමානී ගිත ලෙස  ශේෂ වී තිබීම යි.  හුදෙක් ම ‍ අබේ නිරංජලා ගැයූ මෙම ගිතාවලිය යුද්ධයේ පටු අරමුණු වෙනුවෙන් ගැයුණු ගීතාවලියක් නො වේ. මේ සියළු ගිත මෙරට යුද්ධයක් ඇති වීමට පෙර නිර්මාණය වූ ගීත  ලෙස ඉදුරාම පිළිගත හැකිය. එ හෙයින් මේ සියළු ගීත යුද්ධයේ අවශේෂ කොන්ත්‍රාත් කලාකරුවන් අතින් ඉටුකර ගැනිමක් හෝ සිවිල් වැසියන්ගේ චින්තනය යුද්ධය දෙසට තල්ලු කර පටු වාසි ලබා ගැනීමක් ද,  එම ගිත ඇල්බමය  නිෂ්පාදනය කිරීමේ දී  අබේ නිරංජලා යුවල තුළ නොවී ය. 

මේ ගිත එකතුවේ ගිත අතර , අබේ ගැයූ ගංගා, ඔබට හෙටක්, තොටිල්ලෙ ලී වැටෙන්, මගෙ රට සුවඳ කුසුම,  මං නැති දා,  අනුරාධපුරය ඔබයි, අදී ගිත මෙන් ම නිරංජලා ගැයූ සුදු වැලි මතු පිට, ඔබෙත් මවයි ඇය, අනුරාධපුරේ, සූරිය රජ දහන, ආදී ගිත සේ ම යුග ගීත ද මෙම ගිතාවලියට ඇතුලත් ව තිබේ.

අනුරාධපුරය ඔබයි - සිරිසර
දෙදහස් වසරක් ඈත අතීතයේ

වල් බිහි වන්නට නාරිනු මැන
කෙත් යාය නිල දිලෙනා
සිඳ බිඳ ලන්නට නාරිනු මැන
තුඟු වාපි රැළි නැ‍ඟෙනා

යට ගිය ඉසුරයි අහස සිඹින
මහ ථුප මන බඳනා
පොපියන දෙනෙතයි හෙට දවසක
මිණි පාන නෙත ගැටෙනා

ගේය පදමාලාව: මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව සහ සංගීතය: ආචාර්ය වික්ටර් රත්නායක

අනුරාධපුරය ඔබයිගීය මෙතනින් අහන්න, ගන්න

එකිනෙකට වෙනස් ආකෘතීන් තුළ පිහිටා දශක හතරකට වැඩි කාලයක් රසික හදවත් තුළ රැවි දුන්  මේ ගිතාවලිය මෙරට ගායක ගායිකා යුවලක් සිය ජන්ම භූමිය කෙරෙහි දැක් වූ පළමු පූජෝපහාරය වන්නා සේ ම,  අව්‍යාජ වූ දේශාභිමානයක් රැඳ වූ ගිත එකතුවක් සේ හැදින්වීම ද නිවැරදි ය. එය “රන් දිවයින” පිළිබදව ගේය පද රචකයන්ගේ මනස තුළ තැන්පත් ව තිබූ,  ගි තනු රචකයක්ගේ හදවත් හි නින්නාද දුන් මෙන් ම අබේ නෙරංජලා යුවලගේ හදවත්වල උපන් නිර්ව්‍යාජත්වයේ දේශයට දැක් වූ අදාරය  ගීයට මුසු කළ අවස්ථාව යි. ඒ සදහා අබේ නෙරංජලා යුවල සිය හදවතින් ම කැප වී මේ “රන් දිවයින” පිලිබද ව ප්‍රණාමය දැක්වීම අගය කළ යුතු ම ය.

උතුරේ දරුවන් මෙන් ම, දකුණේ දරුවන් ද කුළ ගෝත්‍ර මායිම් නො තකා ආදරයෙන් ජීවත් වන්නට, හදවතින් ම සිප වැළඳ ගන්නට මේ “රන් දිවයින”  පමණක් අපට ඉතිරි වී ඇති බව අතිශය රමණීය ලෙසත්, මධුර ලෙසත්, අබේ නෙරංජලා යුවල අපට මේ ගී එකතුව මඟින්  කියා දෙයි.

මේ ගී ඇල්බමයේ ඇතුළත් “ ගංගා එන්නකෝ ගංගා”  ඔබේත් මගේ මතකයේ සදා රැව් දුන් ගීයකි. ඔබ මේ ගීය මෙතෙක් කල් රස වින්දේ මේ ගීයෙන් කියැවෙන කුමන අරුතක් පිළිබද ව සිත තුළ රඳවාගෙන ද ? එක් පැත්තකින් මෙය ප්‍රේම ගීයක් ලෙස යමෙකුට අදහසක් තිබිය හැකි ය. අනෙක් අතට තවත් කෙනෙකුට මේ ගීය දේශාභිමානී ගීයක් ලෙස හැඳින්වීමට ගිතයේ පසුබිම දන්නා අයෙක් නම් එසේ කළ හැකි ය. මෙය නම් ඉතා අපුර්වත්වයෙන් ලියැවුණ ගේය පද රචනාවක් ම වන්නේ ය. සැබැවින් ම මෙය දේශාභිමානී ගීයකි. එහි පසුබිම් කතාව මෙ බඳුය.

ඒ හැත්තෑව දශකයේ මැද භාගය යි. ඒ යුගයේ මහවැලිය රජරටට හැරවීම පිණිස එවකට තිබූ රජය දැවැන්ත ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළේ ය. එය සිහිගැන්වීම පිණිස එ කල  ගුවන් විදුලිය මගින් විශේෂ සංගිතමය වැඩසටහනක් නිෂ්පාදය කර ඇත. මෙම අවස්ථාව සිහි ගැන්වීම උදෙසා ගීත 06 ක් නිර්මාණය කර පැය භාගයක සංගිත වැඩසටහනක් සංවිධානය  කිරීම ආචාර්ය වික්ටර් රත්නායකයන්ට පැවරුණි. ඉන් එක් ගීයක් වූයේ අබේ ගැයූ මේ ගිතය යි. තනු නිර්මාණය කළ මොහොතේ මේ ගීය ගැයීමට නියමිත ව සිටියේ වික්ටර් රත්නායකයන් ය. කෙසේ වුව ද මෙ ගිය සහ එහි තනුව පිළිබඳව රස වැටුණු අබේ තමා ගායනා කිරීමට සූදානම් ව සිටි ගීය අතහැර වික්ටර් ගායනා කිරීමට නියමිත ව තිබූ මේ ගීය ගායනා කර ඇත. එවකට එම සංගිත වැඩසටහනේ නිර්මාණය වූ  ගීත අතරින් වික්ටර් ගැයූ ගීය ද ජනප්‍රිය වූ නමුත් ඊට සිය දහස් ගුණයකටත් වඩා අබේ ගැයූ මේ ගීය ජනප්‍රිය විය. එය එදා මෙන් ම අද ද එක සේ ජනප්‍රිය ගීයකි.

මා ‍ගංගා ගීය ගැන අසා තිබූ මෙ පුවත තහවුරු කර ගැනිම පිණිස මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් “වික්ටර් රත්නායක මාරුතයේ මියුරු සර” නම් වූ කෘතියට තැබූ සටහනක් හමු විය. එය මෙසේ උපුටා දක්වමි.

“..... මට මතකයි අබේවර්ධන බාලසූරිය ගායනා කරන “ගංගා එන්නකෝ ගංගා”  නම් මවිසින් රචනා කල ගීයට වික්ටර් තනුවක් නිර්මාණය කළ මොහොත.එදා අබේවර්ධන බාලසූරිය එතැන හිටියා. අබේ ඒ සිංදුව වික්ටර්ගෙන් ඉල්ලගත්තා නොවෙයි උදුරාගත්තා කීවොත් නිවැරදියි. අබේ එදා ඒ තරම්ම ඒ ගීතනුවෙන් උන්මාදයට පත් වුණා. තමන් සදහාම නිර්මාණය කර ගත් ගීත පවා වික්ටර් නිර්ලෝභීව අනෙකුත් ගායකයන්ට දුන් අවස්ථා එමටයි....”  

( උපුටා ගැනීම “වික්ටර් රත්නායක මාරුතයේ මියුරු සර” - සංස්කරණය ගීතනාත් කුඩලිගම - පිටුව 88 )

ගංගා එන්නකෝ ගංගා
මං බලාන ඉන්නේ
ඔබ එනතුරු ගංගා

දිරූ ඉපල් අත් දඬු ඔසවාගෙන
නිය‍ඟෙන් දා ගිය සිරුර වාරු කර
බලා සිටිද්දී මා
අහක බලාගෙන ගලා ගියා ඔබ
නෑ නේද ඉතිං යළි
අහක බලං යන්නේ

පිපිරුණු දෙතොලින් අහස බලාගෙන
දිය පොද රහිතව අකලට මහලුව
අඬා වැටෙද්දී මා
පේන ඉසව්වෙන් මූදු ගියා ඔබ
නෑ නේද ඉතිං යළි
අහක බලං යන්නේ

ගේය පදමාලාව: මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව සහ සංගීතය: ආචාර්ය වික්ටර් රත්නායක

ගංගා එන්නකෝ ගංගා ගීතය මෙතනින් අහන්න, ගන්න


ඒ ගීතයේ සැබෑ පසුබිම එසේ වුවද  එහි  පසුබිම දැන දැන ම මා  මේ ගීය රසවිඳින්නේ වියෝගයේ රස වෑහෙන ගියක් ලෙසට ය. මන්ද, මෙහි “ගංගා එන්නකෝ ගංගා” කියූ විට අජීවි වස්තුවක් වූ මහවැලි නදිය ද සජීවි බවක් ආරෝපණය වේ. එසේම “එන්නකෝ ගංගා”  යැයි කියූ විට එහි දයාබර වූ ආමන්ත්‍රණය ස්ත්‍රී ලිංග නාම පදයක් වූ “ගංගා” ට ආමන්ත්‍රණය කරන අයුරු හැ‍ඟේ. ගංගාට අසීමිත ලෙස ආදරය කර පරාජය වූ පෙම්වතා ඔහු තුළ ඇය පිළිබඳව හද මතු වන ආදරය විප්‍රලම්භ සෘංගාරයට මතු කර ගේය පද රචනාව වඩා හිඳුවයි. ගීතයේ තනුව සහ සංගිතය ඊට නො දෙවෙනි වන සේ  දේශාභිමාන ගීතයක, ගී තනුවකින්  බැහැර ව  සෘංගාර රසය ගෙන දෙන විරහ ගි තනුවට ළඟා වේ. එහි කූඨ ප්‍රාප්තිය වන්නේ අබේවර්ධන බාලසූරිය සතුව තිබූ  වියෝගය උතුරා යන ගායනය යි. ඒ මියුරුතම ගායනය මගේ  සවන් වැකෙන විට ගීය තුළ දිවෙන, ඒ  ආදරය ඉල්ලා හඬා වැටෙන  ප්‍රේමවන්තයා මම නො වේ දැයි දහස්වර මට නො සිතුනා නො වේ. මා නිවැරදි නම් එය   එසේ ම  ඔබට ද දැනෙනු ඇත.

එය එසේ වුවද, අබේ නෙරංජලාගේ මෙම “රන් දිවයින” ගී එකතුවේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් තබා ඇති මෙම සටහනෙන්  මෙම කොටස අවසන් කරමි.

“ අපේ රට තරම් සොඳුරු රටක් තවත් නැත. අපට පායන ඉර හඳ තරම් දීප්තිමත් ඉරක් හඳක් තවත් නැත. අඅහස තරම් නිල්වන් අහසක් නැත. අපේ පොළොව තරම් සරුසාර පොළොවක් නැත.අපේ නදී ඇල දොළ ගංගා තරම් සිසිල දෙන ජල සම්පතක්  නැත. මේ අපේ රත්තරන් රටයි. රන් දිවයිනයි.”

අබේ නිරංජලා ගී ගැයුවේ ඒ රන් දිවයින වෙනුවෙනි.

               ෴මතු සම්බන්ධයි ෴
 
ඔබේ අදහස්, විවේචන ලියන්න. ඔබ ලියන දේ සතුටින් පිළිගනිමි

14 comments:

  1. අබේවර්ධන බාලසූරිය ගායකයාගේ ගී බොහොමයක් මා අසා තිබුනේ නෑ..ස්තුතියි බෙදාගත්තට..

    ReplyDelete
    Replies
    1. රූ.....

      ඇත්තටම අබේ ගැයූ ගිත ජනප්‍රියයි. ඒත් මේවා ඊයේ පෙරේදා ගැයූ ගීත නොවේ. ඇතැම් ගී දශක හතරකටත් වඩා පැරණි ගීත. අවසානාවකට ඒවා අපේ මතකයෙන් මියැදිලා.

      ස්තුතියි ඔබගේ සටහනට

      Delete
  2. අබේවර්දන බාලසූරිය අහන්න පටන් ගත්තේ පහුගිය අස්වැන්න ලිපියෙන් පස්සේ!
    මගේ ගීත ගොන්නට තව ගීත ටිකක් එකතු උණා!:)
    ස්තුතියි දයානන්ද අය්යා!

    ReplyDelete
    Replies
    1. නුවන් ට,

      නුවන් සමහර වෙලාවට පැරණි දෙයක් වුණත් අලුතෙන් කීවාම ඒ ඔස්සේ අපේ හිත් ඇදෙනවා. ඊට පස්සේ ඉවෙන් ඒ මියුරු රසය සොයා යනවා. ඒ මගෙත් හැටි එහෙමයි. මෙහි තවත් ‍කොටස් තුනක් තියනවා ඒවත් කියවන්න එන්න.

      ස්තුතියි ඔබේ සටහනට

      Delete
  3. රන් දිවයින ගැන අන්තිමට ලියල තිබුන ටික දැක්කම නම් කියා ගන්න අමාරු අමුතුම හැඟීමක් දැනෙනවා...ඒ වචන ටික හරි ලස්සනයි. "ගංගා" සින්දුවනම් අදමයි ඇහුවේ. ඉස්සර මම ඇහුවා "එම්බා ගංගා නවතිනු..." ගීතය. ඒකත් මහවැලිය ට ලියපු ගීතයක් නේද..

    ReplyDelete
    Replies
    1. සයුරී..ට

      අබේ නිරංජලාගේ"රන් දිවයින" ගී ඇල්බමයේ සුනිල් ආරියරත්නයන් ලියා ඇති ඒ සටහන මගේත් හිතේ රැඳුනා.ඒකයි ලියා තැබුවේ.

      එම්බා ගංගා ගියත් මහවැලි ගීයක් ඒන අබේගේ ගියට පෙර කාලයේ බිහි වූවක්.

      හැමදාමත්ම වගේම ස්තුතියි ඔබේ සටහනට

      Delete
  4. ඉතුරු ටිකත් ලියන්න.. මට ඉතින් මේවාට අලුතින් කියන්න දෙයක් නෑ හොඳයි කියනවා මිසක්..

    ReplyDelete
    Replies
    1. හරී..

      හැමදාමත්ම වගේම ස්තුතියි ඔබේ සටහනට, තවත් කෙටස් තුනක් තියනවාඉදිරියට

      Delete
  5. අබේවර්ධන බාලසූරියගෙ ගීත අතරින් මම ආසම "ඔබෙන් තොර ලෝකයක්". තනුව,සංගීතය, වචන ඔක්කොම එකතු වෙලා හිත හැඩුමබර කරවනවා.

    ReplyDelete
    Replies
    1. නිසූපා..

      සමහර ගිත නිරන්තරයෙන් ඇසෙන නිසා ඒ ගැන ලියන්න දේවල් තිබුණත් ඇතුල් කලේ නැහැ. ටිකක් මතකයෙන් බැහැර වූ ගිත මගින් යටගිය මතකය අලුත් කළා.

      ස්තුතියි ඔබටත්, ඔබේ වටිනා කාලයෙන් බිඳක් වෙන්කර සටහනක් තබා ගියාට

      Delete
  6. අබේවර්ධන බාලසූරිය බොහෝ ගීත ගයා තියෙන්නේ මම පුංචි කාලේ හෝ මා ඉපදීමටත් කලින් වෙන්න ඇති.. මේ බොහෝ ගීත මම කවදාවත් අහලාම නෑ...

    ReplyDelete
    Replies
    1. ශානිට

      ඇත්තෙන්ම එසේ විය යුතුයි. මොකද මේ සියළුම ගීවල වයස සමහර ඒවා අවුරුදු 35 - 40 ක් වැඩියි. හැබැයි ඒ ගි තවම තරුණයි. ඒතුළ ඇත්තේ සද‍ාකාලික තාරුණ්‍යයක්. ඒ නිසයි මේවා සදාකාලිකවම එකවගේ අහන්න පුළුවන්වෙලා තියෙන්නේ. තවත් යුග ගනනාවක් ඒ විදියට අහන්න පුලුවන් වේවි.

      ස්තුතියි ඔබටත්, ඔබේ වටිනා කාලයෙන් බිඳක් වෙන්කර සටහනක් තබා ගියාට

      Delete
  7. මමත් මේ ගීත මීට කලින් අහල තිබුනෙ නැහැ..ඇත්තටම මේ ගංගා ගීතය නම් හරිම ලස්සනයි..දැනෙනෙවා..ඒ වගේම වික්ටර් රත්නායක මහත්තයා ඔහුත් ගායකයෙක් වෙලා මේ ලස්ස්න ගීතය අබේට දෙන්න තරම් එතුමා කොයි තරම් නිහතමානි පුද්ගලයෙක්ද..
    සුනිල් ආරියරත්න මහත්තය ලියන හැම ගීතයක්ම සුපිරියි..ඒ ගැන නම් ඉතින් කියන්න දෙයක් නැහැ..

    ReplyDelete
    Replies
    1. සිත් රූ සිහින

      මට පුදුමත් හිතෙනවා අබේගේ ගී මාධ්‍යතුලින් අහුනෙම නැද්ද කියලා. හොඳ දේ පසුපසු හඹා යාමේ පුරුද්දක් මට තියෙන නිසා මටනම් මේ සියළු ගී ගී අහන්න ගත්ත කාලේ ඉඳලම කටපාඩම්.
      වික්ටර් තමාටම හදාගත් ගී තනු වගේම අන් අයට හැදූ ගී තනුත් මනරම්. ඒ වගේම ඒ තරම් හොද තනු අන් අයට දෙන්නත් සැබැවින්ම නිහතමානී සංගීතවේදියෙක් කියලා මටත් හිතෙනවා.

      ඔබේ වටිනා කාලයෙන් බිඳක් වෙන්කර සටහනක් තබා ගියාට ස්තුතියි ඔබටත්,

      Delete

Related Posts Plugin for WordPress, Blogger...