(පළමු දිග හැරුම)
රාත්‍රිය නිශ්චලය, සුන්දරය. ගනඳුර කපා අහස් තලයෙහි පිපුණු පුර හඳ ඔබේ ගෙමිදුල ද, මගේ ගෙමිදුල ද, සරසා මේ බිමෙහි සීමා මායිම් නො තකා විශ්වයේ ඉම සොයා ඇදී යයි. ඒ අහස් තලයේ ම පිපී හිහැහෙන තාරකා දීප්තිමත් ව, කාන්තියෙන් කඩා හැලෙයි. මුළු රැයම සුන්දරත්වයන් පිරී ඇති නිසා ඒ තරු එළි නිවි නිවී දැල්වෙයි. ඒ ඇතැම් තරුවක් නිවී ගොස් ඇත්තේ වසර මිලියන ගණනකට පෙර ය. දැල්වෙන තවත් තරුවක් වසර සිය ගණනකට පෙර මිලින වූවකි. එහෙත් ඒ නිවුණු තරුවක, තරු එළිය බිඳකුදු නො නැවතී තවමත් මේ පොළෝ තලය සිප ගනී. එය තවත් සියවස් ගණනාවක් මේ බිමට එළිය ගෙනෙනු ඇත.
මේ අබේවර්ධන බාලසූරිය නම් වූ , සුවහසක් සවන් පත් සනසාලූ, මිහිරි ස්වරයෙන් හදට ළංව ගී ගැයූ ගායන ශිල්පියා ය. ඒ තරුව ද අහස් ගැබෙහි පායා ගී ලොව එලිය කර අහස් කුසින් බැස ගොස් ය. සැබැවින් ම ඔහු වචනයේ පරිසමාප්ත අරුතින් සොඳුරු ගායන ශිල්පියෙකි. මා ඉහත සඳහන කළේ ඒ සොඳුරුතම ගායන ශිල්පියා වෙනුවෙනි. අබේවර්ධන බාලසූරිය සිංහල සුභාවිත ගීතයේ ඉම් පෙදෙස් සැරසූ රස උල්පතකි. ඔහුගේ ගීත හිරු සේ දීප්තිමත් ය. සඳ එළිය සේ ම හදවත නිවා සනසයි. විටෙක ඒ ගී තරු සේ ම බබලයි. සැබැවින් ම අබේ ද තරුවකි. සාමාන්‍ය තරුවක් නොව හැත්තෑව දශකයේ සිංහල ගී කෙත ගීයෙන් බැබල වූ සුපිරි තරුවකි. මගේ අස්වැන්න අද සිට කොටස් කීපයක් ඉදිරියට වෙන් වන්නේ සිංහල ගීතයේ ඒ සෞන්දර්යය රීතිය හඳුනාගත් අබේවර්ධන බාලසූරිය නම් වූ විශිෂ්ඨත ම ගායන ශිල්පියා වෙනුවෙනි.
මාර්තු මස 09 වන දා අබේගේ උපන් දිනයයි ජීවත් ව සිටියා නම් ඔහුට වසර 67 කි. එහෙත් අබේ අද අප අතර නොමැත. දෛවය විසින් දොරගුළු හැර දුන් සෞන්දර්යය විථි ඔස්සේ ගලා ආ ඒ සුමියුරු ගී රාවය හැර දමා, එහි රසය සහ ගුණ සුවඳ පමණක් ඉතිරි කර ගී අඹර පායා පුර සඳක් සේ බැස ගොසිනි. ඔහුගේ නො කල්හි සමුගැන්ම සනිටුහන් වූයේ ද මාර්තු මාසයේ දී ම ය. ඒ මාර්තු මස 27 වන දා ය. ඔහුගේ දෙවන ගුණ සමරුව ද මේ මාසයට ම යෙදී ඇත. ඒ නිසා ම මගේ මේ “අස්වැන්න” මේ මාසය පුරා ම අබේවර්ධන බාලසූරිය නම් වූ මේ ගායන ශිල්පියා සහ ඔහුගේ ඔබ කිසිම දිනෙක නෑසු , අසා ඇති මුත් මතකයෙන් බැහැර වූ මිහිරි ම රස ගී උල්පත් ඔස්සේ කොටස් කීපයකින් යුතුව පෙළගැසෙයි.
අබේවර්ධන බාලසූරිය ගැයූ ගීත අපේ ලංකාවේ විචාර කලාව තුළ කිසිම දිනක නිසි විචාරයකට බඳුන් වී නොමැත. එයද මෙ වැනි දීර්ඝ ලිපියක් ලියන්න එක හේතුවකි. එහෙයින් ම ඔහුගේ මන බැඳගත් ගී රස විඳින්නටත් ඔහුගේ ගී ආර පිළිබඳව කිසියම් තරමකින් හෝ කතිකාවක් ගොඩනැගීමටත් අස්වැන්න තුළින් ඔබට ද මෙ තැන් සිට ඇරයුම් කරමි.
මීට වසර 67 කට පෙර හලාවත, මුගුණුවටවන නම් වූ ගම් පියසේ උපන් අබේ සිය පාසල් ජීවිතයෙන් පසුව ගුවන් හමුදා නිලධාරියෙකු ලෙස ගුවන් හමුදාවට එක් විය. ඒ හැට දශකය ආරම්භයේ දී ම ය. වසර කීපයක් ගුවන් හමුදාවේ සේවය කල අබේ ගුවන් හමුදා සේවයට ආයුබෝවන් කීවේ ඇතැම් විට ඔහුට ඒ මාවත සුදුසු යැයි නො සිතුන නිසා විය හැකිය. අනතුරුව ඔහු නැවත රජයේ සේවයට එක් වූයේ වී අලෙවි මණ්ඩලයේ තනතුරක් දරමිනි.
අබේ සිංහල ගී මගෙහි හතර මායිම් සළකුණු කරන්නේ ඒ රැකියාවේ නියැලෙමිනි. ඒ සඳහා අබේට මඟ කියා දෙන්නට අතර මග හමුවන්නේ ගී ලොවෙහි සුධීමත් තරු යුවලකි. ඒ වික්ටර් රත්නායක, සුනිල් ආරියරත්න දෙපල ය. අනතුරුව ප්‍රේමකීර්ති ද අල්විස්, කුලරත්න ආරියවංශ බඳු ගේය පද රචකයෝ අබේ සමග අත්වැල් බැඳගැනිමට එක් වූහ. ඒ භාග්‍ය ලත් අබේ 1960 දශකයේ අවසාන භාගයේ දී කරුණාරත්න අබේසේකර ලියූ ගී පදමාලාවකට සංගීත් නිපුන් සනත් නන්දසිරි විසින් තනුව සහ සංගීතය නිර්මාණය කළ මතු දැක්වෙන මේ ගීය වෙළඳ තැටියකට ගායනා කර ගී ලොවට පා තැබුවේ ය. මේ ගීය එක රැයෙන් ජනාදරයට පත් විය.
“කවුරුදෝ ඔබ කවුරුදෝ
කවුද ඔබ කොයි කවුරුදෝ”......
එ කල්හි අද මෙන් සුපිරි තරු තෝරන සංගීත වැඩසටහන් නො තිබුණි. ගීයක් ප්‍රචාරය වූ එක ම මාධ්‍ය වූයේ ගුවන් විදුලිය යි. එහි වූ “මියුරස වින්දන, මැලිබන් ගුවන් තොටිල්ල, නවක මඩල” වැනි සංගීත වැඩසටහන් මගින් සිය ගායන මං පෙතෙහි ඉම් පෙදෙස් පුළුල් කර ගත්තේය.
අනතුරුව රන් හුයක ඇමිණූ මුතු පොටක් බඳු ගී වැලක් එක දිගටම අබේගේ ගී ලොව සැරසුවේ ය. පියාණෙනී මා නැවත උපන්නොත්, සිහිවටනය සේ, දිනෙක මතු දා, රෑ පැල් රකින, නදීෂානී ආදී ගී ඒ මුතු වැලෙහි ඇමිණු ගීත අතර විය. ගුවන් විදුලි පර්යේෂණ ගී වැඩසටහන් වලින් අලුත් අලුත් අත් හදා බැලීම් මේ යුගයේ සිදු වූ බැවින් ඒ අත් හදා බැලීම් සිදු කිරීමට ගායක ගායිකාවන්ට ද අවස්ථාව උදා විය. අබේ ද එකල පර්යේෂන ගී වැඩසටහන්වල ගී ගැයුවේ ය. එහි දී කුලරත්න ආරියවංශ ලියා සරත් දසනායක සංගීවත් කල අපූරු ගීයක් විය. ජන ගී සම්ප්‍රදාය ඇසුරින් ලියන ලද මතු දැක්වෙන ගීය රබාන, උඩැක්කිය, මැන්ඩලීනය වැනි සංගීත භාණ්ඩ උපයෝගී කර ගෙන ජන ගීයේ නාද රටා ඇසුරින් නැවුම් ගීයක් ලෙස නිපද වූවා පමණක් නො ව එය ගීත සාහිත්‍යයේ විශිෂ්ඨ ගී අතරට ද එකතු විය. මතු දැක්වෙන්නේ ඒ ගීයයි.
ආදරයෙන් මා හද වට එතෙන ලතා
ගම්මානෙට එළිය නුඹයි ස්වර්ණලතා
දිගින් දිගට නිල් වරලස මුදන්නියා
නෙතින් නෙතට ඔමරි බැලුම් හෙළන්නියා
රුවින් රුවට දිලි නෙත සිත් බඳන්නියා
දුරින් දුරට මා සිත නෙත
මටත් හොරා ඇදෙන්නියා
පාන්දරින් මල් පිපුණා බමරු දනී
සීන් තුසර පිණි වැටුණා අහස දනී
සෙමෙන් විහඟ ගී නැගුණා පවන දනී
නුඹට බැඳුණු හිත හින්දා
මා විඳි දුක කවුරු දනී
ගේය පද රචනය: කුලරත්න ආරියවංශ
ගීයක් යනු හුදෙක් වචනවලට පමණක් සීමා නො වී එහි වචන තුළ ඇති සාහිත්‍යමය ගුණය ද, ඒ විචිත්‍ර පද මාලව සතු ගේය කාව්‍ය ගුණය ද අබේ මනාව දැන හඳුනාගෙන සිටියේ ය. එ වැනි ගේය පද රචනා මධුර තනුවකින් සහ සංගීතයෙන් පෝෂණය කර ගැනීමත් ගායනය ඊට සංයෝග වූ පසු සුභාවිත ගීය බිහිවන බවත් ඔහු හොඳින් දැන සිටියේ ය. සිය ගායන ජීවිතය පුරා ම අබේ භාවිතා කළේ ඒ රීතිය යි. ඒ නිසාම ඔහු ගැයූ සියළුම ගීත භාෂාවෙන් ද, අරුතින් ද, සංගීතයෙන් ද, පිරිපුන් ව හැඩ වී තිබුණි. ඒ හේතුවෙන් අබේ ගැයූ සියළුම ගිත මුතු පොටක ඇමිණූ මුතු ඇට සේ බැබලිණි.
අබේට ගි ලියූ ගේය පදරචකයන් ප්‍රමාණය ඉතාම අතලොස්සකි. මහාචාර්ය සුනිල් ආරියරත්න, ප්‍රේමකීර්ති ද අල්විස්, කේ.ඩී.කේ.ධර්මවර්ධන, ආචාර්ය අජන්තා රණසිංහ, කුමාරදාස සපුතන්ත්‍රී, කුලරත්න ආරියවංශ, ලූෂන් බුලත්සිංහල, පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි, දෙල්තොට චන්ද්‍රපාල, සහ බන්දුල නානායක්කාරවසම් ආදී මෙරට ප්‍රවීන ගේය පද රචකයෝ ඒ අතර වෙති. අබේට ගී ලියූ මෙම ගේය පද රචකයන් අතරින් වැඩිම ගී ප්‍රමාණයක් ලියා ඇත්තේ මහාචාර්ය සුනිල් ආරියරත්න සහ ප්‍රේමකීර්ති ද අල්විස් විසිනි.
අබේ ගැයූ ගීත වලින් වැඩිම ප්‍රමාණයක් සංගීතවත් කර ඇත්තේ ආචාර්ය වික්ටර් රත්නායකයන් විසිනි. එය අබේ ගැයූ ගී වලින් සියයට අසූව ඉක්මවා යයි. ඉතිරි ගීත ආචාර්ය ප්‍රේමසිරි කේමදාස, රෝහණ වීරසිංහ, එච්.එම්.ජයවර්ධන, ගුණදාස කපුගේ, සරත් දසනායක, සරත් ද අල්විස්, සරත් බාලසූරිය, ස්ටැන්ලි පීරිස්, සහ නවරත්න ගමගේ යන විශිෂ්ඨතම සංගීතවේදීන් විසින් නිර්මාණය කර ඇත. එය අබේගේ ගීත තෝරා ගැනීමේ දී සහ තනු රචනා සහ සංගීතය නිර්මාණය කර ගැනීමේ දී ඔහු සතුව තිබූ සුවිශේෂ ගුණාංගය යි.
අබේට ගී ලියූ පද රචකයන් අතරින් ප්‍රේමකීර්ති ද අල්විස්ට හිමිවන්නේ විශේෂ ස්ථානයකි. ප්‍රේමකීර්ති අබේට ලියූ, රැළකින් තනිවී, කරුණාව වෙහෙර මළුවේ, සිතුවිලි රිදී නිම්නයේ, බුදුගෙයි විතරයි, කොච්චර කෙරුවත්, කොතැනද ඉන්නේ ආදී තවත් ඉතා ජනප්‍රිය ගී රැසකි. මතු දැක්වෙන ගීය ප්‍රේමකීර්තිගේ ගේය පද රචනාවල විපුල ඵලයකි.
ප්‍රේමකීර්ති ද අල්විස් |
ඉස්සර හීන් කවි කීවා වැට ගාව
දත් දම්පාට කර කර මාදං කෑව
බත් ටික රැගෙන අව්වේ කුඹුරට ආව
ඩිංගිරි නගේ ආඩම්බර නුඹ ගාව
පැන ගිය පසුව ළමා විය නුඹගෙන් නෑනේ
නුඹෙ වත දකින්නේ හරියට හඳ ගානේ
සැදෙතැයි බයට සරදම් පද ගම්මානේ
අම්මාවරු රකියි ලොව දූවරු ගානේ
අවසර ඇතොත් නියරේ මඩ පාගන්න
කුඹුරේ ගලන වතුරෙන් මුව දෝවන්න
මඩ කැටි උනා හවසට ගෙදරට යන්න
ඒ වතුරෙන් හැකියි මට මුව දෝවන්න
ගේය පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය: සරත් ද අල්විස්
සරල කාව්‍යමය අනුභූතියක පිහිටා ප්‍රේමකීර්ති ද අල්විස් විසින් ලියූ මේ ගීය පිරිපුන් ගීයක් බවට පත්වන්නේ සරත් ද අල්විස් අතිනි. ළමා වියෙන් යොවුන් වියට සපැමිණි යුවතියක පිළිබඳ සිතක් පහළ වන යෞවනයෙකු සතු ආදරය පිළිබඳ සංයමයත්, යුවතිය සතු හික්මීම සහ ගරුත්වයත් ප්‍රේම් දකින්නේ මෙ ලෙස ය.
“පැන ගිය පසුව ළමා විය නුඹගෙන් නෑනේ
නුඹෙ වත දකින්නේ හරියට හඳ ගානේ”
දෙමව්පිය අවසරය යුවතියට අවැසි බැවින් ඉන් ඔබ්බෙහි වූ සිතුවිලි යෞවනයා සතු ව නැත. ඇත්තේ සිත තුළ පහළ වන සියුම් ආදරයක් පමණි. එ හෙයින් ම ඇය කුඹුරෙහි වූ දිය පාරෙන් මුව දෝවා ගිය පසු ඒ බොර වූ වතුර ද ඔහුට මුව දෝවා ගැනීමට ලැබෙන්නේ නම් ඒ මහත් සැපයක් බව මේ යෞවනයා කියයි.
“ඒ වතුරෙන් හැකියි මට මුව දෝවන්න”
මෙය යෞවනයාගේ ආදරයේ තරම කියා පාන්නට ප්‍රේමකීර්ති ද අල්විස් යෙදූ කදිම යෙදුමකි. ගීයක තිබිය යුතු අත්‍යවශ්‍යම ගුණාංගය ද එයයි.
අබේවර්ධන බාලසූරිය සිංහල සරල ගීය වර්ණවත් කරන අතර තුර දීම 70 දශකය ආරම්භයේ දී චිත්‍රපට පසුබිම් ගායන ශිල්පියෙකු ලෙස ප්‍රවිෂ්ඨ විය. ඒ විජය ධර්ම ශ්‍රී අධ්‍යක්ෂණය කළ “දුහුලු මලක්” චිත්‍රපටයෙනි. එම චිත්‍රපටය ම නිර්මාණය වී තිබුණේ ගීත දෙකකි. නන්දා මාලිනිය ගැයූ “රන් කෙන්දන් බැඳ” ගීය එක් ගීතයක් විය. අනෙක් ගීය අබේවර්ධන බාලසූරිය සහ සුජාතා අත්තනායක ගැයූ මේ ගීය යි.
බොඳ මීදුම් කඳු රැල්ලේ සුරංගනා රජ දහනේ
ඔබේ සිනා කඳුළු බිඳක් හෙටත් වාසනා
හෙටත් වාසනාවන්සිහින නදී රළ රැල්ලේ පැතුම් රුවන් රන් ඔරුවේ
ඔබේ නිමල නිද්‍රා ගී මටත් වාසනාමටත් වාසනාවන්
සිතක තැවුල් සංසිඳිලා මිටියාවත මල් ඉසිලා
මල් වරුසා සුවඳ සමය මටත් වාසනාමටත් වාසනාවන්
රෑසියන්ගෙ නො නිමි නාද සැවුල් කොවුල් විහඟ ගීත
අපට ඇරුණු හුදකලාව හෙටත් වාසනා
හෙටත් වාසනාවන්
මාල හතක් පළඳන්නට හීන හතක් එළිවන්නටදොළොස් මහේ පහන් එළිය මටත් වාසනා
මටත් වාසනාවන්
අනාගතය කිරුළු දරා දෙපා මුලට වඩින තුරා
ලවන් පොඟන මියුරු තෙපුල් හෙටත් වාසනා
හෙටත් වාසනාවන්
තනුව සහ සංගීතය: සරත් දසනායක
චිත්‍රපටය : දුහුලු මලක්
අධ්‍යක්ෂණය : විජය ධර්ම ශ්‍රී
රඟපෑම්: රවීන්ද්‍ර රන්දෙණිය / නීටා ප්‍රනාන්දු / ටෝනි රණසිංහ
මේ ගීය ද සිනමා ගිත සාහිත්‍යයේ ඉතාමත් ම ප්‍රේක්ෂක ප්‍රසාදයක් දිනා ගත් ගීයකි. අනතුරුව අබේ 70 දශකයේ චිත්‍රපට රැසකට ම ගායනයෙන් සිය දායකත්වය ලබා දුන්නේ ය. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අධ්‍යක්ෂණය කළ සරුංගලේ, අනූපමා චිත්‍රපට මෙන් ම 80 දශකයේ තිරගත වූ සඳකඩ පහණ චිත්‍රපටය ඇතුළු චිත්‍රපට 25 ක පමණ අබේ ගීත ගායනා කළේය.
ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ ගී තනු රැසකට සිය ගායනයෙන් හඬ මුසු කිරීමට අබේට හැකි විය. කේමදාසයන්ගේ සංගීත රචනා ද කිසිම දින කිසිවකුට අභියෝග කළ නො හැකි වන පරිද්දෙන් නිර්මාණය කර තිබේ. ඒවා ද දැවැන්ත නිර්මාණ කාර්යයෝ වෙති. කේමදාස සිනමා පසුබිම් සංගීතයක ද සරල ගීයක ද, එකිනෙකට වෙනස් හැඩතල මත පිහිටා විවිධ අත්හදා බැලීම් ඔස්සේ නිර්මාණකරණයේ නියැලුන දැවැන්තයෙකි. අබේ ගැයූ “කල්පනා ලොව මල් වනේ” එ බඳු ගීයකි. මේ ගීය තුළ මතු කරන්නා වූ හුදකලාව, පාලු බව, සහ හිතේ හටගන්නා වූ සංතාපය එකිනෙකට පරයා වෙනස් වෙවී නැගෙන වයලීන රැසකින් වන වැයුමකින් ද, ඒ වයලීන යටින් හිතේ නැගෙන්නා වූ සංතාපය, පාලු බව මතු කිරීම සදහා වයලීන අතරින් ඊට යටින් මන්ද්‍ර ස්වරයෙන් පංතියක් සමග එකතු වන චෙලෝ වාදනය ද ගීතයේ බටහිර සංධ්වනි සංගීත ආකෘතියක සියළු හැඩතල ගෙනෙයි. අබේවර්ධන බාලසූරියගේ ගායනය ද සංධ්වනි සංගීතයක ඇසෙන්නා වූ ගායනාවක් බඳු ය. මේ ගීය ගී රසයේ උල්පතක් ව දෙසවන් කර්ණ රසායනයෙන් පුරවන්නේ ඒ නිසා ය.
ආචාර්ය අජන්තා රණසිංහ |
කල්පනා ලොව මල් වනේ
සිහින රජ දහනේ
ආදරේ... ආදරේ....
නීල අහසේ තාරකා සේ
ඈ නුවන් දල්වා බලන්නී
ප්‍රේමයේ මායා දැලින් මා
සිත් නුවන් බඳවා තබන්නී
ආචාර්ය ප්‍රේමසිරි කේමදාස |
ඈ රුවින් පිළි රූ මැවීලා
පාව යයි මුළු ජීවිතේ
සුදු මීදුමෙන් දැවටී එතීලා
ගේය පද රචනය: ආචාර්ය අජන්තා රණසිංහ
තනුව සහ සංගීතය: ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ආචාර්ය අජන්තා රණසිංහ ද අබේට ගී ලියූ ගේය පදරචකයන් අතර වෙසෙස් තැනක් හිමි වන ගේය පද රචකයෙකි. ආචාර්ය අජන්තා රණසිංහ අබේට ලියූ ගී අතර, රෑ පැල් රකින, දිනෙක මතු දා, කන්දෙන් එහා, බොඳ මීදුම් කඳුරැල්ලේ, දේදුනු රන් ඔන්චිල්ලා, ඉපනැල්ලේ වී අහුලන, ආදී ගීත විශිෂ්ඨතම නිර්මාණයෝ වෙති. ෴
෴මතු සම්බන්ධයි ෴
ඔබේ අදහස්, විවේචන ලියන්න. ඔබ ලියන දේ සතුටින් පිළිගනිමි
මේ සමහර ගීත මම ගොඩක් පොඩි කාලේ අහල තියනවා. ඒත් ගායකයා කවුද කියලා කවදාවත් දැනගෙන හිටියේ නෑ. අර ප්‍රේමකීර්ති ලියපු සින්දුව නම් පුදුම ලස්සනයි වගේම ආදරණියයි. අද කාලේ වගේ අමු අමුවේම ලියන රොමැන්ටික් සින්දු වගේ නෙමෙයි. කොයි තරම් ගැඹුරු ආදරයක් ඒ ගීතයේ තියනවද..
ReplyDeleteසමහර ගී ඇහෙනකොට හිතෙන්නෙ ඒවා අද ඊයෙ හදපු ගීත වගේ කියල. ඒත් සමහර ගිතවලට දශක තුන හතරක ඉතිහාසයක් නේද කියල දැනගත්තම පුදුමත් හිතෙනවා. අබේ ගැයූ ගීත ඔක්කොම ඒවගේ දිග අතීතයක් තියන ගීත.
Deleteප්‍රේමකීර්ති අබේට ලියු "රැලකින් තනිවී වන මැද සරණා" ගීයත් ඒ වගේමයි.ඒවා යටින් දිවෙන අදහස හරිම ගැඹුරුයි.
ස්තුතියි ඔබේ සටහනට
අබේගැයූ ගී ගැන තවත් කොටස් හතරක් ඉදිරියට තියනවා. ඒවත් කියවන්න ඔබට ඇරයුම්.
ඔහුගේ "බොඳ මීදුම් කඳු රැල්ලේ සුරංගනා රජ දහනේ" ගීතයට මා වඩාත් කැමතියි.. ඔහු ජීවතුන් අතර සිටියා නම් තවත් සුභාවිත ගීත ඔහුගේ හඬින් ගැයේවී..
ReplyDeleteශානිට
Deleteඅබේගේ චිත්‍රපට ගීතත් ගොඩක් ලස්සනයි. ඔහු ගීයේ සැබෑ රුව ගුණ හඳුනාගෙන ගැයූ ගායකයෙක්. ඒනිසා ඒ හැම ගීයක්ම එකවගේ ජනප්‍රියයි.
අබේගැයූ ගී ගැන තවත් කොටස් හතරක් ඉදිරියට තියනවා. ඒවත් කියවන්න ඔබට ඇරයුම්.
ගීත ටික නම් පංකාදුයි... ස්තුතියි
ReplyDeleteThis comment has been removed by the author.
Deleteහරී...ට
Deleteස්තූතියි ගිත ඇහුවාට.. තවත් ගී ටිකක් ඉදිරියේදි අහමු.
මගේ පාසල් සමයේ දිනක අබේවර්ධන බාලසූරිය ගේ සාකච්ඡාවක් අහන්න ලැබුණා. එදා තමා මම දැන ගත්තේ ගායකයා කියන්නේ නිකම්ම ගායනා කරන්නා පමණක් නොවන බව. ස්තුතියි රත්නායක නැවතත් ඒ මතකයන් අළුත් කළාට. දිගයට ලියන්න. ආසාවෙන් කියවනවා.
ReplyDeleteබන්දුලට
Deleteස්තුතියි බන්දුල. ඇත්තෙන්ම අබේ ගැයූ ගී නිසිපරිදි ඔහු ජීවත්ව සිටියදී අගැයුමට ලක් වුනේ නැහැ. ඒත් ඔහු සුභාවිත ගීය වෙනුවෙන් දැඩි ලෙසම පෙනීසිටියා. ඒකයි මම ඔහු ගැන දීර්ඝ ලිපි කීපයක් ලියන්න පෙළඹුනේ.
සමහර සිංදු නම් අහලා නෑ. ඒවා අහන්න ලැබෙනවත් අඩුයි. දැන් තියෙන රැප් සංගීතයට වඩා මම නම් ආස කරන්නේ මේ වගේ සරල ගීත වලට. තේරුම වගේම කනට වදයක් නැතුව අහන්න ලැබෙන නිසා මම් මේ වගේ ගීත වලට ආසයි.
ReplyDeleteමධුරංගට
Deleteස්තුතියි මධුරංග, සරල ගීයක් නිස්කාංසුවේ අහන් ඉන්න ඇත්නම් සියලු මානසික ආතතිවලට සැබෑ ඔසුවක්. මමත් එහෙමයි.
ඇත්තටම අබේ ට ගැඹුරු පිරිමි හඬක් තිබුණු ගායකයෙක්. හොඳම ගේය පද තෝරා ගැයුවා. නිහඬව ගොඩක් වැඩ කරා. නිසි ඇගයීමක් ලැබුනද මන්ද?
ReplyDeleteරුමාල්ට
Deleteඇත්තටම අබේට තිබුණෙ ඉතාමත් විරල පිරිමි හඬක් ඔහුගෙ ගිත තෝරාගැනීම ඉතාමත්ම ඉහළ මට්ටමක තිබුණා. සාහිත්‍යයෙන් පිරිපුන් පදමාලා පමණයි ගැයුවෙ. ඒ නිසා ඒ හැම පදමාලාවක්ම ගීත ලෙස ජනප්‍රිය වුණා. නිසි අගැයීම ලැබුණෙ නෑ. ඒකයි අපේ විචාර කලාවෙ තියෙන වැරැද්ද.ස්තුතියි පළමුවරට ඔබ මෙහේ ආවාට. ආයෙත් එන්න.
සමහර ගීත ඇහුවෙත් අදමයි. ඇත්තටම ඔබතුමා මේ කරන මෙහෙවර ගොඩාක් උතුම් :)
ReplyDeleteවර්ණා..ට
Deleteමම හැමතිස්සෙම තෝරාගන්නෙ ජනප්‍රිය වූ ගීවලින් බැහැරව. මොකද ජනප්‍රිය ගී නිතරම අපට ඇසෙන විට සමහර වෙලාවට අලුත් අදහසක් නැවුම් බවක් නොපෙනෙන්නට පුළුවන්. ඒ නිසා වැඩිපුරම නෑසූ හොඳ අරුත්බර ගීත තෝරාගන්නවා.
ඒත් "ඔබතුමා" කියන වචනෙ නම් මට පේන්න බෑ.ඒක මහා තක්කඩි, කෛරාටික වචනයක් ඒක ගැලපෙන්නෙ අර දියවන්නාවෙන් වටවෙච්ච ගෙදර ඉන්න අයටයි.මේ ඔබ , අපි වගේ යම් රසවින්දනයක් හොයන අයට ඒක ගැලපෙන්නෙ නෑ. අපි සාමාන්‍ය සහෘද පිරිසක්.
ස්තුතියි ඔබට
කල්පනා ලොව මල් වනේ සින්දුව අහද්දී නිකන් වෙනම ලෝකයකට අපිව අරගෙන යනවා වගේ!
ReplyDeleteඅනිත් සින්දු නම් මාම කලින් අහල තිබුනේ නෑ!බොහොම ස්තුතියි ඔබතුමාට!
මාස්ටර් කල්පනා ලොව මල්වනේ ගීය හදල තියෙන්නෙ බටහිර සංධිවනි අාකෘතියෙන් කියලයි මට හිතෙන්නෙ.
Deleteමේ ගීය නැවත අහල බලන්න ගීය තුළ මතු කරන හුදකලාව, පාලු බව, සහ හිතේ හටගන්න සංතාපය එකිනෙකට පරයා වෙනස් වෙවී නැගෙන වයලීන රැසකින් වන වැයුමකින් ද, ඒ වයලීන යටින් හිතේ නැගෙන්නා වූ සංතාපය, පාලු බව මතු කිරීම සදහා වයලීන අතරින් ඊට යටින් මන්ද්‍ර ස්වරයෙන් පංතියක් සමග එකතු වන චෙලෝ වාදනය දැනෙන්නෙ කොහාමද කියලා.
නැවතත් කාරුණික ඉල්ලීම මට ඔබතුමා කියන්න නම් එපා. ඒ වචනය අපි අතර පරතරයක් ඇති කරනවා. ඒකට මම කැමති නෑ.
ස්තුතියි ඔබට ,අබේගැයූ ගී ගැන තවත් කොටස් හතරක් ඉදිරියට තියනවා. ඒවත් කියවන්න ඔබට ඇරයුම්.
ඉස්සර හීන් කවි කීවාගීතය මීට කලින් එක පාරක් වගේ මම අහල තිබුනා..ඒත් ඔක්කොම පද ටිකත් කියවල දෙතුන් පාරක් හොඳින් අහන් හිටියෙ අද..හරිම ලස්සන ගීතයක්..ඔබ කියල තියෙනව වගේම මෙහි අන්තිම පද පේලි ටිකෙන් ඒ තරුණයගෙ මුලු හිතම එක පද පේලියකට ගන්න ප්‍රේමකීර්ත් මහත්තය සමත් වෙලා තියෙනවා..හරිම ලස්සන ගීතයක්..ඒ වගේම අබේවර්ධන බාලසූරිය ගායන ශිල්පියාගෙ හඬ ඇස් දෙක පියාගෙන නිදහසේ විඳින්න පුලුවන් හරිම ලස්සන හඬක්..මමත් එතුමාගෙ හැම ගීතයටම වගේ ගොඩාක් කැමතියි..
ReplyDeleteමේ පැත්තෙ ආවෙ අදමයි..හරිම වටිනා බ්ලොග් එකක්..ලිපියේ ඉතිරි කොටස් ටිකත් කියවන්න අනිවාර්යෙන්ම එනවා..
සිත්රූ සිහින ..ට
Deleteඔබේ පැමිණීම පිලිබඳව සතුටුයි, ඒ වගේම ස්තූතියි සටහනක් තැබුවාට.අගය කිරීමත් ගොඩක් වටිනවා. මේ අලුත් රසවින්දන මානයක් සොයා යන ගමනක්.
අබේගැයූ ගී ගැන තවත් කොටස් හතරක් ඉදිරියට තියනවා. ඒවත් කියවන්න ඔබට ඇරයුම්.
mage machine eke Sinhala fonts nethi eka gena mama duk wenawa. Firstly I want to thank you for writing,such a nice article about our beloved Abe ayiya. mama isskole yana kaale Abe ayiyage sindu walin jeewath
ReplyDeletewela thiyenawa. "boda meedum kadulele",""kalpana lowa","Bawayen bawe","Yuga yuga gane" wage geetha mage
praana wayuwa karagath sundara yuga wal mage atheetha jeevithaye thiyenawa. Aththatama, ada maawa, pada
pelak hariyata geta gaha ganna puluwan geetha rachakayek kale, mama lamaa kaale asapu mea wage geethai.
Mevani geetha thibune ne kiyanne, mama ada geetha liyanne nethi kenek wena ekai. thank you once again daya ayiya
for your genuine effect of bringing back the memories of our beloved singers.
@ Dishan
DeleteI am really happy and Thank you very much for your valuable comment.
ෙගාඩක් ෙහාදට ලියනවා.දිගටම ලියන්න.
ReplyDeleteමලී ආවාට ස්තුතියි.. ආයෙත් එන්න.
Deleteබොඳ මීදුම් කඳු රැල්ලේ ගීය මගේ ප්‍රියතම ගී වලින් එකක්..
ReplyDeleteඔහු අද අප අතර නැතැයි සිහිවෙද්දී ඉදිකට්ටෙන් අනින්නා සේ වේදනාවක් දැනෙනවා..
ඔහුගේ ගී අමරණීයයි..
මේ චිත්‍රපටිය මම රූපවාහිනියෙන් බලලා තියන නිසා එයට ඇති ලෙංගතුකම ගොඩක් වැඩි..
Deleteවීඩියෝ එක දැක්කාම මතක් වුනේ..
රූ....
Deleteස්තුතියි ඔබේ අදහස්වලට, අබේ අප අතර නැතැයි මට තාමත් හිතෙන්නේ නැහැ. ලාංකේය සංගිතයේ විශිෂ්ඨතම ගී එකතුවක් හිමි ශිල්පියෙක්.
ඉතාමත් හොඳ ගීත එකතුවක්..සමහර ගීත අපිට දැන් අහන්න ලැබෙන්නෙත් නැහැ. මතකයෙන් ගිලිහි යන්න නොදී මේ ගීත මෙහෙම හරි අහන්න ලැබෙන එකත් සතුටක්....
ReplyDelete