එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Monday 11 November 2013

෴ බියෙන් අත් මිදෙමු - විරෝධාකල්ප ගීතයේ නවමු අඬහැරය ...෴




             ජයතිලක බණ්ඩාරයන් සමග පැවැත්වූ සාකච්ඡාව


රජරටින් බිහිවූ ජයතිලක බණ්ඩාර 71කැරැල්ල හමුවේ ක්‍රියාකාරී වූ කලාකරුවන් කිහිප දෙනාගෙන් එක් කලාකරුවෙකි. ඒ නිසාම ඔහුට බන්ධනාගාර ගත විමට සිදුවිය. එයින් නිදහස් වූ ඔහු ජනතා විමුක්ති පෙරමුණේ විමුක්ති ගීප්‍රසංගයටත්, එතැනින් කාලයේ රාවය, කපුගේ ගී සැඳෑව, කම්පන ආදී ගි ප්‍රසංග කෙරෙන් ජනතාව හමුවට පැමිණියේ සැබෑ ජනතාවාදී ගායන ශිල්පියෙකු ලෙසිනි. අනතුරුව රජරට සේවයේ ගායන ශිල්පියකු, සිතාර් වාදකයකු වශයෙන් පමණක් නොව, ගුවන් විදුලි නිවේදකයකු වශයෙන්ද කටයුතු කළ ජයතිලක බණ්ඩාරට සිය ගුවන්විදුලි රැකියාව අහිමි වූයේ ජනතාවාදී කලාකරුවකු ලෙසින් සිය දේශපාලන ස්ථාවරය වෙනස් නොකල බැවිනි. ඔහු තරු දිදුලන රටක තරුවක් නොවේ.  හතළිස් වසරකට ආසන්න කාලයක් ගී ලොවෙහි සැරිසරමින් තම රසිකයන්ට රසවින්දනය බෙදා දෙමින් හඬක් නැති ජනතාවට  හඬක් වෙමින් සිටී.

ජයතිලක බණ්ඩාර නම් වූ මේ ජනතාවාදී කලාකරුවා එසේත් නැත්නම්  මානව හිතවාදී ගායන ශිල්පියා එදා ජනතාවාදී කලාකරුවන් ලෙසින් නැගූ හඬ මුදලට හෝ පුද්ගලික වාසියට පාවා නොදුන් කලාකරුවෙකි. ඔහු එදා මෙන්ම අදත් ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් අයුක්තියට අසාධාරණයට දූෂණයට මර්දනයට එරෙහිව හඬ නගයි. 

එසේ කලාකරුවකු ලෙසින් සිය සමාජ වගකිම එලෙසින්ම ඉටුකරමින් තවත් අභියෝගාත්මක  කඩඉමකට සූදානම්ව සිටී.  ජයතිලක බණ්ඩාරයන්ගේ නවතම ගී ප්‍රසංගය  “බියෙන් අත්මිදෙමු“ නමින්  2013.11.18 වන දින සවස 6.30  අනුරාධපුර ශාන්ත ජෝශප් ‍ දෙව් මැදුරු රංග ශාලාවේදී  පැවැත්වීමට නියමිතය. ඒ ප්‍රසංගයට සූදානම්වන අතරතුර ඔහු අස්වැන්න වෙනුවෙන්  මා සමග සුහද පිළිසඳරකට  එකතු විය.  “බියෙන් අත්මිදෙමු” ගී ප්‍රසංගය සහ එය හදා වඩා ගැනීමේ අපේක්ෂාවන් පිළිබඳ ජයතිලක බණ්ඩාරයන් සිය හඬ අවදි කළේ 
මෙසේයි ............



“මේ යුගය මිනිසුන් කෙරෙන් මානව දයාව, ජීවිතයේ සුන්දරත්වය පළා ගොස් ඇති කාලයක්.  සමාජය මතුපිට පෙනෙන්නට ඇති සුන්දරත්වය අභ්‍යන්තරයේ නැහැ. භාණ්ඩයකට මිලක් නියම කළ හැක්කේ කොහොමද ඒ ආකාරයටම ඕනෑම මිනිස් ජීවිතයකට මිලක් නියම කරන්න පුලුවන්. එවන් කාලයක තමයි මේ “බියෙන් අත්මිදෙමු” ප්‍රසංගය වේදිකා ගත කිරිම සිදුවන්නෙ.

ඇත්තටම, “බියෙන් අත්මිදෙමු” තේමාව අවුන් සාන් සුකීගේ තේමා පාඨයක්.  මේ තේමා පාඨය ලංකාවට සම්බන්ධ වුනේ අසූව දශකයේ අග භාගයේ. ඒ කියන්නේ 1987 – 88 -89 වගේ  මේ රටේ භීෂණයක් පැවති අවදියක. එදා අපි ජනතාවාදී කලාකරුවන් විදියට තවත් කලාකරුවන් පිරිසක් සමග සිවිල් සංවිධාන කීපයකුත් එකතුවෙලා එදා ඒ පාලකයන් ගෙන ගිය දැඩි මර්දනයට එරෙහිව සංගීතමය වැඩසටහනක් විදියට කලාත්මක ඇසකින් කලාත්මක හඬකින් හඬ නැගුවා. එදා ඒක ප්‍රසංග කිපයකට පමණයි සීමා වුණේ.

අපි අතීතයේ පටන්ම මේ සමාජයේ සියලු දෙනා වෙනුවෙන් යහපත් සමාජයක් බලාපොරොත්තු වෙච්ච පිරිසක්. ඒ බලාපොරොත්තුව අපිට අපේ තරුණ කාලෙ ඉඳලම තිබුණා. අදටත් එහෙමයි. ඒදා වාගෙම අදත් හෙටත් අපිට මේ රටේ යහපත් සමාජයක් ගොඩනැගිම අවශ්‍යයයි. ලෝකයේ හැම අයහපත් සමාජයක්ම යහපත් සමාජයක් බවට පත් කරන්න වෙර දැරූ මිනිසුන් වගේම එවන් සමාජ යහපත් තැනට පත්කළ අවස්ථා අපට ඉතිහාසයේ හමුවෙනව. ඒ නිසා කලාකරුවන් හැටියට අපට ඒ වගකීමෙන් මිදෙන්න බෑ. ඒ සමාජ යහපත ගොඩනගන්නට නම් සියලුම මිනිසුන් අයහපතට විරුද්ධව පෙනී සිටිය යුතුයි කියල මම විශ්වාස කරනව.

සොරකම් කරන්නා සොරෙක් විදියටත්, බොරු කියන්නා බොරුකාරයෙක් විදියටත්, ස්ත්‍රී දූෂකයා දූෂකයෙක් විදියටත් තක්කඩිකම් කරන්නා තක්කඩියෙකු විදියටත් පිළිගන්නා සමාජයක් ඇති කළ යුතුයි. නමුත් අද සමාජයේ සොරකම් කරන්නා සොරෙක් විදියටත්, බොරු කියන්නා බොරුකාරයෙක් විදියටත්, ස්ත්‍රී දූෂකයා දූෂකයෙක් විදියටත් තක්කඩිකම් කරමින් කිසිඳු බියක් සැකක් නැතිව සමාජයේ ඉහළම තැන්වලින් ආරක්ෂාව සපායා ගනිමින් ඉන්නෙ මේ සමාජයේ ඇති බිය තුරන් නොවූ නිසා. ඒ හින්දම අද වන විට  මේ සමාජයේ අසාධාරණය, බොරුව, තක්ඩිකම, දූෂණය, වංචාව සත්‍යයක්  බවට පත්වෙලා. මේ සියල්ල ඒ ආකාරයෙන්ම  සිදුවෙද්දි මුලුමහත් සමාජයම නිහඬ බවට එහෙමත් නැත්නම් නිද්‍රාවක ගිලිලා ඉන්නව.

ඒ හින්ද තව දුරටත් මේ සමාජයේ බිය වැද්දිම සහ නිහඬතාවය කලාකරුවන් හැටියට ඉවසාගෙන නිහඬව සිටින්නට එහෙමත් නැත්නම් මුනිවත රකින්නට අපට පුළුවන් කමක් නෑ. ඒ නිසා සමාජයේ මිනිසුන් තුළ හඬ අවදි කිරීමට ඇති බිය තුරන් කිරිම උදෙසා තමයි මේ ගී ප්‍රසංගය සූදාන්ම වෙන්නෙ.

ජනතාවාදී කලාකරුවන් හැටියට එදා ජනතාව ඉදිරියේ පෙනී හිටපු යුද්ධයට එරෙහිව, එහෙමත් නැත්නම් ප්‍රචණ්ඩත්වය එරෙහිව  පෙනී හිටපු කලාකරුවො හුඟදෙනෙක් අද තමතමන්ගෙ ස්ථාවරය වෙනස්කරගෙන නිහඬ වෙලා. සමාජ සංස්කෘතියක් වෙනස් කරන්න එදා මැදිහත් වෙච්ච කලාකරුවො අද තමන් විසින්ම ස්වයං වාරණයක් පනවගෙන. එදා ජනතාවාදී කලාකරුවන් විදියට ජනතාව ඉදිරියට ගිහින් හඬ නැගූ අය ඒ අහිංසක ජනතාව ඉදිරියේ ලබාගත්ත ජනප්‍රියත්වය, කීර්තිය ඊට පස්සෙ කාලෙ  ඒහරහා තමන්ට ලැබුණ ගේ දොර ඉඩකඩම්, මිළ මුදල්, තනතුරු වරප්‍රසාද හමුවේ සමාජ අපේක්ෂාවන් උගසට තියලා.  අද ඔවුන් අතර වීර චරිත නෑ.  එදා බිහිවූ විප්ලවිය චරිත අද වන විට සෝදා පාලුවට ගිහින්.  මුදලට මිනිසුන් තක්සේරු කරන්න පුලුවන් සමාජයක් තමයි අද ගොඩනැගිල තියෙන්නෙ.

එදා සමාජය විසින් ගොඩනැගූ පිළිම අද වන විට පුපුරා ඉරිතලා ගිහින්  විනාශ වෙලා. පුද්ගලයන් හැටියට මේ රටේ මහජනතාව ආදරෙයෙන් අදහපු චරිත  ඔවුන්ගේ දෑස් ඉදිරිපිටම දියවෙලා ගිහින් . 

එදා යුද විරෝධී මානවවාදි කලාකරුවො, අද ‍ඓතිහාසික විදියට වන්දිභට්ටයන් වෙලා. ජනතාව ඉදිරියේ ඔවුන් ගොඩනැගූ චරිත ජනතාව ඉදිරියේම දියවෙලා ගිහින්.  අනික් අතට හැත්තෑව අසූව දශකවල සමාජය විසින් ඇදහූ කලාකරුවෝ, සරසවි ආචාර්ය මහාචාර්යවරු,  සරසවි සිසුන්, චෘත්තිකයන්, භික්ෂූන්වහන්සේලා  වගේම මාධයවේදීන්ගේ  සමාජ භූමිකාව පවා වෙනස් වෙච්ච කාලයක් මේක. මේ සියලු වෙනස්වීම් ස්වභාවිකයි.  ඒ වුනත් ඒ සමාජ වටපිටාව නැවත ආපහු හරවන්න හැකිය කියන මතය අපට තියෙනවා. ඒත් බියෙන් අත්මිදෙමු ප්‍රසංගය මේ සමාජය තුළ ජනප්‍රිය වැඩසටහනක් නොවේවි. එහෙම වුනත් මේ සමාජය වෙනුවෙන් තවදුරටත් පෙනීසිටින කලාකරුවන් වෘත්තිකයක් සරසවි ආචාර්ය මහාචාර්යවරු වගේම සරසවි සිසුන් වැනි පිරිසක් ඉතිරිවෙලා ඉන්නවා  ඒ පිරිසත් එක්ක  මේ නිද්‍රාවට පත්ව සිටින මිනිසුන්ට අමතන්නට හැකි  ප්‍රසංගයක් වේවි මේ බියෙන් අත් මිදෙමු ප්‍රසංගය.

ඔබට හිතේවි මේ සමාජය තුළ අද කොහෙද බියක් තියෙන්නෙ කියල. ඒ විතරක් නෙවෙයි මුළුමහත් සමාජයක්ම  විනෝදයෙන් වින්දනීය විදියට  ගතකරන  ආකාරයක් පේන්න තියන වෙලාවක බියෙන් අත්මිදෙමු වගේ වැඩසටහනක් කොහොමද තුළනාත්මකව සමාජයට බද්ධ වෙන්නෙ කියල ඔබට හිතෙන්න පුළුවන්. ඒක ඇත්ත.  අපිට මේක කතාවලින් හෝ ගීතවලින් පමණක් මේ මිනිසුන් වැටී සිටින නිද්‍රාවෙන් අවදිකරන්න පුලුවන් කමක් නෑ. මිනිස්සු මෙහෙම විනෝද වුණාට ඒ විනෝදය ගැන ආපහු හැරිල ප්‍රශ්න කරන්න බෑ. තමන් මුහුණ දෙන යථාර්ථය ප්‍රශ්ණ කරන්න බෑ. කලාකරුවාට සමාජය ප්‍රශ්නකරන නිර්මාණ කරන්න බෑ. මාධ්‍යවේදියාට තමන්ගේ මතය ප්‍රකාශය කරන්න බැරි සේම තමන් මුහුදෙන අනාගතය ගැන ප්‍රශ්න කරන්න බෑ. ඒත් කාල බීල විනෝද වෙන්න පුළුවන්.  මෙන්න මේ සමාජ සංස්කෘතිය මේ සමාජ ක්‍රමය තුළින්ම වෙනස් කළ යුතුයි. 

 ඒක එදා හැත්තෑව අසූව දශකවල සිනමාවෙන්, ගීතයෙන්, සංගීතයෙන් විතරක් නෙවයි වේදිකා නාට්‍ය, කෙටිකතා නවකතා ආදී සාහිත්‍ය ධාරාවන්ගෙන් පවා සිදු වුණා. එතකොටයි මිනිසුන් බුද්ධිමත්ව හිතන්න පෙළඹෙන්නේ. ඒත් අද මේ ක්ෂේත්‍රවල කලාකරුවො කීයෙන් කීදෙනාද මේ ගලන ග‍ඟේ උඩුගංබලා යන්නේ. මොනවද අද සමාජය ඥාණනය කරන්න පුළුවන් සමාජය විනිවිද දකින නිර්මාණ හැටියට සමාජය තුළින් සමාජය ප්‍රශ්න කරන  නිර්මාණ බිහිවෙලා තියෙන්නෙ කිසිවක් නැහැනේ.  ඒත් මගේ ප්‍රසංගය ඒකට කුඩා වැඩිවෙන්න පුළුවන්. මේක ඉතාම කුඩා උත්සාහයක්. මේ ප්‍රසංගය තුළ ඒ සියලු දේවල් කළ නොහැකියි.  එත් අපි මේක තනිවම කරන්න බැරි බව තේරුම් අරන් තමයි බියෙන් අත් මිදෙමු ප්‍රසංගයට සූදානම් වෙන්නෙ. 

අද රටපුරාම තියෙන්නෙ ප්‍රාසාංගික කලාවක්. ඔනෑම දේක මුල් තැන ගීයට ලැබෙනවා. සමාජය දිහා ගැඹුරින් බලා යම් කතිකාවක් ගොඩනගන්න අද බිහිවන ගීවලට බෑ. ඒත් අපි හැත්තෑව අසූව දශකවල ගීතයෙන් එවැනි සමාජ කතිකාවක් ගොඩනැගුවා.  මගේ මාධ්‍ය ගීතය. ඒත් මගේ ගීතය ඇතුළේ මිනිසුන් අපේක්ෂා කරන ප්‍රාසාංගික බව, විදුලි ආලෝක රටා, නැටුම්, ඩිජිටල් ශබ්ද මෙවලම් දිලිසෙන ඇඳුම් ආයිත්තම් නැහැ. ඒත් ප්‍රසංගයකට අවශ්‍ය ඒ ප්‍රාසාංගික බව මම කිසිවිටකත් බැහැර කරන්නේ නෑ නැහැ. ඒවා ප්‍රාසාංගික වශයෙන් නිර්මාණවලට අත්‍යවශ්‍ය දේවල්. ඒ සියලු දේ මා වටා නැති වුණත් ගීතය තුළ ඇති දේශපාලන හඬ එහෙමත් නැත්නම් විරෝධතාවය හරහා රසික මනස යම්තරමකින් හෝ ස්පර්ශ කරන්න පුලුවන් වෙයි.

අද හැමතැනම කතා වෙන්නෙ අධිවේගී මාර්ග ගැන හැබැයි ප්‍රාසාංගික කලා මාධ්‍යයක් විදියට ගීතය හරහා විරෝධාකාල්ප ගිත සාහිත්‍යක් ගොඩනැගීම ඒ අධිවේගී මාර්ගයට ඇතුල්වෙලා තියෙන ගීත සාහිත්‍යයට නොගැලපෙන්න පුළුවන්. ඒත්  අපට යන්න තියෙන පුංචිම තැන්න පටන්ගෙන අඩිපාරකින් හරි යන්න හැකි විදියට ගමන යායුතුයි. එහෙම පටන් ගත්තාම අඩුම තරමින් ඒ අධිවේගී මාර්ගයට ළඟා වෙන්න පුලුවන් තරමට පුළුල් කරගන්න පුළුවන් වේවි.

ඔබට මතකනේ චිංගීස් අයිත්මාතෙව්ගේ ගුරු ගීතයේ දුයිෂෙන් අපට මේ මොහොතේ සිදුවෙනව දුයිෂෙන්ලා අපේ ගුරුවරු බවට පත්කරගන්න. ඒ දුයිෂෙන්ලා උගන්වපු පාඩම් ඔස්සේ අපිට මේ අඩිපාර පුළුල් කරගන්න පුලුවන්.

අවසන් වශයෙන් බියෙන් අත් මිදෙමු ප්‍රසංගයේ ආකෘතිය ගැන කතාකරනවා නම් මේ ප්‍රසංගයේ හැත්තැව අසූව දශකවල කාලයේ රාවය, සාධු  ජන රාව  වැනි ප්‍රසංග වල සිට විවිධ ජනතා සංවිධානවල වැඩසටහන්වල  ගැයූ ගීත වගේම කාලානුරූපිව සමාජය වෙනුවෙන් නිර්මාණය වූ ගීත  මේ ප්‍රසංගයට ඇතුළත්.  අපි මේක ටිකට් අලෙවි කරල පවත්වන ප්‍රසංගයක් නෙවෙයි. එදා වගෙම අදත් මම මේ ප්‍රසංගය කරන්නෙ ටිකට්වලින් නෙවෙයි. ජනතා සහභාගීත්වයෙන්. මේ ගමන යන්න අපිට මග වියදම් තිබුනොත් ඇති. 

පැය දෙකකට ආසන්න කාලයක් පුරා ඉදිරිපත් වන මේ ප්‍රසංගයේ දැනට මම විතරක් ගීත ගැයුවත් ඉදිරියේදි හැකිනම් ඔබටත් නිර්මාණවලින් ඔබේ දායකත්වය ලබා දෙන්න පුළුවන්. නව ගීත , ගීත රචනා, නව සංගීත නිර්මාණ තිබුණොත් සතුටින් බාරගන්නවා. ඒවා හරහා  ඕනෑම සංගීත ක්‍රමයක් තුළ අපිට අනුගත වෙන්න පුළුවන් නිර්මාණ තිබුනොත් ඒවා අවශ්‍ය තැන් වලදි අවශ්‍ය ආකාරයට නිර්මාණාත්මක සහයෝගී තාවයෙන් එකතු කර ගැනීමයි මෙහිදී වැදගත් වෙන්නෙ. ඒ නිසා මේ ප්‍රසංගය ඔබ ප්‍රදේශයේ සංවිධානය කිරීමෙන්, නැවුම්  නිර්මාණ දායකත්වයෙන් ඔබටත් බියෙන් අත්මිදෙමු ප්‍රසංගය හරහා එකතු වෙන්න කියල මම ආරාධනය කරනවා.”


ඒ ජයතිලක බණ්ඩාරයන් බියෙන් අත්මිදෙමු ප්‍රසංගය පිළිබඳව දීර්ඝ විදියට කළ සාකච්ඡාවේ හරය. අසූව දශකයේ අග භාගයේ මම පාසල් සිසුවකු ලෙස එදා රජරට සේවා ගුවන්විදුලියේ ඉදිරිපස ඇති අඹගස් හෙවනේ දැන හඳුනාගත් කලාකරුවන් කිපදෙනාගෙන් එක්  කලාකරුවෙක් තමයි ජයතිලක බණ්ඩාරයන්. එදා වාගෙම අදත් ඔහුගේ කලාව සහ සමාජය පිළිබඳ දැක්මට මා ගරු කරන්නෙ රුසියානු සාහිත්‍යයේ හමුවන කලාකරුවකුගේ එහෙමත් නැත්නම් ගායකයෙකුගේ භූමිකාව නිරුපණය කරන  කලාත්මක චරිතයක් විදියට. 

එවැනි කලාත්මක චරිත මේ කාලා ක්ෂේත්‍රයේ බෙහෙවින්ම අඩුයි. මීට අවුරුදු විස්සකට විසිපහකට විතර කලින් රජරට සේවයේ ඇසුණු ‍ජයතිලක බණ්ඩාරයන් ගැයූ මේ ගීය තවමත් මනසේ නින්නාද දෙන්නෙ ඒ නිසා.....


දෑත කරගැට මතු වුණාදෙන්

සිළිටි ගත හැඩි දැඩි වුණාදෙන්

මලක් නොවුනට කමක් නෑ ඔබ

සුවඳ නොතකන ලෝකයේ.........


 මුල් ඡායාරූපය විකල්ප වෙබ් අඩවියෙන්





30 comments:

  1. //මලක් නොවුනට කමක් නෑ ඔබ

    සුවඳ නොතකන ලෝකයේ.........//

    හරිම ලස්සණ අදහසක්!!!

    මේ දවස්වල මම කියවපු පොත් කීපයක්, දැක්ක ෆිල්ම් එකක් ගැන දැනගෙන දයා ලියපු සටහනක් වගේ.:)

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි....
      ඒවගේි ගිත දැන් කාලෙ ඇහෙන්නෙ නැතිවුනත් තවමත් ඒ ගීතවල අපූරු බවක් හිතට දැනෙනවා. ඇත්තටම මේවගේ චරිත හමුවෙන්නේ පොත්පත්අතර ඇති චරිතවලින් පමණයි.

      ස්තූතියි

      Delete
  2. දැඩි කාලීන අවශ්‍යතාවයකට සංවේදී වුණු උත්තම මනුස්සයකුගෙ, කලාකරුවකුගෙ වැඩක්... හදවතින්ම සුබ පතනවා....

    ඉක්මණින්ම කොළඹ, මීගමුව අවට තැනකදි ''බියෙන් අත්මිදෙමු'' ගී දැහැනට එක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. අනුරාධපුරේ නම් එන්න වෙන්නෙ නෑ නෙ. වැඩේට සුබ පැතුම්!

      Delete
    2. තරුරසී...
      පළමු ප්‍රසංගයෙන් පස්සේ ලැබෙන ප්‍රතිචාර අනුව ''බියෙන් අත්මිදෙමු'' ප්‍රසංගය රටවටා යන්න තමයි සූද‍ානම් වෙන්නේ. බලමු ඉදිරියේදි මොකද වෙන්නෙ කියලා. ස්තූතියි

      දිලිනි
      අනුරාධපුරේ නොපැමිණියත් මේ වැඩසටහන හා සම්බන්ධවිම සතුටක්


      Delete
  3. සුභ පතනවා.. !

    රාවය/කම්පන/කපුගේ සැදෑව.. ඔය කාලෙම නේද නන්දා මාලනී මහත්මියගේ ‘පවන‘ ආවේ. මම ඒකෙ ගීත ගණනාවක් රස විඳල තියෙනවා.

    ජය..!!

    ReplyDelete
    Replies
    1. සැම්....
      ඔව් දැනට එවැනි වැඩසටහන් කරල තියෙන්නේ කපුගේ සහ නන්දා මාලනී විතරයි. පවන ප්‍රසංගයෙන් පස්සේ තමයි කම්පන පටනගත්තේ.. ස්තූතියි

      Delete
  4. ජයතිලක බණ්ඩාරයන් අනුරපුරයෙන් මෙපිටට පැමිණෙන්නේම නැතිද???

    ReplyDelete
    Replies
    1. දේශකයා...

      අනිවාර්යයෙන්ම ඉදිරි කාලයේ මේ ප්‍රසංගයත් එක්ක වෙනම ගමනක් යන්න එනවා....

      Delete
  5. අයියෝ සික්කේ... 17 වෙනිදා තිබ්බා නං ගිහින් බලන්ඩ තිබ්බා... මම 16 වෙනිදා අනුරාධපුරේ යන්ඩ ඉන්නේ

    ReplyDelete
    Replies
    1. මධුරංග...
      කමක් නෑ ගිහින් ඇවිදල එන්න...ස්තූතියි

      Delete
  6. එවැනි කලාකරුවන් අද සමජයාට නුහුරට පෙන්නේ.

    ReplyDelete
    Replies
    1. සුදික...
      ඔව් ඇත්තෙන්ම එවැනි අය අද පෙනෙන්නේ ආණ්ඩු විරෝධීන් විදියට. ස්තූතියි

      Delete
  7. දයාට මම විශේෂ ගෞරවයක් දක්වනවා ජයතිලක බන්ඩාරයන් ගැන මෙවන් ලිපියක් පලකිරීම ගැන. මේ නිර්භීත, අවංක, නිහතමානී මිනිසා ගැන එදා සිටම මට තිබුනේ විශාල ගෞරවයක් සහ භක්තියක්. මිනිමෝරුන්ගෙන් සහ ලේ පිපාසිතයින්ගෙන් බේරී ඔහු යන ගමන හාල්පරු විශාරදයින්ටත් සරුංගල් මහාචර්ය්‍ය ප්‍රජාවටත් හොඳ පාඩමක්. ඔබ දෙපලටම මගේ ආචාරය!!

    ReplyDelete
    Replies
    1. අරු...
      ඇත්තටම අද ඉන්න ඇතැම් කලාකරුවන්යැයි අප පිලිගන්නා අයට වඩා දැනුමෙන් සහ අවබෝධයෙන් අගතැන් කලාකරුවෝ තමයි 70 -80 දශකවල මේ රටේ බිහිවුනේ. ඒ නිසා ඔවුන්ට සමාජය ගැන දැනුමක් සහ අවබෝධයක් තියෙනවා...

      Delete
  8. අන්තිමේ ලියලා තියෙන කවිය මගේ හිතට හුඟක් වැදුනා.. කියන්න තියෙන හුඟක් දේවල් එතන තියෙනවා නේද කියලා හිතුනා..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්....

      සමස්තයක් විදියට ජයතිලක බණ්ඩාරයන්ගේ ගී එකතුව ගත්තාම ඒ සියලු ගී තුළ ඒ ගී සුවද පැතිරෙනවා. එයයි සැබෑ කලාකරුවකුගේ යුතුකම ස්තූතියි

      Delete
  9. ජයතිලක බංඩාරයන් පිළිබඳව දැනගත්තේ මගේ පියාගෙන්. ඔහුගේ මුල්ම කැසට් පටය පවා අපේ ගෙදර තිබුණා. ජනප්‍රිය වීමට උත්සාහ නොකර තමන්ගේ හැකියාවෙන් සමාජයට යමක් දෙන අය අද දකින්නත් නැති තරම්. එවන් මිනිසෙකුගේ සමාජ සත්කාරයක් ගැන ලියා තැබීම පිළිබඳව ඔබටත් මගේ ස්තූතිය....

    ReplyDelete
    Replies
    1. තිසර...

      කලාකරුවො මුදල් පරමාර්ථයෙන් නෙවෙයි මේවා කරන්නේ. සමාජයේ යහපත් වෙනුවෙන්.ඒක කලාවට වගේම කලාකරුවෙකු යැයි කියන්න පුලුවන් මිනිසකුගේ වැඩක්.

      Delete
  10. අද ඉන්න කඩේ යන කලාකරුවන්ට ආදර්ශයට ගත හැකි නියම කලාකාරයෙක්...

    ReplyDelete
    Replies
    1. සිරා...

      අද මෙහෙම අය අඩුයි.. අද ඉන්නේ බිස්නස් කරන සෙල්ස් රෙප්ලා

      Delete
  11. බොහොම ආසාවෙන් හිටියත්, දුර වැඩි නිසා සහ තරමක් කාර්යය බහුල නිසා යන්න බැරි වුණා.

    ජයතිලක බණ්ඩාරයන් පිළිබඳව සහ ඔහුගේ සමාජ මෙහෙවර ගැන ලිපියක් මා දුටුවා ම යි. ලියැවිය යුතු පුද්ගලයන් ගැන නොලියවෙන, නොලියැවිය යුතු පුද්ගලයන් ගැන ලියැවෙන වකවානුවක, මේ ලිපිය බොහොම අගය කල යුත්තක්.

    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. රැංගෝ....

      නිර්ව්‍යාජ කලාකරුවන්ගේ කැපවිම සහ ඔවුන්‍ සමාජය වෙනුවෙන් සැබෑ ලෙසම පෙනී සිටීමේ අවශ්‍ය තාවය දන්න නිසා මෙහි ඉඩක් ඔවුන් වෙනුවෙන් අනිවාර්යෙන්ම වෙන්වෙනවා

      Delete
  12. මමත් සුභ පැතුම් එක් කරනවා ඔහුට....!

    ReplyDelete
    Replies
    1. රෙහානි...

      ස්තූතියි මේ වැඩසටහන ගැන සම්බන්ධ වුනාට.

      Delete
  13. නියම කලාකාරයෙක්...විස්තර දිල පුරුදු විදිහට දැනුවත් කලාට ස්තුතියි අයියා....

    ReplyDelete
    Replies
    1. දිනිති

      ස්තූතියි ඔබටත් සැබැ කලාකරුවකු වෙනුවෙන් පෙනී සිටියාට

      Delete
  14. මගෙත් සුභ පැතුම්. එන්න බැරි උනාට අපි ඔබත් එක්ක.

    ReplyDelete
    Replies
    1. දයියා...

      ස්තූතියි ඔබටත් සැබැ කලාකරුවකු වෙනුවෙන් පෙනී සිටියාට

      Delete
  15. "බියෙන් අත්මිදෙමු" සාර්ථකව පවත්වන්නට ඇති කියල විශ්වාස කරනවා, මේ ගීත සමුහය රට වටේම අරගෙන යන්න දිරිය ලැබේවා

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...