එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Thursday, 15 November 2012

෴ සවන රැඳුනේ ඔබගේ කට හඬ වේ ෴


          
           මුල සිටම කියවන්න කැමති නම් මෙන්න



ජෝතිපාල නැවත කියවමු - 06

ජෝතිමත් ගී රාවයේ දෙවන දශකය

මාස කීපයකට පස්සෙ නැවතත් ජෝතිපාල නැවත කියවමු ලියන්න සිතුනි. ජෝතිපාල ගැයූ ගීත පිළිබඳව අතීත මතක ආවර්ජනය සහ ඒ ගී සංස්කෘතිය  බිහිවූ යුගය දෙස ආපසු හැරී බැලීමේ මේ ලිපි මාලාව එක දිගට නොලිය වෙන්නේ කරුණු කීපයක් හේතුවෙනි. ඒ ඕනෑම දෙයක් එක දිගට කියවීමෙන් හෝ ඇසීමෙන් ඇති වන ඇතිවන නීරස භාවය වළක්වා ගැනිම පිණිසත්. නිතර ඇසෙන ගීත නිසා  ඒ ගීත වල  නැවුම් බවක් නොදැනෙන නිසාය. ඒ නිසා නිතර ඇසෙන ගීත නැවත අසෙන්නට සැළැස්වීමෙන් එහි අලුත් බවක් හෝ අපූර්ව බවක් කෙනෙකු තුළ නොතිබෙන්නට පුළුවන. එය වළක්වා ගැනිම සඳහා  මේ ළිපි මාලාව එක දිගට නොලියන්න හේතු වන බව ආරම්භයේම සඳහන් කරමි.

ජෝතිපාල නැවත කියවීම ලිපි මාලාව මීට පෙර  අවසන් කළේ  ඔහුගේ ගායන දිවියේ පළමු දශකය වූ 1966 වර්ෂයෙනි. (1956 -1966 )  මේ දශකයේ ජෝතිපාලට චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙස ගැයීමට  ලැබුණ ස්වතන්ත්‍ර ගීත ගණන 05 කට අඩු වුවත් ඒ ගීත ටිකත්, ඔහු එතෙක් ගැයූ හින්දි සහ දමිල ගී තනු සියල්ලත්,  ජනප්‍රිය වූ නිසා ස්වතන්ත්‍ර තනු පවා යට කී කොපි ගීත ගොඩටම වැටුණි. ඒ නිසාම නිසි විචාරයකින් තොරව ඔහු අනුකාරක ගී ගයන්නෙකු බවට පත්විය.

ඒ නිසා අද සිට ඉදිරියට ජෝතිගේ ගායන දිවියේ දෙවන දශකය එනම් 1967 -1977 ගී දශකය තුළ ඔහු බිහි කළ  සිනමා ගීත සංස්කෘතිය  සහ  ඒ දශකයේ බිහිවූ වෙළඳ ගී තැටි වලින් ඇති වූ සංගීත සංස්කෘතිය පිළිබඳව පුංචි කතිකාවක් ඇති කරන්නට මේ ලිපි පෙළ ඔස්සේ වෑයම් කරමි.

ජෝතිපාලගේ දෙවන දශකය තුළ ද සියයට අනූවකට වඩා වැඩියෙන් ලැබුණේ අනුකාරක ගී තනු ගායනා කිරීමට ය. ඊට බෙහෙවින් බලපෑ සාධකයක් වන්නේ ‍ඒ යුගය වන විට ගීතය යනු චිත්‍රපට පසුබිම්  ගීත බවට තරයේම  විශ්වාස කළ පිරිසක් සිටීමත්,  ජෝතිපාල චිත්‍රපට පසුබිම් ගායකයකු මිස එකල ගුවන් විදුලි පරීක්ෂණයෙන් සමත් නොවූ සරළ ගී ගායක‍යකු ලෙස පිළිගැනීමක්ද  නොතිබීමයි. එකල යම් මට්ටමක පිළිගත් ශිල්පියෙකු විමට නම් ගුවන් විදුලි සරල ගීත පරික්ෂණයෙන් "ඒ" හෝ "බී" ශ්‍රේණියේ ශිල්පියෙකු වශයෙන් සමත්ව සිටිය යුතුය. එය ශිල්පියෙකුට ඉතාමත් වැදගත් සාධකයක්  සේ එකල ප්‍රබුද්ධ රසික විචාරක පරපුර අතර පිළිගැනිමක් තිබුණි.

ඒ නිසාම ජෝතිපාලට සිදුවූයේ චිත්‍රපට පසුබිම් ගායකයෙක් ලෙස පෙනී සිටිමින් තම අතට පත්වන ඕනෑම ගීතයක් ගායනා කර චිත්‍රපට නිෂ්පාදකයාගේ මනදොල සපුරා ලන්නටත් ඒ ඔස්සේ  තම ගායනයේ අනන්‍යතාවය තහවුරු කර ගැනිමටත් ය.  එය එසේ වුවත් ඒ අනුකාරක ගී හැම එකක්ම ජනප්‍රියත්වයේ මුදුනත රැන්දූ කොපි ගීත බවට පත්වන්නේඇසූ සැණිනි. ඒ  ගී තනුවල තිබූ මිහිරියාව සේම ඊට  ගැලපෙන සේ ග්‍රාම්‍ය  නමුත් සරල ගිපද මාලා ලියා තිබිමයි.

1967 වර්ෂයේදි තිරගත වූ "හිත ගිය තැන"  චිත්‍රපටයේ මොහොමඩ් සාලිගේ සංගීතයට කරුණාරත්න අබේසේකරයන් ලියූ  රන්වන් පුන්සඳ පායාලා  ගීයද එවැන්නකි. 1968 වර්ෂයේදී තිරගත වූ "පිණි බිඳු"  චිත්‍රපටයට  ජෝතිපාල සහ සුජාතා පෙරේරා (අත්තනායක)  ගැයූ "මුහුදු වෙරළ දිගේ"  ගීයත් එම වසරේම තිරගත වූ "වනසරා" චිත්‍රපටයට ජෝතිපාල ගැයූ "අපි සක්වල ගලෙන් මෙපිට උපන්නේ" ගීතයත් ජනප්‍රිය ගීත බවට පත්විය. එසේ වුවත් 1969 දි තිරගත වූ දෙමල අනුකාරක චිත්‍රපටයක් වූ "ඇමතිකම" චිත්‍රපටයට ජෝති ගැයූ ගීත ඉතාමත් දුර්වල පදරචනා සහ සංගීතයෙන් යුක්ත විම නිසා ඒ ගීත කිසිවක්  ජනප්‍රිය නොවුණි.

කෙසේ වුවත් නැවතත් ජෝතිපාලට ස්වතන්ත්‍ර චිත්‍රපට පසුබිම් ගීයක් ගායනා කිරිමට ලැබෙන්නේ 1969 තිරගත වු "රෑන ගිරව් " චිත්‍රපටයටය. ගාමිණි ෆොන්සේකා, ආනන්ද ජයරත්න සහ නීටා ප්‍රනනාන්දු රඟපෑ රෑන ගිරව් චිත්‍රපටය කේමදාසයන් විසින් සංගීතවත් කර තිබුණි. ජෝර්ජ් ලෙස්ලි රණසිංහගේ පද මාලාව ගැයිමට  කේමදාසයන් මුල්වරට ජෝතිපාල  කැඳවා තිබුණි.  "හෙට උදයේ අලුත් ඉරක් පායලා"  ගීතය ජෝති ගැයූ මියුරු ස්වතන්ත්‍ර ගීතයකි. ඒ චිත්‍රපටයට කේමදාසයන් ගීත 07 ක් නිර්මාණය කර තිබු අතර සියලුම ගීත ජනප්‍රිය ගීත බවට පත්විය.

එසේම 1969 වසරේ තිරගත වූ "සූරයන්ගෙත් සූරයා" චිත්‍රපටයේ  ගීත 04 ක් ඇතුළත්ව තිබූ අතර එම්.කේ රොක්සාමිගේ සංගීතයෙන් හැඩ වූ   ඉන් එක් ගීයක් ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක විසින් ගායනා කර තිබුණි.  "ආශාවේ ගංගාවේ" නම් වූ  ඒ ගීතයද කොපි ගීතයකි. එයද ජනප්‍රිය ගීතයක් බවට පත්විය. එසේම රොක්සාමි මාස්ටර්ගේ සංගීතයෙන් හැඩ වූ "සුමුදු භාර්යා" චිත්‍රපටයට කරුණාරත්න අබේසේකරයන් ලියූ "ආලය කාටත් පොදු දෙයකී" ගීයද ජනප්‍රිය ගීත ලෙසන් රසික ප්‍රසාදය දිනාගත්  නමුත් ජෝතිපාලගේ ගී හ‍ඬෙහි ඇති මියුරු රසය මිස  ගීත පදමාලාවේ හෝ සංගීතයේ ඕලාරික බවත් ග්‍රාම්‍ය බවත් හැර වෙනත් කිසිඳු ගී රසක් එහි දක්නට නොමැත.

1970 වන විට ජෝතිපාල සිනමාවේ අත්‍යවශ්‍යම ගායන ශිල්පියා බවට පත්ව සිටියේය. ඒ ඔහු සත්වු අපූර්ව ගැඹුරු ගි හ‍ඬෙහි ප්‍රතිභාව නිසාය. චිත්‍රපටයේ රූප රාමුව ඉල්ලා සිටින ගී හඬක් ජෝතිපාල සතුව ඒවන විට ‍ගොඩ නැගි තිබුණි.  සිනමා ශාලාවේ සිටින ප්‍රේක්ෂකයාගේ  බලාපොරොත්තුව වූයේද රංගන ශිල්පියාගේ රංගනයට නොදෙවෙනි ගී හඬක් සිනමා ශාලාව තුළ සිසාරා යනු දැකීමයි. ඒ නිසා  සිනමා හල් අතුරු සිදුරු නැතුව පිරෙන්නට නම් ගාමිණීගේ රංගනය සේම ජෝතිගේ ගායනයද සිනමාවට අත්‍යවශ්‍ය සාධක බවට පත්ව තිබුණි.

ඒ නිසාම ජෝතිපාල 70 දශකය ආරම්භ කරන්නේ නීල් රූපසිංහගේ චිත්‍රපටයකිනි. නිල් රූපසිංහගේ "දැන් මතකද" චිත්‍රපටයේ ගීත 06ක් ඇතුළත් විය. චිත්‍රපටය සංගිතවත් කළේ. පී.එල්.ඒ.සෝමපාල විසිනි. සියලුම ගීත කරුණාරත්න අබේසේකර‍යන් විසින් ලියා තිබු අතර ඒ ගීත 06 ම අද දක්වාම ජන මන බැන්දූ ගීත ලෙස හැඳින්විය හැකිය. සියලුම ගීත හින්දි අනුකාරක ගීත බව සඳහන් කළ යුතුය. මතු දැක්වෙන්නේ “දැන් මතකද” චිත්‍රපටයේ ඇතුළත් වූ ගීයකි.


ජෝති -        ආදරේ හිතෙනව දැක්කම
                   දෙවඟන වාගේ ලස්සනයි
                   පොඩ්ඩක් ඉන්න සුදෝ
                   මං එනවා ළඟටම දැන් හොඳයි

ඇන්ජලීන් -  ආදරේ හිතෙනව දැක්කම
                   දෙවඟන වාගේ ලස්සනයි
                   පොඩ්ඩක් ඉන්න සුදෝ
                   මං එනවා ළඟටම දැන් හොඳයි


ජෝති -        ඔබ සොයා ඉගිල එයි  මා හදේ භෘංගයා
                   හැංගුවේ ඇයි ප්‍රියේ මල් විලේ හංසයා
                   හැංගුවේ ඇයි ප්‍රියේ මල් විලේ හංසයා


ඇන්ජලින් -  හැංගුවේ නෑ කිසිත් ඇත්තමයි මා ඔබේ
                   මා සෙවූ මා පැතූ ආදරේ දැන් ලැබේ
                   මා සෙවූ මා පැතූ ආදරේ දැන් ලැබේ


                   ගීත පබැදුම: කරුණාරත්න අබේසේකර
                   ගැයුම: එච්.ආර්.ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක
                   සංගීතය: පී.එල්.ඒ. සෝමපාල
                   චිත්‍රපටය: දැන් මතකද
                   අධ්‍යක්ෂණය: නීල් රූපසිංහ
                   තිරගත වූ වසර :1970


 නීල් රූපසිංහගේ දැන් මතකද චිත්‍රපටය ගැලරියේ හුන් චිත්‍රපට ප්‍රේක්ෂකයාට නව ජවයක් සැපයූ එන්නතක් විය. ගාමිණීගේ රංගනයත් ජෝතිගේ ගායනයත් එකට පෑහී තිබුණි. ගාමිණීටත් ජෝතිටත් සිනමා හලේ ගැලරියෙන් ලැබෙන විසිල් පාර වළක්වන්න කිසිවකුටත් නොහැකිය. ජෝති මේ චිත්‍රපටයේම තවත් ගීත 03 ක් ගැයුවේය. "හිස් ටින් එකක් වාගේ ජීවිතේ" ( ජෝති/ බෙග්/ මිල්ටන්), අකල් වැස්ස තුරල් වෙලා ( ජෝති/ සුජාතා) , මේ සීත සුව දෙන රැයේ ( ජෝති/ සුජාතා) ගීත මෙන්ම එම්.එස්. ප්‍රනාන්දු ගැයූ "මැණිකෙ මම ආයෙ ගෙදර එනවා" ගීයද තිබුණේ මෙම චිත්‍රපටයේ මය.

එසේම එම වසරේම තිරගත වූ  "ගීතා" චිත්‍රපටයට ජෝතිපාල සහ  සුජතා අත්තනායක ගැයූ "මසිත විල්තල චංචලවේ" ගීතය සේම  ජෝතිපාල ගැයූ මේ ගීයද එදා මෙදා තුර සිංහල සිනමාවේ ජෝතිමත් නම රැන්දූ ගීතයක් විය. මේ ගීයේ තනුව ස්වතන්ත්‍ර ගී තනුවකි

                   දකින දසුනේ දෙනෙත ඇඳුනේ
                   සොඳුරු ඔබෙ රුව වේ
                   පවන ඇසුනේ සවන රැඳුනේ
                   ඔබගේ කට හඬ වේ
                   ඔබගේ කට හඬ වේ..


                   මහද විමනේ කැකුළු යහනේ
                   ඔබයි සැතපෙන්නේ
                   සිතක සිතුමේ පතන පැතුමේ
                   ඔබයි හිනැහෙන්නේ
                   ඔබයි හිනැහෙන්නේ...


                   දෙපස ගංගා දෙකක එක්වී
                   එක තැනට ආවේ
                   එකම ඒ ගං ජලය මුසුවී
                   සයුර තුළ පාවේ
                   සයුර තුළ පාවේ...


                   ගීත පබැදුම: කරුණාරත්න අබේසේකර
                   ගැයුම: එච්.ආර්.ජෝතිපාල
                   සංගීතය: ටී.එ‍ෆ්. ලතී‍ෆ්
                   ගී තනු නිර්මාණය: ගලගෙදර එම්.ඒ.එම්. හක්
                   චිත්‍රපටය: ගීතා
                   අධ්‍යක්ෂණය: ජෝ දේව් ආනන්ද්
                   තිරගත වූ වසර :1970



1970 වසරේම තිරගතවූ "ඔහොම හොඳද " චිත්‍රපටය දෙමළ චිත්‍රපටයක් අසුරින් නිපදවූවකි. ඒ චිත්‍රපටයටද ජෝතිපාල  එම්.කේ. රොක්සාමිගේ සංගිතයට ගිත දෙකක් ගායනා කළේය. ඒ අතර මේ ගීයද ජනප්‍රිය ගීතයක් බවට පත්විය.


කියන්නම් කතාවක් පාන්නද සිනාවක්
තවත් නෑ වෙලාවක්  හිතේ නෑ නිදහසක්
කියන්නම් කතාවක්

අහන්නම් කියන්නකෝ ඔබේ රස කතා දැන්
ළඟින් ඉන්නවා නම් මොකෝ දැන් පමාවක්
අහන්නම් කියන්නකෝ

සුදෝ සුදු වලාවේ රිදී හිරු සිනාසේ
ඔබේ රස නුරාවේ  මහද මත් වුනාවේ
මහද මත් වුනාවේ


අහන්නම් කියන්නකෝ ඔබේ රස කතා දැන්
ළඟින් ඉන්නවා නම් මොකෝ තව පමාවක්
අහන්නම් කියන්නකෝ

ගී ගගක් ගලන්නේ මා සවන් පිනන්නේ
මල් මිටක් වගේ මං ඔබ විලක් වුනා නම්
ඔබ විලක් වුනා නම්

කියන්නම් කතාවක් පාන්නද සිනාවක්
තවත් නෑ වෙලාවක් හිතේ නෑ නිදහසක්
කියන්නම් කතාවක්

ගීත පබැදුම: කරුණාරත්න අබේසේකර
ගැයුම: එච්.ආර්.ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක (මුල් ගැයුම)
පසු ගැයුම: සහාය ලතා වල්පොල
සංගීතය: එම්.කේ. රොක්සාමි
චිත්‍රපටය: ඔහොම හොඳද
තිරගත වූ වසර  :1970


මේ අයුරින් 70 දශකය ඇරඹෙද්දී සිංහල සිනමාවේ ස්වර්ණමය හඬ ලෙස ජෝතිගේ හඬ  මුල් බැස ගනිද්දි ජෝතිපාල චිත්‍රපට පසුබිම් ගියට අත්‍යවශ්‍යම සහ නැතුවම බැරි ගායකයා බවට පත්විය. ඒ නිසාම අනුකාරක ගීත එක දිගට ජෝති පසු පස පෙළ ගැහෙද්දි ඔහුට ඒ ගිත ගායනා කරන්න සිදුවූයේ නිෂ්පාදකයාගේ අවශ්‍යතාවය ඉටු කිරිමටය. 70 දශකය ආරම්භ වන විටම එකම චිත්‍රපටයේ ගීත දෙක තුනේ සිටි හයක් හතක් දක්වා ගැයිමටද ඔහුට සිදුවිය. ඒ ජෝතිගේ ගී හ‍ඬ සඳහා ලාංකේය වාණිජ සිනමාව  ඉල්ලූ හඬ පෞරුෂය ඔහු තුළින්  ගොඩ නැගී තිබූ නිසාය.෴

තවත් කොටසක් ලබන සතියේ...


ඔබේ හිතේ ජෝතිපාල පිලිබඳව විචාරාත්මක අදහසක් හෝ මේ ලියූ දේ ගැන විචාරයක් ඇත්නම් ලියන්න. කැමති විදියට ලිවිමට ඔබට නිදහස ඇත.

Related Posts Plugin for WordPress, Blogger...