එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Tuesday, 26 June 2012

෴ ජෝතිපාල නැවත කියවමු ෴


 ජෝතිපාල 1936 - 1987 පනස් එක් වසරක සෞන්දර්යය චාරිකාව.

 පූර්විකාව:

ඔබෙ ප්‍රතිමාවක් නැති රජ දහනක සිට........

හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල හෙවත් එච්.ආර්. ජෝතිපාල, එහෙමත් නැත්නම් අපි කවුරුත් දන්න කියන විදියට "ජෝති"  ශ්‍රී ලාංකේය සංගීත අඹරේ සුපිරි ගායන තරුව, ජෝතිපාල මිය ගොස් 2012  ජූලි මස 07 වන දිනට වසර 25 කි. ඔහු ශ්‍රී ලාංකේය සංගීත රසිකයන් හැර ගියේ 51 වියේ දීය. ජෝති ශ්‍රී ලාංකේය සංගීත සමාජය  හැර ගොස් වසර විසිපහක් ගත වුවද, තවමත් ගායන අඹරෙහි සුපිරි ගායන තරුව ඔහු ය. ඔහු ගොඩ නැගූ  ඒ ජනප්‍රිය සංගීත සංස්කෘතිය අභිබවා යාමට එදා මෙදා තුර කිසිවකු මේ ශ්‍රී ලංකාවේදී සමත් වී නැත.

ජෝතිපාල ලංකාවේ පහල වීම අහම්බයක් හෝ විශ්මකර්මයක්  නොවේ. අහම්බෙන් වුවද එවැනි පහළ වීම් නැවත ඇති නොවනු ඇතැයි සිතිය නොහැක. එසේම එවැනි විශ්මකර්මයකු නැවත පහළ නොවනු ඇතැයි යන්න ද සිතිය නොහැක. මන්ද යත් එවැනි හැකියාවන් ඇති මිනිසුන් කිනම් මොහොතක හෝ පහළ විය හැකි  බැවිනි.

ජෝතිපාල මිය ගිය පසුව ද ගෙවුණු වසර විසිපහ තුළ චිත්‍රපට 25 ක පමණ ගී ගැයුවේ ය. විවිධ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ, මෙන් ම පුවත් පත් සඟරා ඔස්සේද ඔහු පිළිබඳව විවිධ කතා බහ ඇති විය.

ජෝතිපාල ජීවත් ව සිටි සමයේ සිට මේ දක්වා ගතවූ  හැම දවසකම, ඉර බහින හැන්දෑවක ගමක ගෙපැළක, පිල්කඩ උඩ ඇසුණේ ජෝතිපාල ගැයූ ගීයකි. හේනක, කුඹුරක,  පැල් රකින ගොවියා තම කාංසිය සහ පාලුව මඟ හරවා ගත්තේද, ජෝතිගේ ගීයක් මිමිණීමෙන් හෝ ගුවන් විදුලියේ පාව ආ ජෝතිගේ  ගීයක් ඇසීමෙනි.

හැන්දෑවට, පාරේ වැනි වැනී යන බේබද්දා  බැරි බැරි ගානේ  කෑ මොරදෙන්නේද, ජෝතිගේ ගීයක් කෑ ගසා කීමෙනි. එහි කිසිඳු සෞන්දර්යයක් හෝ රසයක් නැත ද , තවත් අයෙකුට මහත් හිසරදයක්, කන්දොස්කිරියාවක් වුවද, ඔහු සිය ගායනය නවත්වන්නේ නැත. ඔහු අමාරුවෙන් හෝ වෙරි මරගාතේ පෙම් බඳින්නේ ජෝතිපාලට ය.

හැන්දෑවක වැව් ඉවුරක, ගං ඉවුරක, ඇලක් හෝ දොලක් අයිනේ "සෙට්" වෙන කොල්ලො කුරුට්ටෝද දෙකක් දාගත්ත ගමන් මුමුණන්න පටන්ගන්නේ ද,  දවසේ මෙහෙය නිමවා බාර් එකේදි ‍"සෙට් " වෙන කම්කරු පන්තියේ මිනිසුන් ද, සති අන්ත වලදී  හවසට සොඳුරු තැන්වල හමුවෙන හිත මිතුරු පිරිස් ද, රාත්‍රී සුපිරි සමාජ ශාලාවක  ‍"සෙට්" වෙන ඉහළම කෝටිපතියාගේ සිය මධ්‍යම පාන්තික රැඩිකල්  තරුණයා දක්වා ද  තෝරා ගන්නේ ජෝතිපාලගේ ගීයකි.

ගායන ලොවේ සුපිරි තරු තෝරන "සුපර් ස්ටාර්" තරඟ වලදී  අධුනිකයා ගයන්නේ ද  ජෝති පාලගේ ගීයකි. මෙරට හතළිස් ගනනකට කිට්ටු සියළුම ගුවන් විදුලි නාලිකා වලින් අවම වශයෙන් එක ගුවන් විදුලි නාලිකාවක් දිනකට ජෝතිපාලගේ ගීත අවම වශයෙන් 10 ක් හෝ 12 අතර ගනනක් ප්‍රචාරය කරයි. ජෝතිපාල නොසිටියේ නම් ඒ ගුවන් විදුලි නාලිකා පවත්වාගෙන යාම ද ගැටළුවක් වනු නියත බව සිතෙන්නේ දිනකට ඇසෙන ජෝතිගේ ගිත ගැන හිතෙන විට ය.   ජෝතිපාල සමාජ ගත වන්නේ ඒ විදියට ය.

මෙරට විචාර කලාව අනුව  ජෝතිපාල ජීවත්ව සිටි සමයේ ගීතය සහ සංගීතය ද දෙකට බෙදුනි. අමරදේවයන් ප්‍රමුඛ ගායන පරපුර සම්භාව්‍ය ගීත සාහිත්‍යයේ ඇසුර එක් පසෙක ද, ජෝතිපාල , පුමුඛ ගායක පරපුර ජනප්‍රිය සංගිතය සහ ගීත ශෛලියද අනෙක් පස සිට අනුගමනය කළේය. අමරදේවයන් ප්‍රමුඛ ගායන පරපුර උත්තම ගණයට අයත් වූ අතර එකී විචාර කලාව අනුව  ජෝතිපාල වැටුනේ අධම ගණයේ ගීත ගොඩටය. අපේ විචාර කලාව ක්‍රියාත්මක වූ යේ  ඒ අයුරිනි.

එදා සිට මේ දක්වා ජෝතිපාලගේ ගායන ශෛලිය හෝ ඔහුගේ  ගීත පිළිබඳව නිසි විචාරාත්මක අගැයුමක් සිදුව නැති බව මගේ හැගීම ය. මේ සඳහා ප්‍රවේශයක් සපයා ගැනීමට මා  ජෝතිපාල පිළිබඳ ලියැවුන පොත්පත් තිබේ දැයි විමර්ශනයක් කළෙමි. එහෙත් ජෝතිපාල නැන ලියැවුණු පොත්පත් කිසිවක් හමු නොවුණි. කොළඹ පොත් සාප්පු ගණනාවක් පීරා පොත්පත් සොයද්දී මට හමුවූ එකම කෘතිය වූයේ පරාක්‍රම කොඩිතුවක්කු කවියා විසින් ලියූ "ජෝති රශ්මි රාත්‍රී"  ආඛ්‍යාන කාව්‍යයයි. පරාක්‍රම කොඩිතුවක්කු එය ද පළකර තිබුණේ කවියෙනි. ඒ නිසා ජෝතිපාල සහ ඔහුගෙන් ගීත සාහිත්‍යයට සහ සිනමාවට සිදුවූ සේවය කුමක්ද යන්න සොයා බැලිමට සිතක් පහළ විය .

ඒ අනුව, ජනප්‍රිය සංගීත සංස්කෘතිය හඳුන්වා දුන් ජෝතිපාලගෙන් සිංහල ගීත සාහිත්‍යයට  සිදුවූ සේවය කුමක්ද?

ඔහු අතින් සිංහල චිත්‍රපට සංගීතයට හැර  සිංහල ගීතයට කිසිඳු සේවයක් සිදු නොවුණිද

1960, 70, සහ 80 දශකවලදී  සිංහල සිනමා බැබලුණේ ජෝතිපාල නිසාද? එසේත් නැත්නම් සිංහල සිනමාව නිසා ජෝතිපාල බැබලුනේද?

ජෝතිපාල ස්වතන්ත්‍ර ගී නොගැයුවේද? ගැයුවා නම් ඒ මොනවාද?

ජෝතිපාල ගැයුවේ අනුකාරක ගී පමණද? ඒ හැම අනුකාරක ගීයක්ම හරසුන් බොළඳ පදමාලා වූයේද?

ඒවා ගීත සාහිත්‍යයේ උත්තම ගණයට නොවැටී අධම ගණයට අයත් වූයේ ඇයි ?

යන මෙන්න මේ කරුණු පිළිබඳව  ගත වූ වසර විසිපහක කාලය දෙස ආපසු හැරී  බලන විට මේ  සඳහා පිලිතුරු සෙවිය යුතු කාලය එළඹ ඇති බව  සිතුනි. එහෙත් ඉතිහාසය නැවත නිවැරදි කළ නොහැක.  කළ හැක්කේ වර්තමානය සහ අනාගතය නිවැරදි කිරීම පමණි. ඒ නිසා මේ සූදානම් වන්නේ ඒ ඉතිහාසයේ වැළලී ගිය සොඳුරු තැන්  සහ  මතකයන් යළි හාරා අවුස්සන්නට ය. ඒ වියළී ගිය කර්කෂ අතීතය තුළින් "ජෝතිපාල නැවත කියවන්නටය."  ජෝතිපාල ජීවත්ව සිටියදී  ඔහු ගැන නොලියවුණු  එහෙත් ලිවිය යුතුව තිබුණ විමර්ශනාත්මක විචාරය ලියන්නටය. ජෝතිපාල මගින් සිවිල් සමාජය ගැන කතා කරමින් බ්ලොග් අවකාශයෙහි පළමු වරට  ජෝතිපාල ගැයූ මිහිරිම ගීතාවලියක මිහිරිතර අත්දැකීම් ඔබ සමග බෙදාගන්නට ය.

'ජෝතිපාල නැවත කියවමු" ඔව්, ඊට හොඳම කාලය මෙයයි. "අස්වැන්න" අද  පටන්  ජෝතිපාල සහ ඔහු ගැයූ  ගීත පිළිබඳව දීර්ඝ විමර්ශනයකට ලක් කරමින් පුරා වෘත්තයක්  සේ දිග හැරෙයි. මේ සටහන් පෙළ අවම වශයෙන් කොටස් 30 හෝ 40 පමණ දීර්ඝ වනු ඇතැයි මටම සිතේ. එසේ වුවද මේ දීර්ඝ ලිපි පෙළ නොකඩවා එක දිගටම ලිවීමේ අපේක්ෂාවක් නැත. විමර්ශණයක් කිරීම තරමක් සූදානම් විය යුතු විෂයකි. ඒ සඳහා යම් යම් ගවේෂණ සිදු කළ යුතු ය. ඒ සඳහා දිගු කැප කිරීමක් සහ කාලයක් අවශය ය.  ඒ නිසා ඉඩක් ලැබෙන පරිදි කොටස් වශයෙන් ලිවිමට අපේක්ෂා කරන  මේ ලිපි මාලාව අවසන් විමට වසරකටත් වඩා දිගු කාලයක් ඉක්මවා යා හැකිය.

ඒ නිසා "අස්වැන්න" මෙතැන් පටන් ලියන "ජෝතිපාල නැවත කියවමු"  ලිපි මාලාව කියවන්නටත්, ඔබ ජෝතිපාලගේ මෙතෙක් ඇසූ ගීතවල මිහිර මෙන්ම,  කිසිම දිනෙක නෑසු  ජෝතිපාලගේ මිහිරිම ගීතාවලියක මිහිර බෙදාගන්නටත් අස්වැන්නට එකතු වන ලෙස ඔබට ඇරයුම් කරමි. මෙහිදී  "අස්වැන්න" තුළින් ඔබට අසන්නට ලැබෙන්නේ ඔහු ජීවත්ව සිටියදී ගැයූ ගීතවල මුල් ගීතයන් පමණි. ඔහු මියගිය පසු කණ්ඩායම් සංගීත වලට ජෝතිපාල ජීවත්ව සිටියදී ගී නොගැයූ නිසා එවැනි නව සංගිත සංයෝජන ඇතුළත්  කිසිදු ගීයක් මෙහි ඇසෙන්නේ නැත.

මේ සඳහා ඔබේ අදහස් සහ යෝජනාද එකතු කරන්නට කැමැත්තෙන් සිටිමි. ජෝතිපාල ගැයූ ගිත , ඔහු පිළිබඳව තොරතුරු, විස්තර, විචාරාත්මක අදහස් ඔබ සතුව ඇත්නම් ඔබ කැමති නම් එයද අස්වැන්නට එකතු කළ හැකිය. ඒ සඳහා ඔබගේ නම  සහ බ්ලොග් අඩවියක් ඇත්නම් එහි විස්තර ද මගේ ඊමේල් ලිපිනයට එවනු ලැබුව හොත් ඒ තොරතුරුද  ඉදිරිපත් කළ හැකිය.

අද "අස්වැන්න" ජෝතිපාල නැවත කියවමු  පූර්විකාව නිමා කරන්නේ මා කිය වූ  පරාක්‍රම කොඩිතුවක්කු විසින් රචිත "ජෝති රශ්මි  රාත්‍රී" කාව්‍ය සංග්‍රහයේ ඇති ජෝතිපාල පිලිබඳ ලියැවුණු මේ අපූරු කාව්‍යයේ ‍කොටසක් උපුටා දක්වමිනි.

                             ...... ජෝති ඔබ
                             යුගයේ වඩාත්ම ප්‍රේමනීය හඬද වූවෙහිය
                             වඩාත් විශ්වාශවන්ත හඬද වූවෙහිය
                            
                             හැම යුගයක්ම
                             බිහිකරයි තම කාලයේ විරුවන්
                             ඇතැම්විට ඒ දරුවෝ
                             වැටී සමාජ පත්ලෙහි
                             සැඟව යති මහා නෞකා සේ
                             සාගර කුක්ෂියෙහි ගිලී යන

                             ඒ වීර දූ පුතණුවන්
                             යළි සොයා ගොස්
                             වඩා හිඳුවා
                             නළවන්න එපාද
                             ඉතිහස නම් මෑණිය උකුළේ?

උපුටා ගැනීම:
 පරාක්‍රම කොඩිතුවක්කු ගේ  "ජෝති රශ්මි රාත්‍රී" කාව්‍ය සංග්‍රහය (10 සහ 11 පිටු වලින් )

ජෝතිපාල මියගොස් වසර විසි පහකට පසුව ඒ ජෝතිමත් ඉතිහාසය හාරා අවුස්සා ඒ අසාහය ගී මිහිර විදිමින්  අපි ලබන සතියේ සිට "ජෝතිපාල නැවත කියවමු" එය කියවා "හිස් අහසේ ගෑවෙන්න තරමට ගී සෑයක් බඳිමු" මෙතෙක් කල් ජෝතිපාලගේ ගී මිහිර වින්ද ඔබට එය අලුත් අත්දැකීමක් සේම , ඇතැම් විට ඔබ කිසිදින ජෝතිපාලගේ ගී මිහිර නොවිඳ අතහැර දැමූ ජෝතිපාලගේ ගිත එපා වූ අයෙක් නම් නැවත ජෝතිපාලගේ ගී ගැන හිතන්නටත් මෙය  අලුත් මාවතක් වේවි.෴



71 comments:

  1. දන්නා ජෝතිගේ නොදන්නා කතා සහ දන්නා කතා ගැනත් ලියන්න පුලුවන් නම් හොඳයි

    ReplyDelete
    Replies
    1. හසිත
      මම මේ ජෝති ගැන ලියූ හැඳින්වීමේ ලිපියට කිසිම කමෙන්ට් එකක් වැටෙයි කියල හිතුවෙ නැහැ.මොකද මේක හඳුන්වා දීම පමණක් වූ නිසා.ඇත්තටම විශාල අදහස් ප්‍රමාණයක් ලැබුණාම මේ 25 වසරකට පෙර හිටිය අදටත් ජීවමාන ජෝති නේද කියලා හිතුනා.

      දන්න සහ අහල තියෙන විදියට රසවත් තොරතුරු ටිකකුත් තියෙනවා. ඒවත් අවශය තැන්වලදි දාන්නම්

      Delete
  2. ජෝති සජීවීව ගායනා කරනව මම දැකල නෑ... කොටින්ම ජෝතිව මම හොඳට දැනගන්නෙ අවුරුදු 10-12 විතර කලින් සන්ෆ්ලවර්ල කරන ඇල්බම් නිසා. පොඩි කාලෙ මට මිනිහව පේන්න බෑ. හැබැයි දැන් තත්ත්වෙ වෙනස්!

    මම එක එක කාලවලදි එක එක ගායකයන්ට, ගීත වලට කැමති වෙලා ඉඳ තියෙනව. නමුත් ‍ගායකයෙක් විධියට තිබිය යුතු සියළු ගුණාංග සැලකුවම මට තේරෙණ විධියටනම් ලංකාවෙ බිහිවුණ සියළු ගායන ශිල්පීන් අතරිනුත් ජෝති මුල්තැන ගන්නව. ඒකට ඔහුගෙ හඬ භාවිතය, පරාසය, හැඟීම්, සහ තාරකාමය ගුණාංග වගේම අවංකත්වයත් ඇතුලත්!

    ලියමු එහෙනම්... අපි කියවනවා!

    ReplyDelete
    Replies
    1. හරේෂ්..
      මම නම් ජෝති එළිමහන් වේදිකාවේ සිංග් කරනවා දැකල තියෙනවා. ඒ අපි කුඩා කාලේ.

      ස්තූතියි හරේෂ්..මම මේ ජෝති ගැන ලියූ හැඳින්වීමේ ලිපියට කිසිම කමෙන්ට් එකක් වැටෙයි කියල හිතුවෙ නැහැ.මොකද මේක හඳුන්වා දීම පමණක් වූ නිසා

      Delete
  3. කියලා නිම කරන්න බැරි තරමේ වටිනා වැඩක්.. අනිවාර්‍යෙන් කියවනවාමයි හැම එකක්ම.. අමරණිය ජොති තව සෑහෙන කාලෙකට අපි අතර ජීවත් වේවි.. පළමු කොටස එනකම් බලාගෙන ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්..

      හරි එහෙනම් ලබන සතියේ ඉඳන් කියවමු. ස්තූතියි.

      Delete
  4. ඒ දවස් වල හැන්දෑවට I.T.N. එක ගාවට ඇවිත් සුභාෂිණි හේමමාලා ඉදිරිපත් කරන “හද රැදි ගී“ බලන්නෙ ජෝතිපාල මහත්මයාගේ ගිතයක් අහන්නමයි , මොකද ඒ දවස් වල හැමදාමත් ඒ වැඩසටහනේ මෙතුමන්ගේ ගීයක් ප්‍රචාරය වෙනවාමයි .
    මේ තරම් පොදු ජන හදවත් අතරට රිංගූ ගායකයෙක් සොයා ගන්නට අමාරුයි , මොකද මේ ගීය , සම්භාව්‍ය ගීයට ලැදි අය මෙන්ම , ඔබ කියනා ලෙසින් රෑට අඩියක් ගහලා කැරකෙන පුද්ගලයාත් පෙම්බැදි හඬක් , රිදමයක් , මිනිසෙක් .

    හරිම අගෙයි ඔබේ “අස්වැන්න “ නම්  ,එය මෙතෙක් සිංහල බ්ලොග් පරිශ්‍රය , ස්පර්ශ නොකළ මානයකට ගෙනයමින් කරන්නාවූ මෙහෙය අගය කළ යුතුමයි .

    ReplyDelete
    Replies
    1. මහේෂ්..

      අපි බ්ලොග් අවකාශය තුළ හරවත් සංවාදයක් ගොඩනගමු. ජෝති සහ ඔහු ඇතිකල සමාජමය වෙනස ගැන. ස්තූතියි ඔබටත්

      Delete
  5. මම නම් ඔය ශ්‍රේණිවල භේදයක් නැතිව ගී රස විඳින කෙනෙක්. ජෝතිපාලයන් හෝ වේවා, අමරදේවයන් හෝ වේවා එම ගීයෙන් මා සැනසෙනවානම් හා ඉන් මට රසයක් දැන්නෙනවානම් මා එය අසනවා. ඒ වගේම සමහර ගීවලට තියෙනවා අප ඒ ගී ඇසුවාට පසුවත්, නැවත, නැවත අපේ මනසේ පිලිරැව් දෙන. ජෝතිපාලයන්ගේ ගී වැටෙන්නේ ඒ ගොඩට.

    හින්දි තනු අනුගමනය කලත්, ඔහුගේ ගීවල අර්ථ රසය සමග සමහර විට දැනෙනේ දුකක්. සමහරවිට සුවයක්. මා ඔහුගේ කැමතිම ගීත දෙකක් තමා 'නින්ද නේන රාත්‍රියේ...' සහ 'ටජ්මහලක් තනවන්න නෑ මට '. ඔහුගේ පෙම් ගීත වඩා ලස්සන බවයි මගේ හැඟීම. ඔහු පිලිබඳ වැඩිදුර කියවීමට ආසාවෙන් බලා ඉන්නවා.

    දයා නම් මේ කරන්නේ අගනා මෙහෙයක්. ඒ බව නම් සඳහන් කල යුතුමයි.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි..

      මම මේ ජෝති ගැන ලියූ හැඳින්වීමේ ලිපියට කිසිම කමෙන්ට් එකක් වැටෙයි කියල හිතුවෙ නැහැ.මොකද මේක හඳුන්වා දීම පමණක් වූ නිසා. එත් සෑහෙන්න දෙනෙක් ජෝතිපාලට කැමති බව දැනුනා. ඔහුගේ මුළු නිර්මාණ එකතුවම ගැලපෙන විදියට තෝබේරාගෙන හොඳ සංවාදයක් ගොඩ නගමු.

      ස්තූතියි පොඩ්ඩි..

      Delete
  6. ජොතිපාල යනු මගේ ප්‍රියතම ගායකයෙක් . මම හිතන විදියටනම් නැවත ජෝතිපාල කෙනෙක් බිහි නොවෙනු ඇති කියායි .පරණ චිත්‍රපටි සොයමින් මා අන්තරජාලයේ සැරි සරන්නේ ජෝතිගේ හඩ අසන්නටමයි . ජනප්‍රිය නළු විජය කුමාරණතුන්ගයන් කියන විදියට විජේගේ හඩ ඔහුටත් වඩා සමාන වන්නේ ජොතිට කියායි . අනිත් කරුන නම් ජොතිට හැකියාවක් තියෙනෙවා එක එක නළුවන් සදහා කටහඩ වෙනස් කරගන්නට . ඔහු ඉතාමත් විශිෂ්ඨ ගායකයෙක් තාමත් අපිට නැතුවම බැරි .

    ReplyDelete
    Replies
    1. ගිම්හානි..
      මම මේ ජෝති ගැන ලියූ හැඳින්වීමේ ලිපියට කිසිම කමෙන්ට් එකක් වැටෙයි කියල හිතුවෙ නැහැ.මොකද මේක හඳුන්වා දීම පමණක් වූ නිසා...

      මේ සියළු අදහස් ටිකත් ඇතුළත් කර හොඳ සංවාදයක් ඇතිකළ හැකි වේයැයි හිතෙනවා.

      ස්තූතියි ඔබටත්

      Delete
    2. මට හරියටම මතක නැතත් එක් අධ්‍යක්‍ෂක වරයෙක් හමුවේ විජය කියා තිබෙනවා මගේ රඟපෑම් සඳහා මට හොඳම පසුබිම් ගායනය ලැබුනේ ජෝතිගෙන්. එහෙත් ඔහු මියගිය නිසා මට ඊළඟට හොඳින්ම ගැලපෙන්නේ මගේම හඬයි. ඒ නිසා මින් පසුව මගේ රංගනය සඳහා පසුබිම් ගී ගායනය මං කරන්නම් යනුවෙන්. එයින්ම ඔහුගේ පසුබිම් ගායනය ගැන හොඳ අදහසක් එනවා නේද.
      මේ ගිම්හානිගේ කමෙන්ට් එක නිසා මම වෙනම කමෙන්ට් නොදා මෙයටම යමක් එකතු කරන්නම. මා ජෝති උපන්දිනය යෙදුනු පෙබරවාරි 12 වෙනිදා නිශාන්තයෙන් ජෝති ගායනා කල හඬන්න එපා සුදු මැණිකේ ගීතය ප්‍රචාරය කළා. පසුව අප මෙය වෙනත් දිනක කතා කරන විට බොහෝදෙනා එය හඬන්නේ ඇයි සුදු මැණිකේ ලෙස පටලවා ගත්තා. මෙවැනි ජෝති ගැයූ අද සමාජයට අමතක වූ ගී පිළිබඳ මෙම ලිපි මගින් වැඩියෙන් කතා කළ හැකිනම් එය වඩා වඩා වැදගත් වේවී.
      අවසාන වශයෙන් කියන්න ඇත්තේ ඔබ අත ගසා ඇත්තේ මීට බොහෝ කලතට කලින් කවුරුන් හෝ කළ යුතුව තිබූ දෙයකටයි. එහෙත් අවසානයේ එය ඉටුවෙලා. ගොඩක් සතුටුයි.
      ඉදිරි පෝස්ට් සමග බොහෝ දේ කථා කරමු.

      Delete
    3. ප්‍රියන්ත..

      ඇත්තටම ප්‍රියන්ත මමත් ඒ කතාව අහල තියෙනවා. ඒ විතරක් නෙවෙයි. ජෝතිගේ මරණින් පසු විජය චිත්‍රපට කිපයකම ගී ගැයු වගත් මතකයි.

      කොහොමත් මුළ ඉඳලම පිලිවෙලින් කියවන්න පුළුවන් වෙන විදියට ලියනවා.

      අපි ඉදිරියේද තවත් බොහෝ දේ ගැන කතා කරමු.. ස්තූතියි

      Delete
  7. සදා අමරණීය ජෝති....
    මම තවමත් කැමතිම ගායකයෙක්...

    ලියමු ලියමූ......

    ReplyDelete
    Replies
    1. අඩවි රජතුමා..

      හරි.. ඔබතුමාගේ පැමිණීමත් බලාබොරොත්තු වෙනවා. ස්තූතිය මහරජ!

      Delete
  8. ජෝතිව මම දැකලා නැහැ පින්තුර වලින් ඇරෙන්න. අපි ඉපදෙනකොට ඔහු මිය ගිඉන් එත් ඔහුගේ ගීත එදා වගේම අදත් ජනප්‍රියයි. මම ආසම ගායකයෙක්

    ReplyDelete
    Replies
    1. වර්ණා..

      ජෝති දැකලා නැතිවුණත්.. ඒ හඬ සදාකාලික හඬක්. ඒකයි ගෙවුනු වසර 25ත් ඔහු බැස නොගිය තරුවක් වුණේ..

      ස්තූතියි ඔබටත්.

      Delete
  9. අතිශයින් වැදගත් තේමාවකට අත ගහලා.. තවම ලිපිය කියෙව්වෙ නැහැ... එච්.ආර්. ජෝතිපාල කියන්නෙ මගේ ප්රි යතම ගායකයෙක්... ඒ නිසා කියවන්න කළින් කමෙන්ට් එකක් ලියන්නම හිතුණා.... සරා ස‍ෙඳ්, නින්ද නේන රාත්රිමයේ, මේ ගී කාටදැයි, මේ ජීවනයේ... මම ආසම සින්දු...

    අපේ මල්ලි විවාහ , උත්සව සැරසිලි සහ ආහාරපාන ව්යාිපාරයක් තමයි කියන්නෙ.. අපි පවුලෙ අයම තමයි කෑම බෙදන්න, සංග්රතහ කරන්න, පළතුරු කපන්න, පිඟන් හෝදන්න යන්නෙ... සති අන්තෙ ගමේ ගියාම මමත් මේවට සහභාගි වෙනවා... හරිම විනෝදයි...

    පහුගිය සති අන්තයේ සෙනසුරාදා රෑ නව යුවළක් නිවසට පැමිණීම වෙනුවෙන් උත්සවයක් පැවැත්වුණා.. ටිකක් දුරක... පාන්දර තුනට විතර වැඩ ඉවර වෙලා ලොරියෙ පිටිපස්සෙ වාඩි වෙලා එන ගමන් පටන් ගත්තා සින්දු... '' ‍මේ ජීවනයෙන් ''.... චන්ද්රා්මේ රෑ පායා ආවා, නින්ද නේන.... සද මෝදු වෙලා නැගෙනා.... පාට පොදක්... ටජ් මහලක්...........

    පාන්දර, හීතල හුළග, නිහැඬියාව, තරු පිරුණු අහස... ‍අසහාය කලාකරුවගෙ ගීත.... ඇත්තමයි මහන්සිය කොහෙ ගියාද නැහැ...

    ReplyDelete
    Replies
    1. තරුරසී..

      ඕනෑම විවාහ මංගලෝත්සවයක, සංගිත පැදුරු සාජ්ජයක ජෝතිගේ ගියක් නොගැයුනා නම් එතන සංගිතයක් තිබිල නැහැ.ඒ ඔහුගේ ගීවල හැටි.

      ස්තූතියි ඔබට

      Delete
  10. මේ තරම් දිග පෝස්ටු කියවන්න නම් නිවාඩු පාඩුව ඕනි. නොකියවා කමෙන්ටු කරන එක නොකල යුතු දෙයක් නිසා අදහස් දැක්වීම පසුවට කල් තබනවා.

    ReplyDelete
    Replies
    1. සොඳුරු සිත.

      ඊළඟ පෝස්ට් එකේ ඉඳල කෙටියෙන් ලියන්න පුංචි උත්සාහයක් ගන්නම්. ඒත් සමහර දේවල් පෝස්ට් දෙකතුනට දාන්න තරම් වටිනාකමක් නැහැ කියල හිතෙනවා. ඒකයි ටිකක් දිග වැඩි වෙන්නේ.

      ස්තූතියි ඔබටත්.

      Delete
  11. ජෝති ගැන ඉතින් මොනව කියන්නද දයා අය්යා....

    ජෝතිගෙ සින්දු මැරෙනකන් අප්පිරිය නැතුව අහන්න පුලුවන්... එකම එක පාරක්වත් සජීවීව ඒ හඬ අහන්න නොලැබිච්ච එක ගැන පුන්චි දුකක් මගෙ හිතෙත් තියනවා

    ReplyDelete
    Replies
    1. මීගොඩයා..

      ඔබ වැනි නූතන පරපුරට ඔහුගේ හඬ සජීවිව අහන්න නොලැබුණ එක නම් මටත් දුකයි. මොකද මම ඒ හඬ අහල තියෙන නිසා. කමක් නැහැ. හදේ රැඳී ඇති ඒ ගීඬ ආයෙමත් හිතෙන් මවාගෙන අහමු.

      Delete
  12. ඇත්තටම ඒකනම් ගොඩක් වටින වැඩක්..හැමදාම අමරණිය ඔහුත් ඒ සිංදුත් කොතරම් වටිනවද කියලා වචනෙකින් කියලා නිම කරන්න නම් බැහැ..කොච්චර දිගු කාලයක් ලියවුණත් ආසාවෙන් ඒ දේවල් බලන්න මේ පැත්තට එනවා..ස්තුතියි..!!

    ReplyDelete
    Replies
    1. සිතුවිලි දැහැන..

      කල් ගියත් ඒ ගී පැරණි නොවන නිසා අහන්න පුළුවන්.කාලය අවශය වෙන්නෙ ඒ තොරතුරු නිසි පරිදි ගලපගන්න අවශ්‍ය නිසා.

      ස්තූතියි ඔබට

      Delete
  13. හැම ගීතයකටම නොවුනත් මෙතුමාගේ බොහෝමයක් ගීත වලට මම තාම ආසයි.හින්දි ගීත වල සංගීතයට පද මාලා එක් කරලා මෙතුමාගේ ගීත හැදුවා කියලා තමයි මම අහලා තියෙන්නේ ඊට වඩා දෙයක් මෙතුමා ගැන මම දන්නේ නෑ.බොහෝම ආසාවෙන් ඉන්නවා මෙතුමා ගැන කියවන්න....

    මට අපේ සර් කෙනෙක් කියපු කතාවක් මතක් වුනා මෙතුමා ගැන....

    //දැන් කට්ටිය ජෝතිපාලව උඩ දාගෙන හිටියට මිනිහා ජීවත් වෙන කාලේ හැමෝම කිව්වේ ජෝති කියන්නේ කිසිම වැදගත්කමක් නැති ගායකයෙක් කියලා.ඒ වුනාට අමරදේව මාස්ටර් හා සමානව තියන්න පුළුවන් අසම සම ගායකයෙක්.හැබැයි අමරදේව මාස්ටර් තාම ජීවත් වෙන්නත් ජෝතිපාල අඩු වයසින් යන්නත් හේතු තියෙනවා....

    ජෝතිපාල වැදගත් නෑ කියන්න හේතුවක් තමයි කවුරු හරි ෂොට් එකක් දාන්න කතා කලොත් කිසිම ආඩම්බරයක් නැතිව ගිහින් ෂොට් එක දානවා.අහුවුනොත් බොනවා.හැබැයි අමරදේව මාස්ටර් එහෙම නෑ හැමදෙයක්ම ගානට අන්න ඒකයි වෙනස.දැන් වගේ නෙමෙයි ඉස්සර සිංදු කියන මිනිස්සුන්ගේ පවුල් පසුබිමත් හොයලා තමයි මිනිස්සු සිංදු ඇහුවේ.දැන් වගේ කොල්ලයි බල්ලයි හැම එකෙක්ම කියන එව්වා ඉස්සර මිනිස්සු ඇහුවේ නෑ.අන්න ඒකයි ජෝති නොවැදගත් තත්වෙට වැටුනේ හැබැයි ඒ ගීත වල ලස්සන නිසා මිනිස්සුන්ට එයාව ප්‍රතික්ෂේප කරන්න බැරිවුනා.ඉස්සර හිටිය මිනිස්සුන්ට හොඳ රසාස්වාදයක් තිබුනා ඒත් දැන් කෙල්ලෙක්ගේ කකුල් දෙකක් නැත්තන් සිංදුව හිට් වෙන්නෑ....//

    එක අතකට බැලුවාම මේකත් ඇත්ත තමයි.හැබැයි 100%ක් නෙමෙයි

    ReplyDelete
    Replies
    1. ගැමියාගේ පත්ඉරුව.

      ජෝතිපාල, කපුගේ , ජීවත්වුණේ සමාජයේ පහළම හිටපු පුංචි මිනිසුන් එක්ක. එතැනදි පංති නියෝජනයක් තිබුණෙ නැහැ. පැල්කොටේක ඉඳල අඩියක් ගහමු කිව්වොත් ගහනවා. එතන පංති බේධයක් නෑ. ඒනිසාම ඔවුන් ගැයුවෙ , නියෝජනය කලේ මේ පුංචි අසරන මිනිසුන්. ඒකයි වෙනස.

      ස්තූතියි ඔබට.. ‍ඔබේ මේ සටහනෙන් හිතුනා අපි දැන්ම ජෝති ගැන හරවත් සංවාදයක් අරඹලා කියලා

      Delete
  14. තවටික කාලයකින් නව පරපුර ජෝතිව කා වමාරන්නට පෙර ජෝති ගී ගැන මතකය මෙහමවත් ලියා තබන්නට කෙනෙකු පහලවීම වාසනාවක්. ජෝති ගැන වෙනම බ්ලොගක් වුවත් ලියන්නට ඔබට පුලුවන් වෙයි.

    …මට ජෝතිගෙ හඬ වගේම රුවත් හොඳට මතකයි.රුව මතක මීට වසර 30කට විතර උඩදි. මම හරි පොඩියි. මම උන්නෙ බොරැල්ලෙ. එහේ හිටපු මගේ මාමා කෙනෙකුගේ ගෙදරකට ජෝතිපාලත් එනවා. ජෝතිත් හොඳට කන බොන කෙනානේ. ඉතින් මගෙ මාමත් එහෙම තමා. හැබැයි ඒ කාලෙ ජෝති කියුවට අපිට එහෙම වටිනාකමක් දැනුනෙ නෑ. අර හැමදාම දකින කුකුලගෙ කරමලය සුදුයි වගෙ.
    …ඇත්තම කියනවනම් ඒකාලෙ ඒ බඩ ලොකු ජෝතිට මම ආස නෑ සින්දු වලටත් කැමැත්තක් නෑ. ඒත් චිත්‍රපට පසුබිමෙන් ඇහෙන ඒ ගීත මට තාම බොරැල්ලෙ ලිඩෝ එකෙන් රිට්ස් එකෙන් ඇහෙන විදියට දෝංකාර දෙනවා. ඒවාට මම ආසයි. මට අවබෝදයක් නෑ මෙ අර බඩ තඩි අංකල්ගෙ සිංදු කියලා. මගෙ හිතෙ තියෙන්න නලු නිලියන්ව. ඒත් පස්සෙ මම පසු තැවුනා රටක් වටින මනුස්සයෙක්ව මට මග හැරුනා නේද කියලා. අදටත් ඒ පසු තැවීම එහෙමයි.

    …කොහොමටත් ඔබගෙ වෑයම සාර්තක වෙනවා නොඅනුමානයි. එය එසෙම වේවායි පතමි.

    ReplyDelete
    Replies
    1. ලොකු ජෝන්..

      අපි කුඩා කාලෙ අපේ ගෙවල්වල ජෝතිගේ ගී ඇහීම තහනම් කරල තිබුණා. මොන එහෙකටද මංදා ඒවා නරක සිංදු කියලා. ඒ කොහොම වුණත් ලංකාවෙ කැසට් පට බිහිවුණ කාලෙ මම ගෙදරට හොරෙන් ‍රැපියල් 40 ක් දීල ජෝතිගේ "සුදුපාට මීදුම්" කියල කැසට් එකක් හොරෙන් ගෙනිච්ච‍ා. ඊට පස්සේ ගෙදර කවුරුත් නැතිවෙන වෙලාවක් බලල තමයි ඕක ඇහුවේ. හැබැයි නියම සිංදු ටිකක් කියල එදා හිතුනා. අදටත් එහෙමයි. ඊට පස්සෙ රෑ පානේ තිබුණ සංගිත සංදර්ශනවල ජෝතිව දැක්කා. අද හිටියනම් මට හිතතෙන්න අනේ මටත් ගීයක් ලියන්න තිබුණනම් කියලා.

      ස්තූතියි ඔබටත්

      Delete
  15. ජෝති අසමසම ගායකයෙක් බව අවිවාදිතයි! ? "මේ ජීවනයේ" කියන ගීතය කලාතුරකින් බිහිවන ඝනයේ නිර්මානයක්~ අවසන් පද වැල තෙක් එය මව් ගුන ගීයක් කියලා දැනෙන්නෙ නැතිවෙන හැටි නම් අපූරුයි!
    නමුත් ජෝති පාලත් සෑහෙන්න හින්දි ගී තනු ප්‍රමානයක් අනුකරණය කරලා තියනවා! නමුත් අද විචාරකයින් නව පරම්පරාව විවේචනය කරන්නේ ජෝති/අමරදේවලට සාපේක්ෂව..නමුත් එතනදි එයාලා මේ කාරනය හිතාමතා අමතක කරන ස්වරූපයක් තියනවා!

    ReplyDelete
    Replies
    1. සබිත්..

      මටත් හිතෙන්නේ එහෙමයි. මොකද එක්කෙනෙකුට සාපේක්ෂව තමයි තවත් කෙනෙක් සාපේක්ෂව
      මනින්නේ. එතකොට ඒ මිනුම් දඬුව සාපේක්ෂතාවයට ලක්කරන කෙනා අභිබවා යන්නේ නැහැ. ඒනිසා ජෝති ගැන නිසි විචාරයක් වුනේ නැහැ. අන්න ඒ අමතක කිරිම අද දක්වාම තියෙනවා.

      ස්තූතියි ඔබටත්.

      Delete
  16. මේ ලඟදි ආචාර්ය අජන්තා රණසිංහ සහභාගී වූ වැඩසටහනකට සවන් දෙන්න ලැබුනා,එහිදී එතුමා කිව්වා ප්‍රසිද්ධ ඉන්දියානු ගායක මොහොමඩ් රාෆි ලංකාවට ආපු වෙලාවේ කිව්වලු "Sri lanka is too small for Jothi, he should born in India" කියල.ගායනා කල පදමාලා කෙසේ වෙතත් අමරණීය කටහඬක්,මම අදටත් ආදරය කරන ගායකයෙක්!

    ReplyDelete
    Replies
    1. නුවන්..

      අජන්තාගේ මේ කතාව ඉස්සර ඉඳන් කරන ප්‍රකාශයක්. ඇත්ත, ජෝතිව ඉන්දියාවේ හිටියනම් ඔහු මොහමඩ් රාෆි වගේ ඒමට්ටමේ ගායකයෙක් වෙනවා නිසැකයි.

      Delete
  17. ජෝති ගෙ හඬ අද්විතීයයි තර්කයක් නෑ ඒත් අපි අමතක කරන දෙයක් තමයි ජෝතිට මෙහෙම කියන්න භාව පූර්න අසම සම සංගීත නිර්මානය කලේ කවුද කියන එක... ජෝතිගෙ අතිශය මියුරු හා ජනපිය ගීත බහුතරය නිර්මානය කරල තියෙන්නෙ සරත් දස නායක(සහ කේමදාස මාස්ටර් කිහිපයක්).... ජෝතිගෙ ඔය හඬ අනෙකුත් සංගීත භාන්ඩ සමග මුසුකරල (සංගීත නිර්මාන කරුවෙකුට හඬත් එක්තරා සංගීත භාන්ඩයක් පමනයි) අපේ හිත් කීරි ගන්නන ගීත නිර්මානය කරේ,මේ මේ වචන මේ මේ විදිහට කියන්න කියල ගායකයගෙන් ගීතය එලියට ඇදල ගන්නෙ ඒ සංගීතඥයො.......ඒ නිසා ජෝතිට සමානවම සහ සමහර විට ඊට වඩා ඒ සංගීතඥයින් වත් වර්නනා කරන්න ඕනේ.... මට හිතෙන්නෙ ඒ වගේ සංගීත රටා බිහිඋනේ නැත්තං ජෝති කියල කෙනෙක් අපිට දකින්න ලැබෙන්නෑ කියල.....මම මේකෙන් ජෝතිව හෑල්ලු කරා නෙමෙයි. අපි කවුරුත් සරත් දසනායක වගේ ඔස්ටින් මුනසිංහ වගේ ඉතා දුර්ලභ වටිනා දක්ශ සිංහල සංගීතය බිහිකිරීමට උරදුන් විශිෂ්ඨ සංගීතඥයින් සමරන්නෙ වනන්නෙ නෑ...ඒ මිනිස්සු කාලයේ වැලිතලාවෙන් වැහිල...

    X-Porter

    ReplyDelete
    Replies
    1. X- Port

      ජෝති පිලිබඳ ලියන ලිපි මාලාවෙදි ඒඒ සංගිතඥයන් ගැන විශේෂයෙන්ම ලියනවා. විෂේයයෙන් සරත් දහනායක සහ ඔහුගේ ගිත නිර්මාණ ගැන සමහර විට පෝස්ට් ගනනාවක් ලියවේවි. අපි ඒ කාලයේ වැලිතලාවෙන් වැසුනු මිනිසුන් ගැන කතාකරමු.

      ස්තූතියි ඔබට.

      Delete
  18. ජෝති කියන්නෙ තමන්ගෙම ශෛලියකට ගීත ගායනා කල සදා නොමියෙන අපූරු මිනිසෙක්.. එවන් කෙනෙක් පිළිබ්ඳව ලියවෙන මේ ලිපි මාලාව කියවන්නට අපි මඟ බලා සිටිමු.. ඔහුගේ ගී තවත් බොහෝ කාලයක් රසික දනා අතර නිබඳවම රැව් පිළි රැව් දේවි

    ReplyDelete
    Replies
    1. තොටියා..

      අපි ඒ සොඳුරු මිනිසා ගැන කතාකරමු. ඒ නොමියෙන හඬත් අහමු.

      Delete
  19. නොමියෙන මිනිසා.....

    අදටත්, ඔහු මියගිහින් සෑහෙන කාලයක් වෙලත්, තවමත් මිනිස්සුන්ගෙ හදවතට කතා කරන ගායකයෙක්!!! ඔහුනම් පුදුමයක්!!

    ReplyDelete
    Replies
    1. හිතුවක්කාරි..

      අවුරුදු 25 කට පස්සේ අපි ඒ මතකය නැවත අවදි කරමු. අස්වැන්න තුළින්.
      ස්තූතියි ඔබටත්.

      Delete
  20. මම ජෝතිපාලගේ ගී මහා ගොඩක් ප්‍රිය කරන කෙනෙක් නෙමෙයි. හැබැයි අප්‍රිය කරන්නෙත් නැහැ. "මුලදි බැන්ද ආදරයක" වගේ ගීත වලට නම් මම හරිම ආසයි. ඔහු ඉතාමත් හිත හොඳ මිනිසෙක් කියලත් අහල තියනවා. ඒ වගේ කෙනෙක් ගැන නොදන්නා දේවල්, අපි උපදින්න පෙර යුගයේ සංගීත ක්ෂේත්‍රයේ තිබුණු ගැටුම් ගැන එහෙම දැන ගන්න තියනවනම් ඒක කොයි තරම් දෙයක්ද? ඒ නිසා "ජෝති නැවත කියවමු" ලිපි පෙළ ආසාවෙන් කියවන්න මම මග බලාගෙන ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. සයුරි..

      ජෝතිපාලගේ ගීවලට ගොඩක් ප්‍රිය නෙකළාට ටිකක් ප්‍රයි කරනවානේ ඒ ඇති. ඉතුරු ටික මේ ලිපි මාලාව කියෙව්වාම සම්පූණවෙලා ඇහෙන තැනක ජෝතිකේ ඕනෑම ගීයක් විදින්න හැකි වේවි.

      ස්තූතියි ඔබටත්

      Delete
  21. අර කතාව නම් සහතික ඇත්ත. බීපු මිනිහගේ ඉදන් බොන්ඩ සෙට් වෙන අවස්ථාවට ට්‍රිප් එකක් යනකොට නිවාඩු පාඩු වෙලාවක ඔය කොයි මොහොතකටත් ජෝතිපාල මහත්මයාගේ ගීත නැතුවම බෑ.
    නව පරපුරේ ඩිජිටල් ගීත තිබ්බට අඩුම තරමේ වාදනයක් නැතුව කියන්ඩ පුලුවන් හරි හමන් ගීයක් තියෙනවැයි !!!

    මම් ආසම ගායකයෝ කිහිපදෙනාගෙන් එක්කෙනෙක් තමා ජෝතිපාල මහත්මයා කියලා කියන්නේ.

    ReplyDelete
    Replies
    1. ජෝතිගේ ගිත අහලා නැහැ කියන්නේ උපතින් බිහිරි භාවයට පත් වුණ අය විතරයි.

      ස්තූතියි

      Delete
  22. ජෝතිපාල ගැන පොතක් ලියන්න බැරි නිසා කිසිවෙක් ඒකට අත ගැහුවෙ නැද්ද මන්දා. මොකද ඒක ඒ තරම්ම අමාරු කටයුත්තක් වෙයි. ලංකාවෙ අවරුදු දහයක් දොළහක් පහු කරපු හැම දරුවෙක්ගෙම සිට වැඩිහිටියෙක් දක්වාම මේ රටේ කවුරු ගැන නොදන්නව වුණත්‍ ජෝතිගෙ නම සහ එක ගීතයක් හෝ දන්නව වෙන්න පුඵවන්. ඒ නිසා ජෝතිපාල ගැන පොතක් ලියන්න පුඵවන් වෙන්නෙ ලංකාවෙ අතිමහත් පාඨකයන්ගේ අවධානයට සාධාරණයක් කල හැකි විශිෂ්ඨයෙකුට පමණයි.
    ඒත් පහුගිය වසර විසි පහ තුළම ජෝතිපාල සැමරෙන සති දෙක තුන තුළ ඔහු ගැන ලිපි සිය ගණනක් පුවත් පත් වල ලියවුණා. බ්ලොග් අවකාශයේ පවා එවැනි ලිපි රාශියක් ලියවුණා. ඒත් කාටවත් ජෝති ගැන ලියල ඉවර කල හැකිද යන්න ගැටඵවක්.
    ජෝති කියන්නෙ ජෝතිම පමණයි. ඔහුගේ ගීත ඔහුගේ අහලකින්වත් යන විදියට ගායනා කල හැකි කිසිවෙක් නොමැති බවට හොඳම සාක්ෂිය තමයි ඔහුගේ ගීත පට්ට ගසමින් මුදල් උපයන හෝ ජනප්‍රියතාවය හොයායන කවුරුත් කාලෙන් කාලට ඉස්මතු වෙලා අතුරුදහන් වෙලා යනව. ඒ අතර ‍ජෝති තව තවත් මුල් ගීතය සමග දිදුලන තාරකාවක් බවට පත් වෙනව.

    මොන තරම් සම්භාව්‍ය ගීත තිබුණත්‍ මටනම් ජෝතිගෙ ගීයක් නොඇසෙනවානම් සංගීතය එපා වෙලා යයි. ඒකට හේතුව ජෝති අපිට ඉහළින් සිටින්නෙකු නොවීමයි. ජෝති අප සමග හිඳිමින් ගායනා කල අයෙකු වීමයි. ඔහුට අපෙන් වෙනස් වුණ ෆැන්ටසියන් තිබුණේ නෑ. ඔහු මිනිස්සුන්ගෙ හදවත තුළ ඉඳන් ගායනා කලා මිස මිනිස්සුන්ගෙ හදවත් වලට ඉහළින් හිඳ ගායනා කරල නෑ. සාමාන්‍ය පොදු මිනිසා සම්භාව්‍ය නෑ. ඔවුන් ‍මහ පොළොවේ ජීවත් වෙන ස්වභාවික ප්‍රජාවක්. ජෝතිගෙ හඞ අපට ඇහෙන්නෙ ඔවුන් අතරිනුයි. ඒක නිසා ජෝති දවසින් දවස ජනප්‍රිය වෙනව. සම්භාව්‍ය වෙන්නෙ නෑ. අමරදේව සම්භාව්‍ය වෙනව වෙන්න පුඵවන් ඒත් අමරදේව දවසින් දවස ජනප්‍රිය වෙන්නෙ නෑ. ඔවුන්ගේ හඞ එන්නෙ වෙනත් ඉසව්වක සිට තෝරාගත් සමාජ කුලකයක් වෙනුවෙන් පමණයි.

    ඔබේ ලිපි පෙල වැදගත් වෙයි. ඒ වගේම මගේ නම් බලාපොරොත්තුව විස්තර වලට වඩා ඔහුගේ දැනට විකාශනය නොවන හෝ සීමිතව විකාශනය වෙන රසවත් ගීත බොහොමයක් අපවෙත ලබා දෙයි කියල. අවශ්‍යතාවයක් වුණොත් අප ළඟ තියෙන ගීත වල පිටපතක් ඔබ ළඟ නැත්නම් සඳහන් කලොත් එවිය හැකියි මෙහි පල කිරීම සඳහා.
    ඔබට ස්තූතියි..

    ReplyDelete
    Replies
    1. සිරාවටම බං... ලියන්න අරන් ඇණගන්න ඕන නැති නිසා නොලියා ඉන්න ඇති හැමෝම!!

      Delete
    2. outsider

      මම මේ වෙලාවෙ අපේක්ෂා නොකල විචාරයක්. ඇත්තටම සතුටුයි. මෙවැනි අදහස් දුටුවාම ජෝතිගැන සමාජයේ තිබෙන සමස්ථ මතය හිතාගන්න පුළුවන්. මටත් හිනෙත විදියට ජෝතිපාල ගැන නියමා කාර විචාරයක් නොවුනේ ජෝතිට සමානව උපමා කළ හැකි වෙනත් මිණුම් දණ්ඩක් නොතිබුන නිසාතමයි. මොකද අපි හුරුවෙලා ඉන්නේ පුද්ගයෙක් මනින්නේ තවත් පුද්ගලයෙක්ට සාපේකෂව මිනුම් දණ්ඩක් ලෙස භාවිතා කරමින්. ඒ නිසා ජෝති ගැන ලියන්න ගිහින් ලියන අයට සිද්ධ වෙන්නෙ ප්‍රේක්ෂකයන්ගේ විචාරයට ලක්වෙන්න සිදුවීම. අනෙක් අතට කලාව තුළ තිබෙන කල්ලිවාදය.
      මො නිසාම ජෝතිව වචිරයක් කරන්න කවුරුත් පෙළඹුනේ නැහැ.
      මේ ලිපි මාලාව ලියන අතරතුරදී ඔබේ සහය අවශ්‍ය වේවි. ඒක ලොකු ශක්ති‍යක් වේවි. මම ඔබව සම්බන්ධ කර ගන්නම් ඉතාමත් කැමැත්තෙන්ම්.
      ස්තූතියි ඔබට.

      හරේෂ්:

      සම්පූර්ණ ඇත්ත. ස්තූතියි

      Delete
  23. මම ජෝතිපාලගේ ගීතවලට බෙහෙවින් ඇලුම් කරන්නේ නම් නැහැ. ඒත් අහනවා! සමහර ගීත වලට නම් ගොඩක් කැමතියි. බොහොමයක් ඔහුගේ ගීත වල පද රචනාවල තිබෙන දුර්වලතා නිසා ඒවා අහන්න රුචියක් ඇති වුනේ නැහැ.මේ ලිපි පෙල අවසානයේ සමහර විට ආකල්පය වෙනස් වෙන්න පුළුවන්.

    මම අහලා තියෙනවා ඒ කාලේ අමරදේව ප්‍රබුද්ධ නම්, ජෝතිපාල සුප්‍රබුද්ධයි කියලා වාදයක් ඇති වුණා කියලා..

    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. රැංගෝ..

      ජෝතිගේ ගීතවල පදරචනා දුර්වල වුනේ ඇයි කියල අපි ඉදිරියේදි සාකච්චා කරමු. අවසානයේදි ඔබටත් හිතේවි ජෝතිපාලගේ ගි රසිකයෙක් වෙන්න.

      ස්තූතියි රැංගෝ..

      Delete
  24. එච්.ආර්. ජෝතිපාල කියන්නෙ school bus එකෙන් පටන් අරගෙන තාමත් අපේ හිත්වල ඉන්න අසම සම ගායකයෙක්. "ජෝතිපාල නැවත කියවමු" ලිපි මාලාව කියවන්න මඟ බලගෙන ඉන්නව මමත්...

    ReplyDelete
    Replies
    1. ලොකු අයියා..

      ස්තූතියි .. එහෙනම් ලබන සතියේ ඉඳන් කියවමු. ජෝතිපාල ගැන. අලුත් මානයක් හදමු.

      ස්තූතියි ඔබටත්.

      Delete
  25. වැඩේ හරි යන්තම් හදා ගත්තා කොමෙන්ට් දාන එක.. කලින් ‍ලිපි වලට මොකුත් ලිව්වේ නැති වුනාට හැම එකක්ම වගේ බැලුවා..

    හැමෝම කැමති වුනාට හුඟ දෙනෙක්(සම්භාව්‍ය කියල හිතාගෙන ඉන්න අය) කැමතියි කියලා කෙලින්ම කියන්නේ නැති කෙනෙක් තමයි ජෝතිපාල කියන්නේ..හැබැයි මෙයාගෙ සිංදුවල තියෙන භාවමය රසය හොයාගන්න වෙන තැනක් තියෙනවද කියල සැකයි.. එකනේ හැම කෙනෙක්ගෙන්ම නොදැනීම වාගේ මතුවෙන්නෙ මේ සිංදු..

    මේකත් හරියට හර්කියුලිසියානු කෙනෙක් ගැන ‍ප්‍රොමිතියානු විධියට ලියපු ලිපියක් කියල මට හිතෙනව.. හරිද මංදා..

    කොහොම වුනත් මේ අස්වැන්නත් හර්කියුලිසියානු වැඩක් කියලයි මට නම් පේන්නේ.. ඇඟපතින් පොඩියට හිටියට ඇතුලේ ඉන්‍ න හර්කියුලිසියානු මිනිසා දැන් දැන් එළියට එන හැඩයි..

    ReplyDelete
    Replies
    1. උපේන්ද්‍ර...

      ඇති යාන්තමට ඕක හදාගත්තා..
      "මේකත් හරියට හර්කියුලිසියානු කෙනෙක් ගැන ‍ප්‍රොමිතියානු විධියට ලියපු ලිපියක් කියල මට හිතෙනව"

      එහෙම හිතෙන එක හරි.. හැබැයි වැරදුනොත් මටත් වැරදෙයි.. අනේමංදා.. බලමු පොඩි උත්සාහයක් දරලා මගේ ඇට ජෝති අසුවුණේ කොහොමද ඒක නිවැරදි මානයක්ද කියලා.

      උඹට මා‍ව පේන්නේ හර්කියුලීසියානු වැඩ කරන්නෙක් වගේද? නියමයි. මාත් කැමති බැරිවැඩක් කරලස බලන්න ඒක පුලුවන්ද බැරිද කියලා.

      ස්තූතියි

      Delete
  26. ඔබේ මේ පරමාර්ථය නම් ඉතාමත් වටිනා එකක්. මගේ ප්‍රියතම ගායකයා ජෝතිපාල මහතා. ඔහු වැනි ගායකයෙක් නැවත පහලවේදැයි සැකයි. හේතුව නම් දැන් ගායකයන්ට සින්දුවේ පේලියක් කියල ඊලඟ දවසෙ අනිත් කොටස ගායනා කරන්න පුලුවන්. මම අහල තියෙන විදිහට පෙර පුහුණුවක් නැතිව ගීතය පටිගත කරන දිනයේදි පැමිණ ගීතය ගයන එකම ගායකයා ජෝතියි.

    ඔහුගේ ටජ් මහලක් ගීතය සහ දියකිඳුරිය සේ සාගරේ ගීතවලට මම ගොඩාක් කැමතියි. ජෝති ගී ඕනෑම වෙලාවක ඕනෑම තැනක ඇසියහැකි බව මගේ හැඟීමයි. බොරැළ්ළේ කනත්තේ ඇති ජෝතිගේ සොහොනේ ඇති ස්මාරකයද ඉතාමත් විශේෂයි. ඔහුගේ ගීත ඒ ස්මාරකයේ සටහන් කොට තිබෙනවා.

    ඔබගේ මේ ලිපි මාලාව කියවන්න මමත් ඉතාමත් ආසාවෙන් බලා ඉන්න

    ReplyDelete
    Replies
    1. නීතා..

      අද යුගය සහ එදා යුගය බලන විට ඔබ සඳහන් කළා වගේ එක විනාඩි 03කින් ගීයක් ගායනාකර පටිගත කළ යුගයක් තිබුණා . අද ඊට වෙනස්.

      මේ හැම ගීයක්ම අපි කතාබහ කරමු අස්වැන්න තුළින්.

      ස්තූතියි ඔබටත්.

      Delete
  27. වෙනදා වගේම අපූරුයි.....

    ReplyDelete
  28. මා ජෝති රසිකයෙක් නොවේ. නමුත් ඔහුගේ ඇතැම් ගීත වලට මම ගොඩාක් ආසා කරනවා. නුග රුකක් වෙමින්, සරා සඳේ ........... එවන් වූ ගීත ගණනාවක් තිබෙනව.
    සිංහල සිනමාව මෙතරම් කලක් දුවන්නට ඔහුගෙන් ලැබුණ දායකත්වය නම් අසීමිතයි. විශේෂයෙන්ම, මට ඇතැම් අවස්ථා වලදී සිතී තිබෙනවා විජය කුමාරණතුංගයන් හට ගැලපෙනම හඬ විජය කුමාරණතුංග හැරුණු විට එච් ආර් ජෝතිපාල කියා.
    (ඔබගේ ඉදිරි ලිපි වලින් මා ජෝති රසිකයෙක් වීමටත් බොහෝ ඉඩ තිබෙනව)

    ReplyDelete
    Replies
    1. සිඳූ..

      ඇතැම් රසිකයෝ ජොතිගේ ගී නොඇසුවේ. ඒපදමාලාතුළ තිබූ හරසුන් බොළඳ බව නිසා. මමත් එහෙම කරපු කාලයත් තිබුනා. දැන්නම් වෙනස්වෙලා.

      මමත් හිතනවා ඔබත් ජෝතිගේ ගිත නිවැරදිව වටහාගත් රසිකාවියක් වේවි කියලා.

      ස්තූතියි ඔබටත්

      Delete
  29. ජෝතිගේ බොහොමයක් ගීතවලට මමත් ආසයි. ඊටත් වඩා ජෝතිපාල කියන කලාකරුවා තුළ තිබුනු අව්යගජත්වයට, නිහතමානීකමට මම ගොඩක්ම කැමතියි. අද ඊයේ ජනප්රිළයවුනු , සමහරවිට ජෝතිගේම ගීතවලින් ඇතැම් ගායකයින්ගේ මානයන්, ක්රිකයාකලාපයන් දැක්කම ජෝතිපාල කියන කලාකරුවා කොතරම් විශිෂ්ට කෙනෙක්ද කියල ඕනෙ කෙනෙකුට හිතෙනවා නේද.
    ජෝතිගේ ගීතයක් නොඇසෙන පැදුරුපාටියක්, රියලටි වැඩසටහනක් දකින්න නැතිවා වගේම බස්එකට නැගලා කීයක්හරි හොයාගන්න සිංදුවක් කියන මනුස්සයෙක් සිංදු පහක් කිව්වොත් තුනක්ම ජෝතිගේ සිංදු. ඒ තරමටම ජෝති අපේ මිනිසුන්ගේ හදවත්වලට රිංගලා , එම ගීත හදවත්වල තැන්පත්වෙලා කියලා මට හිතෛන්නේ.
    රත්නෙ අයියේ මම ඔයාගේ මේ උත්සාහය ‍අගය කරනවා. ඒ වගේම දිගටම ළිපි ටික කියවන්නත් ආසාවෙන් බලාගෙන ඉන්නවා. සුබපැතුම් හොදේ.

    ReplyDelete
    Replies
    1. මලී..

      ස්තූතියි මලී.. මල්ලියේ එහෙනම් ඔබත් ජෝතිගේ ගී රසිකයෙක්.. එන්න අපි ලියමු ජෝති ගැන..
      ස්තූතියි මලේ.

      Delete
  30. එතරම් ජෝතිගේ ගීත ප්‍රිය නොකලත් මේ පිලිබඳ ඔබේ ඉදිරි සටහන කියවීමට ආසාවෙන් බලාගෙන ඉන්නවා....

    ReplyDelete
    Replies
    1. අනූ..

      මේ ලිපි මාලාව කියෙව්වාම ඔබටත් හිතේවි ඇයි මේ ගිත මුලින් ඇසුනත් මගහැරුනේ කියලා.

      ස්තුතියි.

      Delete
  31. ටිකක් ලොකු වැඩක්. මමත් ජෝති පාල මහතා ගැන වැඩිය දන්නේ නැහැ. ඉදිරියේදී දැනගන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා.

    ගන්නවූ උත්සාහයට මගේ ස්තුතිය..

    ReplyDelete
    Replies
    1. අසරනයා..

      එහෙනම් කියවන්න සූදානම් වෙමු

      ස්තූතියි

      Delete
  32. අයියේ... ගම්පහ බණ්ඩාරනාය‍ෙක් ශ්වේත රාත්රීන තියෙනවා... ජූලි 07, නෙළුම් පොකුණෙ ''ස'' තියෙනවා 18... ටිකට්ස් ගන්නෙ කොහෙන්ද කියල හොයල බලල කියන්න පුළුවන්ද? ලොකු උදව්වක්... ( tharurasi@gmail.com)

    අමරණීය ජෝති කියල අර්නස්ට් වඩුගේ ලියූ ‍පොත් දෙකක් තියෙන බව දැන ගන්නට ලැබුණා...... මම කියවල නම් නැහැ... ඔයාගෙ ලිපි පෙළට වැදගත් වේවි...

    ReplyDelete
    Replies
    1. තරු රසී..

      ඊමේල් එකකින් විස්තර එව්වා..

      මටත් දැනගන්න ලැබුනා අරනස්ට් වඩ්ගේ පොත් දෙකක් ලියා ඇති බව ‍ඒත් හොයාගන්න බැරිවුණා.. ඉදිරියේදි විස්තර හොයාගත්තොත් කියන්න. ස්තූතියි

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. man sabaragamuva university ake mage thisies akata ayyage lipi pela vadagath una jothi pilibada durmatha serama aken kandanaya vei kiyala hithanava...

      Delete
  33. This comment has been removed by the author.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...