හිතට දැණුන හද
බැඳි ගී පෙළහර...
ගීතය, සංගීතය,
සහ ගීත සාහිත්‍යයේ අක් මුල් සොයා යන ගමනේ
දී ගීතයේ විවිධ ස්වරූප, විවිධ රස, විවිද නාද මාලා, හමුවෙයි. ගීතය පිළිබදව විවිධ මත දරන ප්‍රවීන සංගීත
පරපුරත්, ගීතයේ නව ඉසව් ඉව කරන, සොයන නව පරපුරත් ගීතය පිළිබඳව මත දෙකක් දරයි. ගීතයක් ආනන්දයෙන් ආරම්භ වී ප්‍රඥාවෙන්
අවසන් විය යුතුය යන මතය ප්‍රවීන සංගීතවේදින්ගේ සහ විචාරකයන්ගේ මතය වන අතර , ගීතය
යනු හුදෙක් රසවින්දන මාධ්‍යයකි එයින් සරල අරුතක් සහ රසයක් නිපදවීම ප්‍රමාණවත්
ය යන මතයේ නව පරපුර එළඹ සිටී. එසේම ඒ
දෙපිරිසටත් අයත් නො වන ජනප්‍රිය සංගීතය පසුපස හඹා යමින් ගීතය වෙළඳාම් භාණ්ඩයක් කර ගෙන ගීත ගයන පිරිසක් ද අපට සිටී. ඔවුන්ගේ මතය අනුව නම් ගීතය ආනන්දයෙන්
ආරම්භ වී එක්කෝ බොරැල්ලට නො ගොස් කෙළින්ම බොරැල්ල කනත්ත දක්වා හෝ එසේත් නැත්නම්
ආනන්දයෙන් ආරම්භ වී මරදාන මරිය කඩේ හංදිය දක්වා ගියද කම් නැත එයින් තම ගීත වලට
වෙළඳපොළක් නිර්මාණය වනවා නම් ඇත යන මතය දරමින් ගී ගයන පිරිසක් ද මේ සංගීත ක්ෂේත්‍රයේ නැතුවා
නො වේ. ඒ මේ සංගීත ක්ෂේත්‍රයේ රළ පෙරලෙන හැටි ය.
ඒ කෙසේ වුවද, නව
සංගීත පරපුර ගමන් ගන්නා මාර්ගය සහ ඔවුන් අනුගමනය කරන සංගීත ක්‍රම පිලිබඳව තව
දුරටත් ඒ මංමාවත් ඔස්සේ තවත් නැවුම් ගීත කීපයක් සමග
“අස්වැන්න” තුළින් කිසියම් වූ ප්‍රමාණයක
අදහසක් ගොඩ නැගිමට සිතුවෙමි.
ආචාර්ය වික්ටර් රත්නායක |
ඒ නිසා අද "අස්වැන්න" සටහන තබන්නේ අපේ කාලයේ නව පරපුරේ සංගීත අධ්‍යක්ෂ වරයෙකු,
ගායන ශිල්පියෙකු, මෙන්ම අති දක්ෂ වාද්‍ය ශිල්පියෙකු ගැයූ ගීත කීපයක් ඔස්සේ ඔහුගේ
ගමන් මග විමසා බලන්නට ය. මේ ගී ගැයූ ගායන ශිල්පියා අන් කවුරුත් නො ව ජයන්ත
රත්නායක ය. ජයන්ත යනු ප්‍රවීන ගායනවේදී සහ සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ
පුතණුවන් ය.
ජයන්ත සංගිත ක්ෂේත්‍රයට
පිවිසෙන්නේ ළමා වියේ දී ම ය. මට මතක හැටියට ඔහු මුල්ම ගීය ගැයුවේ වයස අවුරුදු හයේ
දී ය. ඒ 1975 දී ටයිටස් තොටවත්තයන්
නිර්මාණය කළ “හඳයා” ළමා චිත්‍රපටයට ය. “ හඳයා” චිත්‍රපටයේ ඒ අපූර්ව ගීතය ඔබ ද එක
වරක් හෝ අසා ඇතැයි කල්පනා කරමි. එය එදා පටන් අද දක්වා ම අතිශය ජනප්‍රිය ළමා ගීයකි.
“ කවුරුද කවුරුද
දැන් ලොක්කෝ
අපිමයි අපිමයි දැන් ලොක්කෝ..”
මේ එදා මුල් වරට
ජයන්ත ගැයූ ළමා චිත්‍රපට ගීයයි. අනතුරු ජයන්ත වැඩිම ගී ගණනක් ගායනා කර ඇත්තේ
රූපවාහිනී කාටූන් වැඩසටහන් සඳහා වේ. ළමුන් අතර තවමත් ජනප්‍රිය කාටූන් වැඩසටහන් වූ
“පිස්සු පූසා, දොස්තර හොඳ හිත, රසාර, ආදී
කාටූන් වැඩසටහන් රැසක ගී ගැයුවේ
ජයන්ත විසිනි. ඔහු බාල කාලයේ පටන් ස්වාධීන
ගමන යෙදෙමින් තම අනන්‍යතාවය තහවුරු කර ගත් ශිල්පියෙකි. වර්තමානයේ ඕනෑම වාද්‍ය
වෘන්දයක සිටිය යුතු අත්‍යවශ්‍යම “ Keyboard ” වාද්‍ය ශිල්පියා
ය. ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ “ ස” ප්‍රසංගයේ
සංගීත මෙහෙයවිමේ කටයුතුද කරන්නේ ජයන්ත රත්නායක විසිනි. ජයන්ත එසේ සිය පියාගේ අතිශය ජනප්‍රියත්වය
පසුපස හඹා නො ගොස් සිය පියා විසින් ශ්‍රී ලාංකේය ගීත ක්ෂේත්‍රයට දායාද කළ ගී අස්වැන්න සහ සංගීතය පිළිබඳව නිවැරදි
අවබෝධයක් ලබා ගනිමින් ඔහුට ම ආවේණික වූ ගායන ශෛලියක් ගොඩ නගා ගන්නේ පෙරදිග සංගීතයේ
නො මඳ ඇසුර ලබමිනි.
පළමු වරට
ජයන්ත සිය සොහොයුරා වන ලෙලුම් රත්නායක සමග “ඇසළ නිල් සඳ ” නමින් ගීත
ඇල්බමයක් නිකුත් කළේ මිට පහකට හෝ හයකට පමණ ඉහත දී ය. අනතුරුව ඉන් වසර කීපයක්
ඇවෑමෙන් ජයන්ත නැවත සිය ගායන කුසලතාවය
විදහා දක්වමින් මීට වසර දෙකකට පමණ පෙර
දෙවන ගීත ඇල්බමය “ආදර පූජාසනේ” නමින් එළි දක්වන ලදි. අද “අස්වැන්න” තුළින් අසන්නේ
එම ඇල්බමයේ තෝරා ගත් ගීත කීපයකි.
“හුදකලාවූ මොහොතක
හිතට දැනෙන පාලුව, දුක සහ සංතාපය විඳවන්නේ තනිවම ය. එහෙව් අඳුරු රාත්‍රියක ඇති
සියුම් සුන්දරත්වය ද ගීයක් බඳුය. රෑ අහස්
තලයෙන් කඩා වැටෙන නිල් තාරකා එළිය බඳු ආදරේ සියළු උල්පත් වසා ගලා හැලෙන හීන් සීතල
සුළඟද රුදුරු බවක් ගෙනෙන්නේ නැත. ඒත් ඒ තරම් සුන්දර රාත්‍රියක ඇය සිහින සිත්තමක්
බඳුය. ඒත් මේ රාත්‍රිය ඇය තරම් වේදනාවක් ගෙනෙන්නේ නැත. මමත්, මගේ සිතත් ආදරයෙන්
සතපවන මේ රාත්‍රිය ඇය තරම් අකාරුණික නැතත්, ඇයට වෛර නොකරමි. මට ඇති වන්නේ මා ගැන
දුකත්, සංතාපයත් පමණි.”
ජයන්ත රත්නායක ගයන
“මේ රෑ සොඳුරුයි” ගීයේ සරළ අදහස එහෙම
වුණත්, මේ ගීය හුදකලා රාත්‍රියක එක
වරක්, දෙවරක් නො ව කීප වරක් ඇසුව ද, හිතට එබෙන්නේ දුක් මුසු ගායනයකි. එය මේ ගීයේ පද
මාලාව තුළ ද, ගීතයේ සංගීතය තුළ ද, ගීතය අසන ශ්‍රාවකයා තුළ මවන අපූරු රස සංකලනයකි.
මේ ගීය සදහා සංගීතය
නිර්මාණය කිරීමේදී ආචාර්ය වික්ටර් රත්නායක බටහිර සංගිත භාණ්ඩයක් වූ “ හවායන්
ගිටාරය” සහ පෙරදිග සංගිත භාණ්ඩයක් වූ
“බටනලාව” ගීතයට එකතු කර ඇත්තේ රාත්‍රියේ තිබිය යුතු නිසංසල බවත්, ගීතයෙන් මතු කරන
හුදකලාවත් වඩාත් තියුණු කිරීම සඳහා බව ගීය ඇසෙන විට මට දැනේ. විශේෂයෙන් මෙහි හවායන් ගිටාරය
සහ බට නලාව ගීතයට නො මඳ ආලෝකයක් සපයන බව සඳහන් කළ යුතුය.
මේ රෑ සොඳුරුයි
තරු රෑන පිපෙයි
පිනි පොකුරු සැලෙයි
සිත මා නොනිඳයි
සඳ පාන එබෙයි නෙත
හීන බිඳෙයි
ඔබ ඈත දුරින් හිඳ
මා රිදවයි
මේ රෑ සොඳුරුයි
ඔය ඈත ඉඳන් හෙළනා
සුසුමින්
සඳපාන නිවෙයි සිත
මා සසලයි
තනිකම පුරුදුයි මේ
දුක නුහුරුයි
ඉකිබිඳින හැඬුම්
අඳුරේ විසිරෙයි
මියෙනා මතකින් ඔබ
යළි ඇවිදින්
සිත් දෙවැට රැඳී
ඇයි මේ සරදම්
නෙත කදුළු බිඳෙන්
සේදී මොහොතින්
ඒ මතක ඉමේ නොපෙනී
සැඟවෙන්
ගේය පද: කුමාරදාස
සපුතන්ත්‍රී
සංගිතය: ආචාර්ය
වික්ටර් රත්නායක
ගැයුම: ජයන්ත
රත්නායක
ගීතයේ මූලික අරමුණ
අසන්නා තුළ රසයක් ඇති කිරීම ය. ගීතයක රසය ඉතා ගැඹුරුය, අර්ථවත් ය. එය තාවකාලික
විනෝදාස්වාදයක් සපයන රසයක් ඉක්මවා එය , රසවින්දන මට්ටම ඉහළ තලයකට ළඟා කරන්නා
වූ එකක් විය යුතු ය. මෙකී කාරණය අප නිතර
අසන ගීත බොහොමයකින් ඉටු නො වුනද, ගීයක්
ඇසෙන හෝ අසන අවස්ථාව අනුව ඒ ගීය උසස්
රසවින්දනයක් කර යොමු කළේ ද නැද්ද යන්න වටහා ගත හැකිය. ගීතයේ සරළ බවත්, ඒ සරළ බව
තුළ ඇති ගැඹුරු රස වින්දනයත්, ගීතය හරවත් මාවතකට
යොමු කරන්නේ ඒ විදියට ය .
ගීයක ගොනු කරන්නා
වූ සංකල්ප රූප අතර, ඉර, හඳ, තරු, මල්, මෙන්ම මුහුද, වෙරළ ආදිය ප්‍රේම ගීයකට සොඳුරු
නවාතැන් සපයන සංකල්ප රූපයන් ය. එවන් වූ ගීයක් නිරතුරු ප්‍රේමණීය කවි සිතුවිලි ළං
කරයි. ඇස ගැටෙන ඉසව්වේ පරිසරය තුළ ඇති ස්වභාවික වස්තූන්වලට සජීවි බව ආරෝපණය කරන
කවියෙකු තුළ මෙවන් සිතුවිලි මත ගේය පද රචනා බිහිවීම අරුමයක් නො වේද යන්න සිතෙන්නේ
“ඔබ අහසක් දෝ” ගීතය ඇසෙන විට ය. ගීතයේ
තනුවත් ගායන ශිල්පියාගේ අරුමැසි හඬත් මුසු වූ විට එහි ඇත්තේ ඉහත කී සරළ එහෙත් ගැඹුරු
වින්දනීය අවස්ථාවයි.
ඔබ අහසක් දෝ
ඉර හඳ තරු මල්
පුබුදන
රුදුරු අකුණු සැර ඉවසන
යළි නිල් මේ කුළු
අතුරන
ඔබ අහසක් දෝ...
ඔබ වෙරළක් දෝ
සැඩ මහ සමුදුර ඉවසන
දළ රළ පෙළ මැඬ
හිනැහෙන
යළි මුතු පෙණ හා
මුහුවන
ඔබ වෙරළක් දෝ..
ඔබ කුසුමක් දෝ..
බමරු බමන මග
පිබිදෙන
රොන් සගවාගෙන පසුවන
යලි මා ළඟ පෙති
විහිදන
ඔබ කුසුමක් දෝ..
ඔබ කවියක් දෝ..
මා සඟවන හැම හෙළි
වන
උණු කඳුළින් හිත
හඬවන
යළි මොහොතින් මා
නළවන
ඔබ කවියක් දෝ..
ගේය පද: බන්ධුල
නානායක්කාරවසම්
සංගිතය: ආචාර්ය
රෝහණ වීරසිංහ
ජයන්ත රත්නායකගේ
“ආදර පූජාසනේ” ගීත ඇල්බමය තුළ දක්නට ලැබෙන්නේ ඉතා රමණිය මධුර ගේය පද රචනාවන් ය, මධුර සංගීත ස්වර රටාවන් ය.
සිත නිවා සනසන සංගීතමය අත්දැකීම් ය. ගේය
පදරචනා සංගීතමය බසකින් දිග හැරෙන විට ගායන ශිල්පියාගේ ගායනය තුළ සංගීතයත්, සංගිතය තුළ ගායනයත් කැපී පෙනේ.
වික්ටර්
රත්නායකයන්ගේ ගී වල ඇති ගායන මාධූර්යය මෙන්ම සංගීතය හා නාද මාලාවන්ද ජයන්ත
මැනැවින් ග්‍රහණය කරගෙන සිටි. ඒ ගායනා තුළ තවත් වික්ටර් රත්නායක කෙනෙකු මතු නොවන
පරිදි සිය පියා රසිකයන්ට ලබා දුන් මියුරුතම සංගිතමය අත්දැකිම් පෙරළා ජයන්ත ද මේ
නූතන ගීත රසික පරපුරට ලබා දෙයි.
“ඇතැම් විට එයද
සොබාදහම මැවූ සුන්දර රාත්‍රියක් වැන්න. සඳ එළිය කඳු වළල්ලෙන් එබී, පුංචි ඇස් විවර
කර දුර ඈත සිට එබෙන තරු යුවලද ඇගේ නෙතු සේ ම ය. ගලා යන නදී ඇළ දොළ මත පවා රිදී ඉරි
අඳිමින් නැගෙන සඳ කැන් ඒ දිය මත බොඳ කර හරින්නේ ආදරය නිමා වූ , පරාජය වූ ප්‍රේමවනතයෙකුගේ
අතීතයකි. රාත්‍රිය හීන් සීරුවේ වපුරන පිණි කැටද, පෙර දිනෙක ඈ නෙතු අගින් ගලා ගිය
කඳුළු වාගේ ය. මේ රැයෙහි බිඳුණේ අපගේ පැතුම් පමණක් නොව සොබාදහම මැවූ සුන්දර රාත්‍රියක
එතී තිබූ දුක් සහ සංතාපයන් ය. ඒ අපේ වියෝවේ අතීතයයි.” ජයන්ත වික්ටර් රත්නායකයන්ගේ සංගීතයට මේ මුසු
කරන්නේ ඒ පෙම් පුවතයි.
කඳු වළල්ලෙන් සඳු
උදා වී
ඔබේ රුව විමසයි
වලා යහනේ තරුද
අවදිව
ඔබේ නෙතු විමසයි
ඔබේ නෙතු විමසයි..
නදී තලයේ ගලා සඳ කැන්
මවා ඔබගේ සිනා රැලි
සුසුම් පහරින්
බොඳවෙලා යයි
අතීතය විලසින්
අපගේ අතීතය
විලසින්..
නිශා උයනේ සැලී
පිනි ළැල්
මවා ඔබගේ කදුළු
වැල්
පැතුම් බිඳිමින්
රැය ගෙවී යයි
වියෝගය විලසින්
අපගේ වියෝගය විලසින්
ගේය පද: කුලරත්න
ආරියවංශ
සංගිතය: ආචාර්ය
වික්ටර් රත්නායක
ගැයුම: ජයන්ත රත්නායක
ජයන්ත සිය “ආදර පූජාසනේ” ගීත ඇල්බමය සඳහා ගීත පදමාලා සහ
සංගීත නිර්මාණ තෝරා ගන්නේ ඉතාමත් කල්පනාකාරීව ය.. පද මාලාවේ ඇති සාහිත්‍ය
රසයත්, එහි අරුත පිළිබඳවත් මනා සැළකිල්ලක්
දක්වන සේ ම ඒ පදමාලා සදහා තනු නිර්මාණය කර ගැනීමේදී ගීතයේ තනුව සහ නාද මාලාව
පිළිබඳවද නිසි සැළකිල්ල යොමු කර තිබේ. එය ජයන්ත සිය පියාගේ ගී රස විඳීමේ දී ලැබූ දැනුම ය. එය නූතන ගීත සාහිත්‍යයට
ජයන්තගෙන් ලැබූ ප්‍රබල
ආලෝක ධාරාවකි.
මහාචාර්ය සුනිල්
ආරියරත්න ලියූ “මගේ හසඟන” ගීය ඊට හොඳම නිදසුනකි. මේ ගීයේ පදමාලාවේ අරුත නො බිඳෙන
පරිදි තනුව නිර්මාණය කර ඇත්තේ තවත් අති දක්ෂ ගිටාර් වාද්‍ය ශිල්පියෙකු වන මහින්ද බණ්ඩාර ය. ගිටාරය භාවිතා කර ගී තනු නිර්මාණය කළ ක්ලැරන්ස්
විජේවර්ධන මෙන් ම කසුන් කල්හාර සහ නාලක අංජන කුමාර හැරුණු විට අපට සිටින ජ්‍යෙෂ්ඨ
ගිටාර් වාද්‍ය ශිල්පියාද මහින්ද බණ්ඩාර ය.
මහින්ද බණ්ඩාර මේ
ගීය සදහා ඉතා අපූර්ව වූ ගී තනුවක් නිර්මාණය කර තිබේ. මේ ගීය මුලුමනින් ම නිර්මාණය
වී ඇත්තේ ගිටාර් වාදන වලින් පමණි. ගිටාර් ගණනාවක් එක වර වැයීමෙන් වෙනත් කිසිඳු
සංගීත මෙවලමක් භාවිතා නො කොට ගීයේ ඉතිරිය පුරවන්නේ ජයන්තගේ හඬිනි. මේ නම් ගීත
සාහිත්‍යයේ අති විශිෂ්ඨ නිමැවුමකි.
මගෙ හසඟන පිහිනා
යන්න ඉතින් ගංගාවේ
ඇති නැවතී සිටියා ඉවුරේ
ජයන්ත සහ ලෙලුම් |
අපි හමුවෙමු නිවනට
නො ගිහින් මතු අත් භවයේ
යළි ඉපිද ඉපිද
සංසාරේ
ඔබට උරුම ඔය ජල
තලයයි
මගේ ගෙබිම මේ මහ
පොළවයි
අපි මොනවා කරමුද
සොඳුරිය
මෙය නොවේද අපගේ
දෛවය
සිහිනෙන් ගෑ සුවඳක්
පරිදී
ගතවූ හැම මොහොතම
මිහිරී
මතු භවයකදී අතිනත්
ගෙන
අපි ජය ගත යුතු වේ
දෛවය
ගේය පද: මහාචාර්ය
සුනිල් ආරියරත්න
සංගිතය : මහින්ද
බණ්ඩාර
ගැයුම: ජයන්ත රත්නායක
ජයන්ත රත්නායකගේ
“ආදර පුජාසනේ” ගිත ඇල්බමයට ඔහුගේ ස්වයං ගීත නිර්මාණ වලට අමතරව වික්ටර් රත්නායකයන්
70 දශකයේ දී ගැයූ මතකයෙන් බැහැර නොවූ ගිත
කිහිපයක්ද ජයන්තගේ හඬින් නැවත ඇතුළත් කර ඇත. “ආදර පූජාසනේ” ගීතය එවැන්නකි. පියාගේ ගී ගැයිමට ජයන්ත අවශ්‍ය නො වූවද එය
ජයන්ත විස්න කර ඇති එක්තරා අන්දමක අත්හදා බැලීමක් වැනි ය.
ජයන්ත රත්නායකගේ මේ
ගී එකතුව නිෂ්පාදනය කොට බෙදා හරින ලද්දේ ඔහුගේ ම සොහොයුරා වන ලෙලුම් රත්නායක
විසිනි. මේ ගිත එකතුව නිකුත් කර වසර දෙකකට ආසන්න වුවද, මෙවන් වටිනා ගීත එකතුවක්
සියළුම ගුවන් විදුලි නාලිකා සහ මාධ්‍ය ආයතනවලින්
බැහැර වී ඇත. එසේ වුවද යහපත් ගිත සාහිත්‍යයක් තුළ බිහිවන ගිත පිළිබදව සොයා
බලන්නෙකුට හා විඳින්නෙකුට මෙය නම් විශිෂ්ඨ ගී එකතුවක් වනු නො අනුමානය.෴
ඔබේ වටිනා කාලය
බිදක් වැය කර ගී රස විඳිමින් කියෙව්වාට
ස්තූතියි. වෙලාවක් ඇත්නම් ඔබේ විචාරාත්මක
අදහසත් මෙහි ලියා තබන්න.
ජයන්ත රත්නායක ගිය අවුරුද්දේ ආනන්ද විද්‍යාලයේ කුලරත්න ශාලාවේදී ප්‍රසංගයක් පැවැත්වුවා. ඒකේ නම මට මතක නැහැ.
ReplyDeleteඒකෙදී වික්ටර් රත්නායකයන් සංගීතය මුසු කළ ගීත තමා ඔහු ගායනා කළේ. අන්තිමට තාත්තා සහ පුතා එකතු වීත් ගීත කීපයක් ගායනා කළා.
පිය පුතු සුසංයෝගයෙන් කරපු විශිෂ්ඨ ප්‍රසංගයක් විදිහට ඒක දක්වන්න පුලුවන්
හසිත
Deleteඔව්, වික්ටර් සංගිතය සැපයූ ගිත තමයි ඒ ප්‍රසංගයේ ගායනා කළේ. හැබැයි. ඒ ප්‍රසංගයෙන් පස්සේ වෙනත් ප්‍රසංග පැවැත් වුයේ නැහැ. ඒ කාලයේ දිම තමා මේ සංගිත තැටියත් නිකුත් කළේ.
ස්තූතියි ඔබට
හැමදාමත් වගේ අදත් අපුරු විග්‍රහයක් ...
ReplyDeleteමීගොඩයා..
Deleteරස්වත් දේවල් නේ. ඒ නිසා මම වින්ද රසය අනෙක් සහෘද පිරිසටත් බෙදා දෙනවා.
ස්තුතියි ඔබට
අවිවේකී හන්දා දිග සටහනක් නොකර, කෙටි සටහනක් තබන්ට හිතුවා. වික්ටර් රත්නායකගේ පුතුන් දෙදෙනා ගැන දැන ගත්තේ අදයි. දෙන්නාටම ඒ මූනුවර ගිහින් නැහයි කියලා තමා පින්තූර දැක්කාම හිතුනේ. ඒ වගේම තමයි ඔහුගේ කට හඬේ ඇති මධුර ස්වරය, ජයන්තට නැද්දෝයි කියලා හැඟීමකුත් ආවා.
ReplyDelete'මගෙ හසඟන' ගීතය තමයි වැඩිපුරම ලස්සනට ඇහුනේ. ගෙදර ආව හැටියේ මේ ගීත නැවත වරක් හිමින් අහන්නම්. සටහනකුත් තබන්නම්. වෙනදා වගේම අපූරු විග්‍රහයක්.
පොඩ්ඩි..
Deleteජයන්තගේ හඬ වික්ටර්ගේ 1970 දශකයේ ආරම්භක යුගයේ හඬට බෙහෙවින් සමානයි. ඒත් මට හිතෙන්නේ ඔහුට වෙනම හඬක් පිහිටා තිබීම හොඳයි. නැත්නම් අපට ඇහෙන්නේ වික්ටර්ගේ හඬමනේ. එතකොට ඒ හඬේ අලුත් දෙයක් නැතිවෙනවා.
මේ ගිත සියල්ලම නිස්කාංසුවේ විඳින්න පුළුවන් ගිත. ඇත්තටම "මගේ හසඟන" ගීය හරිම ලස්සනයි. ගිටාර්වලින් පමණක් වැයීම ඒකත් හේතුවක් වෙන්න ඇති ගීය ලස්සන වෙන්න.
ස්තූතියි පොඩ්ඩි.
හොඳ දේට කොහෙද නිසි තැනක්? කසි කබල් දේටමයි මුල් තැන....
ReplyDeleteඅනූ..
Deleteමේවා මඩගොහොරුවක හැංගුන ගීත වගේ. ඒ නිසයි මෙහෙමවත් හඳුන්වා දෙන්න පුළුවන් වෙන්නේ.
ස්තූතියි ඔබට
අමරදේව, සුනිල් එදිරිසිංහ, වික්ටර් රත්නායක ආදී සමකාලීන ශිල්පීන්ගේ යුගයෙන් පසුව සංගීත ක්ෂේත්‍රය කොයිබට යාද කියලා මගෙ හිතේ ඇති ප්‍රශ්නයට පිළිතුරක් ලැබුණා කියලා දැනුනා.
ReplyDeleteමුල් වතාවට ජයන්ත රත්නායක කියන සුවිශේෂී ගායකයා පිළිබඳව මගෙ අතීතම මතකය තමයි "පහන තියා" ගීතය මා නිවැරදි නම්.
නමුත් ජයන්ත රත්නායකයන්ට මා බොහෝ සෙයින් ඇලුම් කරන්නට ප්‍රධානම හේතුව ඔහු මීට වසර 5කට 6කට පමණ පෙර ජාතික රූපවාහිනියේ විකාශය වූ සිකුරාදා 3 ටො 5 වැඩසටහනට ඉදිරිපත් කළ සංගීත පාඩම. ඔහු එම වැඩසටහන ඉදිරිපත් කළේ මනා සංයමයකින්, එමෙන්ම ඉතාම ප්‍රෑසමෙන් තෝරා ගත් ගීත වලින්.
මේ ගීත පිළිබඳව පවසනවා නම් මා මින් පෙර කිසි දිනක ඒවා අසා නැහැ. නමුත්, ඇසූ පමණින්ම සිත බැඳගන්නා ස්වභාවයක් මේ ගීත සතරේම අඩංගු වනවා. කිසිම ජනමාධ්‍යයක මේ ගීත වලට නිසි තැන ලැබිලා නැත්තෙ ඇයිද කියන එක ප්‍රශ්නයක්.
තවත් දෙයක්, මේ ගීත ගයන්නේ ජයන්ත රත්නායකයන් කියා නොදැන ඒවා ඇසුවා නම් අනිවාර්යයෙන් මා රැවටෙනවා ඒ වික්ටර් රත්නායකයන්ගේ මා නො ඇසූ ගීත කියා. ඒ තරමටම පියාගේ හඬ ඔහුට පිහිටා තිබෙනවා. එසේ තිබියදීත් පියාගේ ගීත නොගයා, තමන්ගේම අනන්‍යතාවයක් ගොඩ නගාගෙන සිටීම මොන තරම් නම් වටිනවද. "ස" ප්‍රසංගය නැවතීමට යන මේ මොහොතේ, "කම්පන" වැනි ප්‍රසංග තව නෑසෙන මේ මොහොතේ, මෙවැනි ගායකයන් ඉදිරියට ඒම නම් සිදු විය යුත්තක්මයි.
වටිනවා අයියේ මේ ලිපිය. කියන්න වචන නෑ. නිදා නොගෙන කියවා අවසන් කළා.
සිඳූ..
Delete"පාන තියා බුදු සාදුට" ගීය ගායනා කලේ ජයන්තගේ මල්ලි ලෙලුම් රත්නායක. ඇත්තටම මේවා නොඇසෙන තාක් හරසුන් දේට මුල් තැන ලැබෙනවා. ඒහෙම වෙලාවත් ඉඳහිටලා මේ ගී ඇසුණු ගමන් අර හරසුන් ගී ඉබේම මැකෙනවා.
වික්ටර් ගේ "ස" ප්‍රසංගය වගේම නන්දා මාලනියගේ "ස්වේත රාත්‍රිය" ප්‍රසංගයත් අවසන් වූ විට ප්‍රසංග කලාව තුළ ලොකු රික්තයක් පවතීවි.
අපි තව සති දෙකකින් විතර ලෙලුම් ගැයූ ගිත කීපයකුත් අහමු.
ස්තූතියි ඔබටත්.
වැරදි මතකයක්. ඔව්, එය ලෙලුම් රත්නායක සහ දීපිකා ප්‍රියදර්ශනී විය යුතුයි.
Delete"වරා මල" යනුවෙන් ගීතයක් තිබුණා. ජයන්ත සහ ලෙලුම් ගැයූවක් ලෙසයි මට මතක. බොහෝ දුරට ඒත් වැරදි මතකයක් වීමට ඉඩ වැඩියි
මෙවන් ගීත අසන්නට ලැබීමත් සතුටක් , මොකද අද ශ්‍රී ලාංකීය ගීත කළාව කියල ලෝකය ඉදිරියේ බලෙන් පෙන්වන්නේ හරසුන් සද්ද , සහ වදන් හැළියක් පමනක් නිසා , එවන් අවස්ථාවක වික්ටර් රත්නායක , ජයන්ත රත්නායක වැනි “සුනිල් දිය දහර වන “ ගායකයන්ගේ වටිනාකම තවත් ඉහළට මතු වෙනවා .
ReplyDeleteබොහොම ස්තුතියි මෙවන් රසවින්දනාත්මක ලිපි ලියන්න ඔබේ ශ්‍රමය වැය කරනවාට , මේ කියවන අප සැම සිත්තුල නැගෙන සතුට ඔබට පිනක්ම වී ලැබෙන බව සත්‍යයි ..
මහේෂ් නිහාන්ත
Deleteස්තූතියි මහේෂ් ඔබේ ඇගයුමට.
වික්ටර් රත්නායකයන් වගේම , ඔහුගේ පුතුන් වන, ජයන්ත හා ලෙලුම්ටත් මා ඉතා කැමතියි .
ReplyDeleteපියාගේ හඩ ඔවුන් දෙදෙනාට හිමි නොවූවත් දෙදෙනාම ඉතා දක්ෂයන් .
ඔබ ගීත ගැන කරන මේ විග්‍රහයේ ඵල නෙලාගන්නෙ අපි . බොහොම ස්තූතියි මේ කරන අනගි මෙහෙයට .
ඊලග සතියේ නිශාන්තයේදී ජයන්ත රත්නායකයන්ගේ ගීතයකින් ඔබත් සමග එක්වීමට බලාපොරොත්තු වෙමි .
ගිම්හානි..
Deleteජූලි මාසෙ මැද හරියෙදි ලෙලුම් රත්නායකගේ ගිත කීපයකුත් අහමු. පොඩි වෙනසකටත් එක්ක. මම වින්ද රසවින්දනය අනෙක් අයටත් බෙදා දුන්නාම එයින් යම් ඵලයක් නෙළනවා නම් ඒ මගේත් සතුටයි.
හරි නිශාන්තයෙන් "මගේ හසඟන" ගීය අහමු ගොඩක් කමෙන්ට්ස්වල ඉල්ලුම තියෙන්නේ ඒ ගීයටයි.
ස්තූතියි ඔබටත්.
අනේ අයියෙ .. ලස්සනයි සිංදු ටික... අපි ඔෆිස් එකේ වැඩ කරමින් ඒ සින්දු ටික ඇහුවා... මගේ හිතත් වැඩියෙන්ම ගියේ '' හසඟන'' ට... අනිත් ගීතත් හරිම මිහිරියි... සිත නිවන ශාන්ත රසය මතු වෙන ගීත ටිකක්.... හැබැයි තාත්තගේ හෙඬ් මධුරකම පුතුන්ට පිහිටා නැතිද හැඟීම මටත් දැණුනා...
ReplyDeleteඔයා නම් අපූරු මනුස්සයෙක්..... ඒ බවට මේ ලිපි ටික සාක්ෂි....
තරු රසී..
Deleteමෙන්න මෙයා ඔෆිස් වෙලාවෙ සිංදු අහලා. "බොස්" ට ඇහුනනම් එයත් වැඩ නවත්තලා මේ ගීත අසාවි. වික්ටර්ගේ යොවුන් වියේ හඬ තමයි දෙන්නටම තියෙන්නේ.
හොඳ දේවල් බෙදාගැනීමම හොිඳ පුරුද්දක්
මේ වගේ ලස්සන ගීත ටිකක් වසර දෙකක් යනකල්ම අපේ විද්යුැත් මාධ්යතවල ඇහැ නොගැටුණු එක, සවන් නොගැටුණු එක.......
ReplyDeleteකාරණ දෙකක් හිතන්න පුළුවන්...
කලාකරුවා මාධ්යන පස්සෙ ගිහින් ජනප්රිනයත්වය මුදලට ගන්න උත්සාහ නොකිරීම... අනිත් එක මාධ්යුවල ඉන්න පුද්ගලයින්ගේ අසංවේදීකම..... මේ මට හිතෙන හැටි....
තරු රසී..
Deleteවික්ටර්ගේ ජනප්‍රියත්වය මගින් මේ දෙන්නට ඕනෙ තරම් ප්‍රසිද්ධියක් ගන්න පුළුවන්. ඒත් එහෙම නොකර ස්වාධීන ගමනක යන නිසා එයත් අගය කළ යුත්තක්. නැත්නම් හැමෝම මව්පියන්ගේ ජනප්‍රියත්වයෙන්නේ ප්‍රයෝජනය ගන්නේ.
ස්තූතියි ඔබට
වෙනද වගේම, අපුරු සැඟවුණු ගීත අහන්න සැලස්වුවට බොහොම ස්තුතියි. පොඩ්ඩි කිව්වා වගේ මටත් හිතෙන්නේ මුහුණුවර නම් වෙනස් කියලා :) ඔහුගේ අනෙක් පුතා ගැන මම දැනගත්තේ අදමයි....
ReplyDeleteසයුරි..
Delete" ඇයි "පාන තියා බුදු සාදුට හිමිදිරියේ" ගීය ගැයුවේ ලෙලුම් නේ. එත් මට හිතනෙ හැටියට අවුරුදු 06 දී විතර.
කමක් නෑ තව සති දෙකකින් ලෙලුම්ගේ ගී අහමු අස්වැන්නෙන්. මේකටම ලෙලුම් ගැන නොලිව්වේ ඒ නිසා.
ස්තූතියි ඔබටත්.
මේ ලෙලුම් රත්නායක ගායනා කරන ගීතයක්
ReplyDeletehttp://www.youtube.com/watch?v=BjDog14BzSM
ස්තුතියි හසිත ඔබ නිසා ගීතය හරිම ලස්සනයි . ඔබට ස්තුතියි .
Deleteහසිත:
Delete"ඔබනිසා" ගීතය "ඇසළ නිල් සඳ" ඇලිබමයේ තියෙන්නේ. අපි ලෙලුම් ගැන ජූගි මාසෙ මැද විතර කතාකරමු.
ගිම්හානි.
ස්තුතියි ඔබටත්.
පියාගේ ගී පුතාලට කියන්න අයිතියක් තියෙනවා තමා, ඒත් පියාගේ ගීම ගායනා කරන පුතුන්ටත් ,පැරණි ගායකයින්ගේ ගීත ගායනා කරමින් සුපර් ස්ටාර්ස්ල වෙන තරුණයන්ටත් ජයන්ත සහ ලෙලුම් පුත් දෙපල හොඳ ආදර්ශයක් . ඇයි දන්නෙ නැහැ මාධ්‍ය වලින් මෙම ගී වලට ප්‍රචාරයක් නොදෙන්නේ.
ReplyDeleteවික්ටර් රත්නායක මහතාගේ කටහඬේ තරම් ගීතවත් බවක් ජයන්තට නැතිඋනත් නැවතිල්ලේ අහනකොට වික්ටර් මහත්මයාගේ හඬට ගොඩාක් සමානයි ජයන්තගේ හඬත් . මේ ගීත මීට ප්‍රථම අහන්න නොලැබුණ නිසා ඔබගේ මේ ඉදිරිපත් කිරීම ගොඩාක් අගය කරනවා දයානන්ද මහත්මයා.
සැමදාමත් මෙන් වටිනා ලිපියක් ......
ලෙලුම්ගේ ගීතය ඉදිරිපත්කල හසිතටත් තුති.
නීතා..
Deleteවික්ටර් රත්නායකයන් ලංකාවෙ ඉන්න අනෙක් ශිල්පීන්ට වගේම දරුවන් දෙදෙනාටත් කියලා දීල තියෙනවා ස්වාධින නිර්මාණකරුවකු ලෙස නැගීසිටින්නට ඒක කොයිතරම් හොඳද. වික්ටර් ගේ යොවුන් වියේ තිබුණ හඬ ජයන්තට එලෙසම තියෙවා කියලයි මට හිතෙන්නේ.
ස්තූතියි ඔබටත්.
මට ඇත්තටම වැඩිපුර නව ගීත ඇසෙන්නේ නැහැ දැන් .අපි ඇබ්බැහි වෙච්ච සංගීත පරපුරෙන් මිදෙන්න බැරිකම වෙන්න ඇති . දැන් නම් අස්වැන්න පැත්තේ ආවොත් හොඳ ගීයක් අසන්න ලැබෙයි . අන්තර්ජාල ප්‍රශ්නයක් නිසා ලෝඩ් වෙන්නේ හෙමින් . හිමිහිට අසන්න ඕන .
ReplyDeleteබින්දි..
Deleteඅල්ත ගිත ඇහුනත් අපි හිතට ගන්නෙ නෑ. මොකර ඒ ගීඅපට ඒතරම් ගෝචර නැති නිසා. අපිට පුරදු 70 සහ 80 දශකවල ගීත නේ. ඒත් ඉදහිටලා මෙහෙම ගි අද ඇහෙන එකත් අපූරු දෙයක්.
ස්තූතියි ඔබටත්
වෙනදා වගේම බොහොම වැදගත් ලිපියක්......මෙහෙම ලිපි පලවන එකත් මේ කාලෙ සෑහෙන්න වටිනවා..
ReplyDeleteතරුවා..
Deleteඔබේ කාලයේ මේවගේ ගිත ඇහෙනවා අඩුයි ඔබ වැනි යොවුන් පරපුර නූතන සංගිත සම්ප්‍රදාය තුළ රැඳෙනවා. අපි නූතන සම්ප්‍රදාය අහන ගමන් පැරණි අපට හුරු සම්ප්‍රදාය තවම විදිනවා.
ස්තූතියි තරුවා.
ඇත්තටම මේ කාලේ මේ වගේ ගීත ඇහෙනවනම් අඩුයි තමයි..ඒත් මම නම් තාමත් ආසම මේ වගේ ගීත වලට..
Deleteමම ගීත ගැන විග්‍රහ කරන්න තරම් නම් හැකියාවක් නෑ. එත් ඒවා අහලා ඒවයේ අර්ථය , සංීතය රස විදිනවා.. මේවගේ ලිපි පලකරල ඔබතුමා කරන්නෙත් වටිනා සේවයක්.
තරුවා..
Deleteඇත්ටම එභ වැනි යොවුන් තරුණයෙක් මෙවැනි ගිවලට කැමැතියි කියන්නේ කලාතුරකින්
ඒ ගැන නම් සතුටුයි.
හ්තූතියි ඔබේ අගැයුමට
වෙනදා වගේම... කලින් නොදැන සිට කතා සහ සිංදු ගොඩක්.. ස්තූතියි..
ReplyDeleteපසන්..
Deleteස්තූතියි ඔබටත්.
මෙන්න සිංදු.
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අඩවි රජ..
Deleteමොනවා කියනවද? මේවගේ ගි දෙතුනක් ඇහුව ගමන් රජකම හම්බවුණා වගේ තමයි ඉතින්.
ස්තූතියි රජතුමාට
අදත් වෙනදා වගේම වැදගත් සටහනක්.. ජයන්තගේ ගීත ඇහෙනවා අඩුයි වගේ දැන්.. මමත් ගොඩ කාලෙකින් ඇහුවේ නෑ.. ගිම් අක්කා නිසාන්තයට ගීයක් එකතු කරාවි කියලා හිතෙනවා..
ReplyDeleteජයන්ත වැඩිය ප්‍රසිද්ධ හොද කී බෝඩ් වාදකයෙක් විදිහට මම හිතන්නේ..
දිනේෂ්.
Deleteමම ගිම්ට කිව්වා මේ සතියේ නිශාන්තය සඳහා "මගේ සහඟන' ගීය දාන්න කියලා. අපි දන්නම ඒ ගීය මේ සැරේ අහමු.
ජයන්ත රත්නායකයන්ගෙ සින්දු නාලිකා වල යන්නෙ නැති තරම්...
ReplyDelete//ඔබ අහසක් දෝ
ඉර හඳ තරු මල් පුබුදන
රුදුරු අකුණු සැර ඉවසන
යළි නිල් මේ කුළු අතුරන
ඔබ අහසක් දෝ...//
මම ආසම සින්දුවක්...මේක.. හුඟාක් ස්තූතියි මෙහෙම ලස්සන විග්‍රහයක් එක්ක අහන්න සැලැසුවට ඔබතුමාට!!!
හිතුවක්කාරි..
Deleteමේ ගී ඇල්බම නිකුත් වෙච්ච දවස්වල නම් ගී කීපයක් "සිරස" ගුවන්විදුලියෙන් ප්‍රචාරය වුණා. එපමණයි.
ස්තූතියි ඔබට..
ස්තුතියි, මේ නෑසෙන ගී අපට අස්සවනවට!
ReplyDeleteරැමාල්..
Deleteස්තූතියි කාලෙකින් ඇවිත් ගියාට..
අද නම් මම මේ සිංදු එකක්වත් අහලා නෑ. ඒ නිසාම අහලා බැලුවා. අපි නොදන්න මේ දේවල් අපට අහන්න සලස්වනවට බොහොම ස්තුතියි !!!!
ReplyDeleteමධුරංග:
Deleteහොඳ දේවල් බෙදා දීමත් හොඳ පුරුද්දක්. ඒකයි මේ
ස්තූතියි මධුරංග
ලෙලුම් හා එක්ව කල කැසට් පටයේ ගී කීපයක් අසා තිබුනත් මේ සින්දු ටික දැනගත්තේ අදයි..
ReplyDeleteවික්ටර්ගේ හඬට වැඩිය මේ තරුණ හඬට මම කැමතියි (තාත්තත් එක්ක සංසන්දනය කරන එක වලක්වන්න අමාරුයි!)
ලස්සන සටහනක් එක්ක අපූරු ගීත ටිකක් තිළිණ කලාට ගොඩක් ස්තුතියි..
වික්ටර, ජයන්ත, ලෙලුම්, තුන්දෙනාගේ ගිත තුන් විදියක් වුනාම තවත් රසවත්.
Deleteහැම දාම වගේ හොඳ විස්තර කිරිමාක්.. මේ ගීත ගැන දැනගත්තේ අද.මුලින්ම ඇහුවෙත් අදමයි. ඒවයෙනුත් ගිටාර පමණක් පාවිච්චිකරලා හදපු සින්දුව ගොඩාක් ලස්සනයි.
ReplyDeleteස්තුතියි..
අසරණයා.
Deleteඅපි ඉරදා නිශාන්තයේදි "මගෙ හසඟන" ගීය අහමු. ගිම්ටත් ප්‍රියන්තටත් කියලා.
ඔව් ආයෙත් අහමු.
Deleteඇත්තටම මම දැනන් හිටියෙ නෑ ජයන්ත රත්නායක කියන්නෙ වික්ටර් රත්නායක මහත්තයගෙ පුතෙක් කියලා..පලමු ගීතය ඇරෙන්න අනික් ගීත අහල තිබුනෙත් නෑ..'මගෙ හසඟන' ගීතයනම් හරිම ලස්සනයි..හැමදාම වගේ අපූරු සටහනක්..ස්තූතියි..
ReplyDeleteසිත් රූ සිහින
Deleteදෙයියනේ සිත් රූ.. කොහේද හිටියේ නිකමටවත් ජයන්ත සහ ලෙලුම් ගැන අහල තිබුනෙ නැද්ද. මම දවසක් නම් ලෙලුම්ගේ "ඩබල් බේස්" සහ පර්ක්ෂන් වාදන ගැන ටිකක් කතා කළා
ස්තූතියි. සිත් රූ සිහින ඔබට
මම අස්වැන්නට ආවේ නම් අදමයි..ඇත්තටම නෙළාගන්න නම් අස්වැන්නේ ගොඩක් දේවල් තියනවා....
ReplyDelete//..මගෙ හසඟන පිහිනා යන්න ඉතින් ගංගාවේ
ඇති නැවතී සිටියා ඉවුරේ
අපි හමුවෙමු නිවනට නො ගිහින් මතු අත් භවයේ
යළි ඉපිද ඉපිද සංසාරේ..//
ඒක නම් හරිම ලස්සනයි..අහලා තිබුණේ නැති සිංදු ගොඩක් රස විදින්න ලැබුණා..ඇත්තටම ගොඩක් වටින සටහනක්....ස්තුතියි..!!
සිතුවිලි දැහැන
Deleteඔබගේ පැමිණීම සතුටක්. සාදරයෙන් පිළිගන්නවා අස්වැන්නට ඇවිත් විවිධ මාදිලියේ ගී රස වගේම සංගිත රස බෙදාගන්න පුළුවන්.
ඉඩක් ඇත්නම් අයෙ මතු දවසකත් ඇවිත් යන්න එන්න
තාත්තාගෙ හඬ පුතුන්ට පිහිටා නැතැයි බොහෝ දෙනෙක් පවසා තිබෙනවා. මට එසේ නොදැනෙන්නේ මගෙ කනේ දෝශයක්ද,
ReplyDeleteසිඳූ..
Deleteඅත්ත තමයි ජයන්ත නම් වික්ටරගේ යොවුන් වියේ හඬමයි. මොකද මේ සීඩි එකේ ගීයකුයි විකටර් 70 දශකයේ ගැයූ ගීකයකුයි සංසන්දනය කරලා බැලුවා. හ් හඬ එහෙමම ජයන්තට තියෙනවා
මේ ගීත එකක්වත් කලින් අහල තිබුනේ නැහැ. "මගෙ හසඟන" කියන ගීයට තමයි මමත් වඩා කැමති. ස්තුතියි අහන්න සැලැස්සුවාට.
ReplyDeleteමැණික්
මැණික්..
Deleteමේ ගී සියල්ලම නිකුත්වෙලා වසර දෙකක් විතර ඇති අනික් අතට මාධ්‍ය මගින් ප්‍රචාරය වෙන්නෙ නැහැනේ.. වැඩි දෙනෙක්ගේ කැමැත්ත 'මගෙ හසඟන" ගියටයි
ස්තූතියි මැනික්.
ඔබට බොහොම පින් මේ වගේ වටිනා ලිපියක් අපි සමග බෙදා ගත්තට..
ReplyDeleteඔබගේ ලිපි කියවනකොට මට මම ගැන පොඩි දුකක් , ලැජ්ජවක් දැනෙනව ඒ වෙන මොනවත් නිසා නෙමෙයි,, මම කොච්චර සුන්දර දේවල් මග ඇරලද කියල මටම වැටහෙන නිසා..
නැවත වරක් ඔබට පින්.. :)
(චතුවී)
චතුවී..
Deleteඅපි නොදන්නා , නොවැටහෙන, නොඇසුන, නොදැනුන දේ තව කොයිතරම් තියේද?
ස්තූතියි
හප්පේ මේ වික්ටර් මහත්තයාගේ පුතාද අදනේ දන්නේ
ReplyDeleteහොඳ විග්‍රහයක් වෙනදා වගේම...
පුබුදු
Deleteඅද හරි කමක් නැහැ හරියට දැන් දන්වානේ.
අද මම අස්වැන්නට ගොඩවෙන්න ගොඩාක් පරක්කු වෙලා වගේ. පහුගිය ටිකේ ගොඩාක් කාර්යබහුල වෙලා හිටියේ. ඇත්තම කියනවනම් මම මේ නව ගායකයන් දෙදෙන ගැන මේතරම් විස්තර දැනගෙන සිටියේ නෑ, විශේෂයෙන්ම ඔවුන් වික්ටර් රත්නාකයන්ගේ පුතුන් බව. ඔවුන්ගේ දක්ෂතාවයන්ගෙන් අද සමාජය නිසි වැඩක් ගන්නවාද යන්න මගේ හිතට නැගුන ප්‍රශ්නයක්. මාධ්‍යය මගින් වුනත් මොවුන් ගැන මීට වඩා වැඩි ඇඟයීමක් කරනවා නම් වඩා හොඳයි..
ReplyDeleteතොටියා..
Deleteඇත්ත, වික්ටර් රත්නායකයන් ඔවුන් සමාජයට ඉදිරිපත් කරල තියෙන්නෙ වික්ටර්ගෙ ගී ගයන්න නොව, ඔවුන්ගේ ස්වෝත්සාහයෙන් නව නිර්මාණ කර රසිකයන් අතරට යාමටයි. ඔවුන් ඒ දේ කරමින් සිටනවා. අනාගතය ඊට පිලිතුරු සපයාවි.
මම ආසම ගායකයෙක් තමයි වික්ටර් රත්නායක මහත්තයා.මේ ජූලි 30 පෙරුම්පුරාගෙන ඉන්නේ //ස// බලන්න යන්න.
ReplyDeleteබොහොම ස්තූතියි පෝස්ට් එකට.ලස්සන සින්දු ට්කක්!
වැසි දැරිය
Deleteඑහෙනම් නොවරදවාම "ස" ප්‍රසංගය බලන්න. මග හැරුනොත් ඒක ජීවිතේ අඩුවක් සේ දැනේවි. අයෙ බලන්න වෙන එකක් නැහැ ජූලි 20 "ස" ප්‍රසංගය නිමාවෙනවා.
මම ස ප්‍රසංගය දෙවරක්ම නරඹා තිබෙනවා. දෙවෙනි වර මගේ සොහොයුරා වදෙන් පොරෙන් වගේ ස නරඹන්න කැඳවා ගියා. එහෙත් ප්‍රසංගය අවසානයේ ඔහු කීවේ තව වරක් ලැබුනොත් නොබලා ඉන්නේ නෑ කියා. ඒ කරම් ඔහු එයින් සතුටක් ලැබුවා. තවත් එක් වරක් නරඹන්න ඇතිනම් එය ලොකු දෙයක්..
Deleteඅද කාලයේ ඇසෙන කිසිම තේරුමක් නැති පදමාලා සමග සැසඳීමේදී මේ පද මාලා වල ඇති වටිනාකම මැනිය නොහැක. ඔබට ගොඩක් ස්තූතියි මෙය අපට ලැබෙන්න සැලැසුවාට.
ReplyDeleteප්‍රියන්ත..
Deleteඇත්තටම මේ යුගයේ බිහිවන ගීත එක්ක බැලුවාම මේ ගිත එකතුව ඉතාමත් ඉළ මට්ටමක තියෙන ගි එකතුවක් කීවොත් එය නිවැරදියි.පදමාලා, සංගිත නිර්මාන සහ ගායනය අතින් ඉතාමත් පරිපූර්ණ ගී එකතුවක්.
ස්තූතියි ඔබට
මේ ගීත කලින් අහල තිබුණද කියන එක නම් මතකයේ නෑ. ඒත් ගීත වල අපූර්වත්වයක් තියෙනව. වික්ටර්ගෙ වගේම ජයන්තගෙ ගායනයන්ද විශිෂ්ඨ වෙයි අනාගතයේදී.
ReplyDeleteoutsider
Deleteඇත්තටම ජයන්තට හැකිවේව සුභාවිත සරල ගිතය අලුත් මගකට හරවන්න.
ස්තූතියි
දයානන්ද අයියා නොවන්නට අපි මේ විස්තර කවදාවත් දැන නොගන්නට තිබුනා. අපේ ම නොසැලකිල්ල හේතුවෙන් අපෙන් ඈත ව යන සුභාවිත සංගීතය ඉදිරි පරපුර වෙත සම්ප්‍රේෂණය කරන්න අස්වැන්නෙන් ලැබෙන්නේ පුදුමාකාර දායකත්වයක්. ඒ වෙනුවෙන් ස්තුතියි කියනවටත් වඩා ගැළපෙන්නේ බොහොම පිං කියන එක.
ReplyDeleteජයන්ත රත්නායක කියන චරිතය මා මුලින් ම දැක්කේ සිරස ටී.වී ඔස්සේ විකාශය කෙරුණු එක්තරා සංගීත වැඩසටහනක සංගීත කණ්ඩායමේ නායකයා ලෙස. ඊට පස්සේ ජාතික රුපවාහිනියේ 3 to 5 වැඩසටහනේ සංගීත පාඩමකින් ඔහු හමු වුණා. පියාගේ ගීත ඔහුගේ හඬින් අහන්නට ලැබුනත් ස්වතන්ත්‍ර නිර්මාණයක් අහන්න නොලැබුණු නිසා ම ඔහු පිළිබඳව වැඩි උනන්දුවක් තිබුනේ නැහැ. නමුත් දැන් ඒ ගැටලුව නිරාකරණය වී ඇති වගක් පෙනෙනවා!
මම මේ ගීත ටික කලින් අහලා නැහැ. එත් මේ ගායනා ඇහුවම සරල සුභාවිත සංගීතය වෙනුවෙන් පියාගෙන් කෙරුනාටත් වඩා යමක් ජයන්ත රත්නායක අතින් කෙරේවි කියලා මට හිතෙනවා. අපි බලමු!
රැංගෝ..
Deleteපිං නෙවයි බං මේවා.අපි කවුරු කවුරුත් නොදන්න දේවල් , රසවත් දේවල් කොයිතරම් තියෙනවද? එවා බෙදාහදාගෙන විඳගැනිම තරම් දෙයක් තවත් නෑ.
ස්තූතියි රැංගෝ ඔබට
ඇත්තටම විශිෂ්ඨ රස විදින්නෙකුට නම් කියාපු සින්දු ටික පද වැල් හරිම ලස්සනයි..කෑගහන විකාර සින්දු යැයි කියන සින්දු වලට වඩා කොයිතරම් අලංකාරද? සංගීත භාණ්ඩ සියල්ලම යොදා ගනිමින් විවිධාකාර ඝෝෂා වලින් බිහිවුන වර්තමානයේ සින්දු පෙරලියට වඩා කොයිතරම් වෙනස් ආකාරයක්ද?අහන්න අහන්න ආසයි..
ReplyDeleteස්තූතියි නොදන්න සින්දු කිහිපයක් අහන්න සැලසුවට...ඇත්තටම නෙලාගන්න ලොකු අස්වැන්නක් තිබුණා..
ජය වේවා...අදයි මේ පැත්තෙ ආවෙ ආයෙමත් එන්නම්කෝ...
මම මීට කලින් මේ පැත්තෙ ඇවිත් වගේ Follow පාරක් දාල ගිහින් ඒකයි...
Deleteසිහින සිත්තම්
Deleteඔබේ පැමිණීම සතුටක්. ඒවගේම අස්වැන්නට සාදරයෙන් පිළිගන්නවා.අස්වැන්නේ ලියවෙන්නේ බොහොම වින්දනාත්මක දේවල්. සරළ රසවින්දනයේ සිට ගැමුරු රසවින්දනයක් දක්වා යන ගමනක්. එන්න අලුත් වින්දන ඉසව් සොයමු. අපි ඔක්කොම එකතුවෙලා.
නුගේගොඩ හංදියේ හමුවෙන කාත් එක්කත් සුහද හිනාවක් දාගෙන ගිටාර් එකක් අතින් අරගෙන පයින් යන ජයන්ත මම ආසම චරිතයක් . . . ඔහුගේ ම ගීත තියෙනවා කියලා ඇහුවේ මේ මුල් වතාවට . . බොහෝම ස්තූතියි ඒ ගැන කිව්වට . . .මේ දවස් ටිකේ සැනසිල්ලේ සිංදුවක් අහනන් බැරි තරම් හිතේ කරදර කරන දේවල් ටිකක් තියේන්වා . .ඒ ටික මඟ හැරුනු ගමන් ඇවිත් මේ සින්දු ටික අහනවා . .
ReplyDeleteදුකා..
Deleteනිදහසේ ඇවිත් අහන්න හිත සන්සුන් වෙන ගී ටිකක්.
http://www.youtube.com/watch?feature=player_detailpage&v=D8y4nDQYXwc
ReplyDeleteමේ මා වෙනුවෙන් 1998 දී වික්ටර් රත්නායකයන් සංගීතවත් කල ගීතයක්. පද රචනා කලේ W.A. අබේසිංහ. වික්ටර් ගේ පුතුන් දෙදෙනා ජයන්ත (keyboards), ලෙලුම් (percussion) වාදනය කලා.