හැම විටම
කවීහු බිහි නොවෙති. ගීත රචකයෝ බිහි නොවෙති. යම් අත්දැකිමක් කාව්‍යෝචිත
සෞන්දර්යාත්මක බස් වහරකින් පුරවා පුළුල් අරුත් සරු ගැඹුරක් කරා සිය රසික සමූහයා මෙහෙයවා ලීමට කුසල වාසනා
ඇති කවීහු මෙන් ම ගීත රචකයෝ හැම කල්හි ම දුර්ලභ වෙති. රත්න ශ්‍රී විජේසිංහ වූකලී සිංහල නව කවියේත්, ගීතයේත් ගමන් මග කිවි බව නම්
කුසුම් සම්පතින් සපුරා සරසා ලූ එබඳු දුලබ කිවියරයෙකි.
රත්න ශ්‍රී
විජේසිංහ නම් වූ මේ විශිෂ්ඨ නිර්මාණකයා,
එසේ නැතහොත් කවියේත්, ගීතයේත්, අර්ථ සෞන්දර්යවේදියා, පසුගිය ජුනි 02 වන දා සිය
ජිවන ගමන් මගෙහි හැට වන විය පසු කරමින්
සිය නිර්මාණාත්මක දිවියේ හතළිස්
වසරකට ළඟා වී තිබුණි. අස්වැන්න ලියන මටත් මගේ සමකාලීන යසනාත් ධම්මික බණ්ඩාර, රවී සිරිවර්ධන සහ මහින්ද
කුමාර දලුපොත ඇතුළු බොහෝ සහෘද පිරිසකටත්,
මෙරට බොහෝ අංකුර කවීන්ට මෙන්ම ගීත රචකයන්ටත්
දසනු දිසා පෙන්වා දෙමින් නිවැරදිව යා යුතු මග කියාදුන් පහන් තරුවක් වූ රත්න ශ්‍රී විජේසිංහ නම් වූ මේ සොඳුරු
නිර්මාණකයා වෙනුවෙන් අද අස්වැන්න සටහන් කර තබමි.
මෙවන්
සොඳුරු නිහඬ මිනිසකු වෙනුවෙන්
කෘතවේදිත්වයෙන් යුතුව තබන මේ සටහන වෙනුවෙන්
අද මා තෝරාගත්තේ ඔහු අතින් ලියැවුණ
එ තරම් ජනප්‍රිය නොවූ නමුත් මතකයෙන් බැහැර
වූ ගීත කීපයකි. ඔහුගේ අතින් ලියැවුණ බොහෝ ජනප්‍රිය සහ අරුත් පිරිපුන් ගීත සියල්ල පිළිබඳව
නිරන්තරයෙන් විවිධ මාධ්‍ය ඔස්සේ සාකාච්ඡා කර ඇති බැවින් නැවත ඒ ගැන ම ලිවීම නිෂ්ඵල
ය. මීට මාස කීපයකට පෙර මා සුමිතුරු යසනාත් ධම්මික බණ්ඩාර ද රත්න ශ්‍රී ගේ නිර්මාණ පිලිබද යසනාත් සිතුවිලි අඩවිය ඔස්සේ අපූරු සටහනක් තබා තිබුණි. එසේ හෙයින් මේ ගීත කීපය ඒ අතීත මංතලාව
හාරා අවුස්සන්ට වෙර දරන විට ඔබේත්
මගේත් මිහිරි ම මතකය නැවත ඔහු වෙනුවෙන් අවදි වනු අත.
රත්න ශ්‍රී විජේසිංහයන් සිය සෞන්දර්යාත්මක
මංතලාවේ නිර්මාණාත්මක ගමන් මග අරඹන්නේ කවියකු ලෙස සති අන්ත පුවත් පත් සහ සඟරාවලට
කවි ලිවීමෙනි. ඒ හැත්තැව දශකය ඇරඹී වසර කීපයක් ඇවෑමෙනි. වසර ගණනක් පුවත් පත්
සහ සඟරා ඇසුරෙහි කවිකමේ පන්නරය ලබන හෙතෙම සිය පළමු රන් අස්වනුව නව කවි රසික පාඨකයා අතට
පත්කරන්නේ 1979 වර්ෂයේ දී ය. ඒ “බිය නොවන්න අයියන්ඩි“ කාව්‍ය
සංග්‍රය ලියා පළ කිරීමෙනි.
පුවත් පත්
සහ සඟරාවලට කවි ලියමින් සිටන අතරතුර ම ලියූ ගී පද මාලාවක් ගුවන්විදුලියේ යෞවන
සමාජය වැඩසටහනට යොමු කළ පසු එය එම
වැඩසටහනේ නිෂ්පාදකවරයා වු ලූෂන් බුලත්සිංහල අතට පත්වීමෙන් මුල්වරට රත්න ශ්‍රී ගේ
කවිකමේ ගුණ සුවඳ විහිදෙන්නට විය. අහඹු ලෙස ඉව වැටුණු ඒ ගී සුවඳ තවරා ගත් ලූෂන් එය කපුගේ අතට පත් කළේ ගීතයක් බවට පත් කිරීමේ
අරමුණෙන් යුතුව ය. කපුගේ තමන් අතට පත් වූ පදමාලාව සියතින් ම සංගීතය මුසුකර ගායනා
කළේ ද එදා ඒ යෞවන සමාජය වැඩසටහනට ම ය. ඒ
එදා 1973 දී ඔහු මුල්වරට ලියූ ගීතය මෙයයි.
තනිවෙලා
මා නන්නාඳුන
දුරු
රටක මග නොදන්නා
එන්න
අම්මේ පාලු අහසේ
අඳුර
අතරින් පායලා...
ඒ වන විටත්
අහඹු ලෙස ගීයක් ලියා ගී මගට පිවිස සිටි රත්න ශ්‍රී කවියෙකු වෙමින් ම ගීතයද අපූර්ව
අර්ථ සෞන්දර්යාත්මක ඉසව්වක් කරා රැගෙන ඒමට
හැකි වන අයුරින් පෙරළු නැවුම් පසෙහි රන් බිජුවට වපුරා තිබුණි. ඔහු අතින්
ලියැවුණ කවි මෙන් ම ගීත ද සුබසින් ද අරුත් පිරිපුන් බසින් ද දළු ළා වැඩෙමින්
තිබුණි. ඔහුගේ මේ සෞන්දර්යාත්මක
නවාතැන්පොළෙහි නවාතැන් ගත් ගීතය කවියේ ම ගුණාංග වලින් පෝෂණය කරමින් හදාවඩා ගනිමින් පිරිපුන් සාහිත්‍යාංගයක් බවට පත් කිරිමට රත්න
ශ්‍රී වෙසෙස් වෙහෙසක් දැරීය.
රත්න ශ්‍රී
සිය පළමු ගීතය ලියා වසර අටකට පමණ පසුව සිය දෙවන ගීතය ලියන්නේ බණ්ඩාර අතාවුද ගායන
ශිල්පියාට ය. මගේ මතකයේ හැටියට එදා බණ්ඩාර
අතාවුද සිය පළමු සරල ගී වැඩසටහනට මේ ගීය ගැයුවේ ය. අදින් තිස් පස් වරසකට පමණ පෙර ගැයුණු මේ ගිය බණ්ඩාර අතාවුදගේ අතලොස්සක් ගීත අතර අදටත්
මතකයේ රැඳුණ ගීතයකි.
නෙතු
පියන් පියා මුතු දසන් වසා
නිදි
දැහැන් වැදී කුමරී
සිහිනයෙන්
මිදී මා ළඟින් ඉඳී
මවු
පියන් බලා නොඉඳී...
ගීතය
සාමූහික කලාංගයකි. එය පරිපූර්ණ ගීතයක් බවට පත්වන්නේ ගීත රචකයා, සංගීත රචකයා සහ ගායකයා හෝ ගායිකාව
අවසාන වශයෙන් සිය ගායනයෙන් ගීතයට එකතු
කරන්නා වූ පරිපුර්ණ ගායන මාධුර්යය නිසා ය.
කවිය, කවියා විසින් වචන පමණක්
භාවිතාකර ළඟා කර දුන් ධ්වනිතාර්ථ සහ ව්‍යංගාර්ථවලින්
පිරුණ ද ගීයක ඇති ව්‍යංගාර්ථ සහ ධ්වනිතාර්ථ හැම විට ම ගායනයෙන් තීව්‍ර කළ හැකි බව
රත්න ශ්‍රී සිය කවියෙනුත්, ගීයෙනුත්
මැනැවින් තහවුරු කළේ ය. කවියේ ඇති වචන කෝෂය ඉතා පුළුල් පරාසයක් කරා විහිද ගිය ද ගීතයේ වචන කෝෂය ඉතා සීමිත ය.
එහෙත් ගීතයේ ඇති මේ සීමිත රාමුව තුළ ම ගීතයේ වචන කෝෂය ද විශාල වපසරියක් සහ ගැඹුරු
අරුතක් කරා විහිදුවා ලීමට හැකි පාරිභාෂික
වචන, කවියේ සිමාව ඉක්මවා පර්යේෂණාත්මක
ලෙසින් ඔහු සිය ගීතයට යොදා පෙන් වූ
අවස්ථාවන් බොහෝ ය. එ මගින් ඔහු පැහැදිළි කර දුන්නේ කවිය මෙන් ම ගීතයටද ඒ අපූර්ව සූක්ෂමතාවයෙන්
තිබිය යුතු බව ය. ඒ සඳහා ඔහු ජන ශ්‍රැතිය සහ
ජන සම්ප්‍රදාය නොමඳව භාවිතා කරමින් ඒ ඇසුරේ රැඳෙමින් ම ඉන් ලබාගන්නා අත්දැකීම් සමූහය
නූතන ගීතයට යොදා ගීතයේ සැඟවුණ කවි ලකුණ සිය රසිකයා වෙත ගෙන හැර පෑවේ ය. ඊට
නිදසුනක් ලෙස මතු දැක්වෙන ගීතය ගත හැකිය.
නිර්මලා
ලොන්ඩරිය හිමි සළු වඩන මැණිකේ නිර්මලා
මල්
හිනා නුඹෙ තැවරිලා කිරි ඉද්ද මල් වැට පීදිලා
කුල
ගෙවල් සැරසිලි කළත් අපි සළු වඩා පාවඩ එලා
නිර්මලා
නිර්මල නැතැයි මා ඔබෙ ලොවෙන් පිටමං කළා
පන්තියේ
මිතුරන් එදා කළ විහිලුවෙන් හිත රිදුණු දා
මා
හෙළු කඳුළක් මගේ දින පොතක තිබිලා හමුවුණා
යුදවැදී
නෑසියන් බලමුළු අපේ ලොව ගිනි වැදුණු දා
මා
හෙළු කඳුළින් තෙමූ සළුපිළි තවම නෑ වේලිලා
දොවාලන්නට
බැරි පිළී ගඳ කහට කුල මල තවරලා
මගෙ
ඇඳුම් ඔඹෙ අතට දෙන එක දරන්නට බෑ නිර්මලා
එදා
සෙනෙහස නොකිළිටිව ඔබෙ හිතපුරා පවතින නිසා
හිමි
නැතත් මට හුරු සුවඳ ඒ ඇඳුම් අතරේ තියෙනවා
ගී
පදමාලාව : රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය:
විශාරද ගුණදාස කපුගේ
ගැයුම:
විශාරද ගුණදාස කපුගේ සමග නිරංජලා සරෝජිනී
“නිර්මලා
ලොන්ඩරිය“ ගීතය මෙතනින් අහන්න
අපට අසා
හුරු පුරුදු “ජසයා සහ ලෙංචිනා“ නාඩගමේ එන සිදුවීම් සියල්ල නූතන සමාජයට ආරෝපණය
කරන්නේ ඒ නාඩගම වර්තමාන සමාජයට ගැලපෙන පරිද්දෙනි. එහි දී ඔහු ඒ නාඩමෙහි භාවිතා වූ
බසද එකී නාඩගමේ රිද්මය ද ගීතයේ වචනවලට මුසු
කරයි. ඉනුදු නො නැවතී ගීතයේ වචන කෝෂයට “ලොන්ඩරිය“ වැනි යෙදුමක් ඇතුළත් කර නිර්මලාගේ
චරිතය සමග බද්ධ කරයි. ගීතයේ අපූර්වත්වය හමුවන්නේ එහි දී ය. ගීතය ආරම්භයේ දී ම
“නිර්මලා ලොන්ඩරිය“ යෙදුම යෙදීම නිසා ගීතයට ලබාගන්නා ජවය, ගීතයේ සිදුවිම් සියල්ලත්
සමග බද්ධ වන්නේ ගීතයට අවශ්‍ය සහ ගීතය ඉල්ලා සිටින පසුබිම පහසුවෙන් ඊට සකසා දෙන
අයුරිනි. ඒත් “ලොන්ඩරිය“ වැනි පාරිභාෂික වචනයක් ඊට බලෙන් එල්ලූ බවට නොහැඟෙන පරිදි
ය. ඒ වූකලී රත්න ශ්‍රී විජේසිංහයන් එදිනෙදා සමාජය තුළින් උකහා ගත් විශිෂ්ඨ පරිකල්පන ශක්තියේ ප්‍රභාවයි.
ගීතයක්
සඳහා තෝරා ගන්නා වස්තු විෂයට අවශ්‍ය වන වචන සම්භාව්‍ය සාහිත්‍යය තුළින් පමණක් නොව
ජන සම්ප්‍රදායත් ජන ශ්‍රැතියත් ඇසුරින් සපයා ගනිමින් නිර්මානකරණයේ යෙදෙයි. විශේෂයෙන්ම එකම තේමාව අවස්ථා කීපයකදී විවිධ ස්වරූපයෙන් යොදා ඇති අවස්ථාවන් හමුවේ.
එහෙත් එ වැනි අවස්ථාවලින් බිහිවන ගීත වල අරුත් ද විවිධත්වයෙන් යුතුව තබයි. ඒ සඳහා රත්න
ශ්‍රී නිරන්තරයෙන් භාවිතා කරන්නේ බෙහෙවින්
ම ගීතාත්මක ආකෘතියකි. විශේෂයෙන්ම ජසයා සහ ලෙංචිනා නාඩගම් කවි, රත්නවල්ලි කවි,
වෙස්සන්තර කවි, යසෝදරාවත, දරු නැළැවිලි
කවි, ආදී ජන සම්ප්‍රදායෙන් බිහිවූ ජන සාහිත්‍ය ඇසුරින් උකහා ගෙන බිහිකළ ඒ ගීත සමූහය ඒ ගීත ඇතුළාන්තයේ සඟවාගෙන
සිටින දැඩි කාව්‍යමය ගුණය ඔහුගේ ගීත කලාව ශකිතමත් කරන්ට සමත්ව තිබේ.
ගණ
රන් තැටිය අරන් සඳ බැස යන්න එපා
නිදි
නෑ තවම මගේ හුරතල් පුංචි පුතා
සේපාලික
ගහයට කිරි බොන වහු පැටියා
අම්මට
තුරුළුවෙලා නුඹ උණුසුම් වෙනවා
පැටියෝ
කිරි ටික සේරම එකවර බොන්න එපා
බඩගිනි
වී හඬාවි නිදි නෑ මගෙ පුංචි පුතා
තුන්හිරියා
පැදුරේ මිත්තණියගෙ තුරුලේ
පුතු
මව් සෙනෙහෙ සොයා සිහිනෙන් කොඳුරනවා
කිරිපැණි
නැති උණාට රන් තැටියේ පුරවා
නොගිහින්
ඉන්නවාද තනියට හඳ මාමා
ගී
පදමාලාව : රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය
සහ ගැයුම: විජේසුන්දර වේරගොඩ
“ගණ
රන් තැටිය“ ගීතය මෙතනින් අහන්න
රත්න ශ්‍රී
විජේසිංහයන්ගේ ගීත රචනා කලාවට යෝධ සෙවනැල්ල වැටෙන්නේ ගුණදාස කපුගේ සමග ඇති වන
සුසංයෝගයෙනි. අසූව දශකය ආරම්භයේ දී ම රජරට සේවයට යන ගුණදාස කපුගේ අසිමිතව කවියට
පෙම්බැඳි ලෝලියෙකි. රත්න ශ්‍රී ගේ කවි ලකුණෙහි ඇති සුගායනීය බවත්, එහි රිද්මයත් රිද්මයත්
වටහා ගන්නා කපුගේ රත්න ශ්‍රි විජේසිංහයන් සිංහල ගීතයේ විශාල වපසරියක් පුරවාගන්නට සිය
ගමන් මගට දායක කර ගනී. ඒ වන විටත් කපුගේ
තමන්ට ම ගායනය සඳහා තෝරා ගන්නා ගී පද මාලාවලට අමතරව ඔහු ඇසුරේ සිටි ජයතිලක බණ්ඩාර
සහ කරුණාරත්න දිවුල්ගනේට ද ඔවුන්ගේ සංගීතමය ගමන් මගෙහි කෙත්වතු අස්වද්දා ගැනිම
පිණිස රත්න ශ්‍රී ගේ පද මාලා රන් අස්වනු බවට පත්කර දී තිබුණි.
රත්න ශ්‍රී
විජේසිංහයන් ගීත රචනා කලාවේදී නිරන්තරයෙන්
උත්සාහ කළේ ගීතයේ පවතින සීමාවන් තුළ ගීත
රචකයන් විසින් පනවා ගත් සිමාවන් සිය වාග් කෝෂය මගින් බිඳ දමන්නට ය. ඒ නිසා ම ගීතය
සඳහා සපයා ගන්නා අත්දැකීම ප්‍රබල අත්දැකිමක් බවට පරිවර්තනය කර ගැනිමටත්, එය ගීතය
තුළ විවිධ භාෂාමය ආකෘතීන්හි බහා මනාව
අත්හදා බලන්නටත් පෙළඹුන අවස්ථාවන් සහ අපූර්ව කාව්‍යෝපක්‍රම ඔහුගේ ගීත රචනා අතරින්
හමුවේ.
ගිත රචකයෙක්
ලෙසින් ඔහු සොයා එන ප්‍රවීන ගායන ශිල්පියා හෝ ශිල්පිණිය මෙන් ම , නවකයාටත් සිය
නිර්මාණත්මක සහාය බෙදා දෙන්නේ එකම හැන්දකිනි.
එ නිසා ම නවකයන් බොහෝ දෙනෙකුට එක රැයින් ගීත ක්ෂේත්‍රෙය් තම නම රඳවා ගැනිමට හැකිවන
පරිදි ඔහු ගීත ලියා දුන්නේ ය. ඒවා පසු කලෙක
දී බෙහෙවින් ම ජනප්‍රිය ගීත බවට පත්විය.
අමරදේව,
නන්දා මාලනී, වික්ටර්, සනත්, සුනිල්, එඩ්වඩ්, අබේ, නිරංජලා, කපුගේ, මාලනී, දීපිකා, ප්‍රදීපා,
චරිතා, බණ්ඩාර අතාවුද, අමරසිරි පිරිස්, වේරලියද්ද, දිවුල්ගනේ සහ ජයතිලක බණ්ඩාරයන්
සුභාවිත ගිතයේ නිම්වළලු පුළුල් කරන්නට රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගීත රචනා කලාවෙහි
නොමඳ දායතක්වය ලබාගනිද්දී , ඊට පසු පරපුර
වූ කිරුළ මුතු ලිහී (ජානක), සුවඳ
තියා මා ළඟ ඔබ ( චන්දන), පුන්සඳ රෑට (
නිරෝෂා) ඇතින්නියේ ( අතුල අධිකාරී), මෙන්ම සමිතා මුදුන් කොටුව, නෙලූ අධිකාරී, ශසිකා
නිසංසලා, බුලේගොඩ, දමිත් අසංක, අතුල ශ්‍රී ගමගේ, අසංක ප්‍රියමන්න ඇතුළු නව පරපුරේ
විශාල පිරිසක් ද අනුලා බුලත්සිංහල, මැණිකේ අත්තනායක, නිශ්ශංක දිද්දෙණිය, ජැක්සන්
ඇන්තනී රොඩ්නි වර්ණකුළ සහ ඇන්ටන් ජූඩ් වැනි නාට්‍ය
ශිල්පින් රැසක් ද රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගී පද මාලාවලින් තම ගී අස්වැන්න සරු කර
ගත්හ. ඒ ගීත සියල්ල ම ඔවුන් එතෙක් ගැයූ ගීත ආකෘතිවලින් මුදවා ලිමට සමත් වූ අතිශය
මධුරතර ගීත රචනාවෝ ය.
දෝත
නළලත තබා හිටගෙන
මේරි
අම්මා වඳිනවා
ගාථා
කියමින් වඳිනවා
ආයෙමත්
බිම බලනවා
පුංචි
නෝනගෙ පාවහන් දෙක
බැබලෙමින්
තියෙනවා
පුංචි
නෝනා සුදෝ සුදුවට
මලුත්
අරගෙන තෙලුත් අරගෙන
හිමින්
ගල් පඩි ගණන් කරගෙන
වෙහෙර
මළුවට නගිනවා
ඇගේ
රන්වන් පාවහන් දෙක
කන්ද
පාමුල තියෙනවා
නිවන්
යන දා පුංචි නෝනා
නිවන්
දොරකඩ ළඟට වීලා
ඇගේ
රන් මිරි වැඩි දකින හැටි
මේරි
අම්මා හිතනවා
හිතේ
බුදු සිරි පතුළ ඇදගෙන
හිතෙන්
පැදකුනු කරනවා
මේරි
අම්මා වඳිනවා
ගාථා
කියමින් වඳිනවා
ගී
පදමාලාව : රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය:
ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගැයුම:
මාලනි බුලත්සිංහල
“මේරි
අම්මා“ ගීතය මෙතනින් අහන්න
රත්න ශ්‍රී
විජේසිංහයන්ගේ ගීත රචනාවන් හි දක්නට ලැබෙන ප්‍රේමය , සමාජ යථාර්ථය සහ ජන ජිවිතය පිළිබඳව ඔහුගේ ආකල්පය කෙබඳු දැයි වටහා ගැනිමට ඔහුගේ
ගීතාවලියේ හමුවන මේ ගීත කීපයම ප්‍රමාණවත් වනු ඇත. නින්ද නැති රැයේ(කපුගේ), ලෙලි
තළන නුඹෙ අතට ( කපුගේ ) කරගල ගගා එන්න (කපුගේ) සිටු කුමාරියේ ( කපුගේ) වැරහැලි ඇඳ
( කපුගේ), මගෙ බිසවුනේ( කපුගේ), නිර්මලා
ලොන්ඩරිය ( කපුගේ- නිරංජලා ), ලෙංචිනා (
සුනිල්) , කිරළ මුතු ලිහී (ජානක), රත්නවල්ලි දෝ (දිවුල්ගනේ), මාල ගිරවියේ
(දිවුල්ගනේ), අජානේය ( දිවුල්ගනේ) ආදී එක පෙළට රැඳෙන ඔහුගේ ගී පෙළ එක ම සමාජ තලයක
වෙසෙන මිනිසුන්ගේ හද නළියන දුක් අඳෝනාවන් ය. ඇතැම් විට මේ ගී තුළින් සියුම්
විරෝධාකල්පයක්ද මතුවේ. අරුතින් ද පිරිපුන් කවි බසින්ද ගීතවත් වූ ඔහුගේ මේ ගීත අසන රසිකයින්ට අරුත්
සපයා ගන්නට කිසිඳු අපහසුවක් නැති වාග් ලාවන්‍යෙයන් යුතු ඒවා ය.
එදිනෙදා
සමාජයේ ගැවසෙන විට ලබන සුලබ අත්දැකීම් පවා රත්න ශ්‍රී විජේසිංහයන් සිය කවියේදීත්,
ගීතයේදීත්, ඉතාමත් සූක්ෂමතාවයෙන් යුතුවද, අපූර්වත්වයෙන් යුතුව ද යොදා ගනී. මේ අත්දැකීම්වල
ක්ෂේත්‍රය ඉතා විශාල වුවත්, ඒ අත්දැකීම්
ගීතයට නැගීමේ දී කවියේදී යොදාගන්නා
කාව්‍යෝපක්‍රම එලෙස ම ගීතයට භාවිතා කළ අවස්ථාවන බොහෝ ය. එමගින් ඔහු සියුම් අදහසක් ගෙන දෙන ගීයක් නිර්මාණය
කරයි. ගීත යනු රචකයා යනු
හුදෙක් වචන සපයන්නෙකු නොවන බවත්, ඔහු ස්වාධීන පරිකල්පන ශක්තියකින් හෙබි,
කිසියම් දාර්ශනික ගැඹුරක් කරා ගීතය මෙහෙයවන්නෙකු විය යුතු බවත් පිළිබිඹු වන පරිදි
ඔහු ගීත රචනා කලාවේ නියැලී ඇති බව රත්න ශ්‍රී
ගේ ගීත රචනා සියල්ල විමසා බලන විට
පැහැදිළි වේ. එසේම ගීතයේ අර්ථ ව්‍යක්තිය
සලකා අරුත් පිරිපුන් නිර්මාණයක් බවට පත් කරන්නට දැරූ අපමණ වෙහෙස ඔහුගේ තුන් දහසක්
පමණ ඉක්ම වූ ගීත පදමාලා සමූහය අපට දෙස් දෙයි. රත්න ශ්‍රී ගේ ගීතයේ
රැඳෙන කවි බස තුළ රැඳුණු කලාත්මක බවත්,
භාෂාත්මක ලක්ෂණත්, කාව්‍යමය ගුණයත්, නිර්මාණ අනුභූතියට පාදක කරගන්නා සමාජ යථාර්ථයත්,
මිනිස් ජීවිතය පිළිබඳ ඔහුගේ ආකල්පයත් එකට එක් වූ කල්හි ඔහු බිහි කරන ගීත කලාව නිතැතින්ම අර්ථ
සෞන්දර්යය ව්‍යාපාරයක් බවට පත්වේ.
කරගල
ගගා එන්න
කරගලා
ගගා එන්න
කරණවෑමි
සෝයුරාණනේ
කරදර
තැවුල් බරින්
මා
හිස මුදාලන්න
කරණවෑමි
සෝයුරාණනේ
නමනා
සිරස ඔබට ඉසුරින් පිරුණු දනට
ඔබ
හිස රැගෙන යතැයි බිය සැක නැතුවා
පාමින්
ඔබට නිකට ඔච්චම් කල එවුන්ට
අහිතක්
නැත ඔබ හිතුවා
බිඩිය
දමා බිමට ගඳ දුම් දී බුදුන්ට
ඔබ
පිල් කඩට වෙලා බලා ඉන්නවා
මගුලැතු
ඇවිත් රුවට ඔබගේ සැලුන් දොරට
හීනෙන්
දෙදන නමනවා
ගී
පදමාලාව : රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය:
විශාරද ගුණදාස කපුගේ
ගැයුම:
විශාරද ගුණදාස කපුගේ
“කරගල
ගගා එන්න“ ගීතය මෙතනින් අහන්න
රත්න ශ්‍රී
විජේසිංහයන් මේ වන විට ලියා ඇති ගීත ප්‍රමාණය හාරදහසකට ආසන්නය. කවියෙකු ලෙසින් ඔහු
සිය කවීත්වයේ ප්‍රභාව විහිදා ඇති කාව්‍ය කෘති සංඛ්‍යාව හතකි. ඒ අතර බිය නොවන්න
අයියණ්ඩි, වස්සානේ, සුබ උදැසන, තරු ළකුණ, සල්ගහ යට, මධ්‍යම යාමය සහ සන්ධ්‍යා තීර්ථය
යන කෘතීහු වේ, ඔහුගේ ගී මංපෙතෙහි අතුරා ඇති ගී පද රචනා කෘති සංඛ්‍යාවද හතකි. ඒ අතර
වංක ගිරිය අරණේ, සුදු නෙළුම, ගංගා ගීතය, ඉරබටු තරුව, නෙත නිලුපුල්, ආලකමන්දා සහ
නිකිණි වැස්ස යන කෘතීහු වේ. මේ වන විට කව්‍ය කෘතිවලින් හතරක් ද, ගීත කෘතිවලින් හතරකට ද රජ්‍ය
සාහිත්‍ය සම්මාන සහ විද්‍යෝදය සම්මානය හිමි වී ඇත. ඒ සියල්ලට අමතරව විවිධ පුවත් පත්
සහ සඟරාවලට ලියු ලිපි ඇතුළත් විවිධ ලිපි කෘති ගණනාවක්ද ළමා කෘති ගණනාවක්ද ලියා පලකර ඇත. ඔහු නූතන පරපුරට පහන් තරුවකි. හැට
වසරක ජීවන සහ සමාජ අත්දැකීම් සමූහයත් හතළිස්
වසරක නිර්මාණකරණයේ අද්දැකීම් සමූහයත් හෙට දවසේ ද තවත් මතු පරපුකට මග කියනු ඇත. ඔබ
තැනූ ඒ ලොවෙහි අතර මග හමු වු අප වැනි දුහුනන් ද ඔබ තැනූ ඒ කව් ගී මග දෙපස හැදි
වැඩුණු කුඩා බිම්මල් වැනි ය. එ හෙයින් ඔබ සිය කළණ මිතුරු කපුගේ වෙනුවෙන් “ගංගා ගීතය“
කෘතියෙහි තැබූ මේ කව් දෙ පෙළ යළිඳු ඔබ වෙතම පෙරළා සටහන් කර තබමි.
“සොඳුරු
ගුණෙන් කවියකටත් අසමාන
මිතුරු නුඹය අප ඉස
පිට සඳපාන“
මෙහි සියළුම ඡායාරූප අන්තර් ජාලය ඔස්සේ ලබාගත් ඒවා බව සැළකුව මැනැවි
මෙහි සියළුම ඡායාරූප අන්තර් ජාලය ඔස්සේ ලබාගත් ඒවා බව සැළකුව මැනැවි
