එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Saturday 6 April 2013

෴ හඬක් නැති මිනිසුන් වෙනුවෙන් නැගෙන ගී හඬ (2 වන කොටස) ෴





ජයතිලක බණ්ඩාරයන්ට සැබෑ ජනතා හිතවාදි කලාකරුවකු ලෙස මිනිසුන් වෙනුවෙන් හඬක් නගන්නට අලුතෙන් ශක්තියක් අවශය නොවේ. සමාජය ගමන් කරන දිශාව හඳුනා ගැනිමට අලුතෙන් සිතන්නට  අවශ්‍ය නොවේ. සිය ජීවිත කාලය පුරාම මිනිසුන් වෙනුවෙන් හඬ අවදිකරන්නට මිනිසුන් ඇසුරෙන් ලත්  අත්දැකීම් සියල්ල ඔහු ලද පන්නරයයි. ජනප්‍රියත්වය හුදු තාවකාලික ආභරණයක් පමණි. කිනම් මොහොතක හෝ එය  නැතිවී යාමට ඉඩ ඇත.  එහෙත් බොහෝ කලාකරුවන් ජනප්‍රියත්වය හඹා යද්දී, ඔ හු   අද දවසේ සමාජය යහපත් තැනකට යොමු කරන්න ගන්නා උත්සාහයක යෙදී සිටී. කලාකරුවක්ගේ පැවත්ම රඳා පවතින්නේ මුදල්  මත නොව මිනිසුන්ගේ හදවත්හි සදා ලැගුම් ගැනීමෙනි. ඔහු අපට කියා දෙන පණිවුඩය එයයි.

කම්පන ප්‍රසංගයට මුලපුරයි..

රජරට සේවයේ ස්වර්ණමය යුගය අවසන්ව කොලඹට පැමිණෙන ජයතිලක බණ්ඩාර , දිවුල්ගනේ, සහ කපුගේට  රජරට ගැමියන්ගේ දරිද්‍රතාවය ප්‍රකම්පිත වූ මේ  හිත්වලට දැනී තිබුණි. ඒ වන විටත් ඔවුන් තිදෙනාටම සාමූහිකව මෙන්ම තනි තනිවත් සංගීත ක්ෂේත්‍රයේ දිගු ගමනක් යා හැකි තරම්  ගීත සංඛ්‍යාවක් ඔවුන් තිදෙනාම රැස් කර ගෙන තිබුණි. පර්යේෂණ මෙන්ම නව ආකෘති ඔස්සේ කරන ලද  විවිධ  අත්හදා බැලීම් වලින් නොයෙක් හැඩතල වලින් යුතුව නිර්මිත  ගීත රැසක්ම ඒ ගීත එකතූන් අතර තිබුණි.  ඒ සියලුම ගීත රජරට සේවය ඔස්සේ විකාශය වූ විවිධ සංගීත වැඩසටහන් වලට නිර්මාණය වූ ඒවා  බැවින් ඒ  සියල්ලටම ඉහළම රසික ප්‍රතිචාර හිමි ව තිබුණි. ඔවුන් කොළඹට පැමිණියේ එසේ රැස් කරගත් නිර්මාණද සමගිනි. 

ඔවුන් තිදෙනාටම අහිමි වූයේ සිය රැකියාවන්  පමණි.  එහෙත්  ඔවුන් නැගූ හඬට අගුලු ලෑමට නොහැකි විය.   ඉදිරියට කළ යුත්තේ කුමක්දැයි පිළිබඳව බොහෝ සංවාද විවාද ඇති වූයේ  ඒ වන විටත් රට පුරාම ගොඩ නැගි තිබුණේ දැඩි දේශපාලන ප්‍රචණ්ඩත්වයක් අභියස ය.  එදා ඒ වට පිටාව කොතරම් දුරට බිහිසුණු ව පැවතියේ ද කිවහොත් රජරට ප්‍රධාන මාර්ගයක වාහනයක් ධාවනය වූයේ කලාතුරකිනි. පාසැල පැවැත්වූ දින ගනනට වඩා වසා තිබූ දින ගණන වැඩිය. හවස් යාමය එළඹෙන විට නිවසක කුප්පි ලාම්පුවක්  පවා දැල් වූයේ නැති තරම් ය.

තැන තැන ටයර් මත දැවෙන මළ සිරුරු මෙන්ම, හිස සුන් මළ කඳන්ද මග දෙපස සුලබ දසුනක් විය. රට තුළ විසාලා මහ නුවරක සිරි ගෙන තිබුණි. ඒ වන විටත් ක්‍රියාකාරී දේශපාලයෙන් බැහැරව සිටියත් ජයතිලක බණ්ඩාරයන් ඇතුළු මේ කලාකරුවෝ රට වෙනුවෙන් එවන් මොහොතක  කළ යුත්තේ කුමක්දැයි යන්න පිළිබඳව කතිකාවක් ගොඩනගමින් සිටියහ.

88 - 89 වර්ෂවල ජ.වි.පෙ. විසින් අරඹන ලද දෙවන සන්නද්ධ අරගලය පිළිබඳව ඉතාමත් විචාරශීලි ප්‍රතිපත්තියක් අනුගමන කළ ජයතිලක බණ්ඩාර ඇතුළු මේ කලාකරුවන් පිරිසට 71 දී සිදුවූ සිදුවීම් පිළිබඳව නිවැරදි අවබෝධයක් තිබුණි. සිවිල් ජනතාව අතරින් මතුවන සන්නද්ධ අරගලයත්, මහජන නැගිටීමත්,  යන කාරණා එකක් නොව දෙකක් බව ඔවුහු දැඩිව විශ්වාස කළහ. එදා 71 දී  උගත් පන්ති පහෙන් එහා ඒ කාරණා පිළිබඳව තරුණ පිරිස තුළ පවා ප්‍රබුද්ධ සංවාදයක් ගොඩ නොනැගිම තුළ 88 - 89 දෙවන සන්නද්ධ අරගලය ඔවුන්ගේ විවේචනයට බඳුන් විය. ඒ නිසා එදා ජයතිලක බණ්ඩාර ඇතුළු පිරිස සමග කටයුතු කළ නන්දන මාරසිංහ වැනි කලාත්මක හදක් තිබූ රසවතෙකුට පවා අත් වුයේ ඒ ඒ විචාර ඉවසුම් නොදුන් දෙවන සන්නද්ධ අරගලයට සම්බන්ධ වූ තමන්ගේම පන්තියේ මිනිසුන්ගේ රුදුරු වෙඩි පහරට ලක්වී මිය යාමටය.

කපුගේට ගීතමය තෑග්ගක්

සියළු දේ එසේ සිදුවෙමින් පැවතියදී ජයතිලක බණ්ඩාර ඇතුළු පිරිස කපුගේට යෝජනා කළේ  ගී ප්‍රසංගයක් මගින් ජනතාව අතරට ගොස් ඒ ඔස්සේ රටේ පාලකයන් විචාරයකට හසුකරගත යුතු බව ය. අරගලය කළ යුත්තේ කුමක් සඳහා දැයි ගීතයෙන්ම තරුන පිරිසට කියා දිය යුතු බවය. ප්‍රසංගයේ ආකෘතිය කෙසේ විය යුතුද, එහිදී ගැයිය යුත්තේ කෙබඳු ආකාරයේ ගීත මාලාවක් ද  යන්න පිළිබඳව බොහෝ කතාබහ ඇති විය.  ප්‍රසංගයේ ගැයෙන හැම ගීයකින්ම පාලකන්ගේ දැඩි අනම්‍යශීලි ප්‍රතිපත්ති නිසා රටක ජනතාව ව්‍යාකූලත්වයට පත්වන බව කියා දෙමින් ගැයෙන හැම ගීයක් ඔස්සේම රසිකයන් තුළ බුද්දිමය සංවාදයක් ඇති කළ යුතු බව සියළු දෙනාගේ ම මතය විය.

ප්‍රසංගයට ඇතුළත්විය යුතු ගීත අතරට කාලයේ රාවය ප්‍රසංගයට ගැයූ ගීත ද ඇතුළත් වු අතර ජයතිලක බණ්ඩාරයන්ට රජරට සේවයේ සරල ගීත වැඩසටහන් සදහහා කපුගේ සංගීත නිර්මාණය කර දුන් ජනප්‍රිය ගීත කීපයක් තිබෙන බව පෙන්වා දුන්නේය. එදා රජරට සේවයේ ඉතාමත් ජනප්‍රිය ගීත බවට පත්ව තිබූ ජයතිලක බණ්ඩාරයන් ගැයූ  මේ ගීත ගැන නැවත අවධානයක්  ඇති විය.

දොඹ මල් කැලෑවේ බමරුන් වැයූ

කවියක් වගේ ආදරේ

අත්වැල් බැදන් යන්න ළංවී ළඟින් එන්න

සංසාර ගිරි දුර්ගයේ

ගීපද: වසන්ත බණ්ඩාර දිසානායක, සංගීතය : ගුණදාස කපුගේ , මුල් ගැයුම : ජයතිලක බණ්ඩාර

සබඳ අපි කදු නොවෙමු

උනුන් පරයා නැගෙන

සුනිල දිය දහර වෙමු

එකම ගඟකට වැටෙන

ගීපද: දර්ශන මේදිස්, සංගීතය : ගුණදාස කපුගේ , මුල් ගැයුම : ජයතිලක බණ්ඩාර

අහස උසට නැග ගියාට

නැහැනෙ අහසෙ රැදෙන්නේ

අහසෙ මාලිගා හැදුවට

අපි පොළොවෙයි හිදින්නේ

ගී පද: සමන් ගුණ හේරත් , සංගීතය : ගුණදාස කපුගේ , මුල් ගැයුම : ජයතිලක බණ්ඩාර

ජයතිලක බණ්ඩාර තමන් ගැයූ මේ ගීත පිළිබදව කපුගේට නැවත සිහිපත් කළේය.

“ජයේ, මේ සිංදු ඔයා කියපුවානෙ. ඒවා ඔයාගේ ගීත”

“ඒකට කමක් නෑ. මම කිව්වත්  ඔබ කිව්වත් ඒකෙ වෙනසක් නෑ. මේ වෙලාවෙ අපිට ඕනෑ මේ පවතින සමාජ ක්‍රමය ගැන  සංවාදයක්  ඇති කරන්න. ඒ හින්දා  මේ ගී ටික ගයන්න.” 
ජයතිලක බණ්ඩාර කපුගේට කීවේ ය.

එදා රජරට සේවා සරළ ගීත වැඩසටහන් සදහා කපුගේ විසින් ජයතිලක බණ්ඩාරයන්ට නිර්මාණය කර දුන් මේ ගීත සියල්ල ප්‍රසංගය වෙනුවෙන් නැවත කපුගේටම ගයන්න දුන්නේ තමන්ගේ නිර්මාණවලින් ඉදිරියට යා හැකි දුර පිළිබඳව නොතකමිනි. අවසානයේ කපුගේ “කම්පන” ප්‍රසංගය වෙනුවෙන් මේ ගීත ගැයුවේය. ඒවා ඉතාමත් කෙටි කලකින් කපුගේගේ හඬින් ජනප්‍රිය වූ නිසා 1990 වසරේ නිකුත් වූ “පියසටහන්” සිංග්ලංකා කැසට් පටයටද ඇතුළත් කෙරිණි.

කම්පන ප්‍රසංගය එවකට පැවති රජයට එරෙහිවත්, තරුණයන් විසින් ගෙන ගිය අරගලය වෙනත් මානයකට යොමු කරමින්ද ඔවුන් සටන්  කළ යුත්තේ විමුක්තිය උදෙසා නොව දරිද්‍රතාවයෙන් පෙළෙන මිනිසුන් ඒ දරිද්‍රතාවයෙන් මුදාගැනිම උදෙසා බවත් කියා දෙමින් ප්‍රසංගය රට පුරා සැරිසරන්නට වූයේ ජයතිලක බණ්ඩාරයන් ඒ ප්‍රසංගයේ සිතාර් වාද්‍ය ශිල්පියා ලෙසින් මෙන්ම ප්‍රසංගයේ නිවේදකයා ලෙසින්ද කපුගේට සහය වෙමිනි.

ඇත්ත කියූ  රඟදෙන බයිලා..

රට තුළ ඒ වන විටත් නිර්මාණය වෙමින් පැවති සිදුවීම් පිළිබඳව කතිකාවක් ගොඩනැගිමට කම්පන ප්‍රසංගය ප්‍රමාණවත් නොවන බව ජයතිලක බණ්ඩාරයන්ට දැනුණි. ඊට වඩා දැඩි සෘජු නිර්මාණාත්මක සංගිතමය දේශපාලන අරගලයක්  ආණ්ඩුවට එරෙහිව කළ යුතු බව ඔහුට නොයෙක් වර සිතුණි.

කම්පන ප්‍රසංගය නොපැවැත්වෙන බොහෝ දිනවල ජයතිලක බණ්ඩාර ඇතුළු රසවතුන්ගේ සොදුරු හමුවිම් සිදු වූයේ නුගේගොඩ, ගංගොඩවිල, වනාත පාරේ පිහිටා තිබූ වින්සන්ට් කුරුඹාපිටිය සහෘදයාට අයත්වූ “නිපුණ” මුද්‍රණාලයේ දී ය. 

ජයතිලක බණ්ඩාර සිය අදහස තම සගයන්ට කියද්දී ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පාලනයට එරෙහිව හඬ අවදි කිරීම ඉතා බිහිසුණු අනතුරුදායක සේයාවක් මතුවන බව ඔවුහු කියා සිටියහ. ඒවන විටත් ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව හඬනැගූ කලාකරුවන් අතුරින් ඇතැමෙක් ඝාතනය කර තිබු අතර ගායන ශිල්පිනී නන්දා මාලනී සහ මහාචාර්ය සුනිල් ආරියරත්න ඇතුල පිරිසක් සිය ජීවිතාරක්ෂාව පතා රහසේ ම රටින් පිටව ගොස්  සිටියහ.එහෙත් ජයතිලක බණ්ඩාරයන් කිසි විටකත් ඊට පසුබට නොවුණි. ඔහු අනතුරුදායක අභියෝගයන්ට මුහුණ දීමට තරම්  ශක්තිමත් පන්නරයක් සහිතව සිටියේ ය.

එක් දිනක් රෑ මැදියමේ බිහිසුනු අනතුරක සේයාව පෙනි පෙනී ජනාධිපතිවරයාගේ පාලනයට එරෙහිව අභියෝග කරන්නට දැඩි තීරණයකට එළඹියේ ය. එදා ඒ රාත්‍රියේ මැදියමේ ම සිය මිත්‍රයා වූ වින්සන්ට් කුරුඹාපිටිය අවදි කරවා මේ අදහස ඉදිරිපත් කළේය.

“විනී මං ප්‍රේමදාස පාලනයට එරෙහිව අරගලයක් කරනවා”

“ජයේට ඒක තනියම පුළුවන්ද”

“ඔව්, මට පුළුවන්”

විනීගේ සහය මුලින්ම ලැබුණි. ඔවුන් දෙදෙනාම ඒ රාත්‍රියේ ඊළඟට කතා කළේ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු වූ සිරිලාල් කොඩිකාර ට ය. 

සිරිලාල් කොඩිකාර ඒ වන විටත් ප්‍රබල වාමාංශික දේශපාලන පුවත් පතක් වූ ‘ඇත්ත” පුවත්පතේ කර්තෘවරයා ලෙස සේවය කරමින් එදා පැවති ආණ්ඩුවට එරෙහිව සිය පුවත්පත මෙහෙයවමින් සිටියේ ය. ඔහුද නිපුණ මුද්‍රණාලයට නිතර ආ ගිය කෙනෙකු වූ අතර, කපුගේට මෙන්ම ජයතිලක බණ්ඩාරයන්ටද විවිධ සංගීත නිර්මාණ සඳහා නිර්මාණාත්මක දායකත්වය ලබා දි තිබුණි.

“ලාල් මං ප්‍රේමදාස පාලනයට එරෙහිව ප්‍රසිද්ධියේ අභියෝග කරල කැසට් එකක් කරනවා”

“හරි ජයේ, මාත් උඹ එක්ක ඉන්නවා.මගෙන් මොනවද වෙන්න ඕනෑ.”

“සිංදු ටික ලියන්න පුලුවන්ද?”

සිරිලාල් කොඩිකාර කැසට්පටයේ සියලු ගිත ලියන්න කැමැත්ත පල කළේය. ඔවුන් තිදෙනාම එක්ව ඊට පසු දින කපුගේ හමුවී තම අදහස ඉදිරිපත් කළේ ය. ‍මේ කැසට් පටය සාමාන්‍ය සම්ප්‍රදායෙන් බැහැරව එදා ගර්හිත කලාවක් සේ පිළිගත් බයිලා ගීත කලාව ඇසුරින්  වේග රිද්ම ගී ආකෘතියෙන් නිර්මාණය කරමු යැයි කියමින් කරන ලද යෝජනාවට කපුගේද දෙවරක් නොසිතා  ඒ කැසට් පටයේ  සියළුම සංගිත නිර්මාණය කරන්නට එකඟ විය. ඒ අයුරින් ජයතිලක බණ්ඩාරයන්ගේ “රඟදෙන බයිලා” කැසට් පටය නිර්මාණය කිරීමේ කාර්ය ඇරඹුණි. මේ ඒ කැසට් පටයේ එක් ගීතයකි.

වසවර්තියො බුද්ධාගම භාර අරගෙන 
වනසනවා පුරාවස්තු රටේ හැමතැන

නමෝතස්ස කියල උදේ පටන් ගන්නවා 
හැමෝම දැන් රටේ කෙරෙන හරිය දන්නවා



උතුරවනව බුද්ධාගම දෙගොඩ ගලන්න 
පොතුබැද්දර වෙහෙර බිඳල නිදන් බලන්න

රෑ සැතපෙන වේලාවය හාමුදුරුවරු 
අතරේ ගණ අඳුරේ ආව අය හොරූ



අත් බැන්දේ මහ සමිඳුගෙ ඉරලය සිවුරූ   
බුද්ධාගම භාර ගත්ත ඇමතිය කවුරූ

තෝ කියලයි බැන වැදුනේ මහ සමිඳුන්ට 
ගාථාවන් සඟරුවනේ පද නමදින්ට



උත්තම මහ විහාරයෙත් පිළිමය බිඳලා‍
ඇද්ද කියල නිදන් වස්තු විමසුම යොදලා

හොද හරියට තව තොරතුරු අති විශේෂය 
වෙන යුගයක නැති තරම්ය මේ විනාශය



නොදන්නවද කවුරු මේව වෙන්නෙ කොහොමද

නිදන් වස්තු හොරෙන් කන්නෙ වැටද නියරද

නිති ගරුක නොවන මොවුන් මොන මොන අයද 
ජාතිය සතු පුරා වස්තු අපනයනයද



අමරණීය නිදන් වස්තු රැක සිටියාට 
කුමර කුමරි බිලිවේ දැන් බහිරවයාට

බිල්ල බිල්ල දීල රටේ නිදන් ගන්නට

බිල්ලො එනව කොල්ලො කෙල්ලො අරන් යන්නට



දැක්ක නේද යක්කුන්ගෙත් ගතිය පෙනේය 
යක්කුන්ටත් කන්‍යාවොම ඕනැ වුණේය

හරිම පුදුම නේද මෙහෙම ඒව අහන්න 
පිරිමි බිල්ල ගන්න කැමති කාලි යකින්න



නියමයටම තුන් යාමෙට බිලි තුන දෙනවා 
බහිරවයම නිදන් වස්තු ගලවල දෙනවා

බර කුළුගෙඩි පහර දිදී මහ රෑ පානේ 
සිරස්තලය බිද හොයනව බුද්ධග්ඥානේ



වරු ගණනක් බුදු පිළිමෙක පපුව හාරලා 
කරුණා ගුණ මෛත්‍රි ගුණ වෙනම තෝරලා

ඔන්න රටේ බුද්ධාගම ගැන සැළකිල්ල 
සන්ත බස්තියන් කන්දේ දෙවියන් පල්ල

ගීත රචනය: සිරිලාල් කොඩිකාර

සංගිතය : විශාරද ගුණදාස කපුගේ

ගැයුම: ජයතිලක බණ්ඩාර

ගීතය මෙතනින් අහන්න


කැසට් පටය එළිදැක්වූ  පසු කෙටි කලකට විදේශ ගතව හෝ අන්‍යාකාරයකින් සැගව සිටිය යුතු බවට ජයතිලක බණ්ඩාරයන් වටා සිටි මිත්‍ර සමාගම ඔහුට යෝජනා කළේ සිදුවිය හැකි අනතුර පිලිබඳව හොඳන් අවබෝධ කරගෙන සිටි බැවිනි. ඒ නිසාම රගදෙන බයිලා කැසට් පටය නිකුත් කළ පසුව කෙටි කලක් රහසේ ජිවත්විම සුදුසු බව ඔහුටද පෙනී ගිය නිසාම  ඊට එකඟ වීම හැර කරන්නට වෙනත් කිසිවක් නොවීය. 
සිරිලාල් කොඩිකාර මහතා එදා සහ අද

සැලසුම් කරගත පරිදි “රඟ දෙන බයිලා”  කැසට් පටයේ වැඩකටයුතු අවසන් විය. එය සමාජ ගතකිරිමට යොදාගත්තේ 1993 මැයි දෙවන දා ය. එහෙත් ඊට පෙර දින එනම් මැයි පළමු වනදා මැයි රැලිය පැවැත්වෙන අතරතුර ජනාධිපතිවරයා මරාගෙන මැරෙන ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් විය. 

සූදානම් කර තිබූ සියළු කටයුතු අතහැර දැමූ පසු ඊට සති කීපයකට පසුව කැසට් පටය වෙළඳපොලට නිකුත් කළේය. කැසට් පටයේ සියළු පිටපත් කෙටි කළකින් විකිණි අවසන් විය. නැවත නැවතත් එය පිටපත් කර නිකුත් කිරිම අවශ්‍ය නොවූයෙන් මුල් පිටපත් සියල්ල විකිණිමත් සමග එහි නැවත නිෂ්පාදන කටයුතු අත්හරින ලදි. මේ එහි තවත් එක් ගීයකි.

මගේ ආච්චී ඉස්සර හිටි‍යෙ පිටිසර 
අගේට කීවා හොඳ හොඳ බයිල රස කර

පෙළඹීලා ආච්චිගේ බයිල මිහිරට 
කොළඹ ඉඳල අපිත් ගියා ඒ පිටිසරට

මගේ ආච්චී කීවා බයිල රස කර



සාවදාන වෙලා අහමු බයිල අපි කියා 
මාව පියාණන් වහන්සෙ එක්ක ගෙන ගියා

ආර්ථිකය බොහොම සාර්ථකව පැවතියේ 
කාර් බාර්වලින් තමයි නිතර අපි ගියේ

මගේ ආච්චී කීවා බයිල රස කර



වත්තක් තිබුණා දැක්කා යන මග අයිනේ 
ගත්තා මගේ නමට ඒක ඒ යන ගමනේ

යන ගමනක් පිටත්වෙලා ගියේ එහෙ සිට 
අලියෙක් මට අරගෙන දාගෙනය ඩිකියට

මගේ ආච්චී කීවා බයිල රස කර



ගම්මානෙක තේ කඩේක අපි ඉඳගත්තා 
අම්මා කඩයප්පන්වල නම අහගත්තා

සාර්ථකම ආර්ථිකෙන් මගේ පියතුමා 
කාර් එකෙන් රූං ගාල රැගෙන ගියෙ මෙමා

මගේ ආච්චී කීවා බයිල රස කර



පිටත් වෙන්න කලින් එහේ ගෙන යන එව්වා 
කරත්තවල පාර දිගේ පටවල යැව්වා

බටර් සීනි චීස් සම්බ හාල් තුනපහේ 
පටවාගෙන බර කරත්ත පෙළට එහෙ ගියේ

මගේ ආච්චී කීවා බයිල රස කර



සන්ත බස්තියන් උත්තමයන්ගෙ කරත්ත 
අන්න කිය කියා පිරුණා පාර දෙපැත්ත 
පෙළඹීලා ආච්චිගේ බයිල මිහිරට 
කොළඹ ඉඳල අපිත් ගියා ඒ පිටිසරට

මගේ ආච්චී කීවා බයිල රස කර



මේ දැන් වගෙ මට මතකයි සහතික ඇත්ත 
ඒ දණ්ඩෙයි නියර දිගෙයි ගියා කරත්ත

වෙල මැද්දෙයි නියර දිගෙයි ගියාට පස්සේ

ඇළට උඩින් යන්න තිබුණෙ පොල්කඳ ඔස්සේ

මගේ ආච්චී කීවා බයිල රස කර



අල්ලාගන සුක්කානම හිටියෙ මගෙ පියා 
පොල් කඳ වට කැරකි කැරකි කාර් එක ගියා

ආච්චි මට කීව නේද මාව ඉඹ ඉඹ 
පාච්චල් වෙයන් උඹ ගැන කියල බොරු හොඳ

මගේ ආච්චී කීවා බයිල රස කර


ගීත රචනය: සිරිලාල් කොඩිකාර

සංගිතය : විශාරද ගුණදාස කපුගේ

ගැයුම: ජයතිලක බණ්ඩාර

ගීතය මෙතනින් අහන්න


ජනතාවට අන්තිමේදි ජය අත්වෙනවා

නව ජනාධිපතිවරයෙක් පත්විමත් සමගම අතුරු දහන් වූවන් සහ ඝාතනය වූවන් වෙනුවෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා කර බලපෑම් කරන්නට සිවිල් ක්‍රියාකාරීන් සහ මානව හිමිකම් සංවිධාන කටයුතු කර තිබුණි. සිවිල් ක්‍රියාකාරීහු විසින් රට පුරා තැනින් තැන ජනතා අධිකරණ පිහිටුවා අතුරුදහන් වූවන්ගේ තොරතුරු විමසන්නට වූහ. ඒ වන විටත් එදා සිටි විපක්ෂය මේ සඳහා මහත් උනන්දුවකින් කටයුතු කරන්නට විය. ජයතිලක බණ්ඩාරයන්ද කලාකරුවකු ලෙස ප්‍රමුඛ ලෙස ඊට මැදිහත්ව කටයුතු කළේය.

අතුරුදහන් වූවන් වෙනුවෙන් සීදුව, රද්දදොලුගම නිවාස සංකීර්ණයට හැරෙන මංසන්ධියේ ස්මාරකයක්ද ඉදිකර  විවෘත කර ඔවුන් සියළු දෙනා සිහිකිරිමට ඒ සංවිධායකයෝ කටයුතු කරමින් සිටියහ. ජයතිලක බණ්ඩාරයන්ද කලාකරුවක් ලෙසින් එදා ඊට සහභාගී වෙමින් සිටියේ ය.

එය විවෘත කරන දිනයේම ඒ ප්‍රදේශයේ අතුරුදහන් වූවන්‍ වෙනුවෙන් ජනතා අධිකරණය ක්‍රියාත්මක කරන්නට සූදානම්ව සිටියදී  නොසිතූ අයුරින් විශාල ජනකායක් රද්දොලුගම මංසන්ධියට රැස් වූහ. රජය විසින් රද්දොලුගම නිවාස සංකීර්ණයට හැරෙන මංසන්ධියේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම අත්හිටවනු ලැබීය. එසේම ජනතා අධිකරණයේ කටයුතු වලට විවිධ අයුරින් බාධා එල්ල කරන්නට විය. එයින් නොනැවතුන එවකට පාලකයන් එතැනට රැස්වූ සිවිල් ක්‍රියාකාරීන්ගේ තොරතුරු රැස්කිරීම, ඡායාරූප ගැනිම සඳහා නාඳුනන පිරිස් යොදාගෙන තිබුණි. ඔවුහු ඊට ඇතුළු වී ජනතා ක්‍රියාකාරීත්වයට දිගින් දිගටම බාධා පැමිණ වූහ.

පොලීසියටත්, නාඳුනන කණ්ඩායම් වලටත් ‍ අතුරුදහන් වූවන්ගේ සහ මරාදැමුනු පුද්ගලයන්ගේ පවුල්වල ඥාතීහු  ඊට විරෝධය පලකළහ. ක්‍රමයෙන් පොලීසිය, ආරක්ෂක කණ්ඩායම්  සහ නිරායුද සිවිල් වැසියන් අතර ගැටුමක් නිර්මාණය වන්නට විය. තව මොහොතකින් එම ස්ථානයේ ලේ වැගිරීමක් සිදුවිය හැකි බව ජයතිලක බණ්ඩාරයන්ට වැටහුණි. සැනෙකින් ක්‍රියාත්මක වූ ඔහු තහනම් කර තිබූ ශබ්ද විකාශන යන්ත්‍රය  ක්‍රියාත්මක කර මයික්‍රපෝනය අතට ගෙන ඒ අසල ඉදිකර තිබූ  අතුරුදහන් වූවන්ගේ ස්මාරකය වෙත ගියේය. කිසිදු සංගීත ‍භාණ්ඩයක් හෝ මෙවලමක් නොමැතිව ඔහු සිය හඬ අවදි කළේ රග දෙන බයිලා කැසට් පටයට ඇතුළත් වූ  “ජනතාවට අන්තිමේදි ජය අත්වෙනවා” ගීය ගැයීමෙනි. රැස්ව සිටි ජනතාව ඔහු කරා ඇදෙන්නට විය.පොලීසියත් නාඳුනන අවිගත් පිරිස්ද පසුබැස්සහ. එදා රද්දොලුගම මංසන්ධියට එක්වූ සිවිල් වැසියන්ට ජය අත්විය. ඒ එදා  ඔහු ගැයූ මේ ගීය නිසාය.


ජනතාවට අන්තිමේදි ජය අත්වෙනවා

මොන විදියෙන් හරි දුෂ්ඨයො

තොළොංජි වෙනවා



මොහොමඩ් එර්ෂාඩ් කලක් බංග්ලාදේශේ

මහ ලොකු ජාතියෙන් නේද කෙරුවේ වාසේ

අන් අයගෙන කුලියට ලියවාගෙන ගැදි පැදි

චින්තන උල්පතක් වාගෙ පෙනුණා කලකදි

ගහගෙන තම කයිවාරුව තම පුර වරුණේ

යුග පුරුෂය පහල වුණා කියලය පෙනුණේ‍

ධර්මය රැක ගන්න පහළ වුණු ලෙස පෙන්නා‍

මර්දනයෙන් බොරුවෙන් රජ කරගෙන උන්නා

එක්සත්වී මහජන බලවේගය නැග්ගා‍

තක්කඩි ඒ පාලකයා හිරගෙයි ලැග්ගා

ජනතාවට අන්තිමේදි ජය අත්වෙනවා

මොන විදියෙන් හරි දුෂ්ඨයො

තොළොංජි වෙනවා



කලක් සියා උල්හක් නැග බලස්ථානෙට

සයිස් දමාගෙන හිටියා පකිස්ථානෙට

මිනීමරු පාලන ගඳ පිහිටුවා වටපිටේ

තනි මතයට රජ කරගෙන  හිටියෙ ඒ රටේ

එක් දවසක් හක් අහසට නැගල යනකොට

ඩොග් ගෑවා කෑලි තමයි වැටුණෙ පොළවට

ජනතාවට අන්තිමේදි ජය අත්වෙනවා

මොන විදියෙන් හරි දුෂ්ඨයො

තොළොංජි වෙනවා



ෂා කෑවේ ඉරානයම එයාගෙ වාගේ

සාර්ථකද කටයුතු අන්තිමට එයාගේ

ඉරාන ජන මතය නැගුණි ගම්බිම් පාසා

පරාණ කූඩුව අරගෙන පැන දිවූ මාෂා

ජනතාවට අන්තිමේදි ජය අත්වෙනවා

මොන විදියෙන් හරි දුෂ්ඨයො

තොළොංජි වෙනවා



ඉඩි අමින්ගෙ හැඩි දැඩි පාලනය කොහොමද

දැඩි මහජන මතය හමුවෙ කෙළින් හිටියද

ජනතාවට අන්තිමේදි ජය අත්වෙනවා

මොන විදියෙන් හරි දුෂ්ඨයො

තොළොංජි වෙනවා



මාකොස් පීලිපීනයෙ බලවතා හැටියට

පෑ පිස්සුව ඇල්ලුවෙ නෑ එරට වැසියට

පෙන්නාගෙන බොරු සාධාරණය තමුන්නේ

ඡන්ද මගඩි වලිනුයි ඔහු බලයෙහි උන්නේ

තම රූපය මහජනයා හමුවෙ ඇටෙව්වා

සමනල ගල වැනි මහ උස ගලක කෙටෙව්වා

අරන් මහා ජන මුදලින් විදුලි බල එලී

තොරන් බැදන් රට පුරාම කෙළියෙ සැණකෙළී

ගඳ ගහද්දි මාකොස්ගේ මිනීමරුකම

ළඳ සෝබන මොඩ් බඩුවක් වුණා රටටම

ජනමතයක් මුලු පිලිපීනයේ මතුවුණා

හොනලොලුවට යන්නට මාකොස්ට සිදුවුණා‍

ජනතාවට අන්තිමේදි ජය අත්වෙනවා

මොන විදියෙන් හරි දුෂ්ඨයො

තොළොංජි වෙනවා



මාකොස්ටත් පිලිපීනෙන් යන්න සිදුවුණේ

මේ බොස්ටත් ඒ පාඩම ගන්න බැරි වුණේ

සෙනේවන්තයෝම රටේ බලයට එත්වා

අනේ වනේ වන හතුරොත් ජීවත්වෙත්වා

ගීත රචනය: සිරිලාල් කොඩිකාර

සංගිතය : විශාරද ගුණදාස කපුගේ

ගැයුම: ජයතිලක බණ්ඩාර

ගීතය මෙතනින් අහන්න


අතීතය , වර්තමානය සහ අනාගතය යන මේ තෙකල්හි සිටම මේ නිර්මාණ පිළිබදව නැවත විමසා බැලිය හැකිය. මේ සියළු නිර්මාණවල ඇත්තේ මිහිරිම සුවඳ රැදුණු අතීතයකි. විටෙක  ඒ අතිතය බියකරුය,  ලේ, කඳුළු දුක් පීඩා රැසකින් සමන්විතව සියලු දේවල් අහිමි කර ගනිමින් ජයතිලක බණ්ඩාරයන් මානව හිතවාදි ගුණයෙන් පිරි නිර්මාණකරුවකු මෙන්ම කලාකරුවකු ලෙසින්  රටේ පොදු ජනතාව වෙනුවෙන් පෙනී සිට   සිය ජීවිතයට වඩා රටක ජනතාව වෙනුවෙන් පෙරට එන්නේත් උත්තම ගණයේ ලැ සැළකෙන ඒ මානවවාදී ගුණය හදවතෙහි  සදාකාලිකවම තිබෙන නිසාය.

සුවහසක් මිනිසුන් අතරින් සාධු ජනයා සොයා ගිය “සාධු ජන රාව” ඊළඟ කොටසින්...

ජයතිලක බණ්ඩාරයන්ගේ  සියළුම ඡායාරූප මීපුර වෙබ් අඩවියෙනි.
සිරිලාල් කොඩිකාර මහතාගේ ඡායාරූප  බූන්දි වෙබ් අඩවියෙනි

විශේෂ ස්තූතිය:

ජයතිලක බණ්ඩාරයන්ට,

තුසිත කුමාර සහෘදයාණන්ට



සහ සහය දුන් සැමට







35 comments:

  1. පොදු ජනතාව වෙනුවෙන් පෙනී හිටින මේ වගේ කලාකරුවන් ගැන, ඒ අයගේ ගමන් මග ගැන ලියා තැබීම කොයි තරම් හොදද?
    ප්රේ මදාස පාලන සමය තුළ වගේම අදත් ජයතිලක බණ්ඩාරයන්ට කරන්න විශාල කාර්යභාරයක් තියෙනවා... එදා වගේම අදත් ඒක අවදානමක්... ඒත් ඔහු නොසැලී එදා තමන් ගත් මගම යන බව පැහැදිලිව පෙනෙනවා...
    ස්තුතියි මේ ලිපියට .... මා ගැන සදහන් කළාටත් ස්තුතියි අයියේ..

    ReplyDelete
    Replies
    1. තරු රසී..

      අදත් ජයතිලක බණ්ඩාරයන් ඒ දැවැන්ත සමාජ මෙහෙවරෙහි නියැලී ඉන්නවා.විහේසයෙන්ම පොදු ජනතාවගේ කලාකුරුවකු හැටියට තමන්ගෙ යතුකම මේ සමාජය වෙනුවෙන් ඉටු කරන්න. ඒත් තනිවම ඒ ගමන දුෂ්කරයි.

      ස්තූතියි තරූට

      Delete
  2. පහුගිය ලිපිය වගේම සාර්ථක ලිපියක්.අපේ පරපුරට අවශ්‍ය සමාජීය දැනුම ගන්න තියෙන්නේ මෙහෙම දෙයක් කියවල විතරයි.ඒ අතින් 70,80,90 දශක දැකල ඒ තුල ජිවත් වුන මිනිස්සු අපිට වඩා කොච්චර වාසනාවන්ත ද කියල හිතෙනවා.කළාකරුවෙක්ට තියෙන්න ඕන සංවේදී හදවතක් සහ නිවැරදි දේශපාලන දැක්මක් ජයතිලක බන්දරයන්ට තිබීම සතුටක්.කයිවාරු ගැහුවට සුනිල් එදිරිසිංහ වගේ සමාජයේ පරබුද්ධ කියල පෙන්නන චරිත වලට ඕක නෑ.එකනේ
    ඝෝර මරසෙන් - රැගෙන බලසෙන්
    යළිත් ඇවිදින් පෙරහැරේ
    මාර බල බිදි බුදු පියාණෙනි
    ඔබ දෙසූ ධර්මය අනතුරේ
    බිදී එරන්කොත - නිවී පහන් වැට
    අන්දකාරයි සාසනේ
    කාහල නාදය නගනට කාලය
    ඇවිත් අවධි වෙමු සොයුරනේ
    ඉතින් අවධි වෙමු සොයුරනේ
    .....කියල ෆැසිස්ට්වාදී චිවරධාරින්ට(බොදු බල සේනා) සින්දු කියන්නේ.අපි දන්නා බුදු දහම නම් කාහල නද නගනකොට,මරපියව් කොටපියව් කියල හිතනකොටම නැති වෙන එකක්.
    කලාකාරයෙක් උනාම තමන්ට ලැබෙන ඕනෑම දෙයක් ප්‍රකාශයට පත් කරනවානම් ඒ කළා කරුවෙක් නෙමෙයි.
    ඔබට මගේ ප්‍රණාමය!!!

    ReplyDelete
    Replies
    1. මොකද නුවන් අය්යා දැන් ලියන්නැත්තේ?කොහේවත් කමෙන්ට් කෙරුවා දැක්කමයි කාලෙකින්!

      Delete
    2. නුවන්..

      "කළාකරුවෙක්ට තියෙන්න ඕන සංවේදී හදවතක් සහ නිවැරදි දේශපාලන දැක්මක්"
      ඇත්තටම නුවන් ජයතිලක අයියලාට ඒ සමාජ දැක්ම සහ කැපවීම තියෙනවා. ඒකයි ඔවුන් මේතරම් මේ සමාජය වෙනුවෙන් පෙනි සිටින්නේ.

      වර්ෂා...

      නුවන් දැන් කාරය බහුලයි. ඒ නිසා මට හිතෙන්නේ බිලොග් ලියනවා අඩුයි.

      Delete
  3. හරිම වටිනා බ්ලොග් අඩවියක්. හදිසියේ දැක්කේ. කියවන්න ගොඩයි. හිමින් ඔක්කොම කියවලා බලන්නම්.
    අස්වැන්නක්ම තමා. හැබැයි බීජ වපුරලා තියෙන්නේ අපි කියලයි මට හිතුනේ. නැත්නම් කොහොමද මෙහෙම රසවත් අස්වැන්නක් ලැබෙන්නේ.

    ReplyDelete
    Replies
    1. කතුවරි..

      ස්තූතියි... අගය කිරිම ගැන..
      ඔබ අස්වැන්නට පිළිගන්නවා සාදරයෙන්.. ඉඩක් ලද විටක ඇවිත් කියවන්න . නිර්මාණාත්මක බවට එහා යමක් දැන ගන්න

      Delete
  4. සාධු ජනරාව ගැන දැනගන්න ගොඩක් ආසයි.
    පොඩි කාලේ ඔය ප්‍රසංගය අහන්න සහභාගී වුනා මතකයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රමුදි..

      අපි සාධු ජනරාව ගැන ඉදිරියේදි කතා කරමු. ඒක බෙහෙවින්ම වින්දනීය අත් දැකිමක්

      Delete
  5. මෙන්න කපුගේගේ දසවැනි ගුණ සමරුව වෙනුවෙන් මං ලියූ ලිපිය
    http://wehimandarama.blogspot.com/2013/04/blog-post.html

    සමාජ යථාර්තයත් ආදරයත් ඉතාම අපූරු විදියට කියාපු ගායකයා තමයි මේ.ඒත් රත්න ශ්‍රී විජේසිංහයන් නූනා නම් මේ නම මේ තරම් ඉස්මතු නොවෙන්න තිබුණා.

    මෙතන ලියවිලා තියෙන සින්දු වගේම සුදු සිනා කුසුම් නොපිපේවි ඉතින්,නිර්මලා,පලංචියේ වැඩ ඉදගෙන,වගේ සින්දුත් ඉතාම ලස්සනයි නේද?

    ReplyDelete
    Replies
    1. වර්ෂා...

      ඇත්තෙන්ම රත්න ශ්‍රී ගේ ගීත වගේම කපුගේ ගැයූ ඒ ගිතත් ලස්සනයි. නමුත් මේ ගිත දේශපාලන දර්ශනයක් රැගත් ගීත විම විශේෂයි

      Delete
  6. මගේ ජිවිතේ මට අධ්‍යාත්මික දෙවියෝ නැහැ.....මට ඉන්නේ බෞතික දෙවිවරු විතරයි, ඒ අතරින් එක්කෙනෙක් තමා ගුණදාස කපුගේ....ජයතිලක බණ්ඩාර ඒ දෙවියන්ගේ සෙවනැල්ලක් කියලා මට හිතෙනවා......මේ ලිපිය, අතීත මතකය තුලින් වර්තමාන ජීවිතයට හුස්ම දෙනවා.....

    ReplyDelete
    Replies
    1. රස්තියාදු කාරයා...

      මේ ශිල්පීන් දෙපල මිනිසුන්ට නිදහසේ හුස්මක් ගන්න කැපවු දෙදෙනෙක්. ඒ අතිතය ඉතාමත්ම මිහිරියි.
      අපට ජීවිත්වන්නට කියා දෙනවා.

      Delete
  7. "මුල් ගැයුම : ජයතිලක බණ්ඩාර" මේ බව නම් දැනගත්තෙ අද?

    "සීදුව, රද්දදොලුගම නිවාස සංකීර්ණයට හැරෙන මංසන්ධියේ ස්මාරකයක්ද " එතන තෝරාගන්ඩ විශේෂ හේතුවක් තියෙනවද දයා අයියේ?

    "රජය විසින් රද්දොලුගම නිවාස සංකීර්ණයට හැරෙන මංසන්ධියේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම අත්හිටවනු ලැබීය." පො.එ.පෙ. රජයද?

    අන්තිමේදී අහන්ඩ තියෙන්නෙ එදා මේ වගේ හඬක් නගපු කලාකරුවො දැන් මිය පරලොව ගිහිල්ලද කියලා තමා..

    ReplyDelete
    Replies
    1. හරී...

      රද්දදොලුගම නිවාස සංකීර්ණයට හැරෙන මංසන්ධියේ තියෙන්නේ අතුරුදහන් වූවන්ගේ ස්මාරකය.

      ඒක එතන නිර්මාණය කරන්න හේතු කීපයක්ම තියෙනවා. විශේෂයෙන්ම 88/ 89 කාලයේ හිටපු වෘත්තීය සමිති ක්‍රියාකාරීකයන් දෙදෙනෙකු මරා පුලුස්සා දැමුවේ ඒ ස්ථානයේයි. ඒ එක්කෙනෙක් "රංජිත්" අනෙක් කෙනාගේ නම අමතකයි. ඒත් ඒ නම ඒ ස්ථානයේ සඳහන් කරල තියෙනවා.

      ඒ වගේම ලංකාවේ ඒ යුගයේ අතුරුදහන් වු සියලුම දෙනා සිහිකරන්න තමයි ඒ ස්මාරකය ගොඩ නගා තියෙන්නේ..

      එදා හඬ නැගූ අය අතරින් ජයතිලක බණ්ඩාර සහ තවත් කීපදෙනෙක් ඉන්නවා. ඒ අයගෙනුත් දැන් සිදුවන දේට යම් පමණකින් හඬක් නගන්නේ ජයතිලක බණ්ඩාරයන් විතරයි.

      Delete
  8. "නමෝතස්ස කියල උදේ පටන් ගන්නවා
    හැමෝම දැන් රටේ කෙරෙන හරිය දන්නවා

    ගහගෙන තම කයිවාරුව තම පුර වරුණේ
    යුග පුරුෂය පහල වුණා කියලය පෙනුණේ‍

    අරන් මහා ජන මුදලින් විදුලි බල එලී
    තොරන් බැදන් රට පුරාම කෙළියෙ සැණකෙළී

    සෙනේවන්තයෝම රටේ බලයට එත්වා
    අනේ වනේ වන හතුරොත් ජීවත්වෙත්වා'

    ඒ බයිලා නම් අපේ රට ගැන හිතන කොට සර්ව කාලීනයි. සටහන හරිම අපූරුයි. ස්තුතියි.
    මැණික්

    ReplyDelete
    Replies
    1. මැනික්..
      මටත් කාලෙකට පස්සේ මේ බයිලා ඇහුවාම හිතුනේ මේවා කොහොම බැලුවත් සර්වකාලිනයි කියලා.

      Delete
  9. නොදන්නා කරුණු බොහොමයි. බොහොම පින්. මෙහෙම තමන්ගේ ගීත දන් දීපු කෙනෙක් ගැන ඇහුවාමයි. ආ... ඉන්දීවරී ආරියසිංහ මේ වගේම ගීයක් නිරෝශා විරාජිනීට දුන් බව දිනක් ඇසුවා. (පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ
    රන් කෙඳි සේම රන්වන් ඉරිඟු ඉඹිනවද ...) ඒ හැර මේ වගේ අය බොහොම විරලයි. මේ වගේ අපේ ජාතියට ආලය කරන නිර්භීත මිනිසුන් දිගුකල් දිනේවා!

    ReplyDelete
    Replies
    1. චාන්දි..

      මේ සැගවුණ ඉතිහාසයක්. මෙහෙම කලාකරුවෝ විරලයි. ඒත් ඔවුන් සහ ඔවුන්ගේ නිර්මාණ සදාකාලිකයි

      Delete
  10. කරුමෙට අද ජයතිලකත් නෑ, කපු ත් නෑ. ඉන්නෙ ඇනස්තිෂියන්ස්ල ටිකක් විතරයි. උන් කොච්චර දස්සද කියනවනං නන්දවත් හිරි වට්ටල!

    ReplyDelete
    Replies
    1. ජයතිලකයන් තවමත් ඉන්නවනේ... ඔහු තවමත් ගී ගයනවනේ...

      Delete
    2. ඉන්දික..

      අද යම් තරමිකින් හොෝ හඪක් නගන්න ජයතිලක බණ්ඩාරයන් සහ තවත් කිපදෙනෙක් ඉන්නවා.


      තරු රසී

      ස්තූතියි.

      Delete
  11. මේ බයිලා අදටත් හරි

    ReplyDelete
    Replies
    1. නිශාන්ත

      ඔව්. මේවා අදටත් ගලපන්න පුළුවන්

      Delete
  12. මෙතෙක් අසා නොතිබුන විස්මිත තොරතුරු ගොඩක් දැනගත්තා . හරි අපූරු සටහන . මේ වැනි කලාකරුවන් අගය කිරීම රැක ගැනීම අපි කාගෙත් යුතුකමක් .
    …බොහොම ස්තූතියි දයාට මේ තොරතුරු අපිත් එක්ක බෙදාගත්තාට .

    ReplyDelete
  13. අන්තිමේ ගීත ටික හරි අපුරුයි නේ.. මම ඇහුවේ අදයි ඉස්සෙලාම..

    ReplyDelete
  14. අහලා නොතිබුනු විස්තර රැසක්...දේශපාලනය කියන දේ සංගීතය එක්ක එකට ගැටෙන්ට එන්නේ නැත්නම් කියලා තමයි හිතුනේ. ලිවීම, ගී රචනාව, සංගීතය නිදහස් සිතින් කරන්ට ඕනි දේවල්.

    අහපු නැති ගීතත් ගොඩයි. හිමින් සැරේ අහනවා.:)

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි...

      සංගිත ඉතිහාසයේ ස්ටීවන් බිකෝ, ෆ්‍රෑන්ක් සිනේට්‍රා, ජෝන් ලෙනන් වැනි අය සංගිතයෙන්ම දේශපාලය කළා. ඒ විතරක් නෙවෙයි මයිකල් ජැක්සන්ගේ සමහර ගීතත් දේශපාලන දර්ශනයක් පිලිබිඹු කරනවා.

      කලාකරුවන් තමන් ගැන විතරක් නෙවෙයි රටත් රට වැසියන් ගැනත් සිතිය යුතුයි. නැත්නම් ඔවුන් ජනතාවගේ කලාකරුවන්වෙන්නෙ නැ.

      Delete
  15. දයාගේ පෝස්ට් මගේ බ්ලොග් රෝලේ විතරද අප්ඩේට් වෙන්නේ නැත්තේ. ෆේස් බුක් එකේ දකිනකල් දැනගන්ට විදියක් නෑ.:(

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි...

      මේ පොස්ට් දිග වැඩියි. ඒ නිසා බ්ලොග් රෝලි වල අප්ඩේට් වෙන්නෙ නෑ. ඒත් කෙටිකලොත් එහි රසය අඩුවන නිසා තමයි කෙටි කරන්නෙ නැත්තේ.

      ස්තූතියි

      Delete
  16. සැබෑ කළා කාරයෝ බලයට කෑදර කමින් පාලකයෝන්ට කඩේ යන්නේ නැහැ. දැවෙන ප්‍රශ්න වලට කාලෙවෙන් උත්තර සොයනවා.

    මේ ගීත ඇතැම් වෙලාවට තවමත් වලංගුයි කියල හිතෙනවා. ඒ එක්කම මේ කැසට් පටිය කලින්ම එලියට දැම්මනම් එහෙම නැත්නම් ජනාධිපති ටිකක් පරක්කු වෙලා මරුනනම් හොඳයි කියල හිතෙනවා. මේ සිංදු ටික ඇහෙනවා නේ එතකොට.

    ReplyDelete
    Replies
    1. අඅසරනයා...

      ඇත්තටම මේ ගිත සදාකාලිකයි. මේ කලාකරුවෝ හැමදාමත් ජනතාව වෙනුවෙන් පෙනි සිටිනවා. ඒයයි වැදගත් කම.

      Delete
  17. මේ වගේ ගීත ටිකක් අද කාලෙටත් ඕන වෙනවා කියලා මට හිතෙනවා. :)

    කැසට් පටය නිකුත් කරන්න පෙර දවසේ ජනාධිපති මියගිය එක හරියට දෛවෝපගත සිද්ධියක් වගේ.

    ReplyDelete
    Replies
    1. සයුරී...

      මේ ගිත අදටත් වලංගුයි.

      "කැසට් පටය නිකුත් කරන්න පෙර දවසේ ජනාධිපති මියගිය එක හරියට දෛවෝපගත සිද්ධියක්"

      ඇත්තෙන්ම ඔව්. එහෙම නොවුනානම් මේ කතාව මෙතනින් වෙනස් වෙන්න තිබුණා..

      Delete
  18. ආ... රත්නායක මහත්තෙයා...., අදමයි ඔයාගෙ බ්ලොග් එක දැක්කෙ. දිගටම එනවා කියවන්න. ඒ පැත්තෙත් ගොඩවෙලා පුළුවන්නම් මාව අඳුනගන්න.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...