තනුවට ලියූ බුදුගුණ ගීය මෙයයි
කලා
සොලොසක් සපුරා වෙසක් සඳ නැගෙන්න ඇත්තෙ තවත් හෝරා කීපයක් පමණයි. අසිරිත් වූ සම්බුදු
ගුණ මෙනෙහි කරන්නට සියලු සිංහල බොදු බැතිමතුන් සැරසෙන මොහොතක තමයි මේ සටහන
ලියන්නෙ. සම්බුදු ගුණ මෙනෙහි කරන මේ වෙසක් සමයේ මගේ අතින් ලියැවුණු සම්බුදු ගුණ
ගීයකින් අද අස්වැන්න සරසන්න හිතුනෙත් මේ බුදු ගුණ ගැයෙන, වැයෙන, ඇසෙන කාලයක් නිසා.
ඒ නිසා ඇසළ පුන් පොහොය නිමිති කරගෙන
මගේ අතින් එදා ලියැවුණ ඒ සම්බුදු ගුණ ගීයේ අතීතය යළිත් සිහියට නැගේ.
සමහර
වෙලාවට ගීයක් ලියන්න අවස්ථාවක් උදාවෙන්නෙ බලාපොරොත්තු නොවන මොහොතක. බලාපොරොත්තු
නොවූ ආකාරයට. ඒ වියට හිතන විට මේ ගීයත් මීට වසර තුනකට විතර කලින් මගේ අතින්
ලියැවුනේ හරි අපූරු විදියටයි. එදා ඇසල පුන් පොහොය නිමිත්තෙන් ගුවන් විදුලියේ
නිෂ්පාදය වූ “භක්ති පූජා” සංගීතමය වැඩසටහනට එස්.වෛද්‍යතිලකගේ සංගීතයට මා ලියූ මේ
ගීය ගායනා කළේ ඩබ්ලිව්.ඩී. ආරියසිංහ.
එදා රාත්‍රියෙත්
ඇසළ පුර අටවක පෝය හඳ මැදියමට ආසන්න වෙමින් තිබුණි. රැයේ නින්ද පළවා හරිමින්
දුරකථනය නාද දෙන්නට විය.
“මචං මං
ආරි..”
දුරකථනයේ
එහා කෙළවර සිට ඇහුණෙ ආරියසිංහගෙ ගීතවත් ගී හඬ. දෑසට නිදිබර බවක් තිබුණත් මෙවන්
රාත්‍රියන්හි ඇති වන ඇතැම් දුරකථන සංලාප සමහර වෙලාවට ගීතවලට වැඩිය රසවත්. ඒ නිසාම ආ
ගිය තොරතුරු ඔස්සේ කතාවට මුල පිරුවෙමි.
“ඉතින් ආරි
අයියා මොකද මේ මහ රෑ..?”
“සිංදුවක්
ලියාගන්න.”
“හරි... ලියමු”
සමහර
වෙලාවකට විහිළුවක් සේ දැනෙන විදියට කිව්වත් ගීතයක් ලියන්න තරම් හිතක් නැති එවන්
වෙලාවක වුණත් මෙවන් සොදුරු ඉල්ලීම් අහක දාන්න නම් ලැබෙන්නෙ නෑ.
“ලියමු
නෙවෙයි. මේක හදිස්සියි. හෙට උදේට රෙකෝඩිං
වලට ඕනෑ” ආරි කීවේය.
“මොකක්..?”
“ඔව් හෙට
උදේ නවයට රෙකෝඩිං කරනවා.”
“හරි , මොකක්
හරි කරන්නම්” මම කීවෙමි.
“උඹ එහෙම
කිව්වට මේක උඹට ලියන්න වෙන්නෙ ට්‍රැක් එකට”
ආරි අයියා සිනාසෙමින් කීවේය. සිංදුවේ ට්‍රැක් එක නැතිව හෙට උදේට සිංදුවක් ලියන්නේ කෙසේ දැයි මම කල්පනා කළෙමි.
ආරි අයියා සිනාසෙමින් කීවේය. සිංදුවේ ට්‍රැක් එක නැතිව හෙට උදේට සිංදුවක් ලියන්නේ කෙසේ දැයි මම කල්පනා කළෙමි.
“ඉතින්
කොහොමද ඔය ට්‍රැක් එක අහන්නේ?” මම ආරිගෙන් ඇසුවෙමි.
“මේ වෙලාවෙ
හැටියට ටෙලිෆෝන් එකෙන් තමයි”
ආරි එසේ
කියා ගීතයේ සංගීත පටය ( මියුසින් ට්‍රැක්
එක) වාදනය කිරිමට සලස්වා එය දුරකථනය ඔස්සේ මට ඇසෙන්නට සැලැස්වී ය.
“දයා මචං මේක
ඇසල පෝය වෙනුවෙන් කරන වැඩසටහනක්. ඒ හින්දා පදමාලාව ශාන්ත රසයෙන් පිරුණු එකක් වෙන්න
ඕනෑ” ආරි කීවේ ය.
ගීතයේ ට්‍රැක්
එක දුරකථනය ඔස්සේ කීපවිටක් ඇසුවද අවසානයේ එහි ඡායාව වත් මතකයේ රඳවා ගන්නට අපහසු විය.
“ඔය වැඩේ මේ
හදිස්සියට නම් මට කරන්න බැරිවෙයි වගේ” මම කීවෙමි.
“මේ
වෙලාවෙ හදිස්සියට මේක කරන්න කෙනෙක් හොයන්න
බෑ. උඹම ලියපං.වචන ලියන්න ඕනෑ විදිය මම කියන්නම්” ආරි නැවත කීවේය.
ආරි
දුරකථනය ඔස්සේ කීප විටක් “ලලලා” ආකාරයෙන් ගීතයේ තනුව ගායනා කර පෙන්වීය. ගීතයේ ස්ථායි
සහ අන්තරා කොටස් වෙනස් වන හැටි පැහැදිළි කළේය.
“මෙන්න මේ
විදියට වචන සෙට් වෙන්න බුදු ගුණ ගීයක් ලියපං”
“ලලලල ලලලා
ලා ලල ලලලල
ලලල ලලල ලල ලලලාලේ “
ඩබ්ලිව්.ඩි.ආරියසිංහ |
ගීතය හෙට
උදෑසන වන විට ලිවිය යුතුය. ඇත්තේ හෝරා කීපයක් පමණි. නින්ද ද පළා ගොසිනි. මැදියමේ
ගීතය ලිවිය යුතු මාතෘකාව ඔස්සේ කල්පනා
ලෝකයේ සැරිසැරුවෙමි. ආරිගේ ගී හඬ සහ ඔහුගේ ගායනයේ තිබූ ශාන්තිය මනසේ රැව් දෙන්නට
විය.
හිමිහිට ජනේලයෙන්
මිදුල දෙස බැලීමි. පුර අටවක ඇසල සද එළිය මිදුල පුරා විසිරී ඇත. එවන් සඳ එලියක්
ගැලූ රාත්‍රියක සිදුහත් තවුසාණෝ නේරංජා නදිය අසල මහා වන තීරයේ කෙසේ භාවනා යෝගීව
රාත්‍රිය ගතකරන්නට ඇති දැයි කල්පනා කරන්නට වීමි. වෙසක් දවසට එළඹෙන රාත්‍රියේ සිදුහත්
තවුසාණෝ හුදකලා වූ ඒ වන පියස මැදින් නිසොල්මනේ
ගලා බස්නා නේරංජනා නදියත්, පුරහද එලියත් හාත්පස වන පියස දොවලමින් ගලා හැලෙන අයුරු
සිහි විය. එය නම් මහත් අසිරිමත් රාත්‍රියක්ම වන්නට ඇතැයි නොයෙක්වර සිතුණි.
ඒ ඔස්සේ
කල්පනා ලෝකයේ සැරිසරමින් දෙ තුන් වතාවක් කුරුටු ගෑ කඩදාසි එකින් එක ඉවතට වීසි විය.
ටික වේලාවකින් ගීතය ලියැවුණි. ආරිගේ උපදෙස් සහ මගපෙන්වීම් අනුව වැඩේ හරි ගිය බව
දැනුණි.
පසු දින
උදේ නවය වන විට ගීතය රැගෙන ගුවන් විදුලියට ගියෙමි. මටත් කලින් ආරි එහි පැමිණ
සිටියේය. ගීතය ආරිගේ අත තැබුවෙමි.
සංගිතවේදී
එස්. වෛද්‍යතිලක ගීතය පටිගත කරන්නට යුහුසුලුව සූදානම් වෙමින් සිටියේය. මැදිරියේ වූ
පියානෝව වෙත ගිය ආරි වෛද්‍යතිලකට පියානෝව වාදනය කරන ලෙස ඉල්ලා සිටියේය. වෛද්‍යතිලක
පියානෝව වාදනය කරමින් ආරිට ගීතයේ වචන රිසි සේ හසුරුවා ගැනිමට සහය දුන්නේය.
පළමු පටිගත
කිරීමෙන්ම ගීතය පටිගත විය. මා ලියූ ගීයේ එකදු වචනයක් හෝ වෙනස් නොකර ඒ අයුරින්ම ආරියසිංහ ගීතය ගැයුවේ ය. මා එදා තනුවක්
නැතිව ලියූ මේ ගීය ඇසල පුන් පෝය වෙනුවෙන් ගුවන්විදුලි සංස්ථාව නිර්මාණය කළ “භක්ති
පූජා” ගුවන් විදුලි සංගීත වැඩසටහන පොහෝ දිනයේ ම ගුවන් විදුලියෙන් ප්‍රචාරය විය. අනතුරුව
පසු ගිය වසරේ ගුවන් විදුලි සංස්ථාව නිකුත්කළ “භක්ති පූජා” ගීත තැටියට මේ ගීතය ද
ඇතුලත් වෙළඳපොලට නිකුත් කර තිබුණි.
50 - 60 – 70 දශකවල ජනප්‍රිය හින්දි ගී තනුවලට ලියූ බුදු ගුණ ගීත අදටත් ජනප්‍රිය
ය. ඒත් 70 දශකයෙන් පසුව ගී තනුවකට බුදු ගුණ ගියක් ලියැවුණා නම් ඒ කලාතුරකිනි. ඒ
විදියට බලන විට මේ ගීයත් මෑත කාලයේ ගී තනුවකට ලියු බුදුගුණ ගීයක් විදියට නිර්මාණය
විම මට අදටත් සතුටකි. ඒත් මේ ගීය දෙස අපසු
හැරී බලද්දී ගීතය ලියන්න තවත් දින දෙක තුනක්වත් තිබුණා නම් මීට වඩා හොඳ බුදුගුණ
ගීයක් ලියන්න තිබුණා නොවේදැයි මට සිතේ. මතු දැක්වෙන්නේ පටිගත කිරිමට හෝරා කීපයකට
කලින් තනුවක් නැතිව තනුවට ලියූ ඒ සම්බුදු ගුණ ගීතයයි.
සම්බුදු
තෙමගුල සමරන මේ වෙසක් සමයේ සිත්නිවී මෙත් පහන් දැල්වේවා.....!
සමිඳුනි
ඔබගේ පා යුග නමදිමි
අමිල
නිමල මෙත් ගංගාවේ
සිතුවිලි
මාගේ නිකැලැල් වූ සඳ
පහදා
තුන් සිත මෙත් ගඟුලේ
ලෝකයෙ
අනියත සිතුවිලි පාදා
ලොවුතුරු
ඔබගේ හද බැතියෙන්
අඳුර
නිමා වුණි නිවන ළඟා වුණි
පහදා
තුන් සිත මෙත් ගඟුලේ
මේ
දුර සසරට කෙටි මං පාදා
පිවිතුරු
ඔබගේ දම් ගඟුලෙන්
සසර
නිමා කළ ඔබය අමා ගඟ
පහදා
තුන් සිත දුර සසරේ
ගී
පද මාලාව : දයානන්ද රත්නායක
සංගීතය:
එස්.වෛද්‍යතිලක
ගැයුම:
ඩබ්ලිව්.ඩී. ආරියසිංහ
“
සමිදුනි ඔබගේ” ගීතය මෙතනින් අහන්න.
ගීතය වගේමයි ගීතය හැදුණු හැටි කියවෙන කතාවත් හරි අපූරුයි :)
ReplyDeleteහසිත...
Deleteකාලෙකට පස්සෙ අතිතය මතක් කරන්න හිතුණා ස්තූතියි හසිත
ගීතය ලස්සනයි.කොහොමටත් ආරියසිංහ මහත්තයගෙ කටහඩේ තියෙන මේ නිවුණු ගතියට මං හරි ආසයි. පදවැල ගැන නම් ඉතින් කියන්න දෙයක් නැහැ.ඔබේ ගීතවල නිරායාසයෙන් එන ගීතවත් බවක් තියෙනවනෙ!
ReplyDeleteවර්ෂා....
Deleteආරියසිංහගේ ගැයුම නිරන්තරයෙන් සිත්නිවන ගායනයක් ඔහු සතුයි. ඒ නිසා අහම්බෙන් හෝ මට හිමි වුණ මේ අවස්ථාව ගැන සතුටු වෙනවා. ස්තූතියි ඔබටත්.
අද දවස ආරම්භ කලේ මේ ගීතය අහලා . ඕනෙම සිතකට නිවුන ,පහන් හැඟීම් ඇති කරන ගීතයක් . හදිසියේ ලියූවත් , ගිතය උපරිමයි .. ඒවගේමයි ආරියසිංහයන්ගේ හඬත් .
ReplyDeleteගිම්...
Deleteමේ ගිතය එතරම් ජනප්‍රිය නොවුනත් ගුවන්විදුලිය තෝරාගත් බැති ගී 36 ක් අ.රට මෙයත් ඇතුලත්ව තිබිම මටත් සතුටක්. ස්තූතියි ඔබටත්.
ගීයට වඩා මේ ළිපිය රහයි....
ReplyDeleteප්‍රියන්ත...
Deleteස්තූතියි ඇගැයුමට...ලියන වෙලාවට ඒ සිදුවිම් ඒ ආකාරයෙන්ම සටහන් කරන්න හිතුනා.
පසුබිම් කතාවද ගීය මෙන්ම අපූරුයි.
ReplyDeleteමැණික්
මැණික්...
Deleteඉඳහිටලා හෝ ලියන ගීයක පසුබිම් කතාවත් ඇතැම් වෙලාවට රහයි. ස්තූතියි ඔබටත්.
කාලෙකින් අහන්න ලැබුණු අලුත් වුනත් සිත පහන් කරන පුරුදු විදිහෙ බොදු බැති ගීයක්...!
ReplyDeleteපිං!
ප්‍රේමකිර්ති ගී...
Deleteමේක දැන්නම් අවුරැදු තුනක් විතර පරනයි. ඒත් ගිය වසරේ ගුවන්විදුලිය තේරු බැති ගිත අතරට මෙයත් එකතුවී තිබුණා.. ස්තූතියි ඔබටත්
අපි අහපු නැති ගීත කීයක් නම් තියනවද? ස්තුතියි අයියේ මේ නිර්මාණය අප සමග බෙදා ගැනීම ගැන. තව තවත් ගීත රචනා කිරීමට ශක්තිය ලැබේවා.
ReplyDeleteප්‍රදීප්..
Deleteසිංහල ගිත සාහිත්‍යය මහා සාගරයක් වගේ එයට මගේ දායකත්වය නම් අල්පයි. ඒත් සමහර ඒවා සොදුරු මතකයන් අතර තියෙනවා
ගිතයේ නිධාන කතාවත් එක්ක ගත් කළ ඔබේ සුපිරි හැකියාව අපට හිතාගන්නට හැකියි...ලාංකේය ගි කෙතට ඔබ අතින් තව තවත් ගි බොහෝ සෙයින් ලියැවේවා.
ReplyDeleteනලීන්...
Deleteස්තූතියි ඔබේ ඇගැයුමට
Instant Noodles එකක් උනාට රසයේ අඩුවක් නම් නෑ . නුබේ හැකියාවට ගරුකරනවා.
ReplyDeleteලොකු ජෝන්
Deleteස්තූතියි ඔබටත්..
රසබර ගීයක් අහන්නට ලැබීම සතුටුයි මේ වෙසක් පොහෝ දා
ReplyDeleteරෙහානි..
Deleteවෙසක් සමයේ සිත් නිවී මෙත් මල් පිපේවා.... ස්තූතියි ඔබටත්..
ගීය ඇහුවාම නම් හදිසියේ ලියපු එකක් කියලා හිතන්න බෑ. අර අයියා කිව්වාත් වගේම ශාන්ත රසය පිරි ගීයක්. අයියාගේ හැකියාව ඒකෙන්ම ඔප්පු වෙනවා
ReplyDeleteතොටියා...
Deleteමේක "ලලලල" ආකාරයෙන් එන ගැලපෙන වචන සෙට් එකක් හදාගන්න සෑහෙන්න මහන්සි වුණා. ස්තුතියි ඔබටත්.
ඔබටත් පවුලේ සියළුම දෙනාටත් තෙරුවන් සරණයි!ගීතය නිවි සැනසිල්ලෙ ඇසුවම දැනෙන සුවය අප්‍රමාණයි.
ReplyDeleteගයානි..
Deleteඔබටත් සුබ වෙසක් මංගල්‍යයක්ම වේවා.... හ්තූතියි සටහනට
ලිපියේ විස්තරයනම් නියමයි. මෙච්චර ඉක්මනින් ගීයක් ලියන්න නම් සැබෑ දක්ෂයෙක් වෙන්න ඕන..
ReplyDeleteඅසරණයා...
Deleteයාන්තමට කවි පදයක් ගීයක් ගැටගහ ගන්න මොකක්දෝ හැකියාවක් ලැබිල තියෙනවා. ඒක නම් සතුටක්. ස්තූතියි ඔබටත්.
පින්බර බැති ගීයක්.හුගක් ශාන්ත ගීතයක්.අදවගේ දවසක අහන්න ලැබීමත් පිනක්.
ReplyDeleteබට්ටි...
Deleteස්තූතියි ගීය ඇගැයුවාට
ගීතය වගේම ගීයට ලැබිල තියෙන පසුබිම් කතාවත් බොහොම ලස්සනයි..
ReplyDeleteපන්හිඳ
Deleteගීයක් ලියැවෙන වෙලාවට ඒ පසුබිමත් සමහර වෙගාවට ගියක් වගේ.
දැන් තමයි ගීතය අහන්න ලැබුනේ. ගීතය වගේම නිධාන කතාවත් ලස්සනයි
ReplyDeleteසයුරී....
Deleteඕනැම නිර්මානයක් එක්ක ඊට පසුබිම් වූ හේතුවත් ලිව්වාම විචාරයක් නොවුනත් ඒ මතකය අවදි කිරිමම හිතට සුවයක් ගේනවා.
ගීත රචකයාගේ හිතේ මැවෙන දේ ගීතයක් බවට පත්වන තුරු තිබෙන අවිනිශ්චිත බව කොතරම්ද කියා මට වැටහුනා. මේ වගේ පීඩනයක් සහිත පසුබිමක තැන්පත්ව කටයුතු කිරීමට අවශ්‍ය හික්මීම ඔබට ලැබෙන්න ඇත්තෙත් බුදුදහම ඇසුරින්ම යන්න මගේ විශ්වාසයයි. ඔබ වැනි නිහඬ කලාකරුවන්ට අපගෙන් වැටෙන කමෙන්ට් ශක්තියක් දෛර්යය වේවා !!!
ReplyDeleteසුදීක
Deleteසමහර වෙලාවට අරයුම ලැබෙන්නේ කිසිම අවකාශයක් නොතබාම. ඒ මොහොතේ තරමක ඇතිවන චකිතයත්, එක්ක අවශ්‍ය පසුබිම සකස් කර ගත්තාම ශිල්පියා සමග සාකච්ඡාකර ඉතිරිය නිර්මාණය කරන්න පුළුවන් කියා හිතෙනවා.
ස්තූතියි ඔබටත්..
නිර්මාණකරණය පුදුම දෙයක් නේද? කාලය, අවකාශය මායිම් කරන්නේ නෑ නේද?
ReplyDelete"පවනට සැලෙනා දොඹ මල් සුවදින්" රචනය වුණේත් ඔහොමයි කියල මම අහල තියනව ධර්මසිරි බණ්ඩාරණායක මහත්තය අතින්
ආවේග සනහන, ආනන්දයෙන් ප්‍රඥාවට ගෙන යන, නිර්මාණකරණයේ යෙදෙන ඔබට අපගේ ගෞරවය!
තිස්ස...
Deleteඇතැම්වෙලාවට නිර්මාණයක් ක්ෂනිකවත් තවත් විටක යම් නිර්මානයක් මාස ගණනක් එහෙමත් නැත්නම් වසර ගණනක් තිස්සේත් ඔපමට්ටම් වෙනවා. ඉන් අනතුරුවයි එය නිර්මාණයක් බවට පත්වන්නේ..
"පවනට සැලෙනා දොඹ මල් සුවදින්" ගිතයත් ක්ෂණිකව බිහි වුවක්.ධර්මසිරි බණ්ඩාරණායක මහතා ලියූ එකම ගියත් එයයි. ඒ නිර්මාණයේ නම් කතා පුවත් කිපයක්ම තියෙනවා.
ස්තූතියි තිස්ස ඔබටත්.
දයා මල්ලි, ගීය මෙන්ම සටහනෙනුත් සිත නිවුනා. මේ ගීය මා කලෙකදී අසා තිබුනා. පුදුම විදිහට සිත නිවෙන ගීයක්. නමුත් ඔබ ලියූවක් බව දැන සිටියේ නෑ. ගීය ගයන ඩබ්ලිව් . ඩී . ආරියසිංහයන් මා කැමතිම ගායකයෙක්. ඒ හඩේ තියෙන හැඟුම් බර ගතියට මම හරිම කැමතියි. ඔබ ගැන හරිම ආඩම්බරයි මල්ලී. ඔබේ මේ හික්මීම , සංහිදියාව දහමෙන්ම ආව නිසා මැයි. තව තවත් මෙවන් ගී දස දහසින් ඔබ අතින්ම ලියැවේවා! කියල සෙනෙහසින්ම සුබ පතනවා.
ReplyDeleteචාන්දි...
Deleteමේ ගිතලය ගුවන්විදුලි සංස්ථාව නිර්මාණය කළ ගිතයක්. ඒ නිසාම බොහෝ පොහොය දිනවල මේ ගිතය ගුවන් විදුලියෙන් ප්‍රචාරය වුණා.
ස්තූතියි අක්කේ ඔබටත් ඔබේ මේ අගනා සටහනටත්
දයාගේ පදමාලාව හරිම අපූරුයි. ඊට අවශ්‍ය පසුබිම සකස් කරගත්තු හැටි ඊටත් අපූරුයි. හිත නිවන ගීතයක් වගේම සටහනක්. බැලුවේ පහුවෙලා උණාට හිතට ආපු හැඟීම් නම් වෙනදා වගේමයි.
ReplyDeleteපොඩ්ඩි...
Deleteකාලෙකින් මම ලියපු ගීයක් ගැන ලියන්න හිතුනා.. ඒ නිසා ලිව්වා.... විචාරවක් ලියනවාට වඩා මෙහෙම ලියන එක හොඳයි කියල හිතුනා...
ස්තූතියි පොඩ්ඩිටත්.
කලබලේ ලිව්වත් ගීතවත් බව නම් අඩු වෙලා නැහැ.. :)
ReplyDeleteකල් ගත්තා නම් තවත් සංස්කරණය කරන්න තිබුණු බව නම් ඇත්තයි. හැබැයි මේ විදියත් හොඳයි!!
ජය වේවා!!
රැංගෝ...
Deleteඇත්තටම මට හිතෙනවා මියුසික් ට්‍රැක් එකත් අහමින්ම ලියන්න තිබුණ නම් මිට වඩා යමක් ලියාගන්න පුලුවන් වෙන්න තිබුණා කියලා.
සිත නිවන ගීතයක් . මේ වැනි සුමට සංගීතයට තමයි මගේ මනාපයත් . පසුබිමත් අපුරුයි. කලබලේට ලියවෙන දේවල් සමහර විට හිතා මතා කරන නිර්මාණ වලට වඩා හොඳ වෙන්නත් පුළුවන් . අපිට සතුටක් ඔබ වැනි නිර්මාණකරුවෙක් හමුවීමත්
ReplyDeleteබින්දි...
Deleteසමහර වෙලාවට කලබලේට ලියැවුණත් අහම්බෙන් සාර්තක නිර්මාණ බිහිවෙනවා. ඒක සැබැවක්
ස්තුතියි බින්දි... ඔබටත් ඔබේ මේ සටහනටත්.
ගීතය පසුපස තියෙන මෙවැනි කථා දැනගන්න මම නම් ඉතාමත් කැමතියි...නරකද මෙවැනි කථාබහක වැඩි වැඩියෙන් නිරත වුනොත්...
ReplyDeleteසිරා..
Deleteඇත්තටම මෙවැනි රසමුසු පුවත් සටහන් කරන්න ලැබෙනව නම් හොඳයි තමිය. ඉඩ ඇති , විවේකයක් ලැබෙන පරිදි ලියන්නම්.
ස්තූතියි ඔබටත් ඔබේ මේ සටහනටත්
ගීත කියන්නෙ හරි පුදුම ජාතියක්. ඒවා නිර්මාණය තුළ ගැබ්වුණු සැඟවුණු පුවත් ගීත තවත් අලංකාර කරනවා.
ReplyDeleteතුසිත...
Deleteමේ ගිතය පමණක් නොවේ බොහෝ නිර්මාණකරුවන්ගේ ගීත තුළ සැගවුන අතීත පුවත් ඇතැම් විට ගීතයට වඩා රසවත්. අපි ඒ ගැන නිතර කතා කරනවනේ..
ස්තුතියි තුසිත ඔබට
ගීතයෙ වටිනාකම වැඩි උනා පසුබිම් කතාව අහද්දි
ReplyDeleteසසිනි..
Deleteගිතය පමණක් සටහන් කළානම් ඒක ඒතරම් රසයක් නොවෙන්න පුළුවන්.
ස්තූතියි ඔබටත්.
ගීතයේ පද මාලාවේ, ගායනයේ සහ තනුවේ සුමට බව තමා මගේ හිතට ඇල්ලුවේ.
ReplyDeleteඒ වගේම බැති ගීය නිර්මාණය වූ හැටිත් හරිම අපූරුයි.
ගිහාන්...
Deleteආරියසිංහගේ ගීත හිත නිවන ගායනයෙන් පිරි ඒවනේ...
ස්තූතියි ඔබටත්.
හරි ලස්සනයි. වටිනා දේට වෙලාවක් කලාවක් හිත හිත ඉන්න ඕනා නෑ නේද...
ReplyDeleteසිඳූ...
Deleteස්තූතියි ඔබටත්.
තවත් මෙවන් නිර්මාණ බිහි වේවා!
ReplyDeleteයසිත්...
Deleteසිතූතියි වෙනදා වගේම ඔබටත්.
කෙන්ජි...
ReplyDeleteස්තූතියි ලංකුවට. ඒකත් වෙසක් සටහනක්.
දෙයියනේ එක රෑකින් සින්දුවක් ලියන්න තරම් දයා අයියාගේ පරිකල්පන ශක්තියයි භාශා දැනීමයි කොයි තරම් වෙන්න ඕනද . .
ReplyDeleteනියමයි අයියේ . .
අපි අහලා තිබ්බේ "සින්දුවක් ලියලා දෙන්න" කිව්වම බස් ටිකට් සිංදු ලියලා දුන්නු ප්‍රේම් අයියා ගැන. දයා අයියත් එහෙනම් එක්තරා ප්‍රේම් කෙනෙක් . . නියමයි.