පහුගිය
දවසක පුවත්පත් ඔස්සේ දිග හැරුණ පුවතක් වුණේ ගම්පොළ නගරයේ සිනමා ශාලාවක බොක්ස් එකක්
තුළ තරුණියක දූෂණය වුවා යැයි කියන සිදුවීම. එදිනෙදා ජාතික පුවත්පත් ඔස්සේත් අන්තර්
ජාලයේත් මේ පුවතට අදාළ කතා එකින් එක ගොඩ නැගුණා.
මෙවන් පුවත් තටු ලැබ ඉගිල්ලෙන්නෙ එහි
ඇති දුක්මුසු ඛේදවාචකය කෙසේ වෙතත් එහි
පිළුණු රසය කියවන්න තරමට මනසක් මාධ්‍ය
කලාව විසින් සකස් කර දි ඇති හින්දා.
ඒ
සිද්ධියත් එක්ක බලන කොට පහුගිය මාස එකහමාරක් වැනි කෙටි කාලයක් ඇතුළත ලංකාවේ පළ වූ
පුවත් පත් වාර්තා සහ අන්තර් ජාල පුවත් සේවා අතරින් වැඩිම ප්‍රමාණයකට මුල්තැන ලැබිල
තිබුණෙ බාලවස්කාර දැරියන් ලිංගික ගොදුරු බවට පත්වූ “ස්ත්‍රී දුෂණ” පිළිබඳ පුවත්.
සාමාන්‍ය පාඨකයන් වැඩියෙන් කියවන්න කැමැත්තක් දක්වන දේවල් අතර මෙවැනි පුවත්
වැඩියෙන්ම දකින්න ලැබෙනවා.
ඒ කොහොම
වුණත් දිනපතා ඉහළ යමින් පවතින මේ බාල වයස්කාර
ලිංගික අපචාර ප්‍රමාණය වැඩි නිසා මේ
පිළිබඳව බ්ලොග් අඩවි ඔස්සේ යම් තාක් දුරට කතිකාවක් ඇති කරන්න මාතලන් සහෘදයාත්, අජිත් පැරකුම් ජයසිංහ ගේ W3lanka, බ්ලොග් අඩවියත් කල්පනා කර තිබුණා. ඒ ලිපි පෙළ කියවපු මටත් නිකමට වගේ හිතුනා
ගීත සාහිත්‍යය ඇසුරින් මේ ගැන ටිකක් ලියන්න.
ඒ
නිසා ගම්පොළ සිනමා හලේ බොක්ස් ආසනයක් මත සිදු වූ සිද්ධියත් එහි පසුබිමත් මේ මේ
කතාවේ හරය වුණත්, එහි පසුබිම ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ නැත්තෙ ඒ කරුණ මේ වන
විටත් අධිකරණය ඉදිරියේ විභාග වෙමින් පවතින නඩු නිමිත්තක් වන නිසා.
කිසිදු
බියක් හෝ සැකයක් නැතිව සියගණනක් රැස්ව සිටින සිනමාහලක දෙනෝදාහක් දෙනා අතර සිට තමතමන්ගෙ
කායික අවශ්‍යතා සංතර්පණය කරගැනිමට ලිංගික සම්බන්ධකමක් පවත්වන්න තරම් පිරිහිච්ච රටක
සමාජයක එවන් වටපිටාවක් ඇති විමට හේතුවූ
කරුනු කාරණා වගේම එවන් පසුබිමක් ගොඩනැගිමට
හේතුවී ඇති ලංකාවෙ සිනමා කර්මාන්තය වගේම සිනමාහල්වල බොක්ස් ආසන පහසුකම් ඇති කිරීම
පිළිබදවත් වෙන වෙනම කතාබහට ලක්විය යුත්තක්.


හැම ගෙදරකම
දෝණියගේ යහගුණ ඇයගේ රූ සපුවට ආභරණයක් වගේම
ඒ යහගුණය ඇගේ චරිතයටත් ආභරණයක්. අපේ සංස්කෘතික මව තවම දුප්පත් කියල හිතෙන්නෙ
මෙවන් ගීයක් ඇහෙන වෙලාවක.
පිපුණු මලේ රුව එමල දනී දෝ
මලකි දුවේ නුඹ හැඩරුව බලන්නෙපා
නැති බැරිකම මුතු මාල හතක්වී
කඩුල්ල පැන එයි නුඹ අත කරලන දා
කටුමැටි බිත්තිය හැඩකර අඳිනා
රෑ හෙවනැල්ලෙන් හිස පීරන්නේ
නොතලන් සිත මා ආදර දියණියනේ
පාළු කණට නුඹෙ අත නොගැටෙන්නයි
විදුරු කැඩපත බිම දැම්මේ
ළිඳේ අඩිය හිරු නොබලන පින්නේ
එබී ළිඳට ඇයි නුඹ හිනැහෙන්නේ
නොතලන් සිත මා ආදර දියණියනේ
පාළු කණට නුඹෙ අත නොගැටෙන්නයි
විදුරු කැඩපත බිම දැම්මේ
ගීපද මාලාව: ලුෂන් බුලත්සිංහල
සංගීතය: පී. ඩන්ස්ටන් ද සිල්වා
ගැයුම: විශාරද නන්දා මාලනී
පිපුණු මලේ රුව ගීතය මෙතනින් අහන්න
කාන්තාවකගේ
පාරිශුද්ධත්වය ලාංකේය ජන සමාජය තුළ ඉතාම ඛේදනිය තත්වයක් වුවත් සාම්ප්‍රදායික
සංස්කෘතික විවාහය ඉදිරියේ ලිංගික අතවරයකට පත් තරුණියක් අසරණ වන්නේ ඇයටත් නොදැනීම.
ඇවිලෙන පහන් දැල්ලක දැවටෙන්න වෙර දරන පළඟැටියා ගිනිදැල්ලේ උණුසුම ලබන්න කැමති
වුවත් ගින්නට හසුවීමේ විපාකය විඳින්නේ
පසුවයි. ඒ වගේ කැමැත්ත
සහ මුලාව ඉදිරියේ ආදරයත් ලිංගික ආලයත් දෙකම එකක්වී රාගය බවට පත්වෙන්නෙ ඒ
නිසා.
ලංකාව වැනි
රට නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැති කමත් මෙවැනි ගැටලු වැඩිවෙන්න එක හේතුවක්. ඒත් අතීතයේ
පැවති දූ දරු සම්බන්ධතා වර්තමානයේ දෙමව්පියන් අතරින් යම් තරමකට ගිලිහී යාම
යෞවනියන් ලිංගික අතවරවලට ගොදුරු වෙන්න එක හේතුවක්. අඩුම තරමින් සහෝදර සහෝදරියන්
දෙතුන් දෙනෙක් ඉන්න ගෙදරක ඔවුන් දෙතුන්දෙනා පවා එකට කෑම මේසෙදි හමුවන්නෙ නැති
තරම්. හැමෝම දැන් පුරුදුවෙලා තියෙන්නෙ තමතමන්ගෙ වැඩකටයුතු ඉවර කරපු ගමන් තමතමන්ගෙ
කාමරවලට වැදී දොරගුළු ලාගෙන ජංගම දුරකතනය, ලැප්ටොප් එක, එහෙමත් නැත්නම් පරිගණකය
ඉදිරියේ තමතමන්ගේ තනා ගත් නිර්වින්දනීය වූ ලෝකවල තනිවිම.
වත්මන් සමාජයේ එවැනි
පවුල් පසුබිමක් ගෙවල් වල ගොඩනැගෙන විට පවුල් ඒකකය තුළ පවා අත්‍යවශ්‍යයෙන්ම කතාබහට ලක්විය යුතු ඇතැම් දේවල් මගහැරෙනව. යොවුන්
වියේ එළඹෙන ප්‍රේම සම්බන්ධතා පිළිබඳ වැඩිහිටියන් වගේම සෙසු සහෝදර සහෝදරියනුත්
දැනුවත් නම් ඒ සම්බන්ධතාවය කඩා ඉහිරවනවාට වඩා ප්‍රේම සම්බන්ධතාවලදී තමන්ගේ සිමාව
ඉක්මවා නොයන විදියට කටයුතු කරන්න දැනුමක් ලැබෙන්නෙ නිරායාසයෙන්ම. ඒ සම්බන්ධතාවයක්
දිහා එහෙම කියනකොට මට මතක් වෙන්නෙ අසූව
දශකය ආරම්භයේදී විතර රෝහණ ගැයූ මේ ගීය. සහෝදර බැඳුම මනාව කතාබහට ලක්වන මෙවන් ගීයක්
අතීතයේ අපට නොකියා කියාදුන් පවුල් ඒකකයේ බැඳිම මේ ගීයෙන් මනාව හෙළිවෙනවා.
බිඳුණු පෙමට නාඩන් මා නැගණියනේ
මිහිලිය සේ නාඩන් මා නැගණියනේ
අහසට බැන්ද පෙම නියඟෙන් නුඹ දෑවා
පොළව නුඹයි ඒ නියඟෙන් අලු වූවා
නුඹ දුක් ඉහිලුවා බැරි බර ඇදලූවා
අහසට හඬන්නට වෙනවා
නුඹ ගාවා
ගහකොල සියක් මල් පිපිලා තියෙන විට
අහසට සිනාසෙන්නට හැකි
වේ නුඹට
ඇති තෙක් විඳින්නම් කරදර
දුක් ගැහැට
ඉර හඳ පුරුදු සේ එනවා
නුඹ ළඟට
ගීපද මාලාව: ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය: විශාරද එඩ්වඩ් ජයකොඩි
ගැයුම: ආචාර්ය රෝහණ වීරසිංහ
බිඳුන පෙමට ගීතය මෙතනින් අහන්න
ලංකාවෙ
පවතින සම්මත නීතිය අනුව වයස අවුරුදු 16 ට අඩු ස්ත්‍රියක් සමග ඇගේ කැමැත්ත ඇතිව හෝ
නැතිව ලිංගික සබඳතාවයක් පැවැත්වුව හොත් එය
එනයින්ම ඒ තැනැත්තා “ස්ත්‍රී දුෂණ” චෝදනාවට ලක්වෙනවා. ඒක අපරාධ නීතිය ඉදිරියේ බරපතල වරදක්. මෑත කාලයේ ගම්පොළ සිනමාහලක බොකස්
එකක් තුළ සිදුවූ සිදුවිම වැදගත් වෙන්නෙ ඒ නිසා. ඒත් ලංකාවෙ පවතින මේ සම්මත නිති
රාමුවට හසුනොවූ සහ රහසින් සඟවා ඇති සිදුවිම්වල ප්‍රමාණය මීට වඩා ඉහළයි. විශේෂයෙන්ම
මෙවන් අවස්ථාවකට මුහුණ දෙන පවුල්වලට සමාජයෙන් එල්ලවන අපකීර්තිය සහ නින්දාව ඒ පුවලේ
එක සමාජිකයෙකුට පමණක් අදාළ වන කාරණයක් වුණත් සමස්ත පවුලටම ඒ අවාසනාවන්ත ගැටලුවට
මුහුණ දෙන්න සිදුවෙන්නෙ නූතන මාධ්‍ය සංස්කෘතිය තුල පවතින තරඟකාරී බව නිසා.

ජීවිතයේ
එවන් මොහොතකට කිසියම් තරුණියක මහුණ
දුන්නොත් එය කෙසේ සිදු වුවක්ද , වැරැද්ද සිදුවූයේ කෙසේද, කොතැනද කවර හේතුවක්
නිසාද යන්න සොයා බලන්නට දෙමව්පියන් පෙළඹෙන
විට සිදුවී ඇති සියල්ල හමාර වුවත් ජීවිත ගැටලු රැසකට ඒ තීන්දු තීරණවලින් පාර
හැදිලා අවසන්. එවන් අවස්ථාවක පියෙකුගේ හද
ගැබ සිරවුණ වැලපිල්ල මේ ගීයට කදිම
නිදසුනක් . ජනප්‍රිය ගීයක් නොවුණත් ගීතයෙන් මතුකරන අදහස කදිමයි කියලයි මට
හිතෙන්නෙ.
පෝයට ඇවිලෙන හඳක් වගේ වුන්
දියණියනේ කිම මේ
මලක් පරවුණා වාගේ
මලේ සුවඳ උඩු හුළඟේ ගියා වගේ
ඉහිරුණ කිරකට නාඩන් වැළහින්නක සේ
අකුරු කරන් යළි පිබිදී හිරු මඩලක් සේ
අකුරින් ජයගෙන නුඹ රැජිනක් වන දවසේ
මවක් වෙයන් නුඹ රිදවූ නුවරුන් හමුවේ
හිලිහුණ කඳුලයි මතු මුතු වී බබලන්නේ
වැලක හැදුණු ගෙඩි වැලකට නෑ බර වෙන්නේ
අකල් අනෝරා නින්දා වැහි වැටුණාවේ
නොසැලී හිනැහෙන් යසෝදරාවන් වාගේ
ගීපද මාලාව සහ සංගීතය:
සුනිල් දයානන්ද කෝණාර
ගැයුම: කරුණාරත්න දිවුල්ගනේ
පෝයට ඇවිලෙන ගීතය මෙතනින් අහන්න
ලංකාවෙ
සංස්කෘතික සමාජය අනුව තරුණියක් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ලිංගික ගොදුරක් බවට පත්
වුණත් අවසානේ එහි සියළු නින්දා අවමන් සියල්ලම
බැර වෙන්නෙ ඒ තරුණියගේ නමට. ස්ත්‍රී දූෂණ චෝදනාවලදී විවෘත අධිකරණයේ විත්තිකරු
වරදකරු කිරිමට නම් දූෂණය සිදු වු ආකාරය සිය සාක්ෂි මගින් ඔප්පු කළ යුතුයි. බොහෝ
තරුණියන් අධිකරණය ඉදිරියේ “සිද්ධිය” ප්‍රකාශ කරන්න ගොස් මුණිවත රැකිම විත්තිකරුගේ වාසියට හේතුවක් වුවත් ඇයගේ ජීවිතයට
යහපතක් නොවෙන්නෙ ඒ නිසා.
ජනප්‍රිය
කලාව තුළ තරු බිහිකරන රටක ඉකිමනින් තරු බවට පත්වෙන්නට වෙර දරන තරුණියන් වගේම ආලයට මුලාවී ලිංගික ගොදුරු බවට
පත්වන තරුණියන්ද ප්‍රමාණාත්මකව ඉහළය . ඒ නිසා “ස්ත්‍රී දුෂණ” සංකල්පයේ දී නිසි
වයසට එළඹිමට පෙර හෝ පසු “ඇයගේ කැමැත්ත” පිළිබඳව සමාජය තුළ ඇති ආකල්ප වෙනස් කිරිමට
උත්සාහ කරවාට වඩා. නූතන සමාජය පිළිබඳ නිසි
අවබෝධයෙන් නිරන්තරයෙන් මාධ්‍ය තුළ කතාබහට ලක්වන නීතිමය රාමු පිළිබඳ අවබෝධයෙන්ද කටයුතු
කිරිම මේ ගැටලු අවම කරගත හැකි ක්‍රමයකි. නැති නම් බාලිකා ලොව මැළවෙන දා මුළු ලොවටම
රෑ බෝ වීම කිසිවකුටත් වෙනස් කළ නොහැකිය. ඒ නිසා මුලුමහත් උගත් සමාජය විසින් කළ
යුත්තේ බාලිකා ලොව මැලවෙන්නට ඉඩදී බලා නොසිට කටයුතු කිරීමයි.
බෝධියේ විහාරයේ
පිදූ පියුම් වැනි වූ
බාලිකා ලොව මැලවුණ දා
මුළු ලොවටම රෑ වෙනවා
ජීවිතේ පිහාඹමින්
සිනාසිසී හිඳිනා
ඒ සිනා මා බොළඳ නෙතේ
උණු කඳුළක් කරනු එපා
මල් පොහොට්ටු මා හදේ
සුරංගනා පොකුණේ
මල් වරම් ලැබ පිපෙන තුරා
ඔබ නටුවෙන් සිඳිනු එපා
ගීපද මාලාව: ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය: සරත් දසනායක
ගැයුම: නීලා වික්‍රමසිංහ
බෝධියේ විහාරයේ ගීතය
මෙතනින් අහන්න