පහුගිය
දවසක පුවත්පත් ඔස්සේ දිග හැරුණ පුවතක් වුණේ ගම්පොළ නගරයේ සිනමා ශාලාවක බොක්ස් එකක්
තුළ තරුණියක දූෂණය වුවා යැයි කියන සිදුවීම. එදිනෙදා ජාතික පුවත්පත් ඔස්සේත් අන්තර්
ජාලයේත් මේ පුවතට අදාළ කතා එකින් එක ගොඩ නැගුණා.
මෙවන් පුවත් තටු ලැබ ඉගිල්ලෙන්නෙ එහි
ඇති දුක්මුසු ඛේදවාචකය කෙසේ වෙතත් එහි
පිළුණු රසය කියවන්න තරමට මනසක් මාධ්‍ය
කලාව විසින් සකස් කර දි ඇති හින්දා.
ඒ
සිද්ධියත් එක්ක බලන කොට පහුගිය මාස එකහමාරක් වැනි කෙටි කාලයක් ඇතුළත ලංකාවේ පළ වූ
පුවත් පත් වාර්තා සහ අන්තර් ජාල පුවත් සේවා අතරින් වැඩිම ප්‍රමාණයකට මුල්තැන ලැබිල
තිබුණෙ බාලවස්කාර දැරියන් ලිංගික ගොදුරු බවට පත්වූ “ස්ත්‍රී දුෂණ” පිළිබඳ පුවත්.
සාමාන්‍ය පාඨකයන් වැඩියෙන් කියවන්න කැමැත්තක් දක්වන දේවල් අතර මෙවැනි පුවත්
වැඩියෙන්ම දකින්න ලැබෙනවා.
ඒ කොහොම
වුණත් දිනපතා ඉහළ යමින් පවතින මේ බාල වයස්කාර
ලිංගික අපචාර ප්‍රමාණය වැඩි නිසා මේ
පිළිබඳව බ්ලොග් අඩවි ඔස්සේ යම් තාක් දුරට කතිකාවක් ඇති කරන්න මාතලන් සහෘදයාත්, අජිත් පැරකුම් ජයසිංහ ගේ W3lanka, බ්ලොග් අඩවියත් කල්පනා කර තිබුණා. ඒ ලිපි පෙළ කියවපු මටත් නිකමට වගේ හිතුනා
ගීත සාහිත්‍යය ඇසුරින් මේ ගැන ටිකක් ලියන්න.
ඒ
නිසා ගම්පොළ සිනමා හලේ බොක්ස් ආසනයක් මත සිදු වූ සිද්ධියත් එහි පසුබිමත් මේ මේ
කතාවේ හරය වුණත්, එහි පසුබිම ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ නැත්තෙ ඒ කරුණ මේ වන
විටත් අධිකරණය ඉදිරියේ විභාග වෙමින් පවතින නඩු නිමිත්තක් වන නිසා.
කිසිදු
බියක් හෝ සැකයක් නැතිව සියගණනක් රැස්ව සිටින සිනමාහලක දෙනෝදාහක් දෙනා අතර සිට තමතමන්ගෙ
කායික අවශ්‍යතා සංතර්පණය කරගැනිමට ලිංගික සම්බන්ධකමක් පවත්වන්න තරම් පිරිහිච්ච රටක
සමාජයක එවන් වටපිටාවක් ඇති විමට හේතුවූ
කරුනු කාරණා වගේම එවන් පසුබිමක් ගොඩනැගිමට
හේතුවී ඇති ලංකාවෙ සිනමා කර්මාන්තය වගේම සිනමාහල්වල බොක්ස් ආසන පහසුකම් ඇති කිරීම
පිළිබදවත් වෙන වෙනම කතාබහට ලක්විය යුත්තක්.
නව යෞවනයට
සපැමිණි තරුණියක් දැනුවත්ව හෝ නොදැනුවත්ව ලිංගික අතවරයකට පත්වීම, දැනුවත්ව හෝ
නොදැනුවත්ව ලිංගික ගොදුරු බවට පත්වීම ලංකාවෙ පවුල් සංස්ථාව තුළ ඉතාමත් බරපතල
ගැටලුවක්. ඒ විතරක් නෙවෙයි එවන් සිදුවිමකට මුහුණ දෙන පවුලකට, ඒ පවුලේ දෙමව්පියන්ට,
ඒ පවුලේ සෙසු සමාජිකයින්ටත්, ඒ වගේම එවන්
සිදුවිමකට මුහුණ දුන් තරුණියකටත් ලාංකේය ජන සමාජය
විසින් එල්ල කරන පීඩනය බරපතල සමාජ ගැටලු රැසක් නිර්මාණය කරවනව. ඇතැම් විට
එවන් පවුල් ඒකක කෑලි කෑලිවලට කැඩී බිඳී විසිරෙන තත්වයන් දක්වා විහිදෙනව. එහෙමත්
නැත්නම් එවන් පවුලක සෙසු සාමාජිකයන්ගේ අනාගතය
ගැන හිතලා සමහර වෙලාවට දේපල ඉඩකඩම් සියල්ල විකුණා දමා නොදන්නා ප්‍රදේශයකට ගිහින්
රහසේ ජීවත්වෙන තරමට මෙවන් කාරණා සංකීර්ණ ගැටලු බවට පත්වෙනව. වර්තමානයේ ලිංගික ගොදුරු බවට පත්වෙලා තියෙන්නෙ දුප්පත් ගැමි යෞවනියන්ට
වඩා යම් තරමක නාගරිකරණය වූ සහ නගරබද ඉතාම හොඳට උගත් පවුල්වල යොවුන් වියට පත්
දියණියන් බව පේනවා. ඇතැම් විට මෙවන් කාරණා නාගරීකරණය විම තුළ සරළ හෝ සාමාන්‍ය සිදුවීම් සේ
සැළකුවත් වෙසෙන මේ සමාජය එවන් කරුණක් තවමත් සමාජය විසින් සරළ ලෙස පිළිගන්නට
සූදානම් නැහැ කියන කාරණය ඇත්ත. මෙවන් සිදුවීම් සමාජගත ගැටලු බවට පත්වෙන්නෙ ඒ නිසා.
යොවුන්
වියේ සිට ඇතිවන ප්‍රේමය සහ ලිංගික ආලය සමහර වෙලාවට අපට දෙකක් සේ පෙණුනත් ඒ දෙකම
එකක් බවට පත්වන්නට ගතවෙන්නෙ සුලු මොහොතක්. මොන ආකාරයකින් සඳහන් කළත් ආදරය ප්‍රේමය
වැනි මාතෘකා වල කෙළවර රාගය පැවතීම ස්වභාවිකයි. අතීතයේත් වර්තමානයේත් මල්වර වියට
පැමිණි පසුව දියණියක සිය මව විසින් ඇස ගැටෙන මානයක රඳවාගන්න හේතු වෙන්නෙ අන්න ඒ
කාරණය නිසා. ඔවුන්ට ඔවුන්ගේ යොවුන් වියේදී අත්‍යවශ්‍යයෙන්ම හඳුනාගත යුතු සීමාවන්
මවුවරු කියා දෙන්නෙ ඒ හින්දා. දෙමව්පියන්
හෙළන දුක් කඳුළු නින්දා අපහාසවල ප්‍රමාණය
තීරණය වෙන්නෙ දියණියකගේ විවාහය සිදුවන දිනයේ. හැම මවක් පියෙක් වගේම
වැඩිහිටි සහෝදර සහෝදරියන් සිටී නම් ඔවුන් තමන්ගෙ
දෝණියන්දෑ එහෙමත් නැත්නම් තමන්ගෙ නැගණිය යන එන ගමන් බිමන් ගැන වැඩි ආදරේකින් බලන්නෙ ඒ නිසා.
හැම ගෙදරකම
දෝණියගේ යහගුණ ඇයගේ රූ සපුවට ආභරණයක් වගේම
ඒ යහගුණය ඇගේ චරිතයටත් ආභරණයක්. අපේ සංස්කෘතික මව තවම දුප්පත් කියල හිතෙන්නෙ
මෙවන් ගීයක් ඇහෙන වෙලාවක.
පිපුණු මලේ රුව එමල දනී දෝ
මලකි දුවේ නුඹ හැඩරුව බලන්නෙපා
නැති බැරිකම මුතු මාල හතක්වී
කඩුල්ල පැන එයි නුඹ අත කරලන දා
කටුමැටි බිත්තිය හැඩකර අඳිනා
රෑ හෙවනැල්ලෙන් හිස පීරන්නේ
නොතලන් සිත මා ආදර දියණියනේ
පාළු කණට නුඹෙ අත නොගැටෙන්නයි
විදුරු කැඩපත බිම දැම්මේ
ළිඳේ අඩිය හිරු නොබලන පින්නේ
එබී ළිඳට ඇයි නුඹ හිනැහෙන්නේ
නොතලන් සිත මා ආදර දියණියනේ
පාළු කණට නුඹෙ අත නොගැටෙන්නයි
විදුරු කැඩපත බිම දැම්මේ
ගීපද මාලාව: ලුෂන් බුලත්සිංහල
සංගීතය: පී. ඩන්ස්ටන් ද සිල්වා
ගැයුම: විශාරද නන්දා මාලනී
පිපුණු මලේ රුව ගීතය මෙතනින් අහන්න
කාන්තාවකගේ
පාරිශුද්ධත්වය ලාංකේය ජන සමාජය තුළ ඉතාම ඛේදනිය තත්වයක් වුවත් සාම්ප්‍රදායික
සංස්කෘතික විවාහය ඉදිරියේ ලිංගික අතවරයකට පත් තරුණියක් අසරණ වන්නේ ඇයටත් නොදැනීම.
ඇවිලෙන පහන් දැල්ලක දැවටෙන්න වෙර දරන පළඟැටියා ගිනිදැල්ලේ උණුසුම ලබන්න කැමති
වුවත් ගින්නට හසුවීමේ විපාකය විඳින්නේ
පසුවයි. ඒ වගේ කැමැත්ත
සහ මුලාව ඉදිරියේ ආදරයත් ලිංගික ආලයත් දෙකම එකක්වී රාගය බවට පත්වෙන්නෙ ඒ
නිසා.
ලංකාව වැනි
රට නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැති කමත් මෙවැනි ගැටලු වැඩිවෙන්න එක හේතුවක්. ඒත් අතීතයේ
පැවති දූ දරු සම්බන්ධතා වර්තමානයේ දෙමව්පියන් අතරින් යම් තරමකට ගිලිහී යාම
යෞවනියන් ලිංගික අතවරවලට ගොදුරු වෙන්න එක හේතුවක්. අඩුම තරමින් සහෝදර සහෝදරියන්
දෙතුන් දෙනෙක් ඉන්න ගෙදරක ඔවුන් දෙතුන්දෙනා පවා එකට කෑම මේසෙදි හමුවන්නෙ නැති
තරම්. හැමෝම දැන් පුරුදුවෙලා තියෙන්නෙ තමතමන්ගෙ වැඩකටයුතු ඉවර කරපු ගමන් තමතමන්ගෙ
කාමරවලට වැදී දොරගුළු ලාගෙන ජංගම දුරකතනය, ලැප්ටොප් එක, එහෙමත් නැත්නම් පරිගණකය
ඉදිරියේ තමතමන්ගේ තනා ගත් නිර්වින්දනීය වූ ලෝකවල තනිවිම.
වත්මන් සමාජයේ එවැනි
පවුල් පසුබිමක් ගෙවල් වල ගොඩනැගෙන විට පවුල් ඒකකය තුළ පවා අත්‍යවශ්‍යයෙන්ම කතාබහට ලක්විය යුතු ඇතැම් දේවල් මගහැරෙනව. යොවුන්
වියේ එළඹෙන ප්‍රේම සම්බන්ධතා පිළිබඳ වැඩිහිටියන් වගේම සෙසු සහෝදර සහෝදරියනුත්
දැනුවත් නම් ඒ සම්බන්ධතාවය කඩා ඉහිරවනවාට වඩා ප්‍රේම සම්බන්ධතාවලදී තමන්ගේ සිමාව
ඉක්මවා නොයන විදියට කටයුතු කරන්න දැනුමක් ලැබෙන්නෙ නිරායාසයෙන්ම. ඒ සම්බන්ධතාවයක්
දිහා එහෙම කියනකොට මට මතක් වෙන්නෙ අසූව
දශකය ආරම්භයේදී විතර රෝහණ ගැයූ මේ ගීය. සහෝදර බැඳුම මනාව කතාබහට ලක්වන මෙවන් ගීයක්
අතීතයේ අපට නොකියා කියාදුන් පවුල් ඒකකයේ බැඳිම මේ ගීයෙන් මනාව හෙළිවෙනවා.
බිඳුණු පෙමට නාඩන් මා නැගණියනේ
මිහිලිය සේ නාඩන් මා නැගණියනේ
අහසට බැන්ද පෙම නියඟෙන් නුඹ දෑවා
පොළව නුඹයි ඒ නියඟෙන් අලු වූවා
නුඹ දුක් ඉහිලුවා බැරි බර ඇදලූවා
අහසට හඬන්නට වෙනවා
නුඹ ගාවා
ගහකොල සියක් මල් පිපිලා තියෙන විට
අහසට සිනාසෙන්නට හැකි
වේ නුඹට
ඇති තෙක් විඳින්නම් කරදර
දුක් ගැහැට
ඉර හඳ පුරුදු සේ එනවා
නුඹ ළඟට
ගීපද මාලාව: ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය: විශාරද එඩ්වඩ් ජයකොඩි
ගැයුම: ආචාර්ය රෝහණ වීරසිංහ
බිඳුන පෙමට ගීතය මෙතනින් අහන්න
ලංකාවෙ
පවතින සම්මත නීතිය අනුව වයස අවුරුදු 16 ට අඩු ස්ත්‍රියක් සමග ඇගේ කැමැත්ත ඇතිව හෝ
නැතිව ලිංගික සබඳතාවයක් පැවැත්වුව හොත් එය
එනයින්ම ඒ තැනැත්තා “ස්ත්‍රී දුෂණ” චෝදනාවට ලක්වෙනවා. ඒක අපරාධ නීතිය ඉදිරියේ බරපතල වරදක්. මෑත කාලයේ ගම්පොළ සිනමාහලක බොකස්
එකක් තුළ සිදුවූ සිදුවිම වැදගත් වෙන්නෙ ඒ නිසා. ඒත් ලංකාවෙ පවතින මේ සම්මත නිති
රාමුවට හසුනොවූ සහ රහසින් සඟවා ඇති සිදුවිම්වල ප්‍රමාණය මීට වඩා ඉහළයි. විශේෂයෙන්ම
මෙවන් අවස්ථාවකට මුහුණ දෙන පවුල්වලට සමාජයෙන් එල්ලවන අපකීර්තිය සහ නින්දාව ඒ පුවලේ
එක සමාජිකයෙකුට පමණක් අදාළ වන කාරණයක් වුණත් සමස්ත පවුලටම ඒ අවාසනාවන්ත ගැටලුවට
මුහුණ දෙන්න සිදුවෙන්නෙ නූතන මාධ්‍ය සංස්කෘතිය තුල පවතින තරඟකාරී බව නිසා.
පීතෘ මුලික
සමාජයක විවාහයකදී යෞවනියකගේ පාරිශුද්ධත්වය ඉහළින්ම සළකන රටක නූතන සමාජයේ එළිපිටම නොපෙනුනනත්
රහසින් හෝ කාන්තාවකගේ පාරිශුද්ධත්වය හොයල බලන්න වැඩිහිටියන් පෙළඹෙනවා. ඇතැම් විට
දිගු කාලයක් හොඳින් දැන හඳුනාගෙන් ප්‍රේමයෙන්
බැදුණ පෙම්වතෙක් වුණත් මංගල රාත්‍රියේ
රහසින් හෝ ඒ පාරිශුද්ධත්වය පරීක්ෂා කරන්න පෙළඹෙන අවස්ථාවන්වල ඉදිරිපත් වන
ගැටළු ලින් සිදුවන්නේ සමහර වෙලාවට පවුල් ආරවුල් වලින් ඇරඹි දික්කසාදවීමකින් කෙළවර
වීමයි. ලංකාවෙ අධිකරණ පද්ධතිය තුළ දිනකට විභාග වන වයස අවුරුදු 16 – 30 ත් අතර
වයස්වල දික්කසාද නඩුවල වැඩි වශයෙන් දකින්න පුළුවන් හේතු විදියට ඉදිරිපත් වන්නෙ
මේවා.
ජීවිතයේ
එවන් මොහොතකට කිසියම් තරුණියක මහුණ
දුන්නොත් එය කෙසේ සිදු වුවක්ද , වැරැද්ද සිදුවූයේ කෙසේද, කොතැනද කවර හේතුවක්
නිසාද යන්න සොයා බලන්නට දෙමව්පියන් පෙළඹෙන
විට සිදුවී ඇති සියල්ල හමාර වුවත් ජීවිත ගැටලු රැසකට ඒ තීන්දු තීරණවලින් පාර
හැදිලා අවසන්. එවන් අවස්ථාවක පියෙකුගේ හද
ගැබ සිරවුණ වැලපිල්ල මේ ගීයට කදිම
නිදසුනක් . ජනප්‍රිය ගීයක් නොවුණත් ගීතයෙන් මතුකරන අදහස කදිමයි කියලයි මට
හිතෙන්නෙ.
පෝයට ඇවිලෙන හඳක් වගේ වුන්
දියණියනේ කිම මේ
මලක් පරවුණා වාගේ
මලේ සුවඳ උඩු හුළඟේ ගියා වගේ
ඉහිරුණ කිරකට නාඩන් වැළහින්නක සේ
අකුරු කරන් යළි පිබිදී හිරු මඩලක් සේ
අකුරින් ජයගෙන නුඹ රැජිනක් වන දවසේ
මවක් වෙයන් නුඹ රිදවූ නුවරුන් හමුවේ
හිලිහුණ කඳුලයි මතු මුතු වී බබලන්නේ
වැලක හැදුණු ගෙඩි වැලකට නෑ බර වෙන්නේ
අකල් අනෝරා නින්දා වැහි වැටුණාවේ
නොසැලී හිනැහෙන් යසෝදරාවන් වාගේ
ගීපද මාලාව සහ සංගීතය:
සුනිල් දයානන්ද කෝණාර
ගැයුම: කරුණාරත්න දිවුල්ගනේ
පෝයට ඇවිලෙන ගීතය මෙතනින් අහන්න
ලංකාවෙ
සංස්කෘතික සමාජය අනුව තරුණියක් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ලිංගික ගොදුරක් බවට පත්
වුණත් අවසානේ එහි සියළු නින්දා අවමන් සියල්ලම
බැර වෙන්නෙ ඒ තරුණියගේ නමට. ස්ත්‍රී දූෂණ චෝදනාවලදී විවෘත අධිකරණයේ විත්තිකරු
වරදකරු කිරිමට නම් දූෂණය සිදු වු ආකාරය සිය සාක්ෂි මගින් ඔප්පු කළ යුතුයි. බොහෝ
තරුණියන් අධිකරණය ඉදිරියේ “සිද්ධිය” ප්‍රකාශ කරන්න ගොස් මුණිවත රැකිම විත්තිකරුගේ වාසියට හේතුවක් වුවත් ඇයගේ ජීවිතයට
යහපතක් නොවෙන්නෙ ඒ නිසා.
ජනප්‍රිය
කලාව තුළ තරු බිහිකරන රටක ඉකිමනින් තරු බවට පත්වෙන්නට වෙර දරන තරුණියන් වගේම ආලයට මුලාවී ලිංගික ගොදුරු බවට
පත්වන තරුණියන්ද ප්‍රමාණාත්මකව ඉහළය . ඒ නිසා “ස්ත්‍රී දුෂණ” සංකල්පයේ දී නිසි
වයසට එළඹිමට පෙර හෝ පසු “ඇයගේ කැමැත්ත” පිළිබඳව සමාජය තුළ ඇති ආකල්ප වෙනස් කිරිමට
උත්සාහ කරවාට වඩා. නූතන සමාජය පිළිබඳ නිසි
අවබෝධයෙන් නිරන්තරයෙන් මාධ්‍ය තුළ කතාබහට ලක්වන නීතිමය රාමු පිළිබඳ අවබෝධයෙන්ද කටයුතු
කිරිම මේ ගැටලු අවම කරගත හැකි ක්‍රමයකි. නැති නම් බාලිකා ලොව මැළවෙන දා මුළු ලොවටම
රෑ බෝ වීම කිසිවකුටත් වෙනස් කළ නොහැකිය. ඒ නිසා මුලුමහත් උගත් සමාජය විසින් කළ
යුත්තේ බාලිකා ලොව මැලවෙන්නට ඉඩදී බලා නොසිට කටයුතු කිරීමයි.
බෝධියේ විහාරයේ
පිදූ පියුම් වැනි වූ
බාලිකා ලොව මැලවුණ දා
මුළු ලොවටම රෑ වෙනවා
ජීවිතේ පිහාඹමින්
සිනාසිසී හිඳිනා
ඒ සිනා මා බොළඳ නෙතේ
උණු කඳුළක් කරනු එපා
මල් පොහොට්ටු මා හදේ
සුරංගනා පොකුණේ
මල් වරම් ලැබ පිපෙන තුරා
ඔබ නටුවෙන් සිඳිනු එපා
ගීපද මාලාව: ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය: සරත් දසනායක
ගැයුම: නීලා වික්‍රමසිංහ
බෝධියේ විහාරයේ ගීතය
මෙතනින් අහන්න
ඉතාමත් හරවත් ලිපියක්. මෙතන දී මේ ගැටලුව උග්‍ර වෙන්න එක හේතුවක් විදියට මමත් දකිනවා මාධ්‍ය අතර තිබෙන දැඩි තරඟකාරීත්වය! ඔවුන් කළ යුතු දේ වගේ ම නොකළ යුතු දෙයක් සිදු කළා. මේ වගේ සිදුවීම් රටට හෙළි කරන එක වැදගත්. අනාගතයේ දී එවැනි දේවල් සිදුවීම අවම කර ගැනීම සඳහා. නමුත් කිසියම් පුවතක් ඉදිරිපත් කරන විට සැලකිලිමත් වෙන්න ඕනේ දේවල් නොසලකා හැරලා තිබුණා. යුතුකමක් ලෙස මේ සිදුවීමට මුහුණ දුන් දැරියගේ විස්තර හෙළි නොකර ඉන්න තිබුණා. නමුත් දැන් ලංකාවේ හැමෝම ඇගේ උපතේ සිට සියලු ම විස්තර දන්නවා. ඒකෙන් ඇගේ පවුලේ උදවියට සිදු වන අවමානය ගැන කිසිම තැකීමක් නැහැ. මෙතන දී ටිකක් කල්පනා කරලා බැලුවොත් දැනට මාස කිහිපයකට කලින් ඉන්දියාවේ වෛද්‍ය ශිෂ්‍යාවට සිදු වුණ සමූහ දූෂණය. එතන දී මාට්‍ය ඉතාමත් සාදාචාර සම්පන්න ලෙස කටයුතු කළා. ඇගේ පවුලේ තොරතුරු, ඡයාරූප මාධ්‍ය මගින් එළි දැක් වුණේ නැහැ. සියල්ලට ම පෙර ඇගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කළා. නමුත් ලංකාවේ සිද්ධ වෙන්නේ එකේ අනිත් පැත්ත. මෙතන දී මම උත්සාහ කළේ මාධ්‍ය පමණක් මේ සිදුවීමට වැරදී කියන්න නෙමෙයි. වරදේ එක් පැතිකඩක් පෙන්වීම පමණ යි!
ReplyDeleteපත්තරවල පළවෙලා තිබුණා "සිදු වුණ දේ ඉබේ ම සිදු වුණා" කියලා ඒ දැරිය ප්‍රකාශ කරපු බවක්. ඒක සම්පූර්ණයෙන් ම බොරුවක් මම දකින විදියට. මොකද සාමාන්‍ය පෙළ පන්තියේ ඉන්න ළමයෙක්ට ඒ ගැන අවබෝධයක් තියෙනවා. මේ වගේ දෙයක් සිදු වෙන එක ගැන, ආරක්ෂා වෙන්න ඕනේ විදිය සහ අතුරු ප්‍රතිඵල ගැන. ඒ වගේ ම ඇයට යුතුකමක් තිබුණා තමන්ට ලැබුණ නිදහස අයුතු ලෙස භාවිතා නොකරන්න. මොකද මම දකින විදියට නිදහස වගකීමක්. එකෙන් අයුතු ලෙස ප්‍රයෝජන ගන්න නරක යි. කොහොම වුණත් දැන් සිද්ධ වුණ දේ වෙලා ඉවරයිනේ.
ඒ වගේ ම තවත් පත්තරේක පළ වෙලා තිබුණේ මේ සිදු වීම එළි වුණ හැටි. පෙම්වතා, තමන් අතින් දූෂණයට ලක් වුණ දැරිය ව විවාහ කර ගන්න කැමැත්ත පළ කරලා තිබුණා. නමුත් එය නෙමෙයි ඔහු කළ යුතු ව තිබුණේ. හැම දෙයක් ම වැරදුණාට පසු ව වැරුද්ද නිවැරදි කරන්න යන එක. හ්ම්ම්, ඇත්තට ම ආදරේ කළා නං කිසිම දවසක ඔහු ඇයට ඒ වගේ දෙයක් කරයි ද? කොල්ලෙක්ට කොන්ද පණ තියෙන්න ඕනේ තමන් ආදරේ කරන කෙල්ල ව ආරක්ෂා කරන්න මිසක් ඇගේ ආත්ම ගරුත්වය විනාශ කරන්න නෙමෙයි.
මේ වගේ දේවල් සිදු වෙන්න තවත් හේතුවක් තමයි අයහපත් පවුල් සම්බන්ධතා! ඒ ගැන කතා කරන්නත් හුඟක් දේවල් තියෙනවා. ඇත්තට ම, අද දෙමව්පිය-දූ දරු සම්බන්ධතා හුඟක් බිඳිලා ගිහින්. නැත්තං පියෙක්ට පුළුවන්කම ලැබුණේ කොහොම ද තමන්ගේ ලෙයින් උපන් දියණිය දූෂණය කරන්න. එතනින් ම පේනවා අපේ රට කොයි තරම් දුරකට පිරිහිලා ද කියලා.
තවත් කියන්න නං හුඟක් දේවල් තියෙනවා. මොකද මේක හුඟක් කතා කළ යුතු මාතෘකාවක්. සමාවෙන්න ඕනේ ආපු පළවෙනි දවසේ ම දිග කොමෙන්ටුක් පළ කළාට. මේ ගැන තව දුරටත් කතාබහ කරනවා නං හොඳයි. මොකද යහපත් වෙනසක් සිදු කරන්න කාලය ඇවිත්. හැමෝම එකමුතුව එයට මුහුණ දිය යුතු යි.
ධාරා..
Deleteස්තූතියි අගනා අදහස් දැක්විමට..
ඇත්තටම මේ සිදුවිම මෙහි පළමු සිදුවිම නොවේ . මෙවන් ස්ථානවල තවත් මොනතරම් ප්‍රමාණයක් සිදුවී ඇද්ද? ඒ සියල්ලම සිදුවෙන්න හේතුවෙන්නෙ දෙමාපිය දූදරු සම්බන්ධතා ලිහිල් විම නිසාකියලයි මට හිතෙන්නේ.
අනෙක් අතතට මෙහි ගැඹුරින් විමසිය යුතු කරුනු කාරනා ගණනාවක් තියෙනවා. ඒ කරුණු අතර වර්තමානයේ පොලිසිය සහ ප්‍රාදේශිය වාර්තාකරුවන් අතර තියෙන සම්බන්ධතාවයන් මෙවන් හෙළිනොකළ යුතු පුවත් වලට මුල් තැන දිම ඒක හේතුවක්.. මේවා සියල්ල අන්තිමේදී බරපතල සමාජ ගැටලු නිර්මාණය කරනවා.
//අඩුම තරමින් සහෝදර සහෝදරියන් දෙතුන් දෙනෙක් ඉන්න ගෙදරක ඔවුන් දෙතුන්දෙනා පවා එකට කෑම මේසෙදි හමුවන්නෙ නැති තරම්. හැමෝම දැන් පුරුදුවෙලා තියෙන්නෙ තමතමන්ගෙ වැඩකටයුතු ඉවර කරපු ගමන් තමතමන්ගෙ කාමරවලට වැදී දොරගුළු ලාගෙන ජංගම දුරකතනය, ලැප්ටොප් එක, එහෙමත් නැත්නම් පරිගණකය ඉදිරියේ තමතමන්ගේ තනා ගත් නිර්වින්දනීය වූ ලෝකවල තනිවිම..
ReplyDeleteමාත් ගෙදර හිටියොත් මේකම තමා...
අනේ මංදා මිදෙන්න ක්‍රමයක් ඇත්තෙම නෑ වගේ..
තරියා..
Deleteමොන තාක්ෂණයත් තිබුණත් අපි අපේ මේ සම්බන්ධතා රැක ගැනිම මෙවන් ගැටලු අඩුකර ගන්න හැකි එක් ක්‍රමයක්.
ස්තුතියි අදහස් දැක්විමට එක්විම ගැන
මේ සින්දුත් ලඟින් යනවා.
ReplyDelete1. දෙතොල නොකී දේ - කපුගේ
2. කිරිකෝඩු සමනලී - සමන් ජිනදාස
අනිත් පැත්තේ කතාව
3. ආගන්තුක කුරුල්ලා - සුජාතා (?)
4. බුදුන් වඳින මේ දෑතින් (අනුලා-ඉන්ද්‍රචාපා ?)
කතන්දර..
Deleteමේ ගැන නම් තව සින්දු ගොඩක් තියෙනවා ඒත් මම තෝරගත්තේ මේ අදහස ප්‍රකාශ කිරිම සඳහා මාර්ගයක් සකස් කර ගැනිමට.
ස්තූතියි අදහස් දැක්විමට
මට නම් ලිහන්න තියෙන මල්ල කලින් ඔබල බලන්න ඕන කමක් නෑ.........
ReplyDeleteපුදුමෙකට වගේ අදම මටඔහොම ගෙස්ට් හවුස් එකක් කරන කොල්ලෙක් සෙට් උනා ගැරේජ් එකකදි..
දන්නවද පොර ගෙස්ට් එකක් කරනවා, කාම 6ලු තියෙන්නෙ.. එක රූම් එකක් 800/-
දන්නවද මාසික ආදායම ?? ලක්ෂ 1.50 - 2 පන්නනවා කිව්ව.. මට හිතාගන්නවත් බෑ නිකන්ම ඉඳන්
යසිත්..
Deleteඅද මගතොටේ දකින "රූම්" වචනය යොදා ඇති මග තොට දකින හැම තැනම නොකියා කියන පුවත් ඒක තමයි. මේවා ව්‍යාපාරික අරමුණින් නිත්‍යානු කුලව කෙරෙන දේවල් සල්ලි නිසා පරපුරක් අතරමං වෙනවා.
දැන් ළමයින්ව පරිස්සම් කරගන්න හිතනකොටත් .... බයයි ..සින්දු ටිකනම් ලස්සනට ගලපලා ලිපිය ලියලා තියනව
ReplyDeleteස්තුතියි ලිපියට
ලොකු ජෝන්..
Deleteඅදහස් ප්‍රකාශ කිරීමේ එක ක්‍රමයක් ගිතය ඇසුරින් අදහස සාකාඡ්චඡාවට බදුන් කිරිම. මට හුරු ඒ ක්‍රමයයයි.
ස්තූතියි අදහස් දැක්විමට
මට නම් හිතාගන්ටත් බෑ දයා සිනමා ශාලාවක් ඇතුලේ මේ වගේ දෙයක් උණා කියලා. අනෙක ඔය වයසට එද්දි, යාන්තම් හරි තමන්ට මොනවද වෙන්නේ කියන එක ගැන අවබෝධයක් තියෙන්ට ඕනි. තමන්ගේ කැමැත්ත ඇතිව ඒ වගේ ගමනක් යනකොට දෙපාරක් කල්පනා කරන්ට ඕනි කියලයි මට හිතෙන්නේ.
ReplyDeleteපාසැල්වල ලමයින්ට ලිංගික අධ්‍යාපනයක් යම් තරමකට හරි ලැබෙනවා නම් හොඳයි . ඒත් අද කාලේ ඔය ගැන ඉගෙනගන්ට ඕනි තරම් වෙනත් මාධ්‍ය තියෙනවනේ. මෙච්චර පත්තරවල ඔයවගේ දේවල් පලවෙද්දිවත් ගෑනු ලමයෙකුට ඒ ගැන බයක් හිතට එන්නේ නැද්ද?
බොහෝ දුරට දෙමව්පියනුත් මෙ තත්වයට වග කියන්ට ඕනි. තමන්ගේ ලමයි දැනුවත් කරනවා වගේම එයාලා යන, එන තැන් ගැන හොයලා බලන එකත් එයාලගේ වගකීම සහ යුතුකම.
ඉදිරිපත් කරලා තියෙන ගීත දයාගේ ලිපියෙන් දක්වන අදහස්වලට තවත් යමක් අලුතෙන් එකතු කරනවා.
නන්දා මාලිනිගේ ගීය හරිම ලස්සනයි.:)
පොඩ්ඩි...
Deleteමෙවන් හේතු කාරණා වැඩිවෙන්න දෙමව්පිය දූදරු සම්බන්ධතා ගිලිහෙමින් පැවතිම ලොකු හේතුවක් වෙනවා. මිනිස්සු කාලානුරූපව යාන්ත්‍රික වන බව ඇත්ත ඒත් ලිංගිකත්වය ගැන උගන්වන්නෙ නැති රටක අඩුම තරමින් දරුවෙකුට මෙයින් මගහැර යන්න වත් කියල දෙනව නම් ඒක ලොකු දෙයක්.
මාධ්‍ය ගැන හෝ නිතිය ගැන දැනුමක් නෑ කියන්න බැරි මේ වකවානුවේ මේ හැම දෙයක්ම අංග සම්පූර්ණ වන නිසා. එතකොට මෙවන් දරුවෝ මේ ගැන නොදන්නවා කියන්න බෑ තමයි. නමුත් වැඩිහිටියන්ගේ වගකිම ඒ ගැන විමසිලිමත්වන එක.
අදහස් ප්‍රකාශ කිරීමේ දී ගිතය භාවිතා කිරිම හොඳ ක්‍රමයක් වර්තමානයේ. ඕනෙ පැත්තකට යොමු කරන්න හැකියි.
ස්තූතියි පොඩ්ඩි මේ අදහස් දැක්විමට
ඇත්තටම මේ ගැන විස්තරය දුටුවම පුදුමයට පත් උනා මෙවැනි ස්ථානයක මෙවැනි දෙයක් සිදු විය හැකිද කියා . ගෑණු ලමයෙක් උනාම මීට වඩා කල්පනාවෙන් වැඩ කරන්න ඕනෙ . නූගත් කෙනෙක් උනත් තමන්ට රැක ගතයුතු දේවල් තිබෙන බව නොතේරෙන්න තරම් පොඩි ලමයෙක් නෙමේනෙ .
ReplyDeleteමේ සිදුවීම අලලා දයා ඉදිරිපත් කරල තියන ගීත හරිම ලස්සනයි .
ගිම්..
Deleteදරුවෝ කරදරේ වැටෙන්නේ දැනුවත්වමයි. සැනෙකින් හිතට එන හැඟීම්වලට මුලාවිම මතයි වැරැද්ද. නමුත් වැඩිහිටියන්ගේ වගකිම දරුවන් ගැන මීට වඩා විමසිලිමත්වන එක.
සුපිරි පොස්ට් එක. ලංකාවෙ ලිංගිකත්වය කියන මත්තෘකව හරි පටුයි. මෙ මන් දැක්ක විදිහ
ReplyDeleteරස්තියාදුකාරයා..
Deleteඔව්, වැඩිහරියක්ම දිනපතා සිදුවෙන්නේ ලිංගික හිංසාකාරී ක්‍රියා. ඒත් එළිපිට ඒගැන කතාකරන්න බයයි.
සිංහල බ්ලොග් ලෝකයත් ක්‍රමානුකූලව අනිකුත් මාධ්‍ය වගේම ලිංගිකත්වය ඉස්මතු කරමින් යන බව මගෙ මතය. බ්ලොග් කරුවෝ කීදෙනෙක් අද දවසේ ගැහණියගෙ නිරුවත හෝ අඩ නිරුවත තමන්ගෙ බ්ලොග් ලිපිය කියවන්නන්ට ඇමක් හැටියට යොදලද කියල බලන්න.. බ්ලොග් ලියන කීදෙනෙකුට පුළුවන්ද පලවෙනි ගල ගහන්න ?
ReplyDeleteසරත් ලංකාප්‍රිය
Deleteබ්ලොග් අවකාශයේ ලංගිකත්වය සාකච්ඡා වට බඳුන් කිරීම තුළ වැරැද්දක් දකින්නෙ නැහැ. නමුත් මෙවැනි රටක යොවුන් වියේ පසුවන අයට ලිංගිකත්වය පිළිබඳ මිට වඩා අවබෝධයක් තිබිය යුතුයි වර්තමානයේ. නමුත් එවැනි දැක්මක් නැතිවිමත් මෙවැනි සමාජමය ගැටලු වැඩිවිමට එක හේතුවක්.
ස්තූතියි බෙහෙවින්ම
කොච්චර තාක්ෂණය පැත්තෙන් දියුණුවක් ලැබුවත්, අපි යන්නේ බුද්ධිය පැත්තට නම් නෙවෙයි. සමාජ බන්ධන දුර්වල වීම තුල තරුණියන් තමන්ගේ පෙම්වතාව අන්ධ ලෙස විශ්වාස කරන්නට පෙළඹෙනවා කියන කතාව ඇත්තක් කියලා මටත් හිතෙන්නේ. ඒ වගේම යොවුන් ආදරය ගැන ලංකාවේ තියන ආකල්පය හරිම ගතානුගතිකයි.
ReplyDeleteහැබැයි මේ සිද්ධියට සම්බන්ධ දෙන්නම බාල වයස්කාරයන් නම් එතන තියෙන්නේ වෙනම ප්‍රශ්නයක්.
තිසර..
Deleteවර්තමානයේ ආදරය, විවාහය, ලිංගිකත්වය, පිළිබඳ ලංකාවේ පවතින ආකල්ප ක්‍රමානුකූලව වෙනස් විය යුතුයි. මොන ආකාරයටද වෙනස් විය යුත්තේ කියන කාරණය වෙනම සාකච්ඡා කළ යුත්තක්.
මේ සිද්ධියේ දැරිය වයස 15 යි ඒකයි මේ කේස් එකට "ස්ත්‍රී දූෂණය" යන වරද සම්බන්ධයෙන් චෝදනා ලැබුවේ.
ස්තූතියි අදහස් දැක්විම ගැන.
අද සමාජය දිහා බලනකොට වෙලාවකට ඇති වෙන්නේ මහා කලකිරීමක්....
ReplyDeleteදිලිනි
Deleteසමාජය තුළ හරවත් කතිකාවක් ඇතිවිම සිදු වුව හොත් මේ තත්වය මිට වඩා වෙනස් යහපත් අතට හැරේවි.
මේක කතා කරන්න ඕනෙ සංස්කෘතික සීමාවෙන් එහාට ගිහින් කියල මට හිතෙන්නෙ... ගැහැණු ළමයි පරිස්සම් වීමමද කරන්න තියෙන එකම දේ කියන එකත් එක ප්‍රශ්නයක්... මොකද ඕනෙ තැනකදි මුලින්ම කියවෙන්නෙ ඇයි මේ ළමයා මීට වඩා පරිස්සම් නොවුනෙ කියන එක... මෙතන වැඩි වැරැද්ද තියෙන්නෙ 18ට අඩු ළමයින්ගේ නෙවෙයි... 18 වැඩි අප ඇතුලු සමාජයේ.. විශේෂයෙන් වැඩිහිටි සමාජයේ... මට හිතෙන්නෙ එහෙමයි...
ReplyDeleteහිරු..
Deleteලංකාව වගේ රටක ගැහැණුළමයි පරිස්සම් වෙනවා වගේම වැඩිහිටියනුත් ඒ පරිස්සම සම්බන්ධයෙන් වගවිමක් වෙන්න ඕනේ. මොකද ලංකාව වගේ රටක විවාහය වගේ කාරණාවකදි වඩාත් ගැඹුරු සමාජ සාරධර්ම තවමත් සළකනවා ඒක වෙනස් කරන්න බැහැ.
ස්තූතියි හිරුටත්.
අද වැඩි හරියක් මාධ්‍ය බ්ලොග් ඇතුළුව කරන්නේ කුණුවල ඉහගෙන කෑමයි.. කුණු රසයට මනුස්සයාගෙ කුණු ආසාව අවුස්සලා තමුන්ගෙ ප්‍රකාශනය ඉස්සරහට දාගන්නවා.
ReplyDeleteසරත්..
Deleteමාධ්‍යකලාව තුළ ඇතිවි තිබෙන තරඟකාරීත්වය ඒ කලාව වෙළඳ භාණ්ඩයක් බවට පත්වෙලා. එතකොට සමාජ සාරධර්ම පිරිහෙනවා වෙළදාම ඉස්මතුවෙනවා.
ස්තූතියි ඔබටත්.
දයා....මට නම් හිතෙන්නේ මෙහෙමයි.පල්වෙන වතුර ටැන්කියකින් තමයි කුනුවෙන කොටස් එක එක උඩට එන්නේ.ඊයේ පෙරේදා මාබල් බීච් සිද්ධියත් වක්‍රව ලිංගිකත්වය හා බැඳුනු සිදුවීමක්නේ.මේවා සමාජ ආකල්ප,සමාජ විනය යනාදී සෑම අංගයකම කඩා වැටීම් තුලින් එලියට එන කොටස්.මේවා සිනමාශාලාවේ බොක්ස් සීට්ස් තහනම් කරලා නවත්වන්න පුලුවන් දේවල් නෙමේ.සමස්ථ ආකල්පයන්ම වෙනස් නොවුනහොත් මීට වඩා ලිංගිකත්වය හා බැඳුනු අපරාධ නිතර නිතර අහන්න වේවී.ආකල්පමය වෙනසක් ඇතිකිරීම සුලුපටු කාර්යයක් නොවන නිසාත් ඒ සඳහා සහ සම්පූර්ණ සමාජ සංශෝධනයක් විය යුතු නිසාත් කනගාටුවෙන් උනත් මේවා අහන්න බලන්න වේවී.නීතිය ක්‍රියාත්මවීම ගැන නම් කථා නොකරම ඉමු.
ReplyDeletearu....
Deleteසංස්කෘතිකමය වෙනසක් සමාජයේ සිදුවුවත් විවාහය වැනි කාරණයකදී සමාජ ගති පැවතුම් වෙනස් කිරිමට තවත් සියවස් ගණනක් යාවි ඒ වෙනස ඇතිකිරිම ලේසියෙන් කරන්න බැහැ.
නීතියේදී බොහො විට පැමිණිල්ල විසින් සාධාරන සැකයෙන් ඔබ්බට චෝදනාව ඔප්පු කළ යුතුයි. එවිටයි. වැරදිකරුට දඬුවම් කළ හැකි වන්නේ. ඒත් ස්ත්‍රී දූෂණ චෝදනාවලදී බොහෝ අවස්ථාවන්වල වරදට ලක්වූ තැනැත්තිය නිහඬයි. ඒක සමාජමය ගැටලුවක්.
දයා මල්ලී, මේ සඳහා ලියන්නට දේ නම් බොහොමයි. ඉඩහසරක් නෑ මේ ටිකේ. මේ දරුවන් අද මේ තත්වයට පත්වෙන්නෙ දෙමාපිය හා අධ්‍යාපනයේ වරදින් මයි. දෙමාපියන් දරුවාට සමාජය ගැන අවබොධයක් දෙන්නේ නෑ. අධ්‍යාපනයෙන් ලිංගිකත්වය කියා දෙන්නෙ නෑ. හදබැඳි ගී එකතුවට තුති!
ReplyDeleteචාන්දි...
Deleteවර්තමානයේ ආදරය, විවාහය, ලිංගිකත්වය, පිළිබඳ ලංකාවේ පවතින ආකල්ප ක්‍රමානුකූලව වෙනස් විය යුතුයි. අධ්‍යාපනික වශයෙන් දැනුවත් විය යුතුයි. වර්තමානයේ යොවුන් වයසේ දරුවන් වෙනත් මගක යන්නේ ඒ නිසා..
ස්තූතියි.
සින්දු ටික ලස්සනයි
ReplyDeleteකතාව සෝක ජනකයි
බලන් ඉන්නවට පුදුමයි
රට යන අත භයන්කාරයි
මැලේරාල
Deleteඇත්ම තමයි. ඒත්
නිහඬතාවය තවත් බයයි
හැඟීම් වලට වහල් වෙලා තීරණ ගත්තාම දුක් විඳින්න වෙනවා. ඒත් කොහෙවත් යන අපරාධකාරයෙක් නිසා අහිංසක ජීවිත සදාකාලිකව සමාජයෙන් ගැරහුම් නින්දා ලබනකොට ඒ මනුස්සයට (අපරාධකාරයට) නීතියෙන් දඬුවම දුන්නට පලක් තියද...?
ReplyDeleteසිංදු ටික රසවත් පංකාදුයි.
පැතුම්..
Deleteඅන්න ඒක තමයි මමත් මෙතැනදි කියන්න අත්සාහ කළේ.. මේක බරපතල සමාජ ගැටලුවක් බවට පත්වන්නේ එවැනි හේතු නිසා.
ස්තූතියි පැතුම්
මේවැනි අවාසනාවන්ත සිදුවීම් වෙන්න එක මුලික හේතුවක් තමයි පවුල කියන ඒකකය තුල දැන් තියෙන දුරස්ථ බැදීම.රස වින්දනයක් නැති,මානුෂිය බැදීම් නැති යාන්ත්‍රික සමජයක මෙවනි දේ වැඩි වශයෙන් වාර්තා වීම පුදුමයකුත් නොවේද...?
ReplyDeleteඅනික තමයි සංස්කෘතික සීමා අස්සේ අනිසි ලෙස හිර වෙලා නිවැරදි ලිංගික අධ්‍යපනයක් රටේ පාසල් දරුවන්ට නොලැබීම.
මනෝජ්...
Deleteඇත්තටස ඉස්සර පවුල්වල බැඳිම තිදින් තිබුණා දැන් බොහෝ සෙයින් ඒවා ගිලිහෙනවා. කතාබහ කරනු වෙනුවට සහෝදර සහෝදරියන් පවා කෘතිම ලෝකවල තනිවෙනවා. මෙවන් ගැටලු වැඩිවෙන්නෙ ඒ නිසා.
සිනමා ශාලාවක බොක්ස් එකක් තුල මෙවැනි සිදුවීමක සිදුවුනා යයි පුදුම වීමට තරම් දෙයක් මා දකින්නේ නෑ. මන්ද බස්රථයක, ගෝල්ෆේස් එකේ,විහාරමහාදේවී පාක් එකේ පමණක් නොව කෝච්චි ස්ටේශමේ බංකු මත පවා බාල,තරුණ පමණක් නොව ඇතැම් විට මහලු පෙම්වතුන්ගේ ජුගුප්සාජනක හැසිරීම් අනන්ත දැක ඇති බැවිනි. එවන් විවෘත ස්ථානවලදී එසේනම් සංවෘත බොක්ස් එකක් තුලදී...... මෙය විය නොහැකිද?
ReplyDeleteනීතිය අබ්බගාත වූ , ජීවන වියදම අහස උසට ගිය, විරැකියාව ඉහලටම ගිය, ඉච්චා භංගත්වයට ලක් වූ ,සියල්ල දේශපාලනීකරණය වූ සමාජයක වෙසෙන ජනතාවක් තුලින් සාරධර්ම හා අධ්‍යාත්මික ගුණවගාවන් බලාපොරොත්තු විය හැකිද...?
ඉවාන් පුව්ලූෂා
Deleteමෙවන් තැනක මේ සිදුවිම මුල්ම එක නොවන්නේ ඒ නිසා. මේක තටු ලැබුණ පෘවෘත්තියක් වුනේ ඒක විසඳගන්න පොලිසියේ පිහිට පැතූ නිසා. අන්තිමේදි මේ පවුලේ සියලු දෙනාට පාරෙ බැහැල යන්න බැරි තරමට වැඩේ සිද්ද වුණා.
විහේෂයෙන්ම නූතන සමාජ ක්‍රමය වෙනස් වුනත් මිනිසුන්ගේ සමාජ ගැටලු එතැනමයි . ඔබේ අදහස හරි.
ස්තූතියි.
අද ටිකක් වෙනස් මාතෘකාවක ලිපියක්. සමාජ සිද්ධියක් ගීත කීපයක අරුත් එක්ක සබඳලා. මටත් හිතෙන්නෙ වර්තමාන සමාජයේ මිනිස්සු මැෂින් බවට පත්වීමත් නොනවතින දිවිල්ලත් නිසා මිනිස් ගුණදම් පරිහානිවෙලා අම්මා තාත්තා සහෝදරියන් නොහදූනන තත්වයට වැටිලා.
ReplyDeleteඅර ලිපියේ රතුපාටින් තියෙන ස්ත්‍රී දුෂණ චෝදනාවට කොටස කියනවකොට මට පොඩි සිද්ධියක් මතකය ආව. සීමාවාසික කාලෙ ළමා රෝග වාට්ටුවෙ අවු 4-5 විතර පොඩි එක්කෙනක් ඇතුල්වෙලා හිටියා. පොඩි එක්කෙනා ලඟ හිටියේ අම්මා. අම්මගෙ වයස අවු 19ක් බව අපට සොයා ගන්න පුළුවන් වුනා. ළමයගෙ වයසයි අම්මගෙ වයසයි අර නීතියයි බලද්දි මෙය ස්ත්‍රී දූෂනයක් (දැන් ඔවුන් ව්වාහ වෙලා සිටියත්). දැන් අපට ආව ගැටළුව මේක රෝහල් පොලීසියට කියනවද නැද්ද කියන එක. මානුෂීය පැත්තත් නීතියත් දෙපසට දෝලනය වෙන තත්වයක් ආපු නිසා අපි වාට්ටුව භාර ළමා රෝග විශේෂ වෛද්‍යතුමාගේත් උපදෙස් පැතුවා. අවසානයේ රෝහල් පොලීසියට ඒගැන දන්වන්න තීරණය වුණා.
තොටියා...
Deleteනීතිය ක්‍රියාත්ම වෙන්න තිබුනේ කලින් ඒත් දෙන්නා විවාහ වුණාට පස්සේ නිතිය ක්‍රියාත්මක විම තවත් ගැටලුවක් බවට පත්වෙනවා.
ගීත ටික යොදාගත්තේ ඒ හැරන්න වෙන ප්‍රකාශන මාධයක් සොයාගත් නොහැකි වුණ නිසා.
ස්තූතියි
සින්දු සමඟ අදහස් ගොනු කරලා තියන ආකාරය සිත් ඇදගන්නා සුළුයි..ඔබේ අදහස පැහැදිලියි..
ReplyDeleteමේ ගැන මගේ තියෙන්නේ වෙනස් අදහසක්..ඒ ගැන වාද කරන්න මා සූදානම් නොවුනත් මේ ගැන ආපහු සිතන්න කාලය පැමිණ තියනවා..
පළමුව ගැහැණු ළමයා වගේම පිරිමි ලමයා අතත් මේ ගැන ලොකු වගකීමක් තියනවා..බොහෝ දුරට නොදැනුවත්ම ගැහැණු ළමයා මේ සඳහා පොළඹවාගෙන්නේ පිරිමි ලමයායි..ආදරය ඇමට යොදා කරන මෙවන් ඉල්ලීම් වලින් අසරණ වන්නේ ගැහැණු ළමුන්..
අනිත් අතට මෙවන් ලිංගික හැසිරීම් ඇත්තටම වැරදිද? මේ මිනිසුන්ගේ මූලික අවශ්‍යතා නේද? ආරාක්ෂා කාරීව ලිංගිකව එක්වූවොත් එය පිළිකුලට කාරණයක්ද? බාලවයස් දැරියන් මෙ වගේ දේවල් ගැන අවබෝධයෙන් සිටී නම් සමාජය ඒ ගැන පිළිකුලෙන් බලන්නේ ඇයි?
තවත් පැත්තකින් මාධ්‍යට මෙවන් දේ ප්‍රවෘත්ති වෙන්නේ කෙසේද? මෙවන් පුවතක් පලකර අතසෝදා ගන්නාවට වඩා මෙය ප්‍රශ්නයක් ලෙස සලකා එයට විසඳුම් සොයන්නට සමාජයක් ලෙස අපි පෙල නොගැසෙන්නේ අපේ කුහක කම නිසාද? අපි ප්‍රශ්නයම විස්තර කරමින් එහිම ගැලී සිටිනවාට වඩා මෙහි ඇති සැබෑ අවදානම අඳුනා ගෙන එයට පිළිතුරු සොයන්නට යොමු නොවන්නේ ඇයි?
(මේ අතින් ගත්තාම දයාගේ මේ ලිපිය මම ගොඩක් අගය කරනවා)
ස්තුතයි අසා නොතිබූ ගී කිහිපයක් බෙදාගත්තාට..
වෙනදට අපි ඇවිත් කියවනවට වඩා වෙනස් විදිහෙ ලිපියකින් අද අපිට කතා කරල.. හැල්මෙ දුවන් යන අද සමාජයෙ මිනිස්සු ගාව මේ මගේ අම්මා..අක්කා..නංගි යන සිතුවිලි අමතක වෙලා ගිහින්.. මනුස්ස කම කළුනික වගේ වුන තැනක අපි හුස්ම ගනිද්දි මේ දේවල් ගැන කතා කිරිම උච්තයි..අගය කරනව මේ අකුරු නිමැවුම මා බොහෝ ලෙස.
ReplyDelete