එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Tuesday 3 March 2015

෴ තරුවලටත් මග කියාදුන් ගුරු තරුව ෴

 





මානව වාදී ගුණයෙන් යුත් කලාකරුවන් යයි කියන්නට පුලුවන් කලාකරුවන් හමුවන්නේ කලාතුරකිනි. බොහෝ කලාකරුවන් ජනතාව ඉදිරියේ තම ජනතාවාදී බව පෙන්වා ඒ ආලෝකයෙන් ලබාගත් ශක්තිය වරදාන වරප්‍රසාද තනතුරු හමුවේ උගසට තැබීය. එහෙත් ඔබ සියලු දේ අහිමිව ගියද ජනතාව අතනොහැර ඒ පිලේම එකට වාඩිවිය. තරු බබලවන රටක, දිදුලන තරු දිහා ඈතට වී සිනාමුසු මුහුණින් සරල මිනිසකු ලෙසින් ඒ දෙස බලා සිටියේ උපේක්ෂා සහගතවය. ජනප්‍රියත්වය සහ මුදල් මෙන්ම විසිතුරු ඇඳුම් ආයිත්තම්ද ඉලෙක්ට්‍රොනික් මෙවලම්ද කලාව ජනතාව අතරට ගෙන යාමට අත්‍යවශ්‍ය සාධක නොවන බව තහවුරු කර පෙන්වූ අවස්ථාවන් බොහෝය.තරුණ ජීවිතය කැපකළේ 1971 කැරැල්ල වෙනුවෙනි. සිරගෙදර, යකඩ සපත්තු, අවලාද, බැටන් ප්‍රහාර අලුත් දේවල් නොව ජීවිතයේ යම් දිනෙක මිනිසකු විසින් එකම දවසකවත් විඳිය යුතු අත්දැකිම් බව කියා දුනි.
 
මිනිසුන් ඉදිරියේ ගී ගැයිමට වේලාව අවේලාව යන්න විමසනවාට වඩා ඒ ගී ගැයිමට උදාවන හැම මොහොතම බොහොම ආදරෙන් සිප වැළඳගත් අවස්තාවන් එමටය. අරමුණ සතුරාට එරෙහිව සටනට වැදිම නම් එහි ජයටැඹ නොපෙනුනද සටනට එළඹුනි. ජීවිතේ අවදානම ගත් අවස්ථාන් ද මද නොවේ.
 
ඔබ සතුවූ හොඳම ගීත සියල්ල මානවදී කලාවේ උතුම් අරමුණු වෙනුවෙන් පෙරළා ඒ නිර්මාණකරුවන්ට පවරා ඒ ගමන්මගට ඔබද අත්වැල සැපයීය. එවන් කැපකිරීම් කළ කලාකරුවන් බොහෝවිට හමුවන්නේ සාහිත්‍යයෙනි. ඇතැමිවිට ඒ රුසියානු සාහිත්‍යයේ එන චරිත අතරිනි. ඒදා ඒ රුසියානුමහා කලාකරුවෝ පොතපත ලීවේ. එවන් කලාත්මක චරිත තුළ ගොඩ නැගෙන අවියෝජනීය මිනිස් සබඳතා වඩාත් ශක්තිමත්ව පෙන්විමටය.
 
යුක්රේයේ දුර ඈත ගම්පියසක තැනිතලාවේ ස්ටෙප්ස් තණ බිම් හමායන ශිත කුණාටු අතරින් ගම් නියම්ගම් දක්වා පාගමනින් ඇවිද ගිය ගායකයන් වාදකයන් මෙන්ම ලේඛකයන්ද මා සැබැවින්ම දුටුවේ ඔබේ අව්‍යාජ චරිතය තුළිනි.

ඔබ ජනතාවට හිතකර වන්නවා වූ සමාජයක් උදෙසා කලාව වෙනුවෙනුන් කළ කැප කිරීම් බොහෝය.ජීවිත අවදානම ගත් අවස්ථාවන් බොහෝය. සාධුජනරාව, ගී රසවින්දන, වගේම වකුගඩු රොගයෙන් පෙළෙන උතුරුමැද ගම්දනව්වල අහිංසක මිනිසුන්ගේ ඇස උපන් එකම කඳුලු බිඳුව පවා පිසලන්නට අපමණ වෙහෙස දැරූ කලාකරුවා ඔබම පමණය. කිසිඳු අරුතක් නැති කලාකරුවන්ගේ ජීවිතවලින් ඔබ්බට ගොස් ජීවිතයට අරුතක් ගෙන හැර පෑවේද ඔබමය.
2005න් පසු අද දක්වා තක්කඩි පාලකයෙකුට එරෙහිව තනිවම සටන් වැදුනේ ඔබම පමණය. රැයක් දවාලක්, නැතිව නින්දා ප්‍රශංසා ගැරහුම් විදිමින් ජීවිතයෙන් පළා නොගිය කුරිරු පාලනයට එරෙහිව ගැඹුරුම හඬ මෙහෙය වූයේද ඔබමය. ඒ පාලකයා දරදඬු වෙද්දී ඔබ ඔහුට අභියෝග කළේය. මේක අවදානමක් නේද කියද්දී නැහැ බියෙන් අත්මිදෙන්නට නම් සතුරා සමග සටන් කළ යුතුයිකීවේද ඔබමය. ඒ නිසාම බියෙන් අත්මිදෙමු ප්‍රසංගය රැගෙන ගම් දනව් පුරා ඇවිද්දේය.රෙජීමයට එරෙහි මුගුර ඔඔබේ හඬවිය. එහි කෙළෙවර වූයේ වීදියේ විරෝධය යි. ඔබ එහි කොටස්කරුවාය.
 
අද ලැබූ ජයග්‍රහණයේ අයිතිකරුවන් ලෙසින් කොතෙක් සිටියද ඔබ සිටින්නේ ඒ සියලු දෙනටම ගව්ගණනක් ඉදිරියෙනි. හෙට දවසේත් තනතුරු වරදාන වරප්‍රසාද හමුවේ හිස නොනමන එකම කලාකරුවා වන්නේ ඔබමය. දික් විඳින මිනිසුන් වෙනුවෙන් ගීයක් ගැයිමට සතපහක් නොඉල්ලා පෙරට එන කලාකරුවාද ඔබමය. අද ලැබූ මේ ජයග්‍රහණයේ කොටස්කරුවන් අතර කලාකරුවකු ලෙස ඔබ ඉටු කළ අප්‍රමාණ වූ මෙහෙය වෙනුවෙන්ද මානව වාදී කලාවක පූජනිය කලාකරුවා ඔබම වන හෙයින්ද ඔබ ඉටුකළ මෙහෙය වෙනුවෙන් මේ සටහන අද මා ලියා තබන්නේ මේ සඳහා අද හැර සුදුසු දවසක් තවත් නොමැති බැවිනි.

ජයතිලක බණ්ඩාරයනි, මුදලට විකුණන්නට බැරි කලාත්මක වූත් සොඳුරු වූත් හදවතක් ඇති එකම කලාකරුවාද, කලාවෙන් ඉටකළ හැකි මෙහෙය ගැන තරුවලටත් මග කියාදුන් ගුරු තරුවද ඔබම බව ආදරයෙන් මෙහි ලියා තබමි. ඔබට දීර්ඝායු වේවා!

7 comments:

  1. ඔහුගේ සංවාද, සම්මන්ත්‍රණ, කීපයක් තුළින්, ඔහු අපූරු මිනිසෙකු බව, මටත් වැටහුණා.

    ReplyDelete
  2. දකින්නට වරම් නොලදත් මමත් මගේ උපහාරය ඔහුට පුදන්නම්..

    ReplyDelete
  3. දයානන්ද අය්යේ මේක දෙපාරක් තුන් පාරක් කියවන්න ඕනා ....හැමදේම මුදලට විකිනෙන මේ සමාජයේ බේරිලා ඉන්න එකත් ලොකු දෙයක් ..අපුරු මිනිසෙක් ගැන අපුරු ලිපියක් ..ජයවේවා !!!

    ආ.......ආ.......//
    අප කොහේද මේ යන්නේ
    රට කොහේද මේ යන්නේ
    කොතැන තිබෙන වරදක්දෝ
    කවදා වුනු වරදක්දෝ
    කවදා කොතැනක කවුරු කරපු වරදක්දෝ
    ආ.......ආ.......//
    මුලු ලොවටම ආදරය කරන්නට
    හැකි මිනිසුන් බිහිවන මතු දවසක
    ඔබත් සිනාසී..මමත් සිනාසී..
    ලොවම හිනාවෙන ඒ දවසේ..
    මුලු ලොව ඔබට කියයි මෙලෙසින්'
    මම ආ..දරෙයි....


    ගායනය - ජයලත් මනෝරත්න
    නා‍ට්‍ය‍ය‍ - ගුරු තරුව

    ReplyDelete
  4. සොඳුරු කලා කරුවෙක් ගැන ලියැවුන අපූරු සටහනක් දයා මල්ලී. දීඝායූ වේවා! දෙන්නාටම.

    ReplyDelete
  5. ඔබට ස්තූතියි... අැත්තට ම ඒ ගෞරවය පිදිය යුතුම පුද්ගලයෙක් ජයතිලක බණ්ඩාරයන්.... අවුරුදු කීපයකට උඩදි ළගින් අැසුරු කරන්නට සහ ඒකට වැඩ කරන්නට ලැබුණු නිසා මේ මහා පුරුෂයාව මනාව දුටුවා.... ඔහු අදත් ඒහෙමමයි..... ඒ ගමන ඔහුගේ ජීවිතයයි............... අායෙමත් මේ වචන වලට ස්තූති කරන්න කැමතියි

    ReplyDelete
  6. ජනතාවාදී ගායකයො මෙච්චරයි මම හිතන්නෙ ලංකාවෙ ඉන්නෙ...අනිත් උන් නමට ජනතාවාදී...

    ReplyDelete
  7. දුටු මුල් දිනයේ ඔහු පැය දෙකක් එක දිගට කළ ගායනය අසා ඉතාමත් පැහැදීමක් ඇති වුණා! නියම කලාකරුවෙක්!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...