අන්ගාරා ගඟ ගලා බසී වේදිකා නාට්‍ය ලංකාවේ වේදිකා නාට්‍ය ඉතිහාසයේ සුවිශේෂ නාට්‍යයක්. අවුරුදු තිස්පහකට පමණ එපිට සිංහල නාට්‍ය වේදිකාවේ රඟ දැක්වුණ අන්ගාරා ගඟ ගලා බසී නාට්‍ය මුල්වරට වේදිකා ගත වුණේ 1978 වසරේ දී ය. එවකට දර්ශන වාර සිය ගණනකට වැඩි ප්‍රමාණයක් රට පුරා ප්‍රදර්ශනය වෙමින් අවසන් වූ මේ නාට්‍ය නූතන සිංහල නාට්‍ය වේදිකාවට නැවත ලබා දෙන්නත්, ඒ හරහා පුරන්ව ඇති වේදිකා නාට්‍ය යළි අස්වද්දන්නටත් රංජිත් ධර්මකීර්ති නම් වු අග්‍රගණ්‍ය නාට්‍යකරුවා විසින් නැවතත් අන්ගාරා ගඟ ගලා බසී වේදිකා නාට්‍ය කරළියට රැගෙන පැමිණ සිටියේ මේ සැන්දෑවේදීය.
එදා සිංහල නාට්‍ය වේදිකාවේ රැව්දුන් චෙරි උයන, හිරු නැති ලොව, නාස්තිකාර මහත්තයා, මෝදර මෝල, සහ ආඬිරැලේ නාඩගම රංජිත් ධර්මකිර්ති නාට්‍ය කරුවාගේ සෙසු නාට්‍යයෝ ය. එවැනි නාට්‍යකරුවකුගේ මේ අනර්ඝ නිර්මාණය වූ අන්ගාරා ගඟ ගලා බසී වේදිකා නාට්‍ය අද සිටින නාට්‍ය ප්‍රේක්ෂකයන්ට කුමන ආකාරයෙන් වැදගත් වන්නේද කියන කාරණයත් එක්කම 1979 - 80 දි විතර මේ වේදිකා නාට්‍යය වේදිකා ගත වූ අවස්ථාවක සජිවිව පටිගත කරගත් ගීත කීපයකුත් මුල් නිර්මාණවලින් ම ඒ සජීවි ස්වරූපයෙන් ම ඔබට අහන්නත් ලැබෙන දුර්ලභ අවස්ථාවක් අස්වැන්න තුළින් ලැබෙනවා.
විසිවන සියවස මැද භාගයේදි ඒ කියන්නේ 1960 වගේ කාලයක ඇලෙක්සි අර්බුසොෆ් නම් වු රුසියානු නාට්‍යකරුවා විසින් නිර්මාණය කරන ලද It Happened in Irkutsk ( එය සිදු වූයේ ඉර්කූට්ස් නුවර ය. ) නම් වූ මේ රුසියානු නාට්‍යය යුරෝපයේ රටවල් ගණනාවක විවිධ භාෂාවන්ගෙන් පරිවර්තනය වෙමින් වේදිකාව මත රඟ දැක්වුණා. ඒ සෝවියට් රුසියානු වේදිකා නාට්‍ය සම්පූර්ණයෙන්ම සිංහලට පරිවර්තනය වී වේදිකා ගත වූයේ අන්ගාරා ගඟ ගලා බසී යන නමින්.
මේ කතා පුවතට පාදක වෙන්නෙ සයිබීරියාවේ අගනුවර වන ඉර්කූට්ස්ක්. බයිකාල් විලෙන් ගලා යන එකම ගංඟාව වන අන්ගාරා ගඟ ගලා බසින්නෙ ඉර්කූට්ස්ක් නගරය හරහා. මේ නගරයේ සංවර්ධනය වෙනුවෙන් මහා වේල්ලක් බදින්නට දිවා රෑ නොබලා වෙහෙසෙන ඉදිකිරීම් වැඩ බිමක කම්කරුවන් පිරිසක් අතර ඇතිවන ඉතාමත් සිත්ගන්නා සුළු ප්‍රේමණිය කතා පුවතක් මේ නාට්‍යයට තේමාව වී තියෙනවා. තරුණයන් දෙදෙනෙක් සහ තරුණියක අතර ඇති වන ත්‍රිකෝණ ප්‍රේමයක් රුසියානු සමාජවාදී දේශපාලන ක්‍රමය පසුබිමෙහි තබාගෙන ආදරය, ප්‍රේමය තුරුළු කරගත් මේ නාට්‍ය පැය දෙක හමාරකට ආසන්න කාලයක් පුරා වේදිකාව මත දිග හැරෙනව.
අන්ගාරා ගඟ ගලා බසී වේදාකා නාට්‍ය නාට්‍යමය ජවනිකා 17 ක් සමග ගීත 13 සමග ගීතාත්මක ශෛලියෙන් සංගීතමය නාට්‍යයක් ලෙසින් වේදිකා ගත වෙන මෙය සෝවියට් සමාජවාදී දේශපාලනයේ බිඳ වැටීම එක අතකින් නිරූපණය කරන අතර ම එසේ බිඳ වැටෙමින් පවතින සමාජවාදී දේශපාලන ක්‍රමයක් තුළ මිනිසුන්ගෙ අතීත ආකල්ප බිඳ නොවැටී පවත්වාගෙන යන්නේ කෙසේද යන්නත්, ඒ ඔස්සේ මිනිසුන්ගෙ සිත් ප්‍රේමයෙන් පුරවන්නටත් ආදරයට ආදරය කරන්නේ කෙසේද යන්නත් කියා දෙනව .
![]() |
1978 දී එඩ්වඩ්, සුනිලා, රම්‍යා, දිද්දෙණිය, නීල් අලස්,
මනෝරත්න, සහ ස්විනිතා පෙරේරා වේදිකාවේ
|
එදා මුල් වරට 1978 දි අන්ගාරා ගඟ ගලා බසී වේදිකා නාට්‍ය වේදිකා ගතව තිබුණේ සිංහල නාට්‍ය වේදිකාවේ කීර්මත් වූ මේ රංගන ශිල්පීන් පිරිසත් සමග ය.
වාල්යා - සුනේත්‍රා සරච්චන්ද්‍ර
ලැරීසා - ස්විනිතා පෙරේරා / සෝමලතා සුබසිංහ
සර්ජි - නිශ්ශංක දිද්දෙණිය
වික්ටර් - නීල් අලස්
රෝඩික් - ජයලත් මනෝරත්න
ඒ වගේම මේ නාට්‍ය සඳහා ආචාර්ය අජන්තා රණසිංහ විසින් ගීත 13ම රචකා කර තිබු අතර එදා කේමදාසයන්ගේ සංගීතයට නාට්‍ය වේදිකාව මත සජීවිව රංගනයේ යෙදෙමින් ගායනයේ නිරත වූයේ ටී.එම්.ජයරත්න, අයිවෝ ඩෙනිස්, එඩ්වඩ් ජයකොඩි, සුනිලා අබේසේකර සහ රත්නා ලාලනී ජයකොඩි සහ රම්‍යා වනිගසේකර ඇතුළු ගායන වෘන්දයකි.
අන්ගාරා ගඟ ගලා බසී
අන්ගාරා ගඟ ගලා බසී
පෙමින් පෙඟුණ නව යොවුන් පැතුම්
පෙමින් පිරුණු මදහසින් නුවන්
හැඟුම් උදම් වී පවන් සලන සඳ
එවන් පහන් රොද සෙමෙන් උරා
අන්ගාරා ගඟ ගලා බසී
ඉවුරු තලා පෙණ මුතුළැල් පළඳා
සිතින් සිලිටි රළ තරඟ දිගේ
ඔබ මෙන් අප මෙන් මිනිසුන්
දහඩිය දහරින් කඳුළින් සුසුමින්
ජලයෙන් විදුලිය උපදවනා
විසිවන සියවස විස්කම් දනවන
විදුලිය කම්හල ඉදිකරනා බිම
අන්ගාරා ගඟ ගලා බසී
අන්ගාරා ගඟ ගලා බසී
ගීත පද මාලාව: ආචාර්ය අජන්තා රණසිංහ
සංගිතය : ප්‍රේමසිරි කේමදාස
ගැයුම: ටී.එම්.ජයරත්න, අයිවෝ ඩෙනිස්,
එඩ්වඩ් ජයකොඩි සහ සුනිලා අබේසේකර
අන්ගාරා ගඟ ගිතය මෙතනින් අහන්න
සදාකාලික ප්‍රේම ත්‍රිකෝණයකට මැදි වන වාල්යා, වික්ටර් සහ සර්ජිගේ ආදර අන්දරය සරළ පෙම් පුවතකට සිමා කළ නොහැකි ය. ප්‍රේමයෙන් පිරුණු ජීවිත තුළට ආදරයේ සදාකාලික බලාපොරොත්තු ප්‍රේක්ෂකයන්ට ළඟා කරවයි. නාට්‍ය ආරම්භ වන්නේ නාට්‍ය අවසන් වන ජවනිකාවෙනි. ඉන්පසු නැවත නැවතත් අතීතයටත් වර්තමානයටත් සංක්‍රමණය වෙමින් නාට්‍යයේ කූඨප්‍රාප්තිය ( Climax) කරා ළඟාවේ.
මේ නාට්‍ය සෝවියට් රුසියාවේ වේදිකා ගත වන යුගය වන විට සමාජවාදී ක්‍රමය සහ සමාජවාදි සංස්කෘතිය පැවතියේ බිඳ වැටෙමිනි. එසේ වුවත් විනෝදකාමී ජීවිතයක් ගත කළ වික්ටර් වැන්නෙකු සර්ජි විසින් ගොඩනගන සමාජවාදී දේශපාලන ආකල්ප නිසා මිනිස් ජීවිතය යනු වඩාත් ගැඹුරින් සහ වගකීමෙන් යුතු එකක් බවට වටහා ගනී. ඒ නිසා නාට්‍ය ආරම්භයේ වේදිකාවේ හමුවන වික්ටර් නම් වූ සෙල්ලක්කාර තරුණයා නාට්‍ය අවසන් ජවනිකාවේදී සර්ජි විසින් ගොඩනැගූ සමාජවාදී කොමියුනිස්ට් දර්ශනයේ සැබෑ කොටස් කරුවකු බවට පත්වේ. ඒ අන් කිසිවකු ලෙසින් නොව ආදරයට ආදරේ කරන ප්‍රේමයෙන් පිරුණු පිරිපුන් මිනිසකු ලෙසිනි.
මේ නාට්‍ය සෝවියට් රුසියාවේ වේදිකා ගත වන යුගය වන විට සමාජවාදී ක්‍රමය සහ සමාජවාදි සංස්කෘතිය පැවතියේ බිඳ වැටෙමිනි. එසේ වුවත් විනෝදකාමී ජීවිතයක් ගත කළ වික්ටර් වැන්නෙකු සර්ජි විසින් ගොඩනගන සමාජවාදී දේශපාලන ආකල්ප නිසා මිනිස් ජීවිතය යනු වඩාත් ගැඹුරින් සහ වගකීමෙන් යුතු එකක් බවට වටහා ගනී. ඒ නිසා නාට්‍ය ආරම්භයේ වේදිකාවේ හමුවන වික්ටර් නම් වූ සෙල්ලක්කාර තරුණයා නාට්‍ය අවසන් ජවනිකාවේදී සර්ජි විසින් ගොඩනැගූ සමාජවාදී කොමියුනිස්ට් දර්ශනයේ සැබෑ කොටස් කරුවකු බවට පත්වේ. ඒ අන් කිසිවකු ලෙසින් නොව ආදරයට ආදරේ කරන ප්‍රේමයෙන් පිරුණු පිරිපුන් මිනිසකු ලෙසිනි.
හුළඟක් හුළඟක් පාලු හුළඟක්
කොහන්දෝ පාවේ
අඳුරු කළුවර කඩතුරා
ගඟටඋඩින් සැරි සරා
හුළඟක් පාලු හුළඟක්
පහනින් පහනම නිවී නිවී යන
ගොම්මන් රෑ යාමේ
නවාතැන වෙත ඇය ඇවිදින් නැත
ගොම්මන් රෑ යාමේ
හුළඟක් හුළඟක් පාලු හුළඟක්
කොහන්දෝ පාවේ
ගීත පද මාලාව: ආචාර්ය අජන්තා රණසිංහ
සංගිතය : ප්‍රේමසිරි කේමදාස
ගැයුම: ටී.එම්.ජයරත්න, අයිවෝ ඩෙනිස්,
එඩ්වඩ් ජයකොඩි සහ සුනිලා අබේසේකර
හුළඟක් පාලු හුළඟක් ගිතය මෙතනින් අහන්න
අන්ගාරා ගග ගලා බසී වේදිකා නාට්‍යයේ සංගීත නිර්මාණය පිළිබඳව විශේෂයෙන්ම සදහන් කළ යුතුම ය. ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීත දිවියේ විශිෂ්ඨතම වේදිකා නාට්‍ය සංගීත නිර්මාණය හමුවන්නේ අන්ගාරා ගඟ ගලා බසී වේදිකා නාට්‍යයෙනි. එදා කේමදාසයන් මේ නාට්‍යයේ සංගීතය නිර්මාණය කළේ පර්යේෂණ ආකෘතියෙනි. එනම් මුල් වරට බටහිර සංගීතය යොදා ගැනිම පිළිබදව වූ අත්හදා බැලිමකි. ඒ නිසා අදටත් කේමදාසයන් කළ වේදිකා නාට්‍ය සංගීත නිර්මාණ අතර විශිෂ්ඨතම සංගීත නිර්මාණය අන්ගාරා ගඟ ගලා බසී වේදිකා නාට්‍යය සඳහා නිර්මාණය කර ඇති බව විචාරකයන්ගේ මතයයි.
මේ නාට්‍යයේ සංගීතය සහ ගායනය එහි රංගන ශිල්පීන්ගේ තරමටම වැදගත් තැනක් ගනී. මුළු නාට්‍ය පුරාම නැගෙන්නේ කේමදාසයන් විසින් බටහිර සංගීතය ඔස්සේ මවන ඔපෙරා ශෛලියයි. නැතහොත් බටහිර මුද්‍රා නාට්‍යයේ ශෛලියයි.
විශේෂයෙන්ම රුසියානු ජන සංගීතයේ එනජනප්‍රිය සංගීත භාණ්ඩයක් වූ ස්පැනිෂ් ගිටාරයේ නාදය සමස්ත නාට්‍ය පුරාම භාවිතා කරයි. තාල භාණ්ඩ භාවිතයෙන් තොරව තත් සංගිත භාණ්ඩ පමණක් උපයෝගී කර ගනිමින් රුසියානු සංගීතයේ හරය තුළට කිඳා බැස ස්පැනිෂ් ගිටාරයෙන් දැවන්ත සංගීතමය ආයෝජනයක් සිදුකර තිබේ.
අන්ගාරා ගඟ අසබඩ
කළුවර මැද සුදු තිරයක
සිනමා පටයක් සෙමින් දිග හැරේ
ඉතාලියෙන් මෙතෙර ගෙනා මේ සිනමා කතන්දරේ
සයිකලයක් අහිමි වූ මිනිසකුගේ කඳුළැල්ලයි
ඔහුගෙ සුසුම් වැලපිල්ලයි
සිනමා හල හැම දෑසක් රිදී තිරේ රැඳී රැඳී
අසරණ වූ මිනිසාගේ ඉරියව් හා ඇත වෙලී
ඔහුටත් ඇත අඹුදරුවෝ පාපැදියෙන් දිවි රැකෙනා
එවන් මහඟු බයිසිකලේ හොරෙන් අරන් ගිහින්
රෝම නගරෙ විදි පුරා ඔහුගේ ඒ කඳුළයි
දූලි ගැටෙන නගරය මැද ඔහුගේ ඒ සුසුමයි
ගීත පද මාලාව: ආචාර්ය අජන්තා රණසිංහ
සංගිතය : ප්‍රේමසිරි කේමදාස
ගැයුම: ටී.එම්.ජයරත්න, අයිවෝ ඩෙනිස්,
එඩ්වඩ් ජයකොඩි සහ සුනිලා අබේසේකර
අන්ගාරා ගග අසබඩ ගීතය මෙතනින් අහන්න
එදා කේමදාසයන්ට මේ නාට්‍යයේ සංගීතය නිර්මාණය කිරීමේදී වාදනයෙන් සහය වී ඇත්තේ අර්නස්ට් සොයිසා (ස්පැනිෂ් ගිටාරය), ගුණසේන කුරේ, නිමල් ඩයස්, ක්ලින්ටන් ගුණවර්ධන සහ රොනී ලේටින් ( ඩබල් බේස්) යන වාද්‍ය ශිල්පීහු ය.
එසේ ඒ අතීතය වර්තමාන අන්ගාරා ගඟ ගලා බසී වේදිකාවට රැගෙන එන විට කේමදාසයන් අප අතර නැතත්, කේමදාසයන්ගේ ඒ සුපුරුදු සංගීත රිද්මය දශමයකින් හෝ වෙනස් නොකොට ඒ සංගීත ආකෘතියෙන් ම ඒ ජවයෙන් ම මෙදා ප්‍රති නිර්මාණය කර තිබුණේ සෞන්දර්යය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ශාන්ත පීරිස් විසිනි. එසේම සංගීතඥ ශාන්ත පීරිස් විසින් කේමදාසයන්ගේ එදා ගායන වෘන්දය වෙනුවට සෞන්දර්යය විශ්ව විද්‍යාලයේම සංගීතය හදාරන දක්ෂතම සිසු සිසුවියන් පිරිසක් දායක කරගෙන තිබුණේ දශක තුන හමාරක වෙනස ප්‍රේක්ෂකයාට නොදැනෙන ලෙසිනි.
රැයක් පුරා වැහි වැටුණා .... වැහි වැටුණා
රැයක් පුරා... ඔබ නොනිඳා පහන් කළා
කල්පනා ලෝකේ
සීත සමීරේ ඔබ පය පාමුල
පිනිබර හිමිදිරියේ
පළමු අරුණු රේඛා
පැතිරේ.. පැතිරේ..
හුදෙකලාව පාවෙමින්
තනිකමෙන් ගෙවුණ ඔබේ
තුරුණු දිවිය මේ රැයින්
මේ උදයෙන් නිමවේවි ළදුනේ
ගීත පද මාලාව: ආචාර්ය අජන්තා රණසිංහ
සංගිතය : ප්‍රේමසිරි කේමදාස
ගැයුම: ටී.එම්.ජයරත්න, අයිවෝ ඩෙනිස්,
එඩ්වඩ් ජයකොඩි සහ සුනිලා අබේසේකර
රැයක් පුරා ගීතය මෙතනින් අහන්න
“වික්ටර්: වාල්යා
වාල්යා: මට ඔහොම ආදරයෙන් කතා කරන්න එපා
වික්ටර්: කවදාවත්?
වාල්යා: මම පස්සෙ කතා කරන්නම්
වික්ටර්: එයා ඈතට ඈතට දුවගෙන යනව එයාගෙ දෑස්වල කඳුළු පුරවාගෙන මූණ සිනාවකින් සරසාගෙන, එයා පාලමෙන් එගොඩ වෙලා අන්ධකාරය තුළට දුවගෙන දුවගෙන යනව...එයා කවදා හරි මගේ බිරිද වෙයිද? එයා කවදා හරි මට කැමැත්ත දෙයි ද? ඒත් කවුද ඒක දන්නෙ? ඒක තවත් කතාවක්. තවත් අන්දරයක්. මම මෙතන අතර මග නැවතිලා, මේ පාලම උඩ හිටගෙන එයා දිහාවෙ බලාගෙන මම ඇත්තටම එයාට කොයිතරම් ආදරේද කියල හිතමින් ඉන්න මේ මොහොතේ මේ කතාව අවසන් වෙනව.”
වික්ටර් සෝවියට් රුසියානු සමාජවාදී ක්‍රමය බිදවැටෙද්දි ජීවිතය තේරුම් ගත් මිනිසකු ලෙස එසේ කියද්දී මේ නාට්‍ය අවසන් වෙනව. ඒත් ප්‍රවීන නාට්‍යවේදී රංජිත් ධර්මකිර්ති නාට්‍යකරුවාගේ අන්ගාරා ගඟ ගලා බසී දශක තුන හමාරකට පසුව වේදිකාවට ගෙන එමින් සෝදාපාළුවට ලක්ව ඇති සිංහල නාට්‍ය වේදිකාව යළි සරසනු ඇති සේම මෙන් යුගයක නූතන ප්‍රේක්ෂකයන් හමුවේ ආදරයට ආදරය කරන්නත්, ආදරයෙන් ආදරය ලබන්නත් හැකි සංවේදී මිනිසකු බිහි කරන්නට සමත් වන බව පසක් කරමින් අන්ගාරා ගඟ සිංහල නාට්‍ය වේදිකාවේ දූවිලි සෝදා අනාගතය සොයා ගලා බසින බව ඒ අඳුරු රගහළ තුළ දි මට දැනුණි.෴
පළමු සහ අවසන් ඡායාරූපය රඟහල වෙබ් අඩවියෙනි
විශේෂ ස්තූතිය:
අන්ගාරා ගඟ ගලා බසී නාට්‍යයේ වසර තිස් පහකට එහා පටිගත කරගත් ගීත සියල්ලම ලබා දුන් ස්විනිතා පෙරේරා මහත්මියට




