එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Thursday 22 December 2011

මගේ නත්තල


 ජේසු ස්වාමි දරුවනේ
දුගී පැලේ දිනා
මෙලෝ තලේ දිනූ
ඔබේ දහම් තියේ ද දැන්                                 
දිව නෙතින් බලන්

පැල්පතේ හඬද්දි සා දුකින් දුගී ළමෝ       
මන්දිරේක සාදයක් ය මිහිරි නත්තලේ
එය නොවේ ය ස්වාමිනී ඔබ දෙසූ දහම්
ගොල්ගොතාව කුරුස කන්ද රතු ලෙයින් තෙමා

රන් රිදී මැණික් නොවේ ය ඔබැ සමීපයේ
දළ පිලී විනා දුහුල් නොවී ශරීරයේ
මන්ද මේ විලාසිතාව දේව මන්දිරේ
යලි  ගලීලයෙන් නැගී මෙලෝ තලේ බලන්...

ගේය පද:                                   මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව සහ සංගීත නිර්මාණය:     ස්ටැන්ලි පීරිස්
ගැයුම:                                      නන්දා මාලිනී
 

නන්දා මාලිනිය ගැයූ මේ ගීතය නත්තලට අපූර්ව අරුතක් සපයන ගීතයක්, ඒ නිසාම මේ ගීතය ඇසුරින් නත්තල ගැන ටිකක් ලියන්න කල්පනා කරමි.

 අසිරිමත් වූ නත්තල වෙනුවෙන් කිතුනු බැතිමතුන් තුළ ඇත්තෙ මහත් උනන්දුවක් සහ උද්යෝගයක්. වෙරළ බඩ තීරය පුරා ඇති ගම් දනව් නත්තල් අසිරියෙන් ඇලලී ගිහින්. දවාල වගේම රාත්‍රියත් එකම සැණකෙළියක්, කඩ සාප්පු පසු කරගෙන  තෙරපි තෙරපි එහා මෙහා යන සෙනග අතරින් වාහනයක් ඉදිරියට ඇදෙන්නෙ ඉබ් ගමනින්. අවුරුද්දක් පුරා සිය දාඩිය මහන්සියෙන් උපයාගත් කීයක් හරි අතමිට මොලවාගත් නැති බැරි අය වගේම, අනියම් ක්‍රම වලින් මුදල් උපයාගත්  උදවියත් මේ සූදානම් වන්නෙ අසිරිමත් නත්තලෙහි ජේසු සමිදුන්ගේ උපත සැමරීමට යි. 

වැඩිහිටියන්ට කෙසේ වුවද  මේ නත්තල අයිති දරුවන්ට යි. කඩපිල් කොතරම් සැරසිලි වලින් පිරී තිබුණද, ලස්සන ඇඳුම් ආයිත්තම් කඩ පිල්වල  වීදුරු කුටිවලින් එබී බැලුවද, උඩුකය නිරුවත්, වැරහැලි ඇඳගත් පුංචි එවුන් කඩ සාප්පු දිහාවට එබිකම් කර කර දෙනෝදාහක් සෙනග අතරින් කඩ සාප්පු දිහා එබිල බලන්නෙ අනේ මටත් නත්තල තිබුණා නම් යන සිතුවිල්ලෙන්.
ඇතැම් විට බස් නැවතුම්වල , පදික වේදිකාවල . එහෙමත් නැත්නම් ළමා නිවාසයක සීතලට ගුලිවෙලා නිදාගන්නෙ එහෙමත් නැත්නම් නිදාගන්නවා ඇත්තෙ  නත්තල් දවසෙ රෑට නත්තල් සීයා මටත් පුංචි තෑග්ගක් වත් ගෙනැත් දේවි යන සිතුවිල්ලෙන්. ඒත් ඒ සිතුවිලි හීනවලට විතරක් සීමා වෙනවා නම් එතැන නත්තල නොමැත. 

" එදා ජෙරුසෙලම දේව මාලිගාවට වැඩිය ජේසුස් වහන්සේ එහි සිදුවූ මහත් විප්‍රකාරී දේ නරඹා උන්වහන්සේ මහත් විමතියට පත් වූහ. දේව මාලිගාව තුල තබා එළුවන්, බැටලුවන්, ගවයන් මෙන්ම ප‍රෙවියන් විකුණන වෙළෙන්දන්ද, උන් මිළට මාරු කරන්නන්ද මේ දේව මාළිගාව වෙළදාම් පොළක් කරගෙන සිටිනු   දුටු උන්වහන්සේ  ලනු වලින් තැනූ කසය අතට ගෙන ඒ සතුන් මෙන්ම එහි පැමිණ සිටි වෙළෙන්දන් මෙන්ම මිළදී ගන්නන්ද දේව මාළිගයෙන් එළියට දැමූහ."
" මේ දේවල් මෙතැනින් අරගෙන පලයල්ලා. මගේ මේ දෙව් පියාණන්ගේ ගෘහය වෙළඳාම් ‍ගෙයක් නොකරල්ලා" 

යනුවෙන් උන්වහන්සේ එහි පැමිණ සිටි සියල්ලන්ටම කීහ.

 අද දවසේත් මේ  සිදුවන්නේ එදා ‍යේසුස් වහන්සේ ‍ජෙරුසෙලමෙහි දේව මන්දිරය තුළ සිදු වූ දේම නොවේද? එදා උන්වහන්සේ දෙසූ ඒ පරම සත්‍යය කිසිවකුටත් නො වැටහුණේද? නැත, එදා අසිරිමත් නත්තලෙහි සිදුවූ උන්වහන්සේගේ උත්පත්තිය ලෝකයේ නැවුම් හැරවුම් ලක්ෂයක් විය. එහෙත් අප තවම සිටින්නේ ඒ සාසස්තෲන් වහන්සේ ‍විසින් දෙසූ පරම සත්‍යය වටහා නො ගෙන එදා සිටි තැනම ය. වෙනස සිදුවී ඇත්තේ වසර උන්වහන්සේගේ උපතින්  2011 ක් ගතවීම පමණි.

යේසුස් වහන්සේගේ ජීවිතය පුරාම මිතුරන් මෙන්ම සතුරන්ද  වූහ. එදා සියළු දේ නිතැතින්ම සත්‍ය වශයෙන්ම සිදුවන බව උන්වහන්සේ සක් සුදක් සේ දැන සිටියහ.එහෙත් කිසිවකුගේ සිත රිදවීමට ක්‍රියා නො කළහ. එකම රොටී කැබැල්ලෙන් කොටස් 13 ක් ගෙන බෙදා දුන් උන්වහන්සේ, තමන් වහන්සේ ළඟ  එකට ආහාර ගනිමින් සිටින්නන් අතරින්  කෙනෙකු එළඹෙන දවසේ හිරු උදාවට පෙර තමන් වහන්සේ පාවා දෙන බව දැන සිටියද , දෙවියන් වහන්සේගේ කැමැත්තට  ඉඩදී නිහඬවම සිටියහ. ජුදාස් එසේ තමන් වහන්සේ පාවා දුන්නද ඔහු කෙරෙහි උන්වහන්සේ තුළ කිසිඳු වෛරයක් හෝ ක්‍රෝධයක් නොවීය. ඒ එදා ය.

මෙවැනි සිදුවීම් අද ද සිදුවේ. වෛරයෙන්, ක්‍රෝධයෙන්, ඊර්ෂ්‍යාවෙන්, සිත් පුරවා ගත් ඇත්තෝ මෙ සමයෙහි විරළ නොවෙති. තමා මතයට  එරෙහිව නැගී සිටින්නා මෙල්ල කිරීමට හොඳින් හෝ නරකින් උපාය යොදති. උගුල් අටවති. විෂ පොවති. එසේත් නොහැකි වූයේ නම් නාඳුනන තුවක්කුකරුවකු යොදා ප්‍රාණය නිරුද්ධ කිරති. එහෙත් ඔවුහු ‍අනෙකාට පෙන්වන්නේ තමන් සාන්තුවරයෙක් බව ය.

මේ මානව ශිෂ්ඨාචාරයේ විධිමත් දියුණු අවදියක අප සිටියද එකෙක් අනෙකා දෙස බලන්නේ එදා බෙත්ලෙහෙමේහි යේසුස් වහන්සේ ලොව පහළ වූ දා බියෙන් තැති ගත්  හෙරෝදි රජවරුන් සේ ය. 

මේ සත්‍යය ඒත්තු ගැන්වීම ඉතා දුෂ්කරය. මන්ද යත් ඇත්තේ එකම සත්‍යයක් පමණක් බැවිනි. එදා ඒ පරම සත්‍යය වෙනුවෙන් අසරණ නැණ හීන මිනිසුන් සත්‍ය වෙත වෙත කැදවීම පිණිස යේසුස් වහන්සේ කුරුසිය මත ඇණ ගැසුම් කා ප්‍රාණය කළහ. ඉඳින් ඒ මානව ඉතිහාසය පුරා මේ සත්‍යය අරගලය වටහා දෙන්නට උන්වහන්සේ හැර කිසිවකුටත් නොහැකි විය. එදා ඒ යේසුස් වහන්සේ දෙසු  දහම තුළ වූ පරම සත්‍යය මෙය නොවන්නේද?

( මෙහි  කොටසක් ශුද්ධ වු බයිබලය ඇසුරිනි.)

මෙහි ඇවිත් යන ඔබට, නන්දා මාලිනිය ගැයූ මේ ගීතය විඳ ගැනීමටද  ඇරයුම් කරමි.


3 comments:

  1. මිනිස්සු දැන් නත්තල විකුණගෙන කෑවට සැබෑ නත්තල කියලා කියන්නේ මීට් හාත්පසින්ම වෙනස් වෙච්ච කතාවක්. නමුත් අවාසනාවට අද වෙන්නේ නත්තල කියන්නේ කඩවල් වල සේල් තියන නගරය පුරාම එක එක බල්බ් වලින් ආලෝකමත් වෙන දවසකට.

    සැබෑ නත්තල කියලා කියන්නේ සාමය රජයන ඒ වගේම සහෝදරත්වය බෙදාහදා ගැනීම් වලින් සම්පූර්ණ වෙච්ච දවසට. ඒ අතින් බලාගෙන ගියාම දෙසැම්බර් 25 වෙනකන්ම ඉන්න ඕනේ නෑ නත්තල් සමරන්න.

    ReplyDelete
  2. "මේ සත්‍යය ඒත්තු ගැන්වීම ඉතා දුෂ්කරය. මන්ද යත් ඇත්තේ එකම සත්‍යයක් පමණක් බැවිනි." සත්‍යයට වඩා බොරුව ඒත්තු ගැන්වීම හැම අතින්ම පහසුය. හේතුව මිනිසුන්ගේ සිහින වලට වඩාත් සමීප බොරුව බැවිනි. නන්දා මාලනීගේ හඬ අපව අදාල පරිසරයට වෙහෙසක් නොමැතිවම කැඳවා යයි.
    මැණික්

    ReplyDelete
  3. අලුත් යමක් එක්කිරිමට ගත්ත උත්සහයට ඔබට තුති.!!!!!!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...