එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Wednesday, 11 January 2012

සඳ එළිය වගේ ගැලූ රොඩ්නිගේ ගී ගඟුල (2 වන කොටස)



ජන වහර, නාට්‍ය සම්ප්‍රදාය සහ රොඩ්නිගේ ගීත

රොඩ්නි වර්ණකුලගේ නවතම ගීත සමුච්ඡය වන " සද එළිය දිගේ" සංගත  තැටියේ ඇතුළත්  ගීත 17 ක් අතුරින් ඔහු ගැයූ සරල ගී  පිළිබඳව මීට පෙර විමසුවෙමි. එහි දෙවැන්න වශයෙන් ඔහු ගීතයේදී භාවිතා කළ ජනවහර, සහ නාට්‍ය සම්ප්‍රදාය ඇසුරින් නිර්මාණය වූ  ගී පිළිබඳව තවදුරටත් විමසීම මගේ අපේක්ෂාවයි.

රොඩ්නිගේ ගීත ශෛලිය විවිධ වූ හඬ පරාසයන් ඔස්සේ විහිදී යන බැවින් ඔහු  එකම කේන්ද්‍රයක තබා ඔහුගේ නිර්මාණ විමසිම  අපහසුය. ඒ නිසාම ඔහු වෙනුවෙන් තැබූ මේ සටහන කොටස් දෙකකට වෙන් කිරිමටත් ඒ ඔස්සේ " සද එළිය දිගේ" ගී එකතුව පිලිබඳව තවදුරටත් විමසීමටත් සිදු විය.

රොඩ්නි සිය නවතම ස්ව තන්ත්‍ර ගීත එකතුව සදහා සරළ භාෂා රටා ඔස්සේ ලියැවුණ ගීතද, ඔහු නියෝජනය කරන නාට්‍ය සම්ප්‍රදාය ඔස්සේ ලියැවුණ ගීත  සදහා ජන වහරද පුළුල් ලෙස යොදා ගනී. ඔහු  තම ගි එකතුව සඳහා පුළුල් ලෙස ජන වහර යොදා ගැනීමට එක හේතුවක් වන්නේ වේදිකාවේ රංගනයේ යෙදෙමින් ලද ආභාෂය, පළපුරුද්ද සහ හැකියාවයි.

රොඩ්නි රඟ පෑ  සියළුම වේදිකා නාට්‍ය වේදිකා ගතවන්නේ ගැයුමට මුල්තැන දෙමින් නිෂ්පාදනය වූ වේදිකා නාට්‍ය ලෙසට ය. රතු හැට්ටකාරී, තාරාවෝ ඉගිලෙති, බිසෝ, ජසයා සහ ලෙංචිනා, නරිබෑනා, මධුර ජවනිකා, පැංස දෙකේ හංසයා ආදී නාට්‍යවල සිට ඔහුගේම නිෂ්පාදනයක් වූ "සාරංගා නැවෙන් ඇවිත්"  නාට්‍යය පවා සංගීතමය ආකෘති මත  නිෂ්පාදනය වූ වේදිකා නාට්‍ය වේ. මෙම නාට්‍යවල වැඩිපුරම ගීතමය ජවනිකා ඇතුළත්වී තිබුණි.

පළමු වරට මම අසූව දශකයේ මැද භාගයේ දී පමණ රොඩ්නි දුටුවේ 'තාරාවෝ ඉගිලෙති " නාට්‍යයේ රඟපෑම තුළිනි. එදා පාසල් සිසුවකු ලෙස මා පාසලේදී සවස 3.30 දර්ශනය පමණක නොව සවස 6.30 දර්ශනයද නරඹා ගෙදර ගියේ එහි වු මධුරතම ගීතාවලියට ‍ලොල් වූ රසිකයකු  නිසා යැයි මට දැනුදු   සිතේ.
කඩේට පලයං චූං චෑං  ඉක්මන්කරපං චූං චෑං
අරක ගෙනෙං චූං චෑං  මේක ගෙනෙං චූං චෑං
කඩේ දුවනවා මං කෑම හොයනවා මං
කන්නට රුසියෝ මේ සිංගප්පූරුවෙ වැසියෝ.
( තාරාවෝ ඉගිලෙති, ලූෂන් බුලත්සිංහල
/ සංගීතය:  ගුණදාස කපුගේ)
එදා පළමු වරට දුටු මේ ගීය ගයමින් රොඩ්නි වේදිකාවේ කළ රංගනය  මගේ මතකයේ තවම තැන්පත්වී ඇත. 

ඉන් පාළොස් වසරකට පමණ පසු මා  "තාරාවෝ ඉගිලෙති " නාට්‍ය ටවර් රගහලේදී නැවත නරඹන විට ඔහු එහි ප්‍රධාන භූමිකාව කළ රංගන ශිල්පියා ලෙස නාට්‍ය ආරම්භ කරමින් ‍වේදිකාවට ප්‍රවිශ්ඨ වූ අයුරුද එලෙසම සිහිවේ. මේ එදා මෙදා තුර "තාරාවෝ ඉගිලෙති" නාට්‍යයේ ගායනයෙන් සහ රංගනයන් වේදිකාවේ මා දුටු රොඩ්නි නම් වූ සොඳුරු රංගන ශිල්පියා ය.

සෝබාව දේ  මෙ පුර සිරි විසිතුරු
බලනු මිතුරු මග පියකරු වූ
සුසුදු වළා කැරලි පළසකි මේ
මග දිග ඇති රූ අහස සූරන මැදුරූ

( තාරාවෝ ඉගිලෙති - ලූෂන් බුලත්සිංහල / සංගීතය:  ගුණදාස කපුගේ)

රොඩ්නි වේදිකාවේදී ගායනයෙන් සහ රංගනයෙන් එකළු කළ මේ සියළු අත්දැකීම් සිය ගී එකතුව සදහා රමණීය ලෙසත් මධුර ලෙසත්  යොදා ගනී. එ මෙන්ම ඔහුගේ මෙම ගීත එකතුව නිර්මාණයේ දී අපේ විවිධ නාට්‍ය නාට්‍ය සම්ප්‍රදායන් සහ  ශෛලින් අතර වූ ගැමි, නාඩගම්, කෝලං, නූර්ති සහ සොකරි ආදි නාට්‍යවල සංගීත සම්ප්‍රදායන්වල තිබූ ගායන ශෛලිය සහ සංගිත ශෛලිය තම නිර්මාණ සඳහා යොදා ගෙන  " සද එළිය දිගේ" ගී එකතුව සරසා  තිබේ. ඒ නිසා ම මෙහි ඇතැම් ගීත හාස්‍ය රසය මතු කළද එ මගින් මතු කරන්නා වූ උපහාසය සුළුපටු නො වේ.

අතුරු මිතුරු දඹ දිවතුරු ඇඟිලි ගැනපු පොඩි දෑතට
මහ බර වැඩ තව හුරු නෑ වලව්වෙ හාමූ
අනේ පුංචි දුවට උරණ නොවෙන් වලව්වෙ හාමූ

(ගැයුම -  බන්දුල විජේවීර)

මීට දශක දෙක හමාරකට මණ  පෙර ගුවන් විදුලියට බන්දුල විජේවීර ගැයූ ඒ ගීතය තුළ තිබූ රූප රචනාව මගේ මතකයට නැගුණේ රොඩ්නි සිය සංයුක්ත තැටියට ඇතුළත් කර "පුරාජේරු හාමු" නම් වූ මේ ගීය නිසා ය.

පුරාජේරු හාමුට මං ගෙනා පොඩිත්තී                                          
අන්න අඬල අඬල ගෙයි මුල්ලේ
මූණ තඩිස්සී
පුංචි කෙලී හුරතලේට
හැදුණු පැටික්කී
අනේ සහගහනව මටම දෙන්න
දැන්ම මයෙ එකී

ගී පද: එච්.එම්.පී.ප්‍රනාන්දු   / සංගීතය: සුසිල් අමරසිංහ

සිය අගහිඟකම් දරාගනු බැරිව ගමේ වලව්වේ  බැල මෙහෙවරට ගෙන යන දියණිය,  වලව්වේ දී  ලබන කටුක අත්දැකීම් ඔස්සේ දැරියගේ  නූගත් පියා මේ ගීය තුළින් ඇයගේ සියුම් සිතෙහි වූ වේදනාව හාමුට කියන්නේ වලව්වේ හත්මුතු පරම්පරාවම උපහාසයට ලක් කරමිනි. ඒ උපහාසය තුළින් මතු කරන්නේ දරුවන්ගේ සුන්දර ලෝකයයි. ඒ රොඩ්නිගේ ම  හඬ ම ය.

ඇතැම් විටෙක රොඩ්නි සිය ගායනය සඳහා රෝහණ බැද්දගේ ගී කෙතෙහි ගොඩනැගූ ගායන සම්ප්‍රදාය  යොදා ගනී. අපට හුරු අපේ සම්මත ජන නාද රටා බැද්දගේ අපට අපේකමට දැනෙන පරිදි ය. එය  බැද්දගේ ඔහුගේ ගී වලින් අපට පෙරලා දුන්නේ මී විතක් ලෙසය. ඒ ඔහුගේ ගායනය සහ රංගනය සඳහා පුළුල් ලෙස ජනවහර භාවිතා කළ බැවිනි.

කුරා කුහුඹුවකුටවත් හිංසා නො කරන " ඩිංගිරි මාමා " ගමටම ආදරය කරන කෙනෙකි. ගමටම ප්‍රිය මනාප තැනැත්තෙකි. ශක්තිමත් කෙනෙකි. ඔහු   ගීය නිර්මාණය  සඳහා  සැහැලි  ගායනා සම්ප්‍රදාය ජන වහර ඇසුරින්ම යොදාගනී.

රන්මල් කුඹුරේ 
බිං ගහ පෑලම                                              
එක මී බානෙන් බිං නැගුමට ගෙන
සූරිය බය කර පානා අඬහැර
රන්මල් කුඹුරේ ඩිංගිරි මාමා.... ඩිංගිරි මාමා

රන්වැලි සෑ කොත අප්පල්ලේ හිස
තායම එක්කල ගිලිනව විගහට
කෝණම ඇඳගෙන සුම්බරෙ බැඳගෙන
පින්නේ බහිනව මැද මහ කුඹුරට .. ඩිංගිරි මාමා

 ගී පද: චින්තක බණ්ඩාර / සංගීතය: එම් ආර් චූලසිංහ

මාතර යුගයේ සිටි කිවිඳියක වන ගජමන් නෝනා සහ එ සමයෙහි ප්‍රකට කවියෙකු වු ඇලපාත මුදලි ගොඩ නැගූ කවි සම්ප්‍රදාය ඇසුරින්  මෙරට ගී කෙතෙහි රසවත් ගී ගණනාවක් ම හමුවේ.  ඇලපාත මුදලි සහ  ගජමන් නෝනා ඒ හැම ගීයකම ප්‍රබල චරිත ලෙසින් අපට හමුවන්නේ එකකට එකක් වෙනස් ආකාරයෙන් බැඳුනු ප්‍රේමය මුල් කරගෙන ය. ඒ සියල්ල ම අර්ථයෙන් හා රසයෙන් පරිපූර්ණ ගීත වේ.

රොඩ්නි ද සිය ගී එකතුව සඳහා ගජමන් නෝනාගේත් ඇලපාත මුදලිගේත් කවි සම්ප්‍රදාය භාවිතා කරයි. ඔහු මේ ගීය තුළ ඇලපාත මුදලිගේ භූමිකාව ගායනය තුළම රංගනයක් ලෙස යොදා ගනී.

කවිකාර හැඩකාර කටකාරියේ
මන බැන්ද නෙතු බැන්ද සුර දූතියේ
නුඹ කවුද ගජමන්ද සඳ සාවියේ
කවිකාර ඇලපාත මං සොඳුරියේ

කවි රසට හිත වැටුණු හින්දා
ඇලපාත හිත නුඹට බැන්දා
ඇයි ඔහොම ඔරවන්නෙ මංදා
නුඹ නේද කවිකාර ලන්දා

ගී පද: ඇන්ටන් සුගත් වෙල්ගම  / සංගීතය: රවී අලුත්ගේ

රොඩ්නිගේ ගී එකතුව විචිත්‍ර ගීත එකතුවකි. ගී තනු නිර්මාණවලින්ද ගි පද රචනා වලින් විවිධාකාර වූ  තේමාවන් ඔස්සේ නිර්මාණය වී ඇති මෙම ගීත නිර්මාණ එකකින් එකකට වෙනස් වී තිබේ. එ හෙයින්ම එය ගීත රසයෙන් පිරිපුන් ගී එකතුවකි.  තම රසික සමූහයාට ඒකාකාරී නොවන ලෙස විවිධ රසයෙන් යුතු සංගීතමය හැඩ තල ගීත නිර්මාණ සඳහා යොදාගනී. ඔහුගේ " මගෙ සීතා කුමාරියේ" ගීය ද එ වැනි වූ  නැවුම් ආකෘතියකින් ලියැවුණු  ගීයකි. රාමා සීතා පුරාවෘත්තය  වර්තමානයට ගලපන්නේ ඒ භූමිකාවේ සිට ය. මෙහිදී රොඩ්නි ගී තනු නිර්මාණකරුවකු ලෙස සිය හැකියාව මනාව පිළිඹිඹු කරයි.

මගෙ සීතා කුමාරියේ නුඹෙ රාමචන්ද්‍ර මං            
මේ කතා කරන්නේ හදිස්සියෙන්
සීතාඑළිය නම් සෙයිලමේ තැපැල් හලෙන්

රාවණ ගේ දඬු මොනරේ කැඩිලලු
සීතාවක සිට එන ගමනේ
ගෙදර එන්න තව කල් ගත වේවිලු
හනුමගෙ පණිවිඩෙ දැන් ලැබුණේ

ගී පද: කපිල ක්‍රිෂාන්ත සූරිය ආරච්ච් / සංගීතය: රොඩ්නි වර්ණකුල

වේදිකාවටම හුරු වූ රොඩ්නිට අනන්‍ය වූ රංගන ශෛලියකින් ගායන ශෛලියකින්  නිර්මාණය වූ ගිත කීපයක්ම මෙම සංයුක්ත තැටියේ ඇතුළත් කොට තිබේ. වේදිකා නාට්‍ය සම්ප්‍රදාය ඔස්සේ  ලියැවුණ "වැල් තිබ්බොටු " ගීතය ඊට භාවිතා කරන සංගිතයත් , එහි ගායනයත් වේදිකා නාට්‍ය රංගනයකටම සුදුසු වන්නේ ය. හුදු  විනෝදාත්මක ගායනයක් තුළ විඩාපත් නො වන රසිකයා රොඩ්නිගේ ගායන සහ රංගන ප්‍රතිභාව ඔස්සේ සිය ගීතය  තුළ රඳවා තබා ගැනීමට ඔහු සමත් වේ.

වැල් තිබ්බොටු වෙනිවැල් ගැට සුවඳ අගිල් කෑලි කෑලි
නෙළා ගෙනැත් ඇට පිරිසිදු වැවෙන් ඕලු සේරු සේරු
පැණි වරකා රස වෑහෙන කපා යසට තීරු තීරු
නගා අරන් ආව පොළට මල් හිනාව බේරි බේරි

වෙළෙන්දියෝ වෙන තැන්වල බඩු එක්කල වේලි වේලි
ඉන්න විටදි දොම්නස් මැද දුකට වෙලා ඈලි මෑලි
නගේ නුඹට ගෙනැත් දෙනව මල් හිනාව කාසි වාසි
දීපන් මට නගේ නුඹේ අතින් හදන පුහුල් දෝසි

ගී පද: ඇන්ටන් සුගත් වෙල්ගම  / සංගීතය: මර්වින් ප්‍රියන්ත

 කෝලං නාට්‍ය සම්ප්‍රදායෙන්  ගොඩ නැගුණු "ජසයා සහ ලෙංචිනා" කතා පුවත ඇසුරින් නිර්මාණය වූ ගීයක් නව නිර්මාණයක් මෙම ගීත එකතුවේ හමුවේ. රොඩ්නිගේ ගීතය තුළ  මතු කරන හාස්‍ය ජසයා සහ ලෙංචිනා නාටය නරඹා ඇති රසිකයෙකුට නම් ජසයාගේ  නාට්‍යමය භූමිකාව  නිතැතින්ම සිහි ගන්වයි. රොඩ්නි තුළ තිබෙන හාස්‍යජනක  රංගනය මේ ගීය උසස් තලයක රඳවා තැබීමට සමත් වේ.

මතකද මූණ එහෙම 
මං ජස විදානේ                               
අපි කෝලං නැටුවේ එළිපිට එදානේ
වැඩිපුර හිනැහෙන එක
කොහොමත් හොඳානේ
අපි කෝලං නැටුවේ එළිපිට එදානේ

මං තිරිහන් වුණාට කෝලං බල බලා‍
නාකිනෙ හොඳටම දැන් මගෙ පණ ලෙංචිනා
ආරච්චිලත් ගියා මරුවැල පෑගිලා
බලන්න මං තාමත් හිත හොඳ තරුණයා

අත් දෙක පණ යනකං ඇති කුණු හේදුවා
ඉවරද මෙන්න තවත් දැ ළි කුණු ගෑවිලා
ඕනෑ නං ගමටම මූණට මල් හිනා
මං විතරක් මොකටද ඇයි මගෙ ලෙංචිනා

ගී පද: රත්න ශ්‍රී විජේසිංහ  / සංගීතය: වසන්ත කුමාර

නිතිඥ ජෝන්ද සිල්වා සූරින්ගේ "සිරිසඟබෝ" නුර්තියෙහි එදා ඇසුණු 'සිරි සංඝබොධි මාලිගාවෙදී" නූර්ති ගීය මීට වසර කීපයකට පෙර භාතිය සහ සංතූෂ් විසින් රැප් සංගිතයට ගැයිම ශ්‍රාවක විචාරක  නො සතුටට හේතු විය. එය ඔවුන් විසින් වෙළඳපොළ ඉලක්ක කරගනිමින් කළ නිර්මාණයක් විනා හරවත් නිර්මාණයක් නොවූ බැවිනි.

"හිපොප්" සංගීතයෙන් හැඩ ගැහුණු නූතන සංගීත සම්ප්‍රදායන් තුළ හරසුන් ගී බුරුතු පිටින් බිහිවන මෙවන් යුගයක එෆ් එම් ගුවන් විදුලි නාලිකාද මේ ගී  දවස පුරා විකාශය කරයි. දවසේ පැය විසිහතර පුරාම රැව් දෙන්නේ එළෙස රුවත්, හඬත් පමණක් ඇති, රසයක් නැති, හැඩයක් නැති , දර්ශනයක් නැති කපුටු හඬවල් පමණක් ඇති මේ ගායක ගායිකාවන්ගේ ගීතය. දවස ඇසෙන්නේ හර සුන් බොල් වචන පිරි ගිරාපෝතක නිවේදක නිවේදිකාවන්ගේ හඬවල් ය.

රොඩ්නි මේ ගීයෙන් කියන්නේ ඒ සෝදාපාලුවට ලක් වූ සංස්කෘතික සමාජයක සංගීත ක්‍රමය පිළිබඳව වූ යථාර්ථය නොවේ ද? ඔහු ඉඟි කරන්නේ මේ බිඳවැටෙමින් පවතින සංගීත ක්‍රමය පිළිබඳ නොවේ ද, එකී සිතුවිල්ල තුළ  සැබෑ  කලාකරුවාට, නිර්මාණකරුවාට  යා හැකි දුර කොපමණ ද?  යන්න නැවත අප විසින්ම සළකා බැලිය යුතුය.  මේ ගීයට වස්තු විෂය වූ සිරි සඟබෝ රජු හිස දන් දුන් ‍‍ඓතිහාසික පුද බිම පිහිටා ඇත්තේද ගල්ගමුවට ආසන්නයේ ය. එයද ගීයේ අරුතට මනාව ගලපා ඇත.

සිරි සංඝදාස මහත්මයා අනුරපුරේ සිට
නැග ගත්තා සැප බස් රියට
එන්නට පෙර රිය ඇතුගල් පුරයට
හිස දන් දුනි කොන්දොස්තරට

( චූටී බට්ටී තණකොළ පෙත්තී
ගමුකෝ ෆන් එක මී ගොං වැස්සී
ඕ මයි ඩාලිං ආතල් ස්වීටී
කම් ඇන් ජොයින් ද නොන්ස්ටොප් පාටී )
(ගීතයේ රැප් කොටස)

වහලෙට හැඩ වැඩ දාලා සවි කර
දෙකක්ම තිබුණා ලොකු ඉස්පීකර
ඇහුණා සූකිරි පෙම කවි කර
කණ රතු විය එන විට ගල්ගමුවට

(වැටකොලු පතෝල බටු බණ්ඩක්කා
කතුරු මුරුංගා අල මඤ්ඤොක්කා
ලේඩීස් ෆින්ගර්ස් ලයික් සොසේජස්
නව් වී සිංහල ලේටස්ට් නම්බර්ස් )
(ගීතයේ රැප් කොටස)

කෝකිල හඬ නෑසුනේ ය කිසි විට
කපුටන් කෑ මොර දෙයි ගජරාමෙට
සීතල විඳින්න ආ පාපෙට
හිස නැති කඳ එයි ඇතුගල් පුරයට

ගී පද: ධම්මික බණ්ඩාර  / සංගීතය: උපාලි වීරරත්න බණ්ඩාර

රොඩ්නි මේ ගීය ගායනය සඳහා භාවිතා කරන්නේ නූතන "හිපොප් " සංගීත සම්ප්‍රදාය යි. ගී තනුව ද, සංගිත නිර්මාණය ද නූතන සංගීත සම්ප්‍රදායටම අනුගතව නිර්මාණය කර තිබේ. ගායනය තුළත්, ගීතයේ රැප් කොටස මගින් රොඩ්නි තමන් දන්නා න්‍යාය භාවිතා කරමින් සංස්කෘතික පරිහානියට ලක්වෙමින් පවතින සමාජයක ගීතය ද ඊට සුදුසුම තැනක රඳවා තබා ඇත.

රොඩ්නි මෙම සංයුක්ත තැටිය නිපදවන්නේ ඔහුම උපයාගත් මුදලෙනි. ඔහුට අනුග්‍රහය දැක්වීමට සංගීත සමාගම් නැත. මක් නිසාද යත් මුදල මත යැපෙන වෙළඳපොල  සමාජ ක්‍රමයක "රොඩ්නි" යනු හොඳට අලෙවි කල හැකි නිෂ්පාදනයක් වුවත්, සංගීත සමාගම් ඔහු කෙරෙන් අපේක්ෂා කරන, ඒ වෙළඳපොල සංස්කෘතියට ඔහු අනුගත නොවන නිසාය. ඒ වගේම වෙළඳපොළ තුළ ඔහු  තවත් විකිණෙන භාණ්ඩයක් වීමට ඇති නො කැමැත්තයි. ඊටත් අමතරව ඔහු වටා සිටින රසික සහෘද කැළ  හරවත් සංගීත සම්ප්‍රදායකට යොමු කිරීමට ඔහු තුළ ඇති කැමැත්තයි.

එදා මේ ගී එකතුව එළි දැක්වූ  නව රඟහලේ මුලසුන දරා සිට රොඩ්නිගේ ගී සහ රග සොබාව රස විඳි ආචාර්ය අමරදේව සූරීන් ඔහුගේ රංගන සහ ගායන ප්‍රතිභාව අරුත් ගන්වද්දී  තවත් ඒ ගැන කුමක් කියන්නද?   

අද පවතින මේ වෙළඳපොළ සමාජ ක්‍රමය තුළ ඇති ඉතාම කුඩා වූත්, පටු වූත් සිදුරකින් රොඩ්නි ද රිංගා යමින් ඔහු වටා සිටින රසිකයා ද ඒ සිදුරෙන්ම ඇදගෙන  හරවත් ගීතයට ඔහු මංහසර විවර කරයි. ඒ වූ කලී  රොඩ්නි වර්ණකුල නිර්මාණය කළ    " සඳ එළිය වගේ " ගී එකතුව  ගී කෙතේ බොල් සුළඟට ගසා නො යන රන් අස්වනුවකි. ෴  

14 comments:

  1. ගොඩාක් හොද ලිපියක්.

    ReplyDelete
    Replies
    1. වර්ණා

      ඔබේ දිරිගැන්වීමට ස්තූතියි.

      Delete
  2. මම නම් මේ ගැන දැනන් හිටියේ නෑ. දැනුවත් කලාට ඔබ තුමාට ගොඩක් ස්තුතියි !

    ReplyDelete
    Replies
    1. මධුරංග
      අලුත් රස වින්දනයක් ගොඩනැගීම සඳහා ගත්ත උත්සායක්. "ඔබතුමා" කියන කොටසට නම් මම කැමති නැහැ. ඔබත්, මමත්,සහෘද අපි කවුරුත් මේ පොළොවේ පය ගහල ඉන්න මිනිස්සු.ඔබට ස්තුතියි.

      Delete
  3. දැනුවත් කලාට ස්තුතියි.....රොඩ්නී සරල සුන්දර මිනිසෙක්!

    ReplyDelete
    Replies
    1. සබිත්,
      රොඩ්නි මට කවදාවත්ම හමුවෙලා නැහැ. එඑත් ඔහුගේ රසිකයෙක්. ඇත්තටම ඔහු ඉතාම සරළ සුන්දර කලාකරුවෙක්. ස්තූතියි ඔබටත්.

      Delete
  4. ගීතයක් උඩුගත කරන්න බැරි වුණාද?

    ReplyDelete
    Replies
    1. බන්දුල,
      AUDIO ගීයක් උඩුගත(UPLOAD) කරන්නත්,සෘජුවම PLAY කරන්නත්, පුළුවන් කෙටිම සහ පහසුම ක්‍රමය මමත් හොයනවා. හම්වුණොත් හරි, දන්නවනම් හරි, මට කියල දෙන්න.මම ඉතාම කැමැත්තෙන් ඉන්නවා ඒ ගැන.රොඩ්නිගේ ගීයක් මෙහි ඒ මගින් දාන්නම්.

      Delete
  5. වටිනා ලිපියක්. දැනුවත් කලාට ස්තුතියි.
    මැණික්

    ReplyDelete
    Replies
    1. මැණික්
      ස්තුතියි ඔබේ දිරිගැන්වීමට.

      Delete
  6. නිසරු කාබාසීනියා නිර්මාණ වෙනුවෙන්ම ඉඩ වෙන්වී ඇති කලෙක මේ ලිපිය අගනා මෙහෙවරකි. නියමයි.

    ReplyDelete
  7. "Outsider"
    ඔබේ පැමිණීමත්, දිරි ගැන්වීමත් ශක්තියක්, ස්තූතියි අනේක වාරයක්.

    ReplyDelete
  8. ඔබේ බ්ලොග් සටහන් කියවන්නට ලැබුණෙ මෑතකදි. ඉතින් මේ ඒ සටහන් දිගින් දිගටම කියවමින් ඉන්නා වෙලාවක මේ සටහනත් කියවන්න ලැබුණා. කොමෙන්ටුවක් දාන්න හිතුණේ විශේෂ කාරණාවක් නිසා ඒ තමයි රොඩ්නිගේ මේ ගීතාවලියට ඩිංගිරි මාමා ගීතය ලියපු කෙනා මම වීම. විශේෂයෙන්ම සදහන් කරන්න ඕනේ ගීතය වෙනුවෙන් අදාළ ගෙවීම කරන්න රොඩ්නි මාව සොයාගන්න පුදුමාකාර වෙහෙසක් අරගෙන තිබුණා. කොපිරයිට් අයිතිය බල්ලට ගිහින් තිබෙන කාලෙක ඔහුගේ ඒ උත්සාහය ට ප්‍රශංසා කළ යුතුමයි.

    ReplyDelete
  9. රතු රජරට
    දැනගන්න ලැබීමත් සතුටුයි..ඇතත්ටම ඔබවන් අය සරැගව සිටිම එකතරා විදියක් දුකක්.හඒ නිසා මම සතුටු වෙන්නේ මේ සටහන වසරකට පස්සෙ දුටු නිසා..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...