එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Wednesday, 25 January 2012

දුක කියන්නට කෙනෙක් නැතිදා පන්හිඳෙන් මැවූ වියෝ ගී වරුසාව


Facebook සමහර අයට නම් “ නයාට අඳු කොළ” වගේ තැනක්. තවත් සමහර අයට නම් සුන්දර නවාතැනක්. මටත්  සුන්දර නවාතැනක්. ඕනෑම දෙයක් හරියට තේරුම් අරන් නිවැරදි අවබෝධයකින් යම් දෙයක් කරනවා නම් එතරම් ගැටලුවක් නැහැ. ලද ඉසිඹුවක මමත් Facebook යන්නෙ මනස සැහැල්ලු කර ගන්න. එහෙම Facebook ගිය අවස්ථාවල හමු වූ දන්නා හඳුනන හිත මිතුරු පිරිස වගේම ජීවිතේටම කිසිම දවසක හමුවෙලා නැති, නො දුටු , කතාබහ නො කළ යහලු යෙහෙළියන් පිරිසක් Facebook එකෙන් හමුවුණා. ඒ නො දුටු හැමෝම මග තොට දී හමුවුණ දන්නා හදුනන හිත මිතුරු පිරිස වගේම සරළ සුන්දර අදහස් ඇති විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විශේෂ හැකියාවන් ඇති අයයි.

මෙවැනි හඳුනාගැනීම් වැදගත් වෙන්නෙ යම් කිසි තොරතුරක්, දැනුමක් අවබෝධයක් හුවමාරු කර ගන්න ගියාමයි. මේ නොදුටු Facebook හිත මිතුරු පිරිස අතර විදේශ ගතවෙලා ඉන්න පිරිසකුත් ඉන්නවා. 

Facebook පිළිබඳව මේතරම් දිග සටහනක් කළේ අද මගේ “අස්වැන්න” වෙන් කරන්නෙ එවැනි කිසි දිනක නො දුටු Facebook මිතුරකු වෙනුවෙන් මේ මිත්‍රයා කැනඩාවෙ ඉන්නෙ. ඒත් මේ දවස්වල  නිවාඩුව මාස කීපයක්  ඕස්ට්‍රේලියාවෙ ගත කරනව කියලයි දැනගන්න ලැබුණෙ.ඒ ටිකත් දැනගත්තෙ Facebook Chat එකකින්.
කොහොම වුණත් විදේශ ගතව සිටින මේ Facebook මිත්‍රයා මීට සති දක තුනකට කළින් මට පුංචි තෑග්ගක් එව්වා. කවදාවත්ම නො දුටු, අදටත් සජීවිව කතබහ කරලත් නැති Facebook එකේ සත පහක් තරම් කුඩා ඡායාරූපයකින් පමණක් දන්නා හදුනන මිත්‍රයෙකු එවැනි තෑග්ගක් එව්වාම දැනුනෙ ලොකු සතුටක්.


ඔහු නමින් "ඩිෂාන් නානායක්කාර" ඩිෂාන් ලියූ ගීත ඇතුළත් ගී ඇල්බම් එකක් (CD) එකක් මේ තෑග්ගෙ තිබුණා. ගීතයට සංගිතයට කැමති හොඳ ගී පිපාසයෙන් පෙළෙන මට ඒ ගී ඇල්බම් එක දිව ඔසුවක්.ඩිෂාන්  මේ ගී ඇල්බම් එක  නම් කරල තියෙන්නෙ “මට මවක් ලෙසින්” කියල. මේ ගී තැටියේ සියළුම ගීත ප්‍රේමයේ විප්‍රයෝගය එහෙමත් නැත්නම් වියෝගය පිළිබඳව ලියැවුණු සහ ගැයුණු ගීත. ඒ ගීත අතරින් කීපයක් ඩිෂාන් වෙනුවෙන් මේ සටහනට එකතු කරන්න හිතුවා.

දුක කියන්නට කෙනෙක් නැතිදා
දුක ඇසූ නුඹ අද මගේ
දුකට හිනැහෙන්නේ

වියළි කරතරට වැහි පොදක් ලෙස
කඩාගෙන වැටි නුඹේ සෙනෙහස
මහා මේඝයක් ලෙසින් හමාවිත්
මට මාවත් නැති කළේ කොහොමද

හදවත ඇවිළුණු අතීත දුක්ගිනි
සුවපත් කළ පින නුඹට අයිති මුත්
ප්‍රේමය මිය ගිය නුඹ හද දෙවොලේ
හෙටක් පතන්නට හිතට වාරු නැත

ගැයුම: වික්ටර් රත්නායක
සංගීතය: එච්. එම්. ජයවර්ධන

“ කාත් කවුරුවත් නැති හුදකලා වූ වෙලාවක ඇයගෙන් ලද ආදරය හරියට කාන්තාරයක වට  වැස්සක් වගේ කියල හිතුනත්, ඇය මා හැර යන විට ඇය පිළිබඳව වෛරයක් නම් ඇති වුණේ නැහැ. ඒත් හිත ඇතුලෙ ළතැවිල්ලක් වගේම වේදනා දෙන පුංචි තුවාලයක් ඉතිරි කරලයි ඇය යන්න ගියේ. ඒත් ඒ දුක කාට කියන්නද ඇයත් මා හැර ගියදා...”

“මට මවක් ලෙසින්” ගී තැටියේ ඇති මේ ගීය ගයන්නෙ වික්ටර්. සංගීතය එච්.එම්.ජයවර්ධන. එච්.එම්. ගෙ ප්‍රේමනීය මධුර ගී තනු හැම එකක්ම ඉතාම සුමිහිරි හදට දැනෙන, විඳින්න පුළුවන් ගී තනු නිර්මාණ. ගොඩක් කාලෙකට පස්සෙ එච්.එම්.ගේ ගී තනු නිර්මාණයකට වික්ටර් හඬ මුසු කර ඇති බව දැනුනාම වික්ටර්ගෙ අති මධුර වියපත් නොවූ ගායනය හදවතට දැනෙන්නෙ ලේ මස් නහර වලට විතරක් නෙවෙයි ඇට මිදුලුවලට පවා කිඳා බැහැලයි. මගේ ගීත ලෝකයේ වැඩිපුරම ගැවසෙන්නෙ වික්ටර් නිසා ඒ බව මට වැඩියෙන් දැනෙනවා ඇති. වික්ටර් ගැයූ ඩිෂාන්ගෙ මේ ගී සිතුවිල්ල ඉතාම සියුම් මනරම් ගී සිතුවිල්ලක්. ගීය ඇහෙන වාරයක් වාරයක් පාසා වියෝගයේ අනන්තයටම හිත ගෙන යන්න ඩිෂාන්ගෙ ගී සිතුවිල්ලට හැකි වෙලා තියනවා.


සෙවනැල්ල ඔබේ මා වෙන්නම්                       
මගෙ හිත රිදවූ තරම මදී
වියපත් වූ දා අතීතතය අපේ
ඔබ ආවොත් හොඳටෝම ඇතී

බාධක හමුවේ නොසැලී ආ මග
ආපසු හැරිලා බලනු බැරී
මටත් වඩා ඔබ ගැන සිතු හින්දද
මගේ ලොවත් අද මට අහිමී

ලොවට හොරා හිත දන් දුන් හින්දද
ඔහු හමු වූ පසු එය වැරදී
කළ වරදට පසු තැවෙන්න නම්
මුළු ජීවිතයම වුණත් මදී

ගැයුම: කරුණාරත්න දිවුල්ගනේ
සංගීතය: කරුණාරත්න විජේවර්ධන

මේ ගීයත්  මා මුලින් සඳහන් කල ගීය වගේමයි “මට මවක් ලෙසින්”  ගී තැටියට  ගායනා කර තියෙන්නෙ දිවුල්ගනේ. සංගීතය කරුණාරත්න විජේවර්ධන. කාගේ ගී තනුවකට වුවත් ගීයක වියෝගයේ රසය හදවතට දැනෙන්න, රිදවන්න, හඬවන්න,  හැකි හඬක් දිවුල්ගෙ ගායනයේ රැඳිලා තියනවා දිවුල්ගෙ හැම ගීයකම වගේම මේ ගීයෙත් එහෙමයි. ඔහුගෙ හැඟුම්බර ගායනනය වියෝගය විඳල ඇති අයෙකුට නම් අහල හොඳට අඬන්නත් පුළුවන්. ඩිෂාන්ගෙ ගීත පද මාලාව හැඩ කරන්න කරුණාරත්න විජේවර්ධන සංගීතයෙන් ගී තනුව තුල ලොකු වැඩ කොටසක් කරල තියෙනවා. දිවුල් සිය ගායනයෙන් ගී රසෝඝය කළඹන්නෙ ඒ නිසා.

මෙච්චරයි කියන්නට බෑ
 එච්චරටම ඔබ ගැන කළකිරිලා මම
ජීවිතය ඉපදුනේ ඔබට කඩා බිඳ දමන්නට නොව
 පූජනීය වූ මගේ ප්‍රේමය
ඔබට මේතරම් විහිළුවක් වුණේ කොහොමද

මගේ කදුළින් ඔබේ දිවි මග
එලිය කළ අසරණ අතීතය
තැනූ ඒ ජීවිතය අරගෙන
ඔබේ ලොව ඔබ රජ කරනු මැන

කවුරුවත් නැති පාළු නිවසක
මගේ දිවි මග අවුල් වී ඇත
තේරුම් ගන්නට තවම බෑ මට
ජීවිතය දන් දුන්නෙ ඔබටද

ගැයුම: බණ්ඩාර අතාවුද
සංගීතය: රෝහණ වීරසිංහ

බණ්ඩාර අතාවුද අපට සිටින තවත් විශිෂ්ඨ හඬක් සතු ප්‍රේමනීය හඬක් ඇති ගායන  ශිල්පියෙක්. ඔහුගෙ මේ ගැයුමත් රමණියයි.

“මා එපමණටම ආදරය කළ ඇය ගැන ඒතරමටම කළකිරිලා. මගේ තනිකම වෙනුවෙන් ඇය දුන් ආදරය ඇය රැගෙන ගිය පසුව ආයෙමත් ඒ තනිකම මා වෙලාගෙන හරියටම ඒ ආදරය තුළ හිරකාරයෙක් වුණාම ආයෙ හෙට දවසක් ගැන කොහොම හිතන්නද? ඩිෂාන් ගීයට ගලපන මේ සිතුවිල්ලට බණ්ඩාර අතාවුදගෙ හඬ මුසු වෙන කොට මම තව මොනව ලියන්නද? 

යළි සමරන්නට දෑස වසාගෙන
අතීතයක් මට මතක නැතී
ඔබ සමුගත් දින දෑත බදාගෙන
හැඬුවා පමණක් මතක තියේ

සරසවි උයනේ නිල් තුරු සෙවනේ ඔබේ අහිංසක සිනා නොවේ
අනාගතය ගැන ප්‍රාර්ථනාවන් හදේ කොනක ඉදි වුණා ප්‍රියේ
ශිල්ප සතර දැන ඔබ උගතෙකු වී දෙපා නැගූ ලොව අහිමි වුණේ
සුසුමක් ඔබ හදේ රැ‍ඳෙන්නට උගත්කමද අප දුරස් කළේ

දෙගුරුන් සනසා මා සිත හඬවා යස ඉසුරින් පිරි ඇගේ ලොවේ
අද ඔබ ගෙවනා සුවබර දිවියට සාප කරන්නට නොහැක ප්‍රියේ
මට හිමි නැති ලොව ඔබෙ සෙනෙහස අබියස අනාගතය සිහිනයක් වගේ
අතීතයම වල දමන්න හැකි මුත් ලෝකය නෑ මට සමා කලේ

ගැයුම: නිර්මලා රණතුංග
සංගීතය: සමන්ත පෙරේරා

ප්‍රමාණාත්මකව විශාල ගීත සංඛාවක් ගායනා කරල නැති වුවත් නිර්මලා රණතුංගගෙ හැම ගීයක්ම මිහිරියි. “ මේ උයන් තෙරේ මේ තුරු සෙවනේ” “ගලන ගලන දොල පාරේ”  “ මේ ප්‍රේම සීමා මාලකේ තනිවී” වගේ ගීත ඇගේ ගායනයේ මිහිරිම මතක සටහන්.එහෙම වුණත් වසර ගණනාවකට පස්සෙ නිර්මලා ඩිෂාන්ගෙ ගීත ඇල්බම් එකට හඬ මුසු කර තියෙනවා.

“සරසවි බිමක බැඳි ප්‍රේමයට සරසවි බිමේදීම සමු‍දීමට සිදුවූ කල්හි එය කෙසේ දරන්නද? සියළු මතකයන් අතීතය තුළ මකා දැමූවද හෙට ලෝකයා මගෙන් විමසන දේට මා කුමන පිළිතුරක් දෙන්නද?” 

 ඩිෂාන්ගෙ මේ මියුරු ගීය නිර්මලාගෙ ගායනය හැකියාව නැවත තහවුරු කරන්න සමත් වෙලා තියනව. සරසවි ප්‍රේමය පිළිබඳ ලියැවුණු ගී අතරට ඩිෂාන්ගෙ මේ ගීයත් එකතු වේවි.

එපා යළි හමුවන්න ජීවිතේ ගමන් මග
ඔබෙන් මට උරුම වූ වේදනා කඳුළු ගඟ
හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ළඟ
ඔබේ ජීවන සුවඳ අරන් ඈතට යන්න

සංසාර ගමන් මග සෙනෙහස සොයා දිනක
ආ ගමන නිමා කළ ඔබේ හදවත ගාව
සෙනෙහසේ අවසාන කඳුළු බිඳුවක පහස
ගලා යයි අතීතේ මිය ඇදුන සොහොන ළඟ

ඔබ මවෙත තිළිණ කළ ඔබේ බැති බර සුවඳ
මගේ මතකය වසා සදාකල් රැ‍ඳෙනු ඇත
සංසාරයේ යළිඳු නවාතැන් සොයා යන
මගේ මළගම දාට ඇවිත් යන්නට එන්න

ගැයුම: සුනිල් එදිරිසිංහ
සංගීතය: කරුණාරත්න විජේවර්ධන
ඩිෂාන්ගෙ ගී පද වලට හඬ මුසු කල අය අතර සුනිල් එදිරිසිංහගෙ හඬ “මට මවක් ලෙසින්” සී.ඩී තැටියට විශාල ආලෝකයක්. ගායනයේ දාර්ශනික හඬ පෞරුෂයක් හෙබි සුනිල්ගෙ ගායන ප්‍රතිභාව, මේ ගීයේ රැඳිලා තියනවා ගීතය තුළ තිබෙන කාව්‍යමය සිතුවිල්ල ඩිෂාන් හොඳ ගේය කාව්‍ය රචකයෙකු බවට පත් කරලත් තියනවා.
සුනිල්ගෙ දාර්ශනික හඬ පෞරුෂය ප්‍රේමයේ විරහවට එකතු කරන්නෙ අපූරු රසයක්. ප්‍රේමයත්,වියෝගයත්,එකතුව තැනෙන වියෝ ගීයක රසය ගැන හිතන්නත්, විඳින්නත්,විඳල විඳල කාටවත් නොදැනෙන සේ හදවතින් හඬා වැටෙන්නත් මේ ගීයඅපට කියල දෙනවා.
ඩිෂාන් නානායක්කාරගෙ “ මට මවක් ලෙසින්” මේ ගීත එකතුවට වික්ටර්, සුනිල්, බණ්ඩාර අතාවුද, නිර්මලා, දිවුල්ට අමතරව දීපිකා ප්‍රියදර්ශනී, සෝමසිරි මැදගෙදර, සමන්ත පෙරේරා,සහ ශ්‍රී ලාල් අමරසිංහත් හඬ මුසු කරල තියනවා සංගීත නිර්මාණයෙන් රෝහණ වීරසිංහ, එච්.එම්.ජයවර්ධන,තිස්සසිරි පෙරේරා, කරුණාරත්න විජේවර්ධන,සමන්ත පෙරේරා සහ සෝමසිරි මැදගෙදර දායක ව තියනවා.

“මට මවක් ලෙසින්” මේ ඇල්බම් එක (CD) ලංකාව ඇතුළත නම් අලෙවියට දාලා නැහැ.ඊට හේතුව මේ ගී එකතුව නිෂ්පාදනය කරල තියෙන්නෙ කැනඩාවෙදි නිසා. ඒ නිසා ලංකාවෙ ගී රසිකයන්ට නම් ලංකාවෙ කැසට් සාප්පු තුළ දී මේ ගී එකතුව හොයාගන්න ලැබෙන එකක් නැහැ.
කැනඩාවේ ලෝරියන් විශ්වවිද්‍යාලය විසින් 2005වර්ෂයේදී රටවල් 70 ක් අතර පවත්වන ලද ජත්‍යන්තර ගීත රචනා තරඟයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඩිෂාන් 24 වන ස්ථානයට පත්වූ අතර ඔහු විසින් ලියා ස්ටැන්ලි පීරිස්ගේ සංගීතයට මිල්ටන් මල්ලවාරච්චි ගැයූ" හිරු දේවනේ" ගීය මිල්ටන් 1997 වර්ෂයේ දී නිකුත් කල " ප්‍රිය සාදයේ " කැසට් පටයටද ඇතුළත් විය. ඩිෂාන් ටෙලි නාට්‍ය සඳහාද ගී ලියා තිබේ. 2000 වර්ෂයේදී ශ්‍රියානි අමරසේන නිෂ්පාදනය කළ "මගී" ටෙලි වෘත්තාන්තය ඒ අතර වේ.
උපන් බිමෙන් බැහැරව හුදකලාව දුර රටක සිට ඩිෂාන් නානායක්කාරගෙ පන්හිඳ මැවූ මේ වියෝ ගී රසය ශ්‍රී ලාංකේය ගීත සාහිත්‍යයට තවත් ආලෝකයක්.හරසුන් බොල් ගී රැල්ලෙන් මිදෙන්න හොඳ මාවතක්.

ඩිෂාන් ඔබ Facebook එකේදි හමුවුණත් මතු දවසක මේ පුංචි රටේ අපි කොහෙදි හරි මුණ ගැසේවි.  එහෙමත් නැත්නම් මගේ මළගම දාට ඇවිත් යන්නට එන්න
 එහෙම නොවුණත් ඔබේ පන්හිඳ මැවූ මේ ගී සුවඳ සදාකාලික මතකයක්ම තමයි.


ඩිෂාන් ලියූ වික්ටර් රත්නායක ගැයූ “දුක කියන්නට කෙනෙක් නැතිදා” ගීයත් සුනිල් එදිරිසිංහ ගැයූ “එපා යළි හමුවන්න” මේ මියුරු ගීය යූ ටියුබ් එකෙන් හොයාගත්තා. ඒ ගී දෙකත් මෙතනින් විඳින්න ඔබට ඇරයුම් කරමි.


video
video
මොනව හරි හොඳ සිතුවිල්ලක් පහළ වුණොත් වචන දෙක තුනකින් වුණත් කමක් නෑ  මෙතනින් ලියලම යන්න

Thursday, 19 January 2012

කලා ලොව එළිය කර බැස ගිය සොඳුරු මිනිසා




පසුගිය බ්‍රහස්පතින්දා රැයේ මැදියම ඉක්ම වූවා පමණි. හදිසියේම දුරකතන නාද විය. මැදියම ඉක්ම වූ පසු ලැබෙන දුරකථන ඇමතුම් බොහෝවිට සුබදායක නොවන බව ‍නම් ඉතා පැහැදිළිය. දුරකථනයේ එහා කෙළවර වූයේ ප්‍රවිණ ලේඛිකා රමණි බුලත්සිංහලය.
" රත්නායක රොලන්ඩ් නැති වුණා දැන් ටිකකට කලින්"
" කොහෙදිද නැතිවුනේ , මොකක්ද හේතුව? "
" බලංගොඩ රෝහලේ, හේතුව නම් නම් දන්නෙ නෑ. ඔයා මේ පණිවුඩය හැමෝටම කියන්න. මම ෙපාත් ලියන  කියන්නම්"
"හරි මම කියන්නම්"
ඇය තවත් බොහෝ දේ කියා දුරකථනය විසන්ධි කළාය.
රටේ  එතරම් ජනප්‍රිය නමක් නොවුවද, කලා ක්ෂේතරයේ නමක් දිනාගෙන සිටි රෝලන්ඩ් ඒ ප්‍රනානන්දු මහතා මියගිය බව කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුට දැනගැනීමට සලැස්වූ මම පසුදින පෙරවරුවේ ම මම බලංගොඩ බලා ගියෙමි. ගෙවුණු සති අන්තයම ගත වූයේ රෝලන්ඩ්ගේ නිවසේය
රෝලන්ඩ් මට හමුවූයේ අනූව දශකයේ දීය. ඒ ගායන ශිල්පී එඩ්වඩ් ජයකොඩි මහතාගේ නිවසේදීය. එදා මෙදාතුර ඔහු මාගේ ඉතාමත් සමීප හිතවතෙක් විය. තැනින් තැන සුදුවෙමින් මුහුණ පුරා වැවුන  රැවුලත්, ජාතික ඇඳුමෙන් ද,  නිරන්තර  සිනා වතකින්ද මුව සරසා සිටි රෝලන්ඩ් ඉතාම ප්‍රිය මනාප අයෙකු විය. මට වඩා බෙහෙවින්ම වයස්ගත වුවත් ඔහු මට සැම විටම කතා කළේ "මචං" කියා ය. මමද ඔහුට "මචං" කීවෙමි. ඒ වැඩිහිටියෙකුටත් වඩා අප අතර තිබූ මිත්‍රත්වය නිසා ය.
රෝලන්ඩ් කලා ක්ෂේත්‍රයට පිවිසියේ නාට්‍යකරුවකු වශයෙනි. ඒ අසූව දශකයේ දීය. ඔහු නිර්මාණය කළ  වේදිකා නාට්‍ය  අතර වෙස්, වහල්ලු,  සුරූපී සහ විරූපී, මාගම් සෝලිය සහ දිවැස හෙළනු මැන යන නාට්‍ය විය. මේ නාට්‍ය අතරින් ජයලත් මනෝරත්න රගපෑ “දිවැස හෙළනු මැන” මෙරට පමණක් නොව යුරෝපයේ රටවල් රැසකද වාර ගනනාවක්ම රඟ දැක්වූ වේදිකා නාට්‍යකි. එය ඔහුගේ වේදිකා නාට්‍ය ඉතිහාසයේ විශිෂ්ඨතම නාට්‍යක්ද විය.
රෝලන්ඩ් වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ සිටියදීම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයටද යොමු විය. ඔහු විසින් නිර්මාණය කල ටෙලි නාට්‍ය කීපයක්ම තිබුණි. “පූජා” සහ “පටලැවිල්ල” යන ටෙලි නාට්‍ය මගේ මතකයේ රැඳුන ටෙලි නාට්‍ය  වේ.

රෝලන්ඩ් වෘත්තීය පොත් ප්‍රකාශකයෙකු වශයෙන් ක්ෂේත්‍රයේ නමක් දිනා සිටි අයෙකි.“තාරක” නමින් පොත් ප්‍රකාශන ව්‍යාපෘතියක් පවත්වාගෙන ගියේය. ඔහු මිය යන තෙක්ම පොත් ප්‍රකාශනයේ නියැලී සිටියේය.

රෝලන්ඩ්ගේ “තාරක”පොත් ප්‍රකාශන ව්‍යාපෘතිය යටතේ නවක ලේඛක ලේඛිකාවන් රැසකට අත්වැල සපයමින් විශාල මෙහෙවරක් ඉටු කළේය .ඒ යටතේ ලේඛන කලාවේ නවකයෙකු ලෙස නවකතා ලිවීම ආරම් කල ඇතැම් ලේඛක ලේඛිකාවෝ මේ වන විට නවකතා පොත් විසිපහ හෝ පනහකට වැඩි ප්‍රමාණයක් ප්‍රකාශයට පත්කර නවකතා ක්ෂේත්‍රයේ සිය නම රඳවා ගැනීමට සමත් වූ අය අතර වෙති.
රෝලන්ඩ් මිය ගිය පුවත ඇසු ඔහුගේ පොත් ප්‍රකාශන ව්‍යාපෘතියෙන් ආලෝකය ලද ලේඛක ලේඛිකාවෝ සියළුම දෙනා ඔහු ඇසුරේ සිටි සියළුම කලා ක්ෂේත්‍රයේ ගායක ගායිකාවන්, නළු නිළියන්ද කොළමින් ඉතා දුර බැහැර වුවත් බළංගොඩ නිවසට පැමිණ සිටියේ ඔහු කලා ක්ෂේත්‍රයේ හිත හොඳ මිනිසකු වූ නිසාය.
පාඨකයන් අතර ජනප්‍රිය වන පොත් මෙන්ම පාඨකයාට අධ්‍යාපනික, පර්යේෂණාත්මක අතින් වැදගත් වන කෘතීන් ප්‍රකාශයට පත්කිරීමේ අභිලාෂය ඔහු තුළ නො අඩුවම තිබුණි.ඒ නිසාම පී.කේ.ඩී.සෙනෙවිරත්ත සූරීන් විසින් ලියන ලද “පර සතු මල්” චිත්‍රපටයේ තිර රචනය ඇසුරින් පී.කේ.ඩී.සෙනෙවිරත්ත විසින් රචිත "පර සතු මල්”නවකතාවේ ඉතාම දුර්ලභ අත්පිටපත සොයාගෙන “ පර සතු මල්” නවකතාව “තාරක” පොතක් ලෙසින් ප්‍රකාශයට පත් කළේය.
රෝලන්ඩ්, ළඟින්ම ඇසුරු කළ අය අතර ගාමිණි සිනමා සක්විති ආචාර්ය ගාමිණී ෆොන්සේකා මහතාද , ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ සුමිත්‍රා පීරිස් යුවලද විය.‍‍ගාමිණී ෆොන්සේකා සූරීන්ගේ ඇසුරේ සිටි රෝලන්ඩ්  වෛද්‍ය අනිල් සමරනායක ලියූ “ගාමිණී - ශ්‍රී ලංකේය සමාජ ප්‍රවාහය අභිමුව” ග්‍රන්ථය තාරක පොතක් ලෙසින් ප්‍රකාශයට පත් කළේය.  එය ගාමිණීගේ චරිත කතාවට වඩා ශ්‍රී ලංකාවේ සමාජීය,සංස්කෘතික හා දේශපාලන ප්‍රවාහයන් හරහා ගොඩනැගුණු ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම රංග ධරයාගේ ජීවන ප්‍රවාහයේ විශ්ලේෂණයක්ම විය.
                                                                                                                                                             තවද රෝලන්ඩ්, ලේඛකයෙක් මෙන්ම හොඳ පර්යේෂකයෙක්ද විය. ආචාර්ය ගාමිණී ෆොන්සේකා සූරීන් ර පෑ සියළුම චිත්‍රපට වල තොරතුරු විස්තර සහ රූපාවලිය ඇතුළත් “රජදැක්ම” දැවැන්ත කෘතියක් ලෙසින් රෝලන්ඩ් විසින්ම ලියා ප්‍රකාශයට පත් කළේය. ඒ වූකලී රෝලන්ඩ්ගේ ලේඛන කලාවේ අධි සන්ධිස්ථානයක්ම විය. මා දන්නා පමණින් ගාමිණී ෆොන්සේකා මහතා ජීවත්ව සිටියදී තම චරිතාපදානය සහ සිනමා සිත්තම් රූපාවලියක් කිරීමට අවසරය ලද එකම තැනැත්තා වූයේ රෝලන්ඩ් පමණි.
රෝලන්ඩ් ලියූ "රජදැක්ම" කෘතිය සඳහා ඔහු එවකට ලංකාවේ භාවිතා වූ වටිනාකමින් ඉහළම කඩදාසි වර්ගය භාවිතා කළේය.එම කෘතිය  A-4ප්‍රමාණයේ කෘතියක් වූ බැවින්ම එවකට ලංකාවේ මිළ කල මිළ අධිකම කෘතියද එය විය.
" ඇයි මෙච්චර ගනන් පොතක් ප්‍රින්ට් කළේ? මේක කියවන්න නම් මාසෙකට දෙපාරක්වත් පඩියක් ගන්න කෙනෙක් වෙන්න ඕනෑ " මම කීවෙමි.
" ඇත්ත, මචෝ උඹ දන්නවනේ ගාමිණී ෆොන්සේකා කියන්නේ ලංකාවෙ චිත්‍රපට රජ්ජුරුවෝ. ඉතින් එයාගෙ හැටියට පොතත් තියෙන්න ඕනෑ. අනික මේ පොත ටිකයි ප්‍රින්ට් කරන්නේ. පොත් සාප්පුවලට දාන්නෙ නෑ"
රෝලන්ඩ් එදා එසේ කීවේ සිනාසෙමිනි. ඔහුට එදා එවැනි කෘතියකින් ඇතිවන පාඩුව ගැන බිඳක්වත් සැළකුවේ නැත.
එළෙසම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරීන්ගේ “සංදේශය” චිත්‍රපටයට පසුබිම් වූ තොරතුරු, ඡායාරූප, විචාර සමග චිත්‍රපට තිර රචනය ඇසුරින් ලියැවුණ නවකතාවද ඇතුළත් “සංදේශය”පර්යේෂණාත්මක ග්‍රන්ථයද, ලෙස්ටර්ගේ අද්විතීය සිනමා නිර්මාණය වූ "නිධානය" චිතුපට තිර රචනයද, රෝලන්ඩ් ඒ ප්‍රනානන්දුගේ සංස්කරණයක් ලෙසින් ඔහු විසින්ම ප්‍රකාශයට පත් කරන ලදි.
" මචෝ හොඳ නවකතාවක් ලියමුද?" ඔහු මට හමුවූ හැමදාකම මගෙන් ඇසුවේය.
"වෙලාවක් නෑ බං නවකතා ලියන්න"
" එකක් ලියන්න පටන් ගනිං. මම ප්‍රින්ට් කරන්නම්"
" හරි මම බලන්නම්. ඊට වඩා මම කැමතියි ශාස්ත්‍රිය පොතක්  ලියන්න. මට කතෘ භාගය එපා ඒ වෙනුවට  පුළුවන්නම් ප්‍රින්ට් කරල දීපං"
" ඔය වගේ පොත්වලට එච්චර මාකට් එකක් නෑ. හරි මොකක්ද ඔය පොත?"
" මේක එඩ්වඩ්ගෙ ගී ගැන විමර්ශනාත්මක විග්‍රහයක් කැමතිද?"
" හරි  කරමු"
රෝලන්ඩ් එඩ්වඩ්ගේද සමීප මිතුරකු වූ නිසාම වැඩේ ලේසියෙන්ම ඉටුකර ගත හැකි විය.එදා නවකතාවක් ලියන්නැයි ඔහු කළ ඉල්ලීම වෙනුවට මා විසින් සංස්කරණය කළ “එඩ්වඩ් ජයකොඩි ප්‍රතිභාවලෝකන - මාරම්බරී” කෘතියද කිසිඳු ලාභ අපේක්ෂාවකින් තොරව රෝලන්ඩ් විසින් “තාරක” පොතක් වශයෙන් ප්‍රකාශයට පත් කළේ ඔහු කලා ක්ෂේත්‍රයට දැඩිව ආදරය කළ රසිකයෙකු හා සහෘදයෙකු වූ බැවිනි.
 ඔහු ජීවත්ව සිටින තුරා කිසි දවසක නවකතාවක් මම ඔහුට ලියා නොදුන්නද, ඒ වෙනුවට හොඳට ලිවීමේ හැකියාව තිබූ නවක ලේඛක ලේඛිකාවන් කී දෙනෙකුටම රෝලන්ඩ්ගේ "තාරක" පොත් ප්‍රකාශන ව්‍යාපෘතිය යටතේ නවකතා ප්‍රකාශයට පත් කර ගැනිමට අවශ්‍ය දොර හැර දුන්නෙමි. රෝලන්ඩ් ඒ නවකතා එකින් එක මුද්‍රණය කර බෙදාහැරියේය. එපමණක්ද නොව ඒවා ලියු ලේඛක ලේඛිකාවන්ට හිමිවිය යුතු කතෘ භාගයද ගෙවා දැම්මේය. එපමණකින් නොනැවතී ඔවුන්ගේ දෙවන, තෙවන නවකතාද ඔහු විසින් ප්‍රකාශයට පත් කළේය.
එසේ කලා ලොව වර්ණවත් කළ බලංගොඩ,පින්නවල ග්‍රාමයේ උපන් රෝලන්ඩ් ජාතික ඇදුමින් නිරන්තරයෙන් සැරසී සිටි කතෝලික බැතිමතෙක් විය.හදිසියේ ඇති වූ  රෝගාබාධයකට ලක්ව මිය යන විට 64 වන වියේ පසු වූ ඔහු ජනවාරි 16 වන දා පස්වරුවේ සිය උපන් ගම වූ බලංගොඩ,පින්නවල රෝමානු කතෝලික පොදු සුසාන භූමියේදී අවසන් ගමන ගියේ පිපි සුවඳ දෙමින් තිබූ කුසුමක් අකල් සැඩ සුළං පහරකට හසුව ගිලිහී වැටෙන්නාක් මෙනි .
මෙවන් සහෘදයන් මේ ජීවිතේදී යළි හමු නොවුනද, මේ සංසාර චාරිකාවේ කොතැනක හෝ ලද විරාමයක දී හමුවනු ඇත.යළි කෙදිනකවත් මේ ජීවිතේදි  හමු නොවන නිසා එතෙක් හමුවු හැම දිනකම වෙන්ව ගිය අයුරින්ම, අදත් කීමට ඇත්තේ,
" රෝලන්ඩ් උඹට සුබ රාත්‍රියක් මචං" කියා පමණි.


පසු සටහන:

" අස්වැන්න" ට මා ලියූ මේ සටහන 2012.01.20 සිකුරාදා "ලංකාදීප" පුවත්පතේ රසවින්දන කලා අතිරේකය මගින්ද එදිනම "දිවයින" පුවත්පතේ කලා පිටුව මගින්ද පළකර තිබුණි. එම පුවත් පත් කතුවරුන්ටත් සංස්කාරකවරුන්ටත් මේ සොඳුරු මිනිසා වෙනුවෙන් මගේ කෘතවේදීත්වය


Wednesday, 11 January 2012

සඳ එළිය වගේ ගැලූ රොඩ්නිගේ ගී ගඟුල (2 වන කොටස)



ජන වහර, නාට්‍ය සම්ප්‍රදාය සහ රොඩ්නිගේ ගීත

රොඩ්නි වර්ණකුලගේ නවතම ගීත සමුච්ඡය වන " සද එළිය දිගේ" සංගත  තැටියේ ඇතුළත්  ගීත 17 ක් අතුරින් ඔහු ගැයූ සරල ගී  පිළිබඳව මීට පෙර විමසුවෙමි. එහි දෙවැන්න වශයෙන් ඔහු ගීතයේදී භාවිතා කළ ජනවහර, සහ නාට්‍ය සම්ප්‍රදාය ඇසුරින් නිර්මාණය වූ  ගී පිළිබඳව තවදුරටත් විමසීම මගේ අපේක්ෂාවයි.

රොඩ්නිගේ ගීත ශෛලිය විවිධ වූ හඬ පරාසයන් ඔස්සේ විහිදී යන බැවින් ඔහු  එකම කේන්ද්‍රයක තබා ඔහුගේ නිර්මාණ විමසිම  අපහසුය. ඒ නිසාම ඔහු වෙනුවෙන් තැබූ මේ සටහන කොටස් දෙකකට වෙන් කිරිමටත් ඒ ඔස්සේ " සද එළිය දිගේ" ගී එකතුව පිලිබඳව තවදුරටත් විමසීමටත් සිදු විය.

රොඩ්නි සිය නවතම ස්ව තන්ත්‍ර ගීත එකතුව සදහා සරළ භාෂා රටා ඔස්සේ ලියැවුණ ගීතද, ඔහු නියෝජනය කරන නාට්‍ය සම්ප්‍රදාය ඔස්සේ ලියැවුණ ගීත  සදහා ජන වහරද පුළුල් ලෙස යොදා ගනී. ඔහු  තම ගි එකතුව සඳහා පුළුල් ලෙස ජන වහර යොදා ගැනීමට එක හේතුවක් වන්නේ වේදිකාවේ රංගනයේ යෙදෙමින් ලද ආභාෂය, පළපුරුද්ද සහ හැකියාවයි.

රොඩ්නි රඟ පෑ  සියළුම වේදිකා නාට්‍ය වේදිකා ගතවන්නේ ගැයුමට මුල්තැන දෙමින් නිෂ්පාදනය වූ වේදිකා නාට්‍ය ලෙසට ය. රතු හැට්ටකාරී, තාරාවෝ ඉගිලෙති, බිසෝ, ජසයා සහ ලෙංචිනා, නරිබෑනා, මධුර ජවනිකා, පැංස දෙකේ හංසයා ආදී නාට්‍යවල සිට ඔහුගේම නිෂ්පාදනයක් වූ "සාරංගා නැවෙන් ඇවිත්"  නාට්‍යය පවා සංගීතමය ආකෘති මත  නිෂ්පාදනය වූ වේදිකා නාට්‍ය වේ. මෙම නාට්‍යවල වැඩිපුරම ගීතමය ජවනිකා ඇතුළත්වී තිබුණි.

පළමු වරට මම අසූව දශකයේ මැද භාගයේ දී පමණ රොඩ්නි දුටුවේ 'තාරාවෝ ඉගිලෙති " නාට්‍යයේ රඟපෑම තුළිනි. එදා පාසල් සිසුවකු ලෙස මා පාසලේදී සවස 3.30 දර්ශනය පමණක නොව සවස 6.30 දර්ශනයද නරඹා ගෙදර ගියේ එහි වු මධුරතම ගීතාවලියට ‍ලොල් වූ රසිකයකු  නිසා යැයි මට දැනුදු   සිතේ.
කඩේට පලයං චූං චෑං  ඉක්මන්කරපං චූං චෑං
අරක ගෙනෙං චූං චෑං  මේක ගෙනෙං චූං චෑං
කඩේ දුවනවා මං කෑම හොයනවා මං
කන්නට රුසියෝ මේ සිංගප්පූරුවෙ වැසියෝ.
( තාරාවෝ ඉගිලෙති, ලූෂන් බුලත්සිංහල
/ සංගීතය:  ගුණදාස කපුගේ)
එදා පළමු වරට දුටු මේ ගීය ගයමින් රොඩ්නි වේදිකාවේ කළ රංගනය  මගේ මතකයේ තවම තැන්පත්වී ඇත. 

ඉන් පාළොස් වසරකට පමණ පසු මා  "තාරාවෝ ඉගිලෙති " නාට්‍ය ටවර් රගහලේදී නැවත නරඹන විට ඔහු එහි ප්‍රධාන භූමිකාව කළ රංගන ශිල්පියා ලෙස නාට්‍ය ආරම්භ කරමින් ‍වේදිකාවට ප්‍රවිශ්ඨ වූ අයුරුද එලෙසම සිහිවේ. මේ එදා මෙදා තුර "තාරාවෝ ඉගිලෙති" නාට්‍යයේ ගායනයෙන් සහ රංගනයන් වේදිකාවේ මා දුටු රොඩ්නි නම් වූ සොඳුරු රංගන ශිල්පියා ය.

සෝබාව දේ  මෙ පුර සිරි විසිතුරු
බලනු මිතුරු මග පියකරු වූ
සුසුදු වළා කැරලි පළසකි මේ
මග දිග ඇති රූ අහස සූරන මැදුරූ

( තාරාවෝ ඉගිලෙති - ලූෂන් බුලත්සිංහල / සංගීතය:  ගුණදාස කපුගේ)

රොඩ්නි වේදිකාවේදී ගායනයෙන් සහ රංගනයෙන් එකළු කළ මේ සියළු අත්දැකීම් සිය ගී එකතුව සදහා රමණීය ලෙසත් මධුර ලෙසත්  යොදා ගනී. එ මෙන්ම ඔහුගේ මෙම ගීත එකතුව නිර්මාණයේ දී අපේ විවිධ නාට්‍ය නාට්‍ය සම්ප්‍රදායන් සහ  ශෛලින් අතර වූ ගැමි, නාඩගම්, කෝලං, නූර්ති සහ සොකරි ආදි නාට්‍යවල සංගීත සම්ප්‍රදායන්වල තිබූ ගායන ශෛලිය සහ සංගිත ශෛලිය තම නිර්මාණ සඳහා යොදා ගෙන  " සද එළිය දිගේ" ගී එකතුව සරසා  තිබේ. ඒ නිසා ම මෙහි ඇතැම් ගීත හාස්‍ය රසය මතු කළද එ මගින් මතු කරන්නා වූ උපහාසය සුළුපටු නො වේ.

අතුරු මිතුරු දඹ දිවතුරු ඇඟිලි ගැනපු පොඩි දෑතට
මහ බර වැඩ තව හුරු නෑ වලව්වෙ හාමූ
අනේ පුංචි දුවට උරණ නොවෙන් වලව්වෙ හාමූ

(ගැයුම -  බන්දුල විජේවීර)

මීට දශක දෙක හමාරකට මණ  පෙර ගුවන් විදුලියට බන්දුල විජේවීර ගැයූ ඒ ගීතය තුළ තිබූ රූප රචනාව මගේ මතකයට නැගුණේ රොඩ්නි සිය සංයුක්ත තැටියට ඇතුළත් කර "පුරාජේරු හාමු" නම් වූ මේ ගීය නිසා ය.

පුරාජේරු හාමුට මං ගෙනා පොඩිත්තී                                          
අන්න අඬල අඬල ගෙයි මුල්ලේ
මූණ තඩිස්සී
පුංචි කෙලී හුරතලේට
හැදුණු පැටික්කී
අනේ සහගහනව මටම දෙන්න
දැන්ම මයෙ එකී

ගී පද: එච්.එම්.පී.ප්‍රනාන්දු   / සංගීතය: සුසිල් අමරසිංහ

සිය අගහිඟකම් දරාගනු බැරිව ගමේ වලව්වේ  බැල මෙහෙවරට ගෙන යන දියණිය,  වලව්වේ දී  ලබන කටුක අත්දැකීම් ඔස්සේ දැරියගේ  නූගත් පියා මේ ගීය තුළින් ඇයගේ සියුම් සිතෙහි වූ වේදනාව හාමුට කියන්නේ වලව්වේ හත්මුතු පරම්පරාවම උපහාසයට ලක් කරමිනි. ඒ උපහාසය තුළින් මතු කරන්නේ දරුවන්ගේ සුන්දර ලෝකයයි. ඒ රොඩ්නිගේ ම  හඬ ම ය.

ඇතැම් විටෙක රොඩ්නි සිය ගායනය සඳහා රෝහණ බැද්දගේ ගී කෙතෙහි ගොඩනැගූ ගායන සම්ප්‍රදාය  යොදා ගනී. අපට හුරු අපේ සම්මත ජන නාද රටා බැද්දගේ අපට අපේකමට දැනෙන පරිදි ය. එය  බැද්දගේ ඔහුගේ ගී වලින් අපට පෙරලා දුන්නේ මී විතක් ලෙසය. ඒ ඔහුගේ ගායනය සහ රංගනය සඳහා පුළුල් ලෙස ජනවහර භාවිතා කළ බැවිනි.

කුරා කුහුඹුවකුටවත් හිංසා නො කරන " ඩිංගිරි මාමා " ගමටම ආදරය කරන කෙනෙකි. ගමටම ප්‍රිය මනාප තැනැත්තෙකි. ශක්තිමත් කෙනෙකි. ඔහු   ගීය නිර්මාණය  සඳහා  සැහැලි  ගායනා සම්ප්‍රදාය ජන වහර ඇසුරින්ම යොදාගනී.

රන්මල් කුඹුරේ 
බිං ගහ පෑලම                                              
එක මී බානෙන් බිං නැගුමට ගෙන
සූරිය බය කර පානා අඬහැර
රන්මල් කුඹුරේ ඩිංගිරි මාමා.... ඩිංගිරි මාමා

රන්වැලි සෑ කොත අප්පල්ලේ හිස
තායම එක්කල ගිලිනව විගහට
කෝණම ඇඳගෙන සුම්බරෙ බැඳගෙන
පින්නේ බහිනව මැද මහ කුඹුරට .. ඩිංගිරි මාමා

 ගී පද: චින්තක බණ්ඩාර / සංගීතය: එම් ආර් චූලසිංහ

මාතර යුගයේ සිටි කිවිඳියක වන ගජමන් නෝනා සහ එ සමයෙහි ප්‍රකට කවියෙකු වු ඇලපාත මුදලි ගොඩ නැගූ කවි සම්ප්‍රදාය ඇසුරින්  මෙරට ගී කෙතෙහි රසවත් ගී ගණනාවක් ම හමුවේ.  ඇලපාත මුදලි සහ  ගජමන් නෝනා ඒ හැම ගීයකම ප්‍රබල චරිත ලෙසින් අපට හමුවන්නේ එකකට එකක් වෙනස් ආකාරයෙන් බැඳුනු ප්‍රේමය මුල් කරගෙන ය. ඒ සියල්ල ම අර්ථයෙන් හා රසයෙන් පරිපූර්ණ ගීත වේ.

රොඩ්නි ද සිය ගී එකතුව සඳහා ගජමන් නෝනාගේත් ඇලපාත මුදලිගේත් කවි සම්ප්‍රදාය භාවිතා කරයි. ඔහු මේ ගීය තුළ ඇලපාත මුදලිගේ භූමිකාව ගායනය තුළම රංගනයක් ලෙස යොදා ගනී.

කවිකාර හැඩකාර කටකාරියේ
මන බැන්ද නෙතු බැන්ද සුර දූතියේ
නුඹ කවුද ගජමන්ද සඳ සාවියේ
කවිකාර ඇලපාත මං සොඳුරියේ

කවි රසට හිත වැටුණු හින්දා
ඇලපාත හිත නුඹට බැන්දා
ඇයි ඔහොම ඔරවන්නෙ මංදා
නුඹ නේද කවිකාර ලන්දා

ගී පද: ඇන්ටන් සුගත් වෙල්ගම  / සංගීතය: රවී අලුත්ගේ

රොඩ්නිගේ ගී එකතුව විචිත්‍ර ගීත එකතුවකි. ගී තනු නිර්මාණවලින්ද ගි පද රචනා වලින් විවිධාකාර වූ  තේමාවන් ඔස්සේ නිර්මාණය වී ඇති මෙම ගීත නිර්මාණ එකකින් එකකට වෙනස් වී තිබේ. එ හෙයින්ම එය ගීත රසයෙන් පිරිපුන් ගී එකතුවකි.  තම රසික සමූහයාට ඒකාකාරී නොවන ලෙස විවිධ රසයෙන් යුතු සංගීතමය හැඩ තල ගීත නිර්මාණ සඳහා යොදාගනී. ඔහුගේ " මගෙ සීතා කුමාරියේ" ගීය ද එ වැනි වූ  නැවුම් ආකෘතියකින් ලියැවුණු  ගීයකි. රාමා සීතා පුරාවෘත්තය  වර්තමානයට ගලපන්නේ ඒ භූමිකාවේ සිට ය. මෙහිදී රොඩ්නි ගී තනු නිර්මාණකරුවකු ලෙස සිය හැකියාව මනාව පිළිඹිඹු කරයි.

මගෙ සීතා කුමාරියේ නුඹෙ රාමචන්ද්‍ර මං            
මේ කතා කරන්නේ හදිස්සියෙන්
සීතාඑළිය නම් සෙයිලමේ තැපැල් හලෙන්

රාවණ ගේ දඬු මොනරේ කැඩිලලු
සීතාවක සිට එන ගමනේ
ගෙදර එන්න තව කල් ගත වේවිලු
හනුමගෙ පණිවිඩෙ දැන් ලැබුණේ

ගී පද: කපිල ක්‍රිෂාන්ත සූරිය ආරච්ච් / සංගීතය: රොඩ්නි වර්ණකුල

වේදිකාවටම හුරු වූ රොඩ්නිට අනන්‍ය වූ රංගන ශෛලියකින් ගායන ශෛලියකින්  නිර්මාණය වූ ගිත කීපයක්ම මෙම සංයුක්ත තැටියේ ඇතුළත් කොට තිබේ. වේදිකා නාට්‍ය සම්ප්‍රදාය ඔස්සේ  ලියැවුණ "වැල් තිබ්බොටු " ගීතය ඊට භාවිතා කරන සංගිතයත් , එහි ගායනයත් වේදිකා නාට්‍ය රංගනයකටම සුදුසු වන්නේ ය. හුදු  විනෝදාත්මක ගායනයක් තුළ විඩාපත් නො වන රසිකයා රොඩ්නිගේ ගායන සහ රංගන ප්‍රතිභාව ඔස්සේ සිය ගීතය  තුළ රඳවා තබා ගැනීමට ඔහු සමත් වේ.

වැල් තිබ්බොටු වෙනිවැල් ගැට සුවඳ අගිල් කෑලි කෑලි
නෙළා ගෙනැත් ඇට පිරිසිදු වැවෙන් ඕලු සේරු සේරු
පැණි වරකා රස වෑහෙන කපා යසට තීරු තීරු
නගා අරන් ආව පොළට මල් හිනාව බේරි බේරි

වෙළෙන්දියෝ වෙන තැන්වල බඩු එක්කල වේලි වේලි
ඉන්න විටදි දොම්නස් මැද දුකට වෙලා ඈලි මෑලි
නගේ නුඹට ගෙනැත් දෙනව මල් හිනාව කාසි වාසි
දීපන් මට නගේ නුඹේ අතින් හදන පුහුල් දෝසි

ගී පද: ඇන්ටන් සුගත් වෙල්ගම  / සංගීතය: මර්වින් ප්‍රියන්ත

 කෝලං නාට්‍ය සම්ප්‍රදායෙන්  ගොඩ නැගුණු "ජසයා සහ ලෙංචිනා" කතා පුවත ඇසුරින් නිර්මාණය වූ ගීයක් නව නිර්මාණයක් මෙම ගීත එකතුවේ හමුවේ. රොඩ්නිගේ ගීතය තුළ  මතු කරන හාස්‍ය ජසයා සහ ලෙංචිනා නාටය නරඹා ඇති රසිකයෙකුට නම් ජසයාගේ  නාට්‍යමය භූමිකාව  නිතැතින්ම සිහි ගන්වයි. රොඩ්නි තුළ තිබෙන හාස්‍යජනක  රංගනය මේ ගීය උසස් තලයක රඳවා තැබීමට සමත් වේ.

මතකද මූණ එහෙම 
මං ජස විදානේ                               
අපි කෝලං නැටුවේ එළිපිට එදානේ
වැඩිපුර හිනැහෙන එක
කොහොමත් හොඳානේ
අපි කෝලං නැටුවේ එළිපිට එදානේ

මං තිරිහන් වුණාට කෝලං බල බලා‍
නාකිනෙ හොඳටම දැන් මගෙ පණ ලෙංචිනා
ආරච්චිලත් ගියා මරුවැල පෑගිලා
බලන්න මං තාමත් හිත හොඳ තරුණයා

අත් දෙක පණ යනකං ඇති කුණු හේදුවා
ඉවරද මෙන්න තවත් දැ ළි කුණු ගෑවිලා
ඕනෑ නං ගමටම මූණට මල් හිනා
මං විතරක් මොකටද ඇයි මගෙ ලෙංචිනා

ගී පද: රත්න ශ්‍රී විජේසිංහ  / සංගීතය: වසන්ත කුමාර

නිතිඥ ජෝන්ද සිල්වා සූරින්ගේ "සිරිසඟබෝ" නුර්තියෙහි එදා ඇසුණු 'සිරි සංඝබොධි මාලිගාවෙදී" නූර්ති ගීය මීට වසර කීපයකට පෙර භාතිය සහ සංතූෂ් විසින් රැප් සංගිතයට ගැයිම ශ්‍රාවක විචාරක  නො සතුටට හේතු විය. එය ඔවුන් විසින් වෙළඳපොළ ඉලක්ක කරගනිමින් කළ නිර්මාණයක් විනා හරවත් නිර්මාණයක් නොවූ බැවිනි.

"හිපොප්" සංගීතයෙන් හැඩ ගැහුණු නූතන සංගීත සම්ප්‍රදායන් තුළ හරසුන් ගී බුරුතු පිටින් බිහිවන මෙවන් යුගයක එෆ් එම් ගුවන් විදුලි නාලිකාද මේ ගී  දවස පුරා විකාශය කරයි. දවසේ පැය විසිහතර පුරාම රැව් දෙන්නේ එළෙස රුවත්, හඬත් පමණක් ඇති, රසයක් නැති, හැඩයක් නැති , දර්ශනයක් නැති කපුටු හඬවල් පමණක් ඇති මේ ගායක ගායිකාවන්ගේ ගීතය. දවස ඇසෙන්නේ හර සුන් බොල් වචන පිරි ගිරාපෝතක නිවේදක නිවේදිකාවන්ගේ හඬවල් ය.

රොඩ්නි මේ ගීයෙන් කියන්නේ ඒ සෝදාපාලුවට ලක් වූ සංස්කෘතික සමාජයක සංගීත ක්‍රමය පිළිබඳව වූ යථාර්ථය නොවේ ද? ඔහු ඉඟි කරන්නේ මේ බිඳවැටෙමින් පවතින සංගීත ක්‍රමය පිළිබඳ නොවේ ද, එකී සිතුවිල්ල තුළ  සැබෑ  කලාකරුවාට, නිර්මාණකරුවාට  යා හැකි දුර කොපමණ ද?  යන්න නැවත අප විසින්ම සළකා බැලිය යුතුය.  මේ ගීයට වස්තු විෂය වූ සිරි සඟබෝ රජු හිස දන් දුන් ‍‍ඓතිහාසික පුද බිම පිහිටා ඇත්තේද ගල්ගමුවට ආසන්නයේ ය. එයද ගීයේ අරුතට මනාව ගලපා ඇත.

සිරි සංඝදාස මහත්මයා අනුරපුරේ සිට
නැග ගත්තා සැප බස් රියට
එන්නට පෙර රිය ඇතුගල් පුරයට
හිස දන් දුනි කොන්දොස්තරට

( චූටී බට්ටී තණකොළ පෙත්තී
ගමුකෝ ෆන් එක මී ගොං වැස්සී
ඕ මයි ඩාලිං ආතල් ස්වීටී
කම් ඇන් ජොයින් ද නොන්ස්ටොප් පාටී )
(ගීතයේ රැප් කොටස)

වහලෙට හැඩ වැඩ දාලා සවි කර
දෙකක්ම තිබුණා ලොකු ඉස්පීකර
ඇහුණා සූකිරි පෙම කවි කර
කණ රතු විය එන විට ගල්ගමුවට

(වැටකොලු පතෝල බටු බණ්ඩක්කා
කතුරු මුරුංගා අල මඤ්ඤොක්කා
ලේඩීස් ෆින්ගර්ස් ලයික් සොසේජස්
නව් වී සිංහල ලේටස්ට් නම්බර්ස් )
(ගීතයේ රැප් කොටස)

කෝකිල හඬ නෑසුනේ ය කිසි විට
කපුටන් කෑ මොර දෙයි ගජරාමෙට
සීතල විඳින්න ආ පාපෙට
හිස නැති කඳ එයි ඇතුගල් පුරයට

ගී පද: ධම්මික බණ්ඩාර  / සංගීතය: උපාලි වීරරත්න බණ්ඩාර

රොඩ්නි මේ ගීය ගායනය සඳහා භාවිතා කරන්නේ නූතන "හිපොප් " සංගීත සම්ප්‍රදාය යි. ගී තනුව ද, සංගිත නිර්මාණය ද නූතන සංගීත සම්ප්‍රදායටම අනුගතව නිර්මාණය කර තිබේ. ගායනය තුළත්, ගීතයේ රැප් කොටස මගින් රොඩ්නි තමන් දන්නා න්‍යාය භාවිතා කරමින් සංස්කෘතික පරිහානියට ලක්වෙමින් පවතින සමාජයක ගීතය ද ඊට සුදුසුම තැනක රඳවා තබා ඇත.

රොඩ්නි මෙම සංයුක්ත තැටිය නිපදවන්නේ ඔහුම උපයාගත් මුදලෙනි. ඔහුට අනුග්‍රහය දැක්වීමට සංගීත සමාගම් නැත. මක් නිසාද යත් මුදල මත යැපෙන වෙළඳපොල  සමාජ ක්‍රමයක "රොඩ්නි" යනු හොඳට අලෙවි කල හැකි නිෂ්පාදනයක් වුවත්, සංගීත සමාගම් ඔහු කෙරෙන් අපේක්ෂා කරන, ඒ වෙළඳපොල සංස්කෘතියට ඔහු අනුගත නොවන නිසාය. ඒ වගේම වෙළඳපොළ තුළ ඔහු  තවත් විකිණෙන භාණ්ඩයක් වීමට ඇති නො කැමැත්තයි. ඊටත් අමතරව ඔහු වටා සිටින රසික සහෘද කැළ  හරවත් සංගීත සම්ප්‍රදායකට යොමු කිරීමට ඔහු තුළ ඇති කැමැත්තයි.

එදා මේ ගී එකතුව එළි දැක්වූ  නව රඟහලේ මුලසුන දරා සිට රොඩ්නිගේ ගී සහ රග සොබාව රස විඳි ආචාර්ය අමරදේව සූරීන් ඔහුගේ රංගන සහ ගායන ප්‍රතිභාව අරුත් ගන්වද්දී  තවත් ඒ ගැන කුමක් කියන්නද?   

අද පවතින මේ වෙළඳපොළ සමාජ ක්‍රමය තුළ ඇති ඉතාම කුඩා වූත්, පටු වූත් සිදුරකින් රොඩ්නි ද රිංගා යමින් ඔහු වටා සිටින රසිකයා ද ඒ සිදුරෙන්ම ඇදගෙන  හරවත් ගීතයට ඔහු මංහසර විවර කරයි. ඒ වූ කලී  රොඩ්නි වර්ණකුල නිර්මාණය කළ    " සඳ එළිය වගේ " ගී එකතුව  ගී කෙතේ බොල් සුළඟට ගසා නො යන රන් අස්වනුවකි. ෴  
Related Posts Plugin for WordPress, Blogger...