විජය
කුමාරතුංග නම් වූ මානව හිතවාදී කලාකරුවා, දේශපාලඥයා සමු අරන් පෙබරවාරි මාසෙ 16
වනදාට හරියටම අවුරුදු 25ක්. අවුරුද්දකට එක වතාවක් හෝ මා ආදරය කරන ගෞරව කරන මෙවැනි
සොඳුරු මිනිසුන් ගැන මතකය අවදි කිරිමත්
එක්තරා ආකාරයක සතුටක්. ඒ අනෙකක් නිසා නොව මේ
රටේ ජනතාවගේ රසිකත්වය උසස් තලයකට ගේන්න ජීවිත
කාලයම කැප කරපු කලාකරුවන් වන නිසා. මෙවන්
මිනිසුන් ජීවිතයෙන් සමුගෙන බොහෝ කල් ගියත්
හැම විටම දැනෙන්නෙ මේ දැන් හිටියා වගේ
උණුසම් හැඟීමක්. මෙවන් කලාකරුවන් මේ රටේ කලාව සහ ජනතාව වෙනුවෙන් සදා අනුස්මරණීය සේවයක් ඉටු කර
ඇති නිසා මෙවන් සොඳුරු මිනිසුන් ගැන නැවත
නැවතත් අතීතාවර්ජනයක් කිරීම අපේ යුතුකමක්
කියලයි මට හිතතෙන්නෙ.
ඒ නිසා නිරන්තරයෙන් මා ආදරය කරන මගේ හිතට වඩාත් සමිපව දැනුන මේ සොඳුරු රංගන ශිල්පියා, ගායන ශිල්පියා, දේශපාලඥයා. එහෙමත් නැත්නම් කලාතුරකින් හමුවන මානව හිතවාදී කලාකරුවකු වශයෙන් විජය කුමාරතුංගයන් වෙනුවෙන් අද අස්වැන්න සටහන් කරනව. ඒ ටිකක් සුවිශේෂ ආකරයෙන්. සාමාන්‍යයෙන් විජය ගැන වැඩිපුරම කතාබහට ලක් වෙන්නෙ ඔහුගේ දේශපාලන දර්ශනය සහ රංගනය ගැන වුවත් ඔහුගෙ ගායනය ගැන ඉතාමත් අඩුවෙන්ම කතා කරන නිසා මා ඔහුගෙ ගායනය ගැන පමණක් සඳහන් කරන්නම්.


නිදසුනක්
ලෙස කේමදාසයන්ගේ සංගිතයට විජය කුමාරතුංගයන් ගැයූ "රාංකුරුලු වෙස් අරගෙන"
ගිතය ගත හැකිය. මේ ගීතය පදමාලාවෙන් වගේම සංගීතයෙන්ද පිරිපුන් ගිතයක්. විජගේ ප්‍රතාපවත් රංගන ශෛලිය
පමණක් නෙව ඔහුගේ මන බඳින රූපකාය මොහොතකට අමතක කළොත්, ඔහුගේ මේ ගායනයත් ගීතයට එකතු කරන්නෙ අපූර්ව ප්‍රේමනීය
සුන්දර අත්දැකිමක්. ඊටම ගැලපෙන්න නීලාගේ
මියුරු ගායනයත් ගීතය පුරා විහිදුවමින් ප්‍රේමණිය හැඟීම් සමුදායක් අපේ සිතුවිලි වලට
යා කරනව.
රාං කුරුළු වෙස් අරගෙන
රූං කියා ඉගිලෙන්නට
සීන් සිනිදු පියාපතක්
නුඹටයි මටයි ලැබේවි
නුඹටයි මටයි ලැබේවි
අහස් තලා නව නිල්ලේ
සිහිල් රැයේ සඳ ඇල්ලේ
රිදීවලා දෝලාවේ
මේ මන්ද මාරුතේ
රෑ යාමේ හමුවෙමු දෝ
ළංවී අපී..
සාගරයේ රළ රැල්ලේ
පබළු ලතා මුතු ලැල්ලේ
තරංගයේ නෞකාවේ
මේ සිහින මාවතේ
රෑ යාමේ හමුවෙමු දෝ
ළංවී අපී..
ගේය
පද: ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය :
ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගැයුම: විජය කුමාරතුංග සමග නීලා වික්‍රමසිංහ
“රාං
කුරුළු වෙස් අරගෙන” ගීතය මෙතනින් අහන්න
විජයගේ
නම කී පමණින් මැවෙන්නේ ඔහුගේ අතිවිශිෂ්ට රංගනයේ ප්‍රතිභාවයි. සිනමාවේ අග්‍රගණ්‍ය
ප්‍රේමවන්තයාගේ රංගනය හමුවේ ඔහුගේ ගායනය පිළිබඳ ඉඟියක් පවා අපට නොදැනේ. එමෙන් ම ඔහුගේ දේශපාලන භූමිකාව සිහියට නො ඒ. එහෙත් කලාකරුවකු සතු හැකියාවන් කිසියම් ක්ෂේත්‍රයකට පමණක් සිමා කිරිම සාධාරණ නොවේ.
මෙවැනි වූ විවිධ ක්ෂේත්‍රයන් ස්පර්ශ කළා
වු පොදු ජන හදවත් දිනාගත් ආදරණීය මිනිසකුගේ හැසිරීම කලාව කලාවක් වශයෙන් ඔසවා
තබන්නට හේතු වූවා විනා ඒ ගැන බුද්ධිමය සංවාදයකට ලක් කළ හැක්කේ එහි අන්තරගතය
බුද්ධිමත්ව විමසා බැලීමෙනි. එසේ නොමැතිව විජය කුමාරතංගයන්ගේ කලාත්මන මිනිස් හදවත හඳුනාගැනිමට
පුලුවන් කමක් නැත.
1969 වර්ෂයේදී තිරගත වූ සුගතපාල සෙනරත් යාපාගේ "හන්තානේ කතාව" චිත්‍රපටයෙන් විජය එක රැයින්ම සිනමා තරුවක් බවට පත්වූවත්, ඔහුගේ ගායනය පිලිබඳ හැකියවන් දර්ශනය වන්නට පටන්ගන්නේ 1978 / 79 කාලයේ දී සිටය. ඒ මෙරට කැසට් පට නිෂ්පාදන ක්‍රියවලිය බිහි වූවාට පසුවය.

ඒ නිසාම
විජයගේ ගී හඬ අපට ළගා වූයේ ගුවන්විදුලි හෝ
රූපවාහිනී මාධ්‍ය ඔස්සේ නොව කැසට් පට හරහාය. ඒ නිසා ඔහුගේ රසිකයන් සිතූයේ විජය රංගනයෙන් ඇති කරගත්
ජනප්‍රියත්වය හරහා ගායකයකු ලෙසින්ද ස්ථාවරයක් ගොඩ නගන්නට උත්සාහ ගන්නා බව ය. ඊට
ආසන්නම හේතුව වන්නේ එවකට එච්.ආර්.ජෝතිපාල, ජේ.ඒ මිල්ටන් පෙරේරා, මොහිදීන් බෙග්, සහ
නිහාල් නෙල්සන් වැනි ශිල්පින් ජනප්‍රිය සංගීතයේ බැබලෙමින් සිටි නිසා ඒ ඇසුරේ හැදී
වැඩෙන්නට සිනමාවේ ජනප්‍රිය තරුව ලෙස විජය
ගයනයට ප්‍රවේශ වූ බවට මතයක් රසිකයන් තුල
මුල් බැස ගෙන තිබුණි.
විජය සතුව තිබුණේ සංගීතයේ දුර්ලභ ගැඹුරු ගී හඬකි. එය බෙහෙවින්ම ජෝතිපාලගේ ගැඹුරු ගී ස්වරය තරම් එකක් විය.. ඊට හොඳම නිදමසුනක් ලෙස මතු දැක්වෙන ගීතයේ ඔහු විසින් හඬ පාලනය කරගන්නා හැටි කදිමය. විශාල පරාසයක පැතිරීයන ගී හඬක් කේමදාසයන්ගේ සංගීතයට වෙඬරු පිඩක් සේ එක මිටකට මුසුකර ඇති විජයගේ රංගනය සියල්ලන්ටම අමතක කරවමිනි.
හද අරණේ වියෝ ගිනි උසුලා
ඔබ අසරණ කළ අසරණයෙකු හට
ජීවත්වන්ට කියා දෙන්න මට
මිනිස් සිතින්
වියෝ ගිනි උසුලා
සිතුවිලි බිඳු බිඳු දෝතින්
කැටිකර
ඔබ පාමුල පූජාසනයේ
ජීවිතයෙන් පිදු ජීවිතයක් බඳු
ආදරයක් අහිමි වූදා
ඔබ අසරණ කළ අසරණයෙකු හට
ජීවත්වන්ට කියා දෙන්න මට
මිනිස් සිතින්
වියෝ ගිනි උසුලා
දෑසට නොකියන සිතුවිලි කඳුළක
පිළි රූ ඔබෙ මා හා ගැවසේ
කාලය ගෙවුනද මතකින් නොමියන
පෙම් සුවඳක් අහිමි වූදා
ඔබ අසරණ කළ අසරණයෙකු හට
ජීවත්වන්ට කියා දෙන්න මට
මිනිස් සිතින්
වියෝ ගිනි උසුලා
සංගීතය :
ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගැයුම: විජය කුමාරතුංග
“හද අරණේ
වියෝ ගිනි” ගීතය මෙතනින් අහන්න
විජය
කුමාරතුංගයන්ගේ ගායනය ගායන මග වසර 8ක් 9ක්
වැනි කෙටි කාලයකි. ඒ කෙටි කාලය තුල ඔහු විසින් ගීත 100 - 150 ක් පමණ ගායනා කර තිබේ.
මේ සියළුම ගිත සාර්ථක නිර්මාණයන් නොවේ. එහෙත් ඒ ගීත සංඛ්‍යාව අතර අති විශිෂ්ඨ ගීත
රැසක්ම තිබේ.
.jpg)
එසේ
ජවයක් සහිතව ගොඩනැගෙන විජයගේ ගී හඬ සහ ඔහුගේ ඇතැම් ගීත සංගීත නිර්මාණකරුවන්ගේ නොසැලකිල්ල සහ නිසි අයුරින් වටහා නෙගැනිමත් හේතුවෙන් අසාර්ථක
නිර්මාණ ඔහුගෙන් බිහිවිය. ගුණදාස කපුගේ, සරත් දසනායක, රෝහණ වීරසිංහ, වැනි සංගීතඥයන්
විසින් විජයගේ ගායන පරාසයේ ප්‍රමාණය මැනැවින් හඳුනාගෙන ගී තනු නිර්මාණය කළහ. එහෙත් සංගීතය හදාරා නොමැති සහජ දක්ෂතාවයක් ඇති ගායන
ශිල්පියෙකුගේ ගායනය පරාසය තුල විජයගේ ගී හඬ භාවිතයට ගත හැකි ආකාරය වඩාත් නිවැරදිව
කේමදාසයන් වටහාගත් බව විජයගේ ගි නිර්මාණ සියල්ලෙන්
කේමදාසයන්ගේ ගීත වෙන්කර බැලීමේදි වටහා ගත හැකිය.
.jpg)
විජය -
කේමදාස සංයෝගය සංගීතයේ කෙටි සළකුණක් වුවත් එය ලාංකේය ගීත සාහිත්‍යයේ ඉතා කුඩා වැදගත්
සම්බන්ධතාවයකි. එකිනෙකට වෙනස් හැඩයෙන් සහ රිද්මයෙන් යුතු ගීත නිර්මාණය කරමින් විජය
ගායකයකු ලෙස මෙරට රසිකයන්ට හඳුන්වා දිමට කේමදාසයන් මහත් උත්සාහයක් දරා ඇත. කේමදාසය අතින් හැඩ වූ විජය ගැයු ගීත අතර දිනකර
පායා, පුතණු කෙනෙකුන් , කඳුළු බොඳවූ, උණුසුම් සුසමක්, නැගෙන හිරුට පිටුපා සහ වැව් දියේ
රැළි ඊට හොඳම නිදසුන් ය. කේමදාසයන් හැදූ විජයගේ
ඇතැම් ගීතවල ගායන සහය සඳහා නීලා වික්‍රමසිංහ සහ මාලනී බුලත්සිංහල භාවිතා කිරීමද ඒ
ගීතවල රසය නුසුන් වීමට ඉවහල් වී ඇත. ඊට හොඳම නිදසුනක් ලෙස විජය ගැයූ මතු දැක්වෙන
ගීතය ගත හැකිය. විජය ගී ගායනයේදී කොතරම්
දක්ෂ ලෙස හඬ පාලනය කරමින් ගීතය ගායනා කර ඇත්තේද යන්න විමසන්නට මේ ගීයම ප්‍රමාණවත්ය.
ඉහළ බලන්
කළ වරදට ඉකිබිඳ
වැළපෙන
ඛලුවර අහස මමයි
පහළ බලන්
සීතට පා තැවරෙන
තණ
නිල්ලේ පිණි කඳුළ මමයි
ඈත බලන්
හද තරහ නිවන්නට
නිදියන
සීතල සුළඟ මමයි
හැරී
බලන් නුඹෙ දෙපා යදින්නට
බිම
ඇදෙනා සෙවනැල්ල මමයි
දසත බලන්
නුඹෙ සවනට කොඳුරන
වැළපෙන දුක්මුසු
ගීය මමයි
මදෙස
බලන් ඒ ගීයට ගීයක්
ගයමින්
සැනසෙන කුසුම මමයි
සංගීතය :
ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගැයුම: විජය කුමාරතුංග සමග මාලනී බුලත්සිංහල
“ඉහළ බලන්”
ගීතය මෙතනින් අහන්න
කේමදාසයන්
විසින් විජයට නිර්මාණය කළ මෙවන් ගී ඇසූ
විට හැඟෙන්නේ ඔහුගේ ගායනයෙන් ගත හැකි ප්‍රයෝජනය පිළිබඳ නිවැරදි තක්සේරුවක් කේමදාසයන්
තුළ තිබු බවයි.
කෙටි කලක්
ඇතුළත විජය ගැයූ ගීත ප්‍රමාණය විශාළ සංඛ්‍යාවකි.
එසේ වුවත් ඒ සියලු ගීත ජනතාව අතරට ගියේ නැත. විජයගේ ගායනට වැට බැන්දේ ඒ ගීත ගුවන් විදුලියෙන්
සහ රූපවාහිනියෙන් ප්‍රචාරය විම වැළැක්විමෙනි. ඒවන විට ගායකයෙකු ලෙස නැගී සිටන්නට නම් මෙරට තිබූ
ආණ්ඩුවේ එකම ගුවන් විදුලි නාලිකාවත්, රූපවාහිනී නාලිකා දෙකෙත් සහයෝගය අත්‍යවශ්‍ය
සාධකයක් වූ නිසා විජයට සිදු වූයේ එකල
පැවති රජයේ මාධ්‍යයන්ට අභියෝග කරමින් කැසට් පට මගින් තම සංගීත ගමන් මග සකස් කර
ගන්නටය.
අනෙක් අතට ඒවන විට විජය කැසට් පට මගින් තම ගී නිර්මාණ රසිකයන් අතරට ගෙන ගියද ඒ බොහෝ ගිත වැලඳ ගත්තේ සිමිත රසිකයන් පිරිසක් පමණිඑහෙත් නිර්මාණකරුවකු ලෙසින් ඔහු මියයන විට චිත්‍රපට පසුබිම් ගීත ගණනාවක් ගයන්නට තරම් සංගීතමය හඬ පෞරුෂයක් ගොඩනගා ගැනිමට හැකි වූයේ කේමදාසයන් ඇසුරේ ඔහු ගායනයෙන් ලැබූ පන්නරයයි.
හමුවේවිද
අප ආයේ සුරතින් සුරත බැඳී
අහස
මුහදේ ගැටෙන සිතිජයෙ වේදෝ
ඔබ හා මා
ජාති
ජාතිත් සංසාරේ
දැවෙන හිතට
එක කදුළක්
නුඹේ
ඇසින් වැටුණු දිනේ
හිතට
දැනුණ තෙතමනයෙන්
මට දැනුණා
නුඹේ සෙනේ
නුඹ වෙනුවෙන්
වැලපීලා
මගේ
කඳුළු ගඟ සිඳිලා
නුඹේ
කඳුළු මට දීලා
නුඔ
නාඩන් සොඳුරු ළඳේ
සංගීතය :
ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගැයුම: විජය කුමාරතුංග සමග මාලනී බුලත්සිංහල
“ඉහළ බලන්”
ගීතය මෙතනින් අහන්න
ඒ නිසා අද
විජය ගැන බොහෝ දෙනෙක් කතාකරන්නේ ඔහුගේ
රංගනයේ ප්‍රතිභාව ගැන හෝ දේශපාලයෙන් ගොඩනගා ගත් චරිතය ගැන වුවත්, විසිපස් වසරකට
පසුව හෝ ඔහුගේ ගායන ශිල්පියෙකු ලෙසින් දැක් වූ දක්ෂතාවය පිලිබඳව නැවත සිතා බැලිය යුතු
යැයි හැඟේ.෴
මෙහි ඇතුළත් සියළු ඡායාරූප අන්තර්ජාලයෙන් ලබා
ගන්නා ලද ඒවාය.
වටිනා කාලය බිඳක්
වැය කර ගී රස විඳිමින් කියවූ ඔබට
ස්තූතියි. වෙලාවක් ඇත්නම් මීට වඩා
වෙනස් වූ ඔබේ විචාරාත්මක අදහසත් මෙහි ලියා
තබන්න