එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Saturday, 9 February 2013

෴ ලෝකය ආදරෙන් හදමු... ෴




පසුගිය සති කිපයේ දරුවන් සම්බන්ධයෙන් අපට අසන්නට ලැබුණේ හිතකර පුවත් නොවේ. වසර ආරම්භයේදීම සවුදි අරාබියේදි නොකළ වරදකට රිසානා සිය ජීවිතයෙන් වන්දි ගෙව්වා ය. ගෙවුණු සතියේදී ඊළඟ හද සසල කරන පුවත් කීපය එක පිට එක වාර්තා වූයේ ලංකාවේ සිවු දෙසිනි.

ඒ එක පුවතකින් කියවුණේ 13 හැවිරිදි පාසල් දැරියක් පාසලේ පන්ති කාමරයේ තීන්ත ආලේප කිරිමට රුපියල් 800.00 ක ලබා දිමට වත්කමක් දෙමාපියන්ට නොතිබූ  නිසා අසල වූ වත්තකින් රුපියල් 320.00 කි වටිනා පොල් ගෙඩි 08 අහුලා ගැනිම හේතුවෙන් සොරකම් කිරීමේ වරදට හසුව අධිකරණයෙන් දඬුවම් පැමිණ වූ බවය. බාලයෙකු වුවද   අන්සතු දෙයක් නොදන්වා ගත්තත් වරද වරදම ය.

ඊළඟ පුවත වූයේ උසස් පෙළ විශිෂ්ඨ ප්‍රතිඵල ලැබෙන විට එක දියණියක  සිය පවුලේ අගහිඟකම් පිරිමහ ගනු වස්  අධ්‍යාපන කටයුතු වලට සමුදී නගරයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය ගොස් ඇති බවකි.

අනෙක් පුවත වූයේ අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිවරයා තමන්ගේ කායික මනදොල සපුරාගනු වස් බිලිගත් දැරිය ගමටත් සමාජයටත් මුහුණු දීගත නොහැකිව වස පානය කර සිය දිවි හානි කරගෙන ඇති බවය.

පුදුම සහගත කාරණය වන්නේ මේ සියල්ලම සිදු වූයේ උදේ හවස තුන් තිස් පැයේ බණ කියන, බණ අහන මේ ධර්මද්වීපය තුළදී වීම ය.

මෙහි වරද සිදු වූයේ කොතැනද, වැරදි කරුවන් කවුරුද යන්න සෙවිමට උත්සාහ නොකරමි. එසේ වුවත් මේ සිදුවෙමින් පවතින්නේ ව්‍යසනයක මූලාරම්භය බව නොකියා සිටිය නොහැක. මෙය ලාංකිය ජන සමාජයේ දරුණු බිඳ වැටිමක පෙර නිමිතිය. අපේ මිනිසුන්ගේ චින්තනය සෝදා පාලුවට ලක්ව ඇති බවට දෑස් ඉදිරියෙම පෙනෙන්නට ඇති සංකේතාත්මක අනතුරු හැඟවීම් ය.

මේ ටිකත් සටහන් කරන්නට සිදු වූයේ  අද අස්වැන්නට මීට කලකට ඉහත දි මා ලියු ළමා ගීයක් මෙහි සටහන් කරන්නට සිත් වූ නිසා ය. ඒ නිසා මෙතැන් සිට මේ ගීතය බිහිවු අයුරු ඔබට කියමි.

මිට වරස කීපයකට කලින් ලංකාවේ රූපවාහිනී නාලිකාවල සුපිරි තරු තෝරන වැඩසටහන් බිහිවෙමින් තිබුණි. ඒ  අවධියේ ජාතික රූපවාහිනිය මගින් ගායන දක්ෂතා ඇති දැයේ දූදරුවන් හඳුනාගෙන ඔවුන් දිරිගැන්වීමේ සංගීතමය ළමා වැඩසටහනක් ආරම්භ කර තිබුණි. ඒ ළමා සංගීත වැඩසටහනේ ගීත ගැයිමට වරම් ලද්දේ වයස අවුරුදු 12 අඩු දූදරුවන් ය.  එසේම කිසිඳු අවස්ථාවක එම වැඩසටහනෙන් වෙනත් ශිල්පියෙකු හෝ ශිල්පිණියක ගැයූ ගීත ගැයිමට නොහැකි විය. වැඩසටහනට ඉදිරිපත්වන ළමුන් ගායනා කළ යුතුව තිබුනේ ස්වතන්ත්‍ර නිර්මාණයන් ය.

ඒ අනුව මට එ දවස්වල එක දිගටම ළමා ගීත ලියන්නට සිදුව තිබුණි. ගීතයක් ලියවා ගැනීමට දුර බැහැර සිට දූ දරුවන් කැටුව දෙමව් පියන්  මා සොයා පැමිණියහ. ඒ අනුව මේ ළමා ගීත සන්ධ්‍යාව වැඩසටහන සඳහා ගීත 12 පමණ මවිසින් රචනා කළෙමි. එයින් ගීත 10ක්ම සංගීතවත් කළේ විශාරද එඩ්වඩ් ජයකොඩි මහතා විසිනි. ඉතිරි ගීත දෙක සංගීතවේදී නවරත්න ගමගේ විසින් නිර්මාණය කළ බව මතකය.

එසේ මා ලියූ ළමා ගීත අතරින්  එඩ්වඩ් ජයකොඩි මහතා  සංගීතවත් කළ ගීත දෙකක් එකී තරගයේ අවසන් වටයට දක්වා පැමිණ තිබුණි. අද මා මෙහි සටහන් කරන්නේ එසේ අවසන් වටය නියෝජනය කළ  ඒ එක් ගීතයකි.

එසේ එ දවස එක්තරා දවස උදෑසන ගීතයක් ලියවා ගැනිමට හෝමාගම ප්‍රදේශයේ සිට මා සොයා පැමිණි තරුණ මව්පිය යුවලක් සහ කුඩා දියණියකි. එසේ පැමිණි ඔවුන් සමග ආ ගිය තොරතුරු කතාකරමින් සිටින අතර තුර  ඔවුන්ගේ අවශ්‍යතාවය පිළිබඳ විමසිමි.

“අපේ දුවට ළමා ගීතයක් ලියවා ගන්නයි අවේ” මව කීවාය.

“කවුද සංගීතය නිර්මාණය කරන්නේ” මම ඇසීමි.

“ඒ ගැන තවම හිතුවෙ නෑ  සර් දන්න කෙනෙක් ඉන්නවද?” මව මගෙන් ඇසුවාය.

ඒ වන විටත් මගේ ගීත කිපයක්ම ඒ රූපවාහිනි වැඩසටහනට එඩ්වඩ් ජයකොඩි මහතා විසින් සංගීතය නිර්මාණය කර තිබූ නිසාත්.  මේ තරුණ යුවල සිය දියණියද කැටුව පැමිණ සිටියේ ඒ තොරතුරු ඔස්සේ බවත් පැහැදිළි විය.

“ මේ ගීයටත් එඩ්වඩ් ජයකොඩි මහත්තයට කියල සංගීතය නිර්මාණය කරන්නද?” මම ඇසුවෙමි.

“කොච්චර ලොකු දෙයක්ද එහෙම කෙනෙකුට කියල කරගන්න පුළුවන්නම්” මව කීවාය.

ඒ මොහොතේ කුඩා දියණියගේත් දෙමව්පියන්ගේත් සිත් ඉපිල ගිය බවක් මට දැනුණි. එසේ බොහෝ වේලාවක් කතා බහේ නියැලෙමින් සිටියදී ඔවුන් ආපසු යන්නට සැරසුණි.

“සර් ගාන කීයද?”

ලිපි කවරයක් මිට මොළවාගත් මව හීන් සීරුවේ එසේ විමසුවේ හිතේ පිරුණු තැතිගැන්මකින් යුතුව ය.

“මොනවටද?”

“සර්ගේ මහන්සියට” ඇය ලිපි කවරය මා වෙත දිගු කළාය.

අද නූතන පරපුරේ ශිල්පීන් අතර ගීතය වෙළඳ භාණ්ඩයක් වුවත්, නිර්මාණයක් මුදලට තක්සේරු කිරීමේ පුරුද්දක් මා සතු නැති නිසා ඒ මුදල ප්‍රතික්ෂේප කළෙමි.

‘මට සල්ලි එපා මේ සල්ලි ටික තියාගෙන යන ගමන් දූට මොනව හරි අරන් දෙන්න මම සිංදුවක් ලියල දෙන්නම්”

එසේ එදා පොරොන්දු වූ පරිදිම දින කීපයකින් ගීතය ලියා එඩ්වඩ් අත තැබූයෙමි. අප දෙදෙනාම එක්ව ගීතයේ සංගීතය නිර්මාණය කල පසු ,  සති අන්ත නිවාඩු දිනයකදි  ඒ කුඩා දැරිය එඩ්ව‍ඩ්ගේ නුගේගොඩ පිහිටි නිවසට කැ‍ඳෙව්වෙමු.   කීපවිටක් ගීතය පුහුණු කළ පසුව ඇයට ඒ ගීතය පුහුණවන්නට පහසු වන සේ එඩ්වඩ්ගේ සංගීත කාමරයේ අසළ තිබු කැසට් රෙකෝඩරයකින් ගීතය පටිගත කර දුන්නේ කිසිඳු අයකිරීමක් හෝ ගාස්තුවකින් තොරවය. ඒ වැඩසටහනට කිසිඳු ළමා ගීයකට ඔහු මුදල් අය කළේ  නැත. ඔහු එදා මෙන්ම අදත් එවැනි දේ සඳහා මුදල් හඹා නොයන කලාකරුවෙක් බව දනිමි.


කෙසේ වුවත් ඒ දැරිය ළමා ගීත සන්ධ්‍යාව වැඩසටහනට ගීතය මනරම් අයුරින් ගායානා කළා ය. පියවරෙන් පියවර අවසන් තරඟකරුවන් දො‍ළොස්දෙනා අතරට පැමිණි ඇයට අවසන් තරගයට මුහුණ දෙන්නට සිදු වූයේ සජීවි ගායනයක් ඉදිරිපත් කරමිනි. තරගය පැවතියේ මරදාන ටවර රඟහලේ ය. මගේ ගීත දෙකක්ම අවසන් තරඟයට ඉදිරිපත්ව තිබූ නිසා මමද ඒ හැන්දෑවේ ටවර් රඟහලට ගොඩවූයේ ප්‍රසංගය නැරඹීමට මටද ආරාධනයක් ලැබ තිබුණ හෙයිනි.

අවසන් තරඟය විනිශ්චය කිරීමේ කාර්යය සඳහා ඇරයුම් ලැබ තිබුණේ විශාරද එඩ්වඩ් ජයකොඩි,  ජගත් වික්‍රමසිංහ සහ තවත් සංගීත ශිල්පිණියකට ය. තරගය පැවැත්වෙද්දී ‍මගේ ගීය ගැයිමට නියමිතව සිටි දැරියගේ වාරය උදා විය.  ඇය පාසල් යන දියණියක සේ සැරසී රංගනයක් ඉදිරිපත් කරමින්ම සිය ගායනයෙහි නිරත වෙමින් වේදිකාවේ සිටියාය. වේදිකාව අසල වූ තිරයේ ළමා ගීත සන්ධ්‍යාව වැඩසටහන සජීවිව විකාශය වෙමින් තිබුණි. වරින් වර වේදිකාව දෙසත්, තිරය දෙසත් මගේ විමසිල්ලත්, අවධානයත් යොමු වූයේ ගීතයක් විකාශය වන අතර තුර ගීතයේ නිර්මාණ කරුවන්ගේ නම් සඳහන් වූ නිසාය.

අවාසනාවකට මෙන් එකවරම ගීතයේ රචකයා ලෙස දිස් වූයේ “දයාරත්න  පෙරේරා” යනුවෙනි. මට උන්හිටි තැන් අමතක විය. නිර්මාණකරුවකුගේ නිර්මාණ අයිතිය සම්පූර්ණයෙන් අහිමි වි ඇත. කරන්නට කිසි දෙයක් නැත. සියල්ල සිදුවි හමාරය.

වැඩසටහන අවසානයේ ජයග්‍රාහි දරුවන් තිදෙනා අතරට එඩ්වඩ්ගේ සංගීතයෙන් හැඩවූ මගේ නිර්මාණ ඇතුළත්ව නොතිබුණි. එඩ්වඩ් ඒ විනිශ්චය මණ්ඩලයේ හිටියත් නිවැරදි මොහොතක නිවැරදි තීරණය ගනිමින් ඒ වැඩසටහනේ ‍දක්ෂතම දරුවන් තිදෙනා තෝරාගත්තේ කලා කරුවගේ තිබිය යුතු අව්‍යාජ බව නැවත තහවුරු කරමිනි.

තරගය අවසානයේ ජයග්‍රාහකයන්ට අමතරව ඊට සහභාගී වු සියලු දෙනාටම ත්‍යාග සහ සහතික පත් ලැබුණි. ඊට පසු දිනයේ දුරකථනයෙන් මම ඇයට සුබ පැතුවෙමි.  ඒ වන විටත් ඒ ගීතයේ ගීත රචකයාට අසාධාරණයක් සිදුව ඇති බවත් එය නිවැරදි කරන ලෙසත් එඩ්ඩඩ් වැඩසටහන් නිෂ්පාදකට කියා තිබුණි. කෙසේ වුවත් විකාශය වූ පසුව ඒ වැරැද්ද නිවැරදි කළ නොහැකි බැවින්, ළමා ගීත එකතුව එළි දක්වන මොහොතේ එය නිවැරදි කර තිබිම ගැන සතුටු වෙමි.

එසේම සිදුවූ වරද පිළිබඳව ගීතය ගැයු දැරියද ඇයගේ දෙමව්පියන්ටද දැනගන්නට ලැබුණ නිසා ඔවුන්ද අපහසු තාවට පත්ව සිටින බව දැනගත්තෙමි. ඉන් සති කිපයකට පසුව දැරියගේ පියා නැවත  දුරකතනයෙන් මා අමතා  සිදුවූ වරදට සමාව ඉල්ලා සිටියේය.

“එදා වැඩසටහනෙදි ගීතයේ විස්තර කියද්දි කලබලේට සර්ගෙ නම වැරදියට කියවිලා. ඒක තමයි ඒඅය දාලා තියෙන්නේ”


ඒ සිදුවි සති කීපයක් ඉක්ම ගොස් තිබු නිසා මගේ කේන්තියද පහව ගොස් තිබුණි. සජීවි තරගයකදී තරගකරුවන් වගේම ඊට අදාළ පුද්ගලයන්ගේද නොසන්සුන්කම නිසා එය සිදුව ඇති බව මටද වැටහි තිබූ නිසා තවදුරටත් ඒ ගැන විමසන්නට නොගියෙමි.  එසේ වුවද මේ ගීය ඉඳහිට හෝ අදටත්  රූපවාහිනී තිරය මත දිස්වන විට මගේ නම වෙනුවට වෙනත් නමක් තිරයේ තවමත් දිස්වනු දැකීමෙන් දැනේනේ කණගාටුවකි. මෙය සිදුව වසර ගණනාවක්  ඉක්ම වුවත් ඉන් පසු මේ ගීය ගැයූ දියණිය හෝ ඒ දෙමව්පියන් මට හමුවූයේ නැත.

දරුවන්ගේ ලෝකය ලස්සන වන්නේ වැඩිහිටියන්ගේ සිතුවිලි පිවිතුරු වන තරමටය. වැරදීම් සිදු වන්නේ දරුවන් අතින් නම් එය නිවැදි කරගන්නා අයුරු ඔවුන්ට කියා දිය යුතු ය. දරුවන්ගේ ලෝකය වර්ණවත් ය. විවිධ පාටින් සහ හැඩයෙන් යුක්ත ය. විටෙක දරුවන්ගේ සිතුවිල කවි වගේ ය. තවත් විටෙක ගීයක් වගේ ය. එසේත් නැත්නම් ගලා හැලෙන  ගඟුලක් වගේ ය. ලෝකය වෙනස් කරන්නට නම් ඔවුන් රැක බලා ගැනිම යහ මගට ගැනීම දෙමව්පියන්ට මෙන්ම  සමාජයත් සතු වගකීමකි.

ඒත් හැන්දෑවට සුජාත දියණිය නරඹමින් කදුලු සුසුම් හෙළන්නට තරම්  මිනිසුන් සහිත සමාජයක් බිහිකර ඒ  මිනිසුන්ගේ මිනිස් සිතුවිලි සෝදා පාලුවට ලක්වන විට පාසලේ පන්ති කාමරයේ තීන්ත ආලේප කිරීමට රුපියල් 800.00 ක් සොයා ගත නොහැකිව දෙමව්පියන්ට ඒ බර දරන්නට දෙනවාට වඩ අසල ඇති වත්තේ බිම වැටුණ පොල් ගෙඩි කීපය අහුලා එය විකුණා ගතහොත් පංතියේ අවශ්‍යතාවය සම්පූර්ණ වන බව ඒ කුඩා දියණිය සිතන්නට ඇත. නොදැනුවත් කම නිසා ඇය කරන්නේ දඬුවම් ලැබිය හැකි බරපතල වරදක් බව ඇයගේ ළපටි ‍හිතට  කිසි සේත් නොසිතන්නට ඇත.

 කෙසේ කළත් වරද වරදම ය. එය දැන් සිදුවී හමාර ය. ඒත් සුජාත දියණිය නරඹා චංගුමීගේ දුක වෙනුවෙන් කදුළු හෙළන මිනිසුන් ඇති සමාජයක වෙසෙන ඒ පොල්වතු හිමියාට එය වරදක් බව ඒ දියණියට කියා නොදී ඇය අධිකරණය හමුවට ගෙන යන්නට  තරම් සහාසික සිතක් ඇතිවන තරමට  මේ සමාජය පිරිහුනේ කුමක් නිසාදැයි නැවතත් සිතා බැලිය යුතු කාලය එළඹ ඇති බව මා ලියූ මේ ගීතය නැවත ඇසෙන විට මට සිතේ .෴

හරි ලස්සන අකුරු ලියමු
ලොකු මල්වැල් පාට කරමු
හොඳ ළමයින් වෙන්න හිතමු
ලෝකය ආදරෙන් හදමු

හරි ලස්සන කවිත් කියමු
ගුරු දෙගුරුන් දෙපා වඳිමු
හොඳ ළමයින් වෙන්න හිතමු
ලෝකය ආදරෙන් නගමු

හරි ලස්සන ගීත ගයමු
ගඟක් වගේ ගලා හැලෙමු
හොඳ ළමයින් වෙන්න හිතමු
ලෝකය ආදරෙන් නගමු

ගේය පද:  දයානන්ද රත්නායක
සංගීතය : විශාරද එඩ්වඩ් ජයකොඩි
ගැයුම:  ඉරේෂා හර්ෂනී

හරි ලස්සන අකුරු ලියමු ” ගීතය  මෙතනින් අහන්න
                

වටිනා කාලය බිඳක් වැය කර ගී රස විඳිමින් කියවූ ඔබට  ස්තූතියි. වෙලාවක් ඇත්නම්  මීට වඩා වෙනස් වූ  ඔබේ විචාරාත්මක අදහසත් මෙහි ලියා තබන්න


79 comments:

  1. දරුවන්ව දරුවන් හැටියට සැළකුවේ කාලෙකට ඉස්සර විතරක්මද මන්දා. දැන් දැන් සිද්ධ වෙන දේවල් අහද්දී දකිද්දී ඒ ප්‍රශ්ණය හිතේ ඇති වෙන එක පුදුමයක් නෙමේ. අනික දැන් දැන් ඉන්න ළමයින්ගේ හිතෙනුත් ළමා සිතුම් පැතුම් වලට එහායින් මුහුකුරා ගියලු සිතුම් පැතුම් තියෙන හන්දද මන්ද ළමා ගීත වලට උනත් ඇහුම්කන් දීමක්වත් , ළමා ගීත මිමිණීමක්වත් අහන්න දකින්න නෑ. මට එයා ගෙදර ඉන්න පුංචි කොළු පැටියා ( අවුරුදු 4යි වයස ) මුමුණන්නෙම " හනී බනී ටොකෝ ටොකෝ " ගීතය...හි හි හී

    මේ පද ටික එක්ක ගායනා කරන ළමා ගායිකාවගේ හඬත් එකතු උනාම අපූරුයි. අච්චර කැපවීමෙන් කරපු නිර්මාණයට අන්තීම මොහොතෙදී සිද්ධ උන අසාධාරණය නම් හරි නෑ.

    ReplyDelete
    Replies
    1. ලිහිණි..

      දරුවන්ගේ නොමේරූ මනස විකෘති කිරීමේ වගකීම මාධ්‍ය විසින් භාරගත යුතු වෙනවා. නරවතත් ළමා මනස හරවත් රසවින්දනයකට යොමුකරන්න කාලය ඇවිත්.

      මගේ නිර්මානයේ මගෙ නම සඳහන්නෙවන්නේ රූපවාහිනී තිරයේ පමනයි. නමුත් ඒදරුවා සහ සහ දෙමාපියන් කලබල විම නිසා සිදූ අත්වැරැද්දක් ඒ ගැන පසුතැවිල්ලක් නෑ.

      ස්තූතියි ඔපබ් සටහනට

      Delete
  2. අනර්ඝයි! කොහොම උනත් අර කිව්වා වගේ දෙයක් උනාම කොච්චර හිතට දුකක් එනවද. මොකද තමන් හරියට දුක් මහන්සි වෙලා කරපු දෙයකට වෙනත් කෙනෙක්ගේ නම යන කොට.. අනුන්ගේ නම යද්දී අපේ හම යනවා...

    ReplyDelete
    Replies
    1. චින්තක..

      ඇත්තටම ඒ දරුවාගේ කලබල වීමෙන්සිදූඅත්වැරැද්දක්. නිසා කාටත් වරදක් කියන්න බෑ.
      අපි කවුරුත් අතිනුත් මෙවැනි වැරදි සිදුවෙනවා. මගේ නම නොගියත් ඒ දරුවා ජාතික මට්ටමේ තරඟයක්කරා රැගෙන ඒන්න යම්තරමකින් හෝ දායකත්වයක් ලබා දුන්න එක සතුටක්.

      ස්තූතියි.. ඔබට

      Delete
  3. ගීතයත්.. ලිපියත් ලස්සනයි සං‍වේදියි අයි‍යේ... අපි ළමයි ගැන මීට වඩා සැලකිලිමත් ‍වෙන්න ඕන. ළමයින්ට වටිනාකමක් ‍දෙන්න ඕන... ඒ ව‍ගේම ජීවි‍තේ දුක සැප ‍‍දෙක ජය පරාජය ශක්තිමත්ව බාර ගන්න පුළුවන්, ඇත්ත යුක්තිය ‍වෙනු‍වෙන් ‍පෙනී හිටින්න හයියක් ති‍යෙන පරපුරක් හදන්න අද ළමයින්ගෙින් පටන් ගන්න ඕන. කලාකරුවන්ට ඒ ‍වෙනු‍වෙන් කරන්න පුළුවන් ‍මෙ‍හෙවර අති විශාලයි....
    ඔයා ‍මේ තරමින් හරි ඒ වෙනු‍වෙන් වැඩ කරන එක, ‍පෙනී හිටින එක සතුටක්...

    ReplyDelete
    Replies
    1. මොනවා ලිව්වත් සමහර දේවල් සිදුවන විට ඉවසන්න බැරි කමකුත්, අහක බලා සිටිමට බැරිකමකුත් තියෙනවා. ඇතැම් විට ඒවා ගැන සමාජය වෙත යොමුකරන්න සිදුවෙන්නෙ කලාව හරහා. ඉතින් මම මේ උත්සාහ ගත්තෙත් මිනිසුන් විදියට මිට වඩා ඉවසිලිවන්තවදරුවන් කෙරෙහි අවධානය යොමු ඛල යුතුය කියන කාරනය කියන්නයි.

      ස්තූතියි තරු ඔබට

      Delete
  4. වෙනදාට වඩා මා සිත සහකම්පනයට පත් ලිපියක් , අද මනුස්සකම මුදලින් යට කරන්නට , උත්සාහ කරන සමාජ ආර්ථික වගේම දේශපාලන රටාවක මේ වගේ දේවල් “සාමාන්‍ය“ වෙමින් තිබෙන බවක් හැඟෙනවා .

    ReplyDelete
    Replies
    1. මහේෂ්..

      මේවන විට නූතන ආර්ථික සහ සමාජ ප්‍රවාහයන් හමුවේ මිනිස්කම් ගිලිහෙමින් පවතිනවා. අපට කළ හැක්කේ ඒ මිනිස්කම් වඩා ත් මිනසුන් වෙත ළං කර දිම පමනයි. ඒ සඳහා කලාව සහ සංගිතයෙන් විහාගල මෙහෙවරක් කරන්න පුළුවන්..

      ස්තූතියි මහේෂ් ඔබට

      Delete
  5. හැමදේම රුපියල් සත වලින් මනින්න හදන මේ ලෝකේ පිපෙන්නට වෙර දරන මේ වගේ දරුවෙක් වෙනුවෙන් කිසිදූ මුදලක් නොගෙන තම කාලය හා ශ්‍රමය කැපකරපු ඔබ දෙදෙනාගේ ක්‍රියාව කදිම ආදර්ශයක්. මෑතක මම මාරම්බරී ප්‍රසංගය බලන්න ගිය වෙලාවේ දුටු දෙයක් කියන්නම්. ප්‍රසංගය පටන් ගන්න වේලාව වෙනකොටත් ඉදිරිපසට වෙන්න තිබුණු ආසන සමහරක් හිස්ව තිබුණා. එඩ්වර්ඩ් මහතා ප්‍රසංගය පටන් ගත්තේ කලින් පිට්පස්සේ හිටපු අඩු මිල ආසන වල අය ඔක්කෝටම ඉස්සරහට කතා කරලා ඒ අයත් ඉදිරි ආසනවල වාඩි වුනාට පසුයි. අයියා ලිපියේ කිව්වාත් මෙන් ඔහු මුදල් හඹා නොයන කලාකරුවෙක් කියලා මට එදා හිතුණා.

    ReplyDelete
    Replies
    1. තොටියා..

      අදටත් එඩ්වඩ් දරුවන් වෙනුවෙන් පෙනිසිටින කලා කටයුත්තකදි මුදල් අයකරන්නෙ නැහැ.
      මෑතකදී ඔහුත් මමත් සහභාගි වූ දහම් පාසල් උත්සවයකදී එතැන සිටි දියණියක් වික්ටර් ගැයූ"බුදුහාමුදුරුවො" ගිතය ගැන හඳුන්වා දෙමින් ඒ ගීය ලිව්වේ ප්‍රේමකීර්ති බව සඳහන් කලා. ඒ මොහොතේම වැඩසටහන යන අතරතුර එඩ්වඩ් ඒ දියණිය කැඳවා ඒ වැරැද්ද නිවැරදි කර ගිතය
      ලිව්වේ රඹුකන සිද්ධාර්ථ හිමියන් බව කියාදී. එය නිවැරදි කරන ලෙස ඉල්ලා සිටියා. ඒ දියණිය ඒක ප්‍රසිද්ධ වේිකාවේ නැවත නිවැරදි කළා. ඒතමයි කලා කරුවකුගේ යුතුකම.

      ස්තූතියි මල්ලිටත්.

      Delete
  6. ඇත්තටම මේ අවනඩුව කාට කියමු. ගීතටය මිලක් නියම කරනවට වඩා එ ගීය තමන්ගේ නමින් ප්‍රචාරය වන විට වින්දනයක් ලබන ඔබ වැනි සහෘදයෙක් හට වූ අසාධාරනය හෙලා දකිනවා.

    ReplyDelete
  7. කො මම දා පු කමෙන්ටුව ?

    ReplyDelete
    Replies
    1. ලොකුජෝන්

      මටත් ඒක හමුවුනේ නෑ.. නෙට් අවුල් වෙනවිට එවැනි දේ සිදුවෙනවා.

      Delete
  8. මේවගේ මාතෘකා ගැන අපි කතා කල යුතුමයි..........ළමා ගීත කලාවක් මින් ඉදිරියට නැති වීමේ ලකුණු දැන් පහල වෙමින් යනවා. ආරම්භය අවුල් කියන්නේ අවසානයත් අවුල්. දැන් ලංකාවේ සුභාවිත ගීත කලාවේ නුතනයෝ ඔක්කොම කුඩා කල සිට සංගීතය ක්‍රමානුකුලව හදාරලා, අත්වැල් ගයනා වලට සහභාගී වෙලා පරිනත වෙච්ච අය මිසක් උඩින් පහල වෙච්ච අය නෙමේ. වර්තමානය එක හොදට තේරුම් ගන්න ඕනේ...........

    රස්තේ පාරක් ගහමුද

    ReplyDelete
    Replies
    1. රස්තියාදු කාරයා..

      සම්පූර්න ඇත්ත.. ඉස්සර ගුවන්විදුලියේ අත්වැල් ගායනා හරහා පැමිනි ශිල්පින් තවමත් ක්සේත්‍රයේ ඉන්නවා. අද බිහිවන අය එක රැයින් බිහිවි මුදල් හඹා යනවා.එතැන කලාව නැහැ. වෙනස එයයි.

      Delete
  9. මීට කාලෙකට කලින් කතාකල යුතු මට්‍රුකාවක් අය්යා,, අදහරි කතා කරපු ඒක ගැන සතුටුයි ..

    එකපිට ඒක අහන්න ලැබෙන මේ පිළිකුල් දනවන පුවත්... ලංකාව ගැන තාමත් ඉතිරිවෙලා තියෙන සුන්දර අදහස් එහෙම පිටින් හෝදලා දැම්ම.... ජීවිතේ පළමු වතාවට මමත් ඊයේ විජාතිකයෙක් එක්ක මගේ රටේ වැරදි කතා කළා.. මේ සිද්දි සමුදායත් එක්ක ලංකාව ගැන පුදුම පසුතවීමකින් ඉන්නේ..

    අයියගේ පදරචානයට වුනු අසාධාරණය ගැන හරිම කනගාටුයි ...

    ReplyDelete
    Replies
    1. මීගොඩයා..

      දේශපාලනය ගැන කතා නොකලත් සමහර වෙලාවට මිනිස් සිතුවි නොසිතූ පරිදි වෙනස් වෙලා තියෙනවා. එකිනෙකා දිහා වෛරයෙන් බලන කාලයක් උදාවෙලා. විහේෂයෙන්ම නිතිය යන්න විවිධ අයුරින් ක්‍රියාත්මක විම මිට බොහෝසෙයින් බලපා තියෙනවා.

      ස්තූතියි ඔබටත්.

      Delete
  10. වැඩදායි ලිපියක් !

    ReplyDelete
  11. දයා ඔබ වැනි මානව හිතවාදින් තව තවත් අවශ්‍ය කාලයක් මේ.
    එඩ්වඩ් ජයකොඩි යනු මගේ හයවැන්නේ දි සංගීත ගුරුවරයා...මගේ නොහැකියාවට අද ගායකයෙක් නොවේ. මාත් එක්ක එකම පංතියේ හිටි රොහාන් ශාන්ත බුලේගොඩ එඩ්වඩ් සර් ගේම අඩිපාරේ යනවා
    ඔබට වූ අසාධාරණය ගැන කනගාටුව

    ReplyDelete
    Replies
    1. නලීන් අයියා බුලේගොඩ අංකල්ලගේ පංතියේද???????
      එහෙනං අපේ මාමවත් අදුරණවා ඇතිනේ....
      සුදේශ් කරුණාතිලකව දන්නවැයි???????

      Delete
    2. නලීන්..

      ඇත්තටම මට කණගාටුවක් දැනුනේ ඒ මොහොතේ පමණයි..දැන්නම් ඒ ගැන ගානක් නැහැ.
      එවැනි දේවල් අහඹු ලෙස සිදුවන්නේ.

      බුලේගේ මිත්‍රයෙක් වගේම එඩ්වඩ්ගේ සිසුවෙක් වග දැනගත් එකත් සතුටක්..

      Delete
  12. දයා අයියලා වගේ සල්ලි වලින් නිර්මාණ මනින්නැති මිනිස්සු දැන් අඩු නිසා තමා කලාව වල පල්ලට යන්නේ....

    ReplyDelete
    Replies
    1. තරියා..

      අපි ලොකු දෙයක් කරලා නැහැ ඒත් සමහර කල දේවල්වලින් ඉහලම ථෘප්තියක් දැනුනා. මුදලට වඩා නිර්මාණයක් කළ සතුට දැනෙනවිට වෙනත් ඒ හා සතුටක් තවත් නෑ.

      ස්තූතියි මල්ලියේ..

      Delete
  13. ඔය පොල් කතන්දරේ ඇහුනම මට හිතුනේ නම් ඒ දරුවා ඔය වැඩේ කරන්න ඇත්තේ වැරැද්දක් කියලා හිතන්නේ නැතුව වෙන්නැති කියලා.. සමහර විට ගමේ හැමෝම ඔය වැඩේ කරනවා ඇති... වැඩිහිටියොත් කරනවා දැක්කම ළමයි හිතන්නේ නෑ නේ වැඩේ වැරදියි කියලා... ඒ තරහට අයිතිකාරයෝ මෙහෙම කරන්න ඇති කියලා... අනේ මන්දා..

    ඇත්තටම ඔය වැඩසටහන්වල ලොකු අයගේ ගීත පොඩි ළමයි ලව්වා කියවනවට මං නං පුදුම අකමැතියි.. ඊට වඩා හොඳයි ස්වතන්ත්‍ර ගීයක් ගායනා කරවන එක.. එතකොට ලොකු කෙනෙක්ගේ ඉදිරිපත් කිරීමක් එක්ක සැසඳිමක් නැතුව විනිශ්චයක් දෙන්නත් ලේසියි මං හිතන්නේ...

    ReplyDelete
    Replies
    1. හිරු...
      මේවන් විට පොල් ගෙඩිය ජාත්‍යන්තර මාතෘකිවක් බවට පත්වෙලා. මමත් හිතන්නේ ඒ වතු අයිතිකාරයාට මේගැන මිට වඩා කල්පනා කරලා සාධාරන ව බලන්න තිබුනා කියලා. එතැනදි මිනිස්කමට වඩා
      මුදල් ඉස්මතු වුණා..

      අපිත් යම් තරමකින් හෝ ඒ ළමා සංගිත සැඳෑවට සහයෝගයක් දුන්නේ ඒ දරුවන් තමන්ගෙම නිර්මාන මගින් ඉදිරිපත් වුන නිසා.ඒදවස්වල හවස අපිත් ඒ වැඩසටහන බලන්න පුරුදු වුනේ අපේ ගිත ගයනවාටත් වැඩිය දරුවන් එකඑක විදියේ ගනැවුම් ගීතනු සහ පදමාලා ගැයූ නිසා.

      ස්තූතියි හිරුට.

      Delete
  14. දයාගේ දයාබර චරිතය හොඳින් පෙන්නන ලිපියක්.:)

    අර පොල් අහුලපු ගෑනු ලමයා ගැන මගේ හිතේ ඇතිවෙන්නේ කියන්ට බැරි තරම් අනුකම්පාවක්. ඈ බාල වයස් කාරියක් නිසා පුනරුත්ථාපනය කරනවා ඇර වෙන දඬුවමක් දෙන්ට බෑ. මෙය ඇගේ වරදක් නෙමේ මූලිකවම.

    ඇය අනුගමනය කරන්නේ වැඩිහිටියන් කරන දේවල් වෙන්ට පුලුවනි. ඇයට හරි, වැරදි වටහාදෙන එක වැඩිහිටියන්ගේ යුතුකම. නොදන්නාකම හන්දා මේ වගේ දේවල් පොඩි ලමයින් අතින් කොයි තරම් සිද්ධ වෙනවා ඇතිද? ඔවුන්ට දඬුවම් කිරීමෙන් වෙන්නේ මේ අයගේ හිත් තුල සමාජය ගැන වෛරයක් ඇතිවෙන එක විතරයි. ඒ මදිවට දුප්පත් ලමයින්ගෙන් මේ විදියට සල්ලි ඉල්ලන අයට කලින් දඬුවම් කරන්ට ඕනි.

    ගීය හරිම ලස්සනයි. ලමා හිත් හරියට මල් වගේ.:)

    ටෙලිනාට්‍ය දිහා බලලා ඒ චරිත ගැන දුක්වෙන, කඳුලු හෙලන මිනිස්සු ඇත්ත ජීවිතයේ චරිතවලට ඒ අනුකම්පාව දක්වනවා කොහොමත් අඩුයි.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි..

      "දයාගේ දයාබර චරිතය හොඳින් පෙන්නන ලිපියක්.."

      එහෙම කිව්වම පුංචි සතුටක් දැනෙනවා. ඇත්තටම මම දරුවන්ගෙ රසවින්දනාත්මක කටයුතු වලදී පුද්ගලිකව මැදිහත්වි විවිධ වැඩසටහන් සඳහා ලංකාවෙ සංගිත ශිල්පින්ගේ සහයෝගය අරන් දී
      තියෙනවා. සමහර ඒවා ට ඒ ආරාධිත ශිල්පින් පවා ආවේ ඉතාමත් සතුටින්. එවැනි දේවල් වලදි ලමයින්ට දැනුන සත්ට වචනයෙන් විස්තර කල නොහැකියි.

      ඒ නිසා දරුවන්ගේ ලෝකය ලස්සන කරන්න දායකත්වයක් ලබා දිම අපේ යුතුකමක් කියල නිරන්තරයෙන් හිතනවා.

      අර දරුවාගේ පොල් ප්‍රශ්නය ලංකාවේ දේශපාලන අධිකාරය පවා තැතිගැන්මට ලක්කරන්න තරම්
      පුවතක් බවට දේශියවත් ජාත්‍යන්තරවත් ආන්දෝලනාත්මක ලෙසින් බලපෑවා. විය යුත්තේද
      එයයි.. එවිට වත් මිනිසුන්ගේ දැස් පෑදේවි.

      ඇත්තටම ඒ ගීත වැඩසටහනේ මගේ ගිත 12 ක් විතර ප්‍රමානයකින් ඉතිරි වුනේ දෙකයි. එයින් එකක් තමයි මේ ගීය.

      Delete

  15. //ටෙලිනාට්‍ය දිහා බලලා ඒ චරිත ගැන දුක්වෙන, කඳුලු හෙලන මිනිස්සු ඇත්ත ජීවිතයේ චරිතවලට ඒ අනුකම්පාව දක්වනවා කොහොමත් අඩුයි. //
    …පොඩ්ඩිගේ අදහස හා 100% එකඟයි .
    හැම දෙයක්ම මුදලට යට වෙන සමාජයක අපි ඉන්නෙ . ඒ නිසානෙ මේ ගීත කලාවට මෙහෙම වෙලා තියෙන්නේ . දයාටත් පුදුම අසාධාරණ වෙලා තියෙන්නෙ අතීතය දිහා බලනකොට .

    ReplyDelete
    Replies
    1. ගිම්..

      ටෙලි නාට්‍ය දිහි බලලා මිනිසුන්ට කඳුලු හෙල්ල පුරුදු කලෙත් මාධ්‍යම තමයි. ඒත් සැබෑ ජිවිතයේදි ඒ මිනිසුන් ඒ ඒ සිදුවීම් තමතමන්ගේ පුද්ගලික ‍ සහ දේශපාලන වාසිවලට හරව ගන්නවා. හිතට වේදනාවක් දැනේනේ එවිටයි.

      ඉඳහිටල මෙහෙම දේවල් වෙනකොට මිහිරක් දැනෙනවා. ‍ඇතැම් අවස්ථාවලදි පමණක් හිතට වේදනාවක් දැනුනත් ඒවා ඒතරම් දුර හිතන්නෙ නෑ.

      Delete
  16. සෑබැ හිමිකරුට නියම වටිනාකම නොලැබිම හෙළ රජ දවසේ සිට නොලැබුණු දෙයක් විදියට මම දකිමි.විශාල වෙහෙර විහාර,කැටයම්,බිතුසිතුවම් නිර්මාණය කල පුද්ගලයා පිළිබඳව අපිට කොතනකවත් දැක ගන්නට නැත.ඇත්තේ එම නිර්මාණ බිහි වු කාල වකවානුවේ සිටි රජතුමාගේ නමය.ඔබේ කථාව ඊට වෙනස්.නමුත් මෙය කියවාගෙන යද්දි මට හැඟුණු තවත් එක් කරුණකි ඒ.මිනිසුන් තුල තිබිය යුත්තෙ මනුෂ්‍යත්වය මිස වෙන යමක් නොවෙයි. අනුන්ගේ පොල් අහුලපු දැරිව පිළිබඳව මට මෙහෙමත් හිතෙනවා.හොරකම හොරකමය.යහපත් ආකල්ප ඇති කිරීමට දඩුවම තිබිය යුතුය.ඒ දරුවට තරවටුකමක් නොලැබුණා නම් දරුවා දින දින වැඩෙන විට ජිවිතයේ මහා අපරාධ සිදුවිම් කිරීමට පෙළඹෙන්න පුළුවන්.අපි කළ යුත්තෙ දේශපාලිනක ඇසකින් නොව දරුවාගේ පැවැත්ම උදෙසා හඬ අවධි කරලිමය.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. ගයානි..

      අපි නිර්මානලින් අපේක්සා කරන්නේ එහි නිර්මාණාත්මක ප්‍රීතිය පමණයි. ඒක මුදලට ගන්න බැ.යම් සිදුවීමක් සිදුවූ සැනෙකින් යම් වේදනාවක් දැනුනත් අනතුරුව පෘතග්ජන මිනිසුන් විදියට හිතන්න
      පුරුදු වෙනවා.නිරන්තරයෙන් නිර්මානයක් හරහා බලාපොරොත්තු වෙන්නෙත් එපමණයි.

      අර පොල් කතාවේ දරුවාට ඇයගේ වරද නිවරද කිරන්න ඕනෙ තරම් අවස්ථාව තිබුණා.ඒවගේම එවැනි නිවැරදි කිරිම් සමාජයෙන්ම අප්‍රමාණව හමුවෙනවා. නමුත් අධිකරනයක් දක්වා එවැනි සිදුවීම් ගෙන යන්න තරම් මේ සමාජය කුරිරු වුනේ ඇයි ද යන්න ගැටලුවක්.

      විහේෂයෙන්ම මේරටේ නිතිය .බලය, එක එක මොහොතේ විවිධාකාරයෙන් වෙනස්විම ගැන හඬ නගන්නේ සමස්ථ සමාජයම නිවරද කිරිමට මිස දේශපාලන ඇසකින් නොවේ. ඒත් ඇතැම් විට එවැනි ක්‍රියා දේශපාලනයේ තක්කඩි කම් වලින්ම සිදුවන්නේ නම් ඒ දේශපාලනයට එරෙහි විම යුතුකමක්

      ස්තූතිය

      Delete
  17. හොද ලිපියක් යාළුවා.අපේ පැත්තෙත් ඇවිදින් යන්න http://sinhapedia.blogspot.com

    ReplyDelete
    Replies
    1. හොඳ ලීයක් කියන්නෙ අඩුගානේ ලිපිය කියෙව්වද ?

      Delete
    2. මමත් මේ යකාට කිවුවා අඩුම ගානේ ඌ දාන කමෙන් එකවත් ඌ කියවන්නේ නැද්ද කොහෙද?

      Delete
    3. යසිරු..

      මම කිසිවක් නොකියමි.. මටත් ලොකු ජෝන්ගෙත්, අසරණයාගෙත් අදහසට එකඟවෙන්න සිදුවෙනවා.

      Delete
    4. යාලුවා ??? වැඩිහිටියෙක් ට කතා කරන්න ඉගෙනගන්න මල්ලි !:)

      Delete
  18. පොල් හොරකං කරා කියමු, නඩුත් දැම්ම කියමුකෝ.. දැං මේ පත්තර ටීවී වලින් ඒක හෙන ලොකු කරලා ලංකාවටම පෙන්නුවනේ. දැං ඒ කෙල්ල පාරක බැහැල යන්නෙ කොහොමද කියල මුං හිතුවද ?

    ReplyDelete
    Replies
    1. යසිත්..
      ඔව් මේ සිද්ධියේ දෙපැත්තක් තියෙනවා. ඒත් ඒ මොහොතේ ඒ අධිකරණයේ සිටි නීතිඥයා මම වුයේ නම් මේ පුවත පුවත්පත්වල පවා පළකරන එහක වලක්වනවා. ඒත් ඒදේ සිදුවුනේ නැහැ.

      ස්තූතියි..

      Delete
  19. කලාකරුවන්ට නිර්මාණ කියන්නේ දරුවෝ වගේ. ඔබට එවෙලේ දැනුන හිත් වේදනාව ගැන මට හිතාගන්න පුළුවන්. ඒක තවමත් නිවැරදි නොකරන්න හේතුවක් තියනවද

    පොල් අහුලපු කතාව අහුවමනම් දැනුනේ හරිම කලකිරීමක් ලංකාවේ නීතිය කරවන්නන් ගැන. එය වරදක් බව ඇත්තය. රු. 50000 ක ඇප ඉල්ලීමට තරම් වරදක්දැයි නොදනිමි. දැරියක් දූෂණය කළ මන්ත්‍රීවරයාට 10000 ක ඇප දෙද්දී මේ තීන්දුව සාධාරණ එකක්දැයි සිතා බැලිය යුතුය. රටේ නීතිය නිවැරදිව ක්‍රියාත්මක වනවානම් එය ඉතාමත් සතුටට කරුණකි. එහෙත් ඒ සැමට සමානව නීතිය ක්‍රියාත්මක වනවානම් පමණි.

    ReplyDelete
    Replies
    1. සයුරි..

      සයුරි..
      අපි කවුරුත් නිර්මාණ මුදලට තක්සේරු නොකරන නිසා අවසාණයේදි ඉතිරිවන්නේ නිර්මාණාත්මක සතුට පමණක් නිසා අතැම්විට කනගාටුවක් දැනුනත් පසුව සිද්ධිය නිසි අයුරින් වටහාගෙන නිහඬ වෙනවා.

      ඇත්තටම ඒ වැඩසටහන අවසන් වුනාට පස්සේ එක් සති අන්තයකදි මමත් ඒ රූපවාහිනි වැඩසටහනට සහභාගී වුනා. ඒ මොහොතේත් ඒ වැරැද්ද නිවැරදි කරන්න කියලා ඉල්ලිම කලත් මේ දක්වා එය ඉටුවෙලා
      නැහැ. සාමාන්‍යයෙන් යම් දෙයක් අවසන් වුනාට පස්සේ ඒගැන නැවත උනන්දුවෙනවා අඩුනිසා වෙන්න ඇති.

      රටේ නිතිය සාධාරණය, එක එක විදියට ක්‍රියාත්මක වෙනවා. ඒවා බොහෝදේවල් අපේ දෑස් ඉදිරිපටම දකින්න පුලුවන්නේ.

      Delete
  20. නිර්මාණයක් කරන්න තියා ඒ ගැන කතාකරන්නත් සල්ලි ගන්න මිනිස්සු අස්සේ අයියලා වගේ අය ඉන්න එක ගැන සතුටුයි.
    අර අනිත් කාරනාව ගැනනම් කතාකරන්න දෙයක් නෑ. මිනිස්සුන්ගේ මෝඩකමද හිතක් පපුවක් නැති කමද මොකද්ද කියන්න මට තේරෙන්නෑ.

    ReplyDelete
    Replies
    1. තරුවා..

      ඇත්තටම මෙතන වෙලා තියෙන්නේ මිනිසුන්ට මිනිස්කම අමතක විම. එහෙමත් නැත්නම් අහී දුප්පත් කම මේ දෙකටම අපිට තනිතනිව පිලිතුරු හොයන්න බෑ..

      ස්තූතියි

      Delete
  21. අද ඔබේ සටහන සංගීතය, සාහිත්‍ය ඉක්මවා ගිය එකකි.
    ලංකාවෙ සමාජය පාදඩ සමාජයකට ඇතුල් වී ඇති බව කාට වුණත් දැන් පේන දේකි. කණගාටුම කරුණ වී ඇත්තේ අද බොහෝ විට බලවත්ම අසාධාණයට ලක් වී සිටින්නේ දරු දැරියන් විමයි. ඔවුන්ට සිදුවෙන හිංසනය සම්බන්ධයෙන් කිසිවෙක් කතා නොකරයි. අගවිනිසුරුවරිය ඉවත් කරද්දි නීතිය වල් වැදීම ගැන කිඹුල් කඳුඵ හෙලන උගත්, විද්වත් මහත්තුරු නෝනලා කිසිවෙක් නීතියේ මෙතෙක් රජවී ඇති අවනීතිය ගැන කතා නොකිරීම විහිඵවකි. මහ අපරාධකාරයන් නිදැල්ලේ සිටිද්දී පොල් ගෙඩි ඇහිලූ දැරියක් උසාවි ගේන තත්වෙට, කොස් ගෙඩියක් කැඩූ යුවලක් උසාවි ගේන තත්වෙට පොලීසිය නින්දිත වී ඇත. මන්ද මහ හොරුන්, දැරියන් කෙලසන්නන් නීතියේ වරප්‍රසාදලාභීන්ය. අකුරැස්සේ දැරිය කෙලෙසූ මිනිහාට ඇප ලැබී ඇත. දැරිය සියදිවි නසාගෙන ඇත.

    එවන් සමාජ තත්වයක් යටතේ ඔබේ ගීතයට වෙන නමක් ආ‍දේශ වීම බ‍ලාපොරොත්තු විය හැකි දෙයකි.

    ReplyDelete
    Replies
    1. outsider...
      අපි මුහුණ දි සිටින්නේ මහා ඛේදවාචකයකට. අවාසනාවට ඒ ‍ෙ ඉරනමට මුහුණ දෙන්න සිදුව ඇත්තේ දරැවන්ට.රඑක පැත්තකින් නිතියත් සමාජ සාධාරණත්වයත් ඔවුන් වෙනුවෙන් ක්‍රියාත්මක වනවාද පවා සැක සහිතයි

      ඔබේ අදහසට එකගවනවා හැරෙන්නට කල යුතු යමක් නැත.

      Delete
  22. සත පහක්වත් අය කරන්නේ නැතුව ලිව්ව සින්දුවට ලැබෙන්න ඕනේ වටිනාකමවත් ලැබෙන්න ඕනේ වෙලාවට නොලැබෙනකොට කලකිරෙනවා....

    ඔය පොල් ගෙඩි අට වෙනුවට වත්තකට පැනලා බලහත්කාරයෙන් පොල්ගෙඩි අටසීයක් කඩාගෙන වත්තේ අයිති කාරයට මරණ තර්ජනත් දාල ගිය දෙසපාලුවෙකුට ඔය දඬුවම ලැබෙයිද...? අසරණ මිනිස්සු තවත් අසරණ කරනවා. අල්ලනවනම් හොරු කොච්චර රටේ ඉන්නවද...නිකන් අහිංසකයෝ අමාරුවේ දානවා. නීතිය නම් හැමෝටම සාධරණේ වෙන්න ඕනි. ළමයා හොරකම් කරපු එක වැරදි නමුත් මෙතන ඊට එහා ගිය කතාවක් තියනවා.

    ReplyDelete
    Replies
    1. පැතුම්..
      නිර්මාණකරනයේදි පුංච පුංචි සිත් රිදවීම් ඇති වුණත් ඒවා ඒ මොහොතට පමණයි.

      පොල් කතාවෙදි දරුවාගේ ක්‍රියාකලාපය නිවැරදියි කියන්න මම උත්සාහ ගන්නෙ නැහැ. ඒත් පොල්ගෙඩියකට එහා ගිය මිනිස්කම ගැන කල්පනා කළ යුතු වෙනවා.

      Delete
  23. දයා මල්ලි, හරිම කණගාටුදායකයි මේ සිද්දිය. මල් වගේ දරුවන් විනාශ කරන්නෙත් සමාජයමයි. අපි දෙන්නාම මේ පොල් ගත්ත දැරියගෙ කතාව බලා හිටියේ හරිම කම්පාවෙන්. අපි මේ වගේ දරුවන් කීදෙනෙකුට වරද පෙන්වා යහමඟට ගෙන තියෙනවාද? ඉස්සර කුඩු වලට ඇබ්බැහි වී සිටි දරුවන් පවා යහමඟට ගත් අපි මේ පොල් අයිති කාරයා ගැන සිතා කම්පාවට පත් වුණා. මේ සමාජය හදාගන්නට ඕනෙ අපි විසින්මයි. මම ඔබේ මේ ගීය කිහිප විටක් අසා තිබුනා. නමුත් ලීවේ ඔබ බව දන්නේ අදයි . හරිම ලස්සන අදහසක්. ඒකෙන්ම පේනවා ඔබේ සංවේදී කම දරුවන් උදෙසා. ඔබ වැනි කලා කරුවන්ට වටිනාකමක් නැති සමාජයක අපි අද ඉන්න එක ගැන කනගාටුයි. මල්ලී ඔබට යහපත් අනාගතයක් ම වේවා! මෙවන් ලස්සන ගිත බිහි කරන්නට තව තවත් ශක්තිය ලැබේවා.

    ReplyDelete
    Replies
    1. චාන්දි..

      මේවන විටත් මේ දරුවා වෙනුවෙන් වෛද්‍යවරයෙක් බැංකු ගිනුමක් පවා ආරම්භකර ඇගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් , ඇයගේ මතු දවස වෙනුවෙන් කටයුතු කරන්න සොඳුරු මිනිසුන් ඉදිරිපත්ව සිටිනවා. එවැනි සමාජයක් හැමදාතම් ඇතිවනු දැකිමයි අපේක්ෂා කල යුතුවන්නේ..

      ස්තූතියි ඔබේ අගනා සටහනට

      Delete
  24. ඉහත තොරතුරු දකිද්දී අපේ සමාජය ගැන කලකිරීමක් ඇතිවෙනවා.එත් කරන්න දෙයක් නැහැ. අපිට පුළුවන් දේශපලකයින්ව පත්කරන්න විතරයි එතනින් එහාට දෙයක් කරන්න අද කාලේ කරන්න අමාරුයි.

    ඔබගේ මනුෂ්‍යත්වයට මම හිස නමා ආචාර කරනවා. සැබෑ කලාකාරයා කවදාවත් නිර්මාණ කරන්නේ මුදල් බලාගෙන නෙවෙයි. සැබෑ කළා කාරයෝ දුප්පතුන් විදියට ජිවිතයේ අවසාන කාලය ගත කරන්නේ එක නිසා වෙන්න ඇති. හොඳම උදාහරණය ජෝතිපාල මහතා.

    ReplyDelete
    Replies
    1. අසරණයා..

      බලය අතටගත් සුලු පිරිසක් විසින් සමාජයේ කරන මෙවැනි ක්‍රියාවන් නිසා තමයි මේ සියලු දේ සිදුවන්නේ.. කලාකරුවන්ගේ වගකිම වන්නේ සමාජයේ මතු පැවැත්ම උදෙසා කටයුතු කිරිමයි..එහෙම වෙනවා නම් මේ සිදුවිම් අඩුවෙයි.

      Delete
  25. පහුගිය දවසක ජනප්‍රිය ළමා රියැලිටි වැඩසටහනක සින්දුවක් ඇහුණා
    අවුරුදු 10ක විතර පොඩි එකෙක් සින්දුවක් කියනවා...

    සංසාර සිහිනයේ
    පෙම් අප්සරා නුඹයි
    මේ වසන්තය පුරා
    සිත ඔබට පෙම් කරයි
    මං ඔබට ආදරෙයි
    මගේ ආදරේ නුඹයි


    සමහර විට අම්මල තාත්තල නැති අනාථ ළමයෙක් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. හරේෂ්..

      ඒ තමයි අපේරටේ වග කිවයුතු මාධයයන්හි හැසිරීමේ ස්වභාවය. ඒහැර වෙනත් යමක් බලාපොරොත්තු වන්න බෑ.

      Delete
  26. ඔබගෙ ගීය රූපවාහිනිය තවමත් නිවැරදි නොකලේ ඇයි කියන ප්‍රශ්නය එනව..මේ ගැන ඔබ දැනුම්දීමක් කලේ නැත්ද...?
    හිතාගන්න පුලුවන් ඕබට දැනෙන කනගා‍ටුව.

    ලම්යින්ගෙ ලෝකය වැඩිහිටියන් අත්පත් කරගෙන හමාරයි දයා....ඉස්කෝල වලම ඉඳල ඒ දේ වෙනව.

    ReplyDelete
    Replies
    1. වීපොකුර...

      ඒ වැඩසටහන අවසන් වුනාට පස්සේ එක් සති අන්තයකදි මමත් ඒ රූපවාහිනි වැඩසටහනට සහභාගී වුනා. ඒ මොහොතේත් ඒ වැරැද්ද නිවැරදි කරන්න කියලා ඉල්ලිම කලත් මේ දක්වා එය ඉටුවෙලා
      නැහැ. සාමාන්‍යයෙන් යම් දෙයක් අවසන් වුනාට පස්සේ ඒගැන නැවත උනන්දුවෙනවා අඩුයි.
      ඒත් ඉතින් ඒ සතුට තියෙනවානේ හිතේ ඒ හොදටම ඇති.

      Delete
  27. මුදල මත හැමදේම තීරණය වන සමාජයක...ඔබ වැනි අව්‍යාජ කලාකරුවෙකුගේ ඇසුර මහත් සතුටකි... ජය !

    ReplyDelete
    Replies
    1. සිරා...

      ස්තූතියි.. කලාකරුවකු කියන්න තරම් සේවයක් නම් මම කරල නැහැ. පුංචිපුංචි දේවල් ටිකක් කරල තියෙනවා.

      Delete
  28. අද වෙනදට වැඩිය වෙනස් විදිහකට ලියවුන සටහනක් අයියේ.. හැමදෙයක්ම වෙනදට වැඩිය දැන් හුගක් වෙනස් වෙලා.. අයියගේ හිතේ ඇතිවුන හැඩීම මේ අකුරු අතර හොදට කියවෙනවා අයියේ..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්..

      ලංකාවෙ පිසුගිය සමයේ සිදුවුණ ඇතැම් සිදුවිම් සම්බන්දයෙන් කාගෙත් හිත කලකිරෙනවා. ඒක ස්වභාවය.

      Delete
  29. අනේ ඇත්තටම සතියකට ඔය උඩින් පල කරලා තියෙනවා වගේ ආරංචි මොනතරම් කියවන්න ලැබෙනවද... ඒ මදිවට තමුන්ගෙම දරුවො දූෂණය කරන තාත්තලා... අර කිව්ව වගේ උදේ හවහ බණ දහම් ඇහෙන රටේ පුංචි දරුවෙකුට පුංචි දරුවෙක් විදියට ජීවත් වෙන්න තියෙන අයිතිය ටික ටික නැතිවෙලා යන හැටි..

    ඒ සින්දුව ඇහුවා... හරිම ලස්සනයි... ඒ දියණියගෙ කටහඬත් හරිම ලස්සනයි... අනේ අර වෙච්චි අසාධාරණේ ගැන නම් හරිම කණගාටුයි... ඒ වැරැද්ද වෙලා තියෙන්නෙ සින්දුව කීව දරුවගෙ දෙමාපියන් අතින්ද....

    ReplyDelete
    Replies
    1. මියුරු..

      ඒ දරුවාත් දෙමව්පියනුත් අතින් කලබලේට සිදුවූ දෙයක්. එවැනි සිදුවීම් වෙනවා. ඉතින් ඒවා ඉවසා විඳගන්නත් පුරුදු වෙන් ඕනේ..ඒකනේ මිනිස් ස්වභාවය විය යුත්තේ..

      Delete
  30. ළමා තරු වැඩ සටහන් වලින්, ළමයින්ගෙ ගායනේ තියන ලමා ගතිය සම්පූර්නයෙන් නැති කලා. ළමයි බැරි බැරි ගාතේ මහ අයගේ සිංදු කියන එක අහලා වැඩිහිටියන්ට සතුටු වෙන්න තමා ඔය තරඟ තිබ්බේ... මේ තරඟකාරී සමාජය ළමයින්ගේ ළමා කාලය උදුරගෙන... ටියුෂන්, ටෙලිවිෂන්, රියැලිටි ෂෝ තමයි දැන් උන්ගෙත් ලෝකය... මේවා මැද්දේ ළමයින්ගේ ළමාකම රැකෙන ගීත තරඟයක් තිබ්බා කියන එකත් අහන්න සන්තෝසයි...

    ගොඩක් අය තමන්ගේ සේවයට මුදල් අය කරන එක හේතුවක් තමා, නොමිලේ කලාම ඒකෙ නියම වටිනාකම ඒ සේවය ලබාගත්ත අයට දැනෙන්නේ නැති එක. ඒ නිසාම වෙන්න ඇති ඒ දෙමාපියන්ටත් ඔයාගෙ නම මතක හිටින්න නැත්තේ...

    ReplyDelete
    Replies
    1. තිසර...

      ඇත්තටම ඒ දෙමව්පියන් තමන්ගෙ කුඩා දියණිය අවසන්තරගයට ඉදිරිපත්වෙන වෙලාවේ තරමක කලබල‍ය නිසා ඇතිවූ දෙයක්. ඒගැන එතරම් හිතන්න දෙයක් නැහැ. අපි කවුරුත් සතුටු හිතෙන්න යම් සේවයක් කළා කියලා දැනෙනවා.

      ස්තූතියි තිසර‍ට

      Delete
  31. ඉල්ලීමක් කලාට මේ තරම් මහන්සි වෙලා ලිපියක් ලියාවි කියලා හිතුවේ නැහැ..ගොඩක් ස්තුතියි පාඨකයෙක්ගේ ඉල්ලීමට ඉටු කලාට..

    ළමා ලෝකය ගැන එයාලගේ මනස පෝෂණය කරන හැටි ගැන අපි දැන ගන්න ඕන දේවල් ගොඩයි..

    ReplyDelete
    Replies
    1. රූ...

      මම කියපු ඒ ගීය නෙවෙයි මේක. ඒ ගීය දාන්න හිතා ඉන්නවිට තමයි මේ සිදුවීම් ගිය සතියේ සිදුවුනේ.. ආයෙ දවසක් අනෙක් ලමා ගිතයත් දාන්නම්. දෙකම සංගීතවත් කලේ එඩ්වඩ්.

      Delete
  32. සිදුවෙන බොහෝදේ ගැන කලකිරීමක් ඇතිවෙන බව ඇත්ත. අහන්න දකින්න ලැබෙන සමහරදේ වෙලාවකට අදහන්නත් අමාරුයි. හැම දෙයක්ම මුදලට විකිනෙන සමාජයක්. එපමණයි.
    මැණික්

    ReplyDelete
    Replies
    1. මැණික්..

      මුදල ගැන පමණක්ම හිතන සමාජය වෙනස් කළ යුතු කාලය දැන් එලඹිලා තියෙන්නේ..
      ස්තූතියි

      Delete
  33. iskolawalinuth mehema ewa karanakota lamayi hadenne kohe adarsheta aragenada? e gena kalakirenawa .. obe pada wal apuruyi... :)

    ReplyDelete
  34. අද සමාජයේ හැම දෙයක්ම තීරණය වෙන ප්‍රධාන සාධකයක් බවට මුදල් පත් වෙලා... අර දරුවා ගැන නම් ඇත්තටම දුකයි. නීතිය වුනත් බලවතාට හා දුබලයාට සලකන්නේ දෙවිදියකට. අසරණකම ඇරෙන්න වෙන කිසිම දෙයක් අවසානයේ දුබලයා ගාව ඉතිරි වෙන්නේ නෑ... දරුවෙක් වුනත් ඒකේ කිසිම වෙනසක් නෑ... අද රූපවාහිනියෙන්, ගුවන් විදුලියෙන් අපි පොඩි කාලේ වගේ හොඳ වැඩසටහන් ප්‍රචාරය වෙනවා අහන්න ලැබෙන්නේත් හරිම කලාතුරකින්... හොඳ පුරුද්දක් දරුවෙක්ට කියලා දෙන්න, හොඳ නරක වෙන් කරලා දෙන්න මාධ්‍යයක් නැතිකමත් මේ වැරදි වලට එක හේතුවක්... අද පාසල් වල පවා නිසි විදියක සාර්ථක ඉගැන්වීම් ක්‍රමයක් ක්‍රියාත්මක වෙන්නේ නෑ කියලයි මට හිතෙන්නේ. රැල්ලට යාමක් පමණයි. ප්‍රචණ්ඩත්වය, මිනීමැරීම්, සොරකම් කිරීම් කරන අය වීරයෝ විදියට හුවා දක්වන සමාජේක පොඩි දරුවන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.ඒක වෙනස් කිරීමේ වගකීම තියෙන්නෙත් රටේ වැඩිහිටි හා තරුණ පරම්පරාව මතම තමයි...

    ReplyDelete
    Replies
    1. ප්‍රාර්ථනා...

      මුදල ඉලක්ක කරගත් සමාජයක් තුළ දරුවන් පවා වෙළද භාන්ඩ බවට පත්වන සමයක අපි ඉන්නේ. ඒ සමාජය නිවැරදි මාවතට හැවිය යුතුයි.

      ස්තූතියි ඔබේ සටහනට

      Delete
  35. මේ වගේ බ්ලොග් අඩවියකින් බෙදාහදාගන්නා ඔබේ අදහස් කියවන අපි හරි වාසනාවන්තයි... :)

    ReplyDelete
    Replies
    1. උමඟන

      ඔබ අස්වැන්නට සාදරයෙන් පිලිගන්නවා..මට හිතෙන විදියට මුල්වතාවට ඔබ අදයි ආවේ.. ස්තූතියි ඔබේ සටහනට

      Delete
  36. මගේ සිත් ගත්තේ හැම දේටම වඩා කලාකරුවෙක් කියල පැහැදිලිව කියන්න පුළුවන් කලාකාරයෝ තවම ඉන්නව කියන එක ගැන තියෙන සතුටයි.. ඇත්තටම මුදලට මනින ලෝකයට කලාව විතරක් නිරපේක්ෂ නොවෙතත් ඔබ වැනි කලාකරුවන් මේ දේශයට ඉමහත් ශක්තියක් බව නොකියාම බැරිය. ඇත්තටම කලාකරුවන් නිතර ජනතාව පැත්තේ සිටිය යුතු කාලයක එසේ නැගී සිටින්නේ ඉතා අතලොස්සක් බව මම හොදින්ම දනිමි.. ඔබට මගේ ආචාරය.. සංවේදි සටහනක්

    ReplyDelete
    Replies
    1. දේශකයා..

      මට කලාකරුවෙක් කියන්න තරම් දෙයක් මම කරලා නැහැ ඉඳහිටලා පුංචි පුංචි දේවල් නිර්මානාත්මකව කරනවා. එයි ලැබෙන සතුට අපමණයි. මුදලට වඩා අගයන්නේ එයින් ලැබෙන අසිමිත සතුටයි.

      ස්තූතියි ඔබට

      Delete
  37. ළමා මනස හොඳින් හඳුනන ගීත රචකයින් දැන් විරලයි... එක්කෝ විරහ ගීත, නැත්නම් ප්‍රේම ගීත... අහල අහලම එපා වෙලා... නිවාඩු පාඩුවේ ලස්සන සින්දුවක් ඇහුවා... ස්තුතියි...

    ReplyDelete
    Replies
    1. අනූ..

      මේ යුගයේ ළමුන් වෙනුවෙන් කෙරෙන නිර්මාන විරලයි. ඒ කරන ඒවත් වෙළඳපොල ඉලක්ක කරගෙන කරන නිර්මාණ නිසා.ළමාගතිය නැහැ. මුදල පමණයි

      Delete
  38. හොඳ ආදර්ශයක් ලෝකයටම !!
    වෙනදා වගේම ඔබතුමාගෙන් යමක් ජීවිතේට එකතුකරගත්තා . ජයෙන් ජය !!

    ReplyDelete
    Replies
    1. අයේෂා...

      මෙවන් අදහසකින් ජීවිතේට යමක් එකතු වුණා නම් ඒක මගේත් සතුටක්.
      "ඔබතුමා" කියන වචනෙට මම එතරම් ප්‍රිය කරන්නේ නැහැ. අපි මේ සමාජයේ එකම සහෘද පිරිසක්.

      ස්තූතියි අයේෂා..

      Delete

Related Posts Plugin for WordPress, Blogger...