එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Saturday 4 May 2013

෴ සාධු ජන රාව ෴





ජයතිලක බණ්ඩාර නම් ඔහු....( වන කොටස )

බොහෝ කලාකරුවන් ජනතාවාදී කලාකරුවන් ලෙස ප්‍රතිරූප ගොඩනගා ගනිමින්  ජනතාව වෙනුවෙන් පෙනීසිට  අනතුරුව තනතුරු වරප්‍රසාද අබිමුවෙහි ජනතාවගෙන් ඈත්වන මෙවන් යුගයක ජයතිලක බණ්ඩාරයන් මානව හිතවාදී කලාකරුවකු ලෙසින් තවදුරටත්  මෙරට පොදු ජනතාව වෙනුවෙන්  පෙනී සිටී. ඒ මානව වාදී කලාකරුවාගේ ගමන් මගෙහි තවත් එක් පියවරක් ලෙස  ඔහු  ඉදිරිපත් කළ සාධු ජන රාව ප්‍රසංගයේ වැදගත්කම පිලිබඳව විමසා බලමු.

ලංකාවේ  වාර්ගික අර්බුදයක්  ඇති වන්නට පෙර  එවැනි වටපිටාවක් ගොඩ නැගෙමින් පවතින බවට මනසින් දුටු නිර්මාණකරුවෝ වූහ. ඔව්හු මෙරට සිංහල දෙමල ගැටුමක් ඇතිවන්නට පෙර සිටම එවැනි ගැටුමක් නිර්මාණය වෙමින් පවතින බව සිය නිර්මාණවලින් පෙන්වා දුන්හ. ජයතිලක බණ්ඩාරයන් ඉදිරිපත් කළ "සාධු ජන රාව" ප්‍රසංගයට පූර්විකාවක් ලෙස අතීත නිර්මාණකරුවන්ගේ ඒ ක්‍රියාදාමය කෙටියෙන් විමසා බැලිම සාධු ජන රාව සාමූහික ප්‍රයත්නයේ  නිර්මාණාතමක වෑයම වටහා ගැනිමට ඉවහල් වනු ඇත.

මගේ මතකයේ හැටියට සිංහල දෙමල වාර්ගික ගැටුම ඇතිවිමට පෙර ඒ පිළිබඳව අරුත්බර ඉඟියක් සපයන්නේ  1970 දශකය ආරම්භයේ දීමය. එදා ප්‍රේමකීර්ති ද අල්විස්  ලියා වික්ටර් රත්නායකයන් සංගීතය නිර්මාණය කරමින් ඔහු සමග  සහ සුජාතා අත්තනායක ගායන ශිල්පිණිය ගුවන් විදුලි සරල ගී වැඩසටහනකට ගැයූ මතු දැක්වෙන ගීය ඊට නිදසුනකි.

                කොට්ට කෙළෙංගා තම්බා කන්නට දුන්නා
                තිරුක්කුරල් කවි කටපාඩම් කරලා දුන්නා
                භූමිතෙල් කරත්තෙක නැගලා
                මං හැරදා ගම රට යනවා
                කුදිරකාර මාමා - කුදිරකාර මාමා

එදා මේ ඉඟි සැපයිම සිදුවූයේ යුද ගිනිදැල් නැති සමයක වුවත්, ඒ ගීත සාහිත්‍ය තුළ ගැබ් වූ බොහෝ අරුත් සත්‍ය ඒවා බවට පසක් වූයේ ඊට වසර දහයකට දොළහකට පමණ පසුවය. හැත්තෑව දශකයේ අග භාගයේදිම මහාචාර්ය සුනිල් ආරියරත්නයන්, ලියා වික්ටර් රත්නායක සහ නිරංජලා සරෝජිනී  ගැයූ මීන නුවන් යුගින් බලන් මීනා, ගීතයත් ඇය විසින්ම  ගැයූ ඉසුරු දෙවිඳු උමයංගන ගීතයත් සිංහල දෙමල මිනිස් සබඳතා බිඳ වැටෙන්නට පෙර ඒ සබඳතා බිඳ වැටීමේ  ඉඟි සැපයූ ගීතයන්ය.

ඒත් අසූව දශකයේ  ආරම්භයේදීම  නිර්මාණකරුවෝ මනසින් දුටු ඒ සිංහල දෙමළ මිනිස් සබඳතා පුපරා යුද ගිනිදැල් බවට පත් විය. ඒ වන විටත් සුභාවිත ගීයේ හරවත් නිර්මාණාත්මක ප්‍රවේශයකට පැමිණ තිබූ  ගුවන් විදුලියේ රජරට සේවය දෙදරා යන මේ මිනිස් සබඳතා නිර්මාණාත්මක ලෙසින් යළි එක හුයකට අමුණන්න‍ට මහත් වෙහෙසක් දරමින් සිටියේය. ඒ වන විටත් ඉහත කී ගීතවලට අමතරව ඒ යුගයේම බිහිවූ කපුගේගේ "උතුරු කොනේ නුඹ හිනැහෙන් නඩරාජා මල්ලියේ" වැනි  ගීත පළුදු වී යන මිනිස් සබඳතා රැක ගැනිමට මහත් වෙහෙසක් දැරූ ගීත බවට පත්ව තිබුණි. 

රජරටින් එතරම් සුවිසල් ගීත සංඛ්‍යාවක් ප්‍රමාණාත්මකව බිහිවන්නට හේතු වූයේ උතුරත් - නැගෙනහිරත්  රජරටට මායිම්ව පැවතිම නිසා යුද්ධයේ බිහිසුණු බවත් වාර්ගික ගිනිදැල්වල උණුසුම රජරටට වඩාත් සමීපව දැණුනු හෙයිනි.

එදා  ස්වර්ණ ශ්‍රී බණ්ඩාර, ගුණදාස කපුගේ වැනි මානව හිතවාදී කලාකරුවෝ මේ මිනිස් සබඳතා නිර්මාණාත්මක ප්‍රවේශයකින්  ශක්තිමත් කරගැනිමට මහත් වෙහෙසක් දැරූහ.  රජරට සේවය හරහා බිහිවූ රජරට  ගීත සාහිත්‍ය මීට යහපත් ප්‍රවේශයක් ලෙස වාර්ගික ගැටුමට නිර්මාණාත්මක අරුත් සැපයීය. එදා ඒ රජරටින් බිහි වූ  ගීතවලින් වැඩිම ප්‍රමාණයක් ගුණදාස කපුගේ විසින් සංගීතවත් කර තිබූ අතර කරුණාරත්න දිවුල්ගනේ, ජයතිලක බණ්ඩාර ආදී ශිල්පීන් විසින් ඒවා ගීත බවට පත්කර තිබුණි. පසු කාලයේදී ඒ ගීතවලින් වැඩිම  කොටසක් රජරට සේවා තැටිපටි ගබඩාවටම සීමාවු අතර, කරුණාරත්න දිවුල්ගනේ ගැයූ ගීත අතරින් කොටසක් ගී තැටි සහ කැසට් මාධ්‍යයට එකතුවිම නිසා ඒවා ජාතික මට්ටමේ ගීත ලැයිස්තු අතරට එකතු විය.

එහෙත්, ජාතික මට්ටමේ ගීත අතරට නොපැමිණියද එදවස රජරට සේවයෙන් ප්‍රචාරය වූ ගීත අතර මෙවන් ගීයක් ඒ වාර්ගික අර්බුදයේ බිඳුණ කඩතොලු මකා දැමීමට ගත් උත්සාහයන්හි දැවැන්ත ආයෝජනයන් වූ බව ඒ අතීතය විමසන විට දැනේ.

                යාපා පටුනට එහා ඉමේ සිට
                කඳුළක් හෙළුවා ඔබ වෙනුවෙන්
                යාපා පටුනට මෙහා ඉමේ සිට
                සුසුමක් හෙළුවා ඔබ වෙනුවෙන්

ගී පද රචනය: රෝහණ දන්දෙණිය, සංගිතය: උපාලි ජයලත්, 
ගැයුම: ඩී.එම්. රාජරත්න සහ ප්‍රියන්ති නිර්මලා.

ජයතිලක බණ්ඩාරයන් "රස වින්දන" වැඩසටහන අරඹන්නේ මේ පසුබිමෙහි සිටය. කාලයේ රාවය සහ කම්පන  ඔස්සේ ප්‍රසංග කලාව පිලිබඳව ලද අත්දැකීම් වලින්  උසස් ගීතයක් නිවැරදිව හඳුනා දෙමින් ගීතයේ සාහිත්‍යමය ගුණයත්, සංගීතමය බසත් නිවැරදිව වටහාගෙන සුභාවිත ගීතය ජනතාව වෙත ගෙන යන වැඩසටහනකට යොමුව සිටියේය. එය සාමූහික වෑයමක ප්‍රතිඵලයක් ලෙස ඉදිරියට ගෙන යාමට එදා ආරිසේන රත්නායක සහ කුමාර එප්පාවල යන සංගිතවේදීන් දෙදෙනාද ජයතිලක බණ්ඩාරයන් සමග  වූ සෙසු නිර්මාණකරුවෝය. ඒ වන විටත් ඉතාමත් කාර්ය බහුල ශිල්පීන්  ලෙස සිට ගුණදාස කපුගේ සහ කරුණාරත්න දිවුල්ගනනේ ද ඉඩක් ලද සෑම අවස්ථාවකදිම රසවින්දන වැඩසටහන අරුත්ගැන්විමට සිය ළබැඳි දායකත්වය ජයතිලක බණ්ඩාරයන්ට ලබා දුන්හ.

ඒ අනුව ජයතිලක බණ්ඩාරයන් "සාධු ජන රාව" ප්‍රසංගය සඳහා ප්‍රවේශිකාවක් සපයාගන්නේ මේ සන්දර්භය තුළ දීය. මතු දැක්වෙන්නේ එදා මේ  සාධුජන රාව ප්‍රසංගයට ගැයුණු එහි තේමා ගීයයි.

                සාර ඵලයෙන් පිරුණ ජීවිතේ ගිරි මුදුන
                දෙ‍දරමින් ඇද හැලෙන කාලයයි
                ධූලි අලු පරමාණු
                මුරුගසන් වැසි වසින මේඝයයි

                මං හසර වෙද කොතැන අන්ධකාරය පැමිණ
                අන්ධකාරෙන් අසන කාලයයි
                පින් බිමක අරුණළුව නිවුණු තැන පුළිගු ගෙන
                නැණ එලිය අවුලන්න කාලයයි

                දෑත දම්වැල් සැලෙන පා විලංගුව හඬන
                සා පිපාසා තියුණු කාලයයි
                ප්‍රේමයේ උල්පතින සාධු ජන ගඟ ගලන
                සාධු මංගල්‍යයට කාලයයි

                ගීපද මාලාව : රත්න ශ්‍රී විජේසිංහ
                සංගීතය : ප්‍රේම් රජිත් විජේවික්‍රම
                ගැයුම: ජයතිලක බණ්ඩාර

                " සාර ඵලයෙන්" ගීතය මෙතනින් අහන්න
                

සාධු ජන රාව ප්‍රසංගය බිහිවන්නේ "රස වින්දන" වැඩසටහනේ ප්‍රතිඵලයක් ලෙසිනි. ජයතිලක බණ්ඩාරයන් ජාතික ඉඩම් කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සංස්කෘකිත අංශයේ සහාය ඇතිව ඉදිරිපත් කළ මෙම රසවින්දන වැඩසටහන  සිංහල බසින් පමණක් ඉදිරිපත් කළ වැඩසටහනක් වූ නිසාම එය ඉදිරිපත් කරන විට සිංහල බස නොදන්නා මිනිසුන්ද  ඒ රස වින්දන වැඩසහටන වටා එකතුවී සිටි බැවින්  සිංහල බස කතා නොකරන මිනිසුන්  වෙනුවෙන් ඊට වඩා යමක් කළ යුතු බව ඔහුට හැඟුණි. එහි ප්‍රතිඵලයක් ලෙසට යුද්ධයෙන් පිඩාවට පත් මිනිසුන්ගේ බිඳුනු සිත් සුවපත් කරනු පිණිස  සාධු ජනරාව ප්‍රංගය 1995 වර්ෂයේදී ඇරඹුවේ ය. එයද සාමූහික ප්‍රයත්නයක් විය. එදා ඒ සදහා ජයතිලක බණ්ඩාරයන් සමග  ප්‍රවීන ගීත රචක මහින්ද චන්ද්‍රසේකරත්, ආරියසේන රත්නායක, සහ කුමාර එප්පාවල යන සංගීත වේදීන් දෙදෙනාද ඔහු සමග ඒ මගට පිවිස සිටියේය. 

හිසට මුතුකුඩ නාල්ලා
හිස දිය නාන්නට පේ වූ පැයේ
මුතුකුමාරී පදවිය වැවේ
උඹ අඬනකල් මුතු විකුණ ගන්නට
මං බලා හිටිය ද දුවේ
නොඑන්නම යන්නට ගියේ

අපට මායිම් තිබුණෙ නෑ
අපි හිටියාට මායිම් ගමේ
ඉරට හඳ තරුවලට නෑකම්
සමානයි හැමටම අපේ
ඒ නුඹට අවි එසවූ අතත්
නෑ කෙනෙකුගේමයි මගෙ දුවේ

වතුර කල හත වැවෙන් අරගෙන
නාන්නට පේ වූ පැයේ
ලෙයට හැරුණේ මල්වියම නුඹෙ
නැකැත්වල අපලෙට නොවේ
සිංහල දෙමල නම් ගම් මොටද
ලෙව් පපුකමක් නැති තැන දුවේ


ගීපද මාලාව : රත්න ශ්‍රී විජේසිංහ
                        සංගීතය : ස්ටැන්ලි පීරිස්
                        ගැයුම: ජයතිලක බණ්ඩාර

" පදවියේ දියණිය" ගීතය මෙතනින් අහන්න
                    

සාධු ජන රාව ප්‍රසංගය යුද්ධයෙන් අසරණ වූ මිනිසුන්ට මිනිස්කමෙහි අරුත කියා දෙමින් දකුණේ සිට උතුරටත්, නැගෙනහිරටත් ගියේය. පාසල්, පන්සල්, පිරිවෙන් , දේවස්ථානවල පමණක් නොව බන්ධනාගාර තුළත්  ප්‍රසංගය පවත්වනු ලැබිය. යුද ගීත සාහිත්‍යයක් මෙන්ම යුද මානසිකත්වයක් රට පුරා ගොඩනැගෙද්දී බිහිසුණු කුණාටුක් සේ හඹා එන යුද්ධයට එරෙහිව  මිනිස්කම ඉල්ලා සාධු ජනරාව ඔස්සේ  ඔවුහු හඬ නැගූහ. එදා මානවවාදී කලාකරුවෝ යුද ගීත සාහිත්‍ය විනිවදව ගොස් එහි සැබෑ යථාර්ථය ගීතයෙන් දුටුහ.

තල්වැට අයිනේ කඳවුරු දොරටුව
ගිනියම් අව්වේ බියකරු නිහඬ රැයේ
දෑස් අයාගෙන නොසැලී ඉන්නෙමි
වැලිමළු විනිවිද එන මරණය හමුවේ

ගී පද රචනය : රෝහණ දන්දෙණිය  සංගීතය: සේන වීරසේකර 
ගැයුම: ගුණදාස කපුගේ

යුද බිම මියෙන්නේ කවුරුන්ද කුමන පාර්ශවයද  යන්න මානවවාදී කලාකරුවන්ට අවශ්‍ය වූයේ නැත. ඔවුන්ට අවශ්‍ය වූයේ එයින් බිඳ වැටෙන  මිනිස්කම ගැන කියාදීම පමණි. එසේ වුවත් සාධු ජන රාව ප්‍රසංගය දෙස මෙරට එක් එක් දේශපාලන පක්ෂ බැලුවේ එය තමන්ගේ දේශපාලන දර්ශනයට එරෙහි වූවක් ලෙසය. ඒ නිසා දකුණේ දේශපාලනය තුළින් සාධු ජන රාව ප්‍රසංගය ප්‍රතික්ෂේප වූ අතරම උතුරේ සහ නැගෙනහිර ක්‍රියාත්මක වූ  එල්.ටී.ටී.ඊ.ත්‍රස්තවාදීන් විසින්ද  ප්‍රසංගය ප්‍රතික්ෂේප කරමින් දෙමල ජනතාව වෙසෙන ගම් ප්‍රදේශවල සාධු ජන රාව ප්‍රසංගය පැවැත්විම තහනම් කළහ.
 
එසේ වුවත්, ලංකාවෙ ගීත ප්‍රසංග කලාව සංගීත රසිකයන්ට අමුතු දෙයක් නොවේ. 70 දශකයේ බිහිවූ ප්‍රසංග කලාවේ හැඩ රුව සංගීත රසිකයෝ මනා සේ දැන සිටියහ.  ඒ අතින් ලංකාවේ ගීත ප්‍රසංගයක් දර්ශන වාර 50, හෝ 100 ක් පැවැත්වීම සංගිත රසිකයන්ට අමුතු දෙයක් නොවුණත් සාධු ජන රාව  ප්‍රසංගය 50, 100 ආදී වශයෙන් දර්ශන වාර 1200  වැඩි ගණනක් පැවත්විම ඒ සංගීත රසිකයන්ට අපුර්ව අත්දැකීමක් විය.

උසස් බුද්ධිමත් සංගීත රසිකයාත්, සංගීතය ගැන හසරක් නොදන්නා ගී රසිකයාත් එකම ඉසව්වකට කැඳවීම  ජයතිලක බණ්ඩාරයන් ඇතුළු පිරිස එදා ඒ උත්සාහයෙන් ලද නිර්ව්‍යාජ ප්‍රතිඵලයයි. ඇතැම් විට ඔවුන්ගේ ඒ හමුවිම සිදුවූයේ බස් නැවතුම්පොලකය. නැතිනම් දුම්රිය පොලකය. එසේත් නැත්නම් කඩ විදියකය. ඒ කොතැන වුවත්  ඒ සියළුම සංගීත රසිකයෝ එකම ඉසව්වකට පැමිණ මිනිස්කමේ අරුත වටහා ගත්හ. ඒ වෙනුවෙන් ජයතිලක බණ්ඩාර ගී ගැයීය. මහින්ද චන්ද්‍රසේකර ඒ රසිකයන්ට ඇමතීය. වාද්‍ය ශිල්පීහු වැයූහ. මිනිසත් බව දුටු මිනිසුන් ඒ ගී ඇසූහ.

ශිවරමණී හඬන්පො
එකවරක් හිනාවෙලා යන්න
ඇහේ කඳුළු පිසදා
ඔය කඳුළු සිංහලට නගන්න
බැරිවෙයි මට කිසිදා

කළු ජුලි මාසය තවම දැවෙයි ගින්දර නෑ නිවිලා
නුඹ කඩා දැමූ මලක් වෙලා හිටියා
බෝඩිමට ඇවිත් අප්පච්චී එක්ක යන්න  කියලා
මට කිසි දවසක මල් නොපිපෙන රටක් ඉතිරි කරලා

මේ නුවර දමා  ඈත ගමට යන්නට බෑ කියලා
අතපුරා වළලු එල්ලීගෙන මග දිගටම හැඬුවා
නුඹ හිසේ බරත් පොදි බැඳගෙන ඉන්න එපා නොනිඳා
ඒ හැම දුකක්ම තියා යන්න මගේ නමට පවරා

ගීපද මාලාව : රත්න ශ්‍රී විජේසිංහ
                සංගීතය : අජිත් ජයවීර
                ගැයුම: ජයතිලක බණ්ඩාර

                " ශිව රමණී" ගීතය මෙතනින් අහන්න
               

ඒ අයුරින් සාධු ජන රාව ප්‍රසංගයේ 350 වන දර්ශනය  සුවහසක් රසික සමූහයාගේ සහභාගීත්වයෙන් පැවතියේ ජයතිලක බණ්ඩාරයන්ට සිය සංගීත ගමන් මගෙහි අත්වැල සැපයූ  අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේදී ය. ඒ 1998 වර්ෂයේ පෙබරවාරි මාසයේදීය. එදා එහි මුලසුන හෙබවූයේ මහාචාර්ය සුනිල් ආරියරත්න, විශාරද නන්දා මාලනී සහ ධර්මසිරි බණ්ඩාරනායක වැනි මානවහිතවාදී කලාකරුවන්ය. ආරම්භයේ සිටම සිය ගමන් මගෙහි ළඟින්ම සිටි ගුණදාස කපුගේ සහ කරුණාරත්න දිවුල්ගනේ යන කලාකරුවන් දෙදෙනා පමණක් නොව දිවයිනේ නන් දෙසින්  සියළු කලාකරුවෝ එදා අනුරාධපුරයට පැමිණ ඔහු සමග අත්වැල් බැඳගත්හ. එදා ඒ කලාකරුවන්ට ජනතාව වෙනුවෙන් කළහැකි මෙහෙවරෙහි තරම  වටහා දීමට ඔවුන්ට සාධු ජන රාව ප්‍රසංගය සමත් විය. ඒ ජනතාවාදී කලාකරුවන් ජනතාවට සෘජුව ඇමතිමට තරම් ශක්තියක් සහ ජවයක් ලබාගෙන පසුකාලීනව තම සුඛ විහරණය උදෙසා දේශපාලන වේදිකාවේ එක් එක් පක්ෂ වෙනුවෙන් හඬක් නගන්නට තරම් ශක්තියක් සහ ජවයක් සාධු ජන රාව ප්‍රසංගය මගින් ලබාගෙන තිබුණි.

ඒ අනුව  ජනවාර්ගික අර්බුදයේදී ගුණදාස කපුගේ සහ කරුණාරත්න දිවුල්ගනේ යන ශිල්පීන් දෙදෙනා හැරුණු විට  සාධු ජන රාව ප්‍රසංගය ඔස්සේ දෙමල ජනතාවගේ සිත්වලට එබී බලන්නට හැකි වූ එකම කලාකරුවා වූයේ ද ඔහු ය. යුද්ධයේදී පීඩාවට පත් සියළුම මිනිසුන් වෙනුවෙන් "සාධුජන රාව" සංගීතමය වැඩසටහන ඇරඹුණේ ඒ නිසාය.  ලංකාවේ ගී රසිකයන්ට ප්‍රවේශපත්‍රයක් ලබා නොගෙන නැරඹිමට හැකිවූ එකම ප්‍රසංගය වූයේද "සාධු ජන රාව" ප්‍රසංගයයි. 

රජය හෝ රජයට අනුබද්ධ කිසිම ආයතනයක මුල්‍ය අනුග්‍රහයක් නොලද තැනක සිට තමන් දකින සහ අනුගමනය කරන ප්‍රතිපත්ති සමග එකඟ වන්නාවූ ඒ මග තමන් සමග යා හැකි රාජ්‍ය නොව සංවිධානයක් ලෙස  ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය සාධු ජන රාව ප්‍රසංගය වෙනුවෙන් අනුග්‍රහය දැක්වීය. 

පසුකාලයේදී ජනතාවාදී කලාකරුවෝ යනුවෙන් කොටසක් බිහිවන්නට සෘජු හේතුවක් වන්නේ ද මේ සාධු ජන රාව ප්‍රසංගය හරහා මිනිසුන් වෙනුවෙන් පෙනිසිටිය යුතු බවට ගොඩනැගුණ අදහස ය.  ජයතිලක බණ්ඩාර සාධු ජන රාව ප්‍රසංගය ඔස්සේ යුද්ධයත් මරණයත් අතරට ජීවිතය කැඳවී ය. යුද්ධය පෙනි සිටින්නේ මරණය වෙනුවෙන් බවත් ජීවිතය වෙනුවෙන් මිනිසුන් පෙනී සිටිය යුතු බවත් කියා දෙමින් ගම් නියම් ගම්වල ඇවිදිමින් එදා ඔහු ගීතයෙන් කියා දුන්නේය.

දවා පිච්ච මල් අසුපුව
පෙනේ කළ කුරිරු ගින්දර
වෙළාගත් නයින් පොළඟුන්
දිව අදිනු පෙනේ
සීතලද බලන් මේ උනු කඳුළු යාපනේ

ගිනි වැදී කැදලි ගහ යට හඬන බිලින්දෝ
පොත් ගුලේ නිදිද අළුවී ගියෙද දෙවින්දෝ
ආඬි ළිං වලින් උණනා
ලේ වලින් තිලක තියලා
නපුරුවී පුපුරු ගසනා හද වාවම්දෝ
සීතලද බලන් මේ උණු කඳුලු යාපනේ

පණ බයේ ගැහෙන අතපය අහිමි කිවින්දෝ
වෙඩි වැදී වැටෙන හඳ තරු කැබලි ඇහින්දෝ
කොට්ට කෙළෙංගා වෙනුවට
හාමතයි දුකයි පොදි බැඳ
තිරුක්කුරල් අළු දකුණට අරගෙන එම් දෝ
සීතලද බලන් මේ උණු කඳුලු යාපනේ

ගීපද මාලාව : රත්න ශ්‍රී විජේසිංහ
                සංගීතය : ඔස්ටින් මුණසිංහ
                ගැයුම: ජයතිලක බණ්ඩාර

" දවා පිච්ච මල් අසපුව" ගීතය මෙතනින් අහන්න
          

සාධු ජනරාව ප්‍රසංගය පැවැත්වූයේ ගම් මට්ටමිනි. අවම සංගීත භාණ්ඩ කිපයක් උපයෝගී කර ගනිමින් දිලිසෙන ඇඳුම් ආයිත්තම්, සැරසිලි,  විදුලි අලංකරණ ආලෝක, කිසිවක් නොමැති ව,  පොදු ජනතාව අතරට යාමට "මුදල" අත්‍යවශ්‍ය සාධකයක් නොවේය යන මතය තහවුරු කරමින් එදා ඔහු ජනතාව වෙනුවෙන් ගී ගැයුවේ ය.

ඔහුට අවශ්‍ය වූයේ ජනතාව අතර සිට ජනතාවගේ හඬ නගන නියෝජිතයෙක් වීම විනා සුපිරි ගී තරුවක් විම නොවේ.  තමන් තෝරාගත් ගමන් මග වටා එකතුවූ රසිකයන් බහුතරය ඔහුගේ අදහස  පිළිගත්තේ ය. සාධු ජන රාව ප්‍රසංගය වැඩි වශයෙන් වැළඳගත්තේ මායිම් ගම්වල ජිවත් වූ මිනිසුන් ය. ඒ නිසාම සාධු ජන රාව ප්‍රසංගය ‍සිංහල බසින් පමණක් නොව දෙමල බසින්ද  ඉදිරිපත් කරමින් සියලුම මිනිසුන් වෙනුවෙන් ඔහු හඬක් නැගුවේ ය.෴ 

මෙම ලිපි මාලවේ අවසන් කොටස "රසවින්දන" ඊළඟ ලිපියෙන්......

විශේෂ ස්තූතිය:
ජයතිලක බණ්ඩාරයන්ට,
තුසිත කුමාර සහෘදයාණන්ට
වෛද්‍ය යසනාත් ධම්මික බණ්ඩාර සහෘදයාණන්ට  (යසනාත් සිතුවිලි )
තරුරසී බ්ලොග් අඩවියේ තරුරසීට
සහ දිරි දුන් සැමට


22 comments:

  1. හරිම රසවත් ගීත ටිකක්. හැබැයි අදමයි ඇහුවේ. ස්තුතියි මේ දැනුම බෙදාගත්තාට. ජය...!

    ReplyDelete
    Replies
    1. ප්‍රදීප්..

      මේ ගිත මාධ්‍ය ඔස්සේ ඇසුණු ගීත නෙවෙයි කැසට් වලට පමණක් සීමා වූ ගීත. ඒ නිසා ජනතාගත නොවු ගීත විදියට හඳුන්වන්න පුළුවන්.

      Delete
  2. බොහෝ.......................ම ස්තුතියි මේ සින්දු ටික ආයේ පාරක් අහන්න අවස්තාව දුන්නට.
    තිලීපන් ගැන ලියවුන සින්දුවත් දෙන්න පුළුවන් නම්.

    ReplyDelete
    Replies
    1. ප්‍රමුදි
      තිලීපන් ගීතය තිබුණත් ලිපිය දිග වැඩි නිසා කෙටිකරන්න සිදුවුණා. ආයෙ දවසක උත්සාහ ගන්නම් ලියන්න

      Delete
  3. අ‍ගේ ඇති කාලෝචිත වැඩක් ‍මේ ලිපි ‍පෙළ...

    අද ‍මෙවැනි ජනතාවාදී කලාකරු‍වො වැඩි වැඩි‍යෙන් අවශ්ය වන යුගයක එදා ජනතාවාදී වූ අයත් ‍මෙදා නිහඩව ඉන්න එක ර‍ටේම ‍ඛේදවාචකයක්.... ඒ අතර ජයතිලක බණ්ඩාරයන් ‍ගේ ‍නොනවතින ජනතා අරගලයට අ‍පේ ප්රනණාමය හිමි විය යුතුමයි......

    ReplyDelete
    Replies
    1. තරුරසී....

      එදා ඒ ජනතාවාදී කලාකරුවන් ඒ මගෙන් පිට යාම නම් තරමක් වේදනාකාරී අත්දැකිමක්. ඒත් අපි නිතරම කතාකරන හැටියට තවම එක් අයෙකුට ඒ මග තනිව සටන් කළ නොහැකියි

      Delete
  4. අදීන, අව්‍යාජ දුර්ලභ කලාකරුවෙකු පිළීබඳ සුවිශේෂී ආවර්ජනයක්......

    ReplyDelete
    Replies
    1. තුසිත

      ඇත්තෙන්ම..... තරමක් කාර්ය බහුල සමයක වුවත් හීනිසීරුවේ ලියැවුණා. තව එක කොටසක් ඉතිරිව තියෙනවා.

      Delete
  5. වෙනස් අන්දමේ අපූරු ගී රැසක්! පදමාලා උනත්, ගොඩක් වෙනස්. ලිපියට ස්තූතියි දයා. තවත් පාරක් අහන්ට ඕනි නිදහසේ.

    අදත් ඔයාගේ ලිපිය මගේ බ්ලොග් රෝලේ අප්ඩේට් වෙලා තිබුනේ නෑ. චන්දනගේ ලිපියක් තිබුනා එයට කල යුතු දේ ගැන කියලා. පුලුවන් ඒක බලන්ට දයා.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි....
      පරිගණකය ජාලය සමග සම්බන්ධ වුණාම පොඩි තාක්ෂණික ගැටලුවක් මතුවෙනවා ඒ නිසා අප්ඩේට් වෙන්නෙ නෑ. නිවැරදි කරගන්න තව දින කීපයක් යාවි.

      Delete
  6. ලින්කුව මෙන්න.

    http://chandanadm.blogspot.com/2013/04/blogger-blog-post-feed-problem.html

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි...

      ස්තූතියි ලින්කුවට

      Delete
  7. සින්දු ටික නම් නිවාඩු පාඩුවේ අහන්න ඕන..කොළඹ පැත්තේ ප්‍රසංගයක් තියනවා නම් අපිවත් දැනුවත් කරන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. රූ..

      සාධු ජන රාව ප්‍රසංගය නම් අවසන් වෙලා තියෙන්නේ ඒත් ඉඳ හිටලා රසවින්දන ප්‍රසංගය නම් තියෙනවා මම එතකොට කියන්නම්

      Delete
  8. ඇත්තම කිවොත් වැඩිය අහලා නැති ගීත එකතුවක්. වැඩියත් නෙවි අහලාම නැති කිවොත් ඒත් ගැලපෙනවා. හැබැයි ගීත ඔක්කෝම හරිම අර්ථවත්. ගොඩාක් රසවින්දා. කොළඹින් බැහැරව බොහෝ ප්‍රසංග වාර ගණනක් පැවැත්වීම සාධු ජන රාව ප්‍රසංගය නාගරිකව එතරම් ජනප්‍රිය නොවන්නට හේතු වෙන්නත් ඇති කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. තොටියා...

      ඇත්තටම සාධුජනරාව ප්‍රසංගය ප්‍රසංගවාර 1200 ට වැඩි ගනනක් පැවැත්වූවා. කොළඹ නගරයෙත් අවස්ථාගණනාවකම තිබුණා.ඇත්තෙන්ම සාධුජනරාව ප්‍රසංගය ගීයේ අරුත වෙනුවෙන්ම කැපවූ එකක්.

      Delete
  9. වෙනදා වගේම රසවත් ගීත අහන්න සලස්සනවට ගොඩක් ස්තුතියි දයා අයියේ

    ReplyDelete
    Replies
    1. පැතුම්....

      ස්තූතියි ඔබටත්..

      Delete
  10. තව ටිකෙන් මේ වටිනා ලිපිය මිස් වෙනවා. අලුතෙන් දාලා තියන ලින්ක් එක දිගේ තමයි ආවේ. මේක අප්ඩේට් වෙලා තිබුනේ නෑ.

    සින්දු ටික තාම අහන්න බැරි උනා. ගෙදර ගිහින් නිස්කලංකව අහන්න ඕන.

    ReplyDelete
    Replies
    1. සයුරී..

      ‍පරිගණකයේ ජාලගතවෙද්දි පොඩි අවුලක් තාම ඒක හදාගන්න බැරි වුණා.

      Delete
  11. කාලයේ වැලිතලා වල සැඟවෙන්නට නොහැර මේවා ලියා තැබීම ඉතා අගනේය.

    ReplyDelete
    Replies
    1. සුදීක..

      ඇත්තටම මේ ගී ගැයුනේ සජීවිව නිසා මාද්‍ය මගින් ප්‍රචාරය නොවුන තරම්. ඒකයි මෙහි වැදගත්කම

      Delete

Related Posts Plugin for WordPress, Blogger...