සුනිලා අබේසේකර; ඇය විවිධ
වූත් විචිත්‍රවූත් හැකියාවන් රැසකගෙන් සපිරි කලාකාරිනියක වූවාය. විටෙක ඇය සිංහල නාට්‍ය
වේදිකාවේ රංගන ශිල්පිණියකි. තවත් වරෙක ඒ නාට්‍ය වේදිකාවේම ගායන ශිල්පිණියකි.
සිනමාවේදී ඇය චිත්‍රපට පසුබිම් ගායිකාවකි. සිනමා නිළියකි. සිංහල සහ ඉංග්‍රිසි බස චතුර ලෙසත් මධුර ලෙසත් හසුරුවන නිවේදිකාවකි. වාමාංශික දේශපාලනයේ ප්‍රබල චරිතයකි. සිවිල්
සමාජය වෙනුවෙන්ම කැපවූ මානව හිමිකම් සුරැකීමේ ක්‍රියාකාරිනියකි. විශිෂ්ඨ ලේඛණ
කුසලතාවයකින් හෙබි ලේඛිකාවකි. සිනමාව සහ කලාව සම්බන්ධයෙන් දක්ෂ විචාරිකාවකි. එසේ සකල විධ කලාවේත්, වමේ දේශපාලයෙන්ත් නිරතවූ සුනිලා අබේසේකර නම් වූ අපේ කාලයේ ඒ දැවැන්ත
කාන්තා චරිතය අරගලක නිරත වෙමින් පණ පෙවූ ඒ සියලු භූමිකා අතහැර සදාතනික නිද්‍රාවකට
පත් වූවාය. එසේ සමස්ත කලාවත්, සාහිත්‍යයත්, දේශපාලනයත්, සිවිල් සමාජයේ ක්‍රියාකාරීත්වයත්
උදෙසා සුනිලා අබේසේකර කළ මෙහෙය වෙනුවෙන් අස්වැන්න මෙසේ කෘතවේදීත්වයෙන් ඇය වෙනුවෙන් මේ සටහන තබමි.
ඇය
වෙනුවෙන් අස්වැන්නෙන් මීට පෙර අවස්ථා දෙකකදී කෙටි සටහන් දෙකක් තැබූයේ ධර්මසිරි
බණ්ඩාරනායකගේ හංස විලක් සිනමා කෘතිය සහ ධර්මසේන පතිරාජගේ බඹරු ඇවිත් සිනමාකෘතිය පිලිබඳව
අතීත මතකය ලියන අවස්ථාවේදීය. එසේ වුවත්
සුනිලා අබේසේකර පිළිබඳව ඊට වඩා දීර්ඝ විමසුමක් කරන්න සූදානම්ව සිටියෙමි. මීට දෙසතියකට පමණ පෙර ජයතිලක බණ්ඩාරයන් මට කීවේ
මේ දැවන්ත චරිතය පිළිකා රෝගය වැළඳී ගිලන්ව සිටින බවයි.
ඇය පිළිබඳව
සහ ඇයගේ නිර්මාණ පිළිබඳව විමසුමක් කරන්න අවශ්‍ය බව මම ජයතිලක බණ්ඩාරයන්ට එදා කීවෙමි.
ජයතිලක බණ්ඩාරයන් ඇය පිළිබඳව තොරතුරු රැස්කර දෙන්නට කැමැත්තෙන්ම ඉදිරිපත් විය. ඒ
අතරතුරදී යුරෝපයේ වෙසෙන Tara Kularathna සුහදිනියද තව දෙසතියකින් පමණ ඇයගේ අගනා නිර්මාණ එකතුවක් මා වෙත එවන්නට සූදානම්ව සිටියාය.
ඒත් රෝගීව සිටින ඇය වෙනුවෙන් ඒ සටහන ලියන්නට
පෙරාතුව පිළිකා රෝගය ඉක්මනින්ම ඇය මරණය වෙත කැඳවීය.
කලාකාරිනියක
වෙමින් සිනමා කලාව, සාහිත්‍ය, සංගීතය වෙනුවෙන් සුවිසල් මෙහෙයක් කරමින්ද, වාම දේශපාලනයේ නියැලෙමින්ද, මුලුමහත් මිනිස්
සංහතියේ මූලික මිනිස් අයිතිවාසිනකම් රැක
ගැනිම උදෙසා දැවැන්ත මෙහෙයක් ඉටුකරමින්ද, කලාවත් සිවිල් සමාජයත් දෙවුර දරමින් සිටි
සුනිලා 2013.09.09 දින සවස් යාමයේ සිය ජීවන රඟ මඩලින් නිකම ගියේ ඒ සියලු
කැපකිරීම්වලට නොමැකෙන සදාතනික අගයක් එකතු කරමිනි.
1952 දි
කොළඹදී උපන් සුනිලා බිෂොප් විද්‍යාලයේ
දීප්තිමත් සිසුවියක වූවාය. චාල්ස් අබේසේකර ඇයගේ පියා ය. ඔහු රාජ්‍ය නිලධාරියෙකු
ලෙසින් රාජ්‍ය ආයතන ගණනාවකම මුල් පුටුව හෙබවීය. චාල්ස් අබේසේකර ද වාමාංශික
දේශපාලනයේ ප්‍රබල චරිතයකි. රජයේ සේවයෙන් අනතුරුව රාජ්‍ය නොවන සංවිධාන ගණනාවකට
පුරෝගාමී වෙමින් සිවිල් සමාජය වෙනුවෙන් දැවැන්ත මෙහෙයක් කළේය. ඒ අතර “මර්ජ්” සංවිධානය ද විය.

සුනිලා
අබේසේකරට සිය පියාගේ දේශපාලන දෂ්ඨියේ අත්දැකීම් අහන්න විඳන්න ලැබෙන්නේ ඇයගේ
බාලකාලයේ පටන්ම ය. සිය පියා සමග මෙන්ම රෙජී සිරිවර්ධන, මහාචාර්ය සුචරිත ගම්ලත් වැනි වාමාංශික දේශපාලනයේ දැවැන්ත බුද්දිමතුන් සමග එකට එක පෑහෙමින් සුනිලා වමේ දේශපාලනය ජනතාව වෙත ගෙන යාමට යොවුන්වියේ සිටම කටයුතු කළාය. රංගනයට , ගායනයට, සංගීතයට බිෂොප් විද්‍යාලයේ ඉගනුම ලබන කාලයේ
පටන්ම මනා හැකියාවක් සහ කුසලතාවයක් පෙන්වු සුනිලා
මුලින්ම ක්ෂේත්‍රයට පිවිසෙන්නේ වේදිකා රංගන ශිල්පිණියක ලෙසිනි. ජයලත්
මනෝරත්නයන්ගේ මුල්ම වේදිකා නාට්‍ය වූ මහගිරිදඹ වේදිකා නට්‍යයේද, රංජිත්
ධර්මකීර්තිගේ මෝදර මෝල සහ අංගාරා ගඟ ගලා බසී
වේදිකා නාට්‍යයේ ද හෙන්රි ජයසේනගේ මකරා නාට්‍යයේ සහ දිරිය මව සහ ඇගේ දරුවෝ නාට්‍යයේද රංගනයෙන් මෙන්ම ගායනයෙන් දස්කම් දැක්වූ සුනිලා හැත්තෑව
දශකයේ තවත් වේදිකා නාට්‍ය ගණනාවකට සිය දායකත්වය ලබා දුන්නාය. ඇය චිත්‍රපට නිළියක ලෙස අභිෂේක ලබන්නේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ දෙලොවක් අතර චිත්‍රපටයෙනි.
හැත්තැව
දශකය ආරම්භයේ සිටම කේමදාසයන්ගේ සංගීත මංජරියේ මුල් පෙළ ගායිකාවන ලෙස කටයුතු කරන්නට
සුනිලාට හැකි විය. කේමදාසයන් හඳුනාගත් සැබෑ කාන්තා ගී හඬ ඇය සතුව තිබුණි. එහෙයින්ම ඇය කේමදාසයන්ගේ සිනමාව, වේදිකා
නාට්‍ය සංගීතය, ඔපෙරා, සිම්ෆනි, ඇතුළු මාස්ටර්ගේ සියළුම සංගීත වැඩසටහන් වලට
සුනිලාගේ ගී හඬ ආලෝකයක් විය. පෙරදිග මෙන්ම බටහිර සංගීතය පිළිබඳව ඇය සතුව තිබූ දක්ෂතාවයත් කුසලතාවත් නිසා කේමදාස මාස්ටර්ගේ සංගීතයේ මුල්තැන ඇයට හිමිවිය. ඇය සොෆ්‍රානෝ ශෛලියේ ගායිකාවකි. ඒ නිසා සුනිලා ද කේමදාසයන්ගේ සංගීතය හැර
වෙනත් සංගීතයකට ගී ගයන්නට නොගියාය. එසේ ගියේ නම් ඒ ඉතාමත් කලාතුරකිනි. මගේ මතකයේ
හැටියට ඇය ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන්ගේ ගීතනු කීපයක් පසු කාලයේ ගායනා කර තිබුණි.
කේමදාසයන්ගේ
සංගීතයෙන් හැඩ වූ ධර්මසිරි බණ්ඩාරනායකගේ හංසවිලක් චිත්‍රපටයේ හෙමින් සැරේ පියා
විදා ගීතයත්, ධර්මසේන පතිරාජගේ බඹරු ඇවිත් චිත්‍රපටයේ උදුම්බරා - හඳුනාගත්තොත් ඔබ මා ගීතයත් ඇය ගායිකාවක වශයෙන්
නිරුපණය කළ සංගීමය භූමිකාවේ ඉම් පෙදෙස් හඳුනාගැනිමට ප්‍රමාණවත්ය. එසේ වුවත් කේමදාසයන්
සංගීතවත් කළ රංජිත් ධර්මකිර්තිගේ අංගාරා ගඟ ගලා බසී නාට්‍යයේ ඇය ගැයූ ගී මාලාවද
වේදිකා නාට්‍ය රසිකයන්ගේ මතකයෙන් ගිලිහි තිබිය නොහැක.
සුනිලාගේ
ප්‍රසිද්ධ දේශපාලන භූමිකාව ඇරඹෙන්නේ
හැත්තෑව දශකයේ වාමාංශික දේශපාලනයේ තරුණ පිබිදිමත් සමගය. 70 දශකය මැද භාගයේ
ජනතා විමුක්ති පෙරමුණේ විමුක්ති ගී ගායිකාවක වූ ඇය, ගැයූ ගීත අතර සුනිල් විජේසිරිවර්ධන සමග නිදිනැති නදියේ නාදය ගී එකතුවට ගැයූ
“දෝතට ගනිමූ” ගීතය විමුක්ති ගී
රසිකයන්ගේත්, වාමාංශික දේශපාලන ධාරාවේත් හරස්කඩක් බඳු ගීතයකි. එවැනි ගීයක් යහපත්
සමාජයක් සඳහා ඇති කළ කම්පනය කොතරම්ද කිවහොත් ඒ ගීතය පසු කාලයේ ජයතිලක බණ්ඩාරයන්ද සාධු ජනරාව සහ ගී රස වින්දන හරහා නැවත ජනතාගත කළේය.
විමුක්ති
ගී ප්‍රසංගයෙන් පසුව ඇය රජරට කේන්ද්‍ර කර ගනිමින් ගොඩනැගුණ ජනතා කලා කේන්ද්‍රය
පිහිටුවිමට පුරෝගාමී වු අය අතරින් කෙනෙකු වූයේ සුනිලාය. නන්දන මාරසිංහ, සුනිල්
විජේසිරිවර්ධන, ගුණදාස කපුගේ, ජයතිලක බණ්ඩාර ආදි කලාකරුවන්ගේ සාමූහික වෑයමක් ලෙස
බිහිවන රජරට ජනතා කලා කේන්ද්‍රය හරහා බිහිවූ කාලයේ රාවය ප්‍රසංගයේ සුනිලා ගී ගැයුවාය. අසූව දශකයේ අග
භාගයේදී මර්ජ් ආයතනයේ ක්‍රියාකාරිනියක වූ සුනිලා මර්ජ් ආයතනයේ සහයෝගයෙන් ආචාර්ය
සුනිල් විජේසිරිවර්ධනගේ ගීපදමාලා ඇතුළත්ව කේමදාසයන් සංගීතවත් කල නිදි නැති නදියේ
නාදේ කැසට්පටය නිර්මාණය කර එළි දැක්වූවාය.
ඇය සිවිල්
සමාජ ක්‍රියාකාරිනියක ලෙස දේශපාලන කරලියේ කතාබහට ලක්වන්නේ 70 දශකයේ සිටමය. 88 – 89
කාලයේ භීෂණ සමයේ අතුරුදහන් වූවන්ගේ පවුල්වල අයගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම
වෙනුවෙන් Youth Inform ආයතනයේ කළ කැපකිරීම්ද ඇයගේ ජීවන ගමනෙහි ප්‍රබල
මං සලකුණුය. ඒ යුගයේම ප්‍රේමදාස පාලනයට එරෙහිව මවුවරුන්ගේ පෙරමුණ, සහ අතුරුදහන්
වූවන්ගේ මාපිය දූදරු සංවිධානය වැනි සංවිධාන ගණනාවක් සමග සමීපව කටයුතු කරන සුනිලා
එවකට විපක්ෂයේ මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ වත්මන් ආණ්ඩුවේ ප්‍රබල දේශපාලකයින් ප්‍රේමදාස
දුර්දාන්ත පාලනයට එරෙහිව ජිනීවා මානව හිමිකම් සංවිධානය වෙත රැගෙන යාමට අවශ්‍ය සම්බන්ධිකරණ කටයුතු සිදු
කළාය.
දීර්ඝ
කාලයක් තිස්සේ සිවිල් සමාජයේ ක්‍රියාකාරීත්ව සහ මිනිසුන්ගේ මානව හිමිකම් වෙනුවෙන්
පෙනි සිටි එඩිතර සහ දක්ෂ කාන්තාවක වූ නිසා ජිනීවාහි මානව හිමිකම් සංවිධානය
පුරවැසියෙකු වෙනුවෙන් පිරිනමන මානව හිමිකම් සම්මානය සුනිලාට එහි අධ්‍යක්ෂ ජනරාල්
වශයෙන් කටයුතු කළ කොෆි අනන් අතින් 1999 වර්ෂයේදී හිමිවන්නේ ඇයගේ මේ සුවිශේෂ කාර්ය භාරය නිසාය. ශ්‍රි
ලාංකිකයෙක් වශයෙන් එදා මෙදා තුර ලැබූ මානව හිමිකම් සම්බන්ධයෙන් ලද ඉහලම සම්මානයද
එය වන්නේය.
ශ්‍රී
ලාංකික කාන්තාවගේ සුවිශේෂ කාරය භාරය වඩාත් දාර්ශනික මතවාදයකට ගොනුකර ගැනීමෙහිලා
ලාංකේය කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පැහැදිලි කතිකාවක් ගොඩනැගීමේ මෙහෙවරද
විචාර, විවේචන, ගැරහුම් මැද ඇය ඉටුකළාය. සිය හෘද සාක්ෂියට එකඟව සියළු ශ්‍රී ලාංකික
කාන්තාවන් වෙනුවෙන් ද, සියලු මිනිසුන්ගේ
මානව හිමිකම් වෙනුවෙන්ද ප්‍රබල හඬක්
අවදිකළ සුනිලා ලංකාවේ එදා මෙදාතුර සිදුවූ මානව හිමිකම් කඩවීම් ලෝකය තුළ මතවාදයකට ලක් කරන්නට කටයුතු කළාය.
මෙරට යුද
සමයේ ද්‍රවිඩ ජනතාවගේ බිඳ වැටෙන අයිතිවාසිකම්
වෙනුවෙන් ප්‍රබල හඬක් නැගූ සුනිලා වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව මියෙන
තෙක්ම හඬ නගමින් දැවැන්ත අරගලයක නිරත වූවාය. එහෙයිම ඇය වත්මන් ආණ්ඩුවේ ඇස්වලට ගිනි
යවුල් අනින ආණ්ඩුවේ වෛරී චරිතයක් බවට වූවාය. ඇය ආණ්ඩුවිරෝධී චරිතයක් බවට පත්වන්නේ වත්මන්
ආණ්ඩුවට අභියෝග කිරිමත් සමගය.
සියලු
මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස වෙනුවෙන්ද, යුද්ධයෙන් පීඩාවට පත්වූවන්ගේ
අයිතිවාසිකම් වෙනුවෙන්ද කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන්ද නිරන්තයෙන් පෙනී සිටි ඇය
දිරිය දියණියක් සේම අභීත දියණියක වෙමින් මෙරට යුක්තිය සාධාරණත්වය අගයන සියලු පුරවැසියන්ගේ
අපේක්ෂාවන්හි පහන් දැල්වූවාය.
ඩබ්ලිව්.ජයසිරි,
කෙලී සේනානායක සහ සුනිල් විජේසිරිවර්ධන සමග විවාහවී සිටි ඇය දෙදරු මවකි. ඇයගේ
පුද්ගලික ජීවිතයේ රහස් කිසිවටකත් සැඟවිමට
හෝ වසන් කිරිමට කිසිදු උත්සාහයක් නොගත් සුනිලා ඒ සියලු විවාහ බන්ධන වලින් මිදුනේ
සිවිල් සමාජ ක්‍රියාකාරිනියක වූ නිසාය. ඒ විවාහ බන්ධන වලින් මිදුනු පසුව නිදහස්
කාන්තාවක ලෙස ජනතාව වෙනුවෙන් පෙනී සිටින සුනිලා, ඇය නියෝජනය කළ සමාජය වෙනුවෙන්
පැහැදිලි ලෙසම පෙනීසිටන්නට ඔවුන්ගේ සහය අවශ්‍ය තැන්හි ලබාගන්නේ විවාහය යනු හුදු
ලියවිල්ලක් බව පසක් කර දෙමිනි.
 |
අංගාරා ගඟ ගලා බසී වේදිකා නාට්‍යයෙන් |
කෙසේ වෙතත්
දෛවය විසින් ගෙන ආ ඉරණම හමුවේ ජීවිතයේ අවසන් කාලය විදේශයන්හි ගතකරන්නට ඇයට
සිදුවන්නේ වත්මන් ආණ්ඩුව සමග අරගල කිරීමත් සමගය. ඇය විදේශගත වූයේ ජීවිතාරක්ෂාව
උදෙසාය. එසේ වුවත් මරණය වේගයෙන් ඇය හඹා
පැමිණියේය. මාරාන්තික පිළිකා රෝගය ඇයගේ සියළු ශක්තීන් ආක්‍රමණය කරමින් ඇයගේ ජීවිතය
ඩැහැගන්නට අරගල කරන බව ඕ පසක් කරගෙන සිටියාය. ශ්‍රී ලංකාවේ සියළු ජාතීන් වෙනුවෙන්
ද , මුලුමහත් සමාජයක යුක්තිය සාධාරණත්වය වෙනුවෙන්ද සිය ජීවිතය කැපකල සුනිලා ලක්
දෙරණ මත සිය අවසන් සුසුම මේ වාතලයට මුසුකර අවසන් නින්ද මේ බිමේදීම වැළඳ ගැනීමට කැමැත්තෙන්
සිටි නිසා මීට මාස කීපයකට පෙර මරණය දෝතින්ම රැගෙන ලංකාවට පැමිණියාය. කිනම් මොහොතක
හෝ ඇය කරා වේගයෙන් පැමිණෙන මරණය අපේක්ෂාවෙන් සිටි ඇය සියලු අරගලයන් පෙරේදා සවස් යාමයේ නතරකර
දැමුවාය. ඒ යුක්තිය සාධාරණත්වය අගයන මිනිසුන්ගේ හදවත් තුළ සදා ලැගුම් ගනිමිනි.
ඇය පිළිබඳව
බොහෝ දේ මේ වන විට ලියැවෙමින් තිබේ. අද සවස් යාමයේ ඇය නික්ම යන්නේ ඇය ගොඩ නැගූ
සියලු අපේක්ෂාවන් බුද්ධිමත් මිනිස් පරපුරකට තිළිණ කරමිනි. ඇයගේ කලාවත්,
දේශපාලනයත්, සිවිල් සමාජයේ ක්‍රියාකාරීත්වයත් සියලු මිනිසනුගේ මතකයේ රඳවමිනි. ලංකේය
කාන්තාවන් වෙනුවෙන්ද, පීඩාවට පත්වූ සියලු
මිනිසුන් වෙනුවෙන්ද සුනිලා ගොඩනැගූ භූමිකාව මතු මතුත් සදානුස්මරණිය වන්නේ එහෙයිනි.
අස්වැන්න මේ මොහොතේ ඇයට කෘතවේදීත්වය පළකර සිටින්නේ ඇය ඉටු කල ඒ උදාරවූ මෙහෙය
වෙනුවෙනි. මේ සුනිලා අබේසේකර නම් වූ ඇයයි.
දෝතට ගනිමූ දෝතට ගනිමූ
ඉරද හඳද මහ පොළවද දෝතට ගනිමූ
උදා හිරු එලියේ දිලිසෙන විළිකුන්
ඵලයක්
රැයේ ගලා හැලෙන නිල්වන්
තරුවක්
දියෙන් පෙඟී තියෙන හදවත්
කැටියක්
ඒ හදවත ගැන කියවෙන ආදර කවියක්
සුනිලාවනි.....
හිමින් සැරේ පියා විදා සිනිදු සයනේ සුමුදු ඇතිරිල්ලෙන් මුදා හැර ගිය සියොත් කැල ඔබ හිස
අද්දර ඒ ගැයූ මිහිරැතිම ගීය ඔබේ සුව නින්දට සුවයක් සදාවා....! ඔබට සුබ රාත්‍රියක්ම
උදාවේවා......! මේ සිතාරය හඬන කඳුළු ඒ
සියලු උදාර මිනිසුන් ඇස උපදින කඳුළුද, හද
උපන් සුසුම්ද වන්නේය. ඒ සියල්ල ඔබේ නින්දට උණුසමක්ම වේවා...
පළමු ඡායාරූප 03 අන්තර්ජාලයෙනි.