එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Tuesday 1 October 2013

෴ යාය 06 ඉස්කෝලේ ෴




 වත්කම් අතර හිතවත්කම රඳවන්නට කළ හැකි හොඳ වැඩක්

අද ඔක්තෝම්බර් 01 ලෝක ළමා දිනය; ඒ වගේම වැඩිහිටි දිනය. ඒත් මම මේ සූදානම් වෙන්නෙ ලෝක ළමා දිනය ගැන හෝ වැඩිහිටි දිනය ගැනවත් කතාබහක් කරන්න නෙවෙයි. ඊට තරමක් වෙනස්, ඒත් යහපත් හෙට දවසක මතු පරපුරක් වෙනුවෙන් කිසියම් හෝ දායකත්වයක් ඔබ සතුව තිබේදැයි  බලන්න අස්වැන්නට පුංචි ඉල්ලිමක් වගේම  ලැබුණා. සාමාන්‍යයෙන් අස්වැන්න කියවන සමහර සහෘදයන් විසින්   විවිධ ඉල්ලීම් එවනවා  අස්වැන්න හරහා  සහයෝගයක් ලබා දෙන්න කියලා. ඒත් ඉදිරිපත් වන අදහස හා එහි කාලින වැදගත්කම අනුව තමයි එවැනි ඉල්ලිමක් ඉටුකරන්න සිදුවෙන්නෙ. අද මම සටහන් කරන්නෙ එවැනි දුෂ්කර පාසලකින් ලැබුණු නිහතමානි ඉල්ලීමක්.

ලංකාවෙ හැම පාසලකටම නාගරික පාසල්වලට ලැබෙන හැම පහසුකමක්ම ලැබෙන්නෙ නෑ. ඒත් ඇතැම් පාසල් ඒ ජනප්‍රිය පාසල්වල තිබෙන සම්පත් දිහා බලාගෙන හූල්ලන්නෙ නැතුව අවම සම්පත් වලින් උපරිම වැඩ කොටසක් කරන්න  පෙළඹෙනව. ඒ වගේ  පාසලක්  පිළිබඳ තොරතුරු තමයි මේ.

  අනුරාධපුර නගරයේ සිට කිලෝ මීටර 45 ක් පමණ දුරින් පිහිටා ඇති රාජාංගනය ප්‍රදේශයේ පිහිටා ඇති අංගමුව යාය 06 මහා විද්‍යාලය ඉතා දුෂ්කර ගමක පිහිටි පාසලක්. ඒත් මේ පාසැල  හතරවටින් යල මහ දෙකන්නයම සරු වුණ නිල්ල පිරුණු කෙත්වතු පිරිලා  ඒ  වගේම පොල් රුප්පාවලින් පිරුණු සුන්දර ගම් ප්‍රදේශයක පිහි‍ටි පාසැලක්. හරියටම කිව්වොත් ඩී.එස්.සේනානායක යුගයේ ලංකාවෙ කොළණි ක්‍රමය එහෙමත් නැත්නම් ජනපද ක්‍රමය යටතේ ඇරඹුන ගොවි ජන ව්‍යාපාරවලින් පටන් ගත්ත ගමක් තමයි අංගමුව කියන්නේ. එක් පසෙකින් කළා ඔය දකුණු නිම්නයත්, තවත් පැත්තකින් රාජංගනය ජලාශයත් ඒ ජලාශයේ දකුණු ඉවුරින් පෝෂණය වන අංගමුව ජලාශයත් වටකරගෙන බිහිවෙච්ච සුන්දර ගමක පිහිටි අංගමුව යාය 06 ඉස්කෝලේ  ගම් පියසේ දරුදැරියන් ලෝකය දකින විඳින සොඳුරු නවාතැනක්. හරියටම කියනව නම්  පහුගිය කාලෙ තිරගත වුණු ජැක්සන් ඇන්තනීගේ “අබා” චිත්‍රපටය රූ ගත කළේ අංගමවු මහා විද්‍යාලය ආසන්නයේ ඇති රජමහා විහාර භූමිය සහ ඒ අවට ප්‍රදේශයේ. අස්වැන්න ලියන මගේ උපන් ගමටත් කිට්ටුවම තියෙන ගමක්. ඒ තමයි ඔය පාසල පිහිටි වටපිටාව ගැන තොරතුරු. 
 
අංගමුව මහා විද්‍යාලය දරුවන්ට විධිමත් අධ්‍යාපන ලබා දීමට අමතරව, පාසල අවට ප්‍රජාවට (පාසලේ දරුවන්, දෙමාපියන්, අවට පාසල් වල දරුවන්, ගුරුවරුන්, දෙමාපියන්, ඇතුලු ප්‍රදේශයේ ජනතාව) ඔවුන්ගේ යහපත් රසවින්දනය වෙනුවෙන් දැනට අවුරුදු  එකහමාරක පමණ කාලයක සිට මාසිකව රසවින්දනාත්මක වැඩසටහනක් ඉදිරිපත් කරනවා. මේ රසවින්දනාත්මක වැඩසටහන මුලුමනින්ම නිර්මාණය වෙන්නෙ ඒ පාසලේ ගුරුවරයෙක් විදියට කටයුතු කරන තුසිත කුමාර සහෘදයා, එහෙමත් නැත්නම් රසවතාගෙ කැපවිමත් දිරිගැන්විමත් එක්ක අංගමුව මහා විද්‍යාලයේ කලා සංගමය.
 
අංගමුව මහා විද්‍යාලයේ රඟහල

මේ සියලු කැප කිරීම් ඔස්සේ ගොඩනැගෙන දක්ෂතා ඔස්සේ ඒ පාසලේ දූදරුවන්  විවිධ අවස්ථාවන්හිදී ලබාගත් ජයග්‍රහණ සඳහා තිළිණ වශයෙන් ලැබුණු බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රය හා ශබ්ද උපාංග භාවිතා කරමින් ඉතාමත් හොඳ  රසවින්දනයක් ලබා ගත හැකි විවිධ නිර්මාණ වල වීඩියෝ දර්ශන මසකට වරක් හවස 6.30 ට පෙන්වනවා. ඒ ඔවුන්ට ලැබුණ සම්පත්  ප්‍රයෝජනයට ගෙන  විද්‍යාලයේ ශාලාවක ආචාර්ය මණ්ඩලය සහ  දරුවන් විසින්  සකස් කරගත් අඩි 1812 පමණ ප්‍රමාණයේ තිරයක් භාවිතයෙන්. ඒ විතරක් නෙවෙයි ඔවුන් ඒ   පාසල අවට ප්‍රදේශ වල ගැමි ගොවි ජනතාවත් සමඟ ඒ නිර්මාණ  බෙදා ගන්නවා. එක් එක් දිනයට ‍ප්‍රදර්ශනය කරනු ලබන නිර්මාණයට අදාල ව  එය ප්‍රදර්ශනය කිරිමට පෙර  ඒ පිළිබදව කරනු ලබන  හැඳින්වීමක්  හා නිර්මාණය නැරඹීමෙන්   අනතුරුව එය රස විඳි අය සමඟ සිදු කරන වින්දනාත්මක කතා බහකුත් ඊට එකතු කරනවා. මේ හැම දෙයක්ම කරන්නෙ ගමේ පාසලේ රස වින්දනය වෙනුවෙන් ලංකාවෙ කලාකරුවෙක් ගෙන්වා ගැනීමට තරම් වත්කමක් මේ ඉස්කෝලෙවත්, දරුදැරියන් සතුවත් නැති කමට.

ඒත්, මීට වසර කිපයකට කලින් ගමක පාසලක රසවින්දන වැඩසටහන් වෙනුවෙන්  ගායක ගායිකාවන්, නළු නිළියන්, වැනි කලාකරුවන් කිසිඳු ලාභාපේක්ෂාවකින් තොරවම ඔවුන්ගේ අතින් වියදම් කරගන මෙ වැනි වැඩසටහන්වලට සහභාගී වුණා. ඒත් අද වන විට මේ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. ගම්බද පාසලක දරුවන් ලංකාවෙ කලාකරුවන් එක්ක වචනවක් දෙකක් කතාබහ කරන්න, තමන්ගෙ පාසලට පැමිණෙනවා දකින්න ගැමියන් වගේම ඒ දරු දැරියනුත් දක්වන්නෙ මහත් ආශාවක්. ඒ අද ඒ සියල්ල මුදල් මත තීරණය වෙන  යුගයකට කලාව රූපාන්තරණය වෙලා.   

වර්තමානයේ  ප්‍රවීන, ප්‍රබුද්ධ ගණයේ ළා සැළකෙන සංගීත ශිල්පියෙකු හෝ ශිල්පිණියක මෙවැනි වැඩසටහනකට සහභාගී විමට ආසන්න වශයෙන් රුපියල් ලක්ෂයේ සිට එක්ලක්ෂ පනස් දහස දක්වා මුදලක් අයකරන බව ඇතැම් විට ඔබ නොදන්නවා විය හැකියි. 

එහෙම වටපිටාවක් නිර්මාණය වුණේ පසුගිය කාලයේ සුපර් ස්ටාර්ස් වැඩසටහන්වලින් බිහි වූ ගායක ගායිකාවන් එවැනි වැඩසටහනකට, උත්සවයකට, ප්‍රසංගයකට සහභාගිවෙන්න අය කළ මුදල රුපියල් ලක්ෂයකට වඩා විශාල ගණනක් වුවත්  ඇතැම් පාසල් එවැනි විශාල මුදලක් ගෙවා ඔවුන්ගේ සහභාගීත්වය ඒ පාසල්වල වැඩසටහන් වලට ලබා ගැනිම සුලබ දසුනක් වුණා. ඒ  නිසා, එතෙක් කල් සමාජ මෙහෙවරක් වෙනුවෙන් කැපවූ කලාකරුවන් ඒ කැප කිරීම්  අතහැර දැමුවා. අද ඔවුන්ගෙ මතය වෙන්නෙ “සුපර්ස්ටාර්ස්ලට එතරම් මුදලක් ගෙවන්න පාසල්වල සංවිධායකයන්ට හැකි නම් එතරම්  කැපවීමක් කරපු ඔවුන් අතින් වියදම් කරගෙන ඇයි ඒවාට සහභාගි වෙන්නේ ” කියන කාරණයයි.
 
යසනාත් රසවින්දන වැඩසටහනක් ඉදිරිපත් කරමින්
ඒ හේතුවෙන් තමයි තුසිත කුමාර වැනි සහෘදයන්ට උනන්දුව තිබුණත් දුෂ්කර ප්‍රදේශවල ඔවුන් සේවය කරන පාසලකට කලාකරුවකු ගෙන්වා ගැනිමට හැකියාවක් නැත්තෙ. ඒ අරමුණ වෙනත් ආකාරයකින් මුදුන් පමුණුවාගන්න ඔවුන් නූතන තාක්ෂණය යොදා ගන්නට ඔවුන්ට සිදුවන්නේ ඒ නිසා. ඒ කොහොම වුණත් දැනට රජරට සිටින ප්‍රවින ගීත රචක වෛද්‍ය යසනාත් ධම්මික බණ්ඩාර ඇතුළු කලාකරුවන්ගේ සෙනේබර නොමඳ දායකත්වය  විටින් විට අංගමුව මහා විද්‍යාලය ඇතුළු ප්‍රදේශයේ පාසල්වලට ලබා දෙනවා. ඒ ඔවුන්ගේ හදවත් තවමත් මුදලට වඩා වටින නිසා.

ඒත් සතුටින්
කොහොම වුනත් අංගමුව මහා විද්‍යාලයේ මේ මාසික වැඩසටහන පටන් ගත්තේ 2012 වර්ෂයේ දී ආචාර්ය වික්ටර් රත්නායක සංගීතවේදියාණන් තම අවසන් ප්‍රසංගය ලුම්බිණී රඟහලේදී ඉදිරිපත් කිරීමට සමාන්තරව එතුමන් ද දැනුවත් කිරීමෙන් පසුව එම වේලාවටම අංගමුව යාය 06 මහා විද්‍යාලයේදී “ස” ප්‍රසංගයේ වීඩියෝ දර්ශනයක් ඉදිරිපත් කිරීමෙන්. එය නැරඹූ පසු එයට සම්බන්ධ වූ බහුතරයකගේ ඉල්ලීම අනුවත්, ඔවුන්ගේ  සැළැස්ම අනුවත් එය මාසිකව පවත්වාගෙන යනු ලබන නිර්මාණ රස වින්දන වැඩසටහනක් බවට මේ වන විට පත් වෙලා තියෙනවා. තුසිත ඇතුළු සහෘද පිරිස  මෙම වැඩසටහන් කරන්නේ කිසිදු මූල්‍ය ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන් නොවෙයි.  ප්‍රදේශයේ ගැමි ජනතාවගේත් පාසලේ දරු දැරියන්ගේත් උසස්  රස වින්දනය වැඩි දියුණු කිරීමේ අරමුණින් සම්පූර්ණයෙන් ම නොමිලේ. මේ විදියට පසු ගිය කාලයේ  මාසිකව කළ වැඩසටහන් අතර නන්දා මාලනියගේ “ස්වේත රාත්‍රිය” වගේම  පසුගිය මාසයේ  යානි ක්‍රිසෝමාලීස් සංගීතවේදියාගේ ප්‍රසංගයක විඩීයෝ දර්ශනය ඒ  රසිකයන් සමඟ බෙදා ගත්තා. අද ඔක්තෝම්බර් 01 ලෝක ළමා දිනය වෙනුවෙන් ඒ පාසලේ “ජුරාසික් පාක්” චිත්‍රපටය පෙන්නුවා. මෙතෙක් කල් පැවති ඒ වැඩසටහන්වලට  අනුරාධපුර නගරයේ සිටත්, වවුනියාව වැනි දුර බැහැර  සිටත් රසිකයන් පැමිණීම  මේ පාසලේ පැවැත්වෙන රස වින්දන වැඩසටහනේ සාර්ථකත්වයේ සතුටට කරුණක් .

ඒ විදියට අංගමුව යාය 06 මහා විද්‍යාලයේ ඉදිරි මාසික රසවින්දන වැඩසටහන් සඳහා තුසිත කුමාර සහෘදයා ප්‍රමුඛ විද්‍යාලයේ කලා සංගමයේ  රසවතුන්ට යහපත්, ඉහළ ගුණාත්මක  බවින් යුත් නිර්මාණ වල හිඟකමක් වගේම අවශ්‍යතාවයක්  මේ වන විට මතුව තියෙනවා. ඒ නිසා මෙහි පහත දැක්වෙන වැඩසටහන් වල ගුණාත්මක බවින් හොඳ මට්ටමේ ඩීවිඩී හෝ වීසිඩි තැටි හෝ පටිගත කරගත් දර්ශන එකක් හෝ කීපයක්  ඔබ සතු වේ නම්, විශේෂයෙන් අංගමවු වැනි ග්‍රාමීය දුෂ්කර ප්‍රදේශ වල වෙසෙන මේ දරුදැරියන්ගේ රසවින්දනය යහපත් දිශාවකට යොමු කර ගැනීමේ අරමුණෙන් ක්‍රියාවට නංවන මෙම කාර්යය සඳහා ලබා දෙන ලෙස තමයි ඔවුන්ගේ ඉල්ලිම වන්නේ.

දැනට අවශ්‍යව තිබෙන්නේ මෙන්න මේ මතු දැක්වෙන නිර්මාණ. මේ  ඇතැම් නිර්මාණ මීට පෙර ඩීවිඩි තාක්ෂණයෙන් ජාතික රූපවාහිනිය ඇතුළු ඒ ඒ ආයතන විසින් වෙළඳ පොලට නිකුත් කළා. නමුත් දැන් ඒවා නැවත නිෂ්පාදනයක් වන්නේ නෑ.

රත්න ශ්‍රී විජේසිංහ නිර්මාණවේදියාණන්ගේ 60 වසරක කලා දිවිය සැමරුම උල්පත පාමුලවැඩසටහන.

ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ හිමව් අරණ, අමරසර ඇතුළු වෙනත් සංගීත වැඩසටහන්. (ජාතික රූපවාහිනිය නිකුත් කළ DVD)

විශාරද නන්දා මාලිනියගේ ඈත කඳු යායේ“ , “නඳුන් උයන“අඬහැරය”   ඇතුළු    වෙනත් සංගීත වැඩසටහන්. (ජාතික රූපවාහිනිය නිකුත් කළ DVD)

විශාරද ගුණදාස කපුගේ සංගීතවේදියාණන්ගේ කම්පනප්‍රසංගය.

ටී.එම් ජයරත්න, කසුන් කල්හාර, අමරසිරි පීරිස්, බණ්ඩාර අතාවුද,
   සුනිල් එදිරිසිංහ

  වැනි ශිල්පීන් ඉදිරිපත් කළ සංගීතමය වැඩසටහන්

සුරම්‍ය රාත්‍රී වැඩසටහන්. (ජාතික රූපවාහිනිය නිකුත් කළ DVD)
 
සංහිඳ වැඩසටහන්.  පෙදෙහි රසහව් වැඩසටහන්. 

තනි තරුව වැඩසටහන්.    (ITN)

උසස්  රස වින්දනය උදෙසා මෙම රසිකයන්  සමඟ බෙදා හදා ගැනීමට උචිත යැයි ඔබ විශ්වාස කරන එවන් දේශීය මෙන් ම, විදේශීය වශයෙන් නිර්මාණය වූ චිත්‍රපට, සංගීත වැඩසටහන්, රසවින්දන වැඩසටහන්, රූපවාහිනියෙන් විකාශය වන විට ඔබ විසින් පටිගත කරගත් විවිධ විචිත්‍ර සංගිතමය වැඩසටහන්  හා වේදිකා නාට්‍ය ආදිය ඔබ සතුව ඇත්නම් ඒ අගනා නිර්මාණ මේ රසවින්දන වැඩසටහනට ලබා දෙන්න පුළුවන්.

ඔබ සතුව එවැනි නිර්මාණයක් ඇත්නම් ඔබ විසින් දෙනු ලබන ඒ නිර්මාණය ඒ රස වින්දන වැඩසටහනට පමණක් භාවිතා කර එලෙසින්ම වගකීමෙන් යුතුව සුරක්ෂිතව ඔබ අතටම නැවත එය ලැබෙන්න සලස්වන්න අප සූදානම්.

ඔබ සතුව එවන් රසවින්දනාත්මක නිර්මාණයක් හෝ නිර්මාණ එකතුවක් ඇත්නම් මා අමතන්න. එවිට මම ඒ අවශ්‍ය සම්බන්ධීකරණය නියමාකාරයෙන් කර දෙන්නම්


දුරකථනයෙන් අමතනවා නම් -
 0714 394215 (තුසිත කුමාර- අංගමුව මහා විද්‍යාලය)

පාසලේ ලිපිනය
කලා සංගමය

අ/අංගමුව යාය 06 මහා විද්‍යාලය

යාය 06,

අංගමුව.


18 comments:

  1. තුසිත සර් එම විදුහලේ තොරතුරු තාක්ෂණ ගුරුතුමා නේද ?

    මම දන්නා තරමින් "රූ Entertainment" ලේබලය යටතේ DVD ලබාගන්න පුළුවන්. මෙතැනින් තහවුරු කරගන්න පුළුවන්.
    http://www.rupavahini.lk/index.php/contact-us

    ReplyDelete
  2. නිහඬ සිතුවිලි

    තුසිත අංගමුව මහා විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ ගුරුතුමා තමයි. ඊටත් වඩා හොඳ රසවතෙක්.

    මම පුද්ගලිකවම රූපවාහිනියේ "රූ එන්ටටේන්මන්ට්" අලෙවිහලේ පරීක්ෂා කර විස්තර සොයාබැලීමෙන් අනතුරුව තමයි මේ ලිපිය දැම්මේ.

    ජාතික රූපවාහිනිය නිෂ්පාදනය කළ ඒ සියළුම DVD තැටි විකිණී අවසන් වෙලා තියෙන්නේ ගොඩක් කාලෙකට කලින්. අලුතින් පිටපත් ප්‍රින්ට් කරලා නෑ. ඉදිරියේදි යළි එවැනි නිර්මාණ එළිදක්වයිද කියලා තවම විශ්වාස නැහැ.

    ReplyDelete
    Replies
    1. තුසිත සර් ඇත්තටම මම දැකපු අමුතුම විදියේ ගුරුතුමෙක්.. මුණගැහිලා තියෙන්නේ දවස් තුනයි ඒත් අහම්බෙන් වගේ... තුන් වෙනි දවසේ ඔහුගෙන් යමක් ඉගෙනගත්ත...
      ඉගැන්වීම වෘත්තිය ක් නොකර ධර්මයක් කරන දක්‍ෂ ඇඳුරෙක්...

      Delete
  3. Replies
    1. ඉතාමත්ම අගය කරනවා මේ ව්‍යායාමය..ලංකාවට ආපු දවසක මමත් කැමතියි දුප්පත් පාසලකට උදව් කරන්න. අපි එදාට එකතු වෙමු. අපේ අනාගත පරපුරට හැකි අයුරකින් උදව් කරන්න මම හරිම කැමතියි. මූල්‍ය ශක්තිය ඇතිකරගෙන මමත් එකතු වෙන්නම් මෙවැනි සත්කාරයකට...

      Delete
  4. බොහොම ස්තුතියි දයා ඔබගේ අස්වැන්නෙන් අප පාසල වෙනුවෙන් සරු බිම් කඩක් වෙන් කළාට.

    ReplyDelete
    Replies
    1. තුසිත, ඔබගේ මෙහෙය තව තවත් හොඳින් කරගෙන යාමට ධෛර්යය ශක්තිය පතමි.

      Delete
  5. ඇත්තටම හොඳ වැඩක්. මමත් පොඩ්ඩක් හොයල බලන්නම්.

    ReplyDelete
  6. අපේ රටේ දියුනු වෙන්නේ දියුනු වෙලා තියෙන පාසල් විතරමයි හැමදාමත්. මමත් උත්සාහයක් දරන්නම්..

    ReplyDelete
  7. තුසිත ඔබට ශක්තිය හා ධෛර්‍යය.

    ReplyDelete
  8. අගය කල යුතු හොද වැඩක්..

    ReplyDelete
  9. තුසිත වගේම දයා අතිනුත් වෙන්නේ සමාජයට ලොකු මෙහෙවරක්...දෙන්නටම අපේ ආචාරය...

    'යාය 04' කතාව මතක් උණා. ඒ කියන්නේ ගමේ නම 'යාය 06' කියන එකද? ඇයි එහෙම නම් දාලා තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. මෙම ප්‍රෙද්ශ ගොවි ජනපද ව්‍යාපාර යටතේ නිර්මාණය වෙච්ච ඒවා. රාජාංගනය දකුණු ඉවුර යාය 01 න් පටන් ගෙන 13/14 දක්වා විහිදෙනවා.

      Delete
  10. ඉතාම හොඳ වැඩක්...අගය කල යුතුයි

    ReplyDelete
  11. “වත්කම් අතර හිතවත්කම රැඳවූ සුහද මිතුරා”

    හරියටම සැප්තැම්බර් මාසෙ 22 වදා අපි අපේ ෆේස්බුක් මිතුරු මිතුරියන්ගෙන් ඉල්ලිමක් කළා මෙන්න මෙහෙම,

    “ජන මනස සුවපත් කළ හැකි නිර්මාණ බෙදා හදා ගැනීමට ඔබටත් ඇරයුම්!”

    හිතවතුනි, හිතවතියනි,
    අනුරාධපුර නගරයේ සිට කිලෝ මීටර 45 ක් පමණ දුරින් පිහිටා ඇති රාජාංගනය, අංගමුව ප්‍රදේශයේ පාසලක් වන අංගමුව යාය 06 මහා විද්‍යාලයේ අපි දරුවන්ට අධ්‍යාපන ලබා දීමට අමතරව පාසල අවට ප්‍රජාවට (පාසලේ දෙමාපියන්, අවට පාසල් වල දරුවන්, ගුරුවරුන්, දෙමාපියන්, ඇතුලු ප්‍රදේශයේ ජනතාව) ඔවුන්ගේ යහපත් රසවින්දනය වෙනුවෙන් දැනට වර්ෂ එකහමාරක පමණ කාලයක සිට මාසික රසවින්දනාත්මක වැඩසටහනක් ඉදිරිපත් කරන්නෙමු............

    https://www.facebook.com/photo.php?fbid=10201776470355557&set=pb.1295484939.-2207520000.1382876262.&type=3&theater

    එසේම දයානන්ද රත්නායක සොයුරා තම අස්වැන්නේ සරු බිම්කඩක් අපේ ප්‍රයන්තය වෙනුවෙන් වෙන් කළා මෙහෙම,

    “වත්කම් අතර හිතවත්කම රඳවන්නට කළ හැකි හොඳ වැඩක්“

    අද ඔක්තෝම්බර් 01 ලෝක ළමා දිනය; ඒ වගේම වැඩිහිටි දිනය. ඒත් මම මේ සූදානම් වෙන්නෙ ලෝක ළමා දිනය ගැන හෝ වැඩිහිටි දිනය ගැනවත් කතාබහක් කරන්න නෙවෙයි. ඊට තරමක් වෙනස්, ඒත් යහපත් හෙට දවසක මතු පරපුරක් වෙනුවෙන් කිසියම් හෝ දායකත්වයක් ඔබ සතුව තිබේදැයි බලන්න අස්වැන්නට පුංචි ඉල්ලිමක් වගේම ලැබුණා. සාමාන්‍යයෙන් අස්වැන්න කියවන සමහර සහෘදයන් විසින් විවිධ ඉල්ලීම් එවනවා අස්වැන්න හරහා සහයෝගයක් ලබා දෙන්න කියලා. ඒත් ඉදිරිපත් වන අදහස හා එහි කාලින වැදගත්කම අනුව තමයි එවැනි ඉල්ලිමක් ඉටුකරන්න සිදුවෙන්නෙ. අද මම සටහන් කරන්නෙ එවැනි දුෂ්කර පාසලකින් ලැබුණු නිහතමානි ඉල්ලීමක්......

    http://aswanna.blogspot.com/2013/10/06.html

    මේ ඉල්ලීම් දෙක වෙනුවෙන් ම යම් සහෘද පිරිසක් අපව දිරිමත් කළා ඔවුන්ගේ සුභපැතුම් සමඟ.

    ඒ අතර අපගේ පෙර දිනයක පැවති යානී ක්‍රිසෝමාලිස් නම් වූ අපූර්ව සංගීත නිර්මාණ ශිල්පියාගේ ප්‍රසංගයේ වීඩියෝව අපට ලබා දුන් චාන් දන්තනාරායන සොයුරා ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ “හිමව් අරණ“ වැඩසටහනත්, චන්න විජේවර්ධනයන්ගේ “තාල“ නර්තන ප්‍රසංගයේ වීඩියෝවත් සමඟ තවත් නිර්මාණ කිහිපයක් අපගේ කාර්යය සාර්ථක කර ගැනීමට ලබා දුන්නා.

    https://www.facebook.com/chdantha?fref=ts

    චාන් දන්තනාරායන සොයුරාගේ ඒ නිර්ලෝභී දායකත්වයට අප පාසලේ හද පිරි කෘතවේදීත්වය මේ සමඟ පිරිනමමු. ඉදිරි දිනක මේ නිර්මාණ අපි අපේ රසිකයන් සමඟ බෙදා හදා ගන්නට සූදානමින් සිටිමු.

    ReplyDelete
  12. මා දුටු පරමාදර්ශී ම ගුරුවරයා

    ReplyDelete
  13. තුසිත සර් අපේ it sir 2007

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...