අද ඉල් පුර
පසලොස්වක පෝය දවස. සාමාන්‍යයෙන් නැටුම් ගැයුම්වලින් මිදිල සිත සන්සුන් කරගෙන ඉන්න
දවසක් නිසා ආගමට දහමට ගැලපෙන මොකක් හරි ලියන්න හිතුනා. පෝය දවසත්, බුදුගණ ගී ඇහෙන
දවසත් නිසා කාලෙකින් නෑසුන ගී
කීපයකුත් අහමු මේ කතා බහේදිම.
ලංකාවෙ
සංගීත ක්ෂේත්‍රය හරි අපූරු තැනක් කියල හිතෙන්නේ දවසින් දවස ක්‍ෂේත්‍රය පුරා හඹාගෙන
යන එක එක සංගීතමය රැළි නිසා. මේවා සදාකාලික නොවුණත් වෙළඳපොළ විපර්යාසයකට නම් මගක්
පෑදෙනවා. එහෙම එක එක කාලෙ ආපු ඒවා අතරෙ මේ දවස්වල අලුත්ම සංගීත රැල්ල තමයි පූජ්‍ය මානකඳුරේ පඤ්ඤාසාර හාමුදුරුවන්ගේ
සංගීතය මුසු කරපු කවි බණ. සංගීතය කිව්වට දැනට නම් සම්පුර්ණ වාදක මණ්ඩලක් මේ සඳහා
දායකත්වය ලබාදී නැති වුණත් විදුලි ඕගයක් හරහා වාදන භාණ්ඩ කීපයක්ම මේ කවිබණ සංගත
තැටියට ඇතුළත් වෙලා තියෙන බව නම් දැනෙනවා. අනෙක් අතට කවි බණ කියල කිව්වත් "බණ" නම් ඇතුළත්වෙලා නැහැ කවි විතරයි. ඒ කොහොම වුණත් පිරිත් සඣජායනයෙදි ඇසෙන ස්වර කීපය
ඉක්මවා ගිය ස්වර වලින් ගැයෙන “අම්මා” කවිබණ
භික්ෂූන්වහන්සේලාට පනවා ඇති විනය සික්ෂාවන් එක්ක නොගැලපෙන විදියට සංගීතය මුසු කර කාලීනව මාකට් එකක් හදපු නිසා ටිකක් හොයල බලමු මේ
මානකඳුරේ හාමුදුරුවන්ගෙ නූතන සංගීත කවි බණ ගැන.
අපේ ගරුතර සංඝරත්නයට කැප සහ අකැප දේවල් විනය
සික්ෂාවන්වල පනවල තියෙන නිසා ඒවා අභිබවා නොයන විදියට සාමාන්‍යයෙන් බුදුගුණ වැනුම්
ඇතුළත් කවි භික්ෂූන් වහන්සේලා අතින් ලියැවෙනව වගේම ගැයෙනව. එහෙම වුණත් අපි අපේ
ආගමට දහම කෙරෙහි තියෙන ශ්‍රද්ධාව භක්තිය නිසාම කවුරුවත් ඒවායේ ගුණදොස් කියන්නට
යන්නෙත් නෑ. ඒවාගෙම ඒවා ගැන හිතට ගන්නෙත්
නෑ. කොහොම වුණත් මොනව කිව්වත් ඔහේ අහගෙන ඉඳල අන්තිමේදි සාදුකාරයක් දීල හිත
නිවාසනහා ගන්න අතීතයේ ඉඳලම අපි පුරුදුවෙලා ඉන්නව.
අන්න එහෙම සාධුකාර දීල ධර්ම දේශනා අහගෙන ඉන්න අතරෙ පූජ්‍ය
මානකඳුරේ පඤ්ඤාසාර හාමුදුරුවන්ගේ සංගීත කවිබණ නිසාම දැන් මාසෙකට හමාරක විතර කාලෙක
ඉඳල ලංකාවෙ සියලුම සුපර්ස්ටාර්ස්ලට වගේම අපේ ප්‍රවීන ගායක ගායිකාවන්ටත් පුංචි
විවේකයක් හම්බවෙලා. පිටකොටුවෙ දුම්රියපොළ ඉස්සරහත් මල්වත්ත පාර පුරාමත් එතැනින්
පටන්ගෙන ගුණසිංහ පුර බස් නැවතුම්පොලේ කෙළවර දක්වාමත් තොරතෝංචියක් නැතුව ඇහුණ
අමරදේව, වික්ටර් ජෝතිපාල, ඇන්ජලීන් විතරක් නෙවෙයි මෑත කාලයේ ආපු රොෂාන් ප්‍රනාන්දු,
බාචි සුසාන්, අසංක ප්‍රියමන්ත වගේ අයගේ ගී සිංදුත් නැවතිලා සියළුම පොදු ප්‍රවාහනසේවාවල
පවා ඇහෙන්නෙ පූජ්‍ය මානකඳුරේ පඤ්ඤාසාර හාමුදුරුවන්ගේ “අම්මා” සංගීත කවිබණ. කොටින්ම
කියනවා නම් මෙච්චර කල් ශ්‍රද්ධාවෙන් අහපු, අහල සාධුකාර දීපු අපේ ගරුතර හාමුදුරුවරුන්ගේ
කවිබණත් දැන් දැන් සංගීතය මුසුවෙලා ඇහෙන්න පටන් අරන්. බණ ඇසූ උපාසක උපාසිකාවන්ට
වගේම තරුණ තරුණයන්ටත් මේ කවිබණ අලුත්
අත්දැකිමක්. ඒ වෙන එකක් නිසා නෙවෙයි දැන් දැන් අපේ හාමුදුරුවරුත් සංගීතයට කවිබණ
කියන්න පටන් අරන් තියෙන නිසා.
පෝයට අටසිල් සමාදන් වුණත් සාමාන්‍යයෙන් ගිහියන් වන
අපිට රකින්න තියෙන්නෙ සිල්පද පහක් විතරයි. ඒත් පැවිදි ජීවිතයට ඇතුළු වුණ සාමනේර
හාමුදුරුවන්ට විනය සික්ෂාපද හැත්තෑ පහකුත්, උපසම්පදා හාමුදුරුවන්ට විනය සික්ෂා පද
දෙසිය දාසයක් හෝ ඊට ආසන්න ගණනක් නියම වෙලා තියෙන තියෙනව.
ඒ කොහොම
වුනත් භික්ෂූන් වහන්සේලා ක්‍රිස්තු වර්ෂ 8,9, 10 වගේ සියවස්වලට දිවයන ඈත අතීතයේ
පටන්ම භාෂාව සහ සාහිත්‍යය වගේම කවිය සහ ගීතය වෙනුවෙන් මහඟු මෙහෙයක් කරල තියෙනව. ඒ
නිසා කවි ගායනය හෝ ඉගැන්වීම වරදක් විදියට දකින්න කිසිවකු පෙළඹෙන්නෙ නැහැ. තොටගමුවේ
ශ්‍රී රාහුල සමිඳු, වීදාගම මෛත්‍රී හිමියන්, වෑත්තෑවේ හිමියන්, විල්ගම්මුල හිමි,
රණස්ගල්ලේ හිමි ඇතුළු විශාල භික්ෂු පරපුරක් සිංහල කවිය වෙනුවෙන් මෙහෙයක් කළාහු
කිවියරුවෙත් . එහෙත් මෑත ඉතිහාසයේ කවි
ලියූ කවි ලියූ හිමිවරුන් අතර එස්. මහින්ද
හාමුදුරුවෝ සිංහල කවියන් අතර ප්‍රමුඛ වෙති. එසේම පොත්පත් ලීවීම නොකළත් කුංකුණාවේ
හිමියන් සහ මිහිරිපැන්නේ ධම්මරතන හිමියන්ගේ කවි ජනතාව අතර අදටත් ප්‍රචලිතය. එසේම
කවියන් වීමේ බලාපොරොත්තුවක් නොතිබුණ නමුත් හුදී ජන පහන් සංවේගය පිණිස ඉඳහිට කවියක්
දෙකක් ලියූ ඇතැම් හිමිවරුන්ගේ කවි අදටත් ජනප්‍රිය ය. උන්වහන්සේලා කවි ලියුවේ හෝ
කියූවේ ජනප්‍රියත්වය උදෙසා නොවේ. එසේ කවි ලියූවන් අතර
කරතොත් කරපන් හරියට
බැරිනම් පලයන් අහකට
ඇඟමැලි කඩමින් වටපිට
බලමින් ළතැවෙන්නෙ කුමට
එදා එසේ ලීවේ පැලෑනේ ශ්‍රී වජිරඥාන මහානායක
හිමිපාණන් ය.
අපායට යන්ට ඕනෑ නම්
නුඹට
කරපන් මහ ඇමතිකම එක දවසකට
නැත්නම් පන්සලක දේවාලයක සිට
අදිපති කම කරපන් තුන්
දවසකට
එහෙම ලිව්වේ යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම හාමුදුරුවෝ
ය.
නැගුණු තැන බැස්මය
එද මරණයට දෙස්මය
එය නොවෙයි විස්මය
දියෙන් දිනු ලුණු දියෙන් නැස්මය.
කියා
එහෙම ලිව්වේ වතුරේගම විමලඛන්ති හිමියන් ය.
උදේපටන් රෑ වන තුරු
රෑ තිස්සේ එළිවන තුරු
අතන මෙතන වැටී නිදන
කිරා බුදිද බං - කිරා බුදිද බං
එසේ
ලීවේ රඹුක්වැල්ලේ ශ්‍රී සිද්ධාර්ථ හිමිපාණන් ය.
රිද්මය ඉක්මවා යන ගීතමය ස්වරයකින් ගායනා
කිරීමට හෝ තවකෙකුට ඉගැන්වීම එදා පටන් එසේ
කවි සහ ගීත ලියූ අපේ ආදී යතිවරු කිසිවිටකත් ඒවා පිරිතේ ස්වර පංතිය ඉකමවා යන ස්වරයකින් ගායනා කිරීමට හෝ ඉගැන්වීමට වීමට කටයුතු
නොකළහ. ඒ කවිය විනා සංගීතයෙත් සාහිත්‍යයෙත් සුසංයෝගයෙන්
බිහිවන ගීතය එදා පටන්ම භික්ෂූන් වහන්සේට අකැප බව උන්වහන්සේලා අතීතයේ පටන් හොඳන් දැන සිටි නිසා ය. පසුකලෙක ඉඳහිට භික්ෂූන් වහන්සේ නමක් ගීතයක් ලියැවුණේ නම් ඒ
දහම් පාසලක ගැයෙන ගීයක් හෝ බුදුගුණ ඇතුළත් බැති ගීයක් පමණි.
එසේ වුවත් ලංකාවේ
ගුවන් විදුලි ගීත කලාව ඇරඹිමෙන් පසුව මුල්වරට ගුවන්විදුලි ගීතයක් ලිව්වේ
වැලමිටියාවේ ධම්මරක්ඛිත හිමියන්ය. ඒ එදා
සනත් නන්දසිරි සංගීතවත් කර ගැයූ “සිත් නෙත් මහත් තදින” ගීතයයි. භික්ෂුන් වහන්සේ එසේ එදා ගීත රචනා කලාවට යොමුවිම ඒ යුයේ විවාදාත්මක කරුණක් වුවත් පසු කාලයේ රඹුකන සිද්ධාර්ථ හිමියන් ගීත රචනා කලාවට යොමු වීමත්
සමග උන්වහන්සේගේ ගීත රචනා කලාව ඔස්සේ පන්නර ලැබූ යතිවරු රැසක් පසු කාලයේ උන්වහන්සේගේ
ගමන් මගට අනුගත වෙමින් ගීත රචනා ක්ෂේත්‍රයට පිවිසුණාහ. රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ
ගීත රචනා සම්ප්‍රදාය ඔස්සේ ජනප්‍රිය
කලාංගයක් විදියට ක්‍රමයෙන් ගීත රචනා කලාව නූතන භික්ෂූ පරපුර අතර ජනප්‍රිය වෙද්දී ඇතැම් යතිවරු අතින් ඒ ගීත බැති ගීයෙන් ඔබ්බට ගියේය. ඒ ඔස්සේ ඇතැම් යතිවරු
සෘංගාරාත්මක පෙම් ගී සහ මල් ගී ලියන්නට පෙළඹුණහ. එසේ පෙම් ගී ලියූ ඇතැම් හිමිවරු පසුකාලයේ සිවුරු
හැර යළි ගිහිගෙටම පැමිණ තවමත් ගීත රචනා කලාවේ නියැලෙයි.
සිංහල
කවියේ සහ ගීතයේ ප්‍රගමනය ඒ අයුරින් සටහන් වෙද්දී පසුකාලිනව ධර්ම දේශනා සඳහා ද කවිය
ළං වූ අතර උන්වහන්සේලා පැහැදිළි කිරීම් අවශ්‍ය තැන්වලදී ඇතැම් ගීත පදමාලා ලෙසින් ගෙනහැර දැක්වූහ. ඒ සියලු කාල පරිච්ඡේදයන්
පසුකරමින් දැන් සංගීතය මුසු කර කවි බණ දේශනා කිරීමේ සංස්කෘතියකට පිවිස ඇත්තේ කවියට වඩා ගීතය ජනතාව
වැඩියෙන්ම විඳින්නට කැමති මාධ්‍යය නිසා බව සිතන්නට ඇත.

පැයකට
ආසන්න කාලයක් පුරා විකාශය වන මේ අම්මා කවිබණ තැටියේ සාම්ප්‍රදායිකව අම්මා ගැන
ගැයෙන වැයෙන ගුණ වැනුමෙන් ඔබ්බට ගිය
කිසිඳු නිර්මාණශිලීත්වයක් නැතත් ගායනයේ තිබෙන ගීතවත් බවත් සංගීතයත් ශ්‍රාවක සිත්
පැහැරගෙන ඇත. එක දිගට අසන්නට තරම් කාලය මිඩංගු කිරීම ප්‍රයෝජනයක් නොවන නමුත් කවි
රචනය, පිටපත සහ දෙසුම පඤ්ඤාසාර හාමුදුරුවන්ගේ ය. මේ තැටියේ දුටු ප්‍රධාන අඩුව නම්
හාමුදුරුවන්ගේ කවි ගීතමය බසකින් ගායනයට හසු කළ මෙහි සංගීත නිර්මාණය කර ඇති
තැන්තාගේ කිසිඳු තොරතුරක් හෙළි නොකිරීම ය. එයින්ම පැහැදිළි වන්නේ මෙය වෙළඳ පොල
ඉලක්ක කරගෙන කරන ලද නිර්මාණයක් බවයි. විදුලි ඕගනයෙන් වුවත් වාද්‍ය භාණ්ඩ කිපයක
නාදරටා මනාසේ උපයෝගී කරගෙන සංගීතය නිර්මානය කළ තැනැත්තා කවුරුන් වුවත් දක්ෂ සංගීත
කරුවෙකි.
වෙහෙරක්
වගේ පින් දුන් කෙනෙක්
දෙවොලක්
වගේ දුක් ඇසු කෙනෙක්
කුඹුරක්
වගේ බත් දුන් කෙනෙක්
වේ
නම් ලොවේ නුඹයි අපෙ අම්මේ
එදා රඹුකන
සිද්ධාර්ථ හිමියන් ලියූ ගීයක අම්මා ගැන ලිව්වේ එහෙමය. ඒත් අද පූජ්‍ය මානකඳුරේ
පඤ්ඤාසාර හාමුදුරුවන්ගේ “අම්මා” සංගීත කවිබණ තැටියේ කවි කීපයක් මේ ඇසෙන්නේ මෙහෙමය. මේවා ගීත බව කිව නොහැක්කේ කාටද?
සිත තුළ
ඇති කරුණා නැත නිම්මා
මාගේ
දුක්ගිනි නැතිකර දැම්මා
පෙන්වූවා
ලොවුතුරු ගුණ සම්මා
මගේ
පණයි මගේ ආදර අම්මා
මවු කුස
තුළ මා සිටි ඒ කාලේ
ඔබගේ
හදවත දැවුණි එවේලේ
තිබුණු
කැලැන්ඩර ගෙයි මැද සාලේ
බලමින්
ඔබ රැක්කා නිති සීලේ
කිසිම
දෙයක් කෑවේ නැති අම්මා
සීතලටත්
බිය වූවා අම්මා
ගමනත්
පරිස්සමින් ගිය අම්මා
මගේ
පණයි මගෙ ආදර අම්මා
රචනය
සහ දේශනය: පූජ්‍ය මානකඳුරේ පඤ්ඤාසාර හිමි
සංගිතය:
නම සඳහන් නොවේ
කවිවල සරල
බව හැරෙන්නට එහි පෙර නොවිඳි අපූර්වත්වය නම් ගෑවිලාවත් නැත. එහෙත් මේ කවි බණ
බෙහෙවින්ම ගීතාත්මකය. ඒ ගායනයේ ඇති ගීතවත්බව දැනෙන්නේ ඊට යෙදූ සංගීතය නිසාය. මෙම
නිර්මාණය සඳහා පළපුරුදු සංගීත අධ්‍යක්ෂකවරයෙකුගේ සහය ලැබී ඇති බව පැහැදිලි වන්නේ
මීට කලකට ඉහතදී නන්දා මාලනිය ගැයූ “බෝධිය” නම් වූ ගීතය ඇසෙන විටය. නිදසුන්‍ලෙස ගත්විට පූජ්‍ය මානකඳුරේ
පඤ්ඤාසාර හාමුදුරුවන්ගේ “අම්මා” කවිබණ
තැටියේ සංගීතය සහ කවි ගායනයත්, නන්දා මාලනියගේ බෝධිය ගීතයේ කපුගේ විසින් යොදා ඇති
ගී තනුව සහ සංගීතයත් බෙහෙවින්ම එක සමානය. ශාන්ත රසය මතුවන අයුරින් මතුවන අයුරින්
කපුගේ මේ කවි පංති ගීතවත් කිරිමට ලබා දී ඇති දායකත්වය ඔබටද මේ
ගීතයෙන් හඳුනාගත හැකිය.
සම්බුදු සමිදුන් ලද සම්බෝධිය
දකුණත් ශාඛා සිරිමහ බෝධිය
බුද්ධගයාවෙන් මෙහි වැඩි බෝධිය
බුද්ධං සරණින් වැජඹෙන බෝධිය
ලෝකෙන් පැරණිම රජ රුක් බෝධිය
ලෝපල් දෙවියන් සුරකින බෝධිය
ලෝ උත්තම සුව සලසන බෝධිය
ලෝ සිළුමිණ වී වැජඹෙන බෝධිය
දඹකොල පටුනින් ගොඩබට බෝධිය
අහසේ පෙළහර පෑ මහ බෝධිය
මහ මෙවුනාවේ රෝපිත බෝධිය
මහ බැතියෙන් නමදිමු මේ බෝධිය
ජාතික සැපතෙහි දළුලන බෝධිය
ජාතික විපතෙහි මැලවෙන බෝධිය
ජාතිය හා දිගටම යන බෝධිය
දෝත නගා නමදිමු මේ බෝධිය
ගීපද මාලාව: අරිසෙන් අහුබුදු සූරීන්
සංගීතය: විශාරද ගුණදාස කපුගේ
ගැයුම: විශාරද නන්දා මාලනී
පිළිගත් ජන
සමාජයක යහපත උදෙසා යතිවරු ගත යුතු මග කුමක්ද යන්නත්, උන්වහන්සේලාට හිමි තැන කුමක්ද
යන්නත් මේ වන විට විවාදාත්මක කරුණක් බවට පත් වෙමින් පවතී. උතුම් අරමුණක් වෙනුවෙන්
පැවිදි බව ලබන යතිවරයෙකු ඒ අරමුණෙහි පිහිටා කලාව හෝ සංස්කෘතිය උදෙසා කරනු ලබන
කැපවීම හෝ දායකත්වය අගය කළ යුතුය. අම්මා හෝ වෙනත් මාතෘකාවක් යටතේ කවි බණ දෙසූවාට
කිසිඳු දොසක් නැතත් යතිවරයකු එවැනි නිර්මාණයක් උදෙසා සංගීතය මුසු කිරීමට ඉඩදීම
කෙතරම් කාලෝචිත වන්නේදැයි කල්පනා කළ යුතුව ඇත.
“චරථ
භික්ඛවේ චාරිකං” ආදී වශයෙන් බුදුන් වහන්සේ
භික්ෂූන් වහන්සේට උපදෙස් දුන්නේ පොදු ජන යහපත උදෙසා සමාජ සේවය පැවිදි ජීවිතයට අත්‍යවශ්‍ය බව
සැළකීමෙනි. එසේ වුවත් දැන් දැන් සියලුදේ වෙනස් වෙමින් පවතී. එදා යතිවරු කවි ගීත
ලියමින් සාහිත්‍යයේ නියැලුණාහ. අනතුරුව කෙටිකතාව, නවකථාව ගීත නාටක ආදී ක්ෂේත්‍රයන්
දක්වා ඒ සාශනික වපසරිය පුළුල් කළාහුය. ඒ අතර ඇතැම් භික්ෂූන් වහන්සේලා යන්ත්‍ර
මන්ත්‍ර ගුරුකම් ආදිය කරති. මෑත කාලයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයේ සිට පළාත්
සභාව ප්‍රාදේශිය සභාව දක්වා දේශපාලන
තනතුරු දරති. දැන් සංගීතයට කවි බණ දෙසති. ඒ අනුව ඉදිරි කාලයේ ගීතයක් ගැයූවත් පුදුම
වන්නට දෙයක් නැත. ඉඳින් නුදුරු අනාගතයේ කවිබණ දේශනා භික්ෂූන්වහන්සේ නමකට දහම්
දෙසුමකට ආරාධනයක් කළහොත් “සංගීතයත් ටිකක් තිබුණොත් හොඳයි උපාසක මහත්තයා” යැයි
කියනු අසන්නට ලැබෙන කාලය වැඩි ඈතක නොවේ. මීට කලකට ඉහතදී රෝහණ බැද්දගේ මේ අපූර්ව ගීතයෙන්
කිව්වේ ඒ ආගමික සංස්කෘතියේ පරිහානිය ගැන නොවේද?...
මේ ගම්මානේකඳුවැටි සීමාවේ
ලස්සන වන අරණේ තිබුණා - සේනාසනේ
ඒ අසපුවෙහී වැඩහුන් - ඒ
කාලේ
පොඩි හාමුදුරුවො නෑ දැන් ඒ - සේනාසනේ
අපේ පිනටම පහළ වුණා සේ
සිල්වත් වූ ඒ පොඩි හාමුදුරුවො
බුදු සමිඳුන්ගේ සෙවනැල්ලක් සේ
පිඬු සිඟමින් වැඩියා - ගෙන්ගෙට
මෙත් කරුණාවෙන් සිත් හනහාලන
සිල්සුවඳක් හැමුවා දොරින්දොර
මේ ගම්මානේ....
අපේ සිත් තුළ පව් මල සෝදා
දහම් දෙසූ ඒ පොඩි හාමුදුරුවො
නොපෙනී සැඟවුණ තරු කැකුළක් සේ
ගම හැරදා වැඩියා - හිමයට
සත් ගුණ දම් වැඩු සිත් පිරිහී යළි
වල්බිහි වීය අනේ - එදා සිට
මේ ගම්මානේ....
ගී පද මාලාව - සංගීතය
සහ ගායනය රෝහණ බැද්දගේ
පැරණි කවි
උපුටා ගැනිම - කවිය හා බැඳුණු භික්ෂු පරපුර මැයෙන් ලියූ ලිපියක් - මහාචාර්ය සුනිල් ආරියරත්න