අද ඉල් පුර
පසලොස්වක පෝය දවස. සාමාන්‍යයෙන් නැටුම් ගැයුම්වලින් මිදිල සිත සන්සුන් කරගෙන ඉන්න
දවසක් නිසා ආගමට දහමට ගැලපෙන මොකක් හරි ලියන්න හිතුනා. පෝය දවසත්, බුදුගණ ගී ඇහෙන
දවසත් නිසා කාලෙකින් නෑසුන ගී
කීපයකුත් අහමු මේ කතා බහේදිම.
ලංකාවෙ
සංගීත ක්ෂේත්‍රය හරි අපූරු තැනක් කියල හිතෙන්නේ දවසින් දවස ක්‍ෂේත්‍රය පුරා හඹාගෙන
යන එක එක සංගීතමය රැළි නිසා. මේවා සදාකාලික නොවුණත් වෙළඳපොළ විපර්යාසයකට නම් මගක්
පෑදෙනවා. එහෙම එක එක කාලෙ ආපු ඒවා අතරෙ මේ දවස්වල අලුත්ම සංගීත රැල්ල තමයි පූජ්‍ය මානකඳුරේ පඤ්ඤාසාර හාමුදුරුවන්ගේ
සංගීතය මුසු කරපු කවි බණ. සංගීතය කිව්වට දැනට නම් සම්පුර්ණ වාදක මණ්ඩලක් මේ සඳහා
දායකත්වය ලබාදී නැති වුණත් විදුලි ඕගයක් හරහා වාදන භාණ්ඩ කීපයක්ම මේ කවිබණ සංගත
තැටියට ඇතුළත් වෙලා තියෙන බව නම් දැනෙනවා. අනෙක් අතට කවි බණ කියල කිව්වත් "බණ" නම් ඇතුළත්වෙලා නැහැ කවි විතරයි. ඒ කොහොම වුණත් පිරිත් සඣජායනයෙදි ඇසෙන ස්වර කීපය
ඉක්මවා ගිය ස්වර වලින් ගැයෙන “අම්මා” කවිබණ
භික්ෂූන්වහන්සේලාට පනවා ඇති විනය සික්ෂාවන් එක්ක නොගැලපෙන විදියට සංගීතය මුසු කර කාලීනව මාකට් එකක් හදපු නිසා ටිකක් හොයල බලමු මේ
මානකඳුරේ හාමුදුරුවන්ගෙ නූතන සංගීත කවි බණ ගැන.
අපේ ගරුතර සංඝරත්නයට කැප සහ අකැප දේවල් විනය
සික්ෂාවන්වල පනවල තියෙන නිසා ඒවා අභිබවා නොයන විදියට සාමාන්‍යයෙන් බුදුගුණ වැනුම්
ඇතුළත් කවි භික්ෂූන් වහන්සේලා අතින් ලියැවෙනව වගේම ගැයෙනව. එහෙම වුණත් අපි අපේ
ආගමට දහම කෙරෙහි තියෙන ශ්‍රද්ධාව භක්තිය නිසාම කවුරුවත් ඒවායේ ගුණදොස් කියන්නට
යන්නෙත් නෑ. ඒවාගෙම ඒවා ගැන හිතට ගන්නෙත්
නෑ. කොහොම වුණත් මොනව කිව්වත් ඔහේ අහගෙන ඉඳල අන්තිමේදි සාදුකාරයක් දීල හිත
නිවාසනහා ගන්න අතීතයේ ඉඳලම අපි පුරුදුවෙලා ඉන්නව.
අන්න එහෙම සාධුකාර දීල ධර්ම දේශනා අහගෙන ඉන්න අතරෙ පූජ්‍ය
මානකඳුරේ පඤ්ඤාසාර හාමුදුරුවන්ගේ සංගීත කවිබණ නිසාම දැන් මාසෙකට හමාරක විතර කාලෙක
ඉඳල ලංකාවෙ සියලුම සුපර්ස්ටාර්ස්ලට වගේම අපේ ප්‍රවීන ගායක ගායිකාවන්ටත් පුංචි
විවේකයක් හම්බවෙලා. පිටකොටුවෙ දුම්රියපොළ ඉස්සරහත් මල්වත්ත පාර පුරාමත් එතැනින්
පටන්ගෙන ගුණසිංහ පුර බස් නැවතුම්පොලේ කෙළවර දක්වාමත් තොරතෝංචියක් නැතුව ඇහුණ
අමරදේව, වික්ටර් ජෝතිපාල, ඇන්ජලීන් විතරක් නෙවෙයි මෑත කාලයේ ආපු රොෂාන් ප්‍රනාන්දු,
බාචි සුසාන්, අසංක ප්‍රියමන්ත වගේ අයගේ ගී සිංදුත් නැවතිලා සියළුම පොදු ප්‍රවාහනසේවාවල
පවා ඇහෙන්නෙ පූජ්‍ය මානකඳුරේ පඤ්ඤාසාර හාමුදුරුවන්ගේ “අම්මා” සංගීත කවිබණ. කොටින්ම
කියනවා නම් මෙච්චර කල් ශ්‍රද්ධාවෙන් අහපු, අහල සාධුකාර දීපු අපේ ගරුතර හාමුදුරුවරුන්ගේ
කවිබණත් දැන් දැන් සංගීතය මුසුවෙලා ඇහෙන්න පටන් අරන්. බණ ඇසූ උපාසක උපාසිකාවන්ට
වගේම තරුණ තරුණයන්ටත් මේ කවිබණ අලුත්
අත්දැකිමක්. ඒ වෙන එකක් නිසා නෙවෙයි දැන් දැන් අපේ හාමුදුරුවරුත් සංගීතයට කවිබණ
කියන්න පටන් අරන් තියෙන නිසා.
පෝයට අටසිල් සමාදන් වුණත් සාමාන්‍යයෙන් ගිහියන් වන
අපිට රකින්න තියෙන්නෙ සිල්පද පහක් විතරයි. ඒත් පැවිදි ජීවිතයට ඇතුළු වුණ සාමනේර
හාමුදුරුවන්ට විනය සික්ෂාපද හැත්තෑ පහකුත්, උපසම්පදා හාමුදුරුවන්ට විනය සික්ෂා පද
දෙසිය දාසයක් හෝ ඊට ආසන්න ගණනක් නියම වෙලා තියෙන තියෙනව.
ඒ කොහොම
වුනත් භික්ෂූන් වහන්සේලා ක්‍රිස්තු වර්ෂ 8,9, 10 වගේ සියවස්වලට දිවයන ඈත අතීතයේ
පටන්ම භාෂාව සහ සාහිත්‍යය වගේම කවිය සහ ගීතය වෙනුවෙන් මහඟු මෙහෙයක් කරල තියෙනව. ඒ
නිසා කවි ගායනය හෝ ඉගැන්වීම වරදක් විදියට දකින්න කිසිවකු පෙළඹෙන්නෙ නැහැ. තොටගමුවේ
ශ්‍රී රාහුල සමිඳු, වීදාගම මෛත්‍රී හිමියන්, වෑත්තෑවේ හිමියන්, විල්ගම්මුල හිමි,
රණස්ගල්ලේ හිමි ඇතුළු විශාල භික්ෂු පරපුරක් සිංහල කවිය වෙනුවෙන් මෙහෙයක් කළාහු
කිවියරුවෙත් . එහෙත් මෑත ඉතිහාසයේ කවි
ලියූ කවි ලියූ හිමිවරුන් අතර එස්. මහින්ද
හාමුදුරුවෝ සිංහල කවියන් අතර ප්‍රමුඛ වෙති. එසේම පොත්පත් ලීවීම නොකළත් කුංකුණාවේ
හිමියන් සහ මිහිරිපැන්නේ ධම්මරතන හිමියන්ගේ කවි ජනතාව අතර අදටත් ප්‍රචලිතය. එසේම
කවියන් වීමේ බලාපොරොත්තුවක් නොතිබුණ නමුත් හුදී ජන පහන් සංවේගය පිණිස ඉඳහිට කවියක්
දෙකක් ලියූ ඇතැම් හිමිවරුන්ගේ කවි අදටත් ජනප්‍රිය ය. උන්වහන්සේලා කවි ලියුවේ හෝ
කියූවේ ජනප්‍රියත්වය උදෙසා නොවේ. එසේ කවි ලියූවන් අතර
කරතොත් කරපන් හරියට
බැරිනම් පලයන් අහකට
ඇඟමැලි කඩමින් වටපිට
බලමින් ළතැවෙන්නෙ කුමට
එදා එසේ ලීවේ පැලෑනේ ශ්‍රී වජිරඥාන මහානායක
හිමිපාණන් ය.
අපායට යන්ට ඕනෑ නම්
නුඹට
කරපන් මහ ඇමතිකම එක දවසකට
නැත්නම් පන්සලක දේවාලයක සිට
අදිපති කම කරපන් තුන්
දවසකට
එහෙම ලිව්වේ යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම හාමුදුරුවෝ
ය.
නැගුණු තැන බැස්මය
එද මරණයට දෙස්මය
එය නොවෙයි විස්මය
දියෙන් දිනු ලුණු දියෙන් නැස්මය.
කියා
එහෙම ලිව්වේ වතුරේගම විමලඛන්ති හිමියන් ය.
උදේපටන් රෑ වන තුරු
රෑ තිස්සේ එළිවන තුරු
අතන මෙතන වැටී නිදන
කිරා බුදිද බං - කිරා බුදිද බං
එසේ
ලීවේ රඹුක්වැල්ලේ ශ්‍රී සිද්ධාර්ථ හිමිපාණන් ය.
රිද්මය ඉක්මවා යන ගීතමය ස්වරයකින් ගායනා
කිරීමට හෝ තවකෙකුට ඉගැන්වීම එදා පටන් එසේ
කවි සහ ගීත ලියූ අපේ ආදී යතිවරු කිසිවිටකත් ඒවා පිරිතේ ස්වර පංතිය ඉකමවා යන ස්වරයකින් ගායනා කිරීමට හෝ ඉගැන්වීමට වීමට කටයුතු
නොකළහ. ඒ කවිය විනා සංගීතයෙත් සාහිත්‍යයෙත් සුසංයෝගයෙන්
බිහිවන ගීතය එදා පටන්ම භික්ෂූන් වහන්සේට අකැප බව උන්වහන්සේලා අතීතයේ පටන් හොඳන් දැන සිටි නිසා ය. පසුකලෙක ඉඳහිට භික්ෂූන් වහන්සේ නමක් ගීතයක් ලියැවුණේ නම් ඒ
දහම් පාසලක ගැයෙන ගීයක් හෝ බුදුගුණ ඇතුළත් බැති ගීයක් පමණි.
එසේ වුවත් ලංකාවේ
ගුවන් විදුලි ගීත කලාව ඇරඹිමෙන් පසුව මුල්වරට ගුවන්විදුලි ගීතයක් ලිව්වේ
වැලමිටියාවේ ධම්මරක්ඛිත හිමියන්ය. ඒ එදා
සනත් නන්දසිරි සංගීතවත් කර ගැයූ “සිත් නෙත් මහත් තදින” ගීතයයි. භික්ෂුන් වහන්සේ එසේ එදා ගීත රචනා කලාවට යොමුවිම ඒ යුයේ විවාදාත්මක කරුණක් වුවත් පසු කාලයේ රඹුකන සිද්ධාර්ථ හිමියන් ගීත රචනා කලාවට යොමු වීමත්
සමග උන්වහන්සේගේ ගීත රචනා කලාව ඔස්සේ පන්නර ලැබූ යතිවරු රැසක් පසු කාලයේ උන්වහන්සේගේ
ගමන් මගට අනුගත වෙමින් ගීත රචනා ක්ෂේත්‍රයට පිවිසුණාහ. රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ
ගීත රචනා සම්ප්‍රදාය ඔස්සේ ජනප්‍රිය
කලාංගයක් විදියට ක්‍රමයෙන් ගීත රචනා කලාව නූතන භික්ෂූ පරපුර අතර ජනප්‍රිය වෙද්දී ඇතැම් යතිවරු අතින් ඒ ගීත බැති ගීයෙන් ඔබ්බට ගියේය. ඒ ඔස්සේ ඇතැම් යතිවරු
සෘංගාරාත්මක පෙම් ගී සහ මල් ගී ලියන්නට පෙළඹුණහ. එසේ පෙම් ගී ලියූ ඇතැම් හිමිවරු පසුකාලයේ සිවුරු
හැර යළි ගිහිගෙටම පැමිණ තවමත් ගීත රචනා කලාවේ නියැලෙයි.
සිංහල
කවියේ සහ ගීතයේ ප්‍රගමනය ඒ අයුරින් සටහන් වෙද්දී පසුකාලිනව ධර්ම දේශනා සඳහා ද කවිය
ළං වූ අතර උන්වහන්සේලා පැහැදිළි කිරීම් අවශ්‍ය තැන්වලදී ඇතැම් ගීත පදමාලා ලෙසින් ගෙනහැර දැක්වූහ. ඒ සියලු කාල පරිච්ඡේදයන්
පසුකරමින් දැන් සංගීතය මුසු කර කවි බණ දේශනා කිරීමේ සංස්කෘතියකට පිවිස ඇත්තේ කවියට වඩා ගීතය ජනතාව
වැඩියෙන්ම විඳින්නට කැමති මාධ්‍යය නිසා බව සිතන්නට ඇත.
එසේ
ගොඩනැගෙන නූතන ජනප්‍රිය සංගීත කවිබණ කලාවේ ආරම්භය පූජ්‍ය මානකඳුරේ පඤ්ඤාසාර
හාමුදුරුවන්ගේ “අම්මා” ලාංකිකයන්ට අලුත් අත්දැකීමක් වීම පුදුමයක් නොවේ. පඤ්ඤාසාර
හාමුදුරුවන්ගේ ගායන ශෛලිය බෙහෙවින්ම ගීතවත්ය. ප්‍රියමනාප ගැයීමේ හැකියාවකි. උන්වහන්සේ
මතු දවසක් මේ ආකාරයටම ගීතයක් ගැයුවොත් එක රැයින් ජනප්‍රිය විම අරුමයක් නොවේ. පඤ්ඤාසාර හාමුදුරුවන් මේ දක්වා ඉදිරිපත් කර ඇති
කවිබණ සීඩී තැටි ගණන 90කි. ලංකාවේ උපාසක උපාසිකාවන් ඒවා ඇසුවාද නැද්ද යන්න නොදන්නා
නමුත් “අම්මා” ගී තැටිය නම් මේ වන විට සියළු අළෙවි වාර්තා බිඳ ඇත.
පැයකට
ආසන්න කාලයක් පුරා විකාශය වන මේ අම්මා කවිබණ තැටියේ සාම්ප්‍රදායිකව අම්මා ගැන
ගැයෙන වැයෙන ගුණ වැනුමෙන් ඔබ්බට ගිය
කිසිඳු නිර්මාණශිලීත්වයක් නැතත් ගායනයේ තිබෙන ගීතවත් බවත් සංගීතයත් ශ්‍රාවක සිත්
පැහැරගෙන ඇත. එක දිගට අසන්නට තරම් කාලය මිඩංගු කිරීම ප්‍රයෝජනයක් නොවන නමුත් කවි
රචනය, පිටපත සහ දෙසුම පඤ්ඤාසාර හාමුදුරුවන්ගේ ය. මේ තැටියේ දුටු ප්‍රධාන අඩුව නම්
හාමුදුරුවන්ගේ කවි ගීතමය බසකින් ගායනයට හසු කළ මෙහි සංගීත නිර්මාණය කර ඇති
තැන්තාගේ කිසිඳු තොරතුරක් හෙළි නොකිරීම ය. එයින්ම පැහැදිළි වන්නේ මෙය වෙළඳ පොල
ඉලක්ක කරගෙන කරන ලද නිර්මාණයක් බවයි. විදුලි ඕගනයෙන් වුවත් වාද්‍ය භාණ්ඩ කිපයක
නාදරටා මනාසේ උපයෝගී කරගෙන සංගීතය නිර්මානය කළ තැනැත්තා කවුරුන් වුවත් දක්ෂ සංගීත
කරුවෙකි.
වෙහෙරක්
වගේ පින් දුන් කෙනෙක්
දෙවොලක්
වගේ දුක් ඇසු කෙනෙක්
කුඹුරක්
වගේ බත් දුන් කෙනෙක්
වේ
නම් ලොවේ නුඹයි අපෙ අම්මේ
එදා රඹුකන
සිද්ධාර්ථ හිමියන් ලියූ ගීයක අම්මා ගැන ලිව්වේ එහෙමය. ඒත් අද පූජ්‍ය මානකඳුරේ
පඤ්ඤාසාර හාමුදුරුවන්ගේ “අම්මා” සංගීත කවිබණ තැටියේ කවි කීපයක් මේ ඇසෙන්නේ මෙහෙමය. මේවා ගීත බව කිව නොහැක්කේ කාටද?
සිත තුළ
ඇති කරුණා නැත නිම්මා
මාගේ
දුක්ගිනි නැතිකර දැම්මා
පෙන්වූවා
ලොවුතුරු ගුණ සම්මා
මගේ
පණයි මගේ ආදර අම්මා
මවු කුස
තුළ මා සිටි ඒ කාලේ
ඔබගේ
හදවත දැවුණි එවේලේ
තිබුණු
කැලැන්ඩර ගෙයි මැද සාලේ
බලමින්
ඔබ රැක්කා නිති සීලේ
කිසිම
දෙයක් කෑවේ නැති අම්මා
සීතලටත්
බිය වූවා අම්මා
ගමනත්
පරිස්සමින් ගිය අම්මා
මගේ
පණයි මගෙ ආදර අම්මා
රචනය
සහ දේශනය: පූජ්‍ය මානකඳුරේ පඤ්ඤාසාර හිමි
සංගිතය:
නම සඳහන් නොවේ
කවිවල සරල
බව හැරෙන්නට එහි පෙර නොවිඳි අපූර්වත්වය නම් ගෑවිලාවත් නැත. එහෙත් මේ කවි බණ
බෙහෙවින්ම ගීතාත්මකය. ඒ ගායනයේ ඇති ගීතවත්බව දැනෙන්නේ ඊට යෙදූ සංගීතය නිසාය. මෙම
නිර්මාණය සඳහා පළපුරුදු සංගීත අධ්‍යක්ෂකවරයෙකුගේ සහය ලැබී ඇති බව පැහැදිලි වන්නේ
මීට කලකට ඉහතදී නන්දා මාලනිය ගැයූ “බෝධිය” නම් වූ ගීතය ඇසෙන විටය. නිදසුන්‍ලෙස ගත්විට පූජ්‍ය මානකඳුරේ
පඤ්ඤාසාර හාමුදුරුවන්ගේ “අම්මා” කවිබණ
තැටියේ සංගීතය සහ කවි ගායනයත්, නන්දා මාලනියගේ බෝධිය ගීතයේ කපුගේ විසින් යොදා ඇති
ගී තනුව සහ සංගීතයත් බෙහෙවින්ම එක සමානය. ශාන්ත රසය මතුවන අයුරින් මතුවන අයුරින්
කපුගේ මේ කවි පංති ගීතවත් කිරිමට ලබා දී ඇති දායකත්වය ඔබටද මේ
ගීතයෙන් හඳුනාගත හැකිය.
සම්බුදු සමිදුන් ලද සම්බෝධිය
දකුණත් ශාඛා සිරිමහ බෝධිය
බුද්ධගයාවෙන් මෙහි වැඩි බෝධිය
බුද්ධං සරණින් වැජඹෙන බෝධිය
ලෝකෙන් පැරණිම රජ රුක් බෝධිය
ලෝපල් දෙවියන් සුරකින බෝධිය
ලෝ උත්තම සුව සලසන බෝධිය
ලෝ සිළුමිණ වී වැජඹෙන බෝධිය
දඹකොල පටුනින් ගොඩබට බෝධිය
අහසේ පෙළහර පෑ මහ බෝධිය
මහ මෙවුනාවේ රෝපිත බෝධිය
මහ බැතියෙන් නමදිමු මේ බෝධිය
ජාතික සැපතෙහි දළුලන බෝධිය
ජාතික විපතෙහි මැලවෙන බෝධිය
ජාතිය හා දිගටම යන බෝධිය
දෝත නගා නමදිමු මේ බෝධිය
ගීපද මාලාව: අරිසෙන් අහුබුදු සූරීන්
සංගීතය: විශාරද ගුණදාස කපුගේ
ගැයුම: විශාරද නන්දා මාලනී
පිළිගත් ජන
සමාජයක යහපත උදෙසා යතිවරු ගත යුතු මග කුමක්ද යන්නත්, උන්වහන්සේලාට හිමි තැන කුමක්ද
යන්නත් මේ වන විට විවාදාත්මක කරුණක් බවට පත් වෙමින් පවතී. උතුම් අරමුණක් වෙනුවෙන්
පැවිදි බව ලබන යතිවරයෙකු ඒ අරමුණෙහි පිහිටා කලාව හෝ සංස්කෘතිය උදෙසා කරනු ලබන
කැපවීම හෝ දායකත්වය අගය කළ යුතුය. අම්මා හෝ වෙනත් මාතෘකාවක් යටතේ කවි බණ දෙසූවාට
කිසිඳු දොසක් නැතත් යතිවරයකු එවැනි නිර්මාණයක් උදෙසා සංගීතය මුසු කිරීමට ඉඩදීම
කෙතරම් කාලෝචිත වන්නේදැයි කල්පනා කළ යුතුව ඇත.
“චරථ
භික්ඛවේ චාරිකං” ආදී වශයෙන් බුදුන් වහන්සේ
භික්ෂූන් වහන්සේට උපදෙස් දුන්නේ පොදු ජන යහපත උදෙසා සමාජ සේවය පැවිදි ජීවිතයට අත්‍යවශ්‍ය බව
සැළකීමෙනි. එසේ වුවත් දැන් දැන් සියලුදේ වෙනස් වෙමින් පවතී. එදා යතිවරු කවි ගීත
ලියමින් සාහිත්‍යයේ නියැලුණාහ. අනතුරුව කෙටිකතාව, නවකථාව ගීත නාටක ආදී ක්ෂේත්‍රයන්
දක්වා ඒ සාශනික වපසරිය පුළුල් කළාහුය. ඒ අතර ඇතැම් භික්ෂූන් වහන්සේලා යන්ත්‍ර
මන්ත්‍ර ගුරුකම් ආදිය කරති. මෑත කාලයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයේ සිට පළාත්
සභාව ප්‍රාදේශිය සභාව දක්වා දේශපාලන
තනතුරු දරති. දැන් සංගීතයට කවි බණ දෙසති. ඒ අනුව ඉදිරි කාලයේ ගීතයක් ගැයූවත් පුදුම
වන්නට දෙයක් නැත. ඉඳින් නුදුරු අනාගතයේ කවිබණ දේශනා භික්ෂූන්වහන්සේ නමකට දහම්
දෙසුමකට ආරාධනයක් කළහොත් “සංගීතයත් ටිකක් තිබුණොත් හොඳයි උපාසක මහත්තයා” යැයි
කියනු අසන්නට ලැබෙන කාලය වැඩි ඈතක නොවේ. මීට කලකට ඉහතදී රෝහණ බැද්දගේ මේ අපූර්ව ගීතයෙන්
කිව්වේ ඒ ආගමික සංස්කෘතියේ පරිහානිය ගැන නොවේද?...
මේ ගම්මානේකඳුවැටි සීමාවේ
ලස්සන වන අරණේ තිබුණා - සේනාසනේ
ඒ අසපුවෙහී වැඩහුන් - ඒ
කාලේ
පොඩි හාමුදුරුවො නෑ දැන් ඒ - සේනාසනේ
අපේ පිනටම පහළ වුණා සේ
සිල්වත් වූ ඒ පොඩි හාමුදුරුවො
බුදු සමිඳුන්ගේ සෙවනැල්ලක් සේ
පිඬු සිඟමින් වැඩියා - ගෙන්ගෙට
මෙත් කරුණාවෙන් සිත් හනහාලන
සිල්සුවඳක් හැමුවා දොරින්දොර
මේ ගම්මානේ....
අපේ සිත් තුළ පව් මල සෝදා
දහම් දෙසූ ඒ පොඩි හාමුදුරුවො
නොපෙනී සැඟවුණ තරු කැකුළක් සේ
ගම හැරදා වැඩියා - හිමයට
සත් ගුණ දම් වැඩු සිත් පිරිහී යළි
වල්බිහි වීය අනේ - එදා සිට
මේ ගම්මානේ....
ගී පද මාලාව - සංගීතය
සහ ගායනය රෝහණ බැද්දගේ
පැරණි කවි
උපුටා ගැනිම - කවිය හා බැඳුණු භික්ෂු පරපුර මැයෙන් ලියූ ලිපියක් - මහාචාර්ය සුනිල් ආරියරත්න
මෙම සංගීත් කවි බණ ගැන ලියැවුණ තවත් ලිපියක් මෙහිදී කියැවිය හැකි ය. සංගීත් කවි බණ හා ජනප්‍රිය බෞද්ධ කලාව
ReplyDeleteඅජිත්.....
Deleteස්තූතියි තොරතුරට මම එය කියෙව්වෙමි
බොහොම දවසකින් අස්වැන්නට ගොඩවුනේ .. බොහොම ස්තූතී මේ ගැන ලියපු එකට ..
ReplyDeleteමගේ අදහස කියන්න ඕනේ ඉස්සෙල්ලම ...
මම කව් බන කියනවට විරුද්ද කෙනෙක් ..
විනය පිටකයෙ එක තැනක සදහන් වෙන්ව .. ගීතස්වරයෙන් ඹක කියන්න එපා කියල ..
බුදු දහමේ මූලික ඉගැන්වීමක් වෙච්ච අසාවන්ගෙන් තොර වීම . තෘශ්නාව නැති කර ගැනීම ..
කියන දේ මේ ගීතස්වරයෙන් බන කියන එකෙන් නැති වෙන්නෙ නෑ . තවත් ආසාවල් වැඩි වීමක් වෙන්ව මිසක් . ඒ නිසා මම කවි බන කියනවට විරුද්දයි .
අනික මේක දැන් මොඩ් වෙලා .. පසුබිම් සංගීතයකුත් එකතු කරල .. මම දන්නෙ නෑ ලංකාවේ මේ බුදුදහමට මොන්ව වෙන්වද කියල ..
මේ කවි ටික සිවුරක් නැතුව සාමාන්‍ය මනුස්සයෙක් විදිහට කීව නම් මීට වඩා වටිනාකමක් එකතු වෙන්න තිබුන .
මොකද මේ කටහඩ ලස්සනයි .
ඒත් මේ කරන්නෙ අපේ දහම අපෙන් ඈත් කිරීමක් කියලයි මට හිතෙන්නෙ .. මිනිස්සුන්ව ආසාවන්ගේන් මුදවගෙන තෘශ්නාව කියන දේ දුරු කරන්න අපිට මග පෙන්නපු බුදු දහම රැකගෙන යන ඇත්තොම දැණ් අපිව තෘශ්නාවට ඇදල දානව ..
මම හරිද වැරදිද දන්නෙ නෑ , මේ මට හිතෙන දේ ..
ඔබ තුමාට බොහොම ස්තූතී මේ ගැන ලීවට ..
චතුවී
Deleteමම යිථිවරු කවි බණ කියන එකට විරුද්ධ නෑ ඒත් සංගීතය යොදපු එකනම් ඔබ වගේම මමත් බැහැර කරනවා..
හාමුදුරුවරු සිවුරු කරට අරගෙන හැම උලව්වකටම හොට දාන්න යන රටේ මේවා නම් මොනාද අප්පා.
ReplyDeleteළඟදීම අලුත් රියැලිටි එකක් ඒවිද දන්නේ නෑ "කවිබණ රියල් ස්ටාර්" කියලා.
ඔබතුමා ළඟ සාධු ජනරාව ප්‍රසංගයේ "තිලීපන්" ගීතය තියෙනවද..??
Deleteමම හැමතැනම හොයනවා තාම ඒක හොයාගන්න බැරිවුනා. :/
තියෙනවනම් අප්ලෝඩ් කරන්න පුලුවන්ද..??
ඔය සින්දුව එතුමා සමග මධුවිතක් පුරන ගමන් මට අහන්න වාසනාව ලැබුන අක්කෙ..
Deleteසංගීත භාන්ඩ් මොකුත්ම නැතුව එතුමාගෙ ගැඹුරු ස්වරයෙන් ..
වචන නෑ කියන්න !!
දිලිනි
Deleteගීතය තියෙනවා ඔබට ගිතය අවශ්‍ය නම් මට dayanandarathnayake@gmail.com වලට මේඑකක් එවන්න.ඔබේ ඊමේල් ලිපිනයෙන්.මම ගීතය එවන්නම්
තවටික දවසක් යනකොට බනට ආරාධනා කරනකොට 3 පීස් බෑන්ඩ් එකට මෙච්චරයි මගේ ට්‍රැවලින් මෙච්චරයි කියලා හාමුදුරුවන්ගෙ මැනේජර් කියන්න පුලුවන්. එතකොට අපිට සාදු සාදු නොකියා විසිල් එකක් ගහලා අත්පුඩි ගහන්න පුලුවන්
ReplyDeleteලොකුජෝන්...
Deleteඅනිවා.... මෙහෙම ගියොත් ඒක අහගන්න දවස වැඩි ඈතක නැහැ. කොහොමටත් අත්පුඩි ගහන්න තමයි වෙන්නේ...
මට නම් මේ කවි ටික අහලා අහලා එපා වෙලා. අපේ අල්ලපුගෙවල් වල කට්ටිය මාරුවෙන් මාරුවට ඕක දානවා. ඒ මදිවට කිරිබත්ගොඩ ටවුමේ හැම සීඩී කඩේකම ඔය සීඩී එක දාලා...!
ReplyDeleteමධුරංග
Deleteමුලු ලංකාවෙම ට්‍රෙන්ඩ් එක මේක තමයි. කොහේ ගිහින් බැලුවත් ඇහෙන්නේ සංගිත කවි බණ.
මම කියන්න ආපු ටික මධුරංග කියලා නෙව..වටේ පිටේ ගෙවල් වල ඔය කවි ටික අහලා අහලා එපාවෙලා ඉඳලා අන්තිමට පන්සලට යනකොඅ පන්සලෙත් ඒ කවි ටික දාලා...හුම්ම් :(
Deleteකොමිනිකේශන් කාරයෝ ටිකයි පේමන්ට් එකේ සීඩී කඩ ටිකයි හොඳට හම්බ කරනවා ඔය කවිබණ ටිකෙන්...
එතකොට අර බුඩිස්ට් එකේ නිතර යන අම්ම්මා ගැන සින්දුව මේකද ...? හ්ම්ම් හ්ම්ම්ම්ම් දැනුයි මට මතක් වෙන්නේ.. ඒක අහද්දී එපා වෙනවා..අන්දොනාවක් ...
ReplyDeleteබුඩිස්ට් එකේ යන අම්මා ගැන සින්දුව..
Deleteඅනේ බං උඹ නම් !!!
බුඩිස්ට් චැනල් එක බන් .....
Deleteඒක හරි බං ..
Deleteඅම්මා ගැන සිංදුව !! :-)
ශාන්....
Deleteඇත්තටම මම බුඩිස්ටි එකේ ගීතය අහල නෑ...
හිතා ගන්නා බැ මොකුත්.
ReplyDeleteජීඑම්....
Deleteහිතන්න දෙයක් නෑ හාමුදුරුවෝ කවි බණ කියලා සිංදු කියනවා
දයා..........මේක රිඟින් ටෝන් වලටත් යයි නේද? මට පානදුරේ අරියධම්ම යුගයත් මතක් වුනා. වික්ටර්ගේ ස......අරියධම්මගෙ බ....කියලනේ කිව්වේ.
ReplyDeleteඅරු...
Deleteඔව් මේ යන හැටියට මේක රිංගින් ටෝන් වලට ඇතුළත් වේවි.
මම නම් ඉතින් මේ ගැන දැනුවත් වුනෙත් මේ ලිපියෙන් හන්දා මුකුත් කියන්න නොදනිමි.. හැම දෙයක්ම ටික කාලයක් ට්‍රෙන්ඩ් වෙනවනේ ඉතින්..
ReplyDeleteදිනේෂ්,...
Deleteලංකාවේ එක එක කාලේ එන දේවල් තමයි. කෙටිකාලයයි පවතින්නේ.
මේ විදිහට සංඝ පරම්පරාව පරිහානියට පත්වීම පිළිබඳව බුදු බණේ සඳහන්වෙනවා.. ඒ අතරේ ඉන්නා හැබෑ යතිවරුන් ගැන සිතා සිත සෑහල්ලු කරගන්නවා මම නම්..
ReplyDeleteසරත් ලංකාප්‍රිය
Deleteඇත්තටම අපට සිදුවන්නේ බුදුන් වදාල ධර්මය අප විසින්ම මෙනෙහි කරගැනිම පමණයි..
මෙහෙමයි මට මේක වැරදියි කියන්න පුළුවන්, වැරැද්දක් නැහැයි කියන්නත් පුළුවන්... අද කාලේ හාමුදුරුවරු කරන දේවල්, විශේෂයෙන් ගුරුකම්, මන්ත්‍ර වගේ දේවල් එක්ක බැලුවහම මේක බොහොම අහිංසක වැරැද්දක්... නමුත් භික්ෂු විනය එක්ක බැලුවහම නම් වැරදියි. හැබැයි එහෙම නම් රඹුකන සිද්ධාර්ථ හිමිත් වැරදියි... මුදල් අරමුණු කරගෙන කරපු දෙයක් වුණත්, සාපේක්ෂව මම ලොකු වැරැද්දක් දකින්නේ නෑ. අනිත් සියළු භික්ෂු දුසිරිත් නැතිවෙන දවසකට මේකත් අනිවාර්යයෙන් නැතිවිය යුතුයි. මේක ඇහුවහම, මෙහි තියන වඩාත්ම පරිණත කොටස තමයි සංගීතය... ගායනය සහ රචනය නම් බොහොම ප්‍රාථමිකයි.
ReplyDeletehttp://lankasfnews.blogspot.com/2013/11/listen-and-free-download.html
Deleteතිසර...
Deleteයථිවරු ලේඛන කලවේ නියැලෙන එක නම් ඉතිහාසයේ පටන්ම සිදුවුණා. එවැන්නක් සිදුවිය යුතුයි. විය යුත්තේද එයයි. ඒත් කවිබණත් කිව්වා.. මේවගේ සංගිතයනම් මුසුවෙලා තිබුනේ නැහැ.
ඇත්තටම දැන් කාලේ හාමුදුරු වරු දෙසන බණත් ලෞකිකත්වයට බරව තමයි යන්නේ මොනවා කරන්නද. මේ පිළිබඳව බුදුහාමුදුරුවොත් දේශනා කරලා තිබුනනේ මෙහෙම ගිහින් ට්ව ටික දවසකින් හාමුදුරු වරු කසාද බඳින්නත් ගනියි.
ReplyDeleteකෝරලේ මහත්තයා...
Deleteඇයි ඔය සමහර ගම්වල කියන්නේ.............ගේ ලමයි කියලා
ඒ කාලෙ අරියධම්ම හාමුදුරුවො බෝධිපූජා කවි කියනකොටත් මේ වගේ තමයි කට්ටිය ඇදුනෙ, මල්වත්තෙ කැසට් වික්කෙ, බෝධි පූජ වලට දාස් ගනන් පිරුනෙ.
ReplyDeleteඉන්දික
Deleteඇත්තටම අරිය ධම්ම හාමුදුරුවන්ගේ බෝධිපූජා කවිවලට ශ්‍රාවකයන් දහස්ගණනින් එකතුවුණ කතාව මටත් යාන්තමට මතකයි.
මේ ගැන තව ටිකක් හිතන්නෙ නැතුව අදහසක් පළ කරන්න අමාරු යි.
ReplyDeletehttp://lankasfnews.blogspot.com/2013/11/listen-and-free-download.html
Deleteදිලිනි
Deleteනිවාඩුව හිතන්න
හුඟ කාලෙකින් අස්වැන්න පැත්තෙ ආවෙ. මම ඉතින් අබෞද්ධයා නිසා මේ ගැන යමක් කියන්න අමාරුයි. හැබැයි මට මතකයි එක කාලයක් පිටකොටුවෙ හාමුදුරුවන්ගේ බණත් මේ විදිහට ජනප්‍රිය වෙලා තිබුණා. ඒ ගැන එකිනෙකට ප්‍රතිවිරුද්ධ අදහස් දරපු මගේ බෞද්ධ මිත්‍රයෝත් හිටියා.
ReplyDeleteහරී....
Deleteඔබ වැනි කෙනෙකුගේ ආගම ගැන කිසිම ගැටළුවක් නෑ.. මෙතැන තිබෙන්නේ ආගම පිළිබඳ සදාචාරාත්මක ගැටළුවක්
This comment has been removed by the author.
ReplyDeleteමට නම් හිතෙන්නෙ පරිහානිය ලඟයි වගේ...!
Deleteහාමුදුරුවන් වහන්සේ කෙනෙක් බණ කියනවා ඇහුන මේ ලඟදි රේඩියෝවෙ.
ඇයි දැන් ගිහියොන්ට ප්‍රශ්ණ වැඩි..ආර්ථික අපහසුතා වැඩි.. කියල.
ගෙදර සාලෙ පුරෝල ගෘහ භාණ්ඩ, ඉටිරෙදි වලින් වහල,තඩි ටීවී,තව නොයෙක් දේ පවසනව. හේතුව විදියට කියන්නෙ සරල බව බුදුන් වහන්සේ දේශණාකලාට අපේ ගිහියො ගාව කිසිමසරල බවක් නැත කියල.
මට හිතුන මෙහෙම........... බෝදීන් වහන්සේගේ වටේ තියෙන වැට...රන් වැටක් කරගන්න වෙහෙසෙන, පන්සලේ ආවාසගෙට සෝපාවක් තිබුනොත් හොඳයි කියන,පොඩි උන්නාන්සේලාට කම්මැලි කම යන්න එක්ක...සැටලයිට් ටීවී සම්බන්දතාවක් තිබුනොත් හොඳයි කියන,
දානෙට එන්න නම් අපේ ඩොල්පින් එකේ හයර් එක දෙන්න අපි ධාතු කරඬුවත් අරන් දානෙ ගෙදරටම එන්නම් කියන,පිරිකරකුත් අපි දෙන්නම් පොඩි ආධාරයක් කරන්න කියන,
සුලු පිරිකරට රීලෝඩ් කාඩ ඉල්ලන....මෙහෙව් ..***************
මේ බයිලා මොනවාද..අපේමිනිස්සුන්ම නේ ඕව අරන් අහන්නෙ..????????
මට නම් තිත්ත වෙලා තියෙන්නෙ.
විපරීත කාලේ විනාස බුද්ධිඃ
Deleteමම නම් මේකෙ වැරැද්දක් දකින්නෙ නෑ...මිනිස්සු බස් එකක යන ගමන් හරි මේ පද පෙළ ශ්‍රවනය කරලා තමන් නොසලකා ඉන්න අම්මට සලකන්න ඕනෙ කියලා හිතනවා නම් එයම කොතරම් යහපත් දෙයක්ද ? අද අතීතයේ මෙන් උගත් විනයදර භික්ෂූන් අඩු නිසා...මෙවැනි කාලීන වෙනස්කම් සංඝ සමාජයටත් එබිකම් කර තිබෙන හැඩයි...
ReplyDeleteපත්තර කොළයක ඔතලා තිබුනා වැනි...මෙලෝ රහක් නැති බස් අජිත්ගේ ගීත වලින් කනේ කලාදුරු කඩාගන්නා ලංකාවේ සුවහසක් බස් මගීන් මේ වෙනසට කැමති ඇති.....
සිරා....
Deleteඔව් උගත් විනයධර භික්ෂූන් වහන්සේලා මෙවන් කාලයේ අඩුයි. එහෙම ඉන්න අයත් දැන් ඉන්නේ අාරණ්‍යවාසීවයි.
බස් අජිත්ගේ සිංදුයි මේ කවිබණයි දෙකම එකයි කිසිඳු වෙනසක් නෑ...
බුදු දහම හා එහි ශ්‍රාවකයින් ගැන තියන මගේ මතය එක්ක මේ ලිපියේ තියන දේවල් බොහෝ ඈතින් තියන නිසා ලොකු අදහසක් එකතු කරන්න අමාරුයි..
ReplyDeleteමම නම් හිතන්නේ ගිහිගෙය අත හැරලා තපසට යන ඕනෑම කෙනෙක් නිවන් මග සලසාගන්න උත්සාහ කරන්න ඕන කියලා..එහෙම නොකරන සිවුරු දරන ඇත්තන් හා ගිහියන් අතර ලොකු වෙනසක් මම දකින්නේ නැහැ..ඒක නිසා නිවන් මගට පිවිසෙන්න උත්සාහ නොකරන කෙනෙක් මේ වගේ ගී ගැයීම ගැන මගේ ලොකු විරුද්ධත්වයකුත් නැහැ..
රූ....
Delete"සිවුරු දරන ඇත්තන් හා ගිහියන් අතර ලොකු වෙනසක් මම දකින්නේ නැහැ"
මේතමයි ඇත්ත. ආගමික ශාශනික මුවාවෙන් ජනප්‍රිය කලාව හඹායාම
මම බෞද්ධ නොවන හින්දා මට හරි අදහසක් දෙන්න අමාරුයි. ඒත් කලාත්මක අතින් නම් හොඳ නිර්මාණයක්. මට හිතෙනවා කෙනෙකුට පොතක් කියවලා තේරුම් ගන්නවාට වඩා ලේසියෙන් මේකට සවන් දීලා අම්මා ගැන තේරුම් ගන්න පුළුවන් ක්ඉයලා.
ReplyDeleteගිහාන්
Deleteඅම්මා ගැන කවිබණ කිව්වාට වරදක් නෑ ඒත් ඊට යතිවරයෙක් සංගිතය යොදලා කීවාම තවටිකක් හිතන්න වෙනවා. මොකක්ද මෙහි ඇති ආගමික මුහුණුවර කියලා...
මමත් මේ කවි බණ ඇසුවේ මෑතක උදෑසන බස් එකකට ගොඩවුන වෙලාවක. භික්ෂුවකට සංගීතය කැපද අකැපද කියන එකේ දෙපැත්තක් තියෙන බව නම් ඇත්ත. ඒත් බසයකට ගොඩවුනාම සුලභව ඇහෙන ඝෝෂාකාරී කඨොර සංගීතය වෙනුවට උදෑසනම මෙවන් දෙයක් ඇසෙන එක නම් හොඳයි කියල හිතෙනවා. කාලෙකින් තමා අස්වැන්නට ගොඩවුනේ
ReplyDeleteතොටියා....
Deleteගෝෂාකාරී සංගිතයට කවිබණ සංගීතයෙන් ඇසුනාම සාශනයක් රැකේවි කියා හිතේනවාද? ගැටලුව එයයි.
මේක හරි අපූරු විග්‍රහයක් දයා. මටත් දැන් මාසෙක හමාරක ඉදල වෙලාවකට හවස, තවත් වෙලාවකට උදේ අපේ අල්ලපු ගෙදරින් නොමිලයේම මේක ඇහෙනවා. මම මුළදි වැඩිය ඒ ගැන හිතුවෙ නැහැ. පස්සෙ තමයි නාඩි වුනේ හාමුදුරුවන්ගෙ අලුත්ම වික්‍රමය මේක කියල. මට නම් සමහර තැන්වලදි ඇහෙන්නෙ “ අම්මීමීමී.....“ කියල වගේ. කණේ දෝෂයක්ද මන්දා. වැඩි කල් යන්ඩ මත්තෙන් ප්‍රසිග වේදිකාවටත් වඩී මගෙ හිතේ.
ReplyDeleteඅම්මී කියල තමයි කියන්නෙ මහත්මයා....
Deleteමමත් අහන් ඉඳලා ඉඳලා අද හොඳටම ලං වෙලා අහද්දිත් එහෙමයි ඇහුනෙ. කලින් ඇහුණට මම ප්‍රාර්ථනා කළා ඒක එහෙම නොවේවා කියලා... ඒත් මගේත් ඔබේත් හැමගේත් කනේ දෝශයක් වෙන්න බැ නේද? :(
තුසිත
ReplyDeleteහරියට හරි මේ තැටියේ අවසාන හරියෙදි "අම්මා" අම්මි වෙනවා. හොඳම හාස්‍ය නම් සිංහල කවි බසේ වත් සිංහල සාහිත්‍යයේවත් "අම්මි" යනුවෙන් වචනයක් නැතිවිමයි. දැන් ඔන්න හාමුදුරුවරු වාහන පදවන්නත් ලයිසන් ඉල්ලනවා. ඩ්‍රයිව් කරන ගමන් සිංදුවකුත් කියාගෙනම යයි.
දයා.......මෙහේ ඉන්න අපේ සීයට 99ක් හාමුදුරුවරු කාර් එලවගෙන තමයි දානෙට බණට ඩ්‍රයිවඩින්නේ...මේවා දැකලා වෙන්න ඇති අනිත් අයත් ඉල්ලන්නේ....මට නම් කිසිම පැහැදීමක් නැහැ දයා බොහෝ අයගේ වැඩ ගැන. මීට බොහෝ කාලයකට කලිනුත් ඔහොම බලපත්‍ර ඉල්ලුවා වැඩේ හරිගියේ නැහැ. හෙට අනිද්දා බස් අරන් පාරට දාලා ඔටුව පිටෝටුව කිය කිය ඕවත් එලවයි.
Deleteලිපිය කියවු විට පුද්ගලිකව ඇති වෙලා තිබුණු ගැටළු කිපයක්ම විසඳුනා.... බොහොම අගනා ලිපියක්...
ReplyDeleteකවදත් වගේ මූලාශ්‍ර ගොඩක් පාදක කරගෙන හරි අපූරුවට ලියවිලා තියෙනවා.... ඒ ගැන විශේෂයෙන්ම ස්තූති කරන්න ඕනි ඔබතුමාට
අනේ මන්දා අයියේ මමනම් මේකේ වැරද්දක් දකින්නේ නෑ...
ReplyDeleteසිවුර දාගෙන කුණුහරප කියන තව තව දේවල් කරන හාමුදුරුවරු ළඟ මේ වගේ දෙයක් කරපු එක මමනම් ඇත්තටම සතුටු වෙනවා...මමත් මේ කවි බන ගැන ලියපු එකක් තියෙනවා ඒක හෙට අනිද්දා දිහාට බ්ලොගේ දාන්න හිතං ඉන්නේ...
සමා වෙන්න ඕනා මම වැරදිනම් අයියේ....
වැරදියට හිතන්න එපා මම ඔයාව විග්‍රහ කරනවා නෙවෙයි ඔයාලා තරම් දුරට දිගට හිතන්න තරම් ලොකු තේරුමක් නෑ ඉතින්...එත් මම කියන්නේ මට දැනෙන විදිහට මේකේ වැරද්දක් නෑ....
(ඇනෝ සහෝදර වරුණේ මම ලොකු පොරක් නෙවෙයි බනින්නනම් එපා අහිංසක පොඩි කොල්ලෙක් මම.මම කිවුවේ මට දැනෙන දේ විතරයි)
මේ රටේ පවතින බුදු දහම නැත්නම් දර්ශනය ගැන අපි දන්නේ න කියලා තමයි හිතෙන්නේ දයානන්ද මේ කියන කතාව ඇත්ත අපේ රටේ මිත්‍ය මත කියන්නේ මල් කඩලා පහන් පත්තු කරලා දෙවියන්ට වදිම නොවේ මෙන්න මේ වගේ වඩ හින්දා හදෙන මිත්‍යාව නච්ච ගීත වාදිත කියලා ශිල් ගන්න අය හයියෙන් කියවනවා ..අටසිල් දස සිල් ගන්නවා ඒ විතරක් නොවේ භික්ෂුන් වහන්සේලා සදහා කෝටියක් සංවර ිලයක් ගැන කියනවා මෙවා වචනයට විතරක් සිමා වෙලා තියෙන එක තමයි මිත්‍යාව මෙක අපි වන්දනා කරනවා එකයි ප්‍රසිද්දීය .මේ රටට නියම බුදු දහම ලබිලා තියෙන්නේ බුද්ධිමත්ව හිතන්න නව චින්තන බිහි කරන්න නමුත් අපි යන්නේ ඉදිරිට නෙවේ පසු පසට එකයි වැරද්ද ..දයානනද ඔබ ගත්ත උත්සහය ගැන සතුටුයි....මේ ප්‍රතිචාර එකට සාක්ෂි දරණවා
ReplyDeleteකවි බන සංගීතයෙන් අහනගමන් මේ ලිපියට සවන් දෙන්න
ReplyDeletehttps://www.mixcloud.com/Lankaradio/kavi-bana-lanka-radio-program-18-jan-2014/