එච්.ආර්.ජෝතිපාල ගැයූ ගීත වලින්
වර්තමාන සංගීත රසිකයන්ගේ අවධානයට පාත්‍ර විය යුතු යැයි හැඟෙන ගීත තෝරාගනිමින්
කෙරෙන මේ කතාබහේදී ඔහුගේ සංගීත දිවියේ වැදගත්ම හැරවුම් ලක්ෂයක් වෙත අද ඔබ කැදවමි.
ශිල්පියකු ගැයූ ජනප්‍රියම ගීතාවලියකින්
ගීත තෝරා ගනිද්දී ඒ ශිල්පියාගේ සංගීත
දිවියේ කඩඉම් සලකුණු කළ ගීත ඔහුට පමණක්
නොව ඔහු වටා රැඳීසිටි රසිකයන්ටද වැදගත් වන්නේ රසිකයන්ගේ රසවින්දනාත්මක ඉසව්ද ඒ ගීත මගින් ස්පර්ශ කර ඇති
බැවිනි. අද මේ සටහනේදි අහන්නට ලැබෙන ගීත ඔහුගේ නිර්මාණ දිවියේ කුමන ආකාරයකින්
වැදගත් කමක් උසුලන්නේ ද යන්න ඔබටම නිගමන
කල හැකි ය.
ජෝතිපාලගේ සංගීත දිවියේ ඔහුට
හමුවූ මධුර ගී හැදූ සරත්ලා සිවු දෙනෙකි. ඒ සරත් දසනායක, සරත් බාලසූරිය, සරත් ද
අල්විස් සහ සරත් වික්‍රම යන සංගීත වේදීන් සිවු දෙනා ය. ඔවුන් හතර දෙනාගෙන් සරත්
බාලසූරිය ජෝතිපාලට සැළකිය යුතු ගීත ප්‍රමාණයක් නිර්මාණය කර නැති වුවත් ඉතිරි
තිදෙනා ජෝතිපාලට මධුරතර සංගීත නිර්මාණ කළ
සංගීත වේදීන් බව කිව යුතුම ය. ඒ නිසා ඉඩක් ලැබෙන පරිදි ජෝතිට ගී හැදූ මේ සරත්ලා
හතරදෙනාගේම එකිනෙකට වෙනස් වූත් මධුරතර වූත් ගී තනු නිර්මාණ ගැන අස්වැන්නෙන්
කිසියම් ප්‍රමාණයකට සඳහන් කිරිමට අපේක්ෂා කරමි.
ඒ අනුව අද මුල්වරට කතාබහට
ලක් කරන්නේ සිංහල සිනමා සංගීතයට පුරෝගාමී මෙහෙවරක් කළ අග්‍රගණ්‍ය සංගීත වේදී සරත්
දසනායකයන් එච්.ආර්.ජෝතිපාලට හැදූ රම්‍ය වූත් මධුරතර වූත් ගීත පිළිබඳව ය. ඒ නිසා
අපි ඒ ගීත අහන ගමන්ම මේ කතාබහ කරමු.
නීල
දෑස පුරා - සිහින ලොවෙන් පෙරා
වෑහෙ
කැලුම් නුරා - මා ඔබේ පෙම්බරා
සසරෙ
එකට සරා - පැමිණ පෙරුම්පුරා
ගියද
නොසිතු යුරා - මා ඔබෙ පෙම්බරා
මිහිරි
සුවඳ ඔබේ - ම හදවතට එබේ
පෙරදි
දිනක බවේ -ලදිමි මෙවන් සුවේ
සසරෙ
එකට සරා - පැමිණ පෙරුම්පුරා
ගියද
නොසිතු යුරා - මා ඔබෙ පෙම්බරා
මාද
ඔබද මෙසේ - දෙපොල දෙතැන වෙසේ
දිනෙක මෙලොව කුසේ - පතමි රැඳෙන ලෙසේ
සසරෙ
එකට සරා - පැමිණ පෙරුම්පුරා
ගියද
නොසිතු යුරා - මා ඔබෙ පෙම්බරා
පද
රචනය: කරුණාරත්න අබේසේකර
සංගීතය:
සරත් දසනායක
ගැයුම:
එච්. ආර්.ජෝතිපාල
කේමදාසයන් හැරුණු විට
ජෝතිපාලට හොඳම සහ මධුර ස්වතන්ත්‍ර ගීත හැදුවේ සරත් දසනායක ය. ජෝතිපාලගේ ගීතවල
සාර්ථකම සහ හොඳම ගී තනු අපට හමුවන්නේද සරත් දසනායක - ජෝතිපාල සම්බන්ධතාවය ඇති වූ
පසුව ය. එසේ ජෝති - සරත් සම්බන්ධතාවය ගොඩ
නැගෙන්නේ ඉතාමත් අපූර්ව සිද්ධි සමුදායක ප්‍රතිඵලයක් ලෙසිනි.
ඒ කතාව කියන්නට කලින් එක
සඳහනක් කළ යුතුම ය. එනම් අස්වැන්න ලියන මට කිසිම දිනෙක පුද්ගලිකව සරත් දසනායක
හමුවී නැත. එසේ වුවත් ඔහු කෙරෙහි මගේ හිතේ ඇති ගෞරවය එසේ ම පවතිද්දී මෙතැන් පටන් මම ඔහුට “දසේ” යැයි කියමි. ඒ මන්ද
ඔහුට දසේ කියා එවකට සංගීත ක්ෂේත්‍රයේ සිටි බොහෝ සමකාලිනයන් ඇමතුවේ ඒ නමිනි. මා
ඔහුගේ සමකාලීනයෙකු හෝ මිත්‍රත්වයක් තිබුණ අයෙකු නොවුණත් ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් ඔහු ඇමතූ “දසේ” යන ආදරණීය නාමය මම ද මෙතැන් සිට
භාවිතා කරමි.
ජෝතිපාලට හැදූ ස්වතන්ත්‍ර
ගීතවලින් සියයට අසූවකටත් වඩා හැදුවේ සරත් දහනායක හෙවත් දසේ ය. හැත්තෑව අසූව දශකවල
හින්දි සිනමාවේ සංගීත අඹර බැබල වූ ශංකර් ජායී කීෂන්, ආර්.ඩී. බර්මන් හින්දි චිත්‍රපට
ගීතය හින්දි සිනමාවේ වර්ණවත් කළේ යම් සේ ද එසේ ම දසේ සිංහල සිනමා සංගීතය හින්දි
අනුකාරකත්වයෙන් මුදවා ජනප්‍රිය හින්දි ගීවලට අභියෝග කළ හැකි ස්වතන්ත්‍ර මධුර ගී
හැදූවේ ය. මා මෙහි කතා කරන්නේ
ජෝතිපාලගේ නිර්මාණ ගැන පමණක් වුවත් එයින් බාහිරව දශක තුනක් තිස්සේ සිංහල චිත්‍රපට 131
ක් සඳහා දසේ හැදූ මධුර ගීතාවලිය දසේගේ ලාංකේය සිනමා සංගීතයේ සළකුණ කුමක්ද යන්න
විමසා බලන්නට මෙතෙක් නිසි විචාරයක් සිදුවී නොමැත. එසේ වූයේ හැත්තෑව දශකයේ
සිනමා සංගීතය පවා කලාත්මක සහ වාණිජ වශයෙන් වෙන්කර තිබූ නිසාත් වාණිජ සිනමාව කලාත්මක සිනමාවෙන් බැහැර වූ නිසාත්ය.
සරත් දසනායක අඩසිය වසකට වැඩි
ලාංකේය සිනමා සංගීතයේ යුග පුරුෂයෙකි. ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ එසේ යුග පුරුෂයන්
යැයි කිව හැකි අය අපට සිටින්නේ දෑතේ ඇඟිලි ගණනටත් වඩා අඩු නිර්මාණකරුවන් පිරිසකි.
ඒ තරමට ම අල්ප ය. එසේ ඔවුන් සිනමා සංගීතයේ යුග පුරුෂයන් යයි හැඳින්විමට අවශ්‍ය
නිර්ණායක අපට සපුරා ඇත්තේ පස් දෙනෙකි. ඒ
1.
ආචාර්ය
ඩබ්ලිව්. ඩී. අමරදේව
2.
ආචාර්ය ප්‍රේමසිරි
කේමදාස
3.
සරත් දසනායක
4.
ආචාර්ය
වික්ටර් රත්නායක
5.
රෝහණ
වීරසිංහ
ඔවුහු දීර්ඝ කාලයක් පුරා
සංගීතයේ නියැලෙමින් දේශිය සිනමාවටත් සමස්ත ලාංකේය සංගීතයටත් සැබෑ මෙහෙවරක් කළා වූ
දැවැන්තයෝ ය. අමරදේවයන් සහ කේමදාස හැටේ
දශකයේදීත්, සරත් දසනායක සහ වික්ටර් රත්නායක හැත්තෑව දශකයේදීත් රෝහණ වීරසිංහ අසූව
දශකයේදිත් සිනමා සංගීතයට පුරෝගාමී මෙහෙවරක් කළාහු නිර්මාණකරුවෝ වෙති.
ඔබ
නිදන්න ඔබ නිදන්න සුවෙන් සැතපිලා
ඉහ
ඉද්දර මම ඉන්නම් පවන් සල සලා
පෙම්බරයන්
පෙම්බරියන් වෙත කියූ කතා
පවසන්නම්
සොඳුරියෙ මම ඔබට ගොත ගොතා
රුසිරු
කොමල රුව රසඳුන් උලයි මගෙ නෙතේ
ඉසුරුමුණියෙ
පෙම් යුවලද කියා මට සිතේ
හිත මාගේ
හඳුනා ගත් පරමාදරියේ
ඔබ
වාගේ සුන්දරියක් ඇත සීගිරියේ
අපේ
ලොවට නවෝදයේ එළිය පාදනා
අලුත්
ඉරක් පායනු ඇත හෙට උදෑසනේ
පද
රචනය: කරුණාරත්න අබේසේකර
සංගීතය:
සරත් දසනායක
ගැයුම:
එච්. ආර්.ජෝතිපාල
සරත් දසනායක සංගීතය ක්ෂේත්‍රයේ පූර්ණ කාලීන සංගිත අධ්‍යක්ෂකවරෙයකු බවට පත්වන්නේ හැත්තෑව දශකය ආරම්භයේදී ම ය. 1968 / 69 කාලය වන විට දසේ චිත්‍රපට දෙකක සංගීත නිර්මාණ කටයුතු අරඹා තිබුණත් ඉන් වසර හතරක් පහක් හෝ දහයක් පමණ කල් ගතවී ඒවා තිරගත වී ඇත්තේ හැත්තෑව දශකයේදි ය. ජෝතිපාල ගැයූ ගීත ගැන ලියවෙන මොහොතක මේ තරම් දිග විස්තරයක් දසේ වෙනුවෙන් මේ සටහන තබන්නට සිදු වූයේ ජෝති - සරත් දසනායක සුසංයෝගය කෙබඳු ආකාරයෙන් ගොඩනැගුනේද යන්න ලාංකේය සංගීත රසිකයන්ට ගෙනහැර දැක්විම සඳහා ය.
සේන - මිල්ටන් - සෝමේ- ජෝති - දසේ - අලුත් මගක....
ඒ හැත්තෑව දශකයේ ආරම්භය යි.
ඒ දශකයේ සිංහල සිනමාවට නවක නළු නිළියන්මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂකවරු, නිෂ්පාදකවරු සිංහල සිනමාව පිවිසි
යුගය යි. හින්දි සහ දෙමල කොපි චිත්‍රපට
කලාවෙන් මිදුන කලාත්මක වාණිජ චිත්‍රපට නිෂ්පාදකයෙක් සිංහල සිනමාවට එබිකම් කරමින්
සිටියේ ය. ඔහු වෙනින් කවුරුත් නොව සේන සමරසිංහ ය. “සමරසිංහ චිත්‍රපට” කියූ
පමණනින් හැත්තෑව දශකයේ සිනමා ලෝලීන්ට අමතක නොවන තරම් රසාලිප්ත චිත්‍රපට හැදූ නාමයකි. සේනට ඕනෑ
වූයේ කලාත්මක වාණිජ චිත්‍රපටයක් කරන්නට ය. සේන ඒ සදහා රංගනයට තෝරාගෙන තිබුණේ
ගාමිණී - මාලනී - ජෝ- යන ප්‍රතිභාසම්පන්න රංගන ත්‍රිත්වය යි. කැමරාව මෙහෙයවිම
මර්සලීන් පෙරේරාට භාර විය. එකල සිනමා කැමරාකරණයේ නමක් දිනාගෙන සිටි මර්සලීන් ලෙස්ටර් ජේම්ස් පීරිස්ට සිටි හොඳම
කැමරාකරුවෙකි. චිත්‍රපටයේ සංස්කරණ ශිල්පියාද අලුත් ය. සේනගේ චිත්‍රපටයේ තිර රචනය
සහ දෙබස් ලිවිම පැවරී තිබුණේ සෝමපාල
ලීලානන්දට ය. චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සඳහා මිල්ටන් ජයවර්ධනට පවරා තිබුණි. චිත්‍රපටයේ
ගීත ගායනය සඳහා තෝරාගෙන සිටි ගායක ගායිකාවන් වූයේ ජෝතිපාල - ඇන්ජලීන් - වික්ටර් - ඉන්ද්‍රාණි -
එම්.එස්.ප්‍රනාන්දු ය. සේන - ගාමිණී - මිල්ටන්- සෝමේ චිත්‍රපටය ගැන කතාබහ කරන්නට නිතර
නිතර හමු වූයේ රඹුක්කන පිහිටි සේනගේ නිවස ය. ඒත් සංගීතයට කෙනෙක් නැත. චිත්‍රපටයට
රූ ගත කිරිමට සියල්ල සූදානම් ය. ඊට කලින් චිත්‍රපටයේ ගීත හැදිය යුතු ය. චිත්‍රපටයේ
සංගීත අධ්‍යක්ෂකවරයෙක් නැතුව අවුලකි.
“මචං ෆිල්ම් එකේ මියුසික්
වලට පී.එල්.ඒ. සෝමපාල දාන්ඩ කියලා සේන කියනවනෙ”
මිල්ටන් ජයවර්ධන සෝමපාල
ලීලාන්දට කීවේය.
“යමං අපි සේනව හම්බවෙලාම සේන
එක්ක කතාකරමු”
සෝමේ මිල්ටන්ට කීවේය. එදා
රෑම ඔවුහු රඹුක්කනට ගියහ. ඒවන විටත් සේන සමරසිංහ පදිංචි වී සිටියේ රඹුක්කන ය.
සෝමේටත් මිල්ටන්ටත් අවශ්‍ය වූයේ චිත්‍රපටයේ මියුසික් කරන්න සරත් දසනායක දාගන්නට ය.
සේන ඒ වැඩේට එතරම් මනාපයක් දැක්වූයේ නැත. ඒ නිසා කෙසේ හෝ දසේ මේ චිත්‍රපටයට දමා
ගැනිමට සේන සමරසිංහ කැමති කරවා ගැනිම මිල්ටන්ගේත් සෝමේගේත් එකම අරමුණ විය.
සෝමපාල ලීලානන්ද |
“දැන් බලන්නකො මිල්ටන් ඔයා
අලුත් ඩිරෙක්ටර් කෙනෙක්. සෝමෙ අලුත් රයිටර් කෙනෙක්. ගාමිණීල , මාලනීල, ජෝ දාලා
අලුත් කැමරාමන් කෙනෙක්, සංස්කරණයත් අලුත්.
එහෙම එකේ අලුත් ෆිල්ම් එකක්. අනික මේ කාලේ හොඳට දුවන ෆිල්ම් එකක් වෙන්ඩ නම් මට ඔනෑ මේකට ජෝතිපාල -ඇන්ජලින් - එම්.එස්. දාල මියුසික්වලට පී.එල්.ඒ. සෝමපාලව
දාගන්න."
මේ විදයම් කරන්නෙ සල්ලිනේ.
අපි මේ වියදම් කරන සල්ලි ටික ආපහු ආවොත්නෙ මට තව එකක් කරන්න පුළුවන් වෙන්නෙ.”
ඒ සේනගේ ආර්ථික විද්‍යා පාඩම
ය.
“දසේ කියන්නෙ ක්ලැසික්
පොරක්......” සෝමපාල ලීලානන්ද ද පරාජය බාර නොගෙනම කීවේය.
“හරි..... දසේ ජෝතිපාලට කරපු
සිංදු නැද්ද” සේන සත්තමක් දැම්මේ ය.
“බඩු තියෙනවා” සෝමේ ද වැඩේ
අතහරින්නේම නැත. මිල්ටන් නිහඬවම සෝමේ දෙස රවා බැලුවේය.
“අහල බලමු එහෙනං”
“හරි.. ලබන සුමානෙ අපි දසේ
කරපු හොඳ සිංදු ටිකක් සේනට පෙන්නන්නම්.” සෝමේ ඇඟටපතට නොදැනී කියා දැම්මේ ය.
සෝමෙත් මිල්ටන් ජයවර්ධනත්
එදා මැදියම් රැයේම රඹුක්කන සිට කොළඹට එන්නට පිටත් විය. හාත්පස වෙලාගෙන තිබූ
අන්ධකාරයේ නිහැඬියාව බිදිමින් මිල්ටන් හඬ අවදි කළේය.
“උඹ මොකද බං සේනට බොරු
කිව්වෙ දසේ කරපු ජෝතිගෙ සිංදු පෙන්නනං කියල”
“මචං මිල්ටන් , දසේ කරපු
ජෝතිගෙ සිංදු හතරක් තියෙනවා”
“පිස්සුද උඹට දසේ කොහෙද
ජෝතිට සිංදු කළේ”
මිල්ටන් සත්තමක් දැම්මේ ය.
සෝමේ එතෙක් සඟවාගෙන සිටි රහස හෙළි කරන්නට විය.
“ නෑ මචං, දසේ ජෝතිට සිංදු
හතරක් කරල තියෙනවා. තාම තැටි නිකුත් කරල නෑ. හැබැයි දසේ ඒව වෙනත් කෙනෙකුට
විකුණලා”
සෝමපාල ලීලානන්ද මිල්ටන්ට කීවේ
ය.
මල්සර
මල් දුන්නේ - මල් හි සැර එන්නේ
මගෙ
දෙනෙතෙහි සැංගී - කවුරුද සැතපෙන්නේ
නිසසල
තනි ලිය ගොමුවේ - චංචල සුළඟකි හැමුවේ
නුපුරුදු
සිතුවිලි බිහිවේ - එනු හිනැහෙනු මා හමුවේ
බෙද
බෙද මධුරස මියුරූ - සුව ගෙන දෙන මට නුහුරූ
සැඟවෙනවද
කොයි කවුරූ - එනු මැන පෙන්වා රුසිරූ
පද
රචනය: කරුණාරත්න අබේසේකර
සංගීතය:
සරත් දසනායක
ගැයුම:
එච්. ආර්.ජෝතිපාල
සංගිතයට ලැදි මුස්ලිම් තරුණයෙක්
සිටියේ ය. ඔහු නමින් ශාන් ය. යහමින් මුදල් හදල් තිබුණ ඔහුට ජනප්‍රිය වීමේ නොතිත්
ආශාවක් තිබුණි . ශාන් බෙහෙවින්ම සංගිතයට
ඇලුම්කමක් දැක්වූ අයෙකි. යම් ප්‍රමාණයක සංගීතය පිළිබඳ දැනුමක් තිබුණත් ඔහුට අවශ්‍ය වූයේ එච්.ආර්.ජෝතිපාල යොදාගෙන ඒවායේ
සංගීත නිර්මාණ තමන්ගේ තහවුරු වන විදියට ගීත හරතරක් නිෂ්පාදනය කර වෙළඳ පොලට නිකුත් කරවා
ගැනිමට ය. ඒවන විටත් ලංකාවේ ගී තැටි නිෂ්පාදනය සහ අලෙවිය බෙහෙවින්ම ජනප්‍රියවී
තිබුණි. ජෙම්ටෝන්, සිල්වර් ලයින්, සූරිය, සහ සරස්වතී වැනි ලේබල් වලින් අලෙවි වූ ගී
තැටි වලට වෙළඳ පොලේ හොඳ ඉල්ලුමක් ද තිබුණි.
ශාන් තමගේ ඉල්ලීම සරත්
දසනායක වෙත ඉදිරිපත් කර තිබුණි. සංගීතය ශාන්ගේ යැයි සඳහන් වන ගීත හතරක් ජෝතිපාල ලවා පටිගත කර
දෙන එක සුදුසු ද නැද්ද යන්න දසේට ගැටළුවක් ව තිබුණි. දසේ මේ ගැන විමසුවේ සෝමපාල
ලීලානන්ද ගෙනි.
“කමක් නෑ හොඳට ගෙවනවා නම්
කරන්න”
සෝමේ දසේට කීවේ ය. දසේ කරු
අයියා (කරුණාරත්න අබේසේකරයන්) ලියාදුන් ගීත හතරකට තනු දමා පටිගතකර ශාන්ට දී මුදල් ලබාගෙන ය. ගීත අඩංගු හඬ පටය
තැටි කැපීම සඳහා සෝමපාල ලීලානන්ද ට භාරදී තිබුණි.
තවමත් ගී තැටි කැපී නැත. ගීත තැටි වෙළඳපොලට නිකුත්වන විට ඒවා දසේගේ නොවුණත්
ඒ ගීත ඇත්තටම දසේගේ ය.
“මම ඒ ගීත හතර සේනට ගහලා
පෙන්නනවා”
එදා රෑ සෝමේ රඹුක්කන සිට
කොළඹ බලා එන ගමන්ම මිල්ටන් ජයවර්ධනට කීවේ ය . ඒ රාත්‍රියේදිම සෝමේ ඒ දැඩි තීරණයට
එළඹුණේ කෙසේ හෝ සරත් දසනායක සේනගේ චිත්‍රපටයට
දමාගැනිමට ය.
“ඒත් ඒ තැටි අවුට් වෙන දාට බොරුව එළි වෙනවන” මිල්ටන් කීවේය.
“ඒ එළිවෙන්නෙ ශාන් කරපු
බොරුවනෙ මේ කතාවෙ ඇත්ත එළිවෙන්නෙ මං මේ කතාව එළි කරපු දවසටනෙ” සෝමේ මිල්ටන්ට
කීවේය.
දින කීපයකින් මිල්ටන් සහ
සෝමේ සරත් දසනායක විසින් ජෝතිපාලට නිර්මාණය කළ ඒ ගීත හතර ඇතුළත් හඬ පටයද රැගෙන
සේන සමරසිංහ හමුවීට රඹුක්කන ගියහ. ගීත හතර සේනට අහන්නට සැලැස්වී ය. සේන විශ්මයට
පත් කළ ගීත හතරක් එහි විය. මේ එදා සේන ඇසූ සරත් දසනායක ජෝතිට මුල්වරට හැදූ ගීත හරයි.
1.
නීල දෑස පුරා
2.
ඔබ නිදන්න ඔබ
නිදන්න
3.
මල්සර මල් දුන්නේ
4.
අද අමුතුම රැයකී.
ගීත හතර ඇසූ පමණින් සේනගේ
අදහස් සියල්ල සම්පූර්ණයෙන් වෙනස් විය. සරත් දසනායක සේනගේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණයට
දමා ගැනිමට සෝමේ සහ මිල්ටන් කළ දැවැන්ත සටනින් ඔවුන් දෙදෙනාට ජය අත්විය.
මේ දැක්වෙන්නේ එදා දසේ
මුල්වරට ජෝතිපාලට හැදූ අති මධුර ස්වතන්ත්‍ර ගීත හතරයි. බොහෝ දෙනෙක් මේ ගීත අසා
ඇතත්, යමෙකුට නැවත නැවතත් මේ ගීත අහන්නට අවශය නොවුණත් මේ කතාවත් සමග ඒ ගීත හතර අමරණිය ඉතිහාසයක්
ජෝතිපාලගේ ගීත ලැයිස්තුවට එකතු කර තිබේ.
අද
අමුතුම රැයකී - හොඳ සිතල පැයකී
අඳුරු
වලා වැළකී - මගෙ හිත සතුට දකී
ගණ
නිල් වරලින්නේ - මල් සුවඳකි එන්නේ
හද
විනිවිද යන්නේ - නෙත් යුග පිබිදෙන්නේ
නිලුපුල්
වැනි දෑසේ - සැතපි ඇති රහසේ
තේරුම තෝරාලා -දෙනු මැන හිනැහීලා
සුලලිත
මුදු වරලේ - අඩවන් සඳ බැබලේ
නාදලු
බඳු දෙතොලේ - සිහිවෙයි මධු කොතලේ
පද
රචනය: කරුණාරත්න අබේසේකර
සංගීතය:
සරත් දසනායක
ගැයුම:
එච්. ආර්.ජෝතිපාල
මේ අතීත පුවත මගේ නිර්මාණයක් නොවේ. එච්.ආර්.ජෝතිපාල, කරුණාරත්න අබේසේකර සහ සරත් දසනායක යන ජනප්‍රිය සංගීතයේ මහා විස්කම් කළ ත්‍රිමූර්තියම අද අප අතර නැත. එසේම මධුර චිත්‍රපට හැදූ සේන සමරසිංහ - සෝමපාල ලිලානන්ද - මිල්ටන් ජයවර්ධන - සරත් දසනායක සිවුමහා බලකණුවලින් අද අපට සිටින්නේ සේන සමරසිංහ සහ සෝමපාල ලීලානන්ද පමණි. ජෝතිපාල - සරත් දසනායක අපූරු සුසංයෝගය බිහිකළ මේ අතීත පුවත මුල්වරට හෙළිකර තිබුණේ මීට වසර කිපයකට කලින් සෝමපාල ලිලානන්ද විසිනි. ඒ ඔහු අතීතර සැමරුම් ඇසුරින් ඔහු ලියා පළ කළ “පාට පොදක ගමන් විත්ති” කෘතියෙනි. ගීත වගේම ඒ ගීතවල නොපෙනෙන ඇතුලාන්තය වඩාත් මිහිරි වන්නේ ඒ නිසා ය.
ඊළඟ කොටසින් සේන - මිල්ටන් -
සෝමේ - සහ දසේ - ජෝති- සමග එක රැයින් ජනප්‍රිය සිනමා සංගීතය කණපිට පෙරලූ
හැටි.....෴
ආශ්‍රිත ග්‍රන්ථ:
මෙහි අතුළත් තොරතුරු සහ දෙබස් උපුටා
ගැනිම:
01.
පාට පොදක
ගමන් විත්ති - සෝමපාල ලීලානන්ද කෘතියෙන්
02.
තිස්වසරක
සරත් සර - සමරුව 1999
වටිනා ලිපියක්
ReplyDeleteසචින්..
Deleteස්තූතියි
මෙවන් උදාරතර නිර්මාණකරුවන් අතරේ හිද ඔවුන්ගේ නවමු මධුර තනු අසන්නට අපේ පරම්පරාව පින් කර නැත. නමුදු මගේ ප්‍රියතම ගීත නිර්මාණ අතර සරත් දසනායක නාමය නිතරම කියවෙයි. තමාටම අනන්‍ය වූ සංගීත ශෛලියක් ඔහුට තිබූ බව තමයි මගේ අදහස...දසේ මුල් කාලයේ කේමදාසයන්ගෙ සංගීත මඩුල්ලේ සිටි බවත්...පසු කලෙක ඔවුන් දෙදෙනා අතර සිදුවූ බහින් බස් වීමකින් පසු සරත් දසනායක තනිව සංගීත නිර්මාණ කටයුතු කල බවකුත් මා අසා තිබේ...දයානන්ද අයියාගේ මේ වෑයම මම ඉතාමත් අගය කරනවා...හරිම ලස්සන ලිපියක්..මේ වගේ අපි නොදන්නා අතීතයක් අපට කියා දෙන ලිපි වැඩි වැඩියෙන් ලියන්න.
ReplyDeleteසිරා...
Deleteඇත්තටම ඔබ හරි සරත් දසනායක ජෝතිපාලයන්ගේ ගීතවලට පමණක් ලඝු කොට සලකන්න බෑ. එහෙම වුනොත් ඒක හරිම අසාධාරණයක් ඔහුට කරන. ඊට වඩා පුළුල් වපසරියකින් ඔහුගේ නිර්මාණ පිළිබඳ විමසිමක් කළ යුතුයි. අපි එවැන්නක් ඉඩ ලැබෙන අයුරින් කරන්න බලමු.
මගේ ප්‍රියතම ගායකයා.. තව මං ආස සින්දු ගොඩක් තියෙනවා.මං හිතන්නෙ ගොඩක් ගැන කලින් අස්වැන්නෙ ලියැවිලා තිවුණා.. ප්‍රියතම ගීතය හද සල් ගසේ..! රන්වන් සිනා පෑ,දිය පොදක් වෙමින්,උන්මාද මන්දෝදරී,වයන්න සිතාරේ,තව ආසම සින්දු අතරින් කීපයක්!
ReplyDeleteඑහෙම ද? අපේ නගා ගෙත් ප්‍රියතම ගායකයා.
Deleteවර්ෂා....
Deleteජෝතිපාලගේ දුර්වල ගිත ටික බැහැර කළාම ඊතාම මධුර ගීතාවලියක් අපට හමුවෙනවා ඔහුගේ ගීත අතරින් මා මේ කරන්නේ එවන් රසාලිප්ත ගිත ටිකක් හඳුන්වා දිමට ගන්නා වෑයමක් පමණි.
කුරුටු ගෑ ගී පොත
බලන් ගියාම අපි කාගෙ කාගෙත් ප්‍රියතම ගායකයා.
අද පෝස්ට් එකේනම් තියෙන්නේ අපිට නිතරම වගේ ඇහෙන ගීත.. හුඟක් සිංදු ආසාවෙන් ඇහුවට මොකද ඒවා ලිවුවේ කවුද කියන දේවල් නම් දන්නේ හුඟක් අඩුවෙන්.. ඒ වගේ වෙලාවට මේ සටහන් සෑහෙන්න වටිනවා..
ReplyDeleteදිනේෂ්...
Deleteඇත්තටම මේවගේ තොරතුරු ලේඛණ ගතනොවූ ශිල්පියෙකුගේ ගිත වල නිවැරදි තොරතුරු උපරිමයෙන් ගේන්න උත්සාහ කරනවා. ඒත් සමහර විට වරදිනවා.
එතකොට මේ ගීත වල තනු සහ සංගීතය 'ශාන්' විදිහටද ඒ කාලේ ප්‍රචලිත වුණේ? දැනට උණත් නිල වශයෙන් තියෙන්නේ ඔහුගේ නමද?
ReplyDeleteරංග දසනායක කියන ඉතාම දක්ෂ තරුණ සංගීතඥයා, සරත් දසනායකගේ පුතා නේද?
බොහොම රසබර විස්තරයක්.
ඔව් එතුමාගේ පුතා තමයි...නවීන තාක්ෂණය සමග සංගීත මුසුව ලංකාවේ නිවැරදිව කරන අතළොස්සක් සංගීත කරුවන් අතර පෙරමුණේම සිටින කෙනෙක්...ජූලියා චිත්‍රපටයෙ ගීත කීපයක්ම කලේ රංග...චිත්‍රපටයේ සංගීතය ඔහුගේදැයි මා දන්නෙ නෑ.
Deleteෆිල්ම් එකේ මියුසික් රංගම තමයි....ෆිල්ම් එකනම් අන්තිමයි කියලා කවුද කිව්වා.
Deleteතිසර..
Deleteමේ ගීත අවසානයේදි එළියට ආවේ සරත් දසනායකයන් නමින්මයි. ඒත් පසු කාලෙක චිත්‍රපට සහ කැසට් සංගිතයේ ෂාන් කියල කෙනෙක් හිටියා ඒ මේ ඔහුමද දන්නෙ නෑ.
සිරා
ඔබ හරි...
අරූ.
තවමත් රංගට දස්කම් පෙන්වන්න නියම ෆිල්ම් එකක් හම්බ වුනේ නෑ කියල හිතෙනවා
උපුටා ගැනීමක් උනත්. ජෝති ගැන. සරත් දසනායකලා ගැන ඕන තරම් ලිව්වත් කියවන්න පුලුවන්.
ReplyDeleteඒ කාළෙනෙ ඉන්න තිබුනේ... අයි ඩෝන්ට් නෝ.......... වයි..
මාතලන්..
Deleteඒකනේ ඒකාලෙ තමයි අපට යාන්තමට හරි හැබැහින් මේ අය දැකල අහන්න තිබුණ හොඳම කාලෙ
ජෝතිගේ ගීත අතර ශාන් කෙනෙක්ගේ නමක් අසා තිබුනේ නෑ . අපි නොදන්න සැඟවුන තොරතුරු කොපමණ තියනවද කියා සිතුනා සටහන කියෙව්වාම . ස්තූතියි දයා අගනා සටහනට .
ReplyDeleteගිම්...
Deleteජෝතිගේ ගී අතර චිත්‍රපට සහ කැසට් ගිත කිපයක්ම තියෙනවා ජනප්‍රිය නොවූ සංගිතය ෂාන් කියලා. ඔහුගේ නම විදියට ඒතැන්වල එස්.ෂාන් හෝ ෂන්මුගම් ෂාන් යනුවෙන් සඳහන් වෙනවා
ජෝති ගැයූ ගීත ගණන සඳහන් කළ හැක්කේ සිය ගණන් වළින් නොව දහස් ගණන් වලිනි. එහෙත් ඒ ගීත දහස් ගණනම හොඳ ප්‍රශස්ථ නිර්මාණ සේ හැඳින්විය නොහැක. විශේෂයෙන් එකල වාණිජ සිනමාව සඳහා අරුත් රසයෙන් තොර ශබ්ද රසයෙන් පිරි ගීත සඳහා ඔහුගේ හඬ පෞරුෂය යොදා ගන්නා ලදි. ජෝතිද තෝරා බේරා ගැනීමකින් තොරව ඒ ගී ගැයූ බව දැකගත හැක. ඒ වාණිජ පරමාර්ථයන් නිසා විය හැක. බැලූ බැලූ අත ප්‍රශස්ථ නොවන ගී දුටු බැවින් මුළ් යුගයේදී ස්‍රභාවිත ගී රසිකයන් අතර ජෝතිට කියවුනේ පීචං ගායකයෙක් කියායි. එහෙත් වැලි සහ තිරිවානා ගල් කැබලි සහිත ඉල්ලමක් පෑදීමෙන්ම දුර්ලභ මැණික් දැකිය හැක්කා සේ එම ගීත දහස් ගණන පීරුවහොත් පමණක් ඔහු ගැයූ සුන්දරම ගී රැස සොයා ගත හැක්කේ. ගීත රසය සොයා යන බොහෝ දෙනා ඔහුගේ දහස් ගණනක් වූ අවර ගණයේ ගී බැහැර කරමින් එහෙත් ඒ ගී ගැයුවා යැයි ජෝතිව අවලංගු කාමියක් බවට පත් නොකොට, තෝරා බේරා රස විඳින්නට හා ඒ නිසාම ඒ ගැන කතා බහ කරන්නට යොමුවෙයි. මේ අවන් තවත් උත්සාහයකි. ජෝති තුළ සිටින සැබෑ ජෝති සොයා යාමට මේවා මහත් රුකුලකි.
ReplyDelete@ යසනාත්................මම ඔබගේ රසිකයෙක්මි...ජෝති පිලිබඳ ඔබේ සටහන දයා විසින්ද අගය කරණු ඇති බව සහ සුදක්සේ විශ්වාසය.
Deleteයසේ....
Deleteඔබ හරි.. සියයට සියයක්ම එකගයි. මම මේ කරන්නෙත් ඉඩක් ලැබෙන පරිදි ඔහුගේ ගිත ගැන සොයා බලා. සුන්දරම ගිත අතරනි ගිත තෝරා ගැනිමක් පමණයි. ඒත් දගකාලයක් තිස්සේ ඒවා වෙනස් වෙවි. නියම නිර්මාණකරුවන් පවා මගහැරිලා. ඒකියන්නේ අපට නියම කාලෙ මගහැරුණු ශිල්පියෙක්.
අරූ...
එකෙන්ම අගයකරනවා..
මිල්ටන් රඟපෑවෙ අක්කර පහේ විතරයි නේද ? දක්ෂ නළුවෙක් වෙන්න පුළුවන්කම තිබ්බට නළුකමින් ඉස්සරහට ගියේ නෑ. එයා තාමත් ඉනවා කියලයි මං හිතන් හිටියෙ..
ReplyDeleteසරත්.......ලෙස්ටර්ගේ අක්කර පහට අමතරව තවත් චිත්‍රපටි කිහිපයක රඟපෑවා...හැබැයි ප්‍රධාන චරිත නෙමේ...එයාගේම චිත්‍රපටි වලත් රඟපෑවා කඩවසම් නළුවා.
Deleteසරත් ලංකාප්‍රිය
Deleteමිල්ටන්ගේ චරිත අතර අක්කර පහ චිත්‍රපටයේ චරිතය තමයි කාතුලත් රැදෙන්නේ.
අරූ
සැබැවින්ම හොඳ පෙෘරුෂයක් තිබුණ නළුවෙක්.
සිංදු ටික අහලා තිබුනට මේ විස්තර ටික දන්නේ අදනේ..
ReplyDeleteබොහොම ස්තූතියි මේ දේවල් ලියනවට
මධුරංග
Deleteස්තූතියි. මේවා හැමදාමත් ඇහෙන සිංදු ඒත් යටගිවේ අතිතය මිහිරක් ගේනවා
අතිශය රසාලිප්ත වගේව වටිනා කමින් ඉහළම ලිපියක් සහෝදරයා.. මේ ලිපිය හා ගී නිර්මාණ වෙනමම පර්යේෂණයකට වුව සුදුසුයි. ඔබ එහි ඇරඹුම ගෙන තිබෙනවා. නිබන්දනයකටත් කදිමයි.
ReplyDeleteනලීන්....
Deleteමේ ජෝති ගැන සම්පූර්ණ අධ්‍යාශයක් නොවුණත් යම් තරමක තෝරා ගැනිමක් කරලා ලියන්නේ. ස්තූතියි අගයකිරිමට. මේ විදයට ලියලා මමත් කරන්නේ අත්හදා බැලිමක් බලමු ඉදිරියේ වෙනත් දෙයක් මේ ඇසුරින් කරන්න හැකිද කියලා...
අමරසිරි පීරිස් මහතාගේ "මිනිසා" ගීතයේ අරුත ගැන පහදල දෙන්න පුලුවන් නම් ගොඩාක් පින් ඔබට
ReplyDeleteවිශ්ව..
Deleteඒ ගීතය චිත්‍රපට ගීතයක් "සිරිමැදුර" චිත්‍රපටයේ.තුන්කොන් ප්‍රේමයේ කූට ප්‍රාප්තිය සටහන්කරමින් ලියැවුණක්. ඔබට හැකිනම් සිරිමැදුර ෆිල්ම් එක බලන්න පරාක්‍රම නිරිඅැල්ල, අනෝජා, රවීන්ද්‍ර, ලකී මාලනී රංගනයේ ප්‍රතිභාව මේ ගීතය තුළ තියෙනවා
පින්
Deleteහරිම ආසාවෙන් කියෙව්වෙ දයා මල්ලි. ඉතාම අවිවේකී කාලයක මනසට සහනයක් දෙන මේ සටහනට පිං.
ReplyDeleteචාන්දි...
Deleteස්තූතියි . ඔබට
ඉතාම හරබර සැඟවුණු රසවත් තොරතුර ගොඩයි! මේ ලිපි මාලාව පටන්ගත් දවසෙ ඉඳන් මං මග බලා ඉන්නෙ ඊ ළඟ ලිපිය එනකං. ගොඩක් ස්තුතියි... දයා!
ReplyDeleteමේ සරත් දසනායකයන් හරි හැටි ඇගැයීමට ලක් නොවුන එක හරිම අවාසනාවන්ත දෙයක්. එතුමාගෙ මං දකින විශේෂත්වය තමයි හැම තනුවක්ම නිර්මාණයක්ම එකිනෙකට බෙහෙවින් වෙනස්. කේමදාස මාස්ටර් ගත්තත්, වික්ටර් රත්නායකයන් ගත්තත් ඔවුන්ගේ සංගීත නිර්මාණවල අනන්‍යතා සළකුණක් දකින්න පුළුවන්. ඒකෙන් අපිට ගීතය ඇහෙනකොටම "මේක අහවලාගේ" එකක් දෝ... කියල දැනෙනවා. ඒක බොහෝවිට හරි. නමුත් සරත් දසනායකයන්ගේ නිර්මාණ වල ඒ ගතිය ඉතාම අඩුයි. මට හිතෙන්නෙ ඒකත් එතුමා ගේ ප්‍රතිභාවෙන් උපන් දෙයක් කියල.
ජෝතිපාලයන් ගේ "ඔබ නිදන්න ඔබ නිදන්න" ගීතයේ සංගීත නිර්මාණය සරත් දසනායකයන්ගේ බවයි ප්‍රසිද්ධ. නමුත් මා මේ ළඟදී සිළුමිණ පත්තරේ පළවූ ලිපියකින් මේ ගීතයේ සංගීත නිර්මාණය මෙල්රෝයි ධර්මරත්නයන් ගේ බව ඔහු සාධක සහිතව පෙන්වා තිබෙනවා දුටුවා. ඒ ලිපිය පහතින් බලන්න පුළුවන්. මේ ගැන තව තොරතුරු දන්නා අය සඳහන් කරනවා නම් වටී.
http://www.silumina.lk/2013/02/24/_art.asp?fn=av13022423
මම කියන්නේ මේක මිල් රෝයිගේ...සරත් දසනායක නෙමේ...ඔබ නිදන්න, මලින් පිරීගිය සහ තවත් ගීත බොහෝමයක් ජෝති වෙනුවෙන් මිල් රෝයි ධර්මරත්න හැදුවා.
Deleteප්‍රේමකිර්ති ගී..
Deleteස්තූතියි මේ තොරතුර දුන්නාට. මේ විස්තරයෙන් පස්සේ මම ඒ ලිපිය කියෙවිවා. පුදුමයි. මාසතු විස්තර වල තියෙන්නේ සරත් දසනායකගේ කියා. ඒ කොහොම වුණත් 70,80 දශකවල ගිතයේ අයිතිය සම්බන්ධයෙන් වාද විවාද තිබුණෙ නෑ. ඒනිසාම මේවා කවුරුන් සතුද යන්න එදා වැදගත් වුනේ නෑ නමුත් අද බුද්ධිමය දේපල නිතිය ඉදිරියේ සංවාදයක් අැතිවෙලා තියෙනවා ගිතයේ අයිතිය ගැන.
ඔබත් මමත් නිතර මේගැන කතාකරන නිසා මේ සටහනටත් අදාල වෙන්න නිර්මාණාත්මක අයිතිය ගැන දැන් ඇතිවී තිබෙන ගැටළු ටිකක් ලියන්නම්.
ජෝතිපාල ගැයූ ගීත අතර සුවඳයි මුවේ මල්පැණි, දොලොස් මහේ පහන, රත්තරං සඳක් වගේ ගීතවල රචකයා විදියට නියම අයිතියක් හොයන්න අමාරැයි. සමහර තැන්වල ජෝතිපාල විසින්ම එක එක නම් සඳහන් කර තියෙනවා.තැටිවල කැසට්වල පවා සරත් මුණසිංහ/ ඇලෝයි ගුණවර්ධන යන නම් දෙක විවිධ අවස්ථාවන් වල සඳහන් වෙනවා. මේකත් එවැනි ගැටළුවක්
අනෙක් අතට වැරදිම්ලින් වන සටහන් මේකට තවත් හේතුවක් නිදසුනක් ලෙස ප්‍රියාගේ ඈත රන් විමන් ගීය රචනය ප්‍රේමකීර්ති/ ෂෙල්ටන් වීරත්න/ ක්ලැරන්ස් යන තුන්දෙනාගේම නම් සඳහන් වෙනවා.ගුවන්විදුලියේ රෝහිත විජේසූරිය සංගීතය සැපයූ ලෙස සඳහන්වන ගිත බොහොමයක් වෙනත් අයගේ. මධුර ජවනිකා නාට්‍යයේ ජැක්සන් - අනුලා ගයන "පළමුව මම වැන්ද බුදුන්" ගීතයේ සංගීතය කලේ එඩ්වඩ්. ඒත් දයානන්ද ගුණවර්ධනයන් මියෙන විට ඒගීතයේ නිර්මාණාත්මක සංගිත රචනයේ අයිතිය බන්දුල විජේවීරට ලියලා. ලොකු අවුලක්. ඉතන් මෙවැනි අවුල් ඒ යුගයේ නිර්මානවල ඇතිනිසා මේවායේ හරය විතරක් ගනිමු.
ස්තූතියි ඔබට.
ප්‍රේම්/අරූ
Deleteමම මේගැන නිවැරදි තොරතුරක් දැනගන්න සෝමපාල ලීලානන්දයන් සම්බන්ධ කරගැනීමේ උත්සායක යෙදුනා නමුත් හරිගියේ නෑ. ඔහු සම්බන්ධකරගත් විට මේ වරැද්ද ගැන විමසා හරිම තොරතුර මෙහි දාන්නම්.
ඔව් දයා... මේ ගීත විඳින්න ඒකෙන් කිසිම බාධාවක් නෑ! මට මේ ලිපිය මතක් වෙලා තමයි බැලුනේ නැවත මේක කියවගෙන යද්දි. මේක දැනගන්න සෝමපාල ලීලානන්දයන් හොඳම සාක්‍ෂිය.
Delete"ඈත රන් විමන්" ගීතය රචනාව ප්‍රේම් ගේ බව ප්‍රියා විසින්ම කියන නිසා ඒ තොරතුර නිවැරදි යයි මා විශ්වාස කරනවා.
ස්තුතියි!
දයා මෙම කලාකරුවන් දන්නා නිසා ලිපි තවත් රසවත් වෙලා බවයි මට හිතෙන්නේ. ඒ වගේම නොදන්නා තොරතුරු ගොඩක් ඔයාගේ මේ ලිපිවලින් දැනගන්නවා. මේ ඔක්කොම එකතු කරලා පොතක් කලොත් කොහොමද?
ReplyDeleteපොඩ්ඩි..
Deleteමේවා නොවුනත් ඉදිරියේ තවත් නිර්මාණාත්මක වෑයම් කීපයක් කරන්න බලාපොරොත්තවෙන් ඉන්නවා.අපි බලමු ඒක මොන ආකාරයෙන් වෙයිද කියලා.
ජෝති ලිපිය අද ද කියවීමි.ස්තුතියි...!
ReplyDeleteමල්සර මල් දුන්නේ ගීතය මගේ මතකයෙන් ගිලිහිලා තිබුණ එකක්..නැවත අසන්නට ලැබුණ එක සතුටුයි..
රෙහානි..
Deleteතවත් ඉදිරියේ අලුත් නැසු ගිත ගණනාවක් අහමු.
This comment has been removed by the author.
ReplyDeleteහරිම රසවත් සැඟවුන කතා. මේවා ඉතින් ඔබගෙන් හැර වෙන කාගෙන් දැනගන්නද
ReplyDeleteසයුරි...
Deleteමේවා මගේ නෙවෙයි මේවා පිළිබඳ ලියැවුණ පොත්පත්වල තියෙන දේවල් ස්තූතියි ඔබටත්
ස්තුතියි වෙනදා වගේම..
ReplyDeleteගොඩක් විස්තර දැනගත්තා..