එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Monday 2 June 2014

෴මේ දිවිය අතර මග කිම නතර කළේ මෙලෙසින්෴





                           

                             ෴ නිවුණු පහන්෴

ලංකාවෙ මාධ්‍ය කලාව තුළ සුවිශේෂ මෙහෙවරක් කළ සුවිශේෂ හැකියාවන් ගෙන් යුතු සහෘදයන් දෙනෛකුගේ අකල් සමුගැනීම් පසුගිය දා සටහන් විය. එක් ශෝක ජනක පුවතක් වාර්තාවී එහි උණුසුම පහව යන්නටත් කලින් අනෙක් අකල් වියෝව සටහන් විය. එක පෙළට එකම ආසන්නයේ සිදුවූ මේ මේ වියෝවන් දෙකම දරාගන්න අපහසුම වෙන්වීම් දෙකක් වුයේ ඔවුන් දෙදෙනාම කලාවට බෙහෙවින්ම ඇලුම් කළ සහෘදයන් දෙදෙනෙකු වූ නිසා ය . කලාවට වගේ ම මිනිස් කමටත් එකසේ  ආදරේ කරපු ඒ ආදරේ ගැන අපේ හදවත් අවදි කළ මේ අකල් සමුගැනීම් වලට තවමත් පසු තැවෙන්නට සිදුව ඇත්තේ  ඒ නිසා ය. සංජය සේනානායක සහ විපුල් ධර්මප්‍රිය ජයසේකර  මිනිස් හදවත් වලට ආදරේ කියාදුන්න, උගන්වපු සුන්දරම හදවත් දෙකක්. මේ දෙදෙනා ම  සමාන රේඛාවක අන්ත දෙකක් නියෝජනය කළ  දෙදෙනෙක්. සංජය  සහ විපුල් ගැන වෙන වෙනම කතා කළ යුතු වුණත් යළිත් කිසිම දාක ලියවෙන්නට නො හැකි මේ සුන්දරම හදවත් දෙක අද අස්වැන්න එකම තලයක බහා සටහන් කරන්නෙ මේ ප්‍රේමණිය චරිත දෙකෙන් අපට ඉගනගන්න බොහෝ දේ තියෙන නිසා.


සංජය ගැනත් විපුල් ගැනත්  අන්තර්ජාලයේත් පුවත් පත් ඔස්සේත්  බොහෝ දේ ලියැවුණා. විපුල් ගැන මා සුමිතුරු යසනාත් ධම්මික බණ්ඩාර හෘදයාංගම සටහනක් ලිව්ව යසනාත් සිතුවිලි ඔස්සේ. යසනාත් විපුල් ගැන සහ ඔහුගේ ගිත කලාව ඔහුගේ ගීත ඇසුරින් තැබූ සටහනට ඇතුළත් නොවූ විපුල් ලියූ ගීත කීපයක් සංජයත්, විපුල් වෙනුවෙනුත් ලියා තබන්න කල්පනා වුණේ ඒ නිසා.

අස්වැන්න ලියන මට කිසිම දවසක සංජය  හමුවෙලා නෑ.  ඒත් විපුල් ම‍ට සමීප බෙහෙවින්ම ළඟින් ඇසුරු කළ මිත්‍රයෙක්. ඒ වගේම  සංජය ඇසුරු කළ බොහෝ දෙනෙක් කීවේ හඳුනාගත යුතුම චරිතයක් මට මග හැරුනු බවයි. 

සංජය සේනානායක ලංකාවෙ ජනප්‍රිය සංස්කෘතිය තුළ ජනප්‍රිය නො වූ ඒත් කලා ක්ෂේත්‍රෙය් කෙනෙකුට එක එල්ලේ වටහා ගැනිමට නොහැකි අපූරු චරිතයක්. මීට මාස කිපයකට කලින්  අපෙන් සමුගත්  මානව හිමිකම් ක්‍රියාකාරිනියක සහ  සුවිශේෂ හැකියාවන්ගෙන් යුතුව කලා ක්ෂේත්‍රය නියෝජනය කළ කලාකාරිනියක වූ සුනිලා අබේසේකර සහ 71 කැරැල්ලේ  දේශපාලන ක්‍රියාකාරිකයකු වූ කේලි සේනානායකගේ පුතණුවන් ය. අම්මාගේ කලාව සහ සමාජ සේවාවාත් තාත්තාගේ දේශපාලනයේ හැඩරුවත් සංජයට පිහිටල තිබුණේ නිතැතින්ම. ඒත් සංජය කිසිම විටක තමන්ට ආලෝකය සැපයූ ඒ ප්‍රධාන ධාරාවන් ගෙන් එළිය ලැබුවත් ඔහු අනුගමනය කළේ ඒ ආලෝකවලින් මිදී තමන් නිවරදි යැයි හැඟෙන හිතුන දේ කරන  නිදහස් ජීවිතයකි. එසේම මාධ්‍ය ක්ෂේත්‍රය ඔහු හඳුනාගෙන තිබුණෙ නිදහස් මාධ්‍ය වේදියෙක් ලෙසිනි.

වීඩියෝ වාර්තා වැඩසටහන් ක්ෂේත්‍රයේ විශිෂ්ඨයකු වූ සංජය දෙස් විදෙස් ආයතන රැසක් සමග කටයුතු තිබුණි. සංජය සතු වූ තියුණු විචාරශීලීත්වය, ඕනෑම අභියෝගයකට මුහුණ දිමට තරම් වූ එඩිතර කමත්, කැමරාකරණයෙහි පෑ සුවිශේෂ හැකියාවත්  වැඩසටහන් සංස්කරණ කටයුතු වලදි දැක්වූ දක්ෂතාවයත් ඔහු සතු වූ බස හැසිර වීමේ චතුර බවත් නිසා  සංජය මාධ්‍ය ලෝකයේ සුවිෂේෂ චරිතයක් බවට පත්විය. වාර්තා චිත්‍රපට නිර්මානකරණයේ සියලූ අදියරයන්, විශිෂ්ට අන්දමින් තනිව නිම කළ හැකි තරුණ ශිල්පියකු පිළිබඳව ලංකාවෙන් හමුවන හොඳම ශිල්පීයත්වය දකින්නට ලැබෙන්නේ සංජයගෙනි.

අව්‍යාජ ගුණයත්, මිත්‍රත්වය හා අධීනත්වයත් ආත්මය කොටගත් සංජය, ඔහුගේ සමකාලීනයන් අතර ගෞරවයට පාත්‍ර වූවෙකි. මිනිස් වර්ගයා පෙළෙන බාහිර හා අභ්‍යන්තර අගතීන්ට එරෙහිව ඔහු සිය කෙටි කාලීන දිවිය තුළ ආකල්ප වලින්ද, පැවැත්මෙන්ද අරගල කළේය. සටන්කාමී බවෙන්ද නිරන්තරයෙන් ප්‍රති විරුද්ධ දිසාවෙන් හොඳමඅදහසක් ගොනු කර ගැනීමේඅපූර්ව හැකියාවෙන්ද යුක්ත විය.නිරන්තරයෙන් ගඟ ගලන්නේ එකම දිහාවකට වුවත් සජය ඊට ප්‍රතිවිරුද්ධ දෙසට උඩුගංබලා පිහිනන්නෙකු වන්නේ ඒ නිසාය.  

යන්ග් ඒෂියා ටෙලිවිෂන් ආයතනය සමග සිය වෘත්තීය මාධ්‍ය ජීවිතය ආරම්භ කළ සංජය ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයෙහි ආචාර්යවරයකු ලෙසත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනයේ මාධ්‍ය ඒකකයේ ප්‍රධානියා ලෙසත් කෙටි කලක් සේවය කළේ ය. රාමුගත ජීවිතයට අකමැති වූ ඔහු නිදහස් මාධ්‍යවේදියකු ලෙස කටයුතු කිරීමට වඩාත් ප්‍රිය කළේ ය. සංජය ගැලවුමක් නැති පිළිකා රෝගය වැළඳුන පසුව ඊට එරෙහිව අරගල කරන්නට නොගියේ ය. දිනෙන් දින තමා කරා ළංවූ මරණයේ සීතල බව උණුසුම් ලෙස ආදරෙයන් වැළඳ ගන්නට ඔහු බලා සිටියේ ය. ඒ සීතලම මොහොත ඉක්මනින් පැමිණීම අපේක්ෂවෙන් අවසන් සතියේ ඔහු සියලු ප්‍රතිකාර අත්හිටුවා මරණයට තමා කරා පැමිණෙන්නට දෑත දිගු කළේ ය. එම ප්‍රාර්ථනාව එලෙසින්ම ඉටු කරමින් මරණය ඔහු කරා පැමිණියේ ය. 

 සංජීව ආදරය කළේ මුස්ලිම් තරුණියකට ය. එහෙව් ආදරය මා දැක තිබුණේ ගීත සාහිත්‍යයේ පමණි. “රාමලාන් සඳ බලන්න එන්න පාතිමා” ප්‍රේමාරධනාවක් අප ගීතයෙන් අසා තිබුණත් එහි සත්‍යයක් සොයාගැනිම අසීරු විය. එහෙත් එවන් ගීයක රැඳුන සත්‍ය යථාර්ථය ඇසුරින්  සැබෑ නොවන ලෝකයේ සිතුවිලි සැබෑ කරන්නට තරම් සංජය ආදරණිය මිනිසකු බවට පත්විය. 

ජාතිවාදය ආගම්වාදය අවුලුවා තබන මිනිසුන් අතරේ සංජය මිනිසකු බවට පත්වන්නේ ඒ නිසා ය. මිනිසුන් අතර හොඳම මිනිසකු වන්නේ ඒ නිසා ය. සංජය මිනිසුන් අතර සැබෑ මිනිසකු වන්නේත්, ඔහු ඇසුරු කල අය අතර තේරුම් ගැනිමට අපහසුම චරිතයක් වන්නේත් ඒ නිසා ය. ඒ සංජගේ පිළිවෙත ය. සංජය පිළිකාවකින් පෙළෙන විට ඔහුගේ රෝගී බව දැන දැනම ඔහුගේ ආරක්ෂකයා වෙමින් බැඳි පෙම අත නොහැර ඔහු අතගෙන ඇය වැට කඩොලු බිඳ දමා ඔහු වෙත පැමිණ සිටියා ය. අපට අහිමි වූයේ එවන්  සොඳුරු හදවතක් ඇත්තෙකි. සංජයගේ ඒ උතුම් ආදරය සැබැවින්ම ගීයකි. සංජය ගීත කලාවට සම්බන්ධ නො වූවත්  විපුල් සිය ආත්මය කොටගත් ගීතයෙන් එවන් වූ දරිද්‍ර එසේත් නැත්නම් කටුක යථාර්ථයෙත්, ආදරයේත් බැඳිම විපුල් ගීතයෙන් අපට කියන්නේ මේ අයුරිනි.

 පෙළට රිය පෙරහැර මඟ නැත
දොරින් දොරට සැරසිලි හැඩ වැඩ නැත
හැඩට රුවට සළු පිළිද නැතේ  මට
එනමුදු අද ඔබෙ මනමාලිය මම

තුඩින් තුඩට ආසිරි ගී පද නැත
ඇතෙක් බරට දායාදය මට නැත
බුලත් හුරුලු දී අවසර ගෙන නැත
එනමුදු අද ඔබෙ මනමාලිය මම

නිමල සිතින් හද නො මළ පැතුම් ගෙන
රන් රස සිතුවිලි ඇත සිත සතුටට
නෙත් සිත් දහසක් නැතුවට වටකොට
ඔබ අතගෙන එමි සසර පුරුද්දට

ගී පද මාලාව: විපුල් ධර්මප්‍රිය ජයසේකර
සංගීතය: එච්.එම්.ජයවර්ධන
ගැයුම: විශාරද මාලනී බුලත් සිංහල




විපුල්  ධර්මප්‍රිය ජයසේකර මට හඳුන ගන්න ලැබුණ දිගුකාලීන මිතුරෙක්. කලා ලෝකයේ හමුවෙන දුර්ලභ චරිතයක්. ක්ෂේත්‍රෙයේ කලාකරුවකුගේ නිර්මාණ එළිදැක්විමක් පුවත් පත් සාකාච්ඡාවක් එහෙමත් නැත්නම් මුහුරත් උළෙලක්, දොරට වැඩුමක් තිබුනේ නම් විපුල් එතැන සිටියේ ය. එයින් නොනැවතී ඇතැම් විට එම වැඩ සටහනේ සම්බන්ධීකරන කටයුත්ත හෝ ප්‍රචාරක කටයුත්ත  බාරගන්නේ විපුල් ය. ඒ නිසා ම විපුල්ට හොඳ මාධ්‍ය සම්බන්ධයක් තිබුණි. ඕනැම මාධ්‍ය ආයතනයකින් යම් දෙයක් කරවා ගැනීමට තරම් හැකියාවක් විපුල්ට තිබුණි. ඒ නිසාම විපුල්ට හොඳ මිතුරු සේනාවක් සිටියේය.

විපුල් ගුවන් විදුලියට ගොඩවන්නේ ඉර ඇහැරෙන්න කලියෙනි. ආයෙත් ආපසු නිවසට යන්නේ  තරු නිදා වැටෙන හෝරාවේ දීය . විපුල්ට දවසට පැය විසි හතරකට වඩා තිබුණා යැයි හැඟෙන්නේ දවසේ කල කී දේ මොනවාද කියා සොයා බලන විට ය.
කතා නොකර අඳුරේ යන නොපෙනී
තරු කැකුලක් සේ ඔබ ඇයි නයනී
මහද මල් විලේ තනියට නොරැඳී
කොයිබ ඇදෙනවද ගමනින් හදිසී

සිතුවිල්ලක් වී ඔබ කැළඹෙයි මා සිත මත්තේ
හසරැල්ලක් වී රඟදෙයි ඔබ මා මුව මඬලේ
නෙතු කැල්මක් වී සැඟවෙයි ඔබ මා නෙතු අතරේ
කඳුළැල්ලක් වී වැළපෙයි ඔබ මා හද මැදුරේ

අතුපතරේ හිඳිමින් පෙම් ගී ගයනා විහඟුන්
අපටද ඒ ඔච්චම් කර රඟන්නෙ රැඟුමන්
ඔබ සිතන පරිදි සෙනෙහෙ මගේ නොකරමි සරදම්
මංදා තව අදහන්නට බැරි දෝ සිත මනරම්

ගී පද මාලාව: විපුල් ධර්මප්‍රිය ජයසේකර
සංගීතය: විශාරද ගුණදාස කපුගේ
ගැයුම: බණ්ඩාර අතාවුද



1992 පමණ වන විට සහන නිවේදකයෙකු වශයෙන් ගුවන් විදුලියට පා තබන  විට විපුල් පත්තර කලාව නිසා සාහිත්‍යමය දැනුමෙන් පෝෂණය වූ මිනිසකුව සිටියේ ය. ඒ නිසා ම ගුවන් විදුලි මැදිරියේ දී බස හැසිරවිම ඔහුට අපහසු නොවී ය. නිරන්තර පොත පත කියවීම,  මාධ්‍ය ක්ෂේත්‍රයේ ලැබූ අත්දැකීම් සහ මනා පරිචයන් ගුවන් විදුලි මැදිරිය තුළදී විපුල්ට වටිනා මෙවලම් විය. මැදිරියේ ගතකරන හෝරා කීපය විපුල්ගේ පරිණත හඬ විසි දෙවසරක් පුරා ලොව  පුරා විසිර ගියේ එපරිද්දෙනි. විපුල් ලෝබ නැතුව ශිල්පීන්ගේ නිර්මාණ වලට මුල්තැන දුන්නේ ය. ගුවන් විදුලියේ එවකට හිටපු දැවැන්තයන් බඳු බණ්ඩාර කේ විජේතුංග, ප්‍රේමකීර්ති ද අල්විස්, කේ.ඩී.කේ. ධර්මවර්ධන  වැනි ජ්‍යෙෂ්ඨ නිවේදකයන්ගේ රුව ගුණ සේ ම බහ හැසිරවීම ද වාග් කෞෂල්‍යය ද නො අඩුව ම විපුල්ට තිබුණි. විපුල් පරිණත නිවේදකයෙකු වන්නේ ඒ අයුරිනි.

විපුල්ගේ ගීත අපට ඇසෙන්නට පටන් ගන්නේ අසූව දශකයේ අග භාගයේ දී ය. ඒ අපි අපේ පාසල් සමයේ 10- 12 පන්තිවල ඉගනුම ලබන සමයේ ය. ආරම්භක යුගයේ විපුල් ලියූ ගීත ඇසෙන්නට පටන් ගත්තේ තරුණ සේවා සභාවට සම්බන්ධ වූ ශිල්පීන්ගේ හ‍ඬෙනි. ෂර්ලි වෛජයන්ත ගුණසිංහ, චන්ද්‍රසේන හෙටිටිආරච්චි, චන්ද්‍රලේඛා පෙරේරා, ශාලිත අබේවික්‍රමගේ ගීත පෝෂණය වූයේ විපුල්ගේ ගීතවලිනි. “සුළ‍ඟේ ලෙලෙනා මල් සේ දඟපා”  විපුල්ගේ පළමු පද රචනය විපුල් මෙන්ම ශාලිතද රටම හඳුනාගන්නට සමත් වූ මුල්ම ගීත නිර්මාණ වෙද්දී  අනතුරුව විපුල් අතින් ලියවුණ දූ පුතුනේ රට අපේය (ශාලිත අබේවික්‍රම) අහස් ගැබේ තරු කැට ගානේ ( චරිතා ප්‍රියදර්ශනී) දෙගුරුන් සතුටට ( චන්දන ලියනආරච්චි) කඳුළැල්කින් (චන්ද්‍රෙස්න හෙටිටආරච්චි) සිහිනෙන් පවා (ෂර්ලි වෛජයන්ත) අසරණ සිතකට (සෝමසිරි මැදගෙදර)සේම සනත් නන්දසිරි, එඩ්වඩ් ජයකොඩි, රෝහන් ශාන්ත බුලේගොඩ ආදී ශිල්පින්  දී ගීත එක පෙළට අතිශය ජනප්‍රිය වූ ගීතයන් ය. ඔහුගේ ගීතයට වස්තු විෂය වූයේ ප්‍රේමය ආදරය වැනි සුන්දරම මාතෘකාවන් ය. ඒ නිසා ම ඒ හැම ගීයක ම ආදරය ප්‍රේමය නො අඩුව ම පිරී තිබුණි. ඉඳහිට ලියන එවන් එකක් දෙකක් වූ ගී පද රචනා විපුල් මහා මිනිසකු බවට පත්කර තිබුණි. සියයකට ආසන්න ගීත ප්‍රමාණයක් ලියා තිබූ  විපුල් ටෙලි නාට්‍ය කීපයකම ගීත රචනා කර තිබූ අතර “රළ බිඳුම” ටෙලි නාට්‍යයට තරුපති මුණසිංහගේ සංගීතයට  දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ගැයූ “සඳ කුමක් කරන්නදෝ සඳ කඩා වැටී සිටියා‍” විපුල්ගේ  තේමා ගී රචනයේ සුවිශේෂ අවස්ථාවකි. ඒ ගීතය 2008 හෝ 2009 වසරේ රයිගම් ටෙලි සම්මාන උළෙලේ හොදම තේමා ගී රචනයට නිර්දේශව තිබිය දී අවසන් මොහොතේ තමන්ට හිමි සම්මානය ගිලිහී යාම එක මොහොතක විපුල්ගේ හිත රිදවූ අවස්ථාවකි.

අනෙක් අතට විපුල් පිළිබද මතකය අවදි කරන විට මතුව පෙනෙන එහෙත් බොහෝ දෙනෙකුට නොපෙනන ඔහුගේ තවත් හැකියාවක් වූයේ ඔහු ලේඛණ කලාවේ පෑ දස්කම් ය.  80 දශකයේ මැද භාගයේ බන්ධුල පද්මකුමාර, ප්‍රදීප් කුමාර බාලසූරිය වැනි ලේඛකයන් සමග එක්ව කුමරි පුවත්පතේ විශේෂාංග ලේඛකයෙකු වශයෙන් ඇරඹි පුවත් පත් ලේඛණ කලාව පසු කාලයේ වාර ප්‍රකාශන සහ සඟරා  දක්වා විහිදුනි.

තාරකා කැළුම් පරදන නීල ඔබෙ නුවන් යුග මත
පා වෙලා ගියාට ආදරේ
පීදිලා හැඟුම් පුබුදන කුසුම හා සුවඳ විලසට
යා වෙලා රැඳේද ආදරේ

ජීවිතේ පුරා දිවුරන සාගරේ තරම් සෙනෙහස
සුන්වෙලාම තැවෙන ලෝකයේ
කාසි බොල් සිනා විසිරෙන ප්‍රේම විජිතයේ සිතු ලෙස
රාම කුමරු වෙමිද මම කෙසේ

හමුවෙලා ඇදී දුර ගිය ස්නේහයේ මහා දිය කඳ
වියලිලාම යාවිදෝ සිතේ
තෑගි විලස කඳුළු ගෙනෙන නේක විසැති මිනිසුන් මැද
මන්ද්‍රි දේවි වනුද ඔබ කෙසේ

ගී පද මාලාව: විපුල් ධර්මප්‍රිය ජයසේකර
සංගීතය සහ ගැයුම විශාරද ගුණදාස කපුගේ



විපුල් එකිනෙකට වෙනස් ක්ෂේත්‍රවල කලා කටයුතු වල නිරත වෙද්දී නිහාල් සිල්වාගේ “සාජන්ට් නල්ල තම්බි” වේදිකා නාට්‍යයේ වේශ නිරූපණ ශිල්පියා වශයෛන් කටයුතු කළ සමය  විපුල්ගේ ජීවිතයේ සුන්දරම අවදිය වන්නට ඇත. නිහාල් සිල්වා සමග “සාජන්ට් නල්ලතම්බි” රැගෙන රටවටා යන ගමනේ ඇතැම් දිනවල මාසයකට වරක් ගෙදර එන්නට සිදූවූ වේශ නිරූපණ ශිල්පියෙක් වූ හැටි විපුල් බොහෝ අවස්ථාවල මා සමග කීවේඑහි රැඳුණ රසමුසු සිද්ධීන්ද සමග ය. අනතුරුව ඊට පසු කාලයේ චිත්‍රපට ක්ෂේත්‍රටයටද  වේශ නිරූපණ ශිල්පියකු ලෙස සම්බන්ධවී බිනරි සහ සුදු බණ්ඩා චිත්‍රපටයේ වේශ නිරූපණ කටයුතු කළේ ය.

නිවේදක වෘත්තිය හා වේශ නිරූපණ කලාව ද, පුවත් පත් කලාවට ද එක සේ ප්‍රිය කළ විපුල් පිටපත් රචකයෙකු පසුබිම් හඬ කැවීමේ ශිල්යෙකු ලෙසද ස්ථාන ගතවිය.  අතුල මහවලගේ සමග සම්බන්ධවී දිගුකාලයක් ප්‍රචාරණ කටයුතුවලටද දායකත්වය සපයන විපුල් අතින් ලියැවුණ වෙළඳ දැන්වීම් ගණන අති විශාලය. නෙස්ලේ සමාගමේ විශාල දැන්වීම් ප්‍රමාණයක පිටපත් ලියැවෙන්නේ විපුල් අතිනි. වචන සිය ගනනක් යොදා ප්‍රකාශ කළ හැකි අදහසක් වචන දෙක තුනකට හසුකරගන්නට විපුල්ට කදිම හැකියාවක් තිබුණි. “බලය -ශක්තිය- ජවය- නෙස්ටමෝල්ට්” මේ මෑත කාලයේ ඔහු‍ නිර්මාණය කළ දැන්වීම් ය.

ඒ ආකාරයෙන් විවිධ කටයතුවලදී මාධ්‍ය ක්ෂේත්‍රයට සිය දක්ෂතා පෙන්වන ඔහු  පසු කාලයේ ජනමාධ්‍ය පාඨමාලාවලදී බාහිර දේශකයකු ලෙස කටයුතු කරමින් වැඩමුලුවලට සහභාගී වෙමින් ලෝබ නැතුව තවත් නව පරපුරකට අත්වැල සැපයී ය. කලා ක්ෂේත්‍රයේ හිත මිතුරන්ගේ නිර්මාණ එළි දැක්වීම් කටයුතු වල මෙහෙයුම් කටයුතු තිරය පිටුපස සිට කරමින් නිහඬව යුතුකම් ඉටු කළේය.


ඒ නිසාම විපුල්ට ක්ෂේත්‍රයේ හිතමිතුරු පිරිවරක් සිටියේය. මීට වසර කීපයකට කලින් විපුල් සිය ගීත නිර්මාණ එකතුවක් ලෙස “සඟවන්න එපා හසරැල්” ගිත එකතුව එළි දැක්වූ දා කොළඔ 07 බෞද්ධාලෝක මාවතේ පිහිටි සුදර්ශියේ නුග ගහ යටට එකතුවූ පිරිවර සේනාව මා දුටු විපුල්ගේ මිත්‍ර සම්බන්ධතාවයේ අග්‍ර ඵලයයි. එය ඔහුගේ ජීවිතයේ ප්‍රීතිමත්ම දිනය වන්නට ඇත්තේ තමා වටා සිටි මිතුරු සමූහයේ සියලු දෙනාම ඔහු දෑස් අබියස එදා හැන්දෑවේ සුදර්ශියේ හමුවීම ය.  එදා මැදියම ඉක්මවා යන තෙක් මිතුරු පිරිවර සමග සතුටු සාදයේ ගිලී සිටියේ ය. ජීවිතයේ එකම එකවතාවක් සිය මිතුරු සේනාව එකවර හමු වූ ඒ මිතුරු සමූහය ඔහු බලන්නට යළිත් කලාභවනටත් බොරැල්ල කනත්තටත් ආවේ ඒ අවසන් සැඳෑවේදී ය. ඒ වන විටත් විපුල් සිටියේ සදාතනික සුව නින්දේ ය. ඒත් ඒ  බව කිසිවකුටත් නොහැඟුනේ අප අතැර ඔහු නික්ම ගොස් ඇති බව අප කිසිවකුත් විශ්වාස නොකළ නිසා ය.

සිය මිතුරන්ගේ නිර්මාණ  වෙනුවෙන් බොහෝ සේ උනන්දු වූ විපුල් තමා තුළ සැඟව ඇති රකුසා  නොදුටුවේ ය. මීට මාස කිපයකට පෙර පසුගිය පබෙරවාරි මාසයේ 23 වෙනිදා 50 වන වියට විපුල් පා තබන විට  පරිසමාප්ත අරුතින්ම නිර්මානකරණයේ නියැලෙන, නිර්මාණ කරණයේ යෙදෙන නිර්මාණ කරුවක් ලෙසත්,  මිතුරන් අතර හිත හොඳ අවංක මිතුරක් ලෙසත්  රැඳී සිටියේ ය.

විපුල්ගේ දියණියද පුතණුවන්ද විපුල්ගේ අඩිපාරේ යමින් බාල වියේ සිට ම කලා කටයුතුවල නිරත වෙයි. දියණිය නිම්නාවි රූපවාහිනී ටෙලිනාට්‍ය වල හඬ කැවීම් ශිල්පිණියක ලෙස කොරියානු ටෙලිනාට්‍ය මාලා ඔස්සේ  අපට හමුවිය. සුපුල් සස්මිත පුතණුවන් ද එලෙසම රූපවාහිනී ටෙලිනාට්‍යවල හඬ කැවීම් ශිල්පියෙකු ලෙස කොරියානු ටෙලිනාට්‍ය මාලාවල අපට හමුවේ. දෙදෙනාම නිවේදක කටයුතුවලද නියැලෙයි. ඒ සිය පියා ඔවුන් දෙදෙනාට කියා දුන් දේය. ඉතිරි කර තබා ගිය වස්තූන් ය. 

මීවිතක් තොළ ගාන මොහොතක අප සමගම එකටම එක මේසයේ හිදිමින්  ජීවිතේ කිසිම දිනෙක් මීවිතක් හෝ සිගරැට්ටුවක් තොළ නොගෑ විපුල් අපට අහිමිවන්නේ ඒ අයුරිනි. මේ දිවිය අතර මගකින් මග නතර නොකොට හිනැහෙන් කියා විපුල් ලීවේ අපට ය. ඒත් ඔහු සොඳුරු දිවි සැරිය   අතර මග නතර කර දැම්මේ ය.

සඟවන්න එපා හසරැල්
දල්වන්න එපා ගිනිදැල්
ඔබම කෙරේ සිත බැඳුන දිනේ සිට
මගෙම හැඟෙයි ඔබ නම්

සඳ එළිය වගේ ඇවිදින්
හද නොපැතු දිනෙක රහසින්
බැස නොයන් ම සිත් අහසින්
අත පොවනු නොහැකි දුරකින්

සිලි සිලිය පවා සුළඟින්
තනි මැකුවෙ ඔබේ සුවඳින්
මේ  දිවිය අතර මගකින්
මග නතර නොකොට හිනැහෙන්

ගී පද මාලාව: විපුල් ධර්මප්‍රිය ජයසේකර
සංගීතය: එච්.එම්.ජයවර්ධන
ගැයුම: කරුණාරත්න දිවුල්ගනේ

              

ජීවිතය යනු දැල්වෙන පහන් සිලකි. එයින්  ලෝකයට ආලෝකය විහිදුවයි. එයින් තවත් කෙනෙකුගේ සිත් පහන් දැල්විය හැකි ය. ඕනෑම නිර්මානකරුවකුගේ දුර්ලභ වාසානා ගුණය එයයි. එසේ වූ පහන් සිලක් නිවී යන ක්‍රම හතරක් බුද්ධ දේශනාවේ සඳහන් වේ. පහනේ තෙලුත් තිරයත් අවසන් වී පහන් සිල නිවීයාම, පහනේ තෙල්  සහ තිරය තිබියදීම සිල නිවී යාම, පහනේ තෙල් තිබියදී තිරය අවසන් වී  පහන් සිල නිවී යාම සහ පහනේ තිරය තිබියදී තෙල් අවසන් වීම යන ක්‍රම වලින් පහන නිවෙන්නේ යම් සේද මෙලොව උපන් කෙනෙකුගේ ජීවිතයද කිනම් මොහොතක හෝ ලෝකයට ආලෝකය සපයා නිවී යා හැකි පහන් දැල්ලක් වන්නේ එපරිද්දෙනි.

 සංජය මෙන්ම විපුල්ද ලංකාවේ කලා ලෝකය ඒකාලෝක කරමින් නිවී ගියේ එකී පහනේ තෙල්  සහ තිරය යන දෙකම මනාව තිබියදී පහන්  සිල නිවී ගිය පරිද්දෙනි.
සංජය මෙන්ම විපුල්ද ජීවත්ව සිටි කෙටි කාලය තුළ කිසිවකුගේත් හදවතට ඇටෑක් නොකළ චරිත දෙකකි. සංජයට පිළිකාව සේම විපුල්ගේ සුන්දරම හදවතට ඇටෑක් කළේ මාරයා විසිනි. සංජයගේ හෝ විපුල්ගේ හදවතට නොදැනුන ඒ හාට් ඇටෑක් එක තව දුරටත් අප හදවත රිදවන්නේ  ඒ නිසා ය.ඒ වියෝව අපට අපේ හදවත්වලට  රිදවන්නේ ඒ නිසා ය.  සංජය මෙන්ම විපුල්ද කිසිදාක අප මතකයෙන් බැහැරව නොයන්නේ ද ඒ නිසා ය.෴

6 comments:

  1. /////සංජයගේ හෝ විපුල්ගේ හදවතට නොදැනුන ඒ හාට් ඇටෑක් එක තව දුරටත් අප හදවත රිදවන්නේ ඒ නිසා ය.ඒ වියෝව අපට අපේ හදවත්වලට රිදවන්නේ ඒ නිසා ය.///// ඇත්තදයා..... විපුල් වැනි මිනිසුන් විෂයයෙහි ඒ රිදුම තවත් වැඩියි..
    විපුල් සහ සංජය පිළිබඳ ඔබේ මේ සටහන බොහෝමත්ම අගේ ඇති එකක්. හිතැත්තන් ගැන සමහර විට අපට කතා කරන්න වෙන්නේ ඔවුන්ගේ වියෝවෙන් පසුවයි. අප වටා ඇති සියළු සමාජආර්ථික කරුණු අපව වෙලා සිටින්නේ ඒ විදිහට එදා වේල සඳහා ජීවත්වන්නට සටන් කරන්නට විතරක් ඉඩ සැලසෙන පිරිදියි. කල්පනා කරණ විට අප බෙහෙවින් ඇළුම් කරණ විවිධ කලා මාද්‍යයන් පිළිබඳවද, වෙනත් සමාජ ආර්ථික සහ දේශපාලන ක්ෂේත්‍ර පිළිබඳවද උනන්දුවක් දැක්වීමට තරම් නිදහසක්තිබුණේ පාසැල් අවදියේ සහ සරසවි අද්‍යාපනය ලැබූ කාලයේ පමණයි. දැන් අපිත් අර ප්‍රවාහයේම ගොදුරු බවට පත් වෙලා. එහෙම ඉන්න අතරේ ඉන් ගොඩ එන්න යම් අරගලයක් කරන පිරිසක් බවට පත්වෙලා.මේ නිසා අන් හැම දේටම සේම සමහර විට මිතුරු හමුවකටවත් අවස්ථාවක් නැති තරම්. ඒ නිසාම සමහර විට ජීවත්ව සිටියදී කිව යුතු කතා කියන්න වෙන්නේ ජීවිතයෙන් සමු ගත් විට..... කලකිරීමක් හිතේ තියෙන්නේ....

    ReplyDelete
  2. කලාගාරයේ විපුල් නිසලව සැතපිලා ඉන්න වෙලාවෙ ඔහු ලියූ ගීත නිස්කලංක වේදනාත්මක වටපිටාව අතරින් සැනසුම් සුසුමක් වගේ ගලාගෙන ගීයා... කලාකරුවන් අමරණීයයි කියල මර්සලින් ජයකොඩි පියතුමා කිව්වෙ විජයගෙ අවමංගල්‍යය වෙලාවෙදි නේද? ඒ කතාව ඇත්ත... මිනිසුන්ගේ හදවතට දැනෙන නිර්මාණ කළ කලාකරුවො අමරණීයයි.....

    මරණය ගැන පහුවුණු දවස්වල අපූරු අත්දැකීම් කිහිපයකට මුහුණ දෙන්න ලැබුණා... මරණය සැනසුමක් විදියට භාර ගත් මිනිසුන් හමුවුණා.... ඒ ගැන ලියන්න ඕන....

    දයා අයියත් එක්ක මරණයේ දොරටුවෙන් නික්ම ගිය මිනිසුන් ගැන කළ කතා බහේදි ලියන්න කියල ඉල්ලීමකුත් කළානෙ....

    ReplyDelete
  3. ශාලිත ගැයූ විපුල් පද ලියූ පිපුනු මලක හැඩ දෑස සලා ගීය බ්ලොග් අවකාශයේ බොහෝ සේ කතා කෙරුනු ගීයක්..
    ස්තුතියි දයා සටහනට..
    මේ කලා කරුවන් කිසි දිනෙක අප හදවත් වලින් ඈත් නොවනු ඇත...

    ReplyDelete
  4. අපි දැනගන හිටියේ විපුල් ගී පද රචකයෙක් කියල විතරක් උනාට ඔහු බොහෝ ක්ෂේත්‍ර ගනනාවකම දස්කම් පාපු කෙනෙක් බව දැනගත්තේ මිය ගියාට පසුවයි . මෙවැනි සොඳුරු කලාකරුවන් මෙතරම් ඉක්මනින් ජීවිතෙන් සමුගැනීම හරිම කනගාටුදායකයි . එවගේම විපුල් ධර්මයටත් ඉතාම ලැදි කෙනෙක් බව අසන්න ලැබුනා .

    ReplyDelete
  5. මේ කලා කරුවන් දෙදෙනා ගැනම මම දැන ගත්තේ අද.. සුළගේ ලෙලෙනා,සඟවන්න එපා හසරැල් ගීත අනන්ත වාරයක් අහල තිබ්බට ඒවායේ පද රචකයින් ගැන උනන්දු වී ඒ මිනිසුන් කල කී දා ගැන සොයා නොබැලීම ගැන අද ඇත්තටම දුක හිතුනා..

    ඔබේ මේ සටහන නොවන්නට කවදාවත් අපි වගේ අය ඔවුන් ගැන දැන නොගන්නට ඉඩ තිබුනා. දෙදෙනාටම නිවන් සුව පතමි.

    ReplyDelete
  6. විපුල් මහත්මයාගේ නිර්මාණ නම් අනන්තවත් රස විඳ තිබෙනවා..ඒත් මේ වියෝව ගැන දැනගෙන උන්නේ නැහැ..ඔහුගේ වියෝව ගැන කියා තිබෙන පටන් ගැනම දුටුවිට මට අදහාගන්නට බැරිවුණා..නැවත නැවතත් බැලුවමයි විශ්වාස කලේ..අනුවේදනීය සටහනක්..මෙවන් දක්ෂයන් වේලාසනින් නික්මීම දුකක්..ඒත් ඒ වසර 50 තුළ ඔහු බිහි කළ නිර්මාණ තුල ඒ ජීවන සුවඳ හැමදාටම පවතීවි..ඔබ දෙදෙනාට නිවන් සුව!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...