එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Monday 19 March 2012

෴ වසන්තය කියන්නේ ඔබටයි මටයි ෴


(අබේවර්ධන බාලසුරිය පිළිබඳ මතයේ තෙවන දිග හැරුම)

 සිංහල සාහිත්‍යයේ දී භාෂා අලංකරණය සඳහා යොදා ගන්නා පද වර්ග තිබේ. ඒ අතර යුගල පදවලට හිමිවන්නේ විශේෂ තැනකි. ඇතැම් යුගල පද භාවිතා වන ස්ථානය අනුව විශාල අරුතක් ජනිත කරවයි. ඇතැම් අවස්ථාවන්හි පුද්ගල නාම පද දිගු කාලයක් භාවිතයේ යෙදිම නිසා ම  ඒ වචන හුරු වු පසු ඉබේටම මෙන් යුගල පද සෑදේ. " අබේ නිරංජලා" යැයි කියූ විට ම  සැසඳෙන්නේ ද එවන් වූ යුගල පදයක් ලෙසට ය.  සිංහල සංගිත ක්ෂේත්‍රයේ සැදුන හොඳ ම සහ ලස්සන ම යුගල පදය " අබේ නිරංජලා" යන්න යැයි  මට සිතේ.

අබේවර්ධන බාලසූරිය  ගැයූ ගී පිළිබඳව නැවත ඔහුගේ ම ගී තුළින් ඒ ගී මංපෙත සොයා දිග හැර  බලන "අස්වැන්න" තුන්වන වියමනෙන් “අබේ නිරංජලා” ගැයූ යුග ගී පිළිබඳවත් ඒ ඔස්සේ අතීත මතක ආවර්ජනයන් කරා යළි ඔබ කැඳවමි.

අබේ පිළිබඳව අස්වැන්න වියමන මගින් මා පූර්වයෙහි කළ සටහන් මගින් නිරංජලා හෝ ඇයගේ  ගී පිළිබඳව කිසිඳු සටහනක් නො කළේ  මන්දැයි ඔබට ද සිතෙන්නට ඇත. අබේවර්ධන බාලසූරිය ගැයූ ගීත අතරට ඇය ගැයූ ගීයක් දෙකක් අමුණනවාට වඩා  අබේ ගැයූ ගීතාවලියෙහි ඔහු ගැයූ  යුග ගී ඇසුරින් “ අබේ නිරංජලා” ගැයූ යුග ගී පිළිබදව වෙන ම සටහනක් තැබීම වඩාත් සුදුසු යැයි මට සිතුණි.

අබේවර්ධන බාලසූරිය මෙන් ම නිරංජලා සරෝජිනී ද සිංහල  ගී කෙතේ ගී උල්පත්වලින් සිසිල දී ගැලු දිය දහරක් වන් ගී සමුදායක්  ඇයගේ ගි අතරට එකතුකර ගත්තා ය.  අබේ ගැයූ ගී පිළිබඳව සදහන් කරන විට නිරංජලා ගැයූ ගි පිළිබඳව සඳහන් නො කර කිසිවකුටත් එයින් පළා යා නො හැක. මන්ද අබේවර්ධන බාලසූරිය  මෙන්ම නිරංජලා සරෝජිනී ද ඒ ගී ඇසු රසික මනසේ  සදා නවාතැන් ගෙන සිටින බැවිනි.

එසේ වුවද නිරංජලා සරෝජිනී නම් වූ අපගේ ප්‍රවීන ගායන වේදිනිය තනිවම ගැයූ ඒකල ගී පිලිබඳව මා මෙහි සඳහන් නො කරන්නේ  සිංහල ගීත සාහිත්‍යයට ඇ ලබා දුන් දායකත්වය කෙබඳු ද යන්න  ඉදිරියේ දී “අස්වැන්න” තුළින් මෙ වැනි ම ලිපි පෙළක් නිරංජලා සරෝජිනී ගායන ශිල්පිණිය වෙනුවෙන් වෙන් කිරීමට සූදානම්ව සිටින බැවිනි. ඒ නිසා අබේ ගැයූ ගී අතරට ඇය ගැයූ ඒකල ගී පිලිබඳව කෙටියෙන් සඳහන් කර සිංහල ගී කෙතේ ඇයගේ සංගීතම ය භූමිකාව ලඝු කොට සැළකිමට මගේ රසික මනසේ ඇති  බලවත් අකමැත්ත යි.

එසේ හෙයින් නිරංජලා සරෝජිනී ගැයු  ගිත පිළිබඳව ඉදිරියේ දී වෙන ම ලිපි කීපයක්  දිග හැරෙන බව ඇයගේ ගිත ඇසිමට කැමැති රසික සහෘද ඔබට මෙහිලා සඳහන් කරමි.

අබේවර්ධන බාලසූරිය ගැයූ යුග ගීත ද  ඔහුගේ ඒකල ගී  සේ ම අතිශය රමණිය ය, සුන්දර ය, ඔහු ගැයු ඒ යුග ගීත ද එකින් එක ගත් කල මුතු පොටක අමුණා ඇති ‍මුතු සේ බබලයි.  ඒ සැම ගීයක් ම  ඔහුගේ ගී හඬ ඇති ප්‍රභාමත් බව  ප්‍රභාවත් කරයි. එසේ අබේ ගැයු යුග ගී කීපයක්  මෙසේ සිහිකරමි. ඒ අතර,

ඔබ මට මල් කැකුළකි -  නන්දා මාලිනී  / රෑ පැල් රකින - ත්‍යාගා එන් එඩිවඩ් / බොඳ මිදුම් කඳු රැල්ලේ -  සුජාතා අත්තනායක / වැලි බත් ඉවුවා - ඉන්ද්‍රාණි පෙරේරා / නො හඬන් සූරිය කාන්තා - ඉන්ද්‍රාණි බෝගොඩ / ගෝනි කරෙන් ගෙන - චන්ද්‍රිකා සිරිවර්ධන / ඉපනැල්ලේ වී අහුලන - නීලා වික්‍රමසිංහ / විජිනි පතින් පවන් සලන - මාලිනී බුලත්සිංහල/ බලාපොරත්තුව අපට තියේ - නිරංජලා සහ මාලිනී බුලත්සිංහල...  ආදී බොහෝ සේ ජනප්‍රියත්වයට  පත් වූ ගිත රැසක් ඒ යුග ගී අතර වේ.

මේ සියළුම ගීත අතරින් මා තෝරා ගත්තේ අබේවර්ධන බාලසූරියගේ ගායන දිවියේත්, පෞද්ගලික දිවියේත් රුවන් මුවා අත්වැල සැපයු නිරංජලා සරෝජිනී නම් වූ අපගේ ප්‍රවීන ගායන වේදිනිය  සමග ගැයූ විශාල යුග ගීත රැසක් අතරින් තෝරාගත් ගීත කිපයක් පමණි.

ආදරය සහ ප්‍රේමය පිළිබඳව නිතර ඇසෙන ප්‍රේම ගීත අතර “අබේ නිරංජලා” ගැයූ ප්‍රේම ගීත දශක තුන හතරකට වඩා වැඩි කාලයක් ජනාදරයට පත්ව ඇත. අතැම් විට ඒ ප්‍රේම වෘත්තාන්ත පිළිබඳව හොඳින් දැන සිටි එකල හිත මිතුරු ගීත රචකයෝ ඒ ප්‍රේම වෘත්තාන්ත ඇසුරින් සිය නිර්මානාත්මක ගේය පද රචනා බිහි කළහ. එසේ ලියැවුණු, ගැයුණු ගීත අතර “අබේ නිරංජලාගේ” ආදර විජිතය සැරසෙන්නේ ද ආදර යුග ගී ඇසුරිනි.  ඒ සදාතනික ආදරය  අබේ නිරංජලා යුවල ගීය තුළ රැන්දූ හැටි  ආනන්ද ජනකය. ඊට හොඳ ම නිදසුන ලෙස මතු දැක්වෙන ගී අසන්න, විඳින්න. සිය පෞද්ගලික ජීවන අත්දැකීම ඉක්මවා ආදරය සදාතනික වන හැටිත් එය සදාතනික ආදර ගියක් වන හැටිත් විඳින්න. මේ අබේ නිරංජලාගේ පෞද්ගලික පෙම් පුවත නොවේ.  අප සියළු දෙනා ලබන්නට කැමති, සදාකල්හිම විඳින්නට කැමති ආදරය මේ නොවේද?  මේ ගීය අබේ නිරංජලා ගැයූ පළමු යුග ගිය වගේ ම නිරංජලා සරෝජීනියගේ පළමු  ගීය ද මෙය යි.

+          කවුද ආවේ කවුද ආවේ
-           ඔබට හොරා ඔබ හදේ ඇඳී උන්
             මිනිස් රුවයි ආවේ

+       මිනිස් හඬක් නැති මහ මැදුරක් විය
          තනි මිනිසකු වසනා
-        පාලු මකන්නට ඒ මහ මැදුරට
          ආවෙමි දුර ඉඳලා

+       සදා නො දැල්වෙන මිණි පහණක් විය
          ගනඳුර මැද රඳනා
-        සදා අවුලුවමි එවන් පහන් සිල
          රන්වන්  රූ මවනා

          ගේය පදමාලාව: මහාචාර්ය සුනිල් ආරියරත්න
          තනුව සහ සංගීතය: ආචාර්ය වික්ටර් රත්නායක

ආදරයේ සුන් වූ , බිඳී ගිය බලාපොරොත්තු ඉතා සීමිතව ද, ආදරයේ ඉටු වූ ප්‍රේමණීය ප්‍රාර්ථනා අසීමිතව ද සිනමා රූපවලට බද්ධ වන සේ ගී රැසක රැඳවීමට අබේ නිරංජලා යුවලට හැකි විය. සදාතනික පෙම්වතුන් යුවලක් සේ උනුන් කෙරෙහි ස්නේහයෙන් සිය සිත්හි නැගි ආදරය ගීතය තුළ ඉතා භාවාත්මක ලෙස සිතුවම් කරයි.

මිනිස් ජීවිතයේ අරුත වඩාත් පළල් දර්ශනයක පිහිටුවා ගැයෙන මේ ගීය ආදරයේ අතිශය සියුම්  මානව හැඟීම්වලින් යුක්තය. ගී පද මාලාව තුළින් විචිත්‍රණය කොට දක්වන පසුතලය පෙම්වත් සිතක උපදින හුදකලාවත්, පාලුවත්, කිසිදා කියා ගැනිමට නො හැකි වූ ආදර පුවතක සිතුවිලි ආවර්ජනය කරයි.

'සදා නො දැල්වෙන මිණි පහනක" ඇති ඵලය කුමක්ද?  එය සදාකල්හිම නො ලැබෙන ආදරයක් වූයේ නම්  එය අඳුරු හදක ඇති සියුම් වේදනාවකි, රිදුමකි. එහෙත් පෙම්වතිය කිසිදා  නො කියූ ඒ ආදර  පුවත ඇගේ මුවින් ප්‍රකාශ කරයි. පෙම්වත් සිතේ වූ හුදකලාව බිඳ හරී. ඒ සංසාරික ආදරය යි.

-        නිසංසලේ මා තනියෙන්
+       තනිය මකන්නට මගෙ හිත ළඟටම අවුදින්
-        නිසංසලේ ඔබ තනියෙන්
+       තනියට ඔබෙ සිත ළඟටම අවුදින්
-        නිසංසලේ  මා තනියෙන්

-        නිසංසලේ ඒ සලන සුසුම්
          පෙම් ගී ගැයුවා ඔබේ නමින්
+       සසල දෙතොල් නිසල හඬින්
          පෙම් ගී ගැයුවා ඔබේ නමින්

-        දෑසක ගොළු වුණු තනිය නිවාලන
          දෑසක් සෙව්වෙමි සසර පුරා
+       අඳුරු නිශාවක පිපුණු සඳක් සේ
          ඔබ හමු වූවා නො සිතු ලෙසින්

          ගේය පදමාලාව: කුසුම් පීරිස්
          තනුව සහ සංගීතය: ආචාර්ය වික්ටර් රත්නායක

 නිසංසලේ මා තනියෙන් ගීතය මෙතනින් අහන්න,ගන්න

නිහඬ නිසංසල මොහොතක හුදකලා වූ සිතේ දොරගුළු විවර කරන ආදරය, විරහව අන් මොහොතට වඩා වැඩියෙන් දැනේ. ඒ ආදරය පිළිබඳ දෙසිතක ඇති වන සිතුවිලි  කෙතරම් මිහිරිද?  ඒ ආදරය අප කාටත් පොදුය. " නිසංසලේ මා තනියෙන් " ගීය ද එසේ ම ය.

වික්ටර රත්නායකයන් මවන ගි තනුවත්, කුසුම් පිරිස්ගේ  පදමාලාවත් අතර නිදහසේ සැරිසරණ අබේ නිරංජලා යුවල සිය ගායන මාධූර්යයෙන්  ගීතයට උපරිම සාධාරණත්වයක් ඉටු කරයි.
අබේ නිරංජලා යුවල සිය යුග ගී වලින් විරහව, වේදනාව, හැඬුම මතු කළේ නැත. එවන් ගී ගැයුවේ ද නැත. අර්ථ පුර්ණ, ධ්වනි පූර්ණ, ගී පද මාලාවල රැඳවූ ආදරය, සංගිතවේදී වික්ටර් රත්නායකයන්ගේ  සංගිතයෙන් ඔප කර  කැටයම් කර , මනාව සකසන මැණිකක් සේ විටෙක සරසයි. තවත් විටෙක චිත්‍ර ශිල්පියෙකු සිය තෙලිතුඩින් සිතුවම් කර  හැඩකරන සිතුවමක් සේ  සරසයි. මේ අබේ නිරංජලා ගායන වේදී යුවලගේ ගී වල ඇති සුවිශේෂ ලක්ෂණයයි.

මතු දැක්වෙන ගීතය ද සිංහල ගිත සාහිත්‍යයේ හමුවන අපූර්ව වූ ගායන මාධූර්යයෙන් අග තැන්පත් ගීයකි.  මෙය අනන්ත වූ ආදරයේත්, සදාකාලික වූ ආදරයේත් තේමා ගීය යැයි මට සිතේ. සදාකාලික තාරුණ්‍යය රැගෙන එන වසන්තය කිසි දිනෙක වියපත් නො වේ. ඒ ආදරයේ සදාතනික සංකේතය මේ ගීය තුල නිරූපණය වනවා පමණක් නො ව සොබා දහමට ද ඒ ආදරය නිතැතින් ම බද්ධ වන්නේ අබේ නිරංජලාගේ හඬිනි. ඒ සදාකාලික වසන්තය පිරි ආදරය සියුම් ලෙසින් මතුව අවුදින් ගීයක් බවට පත් වේ.  සැබැවින් ම මේ ඔබත් මමත් ප්‍රිය කරන මියුරුතම ගීයකි.

-        මගෙ හිත පිරී තිබෙන්නේ
          ඔබ ගැන සිතිවිල්ලෙන්
          වෙන කිසිවකු ගැන හිතන්න
          ‍හදවතට ඉඩක් නැහැනේ

+       මගෙ නෙත රැඳී තිබෙන්නේ
          ඔබගේ සඳ මුහුණයි
          වෙන කිසිවකු ගැන දකින්න
          ‍දෙනුවනට ඉඩක් නැහැනේ

+       අප ළං  කරවා කාලය පියඹා
          ආලය ගැන විමසයි
-        කවුරුන් වේවා හමු වූ මොහොතේ
          මට ඔබ ගැන පවසයි

+       කඳුළැල් මැදුරේ හසරැල් නැවතී
          සෙනෙහස ගැන පවසයි
-        පීදෙන පියුමන් දළුලන තුරුවැල්
          මට ඔබ ගැන පවසයි
- +     වසන්තය කියන්නේ ඔබටයි මටයි

          ගේය පදමාලාව: කේ.ඩී.කේ.ධර්මවර්ධන
          තනුව සහ සංගීතය: ආචාර්ය වික්ටර් රත්නායක


මෙතෙක් අබේ නිරංජලා යුවල ගැයූ ගීතවලට හාත්පස වෙනස් වූ ගීයක් අබේ නිරංජලා යුවලගේ ගී අතර හමුවේ. මගේ මතකය නිවැරදි නම් අබේ නිරංජලා යුවල ගැයූ එකම විරහ රසය පිරි ගීය මෙය යි. ඒ තුළද සැඟව ඇත්තේ මියෙන්නට හේතු වු ආදරයයි. ඒ ආදරය අත හැර ඔවුන් පළායන්නේ නැත. මළවුන්ගේ  ලෝකයකදි  වුව ද හමුවීම සැපයකි. මට මේ ගීය ඇසෙන විට එසේ මළවුන් සේ සිටින්නේ  ඒ ආදරයට බාධා කළ, ඊට එරෙහි වූ, ජීවත්ව සිටින අය නොවේ ද කියා මට ම සිතේ.  සැබෑ ආදරයේ අරුත හඳුනා නො ගත්  අය මලවුන් වැනි ය.  අබේ නිරංජලා ගයන්නේ මේ ඒ පුවත නොවේද? මතු දැක්වෙන ගීය   ඇසෙන වාරයක් පාසා මා සිතින් කැඳවන්නේ එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මළවුන්ගේ අවුරුදු දා කෘතියේ සිදුවීම් කෙරෙහි ය.

"නොරිකො මට ජීවිතයේ සෞන්දර්යය මෙන් ම මරණයේ සෞන්දර්යයද පෙන්වා දුන්නා ය. කෙනෙකු   දිවි නසා ගන්නේ ජීවිතයේ සෞන්දර්යය රැක ගැනිමට ය.කෙනෙකුගේ ජීවිතයෙන් පොදු සෞන්දර්යය කිළිටි වේ නම් ඒ පොදු සෞන්දර්යය කිළිටි කරමින් ජීවත් විමට වඩා එය නිර්මලව තිබෙන්නට ඉඩ දී තමා නැතිවී යාම යෙහෙකි."

( උපුටා ගැනීම  "මළ ගිය ඇත්තෝ" - එදිරිවීර සරච්චන්ද්‍ර  පිටුව 80 )

+       මළවුන්ගේ නගරයේ මමයි,...
-        මමයි හමුවුණා
          මළවුන්ගේ නගරයේ ඔබයි..
+       ඔබයි හමුවුණා

+       සජිවි සක්වල තලයේ
          වරම් නොමැත හමුවෙන්නට
-        එක වහලක් යට ඉඳගෙන
          එක අහරක් වළඳන්නට
          ඔබයි හමුවුණා
+       මමයි හමුවුණා


+       සීමා ප්‍රාකාර වලින්
          ඉඩක් නොමැත ගැලවෙන්නට
-        ජීවත්වන ලෝකයකදි
          අවසර නැත ළං වන්නට
          ඔබයි හමුවුණා
+       මමයි හමුවුණා


          ගේය පදමාලාව: මහාචාර්ය සුනිල් ආරියරත්න
          තනුව සහ සංගීතය: සරත් බාලසූරිය




අබේ නිරංජලා යුවල විටෙක ඉසුරු දෙවිඳු උමයංගන සේ පෑහුණේය. තවත් විටෙක සද කිඳුරු දා වතෙහි  සඳ කිඳුරා සහ කිඳුරිය විය. ඔවුන්ගේ ආදරය  තවත් විටෙක ෂාජෙහාන් - මුම්ටාස් ප්‍රේම වෘත්තාන්තය සිහි ගන්වයි. අබේද නිරංජලා යුවල ද  ඒ සංසාර චක්‍රයේ සැරි සරමින්  මේ යුගයේ හමුවන්නට ඇත. ජීවිතයේ එකිනෙකාට අත්වැල සැපයූ අබේ සිය ජීවන ගීය ගයා හමාර කළේ ය. සියළු වෙණ තත් හඬවා ඔහුගේ මියුරු ගී හඬ  නිහඬ විය. එවන් වූ අත්වැලක් සැපයු ඔහු යළි නේන්නට ම නික්ම ගොසිනි.

ඒ ජිවිතයේ ඔහු සමග යුග ගීය ගැයු ඇය එතරම් සොඳුරු ආදරය පිරවූ, ජීවිතයට ආදරය කැඳවා ගෙන ආ ඒ මියුරු ගීය කා සමග ගයන්නද? කා වෙනුවෙන් ගයන්නද? කාට ගයන්නද ? යන්න ගීතයක් බඳු වූ  ඇයගේ සිතෙහි හට ගන්නට ඇත. ඒ  නිසා සංගිතය ද දුකක් ගෙන දෙන කාරණාවක් යැයි ඇයට ද සිතෙන්නට ඇති. ඔහු කෙරෙහි බැඳුණු අසීමිත වූ ආදරය ද  සදාකාලික වූ නමුත් එහි තුළ තිබූ අනිත්‍යය ද වටහා ගන්නට ඇත. ඒ ජීවිතය ජීවත් කරවන්ට ගී ගැයූ කොවුලා නික්ම ගිය පසු කෙවිලිය ගී ගැයීම අත්හැරියා ය. නිරංජලා සරෝජිනී නම් අප සියළු දෙනාගේ ආදරය  දිනාගත් ප්‍රවීන ගායනවේදිනිය මතු කිසිම දිනක අප ඉදිරියේ ඇය යළි සජීවිව ගී නො ගයනු ඇත. ඇය ගී ගැයීම අත හැරියේ ඇය ගී ලොවෙහි හිණිපෙතම රැඳී සිටින මොහොතක ය. රසිකයන් වූ අපට ඉතිරිව ඇත්තේ අබේ නිරංජලා ගී ගැයු මිහිරි ම අතීතයක මතක සටහන් පමණි.. ඒ ගීතවල මිහිරි ම මතක සුවඳ පමණි. ඔහු වෙනුවෙන් පුද කළ ආදරය රැගෙන ඔහු නික්ම ගිය පසු නිරංජලා සරෝජිනී නම් වූ ප්‍රවීන ගායන වේදිනිය ඔහුත් ඇයත් ගැයූ ගීවල මිහිරිම අතීත මතකය පමණක් ඉතිරි කර තබා ඇය යළි කිසිදාක ගී නො ගැයීමට තීරණය කර ගී ලොවින් සමුගත්තාය.෴

               ෴මතු සම්බන්ධයි ෴

ඔබේ අදහස් මෙහි ලියා තබන්න. මම හෙට ලියන දේ වෙනුවෙන් එය අත්වැලක් වේවි.

20 comments:

  1. // වසන්තය කියන්නේ ඔබටයි මටයි//

    මේ මාතෘකාව බ්ලොග් රෝලේ අප්ඩේට් වෙලා තියනවා දැක්කම අනිත් ඔක්කොම වැඩ පැත්තක දාලා මේක කියවන්න දුවගෙන ආවා. එච්චරට මේ සින්දුවට ආසයි මම. සංගීතයට වගේම පදවැල ටත්. කලින් අසා තියන ඒ ගීය වගේම නොඇසූ ගී ත් අහන්න සැලස්වුවාට ඔබට බොහොමත්ම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. සයුරි...ට

      අබේ නිරංජලාගේ "වසන්තය කියන්නේ ඔබටයි මටයි" ගීය බොහෝ දෙනෙක් විඳින්න කැමති බව මටත් දැනුණා. මමත් නිතරම අහන ගීයක්. අහන හැම වෙලාවකම හිත අලුත් වෙනවා.ඒ තරමටම මේ ගිය ලස්සනයි.

      වටිනා කාලයෙන් බිඳක් වෙනක් සටහනක් තැබුවාට බෙහෙවින්ම ස්තුතියි..

      Delete
  2. පියාණ්නී මා නැවත උපන්නොත් තමා මම වැඩියම ආස..ඇස් දෙකට කඳුළු එනවා ඒක අහනකොට....

    ReplyDelete
    Replies
    1. ඔබ නොදුටු ලොවක්.ට
      ඇත්තටම ඔව්, පියවරුන් ගැන කියවුණු ගීවලින් හොඳම ගීය මේකයි කියලා මට හිතෙනවා.ගීයට වයස අවුරුදු 45 කට කිට්ටුයි. ඒත් වියපත් නොවූ ගීයක්

      සහෘද ඔබගේ වටිනා කාලයෙන් බිඳක් වෙනක් සටහනක් තැබුවාට බෙහෙවින්ම ස්තුතියි..

      Delete
  3. දයා අයියෙ,

    මේක නම් කංකරච්චල් සංගීතයෙන් හෙම්බත් වෙලා ඉන්න අපට දිව ඔසුවක් වගේ...

    ඔබගේ බ්ලොගය හරහා කන්කළු ගීත අසන්න ලැබෙනවා වගේම ඒවායේ අර්ථ රසය විඳීමටත් අවස්ථාවක් ලැබෙනවා..

    බොහොම ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. හරී..ට,

      මේ වගේ ගීයක් උදේ පාන්දරම ඇහුණාම දවස පුරාම මුමුණන්නෙ ඒ ගීයේ කෑලි.
      මලේ උඹටත් ස්තූතියි කරන ලද අගය කිරීමටත්,වටිනා කාලයෙන් බිඳක් වෙනක් සටහනක් තැබුවාටත්..

      Delete
  4. මීට ප්‍රථම හදගීපොතේ (http://hadageepotha.blogspot.com/) මේ විදිහට ලියන්න ඇති අනිවාර්යයෙන්ම. අස්වැන්න හරහාද අප මේ දකින්නේ ගීතයේ පස්වනවන මානයයි. ගීතයක නිර්මාණාත්මක අවධීන් කිහිපයක් තියෙනවා. ගීත රචකයාගේ හිතේ ඇතිවන හැඟීමේ ප්‍රකාශනය එක් නිර්මාණයක්. ඒ වචනවලට ගීතමය ජීවයක් ලබා දීම සංගීත ශිල්පියා විසින් සිදු කිරීම අනෙක් නිර්මාණය. මෙහි අනෙක් පැත්තත් වෙන්න පුළුවන්. සංගීක ශිල්පියෙකුගේ තාල නිර්මාණයක් සජීවී කිරීම සඳහා ගීත රචකයෙක් වචන ගැලපීමත් සිදුවිය හැකියි. තුන්වන අදියර ගායනා කිරීමයි. ගායකයා කරන නිර්මාණය 'ශ්‍රාවකයායි'. චිත්‍රපට ගීත හරහා ඇතිවූ හා මේ වන විට ඉතා ප්‍රචලික නිර්මාණය 'visuals' හරහා 'ප්‍රේක්‍ෂකයෙක්'නිර්මාණය කිරීමයි. තිස්ස දොඩංගොඩලා, දයානන්ද රත්නායකලා මේ නිර්මාණය කරන්නේ 'පාධකයෙක්'.
    ඔබලාට ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. බන්දුලට

      බන්දු හැමදාමත් වගේ ඔබේ සටහන අලුත් දිරියක් ගේනවා.පස්වන මානයක ඉඳන් ගීයක් අහලා පුංචි අදහසක් ලිව්වාම දැනෙන සතුට අපමණයි.ආයේ ඒ රස ලෝකයෙන් හිත ඉවත්වන්නේ නෑ.
      ස්තූතියි කරන ලද අගය කිරීමටත්,වටිනා කාලයෙන් බිඳක් වෙනක් සටහනක් තැබුවාටත්..

      Delete
  5. මම ආසම හඩ එකතුවක්

    ReplyDelete
    Replies
    1. ලොකු ජොන් ට

      අයෙ දෙකක් නෑ ඒ යුග ගී තරම් මිහිරිම අදාරය පිරුණු යුග ගී ගීත සාහිත්‍යයයේ හමුවන්නෙ ඉතාම විරල විදියටයි.මේ හඬ එකතුවට මාත් කැමති හින්දා ලිව්වා ලියලා ඉවර වෙනකොට කොටස් 05කට ඇදිලා.
      ස්තූතියි වටිනා කාලයෙන් බිඳක් වෙන්කර සටහනක් තැබුවාට

      Delete
  6. ලස්සනම ලස්සන ගීත එකතුවක්..ඔබගේ පෝස්ටුවේද බොහෝ රසවත්ව ලියා තිබෙනවා..ඊළඟ කොටස එන තෙක් බලා සිටිමි..

    ReplyDelete
    Replies
    1. රූ...ට
      තව කොටස් දෙකයි,ඒ දෙකත් ඉක්මනින් එනවා.
      ස්තූතියි කරන ලද අගය කිරීමටත්,වටිනා කාලයෙන් බිඳක් වෙනක් සටහනක් තැබුවාටත්..

      Delete
  7. අපිට අමතක වුන ෙගාඩක් ෙද්වල් ඔයාෙග් ෙපා්ස්ටුෙවන් මතක කරල තිෙයනවා. පද ගැලපීම, වචන භාවිතය හා අලංකාරවත් බව තුළින් ඒය තවත් රසවත් ෙවලා. දිගටම ලියන්න. ජය ෙව්වා...

    ReplyDelete
    Replies
    1. මලීට

      මේ යටගියාවේ මතකයේ රැඳුන ගී. සදාකාලික ආදර ගී. මතක්වෙන්නත්,මතු දවසක ප්‍රයෝජනයටත් අරන් තියාගන්න.
      ස්තුතියි.

      Delete
  8. //මගෙ හිත පිරී තිබෙන්න
    ඔබ ගැන සිතිවිල්ලෙන්
    වෙන කිසිවකු ගැන හිතන්න
    හදවතට ඉඩක් නැහැනේ//

    මේ සිංදුවටයි මම ගොඩක් කැමති... විශිෂ්ට රචකයෙක්.. විශිෂ්ට ගායකයෙක්... ආදරණීය ගීතයක්...

    ReplyDelete
    Replies
    1. ශානි..ට

      අනන්ත වූ ආදරයේත්, සදාකාලික වූ ආදරයේත් තේමා ගීය මෙයයි කියලා මට හිතෙනවා සැබෑම සුන්දරත්වයෙන් පිරිපුන් ගීයක්.

      ඔබේ වටිනා කාලයෙන් බිඳක් වෙනක් සටහනක් තැබුවාට බෙහෙවින්ම ස්තුතියි

      Delete
  9. සිරිපාදේ වන්දවන්න ගීතයත් නිරංජලා සරෝජරනිගේ නේද??
    මම අසම ගීතයක්

    ReplyDelete
    Replies
    1. නුවන්..ට
      "සිරිපාදේ වන්දවන්න" නිරංජලාගේ ඒකල ගීයක් පද රත්න ශ්‍රී, සංගිතය කපුගේ වගේ මතකය කියන්නේ.

      මතු දවසක ඇයගේ ගී වෙනුවෙන් වෙනම ලියනවා පෝස්ට් තුන හතරක්ම.
      ඔබේ වටිනා කාලයෙන් බිඳක් වෙනක් සටහනක් තැබුවාට නුවන්ටත් බෙහෙවින්ම ස්තුතියි

      Delete
  10. මමත් ආසම සින්දුවක් වසන්තය :)

    ReplyDelete
  11. වර්ණාට
    අබේ නිරංජලාගේ "වසන්තය කියන්නේ ඔබටයි මටයි" ගීය බොහෝ දෙනෙක් ගීයක්. අහන හැම වෙලාවකම මේ ගිය ලස්සනයි.

    වටිනා කාලයෙන් බිඳක් වෙනක් සටහනක් තැබුවාට බෙහෙවින්ම ස්තුතියි..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...