එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Thursday 22 March 2012

෴ හීනෙන් වත් මතු තරහ වෙලා නම් ඉන්නට බෑ ආයේ ෴

(අබේවර්ධන බාලසුරිය පිළිබඳ මතයේ සිවුවන දිග හැරුම)

මෙතනින් කියවන්න
හිතේ රැඳුන විරහ ගීයේ මතකය

අබේවර්ධන බාලසූරිය ගැයූ ගී ඔස්සේ ඔහුගේ ගී මංපෙත පිළිබඳව විමසා බලන  “අස්වැන්න”  සිවුවන  සටහන ඔහුගේ විරහ ගී ඔස්සේ අද දිග හැරේ.

සිංහල ගිත සාහිත්‍යයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන හැත්තෑව දශකයේ ගායන ශිල්පියෙකුට ගීතයක් ඉදිරිපත් කිරීමට තිබූ එක ම මාධ්‍යය වූයේ  ගුවන් විදුලිය පමණි. රාජ්‍ය මාධ්‍යයක් ලෙස  ගුවන් විදුලි සංස්ථාව මෙරට පැවති එක ම විද්‍යුත් මාධ්‍ය ආයතනය වූ බැවින් එහි තනතුරුවලට පත්වූ බොහෝ අය ද ඉහළ රස වින්දනයකින් හෙබි තැනැත්තෝ වූහ. ගායන ශිල්පියකු වෙනුවෙන් තෙමසකට වරක් ලැබෙන සරල ගී වැඩසටහන සාහිත්‍යයෙන් සහ සංගිතයෙන් පෝෂිත වූ වැඩසටහනක් ලෙස ඉදිරිපත් කිරිමට පවා රිජ්වේ තිලකරත්න වැනි ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීන්  වග බලා ගත් අතර ඒ සඳහා ශිල්පීන් පවා උනන්දු කළහ.

එක් සරල ගී වැඩහටහනක් අවසන් වී අනෙක් සරල ගී වැඩසටහනට  කැඳවීමට  ලැබෙන කාලය අතර තුර  ගී පද මාලා තෝරා ගැනීම, ගී තනු හා සංගිතය නිර්මාණය කර ගැනිමට ලැබෙන කාලයක් සේ සලකා ගායන ශිල්පීන් ඊට වඩ වඩාත් උනන්දු  වූහ. එසේ නිර්මාණය වූ ගීත සියල්ල ම ඉතාමත් උසස් නිර්මාණයෝ ම වූහ. ඒ නිසා ම ඒ සරල ගී වැඩසටහනෙන් පසුව ඊළඟ ‍දිනයේ  සිට ඒවා ගුවන් විදුලි තැටි බවට පත් වී  ප්‍රචාරය සඳහා යෙදවී ය. මේ ගීත වල තිබූ අති මධුර රස භාවයන් නිසා ම ඒවා සදාතනික මතකයේ රැඳුණු  ගීත විය.

අබේවර්ධන බාලසූරිය ගැයූ ගීත ද එසේ ම ය. ඔහු ගැයූ ඒ සෑම ගියක් ම ජනප්‍රිය වීමට එක් හේතුවක්  වූයේ ඔහුගේ හඬට ගැලපෙන ගී තනු සහ පද මාලවන් ඔහුට හමු වීමයි. මීට හොඳ ම නිදසුනක් ලෙස ආචාර්ය ගාමිණී ෆොන්සේකා ශූරින්  ලියා ආචාර්ය වික්ටර් රත්නායකයන් සංගීවත් කල "සැතපුම් දහසක්" ගීය ගත හැකිය. අද්විතීය රංග ධරයෙකු වූ ආචාර්ය ගාමිණි ‍ෆොන්සේකා ශූරීන් තුළ තිබූ විශිෂ්ඨ භාෂා කුසලතාවයත්, ඔහු තුළ තිබූ කවි සිතත් මේ ගීයේ සාර්ථකත්වයට දෙස් දෙයි. මේ පදමාලාවට ආචාර්ය වික්ටර් රත්නායක තනුව නිර්මාණය කරන්නේ පදමාලාවේ තිබෙන කාව්‍යමය ගුණය තවත් ඉස්මතු වන පරිද්දෙනි. පදමාලාව, ගී තනුව, සහ අබේගේ ගායනය ගීය  උපරිමයේ රඳවා තබනු ලැබ ඇත. මේ ගීය ද දශක හතරකට වැඩි කාලයක් සවන් පුරා රැව් දුන් ගීයකි.

ආචාර්ය ගාමිණී ෆොන්සේකා
සැතපුම් දහසක් ඈත රටක ඔබ                                          
සිටියත් මම ඉන්  මෙහා රටේ
ඔබෙ හඬ නෑසෙන රුව නො දකින මම
ඔබෙ සුවඳින් රෑ අවදි වෙමී

නො නිදන හැම රෑ ලස්සන ඔබෙ මුව
සිතින් මවා තුරුලට ගනිමී
නිදන හැම වෙලේ සිහිනෙන් ඔබෙ හඬ
ගීයක් කර අම රස විඳිමී

හමන මඳ නළේ රහසින් සඟවා
ඔබට නො කී පුවතක් කීවා
ඔබ සිත නො තලා සුළඟට තෙපලා
නො පැතූ හිතකට හිත පිදුවා

ගේය පදමාලාව: ආචාර්ය ගාමිණී ෆොන්සේකා
තනුව සහ සංගීතය: ආචාර්ය වික්ටර් රත්නායක
අබේවර්ධන බාලසූරිය ගායන ශිල්පියකු වූවා සේ ම ඔහු රූපවාහිනි සංස්ථාව ආරම්භයේ දී ම විද්‍යුත් මාධ්‍ය කලාව ගැන මනා අවබෝධයක් සහ පුළුල් දැනුමක් ලබා එහි වැඩසටහන් නිෂ්පාදකයෙකු ලෙස එක් වී සිංහල සංගීත ක්ෂේත්‍රයට දෙන ලද දායකත්වය ද සුළු පටු නො වේ.

ලංකාවේ පළමු වරට රූපවාහිනියේ නිෂ්පාදය වූ "නන්දන වින්දන" සංගීතමය රූපවාහීනී වැඩසටහන ඔහුගේ නිෂ්පාදයක් විය. සිංහල ගීතය දෘෂ්‍ය මාධ්‍යයෙහි තහවුරු කළේ ඔහු විසිනි. මාසයකට වරක් විකාශය වූ මේ රූපවාහිනී වැඩසටහන ශිල්පීන් කීප දෙනෙකුට පමණක් සීමා නො කර  සියළුම ශිල්පීන්ට රූපවාහිනියේ දොරගුළු හැර දැමුවේ ද අබේවර්ධන බාලසූරිය විසිනි. ඔහු එම වැඩසටහනේ නිෂ්පාදකයා වූ බැවින් ඔහුගේ ගී එම වැඩසටහන තුළින් ඉදිරිපත් නො කිරිමට  තරම් නිහතමානී කමක් ඔහු සතු විය.

අබේවර්ධන බාලසූරිය නිෂ්පාදනය කල අනෙක් වැඩසටහන වූයේ "අඳුන" වැඩසටහන ය. එවකට කාලීන සිදුවීම් රැගත් "අඳුන" වැඩසටහන ද ඉතා ජනප්‍රිය වැඩසටහනක් විය. "අඳුන" වැඩසටහන  ඇතුළු රූපවාහිනී වැඩසටහන් ගණනාවකට ම "ප්‍රේමකීර්තිද අල්විස් " දායක කරගත්තේ ද අබේවර්ධන බාලසූරිය විසිනි. දේශපාලනයෙන් දෙමඟක ගිය අබේත්, ප්‍රේමකීර්තිත්, නිර්මාණකරණයේ දී එක ම මඟක ගිය ශිල්පීන් වූ බැවින් එවකට දේශපාලන හේතූන් මත ප්‍රේමකීර්තිට රූපවාහිනියේ දොර වැසී තිබුණි. එහෙත් තමන් නියෝජනය කළ දේශපාලන පක්ෂය තුළ ද ශක්තිමත් කශේරුකාවක් සහිතව නැගී සිට එතෙක් ප්‍රේම කීර්තිට වැටී තිබූ සියළු තහංචි බිඳ දමා ප්‍රේමකීර්තිගේ මුහුණ රූපවාහිනියෙන් පෙන්වීමට අබේ ක්‍රියා කළේ අදීන මිනිසකු ලෙසිනි.

 1994 දී දේශපාලන වෙනස් වීම් සමග අබේ රූපවාහිනියට ආයුබෝවන් කියා ගෙදර ගියේ ය. එහෙත්, 94 න් පසුව රූපවාහිනියට පත් වූ බලධාරීන්ට ඔහු මියෙන තෙක් ම  රූපවාහිනී සංගීත වැඩසටහනක් සඳහා අබේවර්ධන බාලසූරිය කැඳවිමට හෝ ලබා දීමට තරම් ශක්තිමත් කශේරුවක් ඒ බලධාරීන්ට නො තිබුණි. අබේ ද අදීන මිනිසකු ලෙසින් වැඩසටහන් නිෂ්පාදකවරුන් හමුවේ නො නැමුණු චරිතයකි. රූපවාහිනියේ ගීත ගායනා කිරිමට අවස්ථා ඉල්ලාගෙන ගියේ ද නැත.

94 න් පසුව අබේට ලැබුණු විවේකය ප්‍රයෝජනයට ගනිමින්  එතෙක් අබේවර්ධන බාලසූරිය සහ නිරංජලා සරෝජීනී යුවල ගැයූ සියළු ම ගීත එක් රැස් කරමින් මතු පරපුර සඳහා සංරක්ෂණය කිරිම පිණිස ඒවා නැවත පටිගත කරමින් සංයුක්ත තැටිවලට නැගීය. ඒ අතර තුර ලැබෙන පරිදි අලුත් ගීත නිර්මාණ ද ඉදිරිපත් කළේය.

මතු දැක්වෙන්නේ අනූව දශකය අවසන් කාලයේ  අබේ ගැයූ ඉතාමත් මියුරු ගීයකි.  අතුල බාලසූරිය ලියා   නවරත්න ගමගේ සංගීතවත් කළ මේ ගීය විරහ ගීයක සපුරලිය යුතු වියෝගයේ සියළු රස භාවයන් සම්පූර්ණ කර ඇත්තේ අබේගේ හඬිනි. අබේගේ ගායනයද ගීයේ අරුතට නො දෙවෙනි වී ඇති අන්දම මේ ගීය අසා ම බලන්න.

නවරත්න ගමගේ
සුදු වැල්ල දිගේ මේ දඹුලු ඔයේ                          
මතකයි ද එදා අප ඇවිද ගියා
රන් සමනලයෝ පියඹා ඇදුනා
අත්තටු බිඳිලා විසිරී වැටුණා

ගණ අඳුර මැදින් පාවෙන ඔරුවේ
තරු එළිය නිවී අත්වැල බිඳුණා
ඔබෙ සුවඳ පවා ඈතට ඇදුණා
මගෙ දිවිය පුරා පාළුව රැඳුණා

හිරු බසින පැයේ සඳ නැ‍ඟෙන රැයේ
මම සරමි අදත් නුඹ සමග සිතින්
මේ දඹුලු ඔයේ ඔය ඉවුර දිගේ
මා හෙළන සුසුම් සුළඟට මුසුවේ

ගේය පදමාලාව: අතුල බාලසුරිය
තනුව සහ සංගීතය: නවරත්න ගමගේ

සුදු වැල්ල දිගේ ගීතය මෙතනින් අහන්න, ගන්න


රූපවාහිනියෙන් සමුගත් පසු ඉඳහිට හෝ අලුතින් ගැයූ ගීයක ද ගිතයේ තිබිය යුතු සදාතනික මිහිර රැඳී තිබුණි. කාලය අලුත් වුව ද ගිත තෝරා ගැනිම සහ ගී තනු නිර්මාණ සකස් කර ගැනිම  මුල් යුගයේ සේ ම විය. එය ඔහුගේ ගී වල තිබූ ශක්තිමත් ආයෝජනයක්  විය.

තරහ වෙලා ඉමු අපි දෙන්නා                                       
කීවෙමු ඊයේ අපි දෙන්නා
ඒ මොහොතේ සිට
ගෙවු හැම මොහොතෙම
ඒ අමනාපය මැකී මනාපය
දහස් ගුණේකින් වැඩි වූවා

නො දුටු  නියායෙන් ඉවත බලාගෙන
ඔබ සිටියත් කොන් වී
දුටු මොහොතේ සිට සිතින් සිටින්නේ
මා ඔබ වෙත ළං වී

රෑ නිදි නො ලබා සුසුම් හෙළාගෙන
පහන් කළෙමි ඊයේ
හීනෙන් වත් මතු තරහ වෙලා නම්
ඉන්නට බෑ ආයේ

ගේය පදමාලාව: දෙල්තොට චන්ද්‍රපාල

කෙසේ වුවද අබේ ගුවන් විදුලියට  ගයා තිබූ සියළු ම ගීත මතු පරපුරට විඳීම සඳහා ඒ ගී සංරක්ෂනය කිරිමට ගත් වෙහෙසද ඉතා ප්‍රසංශනීය කටයුත්තකි. ඒ හැත්තෑව දශකයේ බිහි වූ ගීත අතර මතු දැක්වෙන ගීය ඔබ ද ජීවිතයේ එක වරක් හෝ අසා ඇති ගීයකි.  ආදරය සහ විරහව අතර ඇති සියුම් පරතරය කුමක්ද කියා  මොහොතකට හෝ අදරයක්  විඳ ඇති අයෙක් නම් ඔබට ද ඒ මොහොත නැවත සිහිවනු ඇත. ඒ මොහොතේ විඳි අත්දැකීම  සහ මේ ගීය සමග සසඳා බලන්න අබේවර්ධන බාලසූරිය මේ ගිය ගයා ඇත්තේ ඔබටත් මටත් පොදු ඒ ජීවන අත්දැකීම වෙනුවෙනි.  මෙවැනි ගී සදාකල්හි ම මතකයේ රැ‍ඳෙන්නේ  ඒ නිසාය.෴

෴මතු සම්බන්ධයි ෴
                             ( මෙහි අවසන් කොටස මාර්තු  27 වන දා කියවමු )


ඔබ ලියා තබන විවේචන සහ අදහස් මට  වැදගත් අදට නො ව හෙට දවසටයි

25 comments:

  1. නන්දන වින්දන කියන්නේ සංස්කෘතියක්!

    ReplyDelete
    Replies
    1. බන්දුලට

      ඇත්ටම ඔව්, ලංකාවෙ රූපවාහිනි රියැලිටි ප්‍රසංග කලාවෙ ආම්භය නන්දන වින්දන තුළින් විශාල සංගිත කලාවේ විතරක් නෙවෙයි රසික මනසත් විශාල සංස්කෘතිකමය වෙනසක් ඇති කල යුගයක්.ඒ සංස්කෘතිය ගැන තවත් පෝස්ට් දෙක තුනක් ලියන්න පුළුවන් තරම් වටින වැඩසටහනක්.

      ස්තුතියි ඔබට

      Delete
  2. නියමයි දිගටම ලියමු. අපි බලාෙගන ඉන්ෙන්.

    ReplyDelete
    Replies
    1. මලීට

      මලී නිතරම ගිතය සංගීතය ගැන උනන්දුවෙන බව පේනවා. ඔන්න මම මලීගෙ බ්ලොග් එක පැත්තේ ඇවිදලා ආවා. ගිහින් බලන්න.

      ස්තුතියි දිරිගැන්වූවාට

      Delete
  3. 27වනදත් එන්නම්

    ReplyDelete
    Replies
    1. ලොකු ජෝන්ට

      ඇත්තෙන්ම මෙහි අවසන් කොටසත් කියවලාම බලන්න ගායන ශිල්පියෙකු පිළිබඳව අපි නොදන්න තොරතුරු මිහිරි ගීත කොතරම් තියනවද කියලා. එතකොට නිවැරදි මානයක් හදාගන්න පුළුවන්. ඇත්තටම එවැනි ශිල්පියෙක් ඇගයුම් කළ යුතුද කියලා.

      ඔබේ පැමිණිම හිතට සතුටක්.

      Delete
  4. අපි හැමදාමත් පරණ ගී රසයි කියා රස වින්දත් මේ දක්වා අපි ඒවා රස විදින්නේ නිර්මාණකරුවන්ගේ උත්සාහය නිසා නොව ඔබ වැනි සංගීත ලෝලීන් නිසාය..
    මතු පරපුරට අහන්න හැකි ලෙස මේ ගී සංරක්ෂනය කල අබේවර්ධන බාලසූරිය ගායකයාගේ දුර දැක්ම අගය කරමි..

    ReplyDelete
    Replies
    1. රූ... ට

      මේවගේ යන්තමට හෝ යමක් කමක් මට දැනෙන අයුරින් ලියාගන්න පුංචි රසවින්දනයක් හදාගන්න අබේ වික්ටර්, කපුගේ, නන්දා.නිරංජලා, අමරදේව ගැයූ ගී මග පෙන්නුවා. ඊයේත්, අදත්, හෙටත් එහෙමයි.

      මම පෞද්ගලිකවම දන්නා තරමින් ශිල්පියෙක් ශිල්පිණියක් විසින් තමන් ගැයූ ගුවන් විදුලි සරල ගීයේ සිට සියලුම ගී නැවත පටිගත කර තවත් යුග ගන නාවකටම අහන්න සංරක්ෂනයක් කළේ අබේ නිරංජලා යුවල පමණයි.

      වටිනා කාලයෙන් බිඳක් වැයකර සටහනක් තැබුවාට ස්තුතියි.

      Delete
  5. ඒ වැඩසටහන් ගැනනම් මම අහලවත් නැහැ. අදත් නොඇසූ ගී කිහිපයක්ම අහන්න පුළුවන් උනා. බොහොම ස්තුතියි. අබේ කලාකරුවා ගැන ඊ ළඟ ලිපියත් එන තෙක් බලාගෙන ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. සයුරී..ට

      සයුරිලාගේ රසවින්ද යුගය එනකොට ලංකාවෙ සියළුම සංස්කෘතික අංග පරිහාණියට පත්වීම අරම්භවෙලා. පෞද්ගලික ගුවන් විදුලි, රූපවාහිනී, සහ වාණිජ අරමුණු කලාවට අතපොවලා.
      ඊට පෙර යුග සහ අවදීන් සදාකාලික මතකයක් පමණයි.

      මම මේ හරහා උත්සාහ කලේ යම් තරමකින් හෝ ඒ යුග නව මානයකින් ඉදිරිපත් කරන්න.

      ඔබටත් බෙහෙවින්ම ස්තූතියි වටිනා කාලයෙන් බිඳක් වැයකර සටහනක් තැබුවාට

      27 වනදාත් ඇවිත් කියවලාම අබේවර්ධන බාලසූරියගේ ගී ගැන ආය අලුතින් අහන්න විඳින්න නව මානයක් හදාගන්න.

      Delete
  6. ගාමිණි ෆොන්සේකා ආචාර්ය කෙනෙක්ද?

    ReplyDelete
    Replies
    1. හරී..ට

      ආයෙත් අහලා. ගාමිණිට පේරාදෙණියෙන් හෝ ජපුරෙන්, 90 දහකයේ මුල් භාගෙයේ සාහිත්‍ය සූරී ආචාර්ය උපාධියක් පිරිනැමුවා. ලංකාවෙ සිනමාවට කරන ලද මෙහෙය වෙනුවෙන්. ඒ වුණත් ඔහු ඒ තනතුරු ගෞරව නාමය භාවිතා කළේ නැහැ. "ගාමිණී" කියන පොදු ජනතාව හඳුනාගත් මිනිසාට ඔහු වඩාත් කැමැත්තක් දැක්වූවා.

      මේවා ආචාර්ය දුටුගැමුණුලාට වගේ පිනට කැලෙන් හම්බ වුණු ඒවා නොවෙයි. කෙලින්ම ලංකාවෙ පිලිගත් සරසවි වලින් දුන්න ගෞරව නාම.

      ඒ නිසා මම මේවා ලියනකොට ඒවගේ ඒ පුද්ගලයන්ට වගේම ඔවුන්ගේ උදාර මෙහෙයට ඒ කෘතගුණ දැක්වීමට එවැනි වටිනාකම් යොදනවා.

      ස්තුතියි හරී.. ඔබටත් සටහනක් තබා ඔබේ කාලය වැය කලාට, 27 හවසටත් එන්න

      Delete
  7. මේ ලිපි පෙල කියවන්න දවස් කිහිපයක්ම කල් මරමින් හිටියෙ අවශ්‍ය විවේකය ලැබෙනකම්. කඩිමුඩියෙ නොකියවා ගී සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන විවරණයන් විවේකීව ආශ්වාදනය කල යුතු නිසාත් එදා සිටම වඩාත් ප්‍රිය කරන ගායකයෙකුගේ නොදන්නා ජීවන තොරතුරු නිදහසේ කියවීමට අවශ්‍ය නිසාත්ය.
    අබේ ගැයූ ගීත එදා සිටම ප්‍රිය කලත් ඔහුගේ ජීවන තොරතුරු සහ ගීත වල සම්භවය ගැන නොදැන සිටි බැවින් මේ ලිපි පෙල විශාල වැදගත්කමකින් යුතු වුණා.
    ඒ වගේම අබේ රූපවාහිනිය තුළ සේවය කල බව මා දැන ගත්තේ අදයි. නන්දන වින්දන වැඩ සටහන කුඩා කල මහත් රුචියෙන් රස විඳි නමුත් එකල ගායනයන් පිළිබඳ මිස නිශ්පාදකයන් ගැන ඒ හැටි අවබෝධයක් අපිට තිබුණෙ නෑ වගේම උනන්දුවක් දැක්වූයේත් නෑ.
    කෙසේ නමුත් රූපවාහිනිය ප්‍රචලිත මාධ්‍යක් නොවුණු සමයේ ගුවන් විදුලියෙන් අපිට රස විඳින්න ලැබුණේ ඔහු‍ගේ ජනප්‍රියම ගීත කිහිපයක් පමණයි. ඒ අතරින් "කල්පනා ලොව මල් වනේ" "ඉසුරු දෙවිඳු උමයංගන" හා "මළවුන්ගේ නගරයේ" කියන ගීත තමයි මටනම් අබේව සිහිපත් කරවන මතකයේ රුඳුණු ගීත බවට පත් වෙලා තිබුණෙ. කොහොම වුණත් අදටත් මම වඩාත් කැමැති යුග ගී දෙකක් වුණු "ඉසුරු දෙවිඳු උමයංගන" හා "මළවුන්ගේ නගරයේ" කියන ගීත දෙකටයි. පළමු ගීතයේ යෙදෙන සංගීත ඛණ්ඩ නිසා ඒ ගීය මතකයේ රැදෙන බව කිව යුතුයි.
    අබේවර්ධන බාලසූරිය මහතා ගැන විද්‍යුත් ලිඛිත මාධ්‍යයක ලියවුණු හොඳම ලිපි පෙල මෙය විය යුතු බව මගේ විශ්වාසයයි. ඒ තරම් පුඵල්ව මේ ගායකයා ගැන හැදෑරීමක් කිසිවෙකු මින් පෙර කර තිබෙනු මට මුණ ගැසී නැත.
    කෙසේ වුවත් අවසන් කොටස වගේම නිරංජලා ගේ ගී සම්බන්ධයෙන් ඉදිරියේදී ලියවෙන ලිපි පෙලද රසවත් වෙනු ඇතැයි සිතමි.
    එසේම අබේ නිරංජලා ගැයූ ගී අතරින් අමතකව හෝ මග හැරී තිබු ගී කිහිපයක්ද ගී එකතුවට එකතු කර ගැනීමට හැකි වීම සම්බන්ධයෙන් ඔබට ස්තූතිවන්ත වෙමි.

    ReplyDelete
    Replies
    1. @ "Outsider"

      මගේ පරපුරේ කෙනෙක් හැටියට ඔබේ මේ සටහන වෙනුවෙන් දෙන්න පුළුවන් අගය කිරීමක් මා ළග නැහැ. ඔබේ දිරිගැන්වීම හෙට දවසට විශාල ආයෝජනයක් කියල හිතෙනවා.

      ලංකාවෙ ගීත සාහිත්‍ය තුළ එක දැවැන්ත ආයෝජකයෙකු වූ අබේවර්ධන බාලසූරිය මහතා ගැන නිසි ආකාරයෙන් ඇගැයීමක් නොවුනු බව මටත් වැටුහුණු නිසයි මම මුලින්ම මේවගේ ශිල්පියෙක් තෝගත්තේ. ඒ තොරාගැනීම හොඳ තෝරාගැනීමක් කියල හිතෙනවා.

      මෙහි අවසන් කොටස කියෙව්වාම ඔබටත් ඔහු පිළිබඳව අලුත් අදහසක්, සහ නව මානයක් ඇතිකර ගන්න හැකිවේවි ඇයි මෙවැනි ශිල්පීන් නිසි අගැයුමකට ලක් නොවුනේ කියලා.

      හදවතින්ම ස්තූතියි වටිනා කාලය වෙන්කර ‍තැබූ මේ සටහන වෙනුවෙන්..

      27 හවසටත් එන්න.

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. අබේවර්ධන බාලසූරිය ගැන මම ත් කාලෙකට කලින් පෝස්ට් එකක් ලිව්වා . .

    ඒත් ඔබ ලියන තරම් උසස් විදිහට ලියුවා නෙමේ . .

    මේ ලිපි පෙල නම් හරිම අපූරුයි . .

    මේ තියෙන්නේ මම ලිව්ව එක

    http://dukaa.blogspot.com/2010/04/100.html

    ReplyDelete
    Replies
    1. දුකා..ට

      ඉස්සරවෙලාම මගේ පරපුරේ ලියන කෙනෙක් හමුවුණා කියල දැනගත්තාම දැනුණෙ ලොකු සතුටක්. හමුවීමම සතුටක්.

      "දුකා" කියපු ගමන් නිරන්තරයෙන් මට මතකයට එන්නෙ මගේම සහෘදයා එගේ ගමෙන්ම ආව "වසන්ත බණ්ඩාර දුක්ගන්නාරාළ" ඌටත් අපි කියන්නෙ "දුකා" කියල.

      ඇත්තෙන්ම සතුටුයි ඔබ අබේවර්ධන බාලසූරිය ගැන ලියනකොට මම බ්ලොග් ලියල නෑ. ඔබ දුන්න ලින්ක් එකදිගේ ගියා. ලස්සන ලිපියක්. අබේගැන ලියපු. ඒකෙ දිල තිබුණු අනෙක් දිගු අතර ජයන්ත කලුපහන ගේ ලිපිය සහිත සටහන නම් නෑ. අනික් සහෘදයගේ ලිපියත් කියෙව්වා.

      තව එකක් ඔබේ අඩවි ගැන හොයාගන්න ඊයේ සෙනසුරාදා දවසේ මාර ගේම් එකක් දුන්නේ දැන් හරි.

      දුකා හදවතින්ම ස්තූතියි වටිනා කාලය වෙන්කර ‍තැබූ මේ සටහන වෙනුවෙන්..

      Delete
  10. හැමදාමත් වගේ ඉස්තරම් ලිපියක් දයා අය්යා!
    මේ කියන දේශපාලනයම වෙන්න ඇති අබේවර්ධන බාලසුරිය මහතාගේ වැදගත් නිර්මාණ අපෙන් ඈත් කරේ.රටක් වටින ගායකයෙකු ගැන කියා දුන්නාට ඔබට ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. නුවන්ට

      ස්තුතියි මලේ උඹේ සටහන වෙනුවෙන්.

      ඔව්, අබේ තුල තිබූ දේශපාලන දැක්ම නිසාම ඔහු කා ළඟ වත් දණගැහුවෙ නෑ.ඒ නිසාම ඔහුගෙ ගී ගුවන් විදුලියෙන් පවා ප්‍රචාරය වුනේ සීමා සහිතවයි.

      Delete
  11. මම දැනන් හිටියෙ නැහැ ගාමිනි ෆොන්සේකා මහත්තය ගීත ලියපු බව..හරි ලස්සන පද ටිකක්..මට ගීත අහන්න නම් වෙන්නෙ හෙට ඔෆිස් ගියාම..අනිවාර්යෙන්ම මම අහනවා..පැරණි සිංහල සහ හින්දි ගීත වලට මම ගොඩක් ආසයි..

    මේ නන්දන වින්දන වැඩසටහන ගැන විස්තර අම්මා කියනවා මම අහල තියෙනවා..ලිපියෙ අවසාන කොටස මාර්තු 27 දාන්න විශේෂ හේතුවක් තියෙනවද..මාර්තු 27 මටත් විශේෂ දවසක්.. :)

    ReplyDelete
  12. සිත්රූ සිහින..ට

    ගාමිණී ෆොන්සේකා ශූරීන් ගීත ලිව්වෙ අමරදේව, නන්දා, වික්ටර්. සහ අබේ ඇතුළු ඉහලම පෙලේ ගායන ශිල්පී ශිල්පිණියන්ට විතරයි. හ්බැයි ඒවා ජනප්‍රිය වගේම විශ්ෂ්ඨතම ගීත.
    "බමරිඳු බමරිඳු කුමට වඩින්නේ
    වන මල් කැකුළිය සොයා වඩින්නේ
    වනමල් කැකුලිය කුමට සොයන්නේ
    ලැබුණොත් මට පෙම් පවස නිවෙන්නේ"

    මේ අමර දේව නන්දා මාලිනී ගැයූ ජනප්‍රිය ගීයත් ගාමිණී ලියූ ගීයක්

    2010 මාර්තු 27 අබේ මිය ගියා. මාර්තු 27 ට අබේවර්ධන බාලසූරිය මිය ගිහින් වසර 02 ක් සපිරෙන දවස ඉතින් මම හිතුවා ඔහු වෙනුවෙන් තැබූ සටහන් පෙළ එදාටම අවසන් කරන්න.

    ReplyDelete
    Replies
    1. අමරදේව ශූරින්ගෙ ඒ ගීතයත් මම අහල තිබුනෙ නම් නැහැ..දැනුත් ඒ ගීතයේ පද මාලාව විතරයි සොයාගන්න පුලුවන් වුනේ..ලිපියෙ තියෙන ගීත ටිකනම් හරිම ලස්සනයි..තරහ වෙලා ඉමු අපි දෙන්නා ගීතය හරිම ලස්සනයි..

      ඒ වගේම ඔබේ ලිපියෙ අවසාන සටහන මාර්තු 27 තැබීම ඇත්තටම අබේවර්දන බාලසූරිය ශූරින්ට කරන මහඟු ගෞරවයක් වේවි..

      Delete
    2. සිත් රූ සිහින..

      අමරදේවයන් සහ නන්දා මාලනිය ගැයූ ඔය ගීය අමරදේවයන්ගෙ සහ නන්දා මාලනියගේ සිංග්ලංකා ලේබලෙයෙන් නිකුත් වූ සීඩී දෙකකම ඇතුළත්වෙලා තිබුණා.

      27 වන දාත් ඇවිල්ලම කියවන්න ගායකයෙක් පිලිබඳව තවත් අලුත් මානයකින් ඔහුගේ නිර්මාණ දෙස බලන්න හැකි වේවි.

      ස්තූතියි වටිනා කාලය වෙන්කර ‍තැබූ මේ සටහන් වෙනුවෙන්..

      Delete
  13. අදයි මේ ලිපිය කියවන්න ආවෙත්... හෙටත් කියවන්න එන්නම්..

    නිරංජලා මහත්මිය ගීත ලොවින් සමු ගැනීමත් මහත් පාඩුවක්.. පසුගිය ඉරිදා පුවත්පතකදීත් ඇය ඒ බව කියා තිබුණා...

    වෙනදා වගේම වැදගත් ලිපියක්.. හරවත් ගීත එකතුවක්...

    ReplyDelete
    Replies
    1. අන්තිම මොහොතෙ හරි ඇවිත් කියවලා සටහනත් තැබුවාටත් ලියන දේවල් අගය කිරීමටත් ස්තුතියි.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...