එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Friday 30 November 2012

෴ ඔබ පියඹා ගොසින්..෴





ජෝතිපාල නැවත කියවමු - 08

 පී.එල්.ඒ.සෝමපාලයන් ජෝතිපාලට හැදූ ස්වතන්ත්‍ර ගීත

සිංහල ගීත සාහිත්‍යයේ පෝෂණය උදෙසා ජෝතිපාල ගැයූ ගීත වලින්  ලැබුණ  දායකත්වය කෙබඳු දැයි ඔහුගේම නිර්මාණ ඇසුරින් කෙරෙන මේ විචාරශීලි අදහස් හුවමාරුවේදී  අපි මිට පෙර පී.එල්.ඒ. සෝමපාලයන් විසින් ජෝතිපාලට හැදූ  අනුකාරක ගී ගැන කතා කළෙමු.  ඒ සඳහා ලද සහෘද ප්‍රතිචාර කිපයක් ඔස්සේ තවත් කොටස් තුනකට එහායින් ලියැවෙන්නට තිබූ මේ සටහන අට වැනි සටහන දක්වා කැඳවිමට සිදුවිය.

බ්ලොග් අවකාශයෙහි ගී පැදුර  රස ගන්වන සහෘද හරේෂ්  විසින් පී.එල්.ඒ. සෝමපාල ජෝතිට හැදු ස්වතන්ත්‍ර ගීත ගැන සටහන් කරන ලෙස ඉල්ලා තිබුණි. එසේම අනෙක් සෙසු සහෘද පිරිසද පී.එල්.ඒ සෝමපාලයන්ගේ අනුකාරක ගී තනු නිර්මාණ ගැන පළ කර තිබූ අදහස්වලට සමගාමීව ඔහු ජෝතිපාලට  හැදූ ස්වතන්ත්‍ර ගීත පිළිබඳව  අද අස්වැන්නෙන් කතාබහ කරමු.

පී.එල්.ඒ. සෝමපාල සිනමා සංගීතයට පිවිසෙන්නේ 1955 වර්ෂයේ දීය. ඒ ජෝතිපාල ගීත ගායනයට පිවිසෙන්නට හරියටම  වසරකට පෙර ය. සිරිසේන විමලවීරගේ අසෝකා චිත්‍රපටයට සංගීතය සපයමින් සිනමා සංගීතයේ පළමු පියවර සෝමපාලයන්ට හැකිවිය.

එතැන් පටන් සිනමා  සංගීතයේ ජනප්‍රිය තේමාවන් ඔස්සේ  නිර්මාණ කිරීමේ කාර්යය සෝමපාලයන්ට පැවරුණි. වසර 40 ක් පුරා විහිදුනු ඔහුගේ සංගීත දිවිය නිමා වූයේ සිංහල චිත්‍රපට 48 ක්, හින්දි චිත්‍රපටයක් සහ මලයාලම් චිත්‍රපටයක්, සහ පාකිස්තාන් ශ්‍රී ලංකා හවුල් චිත්‍රපටයක සංගීතය නිර්මාණය  කිරීමෙනි.

පී.එල්.ඒ. සෝමපාලයන් චිත්‍රපට සංගීතය වෙනුවෙන් සිය ජිවිතයෙන් වසර 40ක් කැපකර තිබුණි. එහෙත් ඔහුගේ ඒ සිනමා සංගීත දිවිය නිසරු එකක් වූයේ අවාසනාවන්ත අයුරිනි.  ඒ චිත්‍රපට 48 න් චිත්‍රපට 05 ක පමණක් ස්වතන්ත්‍ර ගී තනු තිබීමත් ඉතිරි චිත්‍රපට 43 ම අනුකාරක ගීතවලින් පුරවා තිබූ  බවත් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සඳහන් කරයි.

පී.එල්.ඒ. සෝමපාලයන් ස්වතන්ත්‍ර ගී තනු තිබූ චිත්‍රපට අතර   සරණ (1967) , ආදරේ හිතෙනව දැක්කම (1972) , ලස්සන කෙල්ල (1975), සරදියෙල්ගෙ පුතා (1976) සහ පෙම්බර මධූ  යන චිත්‍රපට විය.


ඒ චිත්‍රපට අතර පෙම්බර මධූ චිත්‍රපටයයේ සංගීතය විචාරක පැසසුමට ලක් වු චිත්‍රපටයකි. අස්වැන්න ලියන මමද මෙතෙක් කල් සිතා සිටියේ ඒ චිත්‍රපටයේ තිබූ වික්ටර් රත්නායකයන් ගැයූ පෙම්බර මධූ ගීතය  ස්වතන්ත්‍ර ගී තනුවක් ලෙසටය. එපමණක් නොව මාහාචාර්ය සුනිල් ආරියරත්නයන් පවා සඳහන් කර තිබුණේ පෙම්බර මධූ ගීතය ඔහුගේ ස්වතන්ත්‍ර මධුර ගීතයක් බවය. එහෙත් එය සාවද්‍යය බව වැටහී ගියේ මුහුණු පොතේ සිංහල ගී පිටුව ලියන  රොෂාන් සහෘදයා විසින් පෙම්බර මධූ ගීතය නිර්මාණය කිරීමට මුල් වූ පාකිස්තාන් ගීයේ පිටපතක් මවෙත එවා තිබූ නිසාය. මේ ගැන ගිය සතියේ අස්වැන්න කියැවූ දිස්නා  සුහදිනිය විසින්ද සටහන් කර තිබුණි.

එහෙත් මුල් ගීතයත් පෙම්බර මධූ ගීතයත් අතර විශාල වෙනසක් තිබුණි. එය ඇසූ විට මට නම් හැඟී ගියේ  පාකිස්තාන් ගීතය මුලුමනින්ම කොපි කර නැතත් එහි ඡායාවක් ලබා ඇති බවයි. එහෙයින් ඒ ගීතය ස්වතන්‍ත්‍ර යැයි මතුවට කිව නොහැකිය.

එය එසේ වුවත්  පී.එල්.ඒ. සෝමපාලයන් විසින් ස්වතන්ත්‍ර ගී තනු නිර්මාණය කල ඉහත දැක්වූ චිත්‍රපට  අතරින්  චිත්‍රපට දෙකකට ජෝතිපාල සිය හඬ මුසු කර තිබුණි. ආදරේ හිතෙනව දැක්කම (1972) , ලස්සන කෙල්ල (1975), යන ඒ චිත්‍රපට දෙකෙහි ඇතුළත් වූ ගීතවලින් 04ක් පමණක් ස්වතන්ත්‍ර ගීත විය. එයින් ලස්සන කෙල්ල චිත්‍රපටයේ මලේ රේණු හංගාලා (ජෝති, සුජාතා, එම්.එස්., ඉන්ද්‍රානි)අපි හඳට ගියත් දිනුම් දිනුම් ( ජෝතිපාල, එම්.එස්.) ගැයූ ගීත දෙකත්  ආදරේ හිතෙනව දැක්කම චිත්‍රපටයට ගැයූ දෑසේ විමන් දොරින් සහ අඬන්නෙපා සුදු මැණිකේ ගීතයත් ස්වතන්ත්‍ර නිර්මාණ ලෙස සැලකිය හැකි ගීත වේ.

මතු දැක්වෙන්නේ ආදරේ හිතෙනව දැක්කම චිත්‍රපටයට පී.එල්.ඒ.සෝමපාලයන් ජෝතිපාල හැදූ ස්වතන්ත්‍ර ගීයකි. එය  ඉතාමත් විශිෂ්ඨ ගීතයකි.


                   දෑසේ විමන් දොරින් සිහින රුවන් තිරෙන්
                   නික්මී ගොලු බසින් පරෙවි රැජින ලෙසින්
                   ඔබ පියඹා ගොසින්

                   පැහැය සුවඳ ඇතී සිහින් සුවඳ පෙතී
                   රේණු සැලෙන මුදු පිපුණු මලක් බඳු
                   දෑසේ විමන් දොරින්...

                   ඔබේ සළුවෙ වැදී සිහිල් සුලං ඇදී
                   හෙමින් සැරේ එබී මගේ සවන් සිඹී
                   දෑසේ විමන් දොරින්....

                   මහද කුටිය පුරා ඔබ සැරි සර සරා
                   බෙදයි මියුරු නුරා විඳිමි පෙරුම් පුරා
                   දෑසේ විමන් දොරින්...


                   ගීත පබැදුම: කරුණාරත්න අබේසේකර
                   ගැයුම: එච්.ආර්.ජෝතිපාල
                   සංගීතය: පී.එල්.ඒ. සෝමපාල
                   චිත්‍රපටය: ආදරේ හිතෙනව දැක්කම
                   අධ්‍යක්ෂණය: නීල් රූපසිංහ
                   තිරගත වූ වසර :1972

             

ආදරයේ චමත්කාරය යෞවනත්වයේ රඳවන ගීත අතර දෑසේ විමන් දොරින් ගීතය ඉතාමත් විශිෂ්ඨ නිර්මාණයකි. කරුණාරත්න අබේසේකරයන්ගේ ගී පදමාලාවද සෝමපාලයන්ගේ මියුරු සංගීතය තරමටම මිහිරිය. ඔහුගේ චිත්‍රපට ගී අතර මිහිරිම චිත්‍රපට ගීය මේ ගීතය යැයි මට සිතේ. අවාසනාවට එවන් මිහිරි ගි තනු ඔහුගේ සිනමා කෘතිවලින් ගිලිහී ගොස් ඇත.

එසේ වුවද, නීල් රූපසිංහගේ ආදරේ හිතෙනව දැක්කම චිත්‍රපටයට ජෝතිපාල ගැයූ පී.එල්.ඒ. සෝමපාලයන්ගේ අනෙක්  ගීතනුව රසවත් ගී තනුවක් වුවද එය සාර්ථක නිර්මාණයක් බවට පත් නොවන්නේ  එහි පදමාලාව නිසාය. එය එතරම් ව්‍යක්ත කවි බසකින් යුත් පදමාලාවක් නොවේ.  එහි ගීතවත් බවක්ද දක්නට නැත.  සුසුම් පද වලින් පිරී ඇති මේ ගීතය ළාමක බොළඳ සල්ලාපයකි. ඒත් ගී තනුව ස්ව තන්ත්‍රය. මිහිරිය.  ඔබ අසා හුරු පුරුදු ගී අතර මේ ගීතය නැතත් ගී තනුවේ ඇති මධුර බව නිසාම මෙහි සදහන් කරමි. මතු දැක්වෙන්නේ ඒ ගීතයයි.

                   අඬන්නෙපා සුදු මැණිකේ
                   මා ඔබ ළඟමයි ඉන්නේ
                   අඬන්නෙපා සුදු මැණිකේ
                   මා නැත ඔබ හැර යන්නේ.

                   රෑ දාවල් යයි ගෙවිලා
                   මම ඉමි ඔබ වෙත රැඳිලා
                   මධු රස බසකින් නළවා
                   මම ඉමි පාළුව පළවා

                   අද මෙන් හෙට සනසන්නම්
                   මිහිරෙන් මිහිර පොවන්නම්
                   සැප සම්පත් ගෙන එන්නම්
                   සුබ සිහින සැබෑ කරවන්නම්


                   මල් යහනක සතපන්නම්
                   මල්පැණි රස පෙරලා දෙන්නම්
                   මුතු වැල ගෙල පළඳන්නම්
                   රන් විමනක රඳවන්නම්


                   ගීත පබැදුම: කරුණාරත්න අබේසේකර
                   ගැයුම: එච්.ආර්.ජෝතිපාල
                   සංගීතය: පී.එල්.ඒ. සෝමපාල
                   චිත්‍රපටය: ආදරේ හිතෙනව දැක්කම
                   අධ්‍යක්ෂණය: නීල් රූපසිංහ
                   තිරගත වූ වසර :1972

" අඬන්නෙපා සුදු මැණිකේ " ගීතය මෙතනින් අහන්න.
  

කෙසේ වුවද චිත්‍රපට සංගීතය සඳහා චිත්‍රපට නිෂ්පාදකයා ඔහුගෙන් ඉල්ලා සිටින්නට ඇත්තේ ස්වතන්න්‍ර ගී තනු නොව, ජනප්‍රිය හින්දි, දෙමල, හෝ ඉංග්‍රීසි ගීවල අනුකරණයෙන් නිර්මාණය කර ගන්නා ලද කොපි ගීත බව ඉඳුරාම පැහැදිළිය. ඒ නිසාම ඔහුගේ හතළිස් වසරක සිනමා සංගීතය දිවිය ස්වතන්ත්‍ර ගීතනු ඇතුළත් චිත්‍රපට 05 කට සීමා වීම නිසා ඔහුගේ නිර්මාණාත්මක සංගිත වැයම  නිසරු එකක් විම අරුමයක් නොවේ. චිත්‍රපට නිෂ්පාදකයන්ගේ ඉල්ලිම අනුව සැපයිම කළා විනා බුද්ධිමත් රසික පර්ෂදවලට ආමන්ත්‍රණය කිරිමට තරම් ශක්තිමත් නිර්මාණාත්මක සංගීතයක් නිර්මාණය කිරීමේ වගකිම ඔහු අතින් ගිළිහි යන්නට ඇත. එයින් සිදු වූයේ සෝමපාලයන්ට බුද්ධිමත් සංගීත රසික විචාරක දෝෂාභියෝගයන්ට මුහුණ දිමටය. චිත්‍රපට සංගීතයේ සතුටුදායක මෙහෙයක් ඉටු නොකළ ඔහු අනුකාරක සංගීතයේ සංකේතය ලෙසින්ද ඒ යුගයේ ඔහු හඳුන්වනු ලැබිය.

වරෙක ඒ සියලු විචාර සඳහා ඔහු විසින් පිළිතුරු සපයා ඇත්තේ  "මම හින්දි සින්දු කොපි කරන්නේ නැහැ. මා අතින් සිදුවන්නේ නොතේරෙන හින්දුස්ථානි පදමාලා වෙනුවට දේශීය පදමාලාවක් හින්දුස්ථානි සංගීතයේ ආභාෂය ලබා හදවතට සමීප වන නාද රූප මාලාවක් ඉදිරිපත් කිරිමයි.”

මිට වසර තිහ හතළිහකට පමණ කලින් සෝමපාලයන් කළ  ඒ ප්‍රකාශය  කොයි තරම් දුරට සත්‍ය දැයි වැටහෙන්නේ අද දවසේය.  ඒ අන් කවරක් නිසාවත් නොව ජෝතිපාල වැනි ගායකයෙකු එදා ගැයූ  ඒ මිහිරි හින්දි ගීතනු  නූතන ගීත රසිකයාද, ඔහු මිය ගිය පසුවත් වෙනස් වෙමින් පවතින සංගීත නාද රටා ඔස්සේ  වෙනස් වන්නා වූ සංගීත රිද්මයන් ඔස්සේ පවා ඒ ගීත වලට තවදුරටත් පෙම් බඳින නිසාය.


පී.එල්.ඒ. සෝමපාලයන් ජෝතිපාල‍ට හැදූ ස්වතන්ත්‍ර ගීත ගණන හතරක් වුවද, ඔහුගේ මධුර අනුකාරක ගීතනු ප්‍රමාණය ඊට වඩා වැඩිය. ඒ තනු අනුකාරක වුවද සෝමපාලයන් මුල් ගීය අමතක කර ඒවායේ සංගීත අනුඛණ්ඩ යොදා ඇති සැටි විස්මිතය. රසිකයන්ගේ සවන් මන්මත් කරවන ඒ ගීත සදාකල්හිම නින්නාද දෙන්නේ ඒ නිසාය. මතු දැක්වෙන්නේද නීල් රූපසිංහගේ ආදරේ හිතෙනව දැක්කම චිත්‍රපටයට ජෝතිපාල ගැයූ පී.එල්.ඒ. සෝමපාලයන්ගේ මධුර අනුකාරක ගීයකි. ගීතයේ මුල් ගීතය ජනප්‍රිය හින්දි ගිතයකි.



                   රෑ දවල් මල් රැඟුම් සිරි පානා
                   මනරම් සිහිනෙකි මට පේනා

                   රෑ දවල් මල් රැඟුම් සිරි පානා
                   මනරම් සිහිනෙකි මට පේනා

         
                   හිනැහෙන විට මුතු දිලිසෙනවා
                   නළලේ අඩ සඳ බැබලෙනවා
                   පතන්න බැරි කොයි කාටදෝ
                   සිතනා විලසට සිදුවේදෝ


                   ගීතෙක රස ඉතිරේ මුවගින්
                   නා දළු ලෙළ දෙනවා තොළගින්
                   අපි සිඹ හමනා සුළඟින්
                   ඔබ නවතින්නේ කොතැන දෝ

                    මලක බඹර තුඩ ගෑවෙයි දෝ
                   විලක ගිලිලා තැවෙයි දෝ
                   ඔහු කියවූ පොත මට හිමිවී
                   පෙරලුණ පිටු යළි පෙරළේදෝ.


                   ගීත පබැදුම: කරුණාරත්න අබේසේකර
                   ගැයුම: එච්.ආර්.ජෝතිපාල
                   සංගීතය: පී.එල්.ඒ. සෝමපාල
                   චිත්‍රපටය: ආදරේ හිතෙනව දැක්කම
                   අධ්‍යක්ෂණය: නීල් රූපසිංහ
                   තිරගත වූ වසර :1972

              

ජෝතිපාලයන්ගේ ගීවලින් හමුවු පී.එල්.ඒ. සෝමපාලයන්ගේ සංගීත භුමිකාව මෙතැනින් අවසන් වුවත් තවදුරටත් ඔහු ජෝතිපාලට  නිර්මාණය කළ සාර්ථක මට්ටමක ඇති චිත්‍රපට  අනුකාරක ගීත පිළිබඳව තවදුරටත් ඉදිරියේදී කතා කරමු.෴ 

නැවත ජෝතිපාලයන් ගැයූ ගී  පිලිබදව අස්වැන්නේ සටහන් වන්නේ තව මාස එක හමාරකින් පමණ පසුවය. එනම් 2013 වර්ෂයේ ජනවාරි මස මැද දීය.


ආශ්‍රිත ග්‍රන්ථ:
ගාන්ධර්ව ආපදාන -5, මොහොමඩ් සාලි සහ පී.එල්.ඒ. සෝමපාල
(මහාචාර්ය සුනිල් ආරියරත්න - 1997 එස්.ගොඩගේ සමාගම)


ඔබේ හිතේ ජෝතිපාල පිලිබඳව විචාරාත්මක අදහසක් හෝ මේ ලියූ දේ ගැන විචාරයක් හෝ ඔබ දකින වැරැද්දක් ඇත්නම් ලියන්න. කැමති විදියට ලිවිමට ඔබට නිදහස ඇත.












41 comments:

  1. "දෑසේ විමන් දොරින්"

    මේක මම ආසම සින්දුවක්...නියමයි හැමදාම වගේ වටිනාකියන ලිපියක්

    ReplyDelete
    Replies
    1. මානවක..

      ස්තූතියි.. අත්තටම ජෝතිපාල ගැයූ ලස්සන ගියක්

      Delete
  2. වෙනදා වගේම රසබර හරබර ලිපියක්

    ReplyDelete
  3. ඔබ හැමදාම අපට ලස්සන හිතන්න විදින්න දෙයක් දෙනවා තුති.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
    Replies
    1. නලීන්..

      කොයි මොහොතක හෝ මේ ගියක් ඇහුනාම මතක්වෙයි කොපියක්ද නැද්ද කියලා.

      Delete
  4. තාමත් අපි පරණ යාලුවො එකතු උනාම මෙතුමාගේ සින්දුවකින් තමයි පටන් ගන්නේ. රසවිඳින්න පුළුවන්, හැමදාමත් මතක හිටින, සමාජයට යම් පණිවිඩයක් දෙන සින්දු කිව්වෙ කීයෙන් කීදෙනාද. මෙතුමා ඒ අතරෙ ඉදිරියෙන්ම ඉන්නවා.. නොමියන මිනිසා...

    ReplyDelete
    Replies
    1. ලොකු අයියා..

      ඇත්තටම විනෝද ගමනක් සාදයක් එහෙමත් නැත්නම් පැදුරු පාටියක් වෙලාවක ජෝතිගේ සිංදු නනොකියවුනොත් ඒක සාදයක් නෙවේ.

      Delete
  5. ඔබ පියඹා ගොසින් යන්න දුටුවාම මේ පැත්තට ආවා නෙවෙයි එවුනා. ඒ තරම් ලස්සන සිංදුවක්. අඬන්නෙපා සුදු මැණිකේ සිංදුවත් මං ගොඩක් කැමති සිංදුවක්. අපි මේ සිංදු දෙකෙන් එකක් හෙට නිශාන්තයෙන් අහමු.

    ReplyDelete
    Replies
    1. ප්‍රියා..
      මේ ගී දෙකම ඇහෙන්නේ කලාතුරකින් හැබැයි හරිම ලස්සනයි.. ඒදා නිහාන්තයේ අන්තිම ගීය හැටියට මමත් ඇහුවා..

      Delete
  6. අයියේ.. මේ අපුරු ලිපි ටික එකතු කරල ජෝතිපාලයන් ගැන පොතක් පළ කරන්න පුළුවන්නේ. එහෙම කළොත් ඒක බ්ලොග් නොබලන අයටත්, අනාගත පරම්පරාවටත් හරිම වැදගත් වෙයි.

    ReplyDelete
    Replies
    1. තරුරසී..

      අපි බලමු ‍පොතක් හැටියට පලකරන්න තව ටිකක් ගැමුරින් විමර්ශණයක් කළ යුතු වෙනවා. ඔබේ අදහසට ස්තූතියි.

      Delete
  7. පෙම්බර මධූ ගීය ගැන කියපු දේ ඇහුවම මමත් පුදුම උනා. ඒක අවිවාදයෙන්ම විශිෂ්ඨ නිර්මාණයක්. ඒ පකිස්තාන් ගීය මොන වගේද කියලා අහන්න ආසයි. පුලුවන්නම් ලින්ක් එකක් දෙන්න කියලා ඉල්ලා සිටිනවා. ගීතය පුරාම ඇසෙන වයලීන් වාදනය තරම් මගේ හිත ඇද ගත්තු වෙනත් වාදනයක් තියනවද මන්දා...

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න...සයුරි..වලිගෙ වගේ එල්ලුනාට...මටත් වැදුනෙ "පෙම්බර මධූ" ගීයගැන කියපු දේ නිසා.

      මම ඉතාම ආසම ගීයක්, ඒක අහනකොට..හින්දුස්ථානි සංගීතයේ ස්වර (රාගයක් පදනම්කරගත්) ගායනාවක් වගේ හැ‍ඟෙන්නෙ. හිතාගන්න බෑ පකිස්ථාන් ගීයක් තියෙනවා කිව්වම...වික්ටර් රත්නායකයන්ගෙන් අහන්න තරම් වටිනව.

      Delete
    2. සයුරී...

      ඇත්තටම පුදුම හිතෙනවා.. මෙන්න මෙතනින් චිත්‍රපට රූපරාමුවත් එක්කම බලන්න..

      http://www.youtube.com/watch?v=ihON0Gx-nn4&feature=youtu.be

      Masood rana- Meri dua hai ke- film CHIRAGH KAHAN ROSHNI KAHAN (Iqbal Gul)

      වීපොකුර..
      ඇත්තටම මටත් ඒටිකම හිතුනා.. කවදාවත්ම වික්ටර් කියලා නැහැ මේක කොපි ගියක් කියලා.

      Delete
    3. මම අහන්න ආපු දේ සයුරි සහ විපොකුර කලින්ම අහලා. උත්තරෙත් අයියගෙන් ලැබිලානේ

      Delete
  8. රසවත් ....වෙනදා තරම්ම !

    ReplyDelete
  9. දෑසේ විමන් දොරින්.... ම්ම්ම්ම්ම්.....

    ReplyDelete
    Replies
    1. සිහින මදාරා..

      ලස්සන සිංදුවක්..

      Delete
  10. ලස්සන සින්දු...

    ReplyDelete
  11. ඔබ අතින් ලියැවෙන්නෙ ඉතා වටිනා ලිපි පෙළක්.අප ආශාවෙන් ගීත අසනවා

    ReplyDelete
    Replies
    1. හැලප කඩේ..

      ස්තූතියි ඔබේ අගැයුමට

      Delete
  12. අදත් ජෝතිපාලගන හා එම සංගීතය ගැන කරුණු දැනගත්තා. ඒ කාලෙත් කාලාව වාණිජ කාරිය වෙලා..

    ReplyDelete
    Replies
    1. අසරණයා..

      ඇත්තටම ඕනෑම කලාවක් වාණිජ පරමාර්ථයෙන් කලාට කමක් නෑ ඒත් එහි කලාත්මක බවක් තිබ්ය යුතුයි

      Delete
  13. " ඔබ පියඹා ගොසින්.."

    මම ගොඩක් ආසම සිංදුවක්.. ඒක තිබුන ෆිල්ම් එක ගැනනම් මේ විස්තරේ කියවනකම් ඒ හැටි මතකයක් තිබුනේ නෑ..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්..

      මල්ලි මේක ජෝතිගේ ඔර්ජිනල් එකක් වුනාට අනෙක් සිංදුවගේ හිට් නොවුන එකක්.ජෝතිගේ චිත්‍රපට නොවන ගී ටිකයි තියෙන්නේ

      Delete
  14. දෑසේ විමන් දොරින්... මං ආසම සින්දුවක්.... අනේ මන්දා.. ඕවා අනුකාරකද ස්වතන්ත්‍රද කියලා මට නම් ගානක් නෑ.. ඒ තරමට ඒවා ලාංකීයයි...

    ReplyDelete
    Replies
    1. හිරු..

      ඒවුනාට මේවා ඔර්ජිනල්ද එහෙමත් නැත්නම් කොපි සිංදු ද කයලා ටිකක් දැනගෙන හිටියාම හොදයි.

      Delete
  15. පෙම්බර මධූ ගීතය හැමදාම ඇහුවත් එකවගේම ලස්සනයි.
    ඒ වගේමයි අඩන්නෙපා සුදු මැණිකේ ගීයත්. කවදාවත් නොවෙනස් වන ගීත.
    බොහොම ස්තූතියි මේ සටහනට. අපේ රටේ උන්නාවූ දක්ශම කලා කරුවන් මෙහෙම මතකයට ගේන ඔබට කොහොම ස්තූති කරන්නද මන්දා මල්ලි.

    ReplyDelete
    Replies
    1. චාන්දි..

      ඇත්තටම මට හොද ගී එකතුවක් තියෙනවා. ඒ ඇසූ සහ නෑසු ගී සියළු සහෘදයන් එක්ක බෙදාගැනිමක් මේ කරන්නේ..

      Delete
  16. හද විමන් දොරින් ගීතය මම ගොඩක් කැමැති ගීතයක්.
    පහුගිය ලිපි ටික ආයෙ කියවන්න වෙනව. මේ දවස් වල වෙලාව අඩුයි. හරියට අදහසක් දක්වන්න නොලැබෙන්නෙ ඒකයි.

    ReplyDelete
    Replies
    1. Outsider

      ඔබව දැක්කෙ බොහොම කාලෙකින්.. කිවියක්වත් මෑතදී දුටුවේ නෑ. කාර්යබහුල වුනාම අපි කවුරුත් ඔහොම තමයි

      Delete
  17. පෙම්බර මධු චිත්‍රපටිය මම නරඹලා තියෙනවා. ඒ වගේම එම ගීයටත් මම ගොඩාක් කැමතියි. හැබැයි පෙම්බර මධූ ගීතය නිර්මාණය කිරීමට පාකිස්ථාන ගීයක් මුල්වූ බව නම් අදම තමා දැන ගත්තේ... හැමදාම වගේ අපි අස්වැන්නෙන් නොදන්න ගොඩක් දෑ නෙළාගන්නවා. ස්තූතියි අයියේ

    ReplyDelete
    Replies
    1. තොටියා..

      මල්ලියේ මමත් ගිය සතියේ තමයි මේක ඇත්ත කතාවක් බවට තහවුරු කරගත්තේ. එතකොට නම් මටත් පුදුම හිතුනා

      Delete
  18. සෝමපාලයන් ගැන ලිව්වා වගේම කරුණාරත්න අබේසේකරයන් හා ජෝති සුසංයෝගය ගැනත් ලිපියක් ලියන්න පුළුවන් නම් අගෙයි..

    කරුණාරත්න අබේරත්නයන්ගේ සවුත්තු සින්දුවක් ඇහුවමද කොහෙද..:)
    ඒත් ඔබගේ අදහසට එකඟයි..ඒ පදමාලාව නම් හරිම ඕලාරිකයි..

    ReplyDelete
    Replies
    1. රෑ..

      ඉදිරියේදි කරුණාරත්න අබේසේකර - ජෝතිපාල සුසංයෝගය ගැන කතාකරමු. ඇත්තටම අබේසේකරයන් අහිති හොඳ ගිත වගේම දුර්වල පදමාලාත් බිහිවුණා..

      Delete
  19. ඇත්තටම මේ සිංදු එකක් වත් මම අහල නැහැ... :(

    ReplyDelete
    Replies
    1. අනූ..

      නිවාඩු වෙලාවක් මෙතැනින් අහන්න.

      Delete
  20. පරක්කු වුණා මේ පැත්තට එන්න ..පෙම්බර මධූ ගැන කතාව මා පුදුමට පත් කෙරුවා ..ජී එල ඒ සෝමපාල ගැන මා දන්නේ බොහෝම ටිකයි,නමුත් ඔහුගේ පුත්‍රයා චිත්‍රාල් මගේ හිතවතෙක්. චිත්‍රාල් තමයි අපට හිටපු හොදම මෙටල් රොක් ගායකයා .

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...