එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Friday 7 December 2012

෴ කුරුලු පරාදීසයේ කුරුලු ගී හඬ... ....෴





ගීතයේ සංගීතයේ විවිධ රස මුසු තැන්  සටහන් වන අස්වැන්නෙන් අපේ මතකයෙන් ගිළිහුණ ගායන ශිල්පින් සහ ශිල්පිණියන්ගේ ගී නිර්මාණ ගැනත් යමක් සටහන් කළ යුතු යැයි සිතට නැගුණි. ඒ නිසා ඒ කලාකරුවන් අතරින් අද අස්වැන්න සටහන තබන්නට මා තෝරාගත්තේ ඔබේ මතකයෙන් බැහැර වූ ප්‍රවීන ගායන ශිල්පී අයිවෝ ඩෙනිස්  ගැයූ ගී කීපයක්.

අයිවෝ ඩෙනිස් වැනි ගායන ශිල්පියකු අපේ මතකයට නැගෙන්නේ අවුරුද්දකට වතාවක් දෙකක් පමණි. ඒ නත්තල් සමයක කිතුනු ගීයෙන් එහෙමත් නැත්නම් නිදහස සමරන පෙබරවාරි මාසයේදී දේශාභිමානී ගීතවලිනි . හැම වසරකම අසිරිමත් නත්තල සමරන  නත්තල් මාසයේ කිතුණු ගීයෙන්ද,  නිදහස සමරණ පෙබරවාරි මාසයේ දේශාභිමානී ගීයෙන්ද අපේ සිත් නිරන්තරයෙන් අවදි කරන්නේ අයිවෝ ඩෙනිස් වැනි ශිල්පීන් විසිනි.

අයිවෝ ඩෙනිස්ගේ ගීත ගැන කතා බහක් ඇති කිරීමට  අදහසක් හිතට නැගුණේ මීට සතියකට පෙර දිනෙක ඔහුගේ ගී ප්‍රසංගයක් සහ උපහාර උළෙලක් සංවිධානය කර තිබූ නිසාය. අසූවැනි වියේ පසුවන මේ ගායන ශිල්පියාගේ "කුරුලු පරාදීසයේ"   ගී ප්‍රසංගයේදී ඇසුණු ඔහුගේ මියුරු ගීතාවලිය සවනට වැටෙන විට කිසිම රසිකයෙකුට ඔහු අසූවැනි විය ඉක්මවා සිටින්නෙකු ලෙස කිසිවකත් නොහැ‍ඟේ. මන්ද ඒ තරමට මිහිරිව  නියම ශ්‍රැති සහ තාලස්ථානයන්හි පිහිටා  ගී ගැයිමට තරම් ශක්තියක් ඔහුට තිබෙන බැවිනි.

අයිවෝ ඩෙනිස්ගේ දේශාභිමානී ගීත නිරන්තරයෙන් අසා ඇති නිසා තවදුරටත්  ඒ ගීත අසනු වෙනුවට කලාතුරකින් ඇසන ‍එසේත් නැත්නම් ඔබ මීට පෙර අසා නැති අයිවෝ ඩෙනිස්ගේ ප්‍රේම ගිත කීපයක් අද දවසේ කතාබහට එකතු කරන්නට සිතුවෙමි.

කුරුලු පරාදීසයේ
කුරුලු ගිත සාගරේ
ඔබ හා විසුමට එන්නම්
කුරුලු සුරපුරේ
( තිලක් සුදර්මන්ද සිල්වා / සුනිල් සාන්ත)

දශක පහකටත් වැඩි දිගු ඉතිහාසයක් ඇති මේ ගීතය සිංහල ගීත රසිකයන්ගේ තුඩ තුඩ රැව් දුන් ගීයකි. මේ ගීයේ ජනප්‍රියත්වය එදා මෙන්ම අදටත් නොනැසී පවතින්නේ  එහි ඇති සරල බවත් මධුර බවත් නිසාමය.

සුනිල් සාන්තයන්ගේ සංගීතයෙන් හැඩ වූ මේ ගීතය සුනිල් සාන්තයන් විසින්ම ගුවන් විදුලියේ ඉදිරිපත් කළ "රන්වැට" නම් වූ ගුවන් විදුලි වැඩසටහනට ගායනා කරමින් ගී ලොවට පිවිසියේය.  අයිවෝ ඩෙනිස් තමන්ගේ මුල්ම ගියෙන් සංගීත කරලියේ තම නම රඳවා ගැනිමට සමත්වන්නේ මේ ගීතය නිසාය. ඔහු අද  අසූවැනි වියේදිත් මේ ගීය ගායනා කරන විට මට හැඟුණේ  වයසට ගොස් ඇත්තේ ඔහු නොව අප බවයි.
සුනිල් සාන්ත

ඕනෑම ගායන ශිල්පියෙකුට සිය ජීවිතයේ සැඳෑ සමයේ මිහිරට ගී ගැයිම අපහසුය. ගායනයේදී නියම ස්වරස්ථානයන්හි හඬ නොපිහිටීම, මුල් යුගවල තරම් ගායනය සඳහා ජවයක් නොතිබිම වැනි ගීතයක් රස ගැන්විමට අත්‍යවශ්‍යම සාධක වයෝවෘද්ධ භාවයත් සමගම ශිල්පියා තුලින් බැහැරවීම සාමාන්‍ය ලක්ෂණයයි. එය ගී ගයන නොගයන අප කාටත් පොදුය. ඒත් ඇතැම් විට  වියපත් වූ පසුව එවැනි ශිල්පීන්ගේ ගායනාවලට රසිකයන් පෙම් බඳින්නේ ඔවුන් ගොඩනගා ගත් කීර්තිය සහ ජනප්‍රියත්වය තවදුරටත් පිළිගන්නට පුරුදුව සිටින බැවිනි.

අයිවෝ ඩෙනිස් ඊට හොඳම නිදසුනකි. ඔහු වයසින් ගෙවන්නේ ජිවිතයේ සැඳෑ සමය වුවත් ගායනයෙන් තවමත් තරුණ හඬක් සහිතය. සංගීතයෙන් ඔහු ගොඩනගා ගත් පෞරුෂය  අසූවැනි විය ඉක්මවා සිටියද නියම ස්වරස්ථානයන්හි පිහිටා නව ජවයකින් යුතුව තවමත් ගායනයේ නියැලෙයි. එය අප ලද භාග්‍යක් සේම සිංහල ගීත රසිකයන්ගේද  වාසනාවකි.

අයිවෝගේ නිරන්තරයෙන් ඇසන දේශාභිමානී ගීතවලට වඩා මතු දැක්වෙන ගීතයේ දැනෙන ජීව ගුණය අප සිත් නැවුම් ඉසව්වකට කැඳවයි.  මේ ගීතයේ පද රචනය කවුදැයි මටද සොයාගත නොහැක. එසේ වුවත් කලාතුරකින් ඇසෙන මේ ගීය ඔබ මිට පෙර ඔහුගේ අසා ඇති දේශාභිමානී ගීවලට වඩා බෙහෙවින්ම වෙනස් ය.

අන්න බලන් මගෙ මැණිකේ
ගොයම දිලෙනවා ගොයම දිලෙනවා
මඳ සුළගේ නැළවි නැළවි
පවන් සලනවා පවන් සලනවා

ඔබේ ගතින් හෙළු ඩා බිඳු
එකට මුසුවෙලා එකට මුසුවෙලා
බණ්ඩි ගොයම තුළ සැඟවී
කරල් පැහෙනවා කරල් පැහෙනවා

ඔබේ දෑතින් නෙළූ කෙතේ
ගොයම් පිදිලා ගොයම් පිදිලා
ඔබෙ ගීයෙන් ඇල් වී යේ
රසය වැඩිවෙලා රසය වැඩිවෙලා

නව දවසේ නැවුම් සුවඳ
දසත හමනවා දසත හමනවා
රෑන ගිරව් රෑන පිටින්
කෙතට ඇදෙනවා කෙතට ඇදෙනවා

දෑත දෙපා සවිබලයෙන්
කෙත පූදිනවා රට සරුවෙනවා
පුතුට අපේ දුවට අපේ
ජය ගෙනදෙනවා ජය ගෙන දෙනවා

ගීපද මාලාව -
සංගිතය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගැයුම - අයිවෝ ඩෙනිස්  සහ මාලනී බුලත්සිංහල




සුනිල් සාන්තයන්ගේ සංගීතයේ ආභාෂය අයිවෝ ඩෙනිස්ගේ ගීවල පැහැදිලිව දැකිය හැකිය. ඇතැම් විට එය ගී රසිකයන්ට දැනෙන්නේ හඬ අනුකරණය කිරිමක් ලෙසය. ඒ ඔහු සුනිලුන්ගේ ගී ආභාෂය සහ ගායන ශෛලිය අනුගමනය කර තිබූ හෙයිනි. කෙසේ වුවත් අයිවෝ ඩෙනිස් ගැයූ කුරුලු පරාදීසයේ ගීතය සේම , දකුණ නැගෙනහිර, අභිමානනීය වූ නවෝදයේ හිරු, සැළෙන ළෙලෙන උකුලු තලේ, වලාකුලින් බැස, වැනි දේශාභිමානී ගීත සිංහල ගීත වංශයේ රන් අස්වනු සේ හැඳින්විම නිවැරදිය. අප බාල වියේදී ඇසූ ඒ දේශාභිමානී ගීත තවමත් මතකයෙන් බැහැරව නොයන්නේ ඒ නිසාය.


අයිවෝගේ ගායනයට හසුවුන ගීත ප්‍රමාණය ඉතාමත් සිමිත  වුවත් වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය, සිනමාව, සරළ ගීතය, කැසට් ගීත ආදී  විවිධ ඉසව් ඔස්සේ ඔහුගේ ගායන පරාසය විහිද ගොස් තිබීමද විශේෂය. දේශීය සංගීතය, හින්දුස්ථානි සංගීතය, බෙංගාලි සංගීතය, බටහිර සංගීතයේ මුසුවත් ඔහුගේ ගී තුළ ඇති බව පෙනේ. විශේෂයෙන්ම සුනිල් සාන්තයන් අනුගමනය කළ සංගීත ශෛලිය බෙංගාලි සංගීත සම්ප්‍රදායට සමීප වූ බැවින් සුනිල් සාන්තයන්ගේ සංගීතයේ ශෛලිය අයිවෝ ගැයූ ගී වලින්  අපට දැකිය හැකිය.

එසේ වුවද සුනිල් සාන්තයන්ගේ හැරුණු විට  අයිවෝගේ ගායනයේ ස්වර පරාසය සහ ඔහුගේ ගී හඬ පැහැදිළිවම හඳුනාගත් අනෙක් සංගීතවේදියා වූයේ ප්‍රේමසිරි කේමදාසයන්ය. ඒ නිසාම අයිවෝගේ ගී හඬින් නියම විපුල පළ නෙළා ගැනිමට කේමදාසයන්ට හැකිවිය. කේමදාසයන්ගේ සිනමා සංගීතයට අයිවෝ ඩෙනිස් දායක කරගැනිමට තරම් දුර දක්නා නුවනක් ඔහුට තිබුණි. මතු දැක්වෙන ගීයද කේමදාසයන්ගේ නිර්මාණයකි. සංසාරගත ප්‍රේමයක විරහ වේදනාව ගීතයේ තවරා හදට දැනෙන ගීතයක්  බිහිකිරීම සඳහා මේ හඬ මුසුව කෙතරම් ඉවහල් වි ඇද්දැයි සිතෙන්නේ හුදකලාවක මේ ගීත නිස්කාංසුවේ අහගෙන සිටිනා මොහොතකදී ය. මේ අයිවෝ ඩෙනිස් ගැයූ එවන් රමණීය විරහ  ගීයකි.

ඉරවට යන ගිරවියනේ
මගේ ගිරවිය කොහිද අනේ

වනන්තරේ තුරු වදුලේ  කූඩුවෙලා උන්නු අපී
නිරන්තරේ ආලමතින්  ලෙන්ගතුවී උන්නු අපී
මගෙ ගිරවිය කොහිද කියන් සඳ වට යන සාවුනේ

කයිතාලම් ලේන හඬින් කවි සීපද සිංදු කියා
ඈ අහසේ පඳුරු උඩින් මට නොකියා යන්න ගියා
මගෙ ගිරවිය කොහිද කියන් වනයට හිමි දේවනේ

හිත පපුවට ගිනි ඇවිලී මට තනිකම දැනුනාවේ
සතර වරම් දෙව් සරණින්  ඈ නිදුකින් උන්නාවේ
මගෙ ගිරවිය කොහිද කියන් සත් පත්තිනි සාමිනේ

ගීපද මාලාව - ආචාර්ය අජන්තා රණසිංහ
සංගිතය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගැයුම - අයිවෝ ඩෙනිස්  

           

අයිවෝගේ චිත්‍රපට පසුබිම් ගී අතර බඹරු ඇවිත් චිත්‍රපටයේ උදුම්බරා හිනැහෙනවා ගීතයත්, අවරගිර චිත්‍රපටයේ බමරුද බමරුද ගිතයත්,  හිමකතර චිත්‍රපටයේ කන්ද එහා වැස්ස වසින්නා ගීතයත් කේමදාසයන්ගේ සිනමා සංගී‍තයේ අමරණීම සටහන් ය. ඒ හැරුණු විට ආදර හසුන චිත්‍රපටයේ රෝහණ වීරසිංහගේ සංගීතයට සුනිල් එදිරිසිංහ සමග ගැයූ රන් දෙවොලින් බැස එන් දෙයියෝ ගීතයද අයිවෝගේ සිනමා ගි සිත්තම් අතර වේ. ඒ හේතුවෙන්ම 1985 වර්ෂයේදී හිමකතර චිත්‍රපටයේ කන්ද එහා වැස්ස වසින්නා ගීය වෙනුවෙන් එම වසරේ හොඳම චිත්‍රපට පසුබිම් ගායන ශිල්පියා ලෙස ජනාධිපති සම්මානය පවා ඔහුට හිමිවිය.

සුනිල් සාන්තයන්ගේ ගීත සම්ප්‍රදාය අනුගමනය කළ ගායන ශිල්පියෙක් ඒ ආභාෂයෙන් මිදී කේමදාස සම්ප්‍රදායට අනුගත විමට නම් ඒ ශිල්පියාට සංගිතය පිළිබඳව මනා අවබෝධයක් සහ වැටහීමක් තිබිය යුතුය. එසේ නොවුන හොත් ඒ ශිල්පියා කේමදාස සංගීත සම්ප්‍රදාය තුළ අතරමං වේ. ඒ සම්ප්‍රදාය සැනෙකින් ශිල්පියෙකුට හදුනා ගැනිමට යම් තරමක අපහසු කටයුත්තක් වුවද අයිවෝ ඩෙනිස්  මුල සිටම කේමදාසයන්ගේ සංගීත ක්‍රම පිළිබඳව පැහැදිළිවම අවබෝධ කරගෙන තිබුණි. ‍ඒ නිසාම කේමදාසයන් මියයන තෙක්ම ඔහුගේ ඔපෙරා කැන්ටාටා සංධ්වනි වලට දායක විමට අයිවෝට හැකිවිය.

කලාතුරකින් අයිවෝ ඩෙනිස්ගේ හඬින්  ඇසෙන ප්‍රේම ගීත වල දැකිය හැක්කේ අපූරු සෞන්දර්යයකි. ගායන ශිල්පියෙකු ප්‍රේම ගීයක් ගායනයේදී ප්‍රේමය වැනි මාතෘකාවක් ස්පර්ශ කරන ආකාරයට හාත්පස ගැඹුරු හෘදය සංවේදී ගායන රීතියක් කරා ළඟා වන අයුරු අයිවෝගේ ප්‍රේම ගීවලින් අපට දැනෙයි.  ඇතැම් විට යෞවනයකුට දැනෙන ප්‍රේමයේ මිහිරි බව වියපත් වූ කෙනෙකු‍ට එලෙසින්ම දැනේනට ඉඩ හරින මේ අපූර්වතම ප්‍රේම ගීයද ගීත සාහිත්‍යයේ හමුවන අපූරු ගීතයකි. මේ ගියේද රචනය මට සොයාගත නොහැක.


පාසල් උයනේ නා ගස් හෙවනේ
පෙරදා පෙරදා සැනකෙළි දිනයේ
මතකද අප හමුවූවා
ආදි සිසුන්ගේ මල් සැල ළඟදී
පැරණි හැඟුම් මතුකරවා
තුරුණු සිනා පා ආදර හැඟුමින්
පිළිගත්තා

පාට පාට විදුලි පහන්
නිවී නිවී යළි දිලී ගියා‍
පිපී තිබුණ මා හදවත් මල් විල
එයින් සසල වූවා
පියවි ලොවින් මොහොතක් සමුගෙන
සිහින ලොවේ වල්මත් වූවා
පාසල් උයනේ තුරුලිය ගොමුවේ
මලින් පිරී තිබුණා

එනමුදු කාලයෙ සැඩ පහර වැදී
සිතුවිලි සිත්තම් බොඳ වූවා
සිතුවම් නිවහන ගරා වැටී ඇත
යළි එය ගොඩ නංවන්න එපා
අතීත මතකය මිය යන්නට හැර
පෑරුණු සිත මාගේ
සුවපත් වන්නට ඔබ සිත් දැහැනින්
මම සමුගනිමි ප්‍රියේ...
මම සමුගනිමි ප්‍රියේ...

ගීපද මාලාව -
සංගිතය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගැයුම - අයිවෝ ඩෙනිස්  

               

දශක පහකට අධික කාලයක් මුලුල්ලේ තමන් ගොඩනගාගත් සංගීතයේ රැ‍ඳෙමින් අසූවැනි වියේදිත් තවමත් ඹදුර ගායන ලීලාවක් ඇති මේ සොඳුරු ගායන ශිල්පියාගේ ගී කුමන අකාරයෙන් සංගීත රැලි හඹා ආවත්ඉන්ද්‍රඛිලයක් සේ තවත් යුග ගණනාවක් පුරා රැව් දෙනු නිසැකය.෴


වටිනා කාලය බිඳක් වැය කර ගී රස විඳිමින් කියවූ ඔබට  ස්තූතියි. වෙලාවක් ඇත්නම්  මීට වඩා වෙනස් වූ  ඔබේ විචාරාත්මක අදහසත් මෙහි ලියා තබන්න

49 comments:

  1. ලාංකීය සංගීතයේ ස්වරණමය යුගයක සදා නොමැකෙන සිහිවටන කිපයක් ඉතා ලගන්නා සුලු අයුරින් ඔබ අප අතරට ගෙනැවිත් තිබෙනවා. මේ උදාර කලා කරුවන්ටත් ලිපිය අප වෙත ගෙන ආ ඔබටත් ජයෙන් ජයම වේවා.
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
    Replies
    1. නලීන්..

      ස්තූතියි හැමදාමත්ම වටින් අදහසක් එකතු කරනවට

      Delete
  2. අයිවෝ ඩෙනිස් මහත්තයාගේ ගීත මමත් ආසාවෙන් අහන ගීත. අද කාලේ ගීත වලට වඩා හොඳ රසවත් බවක් තියෙනවා

    ReplyDelete
    Replies
    1. කෝරලේ මහත්තයා..
      ඇත්තටම අද ඇහෙන ගිවලට වඩා රසවත්. අවාසනාවකට මේවා කවුරුත් අහන්නෙ නෑ ඒකයි කනගාටුව

      Delete
  3. මේව අහනකොට දැනෙන හැඟීම වචන කරන්න නම් මට බැහැ දයානන්ද මල්ලී. ඒ තරම් ඒ කලෙ ගීත අපේ සිත් නැලවූවා. මේ දේවල් අපට ගෙනෙන ඔබට බොහෝ පිං. මේ සංහිද වැඩ සටහනත් මා නැරඹුවා. කොපමණ වැඩ තිබුනත් ඒ වෙලාවට එය අසන්නට මා පුරුදු වෙලා හිටියෙ මේ රස විඳීම නිසාමයි. මේව අපේ හදවත් චම්ත්කාරයෙන් පුරවාළු ගීත. ස්වභාව ධරමයට , සමාජයට අපි සංවේදී වුනේ මේ නිසයි නේද? අහෝ ! අභාග්‍යයකට දැන් මේ දේවල් හොරු ගෙනිහින්. මේ විදිහට වත් සිත් සනසාගන්න වෙලා අපිට.
    ගොඩාක් ස්තූතියි!!!!!!!!! මේ වටිනා සටහනට මල්ලී.

    ReplyDelete
    Replies
    1. චාන්දි..

      ඇත්තටම මම අයිවෝ ගැන ලියන්න හිතිගෙන හිටියේ මීට කලකට පෙරයි. ඒත් ඔහුගේ ඡායාරූපයක් සොයාගැනිමට නොහැකි වූ නිසා කල් ගියා මේ පිංතූර ටිකත් අමාරුවෙන් අන්තර්ජාලයෙන් හොයාගත්තේ.

      මට සංහිද වැඩසටහන මග හැරුණා මේවගේ ශිල්පියේකුගේ ගිත හැහෙන විට සියලු වැඩ නවතා මමත් ඒ ගිත අහන්න පුරුදුවෙලා ඉන්නවා.

      කාලයත් එක්ක මේ ගිවලට වගේම ශිල්පින්ටත් නිසි තැන නොලැබිම ඇත්තටම කනගාටුවක්

      Delete
  4. සුනිල් ශාන්ත මහතා තම නිවහනේ විවෙකීව ඉන්න වෙලාවක..ගුවන් විදුලියේ ඕහුගේ ගීයක ප්‍රචාරය උනාලු...ඔහු ඉතා ආසාවෙන් අසා සිටින විට..අන්තිමට ආධුනික ප්‍රසංගයකඔහුගේ ගීය ගයා තිබුනේ අයිවෝ ඩෙනිස් මහතායි...සුනිල් මහතා ඔහුව සොයාගෙන තියෙන්නෙ ඒ ආකාරයටයි..( පුවත් පතක දුටිමි...ගී ටික අපට නොදීම් පිලිබඳව උරන වෙමි.)

    ReplyDelete
    Replies
    1. වීපොකුර..

      ඔබේ අදහස හරි මමත් අහල තියෙනවා.

      ඔන්න ගීටික දුන්නා දැන් ගන්න පහසුකම් තියෙනවා. මේ පොස්ට් එක දැම්මේ මැදියම් රැයත් ඉක්මවලා ගිය මොහොතක. තිදින් නිදිබර ගතියක් තිබුන නිසා යම් යම් දේවල් අමතක වුණා. දැන් හරි.. ස්තූතියි සටහනට

      Delete
  5. ඔබ නිවැරදියි !ඒක හරියට පෝය දවසට බෙග් ගේ හඬ ඇහෙනවා වගේ !අර ජීවිතයේ සැන්දෑ සමය ගෙව්වත් කටහඬ ජවසම්පන්නව තිබීම ,එය අපේ තවත් සංගීත ලොවේ පතාක යෝධයින් අතලොස්සක්ටත් පිහිටා තිබෙනවා නේද ?පණ්ඩිත් අමරදේවයන් ගැන මේ දිනවල ඔබ අතින් ලියවේවි යැයි මම හිතුවා ,ඔහුගේ ජන්ම දිනයත් සමග :)

    ReplyDelete
    Replies
    1. මුල =
      (අයිවෝ ඩෙනිස් වැනි ගායන ශිල්පියකු අපේ මතකයට නැගෙන්නේ අවුරුද්දකට වතාවක් දෙකක් පමණි. ඒ නත්තල් සමයක කිතුනු ගීයෙන් එහෙමත් නැත්නම් නිදහස සමරන පෙබරවාරි මාසයේදී දේශාභිමානී ගීතවලිනි .)

      Delete
    2. රෙහානි..
      ඇත්තටම තවත් අය ඉන්නවා..මේ එක්කෙනෙක් විතරයි..

      අමරදේවයන් ගැන නිරන්තරයෙන් විවිධ මාධ්‍ය ඔස්සේ ලියැවුනත් අයිවෝ වගේ ශිල්පීන් ගැන ලියවෙන්නේ කලාතුරකින්. ඒනිසා තමයි අමරදේවයන් ගැන නොලියන්නේ.කොහොමටත් අපි අමරදේවයන් ගැන ගෞරවයෙන් කතාකරනවනේ..

      Delete
  6. අයිවෝ ඩෙනිස් මතකයෙන් ඈත් වී ජීවත් වුණත් කිසිදා සිංහල ගීත ක්ෂේත්‍රයට අමතක නොවන ගාය‍කයෙකි. අයිවෝගේ ගායන ඉතාම විශේෂිතයි. ගීත සිය ගණනක් ගායනා කරනවාට වඩා මතකයේ රැ‍දෙන ගීත කිහිපයක් තුල ජීවත් වීම හොඳයි කියල හිතෙනව.
    කොහොම වුණත් අර හිමකතර චිත්‍රපටයෙ සම්මාන ලැබුණ ගීතයත් අපට අහන්න දුන්නනම් වටිනව.

    ReplyDelete
    Replies
    1. Outsider
      ඇත්තෙන්ම මමත් හිතන් හිටියේ එතුමා වැඩිය ගීත ගායනාකරල නැහැ කියලා. ඒත් එතුමාගේ ගිත 50කට වැඩිය මා සතුව තියෙනවා.ඒ හැම එකක්ම මතයේ රැදෙන ගිත විමත් විශේෂයි.

      හිමකතර ෆිල්ම් එකේ සිංදුව නම් මාසතුව නෑ. ඒත් ඉදිරියේ ඒ ගිතය මට ලැබේවි කියලා පුංචි බලාපොරොත්තුවක් තියෙනවා. එහෙම ලැබුන දාට අහන්න සලස්වන්නම්

      Delete
  7. අද උදේ මම වැඩට යනකොට මම දැක්කා අයිවෝ මහත්මයා බස් එකක් එනතුරු ගේ ළඟ බස් නැවතුම්පළේ ඉන්නවා.. මට හිතුනා මොනතරම් සරල මනුස්සයෙක්ද කියලා...

    මෙන්න ගෙදර ඇවිල්ලා බලද්දි දයා අයියා ඒ ගැන ලියලා..

    මේ ගීත නම් එකක්වත් අහලා නෑ..

    පෝස්ටුවට ස්තුතියි...

    ReplyDelete
    Replies
    1. මෙවැනි සරල නිහතමානී මිනිසුන් දැකීමත් සැපතකි..!

      Delete
    2. හරී..

      එතුමා සීදුව කිට්ටුව ඉන්න බව කීපදෙනෙක් කිව්වා.ඒත් මට තාම හොයාගන්න බැරිවුනා එතුමා ඉන්න තැනක් හරිම කැමැත්තෙන් ඉන්නවා එතුමා දිනෙක හමුවෙන්න.
      සරල කියන්නේ අන්තිම සරල මිනිසෙක්.

      Delete
    3. සීදුවෙ.. හරියටම කිව්වොත් විජය කුමාරතුංග රෝහල ඉදිරිපිට වගේ.. පාර අයිනෙමයි ගේ..

      Delete
    4. හරී..

      ස්තූතියි තොරතුර දුන්නට

      Delete
  8. ඇත්තටම අයිවෝ ඩෙනිස්ගේ කටහඩට මාත් ආසයි..
    මාරම පැහැදිලියි ඒක..
    මං දන්නෑ මටනං එහෙමයි..

    ReplyDelete
    Replies
    1. තරියා..
      සිංහල සංගීතයේ අසමසම කටහඬක්..මේ හ‍ඬේ වටිනාකම තේරුම්ගත්තේ කේමදාස මාස්ටර් විතරයි.

      Delete
  9. හැමදාමත් වගේ අපිට වැදග්ත් දෙයක් තියෙනව අදත්....බෝම ස්තුතියි අයියේ....

    ReplyDelete
    Replies
    1. පිසාචයා.

      ස්තූතියි ඔබේ වටනා අදහසට

      Delete
  10. අයිවෝ ඩෙනිස්ගේ නම අසා තිබුණාට, ඉඳලා හිටලා ඇහෙන ගීතයක් දෙකක් හැරෙන්න ඔහුගේ ගීත ඒ හැටි ශ්‍රවනය කරලා තිබුනේ නැහැ. ඒවායෙන් දැනුණු ආකාරයට නම් සුනිල් ශාන්තගේ ම ගායනය අනුකරණය කරන ගායකයෙක් කියලයි හිතුනේ.නමුත් ඔබ පසුව කිව්වා වගේ, කේමදාසයන් සමග එක්වී සංධ්වනි වල‍ට සම්බන්ධ වුණු අයෙක් නම් ඔහුගේ සංගීත දැනුම බොහොම ඉහල තිබෙන්න ඇති.

    මෑතක දී අයිවෝ ඩෙනිස් කියන නම රුපවාහිනියේ දිගින් දිගට කියවුණා යම් ප්‍රසංගයක් සම්බන්ධව. නමුත් කොළඹ තිබෙන ප්‍රසංගයක් නිසා, අපට අවස්ථාවක් ලැබෙන්නේ නැති නිසා ඒ හැටි අවධානයක් යොමු වුනේ නැහැ.

    කොහොම වුණත් බෙදා ගත් තොරතුරු වලට බොහොම ස්තුතියි අයියේ. පුළුවන් කමක් තිබෙනවා නම් ඔහුගේ තවත් හොඳ ගීත ටිකක් දෙන්න.

    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. රැංගෝ..
      ඇත්තටම අයිවෝගේ ගිවලින් වැඩිම ප්‍රමාණයක් දේශාභිමානී ගිත. ඒ විතරක් නෙවෙයි ඒවා ඉතාමත් උසස් ගිත. තැනක් නොතැනක් බලා අසා රසවිඳින්න පුළුවන්.

      ඇත්තටම මගේ ගාවත් එතුමාගේ ගි අතරින් වැඩිම ප්‍රමානයක් තියෙන්නේ දේශාභිමානී ගිතයි. ඔබ අසා හුරු පුරුදු ගිතත් තියෙනවා. අපි ඉදිරියේදි දවසක් අයෙමත් කතාකරමු හොඳ ගිත ටිකක් එක්ක..

      Delete
  11. අයිවෝ ඩෙනිස්ගේ චිත්‍රපටි ගීත වලට මම බොහෝ ප්‍රියකරනවා . ඔහුගේ ගීත එම චිත්‍රපටියට විශාල වටිනාකම එකතු කරනවා . රන් දෙවොලින් ගීයත් ඒ වගේ .
    …බොහොම ස්තූතියි මේ වගේ නිහඬ කලා කරුවන් මේ වගේවත් මතක් කිරීම ගැන .

    ReplyDelete
    Replies
    1. ගිම්..

      අයිවෝගේ චිත්‍රපට ගීත අනෙක් ගිවලින් වෙනස්වෙන්නේ එහි ඇති ගැඹුරු බව නිසා. චිත්‍රපට කීපයක් වුනත් ඒ හැම එකක්ම ලස්සනයි.

      Delete
  12. අයිවෝ ඩෙනිස් නම් හඬ ගැන මිසක් ඒ නම් වූ සංගීතඥයව හඳුනා ගැනීම තරමක් අපහසු කරුණක් එයට හේතුව තමයි අපහට හුරු පුරුදු අයිවෝ හඬ එන්නේ සුනිල් ශාන්ත හෝ කේමදාස ලේබලය එක්ක වීම . මම මේ කියන්නේ එහෙම වීම වරදක් කියල නෙමෙයි. මෙම නිර්මාණ දහරා දෙකෙන්ම ලැබෙන්නේ උත්තම ගණයේ ගීත.
    එමෙන්ම නිවැරදි ගායන තාක්ෂනය පිළිබඳව පැරණිම උදාහරණය අයිවෝ කිව්වොත් නිවැරදි ඇති.
    සුනිල් ශාන්තයන් බලහත්කාරයෙන් නිහඬ කරවීම ලාංකේය සංගීතයට බලපෑ ප්‍රමාණයට ම අයිවොගේ දිවියටත් බල පාන්නට ඇති. මා අසා ඇති ආකාරයට වෘතියමය වශයෙන් පාසැල් සංගීත ගුරුවරයෙකු වූ එතුමා සුනිලුන්ගේ ගෝලයෙකු වූ නිසාම ඉමහත් ගැහැට වලට මුහුණ දුන්නා . මම හිතන හැටියට සුනිල් ශාන්තයන්හට සිය ජීවිත කාලය පුරාවට නිර්මාණකරණයේ යෙදෙන්නට ලැබුනානම් අපට අයිවෝ ගැන කියන්නට වෙන්නේ වෙනස් ආකාරයකට . අයිවෝ ඩෙනිස් ගැන විතරක් නොවෙයි අමරදේව කේමදාස ආදීවශයෙන් ලංකේය සංගීත ඉතිහාසයම වෙනස් වන්නට ඉඩ තිබුනා. අන්න ඒ ඉතිහාසයෙන සුනිල් සාන්තයන් ඉවත් කිරීම නිසා ඇතිවූ රික්තය ඇතුලේ අයිවෝ හිරකරනු ලැබුවා කියලයි මට හිතෙන්නේ .

    අයිවෝ ඩෙනිස් කියන්නේ සියලු සංගීත සම්ප්‍රදායන් ගැන මනා දැනුමක් ඇති ජ්‍යෙෂ්ඨ ගුරුවරයෙක්. එතුමා ගුවන්විදුලියේ සී ද එස් කුලතිලක මහතාගේ යුගයේ ජනසංගීත පර්යේෂණ අංශයේ මියැසිය වැනි වැඩ සටහන් වල සහ සරලගී වැඩසටහන් වල තමන්ගේම නිර්මාණ ඉදරිපත් කල බව බොහෝ දෙන නොදන්නා කරුණක් . ඉසුරු පසුපස හඹා නොගොස් ලද දෙයින් සතුටින් සිටින එතුමාට දිගාසිරි පතමි .

    ReplyDelete
    Replies
    1. සුසාර..

      හිතට දැනුන විශිෂ්ඨ අදහස් දැක්විමක්.. කතාබටහට ලක්විය යුතුම ඉසව්වකට ඔබේ අදහස ගෙන ආවා. ඇත්තටම ඔබ නිවැරදියි වගේම මමත් ඔබේ අදහසට එකග වෙනවා. අයිවෝ ගැයූ සිය ගනනක් ගිත අතරින් මිනිසුන්ට ඇහෙන්නේ ටිකයි ඒ ගීත ටික අතරේ ඔහු ජිවිත කාලය පුරාම රැඳී ඉන්නවා. ඒවගේම මෙරට අනෙක්තු සංගිතඥයන්ට ඔහුව මගහැරීම පුදුම දනවන කාරණයක්.

      ඔබ අස්වැන්නට සාදරයෙන් පිළිගන්නවා වගේම බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා මේ අදහස් දැක්විමට එකත්විම සම්බන්ධයෙන්.

      Delete
  13. ඇත්තටම ඒ සින්දු කොච්චර ලස්සනද..! මේ වෙලාවේ අහන්න විදිහක් නැති වුනත් සින්දු වල පදමාලාව මම හොඳට වින්දා. හැමදාම වගේ නෙලන්නට අස්වැන්නක් අරන් එන දයානන්ද අයියාට ස්තුතිය.

    ReplyDelete
    Replies
    1. පැතුම්..

      නිවාඩු වෙලාවක් මේ ගිත විවේකිව අහන්න අරන් තියාගන්න. නිස්කාංසුවේ අහල බලන්න ඔහුගේ ප්‍රේමගිත කොයිතරම් ගැමුරු ඉසව්වකට අපව ගෙනයනවද කියලා.

      Delete
  14. මමත් කැමතිම කටහඬක්. ස්තුතියි ඔබට

    ReplyDelete
    Replies
    1. බින්දි..

      අපි කවුරුත් කැමතිම ගි හඬක්..ස්තූතියි ඔබට

      Delete
  15. ජීවිත කාලෙටම මේ ගීත ටික පළවෙනි වතාවටයි ඇහුවෙ.මමත් හිතාගෙන හිටියා අයිවෝ ඩෙනිස් ගීත ඔක්කොම මම අහල තියෙනවා කියල.

    මේ අමරණීය ගීත අසන්නට ලබාදීම ගැන ගොඩක් පිං

    ReplyDelete
    Replies
    1. හැලප කඩේ..

      සහෝ.. ඔබට වැටහෙනව නේද අපේ මාධ්‍ය හැසිරෙන හැටි. එහෙව් එකේ කොහොමද හොද රසවින්දනයක් ඇති කරන්නේ..

      මේ ගිත වසර 30කට වඩා පැරනි ගිත ඒත් එහි රසය සහ ගලාහැලෙන ප්‍රේමය අදටත් පොදුයි. මේ ගිත ටිකයි තවත් ගී රැසක්ම තියෙනවා. යළිත් දවසක අපි ඒ ගිත අහමු. ස්තූතියි

      Delete
  16. ඇත්තමයි සමහර ගීත ඇහුවේ අදමයි....බොහොම ස්තූතියි......

    ReplyDelete
    Replies
    1. තරුවා මල්ලියේ..
      ඔබේ වයසත් එක්ක ඒ ගි අහලා නැතිවෙන්න පුළුවන්. ඇත්තටම මට සතුටක් දැනෙන්නේ ඔබේ පරපුරේ අය මේ ගිත ආයෙමත් අහලා රසවිදින්න පෙළඹෙන එක ගැනයි.

      Delete
  17. මට මතකයි ඉස්සර උදේට පිරිත් දාල තියෙනවා. පිරිත් ඉවර වුනාම මොහුගේ දේශාභිමාන ගීත හැමදාම යනවා.. වැඩිය චැනල් තිබ්බෙත් නැහැ නේ..

    ReplyDelete
    Replies
    1. අසරනයා..

      ඔව් ඒකාලෙ තිබුනෙ එක ගුවන්විදුලි චැනලයයි. ඒකත් ආණුඩ්වේ ගුවන් විදුලිය. ඉස්සර ගුවන්විදුලියේ උදා ගීත වැඩසටහන් වල යන්නේ අයිවෝගේ ගිත.දැන් චැනල් නම් කියල වැඩක්නෑ..

      Delete
  18. "අයිවෝ ඩෙනිස්" කියන නමත් මම ඇහුවේ අදයි. මේ ගීත එකක්වත් අහලා තිබුනෙත් නෑ. ඒකනම් මගේ අඩුවක් වෙන්න ඇති. ඒත් සැඟවී ගියපු මේ වගේ ගායකයින් ගැන මතකය අවදි කරලා ඔබ කරන්නේ මහඟු සත්කාරයක්.

    ReplyDelete
    Replies
    1. සයුරි..

      ඇත්තටම ඔබේ කාලය එනකොට ලංකාවෙ බොහෝ දේ වෙනස් වෙනවා.ඒ නිසාම අයිවෝ ඩෙනිස් ගැන නොදැන සිටිම පුදුමයක් නෙවෙයි.ඒක ඔබේ අඩුවකුත් නෙවෙයි.ලංකාවෙ කලාව හාහිත්‍ය සහ සංස්කෘතිය පොදු ජනතාවගෙන් ඈත්වෙන්න පටන් ගත්ත සමයක ඔබ වැනි සහෘදයන් හිතන්න පුළුවන් වයසට එළඹෙන්නේ. ඒවගේම ලංකාවෙ මාධ්‍ය ක්‍රියාත්මක වන ආකාරය ගැන තමයි ගැටලු තියෙන්නේ.

      ටිකක් මතක් කරල බලන්න මතු දැක්වෙන ගීපද කොහෝ යාන්තමටවත් මකයේ රැදිල තියෙනවද කියලා. එහෙම නම් ඒ තමයි අයිවෝ ඩෙනිස්."බඹරු ඇවිත් චිත්‍රපටයේ උදුම්බරා හිනැහෙනවා ගීතය"
      "ආදර හසුන චිත්‍රපටයේ රෝහණ වීරසිංහගේ සංගීතයට සුනිල් එදිරිසිංහ සමග ගැයූ රන් දෙවොලින් බැස එන් දෙයියෝ ගීතය"

      ඒ වගේම මේ උදාගිතය:

      "අභිමානනනීය වු නවෝදයේ හිරු
      හෙට උදයේ පායා එනවා
      සැකයේ පිනි බිදු විසිරී යනවා
      නැවුම් දවස හෙට උපදිනවා"

      Delete
    2. අනේ මේ ගීත ටිකනම් මම හොඳට අඳුරනවා...ඒත් ඒ අයිවෝ බව දැනගෙන හිටියේ නෑ නේ.

      Delete
  19. අයිවෝ ඩෙනිස්ගේ හඬ පෞරුෂය රසික සිත් වලින් අමතක කරන්න බැරිතරම්..ගොඩක් ස්තුතියි මේ අළුත් සින්දු බෙදාගත්තාට..

    “වලාකුළින් බැස“ ගීය තමා මගේ ආසම ගීය..

    ReplyDelete
    Replies
    1. රූ...

      ඇත්තටම මේගිත අලුත්ම ඒවා නොවේ. මේවා වසර 30කට වඩා පැරනියි. අවාසනාවට මේ තරම් මිහරි ගිත මමත් කිසිම දිනෙක ගුවන් විදුලියෙන් අහල නෑ

      Delete
  20. හොඳ ගුරුගෝල සබඳතාවයක් මම දකින්නේ

    ReplyDelete
  21. මමත් සමහර ගීත අහලා තිබුණේ නෑ..
    ස්තූතියි ඔබතුමාට... මෙහෙම සුන්දර ගීත ගැන අපිට ලියනවාට..:)

    ReplyDelete
  22. අපූරු ගායකයෙක් ගැන වෙනද වගේම නොදන්න පැතිකඩක් අපට ගෙනල්ල... මමත් අයිවෝ ඩෙනිස් කිවුවම දේශභිමානි ගී කියන කෙනෙක් විදිහට දැනගෙන ඉදියෙ... ඔබ කිවුව ඉහත ගීතත් ඔහුගෙ මම අද දැනගත්තෙ...
    හැමදාම වගේ ස්තුතියි මේ දැනුම බෙදා දෙනවට.. සමහර ගිත අපි උපදින්නත් පෙර කරපුව...එවන් ඉතිහාසය අපිට වටිනව...

    ReplyDelete
  23. අයිවෝ ඩෙනිස්ගේ අදකාලේ වැඩිය ඇහෙන්නට නැති ගීත එකතුවක්...! ගොඩාක් රස වින්දා... එතුමා ගයන ගී වල ඒ කටහඩේ අමුතුම මිහිරක් තියෙනවා..

    ReplyDelete
  24. අයිවෝ ඩෙනිස්ගෙ හොඳ ගීත කිහිපයක් තියනවා. දැන් ගොඩක් යාලුවො ඉන්නවා වගේ. සතු‍ටුයි ඒ ගැන.
    මැණික්

    ReplyDelete
  25. බොහොම කාලෙකට පස්සෙ අස්වැන්න පැත්ත ආවෙ. අයිවෝ ඩෙනිස් මහත්මය මම ගොඩක් පුංචි කාලෙ ඇහුන ගීත ගණනාවක්ම ගායනා කලා. ඒ දවස් වල ඒ ගැන කිසි දැනුමක් තිබුණෙ නෑ. පස්සෙ ඔහුව මට ආයෙත් රහ වැටෙනව. කලින් කමෙන්ටුවක යාළුවෙක් කියල තියෙනව වගේ ගායනයේ තාක්ෂණය හොඳින් දැනගෙන හිටපු ශිල්පියෙක් තමයි එතුමා.

    ඔය ඉරවට යන ගිරවියනේ සින්දුව මම මුලින් අහල තිබුණෙ නදීක ගුරුගේ මහත්මයගෙ හඬින්... ඒකත් වෙනස්ම හැඟීමක් දනවන අනුවාදයක්

    http://www.youtube.com/watch?v=jmOh1I50k8A

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...