එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Monday 17 June 2013

෴ ජීවිතය මිනිසුන් වෙනුවෙනි... ෴




     
                                             
            ජයතිලක බණ්ඩාර නම් සොඳුරු මිනිසා... අවසන් කොටස...

 රජරටින් බිහිවූ ජයතිලක බණ්ඩාර 71කැරැල්ල හමුවේ ක්‍රියාකාරී වූ කලාකරුවන් කිහිප දෙනාගෙන් එක් කලාකරුවෙකි. ඒ නිසාම ඔහුට බන්ධනාගාර ගත විමට සිදුවිය. එයින් නිදහස් වූ ඔහු ජනතා විමුක්ති පෙරමුණේ “විමුක්ති ගී” ප්‍රසංගයටත්, එතැනින් කාලයේ රාවය, කපුගේ ගී සැඳෑව, කම්පන ආදී ගි ප්‍රසංග කෙරෙන් ජනතාව හමුවට පැමිණියේ සැබෑ ජනතාවාදී ගායන ශිල්පියෙකු ලෙසිනි. රජරට සේවයේ ගායන ශිල්පියකු, සිතාර් වාදකයකු වශයෙන් පමණක් නොව, ගුවන් විදුලි නිවේදකයකු වශයෙන්ද කටයුතු කළ ජයතිලක බණ්ඩාරට සිය ගුවන්විදුලි රැකියාව අහිමි වූයේ ජනතාවාදී කලාකරුවකු ලෙසින් සිය දේශපාලන ස්ථාවරය වෙනස් නොකල බැවිනි. ඔහු තරු දිදුලන රටක තරුවක් නොවේ.  හතළිස් වසරකට ආසන්න කාලයක් ගී ලොවෙහි සැරිසරමින් තම රසිකයන්ට රසවින්දනය බෙදා දෙමින් හඬක් නැති ජනතාවට  උතුරා ගලන ගී හඬක් වෙමින් සිටී.
 මෙතක් තැබූ සටහනේ අවසන් කොටස මෙතැන් සිට

   සිය ජීවිත කාලය පුරා ලද කලාව , සංගීතය සහ දේශපාලන අත්දැකීම් ඔස්සේ සුවහසක් මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නටත්, ඔවුන්ට අවැසි තැන ඔවුන් වෙනුවෙන් හඬ නගන්නටත් සංගීත ඥානය මෙහෙයවමින් ඒවා මිනිසුන්ගේ සැබෑ අත්දැකිම් බවට හරවා ඒ හඬ  ජනතාවගේ හඬක් වන්නට වෙර දරන කලාකරුවන් මෙකල්හි අතිශයින් ම විරල ය. එවන් වූ සමයක ජයතිලක බණ්ඩාරයන් අද ඉදිරිපත් කරමින් සිටින රස වින්දන වැඩසටහන වෙනුවෙන් කෙටි සටහනක් තබා සති කිපයක් තිස්සේ මේ සොඳුරු ගායන ශිල්පියා, සංගීතවේදියා වෙනුවෙන් මා ලියූ මේ සටහන අවසන් කරන්නට කල්පනා කරමි.

සාධු ජන රාව ප්‍රසංගය 1200 වාරයක් ඉක්මවා ගම්, නියම් ගම්, නගර සැරිසර සරා හමාර වූයේ යුද්ධයෙන් පීඩාවට පත්වු උතුරේත් දකුනේත් මිනිසුන්ගේ හිත් තුළ මිනිස්කමේ පාලම ඉදිකර දෙමිනි.  එහෙත් සාධු ජන රාව ප්‍රසංගය ඇරඹීමට මූලිකව ම හේතු වූයේ අනූව දශකයේ මුල් භාගයේ ඔහු විසින් රජරට දී ආරම්භ කළ රසවින්දන වැඩසටහනයි. රසවින්දන වැඩසටහනේ මූලිකම හරය වූයේ වඳ පීදෙමින් පවතින සිංහල සුභාවිත ගීතය නැවත රසික සවනට සමීප කර හරවත් ගීත සංස්කෘතියක් කරා රසික සමුහයා යොමු කිරීමයි. එමගින් හරවත් ගීත කලාවක් ඇති ශක්තිමත් පදනමක් සකස් කිරීමය. ඒ පරමාර්ථයේ පූර්ව අවස්ථාවන්ට එදා රජරටදී කපුගේගේත් සිය සමීප මිත්‍ර සගයා වූ දිවුල්ගනේගේත් සහාය ජයතිලක බණ්ඩාරයන්ට නොමඳව ලැබුණි. එදා ඔවුහු ගමින් ගම පැවැති වැඩසටහන් කිපයකම එක්ව ගී ගැයූහ. ගීයේ අරුත පැහැදිළි කර දුන්හ.

එසේ වුවත් අද දවසේ කපුගේත්,  දිවුල්ගනේත් නොමැතිව ජයතිලක බණ්ඩාරයන් තනිව ම එකී රසවින්දන වැඩසටහන නැවත රට පුරා ගෙන යමින් පුරන් වෙමින් පවතින මේ ගීත කලාව යහ මගට ගැනීමේ වැයමක නිරතව සිටී.

හැත්තෑව සහ අසූව දශකයන්හි  සිංහල ගීතයේ ස්වර්ණමය යුගය සටහන් වන විට අනූව දශකයේ මැද භාගයේදී ඒ ගීත කලාව වල් වැදී යාමේ ලකුණු පහළ වූයේ නූතන තාක්ෂණය සම්පූර්ණයෙන් ම මෙරට තුළ ස්ථාපනය විමත් සමග ය.  නූතන තාක්ෂණය රටක සංවර්ධනයට අත්‍යවශ්‍ය සාධකයක් වුවත් සංගීතය වැනි විෂයකදී එය භාවිතා කළ යුතු ආකාරය පිළිබඳ පැහැදිළි ක්‍රම වේදයක් අපට නැත. එසේ වුවත් එවැනි ක්‍රමවේදයක් බලෙන් පැනවිය නොහැකි බව ඉඳුරා පැහැදිළි කරුණකි. එය එකිනෙකාගේ රුචි අරුචිකම් අනුව ශ්‍රව්‍ය ගෝචර මෙවලමක් ලෙසින් විවිධ ක්‍රමවලින් භාවිතා කල හැකි ය. 

මෙරට පෞද්ගලික ගුවන් විදුලි නාලිකා සහ රූපවාහිනී නාලිකා බිහිවිමට පටන් ගැනිමත් සමගම තරගකාරී මාධ්‍ය කලාව හමුවේ සුභාවිත ගීතය වල්වැදී යාමේ ආරම්භය ඇති විය. නව සංගීත පරපුර තුළ ඇති වූ සංගීතමය උන්මාදය  සහ එළිමහන් ප්‍රසංග වේදිකා කලාවේ ප්‍රාසාංගික කණ්ඩායම් සංගීත කලාව පිළිබඳව රසිකයන් දැක්වූ දැඩි උනන්දුව නිසා ම ලද අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත් කැසට් නිෂ්පාදකයින් හා ව්‍යාපාරිකයන් කළ දුටු කල වළ ඉහ ගත්තාක් මෙන් ලද අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන හරසුන් පදමාලා සහිත ගීත සංස්කෘතියක් බිහි කරමින් එවැනි ගීත  නිෂ්පාදනය කරමින්, තරඟකාරී මාධ්‍ය සංස්කෘතියක් තුළ ගීතය වෙළඳ භාණ්ඩයක් බවට පත් කළහ.

එදා සිට ඇති වූ මේ සිංහල ගීතයේ බිඳ වැටිම ප්‍රවීණ ශිල්පින් අතළොස්සක් දෙනා එය රැක ගැනීමට කිසියම් පමණක හඬක් නැගීම  හැරුණු විට  සෙස්සෝ සිංහල ගීතය පිළිබඳව ඈලිමෑලි ස්වභාවයේ නිහඬ පිළිවෙතක් අනුගමනය කිරිම හේතුවෙන් ගීතය හරසුන් සහ කඨෝර   සංගීතයේ රිද්මයට නතු විය.

නිල්වලා ගඟ ගිමන් නිවනා තොටමුණේ
මුල් වතාවට මැදින් පුර හඳ හිනැහුණේ
ඇල්මෙන් අත් අකුරු ඇහිලූ දිවයිනේ
කල්පනා පිරි සදාකාලික යෞවනේ

රොද බඳින තැන කොතැන යුක්තිය සොයනා
හද අතින් ගෙන බිඳුණු තටු පිරි මදිනා
මදහසින් ගණ අඳුර විනිවිද දකිනා
නිදහසින් තොර සටන අතහැර නොයනා

බොඳව නොයනා සිහිනයක ඇස රඳවා
දුකම විහිදන පඬුපුලක අප හිඳුවා
සදය උපහාසයට දුකඳුළ කැඳවා
ගොතන වැකියකි දෙකකි හදවත බඳවා

පුංචි දෑතින් මහරු කවි පද විමසා
පුංචි ලෝකය සොඳුරු බර මහ මිනිසා
පුංචිකමකට ගොනු කරනු බැරි මිනිසා
පුංචි හේවා නැමැති සුන්දර මිනිසා
නිදහසින් වුව සටන අතහැර නොයනා

ගී පදමාලාව: මංජුල වෙඩිවර්ධන
සංගිතය සහ ගැයුම: ජයතිලක බණ්ඩාර
“නිල්වලා ගඟ” ගීතය මෙතනින් අහන්න
             


මිනිසුන් සංවේදී විය යුත්තේ සමාජය තුළ සිදුවන නොපනත්කම් කෙරෙහි ය. එසේ වූ කල්හි ගීතය වැනි ප්‍රබල කලා මාධ්‍යයක් මගින් ඊට ප්‍රතිරෝධය දැක්විය හැකිය.  රෝගී වෙමින් පවත්නා සමාජ දේහය නිරෝගී කරන්නට එදා සාධු ජන රාව ප්‍රසංගය මෙන්ම අද ගමින් ගමට යන රස වින්දන වැඩසටහනද මුල් තැනෙහි තැබිය හැකි සෞන්දර්යාත්මක වැඩසටහන් වේ. එවැනි සෞන්දර්යාත්මක වැඩසටහනක් ඉදිරිපත් කිරිමට ජයතිලක බණ්ඩාරයන් සුදුස කම් ලබන්නේත්, ඒ සඳහා ඇරයුම් ලබන්නේත් සිය ජීවිත කාලය ඔස්සේ ලබාගත් සංගීතමය අත්දැකීම් සහ භාවිතය නිවැරදිව සහ නිසි ලෙස හසුරුවා ගනිමින් ඕනෑම වයස් මට්ටමක ඕනැම වයස් කාණ්ඩයක රසිකයන් පිරිසකට ආමන්ත්‍රණය කිරීමේ හැකියාව ජයතිලක බණ්ඩාරයන්  සතු ව ඇති හෙයිනි. 

විශේෂයෙන්ම අධික පිරිවැයක් දරා ජනප්‍රිය සංගීත ශිල්පියෙකු හෝ ශිල්පිණියක කැඳවා එවැනි රස වින්දන වැඩසටහනක් සංවිධානය කිරිමට ලංකාවේ ප්‍රධාන පෙලේ පාසල්වල විදුහල්පතිවරුන්ට අවශ්‍ය තරම් මූල්‍ය ශක්තියක් තිබුණද පසුගිය කාල වකවානුව පුරාම ඔවුන් සිය පාසල් සිසු දරුවන්ට රසවින්දනය හඳුන්වා දීම පිණිස ඇරැයුම් කරන ලද්දේ ජයතිලක බණ්ඩාරයන්ටය. එය වඩාත් ම තහවුරු වූයේ කොළඹ නගරයේ ජනප්‍රිය පාසල්වල මෙන් ම මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ දින 12 ක් පුරා සිසු දරුවන් සහ දෙමව්පියන් වෙනුවෙන් පැවැති රස වින්දන වැඩසටහනත්, කඳාන ඩි මැසනඩ් විද්‍යාලයේ දින 05 ක් පුරා පැවති රසවින්දන වැඩසටහන් මාලාවත් ය. මෑතකදී ගම්පහ ප්‍රධාන පෙළේ ටියුෂන් ආයතනයක් වූ නැණික් ආයතනය ද ඔවුන්ගේ ටියුෂන් කලාව මොහොතකට නතර කර  උසස්පෙළ සියළු විෂය ධාරාවන් හදාරන ටියුෂන් යන දරුවන්ට ද මේ රසවින්දන වැඩසටහන විඳින්නටත් ඒ ඔස්සේ නිර්මාණාත්මකව හිතන්නටත් අවශ්‍ය පසුබිම දවසක් පුරා සකස් කර දී තිබුණි.

එසේ රසවින්දන වැඩසටහන ඔස්සේ සුභාවිත ගීත කලාව යළියළිත්  නූතන සිංහල ගී රසිකයන්ට දැයේ දරුවන්ට, දෙමව්පියන්ට සමීප කරවන්නනට වෙර දරන අතරතුරම කලාකරුවක් ලෙස සමාජ ක්‍රියාකාරම් වෙනුවෙන් ද පෙනී සිටී. ජනතාවාදී ලේබල් අටවාගත් බොහෝ කලාකරුවන් මැතිවරණ සමයේජනතා ක්‍රියාකාරීහු  ලෙස පෙනී සිට ලද තනතුරු ලාභාපේක්ෂාවන් හමුවේ මුනිතව රකිද්දී ජයතිලක බණ්ඩාරයන් තවමත් මිනිසුන් වෙනුවෙන් පෙනී සිටින කලාකරුවන් කීප දෙනා අතර මුල්තැනක සිටී. 

වැස්ස වගේ ඇද හැලෙමූ
සුළඟ වගේ එකට ඉමූ
මූද වගේ මුතු බඳිමූ
ඉර හඳටත් එළිය දෙමූ

රතු තොල් විදහා මුදු මුහුණේ
අපටයි ගහවැල සිනාසුනේ
දරුවන් වඩමින් ළය මඬලේ
අපටයි මිහි මවු කතා කළේ

අහස හඬන හඬ ඇහෙන හිතක්
පොළව හඬන හඬ දැනෙන ගතක්
සෙනෙහස උතුරා ගලන ලොවක්
උදා කරමු අපි අපේ ලොවක්

ගී පදමාලාව : මහින්ද චන්ද්‍රසේකර
සංගිතය: ප්‍රේම් රංජිත් විජේවික්‍රම
ගැයුම: ජයතිලක බණ්ඩාර

වැස්ස වගේ” ගීතය මෙතනින් අහන්න
                        
පසුගිය දවසක  වකුගඩු රෝගයෙන් පෙළෙන රජරට රෝගී වූ දුප්පත් අහිංසක දනන් වෙනුවෙන් මානවවාදී ගුණයෙන් පිරිපුන් කලාකරුවකු ලෙස ජයතිලක බණ්ඩාරයන් අනුරාධපුර ශාන්ත ජෝශප් දෙව්මැදුරු රංග ශාලාවේදී “ජීවිතයට අරුතක්” ගී දැහැන යළිත් සිය ගී හඬ අවදිකළේ ඒ ජනතාවාදී බව නැවත නැවතත් තහවුරු කරමිනි. එහි පැමිණ සිටියේ කලාවත් රසවින්දනයත් විනිවිදව මිනිසත් බව දුටු මිනිසුන් ය.

අවම සංගීත භාණ්ඩ කිපයක් උපයෝගී කර ගනිමින් දිලිසෙන ඇඳුම් ආයිත්තම්, සැරසිලි, විදුලි අලංකරණ ආලෝක, කිසිවක් නොමැති ව, පොදු ජනතාව අතරට යාමට "මුදල" අත්‍යවශ්‍යක සාධකයක් නොවේය යන මතය තහවුරු කර ජයතිලක බණ්ඩාරයන් " ජීවිතයට අරුතක්" සංවේදී ගී දැහැනේ දැහැන් ගතවෙමින් රජරට රෝගී ජනතාව වෙනුවෙන් හෝරා තුනකට ආසන්න කාලයක් ගී ගැයුවේ ය.

ඔහුට අවශ්‍ය වූයේ ජනතාව අතර සිට ජනතාවගේ හඬ නගන නියෝජිතයෙක් වීම විනා සුපිරි ගී තරුවක් විම නොවේ. ප්‍රසංගය අතරමැද දී ඔහු ගේ දෑසින් කඳුළු කඩා වැටෙද්දී මහත් ආයාසයකින් නැවත ප්‍රසංගය සමග ඒකාත්මීය වූයේ  තමන් තෝරාගත් මේ දුෂ්කර ගමන් මගට එකතු වූ රසිකයන් පිරිසක් සිටි නිසාය.

"
ජීවිතයට අරුතක්" සංවේදී ගී දැහැන ‍සිංහල බසින් පමණක් නොව දෙමල බසින්ද ඉදිරිපත් කරමින් සියලු  මිනිසුන් වෙනුවෙන් ඔහු සිය හඬ අවදි කළේ ඒ මිනිස්කම වටහා දීමටය.  

කොළඹදී සුපිරි රංග ශාලාවක ප්‍රසංගයක් වෙනුවෙන් ගතකරන හෝරා දෙක තුනට වඩා බොහෝ වටිනාකමක් ඇති හෝරා කීපයක අගය දැනුණේ ඒ මොහොතේය.

 එදා සාධු ජන රාව වැඩසටහන රට පුරා සැරිසරද්දී  බොහෝ කලාකරුවෝ සමාජ වගකිමක් ලෙසින් ජනතාව නියෝජනය කිරිමට  හැකි සෘජු මාර්ග ලෙස ගීතය සංගිතය සහ සිනමාව තෝරා ගත්හ. ඔවුන්ගේ ඒ ජනතාවාදී බව පිළිඹිඹු වූයේ ඇතැම් නිර්මාණවලින් පමණි. පසු කලෙක  මැතිවරණ වේදිකාවල තම තමන් නියෝජනය කරන දේශපාලන පක්ෂවලට ජනතා සහය ලබාගැනිමට නිර්මාණ ඔස්සේ පෙන්වූ ජනතාවාදී බව අවියක් කොටගත්හ. අවසානයේ සිදු වූයේ ඔවුන් තමන් ‍විසින් ගොඩනගා ගත් කීර්තිය උගසට තබා දේශපාලන වේදිකාවල කළ කැපකිරීම් වෙනුවෙන් පඬුරු පාක්කුඩම් ලෙස විවිධ තනතුරු හා වරප්‍රසාද ලැබ නිහඬ වන්නට ය. 

ජයතිලක බණ්ඩාරයන් සැබෑ කලාකරුවකු ලෙස තවදුරටත් අපට හමුවන්නේ මේ සන්දර්භය තුළ දීය. තමන් නියෝජනය කළ දේශපාලන මාවතෙන් බැහැර වුවද තමා අත්විදින දේශපාලනය සහ සමාජ ක්‍රමය තුළ ජනතා කලාකරුවකු ලෙස තවදුරටත් මිනිසුන් වෙනුවෙන් හඬක් නගන්නට ඔහුට හැකියාව ඉතිරි කර තබා ගනිමින් ඔහු ඒ උගත් සංගිත කලාව හෝ දේශපාලන අත්දැකීම් උගසට තැබුවේ නැත.

 සංගීතයෙන් ගොඩනැගූ දේශපාලන දෘෂ්ටියත් ජනතාවාදී කලාකරුවකු ලෙස මිනිසුන් වෙනුවෙන් දැක්වූ අපරිමිත දයාබර බවත් හැර ගුණදාස කපුගේ නික්ම ගොසිනි.  තම දීර්ඝ කාලින කළ්‍යාණ මිත්‍රයා  වූ කරුණාරත්න දිවුල්ගනේ වත්මන් උතුරු මැද ආණ්ඩුකාරවරයා ලෙසට දේශපාලන පත්විමක් ලැබ නිහඬ වී සිටී.  ඔවුන්ගේ ගමන් මග ගීයෙන් සරසා ලූ මහින්ද චන්ද්‍රසේකර ආණ්ඩුකාරවරයාගේ ලේකම්වරයා ලෙසින් කටයුතු කරයි. පාසල් සමයේ  අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ එකම පන්තියේ ඉගනුම ලැබූ බර්ටි ප්‍රේමලාල් දිසානායක වසර විස්සකට ආසන්න කාලයක් උතුරුමැද ප්‍රධාන අමාත්‍යවරයා ලෙසින් කටයතු කළේය. මේ දිග ඉතිහාසය තුළ අවශ්‍ය වූයේ නම් තමන් නියෝජනය කළ පන්තිය අතහැර දමා එවැනි අවකාශයක තනතුරක් හෝ වරප්‍රසාදයක් භාර ගෙන නිහඬ වන්නට අවශ්‍ය පසුබිම ජයතිලක බණ්ඩාරයන්ටද තිබුණි.

එහෙත් ඔහු එසේ කලේ නැත. එවන් කලාකරුවෝ නිරන්තරයෙන් ගෞරවයටත් පැසසුම් ලැබිමටත් පාත්‍රවන්නේ එහෙයිනි. ජයතිලක බණ්ඩාරයන්ගේ සංගිත දිවිය හතළිස් වසරක් ඉක්මවා ඇත.  කාලය හමුවේ සියල්ල වෙනස්වී ඇත. උතුරේ නඩරාජලාත්, සෙල්ලම්ලාත්,දකුණේ සුමනසිරිලාත්, සෙනෙහෙලතාලාත්, මොහොමඩ් කාසිම්ලාත්, රාමලාන් සඳ එලියේ හිනැහුණ පාතිමාත් අද වෙනදාටත් වැඩිය විරසකය. ශාන්තිනී, සෙල්වි, ශිවරමණී, එක්කම එකම පන්තියේ අකුරු කළ සරෝජාත් එකම මිහිමත නිහඬව සැතපෙති. කාලය සියළු දේ වෙනස් කර ඇත. රුසියානු සාහිත්‍යයේ හමුවන බොහෝ කලාත්මක චරිත සේම  ‍ලෙස ජයතිලක බන්ඩාරයන් සතු කලාත්මක භූමිකාවද  මා  මනසේ ඇඳී තිබේ. සැබැවින්ම ජයතිලක බණ්ඩාර යනු  තරු බබලන රටක තරුවලට එලියදෙන හිරු මඬලකි.෴

පිරිත් පුරන බෝ මළුවෙන් පිරිත් පැන අරන්
සමන් පිච්ච මල් අරගෙන කෝවිල් මළුවෙන්
රාමලාන් සඳ එළියේ වාංගු කියමින්
අපි කල්වාරියෙ කන්ද නගිනවා
අපි සිරීපාදෙ කන්ද නගිනවා

මේ පොළව පුරා මල් පිපුණේ අපට මල්ලියේ
අතු රිකිලි නවා ඵල හැදුණේ අපට නංගියේ
මේ පොළව බෙදූ මායිම් පැන එන්න මල්ලියේ
අපට හිතේ පිපුණු මල් දෝතක් දෙන්න නංගියේ

මවක් වගේ අප සිඹිනා සොඳුරු ලෝකයක්
පියෙක් වගේ අප රකිනා සොදුරු ලෝකයක්
කාසිම් ධර්මේ රාජ සුන්දරම්
මේ කඳුලු ග‍‍ඟේඔරු පදින්න බෑ
අපි හදා ගනිමු අපේ ලෝකයක්

ගී පදමාලාව : මහින්ද චන්ද්‍රසේකර
සංගිතය: අජිත් ජයවීර‍
ගැයුම: ජයතිලක බණ්ඩාර

“පිරිත් පුරන බෝ මළුවෙන්” ගීතය මෙතනින් අහන්න
                           

විශේෂ ස්තූතිය:
ජයතිලක බණ්ඩාරයන්ට,
තුසිත කුමාර සහෘදයාණන්ට
වෛද්‍ය යසනාත් ධම්මික බණ්ඩාර සහෘදයාණන්ට  (යසනාත් සිතුවිලි )
තරු රසී බ්ලොග් අඩවියේ තරුරසී සුහදිනියට

18 comments:

  1. යසනාත් දොස්තර මහත්තයා කියන සගවා ගත් ගායකයා නේද ජයතිලක බණ්ඩාරයන්.. ඔහුගේ වෑයම අගය කරමු සහෘදයන් ලෙස.. ජයම වේවා ජයේ.. ඔබටත් ස්තුතියි දයා. ඒත් මීට වඩා දෙයක් ඔහු ගැන මාධ්‍යෙයන් විය යුතුයි මගේ අදහස එයයි.

    ReplyDelete
    Replies
    1. දේශකයා...

      ඇත්තෙන්ම ඒ යසේ කිව්වේ ජයතිලක බණ්ඩාරයන් ගැන නෙවෙයි වගේ මගේ කල්පනාව. ඒ කිව්වේ කරුණාරත්න විජේවර්ධන ගායන ශිල්පියා ගැක ඔහුත් රජරට ගායකයෙක්.

      ඇත්තෙන්ම ජයතිලක බණ්ඩාරයන් වැනි කලාකරුවෝ මාධ්‍යය හඹායන්නේ නෑ. ඒත් ඔවුන් දැවැන්ත චරිත මේ ක්ෂේත්‍රයේ.
      ස්තුතියි අදහසක් එකතු කළාට.

      Delete
  2. Replies
    1. සංජීව..

      ස්තූතියි. මේ දිරිගැන්විම ජයතිලක බණ්ඩාරයන්ට හොඳ ශක්තියක් වේවි..

      Delete
  3. ඉතාම වටිනා ලිපි පෙළක්.. මෙවැනි කලාකරුවන් අද මාධ්‍ය ලෝකයෙන් හැංගිලානෙ තියෙන්නෙ... ජයතිලක බණ්ඩාරයන්ට මගේ ප්‍රණාමය.. ඒ වගේම දයා අයියටත් ස්තුතිය... දිනෙක අස්වැන්න ලිපි පෙළ අනාගත පරපුර වෙනුවෙන් පොතක් ලෙස එළිදැක්වේවා කියල මං ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
    Replies
    1. තරුරසී..

      මේ ලිපි පෙල මුද්‍රිත කෘතියක් ලෙසින් ලියන්න දැනටමත් ඇරයුම් කිපයක්ම ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම පසුගිය දිනවල මමත් ජයේ අයියිත් කතාකලේම ඒවැනි නිර්මානයක් බිහිකිරිමේ වැදගත්කම කමයි.සමහර විට මේ වසරතුළදි ඒ අපේකෂාව ඉටුවෙන්න පුළුවන්.
      ස්තූතියි තරු ඔබට මේ යෝජනාව ගෙනාවට

      Delete
  4. nodanna karunu bohomayak dana gaththa.

    ReplyDelete
    Replies
    1. ගයානි..

      ස්තූතියි. අපි හැමදාම නිරන්තරයෙන් කතාකරන ශිල්පින් ගැන නිතරම ලියවෙනවානේ. ඒ ඔවුන් අතර ජනප්‍රිය නොවූ හොඳ වැඩ කරන කීදෙනෙක් ඉන්නවද

      Delete
  5. දයා මල්ලී මේ සොඳුරු කලා කරුවා ගැන ලියූ සියළුම ලිපි කියවූවෙමි. මේ සියල්ලම සදා අප මතකයේ රැදේවි. වචන නෑ මේ සටහනට ස්තූතියි! කියන්න. මේ සියල්ල තරු කියනවා වාගේ පොතක් ලෙස එලි දකීවී නම් එය අපට මහත් සතුටක් ගෙනේවි. මාධ්‍යයෙන් නොඇසෙන මේ සටහන් ඔහුට උපහාරයක්ම වේවා!

    ReplyDelete
    Replies
    1. චාන්දි..

      මේ ලිපි පෙල මුද්‍රිත කෘතියක් ලෙසින් ලියන්න දැනටමත් ඇරයුම් කිපයක්ම ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම පසුගිය දිනවල මමත් ජයේ අයියිත් කතාකලේම ඒවැනි නිර්මානයක් බිහිකිරිමේ වැදගත්කම කමයි.සමහර විට මේ වසරතුළදි ඒ අපේකෂාව ඉටුවෙන්න පුළුවන්.

      ජයේ අයියා වෙනුවෙන් ඔබ තැබූ මේ සටහන ඔහුට දැවැන්ත ආලෝකයක් ම වේවි. ඉදිරි නිර්මානවලට

      ස්තූතියි ඔබට මේ යෝජනාව ගෙනාවට

      Delete
  6. ඔබ හැමදාමත් අස්වැන්න වපුරන්නේ මෙවැනි සුවිශේෂී යම් යම් හේතුන් නිසා ජනතාව අතරට එන මග ඇහිරුණ සැඟව සිටින පුද්ගලයින් පිළිඹඳ වීම සතුටට කරුණක් !ජනප්‍රියත්වය පසු පස යන මාධ්‍යයට මෙවැනි පුද්ගලයින් මග හැරී යාම කණගාටුවට කරුණක් ...ඔබට ස්තුතියි මේ ලිපි පෙලට

    ReplyDelete
    Replies
    1. රෙහානි..
      නිරන්තයෙන් ජනප්‍රිය චරිත සහ ඔවුන්ගේ නිර්මාණ ගැන විවිධ මාධයයන් ඔස්සේ කනාබහ කරනවානේ. ඉතින් එවැනි දේ ගැන ලිව්වොත් එයින් ප්‍රයෝජනයක් නෑ.
      වැදගත්ම ඒත් නොදන්‍නා හෝ මාධ්‍යයයෙන් වැසුනු මෙවන් කලාකරුවන් ගැන සටහනක් තබන්න ලැබිමත් මහත් භාග්‍යයක්.

      Delete
  7. උඩුගං බලා යන්නට වෙර දරනා ඔහුට සුභ පතමි..

    ReplyDelete
    Replies
    1. රූ...

      ස්තූතියි. මේ මේ අගනසා සුබ පැතුමට.. ඒක ජයේ අයියාට හොඳ දිරියක් වේවි.

      Delete
  8. වැඩියෙන්ම මගේ හිත ගියේ වැස්ස වගේ ඇද හලෙමූ ගීතයට. මේ වගේ සැඟවුණු, වටිනා කලාකරුවන් ගැනත් නිර්මාණ ගැනත් තමන්ට හැකි පමණින් හෝ ලෝකයා හමුවට අරගෙන එන ඔබට ගොඩක් පින්.

    ReplyDelete
    Replies
    1. සයුරි..

      වැස්ස වගේ ගිය ට මමත් කැමතියි එහි තේරුම සරග වුවත් යටි අදහස ඉතාමත් ගැමුරුයි. මට හිතේනනේ මේ බ්ලොග් ලියන අපිට සුදුසුම ගීයක් තේමාව හැටියට ගන්න පුළුවන්.

      Delete
  9. ජයතිලක බණ්ඩාරයන්ගේ ලිපි පෙලම හුඟක් ආසාවෙන් කියෙවුවේ.. විශේෂයෙන්ම බොහෝමයක් සිංදු මම ඇහුවේ අළුතින් නිසා..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්...

      ඇත්තටම මේ ගීත සමහර ඒවා වසර විසි තිස් ගණනක් පරණයි. ඒත් අද ඇහුවත් හිතෙන්නේ අලුත් නිර්මාන කියලා. කලායත් එක්ක වෙනස් නොවෙන සදාකාලික බවක් මේ නිර්මාන වල තියෙනවා.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...