නුවන් අබියස පෑයූ රුවන් තාරකා
උදාවන
හැම රාත්‍රියම සුන්දර නොවේ. එසේම සෞම්‍යද නොවේ. එහෙත් මිනිසකුට අලුතින් යමක් හිතන්නට
හෝ විඳින්නට යමක් නොලැබුනේ නම් ඒ දවස උදා වී ඇත්තේ හිස් බව මිටන් ගෙනය. දහසකුත්
එකක් ගැටලු වලින් දවස ගෙවන මිනිසුන්ට මේ ගෙවන ජීවිත කෙබඳු
අත්දැකීම් ජීවිතයට එකතු කරන්නේදැයි කියාදෙන්නට කිසිවකු නොවේ. එහෙයින් අප මේ
ගෙවන්නේ ජිවිතයේ කුමන සංක්‍රාන්ති සමයක්ද? කෙනෙකුට රිසි සේ කියවන්න, අහන්න, දකින්න, විඳින්න හැකි නිදහස්
අවකාශය ක් හෝ පසුබිමක් ඇති නොවන පසුබිමක යන අතක ජීවිතය ගලා යන්නට ඉඩ හැර බලා සිටින
පිරිසක් ව ඔබත් මමත් පත්ව සිටින්නෙමු.
70
සහ 80 දශකවල කලා සහ සංස්කෘතික නිර්මාණයන් පිළිබඳව මෙනෙහි කරමින්, ඒවාට යළි
යළිත් සොයන්නට විඳින්නට රිසියක් දක්වන පිරිසක් බවට පත්ව සිටින්නේ ඒ අතීතත කාමය
තවමත් මනසේ නින්නාද දෙමින් රැඳී තිබෙන හෙයිනි. එවන් යුගවල ආචාර්ය වික්ටර්
රත්නායකන් විසින් මෙරට රසිකයන්ට තිළිණ කළ ඒක පුද්ගල ප්‍රසංග කලාව ඔස්සේ ගොඩ නැගුණ
සංගීත සංස්කෘතිය යෝධ පවුරක් වෙමින් අදටත් සියලු රසික විඥානයන් සුරකිමින් සිටී. එදා ආචාර්ය වික්ටර් රත්නායකයන් ගොඩ නැගූ
මේ යෝධ සංගිත සංස්කෘතිය තුළ පසුකාලිනව ආචාර්ය පණ්ඩිත් අමරදේව, විශාරද නන්දා මාලනී,
සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි, ආචාර්ය
දයාරත්න රණතුංග මහාචාර්ය අමරා රණතුංග විශාරද ගුණදාස කපුගේ මාලනී බුලත්සිංහල වැනි
ශිල්පීන් විසින් තවදුරටත් ශක්තිමත් කරන ලද අතර, ඔවුන් විසින් පසු කාලීනව ඇති කරන
ලද ඒක පුද්ගල ප්‍රසංග කලාවේ මහිමය වර්තමානයේ සුනිල්එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි දක්වා විහිදුනි.
අනතුරුව ලංකාවේ ඒක පුද්ගල ප්‍රසංග කලාව තුළ තරමක් දුරට වූ රික්තයක් ඇති විය.

රාත්‍රියේ
සිසිලස කැන්දමින් කොලොම්පුරයට අඳුර වැටෙද්දී ප්‍රේමවන්ත හදවත්හි සිඳි බිඳි ගිය ආදර
මතක යළි යළිත් මතකයට කැඳවන්නටත්, යට ගියාවේ බිඳුණු පෙම් සිත් රහසේ අවදි කරවන්නටත්
ඒ හෝරා කීපය බණ්ඩාර අතාවුදයන්ට සෑහෙන තරම් විය. හද ගැබ සඟවා හුන් ආදර මතකයන් යළි
යළිත් සොය සොයා අවදි කරමින් බණ්ඩාර අතාවුද
සිවු දශකයක් මුළුල්ලේ සිතේ සිර කරගෙන හුන් ප්‍රේම ගිතාවලිය පැය දෙක හමාරක් රසික
සවන් පත් යා කළේ ය.
සිතුවිලි සිරවී හදවත පතුලේ
ඉකි බිඳ වැළපෙනවා
රුව සැංගී මගෙ මතකය අතරේ
නෙත් අසරණ වෙනවා
ඔබෙ සෙනෙහස දැක සැඟවෙනු කෙලෙසද
නෑ මට තවමත් වැටහෙන්නේ
සුසුම් නිම්නයේ තනිවන්නට නම්
මේ ලෙස ඇයි අප හමුවන්නේ
මිලාන වූ මල් ඉකි බිඳ වැළපෙයි
විකසිත කුසුමන් හිනැහෙද්දී
ලොව දහසක් නෙත් හිනැහෙන මොහොතේ
ඔබේ මගේ ලොව කඳුළු දකී
ගී පද මාලාව : කුසුම් පීරිස්
සංගීතය: එච්.එම්.ජයවර්ධන
ගැයුම: විශාරද බණ්ඩාර අතාවුද
සිතුවිලි සිරවී ගීතය මෙතනින් අහන්න.

බණ්ඩාර
අතාවුදගේ මුල්ම සරල ගි වැඩසටහනින් ඇසුණු
රුවන් තාරකා ගීතය රෝහණ වීරසිංහයන්ගේ මධුර තනුවකි. මේ පුර්ව නිර්මිත තනුවට වචන යොදා ඇත්තේ
කුමාරදාස සපුතන්ත්‍රී ගේය පද රචකයා විසිනි. ගී තනුවකට සැණෙකින් වචන යෙදීමේ
ඔහු සතු මනා හැකියාව මේ ගිතය සිවු දශකයක් පුරා පවසන්නේ ඒ ගී බසෙහි ඇති විචිත්‍රතාවයයි.
එදවස
ගීයක් නිර්මාණය කිරීමේදී ගායන ශිල්පියා, ශිල්පිණිය, සංගිතඥයා සහ පද රචකයා යන
තිදෙනාම එක්ව හිඳිමින් ගීත නිර්මාණය කළේ 70 සහ 80 දශකවලදිය. එවන් යුගයක 70 දශකය
අගභාගයේ ගීතය ගුවන්විදුලියේ පටිගත වන අතරතුර ලියව ලද්දකි. ඒ මේ ගීතයයි.
රුවන් තාරකා නුවන් පායලා
ඉඳින් හදවතේ රැඳී වේදනා නිවා.
නිසල රැයේ නැගෙන සඳේ සිසිල වූ ඔබේ
සෙවන ඇගේ
සුවය ගෙනේ නිබඳ මා වෙතේ
නිබඳ මා වෙතේ
තිසර විලේ පිපුණු මලේ රැඳුණු ආදරේ
සුවඳ ගෙනේ සතර දෙසේ යොවුන් මා වෙතේ
යොවුන් මා වෙතේ
ගී පද මාලාව : කුමාරදාස සුපුතන්ත්‍රී
සංගීතය: ආචාර්ය රෝහණ වීරසිංහ
ගැයුම: විශාරද බණ්ඩාර අතාවුද
රුවන් තාරකා ගීතය මෙතනින් අහන්න.
විශාරද
බණ්බාර අතාවුද ගී ලොවට පිවිසියේ සෙංකඩගල
පුරවරයෙනි. බාලවියේ පටන් සංගීතය කෙරෙහි ඇල්ම දැක්වූ ඔහු සිය ජීවන මං පෙත සරසාගන්නේ
සංගීතයෙනි. එවකට රජයේ සංගිත විද්‍යාලයේ (හේවුඩ්) සිටියදී ගුවන් විදුලියේ ශාස්ත්‍රීය ගායන හා වාදන
ඉදිරිපත් කළ ඔහුගේ ගුවන් විදුලි දායකත්වය පසු කලෙක ගුවන් විදුලි සරල ගීයේ රස මිනුම් දඬු ශක්තිමත් කරන්නට ඉවහල් විය.
හැත්තෑව දශකයේ මැද භාගයේදී ගුවන්විදුලියේ සරල ගී ශිල්පියෙකු ලෙස තේරි පත් වූවත් විශාරද
බණ්ඩාර අතාවුද මේ සිවු දශකය පුරා ගීත
සිය දහස් ගණනක් ගැයූවකු නොවේ. එහෙත් එසේ ඉඳහිට ගැයූ ගීත අතලොස්ස අපට නිතර ඇසෙන සිය
දහසක් ගීතවලට වඩා මිහිරිම රසයක් ලබා දෙයි. ඒ හතළිස් වසරකට පෙර බණ්ඩාර ආතාවුදගේ
මුල්ම සරළ ගී වැඩසටහන් අතර තිබූ මේ ගීය කිසිදා මතකයෙන් ගිලිහී නොයන ගීයකි.
ආශාවේ මල් වැටෙව් එබී
නිලුපුල් දෑසින් මදෙස බැලූ
නයන කලූ ඔබ මගේ කලූ
නයන කලූ ඔබ මගේ කලූ
රෑ නිල් අහසේ නිදන සඳවතී
අඳින සළු මිදුලෙ එලූ
සුන්දර මොහොතේ මා සිහිවෙනවද
කියනු කලූ මට කියනු කලූ
පායන සඳ සේ රුසිරු හසරැලී
දෙතොල වෙලූ නයන කලූ
සුන්දර මොහොතේ මා සිහිවෙනවද
කියනු කලූ මට කියනු කලූ
ගී පද මාලාව : ඩෝල්ටන් අල්විස්
සංගීතය: විශාරද ගුණදාස කපුගේ
ගැයුම: විශාරද බණ්ඩාර අතාවුද
නයන කලූ ගීතය මෙතනින් අහන්න.

ගුණදාස
කපුගේ, එච්.එම්.ජයවර්ධන, සහ රෝහණ වීරසිංහ
බණ්ඩාර අතාවුදට හැදූ ඒ රම්‍ය වූ මධුරතර ගී මාලාව කිසිදාක නොමියෙන සේ රසික සිත් බැඳගන්නට සමත් වූවාට කිසිඳු සැකයක්
නැත. ඒවා ගී රසිකයන්ගේ සදාකාලික මතකයන්හි නින්නාද දෙන්නේ ඒ නිසාය. මතු
දැක්වෙන ගීයද එවන් ගීයකි ප්‍රවීන රංගනවේදී ජයලත් මනෝරත්නයන් විසින් ලියා ඇති මතකයේ
රැඳෙන ගී දෙකතුන අතරින් මේ ගීය මනෝරත්නගේ කවීත්වයේ ප්‍රතිභාව සම්බන්ධයෙන් පැහැදිළි
නිදසුනකි.
ඔබ ඈත සඳවී පායා
මම මෑත තරුවක පිපිලා
මේ නිසල රැයේ ලොව නිදනා
මා ඔබ, ඔබ
මා ළඟ ඉන්නා
අප දුරින් දුරක වුව තනියේ
නෙත් සරින් පමණි හමු වූයේ
ඒ ඈත් බවිනි හද බඳුනේ
සෙනෙහසේ සොඳුරු බව පිරුණේ
මධු සඳ තරු අද හමුවිලා
සිටියද ඔබ මා ළං වීලා
ඒ දුරක එදා අප පිපිලා
තිබු, සොඳුරු සෙනේ ගඟ සිඳිලා
ගී පද මාලාව : ජයලත් මනෝරත්න
සංගීතය: එච්.එම්.ජයවර්ධන
ගැයුම: විශාරද බණ්ඩාර අතාවුද
ඔබ ඈත සඳවී පායා ගීතය මෙතනින් අහන්න.
ගීතය,
ගායනය සංගීතය සහ පදමාලව යත ත්‍රිත්වයේ මනා
සංකලනයකින් නිර්මාණය වූවකි. ඒ අපූර්ව වූත්
අර්ථවත් වූත් නිර්මාණ සංකලනය බණ්ඩාර අතාවුද ගැයූ හැම ගීයකම දක්නට ලැබේ. එකිනෙකට
වෙනස් අරුතින්ද එකිනෙකට වෙනස් මියුරු තනු මාධුර්යයෙන්ද සුසැදි ඔහුගේ ප්‍රේම ගී මාලාව බණ්ඩාර අතාවුදගේ ගායනයේ ප්‍රබලත්වය මත
අඳින සිතුවමක් වැන්න. එසේ නිර්මිත කිසිඳු ගීයක සංගීතඥයා හෝ ගී පදරචකයා ගිතයේ පදමාලාව අතර
අතරමං වී නැත. බණ්ඩාරයන් මෙතෙක් ගැයූ ගීත ප්‍රමාණය සුළු සංඛ්‍යාවක් වුවත් ඒ
සියල්ල මධුරතර ගීත බවට පත්වීමේ රහස එයයි.
කඳුළු පිසදාලන සතපාලන රැයේ සෙනේ මල්
සිතම සනසාලන සතපාලන නුඹේ සිනා මල්
අවර නැකත නොවේ
තරු පීදෙන සඳ පායන නුඹමය රාත්‍රී
සතුටු කඳුළු පිපේ
මල් යායක සිත් යා කළ නුඹමය දේවී
අරුණ ගලන පැයේ
නෙත් මානෙන් ඉගිලී යන නුඹමය රාත්‍රී
සිතට තනිය නොදී
තුන් තිස් පෑ මල් යහට වැඩපන් දේවී
ගී පද මාලාව : වසන්ත කුමාර කොබවක
සංගීතය: ආචාර්ය රෝහණ වීරසිංහ
ගීතනුව සහ ගැයුම: විශාරද බණ්ඩාර අතාවුද
කඳුළු පිසදාලන ගීතය මෙතනින් අහන්න.
කඳුළු පිසදාලන ගීතය මෙතනින් අහන්න.
වර්තමානයේ
ප්‍රේමයේ උමතුවෙන් වැටෙන මුරුගසං වැස්ස හසුව තෙමි ගැහෙන ප්‍රේමාතුරයන්ගේ දුක්
අඳෝනා ගී මොහොතකට හෝ අමතක කර එවන් මධුරතර ප්‍රේමයේ සුවඳින් යෞවනය විකසිත කුසුමක්
බවට පත්කළ හැක්කේ මෙවන් ආකාරයෙන් තෝරා බේරාගෙන ගී ගයන ශිල්පීන්ට පමණි. බණ්ඩාර අතාවුදයන් එවන් සෞන්දර්යවාදී ගුණයෙන්
පිරුණු නිර්මාණකරුවකි. ඔහු සිය ගීතයෙන් ආදරයට
ආදරය කරන්නටත්, ප්‍රේමයට ප්‍රේම කරන්නටත් කියාදනෙ ගායන වේදියෙකි. සෑබැ ලෝකයේ නැවුම් ප්‍රේමයක් කිසිවකුටත් කිසිම
දිනෙක හමු නොවූවත් නිර්මාණලෝකයේ හමුවන හැම පෙම් පුවතක්ම ගීයට නැගූවිට එය ආදරයේත්
ආනන්දයේත් අනුරාව නගන්නේ ඒවා සැබෑ මිනිසුන්ගේ ජීවන අත්දැකිම් බවට පත් කරමිනි.
උදාවෙන්න මේ රාත්‍රියේ
වෙලාගන්න මේ
කාන්තියේ
මගේ දුක් දරාගන්න හිත් යහන සරසන්න
සඳුනේ නැගෙන් රාත්‍රියේ
උයනේ පිදී
සුවඳින් නෑවී
කැකුළක් ලෙසේ කේතකී
මාවා වෙත එයි ඈ පෙරමග සරසා
සඳුනේ නැගෙන් රාත්‍රියේ
දියඹේ බිහිවී වෙරළේ මියැදී
රළ වැල් ලෙසේ
සාගරේ
මා හැර යයි ඈ තනියට ළංවී
සඳුනේ නැගෙන් රාත්‍රියේ
ගී පද මාලාව : බන්දුල නානායක්කාරවසම්
සංගීතය: ආචාර්ය රෝහණ වීරසිංහ
ගැයුම: විශාරද බණ්ඩාර අතාවුද
උදාවෙන්න මේ රාත්‍රියේ ගීතය මෙතනින් අහන්න.
උදාවෙන්න මේ රාත්‍රියේ ගීතය මෙතනින් අහන්න.
රුවන්
තාරකා ගී ප්‍රසංගය ඒක පුද්ගල ප්‍රසංග කලාවට නැවුම් ආලෝකයක් වැටී එන යුගයක් එළඹී ඇති බව සනිටුහන් කරමින් කන්ද උඩරටින් 70 දශකයේ පෑයූ ගී තාරකාව විශාරද බණ්ඩාර අතාවුද සිවු දශකයක් මුලුල්ලේ ගයා
ඇති ගී අතලොස්ස කුසුම් කැන් මිටක් සේ ගෙන එදින
රාත්‍රියේ මියුසියස් විද්‍යාලයේ රඟහලපුරා විකසිත කළේය. එය හරියටම නිරුවත් රාත්‍රියකට
මනරම් සළු පැළඳ වූ මොහොතක්ම විය. සිවු දශකයක් පුරා රැස්කර ගත් විශාරද බණ්ඩාර අතාවුදයන්ගේ ඒ ප්‍රේමයේ ගී අස්වැන්න විඩාබර රසික සවන් පත්
තවත් යුග යුග ගනනකට සෑහෙන්නට තරම් හදවතේ තැනක
අමරණිය මතකයක් වන සේ රඳවා තබන්නට සමත් විය.
ප්‍රසංගය
අතර මැද දී බණ්ඩාර ආතාවද විසින් උත්තර භාරතීය රාගධාරී සංගීතය ඇසුරු කරගනිමින්
ඉදිරිපත් කළ ශාස්ත්‍රීය වයලීන වාදනය ප්‍රසංගයට අපූර්වත්වයත් විඳගනිමින් මියුසියස්
රගහල පුරා පිරීතිරී ගිය සුවහක් රසිකයෝ
හෝරා දෙක හමාරක් තිස්සේ රුවන් තාරකා ඔස්සේ ගලා හැලුණ ගී ගඟුලේ කිමි දෙමින්
සිටියහ. ඒ වුකලී ආදරය, ප්‍රේමය පිළිබඳ ආනන්දයේත් ප්‍රඥාවේත් නැවුම් හැගුම් බණ්ඩාර
අතාවුදයන් විසින් සිය ගී හඬින් අවදිකළ අපූර්ව වූ හෝරා කීපයකි. ෴