එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Friday, 3 January 2014

෴ ප්‍රදීප්ගේ සිතාරය සහ කේමදාස සංගීතය ෴





                        The Ravi Shankar of Sri Lanka

ලොව මෙතෙක් බිහිවී ඇති අනර්ඝතම සංගීත සම්ප්‍රදායන් අතර උත්තර භාරතීය රාගධාරී සංගීතයට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. ගායනයේදී හෝ වාදනයේදී රාගධාරී සංගීතයේ සියළු රස භාවයන් එලෙසින්ම විඳගැනිමට හැකි එකම සංගිත භාණ්ඩයද  සිතාරයයි. එ‍් නිසා හින්දුස්ථානි සංගීතයේ දී සිතාරයට හිමිවන්නේ වෙසෙස් තැනකි. ඒ නිසාම  සිතාරය උත්තර භාරතීය සංගීතයේ භාවිතා වන සංගීත භාණ්ඩ අතර  උත්තම ගණයෙහි  ලා සැළකෙන සංගිත භාණ්ඩයකි.

ඒ නිසා මේ ලැබූ නව වසරේ මුලින්ම  අස්වැන්නෙන් අග්‍රගණ්‍ය සංගීතවේදී ප්‍රදීප් රත්නායකයන්  සහ ඔහුගේ සිතාරය පිළිබඳ කතා කරන්න කල්පනා කළා. ඒ ප්‍රදීප්ගේ මිහිරිම සිතාර් වාදන කීපයක් සමගයි. ලංකාවෙ රසිකයන් සංගීතය විදියට හඳුනාගෙන අහන්න පුරුදුවෙලා තියෙන්නේ ගීතය. මේ ගීත කලාව නිසා ගීතය අහන්න පුරුදු වුණ රසිකයන්ට සංගීතය යනු ගීතය පමණක්ම නොවන බව වටහා දීමක් සිදුවන්නෙ නෑ. ඊටත් වඩා උසස් සංගීත රසාතලයක රසිකයන් සහ ඔවුන්ගේ රසිකත්වය වඩා හිඳුවන්නට නම් මෙවන් වාද්‍ය ශිල්පීන්ගේ වාද්‍ය ශිල්ප ක්‍රම පිළිබඳ නිසි විචාරාත්මක කතාබහක් ගොඩ නැගෙන්නෙත් නෑ.

සංගීතය විඳින රසිකයන්ට සිය ආත්මය තුළින්ම උපදවාගත් රස වින්දන තුළින්  සිතාරය වැනි උත්තම ගණයේ ලා සැලකෙන සංගීත භාණ්ඩයකින් මතුවන ගැඹුරු සංගීතය හදවතට වඩාත් සමීප කොට සිය ආධ්‍යාත්මය තුළ රඳවාගෙන විඳගන්නට අපහසුත් නැහැ. එවන් අග්‍රගණ්‍ය සංගීතවේදියෙක් වගේම වාද්‍ය ශිල්පියකු තමයි ප්‍රදීප් රත්නායක. 

සිතාරය ගැන ලංකාවෙ සංගීත ක්ෂේත්‍රයේ කතාබහ කරද්දි මුලින්ම කියවෙන නම තමයි ප්‍රදීප් රත්නායක කියන්නෙ. ඔහු ලංකාවෙ සංගීත ක්ෂේත්‍රයේ පමණක් නොවෙයි  ජාත්‍යන්තර සංගිත තලයේ ද රසික සම්භාවනාවට පාත්‍ර වූ සංගීත වේදියෙක්. වර්තමානයේ ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ භාෂා සහ සංස්කෘතික අධ්‍යනාංශයේ ආචාර්යවරයකු ලෙස කටයුතු කරන ප්‍රදීප් සිතාර් වාදනය  පිළිබඳ විවිධාකාරයෙන් පර්යේෂණ රැසක් කර මහාර්ඝ ප්‍රතිඵල ලබා ඇති,  ඒ පිළිබඳ හසල දැනුමක් සහ මනා නිපුණත්වයක් ඇති සංගීත වේදියෙකි. 

ප්‍රදීප්ගේ ප්‍රදීපාංජලී සිතාර් වාද්‍ය ප්‍රසංගය අවස්ථා කීපයකදිම ලංකාවෙ රසිකයන්ට විඳ ගැනීමට අවස්ථාවක් උදා වුණා. ඒ මීට වසර ගණනකට පෙර ය. ඒත් ඔහුගේ සජීවි වාදන ප්‍රසංග වැඩි වශයෙන් විඳගන්නට අවස්ථාව උදා කරගෙන ඇත්තේ විදේශිය සංගීත රසිකයන්ය. ඒ ලංකාවේ පැවැත්වූ සිතාර් වාද්‍ය ප්‍රසංග ගණනට වඩා වැඩි වාර ගණනක් විදේශයන්හිදී ප්‍රදීප් ඉදිරිපත් කර ඇති නිසා ය. ප්‍රදීප් සිය රසිකයන්ට විවිධ අවස්ථාවන්හි දී වරින්වර සිය නිර්මාණ ඇතුළත්  සංගීත ඇල්බම් පහක් මේ වන විට එළිදක්වා ඇත. සිතාර් ගී රාව, විශ්ව, සිතිජය, ළඳුනේ සහ තවත් එක් ශාස්ත්‍රීය වාදන සංගත තැටියකි. 

පෙර අපර දෙදිග සංගිතයේ  සරල සෞන්දර්ය ආස්වාදය කරගනිමින් ඒ සංගීතයේ ඇති ගැඹුර සොයාගෙන ලාංකේය සංගිත රසිකයන්ට හඳුන්වා දෙන්නට ගත් උත්සාහයන් අතර ප්‍රදීප්ගේ  මේ නිර්මාණ ය කළ ඒ සංගත තැටි ගණන ප්‍රමාණවත් ය. මේ සිවු වැදෑරුම් නිර්මාණ අතරින් එක් නිර්මාණ එකතුවක් තුළින්  ප්‍රදීප් සිය සිතාරය ඔස්සේ  කේමදාස සම්ප්‍රදාය හඳූනා ගැනීමටත්  ඔහුගේ සංගීතයේ හතර මායිම සිතාරයේ තත් අතර රඳවා ගැනිමටත් දැරූ උත්සාහයේ අවියෝජනිය සම්බන්ධය හඳුනාගැනීමට ලංකාවේ රසංගීත රසිකයන්ට අවස්ථාව උදාකර දී ඇත.
කේමදාසයන් කිසිඳු ගුරු කුළයක සිරවු සංගීත කරුවෙක් නොවේ. සරල ගීතයත් චිත්‍රපට ගීතයත් අරබයා කේමදාසයන් භාවිතා කළේ බටහිරට බෙහෙවින්ම සමීප සංගීතආකෘතීන් සහ  සම්බන්ධතා ය. කේමදාස අතින් නිර්මාණය වූ  ගීතවල වචන හෝ එහි සාහිත්‍යමය ගුණය පිළිබඳ හඹා නොගොස් පදමාලාව ඉල්ලා සිටින සංගීතයට වඩා නිර්මාණාත්මකව බිහිවූ සංගීත  සම්ප්‍රදායක් ගීතයට ලබාදුන්නේ ය. ප්‍රදීප් සිය සිතාරයට හසු කරගන්නේ කේමදාසයන් මැවූ මනෝරම්‍ය ගීත මාලාවේ සිරකොට තිබූ  ඒ වචන රහිත උත්තර භාරතීය රාගධාරී සම්ප්‍රදායේ සියුම් හැඩතල ය. ප්‍රදීප් සිය සිතාරයෙන් ඒවා විටෙක දේශීය ජන සම්ප්‍රදායට අනුගත වෙමින්ද තවත් විටක ජෑස් වැනි සංගීත ක්‍රමයක් තුළට එබී බලමින් ලාංකේය සංගිත ක්‍රම ජෑස් වැනි සංගීත ක්‍රමයකයට අනුගත කර ගැනිමට උත්සාහ කරමින්ද මේ නිර්මාණ සමුච්ඡය නිමවා ඇත. එසේ ප්‍රදීප් සිය  සිතාරය ඔස්සේ කේමදාසයන් සිය සංගීත භාවිතයේයේදී ගීතයට යොදාගත් පෙරදිග සංගීතයේ හැඩතල මෙන්ම ජෑස් සංගිතයේ හැඩතලද වචන රහිත රසාතලයකට ගෙනෙන්නේ ය. ඒ නිසා මේ ගීතය ප්‍රසීප්ගේ සිතාරයෙන් නින්නාද වන හැටි බලන්න.

දේදුන්නෙන් එන සමනලුනේ
ගම්මැද්දේ පොඩි කුරුල්ලනේ
රෑන් රෑන් ඇවිදිල්ලා
අපේ ළඟින් ඉඳහල්ලා

දවසක්දා බෝ මලුවේ
හමු වූ දා කදි අපි දෙන්නා
පහනක් දල්වා එකම සිතින්
පැතූ පැතුම් තෙපි නෑ දන්නේ

බවෙන් බවය පෙර ආවාසේ
බවෙන් බවය මතු සංසාරේ
නිවන් දක්නා ජාති දක්වා
එකට බැඳී ඉන්නයි පැතුවේ

ආදරේ සුවඳ ලෙනේ
තනිවී උන්නා අ‍පි දෙන්නා
කාංසියක් හෙම නෑ දැනුණේ
පෙති දිලුනා වන මල් තොරණේ

අප පය පාමුල සතුටු ග‍ඟේ
තාමත් ආදර රැළිති නැගේ
කියව් කුරුල්ලනි මලින් මලට පැන
අපේ අහිංසක කතන්දරේ

ගී පද මාලාව: ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය      : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගැයුම: සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි සහ
           ලතා වල්පොල
චිත්‍රපටය: ටී අර්ජුනගේ වසන්තයේ දවසක්
ප්‍රදීප්ගේ සිතාර් අනුවාදනය මෙතනින් අහන්න

                   

 සිතාරය වැනි පෙරදිග සංගිත භාණ්ඩයකින් මතුවන නාදය උත්තර භාරතීය නාද සංකලනයකට පමණක් සිමා නොවී බටහිර සංගීතයේ ජෑස් වැනි සංගීත ක්‍රමයක ශිල්ප ක්‍රම  සොයන බවක් දැනෙන්නේ දේදුන්නෙන් එන සමනලුනේ වැනි ගීයකින් නැගෙන වචන රහිත නාද මාලාව මගින් ලබා දෙන උත්තේජනයේ අපූර්වත්වය හිතට දැනෙන විට ය.

ලංකාවේ කලාකරුවන් බොහෝ දෙනකුට රබීන්ද්‍රනාත් තාගෝර් ආරම්භ කළ ශාන්ති නිකේතනය නම් වූ භාරතීය කලා විශ්ව විද්‍යාලය නුපුරුදු තැනක් නොවේ. සුනිල් ශාන්ත (සිතාරය) , අනන්ද සමරකෝන් (එස්රාජ්), අමදේවයන් (වයලීනය) ප්‍රගුණ  කළේ ශාන්ති නිකේතනයෙනි.  ආනන්ද සමරකෝන් සූරීන් ස්වතන්ත්‍ර ගී තනු නිර්මාණය ගැන කල්පනා කළේ  ශාන්ති නිකේතනයේ ශිල්ප හදාරද්දී ම ය. පසුකාලයේ එදිරරිවීර සරච්චන්ද්‍ර, ගරු මර්සිලීන් ජයකොඩි පියතුමා වැනි කලාකරුවන්   ද තෝරාගත්තේ භාරතීය ශාන්ති නිකේතනයේ ලද ආභාෂයන් ය. එහෙත් ඩබ්ලිව්. ඩී. මකුලොලුව සහ සී ද එස් කුලතිලකයන්  ශාන්ති නිකේතයේ ශිල්ප හදාරා ඒ ඔස්සේ අපේ ජන සංගීතය ඉහල තලයකට ඔසවා තැබිමට මහා වෙහෙසක් ගත් සංගීත වේදීහු ය. ප්‍රදීප් රත්නායක ද ශාන්ති නිකේතනයේ සංගීතය ප්‍රගුණ කළ සිසුවෙකි. ඔහු ශාන්ති නිකේතනයේ දී ලද  ආභාෂය සහ දැනුම සුළං කුරුල්ලෝ  ගීයට කදිම නිදසුනකි. කේමදාසයන්ගේ ගීතය සහ සංගීතයේ අතර මැද වාද්‍ය සංගීත ඛණ්ඩ වලට ප්‍රදීප්ගේ උත්තර භාරතීය රාගධාරී සංගීතය මුසුවන හැටිත් කේමදාසයන්ගේ සංගීත  සම්භාෂණය ප්‍රදීප් හකුළුවා ගන්නා හැටිත් විස්මයක් නොවන්නේද?

සුළං කුරුල්ලෝ හිමින් ඉගිල්ලී
මල් සුවඳකි අරගෙන එන්නේ
ආදර උයනේ දොරටුව ඇරගෙන
ඔච්චම් කරමින්  පියඹන්නේ

සිහින පොතේ පිටුවක් පෙරලේ අද
මොනවද එහි ලියැවී ඇත්තේ
ආදරේ.... ආදරේ....
සුළං කුරුල්ලෝ...

මතක ලොවේ දොර අගුළු හැරේ අද
මොනවද එහි සිරවී ඇත්තේ
ආදරේ.... ආදරේ.......
සුළං කුරුල්ලෝ

ඈත එපිට ඇති සිහින විමානෙට
මේ පොඩි ඔරුවේ පාවෙන්නේ
ආදරේ.... ආදරේ.......
සුළං කුරුල්ලෝ


ගී පද මාලාව: ධර්මසිරි ගමගේ
සංගීතය      : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගැයුම: හරූන් කුමාර් ලන්ත්‍රා සහ ඇන්ජලීන් ගුණතිලක
චිත්‍රපටය: කේ.ඒ.ඩබ්ලිව්. පොර්රාගේ  “සැනසුම කොතැනද”
ප්‍රදීප්ගේ සිතාර් අනුවාදනය මෙතනින් අහන්න

                   

ගීතයක වචනවල ඇති සාහිත්‍යමය රසය වචන රහිතව සංගීත භාණ්ඩයකින් මතු කර ගැනිම ලේසි පාහසු කටයුත්තක් නොවේ. ඊට සංගීතය පිළිබඳ දැනුමද, භාෂාව සහ සාහිත්‍ය පිළිබඳ දැනුමද තිබිය යුතු ය. ඒ දෙකම එකවිට සිතාරය වැනි උත්තම ගණයේ සංගිත භාණ්ඩයකින් මතු කරගැනිමට යමෙක් සමත් වන්නේ නම් ඔහුද උත්තම ගණයේ ලා සැලකිය හැකි සංගීත වේදියෙකු විය යුතුය. ප්‍රදීප් රත්නායක අපේ රටට හිමි වූ එවන් දුර්ලභ ගණයේ සංගීත වේදියෙකි.

උත්තර භාරතීය රාගධාරී සංගීතයේ සිතාරය වයන ක්‍රම අතර විවිධ ගුරුකුල තිබේ. එයින් ප්‍රධාන ගුරුකුල දෙකකි.ඉමඩට්කානි ගුරුකුලය සහ මයිහාර් ගුරු කුලයයි. ගුරු කුලයක් යනු සරසවියක මෙන් විවිධ ඇදුරන් අභිමුවෙහි ශිල්ප ප්‍රගුණ කිරීමක් නොවේ. එය එකම ගුරුවරයෙකු යටතේ ලබන ප්‍රායෝගික පුහුණුවකි. ප්‍රදීප් රත්නායක මෙහිදී  අනුගමනය කරන්නේ “මයිහාර්” ගුරු කුලයයි. මයිහාර් ගුරුකුලයේ  නිර්මාතෘවරයා වන්නේ උස්තාද් අලව්දීන් ඛාන් ය. ඔහු මහා සංගීතවේදී රවි ශංකර්ගේද ගුරුවරයා ය. උස්තාද් අලව්දීන් ඛාන්ගේ අවසන් සිසුවා වූ ඉන්ද්‍රනීල් භට්ටාචාර් ප්‍රදීප් ගේ ගුරුවරයා විය.

එසේ වුවත් ප්‍රදීප්ට ශාන්ති නිකේතනයේදී සංගීතය හැදෑරීමට පළමුව ලංකාවේ දී සිතාරය ප්‍රගුණ කරන්නට හමුවන ගුරුවරයා ඉමඩට්කානි ගුරුකුලයට අයිති ඒ ගුරුකුලයේ සිතාර් වාදකයෙකි.  ඒත් ප්‍රදීප්ගේ සිතාර් වැයීම සිදුවන්නේ මයිහාර් ගුරුකුලයට අනුව බව හඳුනාගැනීමෙන් අනතුරුව ප්‍රදීප්  නැඹුරුව සිටින සංගීත ගුරුකුලය ඔස්සේම සංගිතය ප්‍රගුණ කරන්නට ප්‍රදීප්ට නිදහස ලබාදී තිබිණ.

එසේ සිතාරය පිලිබඳ දීර්ඝ කාලීන අත්දැකීම් ලබන ප්‍රදීප්ගේ සිතාරය මේ මතු කරන්නේ තත් අතර සිරවුණ ස්වර රටා පමණක් නොවේ. ඔහුගේ භාෂාව සහ සාහිත්‍ය පිළිබඳ දැනුම ය. මයිහාර් ගුරුකුලයේ ශිල්ප ක්‍රම සහ භාවිතයන් ය. විශ්ව සංගීතය පිළිබඳ ඔහු සතු දැනුම ය.  ඒ ප්‍රදීප් අපට හඳුනාගත හැකි එකම කැඩපත ය.  ප්‍රදීප්ගේ සිතාරය මත දිවයන ඔහුගේ හුදකලා ඇඟිලි තුඩු වලින් මතු වන ස්වර  ප්‍රදීප්ගේත් කේමදාසගේත් සංගීත සම්භාෂණයෙන් විකසිත වන කුසුම් ය.  ඒවා සියල්ල අප එකිනෙකාගේ හදවත් සියුම් ලෙස ස්පර්ශ කරන හැඟීම් ය.

කෝ මා පැතූ ඔබෙ ආදරේ
කෝ මා පැතූ

ආවේ එදා මා තනිවී ලොවේහී
නැතිවී ගියා ඒ හැඟුමන්  මෙහී
යළි මා අනාථයි උතුරා ගලායයි
සංවේදනා

පායා පහන් වූ රන් තාරකාවෝ
නැතිවී ගියා ඒ අඳුරේ ගිලී
කවදාද ආයේ පායා දිලෙන්නේ
රන් තාරකා

ගී පද මාලාව: රංජිත් වීරසිංහ
සංගීතය      : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගැයුම: ටී. එම්.ජයරත්න
චිත්‍රපටය: කේ.ඒ.ඩබ්ලිව්. පොර්රාගේ  “ජනක සහ මංජු”
ප්‍රදීප්ගේ සිතාර් අනුවාදනය මෙතනින් අහන්න

                    
කේමදාසයන් සිනමා සංගීතයේ ගොඩනගන සියුම් රස භාවයන්  ඒ අයුරින්ම සංගිත රසිකයන්ගේ හදවත් සිතාරය ඔස්සේ විනිවිද යන්නේ ඒ සිතාරයේ  තත්වල සිරවුණ ස්වර පවනේ පාවෙන පුළුන් රොදක් සේ ය. ප්‍රදීප් විටෙක කේමදාසයන්ගේ චිත්‍රපට සංගීතයේ ආත්මය වෙඬරු පිඩක් සේ මොළොක් ලෙස සිතාරය ඔස්සේ  මුදාහරින්නේ  කොතරම් අපූර්වත්වයකින්ද? සරල ගීතයකට කේමදායන් සංගීතයෙන් ලබා දුන් ජීව ගුණය ප්‍රදීප්ගේ සිතාරයේ වචන රහිත නාද මාලාව සියුම් ලෙස  කියන්නේ කුමක්ද?  මෙවන් මහාර්ඝ සිතාර් වාදන බොහෝවිට අපට හමුවන්නේ රවී ශංකර්ගේ සිතාරයෙනි. වරෙක ප්‍රදීප් රත්නායකගේ සිතාර් වාදනයක් සජීවිව නැරඹු ශ්‍රී ලංකාවේ හිටපු ඉන්දියානු මහ කොමසාරිස්  නිරූපම් සෙන් මහතා ප්‍රදීප් හැඳින් වූයේ The Ravi Shankar of Sri Lanka යනුවෙනි. ඒ ප්‍රදීප් ගැන ලෝකය දකින හැටි ය.  ප්‍රදීප්ගේ සිතාරය අපට සම කල හැකි වන්නේ රවී ශංකර්ගේ සිතාරයට පමණි.

ප්‍රදීප් වාද්‍ය ශිල්පියෙක් පමණක් නොවේ. සිතාර් වාදනයට ඉලෙක්ට්‍රොනික සංගීතයේ දී  විද්‍යුත්  තාක්ෂණය යොදාගන්නා ආකාරය පිළිබඳ විවිධ අත්හදා බැලීම් පර්යේෂණාත්මකව කර ඇති සංගිත වේදියෙකි. ලෝකයේ ඉහලම පෙළේ  සංගීත වේදින් සමගත් වාද්‍ය ශිල්පීන් සමගත් එකට මුසු වෙමින් සිතාර් වාදනය කර ඇති සංගීත වේදියෙකි. ජෑස් සංගිතය පිළිබඳව ඇමරිකාවේ කොලොම්බියා විශ්ව විද්‍යාලයේ වසර දෙකක් පුරා කරන ලද ඇතැම් පර්යේෂණද සිතාරය වැයීමේදී ඔහු භාවිතයට ගනී.

උත්තර භාරතීය රාගධාරී සංගිතයේ විවිධ ක්‍රමෝපායන් ප්‍රදීප් ගේ සිතාරය ඔස්සේ කේමදාස සංගීත නිර්මාණ සමග මුසුකරමින් කරඇති අත්හදා බැලීම් මේ නිර්මාණ එකතුවේදී රසිකයන්ට විඳ ගැනිමට අවස්ථාව උදාකර දී ඇත. පෙර අපර දෙදිග කුමන සම්ප්‍රදායකදී වුවත් කේමදාසයන් නිර්මාණකරණයේ පෑ පෙළහර සිතාරය වැනි වාද්‍ය භාණ්ඩයක් ජෑස් වැනි සංගිතය ක්‍රමයකට මුසුකරමින් විඳගත හැකි ආකාරය ඔහු අපට කියා දෙයි.

විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩිවී ගියාදෙන්
පති කුලයට අද මට පිටුපා යන
මගේ සොඳුරු ළඳුනේ

හිතේ කඳුළු බිඳු රෑ තනි යානේ
ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ
ආදර සැමරුම් ප්‍රේම පුරාණේ
ඔබට විරහ ගිනි නොගෙනේවා

තනකම රජයන පාලු විමානේ
ගොම්මන් කලුවර හඬා වැටෙද්දී
ඔබ දිවි අරණේ රුවන් විජිතයේ
මැණික් පහන් වැට දැල්වේවා....

ගී පද මාලාව: ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය      : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගැයුම: ආචාර්ය පණ්ඩිත් අමරදේව
ප්‍රදීප්ගේ සිතාර් අනුවාදනය මෙතනින් අහන්න

                    

සොබාදහම හා මුසු වූ කල්හි සිත් නිවා සනහන සංගිතය දිව ඔසුවකි. එහෙත් අප දෙසවන් පුරුදු වී ඇත්තේ ගීත ඇසිමට‍ය. වාද්‍ය ශිල්පීන්ගේ වාදන සඳහා රසික ප්‍රතිචාර ලැබෙන ප්‍රතිචාර අඩුය. එසේ වීමුත් අද වන විට සංගිතය  සහ වාද්‍ය සංගීතය රෝග නිවාරණ චිකිත්සකයක් ලෙස වෛද්‍යවරු භාවිතා කරති. ප්‍රදීප් රත්නායක වැනි උත්තම ගණයේ ලා සැලකෙන සංගීතවේදියකුගේ මෙවන් නිර්මාණ සමුච්ඡයක් අපේ මනස නිවා සනසන්නේ ඒ නිසා ය. ෴

මූලාශ්‍ර:

ප්‍රදීප් රත්නායක පිලිබඳ තොරතුරු ඔහුගේ වෙබ් අඩවියෙන් සහ Songs of Premasiri Khemadasa on Predeep Ratnayake’s sitar LANDUNE සංගත තැටියෙන්


සටහන: 

2013 වසර පුරාම අස්වැන්න ට ඇවිත් ගිය කියවූ, අදහස් පලකළ ගීත ලබාදුන් විද්‍යුත් තැපැල් මගින් පණිවුඩ එවූ, මා දිරි ගැන් වූ මා ළබැඳි සහෘද සහෘදියන් සියලුම දෙනාට උදාවූ 2014 නව වසර ඔබ සිතන, ඔබ පතන ආකාරයෙන් ඔබේ සිතැඟි අනුවම ඉටුවේවා. වසර පුරාවටම ඔබට නිදුක් නිරෝගී සුවයත් චිර ජීවනයත් උදාවේවා......! ඒ මගේ පැතුමයි. ඒ මගේ සතුටයි.


46 comments:

  1. ප්‍රදීප්ගේ ගීත අනුවාදන හොඳයි..

    ප්‍රදීප්ගේ සිතාර් වාදනය ගැන
    හරි වැටහීමක් ලබාගන්නට නම්
    ඔහුගේ ශාස්ත්‍රීය වාදනයකට
    සවන් දිය යුතුයි..

    ඔහුගේ ශාස්ත්‍රීය වාදනයක් සහ
    එම රාගයෙන්ම
    රවි ශන්කර්ගේ ශාස්ත්‍රීය වාදනයක්
    මීට එක් කරන්නට හැකි නම් අගෙයි..

    ReplyDelete
    Replies
    1. අතුල මහතා...
      මම මේක ලියද්දිත් කල්පනා කළා රවිශංකර්ගේ සහ ප්‍රදීප්ගේ සිතාර්වාදන දෙකක් ඉදිරිපත් කරන්න. නමුත් රාගධාරී සංගීයේ එවැනි ශාස්ත්‍රීය වාදනයක් ගැන ලියන වෙලාකවක ඒ ගැන යම් දැනුමක් අවබෝධයක් ඇති කෙනෙක් ගැන කතාබහක් කරල ලියන්න පසුවට කල්තැබුවා. නැවත දවසක සංසන්දනාත්මකව ලියන්නම්

      ස්තූතියි ඔබතුමාට බෙහෙවින්ම

      Delete
  2. සංගීතය ගැන කිසිම දෙයක් නොදන්නා නමුත් රස විඳීමේ හැකියාවක් ඇති නිසා දෝ, ඔබ ඉදිරිපත් කර ඇති මියුරු වාදනයන් උපරිමයෙන් ම රසවින්ඳා.. ඒ ගීත වචන සහිතව මා ඉතාමත් ආදරයෙන් වැළඳගත් ගීත නිසාවෙන් එහෙම වුණා ද කියන්න දන්නේ නෑ.... ඒත් ඇත්තෙන් ම හරිම සුන්දරයි....ස්තූතියි ඔබට මේ ඉදිරිපත් කිරීමට,,,,,,,

    ReplyDelete
    Replies
    1. ඩිනාලි.....

      සංගීතය ගැන දැනගන්න ඕනෙ නැහැ. හොඳ රසවින්දනයක් උදෙසා නිර්මාණය වූ මේවා රස විදින පිරිස අතර හොද රසවිදින්නියක් හිටියාම ඇති.

      ස්තූතියි සටහනට

      Delete
  3. ස්තුතියි බෙහෙවින් ඔබට මේ ශ්‍රී ලාංකේය රවි ශංකරයන් පිලිබඳව ඔබේ අගනා ලිවිල්ලට. එමෙන්ම බොහෝ පින් දිව ඔසුවක් වන් සිත නිවන ඒ වාදන එකතුවට. සැබැවින්ම මට නම් දැණුනේ සිතාරය වාදනයක් නොව ගායනයක් ලෙසයි විවිද පරාසයන් ගයන.

    ඔබගේ ලිවුම් අඩවියේ ඇති ලියවිලි කිහිපයක්ම කියැවූවෙමි අද, සමහරෙක් පැරණි ඒවාය. මේ තාක්ෂණික සමාජගතවීම්, හා මාධ්‍යයන්ට මම බෙහෙවින් ආධුනික වෙමි - අන්තර්ජාලයෙහි මා සැරිසරන්නට පටන් ගෙන ඉතා කෙටි කාලයකි, ඒ නිසා ඒ ලිවුම් ඒ කාලයේ නොකියවීමි. මා අද කියවූ අන්ගාරා ගඟ හා සුනිලා අබේසේකරයන් ගැන ලියැවුනු දෑ ඉතා අගෙයි. මේ නිර්මාණ හා කලා කෙත් වැදුනෝ ඇසුරු නොකල මේ තාක්ෂණය ඇසුරු කරන අද පරපුරට ඔබේ ලිවුම් වඩාත් අගෙයි, ප්‍රශංසනීයයි.

    ReplyDelete
    Replies
    1. සමන්මලී...

      ස්තූතියි ඔබේ අගනා සටහනට .. ප්‍රදීප් රත්නායක කියන්නේ අපට සිටින ඔප දැමු මැණිකක්. ඒ නොවැටහෙන්නේ අපේ රටේ අයට පමණයි.

      කොහොම වුනත් මේවා තෝරා බේරා විදින්නට හැකි පිරිසක් සොයාගැනීමත් මෙවන් දේවල් ලිවීමේ එක අරමුණක්

      Delete
  4. සිතාරය වයන්න අමාරුම සංගීත භාණ්ඬ වලින් එක්ක කියලා දන්නවා.. අපි ඉස්කෝලේ සංගීතය කරද්දී මටත් සිතාරයක ස්වර අල්ලන්න අවස්ථාව නම් ලැබුන එකම එක වතාවක්..

    ප්‍රදීප් කලාකරුවා ගැනනම් තොරතුරු දැන් ගත්තේ මේ ලිපියෙන් තමයි..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්...

      මමත් කැමති කෙනෙක් මෙවන් භාන්ඩයක් වාදනය කරනු බලා සිටිමයි.
      ප්‍රදීප් වැනි සංගීතවේදියෙකු ජනප්‍රිය තරුවක් නොවුනත් ඔහු ගේ නිර්මාණවලින් අසම සමයි

      Delete
  5. ගී ප්‍රසංග බොහෝ ගනනකට සහභාගී වෙන්න අවස්ථාව ලැබුනත් වාදන ප්‍රසංග වලට සහභාගී වෙන්න තාමත් අවස්ථාව ලැබී නැහැ . ඔබගේ මේ ලිපිය ඒ පිලිබද උනන්දුවක් ඇති කලා . ප්‍රදීප් කලාකරුවාගේ එවැනි ප්‍රංගයක් ඉදිරියේදී තිබුනොත් අපවත් දැනුවත් කරන්න කියා ඉල්ලා සිටිනවා .
    …ඔබ අතුලු පවුලේ සැමට සුභ නව වසරක් පතනවා !. මේ වසරෙත් සරු අස්වැන්නක් ඔබගෙන් බලාපොරොත්තු වෙනවා දයා . ඒ සඳහා ඔබට ශක්තිය , මානසික සුවය , නිරෝගීබාවය ලැබේවා !

    ReplyDelete
    Replies
    1. ගිම්...

      ස්තූතියි.. ඉදිරියේ මෙවන් රසවින්දනාත්මක ප්‍රසංග තිබුනොත් අස්වැන්නෙන් ඒ ගැන සටහන් කරන්නම්

      Delete
  6. රවි ශංකර්ගේ ප්‍රසංගයකට බලාපොරොත්තු නොවූ අවස්තාවක ඉන්දියාවේදී සහභාගිවී තිබෙනවා. දේව වන්දනාවෙදී, ඉන්දියානුවන් සංගීතය උපයෝගී කරගන්නේ ඇයි කියන එක වැටහෙනවා ඒ වගේ වෙලාවකදි. සංගීතයත් එක අතකට දෙවි කෙනෙක් වගේ , රූපයකින් නොපෙනී අපේ හදවත් සුව කරනවා. අපිට ආදරය ගැන , ජීවිතය ගැන කියලා දෙනවා.

    ප්‍රදීප්ගේ වාදනයක් දැකලා නැහැ. 'සුළං කුරුල්ලෝ' ගීය තමා වැඩියෙන් ලස්සණට ඇහුනේ.

    මේ වගේ රසවත් ලිපි තවත් ගොඩක් ලියැවෙන, ගිම් කියලා තියෙනවා වගේ ඒ සඳහා අවශ්‍ය මානසික සුවයක් ලැබෙන, වාසනාවන්ත නව වසරක් දයාටත්, පවුලේ සැමටත්!!!

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි...

      මේ ගීත නිර්මාණ ඇතුලෙ ගිත අනුවාදනයට එහා ගිය අපූර්ව සංගීත සංකලන හමුවෙනවා. සුළං කුරුල්ලෝ ගීය තුළත් උත්තර භරතීය රාගධාරී සංගීතයේ යම් යම් අලංකාර කොටස් කිපයක්ම තිබුණා...

      ස්තූතියි සටහනක් තැබුවාට

      Delete
  7. පට්ටයි....මන් හිතුවේ නැහැ මෙවා මේ විදිහට අහන්න තරම්වත් පින් කරලා ඇති කියලා.

    තුති මේ දරන ප්‍රයත්නයට....

    ReplyDelete
    Replies
    1. රස්තියාදුකාරයා....

      ඇත්තටම මේවා නෑසෙන එකයි පුදුම විය යුත්තේ...

      Delete
  8. ආසාවෙන් කියෙව්වා, මෙහෙම එකක් තියනවා. ගීතයක දි මගේ හිත වැඩියෙන් ම යන්නෙ පද මාලාවට.

    ReplyDelete
    Replies
    1. කුරුටු ගෑ ගී පොත...

      ඇත්ත මේ පදමාලා ඉතාමත් රසවත් මෙන්ම කාව්‍යාත්මකයි. එයින් දැනෙන රසය ට වාද්‍ය භාණ්ඩයක් එකතු වුණාම තව එහි අපුර්වත්වය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ස්තූතියි ඔබටත්

      Delete
  9. ඔහු ගැන අසා තිබුනත් මේ තරම් කරුණු දැන සිටියේ නැහැ.අපුරු වාදනයන් ටිකක්.
    ඔබටත්,පවුලේ සැමටත් සාමය,ප්‍රේමය පිරි සුබ නව වසරක් වේවා...!!!!

    ReplyDelete
  10. මේ කලාකරුවා ගැන තොරතුරු දැනගෙන හිටියේම නෑ.....සිතාර් අනුවාදනයන් දැන් අහන්ට විදියක් නෑ...පසුව අහන්නම්.

    ස්තුතියි

    ReplyDelete
    Replies
    1. පසුව අහන්න ඉඳපු එකට පසු තැවෙන්න වෙයි ඔන්න බලන්න :D

      Delete
    2. රෙහානි....

      නිවාඩුව අහන්න...ප්‍රදීප් ගැන දැනගන්න ඔහු උසස් සංගීත වේදියෙකු මිස ජනප්‍රිය කෙනෙක් නොවෙයි නේ ඉතින් කොහාම දැනගන්නද

      Delete
  11. ස්තූතියි දයා....ප්‍රදීප්ගෙ අනුවාදන කිහිපයක්ම මා ලඟ තියනව. සඳ බබලන රාත්‍රියක සඳළුතලයේ වැතිර හිඳ රවිශංකර්ගේ මියුරු නාදයට සවන්දීම ජීවිතයේ පරම සැපත වන්නේය.

    මේ රවි ශංකර් මිය ගිය වෙලාවෙඩ් මම ලියූ සටහන.

    ප්‍රදීප්ගෙ නිර්මාණයන්ද රවි ශංකර් තරමටම උසස් බව නොවළහා පැවසිය හැක. පාසල් වියේදී ඔහු හා මම අසල්වැසියන්ව හිඳීම ඒ සමීපතාවය තවත් වර්ධනය කරවන්නට හේතුවක්ද වෙයි.

    ආයෙමත් ස්තූතියි දයා අළුත් අවුරුද්දෙ අපූරුම සටහනක්!

    ReplyDelete
    Replies
    1. රවී....

      අහා එහෙන්ම රවීගේ අසල්වැසියා වූ ප්‍රදීප් ඔබ රවි ශංකර්ගේ සිතාරයට වශිකරවලා... ස්තූතියි රවී ඔබටත්...

      Delete
  12. ප්‍රදීප් රත්නායකගෙ වාදනයක් දිනක් මට රූපවාහිනියෙ දකින්නට ලැබුණා. ඒ මම පාසල් යන කාලයෙ. ඒ වෙලාවෙ ඔහු පිළිබඳව හිතේ ඇති වුණ ආකර්ශනය තවමත් තිබෙනවා. ඒක හරියට කෙනෙක් මයිකල් ජැක්සන්ගෙ දක්ෂතාවයට ආකර්ශනය වීම සමග ඔහුට ආකර්ශනය වීම වැනි දෙයක්. ඔහු සිතාර් වාදනය කරන ඡායා රූප දෙකක් පුවත්පතකින් කපාගෙන මා ළඟ තබාගෙන සිටියා මම. ඒවා තවමත් මගෙ ඇල්බම් එකක තිබෙනවා.
    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු සැබෑ දක්ෂයෙක්

    ReplyDelete
    Replies
    1. සිඳූ....

      මෙවන් සංගීත වේදීන් කරන්නේ වාදනය කිරීම පමණක් නොවෙයි. වාදයෙන් එහා ගිය මිනිසුන්ගේ සිත් නිවා සුවපත් කරන නව අත්හදා බැලීම් කරන පිරිසක්. එවන් සංගීත වේදින් සිය දක්ෂතාවන් ලෝකයටම විකසිත කරනවා.

      Delete
  13. මේ divshare එක mobile වලට ලෝඩ් වෙන්නේ නෑ. වැඩිය හොඳයි soundclouds වලට දාන්න පුලුවන්නම්. හැමදාම වගේ අර්ථවත් ඉතාමත් වටිනා ලිපියක්. බොහෝම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. සිංදුවා....

      මම වෙලාවෙන් වෙලාවට divshare එකයි soundclouds එකයි මාරු කරනවා මම ඉදිරියේ බලන්නම් වෙනසක් කරන්න

      Delete
  14. මා ඔහු ගැන අසා තිබුණත්, වාදන අසන්න තරම් වාසනාවන්ත වුවේ නෑ. අපේ රට කොත්තු රොටි ශෛලියට ගමන් කරන මොහොතකදී මෙවැනි සටහනක් අඩුම වශයෙන් අපවැනි කියවන කෙනකු වත් නිසි මගට යොමු කරන්නට සමත්. සංගීතය විඳින ආකාරය මා දුටුවේ, ඉන්දියන් මහා කොමසාරිස් කාර්යාලයේ පැවැත්වූ සංගීත ප්‍රසංගයකදී. එහි සිටි වයෝවෘද්ධ ඉන්දියානුවන් පවා තම අත් තාලයට නටවමින් ගීත විඳිනා ආකාරය බලන්න ලස්සනයි. මා අසා තිබෙනවා සිතාරය සුසර කල පසු බිම තැබුවහොත් එය යලි සුසර කල යුතු බව. එම සංගීත භාණ්ඩය එතරම් සංවේදී එකක් බව ඉන් වැටහෙනවා. මෙවැනි ලිපියක් සම්පාදනය කරන්නට ඔබ ගන්නා වෑයම ඉතා අගය කරනවා.

    ReplyDelete
    Replies
    1. සුදීක...

      ඔබ වගේම මමත් ඉඳහිටලා ග්‍රෙගරි පාරේ තියෙන ඉන්දියන් සංස්කෘතික මධ්‍යෂ්ථානයට යනවා. එතැන තියෙනවා අපූරු සංගීත වැඩසටහන්. ඒ ගිය එක දවසක ලංකාවෙ ශිල්පියෙකුගේ ප්‍රසංගයක් බලන්න මහකොමසාරිස්වරයාත් ඇවිත් හිටියා. අපට වඩා ඔවුන් සංගිතයට කලාවට මහත් සේ ආදරය කරවන පිරිසක්

      Delete
  15. හරිම සිත සනසවන සුලු ගී වාදන. මට මතකයි කලණි පෙරේරාගෙ වයලීන් වාදන පටයෙනුත් මේ වගේ සිත සනසවන බවක් තිබුන.

    ඔබටත් පවුලේ හැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා..!

    ReplyDelete
    Replies
    1. වීපොකුර...

      ඇයි කළණි වගේම රෝහණ ඩීඩී. වගේ අයගේ වයලීනත්, නාලකගෙ ගිටාරයත් ගැන අපි කතා කලේ..

      ස්තූතියි ඔබටත්

      Delete
  16. දයා.. මම හිතන්නේ කාලාන්තරයකට පස්සේ ප්‍රදීප් ගැන කුමක් හෝ මාධ්‍යක මෙවැනි සටහනක් දැක්කේ. ඔහු සත්‍ය වශයෙන්ම අති දක්ෂයෙක්.. 2007 හෝ 2008 දී මම ඔහුගේ ප්‍රදීපාංජලී ප්‍රසංගය බැලුවා බන්ඩාරනායක එකේදි. ඔබට හුගක් ස්තුතියි මේ සටහන පිළිබදව..

    ReplyDelete
    Replies
    1. දේශකයා...

      මටත් මතක විදියට ප්‍රදීපාංජලී අන්තිමට තිබුණ ප්‍රසංගය තමයි ඒ... සමහර විට මේ වසරේ එවැනි ප්‍රසංගයක් බලන්න හැකි වේවි.

      Delete
  17. වෙනදා වගේම ලියවිල්ලක්...
    අපි ඒ දවස්වල සංගීතය පාඩමට සිතාර් වාදකයන් ගන ඉගෙන ගත්ත දේවල් ටිකත් මතක් උනා. :)

    ReplyDelete
    Replies
    1. මධුරංග..

      ටික කාලයක් හරි සිතාරය වැද්‍ය කරපු වාද්‍ය ශිල්පීන් ගැනත් දැනගත්ත එකත් වටිනවා..

      Delete
  18. දයාට බොහෝම ස්තූතියි..ප්‍රදීප්ලාව අහන්න සලස්වන්න ඕන අයට මේ වගේ පෙන්නලා දෙන්න අය හිටියානම් අපේ සංගීත කලාවට මෙවන් තත්වයක් ඇතිවෙන්නේ නැහැ. අවාසනාවකට මාස්ටර්ලාත් නැතිවුනා. නැවතත් දයාට ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. අරූ....
      ඇත්තටම අපේ මාධ්‍ය මොනවටද කියල හිතුනා මෙවන් දේවල් අහන අයට අහන්න දෙනවනම් ඔවුන් අලුත් මිනිසුන් පිරිසක් බවට පත් කරාවි
      ස්තූතියි

      Delete
  19. matanam sitar eka athata allagannath amarui hariyakata. ehew eke kohoma wadanaya karannada. pradeep ge shasthriya waadanayak TV eke baluwa dawasak. eda thamai pradeep kiyanne kauda kiyala danagaththe.

    ReplyDelete
    Replies
    1. සයුරි....

      සමහර වෙලාවට ඔහු විදෙස් ප්‍රසංග පවත්වන වෙලාවක ඔබ ඉන්න රටෙත් එවැනි ප්‍රසංගයක් තිබ්බොත් බලන්න. එවිට මේ ලාංකිකයාගේ සැබැ දක්ෂතාවය සියැසින්ම දැකගන්න පුළුවන් වෙයි.

      Delete
  20. බොහොම වටිනා ලියවිලි වසර පුරාවටම අප සමග බෙදාගන්නා අස්වැන්නේ දයානන්ද අයියාටද සුභ 2014 වසරක් පතමි..නිර්මාණ ඉසව්වේ අලුත් ඉමක් සොයා යන්නට මේ වසරේදී හැකි වේවා...

    බොහොම පින් මේ වගේ ලිපියක් ලිවීම ගැන. මේ ගීත සියල්ලම මම ඉතාමත් ප්‍රිය කරන ගීත...එකක් දෙකක් හැර අනෙක් සියල්ලම මගේ පරිගණකයෙත් තියෙනවා...ඒ අතරිනුත් දේදුන්නෙන් එන ගීතයට මම ඉතාමත් ප්‍රියයි...එහි අන්තරා කොටසේ එන තාල රූප සහ ගායකයාගේ සහ ගායිකාවගේ හඩ මුසුවත්...පද සංකලනයෙන් මැවෙන චිත්ත රූපත්...ආනන්දයෙන් ප්‍රඥාව කරා අප රැගෙන යනවා කියා කිව්වොත් එය අතිශෝක්තියක් නොවේවි....අද කෝ මේ වගේ රසවත් ගීත....අන්න ඒකයි පුරස්නෙ...

    ප්‍රදීප් රත්නායක කියන්නෙ ලංකාවට මැණිකක්...ඔහුටත් ඔබටත් මේ රස බෙදන කලාකරුවන් හැමටමත් නිදුක් නිරෝගී චිර ජීවනය පතමි. ජය !

    ReplyDelete
    Replies
    1. සිරා....

      ගීතය වගේම මේ වාදන ටිකත් වෙන වෙනම අහල බලන්න සංගීත වාද්‍ය ශිල්පියෙක් කියන්නේ හුදෙක් වාදකයෙක් පමණක් නොවන බව වැටහේවි.

      ස්තූතියි ඔබ‍ටත්..

      Delete
  21. වෙනදා වගේම රස සාගරයක්... දැනුම් සාගරයක්... සාර සංග්‍රහයක් අයියෙ....

    ඔයාටත් සියලු පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
  22. පරක්කු වෙලා දැකපු තවත් අපුරු සටහනක්...

    ReplyDelete
  23. ප්‍රදීප් සර් අපේ රටට අගනා වස්තුවක්

    ReplyDelete
  24. කස්ටිය තාම හොයාගත්තේ නැත්නම් ට්‍රැක්ස් ටික මෙන්න මෙතන තියෙනවා.

    https://www.youtube.com/playlist?list=PLMIsKvFtoFZIaRdUlDLwHUAV0shUCqxQm

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...