එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Wednesday 18 June 2014

෴ නුවරකලාවියෙන් හමා ආ මී මල් සුවඳ෴






මහින්ද දිසානායක රජරට පුරෝගාමී ගිත රචක පරපුරේ විසල් නුග රුකකි. රජරට සේවය හරහා බිහිවූ රජරට ගීත සාහිත්‍යයේ සරුසාරම ගී අස්වැන්නේ හිමිකරුවා ඔහු ය. රජරටම ඉපිද රජරටම නිහඬ දිවියක් ගෙවන මහින්ද දිසානායකයන් ගීතයේ සාහිත්‍යමය රසය පිළිබඳව වැඩියෙන්ම උනන්දුවී නිර්මාණකරණයේ යෙදන ගීත රචකයෙකි. තමන් අතින්  ලියැවෙන හැම ගීයතක්ම සාහිත්‍යමය අතින් පෝෂණය කර රසික සවන්පත් අතර රඳවන්නට වැඩිම කැමැත්තක් දක්වයි.  මහින්ද දිසානායකයන් අතින් ලියැවුණ ජනප්‍රිය ගීත රැසකි. ඒවා ඔහු අතින් ලියැවුණ ගීත බව දන්නේ ඉතාමත් සුළු පිරිසකි. මේ වන  ගීත හාරසියයකට ආසන්න ප්‍රමාණයක් ලියා ඇති මහින්ද දිසානායකයන්  ඇසට අසුවන මායිමේ (1994 රාජ්‍ය සාහිත්‍ය සම්මාන), වී පැදුරෙන් (2001) සහ බැන්ද අමුණ (2010) වශයෙන් ගීත රචනා කෘති 03 ක් ලියා පළකර ගිතයේ සාහිත්‍යමය පැත්ත පෝෂණය කර ඇත.

මහින්ද දිසානායකයන් 35 වසරක් පුරා නිර්මාණකරණයේ නියැලෙමින් සිට ඒ මහා ගී ගඟුලෙන් ගීත 72 ක් තෝරාගෙන ගී තැටි (සීඩී) 04 ක් පසුගියදා නිර්මාණය කර එළිදැක්වී ය. මහින්ද දිසානායකයන් ඒ මධුර ගීතාවලිය ඇතුළත් සීඩී 04 නම් කර ඇත්තේ “ආවාදෝ සංසාරේ, පින්සර ඔබ හැර, කුරුලු රුවින් සහ සුනිල දියේ“ යනුවෙනි.  මේ ගීත 72 ක ඇතුළත් සංගත තැටි හතර මහින්ද දිසානායකයන්ගේ ගී පද රචනාවල අග්‍ර ඵලයයි.

නිර්මාණ එළිදැක්වීම්, දොරට වැඩුම් කොතෙකුත් තිබියදී නිහඬව ම සිදු කළ මේ නිර්මාණ එළි දැක්ම පිළිබඳ මා කලින්ම දැන සිටි නිසා කුමක් හෝ සටහන් ඒ වෙනුවෙන් තැබිය යුතු යැයි කල්පනා කරමි‍. කලාකරුවකු වශයෙන් ජනප්‍රියත්වය හඹා නොගොස් කරන මෙවන් නිර්මාණාත්මක  කටයුතුවලට සහෘද රසිකයන් වශයෙන් අපගේද සහයෝගයක් දිය යුතු බැවින් මේ ගී තැටි 04 අරමුණු කරගෙන මේ සටහන අද අස්වැන්නෙන් තබමි.

මහින්ද දිසානායකයන්ට සිය ගීතාවලියෙන් ගීත 72 ක් තෝරාගන්නට අපහසු වූවා සේම දින ගණනක් තිස්සේ නිරන්තරයෙන් මේ ගී එකතුව ඇසූ මටද අස්වැන්නට යොදා ගැනිමට  ඒ ගිත අතරින් ගීත කීපයක් තෝරාගැනීම ඉතාමත් අසීරු කරුණක් ම විය.  මහින්ද දිසානායකයන් ලියූ ජනප්‍රිය ගීත අන්තර්ජාලයෙන් සොයාගත හැකි නිසා කලාතුරකින් අහන්නට ලැබෙන, එසේම නිරන්තරයෙන් අහන්නට නොලැබෙන  ගීත කිපයක් මේ සටහනට ඇතුළත් කර ඔබට අසන්නට සලස්වමි.

මහින්ද දිසානායක අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ සිංහල විෂය භාර ගුරුවරයෙකු ලෙස දීර්ඝ කාලයක් ගුරු වෘත්තියේ නියැලෙමින් අනතරුව උතුරු මැද පළාතේ සිංහල විෂය පිළිබඳ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂකවරයකු ලෙසද කාලයක් කටයුතු කර විශ්‍රාම ලැබීය.

මහින්ද දිසානායකයන් 1979 දී රජරට සේවය ඇරඹීමෙන් පසු රජරට සේවා නිර්මාණ පුනරුදයෙන් නවක නිර්මාණකරුවන්ට ලැබුණ අත්වැල ඔස්සේ අබිසෙස් ලැබූ ගීත රචකයෙකි.
නදින් බමර ගී සරින් පිරුණු විල්
තෙරේ පවන වැලපේ
නිලින් බැබලි තුරුලතා පිපුණු හිම
පෙනේ ඉපල් ලෙසිනේ

ගී පද : මහින්ද දිසානායක / සංගීතය: සිරිල් පෙරේරා / ගැයුම: කරුණාරත්න දිවුල්ගනේ

මේ  මහින්ද දිසානායකයන් අතින් ලියැවුණ පළමු ගී පදමාලාවයි. රජරට සේවයේ නිර්මාණය වූ නව පදමාලා සංගීතමය වැඩසටහනකට එය එදා ගැයුවේද නවක ගායකයෙක් වශයෙන් දිවුල්ගනේ ය. දිවුල්ගනේ සහ මහින්ද දිසානායක නාමයන් මුල්වරට  සංගීත ක්ෂේත්‍රෙය් සටහන් වන්නේ ඒ අයුරිනි. එදවස රජරට සිටි මට දිවුල්ගනේගේ ඒ මුල්ම ගීතය තවමත්  මනසේ නින්නාද දෙන ගීයකි.  ඒ අයුරින් ගීත රචනයට පිවිසි මහින්ද දිසානායකයන් අනතුරුව රටම දන්නා ගීත රචකයෙකු බවට පත්වන්නේ රුවක් ඇදෙනවා කවුදෝ එනවා ගීතය ඔස්සේ ය.

                   (1)     ඇසට අසුවන මායිමේ
                             බමර සැණකෙළි මල් විලේ
                             ළසෝ ලැව් ගිනි ඇවිලුණා සිත
                             ඹබ මගෙන් වෙන් වූ දිනේ

                (2)        පින්සර ඔබ හැර පිළිබඳ
                             සිතුවිලි වෙනතක දලුලා දෝ
                             ඔබ ගැන මා ගැන මතකය
                             අමතක කරන්න පුළුවන් දෝ

 මේ ආදී වශයෙන් මහින්ද - කපුගේ - දිවුල්ගනේ සුසංයෝග වෙමින් එකල එක පෙළට ගී රැසක්  නිර්මාණය විය. මේ සියල්ලම රසාලිප්ත ගීත වශයෙන් ගීත සාහිත්‍යයට ඇතුළත් වී තිබේ.

නිර්මාණකරුවාගේ අරමුණ විය යුත්තේ සිය අත්දැකීම් සහෘදයන්ගේ සංවේදනයට පාත්‍රවන අයුරින් නිර්මාණකරණයේ නියැලීමයි. පළමුව නිර්මාණකරුවා වඩාත් සංවේදී පුද්ගලයෙකු බවට පත්විය යුත්තේද එවන් අවස්ථාවක සිය සහෘදයා බවට පත්විමට තරම්  නිවුණු සිත් ඇත්තෙකු විය යුත්තේද  ඒ නිසා ය. මිහන්ද දිසානායකයන් අපට හමුවන්නේ සහෘද සිත් සංවේදනයට පාත්‍ර කරන එබඳු නිර්මාණකරුවකු වශයෙනි.

ඔහු ගීත රචනයේදී තවත් නිර්මාණකරුවකුගේ  ඇසට හසු නොවූ අපූර්ව අනුභූතින් සොයාගනී. ඇතැම් විට එතුමාගේ පරිකල්පන සිතුවිල වලට හසුවන ඒ අනුභූතින් වල අක්මුල් සොයා යද්දී අපට හමුවන්නේ ඒ අනුභූතියේ මූලාශ්‍රය බෞද්ධ සාහිත්‍ය, සංස්කෘත සාහිත්‍ය, සම්භාව්‍ය සිංහල සාහිත්‍යය හෝ ජනකවි සාහිත්‍ය ඇතුළු අපගේ චිරන්තන සාහිත්‍යයෙන් පෝෂණය වූ අතීත අනුභූතින් බවයි. අපේ ඒ චිරන්තන සාහිත්‍ය මනාව පරිශීලනය කරමින්  සහ ගවේෂණය කරමින් මහින්ද දිසානායකයන් ඒ ඔස්සේ වර්තමානයට ගැලපෙන  නැවුම් අනුභූතින් සපයාගනී.

නිදසුනක් ලෙස මතු දැක්වෙන ගීතය අසා බලන්න. අතිශයින් සරල සුන්දර අත්දැකීමක් වුව ගීතයෙන් ගොඩනැගෙන්නේ නැවුම් වටපිටාවකි. ප්‍රේමයේ අපූර්වත්වය කියා පාන්නට පසුබිම හදාගන්නේ රජරට ගැමි පරිසරයයි.  බැන්ද අමුණු ඇල වේලි බහුලව හමුවන්නේ රජරට ප්‍රදේශයෙනි. එහෙත් මහින්ද දිසානායකයන් ඒ පරිසරයේ සිටිමන් බැන්ද අමුණ හසුකරගන්නේ ඔහුගේ ගීතයේ ප්‍රේමාන්විත සංකල්පයක් විදහා දක්වන්නටය.

බැන්ද අමුණ විලක් වුණේ
මලක් පිපුණු දාක
මගේ හිතේ මල් පිපුණේ
ඔබ හමුවුණු දාක

කෙන්ද කන්ද වෙන්නෙ හිතේ
වැඩි ලෙංගතු කමට
සිතිවිලි කන්දකි ඔබ ගැන
කියමිද වෙන කාට

මලින් මලට වෙනස වෙසෙස
හැඩය සුවඳ පාට
මලේ මහිම හැඳිනිය හැකි වෙද
ඔබ හැර වෙ කාට

ගී පද මාලාව: මහින්ද දිසානායක
සංගිතය: නවරත්න ගමගේ
ගැයුම: දිස්නා අතපත්තු

                     

ගීත රචනයේදී තමා වෙත එළඹෙන්නේ ප්‍රවීන ශිල්පියෙක්ද නැති නම් නවකයෙක්ද යන්න මහින්ද දිසානායකයන්ට වෙනසක් නැත. තමා වෙත ගීතයක් ලියා ගැනිමට එන කවරෙකුට වුව වඩාත් හොඳ සාධාරණයක් මහින්ද දිසානායකයන් අතින් ඉටුවේ. ගීතය රසික හදවතට සමීප කරවන්නේ  ගයකයා හෝ ගායිකාව වන නිසා ඔහු හෝ ඇය කවරකු වුවද ඔහුට හො ඇයට ගැයිමට ලැබෙන පදමාලව සාහිත්‍යමය අතින් පිරිපුන් ගීතයකි.

ගීතයේ පදමාලාව  සාහිත්‍යයෙන් පෝෂණය වූ විට එහි සංගීත නිර්මාණය හෝ ගායන පාර්ශවය නිතැතින්ම සාර්ථක වන බව මහින්ද දිසානායකයන් අතින් ලියැවුණ ගීත හොඳම නිදසුන් සපයයි. ඒ නිසා මහින්ද දිසානායකයන් අතින් ලියැවෙන ගීයක් නිතැතින්ම සාර්ථක ගීයක් බවට පත්වේ. මේ  ගී පදමාලා වල ඇති සාහිත්‍යමය ගුණය සහ කාව්‍යමය ගුණය ඔහු සතු භාෂාමය හැකියාවේ මෙවලම් ය. නිරන්තරයෙන් නෑසුනත් මේ ගී ඊට කදිම නිදසුන් සපයන්නේ ඒ නිසා ය. මේ මතු දැක්වෙන ශිල්පියාගේ නම අපට හුරු පුරුදු නොවූවද එහි ඇති ගීතවත් බව හඳුනාගන්නට අපහසු නොවේ.

පෙම් රැහැනින් මා වෙලන්න
ඔබෙ සෙවනේ මට හිඳින්න
මම ආසයි ඔබත් සමග
                             මේ දිවි මග එකට යන්න

මගෙ ආදර විල් ජලයේ
නිල් මානෙල් මලක් වෙන්න
රේණු සලා මල් මුවරද
සිහිල් දියට එක් කරන්න

මම රැය නම් ඔබ පුර හඳ
සිත් අහසේ නැගී එන්න
සඳ සිහිලේ තැවුල් නිවා
රැයත් සමග මැකී යන්න

ගී පද මාලාව: මහින්ද දිසානායක
සංගිතය: එච්.එම්.ජයවර්ධන
ගැයුම: අජන්තා නාකන්දල

                             
මහින්ද දිසානායකයන්ගේ අතින් ලියැවුණ මෙවන් සොඳුරු මිහිරැති ගී පදවැල් අතර සිරවුණ කපුගේ - දිවුල්ගනේ- මහින්ද සුසංයෝගය කෙබඳු එකක් දැයි වටහා ගන්නට මේ ගිත තැටි 04 ප්‍රමාණවත් ය. මේ ගී තැටි වලින් වැඩිම ගීත ප්‍රමාණයක සංගීත නිමැවුම් කරුවා කපුගේ ය. මේ තැටිවල වැඩිම ගීත ප්‍රමාණයක හඬ මුසුව දිවුල්ගනේ ගෙනි. ඒ සා විශාල ගී ප්‍රමාණයක මේතරම් සුවිසල් සහසම්බන්ධතාවය ගොඩනැගෙන්නේ රජරට සේවය හරහාය. රජරට සේවය ප්‍රාදේශීය ගුවන් විදුලියක් වශයෙන් ගොඩ නැගෙන්නට මෙවන් ගිත සාහිත්‍යයක අඩිතාලම සඳහා මහින්ද දිසානායකයන්ගේ දායකත්වය අමතක කළ නොහැකිය. ඒ නිසාම කපුගේ - දිවුල්ගනේ - මහින්ද සහසම්බන්ධතාවය කොතරම් දුරට විහිදුන දැවැන්ත වෘක්ෂයක් වන්නේද යන්න මතු දැක්වෙන ගීතවලින් අවබෝධ කරගත හැකිය.

 “ඇසට අසුවන මායිමේ,  රුවක් ඇදෙනවා කවුදෝ එනවා, ස‍ඳේ සොමිගුණ, කුරුලු රුවින්, පින්සර ඔබ හැර, බිළිඳු පුතණුවන්, මුදු මුහුණේ සුව දැනුණේ, ඔබේ සෙවන මට නිවනක්, රමණිය වූ මරණීය වූ ජීවිතේ,“  ආදි ගිත ඊට නිදසුන් ය. මීට අමතරව වෙනත් සංගීත වේදීන්ගේ  සංගිතයට ගැයූ මහින්ද - දිවුල්ගනේ සංයෝගයෙන් බිහිවූ ගීත ප්‍රමාණය මිට වඩා වැඩිය. 

ඒ නිසා කපුගේ - දිවුල්ගනේ - මහින්ද සම්බන්ධතාවයේ  රුවගුණ දැක්වෙන එකදු ගීතයක් හෝ මීට එකතු නොකළ හොත් එය අඩුවක් වනු ඇති බව මටද දැනේ. එහෙයින් ඔබ කොතෙකුත් අසා ඇතත් මේ ගීතය මෙහි සටහන් කර තබමි.

නෙතට උළෙලක් විය එදා ඔබ
කඳුළු බිඳුවක් වුව මෙදා
මේ තරම් හිත පාරවන්නට
මගෙන් වරදක් වුණිද මන්දා

ඔබෙන් තොරවූ ලෝකයක් ගැන
හිතන්නටවත් හොහැකි හින්දා
ඔබේ සිත වෙන අතක රන්දා
එපා දුක ගෙන එන්න කැන්දා

ඔබේ රුව රසඳුනක්  වුවට
කමක් නෑ මට තවත් ඇසකට
නමුදු ඒ රුව තවත් කෙනෙකු‍ට
අයිති වනු බෑ දරාගන්නට

ගී පද මාලාව: මහින්ද දිසානායක
සංගිතය: විශාරද ගුණදාස කපුගේ
ගැයුම: කරුණාරත්න දිවුල්ගනේ

                  
මහින්ද දිසානායකයන් සිංහල ගීතයට තිස්පස් වසරකට ආසන්න කාලයක් පුරා ලබාදුන් දායකත්වයේ  සාරවත්ම අස්වනුව වන්නේ මේ සංගත තැටි හතරය. ඒත් මීට කලින් ගිතයේ සාහිත්‍යමය පැත්ත පෝෂණය කිරීම සඳහා  ඔහු විසින් ලියා පළකළ කෘතීන් දායක වූවා සේම, ගීතය පිළිබඳ උනන්දු වන එය එසේ රස විඳින්නට කැමති, ගිතය ගැන හදාරන  රසිකයන්ට මහින්ද දිසානායකයන් නිර්මාණය කළ “ආවාදෝ සංසාරේ, කුරුළු රුවින්, පින්සර ඔබ හැර සහ සුනිල දියේ”  නමින් නම්කර ඇති මේ සී ඩී 04 රසිකයන්ගේ ගීත වශයෙන් ඇසීමට තිබූ ඒ අඩුව පුරවන්නට සමත් වනු ඇත.

නිර්මාණකරුවකුගේ අරමුණු දෙකකි. එහි පළමු වැන්න යථාර්තය නිරුපණය කිරීමයි. එයින් පවතින සමාජය සහ එහි පසුබිම වගේම යහපත් මිනිස් ජීවිතයක් ගතකරන්නට බාධා පමුණුවන දේශපාලනය, ආර්ථික සහ සාමාජීය ගැටලු යථාර්ථය නිරූපණයේදී නිර්මාණකරුවා අතින් කලාත්මකව ප්‍රති නිර්මාණය එහි දෙවැන්න හැඟීම් පෝෂණය කිරීමයි.  හැඟීම් පෝෂණය කිරීමේදී ඒ හා සමානවම රසිකයා හැඟීම් වලින් පිරපුන් සහෘදයෙකු  බවට පත්කරයි. බුද්ධිමත් රසික පාර්ශවයක් බිහිවන්නේ ඒ ඔස්සේය. හැඟීම් නිවැරදි අයුරින් ග්‍රහණය කරගත් මිනිසුන් හමුවන්නේ ඒ ඉසව් වලදීය. ආදරය ප්‍රේමය, දුක වැනිහැඟීම් වඩාත් සංවේදී ලෙස ග්‍රහණය කර ගැනිමට යමෙකු පොළඹවන්නේ මේ ක්‍රියාදාමයයි. මහින්ද දිසානායකයන් අතින් සිදුවන්නේ මිනිස් හැඟීම් ගීතයෙන් පෝෂණය කිරීමයි.

ආදරය, ප්‍රේමය වැනි කාරණාවලදී ඇතිවන බැඳීම් සහ බිඳ වැටීමෙන් ඇතිවන තැවුල් කාටත් පොදුය. බැඳීමක් බිඳ වැටුණු පසු  යළි කිසිදාක එකතු නොවනු ඇති සේම එවන් බිඳ වැටීමක්  පවා සතුටු සිතින් විඳගන්නටත් එතෙක් කල් වින්ද ආදරයේ අගය රැකගන්නටත් මහින්ද දිසානායකයන්ගේ බොහෝ ගීත අපට කියා දෙයි. අද දවසේ අපට නෑසෙන්නේ මෙබඳු සංකල්පනාවන් ය.

ඔබට එපා වන්නට පෙර
සමුගන්නට ඇත්නම් මට
සතුටු සිතින් මතු දවසක
අප හමුවේවි

සුවඳ හමන මලක් වෙලා
තුරුලිය මුදුනක පිපුණොත්
අත දිගුකර නෙලාගන්න
ඔබට හිතේ වී

පවසට පැන් පොදක් වෙලා
රුදු කතරක මතු වූවොත්
අහක නොදා දෝතින් ගෙන
බොන්න හිතේවී

ගී පද මාලාව: මහින්ද දිසානායක
සංගීතය: දර්ශන රුවන් දිසානායක
ගැයුම: ඇනස්ලි නානායක්කාර

                           
මේ ආකාරයට ආදරය, ප්‍රේමය, දුක සංතාපය පමණක් ‍නොව පරිසරය, සොබාදහම, බෞද්ධ දර්ශනය,  ආදී විවිධ තේමාවන්  ඔස්සේ දිග හැරෙන ගීත 72 කින් යුතු මේ ගිතාවලියේ ඔබට අසා හුරුපුරුදු  ගීත අතර හෙළැඹුල් මදහස, සුනිල දියේ, සොඳුරු වූ මිනිසා, දෙබැම දේදුණු ( අමරදේව), හිමි දෙසු බණ ( වික්ටර්), කරුණාරත්න දිවුල්ගනේගැයූ ඉහත දැක්වූ ගීත,  වී පැදුරෙන්, මගෙ ආදර පවසට ( ක්‍රිශාන්ත එරන්දක) ගම්මානේ සුවඳ ( ජානක වික්‍රමසිංහ) රුවක් ඇදෙනවා, ආවාදෝ සංසාරේ, දියාලුවෝ, මා හඹා ගිය සම්පතක්, කුරුලු රුවින්, ලිහිණියෝ (කපුගේ) ඔබ අසා සිටී නම් , මං නැති දා ( නෙලූ අධිකාරී) ආදී ගිත මෙන්ම සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, අමරසිරි පීර්ස්, මාලනී බුලත් සිංහල, නන්දා මාලනී, නීලා, අබේවර්ධන බාලසූරිය,  දීපිකා, චන්දන, නිරෝෂා, ශානිකා, සෝමතිලක ජයමහ, සනත් ටී.එම්, කිත්සිරි,  බන්දුල විජේවීර, සේනානායක වේරලියද්ද සහ චන්ද්‍රසේන හෙට්ටි ආරච්චි ගැයූ කිසිදා මතකයෙන් බැහැරව නොයන ගී මාලාවක් මේ තැටි හතරට සංගෘහිත වී තිබේ.

මෙම ගී තැටි 04 මහින්ද දිසානායකයන්ගේම නිෂ්පාදනයක් වන අතර දැනට මරදානේ සුරස පොත් හලෙන් ද, නුගේගොඩ සරසවි පොත් හල ඇතුළු සියලුම සරසවි පොත්හල්වලින්ද, නුගේගොඩ සීමාසිහිත සිංග්ලංකා සමාගමෙන්ද ඔබට ලබාගත හැකි ය. මේ ගිත තැටි ගැන හෝ මේ ගී ගැන වෙනත් විස්තර හා තොරතුරු දැනගැනිමට අවශ්‍යවන්නේ නම්

                                               මහින්ද දිසානායක
                                               අංක 3064 , තුන්වන පියවර,
                                               අනුරාධපුරය

යන ලිපිනයෙන් හෝ දුරකතන අංක 025 2235050 මගින් හෝ 0779205557  ඔස්සේ අදාල තොරතුරු ලබාගත හැකිය. විද්‍යුත් තැපැල් මගින් විමසන්නේ නම්  gayaman@gmail.com  විමසිය හැක.

                              ආවාදෝ සංසාරේ මා හා බැඳී
සැමදා  පෑහී මාගේ සෙවනැල්ල සේ

ඔරුවක් පා වුණා පාලුවේ සාගරේ
මගියෙක් යැ වුණා සීරුවේ සීතලේ
මිහිරේ ගී ගැයුණාවේ
තනිය නසා - තනිය නසා

කතරේ වාලුකා පෑයුමෙන් වේලුනා
වැහැලා ඒ බිමේ මී මලක් පීදුනා
සිහිල ලබා සිහිලැල්ලේ
නිවී ගියා - නිවී ගියා

ගී පද මාලාව: මහින්ද දිසානායක
සංගීතය: විශාරද ගුණදාස කපුගේ
ගැයුම: විශාරද ගුණදාස කපුගේ

                   














8 comments:

  1. අහන්ට සිංදු ගොඩයි. අහලා බලලම කමෙන්ට් කරන්නම් දයා...:)

    ReplyDelete
  2. විශ්මකර්ම මිනිස්සු..... වෙන මක්කා කියන්නෙයි..

    ReplyDelete
  3. මාතලන් සමඟ එකඟයි.. විශ්වකර්මයෝ !!!

    ReplyDelete
  4. මේනම් සැබෑ කලාකාරයෝ .. ඔවුන්ව අගය කරන්න වචන මදි .

    ReplyDelete
  5. //දෙවැන්න හැඟීම් පෝෂණය කිරීමයි. හැඟීම් පෝෂණය කිරීමේදී ඒ හා සමානවම රසිකයා හැඟීම් වලින් පිරපුන් සහෘදයෙකු බවට පත්කරයි. බුද්ධිමත් රසික පාර්ශවයක් බිහිවන්නේ ඒ ඔස්සේය..//
    දයානන්දගේ මේ කියමන හා මම සම්පූර්ණයෙන්ම එකඟයි. හැඟීම් පෝෂණය වන්නේ බුද්ධිය හා හදවත එකට එක්ව තීරණ ගන්නට රස විඳින්නට තැත්දරද්දී බව මගේ හැඟීමයි. රසික මනස පුළුල් කරන්නට මෙවන් කලාකරුවන්ගෙන් සිදුවන්නේ නොමද සේවයක්..

    සංගීතය පිළිබඳව නවමු රසයක් නොදැනුනත් ඔබ දැක්වූ ජනප්‍රිය නොවූ ගී වල පද මාලාව අපූරු වෙනසක් බව නොකියාම බැරිය. එහෙත් පදමාලාව සාම්ප්‍රදායික වන තරමට සංගීතයටද නවමු මං සොයා යා නොහැකි බැවින් මහින්දයන් තවත් සංගීත මානයන් කෙරෙහි සංවේදී වන්නේ නම් කදිමයැයි මට සිතේ.

    ReplyDelete
  6. සමහර සිංදු නම් අහල නෑ මිට කලින්.. අපි ඉතින් එකම සිංදු ටික හැමදාම පට්ට ගගහ අහනවනේ.. කොච්චර ඇහුවත් හැමදාම අහන්න පුළුවන්.. මේ විස්තරයට ගොඩක් ස්තුතියි...

    ReplyDelete
  7. බොහොම පින් ඇත්තමයි. මට මේ ගී තැටි 4ම ගන්න අවශ්‍යයි අයියෙ. ඒව ලංකාවෙ වෙළද පලට දාලද තියෙන්නෙ.. මේ ගී පද ඇහෙද්දි නිරායාසයෙන්ම ඇස් දෙක පියවිලා හදවත සමවැදෙනව ඒ වචනවලට ..ඒ සංගිතයන්ට. ඒ හඩවල්වලට. මං කවදත් ගරු කරන ගී පද රචකයෙක්. දීර්ඝායුෂ ඔහුට.

    ReplyDelete
  8. මෙම ගීීීත තැටි 4 තවමත් වෙලදපොලේ තිබෙනවාද ? නැතිනම් ලබාගතහැකි ආකාරයක් දන්වන්නේනම් සතූතියි

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...