එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Wednesday 4 January 2012

සඳ එළිය වගේ ගැලූ රොඩ්නි වර්ණකුලගේ ගී මිහිර විඳිමු.


                                                  (1 ‍වන කොටස)

සරළ ගීතය සහ රොඩ්නි

රොඩිනි වර්ණකුල අපට සිටින විශිෂ්ඨ රංගන ශිල්පියෙක්. ඔහු සතු හාස්‍යය හරිම අපූර්ව ඒ වගේම ස්වභාවිකයි. ප්‍රේක්ෂකයා බලෙන් හිනාගැස්වීම හෝ ද්විත්ව තේරුම් දෙන  එහෙමත් නැත්නම් දෙකට කැපෙන වචන භාවිතා නොකරයි. වේදිකා නාට්‍ය තුළින් අපට හමුවන රොඩ්නි පුංචි තිරයෙදි හෝ එහෙමත් නැත්නම් සිනමාවෙදිත් තම රංගනය  සිය ආදරණීය ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කරන්නෙ එහෙමයි. ලූෂන් බුලත්සිංහලගේ “තාරාවෝ ඉගිලෙති” වේදිකා නාට්‍යය තුළින් හාස්‍ය ජනිත කරවමින් ප්‍රේක්ෂක ආදරය දිනාගත් රොඩ්නි සැබැවින්ම අපට සිටින  ජාතික සම්පතක්. ඒත් අද මම ලියන්නෙ ඔහුගෙ රංගන ශෛලිය පිළිබඳව නොව රොඩ්නි වර්ණකුල නම් වූ ගායන ශිල්පියා පිළිබඳවයි.

රොඩ්නි ඉතාමත් මෑත දවසක ඔහුගෙ නවතම ගීත එකතුව (ඇල්බම් එක) නිකුත් කළා. මේ සංයුක්ත තැටිය එළිදැක්වීම තිබුණෙ කොළඹ 07 රාජකීය විද්‍යාලයේ නව රඟහලේ. අපේ රටේ මාධ්‍ය ක්ෂේත්‍රයෙන් මේ සඳහා එතරම්  ප්‍රචාරයක් නොලැබුණද ඒ ගී හැන්දෑව නිහඬ, ලස්සන, සුන්දර හැන්දෑවක් වුණා. 

රොඩ්නි මීට අවුරුදු  දහයකට විතර කලින් ඔහු රඟ පෑ වේදිකා නාට්‍යවල ඔහු ගැයූ ගීත ඇතුළත්  “‍ හා හා ළ‍ඳේ ” ගීත සංයුක්ත තැටිය එළි දැක්වූවා. පසුගිය දවසක එළිදැක්වූයේ රොඩ්නිගෙ දෙවන සංයුක්ත තැටියයි. සංයුක්ත තැටිය නම් කර තිබුණේ “ සඳ එළිය වගේ ” යනුවෙන්. මේ ගී එකතුව පළමු වරටම ඇසූ මට රෙඩ්නි වැනි ශිල්පියෙක් ගැන පුදුම සිතුණි. ඔහු සතු ගායනය පිළිබඳ හැකියාවත්, සංගීත ඥාණයත් මේ ගී අසන ඕනෑම කෙනෙකුට මට වගේ දැනෙන්නත් හිතෙන්නත් පුළුවන්. මේ සංගත තැටියේ රොඩ්නිගේ ස්වීය ගීත නිර්මාණ 17 ඇතුළත් වී තිබේ. මෙයින් තෝරාගත් ගීත කිහිපයක් පිළිබඳව ලිවිය යුතුම යැයි සිතුණි.

 රොඩ්නි ගී ඇල්බමය නම් තැබීමට හේතු වූ ගීතය ඔහුගෙ ගායනයේ ප්‍රතිභාව හඳුනාගැනීමට  හැකි හොඳ සාධකයක්. පියවරු සහ දූවරු අතර තිබෙන්නෙ විශාල බැඳීමක්. එවන් පියෙක් තම දියණිය පිළිබඳව හිතන ආකාරය තමයි මේ ගීතයෙන් කියැවෙන්නෙ.

ජීවිතය ගැටගහගන්න බස් රියේ, දුම්රියේ පත්තර, පොත්පත් විකුණන  මේ ගීතයේ පියා තම සිගිති දියණිය ගැන මවන සිතුවිල්ල සංවේදී එකක්. දියණියක සිටින  පියෙකුට වගේම  දියණියකට වුණත් තම පියා හිතන ආකාරය ගැන මෙහෙම හිතෙන්න පුළුවන්.

සඳ එළිය වගේ හිනාවෙවී නො ඉඳ මේ රැයේ
 තරු යුවල නිවා නිදාගන්න එපා දෝණියේ...

කිරි සුවඳ අරන් ගේ පුරාම හිනා මල් පිපෙයි
මුදු රෝස කම්මුලේ උණුසුම හීනයක් වගෙයි
මට නිදාගන්න චූටි දූගෙ තුරුල්ලට වෙලා
බස් රියට පියාපතක් දෙන්නකෝ එන්න ඉගිලිලා

ගී පද: තිලක් පුෂ්පකුමාර / සංගීතය: නවරත්න ගමගේ

මවු ගුණ ඇතුළත් ගීතවලට ගීත සාහිත්‍යයේ දි ලැබෙන්නේ සුවිශේෂ තැනක්. එසේ වුවද, එවැනි මව් ගුණ ගීයක් ඇහෙන වෙලාවට අපේ හිත නිරායාසයෙන්ම අම්මා ළඟට ඇදිලා යන එක් ස්වභාවිකයි. එවන් මොහොතක කෙටි වෙලාවකට හෝ අපේ  අම්මා අපේ මනෝ ලොකයේ සැරිසරයි.

“ ඇවිද ළඳු දෙණි කැලෑ බිම්වල
රැගෙනවිත් තුන්හිරිය පන් කොළ
යොදා කුකුළු සායම් රතු හා කොළ
වියා නෙක් විසිතුරු රටා පැදුරු
රටාවක් බව මේ මහා විශ්වය
කුඩා කල සිටම මට කියාදුන් අම්මා...
( මහගම සේකර / ප්‍රබුද්ධ කාව්‍ය සංග්‍රහය)        


සේකර අම්මා දුටුවෙ ඒ කවි ඇසින්. ඒත්  රං බණ්ඩා සෙනෙවිරත්න සහ කපුගේ නුවර කලාවියේ තැනූ   “දවසක් පැල නැති හේනේ” ගීතයේදි  අම්මා දුටුවෙත් , සුනිල් දයානන්ද කෝණාර සහ දිවුල්ගනේ කලාවැව් නිම්නයේදී  “ගමට කලින් හිරු ගෙට වඩනා” ගීතයේදීත් දුටු අම්මා නිරන්තරයෙන් අපේ හදවත්වල දැවටී සිටී. ඒ අපට දැනෙන, හැ‍ඟෙන අපේ අම්මා නිසාය.  මේ රොඩ්නි ගේ ගීතයේ සිටින අම්මා ය.

ණයට ගෙපැලේ පහන් දල්වා                            
රැයක් කවි කළ පෝය හඳ අම්මා
නිදාගන්නට නිදිවරාගෙන කවි කියූ අම්මා
වනේ වන ඵල මියුරු කළ අම්මා

හේන් යායට ඉඩෝර‍ය වී නපුරුකම ආවා
වැවේ දියවර අපේ ඇස්වල කඳුළුවී පිරුණා
අපේ අම්මා පිරිත් පොතවී අපේ ළඟ උන්නා     

 ගී පද: තිලක් පුෂ්පකුමාර / සංගීතය: රෝහණ වීරසිංහ

සේකරගෙ ගීයෙත්, කපුගේගේත්, දිවුල්ගනේගේ ගීයෙත් සිටි ඇයම රොඩ්නිගේ ගීයේද සිටී. රොඩ්නිගේ මේ ගීය ගයන්නෙ අපේ හදවත්වලට දැනෙන්න. ගායන ශිල්පියෙකුගෙ තිබිය යුතු විශේෂිත ඒ ගුණයත්, මධුර බවත් රොඩ්නිගේ ඒ ගිතය තුළ ගැබ් වී තිබේ.

රොඩ්නි සිය ගී එකතුව නිර්මාණය කිරීමේදී අද දවසේ භාවිතාවන සංගීත ක්‍රම සහ සම්ප්‍රදායයන් පිළිබඳවත්, කාලයෙන් කාලයට බිහිවන සංගීත සම්ප්‍රදායන් පිළිබඳවත් නිවැරදි තක්සේරුවක් ග්‍රහණය කරගෙන ඇත. ඒ ඔස්සේ සිය ගීත එකතුව පෙළගස්වමින්, ඒකාකාරී බවකින් තොරව රසිකයාට විඳීමට හැකිවන පරිදි මේ ගී එකතුව හැඩ කර තිබේ.

ස්වර්ණ සඳ බොඳවී
ගලන මහ රෑ නිසල වනයේ
භාවනාවකි නිසල බුදු රුව
මහා මෙවුනාවේ

ගී පද: තිලක් පුෂ්පකුමාර / සංගීතය: එම්.ආර්.චූලසිංහ

බුදුගුණ ඇතුළත්ව ගැයෙන මේ ගීය රොඩ්නිගේ හඬින් ඇසෙන විටම හිත උපදින ශාන්තිය ශ්‍රාවකයා තුළ පහන් වූ සිතුවිලි උදාකරයි. රොඩ්නිගේ සුමිහිරි ගායනය බුදුගුණ ගීයට ලබා දෙන්නනේ  නොමද ආලෝකයකි.

සඳ එළිය දිගේ ගීත එකතුවේ තිබෙන එකම යුග ගීයද ඉතාම සුවිශේෂී ගීයකි. “සුරංගනාවනි පුෂ්ප දරා” ගීය සීගිරිය නැරඹීමට  පැමිණෙන නරඹන්නෙකු සහ සීගිරි අප්සරාවක අතර ඇති වන සංවාදයක් ලෙසින් ගීයට බඳුන් වී ඇත. නරඹන්නා සීගිරි අප්සරාවට පෙම් කළද ඇය ඔහුට පෙම් නො කරයි. ඇය සිතුවම් කළ සිත්තරාට තවමත් පෙම් බදින බව ඇය කියූවද ඒ සිත්තරා ඇය සිතුවම් කිරීමට ගොස් ගල්කුලෙන් බිමට වැටී මිය ගොස් ඇත.මෙ ඉතාමත් විචිත්‍ර වත් ගීයකි.

පිපී වන මල් සුවඳ සුළ‍‍‍ඟේ ගලා එන සද දියර ග‍ඟේ                     
යොවුන් රූ සිරි තවත් වැඩිවෙයි අප්සරාවනි නුඹ මගේ
සොඳුරු දසුනක මිහිර බැඳුනේ සුවය ඇති සිත ගිර වගේ
නුඹට කළියෙන් හිතට ළං වුණ සිත්තරා ළඟ හිත මගේ

ගී පද: සමන් ඒකනායක / සංගීතය: නවරත්න ගමගේ
 යුග ගැයුම  ශෂිකා නිසංසලා

දරුවන්ට සොබාදහම ගැන කියා දිය යුතුය. ඔවුන් රටට වගේම, ගහට කොලට පරිසරයට ආදරය කිරීමට හුරු කළ යුතුය. රට ගැන කියා දිය යුතුය. මේ ගීතය රොඩ්නිගේ ගීත එකතුව මේ ගීයෙන්  වර්ණවත් කරන්නේ ඒ නිසාමය.

සඳකඩ පහනේ නෙළුම නෙළා පුතු දෝතේ තියන්නම්
ගල් විහාරයේ ගල්පොත ගෙන පුතුට අකුරු කියන්නම්
හොඳ මිනිහෙක් වුණ දාට පුතුගෙ නමත් පොතේ ලියන්නම්
පුතුගෙ නමත් පොතේ ලියන්නම්

මුතු අරගෙන හතර වටින් මූද පවුරු බඳින්නේ
දණ ඇනගෙන කඳු වැටි පෙළ නමස්කාර කරන්නේ
පුතුටයි මේ රට, මේ බිම පමණි අපට තියෙන්නේ
මේ බිම පමණි අපට තියෙන්නේ.

ගී පද: රත්න ශ්‍රී විජේසිංහ  / සංගීතය: රෝහණ වීරසිංහ

ඉතාමත් සරළ  ආකෘතියක ලියැවුණ මේ ගීතයට රොඩ්නිගේ හඬින් ලැබෙන මධුර බව ගීතය තුළ අලංකාර සිතුවමක් මවයි.෴

සටහන:
රොඩ්නි වර්ණකුලගේ “සඳ එළිය දිගේ” සංයුක්ත තැටියේ ඇතුළත් ජන සම්ප්‍රදාය සහ නාට්‍ය සම්ප්‍රදායෙන් ගැයුණු ගී පිළිබඳ විමසුම ඊළඟ කොටසින් බලාපොරොත්තුවන්න.


16 comments:

  1. මම මේ එක ගීතයක්වත් අහලා නම් නැහැ...ඒත් පද පේලි ගැන නම් කියන්න වචන නැහැ...තනුවක් නැතත් ඒවා හදවත ට දැනෙනවා..

    ReplyDelete
  2. මේ සින්දුනං අහලා නෑ..රොඩ්නිත් වයසට යන්නේ නැති පොරක්නේ....

    ReplyDelete
  3. Rodney gena liyapu hodama lipiya kiyala kiyanna puluwan. hadawathata denena widiyata liyala thiyenawa. rodney ta mage unusum suba pathum!

    ReplyDelete
  4. රොඩ්නිගෙ "හා හා ළ‍ඳේ" ගීතය නම් අසා තිබෙනවා. ඔහුගේ ගායන හැකියාව ඉන් ඉස්මතුව පෙනෙනවා. මේ අලුත් ගී නම් තවම අසා නැහැ. ස්තුතියි දැනුවත් කලාට.
    මැණික්

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. කලාව අතින් අති පොසත් මෙවැනි කාලාකරුවන් නිසි ඇගයිමකට ලක් කිරිම කාලීන අවශ්‍යතාවයක් ඔබට තුති

    ReplyDelete
  7. රොඩ්නි වර්ණකුල සහෘර්ද‍යාගේ ගීත පිළිබඳව මෙවැනි සටහනක් තැබීම අද යුගයේ අවශ්‍යතාවයකි. එය ඔබ විසින් මනාව සිදු කර ඇත. මෙවන් කාර්යයන් ඉදිරියටත් සිදු කිරීමට ඔබට තවත් ශක්තිය ලැබේවා. සඳ එළිය වගේ ඉතාමත් අගනා ගීත සමුච්චයකි. එහි සිරි සංඝදාස මහත්තයා හා ජස ලෙන්චිනා කෝළමේ ගීතයටද මෙවැනි සටහන් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ඔබගෙන් ඉල්ලමි.

    ReplyDelete
  8. මමත් හරිම කැමති කලාකාරයෙක් තමා රොඩ්නි වර්ණකුල කියන්නේ. හැබැයි එයාගෙ සින්දුනම් වැඩිය අහලා නෑ.

    ReplyDelete
  9. හරිම නිහතමානී මනුස්සයෙක්

    ReplyDelete
  10. රොඩ්නි වර්ණකුළ කලාකරුවාගේ අම්මා නැති වෙලා මිනිය ගෙදෙට්ට ගේන කොට පේරාදෙණිය වලේ තාරාවෝ ඉගිලෙති නාට්ටියේ රඟපානවා. එච්චරට කැපවීමක් කරපු කලාකරුවෙක් !!

    එදා ලූෂන් බුලත්සිංහල මහත්තයා ඒ බව කියනකොට අපි වාඩිවෙලා හිටපු තැනින් නැගිටලා අත්පුඩු ගැහැව්වා.

    ReplyDelete
  11. මෙවැනි වැඩිය කතානොකරන නිර්මානකරුවො ගැන කතාකරන එක අගය කරනවා.අහම්ම්බෙන් වගෙ මෙතනට ගොඩ උනේ.


    …මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
  12. මටත් මේ පොඩි මෑන්ව කීප සැරයක් හමු වෙලා තියෙනවා.. හරිම නිහතමානී පුද්ගලයෙක් .. එක සැරයක් work shop එකකට ආවා .. රඟපාන්න සිංඳු කියන්න වගේම හොඳ දක්ෂ දේශකයෙක් කියල අඳුන ගත්තේ එදා තමයි..

    මේ වගේ දක්ෂයින්ට මෙහෙම හරි උපහාරයක් කරන එකත් එහෙම කරන ‍බ්ලොග් කාරයන්වත් අගය කළ යුතුම තමයි...

    ReplyDelete
  13. 01.සයුරිට

    ඇත්ත සයුරි, රොඩ්නි මේ ගීත අපට දැනෙන්න ගායනා කරල තියෙනවා. මේක ඔහුගෙ අලුත්ම ගී එකතුව. ස්තුතියි ඔබේ අදහස්වලට.

    02.ඔබ නොදුටු ලොවක්.. ට

    මේක ඔහුගෙ අලුත්ම ගී එකතුව. ස්තුතියි ඔබේ අදහස්වලට.

    03. දිස්නන ට

    ඔබේ දිරිගැන්වීම මට ශක්තියක්. ස්තුතියි ඔබේ අදහස්වලට.

    04.මැණික් ට

    මැණික් මේක ඔහුගෙ අලුත්ම ගී එකතුව. ස්තුතියි ඔබේ අදහස්වලටත්.

    05. අයිපීවී ට

    ඔබේ දිරිගැන්වීම මට ශක්තියක්. ස්තුතියි මෙහි පැමිණ දැක් වූ ඔබේ අදහස්වලට.

    06. ජයසිරි ට

    ජයේ, ඔබේ අදහස් වලට මම කැමතියි. ඔබේ ඉල්ලීමත් ඉටුකරනවා.එන්න හැමදාම මේ පැත්තේ.හොද දෙයක් ගැන කතාකරමු.

    07. නිසූපා ට
    නිසූ, රොඩ්නගේ රගපෑම වගේම ගායනා කිරීමත් ලස්සනයි.ඔබේ දිරිගැන්වීම මට ශක්තියක්. ස්තුතියි ඔබේ අදහස්වලට.

    08.හරී...ට
    හරීගේ කතාව හරිම හරි. ස්තුතියි ඔබේ පැමිණීමටත්,දැක් වූ අදහස්වලටත්.

    09.මධුරංග ට

    රොඩ්නිලා වගේ අයගේ කැප කිරීම නිසයි කලාව මේ විදියට පවතින්නේ.ඒ කැප කිරීම් කරන අය අද විරලයි.ඔබේ දිරිගැන්වීම මට ශක්තියක්. ස්තුතියි ඔබේ අදහස්වලට.

    10. ලොකු ජෝන් ට

    ආතම්මගෙ පෙට්ටගමෙන් ටිකක් මෙහාට ඇවිත් බෙල්ල දාලා ගිය එකත් ලොකු හයියක්, අහම්බෙන් හරි ආව එක අගය කරනවා. ඉඩක් තිබ්බ වෙලාවක ඇවිල්ල යන්න එන්න.

    11. උපේන්ද්‍ර ට

    රොඩ්නි කියන්නේ අපි නොදන්නවට හොඳ හැකියාවක් තියන කලා කරුවෙක්.ලංකාව වගේ දූපතකට කොටු වුණාට රොඩ්නිලා මේ වෙන කොට ඉන්න ඕනෑ ලොක් පූජිතයන් විදියට. එහෙම හිතෙන කොටත් කණගාටුවක් දැනෙනවා.

    හැමදාම දුරින් හිටියත් ඔබේ දිරිගැන්වීමම සතුටක්.

    ReplyDelete
  14. විහිළුකාරයෙක් විදිහට බොහෝ දෙනා රොඩ්නිව හඳුනා ගත්තත් ඔහුගේ විශිෂ්ඨ කුසලතා ගැණ මෙහෙම හරි දැනුවත් කරන එක වටිනවා

    ReplyDelete
  15. මට මේ සටහන මග හැරිලා තිබෙන එක ගැන බොහොම කනගාටුයි. මගේ ප්‍රියතම ශිල්පියෙක් ඔහු. ඒ වගේ ම ඒ හඬ මට බොහොම සමීපයි.

    අලුත් සටහන් වල වගේ ගීතය අහන්න පහසුකම සැපයුවා නම් හොඳයි කියලා හිතෙනවා..

    ReplyDelete
  16. අසා නැතිමුත් මේ ගී පද හරිම රසවත්.ගීය කොතරම් රසවත් ඇත්ද... අසන්න ඇත්නම්,,,,
    මෙ වගේ විචාර හරිම වැදගත්

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...