
ගීතය සහ සංගීතය පිළිබඳ විවිධ මාතෘකා ඔස්සේ පසු ගිය කාලය පුරා ම එක දිගට ම කතා කළත් හොඳ පොතක් ගැන ලියන්නත් කතා බහ කරන්නත් හිතේ ලොකු කැමැත්තක් තිබුණා. ඒ සඳහා නිසි අවස්ථාවක් උදා වුණේ නැහැ. කොහොම හරි හොඳ පොතක් කියෙව්වම ඒ ගැන ලියන්න හිතුවා. ඒ නිසා අද " අස්වැන්න" ලියන්නෙ හොඳ නවකතා පොතක් ගැනයි.
"දිය හොල්මන" කියන්නෙ තමන්ගෙ ගොවි බිම්වල හේන් කුඹුරු පාලු කරන පුංචි පුංචි සත්තු එළවන්න අපේ ගැමියන් හදා ගත්තු පුංචි ගැමි නිර්මාණයක්. මේක වැඩි පුරම භාවිතා කළේ කුඹුරුවල යි. කුඹුරෙ ලියැද්දට එකතු වන වතුර පාර ඊළඟ ලියද්දට වැටෙන්නෙ වක්කඩෙන්. "දිය හොල්මන" අටවන්නෙ අන්න ඒ කුඹුරෙ වක්කඩක් ළඟයි. මේක උණ බටයක් පාවිච්චි කරලා හදාගෙන වක්කඩේ දියපාරට සම්බන්ධ කළාම ගලාගෙන යන දිය පහරින් වැටෙන වතුර උණබටේට පිරිල ඒකෙන් නිකුත් වෙන සද්දෙට කුඹුරු පාලුවට එන පුංචි පුංචි සතා සීපාවා කිසිඳු හානියක් නො කර එළවගන්න ඒ කාලෙ පහසුවෙන් ම පුළුවන් කම තිබුණා. දැන් මේ ස්වභාවික ක්‍රම අපේ ගැමි සම්ප්‍රදායෙන් වගේම භාවිතයෙන් ඈත්වෙලා. ඒ වෙනුවට කෘතීම ක්‍රම අපිට ළං වෙලා.
"දිය හොල්මන" නවකතාව ලිව්වෙ මගේ සමකාලීන මිත්‍රයෙක් වන "මහින්ද කුමාර දළුපොත" මහින්ද මේ යුගයෙ ලංකාව ම හඳුනගෙන තියෙන්නෙ ජන ශ්‍රැති පර්යේෂකයෙක් විදියටයි. විශේෂයෙන්ම සිංහල අලුත් අවුරුදු කාලෙට අපේ රටේ මාධ්‍ය ආයතන බොහොමයක් තරඟකාරී විදිහට ඔහුගේ දායකත්වය ලබාගන්නවා. ඉස්සරහට එන සිංහල අළුත් අවුරුදු කාලෙටත් ඔබට ඔහුගෙ ජන ශ්‍රැති පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගන්න හැකි වේවි.
මහින්ද කුමාර දලුපොත ලියූ ජන ශ්‍රැති පර්යේෂණ කෘති රැසක් තියනවා . වී බිස්ස, වටපිළ, වැව හා සංස්කෘතිය, වනස්පති. හූව, පෝය, තහංචි, සහ අත්තම හා ජන සම්ප්‍රදාය වගේ ජන ශ්‍රැති පර්යේෂණ කෘති විශාල ප්‍රමාණයක් ඔහු අතින් ලියැවී තියෙනවා. ඊට අමතරව "උරුමය" නමින් පොත් පෙළක්ද, නිලි වැස්ස සහ මතක වස්තුව නමින් කාව්‍ය සංග්‍රහ දෙකකුත් එළි දක්වා තියනවා. මීටත් අමතරව ඔහු හොඳ ගීත රචකයෙක්.
පහු ගිය දවසක මහින්දගෙ "දිය හොල්මන" නවකතාව දොරට වැඩුම නිමිත්තෙන් පුංචි කතා බහක් ඇතුළත් වැඩසටහනක් සංවිධානය කරල තිබුණා. මේ පොත දොරට වැඩුම තිබුණෙ කොළඹ 07, විහාර මහාදේවි පාර්ක් එක ඉස්සරහ තියන ජේ.ආර්. ජයවර්ධන සංස්කෘතික මධ්‍යස්ථානයේ යි. සාමාන්‍යයෙන් කොළඹ අවට පැවැත්වෙන සාහිත්‍ය දේශන සම්මන්ත්‍රණ වගේ කතා බහ වැඩසටහන් හවස හතරෙන් පස්සෙ තමයි තියෙන්නෙ. ඒත් " දිය හොල්මන" පිළිබඳ කතාබහ යොදාගෙන තිබුණෙ සති අන්ත සෙනසුරාදාවක උදේ වරුවක. මහින්ද කල් ඇති ව ඇරයුම් පතක් මා අත තැබූ නිසා මමත් එදා සෙනසුරාදා දවසේ උදෙන්ම ජයවර්ධන කේන්ද්‍රයට ගොඩවැදුණා මේ සොඳුරු කතා බහට එක් වෙන්ට කියලා හිතාන.
"දිය හොල්මන" නවකතාව මුළුමනින් ම පාදක වෙන්නෙ වයඹ පළාතෙ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගැමියන්ගෙ ගැමි ජීවන රටා ගැනයි. ගැමි ජීවිතයට එකතුවෙලා තිබුණ සැහැල්ලු කෘෂිකාර්මික ජීවන රටාවන් වෙනස් කරන්න හීං සීරුවේ බහු ජාතික සමාගම්කරුවන් ගමට රිංගන හැටිත්, ගමත්, ගැමියනුත්, ඒ කොම්පැනි කාරයන්ට මේ ගොදුරු වන හැටිත්, කතාව අපිට කියවා. කෘෂිකාර්මික හරිත විප්ලවය කියාගෙන ඒකට මුවාවෙන් පැරණි ගැමි සංස්කෘකිත ජන සමාජයට මැහිතෙල්, රටපෝර, දෙමුහුම් බීජ, ආදී නානාප්‍රකාර දේවල් බහුජාතික සමාගම්කාරයන්ට ඕනෑ එපාකම්වලට අනුව එක එක විදියට ගම්වල ඇත්තන්ට බලෙන් පටවන හැටිත්, එයින් අතෝරක් නැතිව නිස්කාරණේ ගමට සිදුවන කරදර තුළින් ගැමි ජීවිතය අවුල් වන හැටිත්, මේ නවකතාව අපූරුවට විස්තර කරනව.
අනෙක් අතට මේ නවකතාව මුළුමනින් ම ලියැවෙන්නෙ වයඹ පළාතෙ සත් කෝරළයේ ගැමි ජනතාව භාවිතා කරන අමු ගැමි ජන වහර ඇසුරින්. සාමාන්‍යයෙන් නවකතාවක් සඳහා අමු ගැමි ජනවහර භාවිතා වෙන්නෙ ඉතාමත් කළාතුරකින්. ඒ නිසයි මේ නවකතාව වැදගත් වෙන්නෙ. " දිය හොල්මන" නවකතාව පුරාම හැම වචනයක් පාසා පාවිච්චි කරන ගැමි ජන වහර නිසා මේක කියවන්න රසවත් වගේ ම පහසුයි. ඒ නිසා ම මේ පොත කෙටි කාලයක් ඇතුළත තුන්වන මුද්‍රණයත් කරන්න සිදුවුණා.
මේ වගේ නවකතාවක් නිතර පොත පත කියවන පාඨකයන්ට අලුත් අත්දැකීමක් වගේ ම, බ්ලොග් අඩවිවල කතා ලියන සහෘද පිරිසටත් කියවල අලුත් අත්දැකීමක් ලබාගන්න පුළුවන් වෙයි කියල හිතෙනවා.
මට මතක හැටියට ඉතාමත් මෑතකදි මම කියවූ බ්ලොග් අතර "හරීගෙ හීන ලන්තය" බ්ලොග් එකේ සහෘද "හරී" ලියපු අපූරු ලිපියක් තිබුණා. ඒක ලියල තිබුණෙ " මාමාගෙ ඇටේ.... 18+" කියල. හරී ඒ සඳහා භාවිතා කරල තිබුණෙ ගැමි ජනවහරයි. මෑත කාලයේ නාගරික සංස්කෘතියක් තුළ නිර්මාණාත්මක ඉදිරිපත් කිරිමක් සඳහා ජන වහර ඉතා හොඳින් භාවිතා කළ අවස්ථාවක් ලෙස "හරී" සහෘදයාගේ ඒ ලිපිය හඳුන්වන්න පුළුවන්. ගැමි ජනවහර ඇසුරින් මා මෑතකදී ම කියවූ රසවත්ම ලිපිය එයයි. ඒකත් එක හේතුවක් වුණා මහින්දගෙ " දියහොල්මන" ගැන අස්වැන්නෙදි ලියන්න.
කොහාම වුණත් මේ නවකතාව දොරට වැඩුම සිදු වුණෙත් තනිකර ම ගැමි ජන සම්ප්‍රදායට මුල්තැන දෙමින්. එදා සෙනසුරාදා ජයවර්ධන කේන්ද්‍රයට ආපු දෙතුන් සීයක් වූ පාඨකයන්ටත්. කලා ලෝකයේ රසවතුන්ටත් අපූර්ව අත්දැකීමක් වුණා. උදේ දහයට විතර "දිය හොල්මන" කතාබහ පටන්ගත්තෙ පුංචි තේ පැන් සංග්‍රහයකින් මේ තේ පැන් සංග්‍රහය තිබ්බෙ ගමේ විදිහටයි. හොඳට කුරුටු ගාල පිරිසිදු කරපු පොල් කටුවකට, බෙලිමල්, එහෙමත් නැත්නම් පොල්පලා, තම්බලා හකුරු කෑල්ලක් එක්ක එතෙන්ට ආ හැමෝටම බොන්න දුන්නා.
නවකතාවෙ කතා බහ අතරට ගැමි සංස්කෘතිය විනාශ කරන බහුජාතික සමාගම්කරුවන්ට එරෙහිව නැගුණු හරබර දේශන වගේම විදි නාට්‍ය එහෙමත් තිබුණා. වැඩසටහන අවසන් වුනේ හවස තුනට විතර. වැඩසටහන අවසානයේ පැමිණි හැමෝටම හොඳ දිවා ආහාරයකුත් සංවිධානය කරල තිබුණා. ඒ ගැනත් සඳහනක් නො කළොත් " දිය හොල්මන" වැඩ සටහන අසම්පූර්ණයි කියල මට හිතෙනවා.
මේ දිවා ආහාරයත් සෑහෙන කාලෙකට පස්සෙ කොළඹ හතේ දි ලැබූ සුන්දර අත්දැකීමක්. නෙලුම් කොලේ බත් කන්න ලැබුණා. ඒ විතරක් නෙවේ රතු හාලෙ බතට එකතු කරල තිබුණ ගැමි වෑංජනවලට අමතරව රතු ළුණු ගෙඩි දෙකතුනක්, සුදුළුණු බික්කක් වගෙම අමු මිරිස් කරලකුත් වෙනම එකතු කරල තිබුණා. කෑම එක දැක්ක ගමන් මට මතක් වුණේ අනුරාධපුරේ එහෙමත් නැත්නම් කුරුණෑගල ගල්මුවෙ ඇහැටුවැව පැත්තෙ . කුඹුරක කමතක, එහෙමත් නැත්නම් වෙලක නියරක පලු ගහක් යට ට වෙලා කෑම වේලක් කෑ හැටි වගක් මගේ මතකය අලුත් කළා වගේ දැනුණා. ඒ තරමට ම " දිය හොල්මන" නවකතාව දොරට වැඩුම සුන්දර අත්දැකීමක් .
මේ දිය හොල්මන නවකතාවෙන් උපුටා ගත් කොටසක්
හෙන්දිරියාපිටිය ගම්මැද්දේ විතරක් නම් මදැයි ඕං...මේ වෙද්දින් දන්නා කියන වටකර ගංවලින් සෙනඟ එක රොත්තට වාං දාන්ට ගත්තා. වැලිදළුයායේ ඉස්මත්තාවෙ තියන ඕටිටට.. දාවිත් අප්පු ගිඩිගිඩියේ පිම්මේ දුවද්දින් එක රොත්තට තිස්බඹේ පැත්තෙන්සෙනඟ වාං දානවා ඇහැවැටුණා යායේ එක නියරකටවත් ඉස්පාසුවක් නෑ! තදියමේ දුවන් එන උංගේ බර වෑවෙමින් උහුලන් උන්නා. එන්නේ කව්ද... කොයිහිටන් ද කියලා කාටවත් ම වගේ වගක් නෑ ඕං.. රොත්ත බුරුත්ත පිටින් දුවන්ට ගත්තා වෙලා තියන වින්නැහිය දැකගන්ට විග විගහින් දිව්වෙ.
"හප්පේ..! ඔය වතුර පතක් බීලා හිටං හස්තිරාජයා වල පල්ලට ගියානං.. මේ රටේ දේසේ නැති වහ කන්දරාවක් වෙල්වලට ගහලා හිටං.. පණ පිටිං මිනිස්සු නහන්ට වෙන්ටෝනෑ මේකලා තන්නනේ" යායේ ඕවිටට කිට්ටුවෙද්දින් කවුදෝ කියනවා දාවිත් අප්පුට ඇහිච්චි. ඒ කතාවට කවුරුත් එහෙම නෙමේමොනවත් ආඩපාලි කියා හිටින්ට ගියේ..ඊස් මීස්.. නැතුව සෙනඟ පිරිලා හිටියා. රැස්වෙච්ච කවුරුත් කට අයා ගත්ත ගමන් එකම කචබචයයි. දාවිත් අප්පු සෙනඟ පීරාගෙන ගිහින් බැලුවා හොස්ස පොවලා මොකෑ මේ වින්නැහිය කියලා හිටන්.
දෙයියෝ සාක්කි හෙනම් ඕං.. හස්තිරාජයා මුනින්තලාවෙලා උන්නා.. ඈ.. එහෙම පතබෑවිලා උන්න විලාසෙට අනුකම්පා හිතෙනවාට වඩා හිතට බය සාංකාවබෝ කරනවා කියාලයි දාවිත් අප්පුට හිතුණේ.........
කොහොම හරි මේක කියවන ඔබ කවුරු හරි මේ පොත පුස්තකාලෙකදි දැක්කොත් නිකමට හරි කියවල බලන්න කියලා මම ඔබට ආරාධනා කරනවා. එහෙමත් නැත්නම් පොත් ප්‍රදර්ශනයක් බලන්න ගිය වෙලාවක හෝ පොත් සාප්පුවකට ගොඩවැදුන වෙලාවක දැක්කොත් අරන් කියවන්න. ඒතරමට ලස්සන රසවත් පොතක්.
අද කාලෙ පොතකට වියදම් කරන මුදලින් මොනවද කරන්න පුළුවන්.? එහෙව් එකේ පොතක් අරං කියෙව්වාම දැනෙන සතුට ආයෙ කියල නිම කරන්න පුළුවන් එකක් යැ.෴
"දිය හොල්මන" නවකතාව ෆාස්ට් පබ්ලිකේෂන් ප්‍රකාශනයක්
පොතේ මිළ රුපියල් 325/=
ඔබේ අදහස්, හොඳ, නරක සහ විවේචන හැකිනම් ලියන්න. ලියන දේ සතුටින් පිළිගනිමි