එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Thursday 1 March 2012

෴ බුලේගොඩ ගයයි, හිත ඔබට ම තමයි ෴



සමහර වෙලාවට වැදගත් ම සහ හොඳ ම කියල හිතෙන දේවල් නො දැනීම මතකයෙන් ගිලිහෙනව.  එහෙම මඟ හැරෙන, අමතක වන දේවල් එහෙම වෙන්නෙ ඇයි කියල සොයා බැලුවාම තමයි මතක් වෙන්නෙ ඒ සියලු අමතක වීම් සිදුවෙලා තියෙන්නෙ වැඩි හිතමිතුරුකමත් , මිත්‍රශීලී බවත් නිසා කියල. ඒ ගැන නම් පුංචි පසුතැවිල්ලක් තියනව. ඒ නිසා  අද මම ලියන්නෙ එහෙම මගේ අතින් නො දැනී ම ගිලිහී ගිය හිත මිත්‍රයකුගෙ ගී එකතුවක් ගැනයි.මේ මිත්‍රයා තමයි රෝහන් ශාන්ත බුලේගොඩ. මීට මාස කීපයකට පෙර ජෝන් ද සිල්වා සමරු රඟහලේ දි ගී සැඳෑවකුත් සමග එළිදක්වන ලද මේ නැවුම් ගී සරණියෙන්  බුලේගොඩ එදා හවස ජෝන්ද සිල්වා සමරු රඟහලේ අතුරු සිදුරු නැතිව පිරෙන්නට සපැමිණි සියළු කලා රසික සහෘදයන් සමග දැහැන් ගත වුණේ "හිත ඔබට ම තමයි " නමින් වූ  නවතම ගීත ඇල්බමය සිරි අසිරි විඳගැනීමට ඉඩ සලසාලනු පිණිස යි.  ඒ නිසා අද "අස්වැන්න" වෙන් කරන්නෙ මගෙ අතින් පමා ලියන්නට පමා වූ හිතමිතුරු රෝහන් ශාන්ත බුලේගොඩගෙ "හිත ඔබට ම තමයි " නම් වූ නවතම ගී එකතුව වෙනුවෙන්. මේ ගීත 20 අතරින් ගී කීපයක් තෝරා ගැනීම නම් අති දුෂ්කර කාර්යයක් ම විය. ගීත තුනක් පමණක් තෝරා මෙම ගී ගැන කතා කිරීම අපහසු වූ බැවින් අද ඔබට රෝහන් ශාන්ත බුලේගොඩගේ නැවුම්  ගීත 06 ක් ම රස විඳින්නට අවස්ථාව සලසමි
මේ රෝහන් ශාන්ත බුලේගොඩගෙ තුන් වන ගීත එකතුවයි. ඔහු මීට පෙර මුලින් ම  එළිදක්වනු  ලැබුවෙ "සඳක් නම්" ගී එකතුවයි. ඉන් වසර පහකට පසු දෙවන ගී සරණිය එළිදැක්වූ වා. ඒ  " ඔබ මලක්"  ගීත එකතුව. ඉන් වසර දහයක් ඇවෑමෙන් තමයි ඔහු නවතම ගී එකතුව ලෙස "හිත ඔබට ම තමයි"  ගී ඇල්බමය එළිදක්වන්නෙ. දස වසරක් පුරා ශිල්පියෙක් නිහඬ ව සිටීම ගැටළුවක්.                                                          
නව පරපුර හරවත් නිර්මාණ නො කරන බවට නැගෙන චෝදනාව ගීත රසික සහ විචාරක පාර්ශවයන්ගෙන් එල්ල‍ වෙමින් පවතින යුගයක බුලේගොඩ නැවත ඔහුගෙ සම්ප්‍රාප්තියත්, සංගිත සඳැල්ලේ ඔහුට හිමි ස්ථානය තහවුරු කර ගැනීමට මේ ගී එකතුව සමත් වෙනව . බුලේ ගොඩ දස වසරක් නිහඬව සිටීම විමතියට කරුණක් වුවත්,ඒ  ගෙවුන දස වසර තුළ සිංහල ගී කෙත හරසුන් ගී රැල්ලෙන් වෙලා ගත්  යුගයක් ම වූ නිසා එක අතකින් එ ලෙස නිහඬවීම පුදුමයකුත් නො වෙයි .
 "සන්ෆ්ලවර්" සංගීත කණ්ඩායම හරහා ඒ ප්‍රමුඛව බිහි වූ "සන්ෆලවර් ගී රැල්ලත්" එයින් පසු  බිහි වූ "මල්" සහ "පන්සල්" ගීත සංස්කෘතියත්, ඊටත් පසුව පැමිණි "පවුල් අවුල්" නිරවුල් කිරීමේ ගී සංස්කෘතියත් රැළි පිට රැළි නඟමින් පැමිණ ආයෙමත් ආපසු දියඹට ම ඇදී ගියේ ය. අනතුරු ව පැමිණියේ අද අප මේ ‍විඳින. විඳවන  "හිපොප්" එහෙමත් නැත්නම් "RE MIX" ගී රැල්ලයි. බුලේගොඩ වැනි කලාවේ රස නිෂ්පත්තීන් සොයා යන නිර්මාණකරුවන් ඒ සංගීත රැළිවලට අනුගත නොවී. තමන් පැමිණි මග දෙස බලා මුනිවත රැකගෙන සිටියේ තමන්ට හිමි සියළු ආර්ථික පිඩනයන් ද මේ සංගීත රැල්ල තුළින්  එල්ල වෙමින් පවතින විට ඒ  සියළු අභියෝගවලට මුහුණ දෙමිනි.
දස වසරක් තුළ දී සිදු වූ මෙම සංගිතමය විපර්යාසයන්ට කෙසේ මුහුණ දිය යුතුද යන්න තීරණය කිරිමටත්, බුලේගොඩගෙ ස්ථානීය අගය තහවුරු කිරිමටත්, හැරවුම් ලක්ෂ්‍යක් වශයෙන්  "හිත ඔබට ම තමයි"  නැවත රැගන පැමිණීම මේ යුගයට  ඉතාමත් වැදගත්.   බුලේගොඩ  මේ ගීත ඇල්බමට හඳුන්වන්නෙ "රූප මවනා ගීත රචනා 20" යනුවෙන්. මේ යුගයේ හරසුන් ගීත රචනා සිය ගනනින් බිහිවෙමින් ද , ඒවාටම සරිලන "වීඩියෝ විෂුවල්" නමින්  මනෝ විකාර ගී හැදෙන යුගයක, බුලේගොඩ තම "හිත ඔබට ම තමයි"  ගීත එකතුව තුළින්  අරුත් පිරිපුන්, ගී පදමාලාවලින් ද, අති මධුර ගී තනු රචනා සහ සංගීතමය අත්දැකීම් වලින්ද, සිය නිවුණු, තැන්පත් වූ ගායන මාධුර්යයෙන්ද  විවිධ රස ධාරාවන් ඔස්සේ රූප මවන්නේ මෙසේ ය.

මල් පොකුර ගෙනෙයි  සොඳ කුමාර‍යෙක්
රන් තැල්ල බඳියි සොබනා
මල් සිනා නඟයි සොඳ කුමාරියක්
ජය මගුල් සිලෝ ගැයෙනා
පිංවන්ත අතින් පෙම්වන්ත සිතින්
ජීවිතය ලියා දෙනවා
පුන් කළස ලෙසින් සව් සිරින් පිරී
මතු දවස උදා වෙනවා

ආදරය ගලා ළය මඬල වසා
ඉහ මුදුනේ මල් සුපිපේ
ඒ සුවඳ උරා යන ගමන පුරා
සිහිලයි පැන් කොතලේ

ජීවිතය පුරා සෙනෙහස ම වඩා
සිය ප්‍රියයා ප්‍රියයා වී
රෑ අහස අරා තරු දිලෙන යුරා
සම්පත් සරසා වී

ගේය පද: සමන් චන්ද්‍රනාත් වීරසිංහ
තනුව සහ සංගීතය: සරත් ද අල්විස්
මල් පොකුර ගෙනෙයි ගීය මෙතනින් අහන්න, කැමති නම් බාගන්න

 
තමන් විසින් ඉදිරිපත් කරන්නා වූ  නිර්මාණ සඳහා  විද්‍යුත් මාධ්‍ය නාලිකාවලින් යහපත් ප්‍රතිචාරයක් නො ලැබෙන කල්හි ද,  නිර්මාණකරුවාට  සෘජුව ම තම රසික සමූහයා සමග ගනුදෙනු කිරිමට සිදු වේ.  එසේ වුව ද තම රසික පිරිවර සමග ‍ රෝහන් ශාන්ත බුලේගොඩ සුභාවිත ගීතය හරවත් මඟකට යොමු කිරිමට පෙළ ගැසී සිටිමින් සිය නිර්මාණ තුළින්  එය පෝෂණය කිරීමට ඉදිරිපත් වීම තුළ එකී හරසුන් ගී රැල්ල අඩපණ කිරිමට හේතු වේ.
සුනරුත් ගී පදමාලා ද, බාල වචන පුරුද්දා තනු සරසන ගී රචනා ද, මේඝ ගර්ජනා බඳු තාක්ෂණික සංගීත නාද හා මෙවලම් ද, රැව් දෙන විට ඒවාට ම සරිලන සේ මාධ්‍ය ආයතන ද, ඊට අත්වැල සපයන්නේ ය. කිසිඳු රසිකත්වයක් සිත තුළ නො නැඟෙන තරමට ඒ ගී සිත පෙළා දමයි. එවන් වෙලාවක බුලේගොඩ සිය ගීයෙන් සිතුවිල් ආදරයෙන් පුරවන්නේ මෙ ලෙසිනි.

ඔබ දන්නවාද සැකයි                                     
මගෙ හිත ඔබ ළඟයි
මට කියාගන්න බැරි හින්දා
ජීවිතය ම බයයි

සිත සිත කල් බලයි
විපුල්
කාලය ඉඟි මරයි
අහස පොළව සේ උන්නට                                
ආදරයෙන් සමයි

මුනිවත හිරිහැරයි
දුක මහ මෙර සමයි
හිතාගන්න බැරි තරමට                              
හිත ඔබට ම තමයි  
    
ගේය පද: විපුල් ධර්මප්‍රිය ජයසේකර
තනුව සහ සංගීතය: විශාරද එඩ්වඩ් ජයකොඩි

හිත ඔබට ම තමයි තමයි  ගීය මෙතනින් අහන්න, නැත්නම් බාගන්න
                 
"හිත ඔබට ම තමයි"  ගී එකතුව  එකී සුනරුත් බව පසෙක ලා  පිරිපුන් ගේය පද මාලාවලින් ද,  පරිපුන් සංගීතයෙන්  ද, හෘදයාංගම හඬ මුසුවෙන් ද,ගීත රසිකයාගේ මනදොල  සතපාලයි. මේ ගී එකතුවේ තිබෙන ගී අතර රෝහණ බැද්දගේ විසින් බුලේගොඩට නිර්මාණය කර ඇති මතු දැ‍ක්වෙන මේ ගීය ඊට හොඳම නිදසුනකි.  සිදුවෙමින් පවතින සමාජ උඩුයටිකුරු වීම් හමුවේ දූ දරුවන් මේ සියළු බියකරු වෙස් ගෙන පැමිනෙන මායාවලින් මුදවා ගත යුතු ය. බැද්දගේ ගැමි සම්ප්‍රදායෙන් අපට කියා දෙන්නේ එයයි.

බැද්දගේ
මයුරී... ගෙට පලයං ..                                 
මයුරී ගෙට පලයං
මං එක සැරයක් දෙකක් කිව්ව දැං
මයුරී.... ගෙට පලයං

සමනල කඳු මුදුනේ මීදුම් වළා යටින්
පාට පාට රැස් විහිදා හිරු පායන විට
ඒ ලස්සන දුටු පමණින් ඉපිලී හිත සතුටින්
පාට පාට පිල් විදහා මොනරු නටන විට
ඒ මායාවෙන් රැවටී....
උඹ යන්ට එපා නැටුමට සැරසී උන් අතරට
මාන බලන් ඇති හසුකර ගන්ට උගුලකට
මගේ අහිංසක රූ බර මොණර පැටික්කී

වැහි බර අහස් තලෙන් විසිරෙන පොද අතරින්
පාට පාට දේදුන්නක් පායා එන විට
ඒ ලස්සන දුටු පමණින් තර‍ඟෙට හිත සතුටින්
පාට පාට පිල් විදහා මොනරු නටන විට
ඒ මායාවෙන් රැවටී....
උඹ යන්ට එපා නැටුමට සැරසී උන් අතරට
මාන බලන් ඇති හසුකර ගන්ට උගුලකට
මගේ අහිංසක රූ බර මොණර පැටික්කී
ගේය පද, තනුව සහ සංගීතය: රෝහණ බැද්දගේ
 බුලේගොඩ "හිත ඔබට ම තමයි"   ගී එකතුව සඳහා තෝරාගෙන ඇති පදමාලා සියල්ල අරුතින් ද, බසින් ද ,  පෝෂිත වූ ගි පදමාලා වේ. තම ගායන ශෛලියට ගැලපෙන පදමාලා මෙන්ම ඊට උචිත වන පරිදි එකකට එකක් වෙනස් වන පරිදි ගී තනු සහ සංගිත සැරසිලි තෝරා ගැනීමටත්. බුලේගොඩ දරා ඇති වෙහසෙ අපමණ ය. මේ ඊට හොඳම පිළිතුරකි.

ප්‍රේමය මේ හැටි සෝකය සාදන
දේකැයි  මන්ද නො කිව්වේ
ජීවිත කාලෙ ම නුඹ විතරයි මා
ආදරයෙන් සැනසෙව්වේ

ජය ගන්න මිසක් පරදින්න හිතුවෙ නැති
තරමට දුක් විඳපූ
පුද දුන්නෙ සෙනේ යළි ගන්න නො වේ
පෙරුමකි මං පුරපූ

මට දුන්නු සතුට ඉල්ලන්න හිතුවෙ ඇයි
වරද මෙමා කරපූ
ගෙනියන්න ඉතින් ගෙනියනවා නම්
ඒ හිත නුඹ ගැන හිතපූ

ගේය පද: යමුනා මාලනී පෙරේරා
තනුව සහ සංගීතය: කරුණාරත්න විජේවර්ධන
පසුගිය වකවානුව තුළ ඇතැම් අවස්ථාවන් හි දී ප්‍රවීන ගායක ගායිකාවන් ගැයු  ගීත ද ඒකාකාරී ස්වභාවයක් ගත්තේ ය. ඒ ගී තනුවල කිසියම් ප්‍රමාණයකට හෝ නැවුම් බවක් නො තිබූ නිසා ය. එ හෙයින් ම ඇතැම් අවස්ථාවල ඒ ගී ඕලාරික බවින් යුක්ත විය. බුලේගොඩ "හිත ඔබට ම තමයි"  ගී එකතුව නිර්මාණය කිරීමේ දී මේ පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වා තිබේ. තම ගීත රසිකයා වෙහෙසට පත් නො කර  මියුරස ගීත 20 ක් එක දිගට විදීමේ දී ඇති වන වෙනස් වීම් මකා දමමින් මියුරු ගී තනු තුළින් මතු වන්නා වු ගායනයෙන් රසිකයා ඇද බැඳ තබා ගනී.
බන්දුල නානායක්කාරවසම් ලියා ආනන්ද ගමගේ තනු හැදූ බුලේගොඩගේ මේ ගීය ඉහත කී කරුණු කාරණා කෙරෙහි  නිදසුන් සපයන්නේ ය. ගීතය පදමාලාව කියවා පමණක් රස නො විඳ  එහි ඇති සාහිත්‍යමය රසය සංගීතම ය සාහිත්‍යයෙන් අසා රස විඳ සියළු රික්තයන් මියුරු ගී රසයෙන් පුරවා ගැනිමටත් බන්දුගේ මේ ගේය පදමාලාව  ඇරයුම් කර සිටී.   එ බැවින් අතිශය සුන්දර සිතුවමක් බඳු ප්‍රේමයේ කටුක අත්දැකිම කියන්නට ඔහුට කටුක වදන් නැත. තැවුණු සිත සිතින් අත ගා  පිරිමදින, අහිමි වූ වත් වෛර නො කරන,  ආදරය පිරුණු හිතක් සැනසෙන්නට බන්දු පදමාලාවෙන් කියා දෙන්නේ මේ අයුරිනි.

බන්දුල නානායක්කාරවසම්
මගෙ අතින් මල් පොකුර ඔබ ගන්න                     
වසන් කල ඔය කඳුළු මට දෙන්න
ආදරේ..
ආදරේ උයන් දොර සමීපේ  ඔබ ඉන්න
හිමි නැතත් මට පෙනෙන මානයේ

මේ තරම් දුරක් දෙදෙනා අත් බැඳ ඇවිත්
වෙන් වෙමුද නාඳුනන්නන් ලෙසින්
අතීතෙන් ගලා එන දුක් පවන්
දරන්නේ කෝම දැයි මට කියන්

හිමි නැතත් කිසිම දින හිත පිදූ මිණි පාන
උපන් පෙම් දහර වී අසමාන
ඔබෙන් හළු වී ගියත් සිත් යාය
ලොවේ කාටත් එකයි  හඳපාන

ගේය පද: බන්දුල නානායක්කාරවසම්
තනුව සහ සංගීතය: ආනන්ද ගමගේ
දශක දෙකක් තුළ සංගිත ක්ෂේත්‍රයේ නියැලෙමින්, ගායනයෙන් ද , සිය සංගිතමය අත්දැකිම් තුළින් ද ලබා ඇති පරිචය අපමණ ය. විරහ ගීයෙන් තැවුල් පත් සිත පිරිමදිමින් ද , ප්‍රේම ගීයෙන් ආදරෙන් පිරුණු සිත් සතපවමින් ද, හීන් සීරුවේ ඇද හැලෙන සීතල දිය ඇල්ලක් සේ  අරුත් පිරිපුන් සුභාවිත ගීතයෙන් සිත පුරවන, සිත පහන් කරවන "හිත ඔබට ම තමයි" ගීත එකතුව රෝහන් ශාන්ත බුලේගොඩ ශ්‍රී ලාංකේය සංගිත ගමන් මගෙහි  ඔහුගේ ස්ථානය සලකුනු කර ඇත. රෝහන් ශාන්ත බුලේගොඩගේ "හිත ඔබට ම තමයි" රූප මවනා ගීත රචනා 20  ගී පිපාසයෙන් පෙලෙන රසිකයාට පැන් පොදක් වන්නේ  ඒ නිසා ය.෴

මගෙ ප්‍රේමණීය සොඳුරී.

මගෙ ප්‍රේමණීය සොඳුරී
මේ මිහිර නො විඳ සැනෙකින්
කිම මෙ ලෙස හිඳින අරුමේ
මගෙ ප්‍රේමණීය සොඳුරී..

උණුසුමට සිසිල දෙවමින්
වැසි වැටෙන මහිම මනරම්
කිති කවයි සිතට උණුසුම්
ඔබ නිහඬ කිම ද මෙතරම්

හැම රැය ම මෙලෙස විඳිමින්
ගෙවිලා ම යයි ද දුකකින්
අත පොවනු නො හැකි දුරකින්
ඔබ හිඳියි සිහින දකිමින්

ගේය පද: දිලීප පෙරේරා
තනුව සහ සංගීතය: අසංක හෙට්ටිආරච්චි
මගෙ ප්‍රේමණීය සොඳුරී..ගීය මෙතනින් අහන්න,කැමති නම් බාගන්න

 

ඔබේ අදහස්, විවේචන ලියන්න. ඔබ ලියන දේ සතුටින් පිළිගනිමි.

22 comments:

  1. ගීත ඔක්කොම ඇහුවා...මේ දවස්වල ලියවෙන පද රචනා එක්ක බලද්දී මේවා නම් අනර්ඝයි. හරසුන් ගීත වල දුර්වලතා මකා ගන්න මේ දවස්වල රූප රචනා යොදා ගන්නවනේ...ඒත් මේ ගීත අහලා විඳින්න පුළුවන්..රූප අවශ්‍ය නැහැ...

    ReplyDelete
    Replies
    1. සයුරීට

      ස්තුතියි ඔබට, බුලේගෙ මේ ගී 20 ම එකකට එකක් වෙනස්.පද රචනාවලින් විතරක් නෙවෙයි ගී තනු සහ සංගීත නිර්මානවලිනුත්. මේ සීඩී එක බොහෝම රසවත් ගී එකතුවක්

      Delete
  2. හෙහ් හෙහ්... මයුරී ගෙට පලයන් එකනං හොඳටම වැදුණා... බැද්දගේ මහත්තයගෙ ජන ගී ආර නෙව!

    ReplyDelete
    Replies
    1. @ here..

      මේකම් නියම ජන ගී ආරට හැදුන නියම ගීයක් කාලෙකට පස්සෙ බැද්දගේ වෙනත් ශිල්පියෙකුට හදලා තියෙන්නේ. බුලේගෙ ගායනයත් ඉහලම තමයි. ස්තුතියි ඔබටත්.

      Delete
  3. ගීත ඔක්කොම ඇහුවා... දැන් කාලේ වැඩිපුර අසන්නට නොලැබෙන ගීත ටිකක්.. අපූරුයි..

    ReplyDelete
    Replies
    1. ශානි ට,

      ශානි මේ ගී එකතුවේ අනෙත් ගී ටිකත් ඉදිරිපත් කළානම් හොඳයි කියල හිතෙනවා. මේ 06 මදිවගේ .බලමු මතු දවසක ඉතිරි කීපයකුත් අහන්න. ස්තුතියි ඔබටත්.

      Delete
  4. ආරම්භයේම පොඩි ගැටළුවක්,
    රත්නායක මේ අවසන් ගීතයේ අවසන් කොටසේ වචන හරිද?

    හැම රැය ම මෙලෙස විඳිමින්
    ගෙවිලා ම යයි ද දුකකින්
    අත පොවනු නො හැකි දුරකින්
    ඔබ හිඳියි සිහින දකිමින්

    ඔබ ලියල තියෙන්නේ "අත පොවනු නො හැකි දුරකින්" කියල
    බුලයා කියන්නේ "අත පොවනු හැකිව දුරකින්" කියල!
    දිලීප ලිව්වේ කොහොමද කියල අහල බලමු.

    අත්ත තමා ඔබ කියනවා වගේ "අත පොවනු නො හැකි දුරකින්" හිටයොත් තමා හැම රැයක්ම දුකකින් ගෙවිලා යන්නේ; "අත පොවනු හැකි දුරකින්" හිටියොත් බුලයා නිකන් ඉන්න එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. බන්දුලට

      මටත් වැරැද්ද අහු වුණේ ඔබ නිසා.. මම ආයෙමත් මේ ගීය ඇහුවා. ඔබ හරි බුලේ කියන්නෙත්, දිලීප ලියල තියෙන්නෙත් "අත පොවනු හැකිව දුරකින්" කියල! ගීයේ කියැවෙන පසුබිමට ඒක හරි . ඒත් මම හිතනවා "අත පොවනු නො හැකි දුරකින්" කියන යෙදුම මේ ගීයට ගැලපෙනවා. ඒ වගේම ගීයේ නියම රසය යෙදෙන්නේ එතකොටයි. ඔබේ අදහස හරියටම හරි.

      මේ ලිපිය ලිව්වේ මාර්තු 01 රෑ. බුලේ 02 වනදා උදේම මට කතා කළා බුලේත් මේ ගීය ගැන ඒවැනිම අදහසක් පළකලා. ඊටත් වැඩිය ඔබ ගැනත්,නාලන්දෙ කට්ටිය ගැනත් සොඳුරු මතකයක් අවදි කළා. ස්තුතියි ඔබට.

      Delete
  5. මේ වගේ කාලයක හොද නිර්මාණ බිහි වෙන එක කොච්චර නම් වටිනවද!
    එත් අභාග්‍ය කියන්නෙ මේ ඇල්බමය නිකුත් වෙලා මාස කීපයක් වුනත් ඒ ගැන දන්නෙ කී දෙනාද?? වෙන කුණුහරපයක් නම් ටීවී චැනල් වලින් පට්ට ගහවි.මේ ආකාරයෙන් හෝ දැනුවත් වීම ගැන සතුටුයි!
    ස්තුතියි ඔබට :)

    ReplyDelete
    Replies
    1. නුවන්ට

      හොඳ නිර්මාණ නම් බිහිවෙනවා. ඒත් මාධ්‍යවලින් ලැබෙන්නෙ ඒ අයට අවම සැළකිල්ලක්.මේ ඇල්බමය නිකුත්වෙලා මාස කීපයක් ගියා අද වන තුරුත් එකදු ගීයක්වත් මාධ්‍යයෙන් ප්‍රචාරයවෙන්නෙ නෑ. කණගාටුව නම් මාධ්‍යයේ හැසිරීමයි. ස්තුතියි ඔබට

      Delete
  6. මගෙ හිත ඔබ ළඟයි සින්දුව තමයි මම ආසම..ඒකට හේතුව වෙන්නැත්තෙ විපුල් ගෙ පද පේලි වෙන්නෝනැ...
    ස්තුතියි බෙදා ගත්තට..කොහොම හරි සීඩී එක ගන්නෝනැ..

    ReplyDelete
    Replies
    1. රූ.....

      විපුල් කොහොමටත් හිතට දැනෙන්න ලියනවා. "සඟවන්න එපා හසරැල්" වගේ ගී විපුල්ගෙ නේ.
      ස්තුතියි ඔබට

      Delete
    2. මම කැමතිම ගීය “පිපුනු මලක හැඩ දෑස සලා“

      Delete
  7. සදක් නම් බැස යන්න තිබුනා .. මේ ගීතය මම ගොඩාක් ප්‍රියකරන ගීතයක්.

    ඇත්තටම මෙවන් ලිපියක් දැමීම පිලිබදව මම ඔබට ස්තුතිවන්ත වෙනවා. මෙවන් ගායකයන්ට මාධ්‍ය තුලින් දැන් කිසිම අතහිත දීමක් සිද්දවෙන්නේ නැහැ. කාගෙහරි කුණුහරප සින්දු තියෙන ඇල්බම වලටනම් ඕනෑවටත් වඩා පබ්ලිසිටි දෙයි.

    ReplyDelete
    Replies
    1. වර්ණා..
      අද මාධ්‍යය ක්‍රියාත්මක වෙන්නේ මුදල් මත එතකොට ඕනෙම කුණු ගීයක් එක රැයෙන් ටොප් 10 වලට එකතුවෙනවා. මෙනව කරන්නද, අපි මෙහෙම හරි හොඳ රසවින්දනයක් ඇති කරමු. ස්තුතියි ඔබටත්.

      Delete
  8. "පවුල් අවුල්" නිරවුල් කිරීමේ ගී සංස්කෘතියත් ?????

    මේ ලිපියෙන් අලුත් ලෝකෙකට ගියා වගේ දැනුනා..මම මේ රේඩියෝ එක අහන ගමන් ලියන්නෙ.. තාම ඔය ජාතියෙ එක ගීතයක්වත් ගියේ නෑ..මේක පොඩි එව්වොන්ගේ ගීත ඉල්ලීම් වැඩසටනක් වුනාට පොඩි උන් ඉල්ලන්නෙම මහ උන්ගෙ ගීත...

    ලිපිය නියමයි..

    ReplyDelete
    Replies
    1. හරී..

      හරී.. මතකද "මගේ දරුපැටවු අහසට දෑත දිගුකරන්" "මගෙ කූඩුවට ඇවිත් සල්ලාල පෙම්බරෙක්" මෙන්න මේවගේ හරසුන් "පවුල් අවුල්" ගීසංස්කෘතියක් පසුගිය කාලෙ තිබුණා. මේවා වැඩි කොටසක් කිව්වෙ "අසංක ප්‍රියමන්ත" කියන ගායකයා. ගීනම් ජනප්‍රිය වුණා. ඒත් මට තියන ප්‍රශ්නේ"මගේ දරුපැටවු අහසට දෑත දිගුකරන්" ගීය අහලා අම්මලා කී දෙනෙක් මැදපෙරදිග යන එක නැවැත්තුවද කියලා. එක්කෙනෙක්වත් නැහැනේ. එහෙනම් ඒ ගී වලින් සමාජයට යහපතක් සිදුවෙලා නැහැ.

      අද ළමයි පවා ඒ සිංදු ඉල්ලන්නේ ගීත සාහිත්‍යයේ මේ හරසුන් බොල් ගීත වින්දන මට්ටම බිංදුවයි.

      Delete
  9. ගොඩාක් ලස්සන සින්දු ටිකක්..නියමයි....

    ReplyDelete
    Replies
    1. ...ගීපදමාලා...

      මේ එක්කෙනෙක්ද? කණ්ඩායමක්ද?...
      ‍කොහොම වුණත් මං කැමතිම ක්‍ෂෙත්‍රය කවිය සහ ගීතය. පළමුවරට පැමිණි ඔබ සාදරයෙන් පිළිගන්නවා. එන්න අපි අලුත් රසවින්දන සංස්කෘතියක් ඇති කරමු. ලෝකය අලුත් කරමු. ස්තුතියි ඔබට

      Delete
  10. Mama huga kalakata passe hoda sindu tikak rasa winda...vipula ge lyrics anargai. thanks for sharing this with us daya ayiya.

    ReplyDelete
    Replies
    1. ඩිෂාන් ට

      ඩිෂාන් ස්තුතියි බුලේගෙ ගී රසවින්දාට. කොහොමටත් ලංකාවෙන් බැහැරව ඉන්නකොට මේවගේ අලුත් ගීවල රසය වැඩියෙන් දැනෙනවානේ.

      Delete
  11. ගීතත් රසවින්දා. ලිපියක් එසේමයි....
    මං ගොඩක් ආසයි බුලේ ගේ මෙන්න මේ ගීයට

    එක් පෙති මලක් විය නුඹ මගෙ අත්දෙකට..
    නෙලා නොගත්තේ මගේ බොසත් කමට
    වෙන්වන දිනේ නාවත් මා ගංදොරට
    ඇයි පැමිණියේ විරහී සිත අද්දරට...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...