එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Tuesday 27 March 2012

෴ අද මා මළත් හෙට මා උන් සුවඳ ඇතී ෴

(අබේවර්ධන බාලසුරිය පිළිබඳ මතකයේ අවසන් දිග හැරුම)
සදාතනික මතකයේ රැඳි නො මියෙන ගී සුවඳ
සිංහල කවිය තරම් දිගු ඉතිහාසයක්  නැතත් ගීතය සහ ගීත රචනා කලාව ඉතා කෙටි කාලයක් තුල විශාල පරිණතියක් කරා ළඟා වූයේ හැත්තෑව සහ අසූව දශකය තුළ දී ය. සෙසු කලාංගයන් අභිබවා යමින් ගීතය වඩාත් ප්‍රායෝගික කලාවක්  ලෙස සමාජය තුළ ජනප්‍රිය විය. මේ සදහා පේරාදෙණිය සාහිත්‍ය ප්‍රබෝධය සෘජුවම බලපෑ බව පැහැදිළිය. කොළඹ යුගයේ කවිය ඉක්මවා ගොස්   වඩාත් ජනතාවාදී මෙන් ම යථාර්ථවාදී කාව්‍ය නිර්මාණ බිහි වූයේ ද එම දශකය තුළ දී ය. මෙය එකල බිහි වූ ගීත සාහිත්‍යයේ ප්‍රබෝධයට ඉවහල් විය. ඒ අනුව හැත්තෑව දශකය තුළ ගීතය කවියෙන් වෙන් වී ස්වාධින කලාංගයක් ලෙස වැඩෙමින්  ගීතයේ අනන්‍යතාවය තහවුරු කරගත්තේ ද මේ අවධිය තුළ දී ය..
විවිධ වස්තු විෂයයන් ඔස්සේ  විහිදී යමින් වඩාත් සංකිර්ණ සමාජ ගැටළුද, කාලින සමාජ යථාර්ථය ද, ගීයෙන් නිරූපණය වීමට පටන්ගත්තේ ද මේ අවධියේ දී ම ය. එම දශකයේ බිහි වූ සියළුම ගීත අර්ථයෙන් ද. නාද මාලාවන්ගෙන් ද, රමණීය ජීවිතාර්ථ ප්‍රතිපාදනයෙහි  සමත් වූ නිර්මාණයෝ ම වූහ. මේ සාහිත්‍ය ප්‍රබෝධය එකල බිහි වු ගීත රචකයන් මෙන් ම සංගීවේදින් ද , ගායක ගායිකාවන් ද,  නැවුම් ඉසව් කරා යොමු කිරීමට හේතු විය. මේ සම්බන්ධයෙන් එවකට මහගම සේකර සූරින් දැරූ මතය මෙසේ විය.
"කවියක් නිර්මාණය වීම කවියාගේ පෞද්ගලික වෑයමක ප්‍රතිළුලයකි.  එහෙත් ගීතයක් නිර්මාණය විම සඳහා ගීත රචකයා, සංගිතඥයා, සහ ගායකයා යන තිදෙනාම හවුල් විය යුතුය. ඇතැම් ගීතයක්  ගීත රචනයේ ඇති කාව්‍යමය ගුණය අනුව ද. තවත් ගිතයක් ඊට යොදා ඇති සංගිතය  අනුව ද,  තවත් ගීයක් එය ගායනා කරන ගායකයාගේ කට හඬ  හා ගායන විලාශය අනුව ද,  උසස් තත්වයක් ගන්නට පුළුවන. එහෙත් විශිෂ්ඨ ගීයක් නිර්මාණය විමට නම් මේ තිදෙනාම තමන්ට අයත් කාර්යයන් විශිෂ්ඨ අන්දමින් ඉටු කළ යුතුය."
(මහගම සේකර ගිත - මහගම සේකර  (1972) )
මහගම සේකරයන්ගේ ඒ අදහස අදට ද වලංගු ය. සේකර එදා ගීතය උපමා කළේ කනප්පුවකටය.  කනප්පුවට පාද තුනකි. ඉන් එක පාදයක් හෝ නිසි ලෙස පිහිටා නැත්නම් කනප්පුවේ සමබර තාවය බිඳ වැටේ. ගීයට ද  මේ ධර්මතාවය පොදුය. ගීත රචකයා, සංගිතඥයා, සහ ගායකයා යන තිදෙනා ගෙන් එක් අයෙකු හෝ තමන්ට අයිති කාර්යය නිසි ලෙස ඉටු නො කළ හොත් සාර්ථක ගීයක් බිහි වන්නේ නැත.
සේකර එදා දැරූ අදහසට නිදසුනක් ලෙස මහාචාර්ය සුනිල් ආරියරත්න, ආචාර්ය වික්ටර් රත්නායක සහ අබේවර්ධන බාලසූරිය සුසංයෝගයෙන් නිර්මාණය වූ මේ  ගී මාලාව ගත හැකිය. ඒ ගී මාලාව තුළ ගීත රචකයා, සංගිතඥයා, සහ ගායකයා යන තිදෙනා තම කාර්යයන් ඉතාම විශිෂ්ඨ අන්මින් ඉටුකර ඇති අයුරු මතු දැක්වෙන ගීත කීපය තුළින් වටහා ගත හැකි ය.
 සුනිල්, වික්ටර් සහ අබේ සුසංයෝගයෙන් සැදි  "තල්ගහ මුදුනේ "  ගීතය තරමක් සුවිශේෂ ගියකි. ගීයට පසුබිම වන්නේ යාපනේ තිරුනෙල්වේලි පිහිටි යාපනය විශ්ව විද්‍යාල පරිසරයයි. හැත්තෑව දශකය ආරම්භයේ දී මහාචාර්ය සුනිල් ආරියරත්න සූරීන් යාපනය විශ්වවිද්‍යාලයට යන්නේ එහි සිසුන්ට සිංහල විෂය ඉගැන්වීම සඳහා ය.  ඔහු තිරුනෙල්වේලියේ තල් සෙවනක දුටු සඳ එළිය  ගීයේ වස්තු විෂය වී ඇත. යුද්ධයේ හෝ ජාතිවාදී හැගිම්වල අඳුරු සෙවනැලි නො තිබූ ඒ යුගයේ නුහුරු නුපුරුදු පරිසරයක දකින සඳ එළියත්. අද දවසේ  කරටි කැඩුණු තල් ගස්වලට ඉහළින්  යාපෙනයේ දී රාත්‍රියක දකින සඳ එළියත් අතර විශාල පරතයක් ඇතිවී ඇති බව එක දවසක යාපනයේ රාත්‍රියක් ගත කර ඇත්නම්  ඔබට ද දැනෙනු ඇත. නුහුරු නුපුරුදු නන්නාඳුනන පරිසරයක වෙසෙන මිනිසුන් අතර දැන හඳුනන එකම තැනැත්තා මේ  රාත්‍රියේ තල් හෙවන යටින් ඇවිද එන සඳ එලිය පමණි.
ගීය තනුවෙන් හැඩ ගන්වන්නේ ආචාර්ය වික්ටර් රත්නායකයන් විසිනි. එදා යාපනය නගරයේ නිරන්තරයෙන් රැව් දුන් තවිල් සහ මෘදංග ‍හඬ ගීය පුරා ම හඬවන්නේ ඊට පසු කාලයේ වෙඩි වැදීමෙන් තුවාල වූ ජාතිවාදයේ හිත් නිවා සනසන්නාක්  මෙනි. ඊට පසු කාලයේ අබේ නිරංජලා යුවල  ගැයූ "ඉසුරු දෙවිඳු උමයංගන" ගීයට උල්පත වන්නට ඇත්තේද මේ ගීයෙන් නැගුණ දෝංකාරය විය යුතුය. ගීතය තුළ අබේවර්ධන බාලසූරියගේ සිංහල ගී හඬ නිතැතින් ම මනසින් මා කැඳවා යන්නේ යාපනයේ සුන්දර රාත්‍රී ගණනක්  ගෙවූ තල් සෙවනක් යටට ය.  මෙ ගීය එදාට වඩා වැදගත් වන්නේ අදටය. මේ ගීයෙන් කියවෙන්නේ මීට වසර හතලිස් පහකට පමණ පෙර එනම් යුද්ධයක් නො තිබූ  යුගයක දුටු  අද දවස ගැනය.  එහෙත් ඒ එදා දුටු මනරම්  සඳ එළිය නොවේ. අද එහි ඇත්තේ  වෙඩි වැදී කරටි කැඩී බඳී  ගිය  තල්ගස් මුදුනින් නැගෙන සඳ එළියේ විලාප දෙන ශෝකී ගී රාවයයි. 
තල් ගස මුදුනේ හිනැහෙන සඳුනේ
මා වැලි කතරේ ඔබ උඩු ගුවනේ
නන්නාඳුනනා මිනිසුන් අතරේ
ඔබ පමණයි මා යන්තම් අඳුනන්නේ

ගම් පියසේ මට මිතුරන් හිටියත්
නුඹ විතරයි අද ආවේ තනියට
තල් කොලයේ හෙවනේ ඉඳ වාඩිවෙලා
මා දෙනෙතේ රැඳියන් සඳුනේ

උණුසුම් හසරැළි  කොතැනද මා දුටු
නෑසිය පිරිවර කොතැනද මට සිටි
තල් කොලයේ හෙවනේ ඉඳ වාඩිවෙලා
මා දෙනෙතේ රැඳියන් සඳුනේ

ගේය පදමාලාව: මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව සහ සංගීතය: ආචාර්ය වික්ටර් රත්නායක

 තල් ගස මුදුනේ ගීතය මෙතනින් අහන්න, ගන්න
අබේවර්ධන බාලසූරිය ගැයූ ගී අතර දේශාභිමානී ගීත, ප්‍රේම ගිත, විරහ ගිත, බුදුගුණ ගීත  සේ ම සමාජ යථාර්ථය සහ සමාජය විනිවිද දකින ගී  ගනනාවක් ම හමුවේ. ඒ අතර ඇතැම් ගීත රූප රචනාවලින් පිරිපුන් ඒවාය. එවන් ගී වලට යමෙකු රූප රචනාවක් හදනවා නම් එය හාසයයට මුසුවන කරුණකි.
' සැරසිලි ගොක්කොළ පෝරුව අයිනේ
 පයට හැපී පුන් කලස බිඳීලා
පණිවුඩයක් ඇවිදින් මගුල් දා
දෙබරෙට ගැසුවා සේ.."
මේ එවැනි ගීයකි මේ ගීයට නැවත අමුතුවෙන් රූප රචනාවක් අවශ්‍ය නොවේ සමස්ත ගීතය ම රූප රචනා කාව්‍යයකි.
අබේවර්ධන බාලසූරිය ගැයූ " අ‍නේ කුරුලු කූඩුවලට" ගීයත් හැත්තෑව දශකය ආරම්භයේ දීම බිහි වූ ගීයකි. මේ ගීයෙන් පසුව  මෙවැනි සමාජ යථාර්ථය පිලිබිඹුවන ගීත රැසක් ම ගැයුණි. ඒ ගීතවලින් සමාජ යථාර්ථය සාකාච්ඡා කළත් ඒ නිර්මාණවලට පැවතීමක් නො තිබුණි. මෑතකදී ගුවන් විදුලි නාලිකා ඔස්සේ  නිරන්තරයෙන් ප්‍රචාර වූ ‍මතු දැක්වෙන ගීයේ මුල් පද ටික ගැන බලමු.
" මගේ කූඩුවට ඇවිත්  සල්ලාල පෙම්බරෙක්
  මගෙ පෙම්බරී සමග හාදව   දුන්නු ගින්දරක්
  මට දුන්නු ගින්දරක්"
මෙහි ගීත රචකයා , සංගීතඥයා, සහ ගායකයා මගේ මතකයට නො නැගුණත්  පසු ගිය වසර දෙක තුළ මේ ගීය නිරන්තරයෙන් විද්‍යුත් නාලිකා ඔස්සේ ප්‍රචාරය විය. ඒ වගේම මේ වන විට  ඒ ගීය දැන් සියලු දෙනාගේ මතකයෙන් බැහැරව ඇත්තේ හුළං ගිය බැලුමක් මෙනි.  අද එහි කිසිඳු වටිනාකමක් අද නැත. එහෙත් අබේවර්ධන බාලසූරිය ගැයූ මතු දැක්වෙන ගීයෙන් කියවෙන්නෙත් ඉහත කී අරුතමය. එහෙත් ඒ ගීයේ සදාකාලික බව රැඳී ඇත. එනමුදු  මේ ගිත දෙක අතර පරස්පරය අහසට පොළොව සේ ය. මේ දැක්වෙන්නේ අබේ ගැයූ ඒ ගීය යි.
අනේ කුරුලු 
කූඩුවලට                                         
ගහන්නෙපා කැට කැබිලිති
දුකින් හැදූ කුරුලු කූඩුවේ
අපි ඉන්නම් අපේ පාඩුවේ

අනුන් හැදූ කූඩු කඩා
පවු පුරවා ගන්න එපා
දීග ගෙනා කුරුල්ලෙකුගෙ
හිත කළඹාලන්න එපා.

කුරුලු රජෙක් සොයාගන්න
ඉගිලී යන රෑන මැදින්
වෙනින් ගෙයක් හදා ගන්න
සවිමත් අතු ඉති අතරින්

ගේය පදමාලාව: මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව සහ සංගීතය: ආචාර්ය වික්ටර් රත්නායක

අනේ කුරුලු කූඩුවලට ගීතය මෙතනින් අහන්න, ගන්න
ඒ අයුරින් සිංහල සංගීතය ගීතයෙන් සැරසිලි කල අබේවර්ධන බාලසූරිය ගීයේ මතු යහපත වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටි ගායන ශිල්පියෙකි. ඔහු අප කිසිවකු නො පැතූ නො සිතූ මොහොතක සිය ජීවිතයෙන් සමුගෙන තිබේ.. ඒ සමුගැනීම නිරංජලා සරෝජිනී  ප්‍රවීන ගායනවේදිනියට මෙන් ම ඔහුගේ ගීවලට ඇලුම් කළ රසිකයන්ටත් තරමක වේදනාවකි. ඒ ඔහු ගැයූ ගීයේ මිහිරි ම ගී ස්වරය වගේ ම නො කල්හි සමුගැනිම ද වේදනාවක් ගෙන දුන්  බැවිනි.
2008 වර්ෂයේ අප්‍රේල් මාසයේ පළමු සතියේ එක්තරා දිනෙක අබේගේත්, නිරංජලා සරෝජිනී ගායන වේදිනියගේත්  සුපුරුදු අත්සන  සහ සමරු සටහනක් තබා "රන් දිවයින" ගිත ඇල්බමය ඒ නිවසේදී මා අත තැබූ මොහොත මට දැනුදු සිහිපත්වේ. ඒ අබේ ජීවත්ව සිටියදී නිෂ්පාදනය කළ අවසන් ගී එකතුව වනු ඇතැයි කිසි විටකත් මට නො සිතුනි.. එහෙත් කාලය  ඊට හරස් විය.
ඉන් මාස කීපයක් ගත වූ තැන ප්‍රවීන ගායනවේදී අබේවර්ධන බාලසූරිය  කිසියම් වූ ස්නායු ආබාධයකට ලක් විය. කෙමෙන් කෙමෙන් ඔහුගේ මියුරුතම ගී හඬ කාලය විසින් සොරකම් කර ගත්තේය. අවසානයේ දී කිසිඳු වචනයක් මුවින් පිට නො වන  අයුරින් ඔහුගේ හඬ දෛවය විසින් සොරකම් කරගෙන ගෙන ගොස්  තිබුණි.
ගායන ශිල්පියෙකුගේ හෝ ශිල්පිණියකගේ වටිනාම රුවන් මුවා ආභරණය වන්නේ ඔහුගේ හෝ ඇයගේ හඬයි. ඒ රුවන්මුවා හඬ අහිමි වීම කිසියම් වූ ගායන ශිල්පියෙකු හෝ ශිල්පිණියක කෙසේ නම් දරාගන්නේ ද  කියා මට සිතා ගත නො හැක. මන්ද ඕනෑම ගායන ශිල්පියෙකු,  ශිල්පිණියක  තම හඬට  මහත් සේ ආදරය කරන හෙයිනි. එහෙයින් ම අබේගේ හඬ  නැතිවී යාම ඔහුට මහත් සේ වේදනාවක් ගෙන දෙන කාරණයක් වූවා විය හැකිය.
කිසිවෙකු හෝ සදාකාලිකව  ම මෙලොව ජීවත්විමට පතා පැමිණ නැත. ජීවිතයේ යම් දවසක ඒ ජීවිතයට විරාමය තබා නික්ම යා යුතුය. සොබාදහම දායාද කොට ඇති ඒ අවලංගු කල නො හැකි, කල් දැමිය නො හැකි,  උරුමය රැගෙන අබේවර්ධන බාලසූරිය ප්‍රවීන ගායනවේදියානන් මීට වසර දෙකකට පෙර එනම් 2010 මාර්තු මස 27 වන දින සිය ජීවන මංපෙතෙහි  හතලිස් පස් වසරක  කාලයක් ගැයූ ගී පමණක් අප  මතකයෙහි ඉතිරි කර තබා ගීයෙන් ද,  සංගීතයෙන් ද, ජීවිතයෙන් ද, සමුගත්තේ ය.
ඔහු මියයන්නට පෙර ඔහු තුළ තිබූ බලාපොරොත්තු කීපයක් "රන් දිවයින" ගී ඇල්බමය මා අත තබන මොහොතේ මා සමග කීවේය. ඒ  ප්‍රේමකීර්ති ද අල්විස් අබේ නිරංජලා යුවලට ලියූ ගී එක් රැස් කර ගීත ඇල්බමයක් එළිදක්වා ඔහුට උපහාර පිණිස ගී ප්‍රසංගයක් පැවැත්වීමත්, "රන්දිවයින"  දේශාභිමානී ගීත ඇල්බමය මෙරට සංගීත රසිකයන් වෙනුවෙන් එළි දැක්වීමත්, මව්පිය උපහාර පිණිස අබේ නිරංජලා යුවල ගැයූ ගී සහිත ඇල්බමයක් එළිදැක්වීමත් ඔහු තුළ තිබුණි. ඒ කිසිඳු බලාපොරොත්තුවක් ඉටු කර ගැනීමට ප්‍රථමයෙන් වේගයෙන් හඹා ආ මරණය ඔහු කැඳවාගෙන ගියේය. ඒ ඉටු නොවුණු බලාපොරොත්තු අතර තිබූ ප්‍රේමකීර්ති ද අල්විස්  උපහාර  උළෙලක් "තුන්පත්  රෑන" නමින් අබේවර්ධන බාලසූරිය ගායන ශිල්පියානන්ගේ පළමු ගුණ සමරුව යෙදුන පසුගිය වසරේ ප්‍රවීන ගායනවේදිනී නිරංජලා සරොජිනී මහත්මිය විසින් එළි දැක් වූවා ය.
මේ සටහන අවසන් කිරිමට තෝරා ගත් ගීය ඔහු පිළිබඳව ගැයෙන ඔහුගේ ම ගීයයි. මේ ගීය අබේවර්ධන බාලසූරියට පමණක් නො ව අප සියළු දෙනාට ම පොදු ගීයකි. ‍යමෙක් ඉපදුණු  පසු මිය යා යුත්තේ ඔහු හෝ ඇය සදාකාලිකව ම සුවඳ විහිද වූ කුසුමක් ලෙසටය.
ගෙවුණු හතළිස් පස් වසරක කාලයේ ඔහුගේ නිර්මාණ නිසි අගැයුමකට හෝ විමසුමකට භාජනය වී නැත. ඒ සංගිත චාරිකාව තුළ කිසිඳු දිනයක මෙරට ප්‍රේක්ෂකයන් හමුවේ ඔහුගේ ගී ප්‍රසංගයක් හෝ ගී නිර්මාණ එළිදැක්වීමක් කර නො තිබුණි. අබේවර්ධන බාලසූරිය ගැයූ සිය ගණනක් ගීත අතරින් නිතර නෑසෙන ගී කිහිපයක් ඔස්සේ ඔහු පිළිබඳවත්, ඔහුගේ ගීත පිළිබඳවත්, සමාජ, දේශපාලනික සහ සමකාලීන නිර්මාණ ඔස්සේ ඒ ගී මඟ පිළිබඳව විමසමින් එවන් වූ සොඳුරුතම මිනිසකු පිලිබදව මම මාසයක් පුරා මට දැනෙන හැ‍ඟෙන අයුරින් ඔබට ඔහුව හඳුන්වා දීමට උත්සාහ කළෙමි.  ඒ මගේ අතිශය ගෞරවාදරයට පත්වූ   අබේවර්ධන බාලසූරිය නම් වූ ප්‍රවීන ගායනවේදියානන් පිළිබඳව කොටස් පහකින් යුතුව තැබූ මේ සටහන අද දින  මා අවසන් කරන්නේ ඔහු පිළිබදව මා ලියූ "කල්පනා ලොව මල් වනේ මිලින වූ ගී කුසුම" නමින් ලියූ පළමු සටහනේ පළමු ඡේදය නැවත ඔහු වෙනුවෙන් ම උපුටා දක්වමිනි.
"රාත්‍රිය නිශ්චල ය, සුන්දර ය. ගනඳුර කපා අහස් තලයෙහි පිපුණු පුර හඳ ඔබේ ගෙමිදුල ද, මගේ ගෙමිදුල ද, සරසා මේ බි‍මෙහි සීමා මායිම් නො තකා විශ්වයේ ඉම සොයා ඇදී යයි. ඒ අහස් තලයේ ම පිපී හිහැහෙන තාරකා දීප්තිමත් ව, කාන්තියෙන් කඩා හැලෙයි. මුළු රැයම සුන්දරත්වයන් පිරී ඇති නිසා ඒ තරු එළි නිවි නිවී දැල්වෙයි. ඒ ඇතැම් තරුවක් නිවී ගොස් ඇත්තේ වසර මිලියන ගණනකට පෙර ය. දැල්වෙන තවත් තරුවක් වසර සිය ගණනකට පෙර මිලින වූවකි. එහෙත් ඒ නිවුණු තරුවක, තරු එළිය බිඳකුදු නො නැවතී තවමත් මේ පොළෝ තලය සිප ගනී. එය තවත් සියවස් ගණනාවක් මේ බිමට එළිය ගෙනෙනු ඇත.
මේ  අබේවර්ධන බාලසූරිය නම් වූ , සුවහසක් සවන්පත් සනසාලූ,  මිහිරි ස්වරයෙන්  හදට ළංව ගී ගැයූ ගායන ශිල්පියා ය. ඔහු වචනයේ පරිසමාප්ත අරුතින් සොඳුරු ගායන ශිල්පියෙකි. මා ඉහත සඳහන කළේ ඒ සොඳුරුතම ගායන ශිල්පියා වෙනුවෙනි. අබේවර්ධන බාලසූරිය සිංහල සුභාවිත ගීතයේ ඉම් පෙදෙස් සැරසූ රස උල්පතකි. ඔහුගේ ගීත හිරු සේ දීප්තිමත් ය. සඳ එළිය සේ ම හදවත නිවා සනසයි. විටෙක තරුවක් සේ ම බබලයි.  සැබැවින් ම අබේ ද තරුවකි. සාමාන්‍ය තරුවක් නොව හැත්තෑව දශකයේ සිංහල ගී කෙත ගීයෙන් බැබල වූ  සුපිරි තරුවකි."  ඒ තරුව සදාකල්හිම රසික හද ගැබ නො නිදා හිඳී.෴

අවසන් හුස්ම පොද නොබියව හෙළන්නට
සිවු  රියනේ  හිත  සතුටින්         නිදන්නට
මිනිසකු  විලස  ඉපදුණු  පල      දකින්නට
පුළුවනි  මරණ   මංචකයේ   වුවද       මට

දහදිය දිය උනේ නෑ මාලිගා            වල
කඳුළැලි වැටුනෙ නෑ නිවටුන් දෙපා  මුල
ගත හැඩි දැඩි උනේ ළඳුවල කැලෑ    වල
කරගැට මතු උණේ නගුලට    උදැල්ලට

මහ කෙත් රණ බිමට වැද  ගෙන  උදලු   කෙටී
මේ රළු පොළොව ජය ලැබුවෙමි වැතිර    වැටී
ඒ ජය මට නොවෙයි නුඹටයි ඉපිද           නැතී
අද මා මළත් හෙට මා උන් සුවඳ              ඇතී

ගේය පදමාලාව: මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව සහ සංගීතය: ආචාර්ය වික්ටර් රත්නායක
ඔබ ලියා තබන විවේචන සහ අදහස් මට  වැදගත් අදට නො ව හෙට දවසටයි

ආශ්‍රිත ග්‍රන්ථ:
ප්‍රවීන ගායන ශිල්පී අබේවර්ධන බාලසූරිය මහතාගේ  ගී මංපෙත විමසා බැලීමේදී එම ගීත සහ ඒවා නිර්මාණය වූ අවදිය තහවුරු කරගැනීමටත්,  ගීත පිළිබඳ දත්ත සහ තොරතුරු ලබාගැනීමටත්  පහත සඳහන් කෘති  සහ මූලාශ්‍ර උපයෝගී විය.
01.  වික්ටර් රත්නායක නිර්මාණ විමර්ශණ    - සංස්කරණය සුනිල් ආර්. ගමගේ (1993)
02.  වික්ටර් රත්නායක " ගී සියයක්"       -      සංස්කරණය ගීතනාත් කුඩලිගම (1997)
03.  වික්ටර් රත්නායක "මාරුතයේ මියුරු සර"   - සංස්කරණය ගීතනාත් කුඩලිගම
                                                                      (2003)
04.  සිංහල සංගීතයේ වික්ටර් රත්නායක "සුලකල් මියුරු ගැයුම්" -
                                                             -   යාපා බණ්ඩාර සෙනෙවිරත්න  (2007)
05.  මහගම සේකර ගී                               -       මහගම සේකර  (1976)
06.  අරුන්දතී    - මහාචාර්ය සුනිල් ආරියරත්න (1975)
07.  ළා හිරු දහසක් - මහාචාර්ය සුනිල් ආරියරත්න (1978)
08.  තනි යහනේදී   - මහාචාර්ය සුනිල් ආරියරත්න (1981)

                           විශේෂ ස්තූතිය:
  1. ප්‍රවීන ගායන ශිල්පිණී නිරංජලා සරෝජිනී මහත්මියට
  2. අස්වැන්න කියවා සටහනක් තබා ගිය ඔබට
  3. කිය වූ ඔබ සැමට 

ඔබ ලියා තබන ඔබේ අදහස් මට  වැදගත් අදට නො ව හෙට දවසටයි

21 comments:

  1. මේ ලිපි සියල්ල කියෙව්වට පස්සේ මතුවෙන එකම ප්‍රශ්නය තමයි මේ විශිෂ්ටයන් සමාජයෙන් හංගල තිබ්බේ කව්ද කියන 1.ඔවුන් හැංගිලා හිටිය කියල අපිට කියන්න බෑනේ.මේවා දකිද්දී කනගාටුවකුත් ඇති වෙනවා ,ඔවුන්ට නියම තැන ලැබුනේ නෑ නේද කියල.කොටින්ම මම උනත් අබේවර්දන බාලසූරියගේ ගීත අහන්න ගත්තේ අස්වැන්න ලිපි පෙලෙන් පස්සෙ.අපිව දැනුවත් කරාට ස්තුත්යි දයා අය්යා!

    ReplyDelete
    Replies
    1. නුවන්ට

      මේ සියළුම ගීත 70, 80 දශකය තුළ දී බිහි වූ ගීත . කාලයත් සමග සමාජ පරිවර්තනයේදී පෞද්ගලික මාධ්ය නාලිකා බිහිවීමත්, ඒ මාධ්යි නාලිකා ඉල්ලන නිර්මාණ මේ ගායන ශිල්පීන් සතුව නොමැතිවිමත් හේතුවෙන් මේ ගීත ඒ යුගවලින් පසුව බිහිවූ මේ යුගයේ තරුණ පිරිසට අහන්න නොලැබුණා.

      අනෙක් අතට අබේ දැරූ දේශපාලන මතය ඔහු මිය යන තෙක්ම වෙනස් නොවූ නිසා රාජ්ය මාධ්ය තුළින් පවා ඔහුගේ ගීතවලට නිසි තැන හිමිවුනේ නැහැ. මේ සියළුම ගිත ගුවන්විදුලි ගිත වූ නිසා එයත් එක හේතුවක්. ඒ නිසාම වෙන්න ඇති ඔහු ‍ගැයූ සියළුම ගීත නැවත එකතුකර පටිගත කිරිමක් කර සිඩී 12ක් නිෂ්පාදනය කළේ.

      ස්තුතියි නුවන් ඔබේ වටිනා කාලය ටිකක් වෙන්කර දැක්වූ අදහස්වලට

      Delete
  2. අන්තිම ගීතය හරිම ලස්සනයි. ඇහුවෙත් අදමයි. මේ ලිපි පෙලේ වටිනාකම නම් කියල නිම කරන්න බැහැ. නිසි ඇගයීමක් නොලැබුන නිසා ඒවා අපිටත් මග ඇරිලා. ඔබ මේ කරන්නේ ඉතාමත් ප්‍රශංසනීය වැඩක්...

    ReplyDelete
    Replies
    1. සයුරිට

      "අවසන් හුස්ම පොද" ගිත සාහිත්යායේ හමුවන විශේෂ ගීයක්. ඒ ගීයෙන් හැම කෙනෙකුටම පොදු අරමුණක් කියාදෙන ගීයක්. මමත් විශ්වාස කරන හැටියට යමෙක් ජීවත්ව සිටින කාලය තුළ ඔහු හෝ ඇය මේ ලෝකයේ ජීවත් වූ බවට කිසියම් හෝ යහපත් වූ සළකුණක් ඉතිරි කර තැබුව හොත් ඒ තැනැත්තා සදාකාලික වේවි.

      ලියූ දේවල් අගයකරමින්, ඔබේ වටිනා කාලයෙන් බිඳක් වෙන්කර තැබූ සටහන්වලට බෙහෙවින්ම ස්තූතියි සයුරී ඔබට.

      Delete
  3. මම හිතනව ඔබේ උත්සාහය බෙහෙවින් සාර්ථකයි කියල..මේ සමහර ගීත මම ඇහුවෙත් අස්වැන්නට ගොඩ වුනාට පස්සෙ..වෙනදට අබේගෙ ගීතයක් අහද්දිට වඩා දැන් ඒ ගීත අහද්දි ඒ ඔස්සේ ලියවුනු ඔබේ වචන දෙක තුනක් හරි හිතට එනව..පැරණි ගීත අහන්නෙම නැති කෙනෙක්ට වුනත් මේ ගීත් ඇහුවම කැමැත්තක් ඇති වෙනවා..අද තියෙන එක පාර මතු වෙලා ජනප්‍රිය වෙලා ආයෙත් නැති වෙලා යන බොහෝ ගීත වලට වඩා මේ ගීත් මොන තරම් සුන්දර සංවේදි ගීතද කියන දේ වැටහෙනවා..
    ඉතිං ඔබට බොහොම ස්තූතියි ඔබේ මේ වටිනා දැනුවත්බාවය අපි සමග බෙදාහදාගත්තට.. :)

    ReplyDelete
    Replies
    1. සිත් රූ සිහින ට

      අද අපි විඳින්නේ 70 සහ 80, දශකවල රසවින්දනයක් ගොඩනැගිමට ඉවහල් වූ ගී පදමාලා, ගී තනු, සහ ගායනායි. ඒකාලෙ ගුවන් විදුලියට පත්වූ අයට ඒ රසවින්දනය පිහිටලා තිබුණා අද එහෙම නැතුවට. ඒ නිසා ඒ නිර්මාණ අදටත් වලංගුයි. ඒ යුගයේ ගී ගැයූ අය අතර අබේ, නිරංජලා, විතරක් නෙවෙයි, කපුගේ, ටී.එම්., නීලා, බණ්ඩාර අතාවුද, බන්දුල විජේවීර, බැද්දගේ වගේ අයගේ ගී පවා අද මතකයෙන් බැහැර වෙලා.

      ඔබේ වටිනා කාලයෙන් බිඳක් වෙන්කර ලියූ දේවල් අගයකරමින්, තැබූ සටහන්වලට බෙහෙවින්ම ස්තූතියි සිත් රූ.. ඔබට.

      Delete
  4. ඇත්තටම ‍මෙතෙක් “අබේ” මහත්මයා ගැන දැන නොසිටි ‍වැදගත් කරුණු රාශියක් ඔයා අපිට දුන්නා. ස්තුතියි. ආ.....අර “මගෙ කූඩුවට ඇවිත් සල්ලාල පෙම්බරෙක්” ගීතය ගායනය කරන්නේ “ජයසිරි අමරසේකර” මහත්මයායි. ‍

    ReplyDelete
    Replies
    1. මලී..ට

      මලී මගේ උත්සාහයෙන් ඔබේ රසවින්දයනට යමක් එකතු වුණානම් ඒ මගේත් සතුටයි. අනෙක ජයසිරි අමරසේකර ගැයූ ගීතය ගැන මතක් කර තොරතුරු දුන්නාටත් හැමදාම වගේ සටහනක් තබා ගියාටත් ස්තුතියි.

      Delete
  5. පළමුව ඔබේ සාර්ථක උත්සාහයට සුභ පතනවා..මේ ලිපි පෙළෙන් බොහෝ දේ දැනගත්තා..
    නෑසුව ගී බොහොමයක් ඇසුවා..

    (මේ ලිපි පෙලට අදාල නැතත්)අද දවසේ සමහරක් ගී සාර්ථකයි නේද? ඔබට කතිකාවත ඇරඹිය හැකි නම් අපි දවසක ඒ ගැනත් කතා කරමු.

    ReplyDelete
    Replies
    1. රූ..සිරිනි ට

      ඇත්තෙන්ම නව පරපුරේ සාර්ථක නිර්මාන රැසක්ම බිහිවෙලා තියනවා. කසුන් කල්හාර, ඉන්ද්ර්චාප ලියනගේ, ඉමාන් පෙරේරා, චාමර, වැනි අය මෙන්ම "සෙන්ටිග්රේේඩ්ස්" කණ්ඩායමේ ඉතාමත් හොඳ නිර්මාණ තියෙනවා සාකාච්ඡාවකට බඳුන් විය යුතුයි කියලා හිතෙන.

      අනික මේ ලිපි මාලාව කියවපු සමහර අය මගෙන් පුද්ගලිකවම ඇහුවේ "උඹට පේන්නෙ ප්රනවීන ගායක ගායිකාවන්ගෙ නිර්මාණ විතරද?" කියලා.

      මාත් ඒක පිළිගන්නවා. "නූතන සංගීත පරපුර මොනවද කරන්නෙ කොහෙද යන්නෙ" කියලා ඉදිරියේ දි හොඳ සංවාදයක් ගොඩනගමු.


      ලියූ දේවල් අගයකරමින්, ඔබේ වටිනා කාලයෙන් බිඳක් වෙන්කර තැබූ සටහන්වලට බෙහෙවින්ම ස්තූතියි රූ.. ඔබට.

      Delete
  6. හැත්තෑව අසූව දශක සිංහල ගීතයේ විතරක් නෙවෙයි සිනමාවෙ, වේදිකා නාට්‍ය වගේම ගොඩක් සාහිත්‍ය ක්ෂේත්‍රවල ස්වර්ණමය යුගයක් වුණා. කොහොම වුණත් මට පුද්ගලිකව දැනෙන දෙයක් නම් සිංහල ගීත ක්ෂේත්‍රය හිනි පෙත්තටම නගින මේ අවධිය වන විට සිංහල කවියට තිබුණු තැන ටිකෙන් ටික පහතට ඇද වැටුණ කියල. විශිෂ්ඨතම කවීන් පවා ගීත රචකයන් ලෙස සම්භවය වීම මීට හේතුව වෙන්න ඇති.
    අබේවර්ධන බාලසූරිය නියෝජනය කලේ ජනප්‍රිය මාවත නෙවෙයි. ඒක නිසා ඔහුගේ ජනප්‍රියතාවය විහිදෙන්නෙ එක්තර ලක්ෂ්‍යක් දක්වා පමණයි. ඒක නිසාම තමයි බොහෝ වෙලාවට ගීත ක්ෂේත්‍රය ගැන කතා කරද්දි බොහෝ අයට ඔහුව අමතක වෙලා යන්නෙ. හැත්තෑව අසූව දශක වල ගුවන් විදුලි සරල ගී වලට වඩා මම හිතන්නෙ පොදු ජනතාව අතර බෙහෙවින් ජනප්‍රිය වුණේ චිත්‍රපට ගීතයි. අබේ වෘත්තීය මට්ටමේ චිත්‍රපට පසුබිම් ගායකයෙක් නොවුණ නිසාම ඔහුගේ ගීත සහ ජනප්‍රියත්වය පොදු රසිකයන් අතර පුඵල්ව පැතිරිලා නෑ.
    එසේම කලාකාරයෙක්ගෙ ප්‍රසිද්ධ දේශපාලනය විය යුත්තේ යම් නිශ්චිත කණ්ඩායමකට වෙන් නොකෙරුණ පොදු මහජනතාව නියෝජනය කිරීම ලෙස පුද්ගලිකව මා සිතන නමුත් අබේ, ප්‍රේමකීර්ති වැන්නන්ගේ ප්‍රතිපත්තිගරුක දේශපාලනය කොයි තරම් උසස්ද කියන එක අද කලාකරුවන්ගේ බොහෝමයක් දේශපාලන පරිසරයේ හැසිරෙන ආකාරය දකින විට නිතරම හිතට නැගෙන දෙයක්. ඔවුන් තමන් පිළිගත් දේශපාලනය තුළ ස්ථිරව රැඳී සිටි නමුත් පුද්ගලික ධනය, වරප්‍රසාද, තනතුරු වෙනුවෙන් ආත්මය විකුණූවන් නොවේ. එහෙත් එදා ඔවුන්ගේ දේශපාලනයට පහර ගැසූවන් අද රැඳී සිටින තැන මොකක්ද කියන එක ඔවුන්ට නොපෙණුනත් අපට පෙනේ.

    බෙහෙවින්ම ස්තූතියි අදත් ඔබෙන් ලබා ගත් ගීත කිහිපයට සහ අබේවර්ධන බාලසූරිය මහතා ගැන මේ අවසන් සටහනට.

    ReplyDelete
    Replies
    1. @...outsider

      හැත්තෑව අසව දශකවල චිත්‍රපට ගීයේ පිබිදීම නිසා ගීත ක්ෂේත්‍රය තුළත් වෙනස්කම් සිදු වුණා ඔබ හරි. මහගම සේකර, දයාසේන ගුණසිංහ, පරාක්‍රම කොඩිතුවක්කු බණුඩාර කේ විජේතුංග වගේ කවීන් පවා ගිත රචනයට ආවා මේ යුගයේ.

      අබේ ජනප්‍රිය මාවත හඹාගියේ නැති වුණාට ඔහුට තිබුණ හැකියාව සහ හඬත්, තොරාගත් පදමාලා ගිතනු, නිසා ඒවා ඒ යුගයේ ජනප්‍රිය වූවා පමණක් නොවේ සදාකාලික ගිත බවට පත්වුණා.

      ලියූ දේවල් අගයකරමින්, ඔබේ වටිනා කාලයෙන් බිඳක් වෙන්කර තැබූ සටහන්වලට බෙහෙවින්ම ස්තූතියි ඔබට.

      Delete
  7. බොහොම වටිනා තොරතුරු කාරණා බොහෝමයක් සමඟ කොටස් වශයෙන් ලියැවුනු ඔබගේ මේ ලිපි පෙළ අවසන් කරල තියෙන විදිහ බොහොම සංවේදී... දිගට ගෙනාපු ලස්සන කතාවක් කඳුළක් තියල නිමා කරල.ගායකයා අද ජීවතුන් අතර නැති බවක් ලිපි පෙල කියවාගෙන යෑමේදි නොදැනුන තරම් . ඒකම අවසානයේ දී සංවේදි වුනේ ඒ නිසාම වෙන්න ඇති.ඔබ මේ කරන්නේ බොහොම වටිනා සමාජ සත්කාරයක් ....

    ReplyDelete
    Replies
    1. සොඳුරු සිතට..

      මාසයක් තිස්සෙ කොටස් වශයෙන් කියෙව්වත් මේක ලිව්වෙ එක දවසින්. දිග වැඩි නිසා කොටස් කළා. ඇත්තටම මේ වගේ ශිල්පීන් සදා අමරණීයයි. සමහර වෙලාවට ඔවුන් මියගිහින් කියල හිතෙන්නෙවත් නැත්තේ ඒ නිර්මාණ අපේ ජීවිත වලට බද්ධවෙලා තියන නිසා.

      අනික මට මේක සමාජ සත්කාරයකයට වඩා ජීවිතේ කිසිදාක අගැයුමක් නොලැබූ ශිල්පියෙකු වෙනුවෙන් මා දැක්වූ සංවේදීකමක්.ඒ බව මේක කියවු බොහෝදෙනාට දැනිල තිබුණා.එහෙම ශිල්පීන් දැක්කාම ඔවුන් ගැන නොලියා ඉන්න බැරිකමක් මට තියෙනවා.

      බ්ලොග් අවකාශයේ සුන්දරම ලේඛිකාවක් අහම්බෙන් හෝ ඇවිත් සටහනක් දාලා තියනවා දැක්කාමත් සතුටක් දැණුනා.

      මගේ උත්සාහය අගයකරමින්, ඔබේ වටිනා කාලයෙන් බිඳක් වෙන්කර අහම්බෙන් ඇවිත් තැබූ සටහනට බෙහෙවින්ම ස්තූතියි

      Delete
  8. අහම්බෙන් වගේ ගොඩවැදුන මම ලිපි පෙලම කියෙව්වා... ඉතාම රසවත්... ඉදිරියටත් මේ වගේ ලිපි ලියන මෙන් ඔබතුමාගෙන් ඉල්ලනව....

    ReplyDelete
  9. තොටියා ට

    ඔබේ පැමිණීම ආඩම්බරයක්. ඒ වගේම සාදරයෙන් පිලිගන්නවා. ස්තූතියි ඔබේ අගැයුමට.දිගටම මේ පුත්තට ඉඩ ඇති වෙලාවල්වල එන්න. කලාවේ සහ රස වින්දනයේ සොඳුරුතම නවාතැන්පොළක් වේවි මේ අස්වැන්න.

    ReplyDelete
  10. අදත් මම පරක්කුයි... කමක් නැහැ... ඇත්තෙන්ම මේ ලිපි පෙළ හරහා ඔබ සමාජයට දෙන පණිවිඩය ඉතා වැදගත්... මා ඉපදෙන්නේ 90 දශකය ආරම්භක අවධියේ.. ඊටත් එහා කාලයට අප කැඳවා ගෙන ගොස් මියුරු සංගීතයේ අප අතරමං කිරීම වෙනුවෙන් ඔබට මගේ ස්තුතිය...

    නූතන සංගීතය පිලිබඳ මෙවැනිම හරවත් ලිපි පෙළක් ඔබ අතින් ඉදිරියට ලියවෙවා කියා ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
  11. අන්තිමටම ඇවිත් නිවාඩුපාඩුවේ කියවලා ගියාටත් වටිනා කාලයෙන් බිඳක් වෙන්කර සටහනක් තැබුවාටත් බෙහෙවින්ම ස්තුතිතයි

    ReplyDelete
  12. මියුරු සංගීතය ගැන අපූරුවම ලිපියක් කියෙවුවා....බොහොම ස්තුතියි ඔබට..කාලෙකින් මේ පැත්තෙ ආවෙ....

    ReplyDelete
  13. අස්වැන්න නෙලා ගන්න අදමයි මේ පැත්තට ‍ගොඩ වැදුණෙ... තවමත් මම බ්ලොග් ලෝකය හඳුනගනිමින් ඉන්නවා.... අබේවර්ධන , නිරංජලා ‍යුවළගෙ ගීතවලට ගොඩක්ම ආස නිසා මුලින්ම බැලුවෙ ඒ ලිපිය... කොයි තරම් වටින ලිපිපෙළක්ද? හරිම සතුටුයි .. මේ වගේ අර්ථවත් වටින බ්ලොග් එකක් දකින්න ලැබුණට....
    ළමා, නව යොවුන් පිරිසට රස වින්දන වැඩසටහන් කරන්න අවස්ථා ලැබෙනවා මට... සමාජ සේවා කටයුත්තක යෙදිල ඉන්න නිසා... ගීත රස වින්දනය ගැන කතා කරද්දි සන්සන්දනාත්මකව ගීත අරගෙන කතා කරනවා... තාත්තා ගැන ගීත අතරින් '' පියාණනී මා නැවත උපන්නොත්...'' එක්ක '' තාත්ත මට ඇනපු ටොක්ක '' තමයි ගන්නෙ...
    සංයමයක් ඇතිව, විනයක් ඇතිව, භාවනාවක් වගේ විඳින්න පුළුවන් ගීත සාගරයක් අබේවර්ධන බාලසූරිය කියන්නෙ.... වටින කරුණු ගොඩක් දැන ගත්තා ආදරය කරන කලාකරුවෙක් ගැන... ඔබට බොහොමත්ම ස්තූතියි...
    ඉදිරියෙදි දිගටම අස්වැන්න නෙළා ගන්න මේ ‍පැත්තෙ නිතර ගොඩවදින්නයි මගේ අදහස....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...