රිදී නිම්නයේ හමු වූ සංගීත ගුරුතුමා
"සුවහසක් සවන් යුග ප්‍රීතියෙන් උදම් වේවා" යනුවෙන් "ස" ප්‍රංගයේ සමාප්තිය පිලිබඳව මා තැබූ ඒ සටහන කොටස් දෙක තුනකට කඩා පළ කළේ නම් එහි වූ වටිනාකම හෝ එයින් ලැබිය යුතු රසය නො ලැබී යනව එසේ වීම වළක්වා ගැනීම මූලික ම අරමුණ වූ නිසා ඒ දීර්ඝ ලිපිය ඒ විදියට ම ලියන්න සිදු වුණි.
ඒක එහෙම වුණත් අද අස්වැන්නෙන් ලියන්න යන්නෙ වික්ටර් රත්නායකයන්ගේ "ස" ප්‍රසංගය පිලිබඳව නම් නොවෙයි. ඒත් එහෙම නොවුනත් අද අස්වැන්න සටහනත් ආචාර්ය වික්ටර් රත්නායකයන් සහ ඔහුගෙ "ස" ප්‍රසංගයට සෘජුවම නැතත් වක්‍රව යම් සම්බන්ධයක් තියෙනව. මේ අදහස ලියන්න හේතු වුණෙත් වික්ටර්ගෙ "ස" ප්‍රසංගයම තමයි.
එදා 1973 දී වික්ටර්ට “ස” ප්‍රසංගයේ අත්වැල් ගායනයෙන් දායක වූ රෝහණ වීරසිංහ, සුනිල් එදිරිසිංහ, ලක්ෂ්මන් විජේසේකර, බන්දුල විජේවීර, එඩ්වඩ් ජයකොඩි, ආනන්ද වීරසිරි, නිර්මලා රණතුංග, ඉන්දීවරී අබේවර්ධන ආදී පිරිස හතළිස් වසරකට පසු පසුගිය ජූලි 20 වෙනි සිකුරාදාත් වික්ටර්ට අත්වැල් ගායනයෙනන් සහය වුණා. මේ සියලු දෙනා අද දවසේ ප්‍රවීන ශිල්පීන් වුවද, එදා පළමු ප්‍රසංගයේ මෙන්ම ඒ අවසන් රාත්‍රියේද වික්ටර්ට අත්වැල් ගායනය කරමින් රසික සිත් ආනන්දයෙන් ප්‍රමුදිත කළේ ඔවුන් තුළ තිබූ ඒ නිහතමානීත්වයට කියලයි මට හිතෙන්නෙ.
වික්ටර් රත්නායකයන් එදා අවසන් "ස' ප්‍රසංගයෙදි කිව්වෙ එදා 1973 දි පළමු ප්‍රසංගයේ අත්වැල සැපයූ තරුණ ගැටව් ටික අදත් අන්තිම වතාවට ඒ වේදිකාව මතදිම දකින්නට ලැබීමත් ඒ ශිල්පීන් අද සංගිත ක්ෂේත්‍රයේ සිටින තැන අනුව ගුරුවරයෙක් නොවුනත් ඔවුන්ගේ ගමන් මග පිළිබඳව තමන්ද නිහතමානීව සතුටු වන බවයි.
මේ කතාව මේ තරම් දුරක් ඇදගෙන ආවෙ එදා වික්ටර්ට අත්වැල් ගායනයෙන් සහය වූ ශිල්පීන් අතර සිටි බන්දුල විජේවීර ගායන ශිල්පියා සහ ඔහුගේ ගීත අද අස්වැන්න තුලින් කතා බහට ලක්වන නිසා.

ඒත් බන්දුල විජේවීර ගායන ශිල්පියාගෙ මියුරුතම ගීත සියල්ලම ගුවන් විදුලියට පමණක් සීමා වෙන්නෙ ඔහු ජනප්‍රිය මාවතෙන් ඈත්ව සිටි නිසා. ලංකාවෙ කැසට් නිෂ්පාදනය බිහිවූ මුල් යුගයේම කැසට් එකක් හෝ දෙකක් නිකුත් කළ බව යාන්තමට මතකයක් ඇත. අනතුරුව රෝහණ බැද්දගේ සමග කණ්ඩායම් සංගීතයට ගැයූ ගී එකතුවක් නිකුත් කර තිබුණි.
බන්දුල විජේවීර ගායනයට පිවිසෙන්නෙ අමරදේවයන්ගේ සහ වික්ටර් රත්නායකයන්ගේ ගීත සඳහා අත්වැල් ගායන ශිල්පියෙකු ලෙසින්. ඒ අත්දැකීම් ඔහු විශිෂ්ඨ ගායකයෙකු කිරීමට ඉවහල් වූවා විය හැකිය. වික්ටර් රත්නායකයන් තමන්ට අත්වැල් ගායනයෙන් දායක වූ හැම ශිල්පියෙකුටම ඔහු තමන්ටම හදාගත් ගී තනු ඒ නවකයන්ට ගායනා කරන්න අවස්ථාව ලබා දුන්නේ කිසිම ලෝබ කමක් නැතිව.
ඒ විදියට අත්වැල් ගායනයෙන් දායක වූ සුනිල් එදිරිසිංහට "මාතර ආච්චි " චිත්‍රපටයේ "සඳකඩ පහණක කැටයම් ඔපලා" ගීතය ගයන්න අවස්ථාවක් ලබා දෙන්නෙත් වික්ටර් රත්නායක. ඒ පිලිබඳව ඉතා අගනා විස්තරයක් "තොටුපොළ අයිනේ" ලියන අපගේ සහෘද හිත මිතුරු "තොටියාණන්" ලියල තිබුණා.
ඒ විදියටම වික්ටර් රත්නායක තමන් සංගිතවත් කළ "හුලවාලි" චිත්‍රපටයේ හොඳම පසුබිම් ගීතය ගයන්න අවස්ථාව ලබා දෙනේනෙ බන්දුල විජේවීරට. ඒ ගීතය බන්දුල විජේවීරගේ පළමු ගිතය වගේම පළමු චිත්‍රපට පසුබිම් ගීතය ද වුණා. මේ ගීතය නිසාම චිත්‍රපටය වගේම බන්දුල විජේවීර නම් වූ ගායන ශිල්පියාද අතිශයින්ම ජනප්‍රිය මේ ගීතයෙන්.
කුල ගෙදරින් දුම්බර කඳුවැටියේ
කැන්දං එනවා දුම්බර මැණිකේ
මනුකුල සිරිතට පතිකුලයට අද
කැන්දං එනවා දුම්බර මැණිකේ
වන - ලන්දෙ හැංගුණු මූණු පොඩ්ඩක්
කෝල වෙයි ගම්මණ්ඩියේ
ගහ -වැල් පිපී සුවඳින් පිරී අද
පෙම් කෙලී වැව් කණ්ඩියේ
වාසනාවං - හරි වාසනාවං
දඹ - රත්තරං හැඩදා සොඳින් කළ
රූපයක් ඇඹුමක් වගෙයි
ඔහෙ අස්වහක් නැත හෝ වහක් නැත
ආකහේ තරුවක් වගෙයි
වාසනාවං - හරි වාසනාවං
ගැයුම : බන්දුල විජේවීර
ගේය පද: මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගිතය: ආචාර්ය වික්ටර් රත්නායක
චිත්‍රපටය: හුලවාලි
චිත්‍රපට අධ්‍යක්ෂක: ඩබ්ලිව්.ඒ.බී. ද සිල්වා
රංගනය: ගාමිණි ෆොන්සේකා , මාලනී ෆොන්සේකා සහ ටෝනි රණසිංහ
තිරගත වූ වර්ෂය: 1974
තිරගත වූ වර්ෂය: 1974
" කුල ගෙදරින්" ගීතය මෙතනින් අහන්න
හුලවාලි චිත්‍රපටයට පසුබිම් වෙන්නෙ ලංකාවෙ රොඩී කුලය පිලිබඳ කතා පුවතක් කුල බෙදීම අපුර්වත්වයෙන් චිත්‍රපටයට ගොනු කරග තිබුණා. ඒ වගේම සුනිල් එදිරිසිංහත් හුලවාලි චිත්‍රපටයට ද ගීයක් ගයා තිබුණි. ඒ "කුඩා ගමේ මද්දහනේ අවු රශ්මිය දෙවා" ගීයයි.
හුලවාලි චිත්‍රපටයට පසුබිම් වෙන්නෙ ලංකාවෙ රොඩී කුලය පිලිබඳ කතා පුවතක් කුල බෙදීම අපුර්වත්වයෙන් චිත්‍රපටයට ගොනු කරග තිබුණා. ඒ වගේම සුනිල් එදිරිසිංහත් හුලවාලි චිත්‍රපටයට ද ගීයක් ගයා තිබුණි. ඒ "කුඩා ගමේ මද්දහනේ අවු රශ්මිය දෙවා" ගීයයි.
ඒ කොහොම වුනත් බන්දුල විජේවීර ගායන ශිල්පියෙක් වශයෙන් මටත් එක්තරා විශේෂයක් තියෙනවා. ඔහු සෞන්දර්යය විශ්ව විද්‍යාලයෙන් (හේවුඩ්) පිටව සංගීත ගුරුවරයෙක් විදියට පළමු පත්විම ලැබෙන්නෙ රජරටට. ඒ පත්වීම රජරටිනුත් ටිකක් ඈත දුෂ්කර ප්‍රදේශයක පිහිට රඹෑව මහා විද්‍යාලයට තමයි පළමු පත්වීම ලැබෙන්නෙ. ඒත් ටික දවසකින් ඔහුගෙ කලා කටයුතු වලට පහසුවක් වෙන්න ඔහුට ස්ථාන මාරුවක් ලැබෙන්නෙ රජරටම තිබුණු අපේ ඉස්කෝලෙට. ඒ අසූව දශකයේ ආරම්භක යුගය. බන්දුල විජේවීර සංගීත ගුරුවරයෙක් විදියට පත්වීමක් අරං අපේ ඉස්කෝලෙට ආව එක ඒ කාලෙ අපිට ලොකු ආඩම්බරයක්. මොකද ඒ වන විට ඔහු ලංකාවෙ ඉතාමත්ම ජනප්‍රිය ගායකයෙක් වෙලා හිටිය නිසාම දුෂ්කර ප්‍රදේශයක පිහිටි අපේ ඉස්කෝලෙ සංගීත ගුරුවරයා විදියට ඇවිත් ඉන්නවා කියන එක අපිට ලොකු ආඩම්බරයක්. ඒ විතරක් නෙවෙයි ඒ වෙන කොට මේ ගායන ශිල්පියා ගුරුවරයෙක් විදියට අපේ ඉස්කෝලෙට ඇවිල්ල ඉන්නවා කියන එක මුළු ගමේම උණුසුම් ප්‍රවෘත්තියක් වුණා.
ඒ යුගයෙ අද තරමට ගුවන් විදුලි නාලිකා තිබුනෙත් නැහැ. තිබුණ එකම එක ගුවන් විදුලිය ආණ්ඩුවේ ගුවන් විදුලිය, රූපවාහිනියත් එහෙමයි. ඒක බලන්නත් අහස උසට ඇන්ටනාවක් තියෙන්න ඕනෙ. රූපවාහිනිය ඒ තරම් ප්‍රචලිත මාධ්‍යයක් වෙලා නොතිබුණත් යාන්තමට වාගෙ ගමේම රූපවාහිනී දෙකතුනයි තිබුණෙ. ඒ කාලෙ එක රැයක නන්දන වින්දන වැඩසටහනකින් අපේ සංගීත සර් ගීයක් ගායනා කරන බව ඉස්කෝලෙ පුරාම ආරංචියක් පැතිරී ගියා. ඒ නිසාම මමත් ඒ කියපු දවසෙ අපේ සංගීත සර්ගේ ගීය බලන්න රූපවාහිනියක් තිබුණ ගෙදරක් හොයාගෙන ගියා. අපේ සංගීත සර් සිංදුවක් කියනව බලන්න ලැබෙන එකත් අපිට ලොකු ආඩම්බරයක් කියල හිතුණු හින්දා. යාන්තමට එදා රෑ කලු සුදු රූපවාහිනී තිරයේ නන්දන වින්දන වැඩ සටහනින් දැක්කෙ අපේ සංගීත සර්ගේ මෙන්න මේ ගීය.
හිත හීලෑ නෑ හරිම මුරණ්ඩුයි
තැන තැන ඇවිදිනවා
හිතෙන හිතෙන තැන නවතිනවා
හිත හීලෑ නෑ
හිත ඉගිලෙනවා කාශ්මීරයේ
සුදු හිම කඳු අතරේ
මා තනි වෙනවා පා යුග දවනා
නිරුදක වැලි කතරේ
මා සැතපෙනවා මා පිය ළඳගේ
මුදු උණුසුම් උකුළේ
හිත හිනැහෙනවා මා මඟ තොට දී
දුටු ළඳ මුව මඬලේ.
ගැයුම : බන්දුල විජේවීර
ගේය පද: මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගිතය: ආචාර්ය වික්ටර් රත්නායක
" හිත හීලෑ නෑ " ගීතය මෙතනින් අහන්න
අපේ අලුත් සංගිත ගුරුතුමා ඉස්කෝලෙට ආවට පස්සෙ වැඩි සිසු සිසුවියන් පිරිසක් යොමු වුණේ සංගීතය ඉගන ගන්න ඒ කාලෙ මට සෞන්දර්යය විෂය එපාම කරපු විෂය වූ නිසාම මට නම් අපේ සංගීත සර්ගෙන් සංගිතය හදාරන්න බැරිවුණා. එහෙම වෙච්ච එකත් එක අතකින් හොඳයි කියල අද හිතෙනවා.
අපේ අලුත් සංගිත ගුරුතුමා ඉස්කෝලෙට ආවට පස්සෙ වැඩි සිසු සිසුවියන් පිරිසක් යොමු වුණේ සංගීතය ඉගන ගන්න ඒ කාලෙ මට සෞන්දර්යය විෂය එපාම කරපු විෂය වූ නිසාම මට නම් අපේ සංගීත සර්ගෙන් සංගිතය හදාරන්න බැරිවුණා. එහෙම වෙච්ච එකත් එක අතකින් හොඳයි කියල අද හිතෙනවා.
මේ කාලෙ මාස දෙක තුනකට සැරයක් හොඳ රසවින්දනාත්මක සංගිත වැඩසටහනක්, හෙමත් නැත්නම් හොඳ වේදිකා නාට්‍යයක් නොවැරදීම ඉස්කෝලෙ පෙන්නුවා. ඒනිසාම ඉස්කෝලෙ ළමයින්ගේ රසවින්දනයත් ඉතාමත් ඉහළ මට්ටමකට තිබුණා. ඒ වගේම ඒ වන විටත් පාසල් ගීයක් නොතිබූ අපේ ඉස්කෝලෙට පාසල් ගීය නිර්මාණය කළෙත් අපේ මේ සංගීත ගුරුතුමා වීම විශේෂයක්. කාලය ගෙවිල ගියත් මම උසස් පෙළ පන්තියට එනකොට එතුමාත් අපේ ඉස්කෝලෙන් මාරුවෙලා තමන්ගෙම ගම වුණ කුරුණෑගලට අලව්ව මධ්‍ය මහා විද්‍යාලයට ගියා. ඒ වුණත් අවුරුදු හතක් අටක් විතර අපේ ඉස්කෝලෙ අපේ සංගීත ගුරුතුමා සේවය කරපු කාලෙ ගුවන් විදුලියට ගැයූ මේ වගේ ගීත තාමත් හිතයට හැංගිලා තියෙනවා කියල දැනෙන්නෙ ඉඳහිටල හරි ඇහෙන වෙලාවටයි.
සෙල් කුලේ මහා කලා නිකේතනේ මැවූ
ගල් තලේ පවා උදාන ගීතයන් ලියූ
ඒ උදාර පරපුරේ උදාන හඬ ඔබයි පුතේ
ඒ හඬින් උදම් වෙවි
ගයන්නෙමී යශෝ ගැයුම්
වැසි බිඳෙන් මහා තඩාග පෙළ නිමා කෙරූ
සාර වූ කෙතින් අසාර වූ පොළෝ වැසූ
ඒ උදාර පරපුරේ උදාන හඬ ඔබයි පුතේ
ඒ හඬින් උදම් වෙවි
ගයන්නෙමී යශෝ ගැයුම්
රණ බිමෙහි පවා මෙතින් රුපුන්ට අභය දී
විමුක්ති භූමියේ සටන් වැදී හිසත් පිදූ
ඒ උදාර පරපුරේ උදාන හඬ ඔබයි පුතේ
ඒ හඬින් උදම් වෙවි
ගයන්නෙමී යශෝ ගැයුම්
ගැයුම: බන්දුල විජේවීර
ගේය පද: ස්වර්ණ ශ්‍රී බණ්ඩාර
සංගීතය: රෝහණ වීරසිංහ
මේ වගේ දේශාභිමානී ගිත අද ඇහෙන්නෙ නැති ගානයි. මේ වගේ මියුරු ගිත ඉඳහිටල වත් ගුවන් විදුලි චැනල් එකකින් ප්‍රචාරය වෙනව නම් නූතන සංගිත පුරපුරත් ඉහළ රසාතලයක වඩා හිඳුවන්න හැකි වෙනව කියලයි මට හිතෙන්නෙ.
අනෙක් අතට ගායකයෙකුට තමන්ගෙ ගමන් මග හදාගන්න තිබුණ එකම මාර්ගය තමයි ගුවන් විදුලි මහගෙදර තිබුණ "සරල ගිත" වැඩසටහන්. අද යුගයෙ මුදල මතම යැපෙන ශිල්පින්ට මේක හොඳ ආදර්ශයක්. හැත්තෑව සහ අසූව දශකවල ගීයක් නිර්මාණය වුණේ ගායකයා, ගිත රචකයා සහ සංගිතඥයා යන තුන් දෙනාගේ ම සාමූහික ප්‍රයත්නයක් විදියට. එහෙම උනන්දුවෙන් නිර්මාණය කළ ගීතවල සදාකාලික බවක් රැඳිල තියෙන බවට මීළඟ ගීතයත් හොඳ නිදසුනක්.


එක්තරා දවසක බන්දුල විජේවීරට ලැබෙන ගුවන් විදුලි සරළ ගිත වැඩසටහනක් පටිතග කරන්න නියමිතව තිබුණෙ ඊට පසු දවසේ. ඒ වන විටත් එක ගීයක් අඩුවෙලා ගීත දෙකක ගී තනු නිර්මාණය කරමින් පූර්ව පෙරහුරු කරමින් ඉන්න මොහොතක ගීත රචකයෙක් වගේම ගුවන්විදුලියේ විශිෂ්ඨ නිවේදකයෙක්ව හිටිය කේ.ඩී.කේ. ධර්මවර්ධන ඒ වෙලාවෙ වික්ටර් රත්නායකයන්ගේ නිවසට පැමිණියා. බන්දුල විජේවීර තමන්ට ඊළඟ දවසේ පටිගත කිරිමට නියමිතව ඇති සරළ ගී වැඩ සටහන සඳහා ගීතයක් අඩු බව කියා කඩිනමින් ගීයක් ලියා දෙන ලෙස කේ.ඩී.කේ. ගෙන් ඉල්ලා සිටියත් ඒ මොහොතේ හදිස්සියේම ගිතයක් ලියන්න අදහසක් ගොනු කර ගැනිමට අපහසුව සිටි ඔහුගෙ දෑස ඒ නිවසේ මේසයක් මත තිබූ නවකතා පොතක් කෙරෙහි යොමුව තිබුණි. නව කතාව ලියා තිබුණේ කරුණාසේන ජයලත් ය. පොතේ නම "රිදී නිම්නය" දුටු විගස කේ.ඩී.කේ.ට නවකතාවේ ඇතුළත් වූ කතා පුවත වහා වැටහුණේ ඔහු එම නවකතාව ඊට පෙර කියවා තිබූ නිසාය. කේ.ඩී.කේ. එසැණින් කඩදාසියක ලිව්වේ මේ ගීයයි.
රිදී නිම්නය කඳුළු නිම්නය
ඔබය මගෙ ජීවිතයේ
නොදුටු නිම්නය ඔබය
මගෙ ජීවිතයේ
මී විතෙන් තොල් මත්ව යනවා
ඉන්ම හදවත සසල වෙනවා
නිසල සිතුවිලි විකල් වෙනවා
එයින් දිවියම සසල වෙනවා
කවුරු කවදා කෙලෙස කීවද
තඹුරු හිරු දුටු විගස නොපිපෙද
බඹරු වෙනසක් නැතිව සැරුවද
අපට හිමි සැනසුමක් කොහි වෙද..
ගැයුම: බන්දුල විජේවීර
ගේය පද: කේ.ඩී.කේ.ධර්මවර්ධන
සංගිතය: ආචාර්ය වික්ටර් රත්නායක
සරල ගී වැඩ සටහනින් පස්සේ ගීතය එක රැයින් ජනප්‍රිය විය. එය අදට ද එසේ ම ය. මෑත යුගයේ නම් මේ ගීය ගුවන් විදුලි මාධ්‍යයක් ඔස්සේ ප්‍රචාරය වූ බවක් මට මකත නැත. ඒ අපේ රටේ පිරිහෙමින් පවතින ගීත කලාවේ හැටි ය.
අපේ සංගීත ගුරුතුමා අපේ පාසලේ සිටි යුගයේ දී ඔහු ගැයු "මගෙ සුදු බෑණන්ඩි" , දෝත පුරා මුතු මාල ලතා, මමයි අනුරාපුරය, පුංචි කාලෙ අපි, අතුරු මිතුරු දඹදිවතුරු, සමුගන්න මොහොතකට පෙර එක වතාවක්, ආදී අද දවසේ නෑසෙන ගී රැසක්ම බිහි විය.
මා විෂයක් විදියට සංගිතය හැදෑරීම නොකලත්, පන්තියට ගුරුවරයෙක් නොපැමිනෙන මොහොතක් බලා තවත් දෙතුන් දෙනක් එක්ක හෙමිහිට රිංගන්නේ සංගිත කාමරය දෙසට ය. සර් අපි පසෙකට කැඳවා වාඩි විමට කියා සිරිත් පරිදි සිය සංගීත පාඩම් වල යෙදෙයි. ඔහුගේ අතැඟිලි තුඩු එහා මෙහා දුවන සර්පිනාව මට මහා විස්මකර්ම නිමැවුමකි. විටෙක ජසයා සහ ලෙංචිනා නාට්‍යයේ ජසයාගේ ගියක් ළමුන්ට කියා දෙයි. තවත් විටෙක නරි බෑණා නාට්‍යයේ ගීයකි. තවත් විටෙක "දන්න වංහු අපි කන්න සාමි රාජ ධුරයේ" වැනි නූර්තියක ගීයක් ගයා පෙන්වයි. එසේත් නැත්නම් "පරංගි හටන් කවියකි" මුළු සංගීත පන්ති කාමරය එකම රස ගුලාවකි. ගායන ශිල්පියෙකුගේ මුවින් ඔහු ආසන්නයේ හිඳගෙන එවන් ගී මිහිරක් විඳින්නට තරම් වාසනාවක් තිබුනා යැයි සිතෙන්නේ දැන් ය. ගුරුවරයෙක් වුවද විෂය නිර්දේශයට පමණක් සිමා නොවී ඒ විෂය නිර්දේශයෙන් බාහිරව ඔනෑම කෙනෙකුට සිය රසවින්දනයට ඉවහල් කරගත හැකි යමක් කියා දුන් ඒ යුගය ඔහුගේ සංගිතයෙන් මුලු පාසලම පිරීතිරී තිබුණ බව හැඟේ. එසේ හැඟෙන්නේ අපේ පාසල් සමයේ ඔහු ගැයූ මෙවන් ගීයක් හිතේ දැවටෙන විට ය.
දෙපා නගන්නට හිත නැතුවා
පෙම් විමන් මෙසේ බිඳ දා
මගේ ලොවේ හිරු සඳු නිවිලා
තරු රැයේ කඳුළු සැලුවා
කිසිවකු නෑ හදවත නිවනා
ඔබ හැර මා සොයනා
කිසිදින මා සිත ඔබ දැක නෑ
හදවත නෑ හඳුනා
ඔබෙ සෙනෙහස මට හිමි නෑ
තනිකම මා ළඟ තනි වෙනවා
මා තනිවන යාමේ
රෑ සිහිනෙන් හමුවී ආයේ
ඔබ මා වෙන් වෙනවා
මා යළි මෙහි තනි වෙනවා
ගැයුම: බන්දුල විජේවීර
ගේය පද: කුමාරදාස සපුතන්ත්‍රී
සංගිතය: රෝහණ වීරසිංහ.
වික්ටර් රත්නායකයන්ගේ "ස" ප්‍රසංගයේ සමාප්තියේ වික්ටර්ට අත්වැල් ගායනයෙන් දායක වූ ඔහු පිළිබඳ මගේ මතකය අවදි කළේ ඒ අයුරිනි. එදා අප පාසලේ මා දුටු ඔහුගේ රුව කිසිදු වෙනසක්ව නැත. ගායනයද එසේ ම ය. බන්දුල විජේවීර අපේ පාසලෙන් සමුගත්තද ඉන්පසු අවස්ථා ගණානාවකදි ඔහු මට හමුවිය. ඒ සැම මොහොතකම ඒ අතීතය සිහිපත් කල විට "උඹ සංගිතය ඉගනගත්තෙ නැත්තේ අපේ වාසනාවට" යැයි කියා ඔහු ඒ මියුරු අතීතය පිළිබඳව සිනාසුනි.
මේ ගායන ශිල්පියා අප මතකයෙන් කොතරම් බැරව සිටිද කිවහොත් ඔහුගේ ඡායාරූපයක් සොයාගැනිම පවා අපහසු විය. ෴
ඔබේ වටිනා කාලය බිදක් වැය කර ගී රස විඳිමින් කියෙව්වාට ස්තූතියි. වෙලාවක් ඇත්නම් ඔබේ විචාරාත්මක අදහසත් මෙහි ලියා තබන්න.