රිදී නිම්නයේ හමු වූ සංගීත ගුරුතුමා
"සුවහසක් සවන් යුග ප්‍රීතියෙන් උදම් වේවා" යනුවෙන් "ස" ප්‍රංගයේ සමාප්තිය පිලිබඳව මා තැබූ ඒ සටහන කොටස් දෙක තුනකට කඩා පළ කළේ නම් එහි වූ වටිනාකම හෝ එයින් ලැබිය යුතු රසය නො ලැබී යනව එසේ වීම වළක්වා ගැනීම මූලික ම අරමුණ වූ නිසා ඒ දීර්ඝ ලිපිය ඒ විදියට ම ලියන්න සිදු වුණි.
ඒක එහෙම වුණත් අද අස්වැන්නෙන් ලියන්න යන්නෙ වික්ටර් රත්නායකයන්ගේ "ස" ප්‍රසංගය පිලිබඳව නම් නොවෙයි. ඒත් එහෙම නොවුනත් අද අස්වැන්න සටහනත් ආචාර්ය වික්ටර් රත්නායකයන් සහ ඔහුගෙ "ස" ප්‍රසංගයට සෘජුවම නැතත් වක්‍රව යම් සම්බන්ධයක් තියෙනව. මේ අදහස ලියන්න හේතු වුණෙත් වික්ටර්ගෙ "ස" ප්‍රසංගයම තමයි.
එදා 1973 දී වික්ටර්ට “ස” ප්‍රසංගයේ අත්වැල් ගායනයෙන් දායක වූ රෝහණ වීරසිංහ, සුනිල් එදිරිසිංහ, ලක්ෂ්මන් විජේසේකර, බන්දුල විජේවීර, එඩ්වඩ් ජයකොඩි, ආනන්ද වීරසිරි, නිර්මලා රණතුංග, ඉන්දීවරී අබේවර්ධන ආදී පිරිස හතළිස් වසරකට පසු පසුගිය ජූලි 20 වෙනි සිකුරාදාත් වික්ටර්ට අත්වැල් ගායනයෙනන් සහය වුණා. මේ සියලු දෙනා අද දවසේ ප්‍රවීන ශිල්පීන් වුවද, එදා පළමු ප්‍රසංගයේ මෙන්ම ඒ අවසන් රාත්‍රියේද වික්ටර්ට අත්වැල් ගායනය කරමින් රසික සිත් ආනන්දයෙන් ප්‍රමුදිත කළේ ඔවුන් තුළ තිබූ ඒ නිහතමානීත්වයට කියලයි මට හිතෙන්නෙ.
වික්ටර් රත්නායකයන් එදා අවසන් "ස' ප්‍රසංගයෙදි කිව්වෙ එදා 1973 දි පළමු ප්‍රසංගයේ අත්වැල සැපයූ තරුණ ගැටව් ටික අදත් අන්තිම වතාවට ඒ වේදිකාව මතදිම දකින්නට ලැබීමත් ඒ ශිල්පීන් අද සංගිත ක්ෂේත්‍රයේ සිටින තැන අනුව ගුරුවරයෙක් නොවුනත් ඔවුන්ගේ ගමන් මග පිළිබඳව තමන්ද නිහතමානීව සතුටු වන බවයි.
මේ කතාව මේ තරම් දුරක් ඇදගෙන ආවෙ එදා වික්ටර්ට අත්වැල් ගායනයෙන් සහය වූ ශිල්පීන් අතර සිටි බන්දුල විජේවීර ගායන ශිල්පියා සහ ඔහුගේ ගීත අද අස්වැන්න තුලින් කතා බහට ලක්වන නිසා.
රසිකයන් බොහෝ දෙනෙක් බන්දුල විජේවීර හඳුනාගන්නෙ රෝහන බැද්දගේ - බන්දුල විජේවීර සුසංයෝගයෙන් බිහිවූ "මාමයි බෑණයි" ප්‍රහසන ගිත කලාවෙන්. "මගෙ සුදු බෑණන්ඩිට බුද්ධං සරණේ සරණයි" ගීතය ලැබූ අතිශය ජනප්‍රියත්වය ඊට හේතු වන්නට ඇති. ඒ කොහොම වුණත් බන්දුල විජේවීර ගායනයට පිවිසෙන කාලසිමාව තුල දිම ඔහු වේදිකා නාට්‍ය ශිල්පියෙක් විදියටත් රංගනයෙන් සහ ගායනයෙන් දායක වෙනව. වේදිකා නාට්‍ය මගින් ලැබූ ප්‍රතිභාව නිසාම ඔහු පසු කාලෙක සිංහල සිනමාවටත්, ටෙලි නට්‍ය සදහාත් සිය දායකත්වය ලබා දෙන්නෙ හාස්‍යයෝත්පාදක රංගන ශිල්පියෙකු ලෙසින්. දයානන්ද ගුණවර්ධනයන්ගෙ නරි බෑණා, ජයසයා සහ ලෙංචිනා. මධුර ජවනිකා, ආනන්ද ජවනිකා, ඇතුළු වේදිකා නාට්‍ය ගනනාවක් ඔහුගේ රංගනය සහ ගායනවෙන් ආලෝකමත් වෙන්නෙ ඔහු සතුව තිබූ මේ අසාමාන්‍ය ගායන සහ රංගන ප්‍රතිභාව නිසා.
ඒත් බන්දුල විජේවීර ගායන ශිල්පියාගෙ මියුරුතම ගීත සියල්ලම ගුවන් විදුලියට පමණක් සීමා වෙන්නෙ ඔහු ජනප්‍රිය මාවතෙන් ඈත්ව සිටි නිසා. ලංකාවෙ කැසට් නිෂ්පාදනය බිහිවූ මුල් යුගයේම කැසට් එකක් හෝ දෙකක් නිකුත් කළ බව යාන්තමට මතකයක් ඇත. අනතුරුව රෝහණ බැද්දගේ සමග කණ්ඩායම් සංගීතයට ගැයූ ගී එකතුවක් නිකුත් කර තිබුණි.
බන්දුල විජේවීර ගායනයට පිවිසෙන්නෙ අමරදේවයන්ගේ සහ වික්ටර් රත්නායකයන්ගේ ගීත සඳහා අත්වැල් ගායන ශිල්පියෙකු ලෙසින්. ඒ අත්දැකීම් ඔහු විශිෂ්ඨ ගායකයෙකු කිරීමට ඉවහල් වූවා විය හැකිය. වික්ටර් රත්නායකයන් තමන්ට අත්වැල් ගායනයෙන් දායක වූ හැම ශිල්පියෙකුටම ඔහු තමන්ටම හදාගත් ගී තනු ඒ නවකයන්ට ගායනා කරන්න අවස්ථාව ලබා දුන්නේ කිසිම ලෝබ කමක් නැතිව.
ඒ විදියට අත්වැල් ගායනයෙන් දායක වූ සුනිල් එදිරිසිංහට "මාතර ආච්චි " චිත්‍රපටයේ "සඳකඩ පහණක කැටයම් ඔපලා" ගීතය ගයන්න අවස්ථාවක් ලබා දෙන්නෙත් වික්ටර් රත්නායක. ඒ පිලිබඳව ඉතා අගනා විස්තරයක් "තොටුපොළ අයිනේ" ලියන අපගේ සහෘද හිත මිතුරු "තොටියාණන්" ලියල තිබුණා.
ඒ විදියටම වික්ටර් රත්නායක තමන් සංගිතවත් කළ "හුලවාලි" චිත්‍රපටයේ හොඳම පසුබිම් ගීතය ගයන්න අවස්ථාව ලබා දෙනේනෙ බන්දුල විජේවීරට. ඒ ගීතය බන්දුල විජේවීරගේ පළමු ගිතය වගේම පළමු චිත්‍රපට පසුබිම් ගීතය ද වුණා. මේ ගීතය නිසාම චිත්‍රපටය වගේම බන්දුල විජේවීර නම් වූ ගායන ශිල්පියාද අතිශයින්ම ජනප්‍රිය මේ ගීතයෙන්.
කුල ගෙදරින් දුම්බර කඳුවැටියේ
කැන්දං එනවා දුම්බර මැණිකේ
මනුකුල සිරිතට පතිකුලයට අද
කැන්දං එනවා දුම්බර මැණිකේ
වන - ලන්දෙ හැංගුණු මූණු පොඩ්ඩක්
කෝල වෙයි ගම්මණ්ඩියේ
ගහ -වැල් පිපී සුවඳින් පිරී අද
පෙම් කෙලී වැව් කණ්ඩියේ
වාසනාවං - හරි වාසනාවං
දඹ - රත්තරං හැඩදා සොඳින් කළ
රූපයක් ඇඹුමක් වගෙයි
ඔහෙ අස්වහක් නැත හෝ වහක් නැත
ආකහේ තරුවක් වගෙයි
වාසනාවං - හරි වාසනාවං
ගැයුම : බන්දුල විජේවීර
ගේය පද: මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගිතය: ආචාර්ය වික්ටර් රත්නායක
චිත්‍රපටය: හුලවාලි
චිත්‍රපට අධ්‍යක්ෂක: ඩබ්ලිව්.ඒ.බී. ද සිල්වා
රංගනය: ගාමිණි ෆොන්සේකා , මාලනී ෆොන්සේකා සහ ටෝනි රණසිංහ
තිරගත වූ වර්ෂය: 1974
තිරගත වූ වර්ෂය: 1974
" කුල ගෙදරින්" ගීතය මෙතනින් අහන්න
හුලවාලි චිත්‍රපටයට පසුබිම් වෙන්නෙ ලංකාවෙ රොඩී කුලය පිලිබඳ කතා පුවතක් කුල බෙදීම අපුර්වත්වයෙන් චිත්‍රපටයට ගොනු කරග තිබුණා. ඒ වගේම සුනිල් එදිරිසිංහත් හුලවාලි චිත්‍රපටයට ද ගීයක් ගයා තිබුණි. ඒ "කුඩා ගමේ මද්දහනේ අවු රශ්මිය දෙවා" ගීයයි.
හුලවාලි චිත්‍රපටයට පසුබිම් වෙන්නෙ ලංකාවෙ රොඩී කුලය පිලිබඳ කතා පුවතක් කුල බෙදීම අපුර්වත්වයෙන් චිත්‍රපටයට ගොනු කරග තිබුණා. ඒ වගේම සුනිල් එදිරිසිංහත් හුලවාලි චිත්‍රපටයට ද ගීයක් ගයා තිබුණි. ඒ "කුඩා ගමේ මද්දහනේ අවු රශ්මිය දෙවා" ගීයයි.
ඒ කොහොම වුනත් බන්දුල විජේවීර ගායන ශිල්පියෙක් වශයෙන් මටත් එක්තරා විශේෂයක් තියෙනවා. ඔහු සෞන්දර්යය විශ්ව විද්‍යාලයෙන් (හේවුඩ්) පිටව සංගීත ගුරුවරයෙක් විදියට පළමු පත්විම ලැබෙන්නෙ රජරටට. ඒ පත්වීම රජරටිනුත් ටිකක් ඈත දුෂ්කර ප්‍රදේශයක පිහිට රඹෑව මහා විද්‍යාලයට තමයි පළමු පත්වීම ලැබෙන්නෙ. ඒත් ටික දවසකින් ඔහුගෙ කලා කටයුතු වලට පහසුවක් වෙන්න ඔහුට ස්ථාන මාරුවක් ලැබෙන්නෙ රජරටම තිබුණු අපේ ඉස්කෝලෙට. ඒ අසූව දශකයේ ආරම්භක යුගය. බන්දුල විජේවීර සංගීත ගුරුවරයෙක් විදියට පත්වීමක් අරං අපේ ඉස්කෝලෙට ආව එක ඒ කාලෙ අපිට ලොකු ආඩම්බරයක්. මොකද ඒ වන විට ඔහු ලංකාවෙ ඉතාමත්ම ජනප්‍රිය ගායකයෙක් වෙලා හිටිය නිසාම දුෂ්කර ප්‍රදේශයක පිහිටි අපේ ඉස්කෝලෙ සංගීත ගුරුවරයා විදියට ඇවිත් ඉන්නවා කියන එක අපිට ලොකු ආඩම්බරයක්. ඒ විතරක් නෙවෙයි ඒ වෙන කොට මේ ගායන ශිල්පියා ගුරුවරයෙක් විදියට අපේ ඉස්කෝලෙට ඇවිල්ල ඉන්නවා කියන එක මුළු ගමේම උණුසුම් ප්‍රවෘත්තියක් වුණා.
ඒ යුගයෙ අද තරමට ගුවන් විදුලි නාලිකා තිබුනෙත් නැහැ. තිබුණ එකම එක ගුවන් විදුලිය ආණ්ඩුවේ ගුවන් විදුලිය, රූපවාහිනියත් එහෙමයි. ඒක බලන්නත් අහස උසට ඇන්ටනාවක් තියෙන්න ඕනෙ. රූපවාහිනිය ඒ තරම් ප්‍රචලිත මාධ්‍යයක් වෙලා නොතිබුණත් යාන්තමට වාගෙ ගමේම රූපවාහිනී දෙකතුනයි තිබුණෙ. ඒ කාලෙ එක රැයක නන්දන වින්දන වැඩසටහනකින් අපේ සංගීත සර් ගීයක් ගායනා කරන බව ඉස්කෝලෙ පුරාම ආරංචියක් පැතිරී ගියා. ඒ නිසාම මමත් ඒ කියපු දවසෙ අපේ සංගීත සර්ගේ ගීය බලන්න රූපවාහිනියක් තිබුණ ගෙදරක් හොයාගෙන ගියා. අපේ සංගීත සර් සිංදුවක් කියනව බලන්න ලැබෙන එකත් අපිට ලොකු ආඩම්බරයක් කියල හිතුණු හින්දා. යාන්තමට එදා රෑ කලු සුදු රූපවාහිනී තිරයේ නන්දන වින්දන වැඩ සටහනින් දැක්කෙ අපේ සංගීත සර්ගේ මෙන්න මේ ගීය.
හිත හීලෑ නෑ හරිම මුරණ්ඩුයි
තැන තැන ඇවිදිනවා
හිතෙන හිතෙන තැන නවතිනවා
හිත හීලෑ නෑ
හිත ඉගිලෙනවා කාශ්මීරයේ
සුදු හිම කඳු අතරේ
මා තනි වෙනවා පා යුග දවනා
නිරුදක වැලි කතරේ
මා සැතපෙනවා මා පිය ළඳගේ
මුදු උණුසුම් උකුළේ
හිත හිනැහෙනවා මා මඟ තොට දී
දුටු ළඳ මුව මඬලේ.
ගැයුම : බන්දුල විජේවීර
ගේය පද: මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගිතය: ආචාර්ය වික්ටර් රත්නායක
" හිත හීලෑ නෑ " ගීතය මෙතනින් අහන්න
අපේ අලුත් සංගිත ගුරුතුමා ඉස්කෝලෙට ආවට පස්සෙ වැඩි සිසු සිසුවියන් පිරිසක් යොමු වුණේ සංගීතය ඉගන ගන්න ඒ කාලෙ මට සෞන්දර්යය විෂය එපාම කරපු විෂය වූ නිසාම මට නම් අපේ සංගීත සර්ගෙන් සංගිතය හදාරන්න බැරිවුණා. එහෙම වෙච්ච එකත් එක අතකින් හොඳයි කියල අද හිතෙනවා.
අපේ අලුත් සංගිත ගුරුතුමා ඉස්කෝලෙට ආවට පස්සෙ වැඩි සිසු සිසුවියන් පිරිසක් යොමු වුණේ සංගීතය ඉගන ගන්න ඒ කාලෙ මට සෞන්දර්යය විෂය එපාම කරපු විෂය වූ නිසාම මට නම් අපේ සංගීත සර්ගෙන් සංගිතය හදාරන්න බැරිවුණා. එහෙම වෙච්ච එකත් එක අතකින් හොඳයි කියල අද හිතෙනවා.
මේ කාලෙ මාස දෙක තුනකට සැරයක් හොඳ රසවින්දනාත්මක සංගිත වැඩසටහනක්, හෙමත් නැත්නම් හොඳ වේදිකා නාට්‍යයක් නොවැරදීම ඉස්කෝලෙ පෙන්නුවා. ඒනිසාම ඉස්කෝලෙ ළමයින්ගේ රසවින්දනයත් ඉතාමත් ඉහළ මට්ටමකට තිබුණා. ඒ වගේම ඒ වන විටත් පාසල් ගීයක් නොතිබූ අපේ ඉස්කෝලෙට පාසල් ගීය නිර්මාණය කළෙත් අපේ මේ සංගීත ගුරුතුමා වීම විශේෂයක්. කාලය ගෙවිල ගියත් මම උසස් පෙළ පන්තියට එනකොට එතුමාත් අපේ ඉස්කෝලෙන් මාරුවෙලා තමන්ගෙම ගම වුණ කුරුණෑගලට අලව්ව මධ්‍ය මහා විද්‍යාලයට ගියා. ඒ වුණත් අවුරුදු හතක් අටක් විතර අපේ ඉස්කෝලෙ අපේ සංගීත ගුරුතුමා සේවය කරපු කාලෙ ගුවන් විදුලියට ගැයූ මේ වගේ ගීත තාමත් හිතයට හැංගිලා තියෙනවා කියල දැනෙන්නෙ ඉඳහිටල හරි ඇහෙන වෙලාවටයි.
සෙල් කුලේ මහා කලා නිකේතනේ මැවූ
ගල් තලේ පවා උදාන ගීතයන් ලියූ
ඒ උදාර පරපුරේ උදාන හඬ ඔබයි පුතේ
ඒ හඬින් උදම් වෙවි
ගයන්නෙමී යශෝ ගැයුම්
වැසි බිඳෙන් මහා තඩාග පෙළ නිමා කෙරූ
සාර වූ කෙතින් අසාර වූ පොළෝ වැසූ
ඒ උදාර පරපුරේ උදාන හඬ ඔබයි පුතේ
ඒ හඬින් උදම් වෙවි
ගයන්නෙමී යශෝ ගැයුම්
රණ බිමෙහි පවා මෙතින් රුපුන්ට අභය දී
විමුක්ති භූමියේ සටන් වැදී හිසත් පිදූ
ඒ උදාර පරපුරේ උදාන හඬ ඔබයි පුතේ
ඒ හඬින් උදම් වෙවි
ගයන්නෙමී යශෝ ගැයුම්
ගැයුම: බන්දුල විජේවීර
ගේය පද: ස්වර්ණ ශ්‍රී බණ්ඩාර
සංගීතය: රෝහණ වීරසිංහ
මේ වගේ දේශාභිමානී ගිත අද ඇහෙන්නෙ නැති ගානයි. මේ වගේ මියුරු ගිත ඉඳහිටල වත් ගුවන් විදුලි චැනල් එකකින් ප්‍රචාරය වෙනව නම් නූතන සංගිත පුරපුරත් ඉහළ රසාතලයක වඩා හිඳුවන්න හැකි වෙනව කියලයි මට හිතෙන්නෙ.
අනෙක් අතට ගායකයෙකුට තමන්ගෙ ගමන් මග හදාගන්න තිබුණ එකම මාර්ගය තමයි ගුවන් විදුලි මහගෙදර තිබුණ "සරල ගිත" වැඩසටහන්. අද යුගයෙ මුදල මතම යැපෙන ශිල්පින්ට මේක හොඳ ආදර්ශයක්. හැත්තෑව සහ අසූව දශකවල ගීයක් නිර්මාණය වුණේ ගායකයා, ගිත රචකයා සහ සංගිතඥයා යන තුන් දෙනාගේ ම සාමූහික ප්‍රයත්නයක් විදියට. එහෙම උනන්දුවෙන් නිර්මාණය කළ ගීතවල සදාකාලික බවක් රැඳිල තියෙන බවට මීළඟ ගීතයත් හොඳ නිදසුනක්.
එක්තරා දවසක බන්දුල විජේවීරට ලැබෙන ගුවන් විදුලි සරළ ගිත වැඩසටහනක් පටිතග කරන්න නියමිතව තිබුණෙ ඊට පසු දවසේ. ඒ වන විටත් එක ගීයක් අඩුවෙලා ගීත දෙකක ගී තනු නිර්මාණය කරමින් පූර්ව පෙරහුරු කරමින් ඉන්න මොහොතක ගීත රචකයෙක් වගේම ගුවන්විදුලියේ විශිෂ්ඨ නිවේදකයෙක්ව හිටිය කේ.ඩී.කේ. ධර්මවර්ධන ඒ වෙලාවෙ වික්ටර් රත්නායකයන්ගේ නිවසට පැමිණියා. බන්දුල විජේවීර තමන්ට ඊළඟ දවසේ පටිගත කිරිමට නියමිතව ඇති සරළ ගී වැඩ සටහන සඳහා ගීතයක් අඩු බව කියා කඩිනමින් ගීයක් ලියා දෙන ලෙස කේ.ඩී.කේ. ගෙන් ඉල්ලා සිටියත් ඒ මොහොතේ හදිස්සියේම ගිතයක් ලියන්න අදහසක් ගොනු කර ගැනිමට අපහසුව සිටි ඔහුගෙ දෑස ඒ නිවසේ මේසයක් මත තිබූ නවකතා පොතක් කෙරෙහි යොමුව තිබුණි. නව කතාව ලියා තිබුණේ කරුණාසේන ජයලත් ය. පොතේ නම "රිදී නිම්නය" දුටු විගස කේ.ඩී.කේ.ට නවකතාවේ ඇතුළත් වූ කතා පුවත වහා වැටහුණේ ඔහු එම නවකතාව ඊට පෙර කියවා තිබූ නිසාය. කේ.ඩී.කේ. එසැණින් කඩදාසියක ලිව්වේ මේ ගීයයි.
රිදී නිම්නය කඳුළු නිම්නය
ඔබය මගෙ ජීවිතයේ
නොදුටු නිම්නය ඔබය
මගෙ ජීවිතයේ
මී විතෙන් තොල් මත්ව යනවා
ඉන්ම හදවත සසල වෙනවා
නිසල සිතුවිලි විකල් වෙනවා
එයින් දිවියම සසල වෙනවා
කවුරු කවදා කෙලෙස කීවද
තඹුරු හිරු දුටු විගස නොපිපෙද
බඹරු වෙනසක් නැතිව සැරුවද
අපට හිමි සැනසුමක් කොහි වෙද..
ගැයුම: බන්දුල විජේවීර
ගේය පද: කේ.ඩී.කේ.ධර්මවර්ධන
සංගිතය: ආචාර්ය වික්ටර් රත්නායක
සරල ගී වැඩ සටහනින් පස්සේ ගීතය එක රැයින් ජනප්‍රිය විය. එය අදට ද එසේ ම ය. මෑත යුගයේ නම් මේ ගීය ගුවන් විදුලි මාධ්‍යයක් ඔස්සේ ප්‍රචාරය වූ බවක් මට මකත නැත. ඒ අපේ රටේ පිරිහෙමින් පවතින ගීත කලාවේ හැටි ය.
අපේ සංගීත ගුරුතුමා අපේ පාසලේ සිටි යුගයේ දී ඔහු ගැයු "මගෙ සුදු බෑණන්ඩි" , දෝත පුරා මුතු මාල ලතා, මමයි අනුරාපුරය, පුංචි කාලෙ අපි, අතුරු මිතුරු දඹදිවතුරු, සමුගන්න මොහොතකට පෙර එක වතාවක්, ආදී අද දවසේ නෑසෙන ගී රැසක්ම බිහි විය.
මා විෂයක් විදියට සංගිතය හැදෑරීම නොකලත්, පන්තියට ගුරුවරයෙක් නොපැමිනෙන මොහොතක් බලා තවත් දෙතුන් දෙනක් එක්ක හෙමිහිට රිංගන්නේ සංගිත කාමරය දෙසට ය. සර් අපි පසෙකට කැඳවා වාඩි විමට කියා සිරිත් පරිදි සිය සංගීත පාඩම් වල යෙදෙයි. ඔහුගේ අතැඟිලි තුඩු එහා මෙහා දුවන සර්පිනාව මට මහා විස්මකර්ම නිමැවුමකි. විටෙක ජසයා සහ ලෙංචිනා නාට්‍යයේ ජසයාගේ ගියක් ළමුන්ට කියා දෙයි. තවත් විටෙක නරි බෑණා නාට්‍යයේ ගීයකි. තවත් විටෙක "දන්න වංහු අපි කන්න සාමි රාජ ධුරයේ" වැනි නූර්තියක ගීයක් ගයා පෙන්වයි. එසේත් නැත්නම් "පරංගි හටන් කවියකි" මුළු සංගීත පන්ති කාමරය එකම රස ගුලාවකි. ගායන ශිල්පියෙකුගේ මුවින් ඔහු ආසන්නයේ හිඳගෙන එවන් ගී මිහිරක් විඳින්නට තරම් වාසනාවක් තිබුනා යැයි සිතෙන්නේ දැන් ය. ගුරුවරයෙක් වුවද විෂය නිර්දේශයට පමණක් සිමා නොවී ඒ විෂය නිර්දේශයෙන් බාහිරව ඔනෑම කෙනෙකුට සිය රසවින්දනයට ඉවහල් කරගත හැකි යමක් කියා දුන් ඒ යුගය ඔහුගේ සංගිතයෙන් මුලු පාසලම පිරීතිරී තිබුණ බව හැඟේ. එසේ හැඟෙන්නේ අපේ පාසල් සමයේ ඔහු ගැයූ මෙවන් ගීයක් හිතේ දැවටෙන විට ය.
දෙපා නගන්නට හිත නැතුවා
පෙම් විමන් මෙසේ බිඳ දා
මගේ ලොවේ හිරු සඳු නිවිලා
තරු රැයේ කඳුළු සැලුවා
කිසිවකු නෑ හදවත නිවනා
ඔබ හැර මා සොයනා
කිසිදින මා සිත ඔබ දැක නෑ
හදවත නෑ හඳුනා
ඔබෙ සෙනෙහස මට හිමි නෑ
තනිකම මා ළඟ තනි වෙනවා
මා තනිවන යාමේ
රෑ සිහිනෙන් හමුවී ආයේ
ඔබ මා වෙන් වෙනවා
මා යළි මෙහි තනි වෙනවා
ගැයුම: බන්දුල විජේවීර
ගේය පද: කුමාරදාස සපුතන්ත්‍රී
සංගිතය: රෝහණ වීරසිංහ.
වික්ටර් රත්නායකයන්ගේ "ස" ප්‍රසංගයේ සමාප්තියේ වික්ටර්ට අත්වැල් ගායනයෙන් දායක වූ ඔහු පිළිබඳ මගේ මතකය අවදි කළේ ඒ අයුරිනි. එදා අප පාසලේ මා දුටු ඔහුගේ රුව කිසිදු වෙනසක්ව නැත. ගායනයද එසේ ම ය. බන්දුල විජේවීර අපේ පාසලෙන් සමුගත්තද ඉන්පසු අවස්ථා ගණානාවකදි ඔහු මට හමුවිය. ඒ සැම මොහොතකම ඒ අතීතය සිහිපත් කල විට "උඹ සංගිතය ඉගනගත්තෙ නැත්තේ අපේ වාසනාවට" යැයි කියා ඔහු ඒ මියුරු අතීතය පිළිබඳව සිනාසුනි.
මේ ගායන ශිල්පියා අප මතකයෙන් කොතරම් බැරව සිටිද කිවහොත් ඔහුගේ ඡායාරූපයක් සොයාගැනිම පවා අපහසු විය. ෴
ඔබේ වටිනා කාලය බිදක් වැය කර ගී රස විඳිමින් කියෙව්වාට ස්තූතියි. වෙලාවක් ඇත්නම් ඔබේ විචාරාත්මක අදහසත් මෙහි ලියා තබන්න.
පොතකින් ගත යුතු සාරවත් තොරතුරු රැසක් , ඇස , කන පිනවමින්ම සිත් සතුටු කරවන්නට හැකි ලෙසින් අකුරු කර එක කරන ඔබට බොහොම පිං ,
ReplyDeleteමේ ගී අපේ හිත් සුවපත් කරවන සිසිල් කරවන ගී , නමුත් අවාසනාවට අද අපේ මාධ්‍යයන් බොහොමයක් ,“ ගිනි ගන්නා“ සමාජයට එක් කරන්නේත් “ගිනි ගැනෙන ගී“ පමණක්ද කියන කණගාටුව තිබෙනවා.
නැවතත් , හැම ලිපියක්ම කියෙව්වත් , සමහර විට අදහස් දක්වන අවස්ථා නොවෙන්නට පුළුවන් , ඒ පිළිබඳ සමාවන්න , ඒත් හිතේ නැගෙන සතුට , ඔබට පිනක්ම වී ලැබෙන බව කියන්නටම ඕන.
මහේෂ්..
Deleteමේවගේ ගායන ශිල්පින් , ශිල්පිණියන් රැසක් අපේ මතකයෙන් ගිලිහෙමින් පවතින යුගයක් ඇතුලෙ හරසුන් ගිත සාහිත්‍යයක් බිහිවෙමින් පවතිනව. මේ පැරනි ගිත ඇතැම් වෙලාවට කැසට් සමාගම් තම හිතුමතේ සංගිතය වෙනස් කරනවා. ඒවගේ මොහොතක ඔවුන් නැවත සිහිගන්වලා ඒ මුල්ම ගියක් ඒ මුල් රසයෙන්ම අහන්න සැලැස්විම එක්තරා සතුටක් වගේම යුත්කමක් මොකද නූතන පරපුරට එදා රස නුසුන් සංගිතය හඳුන්වා දිම වැදගත් නිසා..
අද නම් අස්වැන්න කියවන්න මම වේලපහ ආව. මුළු ලිපියම කියෙවුව. බන්දුල විජේවීර නම් ඒ ප්‍රවීන ලගායකය එක්ක මටත් කතා බහ කරන්න ලැබුණෙ පහුවුන සිංහල අවුරුද්දට. එතුමා ආව සයිප්‍රසයෙ අපේ අවුරුදු උත්සවයට. හරිම නිහතමානී විහිළුවෙන් හැමදෙනාවම සතුටින් තියෙන කෙනෙක්.
ReplyDeleteඑතුමා පිළිබද මෙච්චර විස්තර නම් දැනගෙන ඉදියෙ නැහැ. ඒ වගේම එදා ගුවන් විදුලියෙ සරල ගී වැඩසටහන් වලින් එළියට ආපු ගායන ශිල්පීන් අද ප්‍රවීණ සංගීතඥයන්...අද අපේ අවාසනාවට ගුවන් විදුලි රැල්ල සහ මුදල මත සියල් තීරණය වන නිසා සුභාවිත සංගීතය රස විඳින පිරිස වැඩි වුනත් මාධ්‍ය මගින් දෙන්නෙ හරි අඩුවෙන් මට හිතෙන විදිහට...
අදත් වෙනද වගේම ස්තුතියි අස්වැන්නට.
දිනිති ..
Deleteඇතැම් වෙලාවට මේ ගායන ශිල්පින් ගැන බොහොම දෙනෙක් හිතන්නෙ සමාජය සමග නොගැටෙන පිරිසක් විදියට . ඒත් එහෙම නෑ. ඒත් අපි වගේම සරල සුන්දර මිනිසුන්.
" ගුවන් විදුලි රැල්ල සහ මුදල මත සියල් තීරණය වන නිසා සුභාවිත සංගීතය රස විඳින පිරිස වැඩි වුනත් මාධ්‍ය මගින් දෙන්නෙ හරි අඩුවෙන් "
සම්පූර්ණ ඇත්ත හරසුනි ගිත සාහිත්‍යය තුල සැබෑ ගීතය ගිලිහෙමින් පවතිනවා.
ස්තූතියි දිනිති ඔබට
ඔබ සඳහන් කල "නන්දන වින්දන" වැඩසටහනින් තමයි මම බන්දුල විජේවීර නම් ගායකයාව මුලින්ම ඇස ගැටුනේ ඒ කාලයෙ ගීතයක් අසා තිබුනට ගායකයාගෙ රුව පිලිබඳව අපෙ හිත තුල චිත්ත රූපයක් මිස සැබෑ දසුනක් තිබුනෙ නෑනේ. "නන්දන වින්දන" සහ "මධු රසාංග" තමයි ඒ අඩුව පිරෙව්වේ.
ReplyDeleteඔබ සඳහන් කලපරිදි මෙවන් ගායකයන් අද ව්‍යාපාරික ගායකයන් මෙන් මුදල් පසුපස නොගිය නිසා තමයි තාමත් ඔවුන්ගෙ ගීත් ජනප්‍රිය. අද බන්දුල විජෙවීර වැන්නවුන්ගෙ ගීත ප්‍රචාරය නොවුනත් ඒවා අදත් එදා වගේම ජනප්‍රියයි . ඒවයෙ තියන වටිනාකමත් වැඩි ඒකයි.
ඒත් මට දුක අද ඉන්න "Instant noodles ගායකයෙක්" ගීත රචකයාට කතෘ භාග ලෙස අල්ලස් දී මෙ ගීත විකුනාගනීද කියා. (මිල්ටන් මල්ලවාරච්චි ගයන කඳු පාර ඈත අයිනෙ ගීතය දැන් ඇහෙනකොට මට දැනෙන දුක ....... )
මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්
සම්පූර්ණ ඇත්ත ජෝන්...!මේ පැරනි ගීත ඇහෙනකොට දැනෙන හැඟීම් වචනයෙන් විස්තර කරන්න බෑ මචං..!
Deleteලොකු ජෝන්...
Deleteඇත්තටම ඔව්, ගිතය ව්‍යාපාරයක් කර නොගෙන සිටින සුළු පිරිසක් නිසා සැබෑ ගිතය යම් තරමකට හෝ නො නැසී පවතිනවා. ඒ නිසාම ඒ ගිතවල වටිනාකම වැඩියි.
ඒත් වික්ටර්ගෙ පරපුරේ බොහොදෙනෙක් තමන්ගෙ ගිත විකිණුවෙ නෑ වෙනත් ශිල්පීන්ට. ගිතරචකයන් වගේම, සංගිතඥයනුත් එහෙමයි. ඉදිරියටත් එහෙම වෙයි කියලා හිතන්න පුළුවන්.
එක්තරා දවසක වික්ටර්, සුනිල්, එඩිවඩ්, දිවුල්ගනේ, ගී ගැයූ ප්‍රසිද්ධ ගිත රචකයෙක් ලියූ ගී එකතුවක් ඔහු එය වෙනත් කැසට් සමාගමකට අලෙවි කර තිබුණා. කැසට් සමාගම ඒගීඑකතුවේ සංගිතය වෙනස් කරලා "වික්ටර් සන්ෆ්ලවර්" සමග යනුවෙන් නම්කරලා පූර්ව ප්‍රචාරයක් දුන්නා. ඒ මොහොතේදි වහ ක්‍රියාත්මක වූ වික්ටර ඇතුළු ඒ සියළු සංගිත ශිල්පීන් ඔවුන් එවැනි ගී එකතුවක් සඳහා ගී නොගැයූ බව ප්‍රකාශකර අරගලයක් කළා. ඒ අනුව කැසට් සමාගම ඒ සියළු ගිත කැසට් වෙළඳපොලෙන් ඉවත් කරගත්තා. ඒ විතරක් නෙවෙයි කැසට් සමාගම ප්‍රසිද්ධියේ සමාව ගත්තා තමන් වරදක් කළ බව පවසා.
ඒ වගේ කොන්දක් තියෙන ශිල්පීන් හරිම විරලයි.
ස්තූතියි ලොකු ජෝන්..
බොහොම අගනා ලිපියක් සහෝ..ලේසියෙන්ම තේරුම්ගන්න පුළුවන් ඔබේ භාෂා ශයිලිය ඉතාම අපූරුයි..බොහොම ස්තුතියි ලිපියට.මම ඇත්තෙන්ම මේ තරම් මේ කරුණු දැන සිටියේ නැහැ.
ReplyDeleteහිරු හිමාවි..
Deleteඅපිට මේවගේ ගිත වගේම ශිල්පීන් මතකයෙන් බැහැර වෙන්නෙ ඔබේ හෝ මගේ වරදකින් නොව , පවතින්නාව ු මේ සමාජ ක්‍රමයේ වරදින්. ඒකට මේ සියලු හරසුන් ගිත බිහිකරන වාණිජ රැල්ල වග කිව යුතුයි.
ස්තූතියි ඔබේ සටහනට.
නියමයි කියන්නේ පට්ටයි.....
ReplyDeleteරාජිත..
Deleteමේවගේ ගියක් දෙකක් ඇහෙන වෙලාවට, පට්ටයි කියන්නේ.. සිරා... ආයෙ දෙකක් නෑ.
මෙතුමාගේ සෑම ගීතයක්ම ඉතාමත් ජනප්‍රිය උනා . මම ඒ අතරින් රිදී නිම්නය ගීතයට බොහොම කැමතියි . ඔහුගේ ගායනයට වගේම ඔහුගේ රගපෑමටත් මම බොහොම කැමතියි .
ReplyDeleteඔබගේ මේ අගනා විස්තර අපිට හරිම වටිනවා . බොහොම වටිනා කරුණු .
ගිම්...
Deleteබන්දුල සර්.. ගීත 100 කටත් අඩු ගානක් ගයනා කරල ඇත්තෙ ඒත් ඒ හැම ගියක්ම ජනප්‍රියයි කියල මටත් හිතෙනවා. මම වටිනා දෙයක්ද කළේ කියල දැනෙනේනෙ මේවගේ ප්‍රතිචාරයක් ලැබෙන වෙලාවටයි.
ස්තූතියි ගිම්හානි ඔබටත්..
හොදම ලිපියක්.....විශිෂ්ට මෙහෙවරක්......
ReplyDeleteමම ආසම ගීතයක් "දෙපා නගන්නට හිත නැතුවා........"
සුමිත්..
Deleteස්තූතියි.. ඔබ පලමුවරටද මන්දා මේ පැත්තට ආවේ. කොහොම වුණත් කමක් නෑ ඔබේ පැමිණිම සතුටට කරුණක්.
"දෙපා නගන්නට හිත නැතුවා........"
මේ ගීය ගැයනු දුටුවෙත් මම ඉස්කෝලේ යන කාලෙ නන්දන වින්දන වැඩසටහනෙන්. ඒ මතකයත් සුන්දරයි.
කෙටි කිව්වට ලිපිය කෙටිම නෑ..
ReplyDeleteඉතාම වැදගත් කරුණු ටිකක් දැනගන්න ලැබුණා. එදා සෞන්දර්‍යය විෂයක් ලෙස සංගීතය එපා වූ කෙනෙක් පස්සෙ කාලෙක ප්‍රවීන ගීත රචකයෙක් වීමේ කතාවත් කියන්න පුලුවන් නම් හොඳයි..
අනේ ඉතින් අපි දෙන්නට..
හරී..
Deleteමම හැමදාම ලියන්න පටන්ගනනෙ අදනම් ඉතාම කෙටියෙන් ලියනවා කියල. එත් ඉතිං ලියල ඉවර වෙනකොට තමයි දැනෙන්නෙ කෙටි වුණාට කෙටිම නෑ කියල.
මටත් හිතාගන්න බැරි ඉස්කෝලෙ යන කාලෙ සංගිතය, චිත්‍ර, නැටුම් මේ තුනම මහා හිසරදයක් වෙච්ච විෂයන් තුනක්. ඒත් යාන්තමට සාමාන්‍ය පෙළ දක්වා චිත්‍ර විෂය ඇදගෙන ආවෙ මාත් එක්ක හිටපු යාලුවා නිසා ඌ මට චිත්‍ර ඇඳලා දුන්නා. මම පාට කළා.මගේ වගේ සර්ට පෙන්නුවා. යාන්තමට ඒකෙන් ගොඩ ගියා සා.පෙළට සෞන්දර්යය විෂය තෝරා නොගත් නිසා.
ඊට පස්සේ තමයි සංගිතයට ආදරේ කරන්න පටන්ගත්තෙ.මම මේ ගැන කලින් ලියපු පෝස්ට් එකක් ඇති ආදරණිය කපුගේ කියල අන්න ඒක බලන්න.
සිංදුවක් ලියපු හැටි තව ටික දවසකින් කියන්නම් ලැබුනොත් ඊළඟ පෝසට් එකෙන්
මම මෙතුමා ගැන මුලින්ම දැනගන්නෙ මාමයි බෑණයි සංන්දුව නිසා. පස්සෙ බෝඩිම ටෙලි නාට්‍යයෙන්. මේ දෙපලගෙ කැසට් එකක් බොහොම ඉස්සර දවසක මිලට ගත්තා. ඒ දවස්වල දවල් රෑ ඕක ඇහුවත් දැන් මතක නෑ ගොඩක් ඒව. මම කැමතිම සින්දුවක් තමයි 'සමුගන්න මොහොතකට පෙර එක වතාවක්' කියන එක :D
ReplyDeleteහරේ...
Deleteයාන්තමට වාගෙ බන්දුල සර්ගේ මුල්ම කැසට් දෙක මා ගාව තිබුණා. ඒකෙන් තමයි මේ ගිත ටික පිටපත් කර ගත්තේ. ඒ නිසා මේ ගිත එදා හඬින්ම අහන්න ලැබෙනවා. ඒකත් සතුටක්.
ඔබේ “අස්වැන්න“ අතර නිතර සැරිසැරුවත් ඔබ අප ප්‍රෙද්ශයේ අයෙක් බව දැනං හිටියෙ නැහැ. ඇත්තෙන් ම සොදුරු ගුරුවරයෙකුගේ මිහිරි මතකයන් ඔබ නැවත ආවර්ජනය කිරීම කොතරම් අපූරුද? ඔහුගේ ඇසුර ලබන්නට ඔබ වාසනාවන්තයෙකු වූවා.මෙතුමාගේ ගීත වල මුල් හඩපට වල වටිනාකම කියා නිම කරන්න බැහැ. වසර 30 ගණනකට පසුවත් ඒ ගීත වල මිහිරියාව එළෙසමයි.
ReplyDeleteඔබට තුති.
තුසිත..
Deleteඔබ රජරට මිත්‍රයෙක් හැටියට කාලයක් මූනුපොතේ හිටියත් මමත් දැනගත්තේ මට ආසන්න මිත්‍රයෙක් හැටියට මූණු පොතේ ඔබ තැබූ ඉගි දෙකකින්.. දැන් අවුලක් නෑ.කවුද කියල දන්න නිසා.
මේ සංගිත සර් ඒකාලෙ ජනප්‍රිය ගායකයක්වෙලත් කුරුණෑගල ඉදල උදේට හවසට ඉස්කෝලෙට ආවෙ ගියේ ලංගම බස් එකෙන්නේ. ඒ නිසා අපේ සර් ගැන මතකය සුන්දරයි.
ස්තූතියි තුසිත ඔබටත්, ඔබේ සටහනටත්.
ස ප්‍රසංගය නවත්තපු එක නම් සෑහෙන පාඩුවක්. ඒත් ඉතින් වික්ටර් රත්නායක මහත්තයා කියලා තියෙන හේතුවේ හැටියට ඒ නැවතුම සාධාරණයි..
ReplyDeleteඔය බන්දුල විජේවීර මහත්තයාගෙයි රෝහන බැද්දගේ මහත්තයාගෙයි සුසංයෝගයට මම් මාර ආසයි. ඒ දෙන්නා එකතු වෙච්ච තැන ගීතයෙන් අපේ කම ගොඩ නැගෙනවා බලාන ඉන්න ලස්සනයි...
ඒ වගේම අර කියපු ගීතය "දුම්බර කඳුවැටියේ " කියන ගීයත් ගොඩක් ලස්සන සර්වකාලීන ගීයක්.
මේ ගීය ඇහුවම මට හිතුනා කවදාහරි මගේ කසාදේ දවසෙත් කැන්දන් යන දවසට ඔය සිංදුව ගමටම ඇහෙන්ඩ දාන්න... හික්ස් :)
මධුරංග
Deleteමාමායි බැණයි යුවලගේ ගී වල, සංගීතයෙ, ගායනය, පදරචනා, මේ හැමදෙයකම පිරිල තියෙන්නේ අපේ ගැමි කම. ඒ නිසාම ඒකට කවුරුති ප්‍රියයි.
ඔන්න සයුරිත් කියල තිබුණා වෙඩින් එක දවසේ කුල ගෙදරින් ගිතයට මුල්තැන දුන්නා කියලා. මොනව වුණත් අද වෙඩින්වල ඇහෙන සිංදු දිහා බලපුවාම මේවගේ එකක් ඇහෙනකොට දැනෙන සතුට කියල නිමකරන්න බෑ.
කෝකටත් මේ ගීය දැන්ම බාගත කරල තියාගන්න. ආයෙ අමතක වුණොත් එහෙම..?
මාමයි බෑනයි ගායනා කරන ගීත ගොඩාක් ආසාවෙන් ඇහුවේ පුංචි කාලේ ඉදලම. ගොඩාක් දේවල් දැනගත්තා. වටිනා ලිපියක්. බොහොම ස්තුතියි ඔබ තුමාට
ReplyDeleteරෙප් මහත්තයා..
Deleteඔබතුමා සාදරයෙන් පිලිගන්නව අස්වැන්නට... මාමයි බැණයි චරිත දෙක ගායනයට වගේම රංගනයටත් උපන් හපන් චරිත දෙකක් නේ.
ස්තූතියි ඔබේ සටහනටත්.
බොහොම පොඩි කාලේ, ගයන්නේ කවුද කියලා නොදැන අහපු බොහොමයක් ගීත බන්දුලගේ ඒවා. කුල ගෙදරින්, රයිගමයයි ගම්පලයයි වගේ බොහොමයක් ඒ අතරේ තිබුනා.
ReplyDeleteඅයියා කිව්වා වගේ පින්තුරයක් හොයන්න විතරක් නෙවෙයි. ඔහුගේ සමහර ගීත පවා සොයා ගන්න බැරි තරම් ම සමාජය විසින් අමතක කරන ලද චරිතයක්. සදාකල්හි ම ඇසිය හැකි ගීත ගයපු මේ වගේ අය අමතක කරන සමාජය නම් යන්නේ හරි පාරක වෙන්න බැහැ!
කෙසේ වෙතත් හැමදාමත් වගේ බොහොම කැමැත්තෙන් කියවූ ලිපියක්!!
ජය වේවා..
රැංගෝ..
Deleteසමාජය විසින් අමතක කරපු, ඇගයිමට බඳුන් නොවූ නිහඬ චරිත මේ කලා ක්ෂේත්‍රයේ තියෙනවා. ඉඳහිටලා හරි මේවගේ චරිත මතක් වුණාම ලියන්න හිතෙන්නෙත් ඒකයි.
ස්තූතියි රැංගෝ.. මොකද මේ දවස්වල පේන්න නැත්තේ.. Exam ද?
එකිනෙකට වෙනස් පෝස්ට්. වෙනස් ආරේ සිංදු..
ReplyDeleteගොඩක් ස්තූතියි ඔබට අපට මේවා දෙනවාට.....
ප්‍රියන්ත..
Deleteසංගිතය වුණත් හැමදාම එකම විදියට ලිව්වොත් කියවන්න එපාවෙන් එක ස්වභාවිකයි. ඒ නිසා සංගිතයෙත් විවිධ ක්‍රම සහ විධි තියෙනවා නේඒවාත් එක්ක එකටම යනකොට පුංචි විවධත්වයක් ඇති කරන්න පුළුවන්. ඒකයි හිටි ගමන් ට්‍රැක් එක මාරු කරන්නේ
දැන් නම් මෙතුමාග් ඒගී ඇහෙනවා හරිම අඩුයි නේ.. මාමයි බෑනයි එකතු වෙලා කියපු ගී වලට මම ගොඩක් ආසයි.. ඒවගේම බෝඩිම ටෙලි නාට්යේ මොහුගේ රංගනයත් තාම හොදටම මතකයි..
ReplyDelete" සමුගන්න මොහොතකට පෙර එක වතාවක්.."
මම ආස මොහුගේ වෙනස්ම ආරේ සිංදුවක්..
අදත් පෝස්ට් එක ගොඩක් රසවත්.. කලින් නොදත් දේ බොහොමයි..
දිනේෂ්..
Deleteඇත්තටම මෙ වැනි ශිල්පීන්ගේ ගිත ඇහෙනවා අඩුයි. ඒ ඔවුන් මාධ්‍ය පසුපස හඹා නොයාම එක හේතුවක් අනෙක් අතට මාධ්‍ය විසින් ඉල්ලන ගීත නොගැයිම තවත් හේතුවක්.ඒනිසා මේ අයගේ ගී ඇහෙන්නේ නැ.
මේ හඬ බොහොම ගැමි ආරේ ගී හඬක්...
මාමයි බෑණයි සිංදුවෙන් වගේම ජාතික රූපවාහිනියේ විකාශනය වුණු බෝඩිම කියන නාට්‍යයෙන් තමා බන්දුල විජේවීර මහත්මයාව මම හඳුනාගත්තේ. ඔහු පාසල් ගුරුවරයෙක් කියන කතාව නම් දැනගෙන උන්නේ නැහැ. ඔයාලගේ පාසලේ පාසල් ගීතයත් එකතු කළා නම් හොඳයි. ඒක බන්දුල විජේවීර මහත්තයාගේ ස්වතන්ත්‍ර නිර්මාණයක් වෙන නිසා
ReplyDeleteහසිත..
Deleteඇත්තටම අපේ පාසැල් ගීය ඒකාලෙ හැටියට පටිතග කළේ නැහැ වගේ. ඒත් ඉතාම ලස්සන ගීතනුවක් සහිත ගීයක්. ඒකත් දාන්න තිබුණනම් හොඳයි තමයි.
ස්තූතියි මතක් කළ එකට
//"උඹ සංගිතය ඉගනගත්තෙ නැත්තේ අපේ වාසනාවට//
ReplyDeleteමට හිතෙන්නේ, අපරාදේ ඔයා 'සංගීතය' හැදෑරුවේ නැත්තේ. එහෙම කලා නම් අද ඔයා ප්‍රසිද්ධ ගායකයෙක්. එහෙනං අපිට තිබුනා ඔයාගේ ප්‍රසංගවලට පොරකකා එන්ට.:D
රෝහන බැද්දගේ ගැන දැනගෙන හිටියට, බන්දුල විජේවීර ගැන වැඩි යමක් දැනගෙන හිටියේ නෑ. අස්වැන්නෙන් තමා අපිට මේ වගේ තොරතුරු දැනගන්ට ලැබෙන්නේ. දයාට ඒවාට පින්.
'මගෙ සුදු බෑනන්ඩිට' ගීය අහලා තියනවා. එහි උපහාස රසයක් ගැබ්වෙලා තියන, විනෝදාත්මක ගීයක්.
'දුම්බර කඳුවැටියේ' ගීය හරිම ලස්සනයි.
ගීයේ රස විඳිමින් ලියන්නේ. 'මනු කුල සිරිතට පති කුලයට අද කැන්දන් එනවා දුම්බර මැණිකේ' අදහස හරිම අපූරුයි. සංගීතයත් මිහිරියි. ගායකයාගේ හඬේ ගැමි ස්වරූපයක් තියනවා කියලා හිතෙනවා. ගීයට ඔහුගේ හඬ වඩාත් ගැලපෙන්නේ ඒ හන්දා වෙන්ට ඇති.
අපිට මේ වගේ දක්ෂ කලාකරුවන් ඉන්න බව දැනගනට ලැබීමත් ඇත්තටම ආඩම්බරයක්.:)
පොඩි..
Deleteමම සංගිතය ඉගන ගත්තනම් මම සිංදු කියන ඒවට ඔයාලා පොරකකා ඇවිල්ලා අතපය කඩාගෙන මහ ගිනි විජ්ජුම්බරයක් වෙන්න තිබුණා. ඒ ගැන හිතලා සංගිතය ඉගන ගත්තේ ඒක මට හිතෙන විදියට ඒක මම රටටම කරපු ලොකු සේවයක්.:D
මාත් හරිම කැමතියි කුලගෙදරින් ගීයට ඒක අහනකොට තිරික්කලයක ගමන් කරන හැගීමක් ඇතිවෙනවා. ඒ ගිය පුරාම තියෙන්නේ ගැමි රිද්මයක්.
ඒතව ඉතාමත් මියුරු ගී රැසක්ම තියෙනවා අපේ සංගීත සර්ගේ ඒවත් මතු දවසක අහමු. මෙ වැනි දක්ෂ සංගීත ශිල්පීන් ඉන්න තරමක් ඉන්නේ සැගවිලා.
පොඩි. ස්තූතියි
පේමසිරි කේමදාස මාස්ටර්ගේ සමහර සින්දුවලත් බන්දුල විජේරිර ඉන්නවනේද?
ReplyDeleteමහිම..
Deleteකේමදාස මාස්ටර්ගේ සිංදුවල සමහර කොටස් ගායනයට ඉඳල තියෙනවා. ඒත් මුලුමනින්ම ගීයක් ගයලා නැහැ වගේ.
මා කැමතිම ගයන ශිල්පියෙකු ගැන ලියවුන මෙම මාහැඟි විස්තරය ගොනු කල ඔබට මා හදපිරි ප්‍රණාමය.
ReplyDeleteකෝරලේ මහත්තයා..
Deleteබලන් ගියාම සංගිත ක්ෂේත්‍රයේ මතුපිටින් පෙනෙන සංගිත ක්‍රමයෙන් බැහැරව සරල සංගීතය ප්‍රිය කරන ඔබ මම වැනි පිරිස අති විශාලයි. ඒ කියන්නේ අප වටා ඇත‍්තේ මාකට් එකෙන් හදපු සංගීත ක්‍රමයක්.
ස්තූතියි ඔබතුමාට
ඔබතුමාට පිං...! මේ වගේ පෝස්ට් දැක්කම තමයි හිතෙන්නෙ බ්ලොග් වලින් කරන්නපුලුවන් සමාජ මෙහෙවර කොතරම් ද..කියල..ස්තුතියි බොහෝම...(මේ ගීත අවකාශෙන් බාගතකරගන්න තැනක් තියේනම් කියන්න පුලුවන්ද..?)
ReplyDeleteවීපොකුර..
Deleteස්තූතියි ඔබේ ඇගයුමට.. මේගිත මෙතනින්ම බාගත කර ගතහැකියි නිදසුනක් හැටියට "කල ගෙදරින් ගීතය මෙතනින් අහන්න" යන වචන පේලිය මත් "ක්ලික්" කරන්න. හැම ගියකම ඒවිදියට ඉහල තියෙන වචන පේලියේ ක්ලික් කරන්න. ඔබේ අවශ්‍යතාවය ඉටුකර ගත හැකියි.ඒ විදියට අවශය ගිත බාගත කරගන්න.
විශිෂ්ඨයි...! බොහොම ස්තුතියි..ඔබතුමාට..!ජය වේවා..!
Deleteහිටිගමන් බිහිවෙන ගායකයින්ගේ අර්ථශුන්‍ය නිර්මාණ ජනප්‍රිය වෙන යුගයක සමාජයේ වැඩි වශයෙන් කතා නොවෙන විශිෂ්ට මිනිසෙකුගේ විස්තර හොයාගෙන අපට කියවන්න සලසන එකට ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා. හරවත් ලිපියක් නොදන්නා බොහෝ දේ දැනගත්තා.
ReplyDeleteපැතුම්..
Deleteයටගියාවේ මතකයේ ඉන්න සමහර කලාකරුවන් ඇතැම් වෙලාවට කවදාවත් අඩුම තරමින් පුවත්පතකින්වත් හඳුන්වා දී නැහැ. ඒවගේම ඔවුන් සහ ඔවුන්ගේ නිර්මාණ ගැන කතාවෙන්නේ නැති තරම්. ඒවගේ වෙලාවක ඔවුන් ගැන හැකි පමණින් යසක් ලියන්න උත්සාහ කරනවා.
හිතවත
ReplyDeleteමම හිතවත කියන්නට හිතුවේ ඔබේ අපූරු ලියුම් තුලින් ඔබගේ සිතුවිලි ගැන මම හිතවත් වූ නිසා. අගෙයි ඉතා අගෙයි! නැවුම් ඉදිරිපත් කිරීමේ ශෛලිය කියවන්නට දිරි දෙනවා. දෙනෝ දාහක් හරසුන් පද අතර හිරැවුණු පුරන් වූ සිංහල සංගීත කෙතෙහි ඉතිරිව ඇති ගස දෙක තුනවත් රැක ගැන්ම හැර කුමක් කරම්ද අප ශ්‍රාවකයන් ම පමණක් වන නිසා.
මෙවන් ලිවීම් තුලින් හෝ මතුව කියවා විඳින රසය දැන් නම් මට දැනෙන්නේ වික්ටර් රත්නායකයන් ගැයූ ප්‍රේම කීර්ති ද අල්විස් නම් වූ අපූර්ව රචකයා ලියූ
"සිහිනෙන් ගෑ සුවඳක් සේ" කියායි
මටත් එසේමය . මේ ගී සිහිනෙන් ගෑ සුවඳක් මය . අප මේ ගී හදවතින්ම විඳිනුයේ අපේ අතීතයත් සමග බැඳී ඇති නිසාය .
Deleteසමීර..
Deleteසොඳුරු මිත්‍රයෙක් හමුවුනා වගේ හැඟීමක්. අතීතය මෙනෙහි කරන්න කවුරුත් කැමතියි . හැම කෙනෙක්ම වර්තමානයට වඩා ජීවත්වෙන්නෙ අතීතය තුලයි.
ඒ වගේම ඒ අතීතයේ ඉතිරි වූ සුන්බුන් අතර මේ වගේ දේවල් අහෙන , දැනෙනවිට ඒවා සිහිනෙන් ගෑ සුවඳක් වා ගේ මය.
මගෙත් ප්‍රියතම ගී කීපයක් .
ReplyDeleteඔහුට ඇත්තේ ලයාන්විත හඬක් . ඔබට ඉතාම පින් මේ ගී නැවත මතක් කර දෙනවාට .
බින්දි..
Deleteඇත්තටම මේ හඬ ඉතාමත් අපූර්ව මිහිරි ගායනයක් මුසු ගැමි හඬක් සහිත ගායන රටාවක්. කෙනෙකුගේ හිත සැණින් බැඳ තබා ගන්න සමත් වෙනව.
ස්තූතියි බින්දි..
බන්දුල විජේවීර ගුරුවරයෙක් කියලා මම දැනගෙන හිටියේ නෑ නේ. එතුමා උගන්නපු ඉස්කෝලේ ඉඳපු ඔබත් වාසනාවන්තයි කියලා මට හිතෙනවා. "කුල ගෙදරින්" සින්දුව ගැන කියනවනම් මගේ වෙඩින් එකේ වාදනය උන ගීත අතරින් පෙරමුණේ තිබුණු ගීයක්. ඒ හැම එකක්ම තේරුවේ මම :) හුලවාලි චිත්‍රපටයේ හොඳම පසුබිම් ගිය හැටියට මෙය හැඳින්වුවට වරදක් නැහැ. විවාහයකදී දැනෙන නැවුම් හැඟීම ගීතය පුරාම ගැබ් වෙලා තියනවා. අමතකව යන කලාකාරයින් ගැන මතකය අවදි කරවන ඔබට බොහොම පින්
ReplyDeleteසයුරී..
Deleteජනප්‍රිය ගායන ශිල්පියෙක් ව සිට ගුරුපත්වීමක් අරන් උදේ හවස ලංගම බස් එකෙන් ආව ගිය සංගිත ගුරුතුමා. සුන්දරම මිනිසා.. මටත් පුදුමයි අපේ පාසල් සමය තුළ එතුමා ඇසුරේ ලද අත්දැකීම්.
ඇත්තටම අද වෙඩින්වල ඇහෙන ගීත එක්ක බැලුවාම මේ ගීය මසුරං වටින ගීයක්.අරුතින් වගේම නාදයෙන් සහ ගායනයෙන්ද පිරිපුන් ගීයක්.
අදත් පෝස්ට් එක කියෙව්වේ නම් හුගක් ආසාවෙන්..සමහරක් ගීත මම කවදාවත්ම අහලා තිබුනේ නැති ඒවා..'රීදි නිම්නය' ගීතය නම් හරිම ලස්සනයි..ඇත්තටම එම ගීතයත් මම අහලා තිබුනේ නම් නෑ..ඉතින් ඒවා රසවිදින්න ලැබුණ එක ගැන ගොඩක් සතුටුයි..හැමදාම වගේ නොදන්න ගොඩක් දේවල් ඔබතුමාගේ ලිපියෙන් දැන ගත්තා..ඒ වෙනුවෙන් ඔබතුමාට ගොඩක් ස්තුතියි..!!
ReplyDeleteසිතුවිලි දැහැන..
Deleteඔබ වැනි අයත් වන මේ නූතන පරපුරට විඳින්න ලැබෙන්නෙ කෘතීම සමාජයක් විසින් ගොඩනගන ලද සමාජ සංස්කෘතියක විපරීත ගීත සාහිත්‍යයක්. ඒවා ඇතැම් විට වාණිජ පරමාර්ථ මත බිහි වූ ගිත. එවන් සමාජයක් වෙනස් කිරීමේ ප්‍රයත්නයක කළ යුතුම යැයි හැඟෙන සමාජ සත්කාර්යයක් වෙනුවෙන් තමයි මගේ වෑයම.
ස්තුතියි සිතුවිලි දැහැන ලියන ඔබට
වෙනදා වගේම ගොඩක් පින් මේ විස්තර ගැන..බන්දුල වෙනස් විදිහට හිතූ සංගීත ගුරුවරයෙකු බව පේනවා..
ReplyDeleteමේ ලිපිය කියවද්දී අපේ සංගීත ගුරුතුමී ගැන මතක් වුනා..සංගීතයට විතරක් සීමා නොවී නැටුම් චිත්‍ර වගේම සාමාන්‍යයෙන් සංගීතය රසවිදින්නට අවැසි සුමට සිත් හැදීමට ඈ ගත් උත්සාහය ආයෙත් මතක් වුනා..
රූ...
Deleteඅපිට හමුවන නූතන ගුරුවරු විෂය නිර්දේශයට සීමාවෙලා. ඒත් අපේ යුගයේ හිටි ගුරුවරු සිය ජීවිත කැපකලේ විෂය නිර්දේශයෙන් වගේම බාහිර දේ තුළිනුත් සමාජයේ හොද රසවින්දකයක් පිරිසක් වගේම සාහිත්‍ය රසකාමින් පිරිසක් බිහිකරන්න. අද ඇතැම් ගුරුවරු එහෙම නෑ. අඩුම තරමින් සෞන්දර්යය විෂය උගන්වන අය තුළත් එවැනි රසවින්දකයන් නැහැ.
අස්වැන්නෙන් නෙලා ගන්න ඇත්තටම මේ පැත්තට ආවොත් නෙලාගෙන යන්න බොහෝ දේ තියෙනවා...
ReplyDeleteඅදත් ඒ වගේම ගොඩක් නොදන්න දේවල් නෙලාගත්තා...මතකයෙන් ගිලිහෙන නිර්මාණකරුවන් ගායකයන් මතකයට නගන්නට ඔබ දරණ ප්‍රයත්නය තව තවත් ඉදිරියටත් සාර්ථකම වේවා....
ඔබේ මේ ලිපියෙන් කවදාවත් නොඇසූ නමුත් පුදුමාකාර ලස්සන සින්දුවක් හදුනාගත්තා..
දෙපා නගන්නට හිත නැතුවා
පෙම් විමන් මෙසේ බිඳ දා
මගේ ලොවේ හිරු සඳු නිවිලා
තරු රැයේ කඳුළු සැලුවා
පුදුමාකාර ලස්සන පද ටිකක් වගේම ගායනයත්...ඔබට තව තවත් මෙවැනි ලිපි එළි දක්වන්න ශක්තිය ලැබේවා....
සිත්තමී..
Deleteයමෙක් පුරන් වූ කෙතක් අස්වද්දන්නෙ හොඳ අස්වැන්නක් අපේක්ෂාවෙන්. මේ පරන්වූ සමාජ සංස්කෘතිය තුල ඔබවන් වඩාත් යහපත් දේ නෙලාගන්න පිරිස ඒ අස්වැන්නේ සැබෑ උරුමකම් කියන පිරිස.
මම කරන්නෙ පුංචිම පුංචි කාර්යයක්. ඒ කාර්යය තුළ ඔබ වන් හොඳ චින්තරනයක් ඇති පිරිසක් මෙහිදී හමුවිම සැබෑ සතුටක්.
සිත්තමී ස්තුතියි ඔබටත්.
බොහොම වටිනවා...
ReplyDeleteතරුවා..
Deleteවටිනවා කියන්නේ.. පට්ටයි..
ඇත්තටම අයියා හරි වාසනාවන්තයි මේ වගේ ගුරුවරයෙක් උගන්වන පාසලක ඉගෙනුම ලබන්නට. ඒ මතකය හැබෑම රසවත් වෙන්නට ඇති. ඒත් මමත් හිතනවා අයියා ස0ගීතය හැදෑරුවානම් විශිෂ්ට ගායකයෙක් වෙන්නට ඉඩ තිබුණාය කියා.
ReplyDeleteහිත හීලෑ නෑ හරිම මුරණ්ඩුයි ගීය මගෙත් කැමතිම ගීයක්. අර කිව්වත් වගේ ඇතැම් විශිෂ්ට ගීත සමහරක් අහඹු සිදුවීමක් ඔස්සේ ලියවුණු ඒවා.
මම සංගිතය ඉගන ගත්තනම් මම කියන සිංදු අහලා මහා විනාශයක් වෙන්න තිබුණා. ඒ ගැන හිතලා සංගිතය ඉගන ගත්තේ ඒක මට හිතෙන විදියට ඒක මම රටටම කරපු ලොකු සේවයක්.:D
Deleteඇත්තටම මේ ගිත ලියන්න පසුබිම් වූ තොරතුරු එමට හමුවෙනවා. ඒවා ලියන්න තිබුණානනම් හොඳයි වෙලාව නැති කම සේරටම මුලයි.
ඔබ වන් කෙනෙක් ලියනව නම් සහයෝගය දෙන්නම්
ලියන්න නම් ආසයී අයියේ... ඒත් ඉදිරියේදි ලැබෙන කාල වේලාව සහ අන්තර්ජාල පහසුකම් අවම වෙන්න පුළුවන් නිසා වැඩිය ලියන්න වෙන එකක් නෑ.. බලමු පුළුවන් විදියට ලියන්න.අයියා වගේ අයගෙ උදව්ව අපට ගොඩාක් වටිනවා..
Deleteතරු කියන ලේබලය පසු පස හඹා නොගිය තවත් එක් අපූරු කලාකරුවෙක් ගැන ලියවුනු සුන්දර සටහනක්
ReplyDeleteදයා අය්යගෙ මේ පොස්ට් එක කියවද්දි මට මතක් උනා යූ ටියුබ් එකේ බලපු මුහුනු දෙකේ කෝලම නාට්‍යයේ එක ගීතමය ජවනිකාවක්
http://www.youtube.com/watch?v=ctKoIiOVKh4
මීගොඩයා..
Deleteඇත්තටම මේ තරු සදාලිකව දැල්වෙන තරු.. ඒකය් මේ තරමටම සුන්දර
යූ ටියුබ් ලින්ක් එකත් නිවාඩුව බලන්නම්.. ස්තූතියි
බොහොම වටිනා ලිපියක් :)
ReplyDeleteමම ආසම සින්දුවක්
වර්ණා...
Deleteස්තූතියි වර්ණා..
හැමදාමත් වගේ කියවන්න ආස හිතෙන ශෛලියකින් ලියවුන දැන ගන්න වටින තොරතුරු..
ReplyDeleteනැද්ද මං අහන්නේ..
උපේන්ද්‍ර
Deleteලියන දේවල්වලත් විවිධත්වයක් තියෙන්න ඕනේ. මොනව කියනවද මේවා මසුරං වටින දේවල්
"ස"ප්‍රසංගය ගැන අස්වැන්නෙ ලිපිය කියෙව්වෙ දුවන ගමන්. ඒ නිසා මේක පැත්තකට වෙලා කියෙව්වා. සමහර වෙලාවට මම පත්තර කියවද්දි, වැදගත් ලිපි කියවන්නෙ නෑ, පස්සෙ කියවන්න තියනවා. බ්ලොග්ස් කිය්වද්දි අස්වැන්නටත් එහෙම වෙනවා. (හසිත මල්ලිගෙ ඊ අටුවාවටත්)
ReplyDeleteමේ ලිපිය එක්තරා විදියක කළගුණ සැලකීමක් විදියට මම දකිනවා තමන්ගෙ පාසලේ ගුරුවරයෙක් වෙනුවෙන් කරපු.
සමුගන්න මොහොතකට ගීතය පහුගිය කාලයේ මගෙ ප්‍රියතම ගීතයක් බවට පත් වුණා, දවසකට දෙතුන් වතාවක් අහන තරමටම. අහන අහන හැම වතාවෙම හිත බර වෙනවා ඒ වචන වලට සහ , ඒ අව්‍යාජ හඬට.
ඔහුගෙ "පුංචි කාලෙ අපි සින්දු කියපු හැටි" ගීතයටත් මම ගොඩක් ආසයි. ඒ ගීත දෙකේම තියන අමුතුම විරහ හැඟීම හිත පාරනවා
සිදූ..
Deleteබලන් ගියාම අපි කවුරුත් අපිට නොදැනිම යාන්ත්‍රික වෙලා.යමින් එමින් එහේ මෙහේ දුවන ගමන් බ්ලොග් එකක් කියවනවා. පස්සෙ වෙලාවක ඇවිත් සටහනක් දානවා. අපි හැමෝම එහෙමයි කියලයි මටත් හිතෙන්නේ.
"සමුගන්න මොහොතකට" ගීතය වගේම "පුංචි කාලෙ අපි සින්දු කියපු හැටි" ගීතයත් ගැයුවේ අපේ ඉස්කෝලේ ගුරුවරයෙක් වෙලා සිටිද්දී. ඒකාලෙ මේ ගී දෙක කොයි තරම් ජනප්‍රිය වුණාද කිව්වොත් මේ ගී පිළිබදව හො සංගීත සර් පිළිබදව පුවත්පත් වාර්තාවක් හෝ ලිපියක් පළවුනොත් ඒ සතියේ ඒ පත්තරයක් බෙහෙතටවත් හොයාගන්න බෑ. මොකද ළමයි පත්තර අරං නිසා. ඒ හැම ආටික්ල එකකම අපේ පාසැලේ නමත් සදහන් වෙනවා.
අදමයි ආවෙ මේ පැත්තට බොහොම ලෙංගතු සුසංයෝගයක් නොවැ. හරිම ආසාවෙන් කියෙව්වා. ස්තූතියි.
ReplyDeleteඅනිත්කොන..
Deleteපළමුවෙන්ම අස්වැන්නට පැමිණි ඔබ ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා අස්වැන්නට. ස්තූතියි පුංචි ඉඩක් වෙන් කරගෙන තැබූ සටහනට
ඇත්තටම මෙතන තියෙන ඇතැම් ගීත අදම තමා ඇහුවේ. ගුවන් විදුලියේ දැන් යන්නෙම නැති තරම්. ඒ වගේම ඉතා සුන්දර මතකයකුත් ඔහුගැන තියෙනවා නේ? ගිතතත් සමග ඔහුගැන කරපු විස්තරය ගොඩාක් රසවත්.
ReplyDeleteලිපියත් ගීතත් හොඳටම රස වින්දා.
අසරණයා..
Deleteඇත්තටම මේ ගීත සමහර ඒවා අවුරදු 40 ක් විතර පැරනියි ඒත් අද ඊයේ අහපු ගීත වගේ ඒතරමටම මිහිරියි.
ස්තූතියි ඔබට
මට නම් මේ ශිල්පියාගේ හොඳින්ම මතක ගීතය තමා රෝහණ බැද්දගේ ශිල්පියා සමඟ කියන "කලියුග කාලෙක උපන්න නුවනක්කාරයෝ දෙන්නෙක්"
ReplyDeleteඑතුමා ගොඩක්ම සිංදු කියලත් නෑ මම දන්න හැටියට...
අනූ...
Deleteමාමායි බෑණයි දෙන්නම ගැයූ ගීත වෙන දවසක් අහමු. ඒවත් ලස්සනයි
මේ වටිනා කලාකරුවා ගැන තම වටිනා කාලය වැයකොට මෙවැනි බ්ලොග් නිර්මාණයක් ඉදිරිපත් කිරීම පිළිඹඳව ඔබට මගේ හද බැති තුති පුද කරමි. - ඉන්දු එරන්දක විට්ටච්චි
ReplyDeleteහුලවාලි චිත්‍රපටයේ රඟපෑවේ සුවිනීතා වීරසිංහ නොවේද? ඔබ ලියා ඇත්තේ මාලිනී ෆොන්සේකා කියායි
ReplyDeleteමාමයි බෑණයි නිර්මාණය වූ ආකාරය සොයා
ReplyDeleteඅන්තර්ජාලයේ සරද්දී අහම්බෙන් ඇස ගැටුණා...
අස්වැන්නට ගොඩවුණේ කාලෙකින්...
දයා මුහුණු පොතේ දැක්කෙත් නෑ...
හින්දි ගීත වලින් කොපි කළ
පැරණි සිංහල ගී ගැන විස්තර ටිකක් අහන්න ආසයි..