එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Sunday, 22 July 2012

,෴ සුවහසක් සවන් යුග ප්‍රීතියෙන් උදම් වේවා...!෴





අද අස්වැන්න "ස" ප්‍රසංගයේ ගැයුණු ගීත 10ක් සමග දිග ලිපියක් :

සම්බුද්ධ සද්ධර්ම අනුහසින්
ගෝවින්ද ශ්‍රී ස්කන්ධ ශාන්තියෙන්
කමලාසනාරූඪ සරස්වතී ආශිර්වාදයෙන්
රසික ඔබ මිලනයෙන්
ආනන්ද ජනක වූ මේ සොඳුරු රාත්‍රී යාමයේ
සුවහසක් සවන් යුග
ප්‍රීතියෙන් උදම් වේවා....
ප්‍රීතියෙන් උදම් වේවා.......!

ආචාර්ය වික්ටර් රත්නායකයන් අවසන් වරටත් එසේ ප්‍රසංගයේ ස්තෝත්‍ර ගීය  ගයමින්   "ස" ප්‍රසංගයේ සමාප්තිය  1450 වන අභිෂේකයෙන් පසු  තුන් දහසක් තරම් රසික පර්ෂදයේ සුබ පැතුම් මැද   ඊයේ  රාත්‍රියේ කොළඹ හැවිලොක් ටවුමේ පිහිටි ලුම්බිණි විද්‍යාලයේ එළිමහන් පරිශ්‍රයේ දී තැනූ අංලකාර දැවැන්ත වේදිකාව මත දී නිමාවට පත් කළේය. දශක හතරක් පුරා සිංහල ගී රසිකත්වයේ හිනිපෙත්තේ  වඩා හිඳුවනු ලැබූ උච්ඡතම අවස්ථාවක දී අති විශාල රසික ඉල්ලුමක් පවතින  ගී ප්‍රසංගයක් අවසන් කිරීම පිලිබඳව යහපත් ගීත කලාවක් දකින්නට රිසි රසික සහෘදයන්ගේ කණගාටුවට කරුණක් වුවද, ශක්තිමත් කශේරුවක් හිමි ගායන ශිල්පියෙකුගේ අභිමානවත් තීරණයට ගරු කිරිම පිණිස සිය රසික පාර්ශවය ඔහුට  හිස නැමූයේ ඔහු විසින් දශක හතරක් පුරා කළා වූ ඒ අමිල මෙහෙය වෙනුවෙනි.

ඊයේ රාත්‍රියේ පළමු ගීය.. ගයමින් ප්‍රසංගය ආරම්භ කළ මොහොත
  "ස" ප්‍රසංගයේ සමාප්තිය  ගෙවුණු මාසය පුරා මෙරට සියළුම විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන් වලට උණුසුම් පුවතක්ම විය. එයින් ගෙවුණු දෙසතිය පුරාම මෙරට සියළුම පුවත්පත් සහ විද්‍යුත් මාධ්‍ය නාලිකාවන්ට වඩාත් දැනෙන උණුසුම් පුවත සැපයූවේ දේශපාලන හෝ සමාජ ප්‍රශ්න නොව මෙකී "ස" ප්‍රසංගයේ සමුගැන්මයි.

ආචාර්ය වික්ටර් රත්නායකයන් සිය ගී ප්‍රසංගය හමාර කරමින් අවසන් ප්‍රසංග මාලාව රට වටා ගෙන යන ගමනේ දී ගාලු පුරවරයට "ස " ප්‍රසංගය පැමිණි හැටි සහ ඒ පිලිබඳව "තොටුපොළඅයිනේ" බ්ලොග් අඩවිය ලියන අපගේ සහෘද හිත මිතුරු "තොටියාණන්" විසින් අපූරු සටහනක් ලියා  එහි වූ මියුරු ගී කීපයක්ම ඇතුළත් කර තිබුණි.

ඒ තරමට ම  "ස"ප්‍රසංගයේ නිමාව සංගීත රසිකයන්ට උණුසුම් පුවතක් වෙද්දී ඒ පිළිබඳව "අස්වැන්න"ට ලියන්නට තරම් තවත් සටහනක් නැති තරම් ය. එසේ වුවද මගේ ජීවිතයට ද  අමරණිය සටහනක් එකතු කළ ඊයේ සවස් යාමයේ වික්ටර් රත්නායකයන් ප්‍රමුඛ "ස" පිරිවර සහ තුන් දහසක් තරම් රසික සද්ජන සමුහයා විසින් ප්‍රසංගයට සමුදීමත් එම ප්‍රසංගය  සංගීත ක්ෂේත්‍රයට වැදගත් වූ ආකරයත් ‍පිලිබඳව අතීත මංපෙත් ඔස්සේ අස්වැන්නෙන් සටහනක් තබා "ස" ප්‍රසංගයේ සජීවිව ගැයුණු ගීත මාලාවෙන් තෝරාගත් ගී කීපයක් ඔබටද රස විඳීමට ඉඩදී ඊයේ රාත්‍රියේදි ගත් ඡායාරූප කීපයක් සමග යළි  ඒ පිළිබඳ ව ඒ පිලිබඳ මතකය අවදි කරමි.

දිනෙක හිරු බැස යන වෙලාවක
සයුරු වෙරළක හුදෙකලාවක
කල්පනාවේ සිටිය මොහොතක
මතක් විය සිතුවිලි  අතීතෙක


සයුර මා විය අහස ඔබ විය
දෙදෙන ළංවූ සිතිජයක් විය
ඒ වෙලාවේ මට මතක් විය
කලක් ලොව අප ගැන හිතූ හැටි


සයුර මා විය අහස ඔබ විය
දෙනෙත රැවටූ සිතිජයක් විය
කී කතාවේ අරුත වැටහිණි
අහස සමුදුර එකතු වී යැයි

ගේය පද: කේ.ඩී.කේ.ධර්මවර්ධන
සංගීතය සහ ගැයුම: ආචාර්ය වික්ටර් රත්නායක

රුපියල් විස්සෙ ටිකට් එකෙන් "ස" බැලූ දා:

 කුඩා කාලයේ මා වික්ටර් රත්නායකගේ ගීත ලෝලියෙකු වූයේ එකල ගුවන් විදුලියේ උදේ ඇසුණු "අරුණ කිරණ" වැඩසටහන්වලදී ඔහුගේ දේශාභිමානී ගීත ඇසීමෙනි. ඒ යුගයේම පැවති එලිමහන් රාත්‍රී සංගීත සංදර්ශනවලදී වික්ටර් රත්නායකයන් ගී ගැයු අයුරු යාන්තමට මතකය. කුඩා කාලයේ වුවත් එදා වික්ටර් එළිමහන් රාත්‍රී සංගීත සංදර්ශන වලදී ගැයු "තනිවෙන්නට මගේ ලොවේ, බණින්නෙපා පොඩි දෝණිට, හිත මිතුරු සුළඟ,  සඳ හිරු තරු සහ අපි ඔක්කොම රජවරු"  ආදී ගී ඔහුගේ මුවින් ගිලිහුණු හැටි තවමත් මතකයේ රැඳී ඇත්තේ ඒ මධුරතර අතිතයට මා අතිශයින් පෙම් බඳින බැවිණි.

වික්ටර් ගැයූ ඇතැම් ප්‍රේම ගීයක සැගවුණු අරුත කුමක් දැයි සොයන්නට පෙළඹුනේ පසු කාලයේ දීය. එසේ වුවද පාසල් කාලයේ ප්‍රේමය පිලිබඳ  එවැනි ගැඹුරු අත්දැකීම් නොතිබුණද වික්ටර්ගේ ප්‍රේම ගී වල අපූර්ව රසයක් සැඟවී තිබෙන  බව තරමක් වියපත් වූ පසුව පසුකාලයේ මටම වැටහිණි.

සිහින සතක් දුටුවෙමි මම 
සත් දවසක් එක විලසට
එක සිහිනෙක ඔබ දුටුවා
සිඟන්නියක සේ

ඔබ මගෙ පැල්පතට පැමිණ
ආයාචනයක් කරමින්
ජීවත්වන්නට කිසිවක්
ඉල්ලා සිටියා

කිසිවක් දෙන්නට මට නැත
තිබුණේ පිරිසිදු හදවත
සිඟන්නියේ එය ඹබ හට
දුන්නා මතකයි

එදා මගේ හද අරගත්
ඔබ අද මට වැඩි පොහොසත්
ඒ හින්දා මටත් එලෙස
පිහිට වනු මැනේ


ගේය පද: ප්‍රේමකීර්තිද අල්විස්
සංගීතය සහ ගැයුම: ආචාර්ය වික්ටර් රත්නායක

" සිහින සතක්" ගීතය මෙතනින් අහන්න



ඒ එසේ වුවද, වික්ටර් රත්නායකයන්ගේ "ස" ප්‍රසංගය පළමු වරට නරඹන්න‍ට ලැබෙන්නේ අසූව දශකයේ මැද භාගයේදී අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ පැවති ප්‍රසංගයක දීය. එදා රුපියල් විස්සක ප්‍රවේශපත්‍රයෙන් පළමු වරට  පාසල් දර්ශනයෙන් වික්ටර්ගේ "ස" ප්‍රසංගය නරඹා  ගීත ලෝලියෙකු වී  මේ දක්වා වැඩිම වාර ගනනක් නැරඹු  ප්‍රසංග අතරට "ස" ප්‍රසංගයත්, කපුගේ ගේ "කම්පන" ගී ප්‍රසංගයත් මගේ අතීත මතකකයට එක් වී ඇත්තේ සදා අනුස්මරණිය කර ගත හැකි වන පරිද්දෙනි.

නව සංගිත සම්ප්‍රදායක ඇරඹුම:
"අපි ඔක්කොම රජවරු"  ලක්ෂ්මන්, සුනිල්, එඩ්ඩඩ්, බන්දුල, රෝහණ, ආනන්ද, නිර්මලා
  ඇතුළු පිරිස

1973 වන විට සංගිත ප්‍රසංග කලාවේ තිබී ඇත්තේ  අමරදේවයන් සහ නන්දා මාලිනිය ගී ගැයූ "ශ්‍රවන ආරාධනා" ද්වී පුද්ගල ගී ප්‍රසංගය පමණි. ලංකාවේ ඒක පුද්ගල ප්‍රසංග කලාවේ පුරෝගාමියා වෙමින් වික්ටර් "ස" ප්‍රසංගය මෙරට සංගීත ප්‍රබෝධයක පළමු ආරම්භය විය. අනතරුව අමරදේවයන් විසින් "අමර ගී සර" ප්‍රසංගයද, සනත් නන්දසිරි
"ස්වර්ණ කුණ්ඩල" ගී ප්‍රසංගයද, නන්දා මාලනිය විසින් "සත්‍යයේ ගීතය" ගී ප්‍රසංගය සහ "පවන" ගී ප්‍රසංගයද, රසික මනදොල සපුරා ලමින් වේදිකාවට රැගෙන පැමිණියහ.

නන්දා මාලනිය "පවන" ගී ප්‍රසංගය දර්ශන වාර 250 කින් නිමාවට පත් කලාය. එච්. ආර්. ජෝතිපාල "ජෝති රාත්‍රිය" ගී ප්‍රසංගය දර්ශන වාර 242 ක් පැවැත්වීය. අනතුරුව ගුණදාස කපුගේ විසින් ඉතාමත් කෙටි කාලයකදී " කම්පන"  ගී ප්‍රසංගය 968 වාරයක්  පවත්වා අවසක් කළේය. මාලනි බුලත්සිංහල ' මා ද ඔබම විය" ප්‍රසංගය ආරම්භ අවසන් නොකරම  නික්ම ගියා ය.  ඉන්  අනතුරුව  දැනට වේදිකා ගත වෙමින් පවතින   සුනිල් එදිරිසිංහ "සඳකඩ පහණ" ගී ප්‍රසංගය දර්ශන වාර 100 ඉක්මවා  ඇති අතර ඉතාමත් මෑතකදී ආරම්භ කළ එඩ්වඩ් ජයකොඩිගේ "මාරම්බරී" ගී ප්‍රසංගය ද,  දැනට ප්‍රසංග වාර 02 ක් පමණක් ඉතිරිව ප්‍රසංග 25 කින් නිමාවෙමින් පවතින නන්දා මාලනියගේ "ස්වේත රාත්‍රිය" ප්‍රසංගයද, මෙරට ඒක පුද්ගල ප්‍රසංග කලාවේ සිහිවටන ලෙස රැඳවීමට හේතු වූයේ එදා වික්ටර්  රත්නායක ආරම්භ කළ  මේ දැවැන්ත සංගීත සම්ප්‍රදාය බව කිව හැකිය.

තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ  සුවඳ මා ළඟින්

සිවු වසරක පෙම් ගීතය ගොලුවෙලා ගියාදෝ
අලුත් ලොවක ඔබ සතුටින් කිරුළ පැළඳුවාදෝ

මායාවකි ප්‍රේමය මා හදවත රිදවූයේ
සෝ ගීයකි දුක්බර වූ සැනසුම කොහි වේදෝ

ගේය පද: බුද්ධදාස ගලප්පත්ති
සංගීතය සහ ගැයුම: ආචාර්ය වික්ටර් රත්නායක

" තනිවෙන්නට"ගීතය මෙතනින් අහන්න


ලුම්බිණියෙන් බිහිවූ ප්‍රසංග කලාව:

නිර්මලා.. අඹ ගස්යට මල් හැලිලා
කොළඹ නගරයේ ඉතාමත් හොඳ රංග ශාලා තිබුනද, මෑතක් වන තුරුම මෙරට සියලුම සංගීත සහ නාට්‍ය කරුවන් තමන්ගේ පළමු ගී ප්‍රසංගය හෝ නාට්‍ය දර්ශනය සඳහා හැව්ලොක් ටවුමේ පිහිටි ලුමිබිණි රඟහලේ පළමු දර්ශන වාරය සහ අවසන් දර්ශන වාරය පැවැත්වීමට උනන්දු වූ  හේතුවක් ද තිබුණි. ඒ  එදා වික්ටර් රත්නායකයන් විසින් ලුම්බිණියේ දී "ස" ප්‍රසංගය මගින්  ඇති කල  මහා සංගීත සම්ප්‍රදාය හරහා  සංගීත විප්ලයක් ඇති  වූ නිසා ය . ලුම්බිණිය ඉතාමත් අඩු පහසුකම් ඇති රඟහලක් වුවද කලාවට එය සොඳුරු නවාතැනකි. "තොටුපොළ අයිනේ" ලියූ සහෘද තොටියාණන් සඳහන් කළාක්  මෙන් ජනෙල් දොරවල් පවා බිඳ දමා ප්‍රසංග නැරඹීමට හුරු කල ලුම්බිණියේ පළමුවරට වේදිකා ගත කරන ප්‍රසංගය හෝ වේදිකා නාට්‍යය වැඩි වාර ගනනක් රටවටා ගෙන යා හැකි බවට සනාත වන මතයක් ගොඩනැගුනේ වික්ටර් රත්නායකයන්ගේ "ස"ප්‍රසංගය මගිනි. ඒ නිසාම සිය “ස” ප්‍රසංගයේ පළමු දර්ශනයත්, 1450 වන අවසන්  දර්ශන වාරයත් මගින්  සමාප්තිය සටහන් කරන්නට තෝරාගෙන තිබුනේ ද  මෙම ලුම්බිණිය රඟහලයි. එය නැවත වරක් තහවුරු වූයේ ඊයේ සවස් යාමයේ ය.

තනි තරුවේ... තනි තරුවේ
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා


නෙතග නෙතග පැටලි පැටලි
මුවග මුවග ඇලලි ඇලලි
මෙතෙක් දුරක් එක්වී පැමිණී
තනි තරුවේ..


මහද අරණෙ ළතැවි ළතැවි
ඉඳිනු බැරිව ඉගිලි ඉගිලි
මගෙන් ඉවත ඇදිලා සැනසී
තනි තරුවේ...

ගේය පද: ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය සහ ගැයුම: ආචාර්ය වික්ටර් රත්නායක

" තනි තරුවේ" ගීතය මෙතනින් අහන්න


"ස" ප්‍රසංගයෙන්  සිංහල ගීතයට ලැබුණ දායකත්වය:

දෛවයේ සරදම් ලබන්නට කිම මෙසේ අප හමුවුණේ
1970 දශකය වන විටත් සිංහල ගීතය  හින්දි සහ ද්‍රවිඩ ගීත අනුකාරකත්වයෙන් සම්පූර්ණයෙන් මිදී නොතිබුණි. 50 -60  දශක තරමටම දැඩි බලපැමක් නොතිබුණ ද ජනප්‍රිය ගීත ලෙස එදා පිළිගනු ලැබූයේ  මේ අනුකාරක ගීත ය. ‍ඒ වන විටත් උසස් ගීත සහ සංගිත රසිකත්වයක් පිළිබඳව බලාපොරොත්තු දැල්වෙමින් පැවති අතර අමරදේව ප්‍රධාන කොටගත්  පිරිස නව සංගිත සම්ප්‍රදායන් පිලිබඳ ඉඟි පළකර තිබුණි. මේ සම්භාව්‍ය පරපුර එක ඉවුරක සිටිද්දී  ඒ ගඟ අනෙක් ඉවුරෙහි  හින්දි සහ ද්‍රවිඩ  අනුකාරක ගී තනු ගැයූ ජෝතිපාල, මිල්ටන් පෙරේරා  ආදීන් ජනප්‍රිය මාවතේ  ගමන් කරමින් සිටියහ.

එක ඟඟක ඉවුරු දෙදකට වී හිඳිමින් එක් පිරිසක්  උසස් සංගීත රසයක් ඇති නිර්මාණාත්මක නව සංගීත රස සොයමින් වින්ද අතර අනෙක් පිරිස අනෙක් ඉවුරට වී ජනප්‍රිය ගී සංස්කෘතියට අනුගත වෙමින් ඒ ගී මග යමින් සිටියහ. එදා වික්ටර් රත්නායකයන් මේ ඟඟ ඉවුරු දෙක යා කරමින් නව සංගිත සම්ප්‍රදායේ පාළම ඉදි කළේ ය.


පොඩි කුමාරිහාමියේ
එපා වලව්වට යන්න නියර පිට
බලා ඉන්න පොඩි කුමාරිහාමියේ
කාසි එපා නුඹ හිනාවෙවී
ඔහෙ බලා ඉන්නවා නම්


නිලමෙත් නපුරුයි ළමාතැනිත් නපුරුයි
නපුරු වලව්වක කෝමද කෝමල
කතා නුඹට ලැබුණේ
වක්කඩ කැඩුවා සේ සිනාසෙන
සිනා ගඟුල මැවුනේ
නුඹෙ හිනා ගඟුල මැවුනේ..


කඩා ගන්න බැරි වුනත් හරිම සුවඳයි
නෙරිය කොනේ මඩ තිතක් ඉහින්නට
ආසයි නුඹට හොරා
මාල හතක් බැඳ පෝරුව මත හිඳ
නොයන්න ගම හැරදා
නුඹ නොයන් මෙ ගම හැරදා......


ගේය පද: මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය සහ ගැයුම: ආචාර්ය වික්ටර් රත්නායක

"පොඩි කුමාරිහාමියේ" ගිතය මෙතනින් අහන්න




වික්ටර් රත්නායකයන් එදා තැනූ  ඒ සංගීත පාලම  ඔස්සේ දෙනෝදහක් සංගීත රසිකයෝ  තම තමන් සොයා යමින් සිටි ප්‍රබුද්ධ ගීත ලෝකයට පිය නැගුවේ වික්ටර් බිහි කළ ගීත සංස්කෘතිය නිසා ය. එතෙක්  කලක් ජනප්‍රිය ගීතය වශයෙන් හඳුනාගෙන තිබූ ගායනය සහ සංගීතය අතහැර ගීත රසිකයෝ  ගීතයේ අත්දැකීම්  සහ ගේය පද රචනාවල අත්දැකීම් , අරුත් පිළිබඳව විමසන්නට  වූහ. එහි පදනම වූයේ  රසික චින්තනය ඉහළට ඔසවා තැබිමට වික්ටර්ගේ "ස" ප්‍රසංගය ඇති කල සමාජමය සහ සංස්කෘතිකමය වෙනසයි.

තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත
ඔබෙ සෙවන පමණි මිහිපිට ඇති එකම සම්පත

මද පවන මොටද ඔබේ සුවඳ මුසුවී නැත්නම්
සඳ කිරණ මොටද ඔබ මගෙ තනියට ළඟ නැත්නම්
හෙළි කරමි මගේ ළඟ ඇති ආදරයේ වත්කම්
පැල්පතද මට හොඳයි මිහිරියෙ එක හිත ඇත්නම්

කල් ගෙවා දෙනෙත් නොපියා ඔබ ළඟම පිය කතේ
කල්පනා කළ පමණ මට කල්පනා‍වක් නැතේ
ඇඳිරියෙද මැණික හඳුනන ඇස් දෙකක් මට ඇතේ
එනු මැනවි රස බලමු සෙවනක එකම පැල්පතේ

ගේය පද: ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය සහ ගැයුම: ආචාර්ය වික්ටර් රත්නායක

"තරු අත් අකුරින්" ගිතය මෙතනින් අහන්න


සෝක සැනසුම් වේදනා නිමා කළ අවසන් සැඳෑව:

තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත
සිරිත් පරිදි ඊයේ සැන්දෑව අඳුරේ ගිල්විමට හෝරාවක් දෙක තුනක් තබා සියළු කලා කරුවෝද, සහෘද රසික පිරිසද, ලුම්බිණියට පැමිණ සිටියේ 1450 වන අවසන් සැඳෑව සියැසින් දැකගෙන ඒ අභිමානවත් සමුගැනීමේ සොඳුරු නිමේෂය මනසේ සටහන් කර තබා ගන්නට ය. ඒ දශක හතරක් පුරා අර්ථ මාධූර්යයෙන් ද, නාද මාධූර්යයෙන් ද, මනෝරම්‍ය වූ ගායන ලීලාවෙන්ද, මාධූර්යයෙන් ද, සුවහසක් සවන් පත් යුග යුග නිවා සැනසූ " ස"  ප්‍රසංගයට සමුදීම සඳහා ය.

රුවන් නිදන හෙළ බිමයි.....
දශක හතරක් දෙස ආපසු හැරී බලන විට දැකිය හැක්කේ කාලය අප පසු කර යාම පමණකි. එදා යොවුන් වියේ පසු වූවන්  අද වියපත්ව සිටී. ඔවුන් ඊයේ එහි පැමිණියේ ඒ සුමියුරු අතීතය නැවත සිහිගැන්වීම සඳහා ය.  එදා උකුළත තබා රැගෙන පැමිණි ඒ   සිඟිති දූ දරුවන් අද තරුණ විය ද ඉක්මවා සිටී. ඔවුන් ඊයේ  පැමිණියේ  එදා තම මව හෝ පියා විසින්  උකුළත හොවා කියාදුන් ඒ මිහිරි ගී සුයාමය අවසන් වරට විඳින්නට ය.  ඇතැමෙක් තම වියපත් පියා හෝ මව අතින් අල්ලාගෙන ලුම්බිණියට පැමිණියේ  එදා තමා සුළැඟිල්ලේ  එල්ලා  රැගෙන විත් කියාදුන් අරුත් බර ගී මිහිර විඳ සැනසෙන්නට ය. එදා නූපන් අය අද යොවුන් වියේ පසුවෙමින් එහි පැමිණ සිටියේ  තමන් විසින් අසා තිබූ  ඒ ප්‍රසංගය සැබැවින් ම විඳ සැනසෙන්නට ය.  එදා නූපන් ඇතැමෙක් ඊයේ එහි  තම සිඟිති දූ දරුවන් කැටුව පැමිණියේ සුන්දරම සැඳෑව ගැන මතු දවසක ඔවුන්ට කියා දිමට ය.

සියළු රසිකයෝ දැහැන් ගත කරවමින් ඒ රාත්‍රියෙහි රසික සද්ජන සමූහයාගේ උණුම් ප්‍රතිචාරය හමුවේ 1450 වන වතාවට සිය “ස” ප්‍රසංගය රැගෙන වික්ටර් සිය අතිජාත මිත්‍ර මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මුලසුනෙහි හොවා දැවැන්ත එලිමහන් වේදිකාවටගොඩ  වූයේ අවසන් වතාවටය.

සම්බුද්ධ සද්ධර්ම අනුහසින්
ගෝවින්ද ශ්‍රී ස්කන්ධ ශාන්තියෙන්
කමලාසනාරූඪ සරස්වතී ආශිර්වාදයෙන්
රසික ඔබ මිලනයෙන්
ආනන්ද ජනක වූ මේ සොඳුරු රාත්‍රී යාමයේ
සුවහසක් සවන් යුග
ප්‍රීතියෙන් උදම් වේවා....
ප්‍රීතියෙන් උදම් වේවා.......!


ලුම්බිණි විද්‍යාල භූමියේ අතුරු සිදුරු නැතිව පිරී සිටින සියලු රසිකයන් නිහඬ කරමින් සොඳුරු ගාන්ධර්වයාණෝ සිය මෝහනීය ගායන ලීලාව රඟහල අඳුර විනිවිද මුදා හැරියේය.

සෝක සැනසුම් වේදනාවන් 
ආදරේ පුරවා ගෙනා
ඈගෙ නිලුපුල් දෑසෙ කඳුළැල්
ජීවිතේ මතු වාසනා

වීණාවෙ තත් මැද ගී ගයන්නේ
ඈ සෙනේ හද මිහිර මවා
රන් කේලි බඳිමින් මග සරසන්නේ
ජීවන ගමනේ පිහිට පතා

මා සිහින විමානේ පැතුම් තටාකේ
ආදර කුසුමන් පිපී තියේ..
සැනසීම හෝ වැනසීම  ඔබගේ
ඔය නිල් දෑසේ රැඳී තියේ


ගේය පද: මීගොඩ විල්සන්
සංගීතය: මර්වින් පෙරේරා
ගැයුම: ආචාර්ය වික්ටර් රත්නායක

" සෝක සැනසුම්" ගීතය මෙතනින් අහන්න




මියුරුතම ගී එකතුවේදී වික්ටර් රත්නායකයන් රන් හුයක ඇමිණූ  මුතු පොටක් බඳු ගී ඟඟුලේ කිමිදෙමින්  අපි ඔක්කොම රජවරු, දෙව්රම් වෙහෙරේ, සිහින සතක්, ආදරයේ උල්පත අම්මා,  නංගියේ මල්ලියේ, අඹගස් යට මල් හැලිලා, සිහිල් සුළං, හෝපළු වන පෙත, ඔබෙ දෙතොල් පෙති,  කුරුල්ලන්ට ගී, තරු අත් අකුරින්, සෝක සැනසුම්, සීගිරි ළඳකගෙ, තනි තරුවේ, පොඩි කුමාරිහාමියේ, පාවේ වලා, සඟවා ගනු මැන, රුවන් නිදන හෙළ බිමයි,  දෛවයෝගයකින්, මයුරාසන , අදුර බිඳින්නට තොටුපොල අයිනේ, කෙහේ සිට ඔබ පැමිණියේ දෝ,  මා ළඳ වත තාරපතී, සිහිල් සුළං , බින්දුමතී ආදී මුවින් මුව රුව් පිලි රැව් දුන් ගී වැල අවසන් වරට “ස” ප්‍රසංගයෙන් සවනට මුසු කළේ රසික සිත් ප්‍රමෝදයේ ගිල්වමිනි.

පෙම්බර මධූ මගේ මා නැතේ ඔබෙන් මිදුනේ
සුරූපි දේහ විලාසේ මැවේ මැවේ නයනේ
පෙම්බර මධූ මගේ.. පෙම්බර මධූ මගේ


ලොවේහි ඈත අනන්තේ පැලක් තුලේ නොපෙනී
ඇතත් හොරෙන් හැංගීලා මගේ දුකත් නොදැනී
අරන් එමී ඔබ කැන්දා ඇසිල්ලකින් පැමිණී
සුරූපි දේහ විලාසේ මැවේ මැවේ නයනේ
පෙම්බර මධූ මගේ..පෙම්බර මධූ මගේ..


වඩාල දෝත පුරාලා පරෙවි කුමාරිය සේ
සුගන්ධ මල් යහනාවේ හොවා පෙමින් සිතුසේ
පවන් සලා ඔබ සනසම් ළදල්ලකින් සුවසේ
සුරූපි දේහ විලාසේ මැවේ මැවේ නයනේ
පෙම්බර මධූ මගේ..පෙම්බර මධූ මගේ..

අපේම පාලු විමානේ නිසංසලේ සහනේ
අමා පැණින් මත්වීලා ඔබේ දෙනෙත් බඳුණේ
විඳින්නෙමී රස මදිරා පෙරුම් පිරූ ලෙසිනේ
සුරූපි දේහ විලාසේ මැවේ මැවේ නයනේ
පෙම්බර මධූ මගේ..පෙම්බර මධූ මගේ..


ගේය පද: කරුණාරත්න අබේසේකර
සංගීතය: පී.එල්.ඒ.සෝමපාල
ගැයුම: ආචාර්ය වික්ටර් රත්නායක

ගීයෙන් ගීයට නැගුන අත්පොලසන් නාදය  සවන්පත් විනිවද ගියේ සොඳුරා ගාන්ධර්වයානන්ගේ සේම ප්‍රේක්ෂකාගාරයේ දැහැන් ගතව හුන්  රසික සමූහයාගේද දෑස් කඳුළින් තෙමෙද්දීය. සිය සමාධිගත ඉරියව්වේ දැහැනකට සම වැදී සිය ආනන්දනීය ගී හෝරා තුන හමාරක් පුරා රසික සද්ජනයා සමග කතාබාහ කරමින්, ඔවුන් සිනා සයුරේ ගිලවමින්ද,  ගීතයේ දැහැන් ගත කළේය.


බිංදුමතී.... බිංදුමතී....
මං ආදර පෙම්මාදර බිංදුමතී
පෙමා වඩන ලද බිංදුමතී..

කලු උක් ගස විසා කලු  කලු නංගියේ
දර කඩලා ඉහ තියලා කොහිදෑ ගියේ
ගොම්මං සමයමටා ගම හොල්මං තියේ
නුඹ එක්කා මම එන්නා යමු නංගියේ

ළිඳ ළඟටා යන්න එපා දියබරියා එයි
වැට ළගටා යන්න එපා කබරගොයා එයි
ගඟ ළඟටා යන්න එපා අබිමානා එයි
පිට ගමටා යන්න එපා මා මෙහි තනිවෙයි..


ගේය පද: ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය සහ ගැයුම: ආචාර්ය වික්ටර් රත්නායක



ගී රසිකයන්ගේ ඔක්කොම රජවරු

සඳ හිරු තරු පවතින තුරු නොමැරෙන මිනිස්සු...
එදා 1973 දී වික්ටර්ට “ස” ප්‍රසංගයේ  අත්වැල් ගායනයෙන් දායක වූ රෝහණ වීරසිංහ, සුනිල් එදිරිසිංහ, ලක්ෂ්මන් විජේසේකර, බන්දුල විජේවීර,  එඩ්වඩ් ජයකොඩි, ආනන්ද වීරසිරි, නිර්මලා රණතුංග, ඉන්දීවරී අබේවර්ධන ආදීන් හතළිස් වසරකට පසු  අද දවසේ ප්‍රවීන ශිල්පීන් වුවද, එදා පළමු ප්‍රසංගයේ මෙන්ම ඊයේ රාත්‍රියේද වික්ටර්ට අත්වැල් ගායනය කරමින් රසික සිත් ආනන්දයෙන් ප්‍රමුදිත කළහ.


එපා හිරු පායන්න
අදින් පසු මගෙ ලොවට
අදයි අවසන් දවස ඇගෙන් මා
මගෙන් ඈ සමුගන්න


සැඳෑ තරු නොදිලෙන්න
සරා සඳ නොනඟින්න
වෙලී යුගඳුරු සතර
අනු දිසා ගිලගන්න
ගලා යන නදී දොල... මිදී..
මිදී නැවතී ඉන්න


ලිය මඩුලු තුරු සිරස
එපා මල් පළඳන්න
වසන්තය නිමා විය
කොවුලනේ ගොලු වන්න
සොබාදම් නෑ සියනි... සැලී...
සැලී කම්පා වන්න


ගේය පද: කුමාරදාස සපුතන්ත්‍රී
සංගීතය සහ ගැයුම: ආචාර්ය වික්ටර් රත්නායක

රාත්‍රිය ‍හිමිහිට නැගෙද්දී වික්ටර් බින්දුමතී ගීය ගැයෙන විට ඒ ගැයෙන්නේ අවසන් ගීයට පෙර ගීය බව මට  හැගුණි. ආරම්භය මෙන්ම අවසානයේද අපි ඔක්කොම රජවරු ගීය ගැයුණි. මෙතෙක් වේලා දැහැන් ගතව හුන් සියලු රසික සමූහයා සිය අසුන් වලින් නැගී හිඳ විනාඩි දහයක් තරම් කාලයක් තිස්සේ වැයුණු අපි ඔක්කොම රජවරු ගීයේ ගී අනුවාදනයට අනුගත වෙමින් අත්ලොසන් දුන්නේ හැව්ලොක් ටවුම දෙදරා යන පරිද්දෙනි.

වියපත් තොටියා, ඔරුව සහ හබල :

දැන් ඉතින්  රාත්‍රියට මෙන්ම ඔහුටද සමු දිය යුතුය. වික්ටර් පුරා වසර හතළිහක් මුළුල්ලේ “ස” ප්‍රසංගය රට වටා මෙන්ම ලොව වටාද ගෙන යමින් රසික සිත් තුටු කළේය. ආනන්දයෙන් ප්‍රඥාවට කරා රැගෙන ආවේය. මිහිරිම ගීතයේ රුව ගුණ කියා දුන්නේය. ජනප්‍රිය මාවත කුමක්දැයි ගීතයෙන් ම කියා දුන්නේය.

සෝක සැනසුම් වේදනා... 
ඔහු හතළිස් වසරක් පුරා රසිකයන් එතෙර මෙතෙර කළ ඔරුව ගං ඉවුර වෙත අවසාන වතාවට පදවාගෙන පැමිණියේය. නැවත දියත් නොකරන ලෙස ඔරුව ගං ඉවුරේ රඳවා හබලද ඔරු කඳ මත තැබීය.ඔරුවද හබලද තවමත් ශක්තිමත්ය.  පුරා හතළිස් වසරක් ඔරුව හබල් ගෑ තොටියා දැන් වියපත් බව ඔහුටම වැටහිණි. ඔරුවද හබලද භාරගන්නට කිසිවකු පැමිණ නැත. ගලා යන නිල් දියෙන් දෑත දොවා ගං ඉවුරෙන් මෑත්වී ආපසු එහා ඉවුර දෙස බැලූයේ එතෙර කරවන්නට තරම් තවත් කිසිවකු සිටීදැයි විමසා බලන්නට ය. කිසිවකු පෙනෙන්නට නැත.  ඔහු විසින් සාදා දුන් පාලමෙන් බොහෝ දෙනෙක් එතෙර මෙතෙර යන අයුරු දැක උපේක්ෂාවෙන් ඒ දෙස බලා සිටියේය.

පාවෙන වලා අතරින් තනි තරුවක් දැල්වී නෙතග පැටලෙයි. සිහිල් සුළං රැල්ලක් හමා එනු දැනේ. සියලු දේ අනියත බව කියා දුන් දෙව්රම් වෙහෙර හිමි වැඩ සිටි අයුරු සිහිවෙයි. සියලු සෝක සැනසුම් වේදනා අතරින් රත්තරං කෙණ්ඩියේ සිංහ තෙල් වගේ වූ ඔබේ මියුරු ගී සරය නැවත නැවතත් හිතේ දැවටෙයි. අඳුර බිඳින්නට රැය පුරා ලන්තෑරුම් එලි දැල්වී ඇත. හෙට හිරු තව දවසක් ගෙනාවද එය කෙසේ වේදැයි කිව නොහැක. ඒ නිසා ඔබ දැල්වූ ලන්තෑරුම් එළියෙන් බිඳක් ගෙන මම ද  ලුම්බිණියෙන් නික්ම යමි.෴


සටහන:
මේ සටහන කොටස් කීපයකට බිඳින්නට හිත ඉඩ නොදෙන නිසාත් එය එතරම් තේරුමක් ඇති වැඩක් යැයි නොසිතෙන හෙයින්ද  එක ලිපියකින්ම මේ සටහන තබමි. දිග වැඩි විම ගැන කණගාටු වෙමි.



ඔබේ වටිනා කාලය බිදක් වැය කර ගී රස විඳිමින් කියෙව්වාට  ස්තූතියි. වෙලාවක් ඇත්නම්  ඔබේ විචාරාත්මක අදහසත් මෙහි ලියා තබන්න

42 comments:

  1. "ස" මෙතරම් අගයන්නේ, මෙතරම් සටහන් ලියවෙන්නේ අගය කළ යුතු නිසාමයි. පිදිය යුත්තන් පිදීමේ ගුණය තිබීම ගැන සතුටුයි. ඒ වගේමයි වික්ටර් රත්නායකයන්ගේ ගෞරවාන්විත නිමාව බොහෝ දෙනාට ආදර්ශයක්

    ReplyDelete
    Replies
    1. හසිත

      ඇත්තෙන්ම වික්ටර්ගේ මේ "ස" ප්‍රසංගය සමුගැනිම තවත් සියවස් ගනනාවක් යනතුරු ඉතිහාසගව තියේවි.මෙවැනි ගෞරවාන්විත නිමාවක් තැබිම අනාගත පරපුරටත් ආදර්ශයක්.

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. එතකොට මම :D

      Delete
    2. මැසිමේ පොඩි අවුලක් නිසා කොමෙන්ටුව මිනිත්තු එකහමාරක් පමණ ප්‍රමාද වුනා.. ෂිට්!!

      Delete
    3. රැංගෝ

      අවුලක් නෑ. වික්ටර්ගේ ගිවලට ඒතරමට ප්‍රිය කරනවා නේද?

      Delete
  3. කලාකරුවානෙනි ඔබට මාගේ ප්‍රණාමය !
    ලියන්නට බොහෝ දේ ඇතත් කරුනු ගොනු කරගන්නට අපහසුයි . අවසන් ප්‍රසන්ගය බලන්න බැරි උනත් මහරගම තිබූ ප්‍රසන්ගය බැලූ නිසා හිතට සතු‍ටුයි .

    සුවහසක් සිත් සතන් සැනසූ මේ ගීත කෝකිලයාට නැවතත් ජාතියේ ප්‍රණාමය පුද කරනවා.

    මේ සටහන තැබු ඔබටත් බොහොම පින් .

    ReplyDelete
    Replies
    1. ගිම්හානි..
      අවසන් ප්‍රසංග මාලාවෙන් එකක් හෝ බලා ඒ මතකය සදාකාලික මතකයක් කර ගැනිම තරම් සතුටක් තවත් තියේද?

      ලංකාවෙ හැම රසිකයෙක්ගේම ප්‍රාර්ථනාව විය යුත්තේද එයයි.

      Delete
  4. ඇසට කඳුලක් ගෙනා පෝස්ට් එකක්. මා ස දෙවරක්ම බැලුවා. මාස ගණනකට සිත සංසුන් වෙනවා ඒ ගී සමගින්. එම කාලය අපි ඔහුට සවන් දෙන්නේ පුදුම සංසුන් කමකින්. නැවත ස ප්‍රසංගයක් නෑ.
    එහෙත් වික්ටර් රත්නායක සොඳුරු ගාන්ධර්වයානෙණි....
    ඔබ හරියටම හරි. වියපත් වන විට, කටහඬේ ජවය නැතිව ඔබව රසිකයන්ට එපා වන්න නොදී ඔබ හොඳින් අවසන් ප්‍රසංගය දක්වා පැමිණ තවත් යන්න පුළුවන් කම තිබියදී සමුගැනීම තම පුටුව ඊළඟ පරපුරට නොදී අල්ලා ඉන්න බොහෝ අයට හොඳ ආදර්ශයක්.
    ඔබේ මේ දශක හතරක ගමන දශක සිය ගණනක් කියවේවි....
    මේ ගැන සටහනක් තැබූ දයා අයියාට ගොඩක් ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ප්‍රියන්ත..
      ඇත්තටම වික්ටර් දුන්න ආදර්ශය මතු පරපුරට ඉතාමත් වැදගත්. එදා අවසන් ප්‍රසංගයේදි එතුමා කිව්වේ යම් දවසක තවදුරටත් ගී ගයන්න බැරි බව වැටහුනොත් එදාටත් මේවගේ ප්‍රංගයක් තබා ගායන දිවියෙන් සමුගන්නා බවයි.

      ඔහු කලා කරුවන් අතර දැවැන්ත වෘක්ෂයක්

      Delete
  5. ජීවිත කාලය තුළ, එක වරක් හෝ ස නරඹන්නට වාසනාවන්ත වීම පිළිබඳව ඇත්තේ ආඩම්බරයක්. අයියාගේ ශ්වේත රාත්‍රිය පිලිබඳ පොස්ටුව, ශ්වේත රාත්‍රිය නරඹන්නට කලින් කියවා ගිය නිසා ප්‍රසංගය පිළිබඳව දැනුමක් සහිතව නරඹන්න පුළුවන් වුනා.නමුත් මේ පොස්ටුව කියවන්න යෙදුනේ, ප්‍රසංගය නැරඹුවාට පසුව නිසා පොඩි කනගාටුවක් නැතිවා නොවෙයි.

    කලිනුත් මා කිව්වා වගේ, තනිවෙන්නට මාගේ ලොවේ ගීතය ගාල්ලේ දී ගැයුනේ නැහැ. මා, වික්ටර් රත්නායකයන්ගේ බෙහෙවින් ම ප්‍රිය කරන ගීත එයයි. නමුත් අවසන් වරට ස හි ගැයුණු ඒ ගීතය අසන්නට තරම් ඔබ වාසනාවන්ත වී තිබෙනවා..

    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. පියාගේ ගීත අභාවයට යන්නට ඉඩ නොදී, තමන් ගායනා කරන බව ජයන්ත රත්නායක අප සමග පැවසුවා.. එහෙයින් සමහර විට ඔබ පවසූ ආකාරයට ඔරුවත් හබලත් බාර ගන්නට කෙනෙක් නැති නොවන්නට පුළුවන්. එය ස නමින් නොවුනත්, වෙනත් ආකාරයකින් හෝ ඉදිරි පරම්පරාවන්ට විඳින්නට ලැබෙනවා නම් මහත් භාග්‍යයක්..

      Delete
    2. @ රැ0ගෝ: මමට නම් හිතෙන්නේ ලිපිය කියවන්න කලින් ප්‍රස0ගය නැරඹපු එක හොඳයි කියලා. එවිට තමා මට හිතෙන විදියට එය නැවුම් අත්දැකීමක් වෙන්නේ.. ඊට පස්සේ එය හිතට කොතරම් වදිනවාද කියනවා නම් ස ප්‍රස0ගය ගැන නොදත් දේ සොයා බැලීමට නිතැතින්ම යොමුවනවා. එවන් මොහොතම හමුවන මෙවන් ලිපියක් මැණිකක් බඳුයි

      Delete
    3. රැංගෝ..
      අවසන් මොහොතේදි හෝ මේ ප්‍රසංගය දෑසින් දැක බලා සැනසෙන්නට තරම් ඔබ වාසනාවක් ලබා තියෙනවා. ඒම ඇති හොඳ වින්දනයක මතකයක් කරගන්න.

      වික්ටර් ඔරුව නතර කළ තැනින් හබල අතට ගන්න සමතෙක් තවම නැහැ. ජයන්ත ඒතරමට ලගාවෙන්න වැඩි වැඩ කොටසක් කළ යුතුය කියා හිතෙනවා.

      තොටියා..

      ඇත්තටම මම මේක කලින් ලියන්න සූදානම් නොවුනෙත් ඒ නිසාමයි. අනෙක් අතට ඔබ ලියලා තිබුනේත් "ස" ප්‍රසංගය නැරඹූ පසුවයි.
      ආයෙ මේ ගැන කිසි දවසක මගෙනුත් නොලියවෙන නිසා ප්‍රසංගය අවසන් වන තුරු මමත් හිටියේ.

      Delete
  6. ඇත්තම කියනවා නම් වික්ටර් රත්නායකයන්ගේ මෙම අති විශිෂ්ට ප්‍රස0ගයට සමුදෙන්න හිත ඉඩ දෙන්නේ නෑ. එහෙත් අකමැත්තෙන් වුවත් ඔහුගේ තීරණයට අප හිස නැමිය යුතුයි. අයියගේ විස්තරය හරිම අනගියි. මුළු ස ප්‍රස0ගයම එක පිඬකට කැටිකර තැබූ සටහනක්... ගීත කලින් අහලා තිබුණත් දැක්කම ආයෙ රසවිඳින්න හිතුනා. මේකයි ස ප්‍රස0ගයේ අපූරුව. කෙනෙක් එක්වරක් බැලුවොත් ආයෙත් බලන්න හිතෙනවාමයි. ස ප්‍රස0ගයේ දර්ශන වාර 50 කට වැඩි ප්‍රමාණයක් නරඹලා ඇති ඔබම ඊට හොඳම උදාහරණයක්. ඒවගේම ප්‍රස0ගයේ රූප ටික දාපු එකත් වටිනවා, විශේෂයෙන් මෙය මඟ හැරුනු අය උදෙසා. එවෙලේ මගේ අතෙත් ඩිජිටල් කැමරාව නොතිබුණ නිසා අත තිබූ ජ0ගම දුරකථනයෙන් ගත් පින්තූරයක් පමණක් මගේ ලිපියට දැම්මා. අයියාගේ ලිපිය නිසා ඒ අඩුවත් මැකී යනවා..
    "ඔරුවද හබලද භාරගන්නට කිසිවකු පැමිණ නැත"// ඇත්තටම මෙහි නිමාවත්, නන්දා මාලනියගේ ස්වේත රාත්‍රියේ නිමාවත් එක්ක ස0ගීත ලොවේ ඇතිවන රික්තය කෙසේ පිරවෙනු ඇතැයි මමත් කිහිපවරක්ම හිතුවා.. ලිපියේ අවසන් ටික හොඳටම හිතට වදින්නට ලියලා තියනවා. ලිපිය කොටක් දෙකකට කැඩුවානම් මේ රසය නොඑන්නට ඉඩ තිබුණා.
    ආ.. මගේ තොටුපොළ ගැනත් අයියා සටහන් කරලා. ගොඩාක් ස්තූතියි..

    ReplyDelete
    Replies
    1. තොටියා..

      මම මේ ප්‍රසංගය වැඩි වාර ගනනක් නැරමුවත් ඒ හැම දවසකම මම අලුත් රස වින්දකයෙක් නරඹන්නෙක් වුණා. මොකද ඒ තරමට මේ ප්‍රංගයේ ගිතාවලිය වෙනස් වෙන නිසා.

      ඒ කොහොම වුණත් තව ටික දවසකින් මේ "ස" ප්‍රසංගයේ අවසන් දැක්ම (1450) රූසර තැටියකින් (DVD)එකකින් බලන්න හැකිවේවි. මොකද මේ අවසන් ප්‍රසංගය සංවිධායක වරු රූ ගත කළා.

      කොහොමටත් මේ අවසන් ප්‍රසංගයට මම ගියේ සති ගනනක සිට පෙර සූදානමකින් මොකද ආයෙ දකින්න නොලැබෙන නිසා.

      Delete
  7. වික්ටර් රත්නායකයන් "ස" හා මම ගැන මගෙ මතකය 1976 සිට පැවත එන්නක් ඒ ගැන සටහනක් මම ලියලා තබාගෙන ඉන්නෙ. නමුත් එවා මගේ පුද්ගලික සමරු සටහන්. මේ මාසෙ මුලදි දාන්න හිතාගෙන උන්නත් ඒක බැරිඋනා.මේ කාලයතුල ඔබ (දයානන්ද රත්නායකයන්) වැන්නවුන් මේ පිලිබඳව තබන සටහන් මේ ක්ශෙත්‍රයට මේ දිනවල වටින නිසා තව මාසයකින් හමාරකින් ඒ ගැන කියන්නම් .

    ReplyDelete
    Replies
    1. ලොකු ජෝන්..

      මේතරම් සුන්දර අතීත මතකයක් තියෙද්දි ඇයි නොලිය ඉන්නේ. මේ උනුසුමේම ලියන්න. මම ඔබේ මතකය කියවන්න මහත් ආශාවකින් ඉන්නවා.

      Delete
  8. ගාල්ලේ පැවති ප්‍රසංගයේදී, මේ කාලයේ වැඩිය ඇහෙන්නේ නැති සමාස තද්ධිත ගීතයත් ගායනා කළා.

    ReplyDelete
    Replies
    1. පැතුම්..

      මම එකවරක් පමණයි සමාසා තද්දිත ප්‍රත්‍ය විශේෂණ ගීය අහල තියෙන්නේ. දැන්නම් තාලයවත් මතක නෑ

      Delete
    2. මෙන්න ලින්කුව . මගෙ පරණ යාලුවෙක් තමයි සිංදුව දුන්නෙ සංගීතය පදරචනය ගැනනම් දැනීමක් නෑ

      Delete
    3. පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
      සංගීතය : ආචාර්ය වික්ටර් රත්නායක

      2011-12-11 රෑ ඉරපාන part 4 අහන්න.

      Delete
  9. ඉතා විශිෂ්ඨයි! වික්ටර් රත්නායකයන්ගේ 1400 වන 'ස' ප්‍රසංගය නැරඹීමට මටත් වාසනාව ලැබුනා..

    ReplyDelete
    Replies
    1. හරී..

      සෑහෙන වාසනවාන්තයි.1400 සිරස කරපු එක බලන්න ලැබීම ගැන

      Delete
  10. ස බලන්න බැරිවුනා:( ඒත් විකටර් මහත්මයාගේ ගීත ඇහුවා පේරාදෙණිය ක්‍රිඩාගාරයෙදි.මං ආසම ගායකයෙක්. ශ්වේත රාත්‍රිය නැරඹුවා අම්බලන්ගාඩදි.ලෝක යුද්ධයක් කරලා තමයි ඇතුළට ගියේ.ඒ තරම් සෙනග.අනික ටිකටුත් නැතුව :D

    ReplyDelete
    Replies
    1. දගකාරි..

      පළමු වතාවට අස්වැන්නට පැමිනි ඔබ සාදරයෙන් පිලිගන්නවා. ඒ වගේම සටහනටත් ස්තූතියි.

      "ස" ප්‍රසංගය බලන්න බැරිවුණා කියන කොට නම් කණගාටුයි. ආයෙ කවදාවත්ම සජීවිව දකින්න ලැබෙන්නෙ නෑ.ඒතරම් ‍ඓතිහාසික විශිෂ්ඨ නිර්මාණයක්. කමක් නෑ ස්වේත රාත්‍රියත් ඒවගේ තමයි.

      Delete
  11. හිත දුකෙන් බරවූ සටහනක්.

    ඔබ මෙහි සඳහන් කර තිබෙන සියලුම ගී අසා බැලුවා. 'පෙම්බර මධු මගේ ' වැනි ගීත ඇහෙනකොට හිත දුකෙන් පිරෙන්නේ ඇයිදැයි තේරුම්ගන්ට බෑ. 'පොඩි කුමාරිහාමියේ' ගීය කොතරම් ඇසුවත් මට එපා වෙන්නෙත් නෑ.

    ඔහු විවාදයයෙන් තොරවම, අප රටේ ඉන්න ශ්‍රේෂ්ටතම ගායකයෙක්. මේ විදියට තරුණ ගායක පරපුරට ඉඩදී සමු ගන්නේත් ඒ නිසාම වෙන්ටැති.

    ඒකෙන් තේරෙන්නේ අපට ඔහුගේ ප්‍රසංගයක් ආයම බලන්ට බෑ කියන එකද කියන ප්‍රශ්නය හිතට එනකොට දැන්නෙන්නේ පුදුම දුකක්.

    ඔබේ වටිනා සටහනට ස්තූතියි දයා.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි..

      ඇත්තටම මම විශාල ප්‍රංග සංඛ්‍යාවක් නරඹපු කෙනෙක් හැටියට මටත් එහෙම දැනෙනවා. වික්ටර් ගොඩැනැගූ ගීත සංස්කෘතිය, ඔහුගේ සුවිශේෂ හැකියාව, ගායන ලීලය මේවා සම කළ හැකි කිසිවෙක් නෑ.

      ඒ වුණත් මේ අවසන් ප්‍රසංගය ගීත 34 කින් විතර තව ටික දවසකින් මේ "ස" ප්‍රසංගයේ අවසන් දැක්ම (1450) රූසර තැටියකින් (DVD)එකකින් බලන්න හැකිවේවි. මොකද මේ අවසන් සජීවි ප්‍රසංගය සංවිධායක වරු රූ ගත කළා.

      Delete
    2. ඒත් සජීවී සංගීත ප්‍රසංගයකින් ලබන තෘප්තිය ලබන්නනම් අසීරුවෙයි

      Delete
  12. දයානන්ද, ඔබට බොහෝ පිං මේ විවරණය මගින් "ස" සමාප්තිය දුර බැහැර ඉන්න අපිට දැනෙන්නට ලිව්වට.

    ලංකාවෙ උන්නානං අනිවාර්යෙන් මම ඔතන ඉන්නව. කමක් නෑ! මීට වසර කිහිපයකට පෙරදි මම "ස" වින්ද පේරාදෙණිය සරසවියෙදි.

    වික්ටර් රත්නයකයානෙනි ඔබට දීර්ඝායු වේවා!

    ReplyDelete
    Replies
    1. රැමාල්..
      ඇත්තටම මෙවැනි ලිපියක් ලිවිම එක්තරා විදියකින් විදේශ ගතව සිටින අපේම ශ්‍රී ලාංකික සහෘදයන්ට අත්වැලක් වේවි. අවසන් ප්‍රංගය ගැන දැන ගන්න.

      ඒවගේම මේ අවසන් ප්‍රසංගය ගීත 34 කින් විතර තව ටික දවසකින් මේ "ස" ප්‍රසංගයේ අවසන් දැක්ම (1450) රූසර තැටියකින් (DVD)එකකින් බලන්න හැකිවේවි. මොකද මේ අවසන් සජීවි ප්‍රසංගය සංවිධායක වරු රූ ගත කළා.

      Delete
  13. ස ප්‍රසංගය මගේ ප්‍රියතම ප්‍රසංගය නොවුනත් ඔබේ ලිපිය වෙනදාට වැඩිය රසවත්..ප්‍රසංගයේ විනාඩි කිහිපයක් ගතකලා වගේ දැනෙනවා..

    ශ්‍රී ලාංකීය සංගීතයට ඔහු පෙන්වූ නවමු මානය ප්‍රශංසනීයයි. ඔහුට දිගාසිරි පතනවා..

    ReplyDelete
  14. රූ..

    ස්තූතියි රූ.. මගේ මතකයේ රැදි සුන්දර ගී ප්‍රසංගයක් නිසා ලිපිය දිග එකක් වුණා..

    ReplyDelete
  15. බොහොම සංවේදී සටහනක්. උපමා ආධාරයෙන් එය විස්තර කර තිබෙන විදිය අපූරුයි. ප්‍රසංගය නැවත්වීමට ගත්තු තීරණය නම් ඇත්තෙන්ම කොන්ද පණ ඇති තීරණයක්‌ තමයි. එතෙර වෙන්න තවත් තොටුපලේ මගීන් හිටියත්, තොටියා ගේ තීරණය ඒක නම් කුමක් කරන්නද/

    ReplyDelete
    Replies
    1. සයුරි..

      වික්ටර්ගේ "ස" සමාප්තිය ඉතාමත් ගෞරවාන්විත සමුගැනිමත්. ඒත් තව දුරටත් එතුමා ප්‍රසංගයක් නොකළත් ගී ගයාවි. ගි රසිකයන්ට එයම ප්‍රමාණවත් වේවි.

      ස්තූතියි ලිපිය අගැයුමට ලක් කලාට

      Delete
  16. වෙනදා වගේම වටිනා ලිපියක් , වික්ටර් රත්නායකයන්ගේ " ස " ප්‍රසංගය බලන්න තරම් මාත් පිං කරල තිබුණා. මම වික්ටර් ගේ " සෝක සැනසුම් වේදනාවන් " සහ "තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන් " ගීතවලට මම හුඟාක් ඇලුම් කරනවා.

    ReplyDelete
    Replies
    1. නීතා..

      වික්ටර්ගේ "ස" ප්‍රසංගය වගේම එතුමාගෙ හැම ගියක්ම සංගිතයෙන් ගායනයෙන් පිරිපූර්ණයි. ඒ නිසාම ගීයෙන් ගීයට වෙනස්. ඒ නිසාම හැම ගියක්ම විශේෂයි.

      Delete
  17. හොඳ ලිපියක් මටත් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තිබුණා

    ReplyDelete
    Replies
    1. ගයානි..

      ස්තූතියි .. අදහසට. පළමු වරට පැමිණි ඔබ අස්වැන්නට සාදරයෙන් පිලිගන්නවා.

      Delete
  18. වෙනද වගේම ඒ ප්‍රසංගයත් ජීවිත කාලෙ කිසිම දවසක සජීවිවි නැවත බලන්න බැරි ප්‍රසංග අතරට එකතු වුනා...මොනා කරන්නද ලංකාවෙ ඉදියනම් ප්‍රසංග ගණනක්ම බලල.

    මෙ ්සටහන දිගේ හදවතින් විඳගත්ත ස ගැන...බොහොම ස්තුතියි ඔබට.

    ReplyDelete
  19. මටත් ප්‍රසංගය බලන්න ලැබුණෙ එක වතාවක්. අවුරුදු හයකට විතර කලින් මහරගම තරුණ සේවා සභා ශාලාවෙදි. ඒ රාත්‍රිය අමතක නොවන එකක්. ඊට පස්සෙ මට අවස්ථා කීපයක්ම ලැබුණත් එක එක හේතු නිසා යන්න බැරි වුණා :-(

    ReplyDelete
  20. ඔබ තුමා මේ කරන්නෙ මහා පිං කමක්. හරියට කෑමක් නැති කෙනෙකුට ඉතා රසවත් කෑම වේලක් දුන්න වගෙයි. මේ බ්ලොග් අඩවිය දිනෙන් දින සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...