එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Saturday 1 September 2012

෴ නුඹ චන්ද්‍ර මඩල වැන්නේ.. ෴



           
               නික්ම ගිය අපේ කාලයේ යසෝදරා...


බදාදා දවස පුරාම ගාලු අහස හඬා වැටුණේ  ඇය වෙනුවෙනි. විටෙක හීන් සිරිපොද සේ වැටෙන වැහි බිඳු සේ ම,  විටෙක දොඹ ගෙඩි සේ  ඇඳ හැලුණ වැසි පොදද  නොකියා කීවේ ඇය යළි කිසි දිනෙක නො එන්න‍ට යන්නම  යන බව ය. මේ වැහි දවස වෙනදා ගාලු සිරිය මොහොතකට මකා දමා නිහඬ කර තිබුණි. සොබාදහමද කවියක්ව එකට ගොනු වී තිබුණි. ගාලු කොටු බැම්මේ හැපී බි‍ඳෙන මුරණ්ඩු රළ රැළිද, ගාලු කොටුව පසු කර ඇදෙන සුළං රැළිවලටද ඈ සමුගන්න බව හොඳටම දැනී තිබුණි.

ඇය කිසි දිනෙක කවි නොලීවා ය. ඈ කිසි දිනෙක ගී නොලීවා ය. ඒත් ඇය මහරු කිවියරයකුගේ ප්‍රියයාව ලෙසින්, ඒ කවි සිතට රුකුලක් වෙමින්, ගාලු කොටු පවුර සේ ඔහු ළඟින්ම ඉන්ද්‍රඛිලයක් සේ නොසෙල්වී මේ මහරු කිවියරයාණන්ට රැකවරණය සැළසුවා ය. ඒ කිවියරයාණන් සිය ප්‍රියයාව වෙනුවෙන්  බොහෝ කවි ගීත ලිව්වේ ය. ඒ කවි ගී බොහොමයක් පොදු අත්දැකීම් බවට පෙරලී රසික හදවත් තුළ ලැගුම් ගත්තේ ය. මේ කිවියරයාණන්  අන් කවරකුවත් නොව අප මහත් සේ ගෞරව කරන ගේය පද රචක  රත්න ශ්‍රී විජේසිංහ ය. ඔහුගේ ප්‍රිය බිරිඳ හේමමාලි විජේසිංහ මහත්මිය ජීවිතයේ අනියත බව පසක් කොට ගෙවුණ සතියේ නික්ම ගොස් තිබුණා ය.

ඇය කලාවට සාහිත්‍යයට කිසිඳු සම්බන්ධයක් නැත. එහෙත්  රත්න ශ්‍රී විජේසිංහයන් ඇය වෙනුවෙන් ලියූ කවි පද මෙන් ම ගී පද ද සදාකාලික නිර්මාණ බවට පත්වී සියලු රසික සමූහයා  විදින්නේ ඇතැම් විට ඒ බව නොදැන ය. ඒ නිසා කවි‍යකුට පෙම් බැදීමට තරම් සොඳුරු හදවතක් තිබූ, මේ අපූර්ව ගේය පදරචකයා, කවියාගේ නිර්මාණවලට උල්පතක් වූ හේමමාලි විජේසිංහ මහත්මිය වෙනුවෙන් අද අස්වැන්න සටහන් කර තබමි. ඒ ඇය වෙනුවෙන් රත්නශ්‍රී විජේසිංහයන් ලියූ කව් පද සහ ගේය පදමාලා කීපයක්ද සමගිනි.


සොබාදහමට මහත් සේ ආදරය කළ ‍මේ සොඳුරු හදවත ඇති කවියාට ලෝකය ආදරය කරන්නේ  යම් සේ ද පෙරළා ඔහු ද එලෙස ම ලෝකයට ආදරය කරන කවියෙකි. එහෙත් දෛවය කාටත් පොදු බව වැටහෙන්නේ ඔහු ද අද දවසේ ඒ අපරිමිත ආදරයේ වියෝවෙන් පෙළා ඇති හෙයිනි. පෙර දවසක ඔහු ලියූ කවි ගීත කියවා ඇයගෙන් ලද ප්‍රතිචාරය මේ මත් නොලැබෙන විට මේ අකල් වියෝව හෙට දවසේ ඔහුට කොතරම් දැඩිව දැනෙනු ඇතිද යන්න මේ කවි ගී කියවන, අසන ඔබටද සිතෙනු ඇත.

එසේ එක අවස්ථාවක රත්න  ශ්‍රී  සිය දෙවන කාව්‍ය සංග්‍රහය වූ  “වස්සානේ ”  කෘතිය පිළිගන්වන්නේ සිය ප්‍රි බිරිඳ වූ හේමමාලිට ය. ඒ මෙසේ ය.

හේමමාලිට....

කිරි ශිරා සීයක් ඉල්පී
කෘෂ ළැමට ඇදී එත් මැයි
පියුරෝ දෙදෙන හොරැහින්
බිම බලාගෙන  හඬත්මැයි
ලේ කඳුළු බිඳු නොසිඳී
ළැම දුකින් තෙත් කරත් මැයි
හාමතේ නොලා දරුවන්
රක්ෂා කෙරෙත්මැයි

නුඹ වින්ද දුකින් උපනෙන්
මේ කවි මගේද නොදනිම්
ලොව තනන දෑත් නොතකා
මෙය ඉතින් කාට පුද දෙම්...

රත්න ශ්‍රී විජේසිංහ - වස්සානේ කාව්‍ය සංග්‍රහය - 1985

එසේ වූ කවියෙන් ගීතයෙන් ලෝකය සොඳුරු තැනක් කළ රත්න ශ්‍රී විජේසිංහයන්ගේ කවි සිත තුළ කවියක් ලෙසින් ඔහුට සෙවනැල්ල වූයේ ඇයයි. ගාලු කොටු පවුර කරදිය රළ පහරින් ආරක්ෂා කරන්නේ යම් සේ ද , ඇය එලෙසින් ම ඔහුට සෙවනැල්ලක් වූවාය. රත්න ශ්‍රී සිය බිරිඳට ලියූ බොහෝ කව් ගී පොදු අත්දැකීම් බවට පත් වූයේ එහි තිබු අපූර්ව කාව්‍යමය ගුණය නිසාය. ඔහු ලියූ  හැම කවියකින්ම ගීයකින්ම ලෝකය ‍දුටුවේ ඉතාමත් අපූර්ව ආකාරයෙනි. ඔහු ඒ කවි ගීත ලිව්වේ පුළුල්  සමාජමය අත්දැකීම් සිය ආත්මය තුළට ළං කර ගනිමිනි.   ඇතැම් විටක ඒ කවියේ ද,  ගීතයේ ද  සැඟවී සිටියේ ඇයයි.  මේ එවන් වූ ඇය වෙනුවෙන් රත්න ශ්‍රී විජේසිංහයන්  ලියැවුණ ගීයකි.

                                                
මගෙ බිසවුනේ අසාපන්
නුඹ මන්ද්‍ර දේවි නොවුණී       
දුෂ්කර වූ ඒ පළාතේ
මට යන්න දෙන්න දේවී

මේ කදුලු ඇයිද දෑසේ
බෑ යන්ට නුඹට හිමයේ
ගොස් ඉන්ට කුලී නිවසේ
විෂ ඝෝර සර්ප භවනේ

නුඹ චන්ද්‍ර මඩල වැන්නේ
සා පැටවු එහි නිදන්නේ
හාමතේ නොලා දරුවෝ
නවතින්න බිසවු නගරේ

නුඹ නොදී එතෙර රටටා‍
දරු නොදී වාල් කමටා
දිවි පුදා තොප රකින්නම්
නොපුරා ‍එහෙත් පෙරුම් දම්

නුඹ චන්ද්‍ර මඩල වැන්නේ
සා පැටවු එහි නිදන්නේ
හිමවතට ඇවිත් හීනෙන්
සිත සඳුන් තවරපන්නේ

ගේය පද: රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය සහ ගැයුම: විශාරද ගුණදාස කපුගේ



කවියකුට අසිමිතව කවි ලිවිය හැකි ය. ගී ලිවිය හැකි ය. ඒ තමා දකින, තම නෙත ගැටෙන ලෝකය පිළිබඳව ය.   එහෙත් ඒ කවියාට කවි ලොවේදී තම ප්‍රියාදරියගේ ඇසින් කවියා තමන් දකින අයුරු රත්න ශ්‍රී විජේසිංහයක් කවියටද නගා ඇත. ඒ ඔහු දකින්නේ තම බිරිඳ කිවිඳියක ලෙසින් ඔහු දකින ආකාරයයි. වස්සානේ කාව්‍ය සංග්‍රහයේ “රත්නේ ඔබ” කවිය ඊට හොඳම නිදසුනකි.

රත්නේ ඔබ..

මිදුලේ කුරු අඹ ගහ යට
තනමල්විල මල් ගෝමර පොකුරු සිඹින
හරි කෑදර සීත සුළඟ‍
හැම ගහ වැලක ම අත කර
පාදගම් පබලු මුතු පොට
ඒ උනාට රත්නේ මේ කිසි දේකට
බෑ මගෙ හිත කිති කවන්න

රත්නේ ඔබ මේ වන විට
දුර කතරක වන්නි වනන්තරෙන් එපිට
එකමත් එක රැකියාවක

මට මතකයි, ඡන්දය පැරදුණු  දවසේ
කළුවරේ ම ඔබ ආවා
කමිසයවත් නොගලවා ම
සුසුමක් වත් නො ම හෙළා ම
මිටි පුටුවේ දිගා උනා - නිශ්ශබ්දව

ඇදුම් මල්ල අතට අරන්
පහුවෙනිදා පාන්දර ම ඔබ කීවා
“මම යන්නම් - ඔයා පරෙස්සමින් ඉන්න”

රත්නේ මේ හැම තැනකම
ඇඳ වියළේ - පුටු ඇන්දේ
ගඳයි කියා කියන්න මගෙ දිව නොනැමෙන
ඔයාගේ ඇ‍ඟේ දාඩිය

පහුගිය මේ ටික දොහේ ම
රත්නේ මට හරියට වැඩ
පපුව රිදෙනවා ආයෙත්
අත්වල පිරිලා කරගැට
ඔයා පාර බලාන ඇති ආරංචියකුත් නැතුවට

මහන්සි වී දුවත් එක්ක ඇලවුනාම
යන්තම් ඇහැ පියවෙන විට
කවියක් වාගේ ඇවිදින් කියන්න මට
තරහ නැහැයි ලියුමක් වත් නේනව්වාට

රත්නේ අපි සංසාරය බෙදා ගනිමු
දුක වැඩිපුර මගෙ කොටසට
කෙට්ටු අතට එක මිටකට
ඕනෙ බරක් සෑහෙයි මට
පුංචි දුවට බත් දෙකටට
මගේ සතුට..

ඇයි රත්නේ කවදාවත්
මේ අහසට වඩා පුංචි
එක වහලක් නැද්ද අපට
මේ ලෝකෙට වඩා පුංචි
එක ගෙදරක් නැද්ද අපට
ඔයා කතා නොකර ඉඳියි
ඒ ප්‍රශ්නෙට
ඒත් ඉතින් රත්නේ ඔබ....
රත්නේ ඔබ....

රත්න ශ්‍රී විජේසිංහ - වස්සානේ කාව්‍ය සංග්‍රහය - 1985 

 තම බිරිඳ  හේමමාලියගේ ඇසින් රත්න ශ්‍රී තමන් දුටුවේ ඒ අයුරිනි. සංසාරගත ප්‍රේමයක වූ එවන්  බැඳීම් කවදා කොතැනක  සිදුවූවක් දැයි නොදන්නා නමුත් මේ ඇතැම් සිතුවිලි දිවයන්නේ වෙස්සන්තර ජාතකය  ජන කවියා දුටු ජන කවියටය. මගෙ බිසවුනේ අසාපන් ගීයෙන් තම ආදරණීය බිඳට  පුද කළ සංසාරගත ප්‍රේමය, නින්ද නැති රැයේ ගීයෙන්ද ඔහු මුදා හැරියේ ඇය වෙනුවෙනි.  එසේම සිය බිරිඳ හේමමාලියගේ ඇසින් ඔහු දුටු ඔහුගේ දුෂ්කර වූ  රැකියාවේ ස්ථාන මාරුව ඇයගේ ඇසින් දකින්නේ කටුක දුක් විරහ මැද තටු සලා එන සුබ පැතුමක් ලෙසිනි.  රත්න ශ්‍රී විජේසිංහයන් අතින් එය  ගීයට නැගුණේ මෙසේය.

වන වංක ගිරිය අරණේ                            
මෙහෙවරට සැදී පැහැදී
ඔබ යන්න ඉතින් නික්මී
ජය ශ්‍රී සුරම්‍ය ස්වාමී

දුස් ස්වප්න දෑස රිදවා                 
කඳුළින්ම  යාවි සේදී
එන රෝග ව්‍යාධි පළවා
දරු රකිම් ධෛර්ය පේවී

බර අදිම් බෑයි නොකියා
ණය තුරුස් අතර හිරවී
රන් රිදී නොවෙයි ඕනෑ
ප්‍රීතියයි හිතේ ස්වාමී

ප්‍රේමෙන් සුගන්ධ වේවා
වන වාසෙ රුද්‍ර රාත්‍රී
ඔබ යන්න ඉතින් නික්මී
ජය ශ්‍රී සුරම්‍ය ස්වාමී
  
ගේය පද: රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය :  සරත් දසනායක
ගැයුම: විශාරද නන්දා මාලනී



කෙසේ වුවද,  සිය ජීවන ගමන අතර මග නවතා ඇය හදිස්සියේ ම ඔහුගෙන් සමුගෙන  නික්ම ගියා ය. එදා ගාලු පුරවර අලු පැහැති අඳුරු අහස් තලය නොකියා කීවේ ඒ දුක් මුසු පුවතය. ගාලු කොටු බැම්මේ හැපී බි‍ඳෙන  රළ රැළි බලන්නට දැන් ඈ නැත. ඈ සියල්ල අහස් තලයට පවරා නික්ම ගොසිනි.

කලකට ඉහත දී රජරට දුෂ්කර ගමක විසූ වියපත් පෙම්වතුන් යුවලක් ගැන රත්න ශ්‍රී විජේසිංහයන් ගීයක් ලිව්වේය. ඒ ගීය අද ඔහුටද පොදු වී ඇත.  ඒ ගීතයේ හමු වූ පෙම්වතිය වියපත්ව ඇති නමුදු  ඇය මියගොස් තිබුණේ තුරුණු වියේ දීම හදේ උපන්  ප්‍රේමයද රැගෙනය. දරුමාල්ලන් සිටියද ඇය මියෙන තුරාවටත්, ඉන් පසුවත්  බොහෝ සෙයින් ඇයට ආදරය කළේය. ඈ මියගිය පසු   ඒ පුංචි නිවස පිහිටා තිබූ ගෙවත්තේ ම එක කෙළවරක  ඇය වල දමා තිබුණේ ඒ සදාතනික වූ  ප්‍රේමයද අතහැර දැමිය නොහැකි නිසා ය. දැන් ඒ ඒ වියපත් ප්‍රේමවන්තයා සෑම දිනකම ඇය නිදා හුන් සොහොන් ගැබ වෙත ගොස් ඒ මත වන මලක්, දෙකක්  තබා ඇය සිහිකිරිම ඔහුගේ පුරුද්දක්ව තිබුණි.

දින සති මාස අවුරුදු ගණන් ‍ගෙවී ගියද ඒ ඔවුන් දෙදෙන අතර බැදී ප්‍රේමය අද ඊයේ වාගේය. තවමත් ඒ ඉමිහිරි ප්‍රේමය වියපත් සිතින් සිහිකර ඒ මිහිරිම අතීතය සිතින් විඳින්නේ සංසාරයේ එක මග පැමිණි යුවලත් පරිද්දෙනි.  එහෙත් වැඩිමාල්ලන් බවට පත් වූ දරුවන් දැන් දැන් මෙතෙක් කල් බුක්ති වින්ද ඒ කුඩා නිවස  පිහිටි ඉඩම බෙදා වෙන්කර ගැනීමට සැරසෙයි.  තම ආදරණීය බිරිඳ නිදා සිටින දෙණිය වත්ත ඉඩම බෙදා වෙන්කර දිමට ඔහුට සිතක් නැතුවද ඒ ආදරය බෙදා වෙන් කිරීමට සැරසෙන දරුවන් දුටු විට වාවාගත නොහෙන ශෝකය උපදී . ඒ වියපත් පෙම්වතාගේ සිත රත්න ශ්‍රී දුටුවේ මෙලෙසය.


මිනින්දෝරු කන්තෝරුවෙ                          
මුලාදෑනි ටික‍
සුදු බණ්ඩි මගේ නිදා ඉන්න
ඉඩම මනිනවද
ඈ ඇහැ ඇරේවි යන්න හොඳයි
දම්වැල් අරගෙන
තරහ අවසරයි යනවද
දම්වැල් අරගෙන

පිං කුඹුරු නෙලන කාලෙට
මට හීල අරං එන
ඉස විසාදියට තෙල් උලලා
‍තොන්තුවා වෙන
රත්තරං දෑත සුදු බණ්ඩිගෙ
දෙණියේ පස් යට

දෙයි හාමුදුරුවො දන්නව නම්
ඈ දැන් නැති වග
තෙල් පාන උනත් නිවා දමයි
සංහිඳ පාමුල
වාවන්නෑ මේ දුරුත්ත
සංසාර් තනි මට

ගේය පද: රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය :  එච්.එම්.ජයවර්ධන
ගැයුම:  කරුණාරත්න දිවුල්ගනේ



ඒ ගීයේ සේ ම බදාදා  හවස් යාමයේ අඳුරු වැහි වලා යටින් සිරි සිරි පොද වැටෙද්දී සිය ප්‍රියයාගේ කවි සිතටද විරාමයක් දී, සියළු කලාකරුවන්ගේද  රසික පර්ෂදවලද, සියලු නෑ හිතමිතුරන්ගෙන්ද සමුගෙන තරුවක් බැස යනවා සේ පා සළකුණු නොතියා, පාලු අහස වැහි වලාවෙන් සරසා දඩල්ල සුසාන භූමිය වෙත නික්ම ගියාය.෴

එදා මා ගාලු එන බව දැන සිට කෙසේ හෝ මා සොයා පැමිණි රැංගෝ ( අරුණැල්ල ) සහ නුවන් තාරක ( ස්වායක්ත)  බ්ලොග් අඩවිවල සොහොයුරන් දෙදෙනාට බෙහෙවින්ම ස්තූතියි..

78 comments:

  1. සෑම සාර්ථක පිරිමියෙකු පසුපසම හොඳ ගැහැණියක් ඇත.
    ඔහුගේ නිර්මාණ කරණයට පසුපසින් සිටි මහා සෙවනැල්ල ඇය වන්නට ඇත.
    ඇයට නිවන් සුව පතමු....!!!!

    ReplyDelete
    Replies
    1. පප්‍රියන්ත

      කිසිම දිනෙක ඇය කවි හෝ ගිත නොලීවත් හේමමාලි විජේසිංහ මහත්මිය වෙනුවෙන් සටහනක් තැබූ ඔබට බෙහෙවින්ම ස්තූතියි.

      Delete
  2. පතමි මමත් ඇයට නිවන් සුව!

    ReplyDelete
    Replies
    1. ගයනි..
      හේමමාලි විජේසිංහ මහත්මිය වෙනුවෙන් සටහනක් තැබූ ඔබට බෙහෙවින්ම ස්තූතියි.

      Delete
  3. එතුමියට නිවන් සුව පතමි ....හෘදයාංගම කළාකරුවෙක් ලෙස එම නික්මයාම පිළිබඳව සහකම්පනයක් දැනෙන්නට අකුරු කළ ඔබට තුති

    ReplyDelete
    Replies
    1. මහේෂ්...
      හේමමාලි විජේසිංහ මහත්මිය වෙනුවෙන් සටහනක් තැබූ ඔබටත් බෙහෙවින්ම ස්තූතියි.

      Delete
  4. ඇයට නිවන් සුව පතනවා.. පසුගිය සෙනසුරාදා 11 වෙනි පැය කාව්‍ය සංග්‍රය එළිදැක්වීමට පවා මෙතුමා පැමිණියේ බිරිඳ අසනීපව රෝහල් ගත් කර සිටියදී.. ඊට පසු දින ඈ මෙලොව හැර ගිය බව මට කිව්වේ රැංගෝ.. මම ඇයව කිසිදා නොදැන සිටියත් පුදුම වේදනාවක් දැනුනා.. ඔහු එදා කතාවේදී මේ සුදු බණ්ඩා ගේ කතාව පවා සඳහන් කලා.. :/

    ReplyDelete
    Replies
    1. රෙඩ්..

      11 වෙනි පැයට මමත් එන්න හිටියේ රැංගෝට මා එන බව කියා තිබුණා. ඒත් හදිස්සියේම එන්න බැරිවුණා. වැඩසටහන හොඳට තිබුණ බව රැංගෝ පසුවදා කිව්වා. හේමමාලි විජේසිංහ මහත්මිය වෙනුවෙන් සටහනක් තැබූ ඔබට බෙහෙවින්ම ස්තූතියි.

      Delete
  5. එතුමියට නිවන් සුව ප්‍රාර්ථනා කරමු...

    ReplyDelete
    Replies
    1. හසිත..
      හේමමාලි විජේසිංහ මහත්මිය වෙනුවෙන් සටහනක් තැබූ ඔබටත් බෙහෙවින්ම ස්තූතියි.

      Delete
  6. රත්න ශ්‍රී විජේසිංහයන්ගේ අපූරු කවි සිත අපි රසවිඳිනා වාරයක් පාසා කවියේ උල්පත වූ ඇයට බොහෝ සතුටක් දැනෙන්නට ඇති..

    වස්සානේ සහ තරු ළකුණ මගේ අත්පොත ලෙසයි මම සලකන්නේ..එහි කවි පදවැල් වල ජීවය ඇටමිදුළු නහර දක්වා ගමන් කරනවා..

    වස්සානයේ පිදුම මම දහස්වාරයක් කියවන්ව ඇති..එය කියවද්දී දැනෙන්නෙ පපුව හිරවෙනවා වැනි හැඟීමක්..

    දයානන්ද ඔබට ගොඩක් ස්තුතියි මෙවන් ලිපියක් ලිවීම ගැන..කවියා ගැන වෙනත් දවසක ලියාවි කියා හිතනවා..

    හේමමාලි මැතිණියටත් සංසාර මගේ සුභ ගමනක් පතනවා..

    ReplyDelete
    Replies
    1. රූ.

      වස්සානේ, සුබ උදෑසන, වගේම ඉන්පසු බිහිවූ කවි ගිත සංග්‍රහ වල ඇතැම් අත්දැකීම් ලියවිලා තිබුනේ ඇය වෙනුවෙන්. සමහර කවිගිත හිතට දැනුනේ ඒ නිසා. ඒවා ඇයට කොයිතරම් දැනෙන්න ඇද්ද
      හේමමාලි විජේසිංහ මහත්මිය වෙනුවෙන් සටහනක් තැබූ ඔබට බෙහෙවින්ම ස්තූතියි.

      Delete
  7. රත්න ශ්‍රී විජේතුංග... අපේ පාසලේ කීර්තිමත් ආදී රිච්මන්ඩ්වරයෙක්... ඇත්තටම එතුමා අපිට ලොකු සම්පතක්. ඉස්කෝලේ උත්සවයක් කිව්වොත් කවදාවත් මග ඇරලා නෑ. සාර්ථක මිනිහෙක් පිටිපස්සේ ගැහැනියක් ඉන්නවා කියන කතාව ඔප්පු කරන්න ඒ මැතිනිය සමත් උණා.. මොකද කවදාවත් තමාගේ ගෑනු කමටවත් තමන්ගේ මහත්තයටවත් අගෞරවයක් වෙන්න ජිවත් උණා කෙනෙක් නෙමේ කියල ඇයව දන්නා කෙනෙක් මත එක්ක කිව්වා.. සැබවින්ම කිව්වොත් ඇය ගාල්ලට අභිමානයක්.. දන්නවා ඔබෙන් පිරුණු ලෝකයේ දැන් රත්න මහත්තයට තනියම ඉන්න අමාරු වේවි...ඒත් එක තම ස්වභාවය.. ඔබට සුභ ගමන්... නිවන් යන්න තව ගොඩක් දුරයි.. එක නිසා බොරුවට දැන් නිවන් සුව ලැබේවා නොපතා... " යන තැනක් එලිය වෙන ඉන්න තැනක සතුටින් ඉන්න හැකි වෙලා අවසානයේ නිවන් දකින්නට හැකි වේවා....!!" කියල ප්‍රර්ථනා කරනවා..

    ReplyDelete
    Replies
    1. මම දන්නා තරමින් ඔහු රිච්මන්ඩ්වරයෙක් නම නෙමෙයි!
      ඇලෝෂියස් තමයි ගහින් තියෙන්නේ!

      Delete
    2. මාත් අහලා තියෙන්නේ එහෙමයි! රත්න ශ්‍රී රිච්මන්ඩ් එකේ කියන්න බොහොමයක් රිච්මන්ඩ්වරු උත්සාහ දරනවා! සුදා මල්ලි එහෙම කියපු පළමු වැන්නා නෙවෙයි!
      හැබැයි මම අහලා තියෙන්නෙත් රත්න ශ්‍රී ඇලවීෂියානුවෙක් කියලා!

      Delete
    3. සුදා මල්ලි, /නුවන්,/ රැංගෝ...

      රත්න ශ්‍රීගේ මුල්ම පාසල වූ තෙල්ලඹුරේ කණිෂ්ඨ විදයාලය තමයි මම දුටු සුන්දරම පාසල කුඩා කඳුගැටයක් මුදුනේ පිහිටි ඒ පාසල ගැන ඔහු කවි ගීත බෙහොමයක් ලිව්වා. මමත් මිතුරකු සමග තෙල්ලඹුරේ ගිහින් සතියක් ඉඳල තියෙනවා.

      මම කැමති ඒ ඉස්කෝලෙට මොකද ඔහු තුළ කිටිය කවියා ජීවත්වුෙන් ඒ පාසැලේ නිසා.

      හේමමාලි විජේසිංහ මහත්මිය වෙනුවෙන් සටහනක් තැබූ ඔබ තිදෙනාට බෙහෙවින්ම ස්තූතියි.

      Delete
  8. පෝස්ටුව සහ සියලුම කොමෙන්ටු කියෙව්වා.

    අයියා අපිව හමු වීම අපට කළ ගෞරවයක්..

    මේ පිළිබඳව මා පෝස්ට් එකක් දාන්නයි හිටියේ. ඒත් ඒ කාර්යය අයියාගේ අතින් සිද්ධ වෙලා තිබෙන නිසා එහි අවශ්‍යතාවක් නැහැ කියලා හිතනවා. මේ සිදුවීම හා බැඳුනු අමතක නොවන අත්දැකීම් කිහිපයක් ම තිබෙනවා. ඒ පිළිබඳව හැකියාවක් ලැබුනොත් අරුණැල්ලේ පෝස්ට් එකක් දාන්නම්!

    ReplyDelete
    Replies
    1. රැංගෝ..

      කිසි ගැටලුවක් නෑ එක එක්කෙන දකින විදිය වෙනස් නිසා ඒ අත්දැැකීම් ටිකත් ලියන්න. අනික මේවගේ අය ගැන ලිව්වා කියා වැඩියක් වෙන්නෙ නැහැ.

      Delete
    2. මා ලත් අත්දැකීම් ඇසුරෙන්,මම ලිපියක් ලිව්වෙමි.. හොඳ නරක නම් නොදනිමි!!

      http://www.arunalla.tk/2012/09/blog-post.html

      Delete
  9. රත්න ශ්‍රී විජේතුංග ගැන වගේම ඔහුගේ අතින් ලියවුන ගීත ගැන අසා තිබුනත්, විශේෂයෙන්ම ගුණදාස කපුගේ ගයන " මගෙ බිසවුනේ අසාපන් " ගීතය ඔහුගේ අතින් ලියවෙද්දී ඒ හිත තුලා ඇදී තිබුන " බිරිඳ " ගැන දැනගත්තේ ඔබගේ මේ ලියමනෙන්.හැම සාර්ථක මිනිසෙකු පිටුපසම දයාබර ගැහැණියක් ඉන්නවාය කියා අසා තිබුනත්...මේ ඒවාට පැහැදිලි සාක්ෂි...
    ඇයට නිවන් සුව අත්වේවා!

    ReplyDelete
    Replies
    1. ළිහිණි..

      රත්න ශ්‍රී විජේසිංහයන් අතින් ලියැවුන කවි ගීත බො‍හොමයක ඇය හිටියා අපට නොදැනුනාට.
      හේමමාලි විජේසිංහ මහත්මිය වෙනුවෙන් සටහනක් තැබූ ඔබට බෙහෙවින්ම ස්තූතියි.

      Delete
  10. දයානන්ද අයියා මේ සම්බන්ධයෙන් පොස්ටුවක් ලිවීම ගැන පළමුව ස්තුතිවන්ත වෙනවා.මමත් මේ සම්බන්ධයෙන් පොස්ටුවක් ලියන්න හිටියත් ඒක මග ඇරුනා!මගෙ බිසව්නේ අසාපන් වැනි ගීතයක් නිර්මාණය උනේ ඈ වෙනුවෙන්.ඇය උඩුකුරුව සැතපිලා ඉන්නවා දැක්කම අපිත් බොහොම සංවේගී උනා.අපි මුලින්ම ගහං රත්න ශ්‍රී මහත්මය සමග කතා කරද්දී රැන්ගෝ සහෝදරයට ඔහු කිව්වේ "මේ තමයි නපුරුම කවිය"කියල

    දයානන්ද අයියා එක්ක ගෙවපු කෙටි කාලය වුනත් මසුරන්!:)

    ReplyDelete
    Replies
    1. නුවන්..

      සංවේදී නිර්මාණකරුවකු වූ එතුමා අතින් මේ අත්දැකීම් අලුවී ලියැවේවි. ඔබේ අත්දැකෟම් ටිකත් ලියන්න තවත් රසවත් වේවි.
      ආයෙ දවසක හමුවෙමු.

      Delete
  11. සෑහෙන්න වටින ලිපියක්. ඇත්තම කියනවනම් ඇය ගැන දැනගත්තෙ මේ ලිපියෙන්.

    ReplyDelete
    Replies
    1. ලොකු ජෝන්..

      සමහර නිර්මාණ පිටුපස ඇති රසවත් සිදුවීම් සහ අත්දැකීම් පුදුම හිතෙනවා. ඒවා කොහොමද නිර්මාන බවට බවට පත්වුනේ කියලා..
      හේමමාලි විජේසිංහ මහත්මිය වෙනුවෙන් සටහනක් තැබූ ඔබට බෙහෙවින්ම ස්තූතියි.

      Delete
  12. වස්සානේ පොත ගන්න තැනක් කවුරු හරි කියනවද මට ?

    ReplyDelete
    Replies
    1. මානවක...

      වස්සානේ ඇතුළු මේ දක්වා රත්න ශ්‍රී විජේසිංහයන් ලියූ සියලුම පොත් මරදාන, එස්. ගොඩගේ පොත් සාප්පුවේ තියෙනවා. එතනින් ගන්න පුළුවන්.

      Delete
    2. මධ්‍යම යාමය හැර!:)

      Delete
    3. මධ්‍යම යාමය හොයන්න ගිහිං කාපු කට්ට සිහි වෙනවා!!

      Delete
  13. එතුමියට නිවන් සුව ලැබේවා!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. තරියා..
      හේමමාලි විජේසිංහ මහත්මිය වෙනුවෙන් සටහනක් තැබූ ඔබට බෙහෙවින්ම ස්තූතියි.

      Delete
  14. රත්නශ්‍රී මහත්තයා ලියපු ගීත වලට මාත් ගොඩක් ආසයි.. ඇත්තමයි මේ ලියපු කරුණු ගැනනම් මම මුකුත්ම දැනන් හිටියේ නෑ..

    ඇයට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්...
      හේමමාලි විජේසිංහ මහත්මිය වෙනුවෙන් සටහනක් තැබූ ඔබටත් බෙහෙවින්ම ස්තූතියි.

      Delete
  15. ඇය මිය ගියාට පසුව හෝ ඇය ගැන මෙවන් සංවේදී සටහනක් දුටුවමයි . ඒ වගේමයි රත්න ශ්‍රී මහතා ගැනත් මෙතරම් විස්තර දැන ගෙන සිටියේ නෑ . බොහෝ ඇගයීමකට ලක් කල යුතු කෙනෙක් කියා සටහන බැලුවම තේරුම් ගත්තා.

    …ඔබේ බ්ලොග් එකට ආවමට මට හිතෙන්නේ ඔබ වපුරන "අස්වැන්න " නෙලා ගන්නෙ අපි නේද කියල .තව තවත් මෙවනි ලිපි ලිවීමට ශක්තිය ලැබේවා !…

    ReplyDelete
  16. හේමමාලී මැතිණියට නිවන් සුව ලැබේවා !

    ReplyDelete
    Replies
    1. ගිම්..
      ඇත්තටම ඇය සෘජුවම නිර්මාණකරණයට දායක නොවුනත් ඔහු ලියූ බොහෝ නිර්මාණවල ඇය හිටියා. හරියටම ඔය දාල තියෙන කවි සහ ගීත වගේම "නින්ද නැති රැයේ" ගීය ලියලා තියෙන්නෙත් ඇය වෙනුවෙන්.
      එතකොට් මේවා දැනගෙන ඉඳලත් අහක බලන් ඉන්නවාට වඩා ලියන්න ලැබෙන එකත් ලොකු දෙයක්. හැබැයි ඇය ගැන අන්තර් ජාලයේත් විවිධ පුවත්පත්වලත් ලිපි මේ වෙනවිට පළවෙමින් තියෙනවා.

      හේමමාලි විජේසිංහ මහත්මිය වෙනුවෙන් සටහනක් තැබූ ඔබටත් බෙහෙවින්ම ස්තූතියි.

      Delete
  17. වටිනා ලිපියක්

    ReplyDelete
  18. රත්න ශ්‍රි මහතා ගැන මාත් ලියන්න හිටියේ.දැන් ඕන නෑ.මං ලියන්න නොහිතපු කරණු පවා මෙකෙ තියෙනවා.ගොඩක් වැදගත් ලිපියක්...

    මියගිය හේමමාලි නම් රත්න ශ්‍රී ගේ යෝධ සෙවනැල්ලට නිවන් සුව පතමි !

    ReplyDelete
    Replies
    1. ධම්මික..

      ඇත්තටම මල්ලි මම ලිව්වේ එක දෘෂ්ඨියකින් විතරයි අපි හැමදෙයක්ම දකින අයුරු වෙනස්. ඔබ ලියන ආකාරයත් ඒවගේ වේවි. ලියන්න අපි කියවනවා.

      Delete
  19. මමත් මෙතුමියගේ අකල් වියෝව ගැන දැන ගත්තේ ෆේස් බුකිය මාර්ගයෙන්.. ගාල්ලේ ඉන්න ගොඩාක් යාළුවෝ මේ ගැන ශෙයාර් කරලා තිබුණා.. ඈත ඉමේ නොසිටියානම් මමත් අවමගුල් උත්සවේට සහභාගිවනවා.. අයියාගේ ලිපිය නිසා ගොඩාක් කරුණූ දැන ගත්තා. මෙවන් බිරිඳක් ලද රත්න ශ්‍රී කිවිඳුන් වාසනාවන්තයි. ඒ නිසාම ඇයගේ වියෝගය ඔහුට ගොඩාක් තදින් දැනෙන්නට ඇති... හේමමාලි මැතිණියට නිවන්සුව පතමු...

    ReplyDelete
    Replies
    1. තොටියා..
      මේදවස්වල බුකියේ වගේම අන්තර්ජාලය පුරාමත් පුවත්පත්වලත් ඇය ගැන විවිධ අදහස් පළවෙනවා.නොගිහ්න්ම බැරි සොදුරු මිනිසෙක් වෙනුවෙන් යා යුතුම යැයි හැඟුන නිසා සියලු වැඩ කටයුතු පසෙක ළා තමයි මම ගියේ.. ගියාම තමයි දැනුනේ ගිය එකත් ලොකු දෙයක් කියල හිතුනා..

      හේමමාලි විජේසිංහ මහත්මිය වෙනුවෙන් සටහනක් තැබූ ඔබට බෙහෙවින්ම ස්තූතියි.

      Delete
  20. මම දැනගෙන හිටියෙම නැ මේ ගැන නැත්නම් මාත් ගාලු එනවා...:(
    රත්න ශ්‍රී මහත්මයගේ බොහෝ නිර්මාණ මං රස විදලා තියෙනවා.ඔහු ගැන විස්තර කියවලා තියෙනවා.ඔහුගේ කාව්‍ය සංග්‍රහ මං එකතු කරනවා.දයානන්ද අයියේ ගොඩක්ම වටින ලිපියක් මේක. ගොඩක් ස්තුතියි. හේමමාලි මැතිනියට නිවන් සුව. ඇය නොසිටින්න මෙවන් සාර්ථක නිර්මාණ බිහි නොවන්න ඉඩ තිබුනා..

    ReplyDelete
    Replies
    1. දඟකාරි...

      හේමමාලි විජේසිංහ මහත්මිය වෙනුවෙන් සටහනක් තැබූ ඔබට බෙහෙවින්ම ස්තූතියි.

      Delete
  21. සැබෑ බිරිඳක් යනු පිරිමෙයෙකුගේ සාර්ථක භාවයේ රහසයි. සැබවින්ම ඇය සැබෑ බිරිඳක් වී ඇති අයුරු මැනවින් පැහැදිලි වේ. මැතිනියනේ ඔබට නිවන් සුව.

    ReplyDelete
    Replies
    1. කෝරලේ මහත්තයා..
      හේමමාලි විජේසිංහ මහත්මිය වෙනුවෙන් සටහනක් තැබූ ඔබට බෙහෙවින්ම ස්තූතියි.

      Delete
  22. හරිම සංවේදී සටහනක් . මගේ ප්‍රියතම ගීත රචකයෙක් ...ඔහුගේ සෙවනැල්ල වූ ඇයට අමා මහා නිවන් සුව පතමි

    ReplyDelete
    Replies
    1. බින්දි..
      හේමමාලි විජේසිංහ මහත්මිය වෙනුවෙන් සටහනක් තැබූ ඔබටත් බෙහෙවින්ම ස්තූතියි.

      Delete
  23. එතුමියට නිවන් සුව පතන්නෙමු !

    ReplyDelete
    Replies
    1. මධුරංග..
      හේමමාලි විජේසිංහ මහත්මිය වෙනුවෙන් සටහනක් තැබූ ඔබටත් බෙහෙවින්ම ස්තූතියි.

      Delete
  24. නෙතට කඳුලක් ගේන ලිපියක්...මම මූණු පොතේ දැක්කා රත්න ශ්‍රී ඇය වෙනුවෙන් අවසානයට ලියපු ගීතය.

    පිටත් වුනේ අල්ලාගත් අත නොහැරා
    මටත් කලින් බුදු වෙන්නද යසෝදරා

    ReplyDelete
    Replies
    1. සයුරි..

      "පිටත් වුනේ අල්ලාගත් අත නොහැරා
      මටත් කලින් බුදු වෙන්නද යසෝදරා ..."

      මේ ගිත දෙපදය ඒ නිවසට යන මාර්ගයේ දෙපස තාප්පවල බැනර් ලෙද එල්ලා තිබුණා.. සංවේදී සිතුවිල්ලක්. කවියෙකු අතින් නිර්මාණය විම අරුමයක් නොවෙයි.

      Delete
  25. හිතට තදින් වැදුනු සටහනක්. හරිම දුකක් දැනුනා. තරුණ අවදියේ මෙන්ම, වයසට යද්දීද තම බිරිඳ අගය කරනා සැමියන් දැකීම දුර්ලභයි. මෙහි විස්තර කෙරෙන්නේ එබඳු සැමියෙකුගේ හා බිරිඳකගේ ආදර කතාවක්.

    බිරිඳක් එලෙස තේරුම ගත හැකි, අගය කල හැකි සැමියෙක් ලැබීම කෙතරම් වාසනාවක්ද? එබඳු සැමියෙක් ලද ඇය නිවුනු කාන්තාවක් වී හිටින්නට ඇති.

    ඇගේ සසර ගමනද නිවී සැනහී යාවියැයි පතමු.

    ReplyDelete
    Replies
    1. පොඩි...

      ඔහු ලියූ බොහෝ කවි සහ ගිතවල පළමු රසිකාවිය ඇය වෙන්න ඇති. ඒ නිසාම මේ සොඳුරු කවියා අතින් ඇය වෙනුවෙන් බොහෝ කවි පද මෙන්ම ගිත ගනනාවකුත් බිහිවුණා. ඒ ඔවුන්ගෙ ප්‍රේමය වෙනුවෙන් ඒවා පෞද්ගලික අත්දැකීම් වුණත් ඒවා බොහොමයක්ම දැන් පොදු අත්දැකීම් බවට පත්වෙලා.

      හේමමාලි විජේසිංහ මහත්මිය වෙනුවෙන් සටහනක් තැබූ ඔබටත් බෙහෙවින්ම ස්තූතියි.

      Delete
  26. රත්න ශ්‍රී විජේසිංහයන් ගේ පොත් මම කියවල තියනවා.ඇත්තටම අපූරුයි!දිනක ඒවා කියවා මට ඔහුට ලිපියක් ලියන්ට පවා සිතුනා.
    ඔබේ ලිපිය කදිමයි!
    සහෝ ඔබට ජය ! :)

    ReplyDelete
    Replies
    1. හිරු හිමාවි.

      ඔහුට ලිපියක් යවන හැම කෙනෙකුටම පෙරළා ප්‍රතිචාර දැක්වීමේ පුරුද්දක් ඔහුට තිබෙනවා.

      හේමමාලි විජේසිංහ මහත්මිය වෙනුවෙන් සටහනක් තැබූ ඔබට බෙහෙවින්ම ස්තූතියි.

      Delete
  27. එතුමියට නිවන් සුව ලැබේවා !
    හරිම සංවේදී ලිපියක්..

    ReplyDelete
    Replies
    1. සිත් රූ සිහින..
      හේමමාලි විජේසිංහ මහත්මිය වෙනුවෙන් සටහනක් තැබූ ඔබටත් බෙහෙවින්ම ස්තූතියි.

      Delete
  28. සැනසිලිදායක සෙත් කවියක්ව
    සංසාර වන්දනාව සැරිසරා
    අමා නිර්වාණයෙන් දිනකදි
    සැනහේවා ඇගේ ජීවිතේ...

    ReplyDelete
    Replies
    1. තරු රසී...
      අපි එසේ ප්‍රාර්ථනා කරමු.
      හේමමාලි විජේසිංහ මහත්මිය වෙනුවෙන් සටහනක් තැබූ ඔබට බෙහෙවින්ම ස්තූතියි.

      Delete
  29. ඇගේ දිවියේ පෙම්බරා අපි හැමෝගෙම හදවත් සුවපත් කරනවා යැයි කීවොත් නිවරදියි. ඔහුගේ මනරම් ගීත වලට අපි කොච්චර පෙම් බඳිනවාද? සැබැවින්ම ඇය යශෝදරාවක් මැයි.ඇගේ ගුණ යහපත්කම නොවන්නට ඔහුට මේ කාර්‍යයන් නිදහසේ කරන්නට නොහැකිවෙන්නට තිබුනා. ඇගේ සසර ගමන නිවී පහන් වේවා! මගෙත් පැතුමයි. ස්තූතියි දයානන්ද මේ අනගි විස්තරයට.

    ReplyDelete
    Replies
    1. චන්දි...
      ඇත්තටම ඔහුගේ ගිතවල තිබුණ සංයමය හැම විටම රිසිකයා නිවී පහන්කරවන හැඟීම් ඒවාට පෙම් බැඳීම අරුමයක් නෙවෙයි. ඒ නිසාම ඇයත් කවි ගී නොලියු කිවිඳියක්.

      චන්දි අස්වැන්නට සාදරයෙන් පිළිගන්නවා. ඒවගේම හේමමාලි විජේසිංහ මහත්මිය වෙනුවෙන් සටහනක් තැබූ ඔබටත් බෙහෙවින්ම ස්තූතියි.

      Delete
  30. හිතට දැණුනා...
    අදින් පස්සෙ සැරින් සැරේ ඇවිත් ලිපි ටික කියවනව

    ReplyDelete
    Replies
    1. පිසාචයා..

      පළමුවෙන්ම අස්වැන්නට ඔබව සාදරයෙන් පිලිගන්නවා.නිදහසේ කියවන්න."පිසාචයා" වචනයට නම් මම එතරම් ප්‍රිය කරන්නේ නැහැ. මේ වචනය වෙනුවට වෙනත් වචනයක් යොදන්න මොකද සිංහල භාෂාවේ අපූරු අරුත් ඇති වචන හමුවන නිසා.

      Delete
  31. එතුමියට නිවන් සුව පතමි..

    ReplyDelete
    Replies
    1. හරී...

      හේමමාලි විජේසිංහ මහත්මිය වෙනුවෙන් සටහනක් තැබූ ඔබට බෙහෙවින්ම ස්තූතියි.

      Delete
  32. ඇයට නිවන් සුව අත්වේවා..............!!
    මෙවන් ලිපියක් ලිව්ව ඔබට තවත් මෙවන් වටිනා දෑ ලියන්නට දිරි ලැබේවා සොයුර..........!!
    අපූරුයි......!!

    ReplyDelete
    Replies
    1. රුක්ෂිලා..
      අස්වැන්නට පැමිණීම සාදරයෙන් පිළිගන්නවා.

      හේමමාලි විජේසිංහ මහත්මිය වෙනුවෙන් සටහනක් තැබූ ඔබට බෙහෙවින්ම ස්තූතියි.

      Delete
  33. මමත් ඇයට නිවන් සුව පතනවා...!!!

    ReplyDelete
    Replies
    1. අනූ...

      හේමමාලි විජේසිංහ මහත්මිය වෙනුවෙන් සටහනක් තැබූ ඔබටත් බෙහෙවින්ම ස්තූතියි.

      Delete
  34. එතුමියට නිවන් සුව ලැබේවා....!

    ReplyDelete
    Replies
    1. තරුවා..
      හේමමාලි විජේසිංහ මහත්මිය වෙනුවෙන් සටහනක් තැබූ ඔබටත් බෙහෙවින්ම ස්තූතියි.

      Delete
  35. අද යුගයේ කලාකාරයෝ කලාව හැරදාල..මුදල්පස්සෙ දුවන යුගයක..නිහඬ කලාකාරයෙක් වු මේමිනිසාට සෙවනැල්ල වූ ඇයට නිවන්සුව ප්‍රාර්ථනා කරමි..!

    ReplyDelete
    Replies
    1. වීපොකුර...

      හේමමාලි විජේසිංහ මහත්මිය වෙනුවෙන් සටහනක් තැබූ ඔබටත් බෙහෙවින්ම ස්තූතියි.

      Delete
  36. රත්න ශ්‍රී හොඳ කලාකරුවෙක්. නිහතමානි මිනිසෙක්. නිහඞව තමන් කටයුතු වල යෙදෙන්නෙක්. ඒ සියල්ල එසේ පවත්වාගෙන යාමට කිසිවෙකුගේ රුකුල, පිය පහස හදවතට දැනිය යුතුයි. එය ඇගෙන් ඔහුට නොඅඩුව ලැබෙන්න ඇති.
    ඒ ජීවිතය යනු සමුගැනීම සඳහා සූදානම් වීමක් පමණි.

    ReplyDelete
  37. අපේ යුගයේ කවියා වූ රත්න ශ්‍රී විජේසිංහයන් ගේ ප්‍රිය බිරිඳ, කිසිදා ඔහු නිසාවෙන් ඉස්මතු නොවුණු ඇය, ඒ මහා කවියාට ශක්තිමත් අත්වැළ වූ ඇය පිළිබඳව ඔබ තැබූ සටහන අනර්ඝයි.

    නුඹ චන්ද්‍ර මඩල වැන්නේ
    සා පැටවු එහි නිදන්නේ
    මා හිතට ඇවිත් හීනෙන්
    සිත සඳුන් තවරපන්නේ

    ReplyDelete
  38. ඇයට නිවන් සුව ලැබෙන්න කියා මං ප්‍රාර්ථනා කරන්නෙ නෑ.සංසාරයේ තවත් දිගු කලක් ඒ ආදරණීය මිනිසාගේ හෙවණැල්ල වේවා කියලයි ප්‍රාර්ථනා කරන්නෙ.

    ReplyDelete
  39. මගේ මේ සටහන තබන්නෙ ප්‍රමාද වී. මොකක් නමුත් හේතුවක් නිසා මට මේ ලිපිය ට සටහනක් තබන්න මග හැරිලා. අද වර්ෂා නංගිගෙ ලිපියත් එක්ක ආවෙ මෙතෙන්ට. මේ ගැන ඇහුවාම මට දැනුනෙ දන්න හඳුනන් කෙනෙක්ගෙ මරණයක් ගැන ඇහුවා වගේ කම්පනයක්. ඒ රත්නශ්‍රී ගෙ නිර්මාණ වලින් ඇය අපිට සමීප වුණ නිසා වෙන්න ඇති.

    සංසාරෙ සරනා පුරාවටම ඒ අපූර්ව මිනිසා එක්ක හිඳින්නට ඇයට හැකි වේවා

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...