එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Wednesday 25 July 2012

,෴ සුවහසක් සවන් යුග ප්‍රීතියෙන් උදම් වේවා...!෴




විශේෂ සටහන:

මේ පෝස්ට් එක 2012.07.21 වන දින දැමූ පසු මෙය බේලොග් අඩවි වල Up load වී නොමැති බව සහෘදයන් රැසක් මා වෙත දන්වූ පසුව ඒ සහෘදයන්ගේ මගපෙන්වීම සහ සහය  ඇතිව සුළු සංස්කරණ කීපයකින් පසුව නැවත මෙසේ පළකරමි. 


අද අස්වැන්න "ස" ප්‍රසංගයේ ගැයුණු ගීත 10ක් සමග දිග ලිපියක් :

සම්බුද්ධ සද්ධර්ම අනුහසින්
ගෝවින්ද ශ්‍රී ස්කන්ධ ශාන්තියෙන්
කමලාසනාරූඪ සරස්වතී ආශිර්වාදයෙන්
රසික ඔබ මිලනයෙන්
ආනන්ද ජනක වූ මේ සොඳුරු රාත්‍රී යාමයේ
සුවහසක් සවන් යුග
ප්‍රීතියෙන් උදම් වේවා....
ප්‍රීතියෙන් උදම් වේවා.......!

ආචාර්ය වික්ටර් රත්නායකයන් අවසන් වරටත් එසේ ප්‍රසංගයේ ස්තෝත්‍ර ගීය  ගයමින්   "ස" ප්‍රසංගයේ සමාප්තිය  1450 වන අභිෂේකයෙන් පසු  තුන් දහසක් තරම් රසික පර්ෂදයේ සුබ පැතුම් මැද  2012 ජූලි මස 20 වන දින  රාත්‍රියේ කොළඹ හැවිලොක් ටවුමේ පිහිටි ලුම්බිණි විද්‍යාලයේ එළිමහන් පරිශ්‍රයේ දී තැනූ අංලකාර දැවැන්ත වේදිකාව මත දී නිමාවට පත් කළේය. දශක හතරක් පුරා සිංහල ගී රසිකත්වයේ හිනිපෙත්තේ  වඩා හිඳුවනු ලැබූ උච්ඡතම අවස්ථාවක දී අති විශාල රසික ඉල්ලුමක් පවතින  ගී ප්‍රසංගයක් අවසන් කිරීම පිලිබඳව යහපත් ගීත කලාවක් දකින්නට රිසි රසික සහෘදයන්ගේ කණගාටුවට කරුණක් වුවද, ශක්තිමත් කශේරුවක් හිමි ගායන ශිල්පියෙකුගේ අභිමානවත් තීරණයට ගරු කිරිම පිණිස සිය රසික පාර්ශවය ඔහුට  හිස නැමූයේ ඔහු විසින් දශක හතරක් පුරා කළා වූ ඒ අමිල මෙහෙය වෙනුවෙනි.

ඊයේ රාත්‍රියේ පළමු ගීය.. ගයමින් ප්‍රසංගය ආරම්භ කළ මොහොත
  "ස" ප්‍රසංගයේ සමාප්තිය  ගෙවුණු මාසය පුරා මෙරට සියළුම විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන් වලට උණුසුම් පුවතක්  විය. එයින් ගෙවුණු දෙසතිය පුරාම මෙරට සියළුම පුවත්පත් සහ විද්‍යුත් මාධ්‍ය නාලිකාවන්ට වඩාත් දැනෙන උණුසුම් පුවත සැපයූවේ දේශපාලන හෝ සමාජ ප්‍රශ්න නොව මෙකී "ස" ප්‍රසංගයේ සමුගැන්මයි.

ආචාර්ය වික්ටර් රත්නායකයන් සිය ගී ප්‍රසංගය හමාර කරමින් අවසන් ප්‍රසංග මාලාව රට වටා ගෙන යන ගමනේ දී ගාලු පුරවරයට " ස " ප්‍රසංගය පැමිණි හැටි සහ ඒ පිලිබඳව "තොටුපොළ අයිනේ" බ්ලොග් අඩවිය ලියන අපගේ සහෘද හිත මිතුරු "තොටියාණන්" විසින් අපූරු සටහනක් ලියා  එහි වූ මියුරු ගී කීපයක්ම ඇතුළත් කර තිබුණි.

ඒ තරමටම "ස"ප්‍රසංගයේ නිමාව සංගීත රසිකයන්ට උණුසුම් පුවතක් වෙද්දී ඒ පිළිබඳව "අස්වැන්න"ට ලියන්නට තරම් තවත් සටහනක් නැති තරම් ය. එසේ වුවද මගේ ජීවිතයට ද  අමරණිය සටහනක් එකතු කළ ඒ  සවස් යාමයේ වික්ටර් රත්නායකයන් ප්‍රමුඛ "ස" පිරිවර සහ තුන් දහසක් තරම් රසික සද්ජන සමුහයා විසින් ප්‍රසංගයට සමුදීමත් එම ප්‍රසංගය  සංගීත ක්ෂේත්‍රයට වැදගත් වූ ආකරයත් ‍පිලිබඳව අතීත මංපෙත් ඔස්සේ අස්වැන්නෙන් සටහනක් තබා "ස" ප්‍රසංගයේ සජීවිව ගැයුණු ගීත මාලාවෙන් තෝරාගත් ගී කීපයක් ඔබටද රස විඳීමට ඉඩදී ඊයේ රාත්‍රියේදි ගත් ඡායාරූප කීපයක් මෙහි ඇතුළත් කර   ඒ පිළිබඳව ඒ පිළිබඳ මතකය අවදි කරමි.

දිනෙක හිරු බැස යන වෙලාවක
සයුරු වෙරළක හුදෙකලාවක
කල්පනාවේ සිටිය මොහොතක
මතක් විය සිතුවිලි  අතීතෙක


සයුර මා විය අහස ඔබ විය
දෙදෙන ළංවූ සිතිජයක් විය
ඒ වෙලාවේ මට මතක් විය
කලක් ලොව අප ගැන හිතූ හැටි


සයුර මා විය අහස ඔබ විය
දෙනෙත රැවටූ සිතිජයක් විය
කීකතාවේ අරුත වැටහිණි
අහස සමුදුර එකතු වී යැයි

ගේය පද: කේ.ඩී.කේ.ධර්මවර්ධන
සංගීතය සහ ගැයුම: ආචාර්ය වික්ටර් රත්නායක


රුපියල් විස්සෙ ටිකට් එකෙන් "ස" බැලූ දා:

 කුඩා කාලයේ මා වික්ටර් රත්නායකගේ ගීත ලෝලියෙකු වූයේ එකල ගුවන් විදුලියේ උදේ ඇසුණු "අරුණ කිරණ" වැඩසටහන්වලදී ඔහුගේ දේශාභිමානී ගීත ඇසීමෙනි. ඒ යුගයේම පැවති එලිමහන් රාත්‍රී සංගීත සංදර්ශනවලදී වික්ටර් රත්නායකයන් ගී ගැයු අයුරු යාන්තමට මතකය. කුඩා කාලයේ වුවත් එදා වික්ටර් එළිමහන් රාත්‍රී සංගීත සංදර්ශන වලදී ගැයු "තනිවෙන්නට මගේ ලොවේ, බණින්නෙපා පොඩි දෝණිට, හිත මිතුරු සුළඟ,  සඳ හිරු තරු සහ අපි ඔක්කොම රජවරු"  ආදී ගී ඔහුගේ මුවින් ගිලිහුණු හැටි තවමත් මතකයේ රැඳී ඇත්තේ ඒ මධුරතර අතිතයට මා අතිශයින් පෙම් බඳින බැවිණි.

"අපි ඔක්කොම රජවරු"  ලක්ෂ්මන්, සුනිල්, එඩ්ඩඩ්, බන්දුල, රෝහණ, ආනන්ද, නිර්මලා
  ඇතුළු පිරිස
වික්ටර් ගැයූ ඇතැම් ප්‍රේම ගීයක සැගවුණු අරුත කුමක් දැයි සොයන්නට පෙළඹුනේ පසු කාලයේ දීය. එසේ වුවද පාසල් කාලයේ ප්‍රේමය පිලිබඳ  එවැනි ගැඹුරු අත්දැකීම් නොතිබුණද වික්ටර්ගේ ප්‍රේම ගී වල අපූර්ව රසයක් සැඟවී තිබෙන  බව තරමක් වියපත් වූ පසුව පසුකාලයේ මටම වැටහිණි.


ඒ එසේ වුවද, වික්ටර් රත්නායකයන්ගේ "ස" ප්‍රසංගය පළමු වරට නරඹන්න‍ට ලැබෙන්නේ අසූව දශකයේ මැද භාගයේදී අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ පැවති ප්‍රසංගයක දීය. එදා රුපියල් විස්සක ප්‍රවේශපත්‍රයෙන් පළමු වරට  පාසල් දර්ශනයෙන් වික්ටර්ගේ "ස" ප්‍රසංගය නරඹා  ගීත ලෝලියෙකු වී  මේ දක්වා වැඩිම වාර ගනනක් නැරඹු  ප්‍රසංග අතරට "ස" ප්‍රසංගයත්, කපුගේ ගේ "කම්පන" ගී ප්‍රසංගයත් මගේ අතීත මතකකයට එක් වී ඇත්තේ සදා නොමියෙන ගී ප්‍රසංග දෙකක් ලෙසට ය.

සිහින සතක් දුටුවෙමි මම 
සත් දවසක් එක විලසට
එක සිහිනෙක ඔබ දුටුවා
සිඟන්නියක සේ


ඔබ මගෙ පැල්පතට පැමිණ
ආයාචනයක් කරමින්
ජීවත්වන්නට කිසිවක්
ඉල්ලා සිටියා


කිසිවක් දෙන්නට මට නැත
තිබුණේ පිරිසිදු හදවත
සිඟන්නියේ එය ඹබ හට
දුන්නා මතකයි


එදා මගේ හද අරගත්
ඔබ අද මට වැඩි පොහොසත්
ඒ හින්දා මටත් එලෙස
පිහිට වනු මැනේ


ගේය පද: ප්‍රේමකීර්තිද අල්විස්
සංගීතය සහ ගැයුම: ආචාර්ය වික්ටර් රත්නායක


නව සංගිත සම්ප්‍රදායක ඇරඹුම:


1973 වන විට සංගීත ප්‍රසංග කලාවේ තිබී ඇත්තේ  අමරදේවයන් සහ නන්දා මාලිනිය ගී ගැයූ "ශ්‍රවන ආරාධනා" ද්වී පුද්ගල ගී ප්‍රසංගය පමණි. ලංකාවේ ඒක පුද්ගල ප්‍රසංග කලාවේ පුරෝගාමියා වෙමින් වික්ටර් "ස" ප්‍රසංගය මෙරට සංගීත ප්‍රබෝධයක පළමු ආරම්භය විය. අනතරුව අමරදේවයන් විසින් "අමර ගී සර" ප්‍රසංගයද, සනත් නන්දසිරි " ස්වර්ණ කුණ්ඩල" ගී ප්‍රසංගයද, නන්දා මාලනිය විසින් "සත්‍යයේ ගීතය" ගී ප්‍රසංගය සහ "පවන" ගී ප්‍රසංගයද, රසික මනදොල සපුරා ලමින් වේදිකාවට රැගෙන පැමිණියහ.

නිර්මලා.. අඹ ගස්යට මල් හැලිලා
නන්දා මාලනිය "පවන" ගී ප්‍රසංගය දර්ශන වාර 250 කින් නිමාවට පත් කලාය. එච්. ආර්. ජෝතිපාල "ජෝති රාත්‍රිය" ගී ප්‍රසංගය දර්ශන වාර 242 ක් පැවැත්වීය. අනතුරුව ගුණදාස කපුගේ විසින් ඉතාමත් කෙටි කාලයකදී " කම්පන"  ගී ප්‍රසංගය 968 වාරයක්  පවත්වා අවසක් කළේය. මාලනි බුලත්සිංහල ' මා ද ඔබම විය" ප්‍රසංගය ආරම්භ අවසන් නොකරම  නික්ම ගියා ය.  ඉන්  අනතුරුව  දැනට වේදිකා ගත වෙමින් පවතින   සුනිල් එදිරිසිංහ "සඳකඩ පහණ" ගී ප්‍රසංගය දර්ශන වාර 100 ඉක්මවා  ඇති අතර ඉතාමත් මෑතකදී ආරම්භ කළ එඩ්වඩ් ජයකොඩිගේ "මාරම්බරී" ගී ප්‍රසංගය ද,  ප්‍රසංග 25 කින් නිමාවෙමින් පවති දැනට ප්‍රසංග වාර 02 ක් පමණක් ඉතිරි   නන්දා මාලනියගේ "ස්වේත රාත්‍රිය" ප්‍රසංගයද, මෙරට ඒක පුද්ගල ප්‍රසංග කලාවේ සිහිවටන ලෙස රැඳවීමට හේතු වූයේ එදා වික්ටර්  රත්නායක ආරම්භ කළ  මේ දැවැන්ත සංගීත සම්ප්‍රදාය බව කිව හැකිය.


තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ  සුවඳ මා ළඟින්


සිවු වසරක පෙම් ගීතය ගොලුවෙලා ගියාදෝ
අලුත් ලොවක ඔබ සතුටින් කිරුළ පැළඳුවාදෝ


මායාවකි ප්‍රේමය මා හදවත රිදවූයේ
සෝ ගීයකි දුක්බර වූ සැනසුම කොහි වේදෝ


ගේය පද: බුද්ධදාස ගලප්පත්ති
සංගීතය: රෝහණ වීරසිංහ
ගැයුම: ආචාර්ය වික්ටර් රත්නායක



ලුම්බිණියෙන් බිහිවූ ප්‍රසංග කලාව:

කොළඹ නගරයේ ඉතාමත් හොඳ රංග ශාලා තිබුනද, මෑතක් වන තුරුම මෙරට සියලුම සංගීත සහ නාට්‍ය කරුවන් තමන්ගේ පළමු ගී ප්‍රසංගය හෝ නාට්‍ය දර්ශනය සඳහා හැව්ලොක් ටවුමේ පිහිටි ලුමිබිණි රඟහලේ පළමු දර්ශන වාරය සහ අවසන් දර්ශන වාරය පැවැත්වීමට උනන්දු වූ  හේතුවක් ද තිබුණි. ඒ  එදා වික්ටර් රත්නායකයන් විසින් ලුම්බිණියේ දී "ස" ප්‍රසංගය මගින්  ඇති කල  මහා සංගීත සම්ප්‍රදාය හරහා  සංගීත විප්ලයක් ඇති  වූ නිසා ය .

තරු අත් අකුරින් ලියා එවමි
 ලුම්බිණිය ඉතාමත් අඩු පහසුකම් ඇති රඟහලක් වුවද කලාවට එය සොඳුරු නවාතැනකි. "තොටුපොළ අයිනේ" ලියූ සහෘද තොටියාණන් සඳහන් කළාක්  මෙන් ජනෙල් දොරවල් පවා බිඳ දමා ප්‍රසංග නැරඹීමට හුරු කල ලුම්බිණියේ පළමුවරට වේදිකා ගත කරන ප්‍රසංගය හෝ වේදිකා නාට්‍යය වැඩි වාර ගනනක් රටවටා ගෙන යා හැකි බවට සනාත වන මතයක් ගොඩනැගුනේ වික්ටර් රත්නායකයන්ගේ "ස"ප්‍රසංගය මගිනි. ඒ නිසාම සිය “ස” ප්‍රසංගයේ පළමු දර්ශනයත්, 1450 වන අවසන්  දර්ශන වාරයත් මගින්  සමාප්තිය සටහන් කරන්නට තෝරාගෙන තිබුනේ ද  මෙම ලුම්බිණිය රඟහලයි. එය නැවත වරක් තහවුරු වූයේ ඒ සවස් යාමයේ ය.

තනි තරුවේ... තනි තරුවේ
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා


නෙතග නෙතග පැටලි පැටලි
මුවග මුවග ඇලලි ඇලලි
මෙතෙක් දුරක් එක්වී පැමිණී
තනි තරුවේ..


මහද අරණෙ ළතැවි ළතැවි
රැ‍ඳෙනු බැරිව ඉගිලි ඉගිලි
මගෙන් ඉවත ඇදිලා සැනසී
තනි තරුවේ...


ගේය පද: ප්‍රේමකිර්ති ද අල්විස්
සංගිතය සහ ගැයුම: ආචාර්ය වික්ටර් රත්නායක

"ස" ප්‍රසංගයෙන්  සිංහල ගීතයට ලැබුණ දායකත්වය:

දෛවයේ සරදම් ලබන්නට කිම මෙසේ අප හමුවුණේ
1970 දශකය වන විටත් සිංහල ගීතය  හින්දි සහ ද්‍රවිඩ ගීත අනුකාරකත්වයෙන් සම්පූර්ණයෙන් මිදී නොතිබුණි. 50 -60  දශක තරමටම දැඩි බලපැමක් නොතිබුණ ද ජනප්‍රිය ගීත ලෙස එදා පිළිගනු ලැබූයේ  මේ අනුකාරක ගීත ය. ‍ඒ වන විටත් උසස් ගීත සහ සංගිත රසිකත්වයක් පිළිබඳව බලාපොරොත්තු දැල්වෙමින් පැවති අතර අමරදේව ප්‍රධාන කොටගත්  පිරිස නව සංගිත සම්ප්‍රදායන් පිලිබඳ ඉඟි පළකර තිබුණි. මේ සම්භාව්‍ය පරපුර එක ඉවුරක සිටිද්දී  ඒ ගඟ අනෙක් ඉවුරෙහි  හින්දි සහ ද්‍රවිඩ  අනුකාරක ගී තනු ගැයූ ජෝතිපාල, මිල්ටන් පෙරේරා  ආදීන් ජනප්‍රිය මාවතේ  ගමන් කරමින් සිටියහ.

එක ඟඟක ඉවුරු දෙදකට වී හිඳිමින් එක් පිරිසක්  උසස් සංගීත රසයක් ඇති නිර්මාණාත්මක නව සංගීත රස සොයමින් වින්ද අතර අනෙක් පිරිස අනෙක් ඉවුරට වී ජනප්‍රිය ගී සංස්කෘතියට අනුගත වෙමින් ඒ ගී මග යමින් සිටියහ. එදා වික්ටර් රත්නායකයන් මේ ඟඟ ඉවුරු දෙක යා කරමින් නව සංගිත සම්ප්‍රදායේ පාළම ඉදි කළේ ය.


පොඩි කුමාරිහාමියේ
එපා වලව්වට යන්න නියර පිට
බලා ඉන්න පොඩි කුමාරිහාමියේ
කාසි එපා නුඹ හිනාවෙවී
ඔහෙ බලා ඉන්නවා නම්


නිලමෙත් නපුරුයි ළමාතැනිත් නපුරුයි
නපුරු වලව්වක කෝමද කෝමල
කතා නුඹට ලැබුණේ
වක්කඩ කැඩුවා සේ සිනාසෙන
සිනා ගඟුල මැවුනේ
නුඹෙ හිනා ගඟුල මැවුනේ..


කඩා ගන්න බැරි වුනත් හරිම සුවඳයි
නෙරිය කොනේ මඩ තිතක් ඉහින්නට
ආසයි නුඹට හොරා
මාල හතක් බැඳ පෝරුව මත හිඳ
නොයන්න ගම හැරදා
නුඹ නොයන් මෙ ගම හැරදා......


ගේය පද: මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය සහ ගැයුම: ආචාර්ය වික්ටර් රත්නායක

වික්ටර් රත්නායකයන් එදා තැනූ  ඒ සංගීත පාලම  ඔස්සේ දෙනෝදහක් සංගීත රසිකයෝ  තම තමන් සොයා යමින් සිටි ප්‍රබුද්ධ ගීත ලෝකයට පිය නැගුවේ වික්ටර් බිහි කළ ගීත සංස්කෘතිය නිසා ය. එතෙක්  කලක් ජනප්‍රිය ගීතය වශයෙන් හඳුනාගෙන තිබූ ගායනය සහ සංගීතය අතහැර ගීත රසිකයෝ  ගීතයේ අත්දැකීම්  සහ ගේය පද රචනාවල අත්දැකීම් , අරුත් පිළිබඳව විමසන්නට  වූහ. එහි පදනම වූයේ  රසික චින්තනය ඉහළට ඔසවා තැබිමට වික්ටර්ගේ "ස" ප්‍රසංගය ඇති කල සමාජමය සහ සංස්කෘතිකමය වෙනසයි.


තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත
ඔබෙ සෙවන පමණි මිහිපිට ඇති එකම සම්පත

මද පවන මොටද ඔබේ සුවඳ මුසුවී නැත්නම්
සඳ කිරණ මොටද ඔබ මගෙ තනියට ළඟ නැත්නම්
හෙළි කරමි මගේ ළඟ ඇති ආදරයේ වත්කම්
පැල්පතද මට හොඳයි මිහිරියෙ එක හිත ඇත්නම්

කල් ගෙවා දෙනෙත් නොපියා ඔබ ළඟම පිය කතේ
කල්පනා කළ පමණ මට කල්පනා‍වක් නැතේ
ඇඳිරියෙද මැණික හඳුනන ඇස් දෙකක් මට ඇතේ
එනු මැනවි රස බලමු සෙවනක එකම පැල්පතේ

ගේය පද: ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය සහ ගැයුම: ආචාර්ය වික්ටර් රත්නායක

සෝක සැනසුම් වේදනා නිමා කළ අවසන් සැඳෑව:

සිරිත් පරිදි සිකුරාදා  සැන්දෑව අඳුරේ ගිල්විමට හෝරාවක් දෙක තුනක් තබා සියළු කලා කරුවෝද, සහෘද රසික පිරිසද, ලුම්බිණියට පැමිණ සිටියේ 1450 වන අවසන් සැඳෑව සියැසින් දැකගෙන ඒ අභිමානවත් සමුගැනීමේ සොඳුරු නිමේෂය මනසේ සටහන් කර තබා ගන්නට ය. ඒ දශක හතරක් පුරා අර්ථ මාධූර්යයෙන් ද, නාද මාධූර්යයෙන් ද, මනෝරම්‍ය වූ ගායන ලීලාවෙන්ද, මාධූර්යයෙන් ද, සුවහසක් සවන් පත් යුග යුග නිවා සැනසූ " ස"  ප්‍රසංගයට සමුදීම සඳහා ය.

රුවන් නිදන හෙළ බිමයි
දශක හතරක් දෙස ආපසු හැරී බලන විට දැකිය හැක්කේ කාලය අප පසු කර යාම පමණකි. එදා යොවුන් වියේ පසු වූවන්  අද වියපත්ව සිටී. ඔවුන් ඊයේ එහි පැමිණියේ ඒ සුමියුරු අතීතය නැවත සිහිගැන්වීම සඳහා ය.  එදා උකුළත තබා රැගෙන පැමිණි ඒ   සිඟිති දූ දරුවන් අද තරුණ විය ද ඉක්මවා සිටී. ඔවුන් ඊයේ  පැමිණියේ  එදා තම මව හෝ පියා විසින්  උකුළත හොවා කියාදුන් ඒ මිහිරි ගී සුයාමය අවසන් වරට විඳින්නට ය.  ඇතැමෙක් තම වියපත් පියා හෝ මව අතින් අල්ලාගෙන ලුම්බිණියට පැමිණියේ  එදා තමා සුළැඟිල්ලේ  එල්ලා  රැගෙන විත් කියාදුන් අරුත් බර ගී මිහිර විඳ සැනසෙන්නට ය. එදා නූපන් අය අද යොවුන් වියේ පසුවෙමින් එහි පැමිණ සිටියේ  තමන් විසින් අසා තිබූ  ඒ ප්‍රසංගය සැබැවින් ම විඳ සැනසෙන්නට ය.  එදා නූපන් ඇතැමෙක් ඊයේ එහි  තම සිඟිති දූ දරුවන් කැටුව පැමිණියේ සුන්දරම සැඳෑව ගැන මතු දවසක ඔවුන්ට කියා දිමට ය.

සියළු රසිකයෝ දැහැන් ගත කරවමින් ඒ රාත්‍රියෙහි රසික සද්ජන සමූහයාගේ උණුම් ප්‍රතිචාරය හමුවේ 1450 වන වතාවට සිය “ස” ප්‍රසංගය රැගෙන වික්ටර් සිය අතිජාත මිත්‍ර මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මුලසුනෙහි හොවා දැවැන්ත එලිමහන් වේදිකාවටගොඩ වූයේ  වූයේ අවසන් වතාවටය.

සම්බුද්ධ සද්ධර්ම අනුහසින්
ගෝවින්ද ශ්‍රී ස්කන්ධ ශාන්තියෙන්
කමලාසනාරූඪ සරස්වතී ආශිර්වාදයෙන්
රසික ඔබ මිලනයෙන්
ආනන්ද ජනක වූ මේ සොඳුරු රාත්‍රී යාමයේ
සුවහසක් සවන් යුග
ප්‍රීතියෙන් උදම් වේවා....
ප්‍රීතියෙන් උදම් වේවා.......!


ලුම්බිණි විද්‍යාල භූමියේ අතුරු සිදුරු නැතිව පිරී සිටින සියලු රසිකයන් නිහඬ කරමින් සොඳුරු ගාන්ධර්වයාණෝ සිය මෝහනීය ගායන ලීලාව රඟහල අඳුර විනිවිද මුදා හැරියේය.

සෝක සැනසුම් වේදනාවන්
ආදරේ පුරවා ගෙනා
ඈගෙ නිලුපුල් දෑසෙ කඳුළැල්
ජීවිතේ මතු වාසනා

වීණාවෙ තත් මැද ගී ගයන්නේ
ඈ සෙනේ හද මිහිර මවා
රන් කේලි බඳිමින් මග සරසන්නේ
ජීවන ගමනේ පිහිට පතා

මා සිහින විමානේ පැතුම් තටාකේ
ආදර කුසුමන් පිපී තියේ..
සැනසීම හෝ වැනසීම  ඔබගේ
ඔය නිල් දෑසේ රැඳී තියේ


ගේය පද: මීගොඩ විල්සන්
සංගීතය: මර්වින් පෙරේරා
ගැයුම: ආචාර්ය වික්ටර් රත්නායක

මියුරුතම ගී එකතුවේදී වික්ටර් රත්නායකයන් රන් හුයක ඇමිණූ  මුතු පොටක් බඳු ගී ඟඟුලේ කිමිදෙමින්  අපි ඔක්කොම රජවරු, දෙව්රම් වෙහෙරේ, සිහින සතක්, ආදරයේ උල්පත අම්මා,  නංගියේ මල්ලියේ, අඹගස් යට මල් හැලිලා, සිහිල් සුළං, හෝපළු වන පෙත, ඔබෙ දෙතොල් පෙති,  කුරුල්ලන්ට ගී, තරු අත් අකුරින්, සෝක සැනසුම්, සීගිරි ළඳකගෙ, තනි තරුවේ, පොඩි කුමාරිහාමියේ, පාවේ වලා, සඟවා ගනු මැන, රුවන් නිදන හෙළ බිමයි,  දෛවයෝගයකින්, මයුරාසන , අදුර බිඳින්නට තොටුපොල අයිනේ, කෙහේ සිට ඔබ පැමිණියේ දෝ,  මා ළඳ වත තාරපතී, සිහිල් සුළං , බින්දුමතී ආදී මුවින් මුව රුව් පිලි රැව් දුන් ගී වැල අවසන් වරට “ස” ප්‍රසංගයෙන් සවනට මුසු  රසික සිත් ප්‍රමෝදයේ ගිල්වමිනි.

පෙම්බර මධූ මගේ මා නැතේ ඔබෙන් මිදුනේ
සුරූපි දේහ විලාසේ මැවේ මැවේ නයනේ
පෙම්බර මධූ මගේ.. පෙම්බර මධූ මගේ


ලොවේහි ඈත අනන්තේ පැලක් තුලේ නොපෙනී
ඇතත් හොරෙන් හැංගීලා මගේ දුකත් නොදැනී
අරන් එමී ඔබ කැන්දා ඇසිල්ලකින් පැමිණී
සුරූපි දේහ විලාසේ මැවේ මැවේ නයනේ
පෙම්බර මධූ මගේ..පෙම්බර මධූ මගේ..


වඩාල දෝත පුරාලා පරෙවි කුමාරිය සේ
සුගන්ධ මල් යහනාවේ හොවා පෙමින් සිතුසේ
පවන් සලා ඔබ සනසම් ළදල්ලකින් සුවසේ
සුරූපි දේහ විලාසේ මැවේ මැවේ නයනේ
පෙම්බර මධූ මගේ..පෙම්බර මධූ මගේ..

අපේම පාලු විමානේ නිසංසලේ සහනේ
අමා පැණින් මත්වීලා ඔබේ දෙනෙත් බඳුණේ
විඳින්නෙමී රස මදිරා පෙරුම් පිරූ ලෙසිනේ
සුරූපි දේහ විලාසේ මැවේ මැවේ නයනේ
පෙම්බර මධූ මගේ..පෙම්බර මධූ මගේ..


ගේය පද: කරුණාරත්න අබේසේකර
සංගීතය: පී.එල්.ඒ.සෝමපාල
ගැයුම: ආචාර්ය වික්ටර් රත්නායක


ගීයෙන් ගීයට නැගුන අත්පොලසන් නාදය  සවන්පත් විනිවද ගියේ සොඳුරා ගාන්ධර්වයානන්ගේ සේම ප්‍රේක්ෂකාගාරයේ දැහැන් ගතව හුන්  රසික සමූහයාගේද දෑස් කඳුළින් තෙමෙද්දීය. සිය සමාධිගත ඉරියව්වේ දැහැනකට සම වැදී සිය ආනන්දනීය ගී හෝරා තුන හමාරක් පුරා රසික සද්ජනයා සමග කතාබාහ කරමින්, ඔවුන් සිනා සයුරේ ගිලවමින්ද,  ගීතයේ දැහැන් ගත කළේය.


බිංදුමතී.... බිංදුමතී....
මං ආදර පෙම්මාදර බිංදුමතී
පෙමා වඩන ලද බිංදුමතී..

කලු උක් ගස විසා කලු  කලු නංගියේ
දර කඩලා ඉහ තියලා කොහිදෑ ගියේ
ගොම්මං සමයමටා ගම හොල්මං තියේ
නුඹ එක්කා මම එන්නා යමු නංගියේ

ළිඳ ළඟටා යන්න එපා දියබරියා එයි
වැට ළගටා යන්න එපා කබරගොයා එයි
ගඟ ළඟටා යන්න එපා අබිමානා එයි
පිට ගමටා යන්න එපා මා මෙහි තනිවෙයි..


ගේය පද: ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය සහ ගැයුම: ආචාර්ය වික්ටර් රත්නායක


ගී රසිකයන්ගේ ඔක්කොම රජවරු

එදා 1973 දී වික්ටර්ට “ස” ප්‍රසංගයේ  අත්වැල් ගායනයෙන් දායක වූ රෝහණ වීරසිංහ, සුනිල් එදිරිසිංහ, ලක්ෂ්මන් විජේසේකර, බන්දුල විජේවීර,  එඩ්වඩ් ජයකොඩි, ආනන්ද වීරසිරි, නිර්මලා රණතුංග, ඉන්දීවරී අබේවර්ධන ආදීන් හතළිස් වසරකට පසු  අද දවසේ ප්‍රවීන ශිල්පීන් වුවද, එදා පළමු ප්‍රසංගයේ මෙන්ම ඊයේ රාත්‍රියේද වික්ටර්ට අත්වැල් ගායනය කරමින් රසික සිත් ආනන්දයෙන් ප්‍රමුදිත කළහ.


එපා හිරු පායන්න
අදින් පසු මගෙ ලොවට
අදයි අවසන් දවස ඇගෙන් මා
මගෙන් ඈ සමුගන්න


සැඳෑ තරු නොදිලෙන්න
සරා සඳ නොනඟින්න
වෙලී යුගඳුරු සතර
අනු දිසා ගිලගන්න
ගලා යන නදී දොල... මිදී..
මිදී නැවතී ඉන්න


ලිය මඩුලු තුරු සිරස
එපා මල් පළඳන්න
වසන්තය නිමා විය
කොවුලනේ ගොලු වන්න
සොබාදම් නෑ සියනි... සැලී...
සැලී කම්පා වන්න


ගේය පද: කුමාරදාස සපුතන්ත්‍රී
සංගීතය සහ ගැයුම: ආචාර්ය වික්ටර් රත්නායක


රාත්‍රිය ‍හිමිහිට නැගෙද්දී වික්ටර් බින්දුමතී ගීය ගැයෙන විට ඒගැයෙන්නේ අවසන් ගීයට පෙර ගීය බව මට හැගුණි. ආරම්භය මෙන්ම අවසානයේද අපි ඔක්කොම රජවරු ගීය ගැයුණි. මෙතෙක්වේලා දැහැන් ගතව හුන් සියලු රසික සමූහයා සිය අසුන් වලින් නැගී හිඳ විනාඩි දහයක් තරම් කාලයක් තිස්සේ වැයුණු අපි ඔක්කොම රජවරු ගීයේ ගී අනුවාදනයට අනුගත වෙමින් අත්පොලසන් දුන්නේ හැව්ලොක් ටවුම දෙදරා යන පරිද්දෙනි.

වියපත් තොටියා, ඔරුව සහ හබල :

දැන් ඉතින්  රාත්‍රියට මෙන්ම ඔහුටද සමු දිය යුතුය. වික්ටර් පුරා වසර හතළිහක් මුළුල්ලේ “ස” ප්‍රසංගය රට වටා මෙන්ම ලොව වටාද ගෙන යමින් රසික සිත් තුටු කළේය. ආනන්දයෙන් ප්‍රඥාවට කරා රැගෙන ආවේය. මිහිරිම ගීතයේ රුව ගුණ කියා දුන්නේය. ජනප්‍රිය මාවත කුමක්දැයි ගීතයෙන් ම කියා දුන්නේය.

සඳ හිරු තරු පවතින තුරු
ඔහු හතළිස් වසරක් පුරා රසිකයන් එතෙර මෙතෙර කළ ඔරුව ගං ඉවුර වෙත අවසාන වතාවට පදවාගෙන පැමිණියේය. නැවත දියත් නොකරන ලෙස ඔරුව ගං ඉවුරේ රඳවා හබලද ඔරු කඳ මත තැබීය.ඔරුවද හබලද තවමත් ශක්තිමත්ය.  පුරා හතළිස් වසරක් ඔරුව හබල් ගෑ තොටියා දැන් වියපත් බව ඔහුටම වැටහිණි. ඔරුවද හබලද භාරගන්නට කිසිවකු පැමිණ නැත. ගලා යන නිල් දියෙන් දෑත දොවා ගං ඉවුරෙන් මෑත්වී ආපසු එහා ඉවුර දෙස බැලූයේ එතෙර කරවන්නට තරම් තවත් කිසිවකු සිටීදැයි විමසා බලන්නට ය. කිසිවකු පෙනෙන්නට නැත.  ඔහු විසින් සාදා දුන් පාලමෙන් බොහෝ දෙනෙක් එතෙර මෙතෙර යන අයුරු දැක උපේක්ෂාවෙන් ඒ දෙස බලා සිටියේ ය.

පාවෙන වලා අතරින් තනි තරුවක් දැල්වී නෙතග පැටලෙයි. සිහිල් සුළං රැල්ලක් හමා එනු දැනේ. සියලු දේ අනියත බව කියා දුන් දෙව්රම් වෙහෙර හිමි වැඩ සිටි අයුරු සිහිවෙයි. සියලු සෝක සැනසුම් වේදනා අතරින් රත්තරං කෙණ්ඩියේ සිංහ තෙල් වගේ වූ ඔබේ මියුරු ගී සරය නැවත නැවතත් හිතේ දැවටෙයි. අඳුර බිඳින්නට රැය පුරා ලන්තෑරුම් එලි දැල්වී ඇත. හෙට හිරු තව දවසක් ගෙනාවද එය කෙසේ වේදැයි කිව නොහැක. ඒ නිසා ඔබ දැල්වූ ලන්තෑරුම් එළියෙන් බිඳක් ගෙන මමද ලුම්බිණියෙන් නික්ම යමි.


සටහන:
මේ සටහන කොටස් කීපයකට බිඳින්නට හිත ඉඩ නොදෙන නිසාත් එය එතරම් තේරුමක් ඇති වැඩක් යැයි නොසිතෙන හෙයින්ද  එක ලිපියකින්ම මේ සටහන තබමි. දිග වැඩි විම ගැන කණගාටු වෙමි.

ඔබේ වටිනා කාලය බිදක් වැය කර ගී රස විඳිමින් කියෙව්වාට  ස්තූතියි. වෙලාවක් ඇත්නම්  ඔබේ විචාරාත්මක අදහසත් මෙහි ලියා තබන්න

5 comments:

  1. කලින් පොස්ට් එකත් මගේ එකේ ලෝඩ් වුනා.

    මේක හිතාගන්න බැරි දේවල් තියෙනවා. වසර 40ක් එකදිගට අත්වැල් ගායනයෙන් සහය දුන්න පිරිස ගැන හිතද්දී. ලුම්බිනියෙන් ආරම්භ කර ආයෙත් ලුම්බිනියෙන්ම අවසන් කිරීම අනිත් අයත් එක්ක බලද්දී ඔහු ලඟින් යන එක පුද්ගල ප්‍රසංගයක් තියන්න කාටවත් තවම බැරි වෙලා නේ. ඔහුගෙන් පසු කිසි කෙනෙක් නැහැ නේ මේ විදියට දැනෙන ගීත ගායන කරන.

    රුපියල් 20ට බැලුවා කියන්නේ අද කාලෙන් බලද්දී ලොකු ගානක් වෙන්න ඕනේ නේ ද?

    ReplyDelete
  2. කලින් දවසේ ලිපිය කියෙව්වා ඒත් මොකුත් ලිව්වේ නැත්තේ වෙලාව මදි වගේ හිතුන හින්දා.. මං බැලුවෙ අද මේ එක කමෙන්ට් එකක් විතරක් මොකද කියල.. පස්සෙ නේ වැඩේ තේරුනේ..

    හරි දැන් මගෙ කමෙන්ට් එක.. වික්ටර් රත්නායක සහ ඔහුගේ ප්‍රසංගය ගැන මේ කියල තියෙන දේවල් හරිම වටිනව..ඒවල කිසිම අතිශයෝක්තියක් නෑ.තවත් අවුරුදු ගානක් ගියත් මේවායේ තියෙන වටිනාකම නැතිවෙන්නේ නෑ..

    ඒත් මම මේ කල්පනා කෙරුවේ කවද හරි දවසක මේ වගේ රසවත් විදියට ශාස්ත්‍රීය ලිපි ලියන්න පුළුවන් දයාන්නද රත්නායක සහ ඔහුගේ අස්වැන්න ගැන මේ විදියටම විචාරයක් කරන්න වෙයි නේද කියලයි..
    ඇත්තටම එහෙම වෙන්න පුළුවන්.. මොකද මේ වගේ දිග ලිපියක් රසවත් ලෙස එක දිගට ඔනෙම කෙනෙකුට කියවාගෙන යන්න ආස හිතෙන විදියට ලියන්න පුළුවන් අය ඉන්නේ බොහෝම ටික දෙනෙයි..

    තාක්ෂණය මේ වගේ රසවත් දේවල් වලට යොදා ගැනීම සිංහල ලේඛණ කලාවට කරන සේවයක්..නැද්ද මං අහන්නේ..

    ReplyDelete
  3. වික්ටර් රත්නායකයන්ගේ " ස " ප්‍රසංගය අවසන් උන එක ගැන දුක හිතෙන්නේ ඒවාගේ ප්‍රසංගයක් ඉදිරියේදී දකින්න නොලැබෙන එක ගැනයි. ගුවන් විදුලියේ හෝ රූපවාහිනියේ ගීත ඇහැව්වත් , බැලුවත් සජීවි ප්‍රසංගයකදි ඊට වඩා චමත්කාර අත්දැකීමක් ලැබෙනවා කියල මට නම් හිතෙන්නේ. මෙවන් වටිනා අදහස් ලිපියක් මගින් අපට දැන ගන්න සැලැස්වීමත්, රසවත් ගීත නැවත මකයට ගෙන ඒමත් ගැන ඔබට මගේ ස්තූතිය ...

    ReplyDelete
  4. කොටස් වලට නොකඩා තනි පෝස්ට් එකක් ලෙස ලිවීම හොඳයි. එක හුස්මට කියවගෙන යන්න පුළුවන්.සටහන නම් අපූරුයි.
    අපත් ඒ සමුගැන්ම මතක සටහන් අතරට එක් කළා. අංගමුව යාය 06 මහා විද්‍යාලයේ පළමු ශාලාවේ දැවැන්ත තිරයක් මත “ස“ ප්‍රසංගයේ රූ සරණිය සීඩී කාත්ෂණය ආධාරයෙන් කිසි දිනක “ස“ දැක නොමැති අප ගම්වැසියන්ට දැක බලා ගැනීමට සළැස්වූවා.ඒ වෙලාවටම.

    ReplyDelete
  5. hugak rasavinnda...sa prasangayak balanna bari una mama obage wachana walin dakka....bohooma pin

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...