එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Sunday 26 August 2012

෴ ඔබ එනතුරු මම තනියෙන් හිටියා ෴


                      ජෝතිපාල නැවත කියවමු - 04

කොපි ගීත හෙවත් ජෝතිමත් හින්දි  සහ දෙමළ ගී රාවය

අපේ සිංහල සිනමාව ආරම්භ වෙන්නෙ ඉන්දියානු සිනමාවෙ ආභාෂයෙන්. ඒකට ප්‍රධාන තම හේතුව වුණේ  අතීතයේ පටන් නැටුම ගැයුම සහ වැයුම කලාංග විදියට නියම ශාස්ත්‍රානුකූලව ලැබුණෙ  ඉන්දියාවෙන් නිසා. 1947 දි කඩවුණු පොරොන්දුව චිත්‍රපටය තිරගත විමත් සමගම සිනමාව කර්මාන්තයක් ලෙස  ලංකාවෙ ආරම්භ වූවද, මුල් යුගයේ සිනමාවට සම්බන්ධ සියළුම දේවල් සිදු වූයේ  ඉන්දියාවේ චිත්‍රාගාර සහ ශබ්ධාගාර ආශ්‍රිතවය. ජෝතිපාල පිළිබදව  ලියැවුණ මුල් ලිපි මගින් ඒ පිලිබඳව කතා කළෙමු.

ජෝතිපාල සම්බන්ධයෙන් ලියැවෙන මේ ලිපි මාලාව තුළ  තවම කතාබහට ලක් කරන්නෙ  ඔහුගේ 1956 -66 දශකය පිළිබඳවය. ඒ ජෝතිපාල ගායනයට පිවිසි මුල් අවුරුදු දහය තුළදී ජෝතිපාල චිත්‍රපට පසුබිම්  ගායන ශිල්පියෙක් ලෙස තම ස්ථාවරය සටහන් කරගත්තෙ  කොහොමද  කියන කාරණය පිලිබඳවය. ඒ නිසා ජෝතිපාලගේ ආරම්භක දශකය තුළ ඔහු ගොඩනගා ගත්  කොපි ගීත කලාව තුළ ඔහුගේ  ජෝතිමත් හින්දි සහ දෙමළ අනුකාරක කොපි ගීත ගැන කතා කරමු.

1960 න් ආරම්භ වූ දශකයේ දී  ඉන්දියානු සිනමාවෙ ආක්‍රමණශීලි බව ගිලිහී යමින් තිබුණි. ඒ යුගය වන විට ලංකාවෙ චිත්‍රපට නිෂ්පාදනය වෙනුවෙන් විශාල පිරිවැයක් දැරූයේ  ද්‍රවිඩ ජාතික චිත්‍රපට නිෂ්පාදකයන් වුවද,  ඒ චිත්‍රපට අධ්‍යක්ෂණය  සහ සංගීත නිර්මාණය කිරීමේ කාර්යය තරමක් දුරට දේශීය සංගීත අධ්‍යක්ෂවරුන්ට පැවරී තිබුණි. එය දේශිය නිර්මාණකරුවන්ට වාසිදායක තත්වයක් බවට පත්විය. ඒ යුගයේ සිංහල චිත්‍රපටවල පසුබිම් ගී ගැයිම  සදහා  තෝරාගෙන සිටි ඒ.එම්.රාජා, ජමුණා රාණි, ජික්කි, වැනි ගායක ගායකාවන් සමග  ගී ගැයිමට තරම් ගායක ගායිකාවෝ පිරිසක් ඒවන විටත් ලංකාවේ බිහිව සිටියහ.  මොහිදීන් බෙග්, ධර්මදාස වල්පොල, ලතා ප්‍රනාන්දු (වල්පොල) , ඉන්ද්‍රාණි, සිසිර, ජෝතිපාල, ඇන්ජලින්, සහ සුජාතා ආදී ගායක ගායිකාවෝ ඒ අතර වූහ.

එසේ වුවත් සිංහල චිත්‍රපට කර්මාන්තය ආදායම් උපයා ගැනීමේ මාර්ගයක් ලෙසට වාණිජමය පරමාර්ථයෙන් චිත්‍රපට නිෂ්පාදකයන්ට තිබූ අභිලාෂයන් මුදුන්පත්  කර ගැනිමට  අවශ්‍ය ඉලක්කය වූයේ චිත්‍රපටයට “නැගලා යන” ගීත ඇතුල් කිරිමය. චිත්‍රපටයේ කතා පුවතට අදාළ වූවත් නැතත්, චිත්‍රපටයට ගීත හතක් හෝ අටක්වත් ඇතුල් කිරිම චිත්‍රපට නිෂ්පාදකයාගේ එකම බලාපොරොත්තුවය. කතාවේ අන්තර්ගතය හොඳ හෝ  නරක කුමක් වුවද, චිත්‍රපටය නැරඹිමට පැමිණි ප්‍රේක්ෂකයාගේ ගැලරියේ විසිල්පාර මගින් ඔහුගේ මනසේ සදා නිදන් ගත වන  ගී චිත්‍රපටයට ඇතුල් කිරිමට නිෂ්පාදකයා වග බලා ගත්තේය. ඒ නිසා ගීත තනු ඉතාම මිහිරි වුවද ඇතැම් ගී පද රචනා හිස් සහ බොල් වචන වූ බව නොකියා සිටිය නොහැක. ඒසේ වුවත් ඒ බොහෝ ගීත දශක පහක් පසුකරමින් අදටත් ජනප්‍රියත්වයේ හිනිපෙත්තතෙහි රැඳී ඇත්තේ ගී තනුවල තිබූ මිහිර බවත්, ගී පදමාලාවල තිබූ සරල බවත් නිසාය.

ඒ නිසාම ආර්. මුත්තුසාමි, එම්.කේ රොක්සාමි, මොහමඩ් සාලි,  මොහමඩු ගවුස් වැනි ඉන්දියවෙන් ලංකාවට පැමිණ පදිංචි වූ සංගිතවේදීන් පවා දේශීය ස්වතන්ත්‍ර ගීත නිර්මාණය කරන ගමන්ම වැඩි වශයෙන්  ඉන්දි‍යවේ ජනප්‍රිය වූ චිත්‍රපට ගීත කොපි ගිත බවට පත්කර අපේ ගායක ගායිකාවන් මගින් ගායනා කරවීමය. කොටින්ම කිවහොත් මෙ මගින් සිදුවූයේ  දෙමළ සහ හින්දි ගී තනු වලින් හැදුණ කොපි සිංදු කලාවක් මෙරට බිහිවිම ය. ඒ සඳහා හොදම නිදසුනක් ලෙස “හොඳ සිරියාවයි ආකාසේ”  නම් වූ මේ ගීය අසා  බලන්න.

ජෝති  - ඇන්ජලින් එළිමහන් වේදිකාවේ
ඉතාමත් ජනප්‍රිය හින්දි චිත්‍රපටයක්  වූ “ආඕ ප්‍යාර් කරේං” චිත්‍රපටය සඳහා ශංකර් ජායි කීෂන්  සංගීතවත් කළ මහේන්ද්‍ර කපූර් සමග සුමන් කළ්‍යාණ්පූර් ගැයූ “ ජබ් සේ බනී හේ දුනියා” නැමති ගීයෙන් උපුටාගෙන  ස්වීප් ටිකට්  චිත්‍රපයට ඇතුළත් කර ඇති බව ඉන්දියානු සිනමාවේ දහතුන් වන භාෂාව කෘතියේ සුනිල් මිහිදුකුළ කර ඇති සඳහන  මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ද  සිංහල චිත්‍රපට ගීතාවලියේ තහවුරු කරයි. මේ ජෝතිගේ පළමු දශකයේ එන අද දක්වාම අතිශය ජනප්‍රිය වූ එක ගීයකි. චිත්‍රපටයේ ඇතුළත්ව තිබූ ගීයේ දෙවන අන්තරා කොටස් දෙක කිසියම් මග හැරීමක් නිසා ජෝතිපාල පසුකාලිනව ගැයූ  මේ ගීයට ඇතුළත්ව නැත.  ඒ වෙනුවට පළමු අන්තරා කොටසම ඇතුළත් වී ඇත.


හොඳ සිරියාවයි ආකාසේ
වාසනාවට ආදරේ...

හොඳ සිරියාවයි ආකාසේ
වාසනාවට ආදරේ...

අපෙ ආදරේ.. ආදරේ.. අපෙ ආදරේ...

පෙම් සුව විදිනු වගේ
ප්‍රීතියක් ඇත්තෙ නෑ
මගෙ හද පෙම් රස උතුරන්
මෝරලා එයි සෙනේ

රැල්ලයි වෙරලයි වාගෙනේ
ඈත්ව යන්නේ නෑ සෙනේ

අපෙ ආදරේ.. ආදරේ.. අපෙ ආදරේ...

පෙම් සුව විදිනු වගේ
ප්‍රීතියක් ඇත්තෙ නෑ
මගෙ හද පෙම් රස උතුරන්
මෝරලා එයි සෙනේ

රැල්ලයි වෙරලයි වාගෙනේ
ඈත්ව යන්නේ නෑ සෙනේ

අපෙ ආදරේ.. ආදරේ.. අපෙ ආදරේ...


ගීත පබැදුම: සිරිල් ඒ. සීලවිමල
ගැයුම: එච්.ආර්.ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක
සංගීතය: පී.එල්.ඒ. සෝමපාල
චිත්‍රපටය: ස්වීප් ටිකට්
අධ්‍යක්ෂණය: ෆ්ලොරීඩා ජයලත්
තිරගත වූ වසර  :1965


ඒ කොපි ගීත කලාව තුළ වුවද බාල හෝ අවර ගණයේ නිර්මාණ බිහිවූයේ නැත. උසස් කර්ණරසායනයෙන් පිරුණ මධුර හින්දි සහ දෙමළ ගීතවල තනු  උසස් මට්ටමින් යුතුව ඉන්දීය ශබ්ධාගාරවල පටිගත කීරීමෙන් පසු  සිංහල චිත්‍රපටවලින් ප්‍රේක්ෂකයන්ගේ රස නහර තුළට කිඳා බැස්සේ ය. ඒ අයුරින්  ඒ යුගයේ ගී චිත්‍රපට පසුබිම් ගී ගැයිමට සිටි ජෝතිපාලට සිදු වූයේද වැඩි වශයෙන් ඒ කොපි ගීත ගායනා කිරිමය.

මතු දැක්වෙන “ චන්ද්‍රා මෙ රෑ පායා ආවා” ගීතය ද එවැන්නකි. මේ ගීතය ආර්. සුදර්ශනම් සංගීතවත් කළ ඉන්දියානු ද්‍රවිඩ චිත්‍රපටයක් වූ “නානුම් ඔරු පෙණ්” චිත්‍රපටයට ටී.ඇස්. සෞන්ද්‍රරාජන් සහ පී. සුසිලා  ගැයූ “ පූ පෝල පූ පෝල පිරක්කුම්” යන දෙමල ගීතයෙන් ද, එහිම හින්දි චිත්‍රපටය වූ “මෛං හී ලඩකී හූං” චිත්‍රපටය සඳහා චිත්‍රගුප්ත සංගීතවත් කළ ලතා මංගේෂ්කාර් සමග පී.බි. සිරිනිවාස් ගැයූ “ චන්ද්‍රා සෙ හෝ ගා වො ප්‍යාරා” නැමති ගීයෙන් උපුටාගෙන “සත පණහ” චිත්‍රපයට ඇතුළත් කර ඇති බව ඉන්දියානු සිනමාවේ දහතුන් වන භාෂාව කෘතියේ සුනිල් මිහිදුකුළ කර ඇති සඳහන  මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ද  සිංහල චිත්‍රපට ගීතාවලියේ නැවත තහවුරු  කරයි. මේ ජෝතිගේ පළමු දශකයේ එන අද දක්වාම අතිශය ජනප්‍රිය වූ ඒ ගීයයි.

චන්ද්‍රා මෙ රෑ පායා ආවා
හර්දේ පෙමින් නාව නාවා

මේ ආදරේ වාසනාවන්
දුක් වේදනාවන් නිවේවා


 ඔබගේ සිනාවෙන්  මුලාවී
මේ රෑ පවා මල් පිපේවි

රන් තාරකාවෝ සිනාසී
ප්‍රේමේ අමා ගී ගයාවී

ආසාව ආවාද මෝරා
සැමදාම ඔබ මාගෙ වේවා


සතුටයි සැපයි ඔබය මාගේ
ඔබ පෙම්වතී පෙම්වතාගේ

අරගන්න ඔබෙ දෑත සුරතල්
දෛවේ මගේ පිහිට වේවා


ගීත පබැදුම: හර්බට් ඇම් සෙනෙවිරත්න
ගැයුම: එච්.ආර්.ජෝතිපාල සහ සුජාතා අත්තනායක
සංගීතය: ආර්. මුත්තුසාමි
චිත්‍රපටය: සත පණහ
අධ්‍යක්ෂණය: ඇම්.ඇස් ආනන්දන්
තිරගත වූ වසර  :1965



ලතා මංගේෂ්කාර් සමග පී.බි. සිරිනිවාස් ගැයූ “ චන්ද්‍රා සෙ හෝ ගා වො ප්‍යාරා” හින්දි මුල් ගීතය මෙතනින් අහන්න.


කෙසේ වුවත්  ජෝතිපාල තමන් අතට පත්වූ හැම ගීයක්ම ඉතා මිහිරට ගායනා කර ඇති බව නිසැකය. ඒ වන විට සිනමා‍වට නොතිබූ සිනමා රූපී  ගැඹුරු හඬත්, චිත්‍රපටයේ රංගන ශිල්පියාට අවශ්‍යම පසුබිම් හඬ  ජෝතිපලෙගෙන් මතුවන්නට වූ නිසාම ජෝතිපාලගේ ගීත රසික මනසේ තැන්පත් විය. ජෝතිගේ පළමු දස වසර තුළ ඔහුට ස්වතන්ත්‍ර ගිත හතරකකටත් අඩුවෙන් ගැයිමට ලැබුණත් එකී කාලය තුළ චිත්‍රපට පසුබිම් ගීත වශයෙන් කොපි ගීත විශාල සංඛ්‍යාවක් ගැයුවේය. එයින් සියයට 60 කට වැඩි ප්‍රමාණයක් අතිශය ජනප්‍රිය ගීත වූ බව පැහැදිළිය.

මේ හින්දි සහ දෙමල ගී තනුවලට සිංහල වචන යොදා සියළු ගීත තනුවට ලියා තිබුණද ග්‍රාම්‍ය ගීත පදමාලා සේ පෙණුනද, ඒවා ඉතාම සුමිහිර ගී පදමාලා බවට පත්වී ඇත. මේවා සරල ආකෘතියෙන් ලියැවුණද සම්භාව්‍ය ගණයට නොවැටුණේ කොපි ගීත වූ නිසා ය.


කොතැනක හිටියත් ඔබ මෙලොවේ
දිගුකල් ජීවත් වෙන්න කෝ
මගේ සිතට සැනසුම ගෙනදී
දිගුකල් ජීවත් වෙන්නකෝ
රැකගෙන මංගල මුදුව අතේ
දිගුකල් ජීවත් වෙන්නකෝ


හිටියත් කිසිවකු මෙහි ඔබ පතලා
දුටුවත් ඔහු  ඔබෙ ලස්සන මැවිලා
සිහිකෙරුවත් පසුගිය දේ හිතලා
සිරිකත මෙන් ඔබ
දිගුකල් ජීවත් වෙන්න කෝ


ඔබ එනතුරු මම තනියෙන් සිටියා
ඔබ වෙන කිසිවකු සමගින් ආවා
ඔහු දිවි රැකුමට මට වර ලැබුණා
පිරිසිදු ලිය ඔබ
දිගුකල් ජීවත්වෙන්නකෝ

දැල් වු පහන දැල්වෙන්නට හැරලා
අඳුරු නිවස ආලෝකය කරලා
ඔබෙ පෙම්බර සැමියගෙ පණ රැකලා
ගුණවන්තිය ඔබ
දිගුකල් ජීවත්වෙන්නකෝ


ගීත පබැදුම: චිත්‍රානන්ද අබේසේකර
ගැයුම: එච්.ආර්.ජෝතිපාල
සංගීතය: මොහොමඩ් සාලි
චිත්‍රපටය: සැමියා බිරිඳගේ දෙවියාය
අධ්‍යක්ෂණය: W.M.S.තම්පෝ
තිරගත වූ වසර  :1964

මේ ආකාරයෙන් ජෝතිපාල චිත්‍රපට පසුබිම් ගායකයෙකු ලෙස ගැයු හැම ගීයක්ම ජනප්‍රිය වෙන්න පටන්ගෙන තිබු නිසා රසිකයන්ද ප්‍රිය කලේ චිත්‍රපටයේ රගපෑ නළුවාගේ  ගීතය ජෝතිගේ ගැඹුරු හඬින් අසීමට ය. කෙසේ වුවත් ජෝතිපාලගේ එම සංගීත ගමනේ පළමු දශකයේ ඉතාමත් ජනප්‍රිය වූ අනුකාරක හින්දි සහ දෙමළ අතරින් තෝරාගත් කොපි ගීත කීපයක් මෙසේ දක්වමි.

·        සීත සුනිල් දිය දහරා -  දෙයියන්ගෙ රටේ  චිත්‍රපටය 1958
·        කොල කඩ කඩ බොරුවට දෙනවා -  වන මෝහිනී 1958
·        වාසනාව පෑදේවී - දස්කම  චිත්‍රපටය 1958
·        ප්‍රේමේ  දීපශිඛා  - දීපශිඛා චිත්‍රපටය 1963
·        හිතේ දුකක් නැති මිනිහා - සිතක මහිම චිත්‍රපටය 1964
·        මෙ ලෝකේ සියල්ලෝ - ස්වීප් ටිකට් චිත්‍රපටය 1964
·        තරුණ නෙත් ජය මංගලේ - ඇතුල්විම තහනම්  චිත්‍රපටය 1966
·        ලැසි ගමනින් යන හනිකේ - ඇතුල්වීම තහනම්  චිත්‍රපටය 1966
·        ජීවිතේ වසන්තේ - ඇතුල්වීම තහනම්  චිත්‍රපටය 1966
·        මේ රාත්‍රියේ මධු ස‍ඳෙන් - සුදු දුව  චිත්‍රපටය 1966
·        අවා සොයා ආදරේ -  සුදු දුව  චිත්‍රපටය 1966

ජෝතිමත් යුග ගීය. ...ජෝතිපාල, ඇන්ජලීන්, සුජාතා, ලතා..
මේ ආකාරයෙන් ජෝතිපාල ගැයූ අනුකාරක කොපි ගීත සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහල අගයකට ළංවෙද්දී මේ ගීත අතුළත් චිත්‍රපටවලට සමගාමීව, හිස් මාස්ටර් වොයිස්, (HMV),  කොළම්බියා, ආදී  ග්‍රැමෆෝන් ගී තැටි වෙළඳපොළට නිකුත් විය. ගමේ තිබුණ මගුල් ගෙදරක සවි කළ ලවුඩ්ස් ස්පීකරයෙන්  මුලු ගම පුරාම විසිරී ගියේ ජෝතිමත් මිහිරක් මවාදුන් මේ ගීතය. ඒ නිසාම ඒවා තුඩ තුඩ රැව් දුන් ගිත බවට පත්විය.

මතු දැක්වෙන ගීතය “රාජ්කුමාර්” හින්දි  චිත්‍රපටයට ෂංකර් ජායිකිෂන් ගේ සංගීතයට ලතා මංගේෂ්කාර් ගැයූ “ආජා ආයි බහාර්” ගීයෙන් පී.එල්.ඒ. සෝමපාලයන් හැදූ සිංහල කොපි ගීතය වූ  ‍”ආවා පෙම්වතා” ගීතයයි. මේ ගීය ඇතුළත් වූ  ස්වීප් ට්කට්  චිත්‍රපටයට ‍ගීත 08 ක් ඇතුළත් විය එයින් 04කම ජෝති ගැයූ ගීත වූ අතර ඒ සියල්ල ජනප්‍රිය ගීත බවට පත්විය.


ආවා පෙම්වතා යන්නේ යන්නේ ඇයි ඔයා
දෙන්නකෝ පෙම් සිනා ආදරෙයි කියා

සුළඟක් හමාවී සිසිලක් දැනේවී
සුදු සඳ හාමී මට හිනැහේවී

ඔබගේ පෙම් සිනා අතරේ හැංගිලා
එන්නයි මා සොයා ඉන්නේ ඒ බලා

ඉවසන්න වේවි සැනසිල්ල ඒවි
ලැජ්ජාවෙ දැන් නම් මගේ පණ යාවි

සඳුගේ රැස් වලා අතරේ හැංගිලා
ඉන්නේ දැන් මෙහේ ඔයයි මමයි තමා

දෑසින්ම නොබලා ඈතින් නොඅල්ලා
ඈතින්ම රැඳිලා සැපතා නොවේවි

පායා චන්ද්‍රයා  දීලා පෙම් සිනා
යාවී හැංගිලා ආදරෙයි කියා


ගීත පබැදුම:  ඩබ්ලිව්. විල්ෆ්‍රඩ් සිල්වා
ගැයුම: එච්.ආර්.ජෝතිපාල  සහ සුජාතා අත්තනායක
සංගීතය: පී.එල්.ඒ. සෝමපාල
චිත්‍රපටය: ස්වීප් ටිකට්
අධ්‍යක්ෂණය: ‍ෆ්ලරීඩා ජයලත්
තිරගත වූ වසර  :1965

ජනප්‍රිය හින්දි චිත්‍රපටයක් වූ “රාජ්කුමාර්”  චිත්‍රපටයට ෂංකර් ජායිකිෂන් ගේ සංගීතය ලතා මංගේෂ්කාර් ගැයූ “ආජා ආයි බහාර්”  හින්දි ගීය මෙතනින් අහන්න

  මේ  අනුව ජෝතිපාලගේ පළමු දශකය තුළ  ඔහුට ගැයිමට ලැබුණ බහුතර සිංහල චිත්‍රපට පසුබ්ම් ගී සංඛ්‍යාව තුළ ඔහු ගැයූ  සියළුම  ප්‍රේම ගීත විය. ඒවා ඉතාම  ග්‍රාම්‍ය මට්ටමක පැවතියත්, ඒ ප්‍රේම ගීත ඉතාමත් සරල බසකින් යුක්ත විම හේතුවෙන් ඒ ගී වලින් මතුවූ සෘංගාර රසය චිත්‍රපට ප්‍රේක්ෂකයා අමන්දානන්දයට පත් කළේය. ඒ නිසා චිත්‍රපට නිෂ්පාදකවරු සිය චිත්‍රපටයේ ප්‍රේම ගීය ජෝතිපාලට වෙන්කිරීමට තරම් ප්‍රවණතාවයක් ඒ වන විට ජෝතිපාල වටා ගොඩ නැංවිමට ඒ ගීත හේතු විය.

ඒ අකාරයෙන් “සිරියමේ සාරා”  ගීතයෙන් 1956 දී හින්දි සහ දෙමළ ගී තනුවකින් ඇරඹු ජෝතිපාලගේ  පළමු දශකය  මෙයින් අවසන් කරමි. ඊළගට එළඹෙන්නේ ජෝතිපාල ගී ගැයූ ඔහුගේ දෙවන දශකයයි. මෙහිදී, වෙළඳ ගී තැටි,  සරල ගීත සහ  ගීතයේ ස්වර්ණමය යුගයේ එනම් 1970 දශකයේ ජෝතිපාලගේ සංගීත භූමිකාව කෙසේ වූයේද යන්න ගැන ඉදිරි ලිපි වලින් විමසමු. ෴


ආශ්‍රිත ග්‍රන්ථ:

01.                         සිංහල චිත්‍රපට ගීතාවලිය -  මහාචාර්ය සුනිල් ආරියරත්න
02.                         සිංහල චිත්‍රපට ගීත සාහිත්‍යය  - සමන්ත හේරත්
03.                         ඉන්දියානු සිනමාවේ දහතුන් වන භාෂාව - සුනිල් මිහිදුකුළ

විශේෂ ඡායාරූප දෙක: 

ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ facebook අඩවියෙනි


ඔබේ හිතේ ජෝතිපාල පිලිබඳව විචාරාත්මක අදහසක් හෝ මේ ලියූ දේ ගැන විචාරයක් ඇත්නම් ලියන්න. කැමති විදියට ලිවිමට ඔබට නිදහස ඇත.


57 comments:

  1. හොඳ විස්තරාන්විත ලිපියක්.
    ගීත බෝහොමයක් කලින් අහලා තියෙනවා.
    හින්දි තනුවට සිංහල පද ගළපන එක හිතනවට වඩා අමාරුයි.
    ඒ හින්දා අර්ථ රසය නම් අඩුයි කියන එක ඇත්ත.
    නමුත් අද කාලේ ඒ විදියට හදන හෝ හැදෙන ගීත, පැ‍රැණි ගීත සමඟ අහලකින්වත් තියන්න බැහැ වගේම මුල් හින්දි ගීයටත් කරන අසාධාරණයක්.
    උදා:Teri Meri - Bodyguardට හදපු එක
    එන එන හැම හින්දි සින්දුවකටම සිංහල වදන් එක් කිරීමෙන් සවන් පිනවීමක් නොවේ.

    ReplyDelete
    Replies
    1. රැස්..

      ඇත්තටම හින්දි තනුවලට එදා වචන දැම්මෙ සිංහළ භෂාව ගැන හොඳ අවබෝධයක් තිබුණ අය. ඒනසා ඇතැම් ගීත සාහිත්‍යයෙන්ද පොහොසත්. ඒකටත් කලාත්මක හැකියාවක් තිබිය යුතුයි. කියල හිතෙනවා.

      Delete
  2. නියම ලිපියක් දයා අයියේ..

    ReplyDelete
  3. අනම් මනම් බොරු ටෝක්ස් නෑ. කෙලින්ම කිව්වා.. පට්ට පොස්ට් එකක් අයියා...
    මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්

    ReplyDelete
    Replies
    1. සුදා මල්ලි..

      ස්තූතියි මල්ලි... අගය කිරීම ගැන

      Delete
  4. Me geetha ahana koima welawakawath ewa Hindi gee copy kiyala hithenne nahane... e tharamma pada malawa lassanai... thanuwath ekka apuruwata pehila thiyenawa... Jothipalayan wagema Yuga geyata ek wena gaikawanuth Geethaya thamangema kara gena gayana karanawa....

    e nisai me geetha me tharamma ape hith banda ganne... e wagema hemadamath eka wage janpriyawa thiyenne..

    ReplyDelete
    Replies
    1. ජෝතිපාලගේ හඬ වගේම ඒ හඬට ගැලපෙන්න පදාමාලා ලියැවුණා. ඇතම් පදමාලා ඉතාමත් ග්‍රාම්‍ය මට්ටක තිබුණත් සිංහල බස කතා කරන්න දන්න හැම කෙනෙකුගේම හිතට වැදෙන්න ගැයීම සිදුවුණා. ඒ නිසා මේ ගීත සදාකාලිකයි.

      Delete
  5. බොහොම වැදගත් තොරතුරු අදත් රත්නායක අයියේ.. ඉදිරි ලිපි එනකන් බලන් ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්..

      තෝරාගත් ගී කීපයක් ඇසුරින් ජෝතිගේ ගමන් මග හැදුනෙ කොහොමද කියන කාරණය සාකච්ඡාවකට ලක්කරන්න තමයි මේ උත්සාහය. ඒකට ටිකක් කල් ගතවේවි.

      Delete
  6. මේ බ්ලොග් එක කියවනකොට මට මතක්වෙන්නෙ ඉස්සර ගුවන්විදුලියේ ප්‍රචාරය වුන "මතකයේ රැඳුන ගී" වැඩසටහනයි.

    මම එතරම් ප්‍රියකරන ගායකයෙකු නොවුනත් ජෝතිගේ හඩේ තිබුන පෞර්ෂයට ආසා කළා. සිංහල වාණිජ සිනමාවේ නැගී ඒමට ඔහුගේ මැදිහත් වීම ඉතා ප්‍රභලයි....

    ReplyDelete
    Replies
    1. සුමිත්..

      මමත් ජෝතිගේ හැම ගීයකටම කැමති නැහැ ඒත් සමහර ගිතවල අපේ ඇසට හසුනොවුණ කලාත්මක බවක් තියෙනවා. ඒ කලාත්මක බව සෙවීමයි මගේ අරමුණ. ඒකලාත්මක බව ගොඩ නැගුනේ වාණිජ සිනමාව නිසාම තමයි.

      Delete
  7. බොරු ටෝක්ස් නෑ විස්තරාන්විත පට්ට ලිපියක්

    ReplyDelete
    Replies
    1. mytouristdestination.info

      ස්තූතියි ඔබටත්. ඒවගේම මුල්වතාවට අස්වැන්නට පැමිණි ඔබ සාදරයෙන් පිළිගන්නවා.

      Delete
  8. ඔන්න බලාපොරොත්තුවෙන් උන්න පෝස්ටුව. සෑහෙන මහන්සියක් අරන් තියෙන හැඩයි. ඔබතුමාගෙ මහන්සියෙ ප්‍රථිපල ගන්නෙ අපි. නොදන්නා දේවල් දැනගෙන. බොහෝම ස්තූතියි මේ තොරතුරුවලට..
    " කොතැනක සිටියත් ඔබ මෙලොවේ " කියන ගීතය අඩංගු චිත්‍රපටිය බලලා තියෙනවා. මතක හැටියට රුක්මනී දේවිද කොහෙද ප්‍රධාන චරිතය. ඒ ගීතය හරිම ලස්සනයි.ජෝතිපාලයන්ගේ ගැඹුරු හැඟීම්බර කට හඬට මම නම් කවදත් කැමතියි.

    ReplyDelete
    Replies
    1. ළිහිණි...

      මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළේ රුක්මණී දේවි සමග අසෝක පොන්නම්පෙරුම. මමත් කීපවතාවක් බලල තියෙනවා. මේ චිත්‍රපටයේ සියළුම ගීත අදටත් ජනප්‍රියයි.

      Delete
  9. ඇස්දෙක පියාගෙන රසවිඳින්න පුළුවන් ගීත තමයි ජෝතිගේ තියෙන්නේ අදටත් කතා නැතිව අහන්න පුළුවන්.ඔබතුම වෙන මහන්සියට මගේ ප්‍රණාමය.

    ReplyDelete
    Replies
    1. කෝරලේ මහත්තයා..

      ඒකනේ ජෝතිපාල අදටත් ජනප්‍රියම ගායකයා වෙලා තියෙන්නේ.

      Delete
  10. //ඒ කොපි ගීත කලාව තුළ වුවද බාල හෝ අවර ගණයේ නිර්මාණ බිහිවූයේ නැත. //

    මේ කතාවනම් සහතික ඇත්ත. කොපි ගීතය උනත් උසස් විදියට කරලා තියනවා. මේ ගීත හැම එකක්ම ඉතාමත් ලස්සනයි. වෙහෙසක් නැතිව රස විඳින්න පුළුවන් ගීත. පද මාලාවන් හරිම අලංකාරයි.

    ReplyDelete
    Replies
    1. සයුරි..

      50-60 දශකවල තිබුණ ගිත බොහොමයක් ඉතාමාත් ග්‍රාම්‍ය විදියට ලියපු ගිත සමහර ඒවා හරියට
      වැලපීම් වගේ . ඒවා රසිංක හිත්වල තැන්පත් වුණා ඒ මධුර තනු එක්කම. ඒ කොපි ගීතවලට වචන යෙදීමේදී භාෂාව ගැන එතරම් සැැළකිල්ලක් නොදැක්වූ නිසා සමහර ගීත හරිම දුර්වල පදමාලා. ඒත් 70 දශකයේදි ජෝතිපාල ගැයූ ගිත ගුණාත්මක බවින් ඉහළ යනහැටි ඉදිරියේදි බලන්න පුළුවන්.

      Delete
  11. හොඳ ලිපියක් සහෝ.
    ' එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,... ' අර හෙඩර් එක ලග එහෙට මෙහෙට යන්නේ..එයත් හරිම අපූරුයි!ඔබට ජය!

    ReplyDelete
    Replies
    1. හිරුහිමාවි..

      "එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි" මේ රත්න ශ්‍රී විජේසිංහ වස්සානේ කාව්‍ය සංග්‍රහයේ ලියූ කවියක තිබුණ කොටසක් උපුටා ගත්තේ.ඒක මගේ නිර්මාණයක් නෙවෙයි. ලස්සන අදහසක් තිබුණ කවියක්.

      Delete
  12. ගීත ටික ඔක්කොම වගේ හරිම මිහිරියි.
    'ඔබ එනතුරු මම තනියෙන් හිටියා' ගීය මාතෘකාව හැටියට දාගත්තු එක නම් අගෙයි.

    ගිය පාර පෝස්ට් එකේ දයා කියලා තිබුනා 'පොඩ්ඩි ඒ සිංදුව අහලා නෑ කීවාම පුදුම හිතුනා' වගේ කතාවක්. පොඩ්ඩි හැදුනේ වැඩුනේ ලංකාවේ නෙමේ දයා. සිංහල සිංදු ඇහුවෙත් නෑ. දන්න සිංදු අම්මා අහන ඒවා.:)

    දැන් තමා සිංදු අහන්නේ. ප්‍රියන්ත හා ගිම්ට ස්තූති කරන්ට ඕනේ රේඩියෝවෙන් අපිට ලස්සන ගී අහන්ට සලස්සනවට. ඒ වගේම දයාටත්.

    මේ සටහන් කියවන්නේ ලංකාවේ ඉතිහාසය කියවනවා වගේ ආසාවකින්.
    ඔබට ගොඩාක් ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි ඉන්න රටත් අපත් අතර ඇති වේලාවේ වෙනස නිසායි පොඩ්ඩිට රේඩියෝව අසන්න අපහසු. අහන්න පුළුවන් නම් අපි හැකි සෑම අවස්ථාවකම ලබාදෙන මුල් සිංදුවම අහන්න පුළුවන්. ස්තූතියි අප වැඩසටහන ගැන දැක්වූ අගය කිරීමටත්.

      Delete
    2. පොඩී..

      ලංකාවෙන් දුරස් වුණ කෙනෙකුට ලංකාවෙ නිර්මාණවල ගුණ සුවඳ දැනෙන එක අපටත් සතුටක්. කොහොමටත් ලංකාවෙ ගීත කලාව මේ වන විට වෙනස් වෙමින් පවතිනවා. නමුත් සාහිත්‍යයෙන් පෝසිත ගීත 70- 80 දශකවල බිහිවුණා. එහි රසය තමයි අපි අදටත් විඳින්නේ. ඒ නිසා මේ ලියන දේවල් ලේකයේ කොහේ හිටියත් විදින්න පුළුවන්නම් හැබෑම සතුටක්.

      ඒත් ඉතින් පොඩ්ඩිගේ භාෂා දැනුමත් එක්ක මේ ලියන දේවල් කියෙව්වාම හිතෙන්නේ ලංකාවෙ ජීවත්වෙමින් ලියන ඒවා විදියට.කීයටවත් හිතෙන්නෙ නෑ විදේශයක ජීවත්වෙනවා කියලා.

      ප්‍රියන්ත..

      මේ සජීවි ගී නිශාන්තය වැඩසටහන ඊට පසුදා සිට නැවත පටිගත කිරීමක් ලෙස විදේශයන්හි සිටින අපේම සොයුරු සොයුරියන්ට නැවත අහන්න දෙන්න ක්‍රමයක් හදන්න පුළුවන්නම් ඒ ගැන සලකා බලන්න. එවිට ඒ සහෘද පිරිස ජීවත් වෙන රට අනුව පහසු වෙලාවක ඔවුන් ගී නිශාන්ත යඅසාවි. ඒක ලංකාවෙ ඉන්න කෙනෙකුට වුනත් හොඳයි.


      Delete
  13. මේ ගීත අතරින් මා කැමතිම ගීතය කොතැනක සිටියත් ඔබ මෙලොවේ ගීතයයි. මේ ගීත ඒවාට පදනම් වූ ඉන්දියානු ගී සමග ඉදිරිපත් කිරීම ගොඩක් හොඳයි. එමෙන්ම මේ අයුරින් මුල් සංගීතය සමග ගීත අසන්නට ලබාදීමත් මා ගොඩක් අගය කරනවා.
    ජෝති මේ ගී වලට පණ දුන් අපූර්වත්වය නිසාමයි අදත් මේවා ජනප්‍රිය. අදත් සුපර් ස්ටාර්ලා මේවාගායනා කරන්නේ.
    තව දෙයක්. සමහර විට මුල් ඉන්දියානු ගීතයට වඩා ජෝති ගැයූ සිංහල සිංදුව රසවත් බවක් දැනෙනවා. මුල් ගායකයින්ට වඩා ජෝති ඒ සිංදුවට සමවදිනවා මට දැනෙනා ආකාරයට.
    ඔබෙන් තවත් අපූරු පෝස්ට් එකක්...

    ReplyDelete
    Replies
    1. ප්‍රියන්ත..

      ඇත්තටම මුල් හිනිදි ගීයට වඩා ජෝතිගේ සංහල ගීයේ ප්‍රාණවත් බවසහ හොඳ ජවයක් තියෙනවා. අදටත් එහෙමයි. ඒ නිසාම මේ ගීතවල හින්දි ගීය යටපත්වී සිංහල ගීතය එලියට ආවා.ඒක තමයි ජෝතිපාලගේ
      හ‍‍ඬෙහි තිබුණ ජවය.

      Delete
  14. මගේ ප්‍රියතම ගායකයා ජෝති . ඔබේ මේ ලිපි මාලාව මම හරිම ආසාවෙන් රස විදිනව වගේම නොදන්න කරුණු සියල්ලම මම සටහන් කරගන්නවා. හින්දි තනු වලට ජෝති ගැයූ ගීත ගොඩක්ම මිහිරියි හින්දි ගීතයට වඩා . බොහෝ වෙලාවට මම නිශාන්තයට ජෝතිගේ ගීයක් මගේ රුචිකත්වයට අනුව එක්කරනවා මගේ ආදරණිය ගායකයා වෙනුවෙන් .
    …ඉහත ඡායාරූපයත් මීට පෙර නොදැකපු එකක් . ඔබට ගොඩක් ස්තූතියි මේ අගනා විශ්තර වලට .

    ReplyDelete
    Replies
    1. ගිම්..

      නිශාන්තයට හැමදාමත්ම වාගේ ජෝතිගේ ගිත කිපයක් එකතු කිරි තුළම ඔහුගෙ ගීත තවමත් විඳින නූතන පරපුරක් ඉන්න බව පේනවා. මේ ඡායාරූප ඇන්ජීන්ගේ ෆේස් බුක් අඩවියෙන් ගත්ත ඒවා.

      Delete
  15. තව මොනවා ලියන්නද ජෝති වගේම රහයි
    ජෝති ගැන ලියවුන ලිපි වලින් පැහැදිලි නිරවුල් රසින් පිරි ළිපි මාලාව මෙයයි.

    ReplyDelete
    Replies
    1. මාතලන්...

      ස්තූතියි ඔබේ අගැයුමට.

      Delete
  16. කොච්චර කල් ගියත් ලන්කාවෙ මිනිස්සුන්ට ජෝතිගෙ සින්දු අමතක වෙන එකක් නෑ.. ඒ තරමට ඒ සින්දු හිතට දැනෙනවා

    ReplyDelete
    Replies
    1. මීගොඩයා..
      සම්පූර්ණ ඇත්ත. තවත් දශක ගනනාවක් විවිධ සංගිත හැඩතලවලින් ඒ ගී අලුත්වෙවී තියේවි. ඒ වා සදාකලික ගිත බවට පත්වේවි.

      Delete
  17. ජෝතිපාලගේ මරණය පිලිබදව ලිපියක් ලිව්වොත් මොකද ? හුග දෙනෙක් ඒ ආශ්‍රිත සිදුවීම් දන්නේ නැහැ මගේ හිතේ ...

    ReplyDelete
    Replies
    1. රොබින් මම පළමු පෙස්ට් එකේදි ඒගැන තරමක් දුරට සඳහන් කළා.. අපි ඉදිරියෙදි අවසාන භාගයේදි ඒගැන තව තොරතුරු කතාකරන්න සූදානමින් ඉන්නේ.

      Delete
  18. ෴ඔබ වෙන කිසිවෙකු සමඟින් ආවා෴

    ReplyDelete
    Replies
    1. උපේන්ද්‍ර..

      ඒ ගීයේ මට දැනෙන හොඳම යෙදීම තියෙන්නේ ඒ පද දෙපේලියේ.. ඒක බොහොම අපූර්ව යෙදීමක්. මම හරිම කැමතියා ඒ පද පේලි දෙකට

      Delete
    2. ඔව්.. ඒකනම් ඇත්තම තමයි.. මේ පද පේලි දෙක කොයි තරම් සරල වුනත් ඒවායේ තියෙන කාව්‍ය රසය වගේම හිතට වදින ගතියත් නිසා ඕනෑම තරාතීරමේ කෙනෙකුට රස විඳින්න පුළුවන්..

      Delete
  19. වැදගත් ලිපයක්.අද කාලේ උන්ට වඩා මොහු දාහෙන් සම්පතක් මං දකින විදිහට

    ReplyDelete
    Replies
    1. ධම්මික..

      නව පරපුර අද රැකෙන්නෙ ඒ ජෝතිපාල නිසා

      Delete
  20. ඇත්තම කියනවා නම් ජෝති හිටියෙ නැත්නම් හරි ඔහුත් “ප්‍රබුද්ධ“ ගායකයෙක් වූවා නම් අපි දැන් යන ට්‍රිප් කිසිම ජොලියක් නැති වෙනවා..

    එක සැරයක් ඇහුවාම මතක හිටින ගතියක් මේ ගී වල තියනවා..පද මාලා හරිම සරලයි..

    ReplyDelete
    Replies
    1. රූ...

      ජෝති ප්‍රබුද්ධ ගායකයෙක් ඔන්න බලන්න ඩදිරි ලිපිවලින් ඔහු ප්‍රබුද්ධ වෙන හැටි මගේ ඇසින්.

      Delete
  21. හදවතට දැනෙන ගීත ...! තියෙන ගී ඔබ කොහෙන් හොයාගන්නවද මන්දා...! හරිම ලස්සන ගීත ,දයාගෙ මහන්සියත් අගය කරනවා..!

    ReplyDelete
    Replies
    1. වීපොකුර..
      මේ ඔබ අහන්නේ මුල් ගී වලින් . විශේෂ මහන්සියක් නැතත් මගේ ළඟ හොඳ මුල් නිර්මාණ එකතුවක් තියෙනවා. ස්තූතියි අගය කිරිම ගැන.

      Delete
  22. ඔව් ඒ කීවාත් මෙන් මොන කොපි කිරීම කළත් ගීත විකෘති කිරීම්ක් නොකිරීම අගය කළ යුත්තක්. විශේෂයෙන්ම අද ඉන්න සමහර ගායකයන් පැරණිගීත විකෘති කර කා දමනවා දකිනකොට ජෝති වැන්නවුන් ඒ අතින් කොතරම් ආදර්ශමත්ද කියලා හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. තොටියා..
      මේ කොපි කිරීම කෙලින්ම අනු පිටපතක් වගේ. සමහර වෙලාවට ඊටත් වැඩිය හොඳයි. කොපි කිරීම ළුුනත් නියම විදියට කරල තියෙනවා.

      Delete
  23. දැන් ඉන්න අර ස්ටාර්ල මේ ස්ටාර්ලා ඔක්කොම තරඟ කරන්නෙ ජෝතිගේ සිංදු වලින්නෙ... ඒවායින් මිනිස්සු අතරට යන්න ලේසියි, සම්භාව්‍ය ගීතයකට වඩා ජීවිතයට සමීප නිසා

    ReplyDelete
    Replies
    1. අනූ...

      මම පොඩි පර්යේෂනයක් කළා මේ සුපර් ස්ටාර් වැඩසටහන් ගැන . මේ වැඩසටහන් වලදි ජෝතිගේ ගීගැයූ හැම කෙනාම මුල්තැන දක්වා එනවා. ඒක විශේෂ සිදුවීමක්. ජෝතිගේ ගීත වලට වැඩි ප්‍රතිචාර දක්වන බව එයින්ම පේනවා.

      Delete
  24. මේ ලස්සන ගීත අහනකොට මට හිතෙන්නේ කව්ද කිව්වෙ අර ජෝති සුප්‍රබුද්ධයි කිව්ව කතාව. ඒ කතාව නම් සම්පූර්න ඇත්ත. අදටත් ඕනෙම වෙලාවක ඕනෙම තැනක රස විඳින්න පුලුවන් ජෝතිගෙ ගීත විතරයි. ජෝති හින්දි තනුවලට සිංහල වචන යෙදූ ගීත උනත් එම ගීත ඔහුගේම බවට පත්කරගෙන හරිම ලස්සනට ගායනා කරල තියෙනවා. තව පරම්පරා ගානක් මේ ගීත රස විඳීවි කියල මම විශ්වාස කරනවා.

    ඔබ ඉතාම වෙහෙස වෙලා ඉදිරිපත් කරන මේ ගීත පිළිබඳ විස්තර මම කොහෙන්වත්ම කියවල නැහැ. ඇත්තටම ඒ ගැන ගොඩාක් ස්තූතිවන්ත වෙන

    ReplyDelete
    Replies
    1. නීතා..

      ඇත්තටම ජෝති ගැන ලියන්න ගත්තාම මමත් වෙනදාට වැඩියෙන් ටිකක් වැඩිපුර කියවන්න පටන්ගත්තා කියල හිතෙනවා. සමහර ගීත තිබුණත් ඒ ගිතවල මූලාහ්‍ර නැහැ ඒ නිසා සොයා බලන්නම වෙනවා. ස්තූතියි නීතා ඔබට.

      Delete
  25. මුලින්ම ඔබට තුති මෙවන් අස්වැන්නක් වැපිරිමට තරම් පෝෂණ වර්ධකයන් ඔබ සතු විම පිළිබඳව.තවත් කියනවා නම් ජෝතිපාල යන් යනු හුදෙක් තවත් කෙනෙකු හා සසඳන්න පුළුවන් චරිතයක් නොවේ.වෙනත් ගී තනුවකට වුවද ඕනෑම කෙනෙකු කියන සෑම ගීතයක්ම පවතින්නෙ නැත.එහෙත් මොහු කියු සෑම ගීතයක්ම අදටත් මිනිසුන් අසන්නෙ ඔහු තුල තිබු දක්ෂතාවය මතයි.

    ReplyDelete
    Replies
    1. ගයනි..

      ජෝතිපාල වෙනත් කිසිම ශිල්පියෙකු හා සැසැඳිය නෙහැක කියන කතාව සම්පූර්ණ ඇත්ත. මොකද ජෝතිව අනුකරණය කරන්න බොහෝ දෙනෙක් උත්සාහ ගත්තත් මේදක්වා පළක් වුනේ නැහැ.

      Delete
  26. ඇන්ජලීන්ගේ තරුණ කාලේ ෆොටෝස් නියමයිනේ :D

    ReplyDelete
    Replies
    1. හසිත

      ඇන්ජලීන්ගේ ෆේස් බුක් අඩවිය ටිකක් බලන්න ඇගේ යොවුන් කලේ අගනා පිංතූර එකතුවක් එහි තියෙනවා.

      Delete
  27. අපූරු සින්දු ටික සහෝ.. :)

    ReplyDelete
  28. පංකාදු පහයි.වටිනා කියන තොරතුරු ටිකක්.ඒ වගේම දුර්ලභ ඡායාරූප දෙකක්.ගොඩක් මහන්සි වෙලා තියෙන හැඩයි.ඔබට බොහොම තුති!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...