එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Sunday 21 October 2012

෴ඔබ හඬන්න ඇති රෑ පුරාම....෴



නාලකගේ ගිටාරයෙන් හැඬවූ එඩ්වඩ්ගේ ගී රාවය

ආදරය සහ ප්‍රේමය තේමාවූ ප්‍රේම ගීතවලට වඩා ආදරය හෝ ප්‍රේමය බිඳ වැටුණු විට දැනෙන වියෝව ගීතයට මුසු වන්නෙ විප්‍රලම්භ සෘංගාරය පිරුණු ගීත ලෙසින්. යම් කෙනෙකුට ලැබෙන ආදරයෙන් දැනෙන සතුට වගේම තවත් කෙනෙකු ඒ ආදරයේ වියෝගයේ කොටස් කාරයෙක්  වූ පසුව දැනෙන , විඳවන සියුම් වේදනාවම ගීතයකින් ඇසෙන විට තවත් හිතකට කිසිඳු දුකක් හෝ වේදනාවක්  ඇති නොවුණත් අපි ඒ ආදරයේ වියෝගය මොහොතක් තනිවෙන්න කැමතියි. එහෙම නොවුණත්, මනසින් හෝ ඒ අහිමි ආදරය පිරුණු ලොවක මනසින් සැරිසරනවා. ඒ නිසා අපි වැඩියෙන්ම කැමති මුසුවූ විප්‍රලම්භ සෘංගාරය ගෙන දෙන ගීත ඇසීමටයි.

ඒ කොහොම වුණත් හොඳ තේමාවකින් ගීතයක් ලියන්න මනසේ දොරගුළු විවර කරගත් විට ගීතයට ප්‍රවේශ වෙන්න හොඳ කවි සිතක් වගේම  හොඳ මනස සැහැල්ලුවෙන් තබා ගැනිමත්  ගීතයේ සාර්ථකත්වයට සෘජුවම බලපානවා. ඒ විදියට ගීයක් ලියන්න හිතුනාම හොඳ මූඩ් එකක් හදාගන්න මම මුලින්ම කරන්නෙ වඩාත් සිත්ගත් පොතක පිටු දෙක තුනක් කියවන ගමන්  හිතට දැනෙන ගීයක් අහන එක.

විශාරද එඩ්වඩ් ජයකොඩි
අන්න ඒ විදියට මගේ අතින්  ලියැවුණ ගීතයක් ගැන තමයි අද අස්වැන්නෙන් සටහන් කරන්නෙ. මේ ගීතය ගැන හෝ එහි හොඳ නරක  ගැන නම් මම කිසිවක් ලියන්නෙ නැහැ. ඒත් මේ ගීතය පසුපස තිබෙන පුංචි පුංචි කතා ටිකක් සටහන් කරන්නම්. මේ ගීයත් ලියැවුනේ මීට වසර කීපයකට කලින් එක්තරා රාත්‍රියක සිතුවිලි අවදි  කරමින් මනෝ ලෝකයක සැරිසරද්දි  හිතේ ඇඳුන සිතුවිල්ල  ගීතය බවට පත් වුණා. ඒත් ගීතය ලියන විටම ගීතය තුළ රැඳී හිටියේ ගායන ශිල්පියෙක්. ඒ නිසා ගීතය ගායනා කළ යුත්තේ කවුරුන් විසින්ද යන කාරණය ගීතය ලියවෙන විටම හිතේ සටහන්  වෙලා තිබුණා.

එක දවසක හැන්දෑවක වයලීන වාද්‍ය ශීල්පී රෝහණ ධර්මකීර්ති සොහොයුරා එහෙමත් නැත්නම් මගේ වචනයෙන්ම කියනව නම් “රෝහණ අයියා” හම්බ වුණේ අහම්බෙන්. මම මීට පෙර අස්වැන්නෙදි කිපවතාවක්ම රෝහණගේ වයලීනවාදනය ගැන ලියල තියෙන නිසා නැවත ඔහු අමුතුවෙන් හදුන්වා දිය යුතු  නැහැ. රෝහණ අයියා එක්ක ආ ගිය තොරතුරු කතා බහ කරන ගමන්ම ඔහුට ගීතයක් ගායානා‍ කරන්න අවශ්‍ය බවත් ඒ සඳහා ගීතයක් ලියා දෙන ලෙසත් මගෙන්  ඉල්ලීමක් කළා.  අමුතුවෙන් ගීතයක් ලියන්න අවශ්‍ය නොවූ නිසා ඒ මොහොතේම මගේ ගීත ගොනුව රෝහණ අයියගේ අතේ තැබූ සැනින් ලිපි ගොනුවේ කීපවිටක් එහා මෙහා ගිය ඔහුගේ ඇස නතර වුණේ මේ ගී පදමාලාව ලියූ කඩදාසියේ.

“මේකෙන් වැඩක් ගන්න පුළුවන් . මම මේක ගන්නවා”

රෝහණ අයියා කීවේය. රෝහණ ඉතාමත් මියුරු ස්වරයෙන් ගීත ගායනා කරන බව හොඳින් දැන සිටිය නිසා මගේ හිතේ ද සතුටක් ඇති වූයේ රෝහ‍ණගේ හඬින් මගේ ගීතයක් ගායනා කරනු දැකීමටය. ඒ විදියට ඔහු තෝරාගත් මේ ගීය රැගෙන ගිය පසුව නැවත ඒ ගැන විමසිමක් කරන්නට නොසිතුනේ මේ ගී පදමාලාවට යම් සාධාරණයක් ඔහු විසින් කරනු  ඇතැයි යන සිතුවිල්ල මා සිත තුළද තිබූ නිසාය. ඒත් ඊට සති දෙක තුනකට පස්සෙ ඇමතුමක් ආවේ එඩ්වඩ්ගෙනි.

“මම ඊයේ ඔයාගේ සිංදුවක් කිව්වා නියම වචන සෙට් එකක්”

“මොකක්? මගෙ සිංදුවක්”

“ඔව්, මල්ලි ලියපු එකක්”

“ඉතිං මම එඩ්වඩ් අයියට සිංදු ලියල නැහැනේ”

“මට නොලිව්වට ලියපු එකක් කිව්වා”

එඩ්වඩ්ගේ තිස්පස් වසරක සංගීත දිවියේ ඔහුගේ සෞන්දර්යය චාරිකාව අලලා සියලු තොරතුරු ඇතුළත් කර පොතක් ලියන්නට ඔහු කළ ආරාධනය අනුව 2003 වසරේදී “මාරම්බරී” එඩ්වඩ් ජයකොඩි ප්‍රතිභාවලෝකන කෘතිය මවිසින් සංස්කරණය කර එළිදක්වන ලද නමුත් ඒ වන විටත් කිසිඳු දවසක ඔහුට ගීත ලිවිමට අවස්ථාවක් උදාවී නොතිබුණි. මේ නම් අදහා ගන්න බැරි දෙයකි. මම නැවතත් විමතියෙන් ඇසුවේ ඒ ගීතය ඔහු අතට පත් වූයේ කෙසේද යන්න  ගැන තොරතුරු දැන ගැනිමටය.

මම ලියූ පොත

“ඔබ හඬන්න ඇති රෑ පුරාම
හිත ආල හැගුම් බොඳ වුණාම
කාටත් නොකියා
ඒ කදුළු බිංදු ගලා ගිහින්
රෝස මලෙක පෙති පුරාම
නොනිඳා හිටියා..”

කෙසේ වුවත් දුරකතනය ඔස්සේම  එඩ්වඩ්‍ගේ සජීවි මිහිරිම ගී හඬ  සවනට වැටෙව විට මගේ දෑස් උඩ ගියේය.

“මේක කොහොමද හම්බ වුණේ”

“රෝහණගෙ වැඩකට නාලක මෙලඩිය කරල තිබුණා. ඊයේ රෙකෝඩින් එක ගුවන් විදුලියේදි කළා.”


එඩ්වඩ්ගේ ඒ දුරකතන  ඇමතුමෙන්  පසුව  නැවත එසැණින් රෝහණ අයියාට කතා කළෙමි. ඔහු නිෂ්පාදනය කළ ගුවන් විදුලි වැඩසටහනකට ගීතයක් අඩුව තිබූ නිසාත්,  හදිස්සියේ ගිතයක් නිර්මාණය කිරීමට වේලාවක් නොතිබූ නිසාත් එදා රෝහණ මගෙන් ඉල්ලා ගත් මේ ගීතය යොදාගත් බව රෝහණ කීවේය.

“ඉක්මනින් අහන්න විදිහක් නැද්ද”

නාලක අංජන කුමාර
මා රෝහණගෙන් පෙරළා ඇසුවේමේ  ගීතය මගේ දෙකනින් ඇසීමේ නොතිත් ආශාවෙන් පෙළෙමින් සිටි බැවිණි. මේ ගීතය රෝහණ නිෂ්පාදනය කරන  “ගී රස වින්දන” වැඩ සටහනට ඇතුළත් වන බවත්, එය පැය බාගයක ගුවන් විදුලි වැඩසටහනක් බවත් ඔහු කීවේය. මේ වැඩසටහනේ ආරාධිතයන්  ලෙස  ප්‍රවීන ගීත රචක ගීතනාත් කුඩලිගම මහතාත් මමත් ඒ ගුවන් විදුලි වැඩසටහනට සහභාගී වූයෙමු. ගීතය මුල්වරට ගුවන් විදුලි ගීයක් ලෙසින් එසේ ප්‍රචාරය විය.

ඉන් පසු  නැවත මේ ගීය මතු වූයේ එඩ්වඩ් අලුත් ගිත ඇල්බමයක් සදහා සූදානම් වූ මොහොතේය. ඔහුගේ නවතම ගීත එකතුව සඳහා මටද ගීයක් ලියන ලෙස ඇරයුම් කළේය. අලුතෙන් ගීයක් ලියනවාට වඩා මේ ගීය ඇල්බමයට ඇතුළත් කරමු යැයි මම යෝජනා කළෙමි. ඒ අනුව නැවත ගීතය පටිගත කරන ලදි. ඒත් නොසිතූ මොහොතක එඩ්වඩ් කතා කළේය.

“හරි වැඩේ ඔයාගේ සිංදුවට කැසට් ප්‍රොඩියුසර් කැමති නෑ මොකද කරන්නේ?”

“ඒ ඇයි, මොකක්ද මේ ගීයේ තියෙන ගැටලුව?”

“මේක ටිකක් ස්ලෝ වැඩියි කියනවා”

යම් ගායකයෙක් හෝ ගායිකාවක් කැසට් නිෂ්පාදකයා සමග එළඹෙන ගිවිසුම අනුව ගීත තෝරා ගැනීම නිෂ්පාදකයා සතුවේ. ඒ ඔහු සම්පූර්ණ පිරිවැය දරන නිසාය. ඒ වන විටත් කැසට් පටයේ ගීත රැසක පටිගත කිරිම් අවසන්ව තිබූ නිසා තවත් ඉතිරිව තිබුණේ ගීත කීපයක කටයුතු පමණක් බව මම හොදින්ම දැන සිටියෙමි.

“ඒ කියන්නේ මේ කැසට් එකෙත් මගේ සිංදුවක් නෑ?” මම කීවෙමි.

‘මේ කැසට් එකට ඔයගේ සිංදුවක් දානවා ඒකෙ වෙනසක් නෑ ඒත්  ඔයාට ට්‍රැක් එකට ලියන්න පුළුවන්නේ”

“ට්‍රැක් එකට ලියනවට වඩා මේ කරල තියෙන ගීයට කැමතියි” මම කීවෙමි.

ඒ කතාබහ එතැනින් අවසන් වුවද, ඊට දින කීපයකට පසුව අපි නැවත  කැසට් නිෂ්පාදකයා හමුවීමු. එහිදී නැවත මගේ ගීය ගැන කතාබහ ඇති විය.


“මල්ලි, මේ කැසට් එකේ වැඩියෙන්ම තියෙන්නෙ තෝරාගත් පදමාලා. ඒත් ට්‍රැක් තියෙන්නේ හතරයි. ඒ ට්‍රැක් තවම කළේ නෑ. ඒ ට්‍රැක් එකක් දෙන්නම් ඒකට ලියන්න."

මම
සංගීත් විජේසූරියගේ අගටන්නා ට්‍රැක් එකට ලියා තිබූ බව එඩ්වඩ් මෙන්ම කැසට් නිෂ්පාදකයාද හොදින් දැන සිටි නිසා නැවත මගේ යෝජනාව ඉටු නොව බව වැටහුණි. ඒ නිසා මේ ගීතය ඒ කැසට් පටයෙන් ඉවත් විය. තව දුරටත් තර්ක  ඉදිරිපත් කිරීමෙන් පලක් නොවූ නිසා මේ ගීතය  එඩ්වඩ්, නාලක සහ මා අතර පමණක්  ඉතිරි විය. ගීතයට ඉතිරි වූයේ අමිහිරි අතීතයක් පමණි.


එසේ වුවද, ඉන් අනතුරුව රූපවාහිනී වැඩසටහන් ගණනාවක් සදහා එඩ්වඩ් මේ ගීතය ගැයීය. ඒ අතර නාලක ගිටාරයෙන් හැඩ ගැන්වූ මේ ගීය නාලක විසින්ම සංගීතය අධ්‍යක්ෂණය කළ  “සුරම්‍ය රාත්‍රිය” වැඩසටහන සඳහා එඩ්වඩ් එක් රැයක  ගායනා කළේය. මේ ගිතය මා දුටු අන්තිමටු ඒ  රූපවාහිනී වැඩසටහනයි. මතු දැක්වෙන්නේ කැසට් නිෂ්පාදකයාට එපා වූ ගුවන් විදුලි නාලිකාවලට පමණක් සිමා වූ  එඩ්වඩ්ගේත්, නාලකගේත්, මගේත් ගීයයි.


ඔබ හඬන්න ඇති රෑ පුරාම
හිත ආල හැඟුම් බොඳ වුණාම
කාටත් නොකියා
ඒ කඳුළු බිංදු ගලා ගිහින්
රෝස මලෙක පෙති පුරාම
නොනිඳා හිටියා


රළු බොරලු මගක ඇවිදින්
ඇස රිදුම් දෙමින් හැඬවූ
අතීතය මගෙයි
නුඹ හඬන හඬන වාරේ
නෙතු අගින් මිදී වැගිරෙන
කඳුළ උණුසුමයි

මේ අහස පුරා රැඳුණේ
පිණි බිංදුවෙලා වැටුණේ
ඔබේ කඳුළුමයි
ඒ කඳුළු අරන් විසිරෙන
රෑ සුළඟ ඇවිත් සීතල
මගෙ හිත පාරයි
                            
ගේය පද: දයානන්ද රත්නායක
සංගීතය : නාලක අංජන කුමාර
 ගැයුම: විශාරද එඩ්වඩ් ජයකොඩි


“ඔබ හඬන්න ඇති රෑ පුරාම ” ගීය  මෙතනින් අහන්න
                  


වටිනා කාලය බිඳක් වැය කර ගී රස විඳිමින් කියවූ ඔබට  ස්තූතියි. වෙලාවක් ඇත්නම්  මීට වඩා වෙනස් වූ  ඔබේ විචාරාත්මක අදහසත් මෙහි ලියා තබන්න. 

75 comments:

  1. කෙටියෙන් කියනවා නම්.. නියමයි!

    හැබැයි පද මාලාවට, සඳ නැගෙනා තුරු ගීතයේ තරම් මහන්සි වෙලා නෑ වගේ. මට හිතෙනවා අයියාට මේ පද මාලාව තවත් ටිකක් ඔප දමන්න තිබුණා කියලා..

    තනුව, සංගීතය සහ ගායනය සුපිරියි. සරලව කියනවා නම්.. ගීතය ඇති විශිෂ්ඨයි!

    ReplyDelete
    Replies
    1. රැංගෝ..

      සද නැගෙනාතුරු ගිතයට වඩා වැඩියෙන් මහන්සිවුනු මේ ගීය ලියද්දි මොකද සාහිත්‍යමය ගුණයෙන් ආදරේ වියෝගය වචනයෙන් දැනෙන මට්ටමකට ගේන්න වුවමනාව තිබුනා.

      නාලක සංගිතය කරද්දි මම හිතුවෙත් නෑ මේ තරමට එයි කියලා. ඒත් මගේ හිතේ ඇඳුන තනුවට වඩා හරිම වෙනස්. ‍‍

      ස්තූතියි රැංගෝ..

      Delete
  2. මොකක් කියන්නද මන්ද!
    හිතට එන හැමදේම නොකිය ඉන්න ඒක හොඳයි වගේ!:)
    ගීතය ගැන කියනවනම් වචන ගැන නම් කියන්න දෙයක් නෑ.එඩ්වඩ් ජයකොඩි මහත්මයාගේ හඬ ගීතයට නියම හැඟීම දීල.සංගීතයත් ඒ වගේමයි.එත් සංගීතයෙන් තව ටිකක් සින්දුව හැඟීම්බර කරන්න තිබුණ කියල හිතනව!
    \\...යම් ගායකයෙක් හෝ ගායිකාවක් කැසට් නිෂ්පාදකයා සමග එළඹෙන ගිවිසුම අනුව ගීත තෝරා ගැනීම නිෂ්පාදකයා සතුවේ. ඒ ඔහු සම්පූර්ණ පිරිවැය දරන නිසාය..\\
    අපි අතරට හොඳ නිර්මාණ එන්නේ නැති හේතුව පැහැදිලියි.පටු වෙළඳ අරමුණු වලට සේරම යටයි!

    ReplyDelete
    Replies
    1. නුවන්..

      හිතට එන හැම දේම කිව්වනම් මම කැමතියි මොකද හොද මානයක් හදාගන්න තිබුණා.

      මේගිතය කැසට් සමාගම ස්ලෝ වැඩියි කිව්වට පස්සේ නාලකත් මමත් එකතුවි ගිතයේ සංගිතය තරමක් වෙනස් කළා. තවම අලුතින් ගැයුවේ නැතත් මියුසික් ට්‍රැක් එක අලුතින්ම නිර්මානය කරල තියෙනවා.ඒකත් ගායනා කරපු දවසට මේ විදියටම අහමු.

      ඇත්තටම හොඳ නිර්මාන එලියට එන්නෙ නැත්තේ කැසට් මාෆියාව නිසා. උන් ඉල්ලන්නේම "විරිදු' ගිත.

      ස්තුතියි නුවන්

      Delete
  3. ඔබ හඬන්න ඇති රෑ පුරාම
    හිත ආල හැඟුම් බොඳ වුණාම
    කාටත් නොකියා.....
    අදරයෙදි සුලු මොහොතකට හෝ විරහව ඕනම කෙනෙකු විදින අත්දැකීමක්..
    පද වැල් හරිම පහසුවෙන් හිතට කා වදිනව.. තව පොඩ්ඩක් හැගීම් බරව ගයනය උනානම් එත්තටම ගොඩාක් ලස්සනයි.. ගී පද , සංගීතය ., ගායනය. ගොඩක් හොද ස්න්කලනයක්.. අද බොහෝ මාධ්‍ය තුලින් මෙවන් ගීත ඇසෙන්නට නැති තරම්.. ඒක බොහෝම කනගාටුවට කරුනක්..

    ReplyDelete
    Replies
    1. අයේෂා..

      ඔබ අස්වැන්නට පළමුවෙන්ම සාදරයෙන් පිලිගන්නවා.

      එඩ්වඩ්ගේ ගායනය නම් උපරිම හැගීම්බරයි මිට වඩා ඕනෙ නෑ.
      අද ගිතයක් ජනප්‍රිය කරගන්න නම් මාධ්‍යවලට අල්ලස් දෙන්න ඕනේ එතකොට එක රැයින් ගීතය ජනප්‍රියයි. එහෙම සල්ලි දිල ජනප්‍රිය කරන කලාවට වඩා හුදකලාව හොඳයි.

      ස්තූතියි අයේෂා ඔබටත්.

      Delete
  4. මේ ගීතය නම් මට අමතක වෙන එකක්ම නෑ...
    මොකද මේක අහපු වෙලාව, ගීතයේ වටපිටාව එක්ක මේ පදවැල පුදුමාකාර විදියට හිතට කාවැදුනා... ඇත්තටම පදවැලටත් වඩා සංගීතය මගේ හිතට දැනුනා......

    මීට කලින් අහලම නැති උනත් පුදුමාකාර බැඳීමක් දැනෙන පදවැලක්..... හරි සරල වචන ටිකක්, ගලේ කෙටුවා වගේ හිතට දැනෙන විදියට අමුණන්න ඔබට තියෙන හැකියාව ගැන ආයිත් කියන්න ඕනෙ නෑ නේ.. හි හි..

    ReplyDelete
    Replies
    1. හිරු..
      මමත් මේ ගීතය අහන්න කැමති රාත්‍රි කාලයේ. ඕනෑම වියෝ ගීයක තියෙන හුදකලා බව හස එහි තියෙන ශෝක රසය විදින්න පුලුවන් හොඳම වෙලාව තමයි රාත්‍රිය.

      ගීයක් ලියන්න ගියාම අහන්නේ මම විතරක් නෙවෙයි නිසා හැකි උපරිම සාධාරනය ඉටුකරන්න නිරතුරු වෙහෙසෙනවා.

      ස්තූතියි හිරු.

      Delete
  5. //ඔබ හඬන්න ඇති රෑ පුරාම
    හිත ආල හැඟුම් බොඳ වුණාම
    කාටත් නොකියා
    ඒ කඳුළු බිංදු ගලා ගිහින්
    රෝස මලෙක පෙති පුරාම
    නොනිඳා හිටියා//

    ලස්සන පදවැලක් දයා.

    මුලු රැයක් නොනිදා වගුරපු කඳුලු වැල්, පිණිබිඳු විදියට රෝස පෙතිවලින් මතුවෙනවා කියද්දි ඇතිවෙන හැඟීම වචනවලින් කියන්ට බෑ. එච්චරටම හිත් වදිනවා. ඒ ගී පද වැල, එඩ්වඩ්ගේ හඬින් කියැවෙනකොට ඊටත් ලස්සනයි.

    මොකක්ද මේකේ ස්ලෝ වැඩිකම? එහෙම ගී අහන කොටසකුත්, ඒවාට කැමති කොටසකුත් ඉන්නවා නේද?

    ඔන්න අපිව ගීයෙන් පිස්සු වට්ටලා තියෙන්නේ නම් ඔයා හොඳේ....:D

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි..

      මේක ලියද්දි වචනවලට පෙරලන්න උත්සාහ කළේ ඒ අදහසමයි. එඩ්වඩ්ගේ මිහිරි ගායනය කොහොමටත් ප්‍රේමණියයිනේ.

      ඇත්තටම මටත් මේකෙ ස්ලෝ වැඩි බවක් දැනෙන්නෙ නෑ මමත් කැමති ස්ලෝ ගිතවලට ඒත් කැසට් සමාගමේ අදහස වුනේ මේක ස්ලෝ වැඩි බවයි. ඒ නිසාම මෙවැනි ගිතවලට ඉල්ලුමක් නැති බව තමයි නිදහසට කරුනු ලෙස ඉදිරිපත් කළේ.

      මටත් අවශය වුනේ අහන අයට හිතට දැනෙන විදියට පිස්සු හැදෙන්න ලියන්න. ඒටික ඉටුවුණා.:D:D

      ස්තූතියි පොඩ්ඩිට..

      Delete
  6. අපේ රටේ තියෙන ගීත රචකයෝ හිගයක් ගැන මම ලිව්වා ලිපියක්. මට මතක් වුනේ ඒ ලිපිය.

    ජය සහෝ !

    ReplyDelete
    Replies
    1. සෑම්..

      ඇත්තටම අපෙ ‍රටේ ලියන්න පුලුවන් පිරිසක් ඉන්නවා. ඒවගේම ගීත විදියට "විරිදු"ලියන පිරිසක් ඉන්නවා ඒනිසා හොඳ ගිතවලට තැනක් නෑ.

      ස්තූතියි සෑම්

      Delete
  7. මම රූපවාහිනිය නම් බලන්නේ ඉතාම කලාතුරකින්... ඒත් තෝරාගත්ත වැඩසටහන් අතලොස්සක් විතරයි... සමහර වැඩසටහන් බලපු පලවෙනි දවසේම හිතගත්තා... ඉන් එකක් තමා සුරම්‍ය රාත්‍රී කියන්නේ... ඒකට හේතුව පැහැදිලිවම මේකයි කියන්න මම දන්නේ නෑ... සමහරවිට අපිට එදිනෙදා අහන්න නොලැබෙන ගීත ඒ හරහා අහන්න ලැබෙන එකත් එක හේතුවක් වෙන්න ඇති... හිතට අපූරු සිසිලසක් ඒ වැඩසටහන නරඹලා අවසන් වුණාම දැනෙනවා... සුරම්‍ය රාත්‍රීයේ ගොඩක් වැඩසටහන් මම ඒ දවස්වල පටිගත කරලත් තිබුනා...

    ‍මේ ගීතය දැන් අහද්දි පුදුම විදිහට හිතට දැනුනා... ඒ වගේම හුරුපුරුදු බවකුත් දැනුනා... සමහරවිට මගේ ළඟ තිබුන වැඩසටහනක මේ ගීතය තිබුනා වෙන්න පුලුවන්... කොහොම වුණත් හොඳ නිර්මාණ රස විඳින බොහෝ පිරිසක් ලංකාවේ තවමත් ඉන්නවා... ඒත් ඔවුන්ට මේ වගේ නිර්මාණ ළඟා වෙන්න තියෙන එකම මාර්ගය වෙලා තියෙන්නේ ගුවන් විදුලිය හා රූපවාහිනිය විතරයි... අන්තර්ජාල පහසුකම් හිමි සුළු පිරිසට මේ වගේ නිර්මාණ ලබා ගන්න ක්‍රම ඕන තරම්... ඒත් අන්තර්ජාල පහසුකම් අහිමි පිරිස හා ඒ ගැන දැනුමක් නැති පිරිසට ලද දෙයින් සතුටු වෙනවා හැරෙන්න වෙන විකල්පයක් නෑ... එහෙම කෙනෙකුත් මේ වගේ විශිෂ්ඨ නිර්මාණ රසවිඳින්න ක්‍රමයක් තියෙනවනම් ඒක ගොඩක් හොඳයි කියලා හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. අලුත් මල්ලි..

      මමත් මෑත කාලයේ දැකපු නිර්මානාත්මක සංගිත වැඩසටහන තමයි නාලකගේ ගිටාරයෙන් හැඩ කල සුරම්‍ය රාත්‍රිය. එක්තරා කාලයක ගිතයේ සුභාවිත ගුණය ඉදිරියෙන් තිබුනා ඒත් දැන් එහෙම නැහැ

      ස්තූතියි ඔබටත්.

      Delete
  8. මට හිතෙන්නෙනම් ඔබ ගීත රචනා සඳහා තවත් යොමු විය යුතුයි කියල මේ ගීතය ඇහුවම . එය එතරම්ම විරහව දනවන බොහොම සොඳූරු පැදවැල් . මේ ගීතය එඩ්වගෙ හඩින්ම අහන්න ලැබීම සතුටක්. එඩ්වඩ් ජයකොඩි මගේ ප්‍රියතම ගායකයන්ගෙන් එක්කෙනෙක් . ලඟදී ඔහුගේ " මාරම්බරී " ප්‍රසංගය රස විඳින්න මටත් අවස්ථාව ලැබුනා .

    …ගීතයේ ඇතුලත අති දුක්බර කතාව ගැනනම් දුක් වෙනවා .

    ReplyDelete
    Replies
    1. ගිම්..

      ගිත නම් ලියනවා. ඒත් ශිල්පියෙකුගෙන් හෝ ශිල්පිනියකගෙන් හොඳ ඇරයුමක් ලදොත් විරයි.සමහර වෙලාවට මීට වඩා උනන්දුවෙලා වැඩක් කරගන්න තිබුණත් කරගත්තෙ නෑ වෙලාවක් නැතිකම නිසා.

      ඔන්න විරහ ගී අහන්න කැමති අයට දැනෙන්න ලිව්වා..

      ස්තූතියි ගිම්ටත්

      Delete
  9. මම බොහොම කලාතුරකින් තමයි ගීතයක් අහන්නේ.ඒත් පුංචි කාලේ නිතර අහන්න ලැබුණු ගීත තාමත් මනසේ රැඳිලා තියනවා.එඩ්වඩ් ජයකොඩි කියන්නෙත් මගේ මනසේ රැඳුණු සමහර ගීතවල අයිති කාරයෙක්......ඒ වගේ කෙනෙක්ගේ නිර්මාණවලට ඔබේ දායකත්වයත් ලැබුණු බව දැනගන්නම ලැබීම සන්තෝෂයක්.ඔබට ජය!!!

    ReplyDelete
    Replies
    1. A.Wicks..
      අස්වැන්නට පැමිණි ඔබ සාදරයෙන් පිලිගන්නවා.
      ක්සේත්‍රයේ නමක් ඇති හිල්පියෙකුට යම් තරමකින් නිර්මාන දායත්වයක් දුන්නාම ඇත්තටම හිතට සතුටක් තමයි.

      ස්තූතියි ඔබටත්.

      Delete
  10. හ්ම්ම් හරිම අගනා ලිපියක්.
    මම එඩ්වඩ් මහතා ගේ සින්දු වැඩිපුර අහලා නම් නැහැ

    ReplyDelete
    Replies
    1. වර්ණා.
      ඉඩක් ලද විටක එඩ්වඩ්ගේ ගීත අහල බලන්න. කොයිතරම් මිහිරිද කියා. ඒවගේම ඒ ගීතවල තියෙන විවිධ ගායන ශෛලින් මොන තරම් අපූරුද කියා ඔබටම වැටහේවි.

      ස්තූතියි වර්ණා ඔබටත්.

      Delete
  11. අපූරුයි මේ ගීතය.ජය වේවා ඔබට

    ReplyDelete
    Replies
    1. රතු රජරට..
      අස්වැන්නට පැමිණි ඔබ සාදරයෙන් පිලිගන්නවා.

      තවත් නොදත් රජරට මිත්‍රයෙක්.
      ස්තූතියි ඔබටත්..

      Delete
  12. ගායකයාටත් තමන් ගායනා කරන ගීතය නොතෙරෙන කාලයක ඔබත් මමත් සිටින්නේ.රටේ අවාසනාවටත් අපේ පව් කාරකමටත් තමයි ඔබ වැනි අයගේ වටිනා සිතිවිලි ඔබේ හඳ තුලම මිය යන්නෙ.මම දැන් එක දේයක් ප්‍රාර්ථනා කරනවා.ඒ මේ ගීතයට සාධාරණයක් අද සිට වත් ලැබේවා කියලා.සංගිතය යනු ඖෂධයක් හා සාමානයි.ඒ වගේම වෂවිෂ වන් අගක් මුලක් නැති සින්දු කෑලි පිළිකාවකි.මා තවත් පැවසිමට අවශ්‍ය නැත.

    ReplyDelete
    Replies
    1. ගයානි..

      ඇත්තටම ශිල්පීන් බැ‍ෙඳෙන ගිවිසුම් අනුව තමයි ගිත තේරීම සිදුවන්නේ. මේ ගිතය ප්‍රතික්සේප වුණත් මම කැසට් සමාගමේ ඉල්ලිමට එඩ්වඩ්ට වෙනත් ගීයක් ලිව්වා ට්‍රැක් එකකට ඒ ගීයට වඩා මමත් මේ ගීයට ප්‍රියයි.

      ස්තූතියි ඔබටත්.

      Delete
  13. වෙලාවකට හැබහින් විරහව විඳල නැත් වුණත් ඒ විරහව හිතෙන් මවාගෙන චූටිම චූටි වේදනාවක් විඳින්න අපි ආසයි.......එහෙම වෙලාවට හිතට එක පාරටම නිරායාසයෙන්ම එන ගීත තියෙන්නෙ අතලොස්සයි.අදින් පස්සේ ඒ ගීත අතරට මට මේ ගීතයත් මතක් වේවි...මේ ගැන අපිට කිව්වට ගොඩාක් පිං...තව ලස්සන ගීත ලියන්න ......

    ReplyDelete
    Replies
    1. පිසාචයා.

      මට කෙනෙක්ට "පිසාචයා" වගේ වචනයක් පෙරලා කියන්න හිත දෙන්නෙ නැහැ. ඇත්තටම ඒ කෙනෙකුට මවිසින් අගෟරවයක් කලාදෝ යන සැකය මසිත පෙලන නිසා..

      ඇත්තටම මේ ගිය මම ලිව්ව නිසා නොවුනත් සැබැවින්ම මිහිරි බවක් තියෙනවා. ඔබේ ප්‍රයතම ගී අතරට එකතුවිමත් සතුටක්.

      ස්තූතියි ඔබට


      Delete
  14. සිංදුව නම් ඇත්තටම ලස්සනයි.. ඒත් මේක මේ මම අහුවේ පළවෙනි වතාවට අයියේ.. මේ ගීය කැසට් එකට නොගත්ත එක නිසා අපිට මේක මග ඇරෙන්න ඇති..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්...

      මේ ගීය ඉඳහිට ගුවන්විදුලි මාධ්‍ය හරහා ඇහෙනවා. ඒත් රාත්‍රි කාලයට විතරයි.

      ඉදිරියේදි වෙනස් සංගිතයකට වෙනත් තැටියකින් ආයෙමත් ඇසේවි.

      Delete
  15. පෝස්ට් එකම බැලුවා. ලස්සනයි සිංදුව. සිතට හොඳින්ම දැනුනා. අද රෑ 8.30ට බස්රේඩියෝ නිශාන්තයෙන් මේ සිංදුව ඇසේවි....

    ReplyDelete
    Replies
    1. ප්‍රියා..

      අපි කාගෙත් සොදු නවාතැන්පොල බස් රේඩියෝ නිශාන්තය සුබාවිත ගීයේත සොදුරුතම නවාතැන එයයි.

      ස්තූතියි ඔබටත්.

      Delete
  16. පද රචනයට වඩා මෙතනදී සංගීතය කාවැදුනා !!!

    ReplyDelete
    Replies
    1. දිනෙල්ක..

      නාලකගේ සංගිතයේ ඇති සියුම් බව මෙන්ම මිහිරි බවටත් මේකත් එක්තරා නිදසුනක්.

      ස්තූතියි ඔබටත්.

      Delete
  17. අද කාලේ ජනප්‍රියයි කියන රේඩියෝ චැනල් එකකින් ටීවී චැනල් එකකින් මේවගේ රසවත් නිර්මාණ කලාතුරකින්වත් ප්‍රචාරය නොවෙන එක ගැන ඇත්තටම කණගාටුයි. සඳ නැගෙනා තුරු සින්දුව වගේම මේ පද මාලාවත් ගොඩක් ලස්සනයි දයානන්ද අයියේ. මටත් හිතෙනවා සින්දු ලියන කර්තව්‍යට ඔබ තුමාගේ කාලය තව ටිකක් වැඩියෙන් යෙදෙව්වොත් හොඳයි කියල.

    ReplyDelete
    Replies
    1. පැතුම්..

      ගිත නම් ලියනවා. ඒත් ශිල්පියෙකුගෙන් හෝ ශිල්පිනියකගෙන් හොඳ ඇරයුමක් ලදොත් විරයි.සමහර වෙලාවට මීට වඩා උනන්දුවෙලා වැඩක් කරගන්න තිබුණත් කරගත්තෙ නෑ වෙලාවක් නැතිකම නිසා.

      ඔන්න පැතුම් ඔබත් "ඔබතුමා" කෑල්ල දානවා.. මම අකමැතිම දේත් එයයි.

      ස්තූතියි පැතුම් ඔබටත්.

      Delete
  18. කැසට් එකකට ගීතයක් එකතු වීම වටිනවා පැහැදිලිවම. නමුත්, මේ ගීයේ වටිනාකම් ඉන් අඩු වී නැහැ. නාලකගේ සංගීතයත්, එඩ්වඩ් ගේ ඉතා පැහැදිලි කටහඬත්, මේ අලංකාර පද මාලාවට පැහැදිලිවම සාධාරණත්වයක් ඉ‍ටු කර ඇති බව පැහැදිලියි.
    සරලවම කිවුවොත් , මේ සංකලනය හරිම ලස්සනයි

    ReplyDelete
    Replies
    1. සිඳූ
      ඉදිරි කැසට් එකක අනිවාර්යයෙන්ම මේ ගීතය තරමකි වෙස්ව නාලකගේ සංගීතයෙන්ම එනවා එදාටත් ඒ වෙස්කම අහමු.

      ස්තූතියි සිඳූටත්..

      Delete
  19. හරිම සොඳුරු , හදවතට දැනෙන , ඇත්තම කීවොත් භාවනාවක් වගේ අහගෙන ඉන්න පුළුවන් පද වැලක් , තනුවක් සහ හඬක් ....

    මේ ගීය පමණක් නොවෙයි ඔෆබ් අස්වැන්නම හදවතට සුවයක් දෙන සිහිල් දිය දහරක් වගේ ...

    ReplyDelete
    Replies
    1. මහේෂ්..

      ඇත්තටම යම් නිර්මාණයකින් තවත් කෙනෙකුගේ හිත නිවා සනහන්නට පුලුවන්නම් අපිත් යම් දෙයක් මේ මිහිකත වෙනුවෙන් කලා කියලා හිතෙනවා. ඒවන් සුවයක් දැනුනොත් එය මරන මංචකයේ වුවද සිහිකල හැකියි.

      ස්තූතියි ඔබටත්.

      Delete
  20. කලින් අසා නොතිබුන ගීතයක්. මන්ද ස්වර සංගීතයත් ගීතයේ පදවැල සමග හොඳින් ගැලපෙනවා. මට නිකමට හිතුනා පිලිතුරු ගීයක් ලියන්න. මුල් පද පෙලට ගැලපෙනවද කියල නම් දන්නෙ නැහැ.

    මම රෑ පුරාම ඉකිබිඳ බිඳ
    හැඬුවා ඔබ වෙන් වුනාම
    කාටත් නොකියා
    ඒ කඳුළු බිංදු ගලා ගිහින්
    සිත් මල බොඳවී
    පරවී වැ‍ටුනා

    රළු බොරලු මගක ආ මතකය
    මකා කඳුළු පිස ලන්නට
    ලංවුනේ මමයි
    හද හඬන හඬන වාරේ
    එය වසා සිනා මල් තැවරූ
    බවද අමතකයි

    මේ පොලොව පුරා ‍රැඳුනේ
    සුදු කහ මල්වී පිපුනේ
    මගේ සෙනෙහසයි
    ඒ සුවඳ අරන් විසිරෙන
    මුදු සුළඟ කියන ගී නද
    ඔබ නෑසුව ගානයි

    මැණික්

    ReplyDelete
    Replies
    1. මැණික්..

      ඔය ලියල තියෙන්නේ අපූරැවට පිලිතුරු ගීයක්. ඒ සංගිතයටම මේකත් කියන්න පුළුවනි. මමත් විවවේකයෙන් ඉන්න ගමන් වැඩි හරියක්ම කරන්නේ හින්දි ගිතවලට සංහල වචන ලියන එක. ‍ඒ හැකියාව ගිත ලියන විට ප්‍රයෝජනයට ගන්න පුළුවන්.
      මැණික් ලියපු පදමාලාවත් අපූරුයි.

      Delete
  21. ඔබේ තවත් ගීයක් ගැන අපව දැනුවත් කරපු එක ගැන බොහොම සතුටුයි...මේවා අපි නොදන්නා කරුණු. ඉතින් ඉඳලා හිටලා හරි අපිව මෙහෙම දැනුවත් කරන එක ගොඩක් හොඳයි :)

    ආ..මෙන්න බස් රේඩියෝ එකේ සින්දුව යනවා..ඉතින් මම ඒකෙන්ම සින්දුව අහන්නම් :))))

    ReplyDelete
    Replies
    1. සයුරි..

      මට මගේ නිර්මාණ ගැන ලියන එක තමයි කම්මැලි වැඩේ. ඒත් සමහර වෙලාවට මටම හිතුනා හැංගිලා අභාවයට යනවට වඩා කාට හරි අහන්න සලසන එක හොදයි කියලා.

      ප්‍රියා.. ගිම්.. බස්රේඩියෝ නිශාන්තයෙන් සෑහෙන්න උදව් කරනවා...

      Delete
  22. කොච්චර slow උනත් දෙපාරක් ඇහුවා. මම් කලින් මේක අහලා තිබුනෙ නෑ. අපි අහලා නැති හිතට දැනෙන ගීත කොච්චර නම් නෑසීම යට යනවා ඇද්ද? ඇත්තටම මේ ගීයට අසාධාරනයක් වෙලා.

    ReplyDelete
    Replies
    1. ලොකු ජෝන්...

      මේ ගීයේ ඒතරම් ස්ලෝ බවක් දැනෙන්නෙ නෑ මටත්. ඇත්තටම අපිය ඇහෙන්නේ ලංකාවේ නිර්මාණයවන ගීතවලින් 10න් 01යි.

      මේ ගීය ඉදිරි සංගිත නිර්මාන එකතුවකින් අනිවාර්යයෙන්ම ඇහෙනවා..

      Delete
  23. මා ඉතිං මක්ක ලියන්නද...? අහලා නැතිකොට. පදරචනය විතරක් රසවින්දා.

    ReplyDelete
    Replies
    1. සුමිත්...

      ඔබ එහෙම කියනවිට ඇති වන්නේ නිම කළ නොහැකි වේදනාවක්.

      ස්තූතියි සුමිත් ඔබටත්.

      Delete
  24. පද රචනයට වගේම නිවී සැනසුන සංගීතයටත් මගේ කැමැත්ත එඩ්වඩ් ජයකොඩිගේ හඬත් අපුරුයි . කලබලකාරී සංගීතය වැඩියෙන් ඇහෙන කාලෙක තවමත් මෙවැනි නිර්මාණ බිහිවීම කොපමණ සතුටක්ද .තවතවත් මෙවන් නිර්මාණයන් බිහිවේවා .

    ලෝකේ ලස්සනම නිර්මාණ විරහ ගී වෙන්න ඇති. ඇයි එහෙම වෙන්නේ අපි ශෝක රසයට කැමති නිසාද

    ReplyDelete
    Replies
    1. බින්දි..

      ලෝකයේ ලස්සනම හිතට දැනෙන ගිත තමයි විරහ ගීත ඒ අපි කවුරුත් වියෝගයට දැඩිව පෙම් බඳන නිසා. ඒ වගේම ඒ විරහව තුළ ඇති හෝකය ජිවිතේ කිනම් මොහොතක හෝ අපි විඳ ඇති නිසා ඒ ශෝකයට කැමතියි.

      ස්තූතියි බින්දි..

      Delete
  25. හ්ම්... නියම කටහඩක් එඩ්වඩ්ගේ හඩ.එයාගේ විරහ ගීත නියමයි.

    ReplyDelete
    Replies
    1. ධම්මික..

      සිතූතියි ඔබටත්.. ඇත්තටම එඩ්වඩ්ගේ විරහ ගිත ලස්සනයි.

      Delete
  26. අපූරු ගීයක් දයානන්ද..මීට පෙර අසා තිබුනේ නැහැ
    මේ උපමා රූපක ගී බොහොමයක දැක අසා තිබුනත් හැම ගීයම ලස්සනයි රසවත්..

    ඔබ සංස්කරණය කල ප්‍රතිභාවලෝකන පොත කඩවල්වල ගන්න තියනවද?

    ReplyDelete
    Replies
    1. රූ...

      ආදරය,ප්‍රේමය, විරහව, ශෝකය, වගේ මිනිස් හැඟීම් ප්‍රකාශ කිරිමට උපකාර කරගන්නා වස්තූනි අතර ඉර, හඳ තරු, මල් මුල්තැනක තියෙනවා. ඒවා යොදන හැටි අවස්ථාව අනුව කොයි තරම් අපූරුද

      "මාරම්බරී" එඩ්වඩ් ජයකොඩි ප්‍රතිභාවලෝකන කෘතිය 5 වන මුද්‍රණය සීමිත පිටපත් ගනනක් 'සරසවි" පොත්හලට පමණක් දැම්මා. සමහර විට සරසවි පොත් හලකින් ගන්න පුළුවන්. ඒත් ගිය මාසේ පොත් ප්‍රදර්හනේ නම් මේ පොත තැන් කිපයකම තිබුන බව මමත් දුටුවා.

      ස්තූතියි රූ ඔබටත්.

      Delete
  27. ඔබේ ලියවිල්ලත් මේ ගීතයක් මට හමුවුනේ මාරම වෙලාවක..හිතට වැදුනා ගොඩක්..ඔබේ ලිවීමේ හැකියාව නම් උපරිමයි..ජයම වේවා සහෝ!

    ReplyDelete
    Replies
    1. හිරු හිමාවි..

      ස්තූතියි.. ලිවීමේ හැකියාවනම් පුංචියට හදාගත්ත එකක්.

      Delete
  28. බාගත්තා ඔන්න අහලා බලන්න ඕනෙ.කවදාවත් අහලානම් නෑ.

    ReplyDelete
    Replies
    1. නිසූ...

      නිදහසේ අහලම බලන්න මේ ගීය දැනෙන්නේ කොහොමද කියලා..
      ස්තූතියි නිසූ ඔබට

      Delete
  29. හරිම ලස්සනයි දයා...පදවැල , ගිටාර් පාට් එකට මාර ආස හිතුනා.

    ReplyDelete
    Replies
    1. වීපොකුර..

      ගිටාරය නම් නාලකගේ.. මම මීට සති දෙකකට කලින් නාලක ලැන අස්වැන්නෙදි ලිව්වානේ. ඒතරමට මිහිරියට ගිටාරය වයන රසවතෙක්.

      මමත් කලේ පුංචි උත්සාහයක් එයින් දැනෙන සතුටනම් මෙතෙකැයි කියන්න බෑ...
      ස්තූතියි

      Delete
  30. //එහෙම නොවුණත්, මනසින් හෝ ඒ අහිමි ආදරය පිරුණු ලොවක මනසින් සැරිසරනවා. ඒ නිසා අපි වැඩියෙන්ම කැමති මුසුවූ විප්‍රලම්භ සෘංගාරය ගෙන දෙන ගීත ඇසීමටයි.
    //

    ඇත්ත තමා මේකනම්!!! :)

    ගීතය උපරිමයි!! ඇත්තටම මට මේ පදවැල් හිතට තදින්ම දැනුනා...එඩ්වඩ් ජයකොඩි මහත්මයාගෙ කටහඩත් එක්ක ඒ ගීතයට උපරිම සාධාරණය්ක් වෙලා තියෙනවා..

    ජය වේවා1!

    ReplyDelete
    Replies
    1. හිතුවක්කාරි..

      මගේ ගී පද මාලාවෙන් ගීයට යම් සාධාරනයක් වුණා කියල හිතෙනව නම් ඒ මගේත් සතුටයි

      ස්තූතියි ඔබටත්.

      Delete
  31. ඔබේ පද ටිකට කටහඩින් වගේම වාදන‍යත් මුසු වෙලා සාර්ථක නිර්මාණයක් බිහිවෙලා...අහලම නැති සින්දුවක්....

    ReplyDelete
    Replies
    1. සිත්තමී..
      මේක අහන්න තරමට ප්‍රචාරය වුනේ නැහැ. ඒත් මටත් හිතෙනවා හොඳ ගීයක් කියලා.
      ස්තූතියි ඔබට

      Delete
  32. //යම් ගායකයෙක් හෝ ගායිකාවක් කැසට් නිෂ්පාදකයා සමග එළඹෙන ගිවිසුම අනුව ගීත තෝරා ගැනීම නිෂ්පාදකයා සතුවේ// මේකනම් හරිම අපරාධයක්. ඒ කියන්නේ ගායකයාට ඕන විදියට කැසට් එකක් කරන්න බැරිද? :O ඇත්තම කියනවා නම් මටත් මේකේ පමණ ඉක්මවූ "ස්ලෝ" ගතියක් පේන්නේ නෑ. මේකට fast track එකක් හදන්න ගියානම් ගියේ රසය නැතිවෙන්න තිබුණා කියලා හිතෙනවා. කැසට් නිෂ්පාදකයෝ නම් ඉතින් ගොඩාක් ආස අර කොත්තු රොටී ගහන මෙලඩි එකට වෙන්න ඇති..

    ReplyDelete
    Replies
    1. තොටියා..

      අත්තටම සමහර කැසට් අ‍ායතන සම්පුර්ණ බලය දෙනවා ගායන ශිල්පියාට හෝ ශිල්පිනියට ගිත තෝරාගැනිමට තවත් සමහර ආයතන ගීතවලින් ‍කොටසක් පමණක් තෝරන අතරම ඉතිරි කොටස නිර්මාණ ශිල්පියාට භාර දෙනවා.

      ඒක එළඹෙන ගිවිසුම අනුවයි ‍තීරනය වන්නේ.
      ඇත්තටම මෙහි රාත්‍රියේ ඇති සුන්දරත්වය ගිලිහෙන්නට තිබුණා මිට වඩා වෙනස් රිද්මයක් වුනා නම්..

      ස්තූතියි තොටියාටත්..

      Delete
  33. සිංදුව නියමයි!! හැංගුන ගීයක්... මම ත් මේක අදමයි ඇහුවෙ!!
    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. නිපුන

      ඔබ අස්වැන්නට සාදරයෙන් පිලිගන්න අතරම තැබූ මේ සටහනටත්
      ස්තූතියි

      Delete
  34. කොහෙන් පටන් අරන්..කොහෙන් ඉවර කරන්නද කියල මට හිතා ගන්න බැහැ...අපූරුව විදගත්ත පුදුමාකර විදිහට..ඒ වගේම කවදාවත් අසා නැති ගීතයක්...සුභ පතනව ඇරෙන්න වෙන මොනව කියන්නද....

    ReplyDelete
    Replies
    1. දිනිති..

      ඔබත් මමත් නියෝජනය කරන එක ක්ෂේත්‍රයක්.. හැමදාමත් අස්වැන්නට අවිත් වටිනා අදහසක් එකතු කරනවට ස්තූතියි

      Delete
  35. බොහොම ලස්සන ලිපියක් සහෝදරයා.දැන් දිගටම එනවා.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
    Replies
    1. නලීන්..

      ඔබ අස්වැන්නට සාදරයෙන් පිලිගන්න අතරම තැබූ මේ සටහනටත්
      ස්තූතියි

      Delete
  36. හරි ලස්සනයි..දයා...
    වචනත් ගායනයත් හැඟුම්බරයි.

    ස්තූතියි.

    ReplyDelete
  37. හරිම ලස්සන ගීතයක්. තව තවත් මෙවැනි යහපත් දේවල් කරන්න ශක්තිය ලැබෙන්න කියල පතනවා.

    ඒ වගේම අනාගතයේදී සුභාවිත කලාව තේරුම් ගතහැකි තරමකට අපේ ව්‍යාපාරිකයන්ගේ මොළය වර්ධනය වෙනවනම්....

    ඔබට ජය!

    ReplyDelete
  38. This comment has been removed by the author.

    ReplyDelete
  39. දින ගනනාවක් අන්තර්ජාලය පුරා සෙව්වෙමි, මගේ සිතට නැගුණු සිතිවිල්ලකට අනුරූප ගීතයක්.
    අහම්බෙන් හමුවූවා මෙය. සංවේදී චින්තනය නිර්මාණශීලීව පද පෙලකට කැටිකොට තිබෙන අයුරු අපූරුයි. ඊටම උචිත මධුර තනුවද, සංයමශීලී ගායනයද, මෙය මැනවින් රසවිඳින්නෙකු මනහර චිත්ත සමාධියකට ගෙනයනු නොඅනුමානයි. ස්තූතියි ඔබ තිදෙනාටම මා වෙත ලබාදුන් මිහිරියාවට.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...