එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Friday, 30 November 2012

෴ ඔබ පියඹා ගොසින්..෴





ජෝතිපාල නැවත කියවමු - 08

 පී.එල්.ඒ.සෝමපාලයන් ජෝතිපාලට හැදූ ස්වතන්ත්‍ර ගීත

සිංහල ගීත සාහිත්‍යයේ පෝෂණය උදෙසා ජෝතිපාල ගැයූ ගීත වලින්  ලැබුණ  දායකත්වය කෙබඳු දැයි ඔහුගේම නිර්මාණ ඇසුරින් කෙරෙන මේ විචාරශීලි අදහස් හුවමාරුවේදී  අපි මිට පෙර පී.එල්.ඒ. සෝමපාලයන් විසින් ජෝතිපාලට හැදූ  අනුකාරක ගී ගැන කතා කළෙමු.  ඒ සඳහා ලද සහෘද ප්‍රතිචාර කිපයක් ඔස්සේ තවත් කොටස් තුනකට එහායින් ලියැවෙන්නට තිබූ මේ සටහන අට වැනි සටහන දක්වා කැඳවිමට සිදුවිය.

බ්ලොග් අවකාශයෙහි ගී පැදුර  රස ගන්වන සහෘද හරේෂ්  විසින් පී.එල්.ඒ. සෝමපාල ජෝතිට හැදු ස්වතන්ත්‍ර ගීත ගැන සටහන් කරන ලෙස ඉල්ලා තිබුණි. එසේම අනෙක් සෙසු සහෘද පිරිසද පී.එල්.ඒ සෝමපාලයන්ගේ අනුකාරක ගී තනු නිර්මාණ ගැන පළ කර තිබූ අදහස්වලට සමගාමීව ඔහු ජෝතිපාලට  හැදූ ස්වතන්ත්‍ර ගීත පිළිබඳව  අද අස්වැන්නෙන් කතාබහ කරමු.

පී.එල්.ඒ. සෝමපාල සිනමා සංගීතයට පිවිසෙන්නේ 1955 වර්ෂයේ දීය. ඒ ජෝතිපාල ගීත ගායනයට පිවිසෙන්නට හරියටම  වසරකට පෙර ය. සිරිසේන විමලවීරගේ අසෝකා චිත්‍රපටයට සංගීතය සපයමින් සිනමා සංගීතයේ පළමු පියවර සෝමපාලයන්ට හැකිවිය.

එතැන් පටන් සිනමා  සංගීතයේ ජනප්‍රිය තේමාවන් ඔස්සේ  නිර්මාණ කිරීමේ කාර්යය සෝමපාලයන්ට පැවරුණි. වසර 40 ක් පුරා විහිදුනු ඔහුගේ සංගීත දිවිය නිමා වූයේ සිංහල චිත්‍රපට 48 ක්, හින්දි චිත්‍රපටයක් සහ මලයාලම් චිත්‍රපටයක්, සහ පාකිස්තාන් ශ්‍රී ලංකා හවුල් චිත්‍රපටයක සංගීතය නිර්මාණය  කිරීමෙනි.

පී.එල්.ඒ. සෝමපාලයන් චිත්‍රපට සංගීතය වෙනුවෙන් සිය ජිවිතයෙන් වසර 40ක් කැපකර තිබුණි. එහෙත් ඔහුගේ ඒ සිනමා සංගීත දිවිය නිසරු එකක් වූයේ අවාසනාවන්ත අයුරිනි.  ඒ චිත්‍රපට 48 න් චිත්‍රපට 05 ක පමණක් ස්වතන්ත්‍ර ගී තනු තිබීමත් ඉතිරි චිත්‍රපට 43 ම අනුකාරක ගීතවලින් පුරවා තිබූ  බවත් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සඳහන් කරයි.

පී.එල්.ඒ. සෝමපාලයන් ස්වතන්ත්‍ර ගී තනු තිබූ චිත්‍රපට අතර   සරණ (1967) , ආදරේ හිතෙනව දැක්කම (1972) , ලස්සන කෙල්ල (1975), සරදියෙල්ගෙ පුතා (1976) සහ පෙම්බර මධූ  යන චිත්‍රපට විය.


ඒ චිත්‍රපට අතර පෙම්බර මධූ චිත්‍රපටයයේ සංගීතය විචාරක පැසසුමට ලක් වු චිත්‍රපටයකි. අස්වැන්න ලියන මමද මෙතෙක් කල් සිතා සිටියේ ඒ චිත්‍රපටයේ තිබූ වික්ටර් රත්නායකයන් ගැයූ පෙම්බර මධූ ගීතය  ස්වතන්ත්‍ර ගී තනුවක් ලෙසටය. එපමණක් නොව මාහාචාර්ය සුනිල් ආරියරත්නයන් පවා සඳහන් කර තිබුණේ පෙම්බර මධූ ගීතය ඔහුගේ ස්වතන්ත්‍ර මධුර ගීතයක් බවය. එහෙත් එය සාවද්‍යය බව වැටහී ගියේ මුහුණු පොතේ සිංහල ගී පිටුව ලියන  රොෂාන් සහෘදයා විසින් පෙම්බර මධූ ගීතය නිර්මාණය කිරීමට මුල් වූ පාකිස්තාන් ගීයේ පිටපතක් මවෙත එවා තිබූ නිසාය. මේ ගැන ගිය සතියේ අස්වැන්න කියැවූ දිස්නා  සුහදිනිය විසින්ද සටහන් කර තිබුණි.

එහෙත් මුල් ගීතයත් පෙම්බර මධූ ගීතයත් අතර විශාල වෙනසක් තිබුණි. එය ඇසූ විට මට නම් හැඟී ගියේ  පාකිස්තාන් ගීතය මුලුමනින්ම කොපි කර නැතත් එහි ඡායාවක් ලබා ඇති බවයි. එහෙයින් ඒ ගීතය ස්වතන්‍ත්‍ර යැයි මතුවට කිව නොහැකිය.

එය එසේ වුවත්  පී.එල්.ඒ. සෝමපාලයන් විසින් ස්වතන්ත්‍ර ගී තනු නිර්මාණය කල ඉහත දැක්වූ චිත්‍රපට  අතරින්  චිත්‍රපට දෙකකට ජෝතිපාල සිය හඬ මුසු කර තිබුණි. ආදරේ හිතෙනව දැක්කම (1972) , ලස්සන කෙල්ල (1975), යන ඒ චිත්‍රපට දෙකෙහි ඇතුළත් වූ ගීතවලින් 04ක් පමණක් ස්වතන්ත්‍ර ගීත විය. එයින් ලස්සන කෙල්ල චිත්‍රපටයේ මලේ රේණු හංගාලා (ජෝති, සුජාතා, එම්.එස්., ඉන්ද්‍රානි)අපි හඳට ගියත් දිනුම් දිනුම් ( ජෝතිපාල, එම්.එස්.) ගැයූ ගීත දෙකත්  ආදරේ හිතෙනව දැක්කම චිත්‍රපටයට ගැයූ දෑසේ විමන් දොරින් සහ අඬන්නෙපා සුදු මැණිකේ ගීතයත් ස්වතන්ත්‍ර නිර්මාණ ලෙස සැලකිය හැකි ගීත වේ.

මතු දැක්වෙන්නේ ආදරේ හිතෙනව දැක්කම චිත්‍රපටයට පී.එල්.ඒ.සෝමපාලයන් ජෝතිපාල හැදූ ස්වතන්ත්‍ර ගීයකි. එය  ඉතාමත් විශිෂ්ඨ ගීතයකි.


                   දෑසේ විමන් දොරින් සිහින රුවන් තිරෙන්
                   නික්මී ගොලු බසින් පරෙවි රැජින ලෙසින්
                   ඔබ පියඹා ගොසින්

                   පැහැය සුවඳ ඇතී සිහින් සුවඳ පෙතී
                   රේණු සැලෙන මුදු පිපුණු මලක් බඳු
                   දෑසේ විමන් දොරින්...

                   ඔබේ සළුවෙ වැදී සිහිල් සුලං ඇදී
                   හෙමින් සැරේ එබී මගේ සවන් සිඹී
                   දෑසේ විමන් දොරින්....

                   මහද කුටිය පුරා ඔබ සැරි සර සරා
                   බෙදයි මියුරු නුරා විඳිමි පෙරුම් පුරා
                   දෑසේ විමන් දොරින්...


                   ගීත පබැදුම: කරුණාරත්න අබේසේකර
                   ගැයුම: එච්.ආර්.ජෝතිපාල
                   සංගීතය: පී.එල්.ඒ. සෝමපාල
                   චිත්‍රපටය: ආදරේ හිතෙනව දැක්කම
                   අධ්‍යක්ෂණය: නීල් රූපසිංහ
                   තිරගත වූ වසර :1972

             

ආදරයේ චමත්කාරය යෞවනත්වයේ රඳවන ගීත අතර දෑසේ විමන් දොරින් ගීතය ඉතාමත් විශිෂ්ඨ නිර්මාණයකි. කරුණාරත්න අබේසේකරයන්ගේ ගී පදමාලාවද සෝමපාලයන්ගේ මියුරු සංගීතය තරමටම මිහිරිය. ඔහුගේ චිත්‍රපට ගී අතර මිහිරිම චිත්‍රපට ගීය මේ ගීතය යැයි මට සිතේ. අවාසනාවට එවන් මිහිරි ගි තනු ඔහුගේ සිනමා කෘතිවලින් ගිලිහී ගොස් ඇත.

එසේ වුවද, නීල් රූපසිංහගේ ආදරේ හිතෙනව දැක්කම චිත්‍රපටයට ජෝතිපාල ගැයූ පී.එල්.ඒ. සෝමපාලයන්ගේ අනෙක්  ගීතනුව රසවත් ගී තනුවක් වුවද එය සාර්ථක නිර්මාණයක් බවට පත් නොවන්නේ  එහි පදමාලාව නිසාය. එය එතරම් ව්‍යක්ත කවි බසකින් යුත් පදමාලාවක් නොවේ.  එහි ගීතවත් බවක්ද දක්නට නැත.  සුසුම් පද වලින් පිරී ඇති මේ ගීතය ළාමක බොළඳ සල්ලාපයකි. ඒත් ගී තනුව ස්ව තන්ත්‍රය. මිහිරිය.  ඔබ අසා හුරු පුරුදු ගී අතර මේ ගීතය නැතත් ගී තනුවේ ඇති මධුර බව නිසාම මෙහි සදහන් කරමි. මතු දැක්වෙන්නේ ඒ ගීතයයි.

                   අඬන්නෙපා සුදු මැණිකේ
                   මා ඔබ ළඟමයි ඉන්නේ
                   අඬන්නෙපා සුදු මැණිකේ
                   මා නැත ඔබ හැර යන්නේ.

                   රෑ දාවල් යයි ගෙවිලා
                   මම ඉමි ඔබ වෙත රැඳිලා
                   මධු රස බසකින් නළවා
                   මම ඉමි පාළුව පළවා

                   අද මෙන් හෙට සනසන්නම්
                   මිහිරෙන් මිහිර පොවන්නම්
                   සැප සම්පත් ගෙන එන්නම්
                   සුබ සිහින සැබෑ කරවන්නම්


                   මල් යහනක සතපන්නම්
                   මල්පැණි රස පෙරලා දෙන්නම්
                   මුතු වැල ගෙල පළඳන්නම්
                   රන් විමනක රඳවන්නම්


                   ගීත පබැදුම: කරුණාරත්න අබේසේකර
                   ගැයුම: එච්.ආර්.ජෝතිපාල
                   සංගීතය: පී.එල්.ඒ. සෝමපාල
                   චිත්‍රපටය: ආදරේ හිතෙනව දැක්කම
                   අධ්‍යක්ෂණය: නීල් රූපසිංහ
                   තිරගත වූ වසර :1972

" අඬන්නෙපා සුදු මැණිකේ " ගීතය මෙතනින් අහන්න.
  

කෙසේ වුවද චිත්‍රපට සංගීතය සඳහා චිත්‍රපට නිෂ්පාදකයා ඔහුගෙන් ඉල්ලා සිටින්නට ඇත්තේ ස්වතන්න්‍ර ගී තනු නොව, ජනප්‍රිය හින්දි, දෙමල, හෝ ඉංග්‍රීසි ගීවල අනුකරණයෙන් නිර්මාණය කර ගන්නා ලද කොපි ගීත බව ඉඳුරාම පැහැදිළිය. ඒ නිසාම ඔහුගේ හතළිස් වසරක සිනමා සංගීතය දිවිය ස්වතන්ත්‍ර ගීතනු ඇතුළත් චිත්‍රපට 05 කට සීමා වීම නිසා ඔහුගේ නිර්මාණාත්මක සංගිත වැයම  නිසරු එකක් විම අරුමයක් නොවේ. චිත්‍රපට නිෂ්පාදකයන්ගේ ඉල්ලිම අනුව සැපයිම කළා විනා බුද්ධිමත් රසික පර්ෂදවලට ආමන්ත්‍රණය කිරිමට තරම් ශක්තිමත් නිර්මාණාත්මක සංගීතයක් නිර්මාණය කිරීමේ වගකිම ඔහු අතින් ගිළිහි යන්නට ඇත. එයින් සිදු වූයේ සෝමපාලයන්ට බුද්ධිමත් සංගීත රසික විචාරක දෝෂාභියෝගයන්ට මුහුණ දිමටය. චිත්‍රපට සංගීතයේ සතුටුදායක මෙහෙයක් ඉටු නොකළ ඔහු අනුකාරක සංගීතයේ සංකේතය ලෙසින්ද ඒ යුගයේ ඔහු හඳුන්වනු ලැබිය.

වරෙක ඒ සියලු විචාර සඳහා ඔහු විසින් පිළිතුරු සපයා ඇත්තේ  "මම හින්දි සින්දු කොපි කරන්නේ නැහැ. මා අතින් සිදුවන්නේ නොතේරෙන හින්දුස්ථානි පදමාලා වෙනුවට දේශීය පදමාලාවක් හින්දුස්ථානි සංගීතයේ ආභාෂය ලබා හදවතට සමීප වන නාද රූප මාලාවක් ඉදිරිපත් කිරිමයි.”

මිට වසර තිහ හතළිහකට පමණ කලින් සෝමපාලයන් කළ  ඒ ප්‍රකාශය  කොයි තරම් දුරට සත්‍ය දැයි වැටහෙන්නේ අද දවසේය.  ඒ අන් කවරක් නිසාවත් නොව ජෝතිපාල වැනි ගායකයෙකු එදා ගැයූ  ඒ මිහිරි හින්දි ගීතනු  නූතන ගීත රසිකයාද, ඔහු මිය ගිය පසුවත් වෙනස් වෙමින් පවතින සංගීත නාද රටා ඔස්සේ  වෙනස් වන්නා වූ සංගීත රිද්මයන් ඔස්සේ පවා ඒ ගීත වලට තවදුරටත් පෙම් බඳින නිසාය.


පී.එල්.ඒ. සෝමපාලයන් ජෝතිපාල‍ට හැදූ ස්වතන්ත්‍ර ගීත ගණන හතරක් වුවද, ඔහුගේ මධුර අනුකාරක ගීතනු ප්‍රමාණය ඊට වඩා වැඩිය. ඒ තනු අනුකාරක වුවද සෝමපාලයන් මුල් ගීය අමතක කර ඒවායේ සංගීත අනුඛණ්ඩ යොදා ඇති සැටි විස්මිතය. රසිකයන්ගේ සවන් මන්මත් කරවන ඒ ගීත සදාකල්හිම නින්නාද දෙන්නේ ඒ නිසාය. මතු දැක්වෙන්නේද නීල් රූපසිංහගේ ආදරේ හිතෙනව දැක්කම චිත්‍රපටයට ජෝතිපාල ගැයූ පී.එල්.ඒ. සෝමපාලයන්ගේ මධුර අනුකාරක ගීයකි. ගීතයේ මුල් ගීතය ජනප්‍රිය හින්දි ගිතයකි.



                   රෑ දවල් මල් රැඟුම් සිරි පානා
                   මනරම් සිහිනෙකි මට පේනා

                   රෑ දවල් මල් රැඟුම් සිරි පානා
                   මනරම් සිහිනෙකි මට පේනා

         
                   හිනැහෙන විට මුතු දිලිසෙනවා
                   නළලේ අඩ සඳ බැබලෙනවා
                   පතන්න බැරි කොයි කාටදෝ
                   සිතනා විලසට සිදුවේදෝ


                   ගීතෙක රස ඉතිරේ මුවගින්
                   නා දළු ලෙළ දෙනවා තොළගින්
                   අපි සිඹ හමනා සුළඟින්
                   ඔබ නවතින්නේ කොතැන දෝ

                    මලක බඹර තුඩ ගෑවෙයි දෝ
                   විලක ගිලිලා තැවෙයි දෝ
                   ඔහු කියවූ පොත මට හිමිවී
                   පෙරලුණ පිටු යළි පෙරළේදෝ.


                   ගීත පබැදුම: කරුණාරත්න අබේසේකර
                   ගැයුම: එච්.ආර්.ජෝතිපාල
                   සංගීතය: පී.එල්.ඒ. සෝමපාල
                   චිත්‍රපටය: ආදරේ හිතෙනව දැක්කම
                   අධ්‍යක්ෂණය: නීල් රූපසිංහ
                   තිරගත වූ වසර :1972

              

ජෝතිපාලයන්ගේ ගීවලින් හමුවු පී.එල්.ඒ. සෝමපාලයන්ගේ සංගීත භුමිකාව මෙතැනින් අවසන් වුවත් තවදුරටත් ඔහු ජෝතිපාලට  නිර්මාණය කළ සාර්ථක මට්ටමක ඇති චිත්‍රපට  අනුකාරක ගීත පිළිබඳව තවදුරටත් ඉදිරියේදී කතා කරමු.෴ 

නැවත ජෝතිපාලයන් ගැයූ ගී  පිලිබදව අස්වැන්නේ සටහන් වන්නේ තව මාස එක හමාරකින් පමණ පසුවය. එනම් 2013 වර්ෂයේ ජනවාරි මස මැද දීය.


ආශ්‍රිත ග්‍රන්ථ:
ගාන්ධර්ව ආපදාන -5, මොහොමඩ් සාලි සහ පී.එල්.ඒ. සෝමපාල
(මහාචාර්ය සුනිල් ආරියරත්න - 1997 එස්.ගොඩගේ සමාගම)


ඔබේ හිතේ ජෝතිපාල පිලිබඳව විචාරාත්මක අදහසක් හෝ මේ ලියූ දේ ගැන විචාරයක් හෝ ඔබ දකින වැරැද්දක් ඇත්නම් ලියන්න. කැමති විදියට ලිවිමට ඔබට නිදහස ඇත.












Thursday, 22 November 2012

෴ මා ඔබ දුටු ඒ ප්‍රේම ලෝකේ..෴




                  ජෝතිපාල නැවත කියවමු - 07

 පී.ඇල්.ඒ.සෝමපාලයන්ගේ සංගීතයේ හමුවන ජෝතිපාල

ලාංකේය සිනමාවේ සොඳුරු මතක සටහන් ඔස්සේ  එච්.ආර්.ජෝතිපාල චිත්‍රපට පසුබිම් ගායන ශිල්පියෙකු ලෙස 70 දශකයේ  චිත්‍රපටවලට ගැයූ ගීත පිළිබඳව අද තවත් පියවරක් ඉදිරියට සටහන් කරමි. විශේෂයෙන්ම මේ දශකයේ ඔහු ගැයූ ගීත සියල්ලම එක පෙළට එක සේ ජනප්‍රිය වීමත්,  ඒවා කුමන ගීතද, කුමන චිත්‍රපටවලට ඇතුළත් වූ ඒවා දැයි නූතන ගිත රසිකය පරපුර  නොදන්නා නිසාත් ඒ පිළිබඳව තොරතුරුද ඇතුළත් කරමින් මේ ලිපි මාලව සැකසේ. ඒ නිසා ඇතැම් විට අස්වැන්න කියවන ඔබ ඔහුගේ ගීවලට ප්‍රිය කළත් ඒ ප්‍රියතම ගීත පියවරෙන් පියවර ඉදිරියට මේ ලිපි මාලාවේදී සටහන් වන බව සැළකුව මැනැවි.

70 දශකය වන විට සිංහල වාණිජ සිනමාවේ අත්‍යවශ්‍යම  සිනමා ගී හඬ බවට ජෝතිපාලගේ හඬ පත්ව තිබුණි. චිත්‍රපට නිෂ්පාදකයාට  එතෙක් කල් හමු නොවු සිනමාවට අත්‍යවශවූ නියම පසුබිම් ගි හඬ ( Pure Screen Voice) ජෝතිපාල සතුව තිබිම ඊට හේතුව විය.

70 දශකය වන විට ඉන්දියාවට ගොස් චිත්‍රපට නිෂ්පාදනය කිරීම මුලුමනින්ම අත්හිටුවා තිබිම නිසා ලංකාවේ චිත්‍රාගාර කිහිපයක් ආරම්භවී තිබුණි. ඒ නිසා 70 දශකයේ මෙරට නිෂ්පාදය වූ චිත්‍රපට සියල්ලම පාහේ ලංකාවේ චිත්‍රාගාර තුළ නිර්මාණය වූ ඒවාය.

ඒ වන විට ලංකාවේ චිත්‍රපට සඳහා සංගීතය  සැපයූ ඉන්දියන් සංගිතඥයන්ද ලංකාව ස්ථිර පදිංචිය සඳහා තෝරාගෙන තිබුණි.  එහෙත් ඒ 1960 දශකය අවසන්වන විට අමරදේව, සිසිර සේනාරත්න, ෂෙල්ටන් ප්‍රේමරත්න,  ආර්.ඒ.චන්ද්‍රසේන වැනි සංගිතඥයින් දේශීය සිනමාවට අවශ්‍ය සිනමා සංගීතය පිලිබඳව විවිධ අත්හදා බැලීම් කරමින් සිටි  යුගයක් විය.

මේ කාලයේ චිත්‍රපටයක් සඳහා වැඩි ගීත ප්‍රමාණයක් ඇතුළත්ව තිබීම අත්‍යවශ්‍ය සාධකයක් වූ බැවින් සංගීත අධ්‍යක්ෂවරුන්ට සිදු වූයේ වැඩි ගීත ප්‍රමාණයක් චිත්‍රපටවලට බලෙන් රිංගවිමය. ඒ නිසාම මේ දශකය වන විට ජනප්‍රිය වාණිජ සිනමාවේ සිනමා සංගීතයේ ජයග්‍රාහී ඉලක්ක සපුරා ගැනීමට පැවරී තිබුණේ එකල ජනප්‍රිය සංගීතවේදීන් ලෙසින් සිටි පී.එල්.ඒ. සෝමපාල වැනි සංගිතවේදන්ටය.


පී.එල්.ඒ. සෝමපාලයන් මෙරට සිටි දක්ෂ ගායන ශිල්පියෙක් පමණක් නොව දක්ෂ සංගීතඥයෙකි. ඒ නිසා බොහෝ සිනමාකරුවන් සිය සිනමා කෘති සංගීතවත් කිරිමට ඔහු තෝරාගෙන සිටි බව පැහැදිලි ය.  ඒ චිත්‍රපටවල ඇතුලත්වූ ගීත පිලිබඳව විමසා බලන විටඒ බව සිතේ. සෝමපාලයන් බිහිකළ සිනමා සංගීතය හුදෙක්ම වාණිජ සිනමා සංගීතයකි. ඒ නිසාම  ඔහු එකල සිනමා සංගීතයේ කිරුළු නොපැළඳි රජු යැයි අස්වැන්න ලියන මටද සිතේ.

පී.එල්.ඒ. සෝමපාලයන් විසින් එකල ඉන්දීය සිනමාවේ හින්දි සහ දෙමල චිත්‍රපටවල රැව් දුන්  ජනප්‍රිය ගී තනු හින්දි ගීයටත් වඩා මිහිරට ප්‍රතිනිර්මාණය කළේය. ඒ සඳහා ඔහුට දේශීය වාද්‍ය ශිල්පින්ගේ සහයද නො අඩුව ලැබී තිබුණි.

1971 දී තිරගත වූ නීල් රූපසිංහගේ හතර දෙනාම සූරයෝ චිත්‍රපටයේ සංගීතයද පී.එල්.ඒ.සෝමපාලයන්ගේ ය. චිත්‍රපටයට ගීත 06ක් ඇතුළත් විය.  ඒවා සියල්ලම ජනප්‍රි හින්දි අනුකාරක ගීත විය.  කරුණාරත්න අබේසේකර ලියූ එයින් 03 ක්ම  ගායනා කළේ  එච්.ආර්.ජෝතිපාල විසිනි. “මේ දෑස මගේ පින්වන්තයි, ආදරණීය සිනාවේ, කොඩි ගහ යට මම උපන්නේ” හතර දෙනාම සූරයෝ චිත්‍රපටයට ජෝතිපාල ගැයූ ගිත  වේ. මතු දැක්වෙන්නේ හතර දෙනාම සූරයෝ චිත්‍රපටයට ඇතුළත් වූ ගීතයකි.

                   මේ දෑස මගේ පින්වන්තයි
                   තේරුණේ දැන්තමයි
                   රන් රූපෙ ඔබේ පින්වන්තයි
                   තේරුණේ දැන් තමයි


                   ළඟ දුනුකේ මලකී - දුර මානෙල් මලකී
                   උඩවැඩියා මලකී - මල් මැද මල් විලකී

                   රණ මයුරා වරළයි  - අඩ සඳවන් නළලයි
                   නීල උපුල් දෙනෙතයි - නාරිලතා ගමනයි


                   ගීත පබැදුම: කරුණාරත්න අබේසේකර
                   ගැයුම: එච්.ආර්.ජෝතිපාල
                   සංගීතය: පී.එල්.ඒ. සෝමපාල
                   චිත්‍රපටය: හතරදෙනාම සූරයෝ
                   අධ්‍යක්ෂණය: නීල් රූපසිංහ
                   තිරගත වූ වසර :1971



මේවා ජනප්‍රිය හින්දි ගී තනුවලට අනුව නිර්මාණය කරන ලද ගීත වුවද එහි යම්කිසි දේශියත්වයක් තිබුණි. කරුණාරත්න අබේසේකරයන්ගේ පද රචනාවල තිබූ සරල බව නිසාම කිසිවකුටත් වටහා ගැනිමට අපහසු නැත. ඉන්දියානු ගීතවල තිබූ ඉන්දියානු සංගීතයට නොදෙවෙනි වන සේ මේ ගීතයන්හි ආමුඛ සංගීත ඛණ්ඩ සහ අන්තර් සංගීත ඛණ්ඩ සකස් කර තිබිම නිසා මුල් හින්දි ගීතයේ රසයට නොදෙවෙනි රසයක් දෙවෙනි ගීතයට හිමිවී ම පුදුමයක් නොවේ. එය සෝමපාලයන් හැදූ  ගීත සියල්ලම ජනප්‍රිය වන්නට හේතුවිය.

ජෝතිපාල ගැයූ ගී වලින් සිනමාවට ලබා දුන් දායකත්වය කෙබඳු දැයි වැටහෙන්නේ ඔහුගේ සිනමා ගීතාවලිය දෙස බලන විටය. ඒ ගීතවල තිබූ ජීව ගුණය නිසාම චිත්‍රපට නරඹන්නන් සිනමා හල්වලට ඇදුණේ චිත්‍රපට නරඹන්නට පමනක් නොව ඒවායේ තිබූ ගීත මිහිරද විඳ ගැනීමටය. අද නූතන සිනමාවේ චිත්‍රපට ගීත තිබුණත් ඒවා හෝ චිත්‍රපට ජවනිකා සිනමා හලෙන් එලියට එනවිට මකතයේ නොරැ‍ඳෙයි. ඒ අපේ සිනමා ගීතයේ අද දවසේ හැටිය.

1971 දී තිරගත වූ අබිරහස චිත්‍රපටයට ජෝතිපාල ගීත 03 ක් ගායනා කර තිබුණි. ඒ ගීත වන්නේ “ඈත දිලිසෙන හිරු සඳු, සුසුදු රැල්ල සහ සිතුම් පැතුම් සඳ ආදරේ” යන ගීතය. මේ චිත්‍රපට ගීත,  ගීත ලැයිස්තුවල ඉහළින්ම එදා වගේම අද දවසේද රැඳී තිබේ.  මතු දැක්වෙන්නේ ලෙනින් මොරායස්ගේ අබිරහස චිත්‍රපටයට ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක ගැයූ ගීයකි.

                   ඈත දිලිසෙන හිරු සඳු රන්තරු
                   රහසේ කීවා මට ඔබ ගැන තොරතුරු
                   මගේ නෙත් යුග මතු පියවෙන තුරු
                   ආදරෙයි මා ආදරෙයි

                   ළා තණ නිල්ලේ පිණි කඳුළැල්ලේ
                   මා ඔබ දුටු ඒ ප්‍රේම ලෝකේ
                   දෑස දෑසක් සොයා තනි වූ දිනේදි

                   මධු සඳ රැල්ලේ සතුටු සඳැල්ලේ
                   වාසනාවේ අමිල උදාවේ
                   සීත සුළ‍ඟේ වෙලී මතු හමුවුණාවේ



                   ගීත පබැදුම: ප්‍රේමකීර්ති ද අල්විස්
                   ගැයුම: එච්.ආර්.ජෝතිපාල  සහ ඇන්ජලින් ගුණතිලක
                   සංගීතය: පී.එල්.ඒ. සෝමපාල
                   චිත්‍රපටය: අබිරහස 
                   අධ්‍යක්ෂණය: ලෙනින් මොරායස්
                   තිරගත වූ වසර :1971




පී.එල්.ඒ. සෝමපාලයන් අතින් පැහැදිළි සිනමා සංගීතයක් බිහි නොවුණි. ඔහු අතින් ඉටු  වූයේ  ජනප්‍රිය හින්දි, දෙමල,  සහ ඉංග්‍රීසි ගී තනුවලට අනුව සකසාගත් ගීත සම්පාදය කිරිමයි. ඒ අනුව පී.එල්.ඒ. සෝමපාලයන් ගැයූ ගීත ස්වල්පය හැරුණු  විට ලංකාවේ චිත්‍රපට සංගීතයට හෝ ග්‍රැමෆෝන් ගී තැටි සංගීතය සඳහා ඔහු සම්පාදනය කරන ලද සංගීත නිර්මාණ,  ලංකාවේ සංගීතය රසාස්වාදන අංගයක් ලෙසින් වර්ධනය කිරිමට හෝ ඉහළ නැංවිමට  සතුටුදායක මෙහෙයක් ඉටු නොකළ බව එකල විචාරකයන් පෙන්වා දී ඇත. ඒ නිසාම  පී.එල්.ඒ. සෝමපාලයන් ලංකාවේ අනුකාරක සංගීතයේ සංකේතය ලෙසින්ද හදුන්වා දි තිබුණි.

ඒ අනුව බලන විට ජෝතිපාල ගැයූ පී.එල්.ඒ.  සෝමපාලයන් සංගීතය සැපයූ ගීතද ජනප්‍රිය ගීත ලෙසින් හුදු විනෝදයක් සැපයූ ගීත  වූවා මිස ඉන් ඔබ්බට ගොස්  ඒවායින් රස වින්දනය දියුණු කිරිමක් ඔවුන් දෙදෙනා අතින් සිදු වූයේ නැත.

මතු දැක්වෙන්නේද ලෙනින් මොරායස්ගේ අබිරහස චිත්‍රපටයට සෝමපාලයන් හින්දි ගී තනුවක් අනුව හැදූ මනරම් ගීයකි.


සිතුම් පැතුම් සඳ ආදරේ උදාවේ දෝ
මහදේ සොඳුරු අහසේ අනාගතේ


පැණි සොයමින් බමරුන් එනවා
පැණි බී යළි උන් ඉගිලෙනවා
පැණි සොයමින් බමරුන් එනවා
පැණි බී මල වට  ඉගිලෙනවා
තනිවූ කතරක මා ඉන්නේ
කෙළෙසද පිය මැන පිට වන්නේ


හදවත විල් දිය චංචලවේ
ගැඹුරට මගෙ හිත යොමුවේ
ගැඹුරෙහි වැලි මත මුතු හමුවේ
සැතපෙන කල  දුටු  නිදි යහනේ
එළිවේදෝ රෑ දුටු සිහිනේ
සැතපෙන කල  දුටු  නිදි යහනේ
එළිවෙනවා රෑ දුටු සිහිනේ



ගීත පබැදුම: කරුණාරත්න අබේසේකර
                   ගැයුම: එච්.ආර්.ජෝතිපාල  සහ ඇන්ජලින් ගුණතිලක
                   සංගීතය: පී.එල්.ඒ. සෝමපාල
                   චිත්‍රපටය: අබිරහස 
                   අධ්‍යක්ෂණය: ලෙනින් මොරායස්
                   තිරගත වූ වසර :1971




මේ ගීවල පද රචනා සංගීතයෙන් වෙන්කර බැලූ විට බෙහෙවින්ම කාව්‍යාත්මකය. කොළඹ යුගයේ කවියේ තිබූ ප්‍රේමය, සෘංගාරය ආදරෙය් සුන්දරත්වය, ඒ අයුරින්ම මේ ගී පදරචනා වලද දැකිය හැකිය. ගීයේ තනුවට වචන ඔබා ඇති බවක් ගී තනුවකට අනුගතව ලියූවක් බව නොහැ‍ඟෙන තරම්ය. ඒ නිසාම ජෝතිපාලගේ ගායනයෙහි තිබූ ආදරණිය බව මේ ගීත හින්දි ගීයේ ස්වරුපය අභිබවා නැගී සිටින්නට හේතු විය . ඒ ගීත ජනතා සන්තක වූයේ ඒ අයුරිනි.

මතු සම්බන්ධයි....


ආශ්‍රිත ග්‍රන්ථ:

ගාන්ධර්ව ආපදාන -5, මොහොමඩ් සාලි සහ පී.එල්.ඒ. සෝමපාල
(මහාචාර්ය සුනිල් ආරියරත්න - 1997 එස්.ගොඩගේ සමාගම)

ඔබේ හිතේ ජෝතිපාල පිලිබඳව විචාරාත්මක අදහසක් හෝ මේ ලියූ දේ ගැන විචාරයක් ඇත්නම් ලියන්න. කැමති විදියට ලිවිමට ඔබට නිදහස ඇත.

Thursday, 15 November 2012

෴ සවන රැඳුනේ ඔබගේ කට හඬ වේ ෴


          
           මුල සිටම කියවන්න කැමති නම් මෙන්න



ජෝතිපාල නැවත කියවමු - 06

ජෝතිමත් ගී රාවයේ දෙවන දශකය

මාස කීපයකට පස්සෙ නැවතත් ජෝතිපාල නැවත කියවමු ලියන්න සිතුනි. ජෝතිපාල ගැයූ ගීත පිළිබඳව අතීත මතක ආවර්ජනය සහ ඒ ගී සංස්කෘතිය  බිහිවූ යුගය දෙස ආපසු හැරී බැලීමේ මේ ලිපි මාලාව එක දිගට නොලිය වෙන්නේ කරුණු කීපයක් හේතුවෙනි. ඒ ඕනෑම දෙයක් එක දිගට කියවීමෙන් හෝ ඇසීමෙන් ඇති වන ඇතිවන නීරස භාවය වළක්වා ගැනිම පිණිසත්. නිතර ඇසෙන ගීත නිසා  ඒ ගීත වල  නැවුම් බවක් නොදැනෙන නිසාය. ඒ නිසා නිතර ඇසෙන ගීත නැවත අසෙන්නට සැළැස්වීමෙන් එහි අලුත් බවක් හෝ අපූර්ව බවක් කෙනෙකු තුළ නොතිබෙන්නට පුළුවන. එය වළක්වා ගැනිම සඳහා  මේ ළිපි මාලාව එක දිගට නොලියන්න හේතු වන බව ආරම්භයේම සඳහන් කරමි.

ජෝතිපාල නැවත කියවීම ලිපි මාලාව මීට පෙර  අවසන් කළේ  ඔහුගේ ගායන දිවියේ පළමු දශකය වූ 1966 වර්ෂයෙනි. (1956 -1966 )  මේ දශකයේ ජෝතිපාලට චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙස ගැයීමට  ලැබුණ ස්වතන්ත්‍ර ගීත ගණන 05 කට අඩු වුවත් ඒ ගීත ටිකත්, ඔහු එතෙක් ගැයූ හින්දි සහ දමිල ගී තනු සියල්ලත්,  ජනප්‍රිය වූ නිසා ස්වතන්ත්‍ර තනු පවා යට කී කොපි ගීත ගොඩටම වැටුණි. ඒ නිසාම නිසි විචාරයකින් තොරව ඔහු අනුකාරක ගී ගයන්නෙකු බවට පත්විය.

ඒ නිසා අද සිට ඉදිරියට ජෝතිගේ ගායන දිවියේ දෙවන දශකය එනම් 1967 -1977 ගී දශකය තුළ ඔහු බිහි කළ  සිනමා ගීත සංස්කෘතිය  සහ  ඒ දශකයේ බිහිවූ වෙළඳ ගී තැටි වලින් ඇති වූ සංගීත සංස්කෘතිය පිළිබඳව පුංචි කතිකාවක් ඇති කරන්නට මේ ලිපි පෙළ ඔස්සේ වෑයම් කරමි.

ජෝතිපාලගේ දෙවන දශකය තුළ ද සියයට අනූවකට වඩා වැඩියෙන් ලැබුණේ අනුකාරක ගී තනු ගායනා කිරීමට ය. ඊට බෙහෙවින් බලපෑ සාධකයක් වන්නේ ‍ඒ යුගය වන විට ගීතය යනු චිත්‍රපට පසුබිම්  ගීත බවට තරයේම  විශ්වාස කළ පිරිසක් සිටීමත්,  ජෝතිපාල චිත්‍රපට පසුබිම් ගායකයකු මිස එකල ගුවන් විදුලි පරීක්ෂණයෙන් සමත් නොවූ සරළ ගී ගායක‍යකු ලෙස පිළිගැනීමක්ද  නොතිබීමයි. එකල යම් මට්ටමක පිළිගත් ශිල්පියෙකු විමට නම් ගුවන් විදුලි සරල ගීත පරික්ෂණයෙන් "ඒ" හෝ "බී" ශ්‍රේණියේ ශිල්පියෙකු වශයෙන් සමත්ව සිටිය යුතුය. එය ශිල්පියෙකුට ඉතාමත් වැදගත් සාධකයක්  සේ එකල ප්‍රබුද්ධ රසික විචාරක පරපුර අතර පිළිගැනිමක් තිබුණි.

ඒ නිසාම ජෝතිපාලට සිදුවූයේ චිත්‍රපට පසුබිම් ගායකයෙක් ලෙස පෙනී සිටිමින් තම අතට පත්වන ඕනෑම ගීතයක් ගායනා කර චිත්‍රපට නිෂ්පාදකයාගේ මනදොල සපුරා ලන්නටත් ඒ ඔස්සේ  තම ගායනයේ අනන්‍යතාවය තහවුරු කර ගැනිමටත් ය.  එය එසේ වුවත් ඒ අනුකාරක ගී හැම එකක්ම ජනප්‍රියත්වයේ මුදුනත රැන්දූ කොපි ගීත බවට පත්වන්නේඇසූ සැණිනි. ඒ  ගී තනුවල තිබූ මිහිරියාව සේම ඊට  ගැලපෙන සේ ග්‍රාම්‍ය  නමුත් සරල ගිපද මාලා ලියා තිබිමයි.

1967 වර්ෂයේදි තිරගත වූ "හිත ගිය තැන"  චිත්‍රපටයේ මොහොමඩ් සාලිගේ සංගීතයට කරුණාරත්න අබේසේකරයන් ලියූ  රන්වන් පුන්සඳ පායාලා  ගීයද එවැන්නකි. 1968 වර්ෂයේදී තිරගත වූ "පිණි බිඳු"  චිත්‍රපටයට  ජෝතිපාල සහ සුජාතා පෙරේරා (අත්තනායක)  ගැයූ "මුහුදු වෙරළ දිගේ"  ගීයත් එම වසරේම තිරගත වූ "වනසරා" චිත්‍රපටයට ජෝතිපාල ගැයූ "අපි සක්වල ගලෙන් මෙපිට උපන්නේ" ගීතයත් ජනප්‍රිය ගීත බවට පත්විය. එසේ වුවත් 1969 දි තිරගත වූ දෙමල අනුකාරක චිත්‍රපටයක් වූ "ඇමතිකම" චිත්‍රපටයට ජෝති ගැයූ ගීත ඉතාමත් දුර්වල පදරචනා සහ සංගීතයෙන් යුක්ත විම නිසා ඒ ගීත කිසිවක්  ජනප්‍රිය නොවුණි.

කෙසේ වුවත් නැවතත් ජෝතිපාලට ස්වතන්ත්‍ර චිත්‍රපට පසුබිම් ගීයක් ගායනා කිරිමට ලැබෙන්නේ 1969 තිරගත වු "රෑන ගිරව් " චිත්‍රපටයටය. ගාමිණි ෆොන්සේකා, ආනන්ද ජයරත්න සහ නීටා ප්‍රනනාන්දු රඟපෑ රෑන ගිරව් චිත්‍රපටය කේමදාසයන් විසින් සංගීතවත් කර තිබුණි. ජෝර්ජ් ලෙස්ලි රණසිංහගේ පද මාලාව ගැයිමට  කේමදාසයන් මුල්වරට ජෝතිපාල  කැඳවා තිබුණි.  "හෙට උදයේ අලුත් ඉරක් පායලා"  ගීතය ජෝති ගැයූ මියුරු ස්වතන්ත්‍ර ගීතයකි. ඒ චිත්‍රපටයට කේමදාසයන් ගීත 07 ක් නිර්මාණය කර තිබු අතර සියලුම ගීත ජනප්‍රිය ගීත බවට පත්විය.

එසේම 1969 වසරේ තිරගත වූ "සූරයන්ගෙත් සූරයා" චිත්‍රපටයේ  ගීත 04 ක් ඇතුළත්ව තිබූ අතර එම්.කේ රොක්සාමිගේ සංගීතයෙන් හැඩ වූ   ඉන් එක් ගීයක් ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක විසින් ගායනා කර තිබුණි.  "ආශාවේ ගංගාවේ" නම් වූ  ඒ ගීතයද කොපි ගීතයකි. එයද ජනප්‍රිය ගීතයක් බවට පත්විය. එසේම රොක්සාමි මාස්ටර්ගේ සංගීතයෙන් හැඩ වූ "සුමුදු භාර්යා" චිත්‍රපටයට කරුණාරත්න අබේසේකරයන් ලියූ "ආලය කාටත් පොදු දෙයකී" ගීයද ජනප්‍රිය ගීත ලෙසන් රසික ප්‍රසාදය දිනාගත්  නමුත් ජෝතිපාලගේ ගී හ‍ඬෙහි ඇති මියුරු රසය මිස  ගීත පදමාලාවේ හෝ සංගීතයේ ඕලාරික බවත් ග්‍රාම්‍ය බවත් හැර වෙනත් කිසිඳු ගී රසක් එහි දක්නට නොමැත.

1970 වන විට ජෝතිපාල සිනමාවේ අත්‍යවශ්‍යම ගායන ශිල්පියා බවට පත්ව සිටියේය. ඒ ඔහු සත්වු අපූර්ව ගැඹුරු ගි හ‍ඬෙහි ප්‍රතිභාව නිසාය. චිත්‍රපටයේ රූප රාමුව ඉල්ලා සිටින ගී හඬක් ජෝතිපාල සතුව ඒවන විට ‍ගොඩ නැගි තිබුණි.  සිනමා ශාලාවේ සිටින ප්‍රේක්ෂකයාගේ  බලාපොරොත්තුව වූයේද රංගන ශිල්පියාගේ රංගනයට නොදෙවෙනි ගී හඬක් සිනමා ශාලාව තුළ සිසාරා යනු දැකීමයි. ඒ නිසා  සිනමා හල් අතුරු සිදුරු නැතුව පිරෙන්නට නම් ගාමිණීගේ රංගනය සේම ජෝතිගේ ගායනයද සිනමාවට අත්‍යවශ්‍ය සාධක බවට පත්ව තිබුණි.

ඒ නිසාම ජෝතිපාල 70 දශකය ආරම්භ කරන්නේ නීල් රූපසිංහගේ චිත්‍රපටයකිනි. නිල් රූපසිංහගේ "දැන් මතකද" චිත්‍රපටයේ ගීත 06ක් ඇතුළත් විය. චිත්‍රපටය සංගිතවත් කළේ. පී.එල්.ඒ.සෝමපාල විසිනි. සියලුම ගීත කරුණාරත්න අබේසේකර‍යන් විසින් ලියා තිබු අතර ඒ ගීත 06 ම අද දක්වාම ජන මන බැන්දූ ගීත ලෙස හැඳින්විය හැකිය. සියලුම ගීත හින්දි අනුකාරක ගීත බව සඳහන් කළ යුතුය. මතු දැක්වෙන්නේ “දැන් මතකද” චිත්‍රපටයේ ඇතුළත් වූ ගීයකි.


ජෝති -        ආදරේ හිතෙනව දැක්කම
                   දෙවඟන වාගේ ලස්සනයි
                   පොඩ්ඩක් ඉන්න සුදෝ
                   මං එනවා ළඟටම දැන් හොඳයි

ඇන්ජලීන් -  ආදරේ හිතෙනව දැක්කම
                   දෙවඟන වාගේ ලස්සනයි
                   පොඩ්ඩක් ඉන්න සුදෝ
                   මං එනවා ළඟටම දැන් හොඳයි


ජෝති -        ඔබ සොයා ඉගිල එයි  මා හදේ භෘංගයා
                   හැංගුවේ ඇයි ප්‍රියේ මල් විලේ හංසයා
                   හැංගුවේ ඇයි ප්‍රියේ මල් විලේ හංසයා


ඇන්ජලින් -  හැංගුවේ නෑ කිසිත් ඇත්තමයි මා ඔබේ
                   මා සෙවූ මා පැතූ ආදරේ දැන් ලැබේ
                   මා සෙවූ මා පැතූ ආදරේ දැන් ලැබේ


                   ගීත පබැදුම: කරුණාරත්න අබේසේකර
                   ගැයුම: එච්.ආර්.ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක
                   සංගීතය: පී.එල්.ඒ. සෝමපාල
                   චිත්‍රපටය: දැන් මතකද
                   අධ්‍යක්ෂණය: නීල් රූපසිංහ
                   තිරගත වූ වසර :1970


 නීල් රූපසිංහගේ දැන් මතකද චිත්‍රපටය ගැලරියේ හුන් චිත්‍රපට ප්‍රේක්ෂකයාට නව ජවයක් සැපයූ එන්නතක් විය. ගාමිණීගේ රංගනයත් ජෝතිගේ ගායනයත් එකට පෑහී තිබුණි. ගාමිණීටත් ජෝතිටත් සිනමා හලේ ගැලරියෙන් ලැබෙන විසිල් පාර වළක්වන්න කිසිවකුටත් නොහැකිය. ජෝති මේ චිත්‍රපටයේම තවත් ගීත 03 ක් ගැයුවේය. "හිස් ටින් එකක් වාගේ ජීවිතේ" ( ජෝති/ බෙග්/ මිල්ටන්), අකල් වැස්ස තුරල් වෙලා ( ජෝති/ සුජාතා) , මේ සීත සුව දෙන රැයේ ( ජෝති/ සුජාතා) ගීත මෙන්ම එම්.එස්. ප්‍රනාන්දු ගැයූ "මැණිකෙ මම ආයෙ ගෙදර එනවා" ගීයද තිබුණේ මෙම චිත්‍රපටයේ මය.

එසේම එම වසරේම තිරගත වූ  "ගීතා" චිත්‍රපටයට ජෝතිපාල සහ  සුජතා අත්තනායක ගැයූ "මසිත විල්තල චංචලවේ" ගීතය සේම  ජෝතිපාල ගැයූ මේ ගීයද එදා මෙදා තුර සිංහල සිනමාවේ ජෝතිමත් නම රැන්දූ ගීතයක් විය. මේ ගීයේ තනුව ස්වතන්ත්‍ර ගී තනුවකි

                   දකින දසුනේ දෙනෙත ඇඳුනේ
                   සොඳුරු ඔබෙ රුව වේ
                   පවන ඇසුනේ සවන රැඳුනේ
                   ඔබගේ කට හඬ වේ
                   ඔබගේ කට හඬ වේ..


                   මහද විමනේ කැකුළු යහනේ
                   ඔබයි සැතපෙන්නේ
                   සිතක සිතුමේ පතන පැතුමේ
                   ඔබයි හිනැහෙන්නේ
                   ඔබයි හිනැහෙන්නේ...


                   දෙපස ගංගා දෙකක එක්වී
                   එක තැනට ආවේ
                   එකම ඒ ගං ජලය මුසුවී
                   සයුර තුළ පාවේ
                   සයුර තුළ පාවේ...


                   ගීත පබැදුම: කරුණාරත්න අබේසේකර
                   ගැයුම: එච්.ආර්.ජෝතිපාල
                   සංගීතය: ටී.එ‍ෆ්. ලතී‍ෆ්
                   ගී තනු නිර්මාණය: ගලගෙදර එම්.ඒ.එම්. හක්
                   චිත්‍රපටය: ගීතා
                   අධ්‍යක්ෂණය: ජෝ දේව් ආනන්ද්
                   තිරගත වූ වසර :1970



1970 වසරේම තිරගතවූ "ඔහොම හොඳද " චිත්‍රපටය දෙමළ චිත්‍රපටයක් අසුරින් නිපදවූවකි. ඒ චිත්‍රපටයටද ජෝතිපාල  එම්.කේ. රොක්සාමිගේ සංගිතයට ගිත දෙකක් ගායනා කළේය. ඒ අතර මේ ගීයද ජනප්‍රිය ගීතයක් බවට පත්විය.


කියන්නම් කතාවක් පාන්නද සිනාවක්
තවත් නෑ වෙලාවක්  හිතේ නෑ නිදහසක්
කියන්නම් කතාවක්

අහන්නම් කියන්නකෝ ඔබේ රස කතා දැන්
ළඟින් ඉන්නවා නම් මොකෝ දැන් පමාවක්
අහන්නම් කියන්නකෝ

සුදෝ සුදු වලාවේ රිදී හිරු සිනාසේ
ඔබේ රස නුරාවේ  මහද මත් වුනාවේ
මහද මත් වුනාවේ


අහන්නම් කියන්නකෝ ඔබේ රස කතා දැන්
ළඟින් ඉන්නවා නම් මොකෝ තව පමාවක්
අහන්නම් කියන්නකෝ

ගී ගගක් ගලන්නේ මා සවන් පිනන්නේ
මල් මිටක් වගේ මං ඔබ විලක් වුනා නම්
ඔබ විලක් වුනා නම්

කියන්නම් කතාවක් පාන්නද සිනාවක්
තවත් නෑ වෙලාවක් හිතේ නෑ නිදහසක්
කියන්නම් කතාවක්

ගීත පබැදුම: කරුණාරත්න අබේසේකර
ගැයුම: එච්.ආර්.ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක (මුල් ගැයුම)
පසු ගැයුම: සහාය ලතා වල්පොල
සංගීතය: එම්.කේ. රොක්සාමි
චිත්‍රපටය: ඔහොම හොඳද
තිරගත වූ වසර  :1970


මේ අයුරින් 70 දශකය ඇරඹෙද්දී සිංහල සිනමාවේ ස්වර්ණමය හඬ ලෙස ජෝතිගේ හඬ  මුල් බැස ගනිද්දි ජෝතිපාල චිත්‍රපට පසුබිම් ගියට අත්‍යවශ්‍යම සහ නැතුවම බැරි ගායකයා බවට පත්විය. ඒ නිසාම අනුකාරක ගීත එක දිගට ජෝති පසු පස පෙළ ගැහෙද්දි ඔහුට ඒ ගිත ගායනා කරන්න සිදුවූයේ නිෂ්පාදකයාගේ අවශ්‍යතාවය ඉටු කිරිමටය. 70 දශකය ආරම්භ වන විටම එකම චිත්‍රපටයේ ගීත දෙක තුනේ සිටි හයක් හතක් දක්වා ගැයිමටද ඔහුට සිදුවිය. ඒ ජෝතිගේ ගී හ‍ඬ සඳහා ලාංකේය වාණිජ සිනමාව  ඉල්ලූ හඬ පෞරුෂය ඔහු තුළින්  ගොඩ නැගී තිබූ නිසාය.෴

තවත් කොටසක් ලබන සතියේ...


ඔබේ හිතේ ජෝතිපාල පිලිබඳව විචාරාත්මක අදහසක් හෝ මේ ලියූ දේ ගැන විචාරයක් ඇත්නම් ලියන්න. කැමති විදියට ලිවිමට ඔබට නිදහස ඇත.

Related Posts Plugin for WordPress, Blogger...