එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Thursday 9 February 2012

ගීතයෙන් එහා ගිය සංධ්වනි සංගීතය හඳුනාගනිමු.....



අපි හැමදාමත් අහන එහෙමත් නැත්නම් ඇහෙන ගීත වලින් එහා ගිය සංගීත ක්‍රම මෙන්ම සංගීත ශෛලීන් රැසක් ඇතත්,  අපි කැමති නිතරම ගීතයේ මිහිර විඳින්නයි. විශේෂයෙන්ම ආසියාතික රටවල මේ ප්‍රවණතාවය වැඩිපුරම දක්නට ලැබෙනව.ඒත් බටහිර ලෝකයේ සංගීත රසිකයන් බහුතරය කැමති සම්භාව්‍ය සංගීත නිර්මාණවලටයි.ලංකාවෙ සංගීත රසිකත්වයත් ඒ වගේමයි. සම්භාව්‍ය සංගීතය අහන විඳින ඊට කැමැත්තක් දක්වන පිරිස ඉතාම අල්පයි.
ඒ කොහොම වෙතත් ලංකාවෙ බිහිවූ ඉතාම දුර්ලභ සංගීත රචනා එහෙමත් නැත්නම් සංගීත සංධ්වනි ( Symphony ) කීපයක් තියෙනවා. මේ සංගීත රචනා ඔබත් සමග විඳගැනිමට සිතුවා. ඒ නිසා ඒ සංගීත  සංධ්වනි ( Symphony ) අහන්න විදින්න කලින් සංගීත සංධ්වනි ( Symphony ) කියන්නෙ මොක්කද? කොහොමද එවැනි නිර්මාණයක් බිහිවෙන්නෙ,  කියල  හඳුනාගෙනම ඒ නිර්මාණ අහමු.
සංගිත සංධ්වනි ( Symphony ) විමසුමක් කරන්න තරම් ප්‍රමාණවත් දැනුමක් මා සතුව නැති නිසා පූර්ව සැලසුමක් හැටියට පුංචි පර්යේෂණයක් කරන්න කරන්න සිදුවුණා.ඒ පර්යේෂණයේදී මට හමුවූ කියවන්න ලැබුණු දේවල් තමයි අද සංගීත සංධ්වනි ( Symphony ) යටතේ ලියන්නෙ.
 සංධ්වනිය (Symphony)
බටහිර සගීත සම්ප්‍රදායේ වඩාත් සම්භාව්‍ය  සංගීත රචනා විශේෂය සංධ්වනිය ( Symphony ) ලොව මෙතෙක් පහළ වූ ශ්‍රේෂ්ඨ සංගිතඥයින්ගේ සංධ්වනි ( Symphony ) රචනා වලින් බටහිර සංගිතය පෝෂණය වී ඇත.
සංධ්වනි සංගිතය බටහිර සංගිතයටම ආවේණික වූවකි. බටහිර ඔපෙරාවක් ආම්භයේ වාදක මණ්ඩලයක් විසින් ඔපෙරාවේ මුලික තේමාව සම්පිණ්ඩනය කොට දැක්වීම  16 වන සියවසේදී හැඳින් වූයේ "සින්ෆෝනියා" (sinfonia) යනුවෙනි. කිසියම් නිශ්චිත නාද රූප රටාවක් අනුව කළ මෙම වාදන සංධ්වනි සංගිතයේ ආරම්භය ලෙස සලකයි.ඔපෙරා වලින් වෙන් වූ ස්වාධීන සංගීතාංගයක් ලෙස දියුණු වූ "සංධ්වනිය"  වර්තමාන ස්වරුපයට පත් වූයේ 18 වන සියවසේ  විසූ "හයිඩන්" අතිනි. ඒ හරහා  නිශ්චිත ස්වරූපයක් ලබාගත් "සංධ්වනිය"  ප්‍රබල අත්දැකීම් හකුළුවා දැක්විය හැකි ශ්‍රේෂ්ඨ සංගිත නිර්මාණ තත්වයට  පත් කළේ බීතෝවන් විසිනි.
විවිධ වාදන භාණ්ඩ එකවිට නාද කිරීමේ සමූහ වාදනය  (Orchestra ) පසු කාලීනව අලුත් අලුත් සංගීත භාණ්ඩ එකතුවීමෙන් එහි නාද රූප පද්ධතිය  පුළුල් සංධ්වනියක් දක්වා විකාශය විය. මෙය අද සමූහ වාදනය (සංධ්වනි) යනුවෙන්  සැළකිමට බොහෝ දෙනෙක් පුරුදු වී සිටි.
( සංස්කරණ සහිතව උපුටා ගැනීම: කේමදාස න්‍යාය භාවිතය සහ අරගලය / ලූෂන් බුලත්සිංහල, )
( තොරතුරු උපුටා ගැනීම  : සංගිතයේ හෙට දවස කේමදාස / උපුල් ගුරුගේ)
සොනාටා ( Sonata)
සොනාටා ( Sonata) යනු කෙටි සංධ්වනි විශේෂයකි. දීර්ඝ සංධ්වනියක් සාමාන්‍යයෙන් ප්‍රධාන කොටස් තුනකින් සමන්විතවේ.ඉන් දෙවන කොටසේ සංගීතය ගලා යාම වේගවත්ය. සංධ්වනියක් රචනා වී ඇත්තේ මුලු රචනාවටම කේන්ද්‍රිය වූ තේමාවක් ඔස්සේය. එය විවිධ වර්ණ සහ හැඩතල ගනිමින් විවිධ රිද්ම ඔස්සේ නාට්‍යමය උච්චාවස්ථාවක් කරා ඇදීයන නාට්‍යයක් සේ සංගීතමය භාව ප්‍රකාශනයක නිරත වේ.
සංධ්වනියක් රස විඳීමේදී එම සංධ්වනි ආකෘතිය පිළිබදව අවබෝධයද,එක් එක් සංගීත කරුවන්ගේ සුවිශේෂ සංගීත භාවිතය පිළිබඳවද අවබෝධයක් තිබීමෙන් ඒ සංධ්වනිය වඩාත් සියුම්ව රස විඳීමට හැකිවේ.
සංගීතය මෙහෙයවන්නා (Music Conductor)                      
කිසියම් විශිෂ්ඨ සංගීත සංධ්වනියක් මෙහෙයවන්නා එහි මුල් සංගීත රචනාවේ සියළු භාව ප්‍රකාශයන් ද, එහි රිද්මයද, එහි කාල පරාසයද,  අතැඹුලක් සේ මැනැවින් දන්නා සංගීත වේදියෙකි. සංගීතය මෙහෙයවන්නා (Music Conductor) විසින් පුනර් ජීවනයට පත් කරන්නේ එහි මුල් සංගිත නිර්මාණකරුවාගේම අධ්‍යාත්මයයි.
( සංස්කරණ සහිතව උපුටා ගැනීම: කේමදාස න්‍යාය භාවිතය සහ අරගලය / ලූෂන් බුලත්සිංහල, 95, 96 සහ 98 පිටුවලින් )
නිදසුනක් ලෙස මුල් සංධ්වනි සංගීත රචනාව විනාඩි 35 තත්පර 10 කින් අවසානයට පත්ව තිබුනේ නම්, නැවත එම සංධ්වනිය ඉදිරිපත් කරන සෑම අවස්ථාවකම එම සංධ්වනි සංගීත රචනාව විනාඩි 35 තත්පර 10 කින් අවසාන කළ යුතුමය.  එය සංගීතය මෙහෙයවන්නාගේ කීර්තියට හේතු වනවා පමණක් නොව සංගීත රචනාවේද විශිෂ්ඨත්වයටද  හේතුවේ.යම් අවස්ථාවක  ඒ සංගීත රචනාවෙන් එක තත්පරයක් අඩු වුව හොත් හෝ තත්පරයක් වැනි කාලයක් වැඩි වුවහොත් මුල් සංධ්වනියේ සංගීත රචනාවෙන් මුලුමනින්ම බැහැර වූ අරුතක් එයින් ජනිත වේ. ඒ නිසා සංධ්වනියකදී සංගීතඥයාට වගේම සංධ්වනි මෙහෙයවන්නාට මනා හික්මීමක් මෙන්ම  සංයමයක් ද, මනා පළපුරුද්දක්ද  තිබිය යුතුය.
සංධ්වනි වාදක මණ්ඩලය (Symphony Orchestra )                       
සංධ්වනි වාදක මණ්ඩලයක සාමාජික සංඛ්‍යාව එක එක සංධ්වනිය අනුව වෙනස් වේ. සංධ්වනියේ ප්‍රධාන භූමිකාව නියෝජනය කරන්නේ එහි සංගීතය මෙහෙයවන්නායි. (Music Conductor) විශ්ව කීර්තියට පත් සංගීතඥයින් මෙන්ම සංධ්වනි සංගිත මෙහෙයවන්නෝද සිටිති.
සංගිතඥයෙකුට හෝ සංගිතය මෙහෙයවන්නෙකුට (Music Conductor ) තමාගේ වාද්‍ය ශිල්පීන් හා සංගිත භාණ්ඩ  පිහිටුවන ආකාරය වෙනස් කර ගැනිමට නිදහස තිබේ.  එසේ වුවද සංගිත භාණ්ඩ පිහිටුවීමේ පිළිගත් සම්පුදාය පිළිබඳව ඔහු නිසි අවබෝධයක් තිබිය යුතුවේ. යම් කිසි සංගීතඥයෙක් හෝ සංගිත මෙහෙයවන්නකු මූලික ක්‍රමයෙන් බැහැරව වෙනසක් සිදු කරනු ලබන්නේ විශේෂිත වූ ඉදිරිපත් කිරිමක් හෝ සංධ්වනි සංගීතයකින් එවැනි වෙනස්කමක් කරන්නේ වඩාත් සාර්ථක වෙනස් වූ ප්‍රතිඵලයක් අපේක්ෂාවෙනි.
කෙසේ වුවද යම් කිසි සංගීතඥයෙකුට හෝ සංගිත මෙහෙයවන්නකුට සංධ්වනි වාදක මණ්ඩලය (Symphony Orchestra ) ස්ථානගත කිරීමේ සම්ප්‍රදාය පිලිබඳ මනා අවබෝධයක් තිබිම මෙහිදී ඉතා වැදගත් වේ. විවිධ සංගිතමය නාද මාලා  මැනැවින් සංයෝජනය වන්නේ ඊට අදාළ සංගී භාණ්ඩ ඊට අදාළ ස්ථානයේ ස්ථානගත කළ හොත් පමණි.
සංධ්වනියක වාදක මණ්ඩලය පිහිටුවන ආකාරය:
සාමාන්‍යයෙන් සංධ්වනියක වාදක මණ්ඩලය (Symphony Orchestra ) සදහා සංගිත භාන්ඩ 100 ක් පමණ උපයෝගි කර ගනු ලැබේ. එය සංගීතඥයාගේ හෝ සංගිත මෙහෙයවන්නාගේ කැමැත්ත සහ පවතින සම්පත් ප්‍රමාණය අනුව තිරණය කෙරේ. එය සාමාන්‍යයෙන් කොටස් 04 ක් යටතේ ප්‍රභේදනය කොට පහත දැක්වෙන පරිදි වාදක මණ්ඩලයේ වාද්‍ය ශිල්පින් ස්ථානගත කරනු ලැබේ. මෙම ප්‍රමාණය අඩු විමට හෝ මීට වඩා වැඩිකරගැනිමට හැකිය.
තත් භාණ්ඩ  ( Strings Family )            60 ක් පමණ
සුෂිර භාන්ඩ ( Wood Winds Family )   15 ක් පමණ
ගණ භාණ්ඩ  ( Brasses Family )           15 ක් පමණ
තාල භාණ්ඩ ( Precnsion Instruments Family )   10 ක් පමණ
( තොරතුරු උපුටා ගැනීම  : සංගිතයේ හෙට දවස කේමදාස / උපුල් ගුරුගේ 50 සහ 51 පිටු වලින්)
ලෝකයේ මෙතෙක් පහළ වු සංධ්වනි  සංගිතවේදින්:
ජොහාන් සෙබස්තියන් බාක් ( Joahann Sebastian Bach) 1685 - 1750
බාර්ක් ජර්මන් ජාතික සංගීතඥයෙකි. කලා ඉතිහාසයේ වැදගත්ම යුගයක් ලෙස සැළකෙන 'බැරොක් " යුගයේ නිර්මාණය වූයේ ආගමික භක්තිය පදනම් කරගත් ආධ්‍යාත්මික සංගිත ක්‍රමයකි.  බාර්ක් ගේ සංගිත රචනා අතර  සුවිශේෂ රචනා විශේෂය " ෆියුජ් " නමින් හඳුන්වයි. ඉතා දුෂ්කර සංගිත රචනා විශේෂයක් වූ "ෆියුජ්" කටහඬවල් රැසක් සඳහා රචනා වූවකි. හැම කටහඬකටම වෙන් වෙන්ව නිර්මාණය වූ තනු රාශියක් එකවර ගායනා වන නමුත් ඒ හැම තනුවක්ම එකිනෙකට නො ගැටී මනා සෞන්දර්යයකින් යුතුව එකම වියමනක් බවට පත්වීම මෙහි ඇති ලක්ෂණයයි.
පීටර් ඉලීච් චයිකොව්ස්කි (Peter Ilich Tchaikovsky) 1840 - 1893
චයිකොව්ස්කි ලෝකයේ වඩාත් ශ්‍රේෂ්ඨත්වයට පත් වූයේ බැලේ නැටුම් සංගීතය හේතුවෙනි. ඒ අතරින් එහු සංගිත නිර්මාණය කළ  නට්ක්‍රැකර් ( Nutcracker ) ස්ලීපිං බියුටි ( Sleeping Beauty) සහ ස්වෝන් ලේක් ( Swan Lake ) ලෝකයේ ඉතාමත් ප්‍රකට බැලේ නැටුම් වේ.
චයිකොව්ස්කි සිය ජිවිත කාලය තුළදී පියානෝ සංවාදන තුක්ද ( Piano Concert ) වයලින සංවාදන ( Violin Concert ) එකක්ද, සංධිවනි රචනා ( Symphonies) හයක්ද, නිර්මාණය කළේය. ඒ අතරින් "ශෝකජනක" ( Pathetic)  සංධ්වනිය ඔහුගේ ජීවිතයේ අවසන් භාගය පිළිබිඹු කරන්නකි. රැසියානු සමාජය ඔහුගේ පෞද්ගලික ජිවිතය අසම්මත වූවකැයි සැළකිම නිසා ඔහු බලහත් කාරයෙන්ම සම්මත විවාහ ජිවිතයකට ඇතුළත් කරන ලදි. පසුව එය ඔහුගේ ජීවිතයේ ශෝකාන්තයක් බවට පත්විය.                                      
සර්ජි ප්‍රොකොෆිව් ( Sergi Prokofieve ) 1891 -1953                 
රුසියාවේ පුනර්ජීවන යුගයේ ජීවත් වූ සර්ජි ප්‍රොකොෆිව් රුසියානු සිනමා සංගීතයේ දියුණුව වෙනුවෙන් ජිවිතය කැප කළේය. "ලුතිනන් කීජේ"  සහ "ඇලේක්සැන්ඩර් නෙව්ස්කි"  ඔහුගේ විශිෂ්ඨ සිනමා සංගීත නිර්මාණ අතර වේ. සංගීත සංධ්වනි සහ බැලේ නැටුම් රාශියක් ද  සර්ජි ප්‍රොකොෆිව් රුසියානු සංගිතයට දායාද කළේය.
ලුඩ්විග් වැන් බීතෝවන් ( Ludwig Van Beethovan ) 1770 - 1827
ලුඩ්විග් වැන් බීතෝවන් ලොව මෙතෙක් පහල වූ විශිෂ්ඨතම  සංගිතවේදියා ලෙසද සළකනු ලැබේ. ඔහු අති විශිෂ්ඨ සංගීත සංධ්වනි රැසක් බිහිකිරිමට පුරෝගාමී වූවෙකි. ඔහුගේ භාව පූර්ණ සහ භාවාතිශය සංගිත රචනා අතර " සඳඑළිය" ( Moon Light ) සංධ්වනිය විශිෂ්ඨ නිරමාණයක් වේ. බීතෝවන් වරෙක නැපෝලියන් අධිරාජ්‍යාට උපහාර පිණිස කළ තුන්වන සංධ්වනිය නැපෝලියන් කෲර පාලකයෙක් වූ පසුව එම සංධ්වනියෙන් නැපෝලියන්ගේ නම  ඉවත් කර   "නිදහස් සංධ්වනිය"යනුවෙන් නම් කරන ලදි.බීතෝවන්ගේ පස්වැනි සංධ්වනිය
( 5th Symphony ) රචනා කරන ලද්දේ ලෝක යුද්ධ සම‍යක දීය.
බීතෝවන්ගේ ලෝක පූජිත අති විශිෂ්ඨ නිර්මාණය ලෙස අවිවාදයෙන් පිළිගනු ලබන්නේ නවවන සංධ්වනියයි. ( 9th Symphony ) එය පෙඩ්රික් ෂිලර්  නම් ජර්මන් කවියාගේ නිදහස නම් වු කවියේ අර්ථය ආත්මය කොටගෙන නිපදවූ සංගිත රචනාවයි.පස්වැනි සංධ්වනිය රචනා කරමින් සිටින විට බීතෝවන්ගේ දෙසවන් බිහිරි වෙමින් තිබූ අතර නව වන සංධ්වනිය             (9th Symphony ) ඉදිරිපත් කරන අවස්ථාවේ සම්පූර්ණයෙන්ම බිහිරි ව සිටියේය. බීතෝවන්  මෙම සංධ්වනියේදී සම්ප්‍රදාය බිඳිමින් ප්‍රථම වරට මිනිස් කටහඬ සංධ්වනි සංගීතයට යොදා ගත් අතර, වර්තමානයේ යුරෝපා සංගමයේ ජාතික ගීය බවට පත්ව ඇත්තේ බීතෝවන්ගේ මෙම නව වන සංධ්වනිය යි. 
 
ප්‍රේමසිරි කේමදාස ( Premasiri Khemadasa )  1937 – 2008

ප්‍රේමසිරි කේමදාස ලංකාවේ බිහි වූ අද්විතීය සංගීතඥයා. සිංහල චිත්‍රපට 130 කට ආසන්න ප්‍රමානයක්ද, දෙමළ චිත්‍රපටයක්ද, බටහිර ඉංග්‍රීසි චිත්‍රපට දෙකකද, ටෙලිනාට්‍ය 25 කට ආසන්න ප්‍රමාණයක්ද. වේදිකා නාට්‍ය 25 කට ආසන්න ප්‍රමාණයකද සංගිත නිර්මාණය කළේය. මීට අමතරව ගීත නාටක 03 ක්ද, සංගිත සංධ්වනි 04 ක්ද, කැන්ටාටා 02 ක්ද, ඔපෙරා 04 ක්ද  සිය ජීවිත කාලය තුළදී නිර්මාණය කළේය. ශ්‍රි ලාංකේය සංගීතය ජාත්‍යනත්ර තලයට ගෙනයාමට මහත් වෙහෙසක් ගත්තේය.

 මේ නිර්මාණ අතරින් 1967දී සිංහල අවුරුද්ද ( The New year Symphony  ),  1969 දී මුහුද ( Sea Symphony ), 1972 දී නියගය හා වැස්ස (Drought and Rain Symphony ) 1978 දී මගේ කාලයේ මවුනි  (Mother Of My Time )  යන සංධ්වනි ඉදිරිපත් කළේය. ශ්‍රී ලංකික සංගීතවේදියෙකු විසින් ප්‍රථම වරට ඉදිරිපත් කල සංධ්වනියක් ලෙස සිංහල අවුරුද්ද ( The New year Symphony  ) ඉතිහාසගතවේ. කේමදාසයන්ගේ මගේ කාලයේ මවුනි  (Mother Of My Time ) සංධ්වනිය ඔහු ජාත්‍යන්තර සංගිතඥයෙකු බවට පත් කළ විශිෂ්ඨතම නිර්මාණයයි.
( තොරතුරු උපුටා ගැනීම  : මාස්ටර් සංගීත යුග යාත්‍රිකයා / සංස්කරණය සමන්ත හේරත්, බුද්ධදාස ගලප්පත්ති, ලූෂන් බුලත්සිංහල, ගාමිණී සුමනසේකර 245 - 248 පිටුවලින්)

ප්‍රේමසිරි කේමදාසයන් විසින් නිර්මාණය කළ මේ සංධ්වනි අතරින් අතිශය දුර්ලභ සංධ්වනියක් ඊළඟ දවසේ විඳිමු...෴
බීතෝවන්ගේ නව වන සංධ්වනිය මෙතනින් අහන්න කැමති නම් බාගන්න
Beethoven 9th Symphony, Himno a la alegria

Powered by mp3skull.com

සංධ්වනි සංගීතය ගැන අදහසක් ඇත්නම් ලියලම යන්න. එය  ඊළඟ දවසට වැදගත් වේවි.

23 comments:

  1. හ්ම් හොඳම විස්තරයක්. මමත් මියුසික් කරන නිසා ටිකක් ඔය ගැන දන්නවා. කේමදාස සර් නම් ගොඩක්ම හොඳයි. දෙවියෙක් වගේ. හැබැයි වැරදුනොත් නම් අම්බානකට අහගන්න වෙනවා. මමත් මුලින් සංගීත ඉගෙන ගත්තා. සර් නැතිඋනාට පස්සේ තමයි වෙන තැනකට ගියේ. සර් නැති උන එක නම් ලොකුම පාඩුවක් මට... :(

    ReplyDelete
    Replies
    1. බිම්සර..ට
      මාස්ටර් ඇසුරේ සංගීතය හැදෑරූ ඔබ වන් කෙනෙක් තබා ගිය මේ සටහන දුටුවාම මට ටිකක් පුදුම හිතුනා. මාස්ටර් යමක් කියලා දුන්නේ වරදින්න නෙවෙයි. ඒ නිසා මාස්ටර් ගේ හැටි එහෙමයි කියලා මාත් අහල තියනවා.

      Delete
  2. මෑතකදි බලපු Copying Beethoven (http://www.imdb.com/title/tt0424908/) කියන චිත්‍රපටියෙ තියෙන්නෙ බීතෝවන් ඔය symphony 9 කියන නිර්මාණය කරපු කාල වකවානුවෙ කතාවක්... ඒ චිත්‍රපටිය ඒ තරම්ම ජනප්‍රිය නොවුණට මම නම් ආසාවෙන් රස විදපු එකක්!

    බොහොම ස්තූතියි මේ විස්තර ටිකට... මේ නිර්මාණ වැඩිය ඇසුරු කරල නැති නිසාම ඒව අතරෙ තියෙන වෙනස්කම් දැණෙන්නෙ නැති තරම්. ඒ වුණාට ඒ පැරණි සංගීතඥයන්ගෙ නිර්මාණ සෑහෙන්න ඇඟට දැණෙන දේවල්...

    ReplyDelete
    Replies
    1. @.... hare
      බීතොවන් ගැන නිර්මාණය වූ චිත්‍රපට කීපයක්ම තිබුණා.ඒ හැම එකක්ම සංගිතය ඇසුරින් බිහිවූ චිත්‍රපට . අසාවෙන් රස විඳින්න පුළුවන්.

      සංධ්වනි නිර්මාණ කීපයක් විවේකීව අහන්න. ඊට පස්සෙ වෙනස දැනෙනවා. ස්තූතියි දැක්වූ අදහස්වලට

      Delete
  3. මම නම් පාසලේදී විෂයක් වශයෙන් හැදෑරුවේ චිත්‍ර විෂයයි.. ඉන් පසුවත් සංගීතය පැත්තට යොමු වීමට ඉඩක් ලැබුණේ නෑ... ඒ නිසා සංධ්වනි පිලිබඳ නම් මට අවබෝධයක් නෑ.. නමුත් කේමදාසයන් සංගීතවත් කළ "කන්‍යාවී" ගීතය මා බොහෝ ප්‍රිය කරනවා...

    ReplyDelete
    Replies
    1. ශානි... ට

      ශානි, චිත්‍ර වගේමයි සංගිතයත්, මම ඔය විෂයන් දෙකම හදාරලා නැහැ. නමුත් භාවිතයෙන් යම් රස වින්දනයක් ගොඩනගාගෙන තියනවා. ඉඩක් ලැබන විට අන්තර් ජාලයෙන් සංධිවනි දෙක තුනක් හොයාගෙන නිස්කාංසුවේ අහන්න. එතකොට සැබෑ වෙනසක් දැනේවි.ස්තූතියි දැක්වූ අදහස්වලට

      Delete
  4. මම කැමතිම මාතෘකාවක් ගැන අද ලියලා තියෙන්නේ :)
    බිතෝවන් සහ මෝසාර්ට් ගේ සිම්පනි වලට තමයි මම නම් ගොඩක්ම කැමති..Johann Sebastian Bach ගේ Air අහල බලන්නකෝ...භාතිය සන්තුෂ් ගේ "වසන්තයේ පිබිදෙන මල්" සින්දුව එහෙම පිටින්ම හදලා තියෙන්නේ ඒකෙන්..ඉතාමත් ලස්සනයි..

    එතකොට බිතෝවන් ගේ 6 වන සිම්පනිය මුල්ම කොටස අහල බලන්න එයාලගෙම තවත් ලස්සන සින්දුවක් මතක් වෙනවද කියලා...:)

    //ප්‍රේමසිරි කේමදාස ලංකාවේ බිහි වූ අද්විතීය සංගීතඥයා.//
    අවිවාදයෙන් පළිගන්නවා...එතුමා ගැනත් විස්තරයක් අයියාගේ අතින් කවද හරි ලියවෙයි කියලා හිතනවා...ඔහුගේ "පිරිනිවන් මංචකය" කියන "කැන්ටාටා" ව මම දැකල තියනවා..ඒත් මේ සඳහන් කරලා තියන සිම්පනි වැඩි හරියක් අහලා නැහැ...අහන්න පුළුවන් තැනක් කිව්වොත් ලොකු දෙයක්..

    බොහොම ස්තුතියි මේ වටින ලිපියට..

    ReplyDelete
    Replies
    1. සයුරී.. ට

      මටත් ටිකක් පොඩි තිගැස්මක් තිබුණා මේවගේ මාතෘකා සහ විෂයන් බ්ලොග්වලට කොයිතරම් ගැලපේද කියලා. මුලින්ම කේමදාස මාස්ටර්ගේ සංධිවනියක් ගැන ලියන්න තීරනය කරලා පස්සෙ ඒක කල්දැම්මා ඊළග ලිපියට.
      මම Bach ගේ සංධිවනි අහලා තිබුණත්, අවාසනාවට භාතිය සංතූෂ්ගේ ගී අහලා නැහැ මොකද මට ඒ අයගේ නිර්මාණ එතරම් ගෝචර නැති නිසා.

      කේමදාස මාස්ටර් ගැන විවිධ පැති ඔස්සේ ලියන්න අපේක්ෂා කරනවා එහි පළමු පියවර තමයි මේ.
      කේමදාස මාස්ටර් කළ මේ සංධ්වනි 04 ඒවා නිර්මාණය කළ කාල වකවානු අනුව කැසට් හෝ සී.ඩී. කිසිවක් නිකුත් කරලා නැහැ. නමුත් ඒකාලේ යම් පටිගත කිරිමක් සිදුවෙලා තියෙනවා.

      එයින් පිටපත් කීපයක් මමත් මීට අවුරුදු 10 - 15 කට විතර කලින් අමාරුවෙන් හොයාගත්තා, ඒ නිසා ඉදිරියේ "අස්වැන්නෙන්" ඒ අගනා දුර්ලභ සංධ්වනිවල මිහිර බෙදාගමු

      Delete
  5. මමත් ගොඩාක්ම ආස විශයක් තමා සංගීතය කියන්නේ, සංගීතය ගැන නම් මහා ලොකු දැනුමක් නම් මට නෑ.. ඒත් බිතෝවන්ගේ සිම්පනි වලට මම ගොඩක් කැමතියි. ඒ වගේම කේමදාස මාස්ටර්ගේ සංගීතයටත්. ඉතාමත්ම වැදගත් , වටින ලිපියක්..

    ReplyDelete
    Replies
    1. ප්‍රාර්ථනා..ට

      ගීතය, සංගිතය, සංධිවනි, වගේ විවධ සංගිත ක්‍රම සහ එහි භාවිතය ගැන හොයලා බ්ලොග් ලියන , කියවන, අපි අපි අතර බෙදාගමු. අපි අපේ රසවින්දන පරාසයන් අලුත් ඉසව්වලට යොමු කරමු. එතකොට මේ හැම සිතුවිල්ලක්ම අලුත් වේවි.

      ස්තුතියි ඔබේ පැමිණීමටත්, සටහනටත්.

      Delete
  6. කේමදාස මාස්ටර් ගේ ශෛලියට ගොඩක් ම කැමතියි!
    වර්තමානයේ යානි(yani)ගේ සංගීතයටත් කැමතියි !

    ReplyDelete
    Replies
    1. නුවන්... ට

      නුවන් මමත් එහෙමයි. විවේකයක් ලැබෙන හැම වෙලාවකම මාස්ටර්ගේ සංගිත ලොක්යේ මිහිර විඳින්න බොහොම කැමතියි. ඒ වගේමයි යානි.. ඔහුගේ කොන්සර්ට් මාර ගති.

      ස්තුතියි ඔබේ අදහස්වලට

      Delete
  7. මම සංගීතය න්‍යායානුකූලව හදාරපු නිසා සංගීතඥයෝ ගැන නම් විස්තර දැනගෙන හිටියා. ඒත් කවදාවත් සිම්පනියක් හෝ ඔවැනි ජාතියේ සංගීතයක් සජීවීව රසවිඳලා නෑ..(රූපවාහිනියෙ බලලා ඇතී)

    ඔය සිම්පනිවල තියෙන්නෙ ශබ්ද රසයක් විතරද අර්ථ රසයක් නැද්ද? මට හිතෙන විදිහට නම් ඒවාට නම් යොදන්නෙ අර්ථ රසය අනුව..නමුත් ඒ අර්ථය තේරුම් ගන්න නම් සංගීතය පිළිබඳ දැනුමැත්තෙක් විය යුතුයි නේද?

    මේ ප්‍රශ්නය අවුරුදු ගානක් හිතේ තිබුනු ප්‍රශ්නයක්...මෙහෙයවන්නා සිම්පනියේ සම්පූර්ණ වගකීම දරනවාද? වෙනත් විදිහකට කියනවානම් මෙහෙයවන්නා ලබාදෙන සංඥා (අපිට නොතේරෙන ) අනුවමද වාදකයෝ වැඩ කරන්නේ නැතිනම් පෙර පුහුණුවීම් වලට අනුවද? මෙහෙයවන්නා වැරදි සංඥාවක් දුන්නොත් වාදකයා වැරදියට වාදනය කරනවාද? නැතිනම් පුරුදු නිවැරදි තනුවට වාදනය කරනවාද? මට නම් ඉස්සර හිතුනෙම බොරුවට කෝට්ටක් වනනවා කියලා :)

    බීතෝවන් බිහිරිව ඉද්දී කොහොමද සිම්පනියක් හැදුවේ කනින් නොඅසා? සංගීතය පිළිබඳ මනා දැනුම නිසා ස්වර ප්‍රස්තාර නිරූපණයෙන් හැදුවාද?

    නොදන්නා ක්ෂේත්‍රයක් පිළිබඳ දැනුවත් කළාට ඔබ්තුමාට බොහොම ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. හරී..ට

      ඔබේ තර්කානුකූල අදහස් දැක්වීමට මම ඉතාමත් කැමතියි. මොකද මේ ඔස්සේ අලුත් රසවින්දනයක් ගොඩනගා ගත හැකි නිසා.

      සිම්ෆනි මුලුමනින්ම අර්ථ රසයෙන් පරි පූර්ණයි. ශබ්ද රසයක් එහි නැහැ. වර්ණවත් වූ නාද මාලාවක් යම් තේමාවක් ඔස්සේ විකාශය වෙනවා ඒක තමයි සිම්ෆනි සංගීතයක හැඩය.

      සිම්ෆනියේ වග කීම මුලුමනින්ම මෙහෙයවන්නා දැරිය යුතුමයි. එසේ නොවුනොත් එතැන සිම්ෆනියක් බිහිවන්නේ නැහැ. විය යුතුමයි.

      සිම්ෆනියක වාදකයේ අති විශාල කැපකිරීමක් කර ඒ සඳහාම පුරුදු විය යුතුයි. මෙහෙය වන්නා දෙන සංඥා තේරුම් ගැනීමත් වාද්‍ය නිපුණත්වයත් අත්‍යවශ්‍යයි. අපේ රටේ එවැනි කැපකිරිම් කරන්න සිටින වාදක පිරිසක් නැහැ. ඒ නිසයි සංධ්වනි අපේ රටේ බිහි නොවන්නෙ.

      මෙහෙයවන්නා වැරදි සංඥාවක් දුන්නොත් ඔහු සංගිතයේ පරතෙර දත් අති විශිෂ්ඨයෙකු වන්නේ නැහැ.

      බීතොවන් අතිවිශිෂ්ඨයෙකු වන්නේ ඔහුගේ දෙසවන නෑසී සංගිතනිර්මාණය කල නිසා. නව වන සංධ්වනිය මුලින්ම ඉදිරිපත් කළ අවස්ථාවේ ප්‍රේක්ෂකාගාරයේ උණුසම් ප්‍රතිචාරය ඔහුට නොදැනුන නිසා ඔහුව වේදිකාවට ඔසවාගෙන ගොස් ප්‍රේක්ෂක ප්‍රතිචාර පෙනීමට සැලැස්වූ බවයි ඉතිහිසයේ සදහන් වෙන්නනේ.
      හරී.. ඔබට බෙහෙවින්ම ස්තුතියි දිගු අදහස් දැක්වීමට..එන්න අපි එකම මාවතක සිට අලුත් ඇසකින් ලෝකය වෙනස් කරමු.

      Delete
    2. ස්තුතියි පිළිතුරුවලට.. ඒ කියන්නේ ලංකාවේ අපට සජීවීව සිම්පනියක් රසවිඳීමේ වාසනාව නැතිද?

      Delete
    3. හරී..ට

      කේමදාස මාස්ටර් මියගියාට පස්සේ සිම්ෆනියක් නැවත රසවිඳීමේ භාග්‍ය ඈතට ඇදී ගිලිහී ගිය වගක් පෙනුණා.. ඒත් ජාථයන්තරයේ යම්කිසි තරමකට කිර්තියක් අත්කරගත් තරුණ සංගිතවේදියෙකුගේ පුනරාගමනයක් සටහන් වෙමින් පවතිනවා. මට හිතෙන විදියට ඉදිරි අනාගතයේදී අපිට තවත් කේමදාස වගේ වැඩකාරයෙක් හමුවන ලකුනු දැනටමත් පහලවෙලා..
      මම ඔහු ගැන තව සති කිපයකින් ලියන්නම්.

      Delete
  8. මම සංගීතය ඉගෙන ගන්න කාලේ මේ කියපු සමහර දේවල් ඉගෙන ගත්තා.
    ඒත් දැන් මතක නෑ. මේ ලිපියෙන් ඒ මතකය අළුත් උනා.

    මටත් හරීට තියෙන ප්‍රශ්නේ තියෙනවා. අපට සජීවි සංගීත සංද්වනියක් රස විඳින්න අවස්ථාව නැද්ද ?

    ReplyDelete
    Replies
    1. මධුරංග..ට
      ස්තුතියි ඔබේ සටහනට..
      ඒත් ජාත්‍යන්තරයේ යම්කිසි තරමකට කිර්තියක් අත්කරගත් තරුණ සංගිතවේදියෙකුගේ පුනරාගමනයක් සටහන් වෙමින් පවතිනවා. මට හිතෙන විදියට ඉදිරි අනාගතයේදී අපිට තවත් කේමදාස වගේ වැඩකාරයෙක් හමුවන ලකුනු දැනටමත් පහලවෙලා..
      මම ඔහු ගැන තව සති කිපයකින් ලියන්නම්.

      Delete
  9. වැදගත් ලිපියක්.. ස්තූතියි ....

    ReplyDelete
    Replies
    1. සම්මානි..ට

      ස්තුතියි ඔබේ පැමිණීමටත්.. සටහනටත්..

      Delete
  10. මේ වගේ කරුණු සිංහලෙන් වගේම සරලව බ්ලොග් අවකාශේ දැක්කාමයි. ස්තුති දැනුම බෙදා ගත්තාට

    ReplyDelete
  11. පුදුමෙකට වගේ මේ ලිපිය මට මග හැරිලා.. බොහොම වුවමනාවෙන් කියවන්න හිටි ලිපියක්..

    ReplyDelete
  12. දයා අයියා දැන් මේ වගේ ලිපි නොලියන එක නම් හරිම අපරාධයක්... අස්වැන්න පුරන් වුණු කුඹුරක් කරන්න එපා අප්පා...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...