එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Thursday, 19 April 2012

෴ රාවණ නාදයේ සිට විශ්ව සංගීතය කරා... ෴

පළමු කොටස
හැමදාම අස්වැන්න තුළින් මෙරට ප්‍රවීන නිර්මාණකරුවන්ගේ නිර්මාණ පිළිබඳව නිරන්තයෙන් කතා කළත්, නව පරපුර සහ ඔවුන්ගේ නිර්මාණ පිලිබඳව කතා කළේ ඉතාමත් අඩුවෙන්. අස්වැන්න කියවපු බොහෝ දෙනෙක් මගෙන් විමසු‍වෙ ඇයි නව පරපුර ගැන කතා නො කරන්නෙ කියලා ඒ නිසා නව පරපුරේ කලා නිර්මාණ පිළිබඳවත් අස්වැන්න තුළින් මට හිතෙන සහ දැනෙන දේ ලියන්න සිතුවා. ඒ නිසා අද අස්වැන්න තුළින් මෙරට කිසිම විචාරයකට හසු නොවූ එවන් විශේෂ දක්ෂතාවයක් සහ හැකියාවක් සතු  යොවුන් සංගිත වේදියෙකු පිලිබඳව සහ  ඔහුගේ නිර්මාණ පිළිබඳව කතා කරන්න හිතුවා. ඒ සඳහා පූර්විකාවක් හැටියට ටිකක් ඈත් අතීතයේ බුදුන් දවසටම ගිහින් මේ කතාවට කෙටි ඌණ පූරණයක් එකතු කරමින් ම ඔහුගේ සංගිත නිර්මාණ පිලිබඳව කතා කරමු.
සූරිය වච්චසා නම් වූ ගාන්ධර්ව යුවතිය පිලිබඳව "පංචසිඛ " ( පන්සිළු) තමා විසින් නිර්මාණය කරන ලද මධුර තනුවකින් සරසා වීණාව වයමින් බුදු හිමියන් ඉදිරිපිට මිහිරට ගී ගැයීය. පන්සිළු එසේ ගී ගයමින් වීණාව වාදනය කළේ බුදුන් වහන්සේ අභියස බව දීඝ නිකායේ සක්කපඤ්හ සූත්‍රයෙහි සඳහන් වේ. එසේ බුදුන් වහන්සේට පන්සිළු නම් දිව්‍ය ගාන්ධර්වයාගේ  මේ මිහිරි වීණා වාදනය අසන්නට ලැබුණේත්, පන්සිළුගේ ගීත අසන්නට ලැබුණේත් සක්‍ර දෙවිඳු විසින් පන්සිළු ද සමග බුදුන්වහන්සේ  දකින්නට ගිය ගමනේ දී ය. ඒ ගමන සඳහා පන්සිළු "බේලුවපාණ්ඩු වීණාව" ද රැගෙන ගිය බව එම සූත්‍ර දේශනාවේ සඳහන් වේ.
පන්සිළුගේ වීනා වාදනය සහ ගායනය අවසානයේ බුදු වහන්සේ  පන්සිළුගේ ගැයුම් හා වැයුම් පිලිබඳව මනරම් විවරණයක් කළහ. පන්සිළුගේ  ගීයෙහි හඬ සහ නාද මාලාව පිලිබඳව බුදු හිමියන්ගේ විවරණය ගීතය සහ සංගිතය පිළිබඳව ලොව පැරණිතම විවරණය ලෙස සැළකිය හැකි ය.ඒ මීට අවුරුදු දෙදහස් හයසීයකට පෙර බුදුන් දවස සිදුවූ අසිරිමත් සිදුවීමකි.                                                                           
අස්වැන්න ආරම්භයේ දීම එවන් සටහනක් තැබීමට සිදු වූයේ දැවැන්ත නිර්මාණ රැසක හිමිකරුවා වෙමින් නිහඬවම හුදකලා ගමනක යෙදෙන මේ තරුණ සංගීතවේදියා වෙනුවෙනි.  තවමත් යොවුන් වියේ පසුවන මේ සංගීතවේදියා දිනේෂ් සුබසිංහ ය.  දිනේෂ් ශ්‍රී ලාංකේය සංගීතය විශ්ව සංගිතය කරා රැගෙන යාමට මහත් වෙහෙසක් ගන්නා නව පරපුරේ  සියළු දක්ෂතාවයන්ගෙන් අනූන නිර්මාණකරුවෙකි.
දිනේෂ් මේ වන විට දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද සිය අනන්‍යතාවය තහවුරු කර ගනිමින් නිර්මාණකරණයේ යෙදී සිටී. පසුගිය වරසර 06 ක පමණ කාලය ඇතුළත ඔහු විසින් සිය  නිර්මාණ  ඇතුළත්  සංගිත ඇල්බම් 04 ක් නිර්මාණය කර ඇත. ඒ අතර, රාවණ නාද, Feel my heart, සිහින වසන්තයක්, සහ කරුණා නදී  යන නිර්මාණ එකතු මෙරට සංගිත ලෝලින් හෝ විචාරකයන්ගේ අවධානයට යොමු වූවා දැයි සැක සහිත ය. මට හිතෙන හැටියට මේ නිර්මාණ සියල්ල විදිනු ලැබුවේ මෙරට අතලොස්සක් දෙනා පමණි. එයට ආසන්න ම හේතුව මේ යොවුන් සංගිත වේදියාගේ  සංගීත භාවිතය පිලිබදව නිවැරදි අවබෝධයක්  තවමත් අප තුළ වැඩී නො තිබීමයි.
දිනේෂ් දකුණු ඉන්දියාවේ දැවැන්ත සංගිතවේදියෙකු වන  A.R. රහමන්ගේ පළමු ශ්‍රී ලාංකික ශිෂ්‍යා වෙමින් ඔහු යටතේ සංගිතය හදාරා අවසානයේ රහමන්ගේ සංගිත ඇකඩමියේ රහමන්ගේ නිර්මාණවලට දායක වෙමින්  ජාත්‍යන්ත සංගීත භාවිතය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාගෙන ඇත. ඔහුගේ  ඉන්දීය නිර්මාණ දායකත්වය අතර මනිරත්නම්ගේ "රාවන්" චිත්‍රපටය සඳහාද වාදකයෙකු ලෙසත්  A.R. රහමන් යටතේ තවත් ඉන්දීය චිත්‍රපට ගනනාවකටත්, වාදනයෙන් දායක වි ඇත. දිනේෂ්  කේමදාසයන් සමග ඔහුගේ වාද්‍ය වෘන්දයන්හි ඔපෙරා සහ සංධ්වනි වාදකයෙකු ලෙස දායක වෙමින් සිය සංගිතමය ඥාණය පුළුල් කර ගැනිම හේතුවෙන්  ඔහුගේ විශ්ව සංගිතය සොයා යාමේ ගමන ඉක්මන් කළා විය හැකිය.
දිනේෂ්  සුබසිංහ නම් වූ මෙම තරුණ සංගීතවේදියා සිය පළමු සංගිත නිර්මාණාත්මක අත්දැකිම ලෙස එළිදක්වන්නේ "රාවණ නාද" නම් වූ ගී අනුවාදන 16 ක් ඇතුළත් සංගත තැටිය යි. ඔහු මේ සඳහා භාවිතා කරනු ලබන්නේ ඉතා අපූර්වතම සංගිත භාණ්ඩයකි. එපමණක් නො ව එම සංගිත භාණ්ඩයේ නිර්මාණාත්මක  හිමිකරුවා ද ඔහු ය. එය  ඉතාමත් ඓතිහාසික නිර්මාණයක් වූ  "රාවණ හත්ත" ( Rawana Hatta ) නම් වේ. එම  සංගිත භාණ්ඩය දිනේෂ්ගේ ම නිර්මාණයකි.                             
"රාවණ හත්ත" ( Rawana Hatta ) නම් වූ සංගිත භාණ්ඩය ඉතාමත් දිගු ප්‍රාග් ඓතිහාසික වටිනා කමක් ඇති,  අපට ‍ඓතිහාසිකව උරුම වූ සංගිත භාණ්ඩයකි. එය නිර්මාණය වූ යුගය පිලිබදව සළකන විට එය වයලීනය බිහිවීමට පෙර වසර 2500 ක් 3000 ක් පමණ අතිතයේ ලියැවුණ "රාමායණය"  පුරා වෘත්තයේ ඔබ අසා ඇති ශ්‍රී ලාංකික රාවණා රජු විසින්  භාවිතා කරන ලදැයි සැළකෙන  රාවනා රජු විසින්ම නිර්මාණය කර ගත් සංගිත භාණ්ඩය එයයි. "රාවණ හත්ත" ( Rawana Hatta )  පිළිබඳව ඓතිහාසික තොරතුරු පළමු  වරට සඳහන් වන්නේ "රාමායණය" කෘතියෙහිය.                     
අලුවකින් (Bow) වාදනය වන තත් සහිත සංගිත භාණ්ඩයක් වූ නූතන " වයලීනය" නිපදවීමට පෙර වසර 4000 ක් හෝ 5000 කට පෙර රාවණා රජු විසින් නිර්මාණය කරන ලද්දකි. ඒ අනුව රාවණා රජු විසින් "දඬුමොණරය" නිපද වූවා පමණක් නොව "රාවනා හත්ත ( Rawana Hatta ) " නම් වූ සංගිත භාණ්ඩයද නිර්මාණයකර වාදනය කල බව ඉතිහාසය සාක්ෂි දරයි.
කේමදාසයන් සමග රාවණ හත්ත වාදනය කරමින්
දිනේෂ්  එතරම් ඈත අතිතයක ශ්‍රී ලාංකික උරුමය හාරා අවුස්සමින්  ප්‍රාග් ඉතිහාසයේ වැළලී ගිය  අපට උරුම වූ ඒ සංගිත භාණ්ඩය  නැවත නිර්මාණය කරමින් වාදනය කර පෙන්වීය. මෙහි හැඩය 16 වන සියවසේ ඉතාලියේ නිපද වූ "වයලිනයටත්"  එහි නාදය උතුරු ඉන්දියානු   "සාරංගි" සහ "එස්රාජ්"  සංගිත භාණ්ඩවලින් නිකුත් වන නාදයට ආසන්න නාදයකි.
වසර 4000 - 5000 කට පෙර ලංකාවේ විසු රාවණා රජු විසින් වාදනය කළා යැයි සැළකෙන "රාවනා හත්ත ( Rawana Hatta ) " පිළිබඳව දිනේෂ් එහි මූලාශ්‍ර ඔස්සේ අක් මුල් සොයා යමින් නැවත ඒ ඓතිහාසික උරුමය රටට දායාද කළේය. එපමණක් නොව එය වාදනය කරමින් නිර්මාණය කල "රාවණ නාද " සංගත තැටිය ද එළි දැක්වීය.
ඒ අපූර්ව වූ "රාවනා හත්ත ( Rawana Hatta ) " වාදය කරමින් ගීත අනුවාදන අතරින් දිනේෂ් විසින්  නීලා වික්‍රමසිංහ ගැයූ මතු දැක්නෙ ගීයේ ගි අනුවාදන අසන්න මේ මේ අපූර්ව සංගිත භාණ්ඩයේ මිහිර  ඒ තරමට රසයෙන් පිරී ඇත.
බෝධියේ විහාරයේ පිදූ පියුම් වැනි වූ
බාලිකා ලොව මැළවුණ දා
මුළු ලොවටම රෑ වෙනවා......

 "රාවනා හත්ත ( Rawana Hatta ) " වැයූ බෝධියේ විහාරයේ ගි අනුවාදනය මෙතනින් අහන්න
කෙසේ වුවත් ඉන් අනතුරුව දිනේෂ් සුබසිංහගේ සංගිතමය ගමන් මග යොමු වන්නේ "සංධ්වනි" සහ "සොනාටා" සංගීත ක්‍රම කෙරෙහිය. දිනේෂ්  A.R. රහමන්ගේ ඇසුරේ සිටිමන් ලැබූ ආභාෂයත්, කේමදාසන්ගේ සංගිත භාවිතයත් පිළිබඳව ලද අත්දැකිම් ඔස්සේ විශ්ව සංගිතය සොයා යාමට සමත් වේ.  එසේ විශ්ව සංගිතය සොයා යන ඔහු ඊළගට නිර්මාණය කරන  සංගිත ඇල්බමයද විශේෂ නිර්මාණ එකතුවකි. දිනේෂ් එය නම් කළේ Feel my heart යනුවෙනි. ඒ අතරතුර  ජාත්‍යන්තර සංගිත තලයේ ඔහුගේ ස්ථානය  තහවුරු කර ගැනිමට සමත් වන්නේ "යානි" සංගිතවේදියා වෙනුවෙන්  නිර්මාණයක් බිහි කිරීමත් සමග ය . "යානි" වෙනුවෙන් නිර්මාණය කළ මෙම සංගිත නිර්මාණය යානිගේ ප්‍රසංගවල පූර්ව ප්‍රචාරක කටයුතු සදහාද එම සමාගම් විසින් භාවිතයට ගැනිමත් සමගම  දිනේෂ් සුබසිංහගේ සංගිත නිර්මාණවලට ජාත්‍යන්තර පිළිගැනිමක් ලැබුණි. කේමදාසයන්ගෙන් පසුව මෙය ශ්‍රී ලාංකික සංගිත වේදියෙකු ලද හොඳම පිළිගැනිම එය යි.
මතු දැක්වෙන්නේ දිනේෂ්  සුබසිංහ "යානි" වෙනුවෙන් නිර්මාණය කළ ඒ සංගීත නිර්මාණයේ වීඩියෝවයි

video

කෙසේ වුවත් දිනේෂ් නිර්මාණය කළ  Feel my heart ගීත ඇල්බමය ද මෙරට කිසිම විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ යම් ප්‍රමාණයකට හෝ විචාරයකට බඳුන් නො වූ නිර්මාණ එකතුවකි.  Feel my heart  මේ නිර්මාණ එකතුවේ සංගිත නිර්මාණ 18 කි. මෙම සංගත තැටිය එක් අකාරයකින් සංධ්වනි සංගීතයේ ක්‍රම පිළිබඳව අත්හදා බැලිමක් වන අතරම, අනෙක් අතට සොනාටා සංගිතය  භාවිතය පිළිබඳව දිනේෂ් තුළ තිබූ  දැනුම ද  ඒ නිර්මාණ ඔස්සේ විකසිත කර ඇත. මෙහි ඇතැම් නිර්මාණ වාද්‍ය භාණ්ඩ පමණක් උපයෝගී කර ගෙන විවිධ තේමාවන් ඔස්සේ සිය සංගිත ඥාණය විශ්වයට මුදා හැර තිබේ. ඇතැම් නිර්මාණයක සොනාටා ගායන ශෛලියද දක්නට ලැබේ. ඒ අනුව දිනේෂ් ජාත්‍යන්තර සංගිත අත්දැකිම් විශ්වගත කරන්නේ Feel my heart සංගිත ඇල්බමය ඔස්සේ ය.
මෙහි ඇතුළත් සංගිත නිර්මාණ අතර , හේමන්තයේ මා ඔබ දුටු විට ( The moment I saw you),  මගේ මතකය අවදිව තිබුණත් ( Nothing is ever forgotten ), අපිට නොපෙනෙන ලොවක අසිරිය ( Rain forest ) වැනි නිර්මාණ මේ සංගිත ඇල්බමයේ විශිෂ්ඨතම නිර්මාණ අතර ඇත.

 මගේ මතකය අවදිව තිබුණත් ( Nothing is ever forgotten ), සංධ්වනිය මෙතනින් අහන්න

 
දිනේෂ්  Feel my heart ගිත ඇල්බමයෙහි ඔහු විසින්ම තබා ඇති මේ සටහනින්  මේ සටහනෙහි පළමු කොටස අවසන් කරමි.
" කලාකරුවා  යනු වාර්ගික හැඟීම්වලට තිත තැබූ මුළු මහත් මානව වර්ගයා එක ම ඉසව්වක් වෙත යොමු කිරිමට තැනූ පාලමකි. ඔහු සමාජයේ යථාර්ථයයි. ඔහු දහසකගේ බලාපොරොත්තුවයි. ඔහු සැබෑවක් නොවූ සිහිනයක භූමිකාවයි.ඔහු සුවහසක් මිනිසුන්ගේ ජීවන පැවැත්මෙහි කොටස්කරුවායි. ඔහු පවත්නා වූ සමාජ සංවිධානයේ  නොපනත්කමට එරෙහි වූ අභියෝගය යි.
අසන්නන් දහසකගෙන් විවධ වූ අර්ථකතනයන් දහසක් ඇසීම අරමුණින් මම මේ නිර්මාණ ගොන්න ඔබ වෙත යොමු කරමි. මගේ නිර්මාණ ඇතුළත ඇත්තේ මානව සංගීතය  මුහුණ දුන් අත්දැකිම්. සිදුවිම් තුළ ඇති වූ සදාතනික මතකයන්ය.
එහි ආදරවන්තයාටත්, පරාජිතයාටත්, ජයග්‍රාහකයන් සමීප වූ සිහිවටන රාශියකි. මෙය ඔබේ ජීවිතයටත් සමීපදැයි බලන්න.  මගේ භාෂාව සංගීතයයි.  මගේ ආගම සංගීතයයි.  මා උගත් ධනය සංගීතයයි.  මගේ සුසුම පවා සංගිතය දැයි මට සිතේ." 

                             දිනේෂ්ගේ සංගිතමය වීඩියෝවක් මෙතනින් බලන්න
video
ඒ අනුව දිනේෂ්ට පමණක් නොව මටද සිතෙන්නේ ඔහු විශ්ව සංගිතයේ කොටස් කරුවකු වී ඇති බවයි. කේමදාසයන් නතර වූ තැන සිට දිනේෂ් ඔහුගේ ගමන් මග ආරම්භ කර ඇති බවයි.

මෙහි ඊළඟ කොටසින් දිනේෂ් සුබසිංහ නිර්මාණය කල "ඔරටෝරියෝ" සංගිතය පිළිබඳව විමසා බලමු.


ඉඩක් ඇත්නම් ඔබේ අදහස් මෙහි ලියා තබන්න. ඔබේ වටිනා කාලයෙන් බිදක් අස්වැන්නට වෙන් කළාට ස්තූතියි

44 comments:

  1. ඇත්තම කියනව නම් ප්‍රවීණ නිර්මාණකරුවන්ගෙ ගීතත් ඒ ආශ්‍රිත තොරතුරුත් එහෙන් මෙහෙන් ටිකක් ටිකක් දැනගෙන හිටියත් අපේ පරපුරේ සැබෑ දක්ෂයෙක් වූ දිනේෂ් සුබසිංහ ගැන ගැන මීටපෙර මා අසා තිබුණේ නැත.එය ඇත්තටම ලැජ්ජාවීමට කරුණකි. ඔහුගේ සoගීතය ඉතා අන්ගි බව මෙහිවූ දෑ ඇසීමෙන් මට තේරුම් ගියා. බොහොමත් ස්තූතියි සැගව තිබුණ මැණීකක් වැනි වූ මොහු ගැන අස්වැන්නෙන් සටහනක් තැබුවාට....

    ReplyDelete
    Replies
    1. තොටියා..ට
      දිනේෂ් ගැන එක පාරම හිතලා ලිව්වා නෙවේ. ඔහුගෙ "රාවණ හත්ත" නිර්මාණයේ ඉඳලම මම ටිකක් ඔහු ගැන විපරම් කළා.දිනේෂ් රහුමාන්ගෙ සංගිත ඇකඩමියේ ඉන්නවා කියල දැනගත්ත ගමන් ඔහු පිලිබඳ මගේ බලාපොරොත්තු අලුත් වුණා. ජාත්‍යන්තර තලයේ යමක් ‍කරයි කියල හිතෙුනේ ඔහුගේ නිර්මාණ ගැන මට හොඳ අවබෝධයක් තිබුන නිසා.

      සහෝ .. උඹට ස්තුතියි දිනේෂ්ගේ මේ නිර්මාණ වෙනුවෙන් සටහනක් තැබීමට අවිවේකී කාලයෙන් බිඳක් වෙන් කලාට

      Delete
  2. //කේමදාසයන් නතර වූ තැන සිට දිනේෂ් ඔහුගේ ගමන් මග ආරම්භ කර ඇති බවයි.//

    මෙයනම් ඇත්තටම සතුටට කරුණක්. රාවණා හත්ත ගැන අසා තිබුනත් එය කාගේ නිර්මාණයක්ද කියලාවත් දැනගෙන හිටියේ නෑ. දිනේෂ් සුබසිංහ නිසි ඇගයීමකට ලක් වෙලා නෑ වගෙයි පේන්නේ. මෙහෙම ලිපියකින් අපිව දැනුවත් කරපු එකට ඔබට බොහොම පින්. නැත්නම් මේවා අපි දැනගන්නේ කොහොමද.

    ReplyDelete
    Replies
    1. සයුරී..ට

      ඇත්තටම දිනේෂ් ගැනහොඳ විචාරයක් තවම අපේ රටේ කෙරුනෙ නැහැ. අපේ විචාර කලාව තුලත් යම් යම් ගැටලු තියෙනවා. නමුත් දිනේෂ් කියන්නේ අද ලෝකයේ ජනප්‍රිය වූ "යානි" වගේ ලංකා‍ව තුළ හොද බලාපොරොත්තුවක්. දිනේෂ් වුනත් නිහඬ ගමනක යෙදෙන නිර්මාණ කරුවෙක්.
      සයුරී මෙහි ඊළඟ කොටස කියවන්න. ඇත්ටම ඔහු විශ්ව සංගිත කරුවෙක් කියලා දැනේවි.

      ස්තුතියි සයුරී.. දිනේෂ්ගේ මේ නිර්මාණ වෙනුවෙන් සටහනක් තැබීමට ඔබේ අවිවේකී කාලයෙන් බිඳක් වෙන් කලාට

      Delete
  3. ඔබේ මේ විචාරය වෙනකම් මම දිනේශ් ගැන අහලා තිබුනේ නෑ.. රාවණා හත්ත ප්‍රතිනිර්මාණය කලා කියන කාරණාව ගැන නම් දැනගෙන හිටියත් එහි හඬ අහන්න තරම් වාසනාවක් ලැබුනේ නෑ.. අද ඒකටත් අවස්ථාව ලැබුනා..

    ඔහු දක්ෂයක්..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්ට

      ඇත්තටම ඔහු විශිෂ්ඨයන් අතර විශිෂ්ඨයෙක්.. මෙහි දෙවන කොටසත් කියවන්න. ඔහු කොයිතරම් දක්ෂයෙක්ද කියා වැටහේවි.

      ස්තුතියි දිනේෂ්.... දිනේෂ්ගේ මේ නිර්මාණ වෙනුවෙන් සටහනක් තැබීමට ඔබේ අවිවේකී කාලයෙන් බිඳක් වෙන් කලාට

      Delete
  4. ගොඩක්ම වටිනා ලිපියක්. ඇත්තටම බලද්දි ඔයා සංගීත පුස්තකාලයක්ද කියලත් හිතෙනවා. දිගටම ලියන්න. සුබපැතුම්.

    ReplyDelete
    Replies
    1. මලී..ට

      මලී.. මම හොහොමත් සංගිතයට කැමතියි.හැබැයි ගිත විතරක් නෙවෙයි. ගිතයෙන් එහා ගිය සංගිතය නම් අපුරු දෙයක් තියනවා මං නොදන්න ඒ දේට කැමතියි.

      ස්තුතියි මලී.. දිනේෂ්ගේ මේ නිර්මාණ වෙනුවෙන් සටහනක් තැබීමට ඔබේ අවිවේකී කාලයෙන් බිඳක් වෙන් කලාට

      Delete
  5. දිනේෂ් සුබසිංහ ගැන තවත් ටිකක් හොයන්න යනකොට මට ඔහු තම රසිකයන් වෙනුවෙන් හදපු මූනු පොතේ ඔහුගේ පිටුව හමු වුනා.. පහත සබැදියෙන් ඊට පිවිසෙන්න පුලුවන්.. කණගාටුවකට කරුණක් නම් මා එයට පිවිසෙන විට එහි වූයේ likes 363ක් පමණක් වීමයි. ඕහුට නිසි ඇගයීමක් නොලැබී ඇතිබවට එය හොදම නිදසුනක්

    http://www.facebook.com/pages/Dinesh-Subasinghe/129338290456110

    ReplyDelete
    Replies
    1. මම යද්දී දැන් තියෙන්නේ 367යි ..

      Delete
    2. තොටියාට.. සහ අසරණයාට

      ඒ ටිකෙන්ම පේනවා නේද අපේ රටේ ගිතයට තියෙන තැන අනෙක් සංගිත ක්‍රම පිළිබඳව නැති වග..
      හැබැයි දිනේෂ් ගැන මම ලියූ දේට වඩා තවත් තොරතුරු අන්තර් ජාලයෙන් කියවන්න පුළුවන්

      Delete
  6. නොදන්නදේ කොයිතරම්ද කියල හිතුනා. ස්තුතියි මේ දැනුවත් කිරීමට.
    මැණික්

    ReplyDelete
    Replies
    1. මැණික්..ට

      තනියම මම විඳපු සුන්දර අත්දැකීම් දැන් බ්ලොග් එකේ ලියන්න පුළුවන් නිසා ඒ සුන්දර දේවල් බෙදාහදාගන්නට ලැබීම මටත් සතුටක්.
      ස්තුතියි මැණික දිනේෂ්ගේ මේ නිර්මාණ වෙනුවෙන් සටහනක් තැබීමට ඔබේ අවිවේකී කාලයෙන් බිඳක් වෙන් කලාට

      Delete
  7. මේ ලිපිය ලිවීම ගැන ඔබට ස්තුති කිරීමට මා ළඟ වචන නෑ..මට නිකම් මැණිකක් ලැබුනු විට දැනෙන්නාක් මෙන් සතුටක් ඇතිවුනා.

    දිනේශ් මම මුල්වරට දුටුවේ වසර ගණනාවකට පෙර ස්වර්ණවාහිනියේ සංගීත වැඩසටහන් වලදී...ඔහුගේ නම ගම හැකියාව නොදුටුවද මම වැඩසටහන්වල මූලික අන්තර්ගතයට වඩා බලාන හිටියේ ඔහුගේ වාදනයන් නිසා..තත්පර කිහිපයක නිමේශයකින් ඔහු වාදනය කරන භන්ඩය මාරුකරනවා දුටුවාම මගේ පුදුමය දෙගුණ තෙගුණ වුනා..ඔහු නිර්මාණ එකක් දෙකක් ගැන දැනගෙන හිටියාට මෙතරම් විස්තර කවදාවත් දැනගන්න පුළුවන් වුනේ නෑ..ඉහත විස්තරත් දැනගත්තේ ලංකාදීපයේ අතිරේකයේ දියාරු සටහනකින්..
    ගොඩක්ම පින් මේ ලිපියට..

    ඊළඟ ලිපියත් පළවෙනතුරු බලාන සිටිනවා..

    ReplyDelete
  8. ඇත්ත කියන්නම් ඔබ තුමාගෙ මේ ලිපිය කියවන කම් මම දිනේෂ් ගැන දැනගෙන ඉදියෙ නැහැ. ගීතය කලාව ගැන ලිපියක් දුටු ගමන් එක හුස්මට කියවන මට මොහු ගැන කියවන්නට නොලැබුණේ ඒ තරම් අපේ මිනිසුන් ඔහු ගැන නොසිතුවද...
    අනේ මන්දා.. ඒත් මේ ලිපියයි ඔබ තුමා සපයලා තියෙන සංගීත රස වින්දහම මොහු අනිවාර්යෙන් ශ්‍රිලාංකික නම ජාත්‍යන්තර සංගීත ක්ෂේත්‍රයේ උඩින්ම රන්දායි යන දේ නම් මට සිතුණා...

    දිනේෂ් ගැන ඔබ තුමා මෙහෙම හරි අස්වැන්නට ගොනාවට බොහොමත්ම ස්තුතියි.

    දිනේෂ් ඔබට ජය.....

    ReplyDelete
    Replies
    1. දිනිති දීපිකා..ට

      ඇත්තටම මටත් හිතෙනවා මතු දවසක " යානිගේ" මියුසික් කොන්සර්ට් එකක් ලංකාවෙදි අපටත් බලාගන්න පුළුවන් වේව් කියලා. ඇත්තටම ඔහු මතු දවසක ලංකාවෙ නම ලොක් සංගිත තලයේ රන්දාවි.

      මෙහි දෙවන කොටසත් කියවන්න ඔබට ඇරයුම් කරමි. එතකොට දිනේෂ්ගේ දක්ෂතාවය ගැන හොඳ අවබෝධයක් ලැබේවි.

      ස්තුතියි දිනිති දිනේෂ්ගේ මේ නිර්මාණ වෙනුවෙන් සටහනක් තැබීමට ඔබේ අවිවේකී කාලයෙන් බිඳක් වෙන් කලාට

      Delete
  9. මම දිනේෂ් ගැන දැනගෙන හිටිය දැනට වසර කිහිපයට පෙර ස්වර්ණවාහිනී යෙ ගිය සංගීතමය වැඩ සටහනකින්. ඔහුගේ ප්‍රතිභාව එහිදී ඔහු පිළිබිඹු කරා කියා මා හිතුවෙ. මේ කාලය අතර තුර ඔහු කෙතරම් දුරක් පැමිණ ඇත්ද කියා මම දැනගත්තේ මේ ලිපියෙන්.

    බොහොම ස්තුතියි, දයානන්ද!

    ReplyDelete
    Replies
    1. රුමාල්..ට

      මම දිනේෂ්ගෙ වැඩසටහන් රූපවාහිනියෙන් නම් දැකල නැහැ. ඒත් ඔහුගෙ සංගිත නිර්මාන තැටි ටික නම් ඇහුවා. ඒ වගේම අන්තර්ජාලය තුල තියෙන වීඩියෝ දැක්කාම මටත් පුදුම හිතුනා මේවගේ දක්ෂයෙක් ගැන නිසි විචාරයක් හෝ ඇගයුමක් නොවීම ගැන.

      ස්තුතියි දිනේෂ්ගේ මේ නිර්මාණ වෙනුවෙන් සටහනක් තැබීමට ඔබේ අවිවේකී කාලයෙන් බිඳක් වෙන් කලාට

      Delete
  10. විශිෂ්ඨයි...අනර්ඝයි...ලිපිය වගේම ඔහුත්

    ReplyDelete
    Replies
    1. අඩවි රජා..ට
      ඔබේ පැමිණිමත් සටහනක් තැබීමත් සතුටක්.
      ස්තුතියි සහෝ.. දිනේෂ්ගේ මේ නිර්මාණ වෙනුවෙන් සටහනක් තැබීමට ඔබේ අවිවේකී කාලයෙන් බිඳක් වෙන් කලාට

      Delete
  11. දිනේෂ් කලකට පෙර රහුමාන් සංගීත වේදියා ලඟ සංගීතය හැදෑරූ බව දැන හිටියත්, යානීට පවා සංගීත නිර්මාණයක් කළ බවක් දැන හිටියේ නෑ. ඇත්තටම අපේ රටේ අය සංගීතය (MUSIC) කියලා තේරුම් ගන්නේ සිංදු පමණයි. ඒත් අපි දන්නේ නැති දෙය නම්, මේසයකට ඇඟිල්ලෙන් තට්ටුවක් දැම්මත් ඒකත් රස විඳින්න පුළුවන් සංගීතයක් බවයි. කේමදාස මාස්ටර්ගෙන් නතරවුනු ඔකෙස්ට්‍රා, සොනාටා රිද්මය දිනේෂ් විසින් ඉස්සරහට අරන් යාවි කියලා හිතෙනවා... ඇත්තටම මේ වගේ දක්ෂයෝ මීට වඩා ඇගයීමකට ලක් වෙන්න ඕනෙ. ඩෙනිම ඉනෙන් පහලට ඇඳන් කලවම් සිංදු කියන ගායකයින්ට උන්මාදයෙන් වන්දනාමාන කරන අපේ අය වෙතින් මේ වගේ කෙනෙක්ට ලැබෙන්න ඕනෙ ගෞරවය ලැබෙයි කියලා හිතන්න අමාරුයි...

    දිනේෂ්, ඔබ කරන්නේ උඩුගං බලා දුෂ්කර පිහිණීමක්... ඒත්, සම්ප්‍රදායෙන් පිට පනින්නැතුව සම්ප්‍රදාය වෙනස් කරන්න බෑ. කවදා හරි ලාංකීය සංගීතයේ විතරක් නෙවෙයි, ලෝක සංගීතයේම විශිෂ්ඨ ලකුණක් තියන්න ඔබට සුභ පැතුම් !!!

    රාවණ හත්ත ඇහුවේ අද... ඒ ගැනත්, දිනේෂ් වගේ දක්ෂයෙක් ගැන ඇගයීමක් ලෙස මේ වගේ ලිපියක් ලියා පළ කළ එකටත් ඔබතුමාටත් තුති ... ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. චතුරංග..ට

      ඔබේ පැමිණිම ගැන ඉතාමත් සතුටුයි. ඒ වගේම දිනේෂ් පිලිබඳ විචාරාත්මක සටහනක් තැබිමත් සතුටට කාරණයක්.
      මෙහි දෙවන කොටසත් කියවන්න ඔබට ඇරයුම් කරනවා එතකොට දිනේෂ්ගේ දක්ෂතාවය ගැන හොඳ අවබෝධයක් ලැබේවි.
      දිනේෂ් රාවණ හත්ත නිෂ්පාදනය කරලා වසර 06 පමණ වෙනවා. ඒත් ඒ ගැන කිසිවකු දැනගෙන හිටියෙ නැහැ. ඒ ගැනනම් මටත් කනගාටුයි. හොඳ නිර්මාන හැංගෙන කොට.

      ස්තුතියි සහෝ.. දිනේෂ්ගේ මේ නිර්මාණ වෙනුවෙන් සටහනක් තැබීමට ඔබේ අවිවේකී කාලයෙන් බිඳක් වෙන් කලාට

      Delete
    2. යානිගේ සමහර ප්‍රසංග වල මා දැක තිබෙනවා ශ්‍රී ලංකික වාදකයන් වාදන වල යෙදෙනවා. ඒ අය පිලිබඳ නිසි ඇගයීමක් කෙරෙන්නේ ම නැති තරම්. එවැන්නන් පිළිබඳවත් පෝස්ට් එකක් දානවා නම් හොඳයි!

      Delete
  12. මේ සංගීතවේදියා පිළිබඳ අසා තිබුනා.. නමුත් හරි විස්තරයක් දැනගත්තෙ අදයි..

    සියල්ලටම ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. හරී..ට
      ස්තුතියි හරී..හැමදාමත් මේ ලියන දේවල් කියවන්න එනවා වගේම අදත් ඇවිත් දිනේෂ්ගේ මේ නිර්මාණ වෙනුවෙන් සටහනක් තැබීමට ඔබේ අවිවේකී කාලයෙන් බිඳක් වෙන් කලාට

      Delete
  13. මොහු වෙනස් විදියේ සංගීත වේදියෙක් කියල දැනගෙන හිටියා.ඒත් මේ තරම් දක්ෂයෙක් කියල දැනගෙන හිටියේ නැහැ.මොකද අපි දන්නේ ලංකාවේ විද්‍යුත් මාද්‍ය හරහා ඇහෙන සංගීත විතරයි.ඒත් කේමධාස මස්ටෙර් ගෙන් පසු බිහි වෙන සංගීත වේදියෙක්.

    අපි සංගීතය ජාත්‍යන්තරයට අරන් ගියා කියල කෑ ගහන පුහු ගායකොයෝන්ට වඩා ශේෂ්ටයි මේ සංගීත වේදියා.

    ReplyDelete
    Replies
    1. අසරණයා..ට

      ඇත්තටම කේමදාස මාස්ටර්ට පස්සෙ දිනේෂ් අපට හොඳ ආයෝජනයක්. හොඳ පැහැදිලි බලා පොරොත්තුවක්. සංගිතය කියන්නේ ගීය විතරක් නෙවෙයිනේ.

      ස්තුතියි සහෝ.. දිනේෂ්ගේ මේ නිර්මාණ වෙනුවෙන් සටහනක් තැබීමට ඔබේ අවිවේකී කාලයෙන් බිඳක් වෙන් කලාට

      Delete
  14. දිනේශ්ගෙ රූපය ටෙලිවිශන් එකෙන් මම දැකලා තියෙනවා..දිනේශ් සුබසිංහ කියන නම අහලත් තියෙනවා..ඒත් මම මේ දෙන්නම එක්කෙනෙක් කියල දැන ගත්තෙ අද..ඇත්තටම ඔහු කොයි තරම් විෂිශ්ඨ නිර්මානකරුවෙක්ද කියල තේරුම් ගියේ අද..මේ සටහන තබමින් අපිව දැනුවත් කරපු එකට ඔබට බොහොම ස්තුතියි!

    ReplyDelete
  15. සිත් රූ..ට

    ඇත්්තටම කියන්න මම තාම දිනේෂ්ගේ සංගිත වැඩසටහන් ටීවි එකෙන් දැකල නැහැනේ. මේ හැම දෙයක්ම යූ ටියුබ් එකෙන් දැකපු ඒවා.
    ස්තුතියි සිත් රූ.. ඔබටත් දිනේෂ්ගේ මේ නිර්මාණ වෙනුවෙන් සටහනක් තැබීමට ඔබේ අවිවේකී කාලයෙන් බිඳක් වෙන් කලාට

    ReplyDelete
  16. රහමන් ගැන දැන හිටියාට අපේ රටේ දිනේෂ් ගැන දැන හිටියේ නෑනේ. ලිපිය නම් තොරතුරු රැසක් එක්කල, හරිම අපට ගොඩාක් කරුනු බෙදා දුන්, අගනා ලිපියක්. ඔයාට ගොඩාක් ස්තූතියි මේ විදියට ඒවා අපට බෙදා දෙනවට.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි..ට

      ඇත්ත රහමන් ගැන ලෝකයම දන්නවා. ඒත් අපේ රටේ මේවගේ දක්ෂයෙක් ලෝකයේ ඒවගේ තැනකට යා යුතුයි. අපි ඔහුට ප්‍රාර්ථනය කරමු විශ්ව සංගිතය තුළ ඔහුගෙ නම රඳවන්න ලැබෙන්න කියලා.

      ස්තුතියි පොඩ්ඩි... ඔබටත් දිනේෂ්ගේ මේ නිර්මාණ වෙනුවෙන් සටහනක් තැබීමට ඔබේ අවිවේකී කාලයෙන් බිඳක් වෙන් කලාට

      Delete
  17. දිනේෂ් අය්යාට සුබ පතනවා.
    //එහි ආදරවන්තයාටත්, පරාජිතයාටත්, ජයග්‍රාහකයන් සමීප වූ සිහිවටන රාශියකි. මෙය ඔබේ ජීවිතයටත් සමීපදැයි බලන්න. මගේ භාෂාව සංගීතයයි. මගේ ආගම සංගීතයයි. මා උගත් ධනය සංගීතයයි.මගේ සුසුම පවා සංගිතය දැයි මට සිතේ.// අන්න ඒ ටිකට මම ගොඩක් කැමතියි.

    ඒ වගේම ඔබ මේ ලිපියේ සූරියවච්චසා ගැන සදහන් කරල තිබුණා.මම පාඩම් පොත කියන ලිපි එකතුවෙන් කියවල තියෙනව සක්කපඥ්ඥ සූත්‍රය ගැන.පාඩම් පොත කෘතියෙ එක තැනක තිබුණා ඒ සූත්‍රයෙන් උපුටාගත්තු මේ ගාථාව.ඒවා කියවන කොට මට හිතෙන්නෙ බෞද්ධ සාහිත්‍යය තරම් සෞන්දර්යාත්මක දෙයක් වෙන කොහේවත් රටක නැහැ කියල.
    //වන්දේ තේ පිතරං භද්දේ
    තිම්බරුං සුරියවච්චසේ
    යේන ජාතාසි කල්‍යාණී
    ආනන්දජනනී මම//

    ReplyDelete
    Replies
    1. වර්ෂා..ට

      ස්තුතියි වර්ෂා ලියල තියෙන අදහස්වලට.. ඒටික දිනේෂ්ගේ සංගිත ඇල්බමයේ තිබුණේ..

      සූරියවච්චසා ගැනත්,සක්කපඥ්ඥ සූත්‍රය ගැනත් ලියන්න සිදුවුණේ පන්සිලුගේ බේලුව පාණ්ඩු වීනාව නිසා. පන්සිලුගේ වීණාව ගැන සඳහන් වන්නේ බුදු සිරිතේ ඒ මීට වසර 2600 කට කලින්. ඒත් දිනේෂිගේ "රාවණ හත්ත" වයලින කුලයේ උපන් සංගිත භාණ්ඩය නිර්මාණය කර වාදන‍ය කළේ ලංකාවෙ හිටපු රාවණා රජු ඒ මීට වසර 4000 -5000 කට පෙරයි. ඒ නිසා එහි නිර්මාණ අයිතිය අපේ රටටයි. දිනේෂ් කැප වුනේ ඒ නිර්මාණය හොයාගන්න.

      ස්තුතියි වර්ෂා.. ඔබටත් දිනේෂ්ගේ මේ නිර්මාණ වෙනුවෙන් සටහනක් තැබීමට ඔබේ අවිවේකී කාලයෙන් බිඳක් වෙන් කලාට

      Delete
  18. අයියෝ..ස්පෑම් බොක්ස් එකේ සිරවී ඇති මගේ කොමෙන්ටුව යළි ගෙන එනු මැනවි..!!

    ඒක නැති වෙලා නම් අළුත් එක මෙන්න..

    මා මුල්වරට දිනේශ් දුටුවේ ස්වර්ණවාහිනියේ සංගීත වැඩසටහනකින්. එදා සිට අද දක්වාම ඔහුගේ නිර්මාණ ගැන සෙවූ නමුත් ඒවා රසවිඳීමට හැකිවූයේ ඔබේ පෝස්ටුව නිසාය..ඉක්මනින්ම මේ සීඩී ටික සොයා ගත යුතුය..

    ReplyDelete
    Replies
    1. රූ...

      ඇත්තටම ඔහුගැන සොයා අහන්න වටින නිර්මාණ ටිකක් මේ වන විට එළි දක්වලා තියෙන්නේ . ඒත් මාද්‍ය ආයතනවලින් ඒ සඳහා අවශ්‍ය අනුග්‍රහය නිර්මානකරුවාට නොලැබීමම ගැටුවක් ඒ නිසා මේවා ගියේ සීමිත රසික පිරිසක් අතරට පමණයි.

      මෙහි දෙවන කොටසත් කියවන්න ඔබට ඇරයුම් කරනවා එතකොට දිනේෂ්ගේ දක්ෂතාවය ගැන හොඳ අවබෝධයක් ලැබේවි.

      ස්තුතියි රූ... ඔබටත් දිනේෂ්ගේ මේ නිර්මාණ වෙනුවෙන් සටහනක් තැබීමට ඔබේ අවිවේකී කාලයෙන් බිඳක් වෙන් කලාට

      Delete
  19. //අනතුරුව ගීත රචකයෙක්//
    ඔබගේ හැඳින්වීමේ මෙය දුටුවා..

    අනිත් අයගේ ගීත බෙදාගන්න එකේ නරකද ඔබගේ ගීතයක් දෙකක් බෙදාගත්තොත්..පසුබිම් කතාව,සංගීතය ගැන එහෙම..
    මාධ්‍ය කලාවේ ඉදිරියෙන් සිටින ඔබගේ නිහතමානී බව ඉහලින් අගය කරමි.

    ReplyDelete
    Replies
    1. රූ...

      ස්තුතියි ඔබේ අගය කිරීමට.
      මාධ්‍ය කලාව මගේ වෘත්තිය නම් නෙවෙයි. ඒක මගේ විනෝදාංශයක් හොද හෝ නරක නිර්මාණයක් ගැන මගේ අදහස් විවේචනාත්මකව මුද්‍රිත හෝ විද්‍යුත් මාධයට ඉදිරිපත් කිරිම.

      ආ.. මම ලියූ ගීත නේද... ගී නම් ගනනාවක්ම තියෙනවා ඒකත් මගේ එක්තරා විනෝදාංශයක්..
      මට මගේ නිර්මාණ ගැන ලියන්න පොඩි විචිකිච්ඡාවක් මා තුලම තියෙනවා. ඒකයි ලියන්නෙ නැත්තේ. බලමු ඉදිරි කාලයේ ඉදහිටල එයින් කීපයක් වත් දාන්න.

      Delete
  20. //කලාකරුවා යනු වාර්ගික හැඟීම්වලට තිත තැබූ මුළු මහත් මානව වර්ගයා එක ම ඉසව්වක් වෙත යොමු කිරිමට තැනූ පාලමකි.//

    මම දිනේෂ් පිළිබඳව අහලා තිබුණා. ඒත් මේ තරම් තොරතුරු දැනගෙන හිටියේ නම් නෑ.. බොහොම ස්තුතියි දැනුවත් කිරීමට. පරිනත බව ඇති වෙන්නේ වයස මත ම නොවෙයි කියලා දිනේෂ් සාධනය කර තිබෙනවා..

    ReplyDelete
    Replies
    1. @..NGranGo

      ඔබ හරි.. පරිනණත බව ඇති වෙන්නේ වයස මත ම නොවෙයි කියලා දිනේෂ් සාධනය කර තිබෙනවා අත්දැකිම් සහ භාවිතයේ යෙදීම තුල තමයි කෙනෙක් අදාල විෂයෙහි පරිනත වන්නේ
      ස්තුතියි ඔබටත් දිනේෂ්ගේ මේ නිර්මාණ වෙනුවෙන් සටහනක් තැබීමට ඔබේ අවිවේකී කාලයෙන් බිඳක් වෙන් කලාට

      Delete
  21. මේ කලාකරුවා ගැන මම පුවත් පතක දැක්කේ එකම එක වරක් පමණයි... ශ්‍රාවකයාගේ නොදැනුවත් භාවය නිසා මේ උසස් නිර්මාණ හිමි තරුණ කලාකරුවන් සමාජයෙන් හැංගිලා... ඔවුන්ව මේ විදියට එළියට ගැනීම ගැන සතුටුයි...

    මේ ලෝකේ කොහොමත් හොඳ දේට තැන අඩුයි. ඉල්ලුම කසිකබල් වලට තමයි...

    දිනේෂ් සුභසිංහ ඇල්බම් 4 කුත් කරලා එකක් ගැන වත් මා නම් දැනගෙන උන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. අනූ..ට

      දිනේෂ් පිලිබද අනෙක් ලිපියත් කියවන්න. එතකොට ඔබටම හිතේවි මේ විහ්ස්ඨයා කොහොම කෙනෙක්ද කියලා.

      ස්තුතියි අනූ.. ඔබටත් දිනේෂ්ගේ මේ නිර්මාණ වෙනුවෙන් සටහනක් තැබීමට ඔබේ අවිවේකී කාලයෙන් බිඳක් වෙන් කලාට

      Delete
  22. හැමදාම වගේ මම අන්තිමය.
    මේ ලිපිය කියවල අදහසක් දැක්වීමක් නොවන නිසයි ප්‍රමාදය. මොකද මේ සංගීත කණ්ඩ වලට සවන් දෙන්න කාලයක් අවශ්‍ය වුණා.
    මේ නවක සංගීතවේදියා ගැන කලින් අසා තිබුණෙ නෑ. ඒත් මේ සංගීතයන් අසන විට ඔහු විශිෂ්ඨයෙක් වන මං සලකුණු තමයි පෙනෙන්නෙ.
    ඇත්තෙන්ම ඔහු වැනි ප්‍රතිභාපූර්ණ නවකයෙක් වෙනුවෙන් මේ තැබූ සටහන අන් සියඵ ඔබේ ලිපි වලට වඩා ඉතාම වටිනව. මන්ද මේ කලාකරුවන්ටයි අනාගතය අයිති විය යුත්තෙ. ඔවුන් තමයි හෙට දවස.
    "මගේ මතකය අවදිව තිබුණත්" මේක නම් අයාලේ යන නව පරපුරේ සංගීතවේදීන්ට ප්‍රබල අභියෝගයක්.

    ReplyDelete
  23. දිනේෂ් රාවණා හත්ත සමඟ ජනාධිපතිතුමා හමුවෙලා වාදනයක් කලා මතකයි. ඇත්තෙන්ම දිනේෂ් විශිෂ්ටයෙක් බව කියන්න ඔනේ. විශිෂ්ඨ ගුරුවරු යටතේ සංගීතය හදාරලා ඔහු ඔහුගේම මාවතක යන්න උත්සහ කරන්නෙක්

    ReplyDelete
  24. කේමදාස මාස්ටර් ආපු ප්‍රසංගයක් මං නැරඹුවා පේරාදෙණිය සරවියෙදි.එහිදි වාද්‍ය වෘන්දය විදියට ආවේ දිනේෂ් අතුලු කන්ඩායම. ඔහු දක්ෂයෙක් බව අදුනගෙන හිටිය නමුත් අද තමයි ඔහගේ නිර්මාණ නිස්කලංකව රසවින්දේ. ඔහු සැබැම දක්ෂයෙක්...ඔහු ගැන නැවත විපරම් කරන්නට අවස්ථාවක් ලැබුනේ මේ ලිපියෙන් පස්සේ. අවිවෙකය විවේකයෙන් පිරෙව්වට ඔබට ස්තුතියි.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...