එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Friday, 13 April 2012

෴ කේමදාස; සිංහල අවුරුද්ද සංධ්වනිය The New Year Symphony ෴



ශ්‍රී ලාංකික සංගිත වේදියෙකු විසින් 1967 වර්ෂයේ දී කරන ලද පළමු සංධ්වනි සංගීත අත් හදා බැලීම අද විඳිමු.

අද සිංහල අලුත් අවුරුද්ද;  සහෘද ඔබ සැමට  සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනය කරමින්  අද "අස්වැන්න" සිංහල අලුත් අවුරුද්ද ගැන ටිකක් කතාකරන්න හිතුවා. ඒත් මේ සිංහල අලුත් අවුරුද්ද හැමෝම කතා කරන අලුත් අවුරුද්දට ටිකක් වෙනස්.  මම කතා කරන්නෙ සිංහල සංගිත වේදියකු විසින් සිය නිර්මාණාත්මක සංකල්ප ඔස්සේ "සිංහල අවුරුද්ද" දුටු ආකාරයයි. 

මේ සංගීවේදියා ආචාර්ය ප්‍රේමසිරි කේමදාස; කේමදාසයන් සංගිතවේදියෙකු ලෙස ඔහුගේ ඇසින් "සිංහල අවුරුද්ද" නිර්මාණාත්මක සංකල්පයක් මත නිර්මාණය වීම ඉතා වැදගත්. ඔහු මේ " සිංහල අවුරුද්ද" දුටුවෙ සංගිතමය ඇසකින්, සිය සංගිත ඥාණයෙහි  උපන් සංධ්වනියක් ලෙසට ය. 

ස්ථායි සහ අන්තරා කොටස් වලින් සැදුම් ලත් ගී තනුවකින් සහ සංගීතයෙන් සැරසූ සිංහල ගීතයෙන් ඔබ්බට විහිදී යන සංගිතය නම් වූ මාතෘකාව  පුළුල් පරාසය පුරා  විහිද ගිය සංකීර්ණ රේඛාවන් ඔස්සේ  වචන රහිතව සිය හෘදයෙහි උපන්  සංගිත රිද්ම හරහා සිය සංගිත රසිකයන් ඇමතූ " සිංහල අවුරුද්ද " සංධ්වනිය ලාංකේය  සංගිත ඉතිහාසයේ ‍ඓතිහාසික   නිර්මාණය වන්නේය.
                                      
මෙම සංධ්වනිය නිර්මාණය වූයේ  1967 වර්ෂයේ දී ය. ඒ වන විට  මෙරට ඉංග්‍රිසි පාලනයෙන් මුලු මනින්ම මිදී   දශක දෙකකට ආසන්න වූවා පමණි. එසේම ලංකාව තුළ සිනමාව ආරම්භ වී හරියටම දශක දෙකකි. මේ කාල පරාසය තුළ ස්වාධිනව ගොඩනැගෙමින් තිබූ ජන ජීවිතය එදවස අද දවස තරම් සංකීර්ණ සමාජ රටා  පැවති යුගයක් නොවී ය. 

එදවස, අද යුගයේ තරම් කොන්ක්‍රීට් වනාන්තර නගරාසන්නයේ පිරී නො තිබූ අතර හරිත වර්ණයෙන් පිරි ගහ කොළ  සහිත පරිසරයක ඉඳහිට දැකිය හැකි උළු සෙවිළි ගෙයක් හැරුණු  විට සමස්තයක් වශයෙන් මුළු පොල් අතු සෙවිළි කල ගොම මැටි ගෑ ගෙවල් මුළු ගම පුරාම දිස්විය. ඉඳහිට දුවන දුම්රියක හෝ ලංගම බස් රියක හඬද සොබාදහමට එකතු කළේ අපූර්ව වු චමත්කාරයකි. අර්ධ නාගරික සමාජ පන්තියක් බිහිවෙමින් තිබූ එකල බහුතරයක් ජනතාව ජනතාව නියෝජනයෙන් නිරූපණය  වූයේ අහිංසක ගැමි පරිසරය තුළ උපන් සංස්කෘතියයි.  

කේමදාස සිංහල අවුරුද්ද සංධ්වනිය ඔස්සේ ලාංකේය සංගිත ක්ෂේත්‍රයේ  පළමු වතාවට අත්හදා බැලූයේ ඒ අර්ධ නාගරික සමාජ පන්තියේ ජනතාවද බහුතරයක් වූ ගැමි ජනතාව තුළ ගොඩ නැගෙමින් පැවති ජන ජිවිතයේ හෘද ස්පන්දනය යි. දේශියත්වයේ රිද්මය යි. ශ්‍රී ලාංකික ජනතාවගේ අලුත් අවුරුදු සිතුවිලිවල නැවුම් සංකලනයයි. කේමදාසයන්ගේ එම වෑයම එය දේශිය සංගීත සංස්කෘතියේ ප්‍රතිරාව නැංවූ  නිර්මාණයක් විනා බටහිර සංධ්වනියක දෝංකාරයක් නොවී ය.

කේමදාස මේ සඳහා කොවුල් නාදය, රබන් හඬ, රතිඤ්ඤා, පිටි කෙටීම, කැවිලි පිසීම, ගේදොර පිරිසිදු කිරීම, පුණ්‍ය කාලය මෙන්ම අවුරුදු ජන ක්‍රීඩා ඇසුරින් සිය නාද මාලා සකස් කරගෙන බක් මහේ නැවුම් අස්වැන්න ජන ජීවිතයේ රිද්මය හා දහදිය සුවඳ ද මුසු කර සංධ්වනියක් මගින්  සිය සංගීත රසිකයාට විඳින්නට සැළසුවේ ය.

අවුරුදු දෙදහස් පන්සියයක කාලයක් තිස්‍සේ  පැවත ආ සොබා දහම හා අනුගත වූ  සිරිත් විරිත් සංගීත සංකේත ඔස්සේ  පර්යේෂණයක් ලෙස නිර්මාණාත්මකව පළමු වතාවට සංගිතවේදියෙකු ලෙස කේමදාසයන් මේ දූපත තුළ කරන ලද පළමු අත්හදා බැලිම ලෙස "සිංහල  අවුරුද්ද" සංධ්වනිය  සංගීත ඉතිහාසයේ ඉතිහාස  ගත වන්නේ ඒ අයුරිනි.

කේමදාසයන්ගේ සිංහල අවුරුද්ද සංධ්වනිය සංගීත ඇසකින් පොදු ජන ජීවිතයට සම්බන්ධකොට ශ්‍රාවකයක් ඔස්සේ රසිකයා තෘප්තිමත් කල අවස්ථාවක් ලෙස එම අවස්ථාව  හැඳින්විය හැකිය. එය සිංහල සංධ්වනි සංගීතයේ පළමු සළකුණයි. කේමදාස සංධ්වනි වාද්‍ය වෘන්දයක් විසින් භාවිතා කරන සියළු රිති අනුගමනය කරමින් වාද්‍ය භාණ්ඩ රැසක් උපයෝගී කර ගෙන ඒ ඔස්සේ කරන ලද පළමු සංධ්වනි අත්හදා බැලිම එදා නිම වූ යේ එතෙක් කල් පැවත ආ  ස්ථායි සහ අන්තරා කොටස්වලින් නිර්මිත තනුවකින් සකස් වූ ගීතය වෙනස් මගකට යොමු කිරීම යි. විනාඩි දෙක හමාරක , තුන හමාරක කාලයක් තුළදී අවසන් වන සරල රස වින්දන මාර්ගයක වූ ගීතමය සංගීත ක්‍රමය වෙනුවට එකින් එක වාද්‍ය භාණ්ඩ එකක් පරයා අනෙක් භාණ්ඩය.   නැගෙමින් හඹා එන නාද මාලා ඔස්සේ සිංහල අවුරුද්දේ උත්සව ශ්‍රීය සංගීත සංරචනාවකින් ගෙන හැර දැක්වී ය.

කේමදාසයන්ගේ මේ වෑයම එකල සංගිත සංස්කෘතියේ ප්‍රාතිහාර්යයක් බඳු විය. එය ජාතික සංස්කාතියට අලුත් අත්දැකිමක් වුවද එය කේමදාසයන් එතෙක් පැමිණි සිය සංගිත ගමන් මගෙහි නැවුම් හැරවුම් ලක්ෂයකි.  එවැනි අත්හදා බැලිම් ඔස්සේ  කේමදාසයන් කරන ලද නිර්මාණ පිළිගැනීමට ඒ යුගයේ උසස් රසික සමාජය පෙළ ගැසී සිටියේය. එහෙත් කේමදාසයන් පිවිසි  ඒ මාවත  ඉතා දුෂ්කර වූත්, කටුක වූත්, මාර්ගයක් වූයේ එවකට චිත්‍රපට ගීයට ඇබ්බැහි වී සිටි රසිකයන් කේමදාසයන් ගමන් ගන්නා මාර්ගයට යොමුකර ගැනීමේ ඉතා අසීරු කටයුත්ත ඒ දුෂ්කර මාර්ගයේ ම හමුවීම යි.

එයින් පසුබට නො වූ කේමදාස තම පළමු සංධ්වනි සංගිත අත්දැකිම තමා මුහුණ දෙන අරගලයක් සේ සළකා ඒ අරගලයට මුහුණ දෙමින් ම සංගීතයේ අලුත් අත්දැකීම් විඳ ගැනීමටත්,  එතුවක් සිනමා සංගීතයට හුරුව සිටි ගීත රසිකයින් ගලවා ගැනිමටත්  ඔහු දැරූ උත්සාහයට  කිසිම තල්ලුවක් මෙරට බහුතරයක් වූ  සංගීත රසිකයන් අතින් නො ලැබීම යි. කේමදාස එසේ නිර්මාණය කළ එවැනි සංධ්වනි සංගීතයේ අත්දැකීම් ඉතා සිමිත රසිකයන් පිරිසක් වෙතට පමණක්  අද දක්වා ම ගෙන යා හැකි වූයේ  සිංහල සංගීත රසිකයන් එදා සිට අද දක්වා හුරුවී සිටින ගීතය නැමති කෙටි වින්දනීය ඒකකය තුළ සිය මනස සිර කොට තබා ගැනීම නිසාය.

එසේ වුවද කේමදාස ඔහුගේ සංගිත දිවියේ ගෙවුණු පනස් වසරක කාලය තුළ සිංහල සරළ ගිතයේ සිට   සිය නිර්මාණාත්මක  සංධ්වනි සංගීතය කැන්ටාටා සහ  ඔපෙරා, දක්වා සිමිත රසික පිරිසක් සමග එක්වී ගෙන ගියේ ඒ සිංහල සංගීතයේ කොම්පාසුව අතට ගත් යුග යාත්‍රිකයා වූ  කේමදාස  නිසාය. 

මෙහි ඔබට අසන්නට ලැබෙන්නේ 1967 වර්ෂයේදී කළ ඒ මුල්ම අත්හදා බැලීමේදී කරන ලද පළමු පටිගත කිරිමයි. අනතුරුව අවස්ථා කීපයකදී මෙම සංධ්වනිය සිය ප්‍රේක්ෂකයන් ඉදිරිපිට දී ඉදිරිපත් කරන ලද ප්‍රසංගවලදී වාදනය වුවද අනතුරුව මෙම නිර්මාණය ශ්‍රාවකයන් වෙනුවෙන් ඉදිරිපත් කර නැත. මෙම නිර්මාණය මුල් වරට ග්‍රැම‍ෆෝන් ගී තැටිවලට පසුව බිහි වූ එල් පී තැටියකට නැගි ඇත. අනතුරුව කිසිඳු පටිගත කිරිමක් සිදුවී නැති බව සඳහන් කළ යුතුය. ඒ නිසා මෙය Mono  ක්‍රමයට පටිගත කරන ලද නිර්මාණයකි. එදවස අද තරම් සුසර වූ Stereo තාක්ෂණයක් නො තිබුණ නිසා ඔබට අහන්නට ලැබෙන්නේ ඒ පැරණි මුල්ම නිර්මාණයයි. මෙම සංධ්වනිය සහ එහි ප්‍රධාන කොටස්  හඳුන්වාදීම් සමග  මෙහි ධාවන කාලය විනාඩි 13.49 ක් බවද මෙහි දී සැලකිය යුතු ය. 


ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් විසින් 1967 වර්ෂයේදී පළමුවරට නිර්මාණය කරන ලද          " සිංහල අවුරුද්ද" සංධ්වනිය මෙතනින් අහන්න. කාලය විනාඩි 13තත්පර 49



ඔබ සැමගේ සිත් තැවුල් බරින්, මානසික ආතතියෙන් මුදා  නිවා සැනසූ සංගීතයෙන් පිරි  සුබම සුබ සිංහල අලුත් අවුරුද්දක්ම වේවා. මුලු අවුරුද්ද පුරාම ඇ‍ඳෙන සිතුවිලි අලුත් වේවා..!

ඉඩක් ඇත්නම් ඔබේ අදහස්  මෙහි ලියා තබන්න එය.හෙට දවස සඳහා අත්වැලක් වේවි.

36 comments:

  1. මේ ලිපිය මේ අලුත් අවුරුද්දට ලැබුණු ඉතා වටිනා තිළිණයක්! විශේෂයෙන් එය චිත්ත සන්තානයට වීම මෙහි ඇති වටිනා කමයි. අනර්ඝයි! ස්තුතියි!!

    ReplyDelete
    Replies
    1. රුමාල්ට

      කේමදාසයන් කළ මේ නිර්මාණයෙන් ඔබට යම් වින්දනීය වෙනසක්,දැනුනා නම් ඒ මගේ සතුටයි.

      කාර්ය බහුල වෙලාවක වුණත් අස්වැන්නට ඇවිත් කියවලා තැබූ මේ සටහනට ස්තූතියි රුමාල් ඔබට

      Delete
  2. මේ ලිපි හරියට පර්යේෂණ ලේඛන වගේ. අනර්ගයි රත්නායක!

    ReplyDelete
    Replies
    1. බන්දුලට

      බන්දුල සහෝ.. උඹේ අගය කිරීමම සතුටක්. ස්තූතියි කේමදාසයන් ගේ මේ නිර්මාණය වෙනුවෙන් තැබූ සටහනට

      Delete
  3. ඔන්න අලුත් අවුරුද්දේ නැකතටත් කලින්ම වැඩ ඇල්ලුව,හරවත් ලිපියකට කමෙන්ටුවක් දාල!:)

    ReplyDelete
    Replies
    1. නුවන්ට..

      මමත් මේක ලියලා පෝස්ට් කලේ නොනගතේ වෙලාවෙ වැඩක් නැති නිසා. ඒ වෙලාවෙ වුණත් අරුත්බර දෙයක් කළා කියල හැඟෙනවා.

      නැකතට කලින් වැඩ ඇල්ලූ නිසා වැඩි වැඩියෙන් අරුතින් සපිරි දේ ලියන්නට ඔබට මේ අවුරුද්ද සුබ එකක්ම වේවා.
      ස්තූතියි නුවන් කේමදාසයන්ගේ මේ නිර්මාණය වෙනුවෙන් ඔබ තැබූ සටහනට

      Delete
  4. හොඳම වෙලාවක ලියපු වටිනා ලිපියක්. රුමාල් කිව්වා වගේ මේක වටිනාම අවුරුදු තිළිණයක්. එය අපිට තිලින කලාට ඔබට බොහොම ස්තුතියි. අවුරුදු සිරිය දැනෙන විදිහට මේ වගේ නිර්මාණයක් කරන්න සංගීතඥයෙක් කොයි තරම් දක්ෂ වෙන්න ඕනද?

    ReplyDelete
    Replies
    1. සයුරිට

      මම අවුරුද්දෙ ලියල තියෙන දේ සාර්ථකයි කියල හැඟෙනවාලැබුණ ප්‍රතිචාර දිහා බැලුවාම.
      කේමදාස ජීවිතය පුරාම සංගිතයත් එක්ක කලේ අරගලයක්.ඒ අරගලයේ හොඳම සහ වටිනාම තැන් හමුවෙනවා.ඔහුගේ සංගිතමය පරිකල්පනය මෙහෙයවීම අති විශිෂ්ඨයි.අලුතෙන් එහෙම සිතුව නිසා තමයි මේවගේ නිර්මාණ බිහි වුනේ.
      ස්තූතියි සයුරි ඔබේ වටිනා කාලයෙන් බිඳක් වෙන්කර කේමදාසයන්ගේ මේ නිර්මාණය වෙනුවෙන් ඔබ තැබූ සටහනට

      Delete
  5. අපූරු අවුරුදු තෑග්ග නෙව
    බොහොම පින් බෙදාගත්තට..බටහිර සංධ්වනි වල අපූරුවත් මෙහි ඇති රසයත් එකිනෙකට බොහො වෙනස්..
    අළුත්ම ඇසකින් ලොව දුටු ඒ සොඳුරු නිර්මාණකරු සදා මතකයේ රැඳේ..

    ReplyDelete
    Replies
    1. රූ..

      අවුරුදු තෑග්ග හොඳයි කියල කිව්වම සතුටුයි. මේක නියම දේශීය සංගිත නිර්මාණයක් අපේකම සහ අපේ හැගීම් එහි රැඳිල තියෙනවා

      ස්තූතියි රූ ඔබේ වටිනා කා‍ලයෙන් බිඳක් වෙන්කර කේමදාසයන්ගේ මේ නිර්මාණය වෙනුවෙන් ඔබ තැබූ සටහනට

      Delete
  6. පළවෙනි වතාවට මේක අහන්න මම අද වාසනාවන්ත උනා.. ඒ ගැන ඔබට ස්තූතියි..

    සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. දිනේෂ්ට

      කේමදාසයන්ගේ මේ අපූරු නිර්මාණය ඇසුවාටත් ඔබේ වටිනා කා‍ලයෙන් බිඳක් වෙන්කර කේමදාසයන්ගේ මේ නිර්මාණය වෙනුවෙන් ඔබ තැබූ සටහනටත් ස්තූතියි

      ඔබටත් නැවුම් සිතුවිලිවලින් පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා.

      Delete
  7. සිම්පනියක් ඇහුවෙ පළමු වතාවට ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. කේමදාසයන්ගේ තවත් සිම්ෆනි කීපයක්ම තියනවා ඒවත් ඉදියේදි අහමු.ඔබේ වටිනා කා‍ලයෙන් බිඳක් වෙන්කර කේමදාසයන්ගේ මේ නිර්මාණය වෙනුවෙන් ඔබ තැබූ සටහනට ස්තූතියි.

      Delete
  8. සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබ තුමාට! සංගීතය අපූරුයි!

    ReplyDelete
    Replies
    1. සබිත් ඔබටත් සියලු කටයුතු සඵල වන සුබ අලුත් අවුරුද්දක්ම වේවා.
      ඔබේ වටිනා කා‍ලයෙන් බිඳක් වෙන්කර කේමදාසයන්ගේ මේ නිර්මාණය වෙනුවෙන් ඔබ තැබූ සටහනට ස්තූතියි.

      Delete
  9. අලුත් අවුරුද්දට වටිනා දෙයක් අපිට දිලා...ජරමර සංගිත ලෝකෙක අපේ සුභාවිත සංගිතය අපුරුවට ලොවට දුන්න කේමදාස මාස්ටර්.... බොහොම ස්තුතියි ඔබට...කියන්න බැරි තරම් අගෙයි මට මේ ලිපිය.. මෙවැනි තව තව වටිනා ලිපි අපිට මේ අවුරුද්දෙ තවත් කියවන්න ඔබ තුමාට ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා.....

    සුභ අලුත් අවුරුද්දක්...

    ReplyDelete
    Replies
    1. දිනිතිට

      දිනිති, බෙහෙවින්ම ස්තූතියි ඔබේ අගය කිරිම වෙනුවෙන්. ඔබේ වටිනා කා‍ලයෙන් බිඳක් වෙන්කර කේමදාසයන්ගේ මේ නිර්මාණය වෙනුවෙන් ඔබ තැබූ සටහනටත් ස්තූතියි.
      ඔබටත් සියලු කටයුතු සඵල වන නැවුම් සිතිවිලි වලින් පිරි සුබ අලුත් අවුරුද්දක්ම වේවා.

      Delete
  10. කේමදාස මාස්ටර්ගෙ ස්වර නිර්මාණවල ඔහුට ආවේණිකම වූ අපූර්ව රසයක් මා හොදින්ම අත්විද ඇත්තෙමි.. කොටින්ම කියනවා නම් යම් ස්වර නිමැවුමක් කාගේද කියා හරියට නොදැනගෙන වුවද ඔහුගේ නිර්මාණයක් අසන විට ආ මේකෙ නම් ස0ගීතය මාස්ටර්ගෙ වෙන්ඩ ඕනෑ යැයි කිව හැක. ඒ ඔහුගේ නිර්මාණවල වූ කේමදාස සලකුණයි. මේ ලිපියේ කියැවෙන " සිංහල අවුරුද්ද" සංධ්වනියයෙන් ද මා පෙර කී සි0හල ස0ගීතයේ කේමදාස සලකුණ මොනවට පැහැදිලිවේ... මේ දුලභ නිර්මාණය අලුත් අවුරුදේ අපට තිළිණ කිරීම ගැන අයියාට ගොඩක් පින්....

    ReplyDelete
    Replies
    1. තොටියාට

      මලේ.... තොටුපල අයිනට ඇවිත් බැලුවාම මේවගේ හොඳ දේවල් ගලායන ගගදිය රැළි අතර ඉඳ හිට හමුවෙනවා.

      මටත් ඔබට වගේම ඕනැම ගියක් සංගිතයක් ඇහුවාම කියන්න පුළුවන් මේක නම් මෙන්න මෙයාගේ කියලා. ඒ අපිට ඒ නිර්මාණකරුවන්ගේ නිර්මාණඅපේ ඇටමිදුලුවල පවා තැන්පත් වෙලා තියන නිසා.
      මාස්ටර්ගේ තවත් දුලබ නිර්මාණ කීපයක්ම තියනවා ඉඳහිටලා රස විඳිමු.
      මලේ.. ඔබේ වටිනා කා‍ලයෙන් බිඳක් වෙන්කර කේමදාසයන්ගේ මේ නිර්මාණය වෙනුවෙන් ඔබ තැබූ සටහනට ස්තූතියි.

      Delete
  11. සිංහල සංගීතයක් කියා දෙයක් නැති තරමට ඉන්දියන් ආභාෂය හා කෙළින්ම කොපි කිරීම බවට පත්වෙලා තිබුණු සිංහල සිනමා ගීතය තමයි සංගීතය විදියට සිංහල රසිකයන් අතරට ගියේ. ඒ අතර සිංහල සංගීතයක්, ගීතයක් වෙනුවෙන් වෙහෙසුණු සුනිල් ශාන්ත, ආනන්ද සමරකෝන් වැන්නන් අභිබවා යමින් මුලින්ම උත්තර භාරතීය, කර්නාටක, බටහිර හැම සංගීත ක්‍රමවේදයකින්ම ආභාෂය ලබමින් අපේම සංගීතයක් ගොඩ නගන්න කේමදාස මාස්ටර් ගොඩක් මහන්සි වෙලා තියෙනව. කෙසේ වෙතත් ඔහුගේ අවාසනාවකට වගේ අද වෙද්දිත් ලාංකීය රසිකයා තවමත් සංගීතය කියන දේ ආශ්වාදය කරන්න පුරුදු වෙලා තියෙන්නෙ පද මාලාවක් ගායනා කරන ගීත ඔස්සේ පමණයි. ගීතය අභිබවා යන සංගීතය තුළ තියෙන මාධූර්යයට තවමත් අපේ රසිකත්වය මෝරල නෑ. ඒත් අද වෙද්දි ලෝකයම අලුත් තලයකට පැමිණිලා තියෙන නිසා බීතෝවන්ගෙ, ආර්.ඩී. බර්මන්ගෙ හෝ කේමදාසගෙ සංගීත අනුවාදනයන්ගේ තියෙන විදියෙ රස වින්ඳනයන්ගෙන විතැන් වෙච්ච සමාජ මනසක් බවට පත්වෙලා.
    ලංකාවෙ ඔපෙරාවක් සාර්ථකව කරන්න හැකි වුණේ කේමදාස මාස්ටර්ට විතරයි. ඒත් සංගීතය තුළ පමණක් භාවනාගත වෙන්න හැකියාව තියෙන හොඳ ව්‍යාප්ත වූ රසිකත්වයක් ඔහුට ලංකාව තුළ හොයා ගන්න බැරි වුණා.
    කොහොම වුණත් සිනමා සංගීතය තුළ පවා කේමදාස මාස්ටර්ගෙ අනන්‍යතාවය ඉතා දැවන්ත වූ එකක්. ඔහුගේ සංගීතය මුසු වූ හැම සිනමා කෘතියක්ම වගේ අග්‍රගන්‍ය මට්ටමේ ඒවයි. සංගීතය තුළ එවන් විවිධත්වයක්, පෞරුෂයක් දැරූවෙකු ඔහුගේ කාලයේ හෝ ඔහුගෙන් පසු අද කාලයේද බිහිවන සලකුණක්වත් නෑ.
    සංගීතය යනු කඩදාසි සහතික වෙනුවෙන් ඉගෙන ගැනීමක් නොවන අති විශාල අත්හදා බැලීම් ඔස්සේ සහජ ඉවෙන් සුවිසල් වපසරියක් සොයා යාමක් බව කේමදාස මාස්ටර් ලංකාවෙදි ඔප්පු කලා.

    ReplyDelete
    Replies
    1. @... Outsider

      ඔබ හැමදාමත් ඉතාමත් විචාරශීලි අදහසක් ඉදිරිපත් කරනවා. ඒ ගැන නම් ලියන්න වචන මදි.
      ඔබේ අදහසට මම එකගයි.
      ඔබේ වටිනා කා‍ලයෙන් බිඳක් වෙන්කර කේමදාසයන්ගේ මේ නිර්මාණය වෙනුවෙන් ඔබ තැබූ සටහනට ස්තූතියි.

      Delete
  12. හැම තැනින්ම අහන් ඉන්න බැරි ගීත ඇහෙන කාලෙක මේ වගේ අවුරුදු තෑග්ගක් කොයි තරම් වටිනවද කියන්න වචන නැති තරම්.. බොහොම ස්තූතියි.
    ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. වර්ෂා..ට

      හැම සංගිත ක්‍රමයක්ම අහලා විඳලා තිබිම හොඳ රසවින්දනයක් ඇතිකර ගැනිමට පහසු මාවතක් . එතකොට අපිට රස සහ නීරස හදුනගන්න පුළුවන්.
      ඔබේ වටිනා කා‍ලයෙන් බිඳක් වෙන්කර කේමදාසයන්ගේ මේ නිර්මාණය වෙනුවෙන් ඔබ තැබූ සටහනටත් ස්තූතියි වර්ෂා.

      Delete
  13. කේමදාස මාස්ටර් කළේ බටහිර සංගීතය අපේ සංස්කෘතියට එකතු කිරීම. අමරදේව මාස්ටර් කරන්නේ දකුණු ඉන්දීය සංගීතය එකතු කිරීම. ඒ දෙකේ මහා ලොකු වෙනසක් නැහැ. ඒත් කේමදාස මාස්ටර් ඒකාකාරීව පවතී මෙරට සංගීතය වෙනුවෙන් කළ මෙහෙය ප්‍රසංසනීයයි. තවත් සිහි කළ යුතු අයෙක් ඉන්නවා. ඒ ලයනල් රන්වලයන්. එතුමා මේ විදියට ම අපේ සංගීතය අලුත් ආරකින් ඉදිරිපත් කළා. මේ සංගීත ඛණ්ඩය නම් විශිෂ්ටයි!

    ReplyDelete
    Replies
    1. @...NJranGO

      කේමදාස පෙ අපර දෙදිගම සංගිත සම්මිශ්‍රනවලින් අලුත් වෙනසක් කළා. ඒකයි ඔහු සංගීතයේ යුග යාත්‍රිකයෙක් වුණේ.
      ඔබේ විචාරශීලි අදහසට මම එකගයි.
      ඔබේ වටිනා කා‍ලයෙන් බිඳක් වෙන්කර කේමදාසයන්ගේ මේ නිර්මාණය වෙනුවෙන් ඔබ තැබූ සටහනට ස්තූතියි.

      Delete
  14. ඇත්තටම මම සිම්පනියක් ඇහුවේ අදමයි. ඔයාට ගොඩක් ස්තූතියි. ඒ වගේම මට හරිම පුදුමයි ඔයා මේ තොරතුරු කොහොම හොයාගත්තද කියලා. හරිම විශිෂ්ඨ ලිපියක් කියලා අවන්කවම කියන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මලීට

      මලී මේවා ජීවිත කාලෙ පුරාම යම් යම් අවස්ථාවල හොයාගත්ත, එහෙමත් නැත්නම් තෑග්ගක් විදියට හම්බ වුණු දේවල්. පරිස්සමින් තියා ගත්ත නිසා අදටත් අහන්න පුළුවන්.
      මලීගෙ අගය කිරීමත් සතුටුයි.
      වටිනා කා‍ලයෙන් බිඳක් වෙන්කර කේමදාසයන්ගේ මේ නිර්මාණය වෙනුවෙන් ඔබ තැබූ සටහනටත් ස්තූතියි.

      Delete
  15. මගේ ආසම සංගීතවේදියා ඔහු සදා අමරණීයයි

    ReplyDelete
    Replies
    1. වර්ණා..ට

      ඒකනේ.. ලංකාව ඇතුලෙ පුංචි මිනිසෙක් වුණාට ඔහු දැවන්ත වැඩ කොටසක් කළ විශිෂ්ඨයන් අතර විශිෂ්ඨයෙක්.
      වර්ණා..ඔබේ වටිනා කා‍ලයෙන් බිඳක් වෙන්කර කේමදාසයන්ගේ මේ නිර්මාණය වෙනුවෙන් ඔබ තැබූ සටහනට ස්තූතියි.

      Delete
  16. වටිනා ලිපියක්. ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් ගැන විස්තර සැපයූ ඔබට ස්තූතියි.
    සුබ අලුත් අවුරුද්දක්!!!

    ReplyDelete
  17. පොඩිකුමාරිහාමි ට

    ඔබේ අගය කිරිමම සතුටක්. ඔබේ වටිනා කා‍ලයෙන් බිඳක් වෙන්කර කේමදාසයන්ගේ මේ නිර්මාණය වෙනුවෙන් ඔබ තැබූ සටහනටත් ස්තූතියි.

    ඔබටත් සුබ අලුත් අවුරුද්දක්ම වේවා..

    ReplyDelete
  18. මේක අදමයි මේ වගේ දෙයක් ඇහුවේ.. ගොඩාක් ලස්සන සංගීතයක්. කේමදාස මස්ටෙර් හිටියනම් කියලත් හිතෙනවා..

    ReplyDelete
  19. ලාංකේය සංගීත වංස කතාවේ හැරවුම් ලක්ෂයක් කේමදාස මාස්ටර්. ජයන්ත චන්ද්‍රසිරිගේ නිර්මාණ හරහා තමා මම ඔහුව හඳුනා ගත්තේ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...